තීරණ ගන්නේ කවුද?
පසුගිය සති අන්තයේ පැවති ඉස්තාන්බුල් ග්‍රාන්ඩ් ෆ්‍රී තරඟයෙන් මගේ ප්‍රියතම මෝටර් රේස් රියැදුරා, ලුවිස් හැමිල්ටන් ජය ලැබුවේය. ඔහුට ඉදිරියෙන් වූ එකම පිලේ මෝටර් රේස් රියැදුරන් දෙදෙනා එකිනෙකා පරදවන්නට ගත් උත්සාහයෙන් ඇති වූ වාහන ගැටීමෙන් ඔවුන් පසුකර ගොස් පළමු ස්ථානය දිනා ගන්නට ලුවිස් හැමිල්ටන් සමත් විය.
යූරෝ මිලියන වලින් ආදායම් උපයන මෝටර් රේස් තරඟකරුවා නිමේෂයක දී තමන් ගත් නිවැරදි තීරණයේ ජය අත් විඳින්නේය. එසේම නිමේෂයක දී තමන් ගත් වැරදි තීරණයේ ප්‍රතිඵල අනුව යූරෝ මිලියන ගණනින් වටිනා රේස් කාර් එක ද කුඩු පට්ටම් කරගෙන තරඟයෙන් පරාජය ලබන්නේය.
තැලී පොඩි වී ගිය රේස් කාර් එකෙන් බැසි එහි රියැදුරා දකුණු අතේ දබරැඟිල්ල ඔළුවට එල්ල කර රවුමට කරකැව්වේ මොළය පාවිච්චි නොකළ බව පෙන්වන්නටය. මොළය පාවිච්චි නොකළේ ඔහු ද, ඔහු හා ගැටුන අනෙක් රියැදුරා ද, නැතහොත් දෙදෙනාම ද?!
“මම” කියා කෙනෙක් නැත්නම්, නියතවාදී (අප ගන්නා තීරණ යම් විශ්ව සැලසුමක් අනුව) නොවේ නම් තීරණ ගන්නේ කවුද?
ක්‍රියාකාරි මොළයක ජානුමය දායාද සෛල ඇත. පරිසරයෙන් දායාද වූ සෛල ඇත. නියුරෝන සබඳතා වලින් ඉහත කී දෙයාකාරයෙන් ඇති වූ සෛලගත තොරතුරු යම් අවස්ථාවක දී අපට තීරණයක් ගන්නට උදව් දෙයි. අපගේ සිතුවිලි දිව යන ආකාරය අනුව සෛල අළුත් සබඳතා ඇති කරගනියි. ගන්නා තීරණ අනුව තවත් සෛල සබඳතා ඇති කරගනියි. මොළයේ ක්‍රියාකාරිත්වය පවතිනා තාක් ඇතිවන මෙවැනි ක්‍රියාවලියෙන් බිහිවන සෛල පසුබිම මතින් පුද්ගලයා ගන්නා තීරණ බිහිවේ.
උප්පත්තියේ දී මිනිස් මොළයේ නියුරෝන සෛල බිලියන 23 කි. පුද්ගලයාගේ මානසිකත්වය තීරණය වන්නේ තිබෙන නියුරෝන ප්‍රමාණය අනුව නොව ඒවා එකිනෙකා හා ඇති කරගෙන තිබෙන සබඳතා අනුවය. එක සෛලයක් අනික් සෛලයට සම්බන්ධ වන්නේ සෛල අග ඇති axons වලිනි. axons සම්බන්ධ වන අනිත් පැත්තේ ඇත්තේ dendrites ය. Axon එකක් නියුරෝනයක් dendrite වෙත යවද්දී ඇතිවන සබඳතාවය synapse නම් වේ. එක නියුරෝනයක් තවත් නියුරෝන දාහක සිට දහ දාහක ප්‍රමාණයක් හා මෙසේ synapses සබඳතා ඇති කර ගනියි.
ඉෙගන ගැනීම යනු මෙසේ synaptic සබඳතා වලින් යුතු නව nerual network එකක් ස්ථාපිත කිරීමයි. කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ Gary Lynch මෙසේ යමක් ඉගෙන ගැනීම නිසා නව synapses ඇතිවන බව ඔප්පු කර ඇත. මොළයේ synapses බිහිවීමෙන් ඥානය පැතිර යන්නට ව්‍යුහමය මධ්‍යස්ථානයක් (structural center) ඇති කරයි. ලේ හා මොළයේ හා කොඳු නාරටියේ ඇති (cerebrospinal fluid) සාරය මෙම තුලින් නියුරෝන හරහා ගලා ගොස් ඉගෙන ගැනීමට එක හා සමාන ලෙසින් දායක වෙති.
Synapses සංඛ්‍යාව හා එහි තත්වයන්, ලේ ගමනාගමන පද්ධතිය, cerebrospinal සාරය යන සියල්ලම විද්යුත්රසායන (electrochemical) භාෂාවක් නිෂ්පාදනය කරයි. මේ කායික (physiological) වූ භාෂවේ හෝඩිය වන්නේ ligands නැමති දෙසියයකට අධික සංඛ්‍යාවකි. Ligands යනු synapses, නියුරෝන හා අනෙක් අවයවයන්හි බිහිවීම, ක්‍රියාකාරීත්වය, ක්‍රියාශීලීත්වය හා දිගු කාලීන පැවැත්මට බලපෑම් සිදු කරන ස්නායු සෛල (nerve cells), ප්‍රතිශක්ත සෛල (immune cells) සහ අනෙක් සෛල වලින් නිකුත් (secrete) කරන්නකි. Ligands යනු හෝඩියේ එක් එක් අක්ෂරය වැනිය. එයින් ඇතිවන “වචනය” හැදියාවක් ඇති කරයි. අකුරු සමූහයකින් වචනයක් හැදෙනා ලෙසින් එක එක අකුරකින් පෙන්නුම් කරදිය හැකි ශබ්දයන් පිළිබඳ (phonetic) ප්‍රත්‍යයක් ඇති සේ, අකුරු රැසකින් පෙන්නුම් කළ හැකි අර්ථ විචාරය සම්බන්ධ (semantic) ප්‍රත්‍යයක් ඇති සේ, පුද්ගලයාගේ හැදියාව සම්පාදනය වන්නේ මේ ligands ක්‍රියා අනුවය. එක් එක් පුද්ගලයා සතු ඒකීය වූ තොරතුරු ඒ පුද්ගලයාගේ කායික වූ ද, ඒ තොරතුරු රාශියක් එකතු වූ කළ හැදියාව ද, පෙන්නුම් කරදිය හැකිය.
සාමාන්‍යයෙන් වම් පැත්තේ මොළය (දකුණතින් ලියන්නෝ) භාෂාව, තර්කය, අනුවාදය, අංක ගණිතය යනාදියට වෙන් වූ පැත්තය. දකුණු පැත්තේ මොළය ජ්‍යාමිතිය, වචනයෙන් නොවන විමර්ශනය, දර්ශනයෙන් ලැබෙන දත්ත විමසීම, සවනට වැදෙන තොරුතරු විශ්ලේශනය සහ අවකාශය පිළිබඳ (spatial) කුසලතාවන්ට වෙන් වූ පැත්තය. වම් මොළය හැම විස්තරයක්ම (details) විමර්ශනය කරද්දී දකුණු මොළය සහමුලින්ම (big picture) යම් දෙයක් ගැන සලකා බලයි.
සිත (mind) හා මොළය (brain) ගැන කතාබහේ දී (The Owner’s Manual for The Brain හි) IBMer E. Baird Smith මෙසේ අසන ලද බව සටහන්ය. “සිත ඔබේ මොළයේ කොටසක් ද, නැතහොත් මොළය ඔබේ සියළුම සිත ද? (Is your mind a part of your brain, or is your brain all your mind?) මේ ගැන 19 වැනි ශත වර්ෂයේ Thomas Hewitt key නැමති බ්‍රිතාන්‍ය උගතා මෙසේ කියයි. “What is mind? No matter. What is matter? Never Mind.”
සත්වයින්ගේ මොළයට වඩා වෙනස් වූ මිනිස් මොළයේ යම් යම් දේ සඳහා “නියමිත” (committed) වූ ප්‍රමාණය අල්පයකි. මිනිස් මොළයේ සුවිසල් ප්‍රමාණයක් වන්නේ cortical commitment නොමැති cerebral cortex පෙදෙස්ය. ඒ හේතුව නිසා පරිසරයෙන්, අවේනික වූ ජානු වලින් හා අද දිනය තෙක් අප නොයෙක් ආකාරයන් ගෙන් අප සඳහාම පමණක් ඇති කරගත් නියුරෝන සබඳතා වලින් දිගහැර සකස් වන්නට ඉඩකඩක් හිමි මොළයක් අපට ඇත.
බ්ලොග් සටහන් වලට පුද්ගලයෝ ප්‍රතිචාර දමන ආකාරය බලන්න. එක් එක් පුද්ගලයා සටහන කියවන්නේ තමනට ආවේනික වූ හැදියාව, පසුබිම, ඉගෙනීම, දැනුම යනාදිය අනුවය. ප්‍රතිචාර ද වැටෙන්නේ එසේමය. අළුත් යමක් ඉදිරියේ දී, තමා විසින් දකිනා ආකාරයට, තමා විසින් මෙතෙක් ඇති කරගත් සබඳතා අනුව, නිමේෂයක දී පුද්ගලයාට සිතුවිල්ලක් පහළ වී ඒ සිතුවිල්ල පසුපස හඹා යමින්, ඒ ගැනම තවත් කල්පනා කිරීම හෝ නොකිරීම මඟින්, තිබෙන දත්ත සමූහය මැදින් අළුත් ප්‍රතිචාරයක් හෝ එකඟතාවයක් හෝ සිතයි. ඒ අළුත් සිතුවිල්ල සිතන්නේ මෙතෙක් ගබඩා කරගත් සියල්ලටම අයිතිවාසිකම් කියන තමන් විසින්මයි. එනම් තීරණ ගන්නේ සිතන පුද්ගලයාය. සිතුවිල්ලේ උප්පත්තියට පුද්ගලයා තනිවම දායක නැත.
ඵල විපාක විඳින්නේ ද සිතුවිල්ල පහළ කරගත් පුද්ගලයා පමණක් නොවේ. සටහනක් බ්ලොග් අවකාශයට එකතු කිරීම නිසා එය ලියන්නාගේ මොළයේ නියුරෝන සබඳතා බිහිවෙයි. අනාගතයට බලපාන වෙනස්කම් ඇති කර ගනියි. එය කියවන්නෝ ද තම තමන්ගේ මොළයේ නියුරෝන සබඳතා ඇති කර ගනිති. සමහරු එය කියවා සතුටු වී නිසි නියුරෝරසායනයන් උපදවා ගනිති. තවත් සමහරු ඒවා කියවා අනිසි නියුරෝනරසායනයන් ඇති කරගනිති. මේ සටහන් කියවා අනාගත පැවැත්මට ද යම් බලපෑම් ඇති කරගනිති.
ඉස්තාන්බුල් මෝටර් රේස් තරඟයේ වාහන ගැටීම නිසා ඵල විපාක විඳින ලද්දේ රේස් රියැදුරෝ දෙදෙනා පමණක් නොව බලා සිටි නරඹන්නෝ (ඔවුන් එයින් වින්දයක් ලැබීම), රේස් වාහන අයිතිකරුවෝ (ඔවුන්ට ආර්ථික පාඩු), හා පළමු තැන දිනා තරඟයෙන් ජයගත් ලුවිස් හැමිල්ටන් යනාදී දන්නා නොදන්නා මහත් සමූහයකි. ඒ සිද්ධියෙන් එය ඇසූ දුටු හා දැන් මේ බ්ලොගය කියැවූ සියල්ලෝම තම තමන් විසින් තම තමන්ටම සුවිශේෂී වූ නියුරෝන සබඳතා අනාගතයට ද බලපාන ලෙසින් ඇති කරගත්හ.
යම් තීරණයක් ගන්නේ “මම” වුවද තීරණයක් ගන්නට ගණනය කළ නොහැකි තරම් සංඛ්‍යාවක සාධක හේතුවිය. ඒ නිසා “මම” ගන්නා තීරණය “මගේ” යයි කිව හැකිද? “මගේ” නොවේ යයි කිව හැකි ද? කෙසේ නමුත් එය “මට” බලපෑමෙන් නම් බේරී පැන දිවිය නොහැක!
අගේ ඇති ලිපිය. ඉගෙන ගන්න දේ බොහොමයි. ඇත්ත එක එක අය ලෝකෙ දිහා බලන්නේ එක එක විදියට.
ලිපිය පොඩ්ඩක් රහ කරන්න උත්සාක කරනවනම් තවත් හොඳයි. පොඩි වචන හරඹයක් …… උත්සාහ කරන්න.
කාලෙකින් මේ පැත්තෙත් ආව. හැමදාම වගේ හොඳ ලිපියක්….
ඉතාම පොඩි සිද්ධියකින් ගොඩාක් ලොකු බලපෑම් වෙන්න පුලුවන් අපි දැනුවත්ව හෝ නැතුව….
ලහිරු හරි තියල මටත් හිතෙනවා. තව පොඩ්ඩක් රහ කරන්න උත්සහ ගන්න
චරිත සහ ලහිරු වෙත, ස්තූතියි ආයෙත් ලියන්න පටන් ගත්තම රහ කරන්න මතක් කරගන්නම්.
[…] බිහිවේ.// මේ ගැන තව ටිකක් දැන ගැනීමට “තීරණ ගන්නේ කවුද?” මැයෙන් මා ලියූ කළින් සටහනෙන් […]