අරුණි ශපීරෝ‍ වෙතින්

මගේ පරම්පරාවේ වැදගත්ම සොයාගැනීම

Posted in Uncategorized by arunishapiro on මැයි 19, 2010

“මගේ පරම්පරාවේ වැදගත්ම සොයාගැනීම නම් මිනිසාට තම ජීවිතය වෙනස් කරගැනීමට තමන්ගේ මනසේ ගති ලීලාව (attitude) වෙනස් කිරීමෙන් පුළුවන් බව සොයාගැනීමයි.” මෙසේ කියූ විලියම් ජේම්ස් ජීවත් වුනේ 1842-1910 කාල පරාසය තුල. ගෞතම බුදුරජාණන්වහන්සේ මේ සොයා ගැනීම කළේ ඊට පරම්පරා ගණනාවකට පෙරයි. ලංකාවේ වාසය කරන අය තමන්ගේ ප්‍රෞඪ ඉතිහාසය ගැන උදම් අනිද්දි උදම් ඇනිය යුත්තේ මොනවටදැයි නොදනිති. හේතුව බුද්ධ ධර්මය කියා දෙන ගුරුවරයෝ මිථ්‍යාව පෙරදැරි කරගෙන ධර්මය වටහා ගැනීමට උත්සාහයක් නොගෙන විජ්ජා පෙන්වමින් සිටීමය.

‍ලෝකයේ ඉන්නා මනස, මොළය ගැන හදාරන අය කොටස් 3 කට බෙදන්නට පුළුවන. කට්ටියක් පර්යේෂකයෝ, අනික් කොටසක් පරිහරණය කරන්නෝ, ඉතිරිය තමයි වටහා දීම කරන්නෝ. බුදුරජාණන්වහන්සේ ගිහි සැප විඳ, දුෂ්කර ක්‍රියාකර, තමන් ඇසූ දුටු සියල්ල ගැන විමසා බලා, පරිහරණය කර, වටහා දුන් මනස ගැන අද නූතන විද්‍යාවේ පර්යේෂණ වලින් ඔප්පු කරල පෙන්වද්දී ඒ ගැන අවබෝධය ලැබෙන්නෙ මිථ්‍යාවෙන් සත්‍ය ධර්මය වෙන්කර ගන්න හැකියාව ඇති අයට පමණයි.

අවුරුදු 80 ක් විතර පරණ ක්‍රමයක් වූ electroencephalogram (EEG) මඟින් මොළය ගැන කතාබහ වුනත් එයින් මෑතක් වෙනතුරු සිද්ධ වුනේ මොළයක ක්‍රියාකාරීත්වය ගැන පර්යේෂණ නොවෙයි. 1972 දී හඳුන්වා දුන් computed tomography (CT) -CAT Scan නිසා මොළයේ ඇතුලත ස්නැප්ෂොට් එකක් ගන්නට අවස්ථාවක් උදා වුවත් එය ‍එක මොහොතක දී ගත්තක් වූයේය. CAT Scan එකකින් මොළය වැඩකරන්නේ කෙසේද කියා පැහැදිලි නොකරයි. එය පැහැදිලි කරන්නේ මොළය සාමාන්‍ය විදියෙන් වැඩ නොකරන්නේ ඇයි කියා පමණයි.

අද Positron emission tomography (PET) නිසා මොළය නිකුත් කරන ගණනය කළ නොහැකි රසායනික ක්‍රියාවලි ගැන හදාරන්න අවස්ථාව ලැබී ඇත. නැතහොත් වැඩ කරන මොළයක ජීවරසායන ක්‍රියාකාරීත්වය විමසන්න අවස්ථාව ලැබී ඇත. Functional magnetic resonance imaging (‍fMRI) මඟින් වැඩකරන මොළයක කොයි කොයි පැත්ත මොන මොන අදහස් නිසා ක්‍රියාකාරී වන්නේ ද යන්න හදාරන්නට ඉඩ ලැබී තිබේ. Single-photon emission computed tomography (SPECT) gamma-ray කිහිපයක් මඟින් පුද්ගලයාගේ මොළය වටා කරකැවෙමින් මොළය ක්‍රියාකරන ආකාරය විමසයි.

ඉහත සඳහන් අන්තිම ක්‍රම විධි තුන ස්නැප්ෂොට් තාක්ෂණය අභිබවා යමින් ක්‍රියාකාරී නොවන මොළයක තතු වෙනුවට ක්‍රියාකාරීත්වයෙන් පසුවන මොළයක තතු දැන ගැනීමට ඉඩක් සපයයි. යම් සිතුවිල්ලක් සිතද්දී මොළයේ කොයි සෛල වලට ද රුධිරය ගලා එන්නේ කියාත්, අවදි වන්නේ කුමන සෛල කියාත්, නිකුත් කරන්නේ කුමන රසායන ද කියාත් විභාගයට අවස්ථාව අද පෑදී ඇත.

මනස හා මොළය යනු දෙකකි. මොළය යනු හාර්ඩ් වයර් කරන ලද කොම්පියුටරයක් වැනි යයි ගතහොත් මනස යනු නිතර ඊට අළුත් ක්‍රම සහ විධි ඉදිරිපත් කරමින් ඇතුල් කරන සොෆ්ට් වෙයාර් ප්‍රෝගෑම් වැනිය. එකක් නැතිව අනෙකින් වැඩක් ගත නොහැකිය. එසේම දක්ෂ ලෙසින් වැඩගත හැකි වන්නේ දෙකම මනාව එකිනෙක හා වැඩකරන ලෙසින් පවත්වා ගන්නා අයෙකුටය. සුපර් කොම්පියුටරයක් හා ලොව විශිෂ්ඨතම සොෆ්ට් වෙයාර් සියල්ල තිබුණත් ඒවා මෙහෙයවන්නට නොදත්තාට ‍ඒවායෙන් වැඩක් ඇත්ද?

මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්නට එක අදහසක් වෙත සිත යොමු කිරීමෙන් හැකියාව ලැබේද යන්න විමසමින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල 2004 දී එළි දැක්වුණි. දයාව කරුණාව හා කොන්දේසි නැති ආදරය යන සංකල්ප ගැන සිත යොමු කරන්නට භාවනාව හුරු පුරුදු බෞද්ධ ස්වාමීන්වහන්සේලා පර්යේෂණයේ විෂයයන් (subjects) වූහ. විද්‍යුත් සංවේදකයන් (sensors) 256 ක් ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය මැනීමට පාවිච්චි කෙරුණි. භාවනා කරන්නට නොදත් පිරිසක් ද එසේම පර්යේෂණයට භාජනය වූහ. ස්වාමීන්වහන්සේලා අසලකටවත් එන්නට භාවනා නොදත් අයට හැකි වූයේ නැත. මෙම ස්වාමීන්වහන්සේලාට තම මොළයේ ක්‍රියාකාරීත්වය කැමැත්ත අනුව වෙනස් කරගත හැකියාව තිබුණි.

පැය 50,000 ක් පමණ භාවනා කර හුරු පුරුදු වූ ස්වාමින්වහන්සේලාගේ මොළයේ frontal lobes කොටසේ වූ ක්‍රියාකාරීත්වය ඉතා වැඩිය. ගැමා ‍කිරණ යනුවෙන් හැඳින්වෙන විද්‍යුත් මොළයේ ජවනය (impulses) වැඩි භාවනා කළ ඇති අය අතරින් දැකගත හැකි විය. මෙම මොළ කිරණ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන්නේ නව සර්කිට් නිපදවන විට පමණි. මොළයේ frontal lobes පැත්ත සතුට පවතින පැත්තයි. එක බෞද්ධ ස්වාමීන්වහන්සේ කෙනෙකුගේ මෙම frontal lobes පැත්ත කොතරම් වැඩි වර්ධනය වී (enhance) තිබුණා ද යයි මවිතයට පත් පර්යේෂකයෝ ඔහු ජීවත්ව සිටින පුද්ගලයන් අතුරෙන් වඩාත්ම සතුටින් ඉන්න පුද්ගලයා වියහැකි යයි කියූහ.

මෙම පර්යේෂණය මෙහෙය වූයේ ඇමෙරිකාවේ Universiy o‍f Wisconsin හි Richard Davidson නැමැත්තාය. ඔහු කියනා පරිදි භාවනාවේ දිගු කාලයක් යෙදි සිටින අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය මෙතෙක් ඔවුන් නොදැකි තරම් මහත් ප්‍රමාණයකින් සිද්ධ වූයේය. ගොල්ෆ් ක්‍රීඩාව හෝ ටෙනිස් ක්‍රීඩාව යනු නිත්‍ය පුහුණුවෙන් පවත්වා ගතයුතු ක්‍රීඩාවන්ය. කාලයක් ඉක්ම ගොස් නැවත පිටියට පැමිණ කළින් වඩවා තිබූ කුසලතා තත්වයෙන් තරඟයේ යෙදෙනු නොහැකිය. මෙම බෞද්ධ ස්වාමීන්වහන්සේලාගේ භාවනාව සතුට ඇති පැත්ත මෙහෙයවන frontal lobes මොළයේ ගොල්ෆ් හා ටෙනිස් නිතර ක්‍රීඩා කරන ක්‍රීඩකයාගේ සේම වැඩි වර්ධනය වී (enhance) ඇතැයි ඩේවිඩ්සන් කියයි. එසේම මොළ ඡායාරූප දිහා බලන කල පුහුණු කරන ලද මොළය හා මනස ඇත්තාගේ මොළය පුහුණු නොකරන ලද මොළයකින් පැහැදිලිව වෙනස්කම් දැකිය හැකි බව ද ඔහු කියයි.

මනසට තනිවම මනස වෙනස් කළ නොහැකිය. මන්ද මනස මොළයේ ප්‍රතිඵලයකි. මනසට නිකම්ම නිකම් සිට මොළය වෙනස් කළ ද නොහැකිය. මන්ද මනස මොළයේ නිෂ්පාදිතයකි. මොළයට තනිවම මොළය වෙනස් කළ නොහැකිය. මන්ද මොළය යනු මනසක් නොමැති නම් ජීවයක් ද නැත්තකි.

මොළයත් මනසත් වඩා කාර්යක්ෂම ‍ෙලස වැඩ කරන්නට පුහුණු කරගන්නට නම් මොළයේ හා මනසේ වෙනස්කම් ඇති කරන්නේ කවුද? Consciousness නොහොත් විඥානයයි. ඔබ යමක් පටන් ගන්නට පෙර හිතට කොඳුරා කතා කරන්නේ කවුද? හරි වැරදි ගැන සිතට වද දෙන්නේ කවුද? හරි මඟ යන්නත් වැරදි මඟ අත්හරින්නත් යොමු කරන මෙම විඥානය ‍ඇත්තේ තමන් තුලම යයි මුලින්ම කියා දී ඇත්තේ බුදුරජාණන්වහන්සේය. නමුත් අපි එයට කිසිම වැදගත්කමක් නොදී තුට්ටු දෙකේ පෙළහර පානා මිසදිටු විජ්ජාවන් පෙන්වන්නෝ පසුපස දුව යමු.

9 Responses

Subscribe to comments with RSS.

  1. nadeendra mananayaka said, on මැයි 20, 2010 at 10:43 පෙ.ව.

    “හරි මඟ යන්නත් වැරදි මඟ අත්හරින්නත් යොමු කරන මෙම විඥානය ‍ඇත්තේ තමන් තුලම යයි මුලින්ම කියා දී ඇත්තේ බුදුරජාණන්වහන්සේය. නමුත් අපි එයට කිසිම වැදගත්කමක් නොදී තුට්ටු දෙකේ පෙළහර පානා මිසදිටු විජ්ජාවන් පෙන්වන්නෝ පසුපස දුව යමු.”

    මාත් ඒ කතාවටනම් එකගයි. අද ගොඩක් වෙන්නෙ බුද්ධාගමේ නාමයෙන් සල්ලි ගරන එකයි. අපේ රටේ බහුතරයක් බෞද්ධ උනාට බුදු දහම (බුද්ධ චරිතය නොවේ) දන්නෙ කීදෙනාද??

  2. නදී said, on මැයි 20, 2010 at 10:58 පෙ.ව.

    නොදත් දේ රාශියක් ගැන දැනගත්තා. සිතන්න දේවලුත් ඉතිරි වුනා. ලිපිය ලීවාට බොහොම ස්තුතියි අරුණි.

  3. Anandawardhana said, on මැයි 21, 2010 at 10:55 පෙ.ව.

    ඉතා ම ප්‍රයෝජනවත් ලිපියක්. ඔබට බොහොම පින්.

  4. […] හා ආචාර ධර්ම ගැන පැහැදිලි කර දුනි. විලියම් ජේම්ස් මනස ගැන අධ්‍යයන පටන් ගති. දර්ශනය විෂයයකට […]

  5. […] හා ආචාර ධර්ම ගැන පැහැදිලි කර දුනි. විලියම් ජේම්ස් මනස ගැන අධ්‍යයන පටන් ගති. දර්ශනය විෂයයකට […]

  6. Dishan said, on සැප්තැම්බර් 7, 2011 at 4:05 ප.ව.

    Miss aruni Thank you this post … godak watina lipiyak mee gana thawa duratath liwimata haaki nam sathutui karunu dana ganna. oba thumiyage piya thumata godak garu karanawa eithuma thula thibuna asimaitha chanaya pudumai vishishta loka nayakayek eithuma. chana vindanaya gana karurunu dana ganna kamathi ei gana lipiyak liyanna thank you ..

  7. kumudi said, on ජනවාරි 20, 2012 at 9:04 පෙ.ව.

    boho de gane danuwath una. methek kiyaw siyalu lipi itha prayojanawath.jeewithayate ekathu karagatha uthu de bohomai.obeta bohoma pin !

  8. Inesh said, on ජනවාරි 21, 2012 at 1:00 පෙ.ව.

    කව්ද ඉදිරිපත් වෙන්නේ බුදු දහමෙ තියන බමුණු මත,වාසි කතා අයින් කරල ඈත්ත එලියට ගන්න?කව්ද ලෑස්ති ගුටි කන්න,බෑනුම් අහන්න?ඔබේ පියානම් ඉදිරිපත් උනා බය නෑතිව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: