උරගයා, දිවියා හා ආධුනිකයා
සුබ වෙසක් දිනයක්!
මේ සති අන්තය ඉන්දියෑනාපලිස් නගරයේ ඉන්දි 500 නැමති මෝටර් රේස් තරඟය පැවැත්වෙන සති අන්තයයි. මගේ ඇමෙරිකන් ඥාතියෝ 35 කට අධික මහා පවුලට ඔවුනොවුන් වෙනුවෙන් වෙන් කරගත් පුටු පේළියක් ද මෝටර් රේස් නරඹන්නට ඇතත් මෙවර තරඟය සජීවීව නොබලන්න 3 දෙනෙකුගෙන් වූ අපේ කුටුම්භය තීරණය කරන ලදි. සති අන්තයේ අපි රුවල් බෝට්ටුවක් ගන්නට දුර ගමනක් යන්නට සූදානම්ය.
Kurt Vonnegut ඉන්දියෑනාපලිස් නගරයේ විසූ කීර්තිමත් ප්‍රබන්ධ රචකයෙකි. Galapagos (1985) නැමති ඔහු විසින් රචිත කෘතියේ මිනිසා විසින් ප්රගතිශීලී යයි සොයාගත් දේශපාලන හා සමාජයීය සොයාගැනීම් ගැන අප්‍රසාදය පළ කිරීමට ඔහු “බොහොම ස්තූතියි, සුවිසල් මොළය” (Thanks a lot, Big brain”) යයි පවසයි. මොකක්ද මේ සුවිසල් මොළය? එහි බර ද? ප්‍රමාණය ද? නැතහොත් එයින් කරන කාර්යයන් ද?
බොහෝ විමර්ශන හා අර්ථකතනයන් මා සටහනට එකතු කළත් ඒවායේ ඇත්ත නැත්ත විමසා බැලීම ඔබගේ කාර්යයකි. මා අනාවරණය කරගත් කිසිම දෙයක් මෙහි නැත. මෙය මා මොළය පිළිබඳව තොරතුරු සොයා යන පාරේ දී මට හමු වූ අනුන් විසින් සොයාගත් විස්තරයි.
එකමත් එක කාලයක ලොව වාසය කළේ උරගයෝ (lizards) පමණි. උරග මොළය සරලය. එය ක්‍රියා කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයට, ආහාර දිරවීමට, ලේ ගමනාගමනයට සහ වර්ගයා බෝ කිරීමටය. කාලයාගේ ඇවෑමෙන් උරග මොළයේ නාටිය (brain stem) දික්ව දිවියාගේ (leopard) මොළය (limbic system) ඇතිවිය. General adaptation syndrome (GAS) නැමති මොළය වර්ධනයේ දෙවැනි අදියර බිහිවිය. ආවේගයන්ට ඉඩකඩත්, ක්‍රියාවන් හසුරුවන හැකියාවත් වර්ධනයට ඉඩ ලැබුණි. මෙය පළා යන හෝ සටන් වදින ප්‍රතිචාරය (fight or flight response) සේ පරිණාමය වූ බව තහවුරු කරන්නේ මහත් විශාල සංඛ්‍යාවක උරග වර්ගයෝ එතැනින් පසු නැති වී ගිය හෙයිනි. තුන්වන හා නූතන මොළයේ වර්ධන අවදිය හැඳින්වෙන්නේ ආධුනික නොහොත් ඉගෙනගන්නා හැකියාව (learn) ලැබි අවදිය ලෙසයි. ප්‍රශ්න විසඳන්නට, භාෂාව හා අංක පාවිච්චිය, මතකය වඩාගන්නට සහ නිර්මාණශීලී වන්නට මේ තුන්වන අවදියෙන් ජීවියාට මොළයේ ඉඩකඩ (cerebral cortex) සෑදුණි. වැඩි විස්තර සඳහා Paul D. MacLean කියවන්න.
වසර මිලියන ගණනක සිද්ධ වූ උරග, දිවියා අනතුරුව ආධුනිකයාට යන මොළයේ පරිනාමය අද සෑම මනුෂ්‍ය කළලයකම මාස නවයක දී සිද්ධ වෙයි. මෙම ප්රස්තුතය විචාරයට භාජනය වූවකි. ඊට අනුව සෑම කළලයක්ම (ontogeny) තම වර්ධනයේ දී තමන් ගොඩනැඟුණු ආකාරයේ තම පරම්පරාගත (phylogeny) අඩිපාරේ නැවත ගමන් (retraces) කරයි. “Ontogeny recapitulates phylogeny” වැඩි විස්තර සඳහා Morton M. Hunt, The Universe Within: A New Science Explores the Human Mind (1982); Richard M. Restak, The Modular Brain (1994); Susan Greenfield, Human Mind Explained: An Owner’s Guide to the Mysteries of the Mind (1996); Richard Gregory, The Oxford Companion to the Mind (1987).
මිනිස් මොළයේ බර රාත්තල් 3 ක් පමණ යයි සැලකේ. ශරීරයේ බරින් 2% ක් වන මනුෂ්‍යයාගේ මොළය අද ලොව සිටිනා අනිකුත් ක්ෂීරපායී සතුන් අතර (ඩොල්ෆින් නොවන) ශරීරයට සමානුපාතිකව හය ගුණයකින් විශාලය. ඩොල්ෆින් මොළය හා මිනිස් මොළය ශරීරයට සමානුපාතිකව ප්‍රමාණයෙන් ළං වූ මොළයන් වෙති. එහෙත් ඩොල්ෆින් මොළය පසුගිය වසර මිලියන 20 තුල දී වෙනස්කමට භාජනය වී නැත. Douglas Adams නැමති විද්‍යා ප්‍රබන්ධ රචකයාගේ The Hitchhiker’s Guide To The Galaxy පොතේ ඩොල්ෆින් ලෝකයෙන් පිටත්ව යද්දී “So Long and Thanks for all the Fish” කියූ අවසන් වගන්තිය මෙහි දී සිහියට නැඟේ! පොත සොයාගෙන ඔබ කියවන්නට හැකි නිසා ඩොල්ෆින් එසේ කීමට පාදක වූයේ ඇයි දැයි නොකියමි.
මිනිස් මොළයේ පරිනාමය බොහෝ විද්‍යාඥයන් කුතුහලයට හා විසඳාගත නොහැකි ව්‍යාකූලතාවන්ට පත් කරන විෂයයකි. සත්ව වර්ගයන්ගේ පරිනාමයේ දී අනිකුත් සත්වයන්ගේ මොළය ඔවුන්ගේ අනිකුත් ශරීර අවයව සේ වර්ධනය වුනි. වසර 250,000 කට පෙර බොහෝ ක්ෂීරපායී සත්වයන් ඔවුන්ගේ මොළයේ සංකීර්ණ වූ හා සමස්ත වූ පරිනාමයේ උච්ඡ අවස්ථාවට පැමිණියහ. එහෙත් මිනිසා අනිත් ක්ෂීරපායී සතුන්ගෙන් වෙන්ව ගොස් neocortex ප්‍රදේශයේ පෙරළියක් ඇති කරගනිමින් සංකීර්ණත්වය හා සමස්ත ප්‍රමාණය බෙහෙවින් ඉතා කෙටි කලක දී වර්ධනය කරගති.
ඒ වර්ධනය වූ ආකාරයටම තවත් වර්ධනය වී ගියේ නම් අද කාන්තාවගේ උකුල් පෙදෙස හිටගන්නට නොහැකිව නැවතත් කකුල් හතරෙන් යා යුතු අන්දමට පුළුල් වන්නේය. මන්ද විශාල මොළයක් ඇති දරුවා බිහිකරන්නටය! මනුෂ්‍ය ඉතිහාසයේ සිට අද දක්වාම දරු ප්‍රසූතිය අවදානම් කරන්නේ ද මේ සුවිසල් වූ මොළයයි.
ප්‍රමාණයෙන් සුවිසල් මොළය තවත් දියුණු කරන්නට ස්වභාව ධර්මයේ බුද්ධිය අමුතුම පියවරක් ගති. ඔළු කට්ට මහත් නොකර එහි තුල වූ දැනුම ගබඩා කරන මොළය අකුළන මොළයක් බවට පරිනාමය වූයේය. ජපන් පවානක් වැසූ කළ එහි ඇති පියකරු පින්තූරය සැඟවී යනවා සේ මොළය ද ඔළු කට්ට තුල අකුළන ලදි. එයින් ප්‍රමාණය විසල් නොකර තොරතුරු ගබඩා කරන්නට සුවිසල් ප්‍රදේශයක් ඇති කරගන්නා ලදි. අද අපට ඇත්තේ වසර 250,000 ට පෙර තිබූ සමස්ත මොළ ප්‍රමාණයම වූවත්, ගබඩා කරගන්නට හැකි හා වර්ධනයට හැකියාව ඇති අද දිනයේ මොළය අප එයින් ඉතා අල්පයක් ප්‍රයෝජන ගන්නා මොළයක් වී ඇත. තවත් විදියකින් කියතහොත් අද අපට ඇති “සුවිසල්” මොළය ප්‍රමාණයෙන් විශාල නොවූවද එයින් ඉටුවන හා ඉටු කරගත හැකි කාර්ය භාර්ය අද අපට ඇති දැනුම පමණින් නිමක් කොණක් නැති තරමට ඉඩකඩ ඇත්තකි.
අපට රූපවාහිනියේ ප්රවෘත්ති නරඹමින්, කොම්පියුටරයෙන් ස්කයිප් හෝ ෆෙස්බුක් වලින් හිතවතුන් හා සම්බන්ධ වෙමින්, තේ කෝප්පයක් බොන ගමන්, හැලපයක් හපන ගමන්, වයර්ලස් ෆෝනයේ පණිවුඩ වලට පිළිතුරු යවමින් යනාදී …..තවත් වැඩ කොපමණක් එකවර කරත හැකි ද? මොළයට මෙසේ වැඩ කරන්නටත්, එසේම එක් දෙයකට පමණක් සම්පූර්ණ අවධානය යොමුකර කරත යුතු කටයුත්තක් ගැන වෙහෙස වන්නට ද හැකියාව ඇත.
වයසට යද්දී බුද්ධිය වර්ධනය නොවන බව මිථ්‍යාවකි. වයසක දේශපාලනඥයෝ දිහා බලන කල එය ඇත්ත යයි සිතුන ද එය සත්‍යය නොවේ! බුද්ධිය නම් අකුළන ලද මොළයේ ඒ ඒ ප්‍රදේශයන්හි කවන දත්ත අනුව සම්බන්ධතා එකිනෙකා හා ඇති කරගන්නා ප්‍රමාණය අනුව තීරණය වන්නකි. ජීවත්වන ආකාරය හා මොළයට දෙන පුහුණුව අනුව මේ සම්බන්ධතා වලින් මොළයේ මයලීන් ප්‍රවාහයත් සම්බන්ධකම් ඇති කරන neural pathways ඇති කර ගැනීමෙන් මොළය තවත් දියුණු කරගත හැකිය. මරණය තෙක් ම දියුණු කරගන්නට ඉඩකඩ අද මිනිසාගේ මොළයේ ඇත.
මෙතෙක් කවදාවත් රස නොබැලූ කෑමක් කා බලන්නට සිතට අදහසක් ආවා නම් හැමදාම හුරු පුරුදු රස දන්නා කෑම බීමට වහල් වී නොසිට නුහුරු නුපුරුදු කෑමක රස බලන්න. එයින් අවදිවන්නේ මොළයේ මෙතෙක් අවදි නොවූ සෛලයන්ය. එයින් පැන නඟින සබඳතා හා නිෂ්පාදනය කරන රසායන මොළයට අළුත් දත්ත ලබා දෙනවා පමණක් නොව මොළය තුල අනාගතයේ අමුතු දෙයකට මුහුණ දෙන හැඩ ගැසීම් රාශියක් ද ඇති කරයි.
මොළය යන්ත්‍රයක් යයි සලකන්නේ නම් වසර සියයක් පමණ එය හොඳට වැඩ කරන ලෙස පවත්වා ගැනීමේ කාර්යභාරය වෙන අයකුට නොව පැවරෙන්නේ ඔබටමය. වෛරස්වලට ඇතුල්වන්නට ඉඩ නොදී ඒවා පළවා හරින ක්‍රම සහ විධි උපයෝගී කරගෙන නිතර යාවත්කාලීන කරගන්නා මොළයේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමට සැලසුම් කරන ලද ප්රබෝධාත්මක අරමුණක් දිය යුතුය. චිත්‍රපටි, සිංදු, කතන්දර පොත් යනාදිය රස බලන්නට හැමදාම එකම නිර්මාණ ශිල්පියාට හිර වී නොසිට අළුත් අය සොයා යන්න. වෙනස් භාෂා වලින් අහන්න, දකින්න, කියවන්න. Aerobic ව්‍යායාම් ශරීරය ක්‍රමවත් කරනා සේ මොළයට දෙන neurobic ව්‍යායාම් මොළය ක්‍රමවත් කරයි. වැඩි විස්තර සඳහා Barry J. Gibb, Rough Guide to the Brain (2007).
මිනිස් මොලය, හිත, මනස, හදවත කියන ඒවායේ සම්භන්ධයක් තියෙනවද ? එහෙනම් ඒ කොහොමද කියලත් ලිපියක් ලියන්න පුලුවන්ද ? මේ පහුගිය ටිකේ ලිපි බොහොම ආසාවෙන් කියවනවා.
හිත (මනස ?) කොච්චර පුදුමාකාරද කියල පොඩි අත්දැකීම් ටිකක් තියෙනවා. මහණ වෙලා හිටපු කාලේ භාවනා කලා කාලයක් තදින්. කිව්වට කවුරුත් විශ්වාස නොකරන දේ අත් විඳින්න ලැබුන. ලබන අවුරුද්දේ ආපහු ටිකක් ඒවා පටන් ගන්න හිතා ඉන්නවා.
මම අහල තියෙනව අපි ජීවිතේ පුරාවටම පාවිච්චි කරන්නේ බොහොම සුලු ප්‍රමාණයක් කියල. අයින්ස්ටයින් වගේ අයගේ ඒ ප්‍රතිශතය ගොඩක් වැඩී කියල. ඒක ඇත්තද ? එහෙමනම් ඒක මනින ක්‍රමවේදයක් තියෙනවද ?
තරිඳු, මිනිසාගේ සියළුම අංග එකිනෙක හා සම්බන්ධතා පවත්වනවා. ලියන්නම් ඉස්සරහට තවත් විස්තර. ගැටළුව තමයි සරලව ලියන එක. පසුබිම ගොඩාක් විස්තර කරනකොට දිග නොවෙන්නත්, විෂයය අධ්‍යයන නොකරපු අයට නොතේරෙන ජීවවිද්‍යා හා මනෝවිද්‍යා තොරතුරු නීරස නොවෙන්නත් ක්‍රම හොයාගන්නත් ඕන.
ඒ අත්දැකීම් ගැන පුදුම නොවෙන, විශ්වාස කරන පිරිසට මමත් අයිතියි. අපිට දැනගන්න ටිකක් ලියන්න.
දැනට ඇති එකම ක්‍රමය තමයි මරණයෙන් පසුව මොළය පරීක්ෂා කර බැලීම. අයන්ස්ටයින්ගේ මොළය එහෙම පරීක්ෂාවට පත්වුනා. ක්‍රියාකරන මොළයක් සංවේදන ඇති කරන පැතිවල විද්‍යුත් කිරණ ප්‍රමාණය හා රසායන මනින්න පුළුවන් වුනාට මම දන්න තරමින් මොළයක් පාවිච්චි කරන ප්‍රමාණය ජීවත්ව සිටිය දී මනින ක්‍රමවේදයක් තවම නැහැ.
Interesting Article! please keep on writing.
best wishes
dawkinssdodo, thanks.
මම ඔබේ ලිපි ආසාවෙන් කියවන්නෙ කාරණා දෙකක් නිසයි. එකක් ඔබ විවිධ කාරණා රැසක් අපූරුවට ගැලපීම. අනෙක පුළුවන්තරම් සරලව කරුණු ඉදිරිපත් කිරීම.
උපතේ සිට මොළයේ නියුරෝන මියයන නිසා වයස්ගතවනවිට බුද්ධියේ වර්ධනයට බාධාවක් එල්ලවෙන්නෙ නැද්ද? වයස්ගත වනවිටත් තරුණ කාලයේදී තරම්ම පහසුවෙන් නියුරෝන අතර සබඳතා ඇතිවනවාද?
ඇවිදිමින්, කෑම කමින්, පොතක් බෑලීම ලෙස වැඩ ගණනාවක් කරන්නට අපිට හැකියාවක් තිබුණත් ඒ හැම දේම මොළයෙන් පමණක් කරන වැඩ නොවෙයි මම දන්න විදියට. ඇවිදීමට මාංශපේශීන්වල ඇති මතකය (පුහුණුව) යොදගෙන්නා අතර, ඇවිදීමට අදාල යම් තීරණයක් (පඩි බැසීම, යමක් මඟහැර යාම) පමණක් මොළයෙන් විධානයක් ලෙස ලැබෙනවා. මොළය අපේ මුළු ශරීරයම හසුරවන කේන්දූගත පාලන පද්ධතිය නෙවෙයි.
මොළයෙන් පමණක් වැඩ කීපයක් එකවර කිරීමට හැකිබවත් මම පිළිගන්නවා. (ශරීරයෙන් එකවර වැඩ කීපයක් කිරීමක් මොළයේ හැකියාවක් ලෙස හුවා දැක්වීම වැරදි බවයි මගේ මතය.)
නදී, ස්තූතියි. මමත් නිතර පිවිසෙන අඩවියක් තමයි නදීගේ සිතුවිලි.
ශරීරයේ සෛල උපතේ සිට මිය යනවා. දරුවා උපන් අළුත වේගයෙන් සම්බන්ධතා ඇති කරන මොළය, හැදියාව හැඩ ගස්වන මොළය කාලයාගේ ඇවෑමෙන් වේගය අඩු වුනත් අද සොයාගැනීම් වලින් පෙන්වන්නේ නියුරෝන සබඳතා ඇතිවීමේ නතරවීමක් නැති බවයි. මේ ප්‍රශ්නයට උත්තරය ගැන කල්පනා කරද්දී සටහනක් ලියන්න තරමට කරුණු තියන බව පෙනුන නිසා ඊ ළඟට ඒක ගැන ලියන්නම්. Beethoven, Freud, Darwin, Wordsworth, Piccaso, Einstein වයස අවුරුදු පනහ පසුවුනාට පස්සෙ අවදි වෙච්ච බුද්ධිය ඇති අය අතරට ඇතුලත් වෙනවා!
මොළය ගැන තව විස්තර කරද්දි මොළය කේන්ද්‍රගත වන ආකාරය පැහැදිලි වෙයි. මෙතන දී අප සිතන සිත (මනස) හා මොළයේ යටිසිත ද, මොළයේ උඩු සිතත් යටි සිතත් යා කරන ක්‍රියාවලිය ද ගැන තවත් පැහැදිලි කිරීමක් අවශ්‍යයයි.
ශරීරය කරන සමහර වැඩ, හුස්ම ගැනීම වැනි, අප සිතා මතා කරන වැඩ නොවේ. අපිට සිතා මතා හුස්ම ගන්න පුළුවන්. නමුත් ඒක තනිකරම අපි උඩු සිතින් පමණක් කරන්නට ගියොත් අපේ ජීවිත ඉතාමත් කෙටි වෙයි! එය තනිකරම යටි සිතට බාර වුන කාර්යයක්. යටි සිත තියෙන මොළය සිද්ධ කරන කාර්යයක්. ශරීරයෙන් එකවර නෙමෙයි එකම එක වැඩක් කරගන්න හෝ මොළය අවශ්‍යයයි. තව පැහැදිලි කිරීම් ගොඩක් ඉදිරියට ලියන්නම්.
”උරගයෝ (lizards)” ?????
උරගයා = reptile
කටුස්සා = lizard
නුවන් චතුරංග,
ගොඩාක් ස්තූතියි නිවැරදි කිරීමට. උරගයා (reptiles) යන්න වඩාත් නිවැරදියි. කැස්බෑවන් (turtles), නයි (snakes) සහ කටුස්සෝ (lizards) අයිති වන්නේ උරග වර්ගයට. එතකොට කටුස්සෝ විතරක් උරගයෝ වෙන්නෙ නැහැනෙ!