අරුණි ශපීරෝ‍ වෙතින්

අනුර පුෂ්පකුමාර සියදිවිනසා ගනියි

Posted in Uncategorized by arunishapiro on ජූලි 5, 2010

ඇඹිලිපිටියෙන් අවුත් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ඉගෙන ගනිමින් සිටි දෙවන වසරේ සිසුවා රත්මලානේ ශිෂ්‍ය නේවාසිකාරයේ දී ගෙල වැලලා ගෙන සියදිවිනසා ගත් බව ප්‍රවෘත්තියකි.

සියදිවිනසා ගන්නා අයගෙන් බොහොමය මානසික රෝගීන්ය. එහෙත් මානසික රෝගීන් වැඩිදෙනා සියදිවිනසා ගන්නට සිත් ඇති අය‍ නොවෙති. සියදිවිනසා ගන්නට සිත් ඇති අය වහාම මනෝවෛද්‍ය ප්‍රතිකාර සොයා යා යුතුය. සියදිවිනසා ගැනීමට සිත් දීම පුද්ගලයකුගේ අඩුපාඩුවක් නොවෙයි. අඩුපාඩුව නම් එවැන්නක් සිතට එද්දී ඒ ගැන කිසිත් නොකිරීමයි. එසේම සියදිවිනසා ගැනිමට සිත් පහළ වන්නෝ සියල්ලෝම සියදිවිනසා නොගන්නෝය.

2007 දී ලෝකයේ සියදිවිනසා ගත් අය වැඩි රටවල් අතුරින් ලෝකයේ හතරවැන්න ශ්‍රී ලංකාව යයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. අනිකුත් රටවල් තුන පිළිවෙලින් ලිතුවේනියාව, බෙලාරූස් සහ රුසියාව වෙති.

සියදිවිනසා ගැනීමට සිත් ඇති ස්ත්‍රීන් බොහෝය. එහෙත් ලෝකයේ මෙන්ම ලංකාවේ ද දිවිනසා ගන්නට වැඩියෙන් සමත් වන්නෝ පුරුෂයෝය. හේතු වශයෙන් පෙන්වා දෙන්නේ පුරුෂයන් හට එය ක්‍රියාත්මක කිරීමේ පහසුව නිසා ඔවුන් ඊට පසුබට නොවන බවයි. දිවිතොර කරගන්නට හිතන අය එමටය. එහෙත් ඊට පියවර ගන්නෝ ස්වල්පයකි. දිවිනසා ගැනීම ගැන නිතර ඇහෙන පරිසරයක එය සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්වන අවදානම නිතර පවතී.

සියදිවිනසා ගැනීමට පහළ වූ සිත වෙනස් කර නොගත‍ හොත් එයම හැර වෙන විකල්ප නොපෙනී යයි. වෙනස් කර ගැනීමට හැකියාව ඇත්තේ එවැන්නක් ගැන නිතර නිතර සිතට එන අයටයි.

සියදිවිනසා ගැනීම තෝරා ගැනීමක් නොවෙයි. එය තෝරාගත හැක්කක් නම් ඒ පුද්ගලයා ජීවත්වන්නට තෝරාගනු ඇත. ඒ අවස්ථාවේ දී ජීවත්වීම තෝරා ගැනීමට ඇති හැකියාව නොපෙනෙන නිසා දිවිනසා ගැනීම තමන්ගේ තීරණයක් යයි වැරදි නිගමනයකට එලඹෙයි.

ශ්‍රී ලංකාවේ පොලිස් මූලස්ථාන වාර්තා අනුව රටෙහි වයස අවුරුදු 20-30 අතර තරුණ පිරිස සියදිවි තොර කරගන්නවුන් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගනිති. වයස අවුරුදු 45-50 පසුවෙද්දී දිවිතොර කර ගැනීම පැහැදිලි ලෙසම අඩුවෙයි. ලෝකයේ ද තත්වය මීට සමානය.

ලැජ්ජාව නිසා සියදිවිනසා ගන්නා අය ආර්ථිකය නිසා හෝ රෝගී බව නිසා දිවි තොර කරගන්නා අයට වඩා වැඩිය. ප්‍රේම සබඳතා කැඩී යාම, විභාගයෙන් අසමත්වීම, රැකියා නොමැතිකම, දූෂණය, හිංසනය හා නවක වදයේ වේදනාව වැනි අවස්ථාවලින් අපි දකින්නේ ලැජ්ජාවෙන් සිත් පීඩා විඳින ආකාරයයි. බොහෝ වැරදි කරන පුද්ගලයෝ තමන්ගේ වැරදි වලින් ලැජ්ජාවට පත් වෙනවා ද? නැතහොත් නිතරම ලැජ්ජාවෙන් සිත් පීඩා විඳින්නේ අහිංසකයා ද? සියදිවිනසා ගැනීමෙන් තම අහිංසක බව කාට පෙන්වන්නුවත් තමාට වැඩක් ඇත්ද?

අනුන්ට පාඩමක් උගන්වන්නට ගොස් තමා නැති වූ කළ පාඩමක් උගැන්වීමෙන් ඵලක් ඇත්දැයි අසහනයෙන් පිරුණු මනසකට වැටහෙන්නේ නැත. සියදිවිනසා ගැනීම යම් වීර ක්‍රියාවක් යයි සලකන්නට ජනතාව හුරු වී ඇත් ද?

අලාභය, පාඩුව හා පසුතැවිල්ල වැනි සිතුවිලි අනිත් සිතුවිලි තෙරපමින් වැඩියෙන් නළියන ගතිය මිනිස් මොළයේ ස්වභාවයයි. ඵලක් නැතැයි දැන දැනත් එම සිතුවිලි වලින් ගැලවීමට අසීරුය. සතුටු සිතුවිලි වඩාත් කාලයක් පවත්වා ගැනීම දුෂ්කරය. මන්ද එක ජයකින් පසුව අපිට තවත් ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට උවමනාව නිසා අර ලැබූ ජයේ රස විඳීමට කල් නොදී ඊ ළඟ ජය අත්පත් කරගන්නට වෙහෙසෙයි.

සමාජය හැම තත්පරයේ දීම අප ගැන නිරීක්ෂණයෙන් සිටිනවාදැයි අප සිතමු ද? වේදනාවෙන් මිදීමට වේදනාව ගෙනෙන සිද්ධිය වූ පරිසරයෙන් බැහැර නොයා ජීවිතයෙන් පළා යාම ඵලක් ගෙන දෙයි ද?

එමිල් ඩර්ක්හයිම්ගේ අනෝමීය සියදිවිනසා ගැනීමේ සිද්ධාන්තය (Emile Durkheim -Anomic Suicide) පිළිබඳ මූලික ප්‍රස්තුත මෙසේය.

“තමන්ගේ උවමනාවන් පිරිමසා ගැනීමට ශක්තිය නැති කළ සමාජ සත්වයකු සතුටුවීමට තබා ජීවත්වීමට ද නොහැකිය. සත්වයන්ගේ රුචිය සහජ ආශයෙන් (instinct) තීරණය කෙරේ. මිනිසාගේ උවමනාවන් හා අවශ්‍යතාවන් හැම දෙනාටම එක හා සමාන ලෙසකින් පිහිටා නැත.

පිටතින් පැනෙන පාලක බලයක් තිබුණ ද, නැති ද, මිනිසාගේ අවශ්‍යතාවය පිළිබඳ හැඟීම්, තෘප්තිමත්කර පිනවා තැබිය නොහැකි, පතුලක් නැති ආගාධයකි.

අසීමිත වූ ආශාවන් සැනසීම නොහැකිය. මෙය දුක ඇති කරන ඒ පිළිබඳ වූ ලක්ෂණයකි.

මිනිසාට අරමුණු හා ඉලක්ක තිබිය යුතුය. පැහැදිලි අරමුණු හෝ අනන්ත වූ ඉලක්ක නොවූ කළ ඉදිරියට යා නොහැකි, සපුරාගත නොහැකි අරමුණු කරගහ ගන්නා මිනිසා නිරන්තරයෙන්ම දුකින් තැවෙන්නෙකි.

කාල සීමාවකට පමණක් හෝ බලාපොරොත්තු අවශ්‍යයයි. ඒවා සාක්ෂාත් කර ගැනීමට නළියන හැඟීම සීමාසහිත විය යුතුය.

අරමුණු ඉටු කරගන්නට දරන වෑයම ආචාර ධර්මානුකූල විය යුතුය. යුක්ති සහගත විය යුතුය.

තමාට තමාවම පාලනය කරගත නොහැකිය. තමන් ගරු කරන, තමා යටහත් වන බලයකින් එම පාලන ශක්තිය ලැබිය යුතුය.

සෑම මනුෂ්‍යය පංතියකම ක්‍රියාකාරීත්වය පිළිබඳව, සමාජයත් එහි ඒජන්තවරුත් සීමා පැනවිය යුතුය.”

ඩර්හයිම්ගේ ප්‍රස්තුත වැඩි හරියක් හා එකඟ වුවද අවසන් ප්‍රස්තුත දෙකට එකඟ වීමට මගේ නිදහස් මතධාරීත්වය ඉඩ නොදෙයි. මානසික රෝගී තත්වයන් සමනය කරගන්නට ඖෂධ හා ප්‍රතිකාර අද ඇත. ලෝකයේ මානසික රෝගීන් වෙනුවෙන් නිෂ්පාදනය වූ ඖෂධ හා ප්‍රතිකාර නිසා අපරාධ අඩුව යන්නේ නම් මානසික රෝගීන් අතරින් සියදිවිනසා ගැනීම් ද අඩුවිය යුතු නොවේද? සමහර විටෙක රුසියාව, බෙලාරූස්, ලිතුවේනියාව හා ලංකාව වැනි රටවල මේ මානසික රෝග ප්‍රතිකාර ක්‍රම නොමැති වීම ඒ ඒ රටවල සියදිවිනසා ගන්නා අයගේ සංඛ්‍යාවන් පෙන්නුම් කරනවා ද?

සියදිවිනසා ගැනීම කෙටි කාලීන ප්‍රශ්නයකට සදාකාලීන අනුවණ විසඳුමක් ලබා දීමකි.

දුකින් ඉන්නා අයෙකුට කාලයාගේ ඇවෑමෙන් දුක තුරන් වෙනවා යයි නොකියන්න. කාලයාගේ ඇවෑමෙන් ශෝකය දරා ගැනීමට හා හදට ද‍ැනෙන වේදනාව අඩුකර ගැනීමට හැකියාව මිනිස් මොළය සතු වටිනා ලක්ෂණයකි. නමුත් ඒ ගැන නොදන්නා අයෙකු දුක ගැනම වූ සිතුවිලි වලින් තවත් වැඩි කරගන්නේ දුක්ඛිත තත්වයයි. එයින් අවසානයේ අපිරිසිදු රසායන වලින් පිරී යන මොළය සියදිවිනසා ගන්නට පුද්ගලයාව යොමු කරයි.

5 Responses

Subscribe to comments with RSS.

  1. indraj said, on ජූලි 6, 2010 at 1:19 පෙ.ව.

    නමුත් සුව කළ නොහැකි දරුණු රොගයකින් පෙලෙන්නෙකුට සිය දිවි නසා ගැනීම මගින් තමාගේත් තම පවුලේ අයටත් සහනයක් ලැබේ ‍යැයි සිතීම මානසික රොගී තත්වයක් සේ සැලකිය හැකිද?

    • arunishapiro said, on ජූලි 6, 2010 at 3:18 ප.ව.

      indraj, වැදගත් ප්‍රශ්නයක්. මානසික රොගී තත්වයක් යයි සැලකිය හැකි නැතැයි සිතමි. හිත පෙළන දුක ප්‍රමුඛව නොව සියල්ල ගැන සිතා බලා ගන්නා (අනුන්ට සහනය පිණිස) තීරණයක් වන නිසාය. නමුත් වෙන කරුණු පෙරදැරි කර ජීවිතයෙන් පළා යන්නා ද අනුන්ට සහනයක් ගෙන දෙනවා යයි වැරදියට සිතා සිටිනවාද යන ගැටළුවත් පැන නඟින්නට මෙයින් ඉඩකඩ ලැබෙයි. බුද්ධ ධර්මයට අනුව සියදිවිනසා ගැනීමට අනුමැතිය තිබුණත් සමහර දහම්වල ඊට අවසර නැත. සුව කළ නොහැකි ලෙඩකින් පෙළෙන්නා සියදිවිනසා ගන්නෙ කුමන අවස්ථාවට පසුව ද?

  2. අතරමැදියා said, on ජූලි 6, 2010 at 6:53 පෙ.ව.

    එමිල් ඩර්ක්හයිම් මම දන්නා විදියට සිය දිවි නසා ගෙනිම් ගෙන පර්යේෂණ කල සමාජ විද්‍යාඥයෙක්..මම අහල තියෙන විදියට සිය දිවි නසා ගෙනිම් වර්ග හතරක් තියෙනවා ..හරියටම සිංහලෙන් කියන්න නම් දන්නේ නැහැ ..Egoisitic, Altruistic, Fatalistic and Anomic ..(source:http://durkheim.itgo.com/suicide.html) ඔය ඔක්කොටම හේතුව ඉතින් දුප්පත්කම සහ මොලේ නෙති කම තමා..හෙහෙ

  3. අතරමැදියා said, on ජූලි 8, 2010 at 1:29 පෙ.ව.

    ඔවු ඔවු. ඔයා හරි..මම කිව්වේ අපේ රටේ වෙන සිය දිවි නසා ගැනීම් ගැන..අඳ ගොවියාගේ ඉඳන් ලොකු පුටුවල ඉන්න හෙමොටම ජීවිතයේ කොයිම වෙලාවක හරි එක පාරක් හරි සිය දිවි නසා ගෙනිමට නම් හිතිලා ඇති කියලා මම හිතනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: