අරුණි ශපීරෝ‍ වෙතින්

අපි ඔබව රවටමු

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 1, 2010

මෙතෙක් මා ‍ආගම ගැන ‍ලියූ අදහස් කියවා නැත්තෝ පහත සටහන් කියවා නැවත මෙය කියවන්නට එන්න.
ආගමූඪ, ටච්ඩවුන් ජීසස් හා වෝල්ටෙයා; ඇති සුගතිය හා නැති සුගතිය; දැනුම කොයිබට ද? ජිහාඩ් ජේන් හා බහරේන් මාලනී; ආත්ම අනාත්ම පටලැවිල්ල; මර්ෆි රිපෝට්, පාප්වහන්සේ හා මහ මළුවේ සඟ සමුළුව; කටාරයේ විලාසිතා ගැන විවාදයක්; දෙබරයකට ගලක්; භාවනාව; උද්‍යෝගීගේ මෝඩකම; මානසික පරිණාමය ලෝකයේ අවසාන අධිරාජ්‍යය කඩා වැටුණි

ලෝකයේ පංසල් පල්ලි යන සංඛ්‍යාව අද කෙමෙන් අඩු වන්නේ ඇයි? යන අය තවත් අන්තවාදී වන්නේ ඇයි? වැරැද්දක් ඇත්නම් එය කා අත ද?

බටහිර යුරෝපයේ ආගමික වතාවත් සඳහා සහභාගී වන්නේ ජනගහණයෙන් 20% කි. නැගෙනහිර යුරෝපයේ 14% කි. ඇමෙරිකාව දෙවියන් අදහන රටක් සේ හංවඩු ගැසී තිබුණ ද ආගමික ස්ථානයන්ට යනවා යයි කියන්නේ ජනගහණයෙන් 47% ක් පමණි. එනම් රටෙන් බාගයකට වඩා ජනතාව ආගමික බැඳීමකට අයත් නැත. දත්ත සියල්ල 2002 දෙසැම්බර් 19 “ද ඉකොනොමිස්ට්” සඟරාවෙනි. අද ආගමට නැඹුරුව ඇත්තෝ මීටත් වඩා අඩු වී ඇතැයි මගේ අනුමානයයි. රැල්ලට බණ අහන්න ගිය ලංකාවේත් දැන් රැල්ල නැවතිලා ද? ආගම ඇදහීමත් ධර්මය දෙසන පුද්ගලයා මත තීරණය වන්නේ ද?

ලෝකයේ ආගම් අතර දෙවියන්වහන්සේ මුල් කරගත් ආගම් අදහන ජනතාව වැඩි පිරිසය. දෙවියන්වහන්සේ විශ්වාස කරන අය සාතන්ගේ පැවැත්ම විශ්වාස කරනවා ද? දෙවියන්වහන්සේ පමණක් උඩ වැඩ සිටින කළ සාතන් හිත තුල ඉන්නා වැරදි කරන්නට පොළඹවන මාරයෙක් පමණක් ද? එදා අපාය හා දිව්‍යලෝකය ඇසින් දුටුවා සේ ආගම් කියාදුන් ආගමික නායකයෝ අද දිනයේ ඒ මාතෘකා වලින් බැහැර වී වෙනත් මාතෘකා ගැන බණ දෙසති. අද ජීවන රටාව ගැන කියා දෙන, හමුවන්නට හා ගැවෙසන්නට හැකි, සහකරුවන් සොයා ගන්නට හැකි, ආර්ථිකය දියුණු කරගන්නට සහාය සපයන ස්ථාන බවට පංසල් පල්ලි පත්වී ඇත.

එදා ලොව පුරා වූ KGB හෝ CIA ඔත්තු සේවයන් වලටත් වඩා ක්‍රමවත් ලෙසින් හා පුළුල්ව පැතිර තිබි ආගමික පුද්ගල දාමයකින් ගොඩනැඟි කතෝලික පල්ලිය අද ගැටළු සමූහයක හිරව සිටිති. කතෝලික පල්ලිය 2008 දී බිලියන 1.166 ක අනුගාමිකයන් සංඛ්‍යාවකින් යුතුවිය. ඇමෙරිකාවේ උපන් මෝර්මන් පල්ලිය වසරකට පනස් දහසකට වඩා මිෂනාරීයෝ ලෝකය පුරා විසුරුවා යවති. ඇමෙරිකාවෙන් පිටත වැඩියෙන් ඉන්නා ඔවුන් පිළිගන්වන්නේ ඇමෙරිකන් මධ්‍යම පාංතිකයෙක් සේ ජීවිතය වැඩි දියුණු කරගත හැකි ආර්ථික තත්වයකි. හාවඩ් විශ්ව විද්‍යාලයේ Harvey Cox තම Fire from Heaven පොතෙන් කියන ආකාරයට පෙන්තකෝස්තල් ක්‍රිස්තියානි අය පිළිගන්වන්නේ ධර්මය මත ගොඩනැඟි විශ්වාසය නොව අධ්‍යාත්මික අත්දැකීම්ය. එයින් පවතින සමාජයේ ආගම් හා ඇදහිලි වලට මුක්කු ගහත හැකියාව නිසා ඔවුන් ලෝකයේ වඩාත්ම ඉක්මණින් වර්ධනය වන ක්‍රිස්තියානිකාරයෝ වී ඇත. හැම ක්‍රිස්තියානුවන් හතර දෙනෙකුටම එක් අයෙක් පෙන්තකොස්තල්ය. 2002 දී ලෝකයේ මිලියන 400 ක් ඊට අනුගාමිකයෝ සිටියහ. දකුණු කොරියාවේ ලොව වැඩිම පෙන්තකොස්තල් ජනගහණය වන අතර, බ්‍රසීලයේ Luiz Inacio Lula da Silva ගේ ජයග්‍රහණයට ද ඔවුන් දායක වූහ.

ඇමෙරිකාවේ දලෙයි ලාමා ප්‍රසිද්ධිය ලැබුවේත් දෙවියන් අදහන අය ටිබෙටන් බුද්ධාගමට එක් වුනේත් චීනය ද‍ලෙයි ලාමාට දෙන කරදර නිසාම පමණක් නොවෙයි. ටිබෙට් වතාවත් හා කතෝලික පල්ලියේ වතාවත් අතර සමානාත්මතා ඇත. ලෝකයේ කොතැනක හෝ ඇති කතෝලික පල්ලියකට ගොඩ වැදෙන්නාට ආගමික වතාවත් අමුතුවෙන් වටහා ගන්නට සිද්ධ නොවේ. භාෂාව වෙනස් වුවත් වතාවත් එකමය. ටිබෙට් පංසලකට ගොඩ වන්නාට ද එසේමය. පැහැදිලි වූ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්නට විනා දහ දෙනෙක් දහ විදියකට විස්තර කරන ධර්මයක් හෝ වතාවත් නැත.

සාමාන්‍ය පිළිගැනීම නම් දෙවියන් අදහන යුදෙව්වෙක් කරන්නට පොළඹවා ගනු පිණිස ලොව සැරිසරන යුදෙව් මිෂනාරීවරුන් නැති බවයි. දහම වැළඳ ගන්නට ක්‍රියාපටිපාටියක් තිබුණ ද යුදෙව්වක් වන්නට හැකියාව ඇත්තේ උප්පත්තියෙන් පමණි. යුදෙව් බව ආගමක් පමණක් නොව ජාතියක් ද වන්නේය. ඊශ්‍රාලය සෑම යුදෙව්වකුටම දොර ඇරී ඇති රටක් කිව්වත්, මිෂනාරීවරුන් නැත කිව්වත්, ඉන්දියාවේ යුදෙව්වන්ට ඉන්දියාව හා ඊශ්‍රාලය අතර ඝට්ටන දකිනු හැකිවිය. අප්‍රිකානු යුදෙව්වන් ද සිටිති.

ක්‍රිස්තියානි දහම අදහන අය අඩුවන යුරෝපයේ ඉස්ලාම් දහම වැඩියෙන් පැතිරෙන්නේ ද? යුරෝපීය සුදුහම ඇති ජනතාව දරුවන් හදන්නට අඩු සැලකිල්ලක් දක්වද්දී, රටට අවශ්‍ය ශ්‍රමික අඩුපාඩු වෙනත් ජාතිකයන් වෙතින් පිරී යද්දී ඔවුන් රැගෙන එන ආගමට විරුද්ධ වන්නට ඔවුනට අයිතියක් ඇත්ද? පෙන්තකොස්තල්වරුන් මෙන් තම දහම තමා යන රට රටවල ඇදහීම් හා එකතුව බෙදා හරිනවා වෙනුවට මුස්ලිම් ආගම තමන්ගේ ඇදහීම ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන්නට දරණ උත්සාහය යුරෝපයේ අයට වටහා ගන්නට නොහැකිය.

බෙල්ජියමේ Antwerp නගරයේ Flemish පරම්පරාගත අය තම වීදි අද බෙදාගන්නේ ආරාබිකරයෙන්, ආසියාවෙන් හා අප්‍රිකාවෙන් ආ අය හා දියමන්ති දිස්ත්‍රික්කයේ හසැඩික් යුදෙව්වන් සමඟය. එකමුතුවක් නැති පිරිසක් අතර Vlaams Belang නැමති සංක්‍රමණිකයන්ට අකමැති, දකුණට බර වූ Flemish දේශාභිමානී පක්ෂයට ලැබුනේ 33% ක චන්ද පමණි.

ප්‍රංශය 2004 දී සිය මහජන පාසැල්වල මුස්ලිම් හිස් වැසුම් ඇතුළු සියළුම ආගමික සංකේත තහනම් කරන ලදි. ශතකයක් තරම් ඉතිහාසයක් පුරා ප්‍රංශය ආගමත් ‍ආණ්ඩුවත් දෙපැත්තකින් තබා සිටීම තීරණයට පහසු වුනි.

පුද්ගලික පාසැල් අතර ක්‍රිස්තියානි, යුදෙව් පාසැල් මෙන්ම මුස්ලිම් පාසැල් ද අද ලොව පුරා පැතිරෙයි. එයින් සිද්ධ වන්නේ තම ආගම උගන්වන පුද්ගලික පාසැලකට වරම් නැති දුප්පත් ශිෂ්‍ය/ශිෂ්‍යාවට ආගම ඉගෙනීමට ඉඩකඩ නොමැතිව යාම ද?

“අල්ලා” නාමය මැලේසියාවේ හෝ ඉන්දුනීසියාවේ භාවිතයෙන් ගත්කල එය “දෙවියන්” සේ දැක්වෙයි. Herald නැමති මැලේසියාවේ කතෝලික සතිපතා පත්‍රයට එම වචනය පළකරන්නට මැලේසියාවේ ඉහළ උසාවිය අවසර දුන් කළ මෙම වසර මුල දී කතෝලික පල්ලි ගණනාවක් ගිනිබත් විය. මන්ද සමහර මුස්ලිම්වරුන්ට අනුව අල්ලා යනු ඔවුනට පමණක් අයිති නාමයකි.

රාමදාන් සමයේ හෝ අවමංගල්‍යයක දී පමණක් එදා ඇසුණු කෝරානය හඬනඟා කියැවීම අද ටැක්සි රථයේ, බස් රථයේ හා ඇතුල්වන මුස්ලිම් ආයතන බොහොමයක දී අසන්නට ලැබෙන්නේ ඇයි? ඊජිප්තුවේ පසුගිය වසරේ දුම්රිය අනතුරක් විය. පීල්ලක නැවති දුම්රිය ගැන පාලක මැදිරියට දන්වන්නට නොහැකි වූ නිසා මිනිස් ජීවිත 18 ක් බිලිවිය. ඒ පාලක මැදිරියේ නිලධාරියා යාඥා සඳහා නියමිත කාලය උදා වූ නිසා තම සේවය නතර කළ නිසාය.

මැද පෙරදිග ඉන්නා ඊජිප්තු ජාතික ක්‍රිස්තියානුවෝ යන Coptic Orthodox පල්ලියට එන පිරිස් අද වැඩි වී ඇත. ඒ පල්ලිය දික්කසාදය අනුමත නොකරන අතර දෙවන විවාහයකට ඉඩ නොදේ. ලෙබනනයේ රූපවාහිනී‍ නිවේදනයෙන් ප්‍රසිද්ධිය ලත් මුස්ලිම් ආගම ඇදහූ Malik Maktab ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වූ ක්‍රිස්තියානි ආගම ඇදහූ Nayla Tueni හා විවාහ වන්නට සයිප්‍රසයට යන්නට වුනි. ආගම් 18 ක් අදහන්නට නීතියෙන් අවසර ඇති, මිලියන හතරක් ඉන්නා ලෙබනනයේ සිවිල් විවාහයකට ඉඩක් නැත.

ආගමික නායකයෝ අපව රවටනවා ද? මෝක්ෂය සොයා අපි රැවටෙනවා ද? ආගම් අදහන අය ලොව අඩුවෙද්දී, ආගම් අදහන්නට ඉතිරිවන පිරිස වඩාත් අන්තවාදී වෙමින් සිටිනවා ද?

5 Responses

Subscribe to comments with RSS.

  1. අමිල said, on අගෝස්තු 2, 2010 at 9:22 පෙ.ව.

    හරිම කාර්්‍යබහුල නිසා පස්සේ මම කියවනවා..

  2. Rasika said, on අගෝස්තු 3, 2010 at 3:51 පෙ.ව.

    Despite reading this essay carefully, I cannot figure out what exactly you are trying to say.

    Your branching out into various related sub-topics – only a few people can do that for it requires one to be a jack of all trades – is highly commendable as it expands our knowledgebase as well. Perhaps in this instance, you have gone a bit too far and make this a Palamalla.

    However, either you have failed to pass your central message here – or – I have read this a few more time.

  3. Rasika said, on අගෝස්තු 3, 2010 at 3:54 පෙ.ව.

    Ops – my comment was menat for the one titled “Api Obata Vedi Thiyamu”.

  4. Hishan Melanga said, on නොවැම්බර් 25, 2011 at 2:31 පෙ.ව.

    මේ ලිපිය කියවල මට නම් මතක් උනේ සින්දුවක්

    ඒත් ඉතින් හැමෝම තමන්ගෙ ආගම අදහන්නෙ තමන්ගෙ බුද්ධි මට්ටමේ තරමටනෙ?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: