අරුණි ශපීරෝ‍ වෙතින්

අතීතය ආවර්ජනා

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 8, 2010

අතීතය ආවර්ජනා කරමි. පුද්ගලිකය එහෙත් රහසිගත නැත. දන්නෝ දනිති. එහෙයින් පිට දුන්නාට කමක් නැත. ඩුබායි වට්ටක්කා කියන ලුණු ඇඹුල් ටිකක් දාන්න නම් අතපසු නොකරන ලදි. වැප්ට මෙන් කම්මැලිකම නැතුවාට එය ලියූ තරම් රසවත්ව ලියනු නම් බැරිය. එහෙත් කතන්දරකාරයා දැක්වූ බයිලා කියන අයට මාත් අයිති දැයි තීරණය ඔබට බාරයි!!

සුපුරුදු සිසු අරගල නිසා විශ්ව විද්‍යාලය වසා දමා තිබුණ කාලයක, දේශකයෙකු ලෙස විශ්ව විද්‍යාලයෙන් මාසයකට රුපියල් 700 ක් පමණ පඩියක් පංති පවත්වද්දී පමණක් ලැබූ මම, විශ්ව විද්‍යාලයෙන් අහක් වෙලා පුද්ගලික ආයතනයක මාසයකට රුපියල් 1200 ක පඩියකට රැකියාවක් හොයාගත්ත. ඒ දැන හැඳුනුම් කිසිවක් නැතිව පත්තරයක දැන්වීමක් දැකලා සම්මුඛ පරීක්ෂණයට ඇවිදගෙන ගිහින්. මේ ආයතනයේ අයිතිකරුවාට මා නොදත් සැලැස්මක් තිබුණ. ඒ ආයතනය හා සබැඳි පිටරට ආයතනයේ සුද්දව ලංකාවේ නතර කරගන්න. හොඳම ක්‍රමය එයා හිතුවෙ ලංකාවෙන් කෙනෙක් සුද්දට විවාහ කරලා දෙන එක. මගේ අරමුණ ඒ කාලේ වැඩිදුර අධ්‍යාපනයට පිටරට යන්න. කොහේවත් ගිහින් අධ්‍යාපනයක් ලබන්න මුදල් නැහැ. ඉතින් ශිෂ්‍යත්වයක් හොය හොයා ඉන්නවා.

මම ආයතනයේ විධායක කළමනාකරුවා-අයිතිකාරයාගේ සහායකයා. වැඩ අනේකයි. විවිධයි. ඒ නිසාම රසවත්. බොස්ගෙ දූට ප්‍රංශ භාෂාව කියා දීම (පාසැලෙන් දුන් ගෙදර වැඩ ඉවර කිරීම තමයි – අද දුව ඉන්නෙ කුවෙබෙක්වල ඉතින් ප්‍රංශ දැනුම ඉහළයි), ටාසි විට්ටච්චිගෙ දේශන අහන්න යෑම, සම්මන්ත්‍රණ දියත් කිරීම, සේවක ප්‍රගති වාර්තා සකස් කිරීම, බඳවා ගැනීම් හා පළවා හැරීම් වගේ වැඩ එක්ක ආයතනයේ මාස්පතා වේතන සකස් කිරීම හා ගෙවීම මගේ අතින්. අන්තිම එකට තමයි වඩාත්ම කැමති. මහබැංකුවට ගොඩවෙලා මිලියන ගණනකින් සල්ලි කොළ හා කාසි ගැනලා බ්‍රීෆ්කේස් එකකට දාගෙන, ආරක්ෂක නිලධාරියාත් එක්ක පිටවෙන කොට හරියට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක රඟපානවා වගේ!!

පඩි දවසක බැංකු යන්න සේරම අරගෙන බොස්ට “ගිහින් එන්නම්” කියන්න ගියාම බොස්ගෙ කාමරය ඇතුලෙ සුද්දෙක්. යුරෝපයෙන් ලොකු පොරක් එනවා කියල දැනුවත් වුවත් මේ ඉන්නෙ පොඩි කොල්ලෙක්. දුවන්න අඳින කොටකලිසමක් හා ටී ෂර්ට් එකක් ඇඳගත්තු, දණහිස ළඟට මේස් දාගත්තු, නැතිවෙච්ච මොකක්ද හොයන්න කරේ දාන බැක්පැක් එක මුලිනත හලන, කොණ්ඩෙ බෙල්ල දක්වා දිග, දැලි රැවුලක්වත් පේන්න නැති සුද්දෙක්.

අද බැංකු ගමන නවතලා මේ සුද්දව එයාට අවශ්‍ය තැන්වලට එක්ක ගෙන යන්න කියලා බොස් කිව්වා. මූණ ටිකක් අඳුරු වුනා මගෙ. කළු මූණ අඳුරු වුනාම තවත් කළු වෙන්නැති. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය පැත්තක තියලා හිපි කොල්ලෙක්ට නැනී වෙන්න වෙලා.

සුද්දා වාහනේ පිටිපස්සට නඟිද්දි මං ගිහින් ඩ්‍රැයිවර් එක්ක වාඩිවුනා ඔරොප්පුවට. සුද්දා ආචාරශීලීව කතාබහ. මං උත්තර දෙන්නෙ අවම වශයෙන්.

බොස්ගෙ නෝනා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ නෝනාගෙ නංගි. ඉතින් බණ්ඩාරනායක කෞතුකාගාරයට එක්ක යන්න කියලා මට බොස් කිව්ව. මමත් ගියා. වාහන නවත්තන්නෙ පැත්තක. ටිකට් ගන්නෙ තව පැත්තක. ඇවිදින්න ඕනා හොඳ දුරක්. මම ඉක්මණින් යනවා. සුද්දා දහඩිය පෙරාගෙන පස්සෙන් එනවා.

“මම ටිකට් අරන් එනකම් ඉන්නවාද?” මම ඇහුවා.

“මට ඇවිදීම ප්‍රශ්නයක් නෙමෙයි.” ඔහු කියනවා.

“ම්..” මම හිනාවෙන්න ඇත්තෙ අවඥාවට. දහඩිය පෙරාගන්න හේතුව නොදන්නකමට!!

“මගෙ වයස කීයක් කියලා ද හිතන්නෙ?” හදිසියේම ඔහු අහපි. එතකොට පොඩ්ඩක් බැලුවා මූණ දිහා. වයස කියන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නෙ වයසට වඩා පෙනුම බාලයි කියන විශ්වාසය නිසා ද? ඒ නිසා පෙනුමට වඩා වසර තුන හතරක් එකතු කරලා මගේ අනුමානය කිව්වා. හරියටම හරි. පව්!!

බොස් මට දීපු රුපියල් 500 කොළයට ටිකට් දෙන්නා මාරු නැහැයි කිව්වා. සුද්දා නිසා සල්ලි සේරම ගන්න හිතාගෙන ද මන්දා. මගෙ අත වෙන සල්ලිත් නෑ. ටිකට් දෙන්නා ඩොලර් ගන්නෑ. රුපියල් නැහැ සුද්දා ළඟ. අපිට ටිකට් නෑ. කෞතුකාගාරය පැත්තකට දාලා ඊ ළඟට ගුවන්ගමන් ටිකට් වැඩකට කොටුවට ගියා. වැඩේ කරගෙන ස්ලයිඩ් රූල් හොයන්න පිටකොටුවේ ගුණසේන එකට ගොඩවුනා. පොත් දැක්කම සේරම අමතකයි. එයාත් එහෙමමයි. පැය ගාණක් ඉන්නකොට මතක්වුනේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක්කගෙන යන්නත් ඕනා කියල. දනිපනිගාල අතින් ඇදගෙනම පිටවුනා. මොකද ඒ කාලේ වුනත් පිටකොටුවෙ ඉඳන් ගුවන්විදුලි සංස්ථාව පැත්තට එන්න මාර්ගවල වාහන තදබදයක් තිබුණ.

ගුවන්විදුලි සංස්ථාවට ඇතුල් වෙන්න මුරකොටුවෙන් අවසර නැහැ. නම නැහැ ලියලා එයාලගෙ ලැයිස්තුවෙ. ඒ කාලෙ හෑන්ඩ් ෆෝන් නැහැනෙ සාකච්ඡාව දාගත්තෙ කාත් එක්කද කියල බොස්ගෙන් අහන්න. මේ එන්න ලැහැස්ති වුණ ගමනක් නෙමෙයි. මම බැංකු යන්න සූදානමින් හිටියෙ. මට සූදානම් නොවී එන්න වුන නිසා මේ අපහසුතා සේරම කියලා මම සුද්දට පැහැදිලි කරනවා. දැන් නම් මගෙ හුලං බැහැල. සුද්දා හිනා වෙලා කිසි ප්‍රශ්නයක් නැහැ කියනවා. එතකොට මතක් වුනා ගුවන්විදුලි සංස්ථාවේ වැඩ කරන යෙහෙළියකගෙ නමක්. එයාට මුරකොටුවෙන් ඇමතුමක් දීලා ගෙන්න ගෙන කතාව කිව්වා. සම්මුඛ සාකච්ඡා ඉංග්‍රීසි බසින් කරන අයට කතා කරලා කාත් එක්ක ද තියෙන්නෙ කියල හොයාගත්ත. දැන් හරි සතුටුයි.

නිවේදකයා ප්‍රසිද්ධ කෙනෙක්. මං පැත්තකට වෙලා වාඩිවුණා. සුද්දයි නිවේදකයයි මැදිරියේ සාකච්ඡාව. එළියට ඇහෙන සුද්දගෙ කටහඬ එතෙක් මා හා වූ කතාබහට වඩා ගාම්භීරයි. දැනුමින් පිරිල. ඒ නිසා කතාවට මාත් සවන් දුන්න. පොඩ්ඩක් විතර හිත ඇදිලා ගියා.

ඒ දවස්වල මට පිරිමි අරහං කාලයක්. මට හිටිය මිස්ට ජෝන් විලබි නැතිවෙච්ච කාලේ. කාටවත් ළංවෙන්න ඉඩ නොදෙන කාලේ.

සුද්දා හිටිය ඉතිරි දවස් දෙක තුන වෙන වැඩ සේරම පැත්තකට දාලා එයාට නැනී වෙන්න මට පැවරුණා. බොස් කියනවා සුද්දා මට කැමතිලු. මම ඇස් උඩට දාල දිව එළියට දැම්ම. සුද්දා යන්න කලින් එයාගෙ ලිපිනය දීලා ගියා එයාට ලියන්න කියලා: ලංකාවේ තොරතුරු සහ ඇත්දත් වලින් හදපු ස්ලයිඩ් රූල් එකක් හොයාගත්තොත්. ඇත්දත් වලින් හදපු ස්ලයිඩ් රූල් කොහේවත් නැහැ. ලංකාවේ තොරතුරු අපිට වඩා රොයිටර් සේවයෙන් එයාල දන්නවා. ලියුමක් දැම්මා එහෙම. ආපු උත්තරය මට නොපෙන්නා අම්මා විසිකලා ඔය සුද්දොන්ට ලියුම් යවන්න ඕන නැහැයි කියලා.

දැන් සුද්දා හැම මාස තුනකටම සැරයක් දවස් දෙක තුනක් ලංකාවේ. මම තමයි නැනී. පෝය දවසක රටට ආපු එයා කාර්යාලය වහලා නිසා අපේ ගෙදර ආවා. ඉස්සරවෙලාම අම්මත් සමඟ කතා කළා. ඊ ළඟට අක්කා සමඟ කතා කළා. අන්තිමේ දී මට මිනිත්තු දහයක් විතර ඒ දෙන්නා ඉදිරියේ දී කතාවට අවසර ලැබුණ.

වසර ගෙවිලා ගියාම එයා ලංකාවට එනකොට මම මැලේසියාවෙ සම්මන්ත්‍රණයකට ගිහින්. ඒ ආයතනයෙන් අස්වෙලා. බොස් ඒ ගමන ජර්මන් කතාකරන්න පුළුවන් ලංකාවේ කෙල්ලෙක් සුද්දගෙ නැනී කළා. සුද්දා එයාගෙ ගෙදර ලිපිනය ඉල්ලගෙන නැහැ.

ශිෂ්‍යත්වයක්‍ හොයාගත්ත මම මැලේසියාවේ සම්මන්ත්‍රණයෙන් හොයා ගත්ත ඩොලර් සීය විතරක් සාක්කුව පුරවද්දි කැනඩාවට පා තැබුව. සුද්දා ගෙදරට යවපු තව ලියුමක් අම්මා විසිකරලා. කැනඩාවේ ප්‍රථම ගිම්හානය මම ජර්මනියට ගියා. සුද්දාගෙ වාසය ජර්මනියෙ. ලාංකිකයෝ පිරිසක් එක්ක සුද්දා හමුවන්න ලැබුණ.

අපේ දැනහැඳුනුම්කම් නැවත අළුත්. දැන් ලියුම් පටන් ගත්ත ජර්මනියත් කැනඩාවත් අතර. සුද්දා කැනඩාවටත් එන්න පටන් ගත්ත.

“මගෙ කෙල්ල වෙනවා ද?” සුද්දා ඇහුවා දවසක්.

“මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නෙ?” මටත් ප්‍රශ්නයක්. සුද්දාගෙ මූණත්, කන් දෙකත්, බෙල්ලත් එක්කම රතුම රතු ජම්බු පාටයි.

සුද්දා ලංකාවට යනවා. බොස් කියනවා “බලන්නකො අපි මෙයාට ජර්මන් දන්න සිංහල කෙල්ලෙක් හොයලා දුන්නා එයා කැමැති නෑනේ.” සුද්දා නිහඬව ඉන්නවා. පස්සෙ හොයලා දුන්නු අයට කැමැති නැති වුණාට පළමුවෙන් අඳුන්නලා දීපු අයට කැමැතියි. ඒත් බොස්ගෙ සැලැස්ම හරියන්නෙ නැහැ. මට ලංකාවට ආයෙ එන්න අදහසක් නැහැ.

වසර හතරක් දැන හැඳින අපි අතිනත ගත්තෙ කැනඩාවේ. ඒත් ඒක චාරිත්‍රානුකූලව හෝ සිවිල් නීති අනුව නෙමෙයි. අපිට ඕන වුනාට කිසිම රටක් ආගමක් පිළිනොගන්න වැඩක්. සාරිය මම මහගත්ත. උත්සවයෙන් පස්සෙ ලංකාවේ නැතිබැරි කෙනෙක්ට සාරිය තැපැල් කරලා යැව්ව. උත්සවයට නැඳෑ යාළු මිත්‍රාදීන් රට රටවලින් එකතු වුනා. ඩොලර් 750 යි දෙන්නටම මුළු උත්සවයටම ගිය වියදම. ශාලාව විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ශිෂ්‍ය නිවසේ උඩුමහල. කුකුල් මස් හොද්දයි බත් එක්ක කෑම බීම ශාලාවේ කැනඩා කෝකියෝම හැදුව. කේක් ගෙඩිය කොරියන් කඩේකින්. පුංචි දරුවෙක් ළඟට ඇවිත් “අද ආන්ටි අරුණිගෙ බර්ත්ඩේ එක ද?” කියලත් ඇහුව. මේක සාමාන්‍ය විවාහ මංගල්‍යයක් වගේ නෙමෙයිනෙ!ඇමෙරිකන්කාරයා වූ සුද්දාගෙ පදිංචිය ජර්මනියෙ. ලාංකිකයෙක් වූ මගේ පදිංචිය කැනඩාවේ. නීතියෙන් ලියාපදිංචිය තවත් මාස හතරකට පස්සෙ සුද්දාගෙ මහගෙදර කුස්සියෙ: මල්ලිගේ නිලබලයෙන් අම්මා හා නංගීගේ සාක්කි මැද ගෙදෙට්ට අඳින ඇඳුම් ඇඳගෙන. උත්සවාකාර නැතුව. එකට පදිංචියට ආවම සුද්දගෙ ස්ලයිඩ් රූල් එකතුව දැක්ක. තාමත් ඇත්දත් වලින් හැදුව එකක් නම් හොයාගෙන නැහැ.

අපේ විවාහය අද 21 වසරක් ඉක්මවා යනවා. සුද්දගෙ අදත් කටහඬ එදා වගේමයි. කියන ඒවයේ වටිනාකම නම් එදාට වඩා ගොඩක් වැඩියි. Love and Other Disasters චිත්‍රපටියෙ කියන විදියට ආදරය කියන්නෙ සිද්ධියක් (event) නෙමෙයි කාර්යාවලියක් (process). එදාට වඩා අද අපි දෙන්නා දෙන්නටම ආදරෙයි. මට ලැබිච්ච සුද්දා එක්ක හැකිතරම් කාලයක් සතුටින් ඉන්නයි අද ප්‍රාර්ථනාව.

37 Responses

Subscribe to comments with RSS.

  1. මාරයාගේ හෝරාව said, on අගෝස්තු 8, 2010 at 4:43 ප.ව.

    මොකද අක්කේ හදිසියේ සුද්දා පිළිබඳව විස්තරයක්.
    එයාගේ නමත් කියන්නකෝ..
    කොහොම උනත් සුභ පතනවා සුද්දා සමග දීගයට..
    ඇදගෙන යං…

    • arunishapiro said, on අගෝස්තු 8, 2010 at 6:11 ප.ව.

      මාරයාගේ හෝරාව,
      සිංහල අකුරු දැක්කම සුද්දා නිතර අහනවා ලියන මාතෘකා. දුව ගැන ලියන නිසා, පින්තූරත් දාලා නිසා ඉතින් එයා ගැන කවදද ලියන්නෙ අහනවා. ඔන්න ලිව්වා. පින්තූර දැම්මෙ සිංහල කියවන්න බැරි එයාටත් බලන්න. දෙයියෝ අදහන ලෝකයේ ජනප්‍රියම නමක් තියෙන්නෙ: ඩේවිඩ්. සුභ පැතුමට ස්තූතියි.

  2. Rasika Suriyaarachchi said, on අගෝස්තු 8, 2010 at 8:18 ප.ව.

    Wow, I nearly cried. Well written as always Aruni.

    Let me just make a few observations that others might perhaps miss.

    1. That 500 Rupee note – are you correct there? I doubt if Rs 500 notes were there in circulation when Rs 1,200 was a graduate salary in private sector.

    2. If you wwre paid only Rs 1,200 and if that is just the average wage – then – to draw a million Rupees for monthly salaries this place must have had over 800 employees. Is that a baila?

    3. This Sudda sounds like an Engineer – of the old school – that is. Slide-rulers were long gone by the time you entered Kelaniya University.

    4. I would only use the word Sudda to mean Englishmen – as our ancestors did. I mean how do you describe the second world war in Sinhala if all side are Sudda’s. But hey but you are entitled to call you Sudda – a Sudda. BYW, how does he call you?

    5. You are pretty good at dress making. That wedding Saree looks second to none.

    My congratulations on the 21st anniversary.

    Rasika Suriyaarachchi

    • arunishapiro said, on අගෝස්තු 8, 2010 at 11:27 ප.ව.

      Rasika,
      1. yeah, I am pretty sure it cost more than 100 rupees for both of us to go into the museum, so it had to be a 500 rupee note. I had only one note that day and no other cash. I had a season ticket for the bus. At the bank we got 1000 notes too for pay packets. There was some EPF benefits etc but take home pay was 1,200.
      2. no baila there, head office had only 35 people may be but 3 or 4 affliates did have hourly workers who numbered that many. People would line up at each place we go to hand over their pay packet and they would break their bones in the fingers and bow before taking the packet. They were so grateful, I wanted to tell them that they earned it and its not a gift from the company. Pay day work ended late.
      3. nah, not an engineer but he just liked them to keep his brain sharp.
      4. he calls me hamine!
      5. thanks. later I made all my daughters dresses until oneday she grew up and refused to wear them🙂 but now she likes my sewing again.
      Thank you.

  3. Taboo Subjects said, on අගෝස්තු 8, 2010 at 11:35 ප.ව.

    Hi Aruni,

    I always wondered how you met your husband. Thought you met him in Canada. (The typical story) Thanks for clearing my doubts.🙂

    – Taboo

  4. අශාන් said, on අගෝස්තු 8, 2010 at 11:51 ප.ව.

    දිගු කාලීන දීගයට අපෙනුත් සුභපැතුම්……..
    මාත් මේ මහ බැංකුවේ ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්ද කියල හොය හොය හිටියේ.

    • arunishapiro said, on අගෝස්තු 9, 2010 at 8:19 පෙ.ව.

      අශාන්, සුබ පැතුම් වලට ස්තූතියි. අද ඇමෙරිකාවේ ගොඩක් බඩුවලට life time gurantee ලැබෙන්නෙ වසර පහකට. ඉතින් දැන් අපි ඒ කාලේ ඉක්මවා ගිහින්! මේ දවස්වල නම් බැංකුවල ගිනුම් අරිනවාට වඩා මෙට්ටෙ යට සල්ලි තියාගන්න එක සුදුසුයි. හැබැයි ඒ කතාව දිග පෝස්ට් එකක් ලියන්න තරම් සංකීර්ණයි. මං ප්‍රවෘත්ති වලින් කියවලා තියන විදියට අද ලෝකෙ ඕනැම තැනක ඉන්න සල්ලි තියන ඕනැම කෙනෙකුට ලංකාවේ ගිණුමක් අරින්න පුළුවන්.

  5. තරිඳු said, on අගෝස්තු 9, 2010 at 5:00 පෙ.ව.

    මගේ කතාවත් ඔබේ කතාවත් කොච්චර සමානකම් වලින් යුක්තද කියල මට හරි පුදුමයි. තව අවුරුදු 2-3 කින් විතර මටත් මේ වගේ ලියන්න පුලුවන් වේවි කියල මට හිතෙනවා. ඔබට සුභ පැතුම්

    • arunishapiro said, on අගෝස්තු 9, 2010 at 8:12 පෙ.ව.

      තරිඳු, සුභ පැතුම් වලට ස්තූතියි. ඔහේ අතටම වැටෙන අනුන් හොයලා දෙන ඒවාට වඩා ටිකක් මහන්සිවෙලා හොයාගෙන පවත්වාගන යන්න වෑයමක් අවශ්‍ය දේවල අගය කාලයාගේ ඇවෑමෙන් තවත් අනර්ඝයි. ඔයාගේ සතුටු ආරම්භය එදාට අපි එක්කත් බෙදාගන්න. ජය!

  6. Kathandarakaraya said, on අගෝස්තු 9, 2010 at 6:38 පෙ.ව.

    තරිඳු,
    අරුණි බැඳලා අවුරුදු 21 සංවත්සරයට ලියන ලිපිය ඔයා කොහොමද තව අවුරුදු දෙක තුනකින් ලියන්නේ?
    මෙලොව සියක් අවුරුදු එහි එක දවසද?
    -කකා

  7. Grey said, on අගෝස්තු 9, 2010 at 12:05 ප.ව.

    Just saw this.
    Nice pics and story.. congrats both of you!!!

    Your sudda doesn’t look like a German🙂 Blonde and blue eyes????

  8. kolu said, on අගෝස්තු 9, 2010 at 12:50 ප.ව.

    I always find simple weddings are most charming and wonderfully romantic. They are filled with genuine hope and most of all, lot of audacity. Boy! audacity! that you got in plenty!

    It would be very wrong of me to say glamorous expensive weddings are some sort of a fill up to empty space in relationships, but sometimes they are.

    Wish you a beautiful, sweet, cuddlesome, anniversary with lot of Korean Cake.

  9. Pukkusathi said, on අගෝස්තු 9, 2010 at 8:30 ප.ව.

    කතාව වැඩිය අනුවේදනීය නොකර වෙච්ච හටියට ‘සුද්ද සිංහළෙන්’ ලියල තියෙන හැටි වටිනව. වෙනම තේරුමකින් උනත් සුද්දට තවම සුද්ද කියන එක ඊටත් වඩා වටිනව (සුද්ද හාමිනේය කියන එක නම් පුදුම වටිනව).

    -පුක්කුසාති.

    • arunishapiro said, on අගෝස්තු 9, 2010 at 9:24 ප.ව.

      පුක්කුසාති, ස්තූතියි. ජර්මනියේ, කැනඩාවේ, ඇමෙරිකාවේ සුදු හම ඇති හැමෝම සුද්දො හැටියටයි මං හැඳින්වුයේ. වැරදි නේන්නම්. ලංකාවෙන් එන දුරකතන ඇමතුමකටත් එයා කියන්නෙ “සුද්දා කතා කරන්නෙ” කියල. හැබැයි එතනින් එහාට වැඩි කතා බැහැ. මගේ සීයා ආච්චිට කිව්වෙ හාමිනේ කියල. ඉතින් මාත් සුද්දව එහෙම කියන්න පුරුදු කරවාගත්ත. ලංකාවේ අය ආවම “මෙහෙ එන්න හාමිනේ” කියලා මාව කැඳවන කොට අපේ අය අතින් කටවල් වහගෙන හිනා වෙනවා.

  10. පුතා said, on අගෝස්තු 10, 2010 at 4:14 පෙ.ව.

    “ආදරය කියන්නේ සිද්ධියක් නෙවෙයි ක්‍රියාවලියක්..” ඒක නම් නියමම කතාව…
    සුද්දත් එක්ක හාමිනේ ගෙවන දීගයට සුභ පතනවා….

  11. Ravi said, on අගෝස්තු 10, 2010 at 4:30 පෙ.ව.

    Nicely written reminiscences.

    Many thanks for allowing us to accompany you on the walk down memory lane.

    Wishing you & sudda many more happy anniversaries.

  12. kathandara said, on අගෝස්තු 10, 2010 at 11:19 පෙ.ව.

    බලන්න තියෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර!
    අරුණි දැන් සෙලිබ්‍රෙටි කෙනෙක්!
    මේකට නම දාන්න තිබුනේ අපි ඔබව කසාද බන්දමු කියලයි!

    • arunishapiro said, on අගෝස්තු 10, 2010 at 11:36 පෙ.ව.

      kathandara, මේක කිව්වොත් නම් පොර ටෝක් කියලා කාඩ් වැදෙනවා ෂුවර්! දුව ලැබුණම අපි දෙන්න ඒ වැඩ කරපු ආයතනය ලංකාවේ තරඟයක් පැවැත්වූවා. Hybridට දාන නම කියන්න කියලා. කවුරුත් ටිකිරි කියලා අනුමාන කළේ නැහැ. සෙලිබ්‍රිටි ස්ටෑටස් එක නම් පොඩ්ඩක් විතර පුරුදුයි, තාත්තා නිසා. ඉතින් දැන් ඕවා කියන්න හේතුව මේකයි. මෙච්චර කාලයක් ලිව්වට මේකෙන් නම් තත්වෙ ලැබුණෙ ඒ සුද්දා නිසා ද?!!!!😦

  13. kevin perera said, on අගෝස්තු 10, 2010 at 1:27 ප.ව.

    Every and each comment I made in your blog,I always had disagreement with you, criticize what you wrote but this time wow…two thumbs up aruni…one of the greatest Sri Lankan love story I ever heard…,this is so real..it reminds me my old school love songs let me ad some music to your love story

  14. V said, on අගෝස්තු 11, 2010 at 5:44 පෙ.ව.

    මට තියෙන්නේ වචන තුනයි කියන්න
    ” සුභ පැතුම් ” සහ ” ස්තුතියි”

  15. sujeewa said, on නොවැම්බර් 23, 2010 at 1:25 ප.ව.

    Congratulations David and Aruni Shaphiro. Belated wishes for 21st Anni.

  16. වැප් said, on දෙසැම්බර් 11, 2010 at 10:42 පෙ.ව.

    කාලෙකට පස්සේ මේ පැත්තේ අවා ………… කම්මැලි කම හා මාව සම්බන්ධ කරලා තියන හින්දා ……… ඔලුව දැම්මා මොකෑ වෙන්නේ කියලා බලන්ට ……….

    ම්ම් ………… පුදුම හමු වීමක් ………….. මහත්තයා සුද්දෙක් කිව්වට ……… ඕන් අද තමයි දෙන්නා එකතු උනු හැටි දැන ගත්තේ ………කතාව රසවත්ව අපිත් එක්ක බෙදා හදා ගත්තාට තුති ………

    වසර විසි එකක විවාහ සංවස්තරයට සුබ පැතුම් ………….

  17. Krishna Ramanayaka said, on අගෝස්තු 5, 2014 at 11:44 පෙ.ව.

    ඔබගේ ප්‍රීතිමත් විවාහ ජීවිතයට මගෙන් අංවක සුබ පැතුම්!!!

  18. arunishapiro said, on අප්‍රේල් 2, 2016 at 8:19 පෙ.ව.

    Reblogged this on අරුණි ශපීරෝ‍ වෙතින් and commented:

    ඒ දවස්වල සුදු අප්පුහාමි ‘බටහිර ජර්මනියේ’ පදිංචි ඇමෙරිකන් පුරවැසියෙක්. මම කැනඩාවේ ඉගෙන ගන්න ලංකාවේ පුරවැසියෙක්. අපි දෙන්න ඇමෙරිකාවේ දී විවාහය නීත්‍යානුකූලව ලියාපදිංචි කරන්නේ 1989 අගෝස්තු මාසේ වුනාට නෑදැයන් සහ යහළු මිත්‍රාදීන් එක්ක එකතුවෙලා උත්සවය තිබ්බෙ අප්‍රේල් 2 වැනිදා. අප්‍රේල් 1 වැනිදා තියන්න ඕන වුනත් අපිව දන්න අය ඒක මෝඩයන්ගෙ දිනේට කරන විහිළුවක් කියල හිතල නොඑන එක ගැන සිතන්න වුණා!!!

  19. කල්‍යාණ මිත්‍ර said, on අප්‍රේල් 2, 2016 at 12:14 ප.ව.

    අගෙයි! පරණ තොරතුරු ඔබේ සහ බ්ලොග් ලෝකයේ, ගොඩක් දැන ගත්තා..🙂

    27 වෙනි සංවත්සරයට සුබ පැතුම්! දිගුකල් දිනේවා!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: