අපි ඔබ වෙනුවෙන් කමු
පසුගිය සටහන් නොදැක මෙය කියවන්නට කෙනෙක් පැමිණියේ නම්, මෙහි උත්සාහය වන්නේ කාල් මාක්ස්ගේ ධනවාදී ක්‍රමයේ පිරමීඩයෙහි “අපි ඔබ වෙනුවෙන් කමු” යන්න විමර්ශනයකි.
මෙම ස්ථානය මාක්ස් විසින් දී තිබුණේ කුලීන රදළයන් හා ධනපතියන්ටය. අද දිනයේ මවිසින් දකින්නේ මෙම ස්ථානය දරන්නේ රජයත්, රජයේ නොවන සංවිධානයන් ද ලෙසය. ඒ කෙසේදැයි පැහැදිලි කරන්නට උත්සාහයකි මේ.
අද ලෝකයේ ජාත්‍යන්තර NGO සංඛ්‍යාව හතළිස් දහසකි. රුසියාවේ පමණක් NGO 277,000 ක් ද, ඉන්දියාවේ NGO මිලියනයත් දෙකක් අතර සංඛ්‍යාවක් ද ඇති බව විකිපීඩියාව කියයි.
කුලීන රදළයන්ට හා ධනපතියන්ට නීතියෙන් කිසිත් තහනමක් නැතිව අනුන්ගෙන් සල්ලි එකතු කරගෙන බදු නොගෙවා සිටින්නට නොහැකිය. නීතියෙන්ම ඒ අවසරය අද ලබා දී ඇත්තේ සමාජ සේවා සංවිධානයන්ටය.
ඇමෙරිකාවේ ඇති 501(c)(3) නමින් හැඳින්වෙන්නේ ලාභ නොසොයා සේවයක් ලබාදෙන (Non Profit Organizations-NPO) සමාජ සේවා ආයතනයන්ය. මෙරට NPO ආයතන මිලියන 1.6 ක් ඇති බව විකිපීඩියාව කියයි. දුප්පතුන්ට කන්න සුප් දෙන මුළුතැන්ගෙවල්, දුප්පතුන්ට ඉන්න ගෙවල් හදා දෙන්නෝ, පිටරටවල දුප්පත් අයට පශු පාලනයට සත්තු යවන අය, වනාන්තර රකින අය මෙන්ම ජාතික රයිෆල් සංගමය ද ඊට ඇතුලත්ය. දේශපාලනයට කෙළින්ම බැඳී නොසිටියත් දේශපාලන අදහස් වෙනුවෙන් ද වූ සංවිධාන බොහොමයකි.
මේ සංවිධාන ලෝකයා භේද භින්න වී සිටිනා ආකාරය සේම ලෝකයේ ඇති ආශ්චර්යමත් වූ විවිධත්වය පෙන්නුම් කරයි. ඕනෑම මාතෘකාවක් ගන්න, ඊට සහාය දෙන්නෝ හා විරුද්ධ වන්නෝ වෙනුවෙන් සංවිධානයක් ලොව ඇත. දෙපැත්තම විමසන, දෙපැත්තේම හරි වැරදි දකින පිරිසට සංවිධානයක් අවශ්‍ය නැත.
කෙළින්ම අවශ්‍යතාව ඇත්තා වෙතට නොදී අතරමැදියෙක් මාර්ගයෙන් අපට දානයක් දිය හැකියාව මත ගොඩනැඟි සමාජ සේවය නිසා අතරමැදියෝ රාශියක් අනුන්ගේ දානය තමන්ගේ ජීවිකාව කරගෙන සිටිති. ඔවුන් අනුන් වෙතින් එන තෑගි බෙදා හරින්නේ කෙසේද යන්න තීරණය කරන බලවතුන් වී සිටිති.
කතෝලික පල්ලිය එදා ලෝකයේ ධනවත් බැතිමතුන් ගෙන් ලබාගත් දානය එහි දුප්පත් බැතිමතුන් වෙත බෙදාහැරි බලවත් සංවිධානයක් විය. අද දිනයේ කතෝලික පල්ලිය අභිබවා යමින් වෙනත් ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගමික සංවිධාන තම බැතිමතුන් කරන දානය ඔවුන්ගේ ආදායමෙන් ප්‍රතිශතයක් (සමහර පල්ලිවල 10% ක්) යයි තීරණය කරති. ආගමික සංවිධානයන් ද තමන්ට ලැබෙන මුදල්, ඉඩකඩම් හා භාණ්ඩ සඳහා ආදායම් බදු නොගෙවන ආයතනය.
එක්සත් ජාතීන්ට රටක් නැත. එහෙත් යුද හමුදාවක් ඇත. අනිත් රටවලින් රක්ෂාවන ජනතාව මිස ඔවුන්ගේ කුසලතා මනිනා වූ ජනතාවක් නැත. ඒ ඒ රට රටවල ජනතාවට පමණක් නොව ආණ්ඩුවලට ද නීති දමන්නට හා ප්‍රශ්න කරන්නට අයිතියක් ඇත. රට රටවල් විසින් ගෙවන ගාස්තු මුදල් වලින් යැපෙන්නෝය. එහෙත් මහත් වූ වස්තුවක් බෙදා දෙන ආකාරය කෙසේදැයි තීරණ ගන්නට අයිතිය සතුය. යම් රටක ආණ්ඩුවේ සේවයට යන්නා හා සමානව එක්සත් ජාතීන්ගේ සේවයට යන්නාට ද මහත් සහනාධාර හා ඉහළ වේතන ලබා ප්‍රතිඵල පැහැදිලි නැති වාර්තා ලියමින් සීමා රහිත සේවා කාලයක් එහි තුල විවිධ ක්ෂේත්‍රයන්හි රැඳෙන්නට ඉඩකඩ ඇත.
සමාජ සේවා සංවිධාන මෙන්ම ලෝකයේ රටවල් ද තම පැත්තට ආ වඩනා අයට ආධාර කරති. රටක දුප්පතුන්ට උදව් කිරීම එකම අරමුණ නොවන බව පැහැදිලිවම පෙනෙන්නේ ආධාර දෙන රටවල් තමන් අනුමත නොකරන ප්‍රතිපත්ති ඇති නායකයෝ පත්වූ පසු කරන ආධාර කප්පාදුවයි. යහළුවෝ හදා ගන්නට ඇමෙරිකාව (USAID), කැනඩාව (CIDA), ඔස්ට්‍රේලියාව (AUSaid) හා යුරෝපීය රටවල් තම රටවල ජනතාව උපයන බදු සල්ලි විසි කරද්දී චීනය, ඉන්දියාව හා අද බ්‍රසීලය (ABC) ද (2010 දී බිලියන 4 ක් පොරොන්දුය) ඊට එක්වෙයි. මෙයින් ඔවුන් සොයා යන්නේ ඒ ඒ රටවලින් තමනට ලබාගත හැකි මෘදු බලයකි (soft power).
සමාජ සේවා සංවිධාන, ආගමික සංවිධාන සේම මේ ආධාර දෙන රටවල් ද අතර වෙනසක් ඇත් ද?
කාල් මාක්ස්ගේ කාලයේ රජු හෝ ආඥාදායකයා වෙතින් වරප්‍රසාද ලබාගත් රදළයන් හා ධනවතුන් තමන්ට පහළින් වූ රටවැසියන්ට තම හිතුමනාපයට ආධාර කෙරුවේය. අද දිනයේ සමාජ සේවා සංවිධාන, ආගමික සංවිධාන හා රට රටවල් ද ආධාර සපයන්නේ තම තමනට කැමති පරිද්දෙනි. රජු හෝ ආඥාදායකයා හෝ රදළයා වෙහෙස වී ධනය උපයා නැත. අනුන් උපයන ධනයෙන් යැපෙන්නෙකි, කොටසක් අයිති කරගන්නෙකි. සමාජ සේවා සංවිධානයන් ද, එක්සත් ජාතීන් ද, ආගමික සංවිධාන ද, රට රටවල ආණ්ඩු ද, මුදල් වියදම් කරන්නෝ මිස මුදල් උපයන්නෝ නොවෙති. ආගමික සංවිධාන හා සමාජ සේවා සංවිධාන තමන් වෙත දානය කරන ධනය බෙදා හරිනා ආකාරය තීරණය කරද්දී, රට රටවල ආණ්ඩු තමන් අය කරගන්නා බදු බෙදා හරින ආකාරය තීරණය කරති.
පුද්ගලික ව්‍යාපාරයක් පවත්වා ගෙන යන්නා තමන් විසින් අය වැය වාර්තාවක් වාර්ෂිකව සකස් කළ යුතුය. ලැබෙන ලාභ වලට වඩා වියදම් වැඩි වුවහොත් ව්‍යාපාරය බංකොළොත්ය. වියදමට වඩා ආදායම වැඩිනම් එය ලාබයයි. ඊට බදු ගෙවිය යුතුය. සමාජ සේවා සංවිධාන ලාබ සොයන ආයතන නොවන නිසා ඔවුන් උපයන ආදායම්වලට බදු ගෙවන්නට සිද්ධ නොවේ. ඔවුනට ලබා ගන්නා සේවා සඳහා, උපකරණ සඳහා, භාණ්ඩ සඳහා බදු සහන ලැබේ.
උදාහරණයක් ලෙස එකම වෙළඳපොලක තරඟ කරන පොත් කඩ දෙකක් ගනිමු. සමාජ සේවා ආයතනයකින් පවත්වා ගෙන යන පොත් කඩයක ලාබය ඒ සමාජ සේවා ආයතනයට මුළුමනින්ම තියාගත හැකිය. පොත්කඩයේ වැඩ කරන අයගේ පඩි නඩි වැඩි කරගත හැකිය. සහන හා විශ්‍රාම වැටුප් වැඩි කරගත හැකිය. ඒ සියල්ල කළ හැකි වුවත් පුද්ගලික පොත්කඩයක් නම් ඊට අමතරව උපයන ලාබයෙන් නගරයට, ප්‍රාන්තයට, රටට යනාදී වශයෙන් බදු ගෙවන්නට සිද්ධ වේ. ඒ බදු නගරය, ප්‍රාන්තය, රට වියදම් කරන්නේ කෙසේද යන තීරණයට දායක වන්නට අවස්ථාවක් නැත. මෙවිට මෙම පොත්කඩ දෙකම එකම වෙළඳපොලක නිදහස් තරඟයක යෙදෙන්නෝ වන්නේ ද? නැතහොත් තමන් කැමති පිරිසට, තමන් කැමති ආකාරයට ධනය බෙදා දීම තම අරමුණ කරගත් පමණින් එක පොත්කඩයක් අනික් පොත්කඩයට වඩා වරප්‍රසාද හිමි කඩයක් වන්නේ ද?
එදා වරප්‍රසාද ලත් රදළ පංතිය හා ධනපති ව්‍යාපාරිකයෝ තමන් කැමති ආකාරයට ධනය බෙදා දීම මඟින් කළ පීඩනය අද සමාජ සේවා සංවිධාන, ආගමික සංවිධාන හා රට රටවල ආධාර ආයතන මඟින් කරන පීඩනයක් වී ඇත් ද?
අද “අපි ඔබ වෙනුවෙන් කමු” යයි කියන්නේ වෙහෙස මහන්සියෙන් හරි හම්බ කරගත් බදු ගෙවන ධනපතියා ද, අනුන්ගේ මහන්සියෙන් ලත් බදු හා දානයෙන් යැපෙන NGO සහ NPO අය ද?
මෙය ඔවුන් අපව කන්නෝය … යනුවෙන් වෙනස් විය යුතු බව මගේ අදහසය.