අරුණි ශපීරෝ‍ වෙතින්

නිර්මාණාත්මක ගුණදොස්

Posted in Uncategorized by arunishapiro on ජූනි 15, 2010

දවසක් අල්ලපු ගෙදර සුදු ආච්චි කැත්තක් අරගෙන වත්තෙ තියන පොඩි ගහක් කපන්න නිෂ්ඵල වෑයමක. මගෙ සුද්දා ඒක දැකලා විදුලි බලයෙන් ක්‍රියා කරන කියත අරන් ගිහින් එක පාරෙන් ගහ කපලා දුන්නා. ආච්චිට හරි සතුටුයි. මෙන්න පහුවදා චොකලට් කේක් ගෙඩියක් හදාගෙන ආවා ස්තූති කරන්න. ආච්චිගෙ චොකලට් කේක් ගෙඩිය බිත්තර, සීනි, බටර් හා චොකලට් වලින් පිරිල ඉතිරිල. අපි ආචාරශීලී ලෙසින් ස්තූති කරල කේක් ගෙඩිය බාරගත්ත.

මෙන්න තව සතියකින් දෙකකින් මෙයා තවත් කේක් ගෙඩියෙක් ගෙනත් දුන්නා. අපි ඒකත් ස්තූතියෙන් බාරගත්ත. දැන් අපට මාස්පතා කේක් ගෙඩියක් ලැබෙන්න පටන් ගත්ත. හරි වැඩේ. ආච්චිගෙ හිත රිද්දවන්න අකැමතියි. ඒත් නිකම් ලැබුනට කේක් එහෙම මාස්පතා කන්න ගියොත් අපි බැලුම් බෝල වගෙ පිම්බෙයි. ඉතින් කේක් ගෙඩිය කෙළින්ම යන්නෙ කුණුබාල්දියට. අපරාදේ. අනික ආච්චි කේක් හදන්නෙ එයාගෙ විශ්‍රාම වැටුපෙන්. බැරිම තැන මම සුදු ආච්චිට කිව්වා අපේ බර වැඩි වෙනවා කේක් කාලම. ඒ නිසා මීට පස්සෙ කේක් ගේන්න එපා කියල. එහෙම කිව්වෙ වෙන දේවල් ගැන කතා කරද්දි විහිළුවෙන්. එයා දැන් කේක් ගේන එක නවත්තලා කතාබහට විතරක් ගෙට ගොඩවෙනවා.

කෙනෙක්ගෙ හිත රිදවන්නෙ නැතිව ඇත්ත කියන්න පුළුවන් ද? මේක ගැන Emily Dickinson මෙහෙම කියනවා “Tell all the Truth but tell it slant” -සත්‍යය මුළුමනින්ම කියන්න, ඒත් පොඩ්ඩක් ඇදේට කියන්න. ඒ කියන්නෙ අදහස් කරන සත්‍යය දේ සිත නොරිදවා කීම සුදුසු බවයි.

සියළු දෙනාටම එහෙම පොඩ්ඩක් ඇදේට සත්‍යය පවසන්න හැකියාව නැති බව ඔබ දන්නවා ද? Asperger’s syndrome තිබෙන අයට සමාජ සබඳතා වලදී සිතේ ඇති අදහස එලෙසින්ම කීමේ දී සමාජය ඊට ප්‍රතිචාර දක්වන ආකාරය කෙසේදැයි වැටහෙන සේ මොළය සකස් වී නැත.

තවත් සමහර අයට බොරුවක් කීම නිසා (කෙනෙකුගේ සිත සනසන්නට පුංචි බොරුවක් වුවත්) එයින් බලවත් චිත්ත පීඩාවක් විඳින්නට සිද්ධ වේ. කෙළින්ම කියන ඇත්තෙන් අනික් අයගේ හිත රිදුනත්, යාළුකම් නැතිව ගියත් ඇත්ත කියන්නාගේ සි‍ත සැනසිල්ලේ පවතී. එනිසා ඔවුන්ට සත්‍යය වසන් කරගෙන සිටීම මහත් දඬුවමකි. ඇදේට ඇත්ත කීම ඔවුනට කරදරයකි.

වේවැල් කෝටු පාර දී නොතලා හදන ළමයත් හැඳි නොගෑ හදන හොද්දත් එක හා සමානයි කියපු කාලයට පසු කාලයක දී දරුවන්ගෙ හොඳ විතරක් කියන්න යයි ද මතයක් පැවතුණි. ඕනැම දෙයක් කරාට පස්සෙ ළමයා හරි ෂෝක් කියපු නිසා දැන් කිසි ගුණ අගුණ නොදන්නා ළමා පරපුරක් තමන්ට හැමෝම ‍මොනව කළත් හොඳින් සලකන නිසා ඕනැම දෙයක් කරන්නට පෙළඹී සිටිති. කෙනෙකුගේ චර්යාවත්, ඒ අය එසේ හැසිරීම නිසා ඇතිවන ඵල විපාක ගැනත් අවබෝධයක් ලබන්නට නම් අපහසු දැයක් තනිවම කර ජයක් ලබාගන්නට අවස්ථාවක් දරුවකුට තිබිය යුතුයි. එයින් එම දරුවා ද කියන්නන් වාලේ අහන කියවන අනුන්ගේ මත නොව තමන් විසින් විචාරා ගුණදොස් වටහා ගැනීමට හුරුවක් ලබයි.

අපි කියවීම සඳහා උපන් සත්වයෝ නොවෙමු. මනුෂ්‍යයා කියවන්නට හැකියාව වඩා ගත්තේ වසර දහස් ගණනකට පෙරදීය. මෙසේ කියන්නේ Proust and the Squid පොත ලියූ Maryanne Wol‍f විසිනි. Marcel Proust ලියන ලද On Reading පොතෙන් කොටසක් ඇය උපුටා දක්වයි. එහි සිංහල අනුවාදය මෙසේය.

“ප්‍රියතම පොතක් සමඟ ගෙවූ තරම් පරිපූර්ණයෙන්ම රසවත් දින අප බාලකාලයේ වෙනත් නොමැත. දිනයේ අනිකුත් සියළු කරදර බාධක මැද්දේ පූජනීය වූ සතුටක් පොතෙන් වින්දමු. පොතේ වඩාත්ම කුතුහලය දනවන පරිච්ජේදයේ දී මිතුරෙක් සෙල්ලමකට කැඳවන්නට පැමිණීම, කරදරකාරී මී මැස්සෙක් හෝ හිරු එළි පහරක් වැටෙන නිසා පොතෙන් ඇස් ඉවතට ගෙන වෙනත් ආකාරයට හිඳ ගන්නට සිදුවීම; හවස් කාලයේ කන්නට ගෙදරින් දුන් යමක් කටක් වත් නොකා බංකුවේ අමතක වී දමා යාම, නිල් ආකාසේ හිරු බැසයාම නොදැක; රෑ කෑමට යන්නට සිදුවීම, රෑ කෑම ගනිද්දී අර ‍නැවතු තැනට ආපසු යාම ගැන හිත හිතා සිටීම, යනාදි සියල්ලම අපේ මතකයේ ඇත්තේ පොත රසවින්දනයට පමුණුවන ලද බාධා විලසටය. එය කොතරම් සුන්දර මතකයක් ලෙසින් අපගේ හිතට කා වැද ඇති ද කියතොත් ළමා කාලයේ රස විඳි පොතක් අද අතට ගත්කල පිටුවක් පෙරළද්දී ආදරයෙන් පිරි මිහිරියාවක් සිතට දැනේ. නැතිව ගිය බාලකාලයේ අප සුරැකි කැලැන්ඩර එයයි. නැවත පිටුවක් පෙරළද්දී අපි සොයන්නේ එදා එහි කියැවූ නැතිව ගොස් ඇති පොකුණු හා ස්ථාන වලින් ලැබූ රසවින්දනයයි.”

හොරෙන් පොත් කියවන්නට තැන් සොයාගත් අපි, ළමා කාලයේ අපි ප්‍රිය කළ කර්තෘවරුන් මැවූ චරිත ඔස්සේ, තැන් ඔස්සේ ගොස් අපේම ලෝකයක් මවා ගත්තෙමු. එදා අපිම සොයාගෙන කියැවූ පොත ගැන අපි විසින්ම මතයක් ගොඩනඟා ගත්තෙමු.

අද දිනයේ අපි යමක් කියවන්නේ ළමා කාලයේ වූ ඇරුණු මනසින් නොව වැසුණු මනසකින්ය. පිළිගත් මතයක සිට කියවා අවසන් කරන්නටත් පෙරම පක්ෂව විපක්ෂව ගුණදොස් කියන්නට පෙළඹෙන්නේ දැන් අපි සියල්ල දන්නා අය බවට පත්වීම නිසා ද?

නිර්මාණාත්මක ගුණදොස් නොහොත් constructive criticism පළකරන්නට දන්නේ ඉතාමත් සුළු පිරිසකි. කියන්නන් වාලේ අනිකුත් අය විසින් කියන ගුණදොස් ඒ ආකාරයෙන්ම තමන් ද කියන අය වැඩිය. මෙසේ ගිරව් මෙන් නැවත ප්‍රචාරය කරන ගුණදොස් තමන්ගේ මතය යයි අල්ලා ගෙන ඉන්නා අය ඒ තමන්ගේ මතය ද නැද්ද කියා සිතා බලා නැත. මේ දිනවල අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන ෆුට්බෝල් ශූරතා පිටි කන් රිදවන vuvuzela නලා හ‍ඬෙන් පිරී පවතින බවට චෝදනා හැම අතින්ම ඇහේ. හැමෝටම එය කන්දොස්කිරියාවක් නම් ඊට තහනමක් වැටෙනු නොමැති ද?

යමක් පීඩාකාරී යයි නිතර නිතර ඇහෙන කළ, කියවන කළ, දකින කළ එය පීඩාකාරී යයි පිළිගන්නට සිත ද සමත් වෙයි. එසේම කවුරු කෙසේ කීවත් එය එසේ නොවේ යයි පිළිගන්නා අයට වෙනස් දෙයක් ලෙහෙසියෙන් පෙන්වා දිය නොහැකිය.

තමන් හරියාකාරව නොදන්නා දේ ගැන ගුණදොස් කියන්නට යෑමේ අවදානමක් ඇත. එනම් මෙතෙක් තමන් පමණක් දැන සිටි තමන්ගේ දැනුමේ ඇති අඩුපාඩු හා තමාගේ විවේචනයේ අඩුපාඩු ඒ ගුණදොස් කීමෙන් පසු තමන්ටත්, අනිත් අයටත් පෙනී යාමයි. වැරදි පිළිගන්නට කැමති අයට නම් ඒ ගුණදොස් ගැන ලැබෙන ප්‍රතිචාර වලින් තමන් මුලින් කියූ අදහස් හා මතවාද පසුව නිවැරදි කරගැනීමට හැකිය. පැත්තක සිට පමණක් බලන්නට පුරුදු වූ අයෙකුට පෙනෙන්නෙ අල්ලා පොදිබැඳ ගෙන ඉන්නා ඒ පැත්ත පමණි. තම දැනුමේ ඇති අඩුපාඩු හා තමාගේ විවේචනයේ ඇති අඩුපාඩු ඇරුණු මනසින් නොසිටින්නාට නොපෙනේ.

එසේම තමන් පිළිනොගන්නා ඕනෑම අදහසකට එරෙහි වී ගුණදොස් කෙසේ වෙතත් තමන් අල්ලාගත් මතයේ හිඳගෙන සුහද විචාරයක යෙදිය නොහැකි කළ නොදන්න පුද්ගලිකත්වයට පහර දීම ද සමහර පිරිසකගේ හැදියාවයි. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ මතයට එකතුවන අය හා පමණක් ඇසුරටත් ඔවුන් හා විරුද්ධ මතවාදී අයට පන්න පන්නා පුද්ගලික මඩ පහර දීමටත් පමණි. ඒවා මඩ පහරවල් යයි පැහැදිලිව පෙනී යද්දීත් එහිම නියැළෙන පුද්ගලයා මනුෂ්‍යත්වයටත් නිගා කරන්නෙකි.

ගුණදොස් කියන්නට ඉක්මණින් ඉදිරිපත්වන ගජ හපනුන් බොහෝ විට කිසිත් අසීරු කාර්යයක් තමන් විසින් ජය නොගත්තවුන්ය. තම වෙහෙසින්, උත්සාහයෙන් හා වැරදීම් තුලින් ඉදිරියට යන්නා තව තවත් නිහතමානී හා නිරංහකාර බවින් පිරි පුද්ගලයෝ බවට පත් වෙද්දී, ගුණදොස් හොයන්නට පමණක් කාලය වැය කරන්නා දකින්නේ ද ලෝකයාගේ ගුණදොස් පමණි. ඔවුන් කිසිම සොයාගැනීමක් කර නැත. අනුන් යමක් කරන තුරු බලා සිට ගුණදොස් කියන්නට පෙළ ගැසෙති.

දොස් කියන්නට කෙනෙක් ඉදිරිපත් වෙද්දී දොස් කිය යුත්තේ තමන්ට ලැබී ඇති තොරතුරුවල ඇති දොස් පමණි. අනුමානයෙන් හෝ කටකතා වලින් එන දොස් නැවත ප්‍රචාරය කිරීම තමන් තවත් අයෙකුගේ අත කොළුවක් බවට පත්වීමකි. නොදන්නා තොරතුරු ගැන දොස් කීමට පෙර ඒවා සොයා බලා විභාග කළ යුතුය. එසේ නොහැකි නම් දොස් කීම නොමනාය.

ගුණ කියන්නට ද ඉක්මන් වන අය සිටිති. ගුණ කීමට පෙරත් වග විභාගයක් අවශ්‍යයය. පුද්ගලයා‍ගේ අරමුණ හා කුසලතාවය කුමක්දැයි සොයා නොබලා ගුණ කියන්නට ඉදිරිපත් වූ නොබෙල් සාම තෑග්ග පිරිනමන කණ්ඩයාම පසුගිය නොබෙල් සාම තෑග්ග බරාක් ඔබාමාට පිරිනැමුවේ ඔහු අනාගතයේ කරන්නට යන දේවල් සඳහාය. තවමත් ඔහු කළ දෙයක් නම් නැත. තෑග්ගට සරිලන මෙහෙයක් ඔහු අනාගතයේ කරනු ඇතැයි බලා සිටිමි!

8 Responses

Subscribe to comments with RSS.

  1. ඉන්දික උපශාන්ත said, on ජූනි 17, 2010 at 1:32 ප.ව.

    Wye no one comment on this post!

  2. V said, on ජූනි 28, 2010 at 6:35 පෙ.ව.

    Thank sis
    This is really important!
    Everyone should read this

  3. kathandarakaraya said, on ජූලි 8, 2010 at 3:56 පෙ.ව.

    මං දෙන්නං විවේචනයක්, අර කන්ට්‍රක්ටිව් ජාතියේ.

    මං මේ ලිපිය ගැණ දැන ගත්තේ අද ඉන්දික උපශාන්ත මගේ ලිපියකට දාපු කමෙන්ට් එකක් නිසයි.

    මගේ විවේචනය තමයි අරුණිගේ බ්ලොග් එකේ බ්ලොග් පෝස්ට් ලිස්ට් එකක් නැති එක. තියෙන්නේ මාස ලයිස්තුවක් විතරයි. දින දෙක තුනකට පස්සෙ කෙලින්ම අළුත් පෝස්ට් එකකට ආපුවාම, පරණ ඒවයේ හෙඩිං පේන්නේ නෑ.

    අද මේ ලිපය හොයා ගන්නත් මාස තුනක ලයිස්තු බලන්න උනා. අප්‍රියෙල් සිට ආපස්සට.

    • arunishapiro said, on ජූලි 8, 2010 at 6:41 පෙ.ව.

      kathandarakaraya, හොඳ විවේචනය. ලොකු අඩුවක් තමයි. මේ දවස්වල වැඩ‍ ගොඩයි. සීත කාලය ආවම තමයි ඉතින් බ්ලොග් පෝස්ට් ලිස්ට් ගැන හිතන්න පුළුවන්. එතෙක් ඔය දකුණු පැත්තෙ සෙවීම් කොටුව උපකාර කරගන්න වෙනවා. මතක තියාගන්නම් අඩුපාඩුව සකස් කරගන්න. ස්තූතියි.

  4. පුතා said, on ජූලි 8, 2010 at 6:04 පෙ.ව.

    මමත් මේක කතන්දරගෙ comment වල තිබිලා තමයි දැන ගත්තේ… තැන්ක් යූ වේවා කතන්දරට ලින්ක් එක දාල තිබුනු එකට…
    මං හිතන විදිහ හරිද මන්දා… හැබැයි මේ මට හිතන විදිහ… හැමදේටම හොඳ කියන මිනිස්සුන්ට වඩා නරක කියන මිනිස්සුන්ගෙන් ගන්න දෙයක් තියෙනවා…

    • arunishapiro said, on ජූලි 8, 2010 at 6:49 පෙ.ව.

      පුතා, ඇත්තක් තියනවා. සමහරු හොඳ කියන්නෙ හොඳ නිසා නොවේ. තරහ වෙයි කියල බයට, චාටුවට සහ වැඩ කරවාගන්න වගේ හේතු නිසා. නරක කියන අයගෙන් ගන්න තියන දේ සොයන්න වෙහෙස වෙන්න ඕනා. මොකද නිතරම නරකම කියන කොට අහගෙන ඉන්නත්, කියවන්නත් අප්‍රිය නිසා. ඇයි අපිට බැරි හොඳ සහ නරක දෙකම ගැන පියවි සිහියෙන් පැත්තක් නොගෙන බලන්න කියන්න පුරුදු වෙන්න. නරක කියන කොට බනින විදියට, කැත වචන යොදා, තරහ නොගෙන, හොඳ කියන කොට බයට, චාටු නොදා, හොඳ කියපු එකට ආපසු යමක් බලාපොරොත්තු නොවී?

  5. namaknehe said, on ජූලි 8, 2010 at 9:10 පෙ.ව.

    අට ලෝ දහමෙන් කම්පා නොවී ඉන්න හැකියාව තියනව නම්, තමන් කරන දෙයට අරමුණක් (යහපත්) තියනවා නම්, මොන විදිහේ විචාර, විවේචන, බොරු (අවංක නොවන) ප්‍රශංසා ලැබුනත් ගැටළුවක් නැහැ නේද? ලෝකයේ ඉන්න පුද්ගලයෝ විවිධයි, හැසිරීම විවිධයි, අදහස් ප්‍රකාශ කරන විදිහ විවිධයි, ප්‍රතිචාර දක්වන විදිහ විවිධයි කියල අපි අත්දැකීම් අනුසාරයෙන් ලබාගෙන තියන අවබෝධය ක්‍රියාවට නංවන්න අපිට මෙතරම් අමාරු ඇයි?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: