අරුණි ශපීරෝ‍ වෙතින්

අපි ඔබට වෙඩි තියමු

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 2, 2010


තුවක්කු, බැටන් පොළු හා කඳුළු ගෑස් බෝම්බ අතැතිව ඉන්නා නීතිය රකින නිලධාරීන් සේවය කරන්නේ ජනතාවටය. ඔවුන් එය අමතක නොකළ යුතුය. ජනතාව ආරක්ෂා කිරීමට හා කැරලිකරුවන් මර්ධනය කිරීමට අවි ආයුධ පාවිචිචියට ඔවුනට අණ ලැබෙන්නේ රට පාලනය කරන අණ දෙන නිලධාරීන් වෙතිනි. අප එය අමතක නොකළ යුතුය.

ලෝකයේ ස්වේච්ඡාවෙන් බැඳිය හැකි හමුදාවන් සහ නීතියෙන් සේවයට යා යුතු හමුදාවන් යනුවෙන් දෙවර්ගයකි. ඇමෙරිකන් යුධ හමුදාව ස්වේච්ඡා හමුදාවකි. යුරෝපීය රටවල් සමහරක ඇත්තේ නීතියෙන් සේවය කළ යුතු හමුදාවන්ය.

ස්වේච්ඡා හමුදාවන් ඇති රටවල වෘත්තිය පිණිස හමුදාවන්ට බැ‍ඳෙන වැඩි පිරිසක් ලැබෙන වේතන හා දීමනාවන් වලට කැමැත්තෙන් ඊට එකතු වන්නෝ වෙති. හමුදා භටයෝ මෙන් නොව පොලිස් නිලධාරීන් ලොව අඩු ආදායම් උපයන්නෝය. හමුදා භටයන් යුධ ඇති කාල වලදී යුධ වදිද්දී පොලිස් නිලධාරියා රැකියාවේ සෑම දිනයකම වැරදි කරන අය හා ගැටෙන්නේය.

ඇමෙරිකාවේ හමුදාවට බැඳෙන්නාට ඒ ඒ හමුදාව අනුව ගෙවන දිරි දීමනා ඇමෙරිකන් ඩොලර් විසි තිස් දහසක් පමණය. ඊට අමතරව වැඩිදුර අධ්‍යාපනය කැමැත්තෝට විද්‍යාල ගාස්තු, න්‍යශ්ටික පවුලට නොමිලේ සෞඛ්‍ය සේවා, විශ්‍රාම වැටුප්, නොමිලේ හමුදා නිවාස, සහනදායක උකස්කරයන් යනාදී වෙනත් වෘත්තීන් වෙතින් නොලැබෙන වාසි බොහොමයක් ලබන්නෙකි. වසර 20 ක සේවයකින් විශ්‍රාම යද්දී, විශ්‍රාම වැටුප නොනැවතී වෙනත් රැකියාවකින් ආදායම් උපයත හැකියාව ද ඇත්තෙකි. එහෙත් ඒ සියල්ලටම ඔහු/ඇය ජීවත්ව සිටිය යුතුය. මරණයෙන් පසු කප්පාදු සහනයන් පවුලට ඇත.

ඇමෙරිකන් මරීන් සේවයේ යෙදෙන සෑම භටයෙක්ම මරණයට පත් වූ විට ඔහු/ඇයගේ මළසිරුර කිසිවිටෙක තනි නොකරයි. මරීන් සොල්දාදුවෝ මරණය ගැන දන්වන්නට නිවසට පැමිණ ඥාතීන් හා අවමංගල්‍ය පවත්වන තෙක් නිවස රකිති. අවමංගල්‍ය පැවැත්වෙන සූසාන භූමියට ඥාතීන් ගිය කළ නිවස ආරක්ෂා කරති. අවශ්‍ය නම් කැමති කාලයක් අවසන් ගමන් ගිය භටයාගේ පවුලට කතාබහ කරන්නට, උවදෙස් ලබාගන්නට හමුදාවෙන් කෙනෙක් පත්වෙයි.

යුධ හමුදා ගැන වූ වාර්තා හා ප්‍රබන්ධ චිත්‍රපටි අතරින් මා වඩාත්ම රස වින්ඳේ Breaker Morant (1979) නැමති ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනයයි. සරත් ෆොන්සේකා පරදවන්නට මැතිවරණ සමයේ පෙන්වූ The Last King of Scotland සහ Rise and Fall of Idi Amin චිත්‍රපටි ඉදිරියේ පබා තහනම ගැන කතාබහට වඩා සරත් දිනවන්නට අවශ්‍ය වූ ‍අයෙකුට Breaker Morant පෙන්වූවා නම් වාසිදායක ප්‍රතිචාර ලැබෙන්නේය. නමුත් ලංකාවේ එය කිසිදිනෙක පෙන්වා ඇත්දැයි නොදනිමි. එය සත්‍ය සිද්ධියක වාර්තාවකි.

ජර්මානුවන් නීතියෙන් හමුදා සේවයට බැඳීම සලකන්නේ “අන්තර් නායකත්වය” (innere Führung) වැනි කාල්පනිකයක් සමඟය. හමුදා භටයා ආචාර ධාර්මික නොවන නියෝග පිළිගැනීම වෙනුවට ජර්මනියේ ව්‍යවස්ථාදායක ප්‍රතිපත්ති වලින් තම මාර්ගෝපදේශනය ලබාගත යුතු බවත් එයින් හැ‍ඟේ. මේ පිළිබඳව විචාරයක් ඇමෙරිකන් A Few Good Men (1992) චිත්‍රපටියේ සිද්ධ වන්නේය.

වාර්තාවන් නොවන චිත්‍රපටි යනු ප්‍රබන්ධයන්ය. ප්‍රබන්ධයක සිනමාකරුවාගේ දැක්ම පිළිබිඹු වූ පමණින් එය සත්‍යයක් නොවන්නේය. රණවිරුවන් අගයන මෙන්ම ඔවුන්ගේ දුර්වලතා පිළිබිඹු කරන චිත්‍රපටි ඇමෙරිකාවේ බොහොමයකි. අද දිනයේ ඇමෙරිකානුවන්ට ද ඒවා ප්‍රබන්ධ බව අමතක වී යන ස්වභාවයක් පවතී. වාර්තා විශ්වාස නොකරන්නා ප්‍රබන්ධ විශ්වාස කරන්නට යන්නේ ඇයි?

conscientious objection නොහොත් හෘද්‍ය සාක්ෂියට අනුව යුද්ධ ප්‍රතික්ෂේප කිරීමට ස්වීඩනය වැනි නීතියෙන් හමුදාවට බඳවා ගන්නා රටක ඉඩක් ඇත. ස්වේච්ඡාවෙන් හමුදාවක වේතනයක් ලබා සටන් වදින්නෝ අනුගමනය කරන්නේ ඒ රට ආණ්ඩු කරන්නන් දෙන ආඥාවන්ය. යුද්ධය ගැන පුද්ගලික වූ කැමැත්ත හෝ අකැමැත්ත විමසීමක් නැත. එසේම හමුදාවේ හොඳ නරක ගැන ප්‍රසිද්ධ පිළිසඳරකට ද ඉඩක් නැත. මන්ද වේතන ලබන සොල්දාදුවෝ නීතිය ආරක්ෂා කරන රටේ විධායක ආඥා පිළිපදින හා ක්‍රියාත්මක කරන අය පමණකි. ගුරුවරයෙක්, ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් තමන් සතු එක්තරා රාමුවක් ඇතුලත තනි තීරණ ගන්නෙකි. සොල්දාදුවාට එසේ තනි තීරණ ගන්නට ඉඩකඩක් හමුදාව තුල තිබේද? සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වර්ජන ඇති රටක සොල්දාදුවාට වර්ජනය තහනම්ය. එසේම තම වරදට චෝදනා ද නිදහසට කාරණා ද විමසෙන්නේ හමුදාව ඇතුලතමය. පිටතින් චෝදනාවට පත් වූ විට ඉහළින් එන අණ පිළිපැද්දා යයි කියා ගැලවෙන්නට හැකියාව ඇත්නම්, පිටතින් චෝදනාවක් එල්ල වද්දී ඊට පිළිතුරු දීමේ අයිතිය ද ඉහළට බාර දිය යුතු නොවේ ද?

ලංකාවේ වරක් හමුදාව පිළිබඳ චිත්‍රපටි ගැන ඉහත අදහස් හා සමාන කතාබහක් විය. පුවත්පතේ කර්තෘ ලිපිය කියවා ඊට මා ලියා යැවූ පිළිතුරට කර්තෘවරයා තම ලිපිය නැවත මතක් කරන සටහන් පහක් මගේ පිළිතුරට එක් කර තිබුණි.

යුද හමුදා සේවයෙන් ගැලවෙන්නට ජර්මන් ජාතිකයෝ මාස නවයක් ස්වේච්ඡා සේවයේ යෙදෙති. ඔස්ට්‍රියාව ඉහළ අධ්‍යාපනයේ යෙදෙන අයට හමුදා සේවයෙන් ගැලවෙන්නට අවස්ථාව දෙයි. ස්වීඩනය ජූලි 1 වැනිදා නීතියෙන් හමුදාවේ සේවය අනිවාර්ය කිරීම ඉවත් කරන ලදි. අද ජර්මනිය ද මාස නවයක අනිවාර්ය හමුදා සේවය මාස හයකට අඩු කරන්නට ව්‍යවසාය නීති කතාබහේය.

හමුදාවට ස්වේච්ඡාවෙන් බැඳිය හැකි වාතාවරණය ඇති කළහොත් හෝ ස්වේච්ඡා සේවයේ යෙදෙන කාලය මාස 9 කින් මාස හයක් දක්වා අඩු කළහොත් අද හමුදාවෙන් ගැලවෙන්නට ස්වේච්ඡා සේවයේ යෙදෙන අයත් අඩු වෙයි ද? දකුණු බර්ලිනයේ විශ්‍රාමිකයන්ට උණු ආහාර සපයන්නෝ, රෝහල්වල, ක්‍රීඩා සමාජවල හා ළදරු පාසැල්වල නොමිලේ සේවය කරන අය මෙන්ම වනාන්තරවල රාජාලියන් රකින්නට ද යන මෙම පිරිස වසරකට අනූදාහක් පමණ වෙති.

දශකයකට පමණ පෙර සියෙරා ලියෝනයේ දශකයක් පුරා පැවති යුද්ධයක් නතර කරන්නට UN සාම හමුදා භටයන් දාහත්දහසක් ගියහ. අද සියෙරා ලියෝනයේ සාමය පැවතෙන නිසා ඩාෆූර්හි සාමය රකින්නට UN සාම හමුදාවට සියෙරා ලියෝන හමුදා භටයන් 160 ක් යවා ඇත. ඒ සඳහා සියෙරා ලියෝනයට ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකක් වසරකට ගෙවනු ලබයි.

සියෙරා ලියෝනයෙන් යැවූ සාම හමුදාව සමන්විත වන්නේ එහි සිවිල් යුද්ධය පැවති කල Sobels නමින් හැඳින්වුනු “දහවල භටයන්, රැයේ කැරලිකරුවන්” ගෙනි. එරටේ Truth & Reconcilliation කමිටුව මඟින් එම භටයන් දරුණු වදහිංසා කළ, දූෂණයේ නිරත වූ, සිවිල් වැසියන්ට එකිනෙකා අනුභව කරන්නට බලපෑම් කල යනාදී වැරදි වලට වැරදිකරුවන් සේ ඔප්පු කරන ලද අයයි. 1999 දී බ්‍රිතාන්‍යයෙන් ආ පුහුණුකරුවන් සියෙරා ලියොන් හමුදාව ප්‍රතිසංස්කරණය කළහ. මිලියන තිහක් වැය කර විසිදාහක හමුදාව ඔවුන් අටදාස්පන්සියයක් දක්වා අඩු කළහ. ඔවුනට නිල ඇඳුම් දී ඔවුන් අතර නිර්නාමික බව තහවුරු කරන ලදි. මේ සියල්ල කරන ලද්දේ ඔවුන්ගෙන් ලෝකයාට සේවයක් ගනු පිණිස ද නැත්නම් දියමන්ති පතල් රැක ගන්නට ද යන්න තවත් ප්‍රශ්නයකි. ඩාෆූර්හි සාමය රකින්නට 160 ක කණ්ඩායම සූදානම් කරනු පිණිස බ්‍රිතාන්‍ය, කැනඩාව, නෙදර්ලන්තය හා ඇමෙරිකාව මිලියන 6.5 ක උපකරණ හා වේතන ගෙවූහ. ඔවුන් හොඳින් සේවයක් ඉටු කළහොත් ඩාෆූර් වෙත යවන භට සංඛ්‍යාව 850 ක් දක්වා වැඩි වෙනු ඇත.

75,000 කට අධික හමුදා සටහන් අන්තර්ජාලයෙන් විසිරුවා හැරි WikiLeaks තවත් 15,000 ක සටහන් තමන් සතු යයි කියයි. මේ සටහන් වලින් නොදන්නා යමක් ලෝකයාට දැනගන්නට ලැබුණා ද? ඇෆගනිස්තානයේ ඇති අල්ලස් දෙන දූෂිතබව, අන්තර්ජාතික භටයන් අතින් සිවිල් වැසියන් මරණයට පත්වීම, පුද්ගල රහිත ගුවන්යානා වලින් වැරදි සිද්ධ වීම, ඉරානය ඇඟිලි ගැසීම, ඇමෙරිකාවට හිතවත් යයි කිව්වද පාකිස්තානය තලිබාන් සහෝදරයන්ට උදව් දීම යනාදිය කාගේ පුදුමයට හේතු වූවා ද?

ලංකා ලෝක විශ්ව විද්‍යාල සේවයේ වැදගත් තනතුරකට පත්ව සිටි කාලයේ ලංකාව නියෝජනය කරන්නට ස්පාඤ්ඤයට යැවිය යුතු නියෝජිතයා තීරණයට දායක වන්නට මටත් අවස්ථාවක් උදාවිය. එදා ඉල්ලුම් පත් ඉදිරිපත් කළ අය අතර IGPගේ පුතා ද විය. ශිෂ්‍යයා මහත් සේවයක් සංගමය වෙනුවෙන් කළ අයෙකුය. යවන්නට වඩාත්ම සුදුසුකම් තිබි අය ද විය. ඔහුට විරුද්ධව තිබි එකම චෝදනාව ඔහුගේ තාත්තාගේ තනතුරය. සංවාද බොහොමයකින් පසුව, තර්ක පිට තර්ක ඉදිරිපත් කර සුදුස්සාට තැන දෙන්නට හැකියාව ලැබුණි.

අපි හමුදාවට හා පොලීසියට චෝදනා එල්ල කරනුයේ අපිත් නීති කඩන්නට කැමති නිසා ද? නැතිනම් අවි අමෝරා ගත් ඔවුන් අපිට නිකරුණේ තර්ජනය හා ගර්ජනය එල්ල කරන නිසා ද? විශ්ව විද්‍යාල සිසුන් ඔවුන් අතර ශාරීරික පීඩා බෙදා ගත්තත් එය වැරදි යයි නොදකින අපි ඔවුනට පොලීසියෙන් පහර දීම පමණක් වැරදි සේ සලකනවා ද?

ප්‍රේමවතී මනම්පේරීට, දෙනගම ඥානවතීට වැනි අතවර කළ සාමය රකින්නට කැප වූ අය අදත් සිටිති. එය අමතක නොකළ යුතුය. එසේම පාරේ යද්දී උසුළු විසුළු හා අතවර කරන සමාජයක බලය ලැබුණු කල බලය අනිසි ලෙස පාවිච්චිය ගැන හරි වැරැද්ද නොදන්නා අය දැනුවත් කළ යුතුය. සියෙරා ලියෝනයේ Sobels භටයන් පුහුණුවෙන් වෙනස් කරන්නට හැකියාව ඇත්නම් සමාජයට ද, නීතිය ක්‍රියාත්මක කරන අයට ද, අවශ්‍ය වන්නේ හොඳ නරක ගැන විචාරයක් ද?

පොලීසිය හා හමුදාව වැඩ කරන්නේ කාගේ අණ මත ද කියා විමසීම අපි නිතරම අමතක කරන්නේ ඇයි?
ලෝකයේ හමුදාවන් අපිට වෙඩි තියනවා ද? නැත්නම් හමුදාවට අණ දෙන දේශපාලනඥයෝ අපිට වෙඩි තියනවා ද?

3 Responses

Subscribe to comments with RSS.

  1. arunishapiro said, on අගෝස්තු 3, 2010 at 7:42 පෙ.ව.

    Rasika writes: Despite reading this essay carefully, I cannot figure out what exactly you are trying to say.

    Your branching out into various related sub-topics – only a few people can do that for it requires one to be a jack of all trades – is highly commendable as it expands our knowledgebase as well. Perhaps in this instance, you have gone a bit too far and make this a Palamalla.

    However, either you have failed to pass your central message here – or – I have read this a few more time.

    අරුණි ලියයි:
    ඊයේ ඇමෙරිකන් ජනාධිපති ඔබාමා ඉරාකයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් සටන් නතර කරන බව ප්‍රකාශ කළේය. සටන් නොකරනවා නම් වෙනත් භූමියක අවි ආයුධ ගත් භටයෝ රැඳී සිටිය යුතු ඇයි? යුද්ධයක් අවසන් නම් සොල්දාදුවෝ ගෙදර එන්නට ඕනා නේද? සාමය ආරක්ෂා කරන්නට රැඳී සිටින්නේ බයිබල් හා කෝරාන අතැතිව නොව රයිෆල් හා පිස්තෝල අතැතිව නම් එයින් හැඟෙන්නේ කුමක් ද?

    වියට්නාමයේ යුද වැදි ඇමෙරිකන් භටයා ස්වේච්ඡාවෙන් යුද්ධයට ගිය අයෙක් නොවුණි. ඔවුන් ආපහු පැමිණෙද්දී රටවැසියෝ ඔවුනට මහත් අප්‍රසාදයක් පළ කළහ. ඉරාක යුද්ධයේ දී ස්වේච්ඡාවෙන් ගිය භටයන් වෙත යුද්ධය පිළිනොගත් අයගෙන් අප්‍රසාදය එල්ල වීම වළක්වනු පිණිස රටවැසියා දැනුවත් කරන්නට සිද්ධ වුනි. එනම්, යුද්ධ වදින්නේ භටයන් නොව දේශපාලනඥයන් බව ජනතාවට දැන්වීම සඳහාය. යුද භටයාගේ කැමැත්ත අකැමත්ත විමසා යුද්ධයේ නිරත වන්නට හෝ නොවන්නට ඉඩ දෙන්නේ ස්වීඩනය වැනි අහඹු රටකි.

    කාල් මාක්ස් සිය ධනපති ක්‍රමයේ පිරමීඩය අර්ථ දක්වද්දී යුද සෙබලා වැඩවසම් රජුගේ හෝ ඒකාධිපතියකුගේ නිල බලයෙන් ජනතාව පීඩනයට පත්කළ අයෙකු ලෙස පෙන්වීය. සියෙරා ලියෝනය උදාහරණය එසේම වූවා යයි කිය හැකිය.

    රජුගේ හෝ ආඥාදායකයාගේ බලය බෙදා හරින අතකොළුවක් වූ යුද සෙබලාගේ භූමිකාව අද වෙනස් ද?

    වැඩවසම් සමාජයක (ඇමෙරිකාවේ සිවිල් යුද්ධයේ දී පවා) යුද්ධයේ දී කොල්ල කා ගත් දැයින් හරිහම්බ කරගන්නට අවස්ථාව තිබූ සෙබලාට අද දිනයේ ඇත්තේ වේතන හා සහනය.

    අණ දෙන්නෝ තම දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරමින් යුද වැදි අය හා සාම සම්මුති අත්සන් කරද්දී මෙතෙක් තමන් හතුරා යයි සැලකූ අය සුහදව වැළඳ පිළිගන්නට යුද භටයාට සිද්ධ වේ.

    රණවිරුවන් යයි සමහරු කියද්දී මරුවන් යයි තවත් අයෙක් කියයි. ඉහළින් එන අණක්, තමන්ගේම අදහසක් ක්‍රියා නොකරන නිසා, යුද නුවණ කොපමණ තිබුණ ද, නිර්භීත භාවය දැඩි වුවද, යුධ භටයා රාමුවක් තුල අණ පිළිපදින ඉත්තෙකි. හමුදාවේ මුදුන් පෙත්තට ගිය කළ ද යුද්ධය මෙහෙ‍යවන ආකාරය තීරණය කළ ද සතුරා විනාශ කරන්නට යයි අණ එන්නේ හමුදාව මෙහෙයවන සේනාධිපතියාගෙන් නොව යුධ වදින දේශපාලනඥයෝ වෙතිනි.

    සරසවි සිසුන් නිතරම පොලීසිය හා ගැටෙන්නේ ඇයි? පොලීසියට සිසු සිසුවියන් හා ඇති පුද්ගලික තරහක් නිසා නොවේ. නමුත් පොලිසීයේ පීඩනය පාලකයෝ වෙතින් එන්නක් බව හුවා දක්වන්නට, දේශපාලනමය වූ අරමුණු ඉටු කරගනු පිණිස, සිසුවෙක් බිල්ලට දී කෝලාහලයක් ඇද ගන්නා ශිෂ්‍ය සංගම්, ජනතාවට ගෙන යන පණිවුඩය නම් පාලනයේ ඉන්නා අයගේ මදිපාඩුය.

    තමන් අකමැති යුද්ධයට යන සෙබලා මෙන්ම රැකියාව පිණිස පොලිස් වෘත්තිය තෝරාගත් අය ද අනුන්ගේ ඉත්තෝය. ඒ අය රණවිරුවන් කියා බබළවන්නට හෝ මරුවන් කියා හෑල්ලු කරන්නට දෙකම නොහැකිය. අනිත් ක්ෂේත්‍රවල දී මෙන් නොව ඔවුන් ක්‍රියාකරන්නේ බෙහෙවින් තනි තීරණ ගත නොහැකි කුඩා ඉඩකඩක් තුල බැවිනි.

    දේශපාලනඥයෝ අපි ඔබව පාලනය කරමු කීමත්, ආගමික නායකයෝ අපි ඔබව රවටමු කීමත් සත්‍යය වුවත් හමුදාව අපි ඔබට වෙඩි තියමු කීම සත්‍යයක් වන්නේ ද? කාල් මාක්ස්ගේ පිරමීඩයේ අපි ඔබට වෙඩි තියමු ගැන එවැනි විචාරයක් කරන්නටයි මගේ උත්සාහය වූයේ.

  2. කොලූ said, on අගෝස්තු 3, 2010 at 10:43 පෙ.ව.

    මිනිසුන්ව, ගැහැනුන්, ලමා ලපටීන් කපා කොටා සමූල ගාතනයේ යෙදෙන සොල්දාදුවන් එලෙස කරන්නේ තමාගේම අමුනුස්ස බව නිසාද, නැත්නම් ඉහලින් එන අන පිලිගන්නා ලිපිකරුවෙකූ වාගේ, රාජ්‍යසේවකයෙකු ලෙසද. මා හිතන්නේ කතාව ආරම්බ වන්නේ, ඊට ඉපටින් බවය. රුවන්ඩාවේ සමූල ගාතන ආරම්බවීමට පෙර ඒ රටේ සුලු ජාතීන්, මිනිසුන් නොව, කැරපොත්තන් යැයී පවසමින්, ඊට අදාල පසුබිමි සැලසුම් සහගතව අරබා තිබුනි. රොමය මැරුවේ “බාබේරියන්ලාය”. සෑම යුද්දයකටම පෙර ඊට අදාල පසුබිම සැකසූ පසු, සොල්දාදුවාට “නොමිනුසුන්” මැරීම පහසුය.

    • arunishapiro said, on අගෝස්තු 3, 2010 at 1:15 ප.ව.

      කොලූ, විචාරය අමතකව ගොස් තම පැත්ත බලයේ තබා ගන්නට රැල්ලට පෙරළෙන කල, යුදෙව්වෝ සමූලඝාතනය කළ අයටත්, මිනිසුන් කැරපොත්තන් යයි කියා මරා දැමූ අයටත්, සමෘද්ධි නිලධාරීන් ගස් බැඳි අයටත් සම්පූර්ණ බලය දී සම්පූර්ණ දූෂිතයෝ බිහිකරන්නේ වෙන කවුද ඉතින් අපිම නොවේ ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: