අරුණි ශපීරෝ‍ වෙතින්

සිංහල කියවන්නාට ලිවීම

Posted in Uncategorized by arunishapiro on ජූලි 12, 2010

මිනිසා තමනට නුහුරු නුපුරුදු දේ හැමදාම කරන්න උත්සාහයක් ගන්නා සත්වයෙක් ද? තාරාවන්ට මෙන් පිහිනන්නට නොහැකි, කුරුල්ලන්ට මෙන් පියාඹන්නට බැරි මිනිසාට ජලය තරණය හා අහසින් යාමට හැකියාවන් වඩවා ගන්නට පුළුවන් වූවා සේම පැරණි මිනිසාගේ මොළය කියවන්නට ද සකස් වී නොතිබුණු බව කියන්නේ Maryanne Wolf විසින් ලියන ලද Proust and the Squid පොතේය. මිසර ශිෂ්ඨාචාරයෙන් (hieroglyphics) පසු ග්‍රීසියේ දී ප්‍රථම සම්පූර්ණ හෝඩියක් සකස් වන්නට වසර 2450 ක් ගත වී ඇත. සෙල් ලිපි හා ගල් කණුවල ලියා ඇති දේවල් කියවන්නටත් ඒ කියවන දේ මොළය මඟින් පරිවර්තනය කර වටහා ගැනීමටත් ලැබී ඇති හැකියාව මිනිසාගේ කියවන්නට පටන් ගත් මොළයෙන් ඉදිරියට ගිය හපන්කමකි.

සිංහල කියවන්නාට යමක් ලිවීම ලොව ඉතා සීමිත වූ පිරිසක් වෙනුවෙන් යමක් ඉදිරිපත් කිරීමකි. සිංහල කතා කරන්න දන්නා සිය‍ල්ලෝම සිංහල කියවන්නෝ නොවෙති. සිංහල කියවන්නට හැකියාව ඇත්තෝ අතර සිංහලෙන් කියවනවාට වඩා ඉංග්‍රීසියෙන් කියවීමට කැමති අය සිටිති. සිංහල පමණක් කියවන්නට දන්නා සමහර අය කිසිවක්ම කියවන්නෝ ද නොවෙති.

මගේ තාත්තා හෙවත් සුමනදාස සමරසිංහ පොත් 40 කට අධික සංඛ්‍යාවක් සිංහලෙන් ලිව්වේය. මාස්පතා සඟරාවක් වසර 20 ක් පමණ නොකඩවා පවත්වා ගෙන ගියේය. මා හැදුනේ වැඩුනේ සිංහල කියවන්නාට ලියන පරිසරයකය.

කතුවරයාගේ අකුරු කියවන්නට හැකි දක්ෂ අකුරු අමුණන අය එදා මුද්‍රණාලවල සිටියහ. 1980 අගභාගය ‍වනතෙක්ම ලංකාවේ පැවතියේ අතින් ලියූ පිටුව දිහා බලාගෙන එක එක අකුර රැගෙන අතින් අකුරු ඇමිණි කාලයකි. සෝදුපත් බැලීම දෙවරක් කිරීම අනිවාර්යය. පළමු වර අකුරු අමුණා ද දෙවන වර වරද නිවරද කර ද සෝදුපත් බලති. පොතක පිටු ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම මුද්‍රණය කර අකුරු සියල්ල ගලවා ඊ ළඟ පිටුවල අකුණු අමුණති. පිටු මුද්‍රණය වූයේ කොටස් වශයෙනි.

2004 වසරේ දී සිංහලෙන් කොම්පියුටරයෙන්ම පොත ලියා, පිටු ද සකස් කර ලංකාවේ මුද්‍රණාලයකට සී ඩී තැටියක් දීමට මට හැකිවුණි. යන්ත්‍රානුසාරයෙන් පොතක පිටු සියල්ලම වුවද එකවර මුද්‍රණයට අද හැකිය. සෝදුපත් කියවීමක් අවශ්‍ය නැත. එහෙත් තවමත් ප්‍රධාන පෙළේ ප්‍රකාශන ආයතන ප්‍රකාශනයට සලකා බැලීම සඳහා පොතක් බාර ගන්නේ අතින් ලියූ හෝ මුද්‍රිත පිටපතකි. කොම්පියුටරයෙන් ලියා, පිටු සකස් කර, අන්තර්ජාලීයව යැවිය හැකි වුවද තවමත් ගසක් විනාශ කරන කොළවල ලියා හෝ මුද්‍රණය කර ඔවුන් වෙත පොතෙහි කඩදාසි අත්පිටපතක් බාරදිය යුතුය.

පොතක් ලියන අයෙකුට එය පොත් ප්‍රකාශන ආයතනයකට බාර දිය හැකිය. නැතහොත් තමන් විසින් ප්‍රකාශ කරත හැකිය. ප්‍රකාශන ආයතන පොතක් කියවා බලා ප්‍රකාශයට බාර ගත්තොත් පොත් විකිණෙන සංඛ්‍යාව අනුව පොතක අලෙවි මිලෙන් 10% ක් ලේඛකයාට ගෙවති.

තමන් විසින් පොතක් ප්‍රකාශනය කරනවා නම් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වෙත ගොස් පොතට ISBN අංකයක් ලබා ගැනීම එම ක්‍රියාවලියේ පහසුම කාර්යයි. පුස්තකාල සේවය ලංකාවේ 1970 තරම් මෑතක දී ආරම්භ වූවකි. සිංහලෙන් කියවීමට ප්‍රවර්ධන වැඩ සටහනක් දියත් වූයේ 2004 දීය.

පොතක් ලියන්නාට එය කලා නිර්මාණයකි. ස්වකීය සන්තානය ඕනෑම අයෙකුට විවේචනය සඳහා එළියට දැමීමකි. මුදල් ලාබ නොසොයා, කීර්තිය බලාපොරොත්තු නොවී මෙසේ ලියන පොතක් අච්චු ගැසීමට මුද්‍රණාලයක් සොයාගත යුතුය. බාරගන්න එක පයින් ඉදිරිපත්වන මුද්‍රණ ආයතන බාර දෙන්න ප්‍රමාද වීම සාමාන්‍ය සිරිතයි. පොත බාරදෙන විට අත්තිකාරම් මුදල් හා පොත ලැබෙද්දී සියළුම මුද්‍රණ වියදම් ගෙවිය යුතුය.

වැරදියට පිටු හදා ඇති පොත්, තීන්ත ගෙවී ගිය පිටු ඇති පොත්, අකුරු බොඳ වූ පොත් වලට ගණනක් අඩු කරන්නේ එහෙමත් අයෙකි. මුද්‍රණයෙන් පිටවන හැම පොතක්ම ඇර බලන්නට කාලය හෝ ශ්‍රමය ඇත්තේ කාටද? ජනප්‍රිය පොතක් නම් මුද්‍රණය කරන පිටපත් සංඛ්‍යාවට අමතර සංඛ්‍යාවක් ද ගසා පිටිපස්ස දොරෙන් අලෙවිය කරන අය ද නැතුවා නොවේ. පිටු 100 ක පොත් දාහක් මුද්‍රණයට අඩුම වශයෙන් රුපියල් 60,000 ක් පමණ වැයවෙයි. වැඩියෙන් පොත් සංඛ්‍යාවක් මුද්‍රණය කරද්දී එක පොතක මුද්‍රණ වියදම අඩු වුවත් එම පොත් සියල්ල ගබඩා කිරීම හා අලෙවිය ලෙහෙසි නැත. පිටු 100 ක සිංහලෙන් ලියූ පොතක් කොතරම් වටිනා කරුණු කාරණා අඩංගු වුවත් මිල රුපියල් 100 කට වඩා වැඩියෙන් විකුණනු ද නොහැකිය.

සෑම පොත් ප්‍රකාශ‍කයෙකුටම පාහේ පොත් අලෙවිය සඳහා පොත්කඩ තිබේ. ප්‍රකාශකයා පොත ලියූ ලේඛකයාම වූ කලී පොත අලෙවිය සඳහා පොත් කඩවල් කරා පොත් රැගෙන යා යුතුය. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, අධ්‍යාපන හා සංස්කෘතික දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතන කිහිපයක් ආධුනික හා කර්තෘ පොත් ප්‍රකාශකයන්ගේ පොත් 20% කොමිස් මුදලකට මිල දී ගනිති. නියමිත දිනයට පෙර පෝරම පුරවා, පොත් භාර දී පසුව මුදල් ලබාගැනීම සිදු වේ.

බොහෝ සාහිත්‍ය තරඟයන්ට කර්තෘ ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අවසර නැත. ප්‍රකාශක ආයතන වලින් නිකුත් කරන පොත් පමණක් ඒවාට ඉදිරිපත් කෙරෙයි. මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේ ද පවතින තත්වයකි.

පොත්කඩ යනු එක්තරා මාෆියාවකි. ජනප්‍රියත්වයක් දරන්නෙකුගේ පොත් ඉතා කැමැත්තෙන් බාර ගන්නා පොත්කඩ වෙළඳුන් ඔවුන් නොදන්නා අයගේ පොත් බාර ගන්නේ ඉතා කලාතුරකිනි. පොත් කඩය පොතේ අලෙවි මිලෙන් 30% ක හෝ 40% ක වට්ටම් ලබා ගැනීම සාමාන්‍ය සිරිතයි. මුදල් ලැබෙන්නේ මාස 3 ක් හෝ 6 කට පසු පොත් විකිණිලා නම්ය.

කර්තෘ ප්‍රකාශක සංසදයක් යයි කියා ගත්තක් ද කලක් පැවතිණ. ඔවුන් කර්තෘලාගෙන් 50% කොමිස් මුදලකට පොත් විකිණීම සඳහා බාරගත්තේ කතුවරයන්ට අත දෙන්නටය. ඒ හැරෙන්නට වෙනත් සේවයක් ඔවුන් අතින් සිද්ධ වූවාදැයි නොදනිමි.

අලුත් කර්තෘවරයෙක් විසින් ලියන ලද අලුත් පොතක් නම් කල පොත් කඩයට බාරදුන් පොත හොයා ගන්නට සර්ච් පාටියක් ද රැගෙන යා යුතු වන්නේය. අහවල් කඩ‍යට පොත් දැම්මා එතැනින් ගන්න කියා සල්ලි රැගෙන පොතක් ලබාගන්න යවන අයව එහෙම පොතක් මෙහෙ නැහැ කියා හරවා යවන කඩ සේවකයෝ සිටිති. ඉතින් පොත්කඩ මාෆියාවේ ‍වන්නේ එම එම ආයතන වලින් ප්‍රකාශිත පොත් පැහැදිලිව පෙනෙන්නට තබා විකිණීමයි. කර්තෘ ප්‍රකාශකයෙක් පොතක් ලියා පළකර එයින් පමණක් ප්‍රසිද්ධ වූවෙක් නම් ඒ ඉතාමත් කලාතුරකිනි.

ඇමෙරිකාවේ පොත් කඩයක දවසම වුවත් ගත කළ හැකිය. පොත් කඩේ ඇති පොත් කියවන්නට පොත් කඩය තුළම ඇති කෝපි කඩේට ගොඩ වැදීමට හැකියාව ඇත. පොතක් අතට ගත් සැනින් පිටු පෙරළන්නට පෙර ළඟට අවුත් “මිස් ඔය පොත ගන්නවා ද?” යයි විමසන්නට හැම තැනම හිටගෙන ඉන්නා, පොත් ගැන කිසිත් නොදන්නා රූකඩ සේවකයෝ නොමැත.

මරදානේ සුප්‍රසිද්ධ පොත්කඩ හිමියෙකුගෙන් මා වරක් ‍මෙසේ පොත් නිදහසේ කියවන්නට නොදෙන්නේ ඇයි දැයි විමසුවෙමි. ලංකාවේ අය පොත් අත ගා කිළිටි කර යන නිසා යයි ඔහු කීය. එසේම වැඩි සේවකයන් රූකඩ සේ හිටගෙන හැම පොත් රාක්කයක් අසලම ඉන්නේ පොත් හොරකම් කරන අය නිසාය.

මිල දී නොගෙන හා හොරකම් නොකරන සිංහලෙන් පොත් කියවන්නා පොත් කියවන්නේ තවත් කෙනෙකුගෙන් ඉල්ලා ගෙනය. සිංහලෙන් ලියන ලද එක පොතක් කියවන තවත් දහයක් විස්සක් සිටිති. එක අතකින් එය පරිසරය රකින්නකි. එහෙත් අනෙක් පැත්තෙන් බලන කල පොත් ලියන්නාට නම් එය සාගත මල්ල හිස්ව පවතින්නකි.

ඇමෙරිකාවේ ලාංකිකයනට ඉංග්‍රීසියෙන් ලංකාව ගැන පුවත්පතක් මුලින්ම ලබා දුන්නේ කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස් නුවරින් දීප්ත ලීලාරත්න විසිනි. මා එම පුවත්පතට 1990 ගණන්වල දී ළමා පිටුවක් මාස්පතා සකස් කර යැව්වෙමි. ලංකාවේ ඇත්තෝ විවිධ ප්‍රාන්තවල පැවති ලාංකික පංසලට යන්නේ දීප්ත පංසලට දානය කරන පුවත්පත නොමිලේ කියවන්නට යයි ඔහු මා සමඟ කීය. මුදල් ගෙවීමක් නොලැබ මා පත්‍රයට ලිවීම ඔහුගේ සිත කනස්සලයට පත් කළේය. සිංහලෙන් පිටුවක් පටන් ගන්නට ඔහුට දැඩි උවමනාවක් තිබුණි. එහෙත් පත්‍රයෙන් ලාබයක් නොමැතිකම ඊට හරස් විය. දීප්තගේ අභාවයත් සමඟ පත්‍රය ද නැවතිණ.

ඔස්ට්‍රේලියාවේ සන්නස සිංහලෙන් ලියැවෙන්නකි. එය අන්තර්ජාලයෙන් කියවත හැකිය. සයිප්‍රසයේ “සොඳුරු සර” එහි රැකියා සඳහා ගිය දිරිය කාන්තාවක් වන නිරංජලා මනෝහාරීගේ මහත් වෑයමක ප්‍රතිඵලයකි. ඒ දැඩි කරදර මධ්‍යයේ නිකුත් කරන්නකි.

සිංහලෙන් ලිවීමෙන් ලාබයක් සොයාගත් මා දන්නා එකම පුද්ගලයා මගේ පියාය. ඔහු සිංහලෙන් ලියුවේ පොත් පත් විකිණීමෙන් ලැබෙන මුදල් ලාබ නිසාම පමණක් නොවේ. එයින් ලද ප්‍රසිද්ධියෙන් ඔහුට වෙනත් ලාබ ද තිබුණි. ඔහු තමන් විසින් ලියා, තමන් විසින් සෝදුපත් බලා, තමන් විසින්ම මුද්‍රණය කර අවසානයේ තමන් විසින්ම අලෙවිය ද කළේය. අත් උදව්වට සිටි අය පස්ස දොරින් පොත් විකුණා ගත්හ. ඔහු එය ද දැන සිටියේය. වයස අවුරුදු 72 දී සිය කාර්යාල පොත්හලේ දී දහවල් ආහාරය ගෙන පොතක් කියවමින් සිටියදී හෘදයාබාධයකින් මරණයට පත්වන තෙක් ඔහු රැගෙන ගියේ නියම වන් මෑන් ෂෝ එකකි! රට වටා දේශන පවත්වා ජනප්‍රියත්වයක් ලබාගත් ඔහුගේ පොත් සොයා අද දිනයේ ද පොත්කඩවලට ජනතාව ගොඩවෙන නිසාත්, කිසිවක් නොකර 40% ක වට්ටමක් ලබාගත හැකි නිසාත් පොත්කඩ ඔහු ලියූ ‍පොත් බාරගන්නට මැළිකමක් නොදක්වති.

ඇමෙරිකාවේ පුද්ගලයෝ කියවන්නට රුසියෝය. ගුවන්විදුලියේරූපවාහිනියේ ද පොත් ගැන සාකච්ඡා පැවැත්වේ. පුස්තකාලයකින් රටේ ඕනෑම තැනක ඇති පොතක් ඉල්ලුම් කර ගෙන්වා ගත හැකිය. පොත් කියවන්නන්ගේ සංගම් ද සුලබය. ඔවුන් එකතු වී පොත් නාමාවලියක් සකස් කරගෙන පොත් තනි තනිවම කියවා ඒ පොත් ගැන කතාබහට එක් රොක් වෙති. අනුන්ගෙන් පොතක් ඉල්ලා ගෙන කියවන්නෝ ඉතා දුර්ලභය. මහත් පිරිසක් පොත් මිල දී ගන්නා නිසා පොතක මිල ද අඩුය. එයින් තව තවත් අයට තමන්ගේම කොපියක් ලබාගත හැකියාව ලැබේ. ජනප්‍රිය පොතක් ලිවීම නිසා ධනවතෙකු වන්නට ද හැකිය.

කවුරුත් නොදන්නා අය පොතක් ලියා ජනප්‍රිය හා ධනවත් වනවා සේ (වැඩියෙන් ඉන්නේ එවැනි අයයි) ජනප්‍රියත්වයත් ඇති අය පොත් ලියා ධනවත් වෙති. ඔබාමාත්, එසේම 2008 ජනාධිපතිවරණයට ජන්දය ඉල්ලා පැරදුණු සේරා පේලන් ද, ඔවුන් ලියූ පොත් වලින් ඔවුනට ඇති වෙනත් ආදායම් මාර්ගවලට වඩා මහත් ආදායම් උපයා ගත්හ.

ලංකාවේ මහාචාර්යවරු හෝ ආචාර්යවරුනට සිංහලෙන් පොත් ලියා පළ කිරීම ආර්ථික මට්ටමින් ලාබයක් නැත. එහෙත් අද දිනයේ පට්ටමක් නැති පුද්ගලයෙකුගේ පොතක් පළ කරනවාට වඩා මහාචාර්ය වැනි පට්ටමක් ඇත්නම් පොතක් පළ කරන්නට ප්‍රකාශන ආයතනයක් කැමතිය.

මාධ්‍යවේදීන් නොවන අය සිංහලෙන් ලියන පොත් ඇත්තේ සීමිත සංඛ්‍යාවකි. එකම ප්‍රසිද්ධ කතුවරයාව පළු ගහන රටාව අනුව යමින් මොන බොරු ලිව්වත්, මොන තරම් නීරස ලෙසට ලිව්වත්, එයාගෙ පොත් විකිණෙන නිසා ඒ පොත්ම අලෙවියට පොත් කඩකාරයෝ ද කැමතිය. ආධුනිකයන්ට අවස්ථා මඳය.

Tale of Two Cities ලියූ Charles Dickens පළමුවෙන්ම සිය කතන්දර පුවත්පතක කොටස් වශයෙන් පළ කළේය. එයින් මහජන ප්‍රසාදය දිනාගත් ඔහුට සිය පොත් ප්‍රකාශයට මඟ පෑදුණි. සිංහලෙන් ලියන දෑ බොහෝ පත්තරවල පළ කළ ද පොතක් වශයෙන් පළ කරන්නට ආධුනිකයෙකුට ලැබෙන්නේ (මහාචාර්ය පට්ටමක්, ජනප්‍රියත්වයක් හෝ මාධ්‍යවේදියෙකු නොවනවා නම්) ඉතා කලාතුරකිනි.

කළින් බ්ලොග් සටහනක දැමූ ප්‍රතිචාරය අනුව ස‍ංකේත ප්‍රාග්ධනය උපයන කතාව පැහැදිලි කරන තෙක් බලාගෙන හිටියෙමි. එහෙත් එවැන්නක් නොවූ නිසා සිංහල බ්ලොග් අවකාශයේ අයට සිං‍හලෙන් බ්ලොග් ලියා ජනප්‍රියත්වයක් ලබාගෙන එකතු කරගන්නට හැකි සංකේත ප්‍රාග්ධනයක් ගැන සිහින මවන්නට නොහැකි බව මෙයින් පැහැදී යනු ඇතැයි සිතමි. මා සිංහලෙන් බ්ලොග් ලියන්නට පෙර සිංහලෙන් පොත් හයක් කර්තෘ ප්‍රකාශන ලෙසින් එළි දක්වා ඇත්තෙමි. එහෙත් ඉංග්‍රිසියෙන් ලියා ඇමෙරිකාවේ සුද්දන් වැඩියෙන් මිල දී ගන්නා ලද එක ළමා පොතකින් ඒ පොත් හයටම වඩා මුදලක් උපයා ගත්තෙමි.

සිංහලෙන් කියවන්නට කැමැත්ත ඇති අපි ඒ සඳහා දිරියක් සිංහලෙන් ලියන අයට දෙන්නේ කෙසේද? සිංහල භාෂාවේ ලියන හා කියවන පැවැත්ම රඳවා ගන්නේ කෙසේද? සිංහලෙන් ලියන්නට කුසලතාවය ඇති අයට ඒ කුසලතාවය වැඩි වර්ධනයට මඟ පාදා දෙන්නේ කොහොමද?

ඉංග්‍රීසියෙන් ලියත හැකි හැකියාව තියෙද්දී කිසිත් ලාබයක් නොලැබ සිංහලයාට පමණක් කියවන්නට ලියන්නා මොන රුදාවක් ඇත්තෙක් ද?!!

28 Responses

Subscribe to comments with RSS.

  1. මාරයාගේ හොරාව said, on ජූලි 13, 2010 at 12:41 පෙ.ව.

    බොහෝම වැදගත් ලිපියක්.

    මාත් පුංචිකලේ ඉඳලා ආසාවෙන් හිටපු දේ තමයි ලේඛනය.
    නමුත් අද රටෙ තත්වය අනුව සහ අපේ මිනිසුන්ගේ රුචිකත්වය අනුව බැරි මරගාතේ හෝ එවැනි විෂයකට අත ගැසීම අවධානම් කටයුත්තක් බව කිව යුතුමය.
    ආර්ථික අතින් සමෘද්ධිමත්ව සිටිනවා නම් පමණක් එවැනි දෙයකට අත ගසනවා විනා වෘත්තීයක් ලෙසින්ම එයට යොමු වීම යනු ඉතා අවදානම් වැඩකි.
    ඔබගේ ලිපිය මා හට නම් ඉතා වැදගත් වන්නේ මෙවැනි පසුබිමක් මතය.

  2. indik said, on ජූලි 13, 2010 at 1:47 පෙ.ව.

    ඇමෙරිකාවෙ පොත් මිලදී ගන්නව ගොඩක් වැඩි කියල මට හිතෙනව. මගෙ සමහර යාළුවන්ගෙ ගෙවල්වල පොඩි පුස්තකාලයක් තියෙනව.
    ලංකාවෙ පොත් මිලදී නොගන්නෙ ඉල්ලගෙන කියවීමේ පුරුද්ද නිසා කියල මටනම් හිතෙන්නෙ. මෙහෙ ඒක ගොඩක් අඩුයිනෙ නේද?

  3. බුධාජීව said, on ජූලි 13, 2010 at 4:02 පෙ.ව.

    එතකොට ප්‍රකාශන ආයතන වල ක්‍රියාකලාප ලංකාවෙ මේ තියන අර්බුදේට හේතු වෙන බව පේනවා. එතකොට ඔය පැත්තේ ප්‍රකාශකයොංගෙ වැඩ කොහොමද? නැත්තං හැම ලේඛකයම වගේ තමංගෙ පොත් තමංම ප්‍රකාශනේ කරනවද?

    අධික මුදලක් වැය කරලා පොත් ගන්න තරං ලංකාවෙ බහුතරේකට ආර්ථික හැකියාවක් තියනවැයි කියල මම හිතන්නෙ නෑ, ඒකයි මිනිස්සු පොත් හුවමාරු කරගෙන බලන්නේ. මේ පේන විදියට ඒ වියදං කරන ප්‍රමාණෙනුත් ඉතාම අසාධාරණ ප්‍රමාණයක් තමයි ලේඛකයාට යන්නේ.

    මිල අඩු කලොත් ලේඛකයො අමාරුවේ, මිල වැඩි කලොත් පාඨකයා අමාරුවේ. අන්තෝජටා-බහිජටා සීන් කෝන් එකක් නෙ මෙතන තියෙන්නේ!

    • arunishapiro said, on ජූලි 13, 2010 at 5:44 ප.ව.

      බුධාජීව, ඊ ළඟ පෝස්ට් එක මෙහෙදි පොතක් පළකරන හැටි ගැන ලියන්නම්. ඉංග්‍රීසියෙන් ලියන අයට ලංකාවේ පමණක් නොවෙයි ලෝකේ කොහේ හරි හිටියත් ඇමෙරිකාවේ පොතක් පළකරන්නත් පුළුවන්.

  4. පුතා said, on ජූලි 13, 2010 at 4:11 පෙ.ව.

    ඔබගෙ අවසාන ප්‍රශ්ණයට උත්තරය කත්න්දරකාරයාගේ anniversary ලියුමේ පැහැදිලිව තිබ්බා…(අද තමයි කතන්දර බ්ලොග් එකේ උපන් දිනේ. පහුගිය අවුරුද්දෙ ජුලි 11 දා තමයි මේ කොටි වලිගය අල්ල ගත්තෙ. මූ හොඳ කොටියෙක්. මේ වගේ වැඩක් අවුරුද්දක් තිස්සෙ හති නොවැටී කරගෙන යන්න නං, අපේ කාලේ භාෂාවෙන් කියනව නං, “හොඳ ගැට්ටක්” තියෙන්න ඕනැ. ඔය ගැට්ට තියෙන්න ඕනැත් ශරීරයේ එක්තරා ස්ථානයකයි.)

    දෙවැනි කාරණය ඉංග්‍රීසියෙන් ලියා කීයක් හරි හම්බ කිරීම පසෙක තබා ඔබ ඉහතින් සඳහන් කල සියලු දුක් ගැහැට විඳගෙන සිංහලෙන් ලියන්නා කෙනෙකුට උගත් මෝඩයෙකු සේ පෙනෙන්නටද පුලුවන්ය…. සිංහල බ්ලොග් කියා නොතිබුනානම් ඔබ වුවද නැවත සිංහලෙන් නොලියා සිටින්නට බැරි කමක් නැත… ” මා සිංහලෙන් බ්ලොග් ලියන්නට පෙර සිංහලෙන් පොත් හයක් කර්තෘ ප්‍රකාශන ලෙසින් එළි දක්වා ඇත්තෙමි. එහෙත් ඉංග්‍රිසියෙන් ලියා ඇමෙරිකාවේ සුද්දන් වැඩියෙන් මිල දී ගන්නා ලද එක ළමා පොතකින් ඒ පොත් හයටම වඩා මුදලක් උපයා ගත්තෙමි.”

    මේ ඔබගෙ ලියවිල්ල පහත් කිරීමට කිවුවා නොව මට දැනුන හැටිය…. (සිංහලෙන් අච්චු ගැසූ පොතක් මා විසින් කියවු අන්තිම දිනය කොච්චර උත්සාහ කලත් මතකයට නගා ගැනීම ඉතා අපහසුය…) ඒ කෙසේ වුවත්, මාගේ කියවීම, ලිවීම නැවත පුරුදු පථයට (Track එකට) දමා ගැනීමට ඔබගෙන් ලැබෙන සහය ඉතාමත් අගය කොට සලකන්නෙමි….

    • arunishapiro said, on ජූලි 13, 2010 at 5:42 ප.ව.

      පුතා, ඔබ සඳහන් කළ කතන්දරගේ සටහන කියවන්නට කැමති අයට මෙතැනින් පුළුවන. http://kathandara.blogspot.com/2010/07/happy-bday-kathandara.html

      මුදල් ලාබයක් නොමැති වුවද මමත් හැමදාම සිංහලෙන් ලිවීම (පුවත්පත් හා සඟරා සඳහා) පවත්වාගෙන ගියෙමි. සිංහල බ්ලොග් නිසා අද දිනයේ මුදල් ගෙවීමක් නැතුව සිංහලෙන් ලියන මට ඇති එකම වාසිය ප්‍රකාශන වියදමක් හෝ තැපැල් ගාස්තු නොමැති වීමය.

      සීමිත වූ පාඨක පිරිසකට හිර වී සිටින නිසා සිංහලෙන් කියවන්නට ඇති දෑ ද සීමිතය. ඒ නිසාම සිං‍හලෙන් කියවූ දිනයක් මතකයට නඟා ගැනීම අපහසු වන්නේය. අපි සිංහලෙන් ලියන්නට හැකියාව ඇති අයට දිරි දීමෙන් බ්ලොග් අවකාශයෙන් හරි සිංහලෙන් ලියන අය හා එකතුවන්නට අවශ්‍යයය. නැතහොත් කාලයාගේ ඇවෑමෙන් අපිට කියවන්නට ඉතිරි වන්නේ දේශපාලනයට කත් අදින හෝ මාධ්‍යවේදීන් අතින් ලියැවුන නිර්මාණ පමණකි.

      ප්‍රතිචාරයට ස්තූතියි.

  5. hemantha samarakoon said, on ජූලි 13, 2010 at 11:46 පෙ.ව.

    මාත් කුඩා කල සිටම බොහෝ පොත් කිය වූ එකෙක්මි. හැබැයි සිංහලෙන්…
    පොතක් ප්‍රකාශ කරන්නට තිබෙන අමාරුව ඒ කාලේ ඉඳලම [ප්‍රකාශකයින්ගේ මාපියාව ගැන ] දැනගෙන හිටියා …
    අතීතයේදි එහෙම වුනත් මේ කාලයේ තිබෙන නව තාක්ෂණය අනුව එය ඉතාම පහසු බවයි මා සිතුවේ….
    පොතක් ලියා එය පළ කර ගැනීම කුඩා කාලයේ පටන් මා තුළ තිබූ සිහිනයකි.
    පොත් ප්‍රදර්ශන වල ඇවිදිමින් , පොත් අත පත ගාමින් , සමහර පොත් මිළදී ගනිමින් යත්දී , අයියෝ .. මගෙ පොතක් මේ වගෙ තැනක තබන්නේ කවදාද ..? යන පැණය සිය දහස් වර මගෙ සිතේ මතු වෙමින් පැවතියා.
    මේ ලිපියෙ හැටියට ඒක හැමදාම හීනයක්ම වේවිද කියලා හිතෙනවා.

    • arunishapiro said, on ජූලි 13, 2010 at 5:30 ප.ව.

      hemantha samarakoon, හීනයක් නොවෙන්න දුෂ්කර යයි කියා අත්නොහැර ඒ ගැන පියවරක් තබන්න. තමන් ලියන්නේ ප්‍රබන්ධයක් දැයි නැතහොත් විෂයයක් පිළිබඳවදැයි තීරණය කර පසු ඒ ගැන ඇති පොත්පත් විමසා බලන්න. එවිට ඔබ ලියන්නට අදහස් කරන පොතත් අද වෙළඳපොලේ ඇති පොත් අතරත් වෙනස වටහා ගන්නට ඔබට හැකිය. අද තිබෙනා පොත්වලට වඩා සුවිශේෂි වන්නට උත්සාහ කරන්න. ඔබගේ විෂය හෝ ප්‍රබන්ධය අනුසාරයෙන් පුවත්පත් සඟරාවලට ලිපි ලියා යවන්න. නම ඒ ආකාරයෙන් ප්‍රසිද්ධ කරගන්න. පොත නොලියා එය ප්‍රකාශනයට පත්කර නොහැකි නිසා පළමුව පොත ලියාගත යුතුය. ඉන්පසු එය සුප්‍රසිද්ධ පොත් ප්‍රකාශකයෝ සතු ප්‍රකාශන අංශ වලට යොමු කරන්න. අර පුවත්පත් වලට ලියා නමක් ඇති කරගෙන තිබෙනවා නම් එවිට පොත් ප්‍රකාශකයෝ ද පොත ගහන්නට බාරගනු ඇත. ජය!

  6. කොලූ said, on ජූලි 13, 2010 at 12:16 ප.ව.

    පොත් කියවීම තනිවම සිදුකරන ක්‍රියාවක් ලෙස උඩින් පෙනුනද, මිනිසාගේ අනෙකුත් සියලූම අදහස ප්‍රකාශ කරනා මාධ්‍යන් වාගේම, පොතත් සාමාජීය සම්බන්දතා ඇතිකර ගන්නා ක්‍රියාවක්. ඒ නිසා තමයී, අපි කියවූ පොත ගැන කතා කරන්න කැමති, හුවමාරු කරගන්න කැමති. අපේ අප්පච්චීත් එක්ක ගුණසේන සාප්පුවේ වාර්ෂික සේල් වලට ගිය ගමන්, අප්පච්චිත් එක්ක පොත් තේරීම, කියවීම, මගේ ලමා කාලයේ වටීනාම මතකයන්ගෙන් එකක්. ලංකාවේ පොත් ව්‍යාපාරය ඒ සමාජීය කාරණය හරිහැටි වටහාගෙන නැහැ. පොත් සාප්පුවයී, පාඨකයායී අතර කිසිම සම්බන්දයක් නැහැ. පොත් කඩයක්, පොල් කඩයකින්, සිල්ලර කඩයකින් වෙනස් නැහැ. ඒ වාගේම පාඨකයාත් පොතක් වෙනුවෙන් වටිනා මිලක් ගෙවන්න ලෑස්ති නැහැ. ඒ කොහොම උනත් අපේ වාසනාවට, මසුරං පොත් ඉදලා හිටලා මතුවෙන්නේ නැතිව නොවෙයී.

    • arunishapiro said, on ජූලි 14, 2010 at 7:57 ප.ව.

      කොලූ, ඔබගේ ප්‍රතිචාරය මා වැල් වටාරම් දමා ලියන්නට අදහස් කල සියල්ල හරි හැටියට සංකේෂේපව ගොනු කර තිබේ. ඉතාමත් ස්තූතියි.

  7. Oil Spill මරුවා said, on ජූලි 14, 2010 at 12:31 පෙ.ව.

    මේ නංගි නිකං වැඩක් බලාගෙන ඉන්නවද ? අපට අද දවාලට කන්නවත් නෑ මොන පොත් කියවීම්ද ? අනෙක මොන අධ්‍යාපනද ? අපි ගානක් කපාගෙන මෙහෙම ඉන්නං ….ඔහේ ඇමරිකාවෙද මොකේද හොඳ චූන් එකේ ඉන්ඩ. ඔහේගෙ තාත්තද කවුද මැරෙන කම් අපට පොත් පෙරලල තියෙන්නෙ බලාගෙන ගියාම ඔහේව ඇමරිකාවෙ යවන්නනෙ. අනේ අපි වගේ තකතීරු හංගලයො. ඇවිල්ල අපේ මූණට කෙල ගහල යන්ඩ.

    මරුවා

    • arunishapiro said, on ජූලි 14, 2010 at 6:49 පෙ.ව.

      Oil Spill මරුවා, හිනා තමයි ප්‍රතිචාරය කියවද්දි! හැමදාම වවන්න පුළුවන් රටක දවාලට කන්නවත් නැත්නම් වරද කා අත ද? ඉස්සර අධිරාජ්‍යවාදය කියල කෑ ගැහැව්වා. දැන් ඒක්සත් ජාතීන්ට බැන බැන ඉන්නවා. තමන් දියුණු වෙන්නෙ කවදද? ටැක්ස් ගහල වත් තුවක්කු උරුක්කු කරලවත් නෙමෙනෙ තාත්තා පොත් පෙරලුවෙ. හැබැයි ඒ හම්බ කරපු සල්ලි වලින් මගෙ තාත්ත නම් සතයක් දුන්නෑ මාව ඇමරිකාවෙ යවන්න. මම හම්බ කරගත්තු, මම ලබපු ශිෂ්‍යත්වයකින් යා ගත්ත මිසක්. ඒව වටහා ගන්න පුළුවන් තමන්ම යමක් ඉෂ්ට කරගත්ත අයට පමණයි. නිකං හැමදාම අනිත් අයගෙ වැරදි දකින අයට බෑ.

      • Oil Spill මරුවා said, on ජූලි 14, 2010 at 11:12 පෙ.ව.

        හැමදාම ඉතින් පර්චස් 6 ක 7 ක වවන්න බෑනෙ. අනික වවල දියුනු වෙන්නත් බෑනෙ. උදව්වට ඇඩ්වයිස් එකක් වත් දෙන්න ඉන්න ශපීරෝලා රට නෙ. හම්බකරපුව ඇමරිකාවෙන් තුවක්කු ගන්න වියදම් උනා තමයි. ටැක්ස් කියන්නේ ඔයාල ඉගෙන ගන්නකොට අපි වියදම් කරන සල්ලිවලට කියන වෙනත් නමක්. අරුනිලා මෙහේ ඉගෙන ගත්තෙ අපේ ටැක්ස් සල්ලි වලින් නෙ. ඔයා ඇමරිකාවෙ විනෝද වුනේ අපි මැරෙන කොටනෙ. අපේ කකුල් කැඩෙන කොට නෙ. අවවාදයක්වත් දෙන්න ඔයා නෑනෙ. බට්ටො වපුරපු පොලවෙ වගාකරන හැටි ගැන. දැන් නම් බට්ටො තවාන් වල ගෙඩි හැදෙන කාලෙ මෙහේ ආවනම්. අවවාද කර කර ඉන්න තිබ්බ තාත්තා වගේ. තාත්ත සතයක් වත් දුන්නැතිව ඔයා ඉස්කෝලෙ ගියේ කොහොමද. තාත්ත ඔයාට පැන්සල් කොටයක්වත් අරන් දුන්නැද්ද. මම කිව්වෙ ඔයාට නරක තාත්තෙක්. මම වැරදි දකින් නෙ අපේ අයගෙ විතරයි පිටරටවල ඉන්න අය අපට පේන්නෑ නෙ. අපි ඒ අය ලියල එවන අවවාද කටපාඩම් කරගෙන ඉන්නෙ. මම තාමත් විභාග ලිය ලිය නෙ ඉන්නෙ .. අනික මේ රට අපේ නෙමෙයි නෙ. කාගෙද මංදා…?
        ඔයාගෙ තාත්ත අපේද දන්නෑ නේද ?

        • arunishapiro said, on ජූලි 14, 2010 at 7:53 ප.ව.

          Oil Spill මරුවා,
          මම විතරක් නෙමෙයි ලංකාවේ හැමෝම ඉගෙන ගත්තෙ විදේශාධාර වලින්. ලංකාවේ අය ගෙවපු ටැක්ස් එකකින් නෙමේ. ළඟක දී ලෝක ණය සේරම ලංකාව ගෙව්වා කියල ඇහුනේ නම් නෑ.

          ලංකාවේ ඉස්කෝල ගිය කතා නෙමේ ඔයා මුලින් ඇහැව්වෙ. //ඔහේගෙ තාත්තද කවුද මැරෙන කම් අපට පොත් පෙරලල තියෙන්නෙ බලාගෙන ගියාම ඔහේව ඇමරිකාවෙ යවන්නනෙ// කියන එකටයි කළින් උත්තරය දුන‍්නෙ.

          //ඔයාගෙ තාත්ත අපේ ද දන්නෑ නේද?// මේක නම් ෂුවර් නැති නිසා තමයි සුද්දෙක් එක්ක විවාහ වුනේ!!! තාත්තාට කැමති නැති ලාංකික අයගෙ දරුවන් හා විවාහ වෙනවාට ඒ අයගේ දෙමාප‍ියෝ කැමැති නැහැනෙ! තාත්තාට කැමති අයගේ දරුවො සහෝදරයෝ ද දන්නෑ නේ!!!

          තාත්තලා අතරින් මගේ තාත්තා නරක කෙනෙක් යයි මා නොකියමි. ඔහුගේ දුර්වලකම් තිබුණාට ඔහු ලාංකික සමාජයට කරන ලද යහපත් ක්‍රියා බොහොමය ඉත සිතින් අගය කරමි.

  8. kumaraya said, on ජූලි 14, 2010 at 12:41 පෙ.ව.

    @ aruni shapiro ..
    ස්තූතියි ඔබට …
    මම උත්සාහ කරනවා …..

  9. අතරමැදියා said, on ජූලි 14, 2010 at 7:12 පෙ.ව.

    අතරමැදියා සිංහලෙන් ලියන්නේ තමාගේ අදහස් ප්‍රකාශ කිරීම සහ එම අදහස් තමාට අමතක වී ගිය හොත් පසු කලෙක කියවීම සඳහායි. එමගින් අතරමැදියා බලාපොරොත්තු වන්නේ තමාගේ Fun එක පමණි. Comments වලින් හා අනෙකුත් gadgets වලින් එන අදහස් bonus වගේ. සිංහල බ්ලොග් අවකාශයේ ලියන ලිපි බොහොමයක් ඉංග්‍රීසියෙන් ලියන ඒවාට වඩා ඉතා රසවත් බව කිව යුතුමයි.

  10. kevin perera said, on ජූලි 14, 2010 at 5:20 ප.ව.

    ස‍ංකේත ප්‍රාග්ධනය හා පොත් ලිවීම අතර සම්බන්දය පැහැදිලි කර ගන්න John B. Thompson ගේ Books in the digital age: the transformation of academic and higher කියවන්න(In particular page 32 )I am not against making money or accumulating symbolic capital. Everybody does nowadays. You got your dad’s genes even though erased his සමරසිංහ last name (in derridian Meaning) and become Shapiro. In that case I picture you like kind of Sri Lankan Michel malkin American conservative blogger, only difference is she talks her symptoms to American audience. French psychoanalyst and psychiatrist Jacques Lacan once said “women does not exist she is just a symptom of a man”. let me guess right wing ideas coming from your Shapiro side? Like she got them from Malkin side. Let me look deeply into my crystal ball and give you psychic reading about your future “you will publish book in Sri Lanka and it will be a best seller beat your dads sales records” wish you good luck.(I know you do it not for money but for satisfaction. please don’t tell me you doing all this for benefit poor sinhala readers)

    • arunishapiro said, on ජූලි 14, 2010 at 7:41 ප.ව.

      kevin perera,
      එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අයෙක් ලියූ පොතකින් සිංහල පාඨකයාගෙන් සංකේත ප්‍රාග්ධනය හොයාගන්න හැටි ගැන විස්තර වෙයිද?

      Shapiro ලා නම් පවුල් පිටින් චන්දෙ දුන්නෙ right wing ideas ඇති අයට නම් නොවේ. සංඛ්‍යාලේඛන පෙන්වන ආකාරයට ඔබාමා දිනුවේ ද ඔවුන්ගේ චන්දයෙනි. අනික මා ද right wing ideas ඇති යයි ඔබ උපකල්පනය කර ඇත. එය ද වැරදිය. අද ලෝකයට සුදුසු පාරම්පරික වූ වමට හෝ දකුණට බර ප්‍රතිපත්ති නොව දෙකෙන්ම ගතහැකි හොඳ අදහස් පමණක් යයි මගේ පුද්ගලික මතයයි.

      Jacques Lacan වැනි ‍හණමිටි පප්පලාගේ අදහස් අදටත් ගැලපේ ද?

      //wish you good luck//ආශීර්වාදයට ස්තූතියි.

      //doing all this for benefit poor sinhala readers// නැත. මා ලියන්නේත් අතරමැදියාගේ ප්‍රතිචාරයෙන් කියන “තමාගේ Fun” සඳහාමය, නොහොත් මගේ සතුට සඳහාමය!!

  11. අර මැස්ලෝ ගේ තියරියේ වගේ මුලින් අපේ මූලික අවශ්‍යතා සැපිරුනොත් තමයි ඊලඟට අපිට පොත් කියවන්න ඕනැ වෙන්නේ.

    සැප්තැම්බරයේ පොත් ගන්න තරම් දැක්කහම තේරෙනවා අනිත් දවස්වල ගන්නේ නැත්තෙ ඇයි කියලා. Oil Spill මරුවා කියන්නේ ඒකද?

    මං ග්‍රි මාසෙ ගියා මගේ පුතා ගෙ ටීචර් එක්ක අර්ධ වාර්ෂික සාකච්ඡාවට. ඒක තිබුනෙ පුතා යන ආණ්ඩුවේ (ඕස්ටේ‍ර්ලියාවේ නිව් සවුත් වේල්සයේ) ප්‍රාඨමික ඉස්කෝලෙ පුස්තකාලෙ.

    ඒකෙ තිබුණු පොත් ගොඩ දැකල මං පුදුම උනා. මං පොඩි කාලෙ ගිය කණිෂ්ඨ විද්‍යාලයෙත් ඒවගෙ පුස්තකාලයක් දාන්න ඕනෑ කියන අදහස ඇතිවුණා.

    රසික සූරියආරච්චි

    • arunishapiro said, on ජූලි 15, 2010 at 6:17 ප.ව.

      රසික සූරියආරච්චි, //මං පොඩි කාලෙ ගිය කණිෂ්ඨ විද්‍යාලයෙත් ඒවගෙ පුස්තකාලයක් දාන්න ඕනෑ කියන අදහස ඇතිවුණා.// මේ ගැන ක්‍රියාකාරී වන දවසකට මටත් කියා එවන්න. පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කරන අය හා ඒ වෙනුවෙන් වෙනත් උදව් උපකාර කරන අය හොයා දෙන්නම්.

  12. Oil Spill මරුවා said, on ජූලි 16, 2010 at 8:08 පෙ.ව.

    නෑ නංගි ඔයා මට ඇට්ටි හැලෙන්ඩම උත්තරයක් දෙන්න…. මගේ සැබෑ චෝදනාව Lacan පප්පගෙන් නොවේ Derrida අංකල්ගෙනි නැතිනම් Zizac මල්ලීගෙනි….ප්‍රශ්නය 1. ඔබ විනෝදයෙන් නේද ඉන්නෙ. 2. අපි ඒ විනෝදය දෙගුන කරනවා නේද ? 3.1අනික අමු සිංහල ප්‍රශ්නයක්…. අවවාදය ආදර්ශයට වඩා උතුම් නේද ? ඔයාගෙ තාත්ත කලා වගේ. 3.2 ඇමරිකාව ශා මාරයි නේද ?. අපේ රට නිකං මොකක්ද…. නේද ?

    මරුවා ගේ ලිපිත් බලල බැනල යන්න හැමෝම කරනවා වගේ (ඇඩ් එකකි)

  13. නදීෂ නිර්මාණ said, on පෙබරවාරි 4, 2011 at 12:28 පෙ.ව.

    කතාව අැත්ත.මමත් ෙපාත් ගණනාව ක් ලීවා.බැරිම තැන ෙබාෙලාග් 1ක් පටන් ගත්තා‍‍.

  14. Haree said, on අප්‍රේල් 18, 2011 at 5:04 පෙ.ව.

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා හොඳ ලිපියක්…

    ඇත්තටම ලංකාවේ කියවන අය නම් අඩුයි තමයි. අපේ විශ්ව විද්‍යාලයේ නිකං පොත් කියවන්න ලැබිලත් ජීවිතේට පොතක් ගත්තු නැති මිනිස්සු මම දන්න විදිහට batch එකෙන් භාගයකටත් වැඩිය ඉන්නවා…

  15. wicharaka විචාරක said, on සැප්තැම්බර් 4, 2012 at 8:53 පෙ.ව.

    අද Gossip 9 එකේ, සාහිත්‍ය මාසය ගැන පල කර තිබෙන ලිපියකට අදාලව තිබුන කමෙන්ට් එකකින් තමයි මෙතනට ආවේ. එතකොට තමයි දැනගත්තේ, ඔබ, මා ආදරය කල රත්තරන් මිනිසෙකුගේ, රත්තරන් දියණියක් බව. ඔන්න ලොකු hug එකක් මගෙන්.

  16. Pathum Herath said, on ජනවාරි 22, 2014 at 11:26 පෙ.ව.

    මම අදනේ මේ පෝස්ට් එක දැක්කේ.. කෙහෙල්කොටුවේ චුටිමහත්තය ගේ ලින්ක් එකකින් දැක්කේ.. මම අවුරුදු 19දි මගේම කියල පොතක් කර්තෘ ප්‍රකාශනයක් විදියට කළා.. ඔය කියපු කරුණු ටික 100% මම ඉස්කෝලේ යන ළමයෙක් විදියට අත්වින්ද.. හැබැයි කොල්ලා කාලේ අතට කියක් හරි හම්බ කරගන්නත් මට ඒ පොත නිසා පුළුවන් වුණා.. ලාබයක් නම් ලැබුනේ නෑ.. අදටත් ගෙදර පොත් 100ක් විතර තියෙනවා… හෙහ් හෙහ්..

    ලංකාවේ පොත් කියවීම හරි ලේඛන කලාව හරි ගැන කියන්න මට තෙරෙන්නේ නෑ… හැබැයි හැමදාම පල් කර කර ලියන සමාජ ප්‍රශ්න ටිකයි.. මිනිස්සුන්ගේ නැති බැරි කමයි… දේශපාලන පල් හෑලි තියෙන නවකතයි නැතුව මිනිස්සුන්ව අලුත් විදියට හිතන්න පුළුවන් සංකල්ප තියෙන සරල සුරංගනා කතා පොතක් හරි ලිව්වොත් ලංකාවෙත් විකුනන්න පුළුවන් කියල මම හිතනවා…

    • arunishapiro said, on ජනවාරි 27, 2014 at 10:44 පෙ.ව.

      Pathum Herath,

      // මිනිස්සුන්ව අලුත් විදියට හිතන්න පුළුවන් සංකල්ප තියෙන සරල සුරංගනා කතා පොතක් හරි ලිව්වොත් ලංකාවෙත් විකුනන්න පුළුවන් කියල මම හිතනවා…// ඔව්, සැබැවින්ම හැකියි. මගෙ තාත්තා කළේ ද ඔහුට කළින් සිංහලෙන් ලියා නොතිබුණ දේවල් ගැන පොත් ලිවීමයි. සුළු කලක දී කැමැත්තෙන් මිල දී ගෙන ඒ පොත් කියවන පාඨකයන් මහත් සංඛ්‍යාවක් බිහිවුනා. අදත් ඒ පොත් හොයාගෙන කියවන අය ඉන්නවා.

      අළුත් නිර්මාණ සඳහා උත්සාහයක් ගන්නා අය බිහිවෙද්දී සිංහල පොත් කැමැත්තෙන් මිල දී ගන්නා පාඨක පිරිස වැඩිවීමත් සහ වෙනත් භාෂා වලට පරිවර්තනය වෙන්නටත් පටන් ගැනීම වළක්වන්නට බැහැ. මේකට කදිම උදාහරණයක් ලැබෙන්නේ පෝලන්තයෙන්. Henryk Sienkiewicz ලියු ගින්දර හා කඩුව සමඟින් නොහොත් With Fire and Sword (1884) පොත 1999 වැනි මෑතක දී පවා යළිත් චිත්‍රපටියක් බවටත් නිර්මාණය වූවා.

      ඒත් මං දැක්ක කවුදෝ කියනවා අපේ ලේඛකයන්ව ලෝක මට්ටමින් ජනප්‍රිය කරවන්න රාජ්‍ය අනුග්‍රහයක් ඕනෑ කියන කතාවක්!!! 😦


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: