අරුණි ශපීරෝ‍ වෙතින්

දිවෙන් ලොව දකින මිනිසා

Posted in Uncategorized by arunishapiro on ජූනි 3, 2010

හැමදාම ඉගෙන ගත්තු විදියට නොව නව ක්‍රමයකට දත්ත ඇතුලත් කරද්දී ඒ ලැබෙන තොරතුරු විමර්ශනයට අළුත් හැකියාවක් ඇති කරගැනීම මොළයට ඇති තවත් අපූර්ව හැකියාවකි.

මිනිස් මොළය පරිනාමය වී ඇත්තේ දෘශ්ටියෙන් අපිව නොමඟ යවන්නටය යයි කියන නියුරෝවිද්‍යාඥයෝ පාට ඉන්ද්‍රජාලයන් (colour illusions) ගැන මෙසේ විස්තර කරති. ඇත්ත ඇති සැටියෙන් නොව වෙනත් ආකාරයකින් මේ ඉන්ද්‍රජාලයන් අපට පෙනෙන්නේ ආලෝකයෙන් ලැබෙන තරංග (wavelengths) ඇසෙහි දෘශ්ටි පටලයේ (retina) ඇති සෛල හා මොළය මඟින් ප්‍රතිචාර දක්වන හැදියාව අනුවය. නැතහොත් අපි පාට හා හැඩ වැරදියට දකින්නේ අපගේ දැකීමේ සංවේදන හැකියාව (visual sense) පරිනාමයේ දී හැඩගැස්වී ඇති ආකාරය නිසාය.

Lottolab Studio යනු ලන්ඩනයේ පිහිටා ඇති ලෝකය අපි දකින්නේ කෙසේද යන්නත් එසේ අපි දකිනුයේ ඇයි යන්නත් විමර්ශනයට හා විස්තර කරදීමට යත්න දරන ස්ථානයකි. එහි වෙබ් අඩවියට ගොස් දක්වා තිබෙන විවිධ වූ පර්යේෂණ රූප හා හැඩ දැකබලා මෙතෙක් පරිනාමයට පාත්‍ර වූ අපගේ මොළය දකින ආකාරය අවබෝධ කරගත හැකිය.

ඇසෙහි දෘශ්ටි පටලයේ ඇත්තේ නිල්, රතු හා කොළ පාට තුන මුල් කරගෙන විවිධ පාට දැකිය හැකි කේතු (cones) ය. එයින් සාමාන්‍ය පුද්ගලයෙකුට මේ එක එක පාට කේතුවෙන් පාටවල් සියයක පමණ පැහැ දැකිය හැකිය. නමුත් tetrachromat නැමති තත්වය ඇති පුද්ගලයෙකුට තැඹිලි පාටට හුරු කේතුවක් ද ඇතැයි සැලකේ. එයින් තවත් පාටවල් සියයක පැහැයන් දැක ගන්නට හැකිවීම නිසා එවන්නට දැකිය හැකි පැහැ ගණන කොතරම් වේදැයි, සාමාන්‍යයෙන් මිලියනයක පැහැ දකින්නාට මිලියන සියයක පැහැ දැකිය හැකි ද? යන කතාබහක් පුවත්පතකින් කියවූයෙමි.

පාට අන්ධභාවය (Color blindness) ඇති ලංකාවේ කිසිවෙක් මා නොදත්තෙමි. එහෙත් ඇමෙරිකාවට පැමිණි පසු සාමාන්‍ය පුද්ගලයා දකින පැහැ දකින්නට බැරි පාට අන්ධභාවය ඇති බොහෝ අය මට හමුව ඇත. එය රෝගයක් ලෙස සැලකෙන්නේ නැත. එහෙත් ඔවුන් හා ඇසුරේ දී පාට වැරදීම නිසා ජංජාලයන් බොහොමයකි.

අපි මෙතෙක් දැක්කේ ඇස් වලින්ය. නමුත් අද අන්ධ අයට දිවෙන් “දකින්නට” උපකරණයක් ඇත. BrainPort නැමති මෙම උපකරණය ඇමෙරිකාවේ නිෂ්පාදනය වන්නේ මඳ ආලෝකයක් දැකිය හැකි එහෙත් ඇස් නොපෙනෙන අයටය. මේ “දිවෙන් ලොව දකින” උපකරණය අන්ධ අයට වැදගත් තොරතුරු මොළයට ලබා දෙයි. මෙය ආධාරයෙන් ලැබෙන දත්ත “දැකීමට” අවශ්‍ය තොරතුරු ලෙසින් පරිවර්තනයට මොළය හුරු කරගත් විට අන්ධ අයට ලෝකය “දකින්න” හැකියාව ලැබේ.

Retinoschisis නැමති රෝගය උප්පත්තියේ දීම තිබීම නිසා එරික් වෙයින්මෙයර් වයස අවුරුදු 13 දී අන්ධ වූයේය. 2001 දී ඔහු එවරස්ට් කන්ද නැඟි එකම අන්ධයා සේ වාර්තා තැබුවේය. BrainPort ආධාරයෙන් ඔහු වටපිටාව “දැක්කේ” දිවෙනි.

සාමාන්‍ය දැකීමේ දී ආලෝකය ඇසේ වැදෙද්දී යවන විද්‍යුත් impulses මොළය පින්තූර බවට පරිවර්තනය කරයි. මේ BrainPort යන්ත්‍රය කරන්නේ ඇසට වැදෙන එළිය විද්‍යුත් impulses බවට දිවෙන් හැරවීමයි. ඒ විද්‍යුත් impulses ඇසෙහි දෘෂ්ටී පටලය (retina) වෙනුවට දිව උත්තේජනය (stimulate) කරයි. තොල් වලට අනතුරුව ශරීරයේ සංවේදන වැඩිම ප්‍රමාණයක් ඇති දිව මෙම යන්ත්‍රය උපකාර කරගෙන මිලිමීටරයක පරතරයක් ඇති ඉඩක් “දකින්නට” ඉගෙන ගනියි. මේ යන්ත්‍රය ගැන තව විස්තර මෙතැනින්.

මිනිසාගේ හුරු පුරුදු ඇස් වලින් දකින හැකියාව මෙසේ දිවෙන් දකින්නට වෙනස් කරද්දී මොළය අළුතින් ඉගෙන ගත යුතුය. පැය 2-10 ත් අතර කාලයක දී නව යන්ත්‍රයෙන් දකින්නට කෙනෙකුට කියා දිය හැකි යයි එය නිපදවන්නෝ කියති. නමුත් කඳු නඟින්නට නම් ඊට වඩා පුහුණු කාලයක් අවශ්‍ය වනවා නිසැකය.

එළිමහන් සුවය දිවා රෑ පුරා රස විඳින්නට සුදුසු කාලගුණයත් ඊට සහභාගී වන්නට මා ප්‍රියතම පුද්ගලයෝ ද අද එක් රොක් වී ඇත. දිගු කාලයක් යනතුරු නැවත සටහනක් නොදැම්මාට අමනාප නොවන්න. මොළය දියුණු කරගන්නට මොළ ක්‍රීඩා වෙබ් අඩවියක් මෙසේය. ‍එයින් මගේ සටහන් කියවන්නට නොමැති කාලයේ දී යම් සතුටක් ගෙන දේ යයි සිතමි!

4 Responses

Subscribe to comments with RSS.

  1. nuwan said, on ජූනි 5, 2010 at 2:06 ප.ව.

    I am a medical student in sri lanka who follows your blog regularly. I am fascinated by your writings. They are interesting and provide necessary food for thought. I wanted to wish u all the best. May u have the energy and peace of mind to impart your knowledge to our inexperienced souls.

    thank you

  2. […] ලින්ක් එකක් ඇති කරන්න. කලකට ඉහත දී මම අන්ධ අයෙක් දිවෙන් බලා කඳු නඟිනා හැටි ග…. ඒ වගේ මේ තාක්ෂණය උපකාරයට ගන්නා අන්ධ, […]

  3. Inesh said, on දෙසැම්බර් 28, 2011 at 6:11 පෙ.ව.

    විශිෂ්ඨයි ඔබේ සටහන….


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: