අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රංශ සවාරිය, රොබට් බර්ඩ් සහ තිරිඟු ව්‍යසනය

Posted in Uncategorized by arunishapiro on ජූලි 8, 2010

ප්‍රංශ සවාරිය ආරම්භයේ දීම තරඟකරුවෝ තුවාල ලැබූහ. සවාරිය ජයගන්නට හැකියාව තිබූ සමහර අයට තරඟයෙන් ඉවත්වන්නට ද සිද්ධ වුණි. ඇමෙරිකාවේ රූපවාහිනියෙන් නරඹන්නට හැකි ක්‍රීඩා තරඟවලින් වඩාත්ම ආකර්ශණීය ලෙසින් ඉදිරිපත් කරන වැඩසටහන ප්‍රංශ සයිකල් සවාරිය බව මගේ මතයයි. ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් සමඟ සයිකල් පැදි මගේ ඥාති පුත්‍රයා මේ ඉරිදා දිනයේ වොෂිංටනයේ පාපැදි සවාරියක තරඟ වදියි. අංක 24 Guy East ට ජය වේවා!

ටෙනිස් නිවේදකයෝ බොහොමය මෙන්ම ප්‍රංශ සවාරියේ නිවේදකයෝ සෑම දෙනෙක්ම පාහේ ක්‍රීඩාවේ හිටපු තරඟකරුවෝය. සමානකම් එතැනින් නවතී. ටෙනිස් ක්‍රිඩා නිවේදකයෝ දුර්වලම වූ ප්‍රචාරය දෙන්නෝ වෙති. ඒ නිසා ටෙනිස් තරඟ සජීවිව නැරඹීම වෙනුවට පසු ප්‍රචාරයන් මා නරඹන අවස්ථා බොහෝය. මන්ද එවිට වැඩ සටහන මෙහෙයවන්නේ වෙනත් පිරිසක් බැවිනි. සජීවී ලෙසින් බලන්නට නම් එක්කෝ තරඟ පිටියට යමි. නැතිනම් හඬ නිවා දමා තරඟය නැරඹමි. දෙවැන්නේ එකම අඩුපාඩුව එවිට ටෙනිස් බෝලය පිත්තේ හා පිටියේ වැදෙන හඬ ද නැතිව යාමයි.

පාලිත පෙරේරා මගේ පියාගේ හිතවතෙකි. මම කුඩා කාලයේ ඔහු අප නිවසට ද ආ ගිය කෙනෙකි. පාලිත පෙරේරාගේ ක්‍රිකට් නිවේදනයන් ක්‍රිකට් පිස්සුව නැති මා වැන්නෝ ද රස වින්ඳහ. 1963 වැනි අතීතයක දී ලාංකික ක්‍රීඩා ලෝකයට ස්වකීය වූ නිවේදන ශෛලීය එකතු කරමින් “දැවී ගියා”, “කඩුල්ල” වැනි වචන ඔහුගේ නිර්මාණ වූ බවත් “නොයිඳුල්” ඕවරය (දැන් කියන්නේ මහාචාර්ය විනී විතාරණට අනුව “නි-ලකුණු” ඕවරය කියාය) කරුණාරත්න අබේසේකරයන්‍ ගෙන් බවත් සිළුමිණ පත්‍රයේ පළ වූ ලිපියකින් කියැවේ. සිළුමිණේ පළ වූ එම ලිපියේම සඳහන් පරිදි පාලකයෝ විසින් කරන බලපෑම් නිසා තමාගේ නිවේදන ශෛලිය වෙනස් කරන්නට සිද්ධ වූ අවස්ථාවක් ඔහුගේම වදනින් මෙසේය.

“ඔය අතරේ ගුවන්විදුලියේ බලධාරිනුත් අපිට පාරිභාෂික වචන කීපයක් දුන්නා, ඒවා කියන්න කියලා. ‘ස්ලිප්’ ’(Slips) කියන වචනයට අපිට කියන්න කිව්වෙ ‘ලුහුට්ටා’ කියලා. ඉතින් ඒ අනුව දවසක් මම තරඟයක් විස්තර කරගෙන ගියා.

“වැට රකින්නා ළඟින්ම ලුහුට්ටන් පේළියක් ඉන්නවා. පළමු ලුහුට්ටා, දෙවැනි ලුහුට්ටා, තුන්වැනි ලුහුට්ටා… දැන් මෙන්න ලුහුට්ටන් අතරින් පන්දුව ලුහුටලා හතරේ සීමාවට යනවා.”

“ඕක අහගෙන හිටපු නරඹන්නන් මට ‘හූ’ කියන්න පටන් ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාව නොදැන හදන වචන වලින් ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.”

පාලකයෝ විසින් තමන් දන්නවා යයි සිතා කරන වැරදි ක්‍රියා මාර්ග බොහොමයකි. පුද්ගලික ආයතනවල රැකියා අහිමිවන්නට හේතුවන ක්‍රියා පටිපාටි ආණ්ඩුවක් මඟින් කරද්දී ඒ අයට බලපාන්නේ නැත්තේ ඇයි? අපි පුද්ගලික සමාගම් වලින් වගකීමක් බලාපොරොත්තු වුවද නිතරම ආණ්ඩු කරන වරද වලට සමාව දෙන්නේ ඇයි?

දේශපාලනයට කත් අදින්න අකැමති බව නිසා තැනක් නොලැබුණු පාලිත පෙරේරා දැන් ඔස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා ගිහින්ය. වයසට ගියවිට තරුණ කැළට තැන දීම මනා බව මහත් උජාරුවෙන් කියනා අය ආණ්ඩුවල නායකයෝ වයසට පත්වෙද්දී බලයේ ඉන්නා බ්‍රිතාන්‍යයේ මහ රැජින, කියුබාවේ නායකයා වූ ෆිඩෙල් කැස්ත්‍රෝ, රුසියාවේ ව්ලැඩමියර් පූටින් වැන්නන් ගැන කිසිත් වරදක් නොදකිති.

පසුගියදා ඇමෙරිකාවේ වයෝවෘද්ධ සෙනෙට් සභිකයෙක් අභාවයට පත්විය. රොබට් බර්ඩ් වයස 92 වී මරණයට පත්වෙන තෙක් බලයේ සිට ඇමෙරිකන් ඉතිහාසයේ වඩාත්ම දිගු කාලයක් සේවය කළ සෙනෙට් සභිකයා හා කොංග්‍රස් සාමාජිකයා වූයේය. එසේ දිගු කාලයක් මුදුන් පෙත්තක සිටියාට වරදක් නැත්තේ එවැන්නා කරන්නේ මහජන සේවය යයි කියා ගන්නා නිසාද?

රඟපාන්න බැරි වුවත් චිත්‍රපටි බොහොමයකට රිංගාගත් පමණින් ජනතාව ප්‍රිය කරන නළු නිළියෝ එපමණය. ඈෂ්ටන් කුචර්ට මිලියන පහක ට්විටර් යහළුවෝ සිටිති. නමුත් ඔහුගේ රංගනය ගැන පසසන අයෙක් සිටිත් ද? ජනප්‍රියත්වය පමණක් කොයිතරම් ලොකු ආයුධයක් ද?

ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන් එක් කාලයක ජීවත් වූයේ අප පදිංචිව සිටි නිවසට අල්ලපු නිවසේය. ඔහුගේ “ඔබට ජය ශ්‍රී, මම ධර්ම ශ්‍රී” යන වැඩසටහනින් පසු සමුගන්නා ආශීර්වාදය එකළ සිංහල සේවයට ඉතා කලාතුරකින් සවන් දුන් අයකු වූව ද මගේ මතකයෙන් කිසිදිනෙක බැහැරව නොයයි.

ඇමෙරිකන් ටෙනිස් ක්‍රීඩා නිවේදකයකු වන Dick Enberg ගේ වඩාත්ම සුපතළ කියමන “Oh, my!” වූයේය. Enberg ට ටෙනිස් ක්‍රීඩා ලෝකය ඔහුගේ නිවේදන හැකියාව අගැයීමට විශේෂ සමරු උත්සවයක් පැවැත්විය. එහෙත් පාලිත පෙරේරා හා ධර්ම ශ්‍රී වික්‍රමසිංහ වැන්නන්ට ලංකාවේ අයගෙන් වැඩි අගයක් ලැබුණා ද?

අපි බොහෝ අවස්ථාවල අගැයිය යුත්තන් අගය නොකරන්නේ මන්ද? අගය කරන්නට තරම් නොවූ අයට මහත් ප්‍රසිද්ධියක් හා තෑගි බෝග හා සම්මාන දෙන්නේ ඇයි?

ධනවත් අයට ඇති නොකැමත්ත සේම ක්‍රීඩා තරඟයකින් නිතරම ජය ගන්නා ක්‍රීඩකයා ද පරදිනවා දකින්නට බොහෝ නරඹන්නෝ කැමතිය. එසේම නළුවෝ (රඟපාන්න හැකි හා නොහැකි) මෙන්ම වැඩක් කරන හා නොකරන දේශපාලනඥයෝ ධනවත් වූවාට කිසිත් නොකියන්නෝ වෙනත් මාර්ගවලින් ධනවත් වන අයට, ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය ලබන අයට අප්‍රසාදය දක්වති.

ඕනෑම ක්‍රීඩා තරඟයක දී කිසි දිනෙක දිනා නොමැති පිළට මෙන්ම අළුතින් නැඟ එන ක්‍රීඩකයා පසුපසින් ද පෙළ ගැසී දිරි දෙන නරඹන්නෝ ඒ පිළ හෝ ඒ ක්‍රීඩකයා මුදුනට නැඟි කල ඔවුන්ව හැර දමා යති. නමුත් වෙනත් ක්ෂේත්‍රවල මුදුන් හිනි පෙත්තේ සිටිනා අයට දෙන කැපිල්ල ඉහළට නැඟගත් නළුවන්ටත් දේශපාලනඥයන් වෙතටත් නොදක්වන්නේ ඇයි?

මා අගයන වීර මනුෂ්‍යයෝ අතරින් අයෙක් වන නෝර්මන් බෝර්ලාවුග් අභාවයට පත්වූයේ වයස අවුරුදු 95 දීය. රොබට් බර්ඩ් වෙත වූ සැලකිලි හා පුද සම්මාන සාම තෑග්ග දිනුවත් නෝර්මන් බෝර්ලාවුග්ට නොලැබුණි. බෝර්ලාවුග් නොබෙල් සාම තෑග්ග දිනුවේ 1970 දීය. ඒ කාලේ නම් සාම තෑග්ග වැඩක් කරපු අයෙකුට දුන් සමයක් බව නිසැකය!

මගේ බ්ලොග් පෝස්ට් එකකට ලියූ කොලූගේ ප්‍රතිචාරය මෙහිදී මතකයට නැඟුණි. අද ලෝකයේ ධනවතුන් වැඩි වී ඇත්තේ ඇයි? උත්තරය කෙටියෙන් කිව්වොත් නෝර්මන් බෝර්ලාවුග් වැනි අය නිසාය. තිරිඟු වගාවේ ව්‍යසනය නම් ඊට වැළ‍ඳෙන නැටි මළකඩයකි (Puccinia graminis). “මළකඩ කිසිවිටෙක නිදියන්නේ නැත” යයි කියූ බෝර්ලාවුග් තිරිඟු මළකඩයට ගොදුරු නොවෙන ජානුවක් Sr31 සොයාගත්තේය. ජානු ඉංජිනේරු මාර්ගයකින් නොව හරස් උත්පාදනය (cross breeding) නොහොත් දෙමුහුන් කර (?) සොයා ගන්නා ලද්දකි. එයින් ලෝකයේ තිරිඟු වගාවේ සාර්ථකත්වයෙන් මිලියන ගණනින් මනුෂ්‍යයන්ගේ සාගතය නිවන්නට තනි පුද්ගලයෙක් සමත් විය.

අද නැවතත් පරිණාමය වන තිරිඟු නැටි මළකඩ හිස ඔසවා ඇත. නිදිනොයන මළකඩය අප්‍රාණික කර තිබූ කාලය අවසන් වේගන යමින් පවතී. එක බාධකයක් වෙනුවට බාධක සමූහයක් සොයන්නට බිල් ගේට්ස් පදනම සමඟින් පැළෑටි වවන්නෝ එක්ව නැටි මළකඩයට එරෙහි සටනක් දියත් කර ඇත. ව්‍යසනයක් පැමිණෙන්නට පෙර ඒ ගැන වෙහෙසෙන්නේ දේශපාලනයේ නොයෙදෙන අයයි. දේශපාලනඥයෝ ව්‍යසනය පැමිණි පසු තමනට එයින් ලකුණු දා ගන්නේ කෙසේදැයි විමසන අයයි.

බෝර්ලාවුග්ගේ ශිෂ්‍යයෙක් වන William Wagoire 1998 දී නිරිත දිග උගන්ඩාවේ නැවතත් නැටි මළකඩය හිස ඔසවන බව දුටුවේය. අද දිනයේ Ug99 හැඳින්වෙන මළකඩ රෝගය සුළඟින් හමා ගොස් කෙන්යාවට හා ඉතියෝපියාවට ද අනතුරුව යෙමෙන් රාජ්‍යයටත්, දකුණු අප්‍රිකාවටත් ගොඩවැදී ඇත. මේ වනතුරු තිරිඟු වගාවේ යෝධයින් වන චීනය, ඉන්දියාව, ඇමෙරිකාව හා රුසියාවට රෝගය තවම ළඟා වී නැත. එහෙත් අනතුර ළඟාවෙන තෙක් නොසිට ගැලවෙන මාර්ග සොයන්නට කිසිත් ජනප්‍රියත්වයක් නොලැබ වෙහෙස වන්නෝ නොමඳය.

පාන් අත ළඟටම ගෙන දෙන තෙක් බලා සිට පාන් මිල ගණන් ගියා යයි අවලාද කියන අය අපට කන්න පාන් හදන තිරිඟු නිෂ්පාදනයට ඇති මේ උවදුර ගැනත්, එය ජයගන්නට සටන් වදිනා විද්‍යාඥයෝ පිරිස ගැනත් පොඩ්ඩක් කල්පනා කළ යුතුය. දේශපාලනඥයාට කරත හැක්කේ කුමන හෝ විජ්ජාවක් පා පාන් මිල පාලනය කිරීම පමණි. එහෙත් තිරිඟු පැළෑටි ලොවෙන් වඳ වී ගියොත් ධනවත් අය කෙසේ වෙතත් දේශපාලනඥයෝට ද පාන් කියනු නොහැකි වෙයි ද?

තිරිඟු නැටි මළකඩ පිළිබඳ විස්තර 2010 ජූලි 3 “ද ඉකොනොමිස්ට්” සඟරාවේ පිටු 14-16 හා 57-58 ඇසුරෙනි.

12 Responses

Subscribe to comments with RSS.

  1. Kathandarakaraya said, on ජූලි 9, 2010 at 9:48 පෙ.ව.

    පාලිත ගේ වයස කීයද?

    හැට පැන්නට පස්සේ විශ්‍රාම ගන්න දරුවෙකු ගේ ගෙදරට යෑම – ලංකාවේ නිසි තැන නොලැබීමක් ලෙස අර්ථ දක්වන්නේ කොහොමද?

    I dont think Palitha P migrated. He is just in retirement.

    • arunishapiro said, on ජූලි 9, 2010 at 4:29 ප.ව.

      Kathandarakaraya, පාලිත අන්කල්ගේ වයස කීයද නම් නොදනිමි. මා සිළුමිණ පත්‍රයේ සංවාදය සම්බන්ධ කළේ එහි ඔහු රට හැර දමා ගිය ආකාරය සුළුවෙන් විස්තර වෙන නිසාය. ලංකාවේ සිටියදීම අනුන්ට උවමනා විදියට වැඩ කරන්නට තිබූ අකමැති බව නිසා ඔහුට වසර කිහිපයක් කිසිම රස්සාවක් නොතිබුණි. දේශපාලනයේ යෙදෙන අයට හැට පැන්නත් සේවයේ යෙදෙන්නට හැකියාව ඇත්නම් හැට පැන්න පමණින් ගුවන් විදුලි නිවේදකයා විශ්‍රාම යා යුතුද?

      • kathandarakaraya said, on ජූලි 10, 2010 at 11:36 පෙ.ව.

        මොකක්ද මේ අනුන්ට ඕනෑ විදියට වැඩ කරන්න බැහැ කියන කතාව? එහෙම ජොබ් තියෙනවාද මේ ලෝකේ?

        හැම රැකියාවකටම බොස් කෙනෙක් ඉන්නවා.

        දේශපාලකයින් (even over 60) නිකං ආපු අය නෙමේ නේ. ජහ-මනයා විසින් ඡන්ද බලෙන් පත් කළ අයයි.

        පාලිතට කියන්නං ස්වයං රැකියාවක් හැටියට සමර් එකේ Ocean City, Maryland වගේ තැනක කඩයක් කරන්න කියලා. එතන වුණත් කස්ටමර්ස්ලාට නේද වැඩි say එක?

        • arunishapiro said, on ජූලි 10, 2010 at 8:30 ප.ව.

          kathandarakaraya, හරියට හරි, ඉහළ නියෝග වලින් පත්වෙලා එන වැඩ නොදන්න බොස්ලා යටතේ රස්සා කරනවට වඩා කඩයක් දාන එක පහසුයි. බඩු නියමට හදලා දුන්නම බඩු ගන්න අය සතුටු වෙනවා. ඒත් අද කාලේ “ජහ-මනයා” පත් කරන බොස්ලා සතුටු කරන්න නම් මාරාන්තික උපවාසයන් පවත්වන්න වගේ වැඩනෙ කරන්න වෙන්නෙ. හැම රැකියාවකටම බොස්ලා ඉන්න බව හැබෑව. පුද්ගලික ආයතනවල වැඩ නොදන්න බොස්ලා අඩුයි. වැඩ නොදන්න බොස් හිටියොත් ඉන්නෙ අයිතිකාරයො. එයාල ඉබේම නැතිවෙලා යනවා නොදන්න දේවල් කරලා ව්‍යාපාරය කඩා වැටුණම. ඒත් මහජන සේවයෙන් මුදල් උපයන වැඩ නොදන්න බොස්ලා වැඩියෙන් අද ඉන්නෙ ලෝකයේ ආණ්ඩුවල. එයාලව පත්කරන එයාලගෙ ලොක්කන්ව අපි චන්දෙ දීලා පත්කරගන්න නිසා වැඩ කොච්චර නොදැන හිටියත් දීර්ඝ කාලයක් ඔවුනට “සේවයේ” නියුතු විය හැකියි.

          අර Ocean City, Maryland කඩේ අයිතිකාරයා නම් මම නෙවෙයි! ඒක යාළුවෙක්ගෙ කඩයක්. අපි ද “සේවකයෝ” වන්නෙමු!

  2. Kathandarakaraya said, on ජූලි 9, 2010 at 9:49 පෙ.ව.

    මෙවැනි ලිපියක් ලිවිය හැක්කේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති well read වර්ගයේ අයෙකුට පමණි.

  3. අතරමැදියා said, on ජූලි 10, 2010 at 10:01 ප.ව.

    වෙනත් අයෙකු ඉකලට යේම වගේම ඔහු හෝ ඇය ආපසු පහලට වැටීම බලන්න මනුෂ්‍යයෝ කැමති ඇති. එක නිකං හරියට තන්හාව සහ ඊර්ෂියාව ද එහෙමත් නැති නම් Drama වෙඅලට ඇති කෙමත්තක්ද නොදනිමි.( Albert Hofmann වගේ මිනිස්සුන්ට නොබෙල් ත්‍යාගය දීමට තරම් සුදුසු වන බව මගේ පිලිගැනීමයි .)කොහොමවුනත් නිවේදන වෘතියෙභි පමණක් නොවේ, සමාජයේ සෑම ස්ථරයකම වාගේ underrated මිනිස්සු ඉන්නවා.

    • arunishapiro said, on ජූලි 12, 2010 at 9:26 ප.ව.

      අතරමැදියා, //සමාජයේ සෑම ස්ථරයකම වාගේ underrated මිනිස්සු ඉන්නවා.// මේක තමයි වඩාත්ම වැදගත් කාරණය. එහෙම අය ඉන්ඳැද්දි වැඩකට නැති අයව කරතියාගෙන ඒ අයගේ ගුණ වර්ණනාව අපි වඩාත් කාලයක් කරන්නේ ඇයි කියන එක තමයි ප්‍රශ්නෙ. ස්තූතියි වැදගත් කාරණය හඳුනාගත්තාට.

  4. පුතා said, on ජූලි 12, 2010 at 9:20 පෙ.ව.

    ලියුම කියවලා නික්ම්ම යනවාට වඩා සටහනක් ලියා තබා යන එක හොඳයි කියා සිතුවෙමි…. ලිපියේ තිබුනු දේවල් වලින් මා නොදන්නා කරුණු බොහොමයි… ගොඩාක් ස්තූතියි නොදන්නා දේවල් ගැන කියා දුන්නාට…
    පාලිත පෙරේරා මහතාගේ විස්තර විචාර පහු පහු වෙනකොට කොහු කොහු වෙන ගතියක් පෙනෙන්නට තිබුනා වාගෙයි මගෙ මතකය… ඔහුගේ මෙන්ම ප්‍රේමසර ඈපාසිංහ මහතාගේද විස්තර විචාර බොහෝ දුරට වහින්න ඔන්න මෙන්න තියෙද්දිත් “ඉතා පැහැබර අහස් කුසක් දිස්වෙනවා” වැනි නොගැලපෙන කතා වලට බර වූවා වාගෙයි මගෙ අදහස….
    මම මෙයින් අදහස් කලෙ පාලිත පෙරේරා මහතා හෝ ප්‍රේමසර ඈපාසිංහ මහතා යනු නිකන්ම් නිකන් නිවේදකයින් දෙදෙනෙකුයි වරදවා තේරුම් නොගනු ඇතැයි සිතමි… ලාංකීය විස්තර විචාර කලාවක් බිහිකිරීමට මූලික වූ දෙදෙනෙක් ලෙසට ඔවුනට ඉතිහාසය හිමි තැන එසේමය…
    නමුත් යමකු විශ්‍රාම යා යුතු කාලය එලඹෙන විට ඔහු යා යුතුමය… ලංකාවෙන් ඊට උදාහරණ හොයාගැනීම නම් විහිලු කතා series එකකට හොඳ මාතෘකාවකි…

    • arunishapiro said, on ජූලි 12, 2010 at 9:31 ප.ව.

      පුතා, //පහු පහු වෙනකොට කොහු කොහු වෙන ගතියක්// හැමෝටම තියෙනවාද? නැතිනම් ‍ඇත්තේ දේශපාලනඥයන් නොවන අයට පමණක් ද?!! මගේ තාත්තාගේත් දේශන හා ලියකියවිලි වල “පහු පහු වෙනකොට කොහු කොහු වෙන ගතියක්” දකින්නට ලැබෙනවා. ඒක ලෝක ස්වභාවය කියන්න පුළුවන්. ඒත් ඇයි අපි “මහජන සේවය” කරන අයට, රටක දියුණුවක් අඩාල කරන්න හැකි අයට, ජනතාව සාගතයකට ගෙනියන්න හැකි අයට වඩාත් නිල කාලයක් “පහු පහු වෙනකොට කොහු කොහු වෙන ගතිය..” පවත්වා ගෙන යාම අනුමත කරන්නෙ?

      • පුතා said, on ජූලි 13, 2010 at 3:18 පෙ.ව.

        මා දන්නා තරමින් බොහෝමයක් ක්ෂේත්‍රයන්වල ප්‍රවීනයන්ගේ ක්‍රියාකාරකම් වල පහු පහු වන විට කොහු වැඩිවීමක් මිස අඩුවීමක් සිදු වී නොමැත…. එය දේශපාලකයින්ද ඇතුලුව හැම වෘතිකයකුටම පොදු ධර්මතාවයක් බැව් මාගේ හැඟීමයි….
        ඔබගේ පියා, සුමනදාස සමරසිංහ මහතා සම්බන්ධයෙන්ද එම කාරණාව සත්‍ය විය හැක…
        මාගේ මතය අනුව සාමාන්‍ය ජනතාවට බල පෑම් කල හැකි හැම වෘතියකටම විශ්‍රාම ගත යුතු වයස් සීමාවක් තිබිය යුතුමය… “මහජන සේවය” යනු රැකියාවක්ම වන බැවින් එයටද වයස් සීමාවක් තිබීම අනිවාර්‍‍ය කාරණාවකි..

  5. […] ලෝකයත් හා ඔවුන් උපයන ආදායම ගැන මගේ වෘත්තීමය බයිසිකල් පදින ඥාති පුත්‍රයා…කියූ විස්තර හා මා සොයාගත් තොරතුරු […]

  6. udana said, on ජූලි 16, 2010 at 3:36 පෙ.ව.

    මේක පාලිත පෙරේරා සර් ගැන පොඩි කථාවත් සර් හරි පුදුම එක්කෙනෙක්. මම කාලයක් ජනමාද්ය පාඨමාළාවක් හැදෑරුවා. එහිදී ප්‍රවීන මාධයවේදීන් අපට දේශන සහ ප්‍රායොගික පුහුනුව ලබා දුන්න. පාලිත සර් දවස් තුනක් අපිට දේශන පැවත්වූවා. අන්තිම දවස සර්ගෙ උපන්දිනය අපි පන්තියේ පොඩි උත්සවයක් තියල සර්ට පොඩි උපන්දින ත්යාගයක් දුන්න සර් එදා බොහොම සතුටින් ගෙදර ගියෙ . මොකද අපි එහෙම දෙයක් කරාවි කියල සර් බලාපොරොත්තුවුනේ නැති නිසා. ඔන්න ඊට පස්සෙ සතියෙ එක පාරටම පාලිත සර් පන්තියට ආව,ඇවිත් සර් පුදුම කථාවක් කිවුවා. පහුගිය සතියෙ සර්ගෙ උපන්දින උත්සවයෙන් පස්සෙ ගෙදර යද්දි සර් ගමන් ගත්ත බස් රථය අනතුරකට ලක්වෙලා බොහෝ දෙනෙක්ට තුවාල වෙලා ඒත් සර්ට කරදරයක් වෙලා නෑ, සර් ඊට පස්සෙ සතියෙ අපේ පන්තියට ආවෙ අපිට ස්තුති කරල යන්න. එදා සර්ගෙ උපන්දින උත්සවේ වෙලාවෙදී අපි හැමෝම සර්ට සුභ පැතුවෙ සර්ට දීර්ඝායුෂ ලැබේවා කියල. සර්ට ඒක තදින්ම හිතට කාවැදිල. ඒ නිසාම තමයි ආපහු පාරක් සර් අපේ පන්තියට ඇවිත් අපිට කථා කරල ගියේ. ඒ වගේ නිහතමානි ගතිගුණ තියන මිනිස්සු අද කාලේ බොහොම අඩුයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: