අපි හැමෝටම කන්න දෙමු
කාල් මාක්ස්ගේ පිරමීඩයේ මේ ස්ථානය දැරුවේ කම්කරුවෝය. අද මා දකින ආකාරයට එය අරක් ගෙන ඇත්තේ නිශ්පාදනයේ යෙදී සිටින සියල්ලෝය. රස්සාවක් කරන අය නොකියා නිශ්පාදනය කරන අය කියා කියන්නේ ඇයි යන්නත් විමර්ශනය කරන්නට උත්සාහයක් ද මෙහි ඇත.
කම්කරුවෝ:
ලෝකයේ රැකියා කරන වැඩි පිරිස කිසියම් කම්කරු සංගමයක සාමාජිකත්වය දරණ අය වෙති. ඒ ඒ කම්කරු සංගමයේ අභිප්‍රාය හුදු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම ද? සාමාජිකත්වයේ සුබ සාධනය ද?
ඇමෙරිකන් ජනතාව විසින් මෑතක දී තම බදු වලින් බේරාගත් ෆෝඩ් මෝටර් කොම්පැණිය අද අළුතින් සේවකයෝ පැයකට $14 වේතනය යටතේ බඳවා ගන්නට සූදානමය. රටේ යුද වදින හමුදාවන් මෙන්ම ෆෝඩ් මෝටර් කොම්පැණිය ද තම කම්කරු සංගමයේ ඉල්ලීම් මත එහි සේවකයෝ වෙත මහත් වරප්‍රසාද රැසක් හිමිකරති. කෙටි කාලයක සේවයෙන් පසු විශ්‍රාම වැටුප් ලබද්දී රස්සාවක යෙදීමට හැකියාව ඉන් එකකි. රටේ අවම වැටුප පැයකට $7.25 ක් වෙද්දී, වාහන අලෙවිය අඩු සමයක, රටේ ජනතාව විසින් තම මුදලින් බංකොළොත් වන්නට නොදී බේරාගත් කොම්පැණිය අළුත් සේවකයන්ට පැයකට $14 ක් ගෙවන්නේ ඇයි?
BP හි ටෝනි හේවර්ඩ්ගේ සේවා කාලයේ දී මෙක්සිකෝ බොක්කේ තෙල් ඉහිරුණි. මිනිස් ජීවිත 11 ක් නැතිවිය. 17 ක් තුවාල ලැබූහ. ඉන්දියාවේ සීඝ්‍රගාමී දුම්රියක් තවත් දුම්රියක් හා ගැටීම නිසා මිනිස් ජීවිත 60 ක් නැතිවිය. 120 ක් තුවාල ලැබූහ. මැයි මාසයේ ද ඉන්දියාවේ මඟී දුම්රියක් පීලි පැන බඩු දුම්රියක් හා ගැටීම නිසා මිනිස් ජීවිත 150 කට ආසන්න සංඛ්‍යාවක් නැතිවිය. ලෝකයා ඉන්දියාවේ දුම්රිය සේවය ගැන හෝ සේවකයෝ ගැන හෝ ඉන්දීය ගමනාගමන ඇමති ගැන කතාබහට වඩා BP ගැන මහත් කතාබහක් කළේ මහා පරිමාණයෙන් තෙල් නාස්ති වූ නිසා ද? පරිසරයට වූ හානි නිසා ද? ඒ නිසා රස්සා නැති වූ නිසා ද? Big Oil ගැන ඇති අප්‍රසාදය නිසා ද? නැතහොත් ටෝනි වසරකට බ්‍රිතාන්‍ය පවුම් මිලියනයක පඩියක් හා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 11 ක විශ්‍රාම වැටුපක් ලබන නිසා ද? නැතහොත් වෙනත් තෙල් කැනීම් පුද්ගලික පාලනයෙන් ඉවත් කර රජය අතට ගන්නට අර ඇඳි දේශපාලන අරමුණු නිසා ද?
ජෝන් නයිට් හා රමණි ගුණතිලක ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිටින චීනයේ කම්කරුවෝ ගැන හදාරන අයයි. ඔවුන් පෙන්වා දෙන ආකාරයට ගම්බද චීන කම්කරුවෝ අද නගරබද ජීවිත සුවපහසුවට ප්‍රිය කරන්නෝය. රැකියාවක් කරන හැම පුද්ගලයාගේම බලාපොරොත්තුව යහපත් ආර්ථික තත්වයකි. ඇමෙරිකාවේ රැකියා බොහොමයක හිඟය අඩු පඩියට, මඳ සහන ලබමින්, අපහසු පරිසරයන්හි වැඩ නොකරන ඇමෙරිකන් කම්කරුවාගේ රැකියා චීනයේ කම්කරුවාට ලැබුණි බැවිනි. ඇමෙරිකාවේ විශාලතම කම්කරු සංවිධානය වන AFL-CIO එදා චීනයට දෝෂාරෝපණය කළේ ඇමෙරිකන් කම්කරුවාගේ රැකියා සොරා ගත්තා කියාය. නමුත් ජූනි මාසයේ චීනයේ Foshan හි හොන්ඩා ගියර් කොටස් හදන Atsumitec කර්මාන්තශාලාවේ කම්කරු වර්ජනය AFL-CIO සභාපතිගේ “නිර්භීත තරුණ වාහන කම්කරුවෝ” යන පැසසුමට ලක්විය. ජූලි 22 දා ඔවුන් නැවත සේවය පටන් ගත්තේ 47%ක වේතන වැඩි කිරීමක් ද ඇතුවය.
මෙක්සිකෝවෙන් රැකියා සොයා ඇමෙරිකාවට හොරෙන් එන අය ද නීතියෙන් රැකියා කරන්නට අවසර තිබුණු කලක දී අඩු පඩියට සුද්දා කරන්නට අකැමති රැකියාවල නියුතු වෙයි ද? නැතහොත් ඔවුන් ද වැඩි පඩි හා හොඳ රැකියා සොයයි ද?
2006 දී මිලියන 112 කට වඩා වැඩි කාර්මික නිෂ්පාදනයේ ඉන්නා චීන කම්කරුවාත් (manufacturing workforce) අද තම වේතනය පැයකට $0.81 කට වඩා වැඩි කරන්න යයි ඝෝෂා කරති. ඊට 2008 දී සම්මත වුනු ඔවුනට රැකියා ගිවිසුම් සඳහා වූ නව කම්කරු නීතිය උදව් වේ. අද චීනයේ නගරබද කම්කරුවාත් තම පිලිපීන හා තායි කම්කරුවන් මෙන්ම වේතන ඉල්ලද්දී චීනයට යන රැකියා වෙනත් රටකට යයි ද?
කම්කරුවාගේ තත්වය නංවාලිය හැකිය. නීති ස්ථාපිත කිරීම මඟින් ආරක්ෂිත සේවා ස්ථාන හා ඉල්ලුමට අනුව වේතන තීරණය වීම අද ලෝකයේ නතර කරනු බැරිය. ඒ නිසා කාල් මාක්ස් කීවා මෙන්ම ආර්ථික දුෂ්කරතා නිසා පටන් ගැනෙන කම්කරු අරගල රටක දේශපාලන විප්ලවයක් ද කරනු ඇත. නමුත් මාක්ස් කීවා සේ එය රටක ආණ්ඩුව හෝ කම්කරු සංවිධාන මඟින් පාලනයට වඩා ලෝක වෙළඳපොල අනුව තීරණය වන්නට ඉඩ හරිනවා නම් කම්කරුවාට වඩා හිතවාදී වන්නේ ද?
ඇමෙරිකාවේ කම්කරුවා වැඩි වියදම් සහිත නම් චීනයට යන නිෂ්පාදකයා එහි කම්කරුවන් වියදම් සහිත වෙද්දී තවත් රටක් සොයා යනු ඇත. නැතහොත් යුනිලීවර් 2002 දී ෂැන්හයි වලින් අන්හූයි වලට ගියා සේ නිෂ්පාදකයෝ වැඩි පඩි හොයන නගර කම්කරුවෝ වෙතින් ඈත් වී ගම්මානවල ඇති අඩු පඩි දී වැඩගත හැකි කම්කරුවෝ සොයා යනු ඇත.
GSP+ ලංකාවට දීම නොදීම ගැන කතාබහේ කිසිවෙක් කතා නොකරපු පැත්තක් නම් අද ලෝක වෙළඳපොලේ භාණ්ඩ අලෙවිය බෙහෙවින් අඩු කාලයක් වී ඇති බව ගැනය. මාස්පතා භාණ්ඩ අලෙවිය හා පාරිභෝගික විශ්වාසය ගැන දත්ත ප්‍රකාශ කරන මාධ්‍යයන් දැන් එය සහමුලින්ම නතර කර ඇත්තේ දත්ත ඉතා පහළ මට්ටමක පවතින නිසාය. භාණ්ඩ අලෙවිය අඩු වෙද්දී නිෂ්පාදකයෝ තම නිෂ්පාදන මට්ටම අඩු කරති. ඇමෙරිකාව හා යුරෝපය ණය බරින් හැකිළෙද්දී බ්‍රසීලය, චීනය, ඉන්දියාව තම මිල දී ගත හැකියාව ඉහළට යවමින් සිටිති. බ්‍රසීලය, චීනය හා ඉන්දියාව ගණුදෙනු කරන්නේ ඇමෙරිකාව හා යුරෝපය මෙන් නොව බොහෝවිට කොන්දේසි රහිතවය. ලෝක වෙළඳපොලේ තරඟකාරීත්වයෙන් පහළට වැටී නොසිටින්නට අනික් රටවල් හිස නොනමා සිටියහොත් ඇමෙරිකාවටත් යුරෝපයටත් ඉතා ඉක්මණින් කොන්දේසි රහිත ප්‍රතිපත්ති වලට එළඹෙන්නට සිද්ධ වනු ඇත.
මෙසේ කල්පනා කරද්දී ධනවාදී නිදහස් වෙළඳපොල සංකල්පයට කොන්දේසි එක්කර එය නිදහස් නොවන සේ පවත්වා ගන්නේ ධනවාදී රටවල් ද? අද එය නැවත නිදහස් වෙළඳපොලක් කරන්නට අත දෙන්නේ ධනවාදී යයි නොකියන එහෙත් ධනවාදී අදහස් ක්‍රියාත්මක කරන රටවල් ද?
ඊ ළඟට නිෂ්පාදනයට අත දෙන අපි සියල්ලෝම අද ලෝකයේ කම්කරුවෝ වන්නෙමු ද?
කාල් මාක්ස්ගේ ව්‍යවහාරයට අනුව නිෂ්පාදනයේ අමු ද්‍රව්‍ය හා උපකරණ භාවිතා කරන පුද්ගලයාගේ උත්සාහය නොහොත් කම්කරු ශ්‍රමය, ධන වස්තූන්ට මූලික වූ සම්පතයි.
ශ්‍රමය යනු ශාරීරික වෑයම පමණක් ද? නැතහොත් මස්පිඬු, මොළය, කුසලතා හා හැකියාවන් සියල්ලම ශ්‍රමය යටතට ගැනෙනවා ද? එසේ ගැනෙනවා නම් මොළය වෙහෙසන අයෙක් කම්කරුවෙක් ද? කුසලතා පෙන්වන ක්‍රීඩකයෙක් කම්කරුවෙක් ද? හැකියාවන් ඇති සියල්ලෝම කම්කරුවෝ ද?
නිෂ්පාදනයට අත නොගසන අය ලෝකයට සේවයක් කරන්නෝ ද? ලෝකයට කන්න දෙන්නෝ වෙත් ද? ගෘහණියක් දරුවන් වඩන, ආහාර පිසින, නිවහන රැකබලා ගන්නා යනාදියෙන් නිෂ්පාදනයේ යෙදෙන්නීය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරුවෝ, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ හා ව්‍යාපාරිකයෝ ද අද දිනයේ නිෂ්පාදනයට අත දෙන්නෝය. ඔවුන් තම “ශ්‍රමය” විකුණා වේතන ලබන්නෝය.
අවමාන තර්ජනයක් (blackmail) කරන්නා නිෂ්පාදනයක යෙදෙන්නෙක් ද? නැතහොත් හුදු ආර්ථික හුවමාරුවක යෙදෙන්නෙක් ද? අවමාන තර්ජනයකින් දේපල හෝ පුද්ගල හානියක් නොව සිද්ධ විය හැකි අවමානය සඟවා ගැනීමට ගතමනාවක් ලබා ගැනීම සිද්ධ වේ. ඒ නිසා අවමාන නොකරනු යන ඉල්ලුම සැපයීමට සේවයක් කරන්නා ආර්ථික හුවමාරුවක නිරත වූ නිසා නිෂ්පාදනයට අත දෙනවා යයි කියත හැකි ද?
ප්‍රසිද්ධිය හෝ ජනප්‍රියත්වය කුසලතාවයක් හෝ හැකියාවක් ද? බොහෝ රටවල ආර්ථික දියුණුව අඩපණ රටේ ජනතාවගේ අඩු උත්සාහය නිසා නොවෙයි. දේශපාලනඥයෝ රට පාලනය කරන ආකාරයේ වැරදි නිසාය. ඒ ප්‍රසිද්ධිය නිසා හෝ ජනප්‍රියත්වය නිසා බලයට පත්කරගන්නා දේශපාලනඥයෝ රට පාලනය නොදන්නා නිසා ද?
දේශපාලනඥයෝ නිෂ්පාදනයේ යෙදෙනවා ද? කොටස් වෙළඳපොලින් ජීවත්වෙන්නා නිෂ්පාදනයේ යෙදෙනවා ද? NGO සහ NPO අයවළුන් නිෂ්පාදනයේ යෙදෙනවා ද? නැතහොත් කලින් කී අය අවමාන තර්ජනයේ යෙදෙන්නෝ මෙන් හුදු ආර්ථික හුවමාරු කරන පිරිසක් පමණ ද?
අරුණි, ඔබ මාක්ස්ව අල්ලාගෙන ඇත්තේ කොරා හා අන්ධයා ආකාතියෙන්. මාක්ස් පැහැදිලිව සඳහන් කරනවා “නිශ්පාදන බලවේගවල අයිතිය නොමැති, තම ශ්‍රමය පමණක් මාධ්‍ය කරගත් අය කම්කරු පංතිය” ලෙස. එය තුලට කායික මෙන්ම මානසික ශ්‍රමයද ඇතුලත්.
යම් මට්ටමක වරප්‍රසාද ලබන සමහර කම්කරු කොටස් තමා කම්කරුවන් බවට හගින්නේ නෑ. ඒක තාවකාලික දෙයක්. ධනවාදයේ කුනුවීම් මත මේ සියලුලන්ගේම (ඔබද ඇතුලුව) වරප්‍රසාදිත තත්වයන් සමනය වීම සිදුවේවි. එතකන් හැලියේ ඉන්නා කකුලුවා සේ (යෙහෙන්) සිටිය හැක.
ප්‍රභාත් ගලගමගේ,
Das Kapital හි මාක්ස් කියනා ආකාරයට ශ්‍රමය වනාහී වස්තුව රැස් කරන්නට අවශ්‍ය වූ සත්‍යය සම්පත වන අමු ද්‍රව්‍ය හා උපකරණ අතපත ගාන කම්කරුවාගේ වෑයමයි. එහිම 6 වැනි කොටසේ ශ්‍රම බලය මිල දී ගැනීම හා විකිණීම ගැන කියවන්න. ශ්‍රම බලය ගැන කතා කරන මාක්ස් මෙසේ කියයි:
“By labour-power or capacity for labour is to be understood the aggregate of those mental and physical capabilities existing in a human being, which he exercises whenever he produces a use-value of any description.”
උපකරණ හා අමුද්‍රව්‍ය නොමැතිව “භාණ්ඩයක්” නිෂ්පාදනය කර අලෙවි කළ හැකි ලෝකයකට අද අප පිවිස සිටිමු. අද දිනයේ “අදහසක්” හා “දැනුම” විකුණා මුදලක් ලබාගත හැකිය. එනම් ශාරීරික නොවූ මානසික ශ්‍රමයක් ශ්‍රම බලයකි.
එසේම, අද දිනයේ ෆෝඩ් මෝටර් කොම්පැණියේ කායික ශ්‍රමයේ නියුතු කම්කරුවාටත් එහි කොටස් මිල දී ගත හැකිය. එයින් නිෂ්පාදන “බලවේගය” හා එකතු වී වරප්‍රසාද ලබන කම්කරුවෝ රාශියකි. වැඩවසම් සමාජයේ මෙන් නොව අද දිනයේ වැඩ වර්ජනයක් කිරීම මඟින් නිෂ්පාදනය අඩාල කරත හැකියාව ද කම්කරු සංවිධාන සාමාජිකත්වය ලබන කම්කරුවා සතුය.
කාල් මාක්ස් කියා ඇති නිෂ්පාදන බලවේගයට දායක නොවෙන, වැඩ වර්ජනයකින් ඊට බලපෑම් නොකළ හැකි, සංවිධානාත්මක නොවූ කම්කරුවෝ, ලොව සිටින්නේ කොපමණ අතලොස්සක් ද?
ඔහු දැක්වූ පරිදි ධනවාදී ක්‍රමයේ පිරමීඩයේ ඉහළ තලවල සිටින සියල්ලෝටම කන්න දෙන්නට ධනවාදී ක්‍රමයේ පිරමීඩයේ සඳහන් ඉහත කම්කරුවෝ සේවය හා ශ්‍රමය සපයනවා ද? නැතහොත් මානසික හා කායික වූ ශ්‍රම සපයන, නිෂ්පාදන බලවේගයට දායක වූ වරප්‍රදසාද හිමි අය ලොවටම කන්න දෙන්නට සේවය හා ශ්‍රමය සපයනවා ද?
aruni, Your understanding on ‘capital’ is completely wrong. If your a genuine person that wants to clarify the question , please goto http://www.wsws.org. website or you can posed the question to them because they are the only organization who fight for socialism in the world and knows Marx’s Capital’ very much. (13 languages with sinhala)
ධනවාදය වර්ධනය වූයේ මාක්ස් සිතූ ලෙසම නොවේ. ධනවාදයේ වර්ධනීය මේ යුගය නිවැරිදි ලෙස විග්‍රහ කිරීමට මාක්ස්ට නොහැකි වීම අරුමයක් නොවේ. ධනවාදය මාක්ස් පසුකර ඇතිවාක් මෙන්ම අරුණි මාක්ස්වාදයද මාක්ස් පසුකර බොහෝ දුර ගොස් ඇත. මාක්ස්ගෙ ෆුල්ටොස් පන්දූ වලට හයේ පාරවල් ගහන එක ලේසි වැඩක්. ධනවාදයේ වර්ධනීය මේ යුගය ගැන අදකාලෙ ඉන්න Slavoj Zizek ල වගෙ අයගෙ ගුග්ලි වලට බැට් කරල පෙන්නන්නකො.
අරුණි මාක්ස් වාදය පසුකර බොහෝ දුරක් ගොස් ඇත? මාක්ස්ගේ පුල්ටොස් පන්දුවලට නෙමේ ඔබ වැනි අයගේ පුල්ටොස් පන්දු වලින් ප්‍රයෝජනයට ගෙන ධනවාද මහජනයාට නම් ම්ලේජ්ජ ප්‍රහාර එල්ල කිරීමට නම් උත්සාහ ගන්නවා.මාක්ස් කියූ සියල්ල පමණක් මාක්ස්වාදය විය යුතු යයි මා කියන්නේ නැහැ. එය වර්ධනය විය යුතුයි. විද්‍යාවක් විධියට. ඕගොල්ලො අන්ධවෙලා ඉන්න ඔය සමහර විචාරකයොන්ගෙ තියෙන්නෙ එකිනෙකට සම්බන්ධ නැති අපබ්‍රංශ වාග් මාලාවක් විතරයි. ඒවාට පිළිතුරු දීමට කාලය වැය කිරීමත් විහිලුවක්.
ප්‍රභාත් ගලගමගේ මාක්ස්වාදය විද්‍යාවක් විධියට යෙදිය හැක්කේ නිෂ්පාදන මාදිලිය(Mode of production) තුල පමණි. මාක්ස්ගේ සීමාව එයයි. මාක්ස්වාදයට නිෂ්පාදන මාදිලියෙන් පිටත දේවල් ගෝචර වන්නේ නැත. ඉහත මා කියූ දෙය ඔබ වරදවා වටහාගෙන තිබේ. උදාහරණයකට මාක්ස් ‘capital’ ලියදදී මාක්ස්ගේ ළමයි බලමින් ජෙනී පවුල තුල හෙලූ ශ්‍රමය ගැන මාක්ස්වාදය කියන්නේ කුමක්ද? නිෂ්පාදන මාදිලියෙන් පිටත දේවල් මාක්ස්ගෙන් විග්‍රහ කල නොහැක.