අරුණි ශපීරෝ‍ වෙතින්

දේශපාලනඥයෝ චිම්පන්සියෝ හා සමාන ද?

Posted in Uncategorized by arunishapiro on ජූනි 30, 2010

චන්දය ඉල්ලන කාලයට, ඒ කියන්නේ තමන්ගේ රැකියාවට යළි තෝරා පත්වන කාලයට පමණක් එළියට බහින්න හුරුව තිබි දේශපාලනඥයෝ අද “සේවය” සඳහා වරම් ලැබූ දා සිට කරන්නේ ආයෙත් තමන් තෝරා පත් කරගන්නා දිනය ළඟාවන තෙක් චන්ද එකතු කරන ක්‍රියාදාමයන් පමණක් ද?

අද ඇමෙරිකන් කොංග්‍රසයත් ඇමෙරිකන් සෙනෙට් සභාවත් තරඟයේ යෙදෙන්නේ කවුරු වැඩියෙන් ‍සමාජ සබඳතා සඳහා “යහළුවෝ” එකතු කර ගනියි ද කියාය. ඩෙමොක්‍රැට්‍රික් පක්ෂය ද රිපබ්ලිකන් පක්ෂය ද එසේම තරඟයක වෙති. Facebook හෝ Twitter හි “යහළුවෝ” සිටින සංඛ්‍යාව අනුව කෙනෙකු ජනප්‍රියත්වයක් දරන අයෙක් වන්නේ ද?

ජනමාධ්‍ය සියල්ලම කවදත් කළේ තමන්ව නරඹන, කියවන, සවන්දෙන සංඛ්‍යාව වැඩි වර්ධනය කරගන්නට උත්සාහයක යෙදීමය. ඒ ඔවුනට මුදල් සොයා ගැනීම සඳහාය. ජනමාධ්‍ය ආයතන යනු මුදල් ලාභ සොයන ආයතන වෙති.

ගෝත්‍රික සමාජයෙන් මෑත් වී බලය පෙන්නා පාලකයා වීම වෙනුවට මහජන කැමැත්තෙන් පාලකයා වන අද සමාජය තවමත් කටයුතු කරන්නේ ගෝත්‍රික සමාජයේ දී හැසිරි ආකාරයටම ද? බලය පෙන්වීමෙන් ද? එදා ගෝත්‍රයේ නායකයා කටයුතු කළ ආකාරයෙන්ම අද දේශපාලනඥයෝ විසින් කරන්නේ ද තමන්ට චන්දය එකතු කරගැනීම සඳහා තමන්ව නරඹන, කියවන, සවන්දෙන සංඛ්‍යාව වැඩි වර්ධනය කර ගැනීමක් නොවන්නේ ද?

දේශපාලනඥයා යනු ජනතාවගේ සේවයට කැප වූ අයෙක් මිස ඒ තනතුර මඟින් මුදල් වාසි වැඩි කරගන්නා අයෙකු විය නොයුතුය. එහෙත් වන්නේ ජනතා සේවයට පත්වන හැම අයෙකු ගේම පාහේ ආර්ථික මට්ටම ඉහළ යාමය. ජනමාධ්‍යය මුදල් හරිහම්බ කරගන්නට වැඩ සටහන් දියත් කරනවාට දොස් කියන්නවුන් ජනතාවට සේවය කරන න්‍යායයෙන් තම පසුම්බිය තර කරගන්නා දේශපාලනඥයා තුලින් දොසක් නොදකිති.

චිම්පන්සියෝ ද මිනිසුන් මෙන්ම අසල්වැසියෝ සමඟ ගරිල්ලා (ගෝරිල්ලා නෙමෙයි) යුද වදින්නෝය. ඒ මිනිසුන් මෙන්ම භූමියට අයිති කීමටය. මෙසේ කියන්නේ ජූනි 26 දා “ද ඉකොනොමිස්ට්” සඟරාවේ විද්‍යා හා තාක්ෂණ තීරුවේ නැමති ශීර්ෂයෙන් පළ වූ ප්‍රවෘත්ති ලිපියකි.

දේශපාලනඥයා යනු දේශයට පාලකයෙක් වීම සඳහා සටන් වදින, චන්දය දෙන අය සිටින භූමියට අයිතිය කියන්නට සටන් වදින්නෙකි. දේශපාලනඥයා චිම්පන්සියාට වැඩි වෙනසක් නැත්තෙක් ද?!!

දේශපාලනය යන්නට වෙනත් වචනයක් සිංහලෙන් යෙදිය යුතුද? අතීතයේ සිටම ලෝකයේ කොහෝ හෝ තැනක වූ කෝලාහල හා ගණුදෙනු සියල්ලටම මුල දේශයකට අයිතිය කියන්නට යෑම නොවන්නේ ද? දේශපාලනය බිහිවූයේ ද “දේශයක්” අත්පත් කර ගන්නට වූ “ගරිල්ලා” යුද නිසාය. අද දිනයේ ද වන්නේ එයමයි.

සිය සූට්කේසය පමණක් රැගෙන දේශයේ උසස්ම තනතුරේ සේවය සඳහා පැමිණි අයෙක් ඒ සූට්කේස් එකම පමණක් රැගෙන සේවය නිමකර පිටත්ව ගිය හැටි කලාතුරකින් ලංකාවේ මෙන්ම ඇමෙරිකාවෙන් ද අහන්නට ලැබෙයි.

ගෝත්‍රික සමාජයෙන් බැහැරව පාලකයන්ව අප විසින් තෝරා පත් කරගන්නට හැකි යුගයක නිසි පාලකයෝ පත් කරගන්නට ඉඩ නොදෙන්නේ වෙන කවුරුත් නොව අපි විසින්මය. දේශපාලන සබඳතා අපි ද පවත්වමු. “අපේ” යයි පැත්තේ වැරදි නොදකින්නටත් “අනිත්” පැත්තේ වැරදි පමණක් දකින්නටත් අපි හැඩගැසී ඇත්තේ චිම්පන්සියන් මෙන්ම අපේ ද දේශයට (භූමියට) අයිතිය කියා ගැනීමේ අභිලාෂයෙනි. “අපේ” පැත්තෙන් අපිට වාසි නිසා අපි ඔවුන්ගේ වැරදි දැක දැක අහක බලා ගනිමු.

දේශපාලනඥයෝ අන් රජයේ සේවකයන්ට වඩා ඉහළ තත්වයකින් තබා ගරු නම්බු පිරිනමා, ඔවුන් කරන වැරදිවලට දඬුවම් නොදී හා ඔවුන් බලයෙන් පහකර නොසිටින්නේ ඇයි? අනිත් සේවකයින්ගේ කාර්යක්ෂම භාවය මැන, ප්‍රගතිය මැන, පැමිණීම හා සමඟියෙන් වැඩ නිම කරන්නේ දැයි මැන, උසස්වීම් හා පඩිනඩි සාර්ථකත්වය අනුව ගෙවන අපි දේශපාලනඥයෝ වෙතින් බලාපොරොත්තු වෙන්නේ කුමක් ද? බලය අල්ලා ගැනීමට චිම්පන්සියන් මෙන් “ගරිල්ලා” සටන් වැදී අපිව විනෝදයට පත්කිරිම පමණක් ද?

චිම්පන්සි රෑනේ නායකයාට දක්වන බිය මුසු ගෞරවයම ඇති මිනිසා ද ගෝත්‍රික සමාජයෙන් බැහැරව වැඩි ඈතකට ගොස් නැත. තවමත් ලෝක සමාජයේ දේශපාලනඥයන්ට ඇත්තේ බිය මුසු ගෞරවයයි. ඔවුන් එසේ දේශය පාලනය කරන තනතුරු හොබවන්නට වෙනත් දක්ෂකමක් පෙන්වා නැති වූවාට කම් නැත. ජනතාවගේ කැමැත්ත රැස් කරගත හැකි වූ පමණින් ගෞරවයක් පිළිගැන්විය යුතු ද?

වැඩි සංඛ්‍යාවකගේ කැමත්ත ගන්නට හැකි පැහැදිලි ක්‍රම දෙකක් ඇත. එකක් බිය වද්දා තර්ජනයෙන් කැමැති කර ගැනීමයි. බිය වද්දා කැමති කර ගැනීමේ දී තව තවත් බියකර තබා ගැනීමට භීතිය දනවන ක්‍රියාවක් දෙකක් ඇස් ඉදිරිපිට පෙනෙන්නට සැලැස්විය යුතුය. කෙනෙක් දෙන්නෙක් ඊට එරෙහි වුව ද රැළ පිටින් භයෙන් පෙළට වැටෙති. කාලයාගේ ඇවෑමෙන් භීතිය කොතරම් දුරකට පවත්වාගෙන යන්නේ ද යන තුලාවේ පෙරළිය අනුව කැමැත්ත කාලයක් පවත්වා ගැනීමේ හැකියාව තීරණය වෙයි.

අනික් ක්‍රමය නම් ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම් කියා කැමැත්ත ලබා ගැනීමයි. පොරොන්දු ඉටු නොකළාට කම් නැත. පොරොන්දුවක් දීම පමණක් සෑහේ. පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූයේ තමන්ගේ උවමනාවට නොව අනුන්ගේ බලපෑම් නිසා යයි සමාව ලබාගත හැකිය. බොහෝ අයෙක් තමන් විසින් කළ පොරොන්දු ඉෂ්ට නොකර මඟ හරින්නට පෙළඹෙන අය නිසා ඉක්මණින්ම එසේ පොරොන්දු දී පසුව පොරොන්දු කඩකරන අයටත් සමාව ලැබේ.

‘කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ඇතැ’යි යන පදය නිසා අපි හැමදෙනාම වැරදි කරන්නවුන් කියා සලකා, කරන වැරදිවල‍ට සමාව දෙන්නට හුරුවෙන ලෝකයකට පා තබමු. වැරදි කිරීමෙන් ඈත් වන්නට ‍ධෛර්යයමත් කිරීම වෙනුවට මෙයින් සිදු කරන්නේ වැරදි කළාට කම් නැත, එය මනුෂ්‍ය ගතියයි, සමාව දී තව තවත් වැරදි කිරීමට පොළඹවීමයි.

අපේ දරුවන්ට යහපත් සමාජයක් ඉතිරි කර යෑම අපගේ අරමුණ වන්නේ නම් එයට ප්‍රාප්තවීමට අපි හැකි පමණින් අද දිනයේ කරන කියන කටයුතු වලින් අනාගතයට ඇති බලපෑම ගැන විමසිල්ලෙන් බලන්නට උත්සාහයක් ගත යුතුය. කිල්ලෝට වලින් හුණු ඉවත් කරගත යුතුය. වැරදි වලින් ඈත්විය යුතුය. නැතහොත් තවත් චිරාත් කාලයක් “අපේ” පැත්තට ආ වඩා, “අපේ” පැත්තෙන් ප්‍රයෝජන ලබා, රටට ලෝකයට හෝ “අපේ” දරුවන්ට කිසිත් සුවසෙතක් නොසලසා අපිත් මැරී යමු.

පක්ෂ දේශපාලනයෙන් ඈත් වීමට කාලය උදා වී ඇත. එක් ජනප්‍රිය පුද්ගලයෙක් වටා ගෙතෙන දේශපාලන රටාවක් ද, මහජන සුවසෙත යයි අරමුණු කරගත් සමාජය අගාධයට යොමුකරන අදහස් ද අළුත්වැඩියා කිරීමට කාලය උදා වී ඇත. වම වේවා දකුණ වේවා (දෙපැත්තම හරියාකාරව රටක් ගොඩ නඟා නැති බව ඉතිහාසයෙන් පෙනෙද්දී) දෙපැත්තම එකතු වී රටක වසනා ජනතාවගේ දියුණුව ගැන හිතන්නට ඒ කාර්යය බාර දුන් දේශපාලනඥයන්ව නැවත ඊට යොමු කරගැනීමට හැකියාව ඇත්තේ ද ඔවුනට චන්දය දී පත්කර ගන්නා ජනතාවටමය. නැතහොත් ගෝත්‍රික, වැඩවසම් වැනි යුගයන් අතරින් ආ අප ඉදිරි ගමනක් කවදා යමුද?

8 Responses

Subscribe to comments with RSS.

  1. DISHAN said, on ජූනි 30, 2010 at 1:10 ප.ව.

    MISS. I BE A SURPRISE YOU SEE IN THE SINHALA BLOG SITE. I SO MUCH LOVE YOUR FATHER MIR. SUMANADASA SAMARASINGHA. I AM A NEW READER FOR THIS. I AM GET MANASA LONG TIME. I LOVE TO READ ARTICLE MORE ABOUT WISDOM OF MIND REPLY ME………

  2. පියරු බබා said, on ජූනි 30, 2010 at 11:37 ප.ව.

    ඔන්න ආයෙත් මම කලින් පෙන්නපු දේම කරනවා: ඔයායි මමයි ඇමරිකාවෙ හිටියට මේක කියවන වැඩි දෙනා ඉන්නෙ මෙහෙ නෙවෙයිනෙ. ඉතින් ඒ ගොල්ලන්ට ඇමරිකන් දේශපාලන වාතාවරණය සම්පූර්ණයෙන් පෙනෙන්නෙ නැහැ. ඔයා ඔයාගෙ අදහස් වලට ගැලපෙන විදිහට ඇමරිකන් දේශපාලනයෙන් සිද්ධි කීපයක් තෝරගෙන ‘මෙන්න සාක්ෂි’ කියල මැජික් එක වගේ පෙන්නනව. ඒ අතින් ඔයාගෙ blog එකෙයි Glenn Beck ගෙ වැඩසටහනෙයි වැඩිය වෙනසක් නැහැ.

    උදාහරණයක් විදිහට Libertarianism ගැන කලින් ලිපියක ගැන කතා කළා; නමුත් ඔයා කතා කරන්නෙ Libertarian වාදයට නඹුරුව බව එලිපිට කිව්වෙ නැහැ. Libertarians ලෙස හඳුන්වාගන්නා Rand Paul වගේ අය ඇමරිකන් දේශපාලනය තුල මොකද කරන්නෙ කියල කිව්වෙ නැහැ. Affirmative Action ඇති කිරීමට මුල්වූ හේතු කිව්වෙ නැහැ. ලංකාවෙ ඉඳන් කියවන අය (ඒ අතරම ඇමරිකාවෙ හිටියත් ඇමරිකන් දේශපාලනය ගැනැ දැනීම අඩු අය ) මේව දන්නෙ නැහැ. ඉතින් ඒ ගොල්ලන්ට ඔය ලියන අදහස් වල ඇති වැරදි පේන්නෙ නැහැ.

    මේ ලිපියෙත් ඒ ප්‍රශ්නෙම තියනවා. ඔයා කියන මේ ‘චිම්පන්සි ගතිය’ රිපබ්ලිකන් පක්ශය තුළ, ඩෙමොක්‍රටික් පක්ශයට වඩා වැඩියි (නමුත් ලංකාවෙ ඉඳන් කියවන අය ඒ බව කොහොම දැනගන්නද?). Andrew Sullivan ගෙ බ්ලොග් එකේ මීට සම්බන්ධ හොඳ අදහස් කීපයක් පළ වුනා: http://andrewsullivan.theatlantic.com/the_daily_dish/search.html?sort=time&source=magazine&q=epistemic+closure&search=1

    ඔයා කියන විදියට මේක ignore කරන්න පුලුවන්. නමුත් මම හිතන්නෙ මේක කියවන්නාට කරන එක්තරා අසාධාරණයක්. ඒ හින්දයි මේ comment එක පල කරන්නෙ.

    • arunishapiro said, on ජූලි 1, 2010 at 10:15 පෙ.ව.

      පියරු බබා, මගේ ලිපි සියල්ලම මුල සිට කියවන්න. එතකොට ඔබටම හැකිවේවි ඔබට වී ඇති පටලැවිලි නිරාකරණය කරගන්න.

      • පියරු බබා said, on ජූලි 1, 2010 at 9:30 ප.ව.

        ඔබ නැවතත් ප්‍රශ්නයෙන් ලිස්සා යනවා. මෙතන පටලැවිල්ලක් නැහැ. මෙතන ඇති ගැටලුව ඔබ ලාංකීය පාඨකයා ගොනාට ඇන්දවීමට තැත් කිරීම.

      • පියරු බබා said, on ජූලි 2, 2010 at 9:55 ප.ව.

        සරළ කරුණු කිහිපයක් පෙන්නා දුන් විට ඒවාට පිළිතුරු නොදී “මගෙ පරණ ලිපි ඔක්කොම කියවන්න” යැයි කීම ලිස්සා යාමක් නොවන්නේද යන්න මෙය කියවන ඔනෑම අයෙකුට තේරෙනු ඇතයි සිතමි.

      • Mee said, on ජූලි 24, 2010 at 9:41 පෙ.ව.

        මට අනුව ඔයයි පටලගෙන ඉන්නේ නංගා. උස බිල්ඩින් දැකල ඔයාට කලන්කත වගේ ඇවිත්. අපිත් බිල්ඩින් ටිකක් හදනවා ඔයාලට මෙහේ ආවම ඉන්න. එතකොට ඔයාට පුළුවන් උඩම උඩට වෙලා ඉඳගෙන මෙහෙම කියන්න….” එම්බා සියළුම සිංහල දෙමල මුස්ලිම් ජනයිනි නුඹලා අඥානයොය…මා පමනක් සියල්ල එක පැහැර දන්නේ වෙම්ය. අවවාදය ආදර්ෂයට වඩා බොහෝ උත්තම වන්නේය…මා කියන්නක් අසා සිටිනු…මට හුරෙ දමනු….ප්‍රෙඩී සිල්වාගෙයි අරුනි නැන්දාගෙයි වෙනස මට කියනවද ?.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: