අරුණි ශපීරෝ‍ වෙතින්

ආගමූඪ, ටච්ඩවුන් ජීසස් හා වෝල්ටෙයා

Posted in Uncategorized by arunishapiro on ජූනි 16, 2010

පසුගිය සඳුදා රාත්‍රියේ හෙනයක් වැදී ඔහායෝ ප්‍රාන්තයේ “ටච්ඩවුන් ජීසස්” නමින් සුපතල වූ ජේසුතුමාගේ සුවිසල් ප්‍රතිමාවක් පිළිස්සී ගියේය. මීට Touchdown Jesus යයි නම් වැටී තිබුනේ ඇමෙරිකන් ෆුට්බෝල් තරඟයක දී ලකුණු ලබාගත් බව පෙන්වීමට තරඟ විනිසුරුවන් අත් උස්සන ආකාරයට ප්‍රතිමාවේ අත් නිමවා තිබීම නිසාය.
පින්තූරය http://newsfeed.time.com වෙතිනි.

ඇමෙරිකන් බ්ලොග් අවකාශය පුරා හාස්‍ය දනවන බ්ලොග් සටහන් වැටුණි. දෙවියන්වහන්සේ කමෙන්ටු සඳහා නැත යයි ද, ටච්ඩවුන් ජීසස්‍‍ට තරඟය නිමා වූවා යයි ද, නැවත ප්‍රතිමාව නඟා සිටුවන බව ද (මළවුන්ගෙන් නැඟිටීම සේ) යනාදිය ඒවා අතර විය. ඒ අතර රටේ පවතින තත්වය ගැන උඩ ඉන්න දෙවියන් කෝප වී ඇතැයි ද සමහරු කියන්නට විය. තවත් අය ප්‍රතිමාව සිත්කළු ලෙස නිමකර නොමැති බව හෙන වදින්නට වූ හේතුව යයි ද ඉදිරිපත් කරන ලදි.

විමර්ශනයෙන් තොර ජීවිතයක වටිනාකමක් ඇත් ද? එහෙත් විමර්ශනයට බොහෝ දෙනා පසුබට වන්නේ ඇයි? විමර්ශනය කරන්නට නොදන්නාකම ද? නැතහොත් විමර්ශනය කළහොත් දකින නුහුරු සත්‍යයට මුහුණ දෙන්නට ඇති අකමැති බව ද? නැතහොත් විමර්ශනය කිරීම පවක් යයි කාලාන්තරයක් තිස්සේ අපට කවා ඇති අදහසක් නිසා ද? (බෞද්ධාගමේ මෙම සංකල්පය නැතත් එය විශ්වාස කරන අය සිටිති.)

එල්බගත් මතයේ සිටීම ඉතා පහසුය. එය නිතර අඳින්නට ප්‍රිය කරන ඇඳුමක් වැනිය. ගතට දමන කල ඇඟට සනීපය. කණ්ණාඩියක් ඉදිරියට ගොස් එය වතට ගැලපේ ද කියා බලන්නට උවමනාවක් නැත. වස්ත්‍රය හොඳට හුරු පුරුදු නිසා එය ඇඟලා ගත් කල සැහැල්ලුවෙන් කාලය ගෙවත හැකිය. එය හැඳ සිටින විට සම්පූර්ණ පෙනුම කෙසේදැයි හොඳින් දන්නා නිසා අඩුපාඩු විමසීමක් අවශ්‍ය නැත.

වැඩිහිටියන්ට ගරු කිරීම හොඳ යයි අපි සිතමු. එහෙත් වැඩිහිටියා ගංජා ගහන හා අපරාධ කරන අයෙක් නම් එවැන්නාට ගරු කිරීම හොඳද? හොර බොරු වංචා කරන වැඩිහිටියාට ගරු කළ යුතුද? වැඩිහිටියා නොදන්නා දේ දන්නා ලෙසින් පුන පුනා කියද්දී ඒවා පිළිගැනීම හොඳ ද? වැඩිහිටියෙක් වැඩිහිටියෙක් වූ පමණින් කියන්නට අවනත විය යුතුද?

වැඩිහිටියෝ, ගුරුවරයෝ, ආගමික නායකයෝ හා දේශපාලනඥයෝ යනාදී අපගේ ජීවිත වලට බලපෑම් කරන්නට හැකි බොහෝ අය මෙතෙක් කාලයක් ලෝකයේ තමන්ගේ “තත්වය” රැක ගත්තේ තමන්ගේ “බලය” යටහත් පහත් පුද්ගලයෝ විචාරයක් විමසිල්ලක් නොමැතිව පිළිගත් හෙයිනි. එසේ පිළිනොගන්නා විට උරුමයෙන් කපා හැර, දැනුම ලබා නොදී, ආගමෙන් පන්නා හැර සමාජයේ කොන් කරවා, තනිවම දියුණුවන්නට ඉඩ නොදී කඩොළු බඳින්නට හැකියාව පීඩකයන්ට තිබුණි. එහෙත් අද ලෝකයේ මෙම තත්වය කෙමෙන් වෙනස් වන බව පෙනී යයි.

දුප්පතුන් පිරි ලෝකයක සුළු පිරිසක් වන සත් ගුණවත් ධනපතියන්ට පක්ෂව ප්‍රසිද්ධියේ කතා කරන්නට ඇති අකැමත්ත සේම, වමේ ඇති දොස් අනේක සංඛ්‍යාවක් දැක දැක එහෙත් දකුණේ ගුණයක් දෙකක් ගැන ආවඩන්නට ද නොහැකියාව සේ ද, ආගම් ගැන ද බලවත් අප්‍රසාදයක් හට නැඟී ඇති වුවත් එයට ද කිසිත් නොකියා සිටින අය බොහෝය. තත්වය මෙසේ නිසා ආගමික නායකයෝ තමන් නිවැරදි යයි තව තවත් උඩඟු වෙති.

අද දිනයේ අර නිශ්ශබ්දව පැත්තකට වී තමන්ගේ පාඩුවේ සිටි අයට ඉහතින් කී වැඩිහිටියන්, ගුරුවරුන්, ආගමික නායකයින් හා දේශපාලනඥයන් වැනි පීඩකයන් විසින් කරන මූඪ කටයුතු ගැන අප්‍රසිද්ධියේ කතාබහට මාර්ග පෑදී ඇත. එයින් පීඩකයෝ විසින් තම මතවාද කොතරම් නිවැරදි යයි ද අනිත් සියල්ලෝම කොපමණ වැරදි යයි ද පෙන්වා දෙන්නට තැත ගත්ත ද එයට හසු නොවී ඉන්නට පීඩිතයාට හැකියාව ලැබෙන ලෝකයක් කරා නිදහස් මතධාරියා ඉබි ගමණින් ආරම්භයක් පටන්ගෙනය.

Religulous (2008) නම් Bill Maher විසින් “religion” (ආගම) සහ “ridiculous” (මූඪ) යන වචන දෙක එකතු කර ආගම්වල ඇති මූඪ බව විමර්ශනය කරන විස්තරාත්මක චිත්‍රපටියකි. දෙවියන් විශ්වාස කරන යුදෙව්, ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් ගැන හා ‍තවත් අභූත ආගම් පමණක් ඔහු විමසිල්ලට ගත් නිසා ඔහුගේ විචාරයෙන් බුද්ධාගම බේරි ඇත. හැම ආගමක්ම තමන්ගේ ආගම වඩා නිවැරදි යයි පෙන්වන්නට ගන්නා උත්සාහයත්, පැහැදිලිව පෙනෙන අඩුපාඩු ගැන කතා කරන්නට ඇති අකැමැත්තත් විමර්ශනය කරන මෙම චිත්‍රපටියේ Bill Maher නැඟූ ප්‍රශ්නවලට කිසිම ආගමික නායකයෙකුට පැහැදිලි හා තාර්කික වූ පිළිතුරු දීමට නොහැකි වුණි.

උදාහරණ කිහිපයක් මෙසේය.

බයිබලය ලියූ අය දෙවියන්වහන්සේ හෝ ජේසුන්වහන්සේව හමු නොවුන අයයි. එසේනම් බයිබලය ආගම හැදැරීම සඳහා අත්පොතක් වන්නේ කෙසේද? පරණ තෙස්තමේන්තුව හා අළුත් තෙස්තමේන්තුව අතර වෙනස්කම් ගැන පැහැදිලි කිරීමක් වෙනුවට ඒ දෙකින් කැමති කැමති කොටස් පමණක් ක්‍රිස්තියානි ආගමික නායකයෝ ලබා ගනිති. වතිකානුවෙන් ඔහු අහන්නේ පාප්තුමා ගැන බයිබලයේ කොතැනක සඳහන් වී ඇත් ද කියාය!

යුදෙව් ආගමිකයෝ සිකුරාදා ඉර බැස යද්දී සැබත් නම් වූ විවේක කාලයක් ආරම්භ කරති. එය ආගමික කටයුතු සඳහා වෙන් කරන බොත්තම් එබිය නොහැකි, වාහන පැදවිය නොහැකි යනාදී තහනම් කටයුතු වලින් යුතු “නොනගත” කාලයකි. එහෙත් ඊශ්‍රාලයේ සැබත් කාලයේ ටැක්සියකින් ගමනක් යන්නට නියමිත මිලට වඩා දෙගුණයක් ගෙවිය යුතුය. එය තහනම් නීතිය කඩ කිරීම නිසා කාට දෙන දඬුවමක් ද? Bill Maher ඊශ්‍රාලයේ විද්‍යා පර්යේෂණ ආයතනයක සිකුරාදා දවස් කාලයේ සිට “නොනගත” කාලය අවසන් වන සෙනසුරාදා සවස් කාලය තෙක් යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකිරීමට කටයුතු සකසා ඇති ආකාරය ප්‍රශ්න කරයි. දෙවියන්වහන්සේ එපා කියා ඇත්නම් අතින් නොකර යන්ත්‍රානුසාරයෙන් “ඉ‍බේ” කරන්නට කටයුතු කිරීම පවක් නොවන්නේ ද?

අන්තවාදී නොවන මුස්ලිම් අය මහත් උත්සාහයක් දරන්නේ මුස්ලිම් ආගම අනුව එහි අනුගාමිකයන් නොවන අයව මරා දමන්නට කියා නැතැයි පැහැදිලි කරන්නටය. Bill Maher විසින් Salman Rushdie විසින් ලියූ The Satanic Verses ගැන මුල්ලාවරුන් කියූ කතා පෙන්වයි. එසේම ඕලන්ද පත්‍රයක මහම්මත්තුමා පිළිබඳව යයි පැතිර ගිය කාටුන් පළකිරීම නිසා මුස්ලිම් ලෝකය පුරා ඊට දියත් වූ විරෝධතා ව්‍යාපාර ගැන කතාබහ කරන්නට ඔහු Theo Van Gogh නැමති සිනමාකරුවා මරණයට පත්කළ ස්ථානයට යයි. ලොව බිලියනයක් ඉන්නා මුස්ලිම් ජාතිකයන් ලොව මිලියන 14 ක් ඉන්නා යුදෙව්වන් නැතිභංග කරන්නට යන්නේ ඇයි දැයි ඔහු විමර්ශනය කරයි.

ආගමේ නාමයෙන් පැවති හා අද දිනයේ ද පවතින්නා වූ යුද්ධ ගැන සිතද්දී වෝල්ටෙයාර් විසින් කරන ලද සඳහනක් නිවැරදි යයි සිතිය හැකිය. “නිරර්ථක දෑ විශ්වාස කරන්නට ඔබව පොළඹවිය හැකි අයට ක්‍රෑර දෑ කිරීමට ද ඔබව පොළඹවිය හැකිය.” (Those who can make you believe absurdities can make you commit atrocities. -Voltaire)

ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් සමඟ හරි හරියට සටන් වදින්නට මෙන් නූතන ලංකාවේ බුද්ධාගම ද අමුතුම විලාසිතාවකට නැඹුරු වෙමින් පවතී. මහා පරිනාම ව්‍යාපාර ලෙස පන්සල් හා භාවනා මධ්‍යස්ථාන ඉදිවෙන්නේ මිනිසාගේ හිතසුව පිණිස ද නැතහොත් මිනිසා මුලාකර ආගම ව්‍යාපාර කරගන්නටදැයි විමර්ශනය කළ හැකිය. ඒවාට පුද්ගලයෝ ඇත්තෙන්ම රැවටෙනවා ද? නැතහොත් යන්නට ඩිස්නිලන්තයක් නොමැති නිසා පෙළගැසී කුමන රැල්ලකට හෝ එකතුවනවා ද?

ලෝකය මැවූ දෙවියන්වහන්සේ විශ්වාස නොකරන බුද්ධාගමේ අගය ලොවට කියා දෙනවා වෙනුවට, ඊර්ෂ්‍යයා සහගත දෙවියන්වහන්සේ අත්හැර බුද්ධිමත් මිනිසා දෙවියන් අදහන ආගම් වලින් අයින් වෙද්දී, නැති දෙවියන් වද්දා ගෙන ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම්වල තියන භේදවාදය බුද්ධාගමටත් වද්දා ගන්නේ කුමකට ද? ඒවාට කිසිත් නොකියා නිහඬව ඉන්නා අය කරන්නේ බුද්ධාගමට හිතෛෂී බව පෙන්වීම ද නැතහොත් හතුරුබව පෙන්වීම ද?

2007 දී ආරම්භ කරන ලද විශ්වයේ මූලාරම්භය දෙවියන්වහන්සේ විසින් යයි පෙන්වා දෙන කෞතුකාගාරයක් ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ඇත. ජේසු කුරුසිය රැගෙන ගිය ආකාරය රඟ දක්වද්දී එය නරඹන්නට එන කාන්තාවෝ මෙන්ම හැඩිදැඩි පිරිමි ද හඬා වැලපෙති. වසරක් ගෙවී යද්දී ඊට ඩොලර් 20 ක් ගෙවා (සමහරු නොමිලේ ඇතුල්වීම් ලැබූහ) පැමිණි සංඛ්‍යාව මිලියන භාගයකි. ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ ඩිස්නි Magic Kingdomයට පමණක් 2007 දී පැමිණි සංඛ්‍යාව මිලියන 17 කි!

11 Responses

Subscribe to comments with RSS.

  1. Jana said, on ජූනි 17, 2010 at 1:04 පෙ.ව.

    මීට මාසයකට පමන පෙර මිහින්තලේ දාගැබකටද හෙනයක් වැදී පිළිස්සී තිබිනි….. ඒ අවස්ථාවෙදී ඔබට මේ විමර්ශනය පිලිඹද සිතිවිල්ල පහල නොවූයේ ඔබත් බුද්ධාගමේ නිසාදැයි නොදනිමි……..

    සමහර විට ඇමරිකාවේ මෙන් ඔය විදියේ බුද්ධාගමට සම්බන්ද පුවත් ලාංකික වෙබ් අඩවි වල පල නොවීම නිසා ඔබට එය දැනගන්නට ලැබෙන්නට නැතුව ඇති…. මිහින්තලේ සිද්දිය සම්බන්ද එකම සටහන මා දුටුවේ Beyond Frame මගින් පමනි. (http://beyondframe.wordpress.com/2010/04/28/%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%94-%E0%B6%B8%E0%B7%84-%E0%B7%83%E0%B7%91%E0%B6%BA%E0%B6%A7-%E0%B7%84%E0%B7%99%E0%B6%AB-%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8F/). ඒ ලංකාවේ බුද්ධාගමේ භාවිතයයි……

    ලොව සෑම ආගමක් සම්බන්දවම විවේචන ඇත…. ක්‍රිස්තියානිය වැඩිදෙනා දන්නා හා අන් ආගම් වලට වැඩිම අභියොගයක් වූ ආගම නිසා එයට විවේචන වැඩිය….. ක්‍රිස්තියානියට සාපේක්ෂව බුද්ධාගමට විවේචන අඩු වී ඇත්තේ එහි ඇති අමුතු ශ්‍රේෂ්ඨත්වයක් නිසා නොව… ඒ පිලිබද ලෝකයාගේ නොදන්නා කමයි…. ලොව බොහෝ දෙනෙකුට බුද්ධාගම යනු ටිබෙටියන් දළයිලාමා පමනි…. බොහෝ දෙනෙකු එය ගැන දන්නේවත් නැත…. ඔබේ සටහනේ Bill Maher ගේ film එකට බුද්ධාගම අසු නොවුනේ බොහෝ විට එම කාරනය නිසා විය හැක…

    මා මෙහි විවේචන ලෙස අදහස් කලේ ආගම් භාවිතය සම්බන්ද කරුනු නොව… ආගම් වල හරයාත්මක කරුනුයි….. ඔබත් බොහෝ විට බුද්ධාගම විවේචනය කරනු මා දැක ඇත…. නමුත් ඔබත් විවේචනය කරන්නේ එහි භාවිතය සම්බන්දව පමනි………බුදුදහමේද සාමාන්‍ය පුද්ගලයකුට පිලිගත නොහැකි විකාර ඕනෑතරම් තිබේ උදා:(http://chamithar.blogspot.com/2009/07/buddhist-cosmology-1.htm)ඔබ දෙවියන් සම්බන්දයෙන් ගන්නා ආතල් එක මේක බැලීමෙන් අන්යාගමිකයන්ට ගත හැක. විමර්ශන, විවේචන මෙවැනි කාරනා සම්බන්දයෙන් අකැපද?? ඔබ අනුන්ගේ දෙවියන් ප්‍රශ්න කරනවාට වඩා තම ආගමේ මෙවැනි දේ ප්‍රශ්න නොකරන්නේ ඇයි…. බුදුන්ද පවසා ඇත්තේ එන්න… විමසන්න…. දකින්න… යනුවෙනැයි මා අසා ඇත….. නමුත් බුදුදහමේ නොවන්නේද එයයි….

    ජේසුස්ගේ ඉගැන්වීම් එලෙසම පිළිගන්නා කිතූනුවන් විවේචනය කරන ඔවුහු….බුදුන් කියූ නිසා ඉහත ආකාරයේ විකාර කරුනු හිස් මුදුනින් පිලිගනී…… මුහම්මද්ට දෙවියන්ගෙන් ලද වරම බොරුවක්යැයි කියන ඔවුහු….. සිද්ධාර්ත අග්‍ර බුද්ධිය (බුද්ධත්වය ) ලබාගත් බව (his claim that he achieved it) විමසීමෙන් තොරව පිලිගනී… එබැවින් බුදුදහමද අනෙකුත් එවා මෙන් අන්ධ භක්තියක් පමනි…… බුදුන් කියූ ලෙස එහි කිසිදු විමසීමක් කෙරෙන්නේ නැත…

    සැම ආගමක් සම්බන්දවම පොදු කරුන මෙයයි…. කිසිදු ආගමක් විද්‍යාත්මක පරීක්ෂන පවත්වා පරම සත්‍යයැයි ඔප්පු කල නොහැක (නමුත් ලංකාවේ සමහරු බුදුදහම විද්‍යාවට සම්බන්ද කිරීමට සෑහෙන දත කනු දක්නට ලැබේ)…. ආගමක ඇත්තේ මිනිසුන් තුල පවතින විශ්වාසයකි…. එය හරියාමට හෝ වැරදීමට පුලුවන…කිතුදහම,ඉස්ලාමය,යුදෙව් දහම,අදේවවාදය(atheism), බුදුදහම…. මේ හැම එකක්ම විශ්වාසයකි…. මේ හැමෙකකම වන්නේ තමන් කිසියම් විශ්වාසයක පිහිටා සිට අනෙකාගේ ව්ශ්වාසයෙහි වැරදි සෙවීමයි…. කිසිවකු සිය අඩුපාඩු, වැරදි සොයන්නේ නැත ඒ ඒ සිය ආගමට ඔවුන් තුල ඇති භක්තිය නිසා විය හැක….. කෙසේ වෙතත් ඒ සෑම ආගමකම ස්වභාවයයි….

    සැම ආගමකම භාවිතය සම්බන්දව වැරදි ඇත….එය කිතුදහමට, ඉස්ලාමයට පමනක් අදාල වූවක් නොවේ….. බුදුදහමේත් අනෙක් ඒවාට second නොවන තරමේ කොසු ඇත. උදාහරන ලෙස පහත පිටු දෙක කියවා බලන්න…
    * http://pulasthigetheeruwa.blogspot.com/2010/05/blog-post_26.html
    *http://pulasthigetheeruwa.blogspot.com/2010/05/blog-post_31.html

    තම සහෝදරයාගේ ඇසේ ඇති රොඩ්ඩ ඉවත් කිරීමට පෙර තම ඇසේ ඇති පරාලය ඉවත් කර ගත යුතු බව බයිබලයේ ඇත….. ඔබ බයිබලය නොපිලිගත්තත් එය ඔබේ ජීවිතයට වටිනා ඔවදනක් වනු ඇතැයි සිතමි…

    • arunishapiro said, on ජූනි 17, 2010 at 8:39 පෙ.ව.

      Jana, ඔබගෙ ප්‍රතිචාර සියල්ලටම ස්තූතියි. විචාරය අගයමි.

    • Grey said, on ජූනි 18, 2010 at 11:01 පෙ.ව.

      ඇත්තටම වෙන්න ඕනේ ආගම්වල තියෙන sugar coating එක අයින් කරල හරය ගන්න එක. ඉපදුනුගමන් නෙලුම් මල් උඩ යන එක, මැරිල දවස් හතකින් මරනයෙන් නැගිටීම ඔයවගේ ඒව අල්ලගෙන දගලන එක බොරු වැඩක්.
      නිකන් තමන්ගේ ආගම ලොකු කරල පෙන්නන්න හදන්න එක වැරදියි. නමුත් ඕනෙම ආගමක තියෙන හරය ගන්න සලකල වැඩ කරන්න තරම් බුද්ධි මට්ටමක් ගොඩක් අයට නැති එක හරිම කනගාටුවට කාරනාවක්. (හැම ආගමකම )
      අද ගොඩක් බ්ලොග් කරන්නේ නිකන් බොරුවට අනෙත් ආගම් වලට ගරහන එක. බ්ලොග් විතරක් නෙවෙයි. සමහර ආගමික ආයතනත් එහෙමමයි.
      අනික මම විස්වාස කරන එකක් තමා ආගමක් රටට ගැලපෙන්න පොඩ්ඩක් දේශීයකරනය වෙන්න ඔනේ කියලා නිකන් ප්‍රශ්න ඇති නොවෙන්න. (සුගර් කෝටින් එක් )
      ඔය ටික වටහ ගන්නකන් සහ අපේ ඉන්න අන් මත ඉවසන්න බැරි උන් ඉන්න කන් (මේක කියන්නේ නම් ඉස්ලාම් ආගම ප්‍රචාරය කරන, හරවත් සන්වාදයට සූදානම් නැති අඩවි දෙකකට ) ඔය ගැටලු දිගටම තියේවි.

  2. Jana said, on ජූනි 17, 2010 at 1:19 පෙ.ව.

    මගේ ඉහත කමෙන්ටුවේ දෙවන link එක එනම්

    /*බුදුදහමේද සාමාන්‍ය පුද්ගලයකුට පිලිගත නොහැකි විකාර ඕනෑතරම් තිබේ උදා:(http://chamithar.blogspot.com/2009/07/buddhist-cosmology-1.htm)ඔබ දෙවියන් සම්බන්දයෙන් ගන්නා ආතල් එක මේක බැලීමෙන් අන්යාගමිකයන්ට ගත හැක.*/

    වැරදි ලෙස සටහන්වී ඇත… කරුනා කර එම පිටුවට යාමට පහත link එක ඔබන්න……

    *** http://chamithar.blogspot.com/2009/07/buddhist-cosmology-1.html

    • kevin perera said, on ජූනි 22, 2010 at 11:47 පෙ.ව.

      jana ඉහත link එකේ ලිපියේ අන්‍යාගමිකයන්ට ගතහැකි ආතල් එක කුමක්දැයි නොතේරේ. අන්‍යාගමිකයන්ට අනුව විශ්වයේ අන්තැන්වල විවිධ වූ ජීවයන් පැවතිය නොහැකිද?

  3. Jana said, on ජූනි 17, 2010 at 1:47 පෙ.ව.

    //* නැතහොත් විමර්ශනය කිරීම පවක් යයි කාලාන්තරයක් තිස්සේ අපට කවා ඇති අදහසක් නිසා ද? (බෞද්ධාගමේ මෙම සංකල්පය නැතත් එය විශ්වාස කරන අය සිටිති.) *//

    බෞද්ධාගමේ මෙවන් සංකල්ප නැතැයි කියන්නේ කෙසේද…..????

    මට මගේ බොදුනු මිතුරකු කියූ පරිදි ලංකාවේ දැනුදු රහතන්වහන්සේලා රහසිගතව වාසය කෙරේලු….. ඔවුන් එලියට නොපැමිනෙන්නේ මිනිසුන් (අප වැන්නන්) එතුමන්ලාගේ රහත් බව ගැන ප්‍රශ්න කිරීමට ගතහොත්… එම නූගත් මිනිසුන්ට පව් පිරීමට ඉඩ තිබෙන බැවින්ලු………

    ඉතින් සාමාන්‍ය බොදුනුවෙක් මෙවන් කතා ඇසූ විට සිය දහම ස්වයං විවේචනයකට සැරසේද ???? ඔවුනට බුදුන් බුද්දත්වය ලැබීම නොව….. භික්ෂුවක් රහත් පල ලැබීමද විමසිය නොහැකිකොට……..

    *** Those who can make you believe absurdities can make you commit atrocities. -Voltaire
    ඇත්ත…….
    ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහුවෙ……… ඒකොන්ට බෝම්බ ගහන්න සෙට් වුනේ….
    සෝකෝ අසහාරා ගැනත් දන්නව ඇතිනෙ………ලංකාවටත් ආවෙ…… දන්නේ නැත්නම් බලන්න http://en.wikipedia.org/wiki/Shoko_Asahara

  4. කොලූ said, on ජූනි 17, 2010 at 1:26 ප.ව.

    People who always bad mouth against heroin don’t see how the bad side of wine or whisky. Whisky stinks. It make you wake up in a dumpster, naked, with a tattoo on your behind. And Cocaine, Oh! My God! Don’t even make me start talking about Cocaine. I think everyone see the wrong side of heroin because it is widely spread.

  5. පිටස්තරයා said, on ජූනි 18, 2010 at 4:28 පෙ.ව.

    Religulous නියම වාර්තා චිත්‍රපටියක්. ඒ වගේමයි Zeitgeist ව්‍යාපාරයත්. හැබැයි මේ දෙකේම ආගම් විවේචනය කලාට, අපේ අය ඒවා යොදාගන්නේ දේවාගම් විවේචනය කරන්න. බුද්ධාගම භාවිතයේත් ඒ වැරදිම තියෙනවා කියල හුඟක් අය හිතන්න කැමති නැහැ.

    • arunishapiro said, on ජූනි 18, 2010 at 9:34 පෙ.ව.

      පිටස්තරයා,
      ආගම් සියල්ලම නායකයෝ විසින් බලය තහවුරු කර ගැනීම සඳහා දියත් කරන “ව්‍යාපාර” බව පැහැදිලි වන්නේ වැරදි වසන් කිරීමටත්, විචාරයට ඉඩක් නොදීමත් නිසාය. මිනිසාට ජීවිතයේ ඇති ගැටළු පහදා ගැනීමට ආගමික නායකයෝ තම ආගම්වල ඇති අඩුපාඩු පිළිගෙන, තමන් නායකයෝ නිසාම සියල්ල දන්නවා යයි උඬඟු නොවී, මිනිසාව බයට පත්කිරීම යනාදියෙන් බැහැරව පොදු ජනයාගේ සුවසෙත පිණිස ක්‍රියා කරන්නට ඉදිරිපත්වන්නේ නම් ආගම් සංස්ථාවෙන් බුද්ධිමතුන් පළා නොයන්නේ ද?Zeitgeist මතක් කළාට ස්තූතියි. ඊ ළඟට ඒ ගැනත් ලියන්නම්.

  6. […] සටහන් කියවා නැවත මෙය කියවන්නට එන්න. ආගමූඪ, ටච්ඩවුන් ජීසස් හා වෝල්ටෙයා; ඇති සුගතිය හා නැති සුගතිය; දැනුම […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: