මොළයේ සෛලයකින් සුගතිය හා දුගතිය
නමුත් විමතියකි මා හට කියා නොමැත්තේ
මොළයට හසු කරගත හැකිය කියා
එක් පුංචි සුදු සෛලයකට
දෙවියන්වහන්සේගේ දිව්‍යලෝකය හෝ අපාය
–ඔස්කා වයිල්ඩ්
ඔස්කා වයිල්ඩ් ඉතා දක්ෂ සාහිත්‍යකරුවෙකි. වැස්සක් නොවැස්සත් අහස අඳුරු නිසා නිවාඩුවට ගෙදර පැමිණ සිටින දියණියත් මමත් අද මුහුදේ පිහිනන්නට නොගියෙමු. බැදපු පිකෑන් ඇට, මී පැණි යොදා දුව හැදූ කෙසෙල් ගෙඩි පාන් කමින් අපි දෙදෙනා The Importance of Being Earnest (2002) චිත්‍රපටිය නැරඹුවෙමු. අප දෙදෙනාම ඔස්කා වයිල්ඩ්ගේ ඉහත නමින්ම වූ නාට්‍ය පොත කියවා ඇති නිසා සෑම දෙබසක්ම කටපාඩමින් සේ දත්තෙමු. ඔස්කා වයිල්ඩ්ගේ අගනාම කෘතිය මෙයැයි සිතන පිරිසට අපි දෙදෙනා ද අයත් වෙමු. ඉහත සඳහන් කවිය චිත්‍රපටියේ නොමැති ඔහු ලියූ විරහ ගීයක අවසානයයි. එය ලියන්නට ඇත්තේ ඔහුගේ සමරිසි පෙම්වතෙකුට ද?
මෙම කවියේ දී ඔස්කා වයිල්ඩ් මොළයේ එක් පුංචි සුදු සෛලයක් කියන්නේ මොළයේ ඇති නියුරෝන නොහොත් සංවේදන සෛල (nerve cells) පිළිබඳව විය හැකි ආකාරය විස්තර කරන පොතකි Evolve your Brain, Joe Dispenza (2007). පහත ඇති මොළයේ සෛල හා සම්බන්ධ විස්තර මෙම ෙපාතෙහි සඳහන් තොරතුරු හා අන්තර්ජාලය ආශ්‍රිතව සකස් කරන ලදි.
නිරෝගී සිරුරක් පැවතිය ද මොළයේ ඇති සංවේදන සෛල මැරී යන රෝගය ඇති පුද්ගලයාගේ සෛල එසේ විනාශයට පත්වන ආකාරය විමසනු පිණිස අද නිරෝගී සෛල හා රෝගී සෛල (motor neurone disease -MND) නිෂ්පාදනය කර හදාරන බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පිරිසකි. නුදුරේ දී අපට ඉහත රෝගයෙන් නියුරෝන මැරී යන ආකාරය ගැන දැනුවත් වන්නට ද හැකිවනු ඇත.
නියුරෝන මහත් විශාල සංඛ්‍යාවක් වූ කල අපිට බුද්ධිය ඇති වේ. නියුරෝන ඉතාමත් කුඩාය. තිස් දාහක් හා පනස් දාහක් අතර ප්‍රමාණයක් ඇල්පෙනෙත්තක හිස මත පැටවිය හැකිය. Neocortex නම් අපගේ අවධාන විඥානය (conscious awareness) පිහිටි මොළයේ පැත්තය. එහි ඇති එක සංවේදන සෛලයකට (cortical nerve cell) තවත් සංවේදන සෛල හතළිස් දහසක් හා පනස් දහසක් සමඟ එකතුවන්නට (link) හැකියාව ඇත. Cerebellum නැමති පැත්තේ පිහිටා ඇති සංවේදන සෛලයකට (purkinje nerve cell) මිලියනක් තරම් තවත් එවැනි සෛල හා සම්බන්ධ වන හැකියාව ඇත. මොළයේ neutral networks යයි හැඳින්වෙන්නේ මේ සෛල අතර සම්බන්ධතා පැවැත්වීමය.
සම්බන්ධයක් ඇති වීමට මේ සංවේදන සෛලයකට (ඇසින්, කනින්, නාසයෙන්, ස්පර්ශයෙන්, සිතුවිල්ලකින්) උත්තේජනයක් ලැබිය යුතුය. එවිට එය විද්‍යුත් කිරණයක් (electrical charge) නිකුත් කරයි. මෙයින් ක්‍රියාවලි රාශියක් හට ගැනේ. ලණුවක් කොණකින් අල්ලා ගෙන කස පහරක් සේ විසි කරනා ආකාරය ගැන හිතන්න. සෛලයෙන් පටන් ගන්නා විද්‍යුත් තරංගය මේ ආකාරයෙන් ස්ව-පතුරුවා (self-propogate) විද්‍යුත් කිරණයක් හරියි. මෙසේ හට ගන්නා තරංගයක් සංවේදන සෛලයේ සිට අන්තිම කෙළවර වන axon දක්වා ගලා යාම එවැන්නක් පටන් ගත් පසු නතර කළ නොහැක. එසේ එක තරංගයක් ලෙසින් ගමන් කර අන්තිමේ දී මුළු සංවේදන impulses විසුරුවා හරියි.
මෙහි ගමන් කිරීම වේගවත්ය. යම් ක්‍රියාවක් කරන්නට හැකියාව ඇති තරංගයක් axon දක්වා ගලා යන්නේ පැයකට සැතපුම් 250 කට අධික වේගයකිනි. පටන් ගත් පසු වේගය වෙනස් නොවේ. මේ විද්‍යුත් තරංග අපේ මොළයේ හැම මොහොතක දීම හට ගනී. අප අවට පරිසරයෙන් ලැබෙන තොරතුරු අප විමසද්දී මෙන්ම, තනිවම පැත්තකට වී සිතද්දී හා නිදියන විටත් ඒවා තරංග නිකුත් කරමින් මොළයේ පැති පැතිවල මිලියන ගණනින් විවිධ නියුරෝන හැම තත්පරයක දීම පත්තු වෙයි. මිනිස් මොළයක එක දවසක ඇතිවන electrical impulses පෘතුවියේ සියළුම වයර්ලස් දුරකතන වලින් නිකුත් කරන electrical impulses වලට වඩා අධිකය.
ඔබ සිතන ඕනෑම සිතුවිල්ලක් නිසා එය තරහ, දුක, සතුට, ඊර්ෂ්‍යාව හෝ රාගික වූවද එයින් ඔබේ ශරීරය වෙනස් වන්නේය. ඔබව වෙනස් කළේ ඔබමය. මෙය කියවන ඔබ වෙන කිසිම ශාරීරික ක්‍රියාවක් නොකළ ද මේ මොහොතේ ඔබගේ සිතේ වූ සිතුවිල්ල නිසා ඔබගේ ශරීරය වෙනස් වුනි. අග්න්‍යාශයේ (pancreas) සහ ඇඩ්රනල් ග්‍රන්ථිවල හෝර්මෝන විසුරුවා හැරීමක් සිද්ධ වූ අතර මොළයේ විද්‍යුත් කිරණ හට ගැනීම නිසා නම් කළ නොහැකි තරම් නියුරෝරසායනයන් ප්‍රමාණයක් නිෂ්පාදනය වුනි. පිලාව (spleen) හා තයිමස් ග්‍රන්ථිය (thymus gland) ඔබේ ප්‍රතිශක්ත පද්ධතියට (immune system) වෙනස්කම් බොහොමයක් ඇති කරන්නටය කියා සමූහ ඊ මේල් එකක් යවන ලදි. ආහාර දිරවන අම්ල ශ්‍රාවය වන්නට පටන් ගනියි. පීකුද්ද මීට මොහොතකට කළින් නොවූ එන්සයිම විසුරුවා හැරීමක් පටන් ගෙනය. හදවත ස්පන්දනය වෙනස්ය. පෙනහළු හුස්ම ගන්නා ආකරය වෙනස්ය. ගලා යන රුධිරය විසින් ඔබේ අත් පා වෙනස් කරයි. ඒ සියල්ල සිද්ධ කළේ ඔබ ඇති කරගත් එක සිතුවිල්ලකිනි. ඔබ එතරම් බලවත්ය.
“මනෝ පුබ්බංගමා ධම්මා..” යන ධම්ම පදයන් අප අසා කියවා කට පාඩම් කරගෙන ඇත්තෙමු. චෛතසික ධර්මයෝ හෙවත් සිතේ ඇතිවන ගති සිත පෙරටු කරගෙන ඇත්තාහුය. ඒ ගති සිතට ශ්‍රේෂ්ඨ කොට පවතින්නේය. සිතින්ම උපදින්නේය. ඒ නිසා යමෙක් හොඳ පහන් සිතින් යමක් කියත් නම්, කරත් නම්, සිරුර හැර නොයන සෙවැනැල්ලක් සේ ඔහු පසු පස්සේ සැපය ලුහුබඳී.
සිතුවිල්ලක් ඇති වීම වළක්වා ගත නොහැකිය. එනිසා පහන් සිතුවිලි නොහොත් ධන සිතුවිලි වලින් වාසය කරන්නා ශරීරයේ ඇති කරන වෙනස්කම් ද ධනාත්මක කරගන්නේය.
ඔබේ පැහැදිලි කිරීම් විශිෂ්ඨයි. ධනාත්මක සිතිවිලි ඇති කර මණස දියුණු කරගෙන සාර්ථකත්වයට මත් වන ආකාරය ගැන දිගටම ලියන්න. එය හුඟ දෙනෙකුට වැදගත් වේවි.
අති විශිෂ්ථ පැහැදිලි කිරීමක්. කොහොම උනත් පන්චේන්ද්‍රියන් හරහා ගන්නා අරමුණු පටිච්ච සමුප්පාදය හරහා එහි ඇති මායාකාරී බව හා අනිත්‍ය ස්වභාවය අදුනාගන්න තරම් ඔය කියන නියුරෝනවලට හැකියාවක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ.
ඒක තමන් විසින්ම අවබෝධකර ගත යුත්තක්.
නියුරෝන යනු සම්බන්ධතා ඇති කරන, ස්මරණය හා කුසලතා මෙහෙයවන හා ඒවා ගබඩා කරන සෛල වෙති. හඳුනාගැනීම, අවබෝධය හා විශ්වාසය ඇති කරන්නට උදව් දෙන උපකරණ වූ පළියට ඒවා කිසිවක් අවබෝධ කරගන්නා “පුද්ගලයා” යනු නියුරෝන නොවෙති. නියුරෝන පවතින්නේ ක්‍රියාකාරී මොළයකය. ක්‍රියාකාරී මොළයක් නැති තැන නියුරෝන ද නැත. අනිත්‍ය ස්වභාවය ගැන හඳුනාගන්න හැකියාවක් ඇත්තේ නිරෝගී මොළයක් ඇති පුද්ගලයෙකුටය. මිථ්‍යාවේ එල්බ සිටින අයෙකුට මිථ්‍යාව කුමක්දැයි පහදා දුන් විට ඇත්ත ඇති සැටියෙන් පෙනී යන්නේ නියුරෝන අතකොළුවක් කරගත් නිසා පමණින් එම හැකියාව ඇත්තේ නියුරෝන වලට යයි කියනු නොහැකිය. ගඟකින් එතෙර වන්නට ඔරුවක් යොදාගන්නේ පුද්ගලයාය. පුද්ගලයා නැඟ යන ඔරුවත් ගඟ හරහා ගිය ද ඔරුවට තනිව එගොඩට (අරමුණක් කරා) යා නොහැකිය. නියුරෝන පුද්ගලයාගේ ජීවිතයේ සුගතිය කරා මෙහෙයවීමට හැකියාව ඇත්තේ පුද්ගලයාටමය.