අරුණි ශපීරෝ‍ වෙතින්

අපි ඔබව පාලනය කරමු

Posted in Uncategorized by arunishapiro on ජූලි 30, 2010

මිනිසුන් ඉත හිතින් පිළිගෙන විශ්වාස කරන මතවාදයන්හි දුර්වලතා පෙන්වීම ජනප්‍රිය නැත. එහෙත් තමන් විශ්වාස කරන දැයට එන චෝදනා විමසා බැලීමෙන් මතය නිවැරදි නම් චෝදනා බැහැරලා තම මතය වඩාත් හොඳින් පැහැදිලිව දකින්නට තමන්ටම අවස්ථාව ලැබේ. විමසීම මඟින් අදහස්වල ඇති අඩුපාඩු හා වැරදි දැකිය හැකිය. වැරදි මතයන්හි එල්බ සිටීමෙන් ගැලවෙන්නේ වෙන කුමන ආකාරයකින් ද? විද්වත් අවංක භාවය අවදානමකි. කුතුහලය නිසා පමණක් කියවන වාදයන් පසු කලෙක ස්වභාවික (natural) වූ ද, ප්‍රතිභා ඥානයකින් (intuitive) වූ ද සේ වැ‍ටහෙන්නට පටන් ගනියි. සත්‍යය දැනගන්නට කැමැත්ත නැත්තෝ තමන් විශ්වාස කරන පැරණි හණමිටියෙන් ඔබ්බෙන් වූ දේ දිහා බලන්නටවත් අකමැති ඒ නිසයි. පැරණි හණමිටි ආගමික න්‍යයායන් ද විමර්ශනයට ඉඩක් නොදෙන්නේ ඒ නිසයි.

ලොව සෑම විෂයයක්ම ගැන ලියැවුණ දෑ බොහෝ වුවත් ගණිතය ගැන ලියැවුණ දෑ අල්පය. මන්ද ගණිතයට විචාරය පමණක් නොව ඔප්පු කිරීමක් ද අවශ්‍යය නිසාය. අනිත් විෂයයන්හි දී මතවාද ගැන කතාබහ කිරීම පමණක් සෑහේ. ඕනෑම මතවාදයක් ගැන අරයා මෙහෙම කියලා තියනවා, මෙයා මෙහෙම කියලා තියනවා යයි ඕනෑම පැත්තක් හඟිස්සවන්නට ඇති තරම් වෙනත් අය කියූ, ලියූ දේවල් හොයාගත හැකිය. නමුත් ඒ පමණින් ඒවා ඔප්පු කළ හැකි සත්‍යයන් වනවා ද? ගණිතය මෙන් පැහැදිලිව පිළිගත හැකි ආකාරයට අනිකුත් විෂයයන්හි ඔප්පු කළ හැකි මිම්මක් ලොව නැතිකම විවිධ විෂම වූ මතවාදයන්ගේ පැතිරීමට ද ඉඩකඩ සලසයි. හැමෝම එකම විදියකට හිතනවා නම් ලොව තුල ඇති විවිධත්වය ද, ඒ නිසාම එහි ඇති ආශ්චර්යය ද නැතිව යයි.

ලෝක පාලකයෝ වෙතට අපව පාලනය කරන්න ඉඩ දුන් පමණින් අපි අපට විමර්ශනයට ඇති හැකියාව අතුගා පැත්තකට කළ නොයුතුය. අද දිනයේ ඇමෙරිකාවේ ජනාධිපතිවරණයක් වුවහොත් පාලනය සඳහා චන්දය දිය යුත්තෙක් වමේ හෝ දකුණේ හෝ දෙපැත්තේම නැත. තුන්වෙනි පාටිය වෙමින් පවතින තේ පාටි සංවිධානයේ ද නැත. මීට හේතුව කුමක් ද? පාලකයෝ වශයෙන් චන්දය ඉල්ලන්නට අද දිනයේ ලෝකයේ ඉදිරියට එන්නේ පැරණි ලෝකයේ රජකම ලත් අය වැනි පුද්ගලයෝ ද? ඔවුන් තුල අවංකවම රටට හා රටවැසියාට සේවයක් කළ යුතු යන අදහසක් ඇත් ද? නැතිනම් ඇත්තේ චන්දය දිනපු මොහොතේ පටන් ඊ ළඟට චන්දය දිනන හැටි ගැන ප්ලෑන් ඇඳීම ද? තවත් ආකාරයකින් කියතොත් රජතුමෙක් ලෙසින්ම වඩාත් කාලයක් බලයේ ඉන්නා ආකාරය ගැන පමණක් සිතීම ද?

රටවැසියා තෝරා පත්කරගන්නා ආණ්ඩුවක් ගැන මුල් කතාබහේ දී රදළ පංතියේ ආණ්ඩු බලය තිබි අය පුදුමයට පත්වූහ. ඔවුන් තරම් උගත්, දේශපාලනය පිළිබඳව නොදන්නා නූගත් ගම්වැසියාට පාලකයා කව්දැයි තීරණය කරන්නට ඉඩදීම කොතරම් අවදානම් ක්‍රියාවක්දැයි ඔවුන් කතාබහ කළහ. කාලයාගේ ඇවෑමෙන් “නූගත් ගම්වැසියාට” ද පාලන බලයට වරම් ලැබිණ. අද දිනයේ පාලන බලය ලබන්නට අවශ්‍ය සුදුසුකම කුමක් ද? දේශපාලනය, ඉතිහාසය හා රටේ නීතිය දැන සිටීම ද, අවංක බව ද, ජනතාවට සවන් දිය හැකි වූවකු වීම ද, නැතහොත් හුදු ජනප්‍රියත්වය පමණක් ද?

ලෝක ආණ්ඩු සියල්ලක්ම පාහේ ආණ්ඩු ක්‍රමයට, දේශපාලන දැක්මට හෝ ප්‍රතිපත්ති වලට වඩා චන්දය ඉල්ලන “පුද්ගලයා” මත සියල්ල තීරණය වීම රටවැසියා විසින් තෝරා පත් කරගන්නා ආණ්ඩුවල ඇති බරපතල අඩුපාඩුවකි. තරඟ වදින්නාගේ දේශපාලන මැනිෆෙස්ටෝව යනු කිසිවෙක් නොකියවන, කියෙව්වාට ද ඵලක් නැති, බලයට පත් වූ පසු අමතක කර දැමිය හැකි, ඒ ගැන පසුව කවුරුත් නොවිමසන, රසවත් ලෙසින්, හිතට වදින ලෙසින් ලියූ, ජනප්‍රියත්වයට රුකුල් තියන හෑල්ලක් වී ඇත.

ඉන්දියාවේ ගාන්ධි පවුලට එකතු වීම නිසා අද ඉතාලියේ උපන් සුදුහම ඇති සෝනියා ගාන්ධි ඉන්දියාව වැනි මහත් පැරණි හණමිටි තවමත් කරපින්නා ගෙන ඉන්නා වැඩි ජනතාවක් සිටින රටක කොන්ග්‍රස් පාටියේ සභාපතිනිය වශයෙන් “තීරණ” ගන්නා බලතල ඇති අයෙක් වූයේ කෙසේද? ෆිඩෙල් වසර 43 ක් රටේ පාලකයා වී රාවුල්ට පාලනය බාර දුන්නේ ඇයි? බුෂ් තාත්තාට දෙවැනි වාරයක් දෙන්නට අකැමති වූ ඇමෙරිකන් ජනතාව බුෂ් පුතාට දෙවරක් පාලනය දුන්නේ ඇයි? බිල් ක්ලින්ටන් වාර දෙකක් පාලනයේ වූ පසු ජනතාව හිලරි ක්ලින්ටන් වටා එක් වී ඇයව වයිට් හවුස් එකට යවන්නට තැත් දැරුවේ ඇයි? ජෝන් එෆ්. කෙනඩි හා ඔහුගේ පවුල, එකමුතුව වසර 64 ක් ජනතා නියෝජිතයෝ වූයේ කෙසේද? ව්ලැඩමියර් පූටින් ජනාධිපතිවරයා වී පසුව අගමැති වී තම බලය පවත්වාගෙන යාම ගැන රුසියාවේ ජනතාව කැමැත්ත දක්වන්නේ ඇයි? සූරිනාම් රටේ හිටපු ආඥාදායකයා (dictator) Desi Bouterse තුනෙන් දෙකක ප්‍රසාදයකින් ලබන අගෝස්තු 3 වැනිදාට ජනතාව විසින් තෝරාපත් කරගන්නා ජනාධිපතිවරයා වන්නේ ඇයි? එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගෙන් පසු මැතිනියටත් රට පාලනය ලැබ, චන්ද්‍රිකා නැමති ඔවුන්ගේ හිටපු ජනාධිපති දුවත් රට පාලනයෙන් පසු අද නැවතත් ඇය දේශපාලන කරළියට ඔළුව දමන්නට උත්සාහය ඇයි?

දන්නා දේ නොදන්නා දේට වඩා හිතට සමීපය. දන්න යකා නොදන්න යකාට වඩා භීතිය අඩු කරයි. රජකාලයේ වැඩවසම් ක්‍රමයට අනුව රජුගේ හිත් දිනාගත් අය හා ඒ අයගේ අයට, වරප්‍රසාද හිමි වූ ආකාරයත්, අද දිනයේ පවතිනා ලෝක හැම ආණ්ඩුවලට මෙරිල් පෙරේරාගේ වදනින් “කඩේ යන” අයට ලෝකයේ ඒ හැම ආණ්ඩුවකින්ම ප්‍රතිලාභ තිබීම අතර ‍වැඩි වෙනසක් ඇත් ද? ඉහත සඳහන් පාලකයෝ සියල්ලෝටම ඉඩ දුන්නේ පාලකයා තෝරා පත්කරගන්නා අයිතිය ඇති රටක ජනතාව වන අප විසින්මය.

වැඩවසම් සමාජයේ ප්‍රභූ පංතියත් අද දේශපාලන ප්‍රභූ පංතියත් අතර වෙනස කුමක් ද? තම තමන්ගේ තත්වය දියුණු කරගත් එදා පාලකයෝ මෙන්ම අද දිනයේ ද පාලන බලය අතට ලැබි පසු ඔවුන්ගේ තත්වයන් දියුණු නොවන්නේ ද? ඔවුන් වෙනුවෙන් කඩේ යන අයගේ ද තත්වයන් දියුණු නොවන්නේ ද? මේ නිසාම තවත් කාලයක් බලයේ රැඳී සිටීමට ඔවුන් විසින් වඩා ගන්නා දැන හැඳිනගැනීම්, ඇති කරගන්නා ගණුදෙනු, බෙදා දෙන ප්‍රතිලාභ, පවත්වාගෙන යන තමන් අන් වැසියන්ට වඩා උසස්ය යන ප්‍රතිරූපයන් යනාදියේ වෙනසක් ඇත් ද?

ලෝකයේ සෑම රටකම වැසියෝ දිනෙන් දිනම ආණ්ඩුවේ රැකියා සොයා යන්නේ ඇයි? ආණ්ඩුව ලාභ සොයන ආයතනයක් නොවේ. ආණ්ඩුවක් යනු ජනතාවගේ මහන්සියෙන් යැපෙන ආයතනයකි. නමුත් සියළු රටවලම ඒ ඒ රටේ ඇති සියළුම ව්‍යාපාරයන් වලට වඩා ආණ්ඩුවට ඇති බලතල මහත්ය. ආදායම උපයන ජනතාවගේ මහන්සියෙන් යැපෙන ආයතනයක් වූ ආණ්ඩුවට අය වැය සමතුලිත කිරීමක් අවශ්‍ය නීතියක් බලපාන්නේ නැත. පුද්ගලික ව්‍යාපාර ආදායමට වඩා වැය වැඩි වූ කළ බංකොළොත් වූවත් ලෝක ආණ්ඩු විසින් යුග ගණන් ණය ලබාගෙන පවත්වාගෙන යාම අනුමතය. පුද්ගලික ව්‍යාපාරවල අයිතිකරුවන් හා ප්‍රතිලාභ ලබන්නන් තම ව්‍යාපාරය දුර්වල ආදායම් උපයන කළ අඩුවෙන් ආදායම් ලබද්දී ආණ්ඩුවල පාලකයෝ රටේ අයවැය සමතුලිත නොවූවත් තමන් ලබන ආදායම් හා ප්‍රතිලාභ අඩුවෙන් නොලබති. ව්‍යාපාර අයිතිකරුවෝ කාර්යක්ෂම නොවෙද්දී තනතුරෙන් පහ වෙන අතර ජනප්‍රියත්වය ඇත්නම් කොතරම් පාලනය අකාර්යක්ෂම වුවත් තනතුර හැර දමා යාමක් පාලකයෝ වෙතින් බලාපොරොත්තු නොවේ. දිනෙන් දිනම ලෝකයේ පුද්ගලික ව්‍යාපාරයන් අඩු වී ආණ්ඩුවේ රැකියා වැඩිවේ. ග්‍රීසියේ, ආණ්ඩුවේ රැකියා කරන අය රටේ රැකියා ලද අයගෙන් 80% ක් විය. ග්‍රීසිය බංකොළොත් වූ දා එරට වැසියෝ පඩි ඉල්ලා වැඩ වර්ජනයක යෙදුණහ! එපමණක් නොව තමන්ව ගලවා ගන්නට යයි කියා ජර්මනියව වෙනත් රටවල් සමඟ එකතු වී බලයෙන් එකඟ කරගත්හ.

ලෝකය වැඩවසම් ක්‍රමයට එරෙහි වී ජනතාව විසින් තෝරා පත් කරගන්නා පාලකයෝ තෝරා පත් කරගෙන තවමත් වැඩවසම් ක්‍රමයටම වැඩ කරන්නේ ඇයි ද?

හේතුව මම මගේ අභිවෘද්ධිය ගැන සිතීමයි. නමුත් රාමුවකට කොටු වී ඇති මගේ අභිවෘද්ධිය පමණක් සලසා ගන්නට යෑමෙන් රටේ වැඩි දියුණුව ඇණ හිටී නම් අවසානයේ මගේ දියුණුව ද ඇණ හිටන බව නොදැකීමයි. ඒ නිසා මට අද ලැබෙන වරප්‍රසාද නොමැති වුවද වැඩක් කරත හැකි අයෙක් සිටී නම් එවැන්නාට තැන දී මගේ කෙටි කාලීන අලාභය විඳ දරා ගැනීමට දිරි නැති පසුබැසීමය. හේතුව රටේ දියුණුව පුද්ගලයාගේ ද දියුණුව සලසයි යන්න අමතක කිරීමයි.

පිළිතුර රියෙන්සි අල්ගම මෙන් ගිනිතබා ගැනීම නොවේ. සුදුස්සෙක් තෝරා පත් කරගැනීමට බලය ඇති අපගේ චන්දය පාවිච්චියයි. වැඩවසම් ක්‍රමයේ දී සේ චිරාත් කාලයක් බලයේ ඉන්නට ඉඩ නොතබා සෑම පාලකයාටම වාරයක් දී, වැඩි කලක් බලයේ ඉන්නට නොදී ගෙදර යැවීමයි.

10 Responses

Subscribe to comments with RSS.

  1. stormcrow said, on ජූලි 30, 2010 at 3:11 ප.ව.

    “වැඩවසම් ක්‍රමයේ දී සේ චිරාත් කාලයක් බලයේ ඉන්නට ඉඩ නොතබා සෑම පාලකයාටම වාරයක් දී, වැඩි කලක් බලයේ ඉන්නට නොදී ගෙදර යැවීමයි.”

    This is a system that penalizes delivering the goods. Especially in countries like Sri Lanka, where, despite all opposition pretense, there’s an unspoken collusion of the government and the opposition. That’s why, despite hype, majority of the corruption deals of the “previous” government do not get *properly* investigated. All politicians know that they are together in the coup, and hope that their time will eventually come.

    If there was a system of time-limiting the reins of power, there will be more Ranils and fewer Lee Kuan Yews.

    (By the way, what has been written about mathematics is arguably untrue.)

    • arunishapiro said, on ජූලි 31, 2010 at 10:31 පෙ.ව.

      stormcrow,
      මෙතන තියෙන්නෙ රනිල් සහ ලී ක්වා යුන් නැමති ඒකීය වූ පුද්ගලයන්ගේ හැකියාව ගැන නොව ඒ අය ඉන්නා සමාජය ගැන කතාබහයි. මන්ද, බලතල ලැබූ කල අපිත් වෙනස් විදියට ක්‍රියා කරයි ද නැතහොත් ඒ අය කරනා ආකාරයෙන්ම ක්‍රියා කරන්නෝ වෙමුද? ඒ අයට ඒ ඒ ආකාරයෙන් කටයුතු කරන්නට දී ඇති ඉඩකඩට දායක වන අපි ගැනයි. සුද්දා රටේ සම්පත් සූරාගෙන යනවා යයි කියූ අපි නිදහස ලබා අද වෙනතෙක් රටේ දියුණුව සලසන්නේ කෙසේද? ඒ ආණ්ඩුව වත් විපක්ෂය වත් අතර ඇති කුමන්ත්‍රණය නිසා නොව ජනතාව පුද්ගලික වූ වාසි පතා ඔවුනට රුකුල් දෙන හෙයිනි. Moon over Parador (1988) දකුණු ඇමෙරිකානු රටක ආඥාදායකයෙක් තේමා කරගෙන නිෂ්පාදනය වූ රසවත් චිත්‍රපටියකි. එය The Magnificent Fraud (1939) චිත්‍රපටියේ නූතන නිෂ්පාදනයයි. මේ දෙකටම පාදක වී ඇත්තේ Charles G. Booth ලියූ”Caviar for His Excellency” කෙටිකතාවයි. නූතන චිත්‍රපටිය දැක තිබුණ ද මුල් චිත්‍රපටිය දැක නැත. කෙටිකතාව ද මා කියවා නැත.

      ප්‍රතිපත්ති මිස පුද්ගලයෙක් පෙරදැරි කරගත් දේශපාලනයක බල ලත් පුද්ගලයා බලය ආරක්ෂා කරගන්නට වෑයම් දරණ ඉත්තෙක් ද? යුරෝපීය රටවල, ඇමෙරිකාව, ඔස්ට්ලියාව හා කැනඩාව යන රටවල පුද්ගලයා හෝ පක්ෂය වම වූවත් දකුණ වූවත් වැඩි වෙනසක් නොවන්නේ බලය කෙටි කාලයකට සීමිත වීමත්, ප්‍රතිපත්ති වෙනස් කිරීම අපහසු වීමත් නිසාය. බුෂ්ව පන්නා ගත් අපිට ඔබාමාට කියා ඉරාකයෙන් හා ඇෆගනිස්ථානයෙන් හමුදාව ආපහු ගෙන්වා ගැනීමට බැරිව ඇත්තේ ඒ නිසාය.

      සමාජවාදී ආණ්ඩු ක්‍රමයන් වූ කියුබාව, සෝවියට් දේශය හා චීනය වැනි රටවල් අතරත් නැගෙනහිර ජර්මනිය අතරත් වූ වෙනසට හේතුව ජර්මන් ජාතිකයාගේ දැක්ම නොවන්නේ ද?

      ආණ්ඩු‍ කරන්නට පත් කරගන්නා අයගෙන් අපිට ඇති වාසි නොතකා, විශේෂ සැලකීම් අපේක්ෂා නොකර අපගේ තත්වය දියුණු කරගන්නට නිදහස් තරඟයක යෙදෙන්නට අපි කැමති වෙමු ද? එසේ හැකි වූ රටවල් හා එසේ හැකි නොවන රටවල් අතර වෙනස අද ක්‍රමයෙන් අඩු වී යයි. නිදහස් තරඟය වෙනුවට හැම කෙනෙක්ම පාහේ මුක්කු ගහන පැත්තෙන් වාසි අපේක්ෂා කරන වැඩවසම් ක්‍රමයට නැවත යන ආකාරයක් පෙනේ. එයට තිතක් තැබිය හැකි එකම මාර්ගය නම් ඕනෑම අයෙකුට ඇති බලතල කාලය සීමා කිරීමය. ඒ අළුත් නීති ගෙන ඒම මඟින් නොව අද පවතින චන්දය පාවිච්චියෙනි.

      රටට හා රටවැසියාට යහපත් ප්‍රතිපත්ති එක පුද්ගලයෙකු වෙතින් ඉදිරිපත් වෙනවාට වඩා විවිධ වූ පුද්ගලයෝ වෙතින් ලැබීම වඩා යෝග්‍ය නොවන්නේ ද? එක මොළයකට වඩා මොළ කිහිපයක සේවය රට දියුණුවට වඩා සුදුසු නොවන්නේ ද? ජනප්‍රියත්වය නිසා මහත් කාලයක් සිටිනු වෙනුවට සිටින කෙටි කාලයේ දී යම් සේවයක් ඉටුකර යන්නට ඔවුනට වගකීමක් පැටවේ ද? අන් සෑම අංශයක්ම වේගයෙන් වෙනස් වද්දී, ප්‍රතිඵල ඉක්මණින් බලාපොරොත්තු වෙන ලෝක සමාජයක දේශපාලනයට පමණක් තවමත් කල් දිය යුත්තේ ඇයි?

      ගණිතය පරතෙරට හදාරා ඇති අය මා පුද්ගලිකව දන්නේ අල්පයකි. ලංකාවේ අශෝක හඳගම, කැනඩාවේ මා හා නේවාසික නිවහන බෙදාගත් මරියා කියරොල්ලා හා මගේ සැමියාගේ මිතුරකු වන ටොම් සෙල්කිය. ඔවුන් හා කතාබහත් Contact (1997) චිත්‍රපටියත් Freakonomics ග්‍රන්ථයත් තවත් අර කියමන සාධනය කරන්නට හේතුවිය. Carl Sagan ලියූ Contact (1985) ග්‍රන්ථය මා කියවා නැත. මා කළ සඳහන ශුද්ධ ගණිතය මිස ගණිතය පිළිබඳ දර්ශනය ගැන කියන ලද්දක් නොවන අතර තර්ක කළ හැකි වුවත් ඔප්පු කරත හැකි වෙනත් විෂයයක් ඇත්ද?

      • stormcrow said, on ජූලි 31, 2010 at 4:27 ප.ව.

        ප්‍රශ්නය ඇත්තේ රනිල් හෝ ලී ගේ ඒක පුද්ගල හැකියාවන් ගැන නොව ඔබේ “චිරාත් කාලයක් බලයේ ඉන්නට ඉඩ නොතබා සෑම පාලකයාටම වාරයක් දී, වැඩි කලක් බලයේ ඉන්නට නොදී ගෙදර යැවීම” ට අදාලව ඔවුන්ගේ ඉතිහාසය ගැනයි. ලී යනු රටේ කරදරකාරී අවස්ථාවක බලයට පැමිණ, මර්ධනකාරී වුවත් කළ යුතු දේ කළ නිසා “චිරාත් කාලයක් බලයේ සිටින” නායකයෙකි. රනිල් යනු තමාගේ දක්ෂකමකින් නොව අනෙක් නායකයන් ගේ වාරය අවසන් වූ නිසා ඉබේ බලයට පත්වූ අදක්ෂ දුර්වල නායකයෙකි. (අනෙක් අයගේ වාරය අවසන් වූයේ බෝම්බයකින්ද ඔබ සඳහන් කරන අන්දමේ ප්‍රජාතන්ත්‍රවාදී “timeout” පයින් ගැසීමකින් ද යන්න තර්කයට වැදගත් නැත — ඔබ යෝජනා කරන්නේ කොහොමත් වැඩි කලක් ඉන්නට නොදී නායකයන් ඉවත් කිරීම බැවිනි). දක්ෂ පාලකයෙක් “චිරාත් කාලයක් බලයේ සිටීමට” ලී උදාහරණයකි. දක්ෂ නායකයන් අකාලයේ “බම්ප්” වීම නිසා අදක්ෂ පාලකයන් ඉබේ උඩට ඒමට රනිල් උදාහරණයකි.

        පෙනෙන හැටියට ඔබ යෝජනා කරන්නේ මෙසේ දක්ෂ කම නොතකා ඕනෑම පාලකයෙක් අකාලයේ “බම්ප්” කරන ක්‍රමයකි. එසේ නොවේ නම්, ඔබ යෝජනා කරන්නේ “නායකයන් ගේ සියළු වාසි අවාසි සලකා බලා *නොසුදුසු යැයි හැඟෙන* විට තව දුරටත් තබා නොගෙන බලයෙන් පහ කිරීම” නම්, එහි කොහොමත් පවත්නා ප්‍රජාතන්ත්‍රවාදයට වඩා හරයෙන් වෙනස් කමක් නැත. බුෂ්ට දෙවරක් චන්දය දුන් උන් බහුතරය එසේ දෙන්නට ඇත්තේ එය උන්ගේ පුද්ගලික තේරීම නිසාය.

        “විශේෂ සැලකීම් අපේක්ෂා නොකර අපගේ තත්වය දියුණු කරගන්නට නිදහස් තරඟයක යෙදෙන්නට අපි කැමති වෙමු ද”

        මේ අර්ථයෙන් ලිබර්ටරියන් මතවාදීහු ඇමරිකාවේ කෙසේ වෙතත් ලංකාවේ ඇත්තේ සුළුතරයකි. (ඔබ සිංහලයෙන් ලියන නිසා මා හිතන්නේ ඔබේ මත වලට ඔබ බලාපොරොත්තු වන පාඨකයන් ඇමරිකානුවන් නොවේ). ප්‍රේමදාස එලවීමට දෝෂාභියෝගය ගෙනා මොහොතේ එක කන් කෙඳිරි ගෑමක් වූයේ ප්‍රේමදාසගේ තරග විභාග ක්‍රමය නිසා “පාක්ෂිකයකුට” රැකියාවක් දීමට වත් බැරි වූ බවයි. රනිල්ට විරුද්ධව ද මේ චෝදනාවම 2004 දී එජාපයේ ම ලොකු ලොක්කන් ගෙන් එල්ල විය. ජවිපෙ හැමදාමත් කියන්නේ විශ්ව විද්‍යාල වලින් පිටවන සියළු හාල් කෑලි වලට මහජන මුදලින් රැකියා ලබා දිය යුතු බවය. ශ්‍රීලනිපය දිගට හරහට රැකියා විසි කරයි. මේවා “විශේෂ සැලකීම්” නොවේ ද? ඉතින් තට්ටු මාරු ක්‍රමයකින් ප්‍රශ්නය විසඳෙන්නේ කෙසේ ද?

        හිසරදයට පිළියම කොට්ටය විටින් විට මාරු කිරීම නොවේ.

        • arunishapiro said, on ජූලි 31, 2010 at 5:24 ප.ව.

          stormcrow,
          ලී 1959 දී, එනම් මා උපදින්නටත් පෙර බලයට පැමිණ අද දක්වා බලයේ සිටියි. සිය පුත්‍රයාට 2004 දී අගමැතිකම පවරා ඇත. කොතරම් දක්ෂ වුවත් ‍සිංගප්පූරුවට ද උපන්නේ එක දක්ෂයෙක් නොවේ යයි මම සිතමි. සමහර විට ලී ටත් වඩා දක්ෂයෙකුට ඉදිරියට එන්නට තිබුණ ස්ථානය ඔහු නිසා පැහැර ගියා වන්නට ඇත. ඒ නිසා දක්ෂකම නොතකා අකාලයේ නොව “කාල සීමාවක” බලයේ සිටි පසු තවත් අයෙකුට ඉඩ දීම සුදුසු යයි යෝජනා කරමි. ඒ අදහස් ඇති ලිබටේරියන් ගොයියලා මෙහෙත් සොයා ගැනීම ඉතා දුෂ්කරයි! එහෙත් ලෝකය පුරා අද සිංහලෙන් කියවන අය සිටින නිසා ඒ ඒ හැම රටකම නායකයෝ ගැන තම තමන්ටම හිතන්න පුළුවන.

          අදට වඩා දක්ෂතා ඇති අය හෙට බිහි කරනු හැක්කේ නිදහස් තරඟයක් ඇත්නම් පමණි. එකම අයෙකු හෝ එකම පවුලකට නොව හැමටම අවස්ථාවක් ඇතිබව පෙනෙද්දීය. නැතිනම් වරප්‍රසාද ලත් මෝඩයෝ වෙතින් ලොව ඉහළ තනතුරු පිරී ගොස් අවසානයේ මුළු ලෝකයාම මෝඩයෝ බවට පත්වේද?

          ප්‍රේමදාසගේ තරඟ විභාග ක්‍රමයත්, රනිල්ට එරෙහි වූ ඒ හා සමාන චෝදනාවත් නිසා ඔවුන් දෙදෙනාම තම පක්ෂයේ අය අතර අප්‍රසාදයට පත්වූයේ ජනතාව නිදහස් පිටියක තරඟයට නොව වාසි හා වරප්‍රසාද සොයන නිසාය. ඒවා “විශේෂ සැලකිලි” යයි දැකීම හා පිළිගැනීම පමණක් මදිය. එසේ බලාපොරොත්තු නොවී නිදහස් තරඟ පිටියකට බහින්නට රටවැසියාව යොමුකළ දාට කොට්ටය මාරු නොකරම හිසරදය නැති වෙයි. සුදුස්සාට නොව මුක්කු ගහන්නාට තැන දෙන සිස්ටම් එකක රටවැසියා නිදහස් තරඟය ගැන සිතනු නැත.

          කොට්ට මාරු කරන්නට අවශ්‍ය කාලයක් ගියාම එහි ඇති සුවපහසුව නැති වී යන නිසාය. පුරුදු කමිසය හා පුරුදු කොට්ටය සුවදායකය. එහෙත් අළුත් කමිසයකුත් අළුත් කොට්ටයකුත් කාලයෙන් කාලයට ලබාගත යුතුයි නේද?

      • stormcrow said, on අගෝස්තු 1, 2010 at 1:43 පෙ.ව.

        ඒ නිසා දක්ෂකම නොතකා අකාලයේ නොව “කාල සීමාවක” බලයේ සිටි පසු තවත් අයෙකුට ඉඩ දීම සුදුසු යයි යෝජනා කරමි. …
        අදට වඩා දක්ෂතා ඇති අය හෙට බිහි කරනු හැක්කේ නිදහස් තරඟයක් ඇත්නම් පමණි.

        ඔබ මතවාදීව ලිබර්ටරියන් වුවත් මෙතැනදී කරන්නේ පරස්පර විරෝධී තර්කයකි. “කාලසීමාවක” බලයේ සිටි පසු තවත් අයෙකුට ඉඩදීම සඳහා තරග කරුවෙක් පිටියෙන් ඉවත් කිරීම නිදහස් තරගය නොවේ. එය නායකත්වය සඳහා සලාක ක්‍රමයකි. වඩා දක්ෂයන් ඇති තරම් සිටිත් නම්, අන්දරේ ගල ඉස්සූ ක්‍රමයට අනෙක් අය විසින් (හෝ නීතියක් විසින්) නායකත්වය ඔසවා කරේ තබන තෙක් නොසිට නායකත්වය සඳහා අඩු ගණනේ පෙනෙන සටනක් දිය යුතු ය. කරු ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස අද කරන්නේ අඩු වැඩි වශයෙන් රනිල් එදා කළ දේ මය. මෙයින් සිදු වන්නේ, දේශපාලනිකව “පැකිං වත් කඩා නැති” නායකයන් ඉබේම උඩට ඒමයි. උන් ගොන්නුද දක්ෂයන් දැයි තීරණය කළ හැකි වන්නේ (රනිල් මෙන්) රටේ ලොකු පුටුව ගත් දිනට ය.

        අනෙක් ප්‍රශ්නය, මේ “අකාලයේ නොවන” “කාල සීමාව” නිර්ණය කරන්නේ කෙසේද යන්නයි. අද එය තීරණය වන්නේ (ලී හෝ රාජපක්ෂ ගහන දහං ගැට වලින් තරමක් විකෘති වුවද) නිදහස් තරඟය තුලිනි. (දහං ගැට, කාලය පිලිබඳ ප්‍රශ්නයක් නොව fair play පිලිබඳ ප්‍රශ්නයකි. එයට විසඳුම දක්ෂයන්ට කාල සීමාවක් පනවා අදක්ෂයන්ට උල්පන්දම් දීම නොවේ — දෙවැනි පෙලට පළමු පෙලට නිදහසේ අභියෝග කළ හැකි ක්‍රමයක් ඇති කිරීමය.) මීට වඩා “වැඩ කරන” යන්ත්‍රනයක් යෝජනා කළ නොහැකි නම්, නිකන්ම පරමාදර්ශී “අකාලයේ නොවන” “කාල සීමාවක්” ගැන කීම “ලෝකයේ හැමටම සටන් නැතිව සාමකාමීව ඉන්න බැරි ඇයි” යයි අසන්නාක් මෙන්, හිත හොඳ එහෙත් බොලඳ අදහසකි.

        කොට්ට මාරු කරන්නට අවශ්‍ය කාලයක් ගියාම එහි ඇති සුවපහසුව නැති වී යන නිසාය. පුරුදු කමිසය හා පුරුදු කොට්ටය සුවදායකය. එහෙත් අළුත් කමිසයකුත් අළුත් කොට්ටයකුත් කාලයෙන් කාලයට ලබාගත යුතුයි නේද?

        කොට්ට පෝලිමේ ඊලඟට ඇත්තේ ගලක් හෝ ලී කොටයක් නම්, මා කැමති තරමක් පැතලි වුවත් තිබෙන කොට්ටය තබා ගැනීමට ය. මට අවශ්‍ය කාලයෙන් කාලයට කොට්ටය ඉබේ මාරු වන ක්‍රමයක් නොව, ජීවිත කාලයක් හෝ තිබෙන කොට්ටය තබා ගන්නවාද, පෝලිමේ ඊලඟ කොට්ටය ට මාරු වනවාදැයි මටම තීරණය කළ හැකි ක්‍රමයකි. විකෘති සහිතව හෝ පවත්නා ප්‍රජාතන්ත්‍රවාදයේ මේ පහසුකම ඇත.

        ප්‍රේමදාසගේ තරඟ විභාග ක්‍රමයත්, රනිල්ට එරෙහි වූ ඒ හා සමාන චෝදනාවත් නිසා ඔවුන් දෙදෙනාම තම පක්ෂයේ අය අතර අප්‍රසාදයට පත්වූයේ ජනතාව නිදහස් පිටියක තරඟයට නොව වාසි හා වරප්‍රසාද සොයන නිසාය.

        මෙය නායකයන් ගේ හෝ ක්‍රමයේ වරද නොව රට වැසියන් නැමති තක්කඩින් ගේ ප්‍රශ්නයකි. උපාධිධාරීන්ට රැකියා ආණ්ඩුවෙන් නොදෙන බව දැන දැනමත් විශ්ව විද්‍යායලට ගොස්, පාඨමාලාව අවසන් වූ පසු හීනෙන් ඇහැරුනාක් මෙන් “දියවු දියවු” කෑගසන්නන් ද අවසාන විග්‍රහයේදී ඉල්ලන්නේ නිදහස් තරඟයක් නොවේ. “නිදහස් තරගය එපා” කියා ගිනි තබා ගන්නා තකතීරුවන් ඇති රටක, ඒ පහසු කම වෙනුවෙන් සටන් නොකිරීම ක්‍රමයේ වරදක් නොව රටේ සිටින බූරුවන් ගේ වරද ය. පාලකයන් කාලයේ හෝ අකාලයේ හෝ ඊනියා “අකාලයේ නොවන කාලයකට පසු” වෙනස් කිරීම මේ ප්‍රශ්නයට අදාල නොවන අතර උත්තරයක් ද නොවේ.

      • stormcrow said, on අගෝස්තු 1, 2010 at 2:05 පෙ.ව.

        ඇත්තටම, ලංකාවේ ඇත්තේ තරමකට ඔබ යෝජනා කරන අන්දමේ “කාල සීමා” තේරීමකි. ලංකාවේ විරුද්ධ පක්ෂ කරන්නේ පවත්නා ආණ්ඩුව අවශ්‍ය තරම් පිරිහෙන තුරු බකන්නිලාගෙන සිටීම හෝ නලා පිඹීම හෝ වලන් පොලවේ ගැසීමයි. ඊට පසු ගෙඩිය නිකන්ම අතට වැටේ.

        බ්ලොග් ලියන මල්ලිලාටත් අනෙක් එකා බලයට ගත්තොත් දූෂන භීෂන නැතිව රට සුඛිත මුදිත වන හැටි ගැන දවල් හීන දකිමින් දෝ පවත්නා ආණ්ඩුවට බැනීමකට එහා ලොකු වැඩක් නැත්තේ එබැවිනි.

        • arunishapiro said, on අගෝස්තු 1, 2010 at 12:30 ප.ව.

          stormcrow,
          ම‍ගේ තර්කවල අඩුපාඩු හා නොයෙක් පැතිකඩ උදාහරණ පෙන්වමින් සුහදව සංවාදය ගෙන යාම ගැන Stormcrow ට මගේ හෘදයාංගම ස්තූතිය.

          //ඇත්තටම, ලංකාවේ ඇත්තේ තරමකට ඔබ යෝජනා කරන අන්දමේ “කාල සීමා” තේරීමකි. ලංකාවේ විරුද්ධ පක්ෂ කරන්නේ පවත්නා ආණ්ඩුව අවශ්‍ය තරම් පිරිහෙන තුරු බකන්නිලාගෙන සිටීම හෝ නලා පිඹීම හෝ වලන් පොලවේ ගැසීමයි. ඊට පසු ගෙඩිය නිකන්ම අතට වැටේ.// මෙය ලංකාවේ පමණක් නොව අද ඇමෙරිකාවේ ද පවතින තත්වයයි. ඔබාමාගේ අකාර්යක්ෂම වූ පාලනය නිසා ලබන ඔක්තෝබරයේ පැවැත්වෙන වාරමැද නිලවරණයේ දී 2008 පරාජයෙන් පසු කිසිත් වෙනසකට භාජනය නොවූ රිපබ්ලිකන් පක්ෂයට නැවත ජනතාව ගෙඩි පිටින් චන්දය දෙන තත්වයක් පවතී. පවතින නීති වෙනස් කළ යුතු නොවේ යයි මම කියුවේ ඒ නිසාමය. පාලකයා වෙනස් කරනවාද නැද්ද යන තීරණය දැරිය හැකි චන්ද පාවිච්චිය පුද්ගලයෝ තම වාසියට පමණක් පටු ආකාරයෙන් සිතා චන්දය දීමට පෙළඹීම පමණක් ගැන අමුතුවෙන් සිතිය යුතුයි.

          සංවාදයට ගෙන බලමු. මහින්දට තම පාලනය වඩාත් සූක්ෂමව කරගෙන යනු හැක්කේ: තම ගම් ප්‍රදේශවලට වැඩියෙන් යහපතක් කරනු ඇතැයි බලාපොරොත්තු වන ගම්වැසියන් වෙතින් ද, බලයේ ඉන්නට කෑදරකමින් ඔහු හා පාලනයට එක්වන අය නිසා ද, ඔහුගේ හිතවත්භාවය ගාවාගෙන සුනාමි ගම්මානයේ ලොක්කා වන මා හා දර්ශන විශේෂවේදී පාඨමාලාව ඉගෙන ගත් අනික් එකම සිසුවා වූ ෆයිසාල් රශීඩ් හිතවතා වැනි අය නිසා ද? නැතිනම් ඔහු යුද්ධය අවසන් කළ, බටහිර රටවල ගුණ්ඩුවලට අසු නොවී, අද රට දියුණු කරන්නට වැඩ සටහන් දියත් කරන හැකියාව පෙන්වන අයෙක් නිසා ද? මා දකින්නේ ඔහු වටා ගැවසී ඉන්නා වරප්‍රසාද සොයන පාක්ෂිකයෝ ද, මැති ඇමතිවරු ද, පවුලේ අය ද ඇතුළු සමූහයා නිසා කාර්යක්ෂමතාවයට වඩා අනුන් සනසන්නට කාලය වැය වෙන පුද්ගලයෙකි. රනිල් ගෙන බලමු: ඔහුගේ සමරිසි බව දැන දැනත්, ඒ නිසා රටේ නීතියට අනුව ඔහුව කුමන අවස්ථාවක දී හෝ දඟ ගෙයට යැවිය හැකි බව දැන දැනත්, ඔහුව තම තමන් ලබන වරප්‍රසාද නිසා බලයේ තබාගන්නට උත්සාහ කරන විපක්ෂයක් ද? සමරිසි බවට ඇති රටේ හණමිටි නීතිය ඉවත් කරන්නට රනිල්ට පක්ෂ ඒ කිසිවෙක් යෝජනාවක් ගෙන ඇත් ද?

          ලෝකයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත යටතේ සත්‍යයෙන්ම “නිදහස්” වූ තරඟ පිටියක් ලෝකයේ අද තිබෙනවා ද යන්න සැකයකි. මන්ද වඩාත් කාලයක් බලයේ ඉන්නා අයට තම බලය පවත්වා ගන්නට, ප්‍රතිවාදීන් මර්ධනය කරන්නට, තව තවත් තම පුද්ගලික වූ ධනය එක්රැස් කරගන්නට, තමා යටතේ වරප්‍රසාද ලබන අයගෙන් තමා බලයේ රඳවන්නට ක්‍රියාමාර්ග වර්ධනය කරගත හැකියාව තිබීමය. මුදල් නැත්නම් බලයට ඒමට නොහැකි ලෝකයකට (කුමන රටක වුවද) අපි පිවිස ඇත්තෙමු. ප්‍රසිද්ධිය ලබන්නට නම් මුදල් යහමින් විසිකළ යුතුය. මුදල් නොමැත්තාට කොතරම් යහපත් හා කාර්යක්ෂම වූ අදහස් තිබියද ඔහු/ඇය ගැන ජනතාව නොදනිති. රැල්ලට පෙරළෙන හැදියාව නිසා දිනන්නාටම චන්දය දීම, ප්‍රසිද්ධ අයට චන්දය දීම, හා පැත්තේ වාසි බලා චන්දය දීම සිරිත වී ඇත. ඉතින් විටෙක හොඳ පාලකයෙක් බිහි වුවද, වඩාත් අකාර්යක්ෂම හා අනිසි පාලකයන්ට ද බොහෝ කලක් බලයේ රැඳෙන්නට මින් අවස්ථාව ලැබේ.

          සලාක ක්‍රමයක් නොවන්නට, “සීමා” නීති නොපණවා, අද පවතින ජනතාව විසින් තීරණය කරන ප්‍රජාතන්ත්‍රවාදී වූ චන්ද විමසීම යටතේම පාලකයා තීරණය කරනු හැකිය. පවතින ක්‍රමයේ අඩුපාඩුව වන්නේ තවත් දක්ෂයින් බිහිවීමට ඉඩක් නොමැතියාවය. මුදල් නැති, ප්‍රසිද්ධියක් නැති, පරම්පරාගත පාලකයන්ගේ නිෂ්පාදනයක් නොවන අයෙකුට අවස්ථාව දෙන සමාජයක දක්ෂ අය තමන්ටත් අවස්ථාවක් ඇතිබව දකිනු ඇත. ඔවුන්ට රට දියුණුවට අවස්ථාව දෙන්නට අප අපට ඇති වගකීම නොහොත් නොසුදුසු පාලකයින් අපගේ පුද්ගලික ලාභ නොතකා වෙනස් කිරීමට හැකි අගනා ආයුධය වන චන්දය නිසියාකාරව පාවිච්චිය අමතක නොකළ යුතුය.

          නැතිනම් වන්නේ 2010 බ්‍රිතාන්‍ය මැතිවරණයේ දී මෙන් රට පාලනයට ජනතාවට සුදුස්සෙක් තෝරා ගැනීම අපහසුවීමයි. බ්‍රිතාන්‍ය වැසියන්ට වසර 13 ක් බලයේ සිටි පක්ෂයේ වාසි තිබි ගෝර්ඩන් බ්‍රවුන් වෙනුවට තෝරාගත යුත්තේ දකුණේ ඩේවිඩ් කැමරන් ද නැතහොත් වමේ නිකලස් ක්ලෙග් ද යන්න තීරණය කරන්නට අපහසු විය. සුදුස්සෙක් තීරණය කරන්නට බැරි වූ කළ, එන්න එන්නම රට රටවල ජනතාව චන්ද පොළට යන සංඛ්‍යාව අඩුවෙමින් පවතිනවා ද? බ්‍රිතාන්‍යයේ තීරණාත්මක වූ චන්දය තීරණය කරන්නට ගියේ 65% කි. වෙනසක් ගැන කියූ ඔබාමා තෝරාගත් චන්දයේ ද තීරණයට ගියේ 62% කි.

  2. dawkinssdodo said, on ජූලි 30, 2010 at 6:21 ප.ව.

    it is hard to defeat a MEME. on top of that New MEME introduced may mutate and convert in to the old MEME.

  3. stormcrow said, on ජූලි 31, 2010 at 4:42 ප.ව.

    ශුද්ධ ගණිතය මිස ගණිතය පිළිබඳ දර්ශනය ගැන කියන ලද්දක් නොවන අතර තර්ක කළ හැකි වුවත් ඔප්පු කරත හැකි වෙනත් විෂයයක් ඇත්ද?

    ඇතැම් ව්‍යවහාරික විද්‍යා එහෙනම් තර්ක කිරීමක් තබා ඔප්පු කිරීමක් වත් ඉල්ලන්නේ නැත. ඔප්පු කළ හැකි පමණින් අඩුවෙන් ලියවීමක් අදහස් නොවේ.

    • arunishapiro said, on ජූලි 31, 2010 at 5:30 ප.ව.

      stormcrow, ගණිතයේ ඇති ඔප්පු කර පෙන්වන්නක් පැහැදිලිව හැමටම පිළිගත හැකිය. එය පුද්ගලයාට අනුව, රටකට අනුව, මතවාදයකට අනුව වෙනස් නැත. ඔප්පු කරත නොහැකි දෙයක් මතවාදයක් පමණි. මේ ලියන හෑලි ද ඔප්පු කරගත නොහැකි මතවාද පමණි!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: