අරුණි ශපීරෝ‍ වෙතින්

කොතල හිඹුටු, උනහපුළුවා සහ සීනි පියාඹන්නා

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 5, 2010


කොතල හිඹුටු (salacia reticulata) ආරක්ෂිත බෙහෙත් පැළෑටියකි. එය ලංකාවෙන් පිටරට යවන්නට තහනම්ය. මෑතක දී කොතල හිඹුටු රැගෙන යන්නට තැත්කල අයෙක් ගුවන්තොටුපළේ දී අත් අඩංගුවට ගත්තේය. ජපානයේ කොතල හිඹුටු ගැන පර්යේෂණ මහත් රාශියකි. ලාංකිකයෝ ද ඒ ජපන් පර්යේෂණවල නිරතවන අය අතර සිටිති. දියවැඩියාව බොහෝ අයට ඇති රටක වැවෙන කොතල හිඹුටු වලින් දියවැඩියාව සමනය කරත හැකි යයි ඒ ගැන පර්යේෂණ කරන ජපානය කියයි. නමුත් අපි ජපානයට කොතල හිඹුටු පැලෑටි ගෙන යන්නට ඉඩ නොදෙමු. අපි ලංකාවේ කොතල හිඹුටු ගැන කරන පර්යේෂණ වලට වඩා ආසිරියේ හෝ සෙලින්කෝ ගෲප් විසින් දියවැඩියාව සඳහා ඇති සේවා ගැන පුවත්පත් වලින් කියවමු.

අනාරක්ෂිත පැලෑටියක් හෝ සත්වයෙක් ආරක්ෂිත කර බෝවීම වැඩි කරගත හැක්කේ කෙසේද?

ලංකාවේ උනහපුළුවා (slender loris) ගැන පසුගියදා මාධ්‍ය වලින් කතාබහක් කෙරුණි. වසර 72 ක කාලයක දී දකින්නට නොලැබුණු හෝර්ටන් තැන්නේ උනහපුළුවාගේ ඡායාරූප ගැනීමට කොළඹ හා විවෘත විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත් වුන බවයි ඒ ප්‍රවෘත්තිය.

උනහපුළුවෝ තබා නිදි කුම්බාවත් දැක නැති දරුවෝ අද ලංකාවේ වාසය කරති. ඒ නිසා උනහපුළුවා සේම නිදි කුම්බා ද තුරන් වී ගොස් ඇතැයි කියත හැකි ද? අපි නොදැක්ක පමණින්, ඡායාරූප ගත්තේ නැති නිසා පමණක් ද උන් වඳ වී ගොස් ඇත්තේ? නැතිනම් කොතල හිඹුටු මෙන් උනහපුළුවා ද අනාරක්ෂිත වූ නිසා වඳ වී යන්නෝ ද?

අද ඇමෙරිකාවේ තවත් රැල්ලක් පෙරළෙයි. ඒ සීනි පියාඹන්නෝ –Sugar Gliders (petaurus breviceps) හුරතලයට හැදීමයි. ඔස්ට්‍රේලියාව, නිව් ගිනි, බිස්මාර්ක් කොදෙව් දූපත් හා ටැස්මේනියා පැත්තට ආවේනික සීනි පියාඹන්නා අද ඇමෙරිකාවේ ඩොලර් 175-600 අතර ගණනකට මිල දී ගතහැකිය. සීනි පියාඹන්නා හැම ප්‍රාන්තයකම සුරතල් සතෙක් සේ තබාගත නොහැකිය. එහෙත් ජනප්‍රියත්වය නිසා සුරතලා අද වඳ වී යන සතෙක් වෙනුවට විකිණීම සඳහා බෝ කරන සතෙක් වෙයි.

කොතල හිඹුටු රට පටවන්නට අවසර දුන්නොත් කවුරු එයින් වාසි ලබයි ද? ලංකාවේ දියවැඩියා ‍රෝගියෝ? ලෝකයේ දියවැඩියා රෝගියෝ? ලංකාවේ කොතල හිඹුටු වවන ජනතාව? කොතල හිඹුටු වඳ වී නොයා වගා කරන්නට ඉගෙන ගන්නා ජපනුන්? එය රට පටවන්නට දායක වන ව්‍යාපාරිකයෝ? රට පටවන නීති හදන දේශපාලනඥයෝ?

උනහපුළුවා සුරතල් සතෙක් සේ පිටරට පටවා ආදායමක් ලබාගනු හැකි ද? කවුරුන් හෝ උනහපුළුවෙක් සුරතලයට ඇති දැඩි කර ඇත් ද? එය කළ හැකිදැයි බලන්නට අපි නොකරන නිසා පිටරැටියෙකුට අවසර දෙයි ද?

නැත්නම් මේ සියල්ල හුදු රැල්ලන් පමණක් යයි දන්නා බුද්ධිමත් ලාංකික දේශපාලනඥයෝ ඊට හසු නොවී සිටිනවා ද?!!!

(කොතල හිඹුටු හා සීනි පියාඹන්නාගේ පින්තූර ගූගල් රූප වෙතින් ද, උනහපුළුවාගේ පින්තූරය අද දෙරණ වෙබ් අඩවියෙන් ද වෙති.)

6 Responses

Subscribe to comments with RSS.

  1. stormcrow said, on අගෝස්තු 6, 2010 at 12:18 පෙ.ව.

    කොතල හිඹුටු රට පැටවීම තහනම් වන්නේ ආණ්ඩුවේ මොන ප්‍රතිපත්තිය යටතේ දැයි මම නම් දන්නේ නැහැ. අරුණි දන්නවාද?

    සමහර විට කොතළ හිඹුටු සම්බන්ධයෙන් තහනම දැඩි වීමට හේතුව එහි වෛද්‍ය විද්‍යාත්මක ගුණය පිලිබඳ පේටන්ට් සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය විය හැකියි. කොතළ හිඹුටු පිලිබඳ දැනුම බටහිරින් (හෝ මා දන්න හැටියට ජපානයෙන්) උපන් එකක් නොවේ. එය වෙනත් රටක ඊනියා ‘පර්යේෂන’ හරහා පේටන්ට් වලට යාමෙන් ඇත්තටම සිදු වනුයේ දැනුම කොල්ල කෑමකි. ආණ්ඩුවක් කළ යුත්තේ එක්කෝ අපේ විශ්ව විද්‍යාල එවැනි පර්යේශන සඳහා දිරි ගැන්වීම හෝ දියුනු රටක විශ්ව විද්‍යාලයක් සමග පර්යේශන සහ පේටන්ට් සම්බන්ධයෙන් හරි එකඟගතාවකට ඒමයි. මිලක් ඇති සම්පතක් නිකන් කඩා වඩා ගෙන යාමට දීම ධනපති හෝ ලිබර්ටරියන් අර්ථයෙනුත් මෝඩ වැඩකි.

    දියුනු රටවල් දැනුම කොල්ලකෑම සම්බන්ධයෙන් හැම විටම අවංක නැත. මේකත් කියවන්න:
    http://en.wikipedia.org/wiki/Basmati#Patent_battle

    • arunishapiro said, on අගෝස්තු 6, 2010 at 8:54 පෙ.ව.

      stormcrow,
      Fauna and Flora Act 2009 යටතේ සියළුම salcia වර්ගවල කොටසක් හෝ නිෂ්පාදිතයක් රට පැටවීම තහනමට භාජනය වෙයි. එය ජපානයේ ෆූජි ෆ්ල්ම්ස් විසින් ලද පේටන්ට් අයිතිය නිසා මුල් වූවක් තමයි. මේ වර්ගය ලංකවේම පමණක් වැඩෙන්නකි. එහි ගුණාත්මක බව මුලින්ම සොයාගන ඇත්තේ ද බටහිර නොවන බව පිළිගනිමි. පිටරැටියන්ට නිකං කඩාගෙන යෑමට අවසරය ද අනුමත නොකරන්නෙමි. නමුත් මේ තරම් අප ජනතාවට ද අවශ්‍ය, ගුණදායක ඖෂධයක් අප රටේ ඇත්නම් ඒ පිළිබඳව ඇති තහනමට වඩා ඔබ කියනා පරිදිම //ආණ්ඩුවක් කළ යුත්තේ එක්කෝ අපේ විශ්ව විද්‍යාල එවැනි පර්යේශන සඳහා දිරි ගැන්වීම හෝ දියුනු රටක විශ්ව විද්‍යාලයක් සමග පර්යේශන සහ පේටන්ට් සම්බන්ධයෙන් හරි එකඟගතාවකට ඒමයි.// තහනම ගැන ප්‍රසිද්ධිය දුන්නත් ගුණාත්මක බව වර්ධනය කතා නොකිරීම මගේ කුතුහලය ද වඩවයි. හේතුව අපි වෑයමක් නොගැනීම ද නැතහොත් භූමියට ආවේනික වූ පමණින් නිකං සිට කවුරු හරි ගන්නා වෑයමකින් පසු අපි ලාභ පමණක් බලාපොරොත්තුවෙන් සිටීම ද?

  2. priyanthaඒබී said, on අගෝස්තු 6, 2010 at 12:21 පෙ.ව.

    මං හිතන්නෑ මෙහෙම ගියොත් ගෙම්බෙක් වත් අපට ඉතුරු වෙයි කියලා. කවුරු හරි උනුත් සුරත්ල් සතුන් ලෙස රට පටවයි.
    “නැත්නම් මේ සියල්ල හුදු රැල්ලන් පමණක් යයි දන්නා බුද්ධිමත් ලාංකික දේශපාලනඥයෝ ඊට හසු නොවී සිටිනවා ද?!!!”
    ඕකම තමා ප්‍රශ්නෙත්

  3. රංගන said, on අගෝස්තු 6, 2010 at 9:45 පෙ.ව.

    අැත්තටම කොතල හිඹුටු දියවැඩියාවට නියම බෙහෙතක්…….


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: