අරුණි ශපීරෝ‍ වෙතින්

argumentum ad ignorantiam

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 30, 2010

මෝහයෙන් විතර්කය (argument from ignorance) අද ලොව බොහෝ ය. එය හැඳින ගන්නට නම් ඒ කුමක් දැයි දැනීමක් අවශ්‍ය ය.

වාදය (debate) යනු තමා අල්ලා ගත් පැත්තට සාධක පෙන්වීම ය. වාදයක දී පැති දෙකකි. පැත්තේ මතය පෙන්වා දෙන්නට උත්සාහයක් වාදකයෝ (debators) විසින් කරති. වාදීභසිංහයෙකුට (great orator) වාදයක් ජයගැනීම පහසු ය. වාදීභසිංහයා වාද කරද්දී සිය හැකියාව යොදා ගන්නේ අනික් පිලේ අඩුපාඩු පෙන්වා දීමට ය. වාදකයෝ දෙපැත්ත බලා සත්‍යය සොයන්නට වාද කරන්නේ නැත. වාද කරන්නේ තම පැත්ත දිනවන්නටත් අනිත් පැත්ත පරාද කරවන්නටත් පමණි. අනිත් පැත්ත දිහා බලන්නේ තම පැත්ත ජයගැන්වීමට අඩුපාඩු සොයාගන්නට පමණි. අරමුණ තම පැත්ත දිනවීම මිස දැනුම වැඩි කරගැනීම නොවේ ය.

තර්ක ශාස්ත්‍රයට (logic) අනුව විතර්කය (argument) යනු විස්තරාත්මක වාක්‍යයකින් හෝ එවැනි වාක්‍ය කිහිපයකින් නොහොත් ප්‍රස්තුත (propositions) වලින් යුතු පූර්වාවයවයන් (premises) තුලින් නිගමනයකට එළඹීම ය.

දුර්මතයක් යනු දෝෂ සහිත වාක්‍යයකි. තාර්කික දුර්මතයක් (fallacy) යනු වැරදි සහිත සිහිබුද්ධි විචාරයකින් (reasoning) එළඹෙන මතිභ්‍රමයක් (misconception) නොහොත් වැරදි සංකල්පයකි. ‍උවමනාවෙන් හෝ පුරුද්ද නිසා බොහෝ දෙනා යම් විතර්කයක යෙදෙනා විට, විචාරයට ආවේග (emotions) රිංගන්නට ඉඩ දෙති. ඉන් විතර්කයේ තාර්කික බවට හානියක් වී ආවේගාත්මක වූ පූර්ව නිගමනයන්ට (presumptions) වැඩි තැනක් ලැබේ. ප්‍රතිඵලය නම් දුර්මතය යනු වැරදි සහිත බව හඳුනාගැනීමට ඉන් ඉඩකඩ ඇහිරී යාම ය. දුර්මතය විතර්කයට උපයෝගී කරගන්නා එක උපන්‍යාසයක් (statement) විමසීම වෙනුවෙට උපන්‍යාස සමූහයක් පටලවා ගනියි. එයින් සැලකිල්ලට භාජනය කරන උපන්‍යාසය අවුල් ය. තර්ක කරන්නා ආවේගය පදනම් කරගෙන දුර්මතයේ තව දුරටත් පටලැවී සිටියි.

අවධිමත් දුර්මතයක් (informal fallacy) නම් විතර්කයේ දී බලාපොරොත්තු වන නිගමනය කරා යන්නට ප්‍රස්තුත වලට නොහැකියාව ය.

මෝහයෙන් විතර්කය (argumentum ad ignorantiam) නම් තමන් විසින් ඉදිරිපත් කරන යම් සිද්ධාන්තයකට හෝ ප්‍රස්තුතයකට එරෙහි වූ දත්ත නොපවතිනා කල එවැනි දත්ත කොහේ හෝ තැනක ඇතැයි කියා අසන්නා තුල ඇති ශ්‍රද්ධාවට (faith) තර්කය නොවිමසා පිළිගැනීමට බාර කිරීම ය.

* සිද්ධාන්තයක් හෝ ප්‍රස්තුතයක් නිවැරදි ය, මන්ද එය වැරදි බව ඔප්පු කර නැති නිසා ය.

* සිද්ධාන්තයක් හෝ ප්‍රස්තුතයක් වැරදි ය, මන්ද එය නිවැරදි බව ඔප්පු කර නැති නිසා ය.

ඉහත දෙකම අවිධිමත් දුර්මතයන් ය.

බටහිර දර්ශනයේ මුල්ම අවිධිමත් තර්ක ශාස්ත්‍රඥයා ඇරිස්ටෝටල් ය. ඔහු දුර්මත විමර්ශනයේ යෙදුනේ ය. ක්‍රි. පූ. 350 දී ඔහු On Sophistical refutations නමින් දුර්මත පිළිබඳ පොතක් සම්පාදනය කළේය. ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා වූ ප්ලේටෝ ද දුර්වල සිහිබුද්ධි විචාරයන් සොයන ලද්දෙකි. ක්‍රි. පූ. 380 දී ප්ලේටෝ විසින් ඒ ගැන සම්පාදනය කරන ලද්ද Euthydemus යයි සැලකේ. බටහිර චින්තනයේ ජෝන් ලොක්, ජෝන් ස්ටුවර්ට් මිල්, ජෙරමි බෙන්තම් හා ආතර් ෂොපෙන්හවර් වැන්නෝ තර්ක ශාස්ත්‍රයේ දුර්මත අධ්‍යනයට සහාය දුන්හ.

නිසියාකාරව තර්කය ඉගෙන ගන්නා දුර්මතයන් ගැන ද ඉගෙන ගත යුතු ය. සිහිබුද්ධියෙන් විචාරය පමණක් ගැන නොව මෝහයෙන් විතර්කයත් ඉගෙන ගත යුත්තේ මන්ද?

සියයට සියයක් හැම විටම තමන් විසින් සිහිබුද්ධියෙන් විචාරය කරද්දී, අනුන් එසේ නොයෙදනා කළ, තර්කානුකූල තම ආරක්ෂාව (logical self-defense) සඳහා ඔවුන්ගේ දුර්වල සිහිබුද්ධි විචාරය සොයා ගන්නටත්, වටහා ගන්නටත් හැකියාව අවශ්‍ය නිසා ය. අනුන්ගේ මතවාද වල ඇති වැරදි නිවැරදි කරන්නට, ඒත්තු යන ආකාරයෙන් නිශ්ප්‍රභා (refute) කරන්නට පෙර ඔවුන් වැරදි (incorrect) මන්දැයි හැඳිනගන්නට අවශ්‍යය.

විධිමත් තර්ක ශාස්ත්‍රය ගමන් කරන මාර්ගය පැහැදිලිව කරයි. මාර්ග සිතියමක් බලා පාරක යන්නෙකුට වුව ද තැනක දී බලාපොරොත්තු නොවූ බාධක දකිනු හැකිය. පාර වසා ඇත, වෙනත් මාර්ගයකින් යන්න, ඇතුල්වීමට අවසර නැත යන සංඥා පුවරු දකිනු හැකිය. දුර්මත යනු වැරදි මාර්ගයේ නොයන්නට ආධාර කරන සංඥා පුවරු ය. ඒවා දකින්නාට එයින් ලබන අවබෝධයෙන් යළි නිවැරදි මාර්ගය සොයාගත හැකිය.

දුර්මතයෙන් කරන තර්ක වර්ග කිහිපයක් මෙසේය:

සංදිග්ධ තර්ක (ambiguity): වාක්‍යයක අඩංගු වචනයක අර්ථ කිහිපයක් ඇති කල තමන් යොදාගන්නේ කුමන අර්ථය අපැහැදිලි ලෙසින් භාවිතා කරමින් තර්කයේ යෙදීම. උදා: මේ කෑම හරි හොඳයි. ‘හොඳ’ යනු රහ ද? ගුණදායක ද? ප්‍රියමනාප ද?

විශේෂඥ සහය (appeal to authority): ඔප්පු කළ යුත්ත විශේෂඥයකු කී පමණින් ඔප්පු කළා සේ දැක්වීම. බොහෝවිට ගුවන් විදු‍ලියේ හෝ රූපවාහිනියේ යම් දැයක් ගැන පැහැදීමට විශේෂඥයකු ගෙන එයි. ඒ විශේෂඥයාගේ දැනුම කියා, මේ මේ උපාධි, මේ මේ දැනුම, මේ මේ පළපුරුදුකම් ඇති නිසා, ඔප්පු කළ යුත්ත ඔප්පු නොකර විශේෂඥයා නිවැරදි යයි කියන නිසා පමණින් පිළිගැනීම.

ජනප්‍රිය පුද්ගල සහය (appeal to celebrity): දැන්වීම් සඳහා යොදා ගැනීම බෙහෙවින් වුව ද අද දවසේ වෙනත් සමාජ වාදපද සඳහා ද මෙය භාවිතා වෙයි. ලේඩි ගා ගා ඇමෙරිකන් යුදහමුදාවට සමරිසියන් හොඳ නැතැයි කීම වැනි ය. බොහෝ ජනප්‍රිය පුද්ගලයින් සමාජ වාදපද ගැන අදහස් දැක්වීම පැත්තට දුර්මත එකතු කිරීමකි, මතවාදය ඔප්පු කිරීමක් ඔවුන් නොකරති.

උද්‍යෝග පාඨයක සහය (slogan): ඔස්ට්‍රේලියාවේ තිරිඟු සඳහා තෙල් විකිණීම ගැන එක්සත් ජාතීන් අතින් වූ විමර්ශනයක් එහි මාධ්‍ය වලින් ප්‍රචාරය දී තිබියේ Wheat for Weapons නොහොත් ආයුධ සඳහා තිරිඟු යන උද්‍යෝග පාඨයේ සහයෙනි. මෙහි දී විමසුම තිරිඟු විකිණීම හා තෙල් ලාභ ගැන මිස අවි ගැන නොවූව ද උද්‍යෝග පාඨය එසේ භාවිතා කිරීමෙන් විචාරයකින් තොරව අසන්නා තුල ඊට විරෝධය වඩවත හැකි වුණි.

ස්වභාවික දුර්මතය (naturalistic fallacy): මීට හොඳම උදාහරණය වන්නේ ඩාර්වින්ගේ පරිණාමවාදය සමාජ සුභ සිද්ධියට යොදා ගැනීම ය. සමාජ ඩාර්වින්වාදියෝ කියනා අන්දමට ස්වභාවය මෙයාකාර නම් (යෝග්‍යතමයා ජයගැනීම) සමාජයේ සුභ සිද්ධිය මෙයාකාරයෙන් සිදුවිය යුතු ය. මෙහි දී එකක් ඔප්පු කිරීමකින් පසුව දුර්මත තර්කයෙන් සමාජයේ විය යුත්තකට අයිතියක් දක්වයි. ආචාර ධර්මයක් වීමට ඊට ‘හිමිකම’ පමණකින් නොහැකි ය. එනම් යමක් මෙයාකාර වූ පළියට එයට අයිතියක් නොලැබේ. යමක් මෙයාකාර වීම එහි පරිසිද්ධියක් (fact) පෙන්වීමකි. පරිසිද්ධියකින් ආචාර ධර්මයක් කරා යන්නට ඒ සාධකයේ ‍’හොඳ’ හෝ ‘නරක’ ගැන බලකුරු (compelling) විතර්කයක් තිබිය යුතු ය. ඊට පෙර ‘හොඳ’ හා ‘නරක’ මොනවාදැයි එකඟතාවයකට ආ යුතු ය. නැතිව යමක් එසේය ඒ නිසා වෙනකක් මෙසේ විය යුතු යැයි කිය නොහැකි ය.

ඉන්දියානු තර්ක ශාස්ත්‍රය මා හදාරා නැත. ගෞතම බුද්ධ හෝ නාගර්ජුන හෝ දීඝනාග යන කිසිවෙක් තර්කය සත්‍යය සොයා ගැනීමේ මාර්ගය යයි සලකා බලා නැති බව ඩේවිඩ් කළුපහන දීඝනාග ගේ ඥාන විභාගය හා තර්ක ඥානය ගැන විචාරයේ දී කියන්නේ A History of Buddhist Philosophy ග්‍රන්ථයේ ය. (පිටු 204). ඔහු පෙන්වා දෙන ආකාරයට ඉහත අයගේ ඉගැන්වීම් වලට අනුව අනුමානය (inference) දැනුම ලබා ගැනීමේ මූලාශ්‍රයක් වන්නේ එය සහමුලින් ම ප්‍රත්‍යක්ෂ හා අනුභූති වලින් විසන්ධි වී නොමැති නම් ය. දීඝනාග ගේ ඥාන විභාගය හා තර්ක ඥානය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා ඉහත ග්‍රන්ථය කියවන්න.

දැනුම සොයා යන ගමනට විතර්කය අවශ්‍ය ය. එහෙත් එය යන මඟ පෙන්වීම හා මාර්ග බාධක හඳුනා ගැනීමට ආධාරකයන් පමණි. යන මඟ සොයා ගැනීම තර්කයේ ආධාරයෙන් තමා විසින් කළ යුත්තකි.

සිංහලෙන් තර්ක ශාස්ත්‍රය උගන්වා උසස් පෙළ පංතියක් ම ගොඩ දැම්මේ ඉතා ඈත කාලයක දී ය. ඉතින් අද භාවිතයේ වන සිංහල තාර්කික වචන නිවැරදි කරන්නට දන්නා කියන අයට මෙහි දී පුළුවන.

මා ප්‍රිය කරනා දුර්මත:
ඔබට මා වැරදි යයි ඔප්පු කළ නොහැකි නම් මා හරි ය!!!
ආලෝකය ශබ්දයට වඩා වේගයෙන් ගමන් කරයි. ඒ නිසා සමහර පුද්ගලයෝ බබලනවා සේ පෙනෙන්නේ ඔවුන් කතාකරනවා ඇහෙන්නට පෙර ය!!!

ශ්‍රෝඩින්ගර් පූසා

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 28, 2010


මහත් ජයග්‍රහණයකි. අපි එකිනෙකාට පුද්ගලික පහර දීම් අභිබවා යමින් සෙවිල්ලට හිත යොමු කරමින් සිටිමු. සීමා බාධක බොහෝ ය. නමුත් එපමණින් එය නොකර මුළුගැන්වී සිටිනු නොහැකි නිසා තවත් පියවරක් ඉදිරියට.

විචාරයට ඇති දෑ විශ්වය සේ ම, මිනිසා සේ ම සංකීර්ණ ය, ඉමහත් ය. මගේ බ්ලොග් අඩවිය නිසා, මා විසින් මාතෘකාව ඉදිරිපත් කරද්දී තනි පුද්ගල බලය යොදා ගැනේ. එක සටහනක් කිසිසේත් ම ඒ ඒ මාතෘකාව හෝ ඒ ඒ විෂය ගැන කෙරෙන එකම හෝ අන්තිම සටහන නොවෙයි. විවිධ පැතිකඩ වලින් විචාරයට පසුව එම මාතෘකාව හෝ විෂයය ද මගේ තනි පුද්ගල බ‍ලයේ සන්තුෂ්ටිය උදෙසා ගැනෙනු ඉඩ ඇත!!

සෑම් හැරිස් ලියන ලද The Moral Landscape (2010) පොතෙන් අදහසක් අද විමර්ශනයේ යෙදේ. හැරිස් කතා කරන්නේ විද්‍යාවට මනුෂ්‍ය අගයන් තීරණය කළ හැකි යයි කියාය. ඔහු වෘත්තියෙන් නියුරෝවිද්‍යාඥයෙකි. හාව්කින්ස් හා ‍ම්ලොඩිනොව් දෙදෙනා භෞතික විද්‍යාවෙන් ගත් උත්සාහයට සමාන වෑයමක් ඔහු ජීවවිද්‍යාව පැත්තෙන් ගන්නේ ය. ජීවවිද්‍යාවේ අතුරු විෂයයක් ලෙස ව්‍යාප්ත වූ මොළය හදාරන්නෝ නියුරෝවිද්‍යාඥයෝය. මෙහි දී ඔවුන් හදාරන්නේ ජීවවිද්‍යාත්මකව පැහැදිලි කරත හැකි මොළය වෙති. ඔවුන් ඉන් එපිටත ඇතැයි සැලකෙන මනස හදාරන්නෝ නොවෙති.

ඔහු ඉදිරිපත් කරන සම්පූර්ණ ආචාර ධර්ම පද්ධතිය පැහැදිලි කරත හැකි පදනම් ප්‍රස්තුතය වනාහී: මනුෂ්‍යයාගේ සුභ සිද්ධිය සහමුලින් ම රඳා පවතින්නේ ලෝකයේ සිද්ධීන් මත සහ මිනිස් මොළයේ තත්ව මත ය; While the argument I make in this book is bound to be controversial, it rests on a very simple premise: human well-being entirely depends on events in the world and on states of the human brain.

මෙහි දී ඔහු මිනිස් මොළය පාවිච්චි කරයි. මනස යන්න පාවිච්චි නොකරයි.

මෙහි දී ඔහු තත්ව (states) යන්න පාවිච්චි කරයි. ස්වභාවය (nature) පාවිච්චි නොකරයි. මිනිස් මොළයට තවත් පරිණාමය වන්නට ඉඩකඩ ඇතිබව බැහැර නොහරියි.

මිනිස් මොළය ගැන විද්‍යාත්මක සත්‍යයන් අද සොයාගෙන ඇත. තවමත් සොයමින් ද සිටිති. විස්තරාත්මක වූ මේ විද්‍යාත්මක සත්‍යයන් තුලින් විවිධ පුද්ගලයෝ, විවිධාකාරයෙන් එකිනෙකා හා සමාජයේ ජීවත්වීමත්, සමහර ආකාර හොඳට හා නරකට ක්‍රියාකරන ආකාරත්, සමහර ආකාර දත්ත පෙන්වන සත්‍යයට අනුකූල ආකාරයත්, සමහර ආකාර ආචාර ධාර්මික බවත් දකිනු හැකි යයි හැරිස් පෙන්වා දෙයි.

මේ (විද්‍යාත්මක) දැනුම ගවේෂණයෙන් ලැබෙන සත්‍යයන් වලින් පැහැදිලිව ම මනුෂ්‍ය ජීවිතයේ අනගි (quality) බව වැඩි දියුණුවට ආධාර කරගත හැකි බවත් කියයි.

මා විචාරයට ගන්නේ ඉහත පදනම ඇකඩමියාවේ වාදය නතර වී මිලියන ගණනින් වූ ජනතාවගේ ජීවිතයට බලපාන තෝරාගැනීම් ඇරඹිය හැකි ස්ථානය යයි ඔහුගේ කියමන ය. එය එසේ යැයි පෙනෙන එහෙත් එසේ නොවන (ඊනියා) පදනමක් නිසා එය පැහැදිලි කරගන්නා තෙක් අපට එතැනින් ඉදිරියට යා හැකි ද?

තවත් ආකාරයකින් කිවහොත් මොළය හා මනස අතර ඇති සම්බන්ධය පැහැදිලි නොකර, මනස මොළයේ ඇතැයි හෝ නැතැයි කියා විචාරය බැහැර ලා, මොළයට සියල්ල අන්තර්ගත යැයි සාකච්ඡා කරනු හැකි ද?

විඥානය මොළයේ ක්‍රියායනයක් ද? (Is Consciousness a Brain Process?) යන මැයෙන් ලිපියක් ලියැවෙන්නේ U. T. Place නැමැති බ්‍රිතාන්‍යයේ උපන් ඔස්ට්‍රේලියාවේ වසන මනෝවිද්‍යාඥයා විසින් British Journal of Psychology 47 (1956), pp. 44–50 හි ය. චර්යාවට මානසික තත්වයන් පැහැදිලි කරත නොහැකි ය, නියු‍රල් තත්වයන් මඟින් පමණක් මානසික සිද්ධීන් පැහැදිලි කළ හැකි යයි ඔහු කියයි. ඔහු සමහර චර්යානුවාදී (behaviourism) ආකල්ප උපලබ්ධික (cognitive) සංකල්ප පමණකින් පැහැදිලි කළ හැකිය යන්නට එකඟ ය.

හර්බට් ෆේගල් Minnesota Studies in the Philosophy of Science: Concepts, Theories, and the Mind-Body Problem, Volume II හි The ‘Mental’ and the ‘Physical’ පළ කරන්නේ 1958 දී ය. ඔහු විඥානය තනිකරම මොළය සිදුකරන ක්‍රියායනයක් විය නොහැකි ආකාරය පෙන්වා දෙයි.

අද දිනයේ දන්නා නියුරෝන විද්‍යාව සැලකිල්ලට ගනිමු. මගේ මොළයේ යම් සිතුවිල්ලක් හටගන්නේ ද, ඒ හටගන්නා සෑම විටෙක දී ම මගේ මොළය රසායනයක් නිෂ්පාදනය කරයි. ඒ රසායනය හැඟීම් හා වෙනත් ප්‍රතිචාර ශරීරයේ ඇති කරයි. මගේ ශරීරයේ සෛල ලේ ප්‍රවාහන පද්ධතිය ආධාරයෙන් මේ රසායන ගලා යැවීමට හුරු පුරුදු වී ඉන් මගේ මොළය නාවන්නට සමත් වෙයි. මේ ක්‍රියාවලියට බාධා පැමිණීම නිසා විඥානයෙන් ද (conscious) භවාංග සිතෙන් ද (subconscious) මගේ මොළය බාධාව ජය ගැනීමට, නැතහොත් රසායන ක්‍රියාවලිය නැවත සමබර කරගන්නට වෙර දරයි.

රසායනික මට්ටමෙන් අපේ චින්තනය නියුරෝට්‍රාන්ස්මිටර්ස්, පෙප්ටයිඩ් හා හෝර්මෝන වලින් ක්‍රියා කරති.

සිතුවිල්ලක් හටගනිද්දී, නියුරෝට්‍රාන්ස්මිටර්ස් වැඩ කරන්නේ සිනැප්ටික් අවකාශයේය. ඊට වූ සංකල්පය හෝ මතකය ඇති පැත්තට නියුරල් දැල් අවුළුවා සබඳතා ඇති කරයි.

ඕනෑම මතකයක ආවේගයක් ද ඇතුලත් ය. ඒවා පෙප්ටයිඩ් රසායනිකව නැවත උත්පාදනය කරයි.

මොළයේ හයිපොතැලමසය නිකුත් කරන පෙප්ටයිඩ් හා ගලනා හෝර්මෝන මනියි. මොළයෙන් රුධිරය මඟින් ශරීරය පුරා ප්‍රවාහනය කරන රසායන අවයව, පටක හා සෛල යනාදියට පෙප්ටයිඩ් උරාගන්නටත් හෝර්මෝන ශ්‍රාවයටත් සහාය දෙයි. එතැනින් නඟින බහින හෝර්මෝන මට්ටම් නැවත මොළයට තොරතුරු යවයි.

ක්‍රියාකාරී නිරෝගී මොළයක් ඇති හැමදෙනාම මේ ක්‍රියාවලියේ යෙදෙනා අය වෙති. අපගේ සිතේ නළියන සිතුවිලි ගැන වඩාත් ම හොඳින් දන්නේ කවුරුන් ද? මගේ අතේ කටුවක් වැදීම නිසා දැනෙන වේදනාව ගැන වඩාත්ම දැනුමක් ඇත්තේ කාට ද?

මගේ සිතුවිල්ල කොහේ හෝ තැනක (space) පවතින්නක් ද? ඊට ස්කන්ධයක් (mass) තිබේ ද? චින්තනය යම් ශක්තියක් (energy) මඟින් ලබා (possess) නිෂ්පාදනයෙන් (produce) හෝ භාවිතයෙන් (consume) කෙරෙන්නේ නම් ඒ ශක්තිය කුමක් ද?

යම් සිතුවිල්ලක් හටගන්නා වූ ප්‍රේරකයකට (trigger) එකම විදියකට ප්‍රතිචාර හැම දෙනාම නොදක්වන්නේ ඇයි?

ආවේග, හැඟීම්, ප්‍රාජක (drive) සංවේදී ප්‍රතිචාර සියල්ල තුලින් රසායනික ක්‍රියාවලියන් විවිධාකාරයට පැතිර යාම නිසා ඒවා කුමන ආකාරයන් දැයි හඳුනා ගැනීමට හැකි වුව ද ඒවා හටගත්තේ කෙසේදැයි කියත හැකි ද? මෙහි දී ගැටළුව වන්නේ ඉහත ‍සිතුවිලි පුද්ගලික වූ නිසා වෙන අයෙකුට ඒ ආකාරයෙන්ම පැහැදිලි කරත හැකි ඒවා නොවීම පමණක් ද?

රසායනික මොළය පැහැදිලි කිරීමට ඒවා අපගේ පුද්ගලික හා අනූපම වූ ද, පොදු වූ ද සංවේදන සියල්ලම සලකා බැලීම යයි කිව නොහැක්කේ ඊට භෞතික ලෝකයේ ඉඩ ප්‍රස්ථාවක් නොමැති හෙයිනි.

මේ මතය ද ගෙන එන්නේ අද ඊයේ නොව 1935 දී අයන්ස්ටයින් වෙත කුවාන්ටම් තියරියේ වඩාත්ම ප්‍රසිද්ධ විරුද්ධාභාසය (paradox) ඉදිරිපත් කළ අර්වින් ශ්‍රෝඩින්ගර් ය. ස්ටාර් ට්‍රෙක් වැඩසටහනක දී කැප්ටන් පිකාර්ඩ් තම ලුතිනන් වෝර්ෆ්ට කියනා සේ මෙහි දී (භෞතිකවාදයට එරෙහිව තවමත් නිශ්ප්‍රභා කරගත නොහැකිව සිටින විරුද්ධාභාසය කියා පෑමට) “ෆෝටෝන් ටෝපීඩෝ සුදානම් කරන්න” යයි කිව හැකිය.

අනුමානයෙන් යමක් නිශ්චිතව කිව නොහැකි ය. ඊට භෞතික විද්‍යාඥයා දරන උත්සාහය අනුව යාන්තමින් ළං විය හැක්කේ චලනය වන වස්තුවකට එක ෆෝටෝන විදුලියක් වැදීම මැනීමට ය. එය ඉතාමත්ම නිශ්චිත බවට ළං වන මිණුම් දණ්ඩ වුවත් එය බලන්නට දරන ඉතාම කුඩා උත්සාහයක දී වුවද එහි ස්ථානය (position) සහ චලනය (motion) වෙනසකට භාජනය වෙයි.

ඉතින් මෙහි දී භෞතික විද්‍යාඥයා ගන්නේ අමුතු පියවරකි. නිශ්චිත බව කියන්නට නොහැකි නිසා නියතයක් නැතැයි යන ප්‍රස්තුතයට ඔහු එළඹේ.

නියතයක් නැත්නම් තම විරුද්ධාභාසය පැහැදිලි කරන්න යැයි ශ්‍රෝඩින්ගර් කියයි. මෙහි දී කිසිම පූසෙක් පර්යේෂණයට යොදා ගැනුනේ නැත. මෙය හුදු මානසික අභ්‍යාසයක් පමණි.

පර්යේෂණය: පෙට්ටියකට දැමූ පූසෙකි. පූසා හා ඇතුලට විකිරණශ්‍රීල අණුවක් ද, ගයිගර් කවුන්ටරයක් ද, වස බෝතලයක් (HCN) ද, මිටියක් ද දමා ඇත. විකිරණශ්‍රීල අණුව වෙනස් වුවහොත් ගයිගර් කවුන්ටරය එය මැන විසිර යන ඇල්ෆා අංශු හඳුනා ගනියි. ඉන් හටගන්නා ප්‍රතික්‍රියාව නම් මිටිය වස බෝතලයට පහරක් දීම ය. වස නිසා පූසා මිය යයි.

පෙට්ටිය ඇතුලත ඉන්න පූසා මියගොස් ද ජීවත්වන්නේ ද යන්න දැන ගැනීමට එය විවෘත කළ යුතුය. විවෘත කිරීම නොහොත් නිරීක්ෂණයට යෑමේ දී, පවතින තත්වය වෙනස් වන නිසා පූසා ජීවත්වන්නට හෝ මැරෙන්නට ඉඩ තිබේ. තව පැහැදිලි කරගැනීමට මෙතැනින් ද, පූසා හා පර්යේෂණයට සහභාගී වීමට මෙතැනින් ද, ඒ ගැන නූතනයේ වූ පර්යේෂණය පිළිබඳව මෙතැනින් ද විස්තර සොයාගත හැකිය.

භෞතික වූ දේ නිසියාකාරව නිරීක්ෂණය හෝ මැනිය නොහැකි අප ඉන් පිටත ඇති දේ භෞතික දැයින් නිරීක්ෂණය හෝ මැනීමට තැත් දැරීම සුදුසු ද? මොළයේ රසායනික ක්‍රියාවලිය දැක්ක ද, එය පැහැදිලි කරගත හැකි වුව ද, එය හටගන්නා, පවතින්නා හා ප්‍රතිඵල විවිධාකාරයෙන් පැතිරෙන්නා ආකාරයන් සියල්ල නිරීක්ෂණයට අපට බැරිය. එම දැනුම නොතිබිය දී විද්‍යාව තුලින් ආචාර ධර්ම පද්ධතියක් ගොඩනඟන්නට යෑම විද්‍යාඥයාට බාරදිය හැකි ද?

විශ්වයේ සැලැස්ම පැහැදිලි කරත හැකි ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 27, 2010

“අප ජීවත්වනුයේ ඉතා කෙටි කාලයකි. ඒ කෙටි කාලයේ දී විසල් විශ්වයේ ඉතා අල්පයක් අපි ගවේෂනය කරමු.” ස්ටීවන් හාව්කින්ස් හා ලෙනාඩ් ම්ලොඩිනොව් දෙදෙනා The Grand Design (2010) පොත ආරම්භ කරන්නේ එලෙසිනි. සත්‍ය ගවේෂනයේ පාරම්පරිකව යෙදුනේ දාර්ශනිකයාය. ඔහු විශ්වය පමණක් නිරීක්ෂණයට හා විචාරයට සීමා නොකළේය. දාර්ශනිකයා විශ්වය වටහා ගන්නට මිනිසා ද අධ්‍යයනය කළේය.

දර්ශනයේ කාර්යභාරය විද්‍යාව නොහොත් භෞතික විද්‍යාව විසින් බාරගත්තා යැයි කියන හාව්කින්ස් සහ ලෙනාඩ් දෙදෙනා පොතේ මහත් පිටු ගණනාවක විස්තර කරන්නේ මෙතෙක් පැවති දාර්ශනික මතවාද පිළිබඳව ය. ඒ විශ්වයේ සැලැස්ම ගැන දාර්ශනික විචාරයෙන් මෙතෙක් කාලයක් වූ ගැටළු පෙන්වා එය භෞතික විද්‍යාවෙන් නිරාකරණය කිරීම කරා යනු පිණිස ය. මන්ද ඔවුන් දෙදෙනාට අනුව අද දර්ශනය මිය ගොස් ය. (පිටු 5)

දර්ශනය = ඥානය සොයා යෑම

ඥානය සොයා යෑම = යම් විෂයයකට සීමා නොවීම

විශ්වය සංකීර්ණය. මිනිසා ද සංකීර්ණය. අප අද විශ්වය වැඩ කරනා ආකාරය පැහැදිලි කරගනිමින් සිටිමු. අපට අද මිනිසා හිතනා ආකාරය ද පැහැදිලි කරගත හැකි ද? විශ්වයේ සැලැස්ම මිනිසා‍ගේ සම්භව්‍ය හා අණූක පැවැත්ම පමණක් පැහැදිලි කර දීමෙන් පැහැදිලි කරගත හැකි ද?

ඉහත දෙදෙනා පොත පටන් ගන්නේ බටහිර ඥාන ගවේෂනයේ ග්‍රීක දාර්ශනිකයන් යැයි සැලකෙන තේල්ස්, තොලමි, පයිතගොරාස්, ඉයුක්ලිඩ් වැනි අයගේ සොයා ගැනීම් වලිනි. ක්‍රි. පූ. 585 දී ත්ලේස් සූර්ය ග්‍රහණයක අනාවැකි පළ කළේය. දාර්ශනිකයා විශ්වයේ සම්භව්‍ය ප්‍රශ්න කළේය. ඇනැක්සිමැන්ඩර් කියූ මනුෂ්‍ය දරුවෙක් ඉපිද විගස කිසිත් කරකියා ගන්නා බැරි තත්වයක ඉන්නා නිසා විශ්වයේ ප්‍රථම මිනිසා බිහිවූයේ දරුවකු ලෙසින් වූවා නම් ඔහු ජීවත්වනුයේ නැත යන්න දාර්ශනිකයා මනුෂ්‍යා කවුදැයි විචාරයේ දී උපකාරයට ගන්නා ලදි. ඇරිස්ටෝටල් තාර්කික ක්‍රමයක් හා ආචාර ධර්ම ගැන පැහැදිලි කර දුනි. විලියම් ජේම්ස් මනස ගැන අධ්‍යයන පටන් ගති. දර්ශනය විෂයයකට සීමා වූවක් නොවේ.

එක එක යුගයන්හි දාර්ශනිකයෝ විවිධ විෂයයන්; ජ්‍යාමිතිය, ගණිතය, තාරකා ශාස්ත්‍රය, භාෂාව, මනෝවිද්‍යාව, මොළය යනාදියට සිය විමසුම් ඇස් යොමු කරන ලදහ. අද දිනයේ ද ඔවුන් එලෙසම ය. සත්‍යය සොයා යෑමෙන් දාර්ශනිකයා භෞතික විද්‍යාඥයාට පුටුව දී බැහැර වී ගොස් නැත. පොත කියවද්දී හාව්කින්ස් භෞතික විද්‍යාවෙන් බැහැරව දාර්ශනිකයෙක් වන්නට යත්න දරනවා ද යැයි සිතුණි!

භෞතික විද්‍යාඥයා විශ්වය පැහැදිලි කරන්නට ගන්නා උත්සාහය හා සමාන වේගයකින් අද ජීවවිද්‍යාඥයා මිනිස් මොළය පැහැදිලි කරගන්නට ද උත්සාහයක යෙදෙයි. මොවුන් එකිනෙකාට විරුද්ධ පැති දෙකකින් පටන් ගෙන මැදක මුණ නොගැසී වේගයෙන් එකිනෙකා පසුකරමින් යන අධිවේගී දුම්රියන් දෙකක් වැනි යයි හැරල්ඩ් මොරොවිට්ස් දාර්ශනිකයා කීවේ 1980 ගණන්වල දී ය. අද දෙපැත්තක වෙනුවට ජීවවිද්‍යාඥයා ද රසායනයෙන් මිනිස් ශරීරය හා එහි සැලැස්ම පැහැදිලි කරන්නට උත්සාහයක යෙදෙයි. මනෝවිද්‍යාඥයා ද ඊට හවුල් වී ඇත.

සයිරකස් විශ්ව විද්‍යාලයේ ‍මනෝවිද්‍යාඥ ස්ටෙෆනි ඔර්ටීග් මූලිකත්වයෙන් පිරිසක්, ආදරය හටගනිද්දී මොළයේ සිදුවන රසායනික ක්‍රියාවලිය, The Journal of Sexual Medicine හි පැහැදිලි කරන්නට උත්සාහයක යෙදෙන්නී ය. ආදරය හටගන්නට මිනිසාට යන්නේ තත්පර පහෙන් එකක් යයි ප්‍රස්තුතයකින් ඔවුන් තම අධ්‍යයන පර්යේෂණ පවත්වති. මෙහි දී මැනිය හැක්කේ මොළය නිකුත් කරන රසායනික විපර්යාසයයි.

තමා ලස්සන යයි සිතන කාන්තාවක් දකින පිරිමියාට ඇයගේ ඇස් මුණගැසි කල ඔහුගේ මොළයේ තෘප්තිය පහළ කරවන ඩෝපමින් නැමති රසායනය නිකුත් කරයි. “අනේ එයාව දැක්කත් හිත පිරෙනවා” යැයි සමහරු කියන්නේ මේ නිසා ද? ප්‍රීති උත්තේජනයන් (euphoria-inducing) නිපදවන dopamin, oxytocin, adrenaline, vassopressin වැනි රසායන අද මොළයේ හටගන්නා ආකාරය මොළ ඡායාරූප නැරඹීම මඟින් අවබෝධය ලැබිය හැකිය. හටගන්නට මූලික බාහිර සාධක නැරඹිය හැකිය. මව සහ දරුවා අතර ආද‍රය ඇති මොළ ප්‍රදේශයේ නොව ආදරවන්තයා හා ආදරවන්තිය අතර ආදරය ඇති මොළ ප්‍රදේශය වෙනතක යැයි අවබෝධය ලැබී ඇත. එහෙත් මේ දෙක සදා දෙකක් මිස එකක් නොවන්නේ කෙසේ ද? යම් අහඹු විටෙක එයත් එකක් වන්නට දැකීම කුමන විපර්යාසයක් ද? ඔය කියන ප්‍රීති උත්තේජනයන් සියල්ල මොළයේ රසායනිකව නිකුත් වූවත් එය යම් දෙදෙනකු අතර සදාකාලික බැඳීමකුත් යම් දෙදෙනෙකු අතර තාවකාලික වූ බැඳීමක් කරා යන්නේත් කෙසේ ද? එකම බාහිර සාධක දැක දෙදෙනෙක් දෙයාකාරයට ප්‍රතිචාර දක්වන්නේ ඇයි?

කෙටියෙන් කිවහොත් රසායනික ප්‍රතිඵලය බලා, එය හටගන්නා හා නැතිවන්නා වූ බාහිර සාධක දැකි පමණින්, එය හටගත් ආකාරය පැහැදිලි වන්නේ ද? පවතින ආකාරය පැහැදිලි වන්නේ ද? නැතිවන ආකාරය පැහැදිලි වන්නේ ද? නැතහොත් පැහැදිලි කරදිය හැක්කේ ඇති වූ හැටි, පවතින හැටි හා නැති වූ හැටි ද?

ග්‍රහලෝකාගාරයට යන්නේ ග්‍රහලෝක ගැන ඉගෙන ගන්නට ය. මොළය ගැන ඉගෙනීමට නම් අද කැලිෆෝර්නියාවේ සැන් ඩියාගෝ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාල මොළලෝකාගාරයට යා හැකිය.

ලෝකයේ වඩාත්ම සුප්‍රසිද්ධ මොළය අද අධ්‍යයනය කරන්නේ මෙහි ය. 1953 ගිම්හානයේ දී හෙන්රි ගස්ටාව් මොලෙයිසන් (HM) නැමැත්තා ඉතා දරුණු අපස්මාර රෝගයකින් ගැලවෙනු පිණිස මොළ සැත්කමකට භාජනය විය. එයින් අපස්මාර රෝගයේ වූ වේදනාවන් ජයගත හැකි වුව ද ඔහුට දීර්ඝ කාලීන මතකය නැතිව ගියේය. හුරු පුරුදු මතකයේ තිබුණ ද, විචාරය හා ප්‍රහේලිකාවක් පුරවත හැකි හැකියාව තිබුණ ද ඔහුට දීර්ඝ කාලීන මතකයට අළුතින් යමක් එකතු කිරීමේ හැකියාව අහිමි විය. වයස 27 දී මෙම දීර්ඝ කාලීන මතකය අහිමි වන ඔහු මිය යන්නේ වයස 82 දී ය. එතෙක් ඔහු මොළය පිළිබඳ විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණ වලට සහභාගී වූවෙකි. මිය ගිය ඔහුගේ මොළය හදාරන ආකාරය අද අන්තර්ජාලයෙන් ඔබට ද නැරඹිය හැකිය.

ශුද්ධ ජ්‍යාමිතියත් වීජ ගණිතයත් අතර සබඳතාවත් සොයා ගන්නා ගණිතඥයා රෙනේ ඩෙකාට් ය. භෞතික විද්‍යාවට සියල්ලම පැහැදිලි කරනු හැකිය කියා පහදන්නට ඔහු විෂයමූලික ඥානයක් සොයායන්නට සියල්ල සැක කරන ක්‍රමය පාවිච්චි කළේය. අවසානයේ දී සැක නොකළ හැකි එකම දෙය වූයේ “ඔහුගේ පැවැත්ම” පමණි. “මම සිතමි. ඒ නිසා මම පවතිමි.” “මගේ පැවැත්ම මම සැක කරමි” කියද්දී ද සැක කරන්නට කෙනෙක් ඉන්නා නිසා එයින් ද ඔප්පු වන්නේ මම පවතිමි යන්න ය. ප්‍රතිඵලය වූ තම පැවැත්ම දකින සැකයට ද මනස මූලික ය.

මිනිස් මොළයක පවතින්නේ විද්‍යාව පැහැදිලි කරන සිනැප්සස්, ලොබොටොමි (HM වැනි මොළයේ සෛල විනාශය), ප්‍රෝටීන් හා ඉලෙක්ට්‍රෝඩ වැනි දෑ පමණක් ද? පරමාණු මට්ටමකින් සිද්ධ වන ප්‍රතික්‍රියාවන් පමණක් ද? අණූක හා Quarks සමූහයක මට්ටමකින් සිද්ධ වන නිරීක්ෂණය කළ හැකි ප්‍රතික්‍රියාවන් පමණක් ද? නැත්නම් සවිඥානය, සංජානනය, සම්ප්‍රජානනය, සහ චින්තනය යනාදිය ඇසට නොපෙනුන ද ප්‍රතිඵල දැකිය හැකි නිසා ඊටත් වැදගත්කම දිය යුතු ද?

මිනිසාගේ හැදියාව ජීවවිද්‍යා පදනමකින් පැහැදිලි කරලීමට ශාරීරික විද්‍යාවකින් ඩාර්වින් උත්සාහ ගනියි. ඩෙකාට් උත්සාහ ගන්නේ මනස ජීවවිද්‍යාවෙන් බැහැරක ලා තබන්නට ය. අපගේ “වානරත්වය” සලකා බලන පරිනාමවාදයේ දී මිනිසාගේ මුල්ම ඥාතියා වූ “වඳුරා” හා අනිකුත් සත්වයන් අධ්‍යයනය කෙරුණි. පැව්ලෝ විසින් හැදියාව ගැන ගෙන හැර පෑ විස්තර වලින් චර්යාව වෙනස් කරගත හැකි යයි ඔප්පු කරගන්නට පුළුවන්කම ලැබුණි.

මිනිසාගේ සෑම දෙයක්ම ජීවවිද්‍යාවෙන් පැහැදිලි කරන්නට ගොස් අපට ලැබෙන්නේ එය රසායන හා භෞතික විද්‍යා වලින් පැහැදිලි කිරීමක් ද? රසායනය හා භෞතික විද්‍යාවන් අණු වලට යාමෙන් සෑම සියළු දැයක්ම අණු වලින් පැහැදිලි කරත හැකි ද?

අණුවක වීජ කේන්ද්‍රීයව ඇති ප්‍රෝටෝන හා න්‍යුට්‍රෝන කෙසේදැයි පහදාලන්නට ස්ටීවන් හා ම්ලොඩිනොව් සහායට ගන්නේ Quarks යන්නය. ප්‍රෝටෝන හා න්‍යුට්‍රෝන සමන්විත වන්නේ Quarks වලින් ය. ඒවා වෙන් කරන්නට ගන්නා උත්සාහයේ දී ඒවා බැඳී ඉන්නට ගන්නා වෑයම වැඩි ය. එහෙයින් ඊට තනිවම පවතිනු නොහැකි ය. එහෙයින්ම නිදහස් Quark එකක් නිරීක්ෂණය කරනු ද නොහැකිය. එහි ස්වභාවය නිසාම දකින්නට හැක්කේ සමූහයක එකතුවකි. එකතුවක් දකින කල එහි එකක් ඇතැයි කිව හැකි ද? නැතැයි කිව නොහැකි ද? යමක් නොදැක එහි පැවැත්මක් ඇතැයි කිව හැකි ද? නැතහොත් සමූහයක් දැක එකක් ඇතැයි කියන්නේ නිරීක්ෂණයෙන් නොව තර්කයෙන් නොවන්නේ ද?

මොළයත් මනසත් හුදු භෞතික විද්‍යාවෙන් පමණක් පැහැදිලි කරගත හැකි යයි කිව්ව ද එය ආසන්නයටම පැමිණි කල එය ද නිරීක්ෂණයක් වෙයි ද?

ඔවුනට භෞතික විද්‍යාවෙන් සියල්ල ඔප්පු කර පෙන්වීමට නොහැකි වී ඇත් ද? නැතහොත් අවසානයේ ඔවුන් ද පැමිණෙන්නේ ඩෙකාට් ගේ “මා සිතමි, ඒ නිසා මා පවතිමි” වැන්නකට ද?

මධ්‍යම ස්නායු පද්ධතියට අනුව සවිඥානය හා පරාවර්තක චින්තනය ඇති මිනිස් මොළය පැහැදිලි කරත හැකිය. ශාරීරික පද්ධතියට අනුව ජීවවිද්‍යානුකූල වූ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පැහැදිලි කරත හැකිය. කාබන්, නයිට්‍රිජන්, ඔක්සිජන් වැනි අනූක භෞතික විද්‍යා දැනුමින් ජීවවිද්‍යාවේ සියළුම අවස්ථා පැහැදිලි කරත හැකිය. එහෙත් තවමත් අනූක භෞතික විද්‍යාවට ඥානය හටගන්නේ කොහොම ද යන්න පුරාතන වූ මනස උපයෝගී කර නොගෙන විස්තර කරන්නට නොහැකි ය.

මනස විචාරයෙන් පටන්ගත් මිනිසා හා විශ්වය ගවේෂණය අද විද්‍යාවෙන් පැහැදිලි කරගත්තා ද? නැතහොත් ඒ කටයුත්ත නැවතත් අවසන් වන්නේ මනසේ විචාරයට පැවරීමෙන් ද?

ප්‍රතිඵලය බලා එය ඇතැයි කියන්නට හැකියාව පමණින් හටගත් හැටි හා පවතින හැටි සියල්ල පැහැදිලි කරත හැකියාව භෞතික විද්‍යාවට දිය හැකි ද?

විචාරය නිමියේය.

සිතන්න යමක්: දෙවියන් බැහැරලා විශ්වය පැහැදිලි කරන්න හැකි යයි කියන ඉහත දෙදෙනා ‘දෙවියන්’ යන වචනය පොතේ හැම තැනකම ලියා ඇත. මා සට‍හනේ මුළු විචාරය ගෙන යන්නේ දෙවියන් බැහැරලා ය. ඔවුනට සිද්ධ වී ඇත්තේ දෙවියන් බැහැරලා විශ්වය පැහැදිලි කරගන්න නොහැකියාව ද? නැත්නම් ඔවුන්ගේ අරමුණ වෙනෙකක් වී ද?

මම දාර්ශනිකයෙක්මි

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 25, 2010

අද මට රස්සාවක් ලැබුණ ඉල්ලන්නෙත් නැතිවම! මම ගියා ටිකක් දුරක තියන විශ්ව විද්‍යාලයකට ලංකාවෙන් ආපු ඉල්ලීමක් සපුරාලන්න. ඒ වැඩේ කරගත්ත. කරලා දුන්න අය සුහද කතාබහට මම මොනව ද කරන්නෙ කියල ඇහුව. මම දාර්ශනිකයෙක්මි යැයි මා දුන් පිළිතුර ය. ඒ ගැන කතාබහ කරද්දී එයා ළඟ හිටපු යාළුවා ඉන්දියාවේ පූනා විශ්ව විද්‍යාලයේ සංස්කෘත හා ප්‍රාකෘති ඉගෙන ගත්තු ජර්මනියෙ උපන් ජර්මන්, ප්‍රංශ හා ලතින් ද දන්නා, අද සංක්‍රමණික ඇමෙරිකානුවෙකි. දර්ශනය උගන්වන ආචාර්යවරයෙකි. ඉතින් විස්තර කතාබහට පසුව මේ යාළුවා ඒ විශ්ව විද්‍යාලයේ උගන්වන්න මට එන්න කිව්ව. හරියට අක්කාව බලන්න මනමාලයා එක්කන් යන්න ආවම යාළුවා නංගිව කසාද බඳින්න කැමැතියි කිව්වා වගේ!! ම්… හිතුනොත් ගිහින් ආරාධිත දේශනයක් තියලා එනවා. මේ විනාශකාරී බදු ක්‍රමය නිසා ගමන් වියදම් දුන්නත් අතේ තියන සල්ලි වලටත් වදිනවානෙ. කිසිම දෙයක් කරන්න හිත දෙන්නෑ. මරණ බද්දකුත් තියනවා මෙහෙ. ජීවත්වෙලා ඉන්න කොට බදු ගෙවලා ඉතිරි කරගත්ත ටිකට මැරුණට පස්සෙත් බද්දක් ගහනවා!

උපාධියක් ලබා විභාගයක් සමත් වී පුහුණුවකින් පසු වෛද්‍යවරයෙකුට රෝග නිවාරණයට උපදෙස් දිය හැකිනම්, ඉංජිනේරුවෙකුට පාලම් ඉදිකළ හැකිනම්, ගණකාධිකරුවෙකුට පොත් තැබිය හැකිනම් මා හට හතර වසර ප්‍රථම උපාධියකින් හා M.A. උපාධියත් අනතුරුව Ph.D. (දර්ශන උපාධිය දර්ශනයෙන්ම) හදාරා, උගන්වා, පොත් ලියා ඇති නිසා දාර්ශනිකයෙක්මි යැයි හඳුන්වා ගත හැකියි. ඔතැනින් අන්තිම උපාධිය අවසන් කළේ නැහැ. සියළු පාඨමාලා හදාරා අවසන් කර උපාධි නිබන්ධනය බලාපොරොත්තුවෙන් ඒ දර්ශන අංශය මට වසර 8 ක් කාලය දුන්නට එතකොට උපාධි සහතිකය ලැබීමේ වැදගත්කම මගේ ජීවිතයෙන් තුරන්වෙලා ගිහින් ඈතකට.

දාර්ශනිකයා ඉගෙන ගන්නේ මොනවා ද යන්න බොහෝ අය නොදනිති. අද දර්ශනය හදාරන්නා තොලමි හා ප්ලේටෝ ගැන සේ ම මනස හා මොළය වෙනස් ද? කියාත් විචාරයක යෙදෙති. ස්ව (self) යන්නෙන් හැඳින්වෙන්නේ කුමක් දැයි සොයන්නට වෙහෙසෙති. සිහිබුද්ධියෙන් (rational) කරන චින්තනය ආවේග වලින් (emotions) වලින් නිදහස් ද? යන්න විචාරය කරති. චින්තනය භාෂාවට අදාළ වන්නේ කෙසේ ද? භාෂාව ලෝකයට අදාළ වන්නේ කෙසේ ද? කියාත් සොයා බලති.

මා මාගේ බ්ලොග් සටහන් වලින් මෙතෙක් කරගෙන ආවේ අද ලෝකයේ නිතර දකිනා, කතාබහ කරනා දෑ දාර්ශනික විචාරයකට උත්සාහයකි.

දාර්ශනිකයා ප්‍රශ්න අහන්නේ අසන්නාට පාර පෙන්වන්නට ය. එහෙත් එක් එක් අය තමා යා යුතු මඟ තෝරා ගන්නා සේ ම, යන්නේ කොහොම ද කියාත්, යන වේගයත්, යනවා ද නැද්ද කියාත් තීරණය කරති. බලෙන් දක්කා ගෙන යා යුතු යැයි කීමක් නැත. අර පාරේ යන්න මේ පාරේ නොයන්න යැයි කීමක් නැත. නමුත් තමා යා යුතු ගමන, ආකාරය, වේගය, යන්නට තීරණය කරා නම් අතරමං නොවී ගමන යෑමට නිසි උපදෙස් දීම දාර්ශනිකයාගේ කර්තව්‍යයයි.

මා සමහර විට සමාජය පිළිගත් මතයක හෝ පිළිගත් මතයකට පටහැනි මතයක සිට විචාරය අරඹමි. ප්‍රතිචාර ලැබෙනා හෝ විමර්ශනය යන ආකාරයට අපට ගමන යා හැකිය. මගේ මතය ඔබේ මතය කිරීමට කිසිත් උවමනාවක් නැත. සියල්ලෝම එකම මතය දැරීම ගැන මගේ මතය වන්නේ එවැනි ලෝකයක් නීරස බවයි!!!!

මූලාශ්‍ර අගය මට මුලින්ම කියා දුන්නේ මගේ පියා ය. දිනක් මා හවර්ක්‍රාෆ්ට් වැඩ කරන්නේ කෙසේ දැයි ඔහුගෙන් ඇසුවෙමි. උත්තර දෙන්නට කට ඇරිය ඔහු නැවතී මඳක් කල්පනා කොට “ආතර් සී. ක්ලාක් ගෙන් අහලා යවන්න” යැයි කීවේය. මා ආතර් සී. ක්ලාක් මහතාට ලිපියක් යැව්වෙමි. ඔහු මට පිටුවක විස්තරයකුත්, පිටුවක පින්තූරත් එවන ලදි.

දාර්ශනිකයා කවුරුත් කියූ පළියට පිළිගන්නේ නැත. නිතරම ප්‍රථම මූලාශ්‍ර සොයා යයි. අනතුරුව දෙවන තෙවන මූලාශ්‍ර වලින් හරස් උද්දේශයන් (cross reference) කරයි. තමන් විසින් විචාරයේ යෙදෙයි.

කැළණිය විශ්ව විද්‍යාලයේ දී එදාත් අද වාගේම මා කවුදැයි රාමුවකට දාන්න උත්සාහ කළ අය සිටියහ. හැම විටම මා අනිත් පාට පැත්තේ ඉන්නා අයෙක් යැයි සිතූ අය මැද්දේ එක ස්වාමීන්වහන්සේ නමක් එක්තරා ශිෂ්‍ය සංගමයක සභාපති තනතුරට මා තේරී පත්වන්නට යද්දී කෝලාහලයෙන් එය නවතන්නට ආ සිසු පිරිස පිටුපසින් සභා ශාලාවට පිවිසුනහ. මා දුටු උන්වහන්සේ “ආ මේ අපේ අරුණිනේ” කියා ඔවුන්ව කැඳවාගෙන කාමරයෙන් පිටව ගියේ මාව රාමුවක හිරකරලා ය. එහෙත් ඉන්පසුව විවිධ පාට පාට වූ අය මාත් ඒ ඒ අයගේ පාට පැත්තට අයිති යැයි සිතන්නට වූහ!

අද දිනයේ ද මා කිසිම මතවාදයක හෝ පාට පැත්තක නැත. විචාරාත්මක ගමනක යන මට පැත්තක ගැතිවාදී නැතිකම, දෙපැත්තේම හරි වැරදි, ගුණ අගුණ, අගය හා ශුන්‍යත්වය දකින්නට උදව් කරයි.

රාමුවකට දාන්නට උත්සාහය, රාමුවක ඉන්නාට රාමුවක නොසිටීම අවබෝධය බැරි නිසා‍ මෙන්ම රාමුවකින් යමක් හඳුනාගැනීම පහසු නිසා ය. දර්ශනය සදාකාලික විෂයයකි. එහෙත් එය කිසිසේත්ම පහසු විෂයයක් නොවේ.

“ඇමෙරිකානුවා කවුද?” යන සටහන මේ බ්ලොග් අඩවියට තීරණාත්මක වූ අදියරක් පසුකර සාර්ථකත්වයක් ලබන්නට හැකි වූවක් සේ මා සලකමි. ඉතින් ටිකක් ගැඹුරු දේට බහින්නට අවසර.

අරමුණ දැනුම සොයා යෑම ය.

විෂය ඕනෑම දෙයකි.

සහභාගීවන්නට හා රස විඳින්නට සැමට ආරාධනා!

ඇමෙරිකන් පාසැල් ගණිත තරඟය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 24, 2010

පසුගිය සටහනේ මා කියන ලද මාර්ක් සෙල්කි දරුවා ඇමෙරිකන් පාසැල් ගණිත තරඟය 2010 ජයගත් ආකාරය දැන ගැනීම සඳහා ඔබට මෙතැනින් හැකිය. සුපිරි තරු ඇමෙරිකන් අයිඩල් තරඟයෙන් පමණක් නොව මෙවැන්නකින් ද බිහි වෙයි. ඇමෙරිකානු අනාගතය 18 වැනි සියවසේ රටට පැමිණි සංක්‍රමණිකයන් වෙතින් සකස් වූවා සේ 21 වැනි සියවසේ මේ රටට එන සංක්‍රමණිකයන් වෙතින් යහපත්ව සිදු වේ ද?

http://dl.nmmstream.net/media/mathcounts/flash/competition10/competitionloader10.html

ඇමෙරිකානුවා කවුද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 22, 2010


Kal’s cartoon, The Economist, October 21st, 2010

18 වැනි ශත වර්ෂයේ දී රජ පවුලට හෝ ප්‍රභූ පංතියට අයත් නොවන, පාරම්පරිකව ධනවත් නොවන, රජ පවුලෙන් තෑගි සේ නොලබා, රට ආණ්ඩු කරන පක්ෂයේ ගැත්තෙක් නොවන යම් පුද්ගලයෙකුට සතයක් නැතිව උපන්න ද, ගොවිතැන් කටයුතුවල නිරත වී, ව්‍යාපාරයක නිරත වී, සැලකිය යුතු ප්‍රමාණයක ධන සම්භාරයක් තම ශ්‍රම මහන්සියෙන්, ස්ව උත්සාහය නිසා අයත් කරගත හැකි ලොව එකම රට වූයේ යටත්විජිත ඇමෙරිකාව ය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියාට වඩා යටත්විජිත ඇමෙරිකානුවා වෙනස් වූ එක් ලක්ෂණයක් එයයි.

අනික වූයේ එදා යුරෝපයේ නොතිබි ජාති හා ආගම් භේදයකින් තොරව විවාහයකට ඇමෙරිකාවේ ඉඩකඩක් තිබීම ය. ලොව බොහෝ රටවල දකින රාමුවක සිටින අය පිළිගත් සමාජීය සීමාවලින් යුතු වූ අවාහ විවාහ රටාව නොතිබීම ය.

1759 දී ප්‍රංශ ජාතික මිශෙල් ගියාමෝ ජෝන් ඩ ක්‍රවෙකුර් නැමැත්තා අද නිව් යෝර්ක් නමින් හැඳින්වෙන පෙදෙසේ පදිංචිව සිටියේ ය. හෙක්ටර් සෙන්ට් ජෝන් යයි නම වෙනස් කරගත් ඔහු ඇමෙරිකාව ගැන පැහැදී රටට ඉමහත් ආදරයක් දැක්වූයේය. පසු කාලයක දී ඔහු ඇමෙරිකාව ගැන පොතක් රචනා කළේය. මෙම පොතේ ඔහු ඇසූ ප්‍රශ්නය නම් “ඇමෙරිකානුවා කවුද?” යන්න ය.

තමා දන්නා හඳුනන ඇමෙරිකානුවෙක් ගැන ඔහු සඳහන් කරන්නේ මෙසේය. “සීයා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන මා දන්නා කෙනෙක් විවාහව සිටින්නේ ඕලන්ද ජාතික බිරිඳක් සමඟ ය. ඔවුන්ගේ පුතා විවාහ වූයේ ප්‍රංශ ජාතික කාන්තාවක් සමඟිනි. දැන් ඔවුන්ට දාව ලත් පුත්‍රයන් හතරදෙනා විවාහව ඇත්තේ විවිධ රටවල් හතරකින් ආ කාන්තාවන් හතරදෙනෙකු සමඟ ය.”

21 වැනි සියවසේ ද ඇමෙරිකාව මීට වෙනස් නැත.

සතේ අතේ නැතිව ශිෂ්‍යත්වයක් ගැට ගහාගෙන දුප්පත් රටකින් ධනවත් රටට ගොඩ වදිනා පුද්ගලයාට ද උරුමයක් නැතිව, ස්ව උත්සාහයෙන් රටේ ඉහළම ධනවතෙක් වන්නට හෝ රට තුල පුරවැසිකම වුව ද නොලබා කාලයක් අධ්‍යයන ගවේෂණයේ යෙදී සිට නොබෙල් රසායන විද්‍යා ත්‍යාගය දිනා ගන්නට හෝ ඉඩකඩ ඇත.

ලංකාවේ මෙන්ම බොහෝ අන් රටවල ද පුරවැසිකම නැතිනම් රටේ පදිංචියට අවසර දෙන්නේ මුදල් සම්භාරයක් ඒ රටේ බැංකුවේ තැන්පතුවෙන් පසුව ය.

ඇමෙරිකාවේ දී ජාතියට, දේශයට, ආගමට, කුලයට, පක්ෂයට සීමා නොවී කැමැති අයෙකු හා විවාහ වන්නට හැකිය.

මා ජර්මනියට (එවක බටහිර) මුලින්ම පා තබන්නේ 1988 දී ය. රට රටවලින් ආ සිසු සිසුවියන් ලහි ලහියේ ජර්මන් භාෂාව ඉගෙන ගන්නා ආකාරය දැක්කෙමි. ඉංග්‍රීසි ඉගෙන ගන්නට පසුබෑ සිංහල අයත් ජර්මන් චතුර ලෙස ඉගෙන ගත්හ. ජර්මන් හදාරා අනතුරුව ඔවුන් තම විෂය හදාරන්නට පටන් ගත්හ.

පහත ඇත්තේ මා ජර්මන් සිසු හමුවක කතාවක් කළ ආකාරයයි. එහිදී කතාව මා ඉංග්‍රීසියෙන් කියද්දී ජර්මන් බසට හිටිවන පරිවර්තනයක් කෙරිණ.


Schlosskeller,Darmstadt University, 1988

මා ජර්මනියේ සිටිය දී ඔස්ට්‍රියාවේ සිටි මගේ කැළණිය කැම්පස් යෙහෙළිය බලන්නට යා යුතු යැයි සිතුවෙමි. සාරියක් ඇඳගත් මා (එම්බසියකට යන නිසා) සිංහල යාළුවෙක් සමඟ ඔස්ට්‍රියන් තානාපති කාර්යාලය වෙත ගියෙමි. එහි මුරකරුවා අප නවතන ලදි. ඔහුට ජර්මන් බසින් තතු විස්තර කළ මගේ යාළුවා මා යන්නේ වීසා බලපත්‍රය සඳහා යැයි කීය. පාස්පෝට් හිමි රට කුමක්දැයි විමසද්දී ලංකාව යයි ඇසූ විගසින් මුරකරුවා අප එළවා ගත්තේ ය.

කිසිත් අභියෝගයක් ඉදිරියේ උත්සාහයක් නොදරා අත්නොහරින හුරුව ඇති මා ඊ ළඟ දිනයේ නැවත තනිවම ඔස්ට්‍රියන් තානාපති කාර්යාලය වෙත ගියෙමි.

මෙවර මා හැඳ ගියේ ඩෙනිම් ජීන්ස් හා ටී-ෂර්ට් එකකි. හෑන්ඩ්බෑගයක් වෙනුවට බැක්පැක් එක එල්ලාගෙන ගියෙමි. සාරි පාවහන් වෙනුවට දුවන සපත්තු දා ගතිමි. ඔහු අසල දී ඔහුට සුබ උදෑසනක් ඉංග්‍රීසියෙන් පතමින් ඇවිදින වේගය අඩු නොකළෙමි. ඔහු ආචාරශීලීව යන්නේ කුමකටදැයි විමසීය. මම කැනඩාවේ ඉගෙන ගන්නා ශිෂ්‍යාවක් බවත් ඔස්ට්‍රියාවේ යෙහෙළියක් හමුවට වීසාවක් අවශ්‍ය බවත් ඉංග්‍රීසියෙන්ම කියුවෙමි. ඔහු පැත්තකට වී කතා බහක් නැතිව ඇතුලට යන්නට අවසර දුන්නේ ය. ඇතුලට ගිය මා හට වීසා ලැබී මා ඔස්ට්‍රියාවේ මිතුරිය ද හමුවන්නට ගියෙමි.

අද මා ලංකාවේ සිටින මගේ නංගියා හා දුරකතනයෙන් කතා කරමින් සිටිය දී කුණු එකතු කරන ට්‍රක් රථය පැමිණියේය. ඇයගේ සැමෝවා ඥාතීන් ගැනත් සුව දුක් ඇසුවෙමි!!! ඥාති සුවදුක් කතාබහට ගොස් කුණු බක්කිය කළින්ම එළියට නොදැමූ නිසා මා දිව ගියේ “පෝ ෆාවෝර් එස්පි‍රි” (පොඩ්ඩක් ඉන්න ප්ලීස්) කියමින් ඔහුව රඳවා ගන්නට උත්සාහයෙනි. කුණු බාල්දිය ඊට හලාගත් ඔහුට මා ‘ග්‍රාසියාස් සිඤ්ඤෝර්’ (ස්තූතියි සර්) කියද්දී නංගියා මට හිනා වෙයි! කුණු අදින්නා මට “නෝ ප්‍රොබ්ලේමො” කියයි. කුණු අදින්නාට සර් කියා කතා කරන්නේ ඇයි? ඔහුට ඉංග්‍රීසියෙන් නොකියා මා ස්පාඤ්ඤ කතා කරන්නට උත්සාහ දරන්නේ ඇයි?

ලංකාවෙන් මාව සොයනා දුරකතන ඇමතුමට මගේ සුද්දා පිළිතුරු දෙන්නෙ “සුද්දා කතාකරන්නෙ. පොඩ්ඩක් ඉන්න.” කියාය. එය අසනා ලාංකික යෙහෙළියෝ කිචිබිචි ගා සිනා වෙති.

ඇමෙරිකාවට 18 වැනි ශ. ව. දී ආ පිටරැටියන් තම රටවල්වල තිබුණු දුර්වලතා මඟහරවා ගන්නට වෑයම් දැරූහ.

ඒ නිදහස හා අයිතීන් නිසා සංවර්ධනය වූ ඇමෙරිකාව ලෝකයේ අද දිනයේ ද නිදහස හා අයිතීන් වෙනුවෙන් සටන් කරන රටකි. නිකම් බලා නොගෙන සටන් කරන නිසාම ‍නිතර ලෝකයාගේ අවලාදයට ද ලක් වෙන්නකි. ඔවුන් කරනා ක්‍රියාදාම හැම විටම නිවැරදි නැත. එහෙත් තවමත් ඔවුන් සොයන්නේ ඇමෙරිකන් ව්‍යවස්ථාදායකයෙන් ඔවුන් වෙත දී ඇති “තමන්ගේ සතුට හොයා යන” අයිතියයි.

අද ඇමෙරිකාවේ වාසය කරන සමහර අය හිස්පැනික් සංක්‍රමණිකයන් ඉංග්‍රීසි ඉගෙන ගන්නට පසුබාන නිසා තමන් ස්පාඤ්ඤ බස ඉගෙන ගනිති. කර්මාන්තශාලා, වගා, පාරවල් හදන, ගෙවත්තේ තණකොල කපන යනාදී කම්කරු රැකියා කරන බොහෝ අය අද හිස්පැනික් අය ය.

අද ජර්මනියට පැමිණ ඇති සංක්‍රමණිකයන් ජර්මන් බස ඉගෙන ගන්නට උත්සාහ නොකරන්නේ යයි ද, ඔවුන් ජර්මන් නොදන්නා බැවින් සමාජයට අනුකලනය නොවන්නේ ද යයි එහි චාන්සලර්වරිය නොබෝදා මෙසේ අවලාද කියුවා ය.

සංක්‍රමණිකයන් අනුකලනයට ජර්මන් උත්සාහය අසාර්ථක යැයි කියන ජර්මානුවන් මෙන් නොව සංක්‍රමණිකයන් ඉංග්‍රීසි ඉගෙන ගන්නට පසුබානා නිසා තමන් සංක්‍රමණික භාෂාව ද ඉගෙන ගෙන ඉදිරි ගමන යන්නට නොපසුබට උත්සාහයක ඉන්නා ඇමෙරිකානුවා අනුකලනය (integration) බලහත්කාරයෙන් නොකර ස්වභාවිකව සිද්ධ වන්නට ඉඩ හරිනවා ද?

ඇමෙරිකාවේ අඩුපාඩු පෙන්වා දෙන්නට ඉදිරිපත් වෙන්නේ එහි නිදහස හා අයිතියට එරෙහි ඈතක පිහිටි අන්තවාදී රටක අයෙක් පමණක් නොවේ. ජීවිත පරදුවට තබා යටත්විජිත ආධිපත්‍යයෙන් ගැලවීම නිසා ඇමෙරිකාවේ නිදහස හා අයිතිය නිසා ලබාගත් සෞභාග්‍යයෙන් අද දිනයේ ලාභ ලබන පුරවැසි බව නැති තාවකාලික ආගන්තුක සේවකයෝ පමණක් නොවේ. මෙරටට පැමිණ එහි සශ්‍රීකත්වයෙන් රැකියා ලද සංක්‍රමණික සේවකයෝ පමණක් නොවේ. ඇමෙරිකාවේ අඩුපාඩු රට තුල දී කතා කරන්නට නිදහස හා අයිතිය රටේ වාසය කරනා ඕනෑම කෙනෙකුටත්, පිටරටක වාසය කරනා ඕනෑම කෙනෙකුටත් ඇත. මෙවැනි නිදහස් රටක් වෙන කොතැනක වත් නැත!

ඇමෙරිකානුවා දුප්පත් යැයි පෙන්වන්නට ගන්නා උත්සාහයන් සියල්ලම අසාර්ථක වන්නා සේ ම ඇමෙරිකානුවා මෝඩ යැයි කියන්නට ගන්නා උත්සාහයන් ද අසාර්ථක ය. ඒවා විශ්වාස කරන්නේ විචාරයට නොහැකි මනස්වල හිර වී සිටිනා අය පමණි.

ඇමෙරිකානුවා දුප්පත් යැයි කියන්නට ‍රොනල්ඩ් රේගන් සමයේ උත්සාහ ගන්නේ ඇමෙරිකාව හා සීතල යුද්ධයේ සටන් කළ සෝවියට් රුසියාව නොවේ. එයට උත්සාහය ගන්නේ ඇමෙරිකාවේ ම විරුද්ධ පක්ෂයයි. වාර්තාකරණ චිත්‍රපටියකින් රටේ ඇමෙරිකන් දුප්පතා ගැන කියන්නට ඔවුන් එය හදා සෝවියට් රුසියාව වෙත යවති. එය නරඹන සෝවියට් රුසියානුවෝ මෙහෙම දුප්පත් වෙන්න අපිත් ආසයි කියති. සෝවියට් රුසියාව වහාම චිත්‍රපටිය පෙන්වීම තහනම් කරති.

දුප්පත් ඇමෙරිකාවේ තවමත් ගෙයක් මිල දී ගන්නට බැංකු ණයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ රස්සාවක් ඇතැයි පෙන්වීම හා ගෙයි මිලෙන් 20% ක අත්තිකාරම් මුදලක් පමණි. වාහනයක් ගන්නට රස්සාවක් තිබි පමණින් පුළුවන. අත්තිකාරම් අවශ්‍ය නැත. මාස්පතා ණය ගෙවන්නාට පොලියක් නොගෙවා වාහනයක් ගෙදර ගෙන යා හැකිය. සීතකරණ, ඉන්ධන බලය, ගේ ඇතුලත නාන කාමර යනාදී පහසුකම් වැඩි පිරිසකට ඇත.

ගිම්හානයේ දී ‍පෝලන්තයෙන් මෙහි පැමිණි අර්මිනා චාර්නෙට්ස්කායා ආපහු යන්න ගියේ දුකින් තැවෙමිනි. පැය භාගයක පාපැදි ගමණින් ඇය ගිම්හානය පුරා දිනපතා රැකියාවට පැමිණියේ ඇමෙරිකාවේ දී සොයාගත හැකි ඩොලර් මුදල ගිම්හානයක දී කිසිසේත්ම පෝලන්තයේ දී සොයාගත නොහැකි බව කියමිනි. ඒ ඇමෙරිකාවේ ආර්ථිකය කඩා වැටී තියෙන සමයක ය. මාක්ස්, ලෙනින් විශ්වාස කළ පෝලන්තය, රටක දියුණව පීඩිත බවින් ලද නොහැකි බව කියා අවබෝධ වී පීඩිත බවින් නැඟිටින්නට හදන කාලයක ය.

අතීතය දිහා බලද්දී ලෝකයේ කුමන තැනක හෝ වේවා සමාජය බලහත්කාරයෙන් සංශෝධනය කරන්න දැරූ තැත් අසාර්ථකව ගිය බව පෙනී තිබිය දී ම ඇමෙරිකන්කාරයා මෝඩ යැයි කියන්නට අද විශ්ව විද්‍යාලවල වැඩියෙන් විද්‍යාව හා ගණිතය හදාරන්නේ සුදුහම නැති අයයි කියන්නට තවත් උත්සාහයක් ගන්නේ ඇමෙරිකාව තුලින් ම ය.

ප්‍රගතිශීලී ප්‍රතිපත්ති යයි කියා සුදුහමට එරෙහි අයගේ චන්ද දීනාගැනීමට සමාජ සංශෝධනය පටන් ගැනෙන්නේ මීට වසර 30 කට පමණ පෙරය. අඩු නියෝජනය ඇති අයට තැන දෙන එම ප්‍රතිපත්ති, ලකුණු නොසලකයි. හමේ පාට සලකයි. ගෑණු ද පිරිමි ද යන්න සලකයි. මෑතක දී සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලද දෙමව්පියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාලයට ඇතුල්වීමට වැඩි හැකියාව ලැබුණි. කාලයාගේ ඇවෑමෙන් වැඩි වැඩියෙන් ගෑණු, වැඩි වැඩියෙන් සුදුහම නොවන අය, වැඩි වැඩියෙන් උපාධි නැති අයගේ දරුවන් එනවා, යයි අද ඇමෙරිකන්කාරයා මෝඩ යැයි කියනා ඇමෙරිකානුවා ප්‍රීතියෙන් උදම් ඇනුවේ ය.

අතීතය දිහා බලද්දී ලෝකයේ කුමන තැනක හෝ වේවා සමාජය බලහත්කාරයෙන් සංශෝධනය කරන්න දැරූ තැත් අසාර්ථකව ගිය බව පෙනී තිබිය දී ම ඇමෙරිකානුවන් මෝඩ නිසා ඔවුන් විශ්ව විද්‍යාලවලින් උපාධි නොලබා හැලී යනවා යයි කියා සිටිති.

එහෙත් ඒ තරම් පීඩිත බලහත්කාරයෙන් ස්ථාපිත කළ සමාජ සංශෝධන ප්‍රතිපත්ති හමුවේ වුව ද ‘රියල්’ ඇමෙරිකානුවා සිය උත්සාහය නවතන්නේ නැත.

සුදුහම ඇත්තෝ මෝඩ ඇමෙරිකානුවන් යැයි පෙන්වන්නට ගන්නා උත්සාහයේ දී ඇමෙරිකාව පටන්ගත් “ඇමෙරිකානුවා කවුද?” යන්න ඔවුන් අමතක කරති.

සුදුහම ඇත්තෝ මෝඩ ඇමෙරිකානුවන් යැයි පෙන්වන්නට ගන්නා උත්සාහයේ දී ඇමෙරිකාවේ සමාජ සංශෝධන ප්‍රතිපත්ති වලින් සුදුහම ඇත්තෝ පාගා දමා හමේ පාටට තැන දෙන ආකාරය නොකියති.

සුදුහම ඇත්තෝ මෝඩ ඇමෙරිකානුවන් යැයි පෙන්වන්නට ගන්නා උත්සාහයේ දී ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල උපාධි ඇති දෙමාපියොන්ගේ දරුවෝ අයැදුම්පත් ඉදිරිපත් කරද්දී විශ්ව විද්‍යාල උපාධිය නැති අයගේ දරුවෝට පළමු තැන දෙන ආකාරය නොකියති.

සුදුහම ඇත්තෝ මෝඩ ඇමෙරිකානුවන් යැයි පෙන්වන්නට ගන්නා උත්සාහයේ දී අඩු ආදායම් ඇති අයට ශිෂ්‍යත්ව සමඟින් අඩු ලකුණු තිබුණ ද විශ්ව විද්‍යාල වරම් දී ලකුණු තිබූ අයට වරම් නොදීම නිසා වසරකින් පසුව අඩු ආදායම් අය උවමනාව නැතිකම නිසා පාසැල අත්හැර දමා යාම ගැන නොකියති.

සුදුහම ඇත්තෝ මෝඩ ඇමෙරිකානුවන් යැයි පෙන්වන්නට ගන්නා උත්සාහයේ දී සුදුහම නැති අය විශ්ව විද්‍යාලයන්හි ඉහළ උපාධි සඳහා වැඩියෙන් සිටිනවා යැයි කියති. ඉහළ උපාධි නොලද සුවිශේෂී සොයා ගැනීම් ලෝකයට විකුණා ධනවත් වූ සුදුහම ඇත්තෝ ගැන නොකියති. කිව්වොත් කියන්නේ මුහුණු පොත හොයාගත් මාර්ක් සුකර්බර්ග් සුදුහම හිමි, ධනවත් ලාබාල තරුණයා එයින් ලොවට කරන හානිය පමණයි.

සුදුහම ඇත්තෝ මෝඩ ඇමෙරිකානුවන් යැයි පෙන්වන්නට ගන්නා උත්සාහයේ දී කළුහම ඇති අය, හිස්පැනික් අය, ආසියානුවා යැයි වෙන් වෙන් කරන්නට ගන්නා උත්සාහයේ දී මිශ්‍ර විවාහයන් කරගන්නා අයගේ දරුවන් ගැන මුනිවත රකිති.

අද ඇමෙරිකානුවා 18 වැනි සියවසේ ඇමෙරිකානුව සේ ම ය.

ඉහත සඳහන් සියළු අභියෝග ඉදිරියේ හා සඳහන් නොකරන ලද දුෂ්කරතා මැද, නොසැලී තම වෙහෙස මහන්සියේ ඵල ලාභ විඳිමින් තමාටත් තම දරුවන්ටත් මං අවුරන අයව ද කරපින්නා ගෙන තවත් ඉදිරියට යන්නට හර්කියුලීයන් උත්සාහයක යෙදෙන්නා ය.

ව්‍යවස්ථාව පුරවැසියා පීඩනය කිරීමට යොදාගන්නට තැත් දරනා පීඩකයෝ හඳුනාගෙන ව්‍යවස්ථාව පුරවැසියාගේ නිදහස හා අයිතිය වෙනුවෙන් ආරක්ෂා කරගන්නට තැත් දරන්නා ය. තමන් විසින් අත්නොහරින අප්‍රතිහත ධෛර්යයට හා නොපසුබට උත්සාහයට කිසිදාක ස්තූතියක් ලැබෙන්නේ නැති බව දැන දැනත් රියල් ඇමෙරිකානුවා රියල් ඇමෙරිකන් ගමන යන්නේ ය. විචාරය නොදන්නා ගැතිකමට ලැදි පුරවැසි හා පුරවැසි නොවන අයගේ නිදහස හා අයිතීන් ද තම රටේ දී හෝ ආරක්ෂාවට අවලාද අසමින් තමන්ගේ වෙහෙස යොදවන්නේ ය.

අද ඇමෙරිකානුවා චීනයෙන් ආ මවක් හා ටොම් සෙල්කි නැමති අප පවුලේ හිතවතා පියා කරගන්නා 2010 ගණිත ශූරතාව දිනාගත් මාර්ක් සෙල්කි ය. අද ඇමෙරිකානුවා ලංකාවෙන් ආ මවකට දාව උපන් ම‍ගේ දියණියයි. අද ඇමෙරිකානුවා ජපානයෙන් ආ ආචාර්ය නෙගිෂීගේ කොළොම්බියා විශ්ව විද්‍යාලයේ විද්‍යාව හදාරන මුණුපුරා ය. අද ඇමෙරිකානුවා ඉන්දියාවෙන් ආ දිනේෂ් ඩ’සූසාගේ ඩැනියෙල් නැමති දියණියයි. අද ඇමෙරිකානුවා කියුබාවෙන් ආ දෙමාපියන්ට දාව උපන් මාර්කෝ රූබියෝ ය.

18 වැනි ශ. ව. ට වඩා වෙනසක් 21 වැනි සියවසේ ඇමෙරිකාව තුල නොදකිමි. එදත් වූයේ නිදහස් අරගලයකි. අද දිනයේ ද වන්නේ නිදහස් අරගලයකි. එහෙත් නිදහස කුමක්දැයි හාන්කාවිසියක් නොදත්තාට එය වැටහීම නොහැකි ය. පසුතැවිලි නොවන්න, ඔබ කරපින්නා ගෙන රියල් ඇමෙරිකානුවා තවත් ඉදිරියට ම පා තබන්නේ ය.

පීඩනය වරප්‍රසාදයකි

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 21, 2010

ඕනෑම අයෙක් ‘පීඩනය වරප්‍රසාදයකි’ යන්න හඳුනාගන්නේ ද ඒ පුද්ගලයාට ඉහළම මුදුන් පෙත්තකට නඟින්නටත් එහි කාලයක් රැඳෙන්නටත් හැකියාව ලැබේ. මම නෙමෙයි එහෙම කියන්නෙ. ඇමෙරිකාවේ ටෙනිස් ක්‍රීඩාව ජයගත් බිලී ජීන් කින්ග් නැමති කාන්තා ශූරියයි. ඒ ගැන ඇය ලියා ඇති පොත Pressure is a Privilege: Lessons I’ve Learned from Life and the Battle of the Sexes (2008).

මා මේ පොත කියවන්නේ මා ලැබූ ටෙනිස් ජයග්‍රහණ සියල්ල ලැබුවාට පසුව ය. කින්ග් ලියූ පොතේ සෑම දෙයක්ම පාහේ මා ටෙනිස් පිටියට අදාල කරගත් බව පොත කියවද්දී වටහා ගත්තෙමි. ලංකාවේ ‘ටෙනිස් ගහන්න’ ඉගෙන ගත්ත ද, කැළණිය විශ්ව විද්‍යාලයේ ටෙනිස් කැප්ටන්කමක් තිබුණ ද, ‘ටෙනිස් ගහන්න’ ඉගෙන ගත්තේ ඇමෙරිකාවේ දී ය. අවුරුදු 12 ක වයසැති මගේ දියණිය හා එකතුව කරත හැකි ක්‍රීඩාවක් සොයමින් සිටිය දී ටෙනිස් ගැසීම නැවත පටන් ගත්තෙමි. එකළ ඇය මට වඩා දක්ෂ පිහිනුම්කාරියක් වූවාය. ටෙනිස් ක්‍රීඩාව අප දෙදෙනා එකතුව මුල සිට ඉගෙන ගත්තෙමු. මට වැරදි හුරුවන් හදාගන්නට විය. ඇය නිසියාකාරව උගත්තා ය. වැඩි දිනක් යන්නට මත්තෙන් හරි හරියට තරඟ වැදිය හැකි විය. තවත් ටික කලක දී ඇය ගහනා බෝලය මා පසුකරගෙන යද්දී එය දැක ගැනීමට ලැබීම භාග්‍යයක් යැයි සිතුණි. එනම් බෝලයේ වේගය එතරම් විය. ඉදිරි පෙළේ ඇත්තේ ඇමෙරිකාවේ දී දිනාගත් මගේ කුසලාන ය. පසු පෙළේ ඇත්තේ දියණියගේ කුසලාන ය. මේ අප දිනාගත් වැදගත්ම ටික පමණි.

2002 වසර මා සෑම සති අන්තයකම තරඟ වැදි සෑම ටෙනිස් තරඟයක් ම ජයගත් වසර විය. මීට ලැබුණු හැකියාව 2008 දී කින්ග් ලියූ පොතේ කතාබහෙන් උදාහරණ රැගෙන විස්තර කරන්නම්.

කිසි කෙනෙකුව කිසි දිනෙක ලේබල් ගසා පුද්ගලයා එසේ හෝ මෙසේ යැයි කළින් මතයක සිටින්නට එපා: labeling and assumptions ලෙස එය පෙන්වා දෙන කින්ග් එයින් තමන්ගේ සොයා බැලීමට හානියක් වන ආකාරය පැහැදිලි කර දෙන්නී ය.

තම ප්‍රතිවාදියා ගැන තොරතුරු හොයා තරඟ පිටියට එන්නා ඒ තොරතුරු පමණින් තරඟ වදින්නේ නම් එය ජය අත්පත් කර නොදේ. එක් එක් අය දකිනා ආකාරය තමන් විසින් දකින ආකාරය හා සැම විටම සමාන නැත. ලේබල් ගැසීමත් පුද්ගලයා එසේ හෝ මෙසේ යැයි කළින් මතයක සිටිනා අය අතර මා බොහෝ අවස්ථාවල දී පිටියට පා තැබූ විට ම ජය අත්පත් කරගත්තෙමි.

සුදුහම හිමි අය වැඩි ජනගහණයකින් ටෙනිස් පිටි පිරී පවතිද්දී, තරඟයේ යෙදි දාහක් පමණ නගරයේ කාන්තාවන්ට මා මතක තබා ගැනීම පහසු විය. කළු හම ඇත්තෝ ක්‍රීඩාවට වඩා දක්ෂ යයි සුදුහම ඇති සමහරු කළින් අල්ලා ගත් මතයක සිටියහ. එකළ සෙරීනා හා වීනස් ද ඉහළ තලයක තරඟ දිනූ අය වූ නිසා මගේ හමේ පාටට ද අමතර ලකුණු ලැබුණි!

අඩි පහයි අඟලක් උසැති මා බොහෝ විට පිටියේ පමණක් නොව කණ්ඩායමේ ද වූ කොට ම තරඟකාරියයි. සමහරු පිටියට බැස්සේ කොට අය ලෙහෙසියෙන් පරදත හැකි යයි වූ කළින් අල්ලා ගත් මතය නිසාය. එහෙත් කොට ජීවිතේ හැමදා පුරුදු මට අද වුවද මගේ දියණියට වඩා වේගයකින් දිවීම ආරම්භ කළ හැකිය. ඒ ක්ෂණික බවට හරියන්නට මට වඩා කාලයක් වෙහෙසවන්නට හැකි සංස්ථිතියක් (endurance) ද ඇත. තීරණාත්මක තරඟයන්හි මට වඩා හැකියාවෙන් දක්ෂ වූ තරඟකාරියන් මා පරදවන්නේ තුන්වැනි සෙට් එකේ දී ය. අත නොහැර හැම ලකුණක්ම සඳහා කරන තරඟයේ දී ඔවුන් තුල සැකය, කුකුස හා අවසානයේ ජයට කැමැත්ත අත්හැර දැමීමට සිත් වෙනස් කරත හැකි විය.

කිසි දිනෙක ප්‍රතිවාදියා අවතක්සේරුවෙන් සැලකිය නොයුතු යයි කින්ග් කියයි. අප හා ටෙනිස් ගැසූ එක් කාන්තාවක් තදින් පහර දීම වෙනුවට බෝලය නිතරම අහස උසට යවයි. ඇය හා තරඟ කළ බොහෝ අය තරඟය පරාජය වූයේ ඇයගේ ඒ ක්‍රියාව ගැන කේන්ති ගත් නිසා ය. සුළං හා හිරු රැස් නිසා බෝලය හැම විටම ඇයට නැවත අත තැබිය සේ වෙනතක යැවිය නොහැක. බෝලය කොතරම් ඉහළට යවත හැකියාව තිබුණා ද කියතොත් ඇයට හැම වාරයකම ඉහළ යවන බෝලය ප්‍රතිවාදියා විසින් එවන පැත්තට දුවන්නට සමත් ව සිටියාය. ඉතින් පිටිය වටා ඇයව දිවෙව්වාට ඵලක් නැත. තදින් බෝලයට පහර දුන්නාට ද ඵලක් නැත. ඇය පරාජය කරන්නට හැකි එකම මාර්ගය වූයේ සංසුන්ව වාර බොහොමයක් බෝලය ඒ පැත්තට හා මේ පැත්තට යවන්නට ඇය හා එක්වෙමිනි. ඇයටත් උඩ පන්දු යැවීමෙනි. තමන් කරන දේ ම අනිත් අය ද කරයි යන්න බලාපොරොත්තු නොවූ ඈ වික්ශිප්තයට පත් වූවාය.

Start with Integrity. තරඟ පිටියට පැමිණිය යුත්තේ සම්පූර්ණ අවංක බවෙන් යයි ද කින්ග් කියයි. හොර වංචා කරන අය නොමඳ ය. එහෙත් ඔවුන් හා තරඟයෙන් තමන් දිනන්නේ තමන් ද හොර වංචා කිරීමෙන් නම් තමන් තුල තමන් ගැන ස්ථාපිත වන්නේ ආඩම්බරයක් හෝ ප්‍රසාදයක් නොවේ. ඉන් කාලයක් ජය අත් කරගත හැදියාව නොවේ.

තරඟ සියල්ල දිනාගෙන යද්දී එවැන්නා හා තරඟයට නොබහිනා අය සිටිති. නම දැකි ගමන් ම තරඟයට ඉල්ලුම් පත් නොදමන මොව්හු සමහර අවස්ථාවල අහවල් තරඟයට ඔයා යනවා දැයි කළින්ම අහන්නට තරම් එඩිතර ය.

තරඟ සියල්ල දිනාගෙන යද්දී අහංකාර වන්නා මුලින් ම කියූ ලේබල් ගැසීම හා කළින් අල්ලාගත් මත වල හිරවන වැරැද්ද කරයි. ඒ නිසා දිනුම් වැඩි වැඩියෙන් අත්පත් වෙද්දී, වැඩි‍ වැඩියෙන් නිහතමානී විය යුතුය. අහංකාර නොවීමත් නිහතමානී වීමත් හරියකාරව හඳුනාගන්නත් එය හුරු කරගන්නත් ලැබීම අති ජයකි.

කින්ග් නොකියන දැයක්: ජය ගැන සතුටු වීම වස්දොස් ආකර්ශණය කරගන්නා කාන්දමක් යැයි අපි අතර අය සිතති. ජය ගැන කීම අහංකාරකමක් යැයි ද සිතති. ඒ මිථ්‍යා අදහස් යයි මා සිතමි. ජය ගැන කීම නොව උදුම්මා ගත් හැසිරීම අහංකාරකමකි. කිසි ජයක් නැති අය ද උදුම්මා ගත් හිසින් අහංකාරව හැසිරෙති.

ජයක් ලබන්නාව පරදවන්නට පෙළ නොකැඩී එන්නෝ නොමඳය. ඒ එන්නේ තමන් තුල ද තරඟය දිනන ආශාව ඇති දක්ෂයෝය. පරාදවන්නට නොහැකි අයට ජයගත ද නොහැකි ය. ඒ නිසා පරාජය හමුවේ තවත් දැඩි ශක්තිය වඩවාගෙන තරඟ කරන්නාම දිනන අයෙක් බවට පත්වේ.

ජයෙන් උද්දාම විය යුතුය. ජයෙන් නිහතමානී විය යුතුය. දෙකටම හැකියාව ඇත්තා සදා දිනුම් පිටියේ සිටියි. එය පීඩනයකි. එහෙත් එම පීඩනය වරප්‍රසාදයකි!

වරප්‍රසාදයක් වූ පීඩනය ජීවිතයට හවුල් කරගන්නා අතිශය වාසනාවන්ත වූ මිනිස් ජීවිතය ප්‍රීතියෙන් ගෙවන්නෙකි.

පීඩනය වරප්‍රසාදයක් යයි සලකා දිගු කලක් ඉහළ තලයක ඉන්නට බොක්සිං ශූරතාව දිනාගත් මංජු වන්නිආරච්චිට මගේ සුබ පැතුම්!

පින්තූරයට ස්තූතිය දිනමිණ පුවත්පතට.

කෙවින් පෙරේරාට පිළිතුරක්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 20, 2010

බෞද්ධ ස්වාමීන්වහන්සේ දෙනමක් ගඟ ‍තෙරකින් එගොඩ යන්නට යද්දී ඊට තැත් දරනා කාන්තාවක් ද අසල විය. එක් ස්වාමීන්වහන්සේ නමක් ඇයව ඔසවාගෙන අනිත් පැත්තට ගෙනගොස් හැරළුවේ ය. අනතුරුව ස්වාමීන්වහන්සේ දෙදෙනා‍ තම ගමනේ ගියහ. ටික දුරක් ගිය පසු කාන්තාව ඔසවා අනිත් පැත්තට හැරළු ස්වාමීන්වහන්සේ ගෙන් අනිත් ස්වාමීන්වහන්සේ ඔබ එසේ කාන්තාව එසැවීම අපට අකැප නේදැයි විමසීය. ඊට පිළිතුරු දුන් අනෙකා කීවේ මම ඇයව අනිත් පැත්තෙන් තියලා ආවා. ඔබ නේද තවමත් කරගහනෙ යන්නේ? කියාය.

මගේ කළින් සටහන තවමත් තේරුම් ගන්නට බැරිවීම කණගාටුවකි. ඔබ එවූ පිළිතුර කියවද්දී දුකින් පිරුණු ඊයම් ගුලියක් වැනි බරක් මා හද පතුලට කිඳා බැස්සේ ය.

ලොවට සුවිශේෂී ධර්මයක් වූ මධ්‍යම ප්‍රතිපදාව ලොවෙන් අද තුරන් වී ගොස් ඇත්තේ ඇයි දැයි දිනපතාම පාහේ මෙවැනි කරුණු කාරණා වල දී පැහැදිලි වේ.

පැත්තක් අල්ලා ගෙන ඒ පැත්තෙන් පමණක් බලන්නට ඇති පුරුද්ද විමසන්න.

ඇමෙරිකන් ව්‍යවස්ථාවේ සඳහන් ‘නිදහස’ සෑම පුද්ගලයාගේ ම නිදහස ය. ‘පල්ලිය’ යන්න සෑම ආගමකටම හිමි නිදහසක් ය. පරිණාමවාදය අදහන නිදහසත් ය. ප්‍රාන්ත ආණ්ඩු හා ෆෙඩරල් ආණ්ඩුව බලතල අල්ලා ගන්නට නිතරම සටනක ය.

යම් ප්‍රාන්තයක, යම් දිස්ත්‍රික්කයක යම් ආගමික කොට්ඨාශයක් විසින් ඔවුනට කැමති ආකාරයට තම දිස්ත්‍රික්කයේ පාසැලක පාඨමාලා ඉගැන්වීම රටේ ව්‍යවස්ථාදායකය විසින් දී ඇති නිදහසකි. ඇමෙරිකාව තුල රටටම බලපාන්නා වූ එක පාඨමාලා ක්‍රමයක් නැත. රටේ සැවොම අනුගමනය කළ යුතු යැයි කියා විභාගයක් ද නැත. ෆෙඩරල් ආණ්ඩුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවකින් පාඨමාලා සකස් නොකරති. ඒ නිසා ව්‍යවස්ථාදායක විසින් දී ඇති ‘නිදහස’ හා ‘අයිතිය’ අනුව තම තමනට කැමති ආකාරයට තම තම පළාතේ ඉගැන්වීම් කළ හැකිය.

අද දිනයේ මුස්ලිම්, යුදෙව්, හා ක්‍රිස්තියානි අයට වෙන් වූ, ඒ අයගේ දෙවියන්වහන්සේ ලෝකය මැව්වා යන තියරිය උගන්වන පුද්ගලික පාසැල් ඇත. පරිණාමවාදය උගන්වන පුද්ගලික පාසැල් ද ඇත. එය ව්‍යවස්ථාදායකව ඇති නිදහසකි.

පළාතේ පාසැල් බදු ගෙවන අයගේ මුදලෙන් පෝෂණය වන්නකි. කෙමෙන් කෙමෙන් වැඩි බදු ගෙවන්නෝ තම බදු මුදල් ගෙවමින් තම පුද්ගලික මුදලෙන් තම දරුවන් තමන් කැමති පුද්ගලික පාසැලට ද යවති. මා බදු ගෙවමින් පාසැලේ ඉගැන්වූ පාඩම් අධ්‍යාපනිකව ප්‍රමාණවත් නොවූ නිසා පාසැල ගෙදරට ගෙනැවිත් දරුවාට අභියෝගයක් වන දෑ ඉගැන්වූයෙමි. ඒ මා වෙත රටේ ව්‍යවස්ථාවෙන් දී තිබූ අයිතිය ක්‍රියාත්මක කිරීමකි. පාසැල් ක්‍රමය රකින්නට ප්‍රාන්තයට හා ෆෙඩරල් ආණ්ඩුවට මහත් බදු ගෙව්ව ද මා ඔවුන් විසින් දුන් ක්‍රමයෙන් ඵල ලබානොගත් නිසා මට බදු සහන නොතිබුණි. ක්‍රමයෙන් මගේ බදු ඉහළ යයි. මා තවමත් අනුන්ගේ දරුවන්ට ෆෙඩරල් ආණ්ඩුව කියන පරිදි උගන්වන්නට බදු ගෙවමි. නමුත් පුද්ගලික පාසැල් වලින් දෙවියන්වහන්සේ ගැන, පරිණාමවාදය ඉගන ගන්නා අයට මා බදු ගෙවන්නේ නැත.

අපක්ෂපාතීව කල්පනා කරන්න. අද පුද්ගලික නොවූ පාසැල් උගන්වන්නේ මොනවා ද යන්න තීරණය කරන්නේ බදු කපාගන්නා අයයි. ෆෙඩරල් ආණ්ඩුව ය. බදු ගෙවන අප නොවේ. ක්‍රිස්ටීන්ට අනුව අයිතිය හා නිදහස බදු ගෙවන්නා තීරණය කළ යුතුය. මෙය පුරවැසි අයිතිය හා නිදහස ආරක්ෂා කිරීම මිස දෙවියන් හෝ පරිණාමවාදය අතර පැත්තක් ගැනීම නොවේ. ඇමෙරිකන් ව්‍යවස්ථාව දන්නා පුද්ගලයා ඇය ය.

ව්‍යස්ථාවේ ‘පල්ලිය’ හා ‘ආණ්ඩුව’ අතර ඇති බැඳියාව වටහා ගන්නට නම් තෝමස් ජෙෆර්සන්ගේ ‘ද ෆෙඩරලිස්ට් පේපර්ස්’ කියවන්න.

ආණ්ඩුවට ව්‍යස්ථානුකූලව තීරණ ගන්නට බලය දෙන ව්‍යවස්ථාව එයින් කියන්නේ රටේ කොන්ග්‍රසයට කැමති පරිදි තීරණ ගත හැකියාව ද? නැත. ව්‍යස්ථානුකූලව ‍පමණක් කොන්ග්‍රසයට කටයුතු කළ හැකි බවයි.

කොන්ග්‍රසය යනු කවුරුන් ද? කොන්ග්‍රසය නම් පුරවැසියන් විසින් ‍තෝරාපත් කරගන්නෝ ය. එනිසා තීරණ ගත හැකියාව ද තිබිය යුත්තේ පුරවැසියන්ට ය. පුරවැසියන් වෙතින් ඒ අයිතිය අහක් කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. මේ නිසාම මහජනයා විසින් පාලනය කරන ආණ්ඩුවක් ගැන ඇසූ වැඩවසම් රජකාලයේ අය ඔළුවේ අත්ගසා ගත්හ. එකළ රාජ්‍ය මැති ඇමතියෝ කරුණු කාරණා දත් අය වු අතර මහජනයා ‍‍උගත් බව නැති ශ්‍රමිකයෝ වූහ. අද තත්වය එසේ නොවේ.

තමන් විසින් පරිණාමවාදය පමණක් ඉගැන්වීමට කැමැත්ත තිබුණ ද, දෙවියන්වහන්සේ ලෝකය මැව්වා යයි ඉගැන්වීමට අකැමති වුව ද ව්‍යවස්ථාව විසින් පුරවැසියාට දී ඇති තෝරාගැනීමේ නිදහස හා අයිතිය ප්‍රතික්ෂේප කළ නොහැකිය.

පරිණාමවාදය පමණක් ඉගැන්විය යුතු යයි මහජන කැමැත්ත නැතිව බලයෙන් එය ස්ථාපිත කිරීම දෙවියන්වහන්සේ ලෝකය මැව්වා යයි ඉගැන්විය යුතු යැයි කියා බලයෙන් එය ස්ථාපිත කිරීම හා සමාන ය.

නිදහස හා අයිතිය ප්‍රතික්ෂේප කරන්නේ නම් පුරවැසියාගේ මහජන චන්දය කිසි වැදගැම්මකින් නොයුත්තක් වනු ඇත.

ඇය “ඔබේ කෙල්ල” යයි ඔබ හැඳින්වීම නිසාම මේ මාතෘකාවේ සටහන හෝ මෙතෙක් සටහන් වලින් කියූ කිසිවක් වටහා නොගත් බව පැහැදිලි කරයි.

අපේ දුර්මත බිම තැබීම කොතරම් අපහසු දැයි සිතේ. අහේතුව වන්නේ නිරවුල්ව කරුණු කාරණා වෙන්කර ගැනීමේ නොහැකියාව ය. අහේතුව වන්නේ මැද පිළිවෙතක සිටිනා යැයි කියන්නා දෙපැත්තක් නොබලන බව පැහැදිලිව පෙනෙද්දී, දෙපැත්ත විමසන මාගේ නැඹුරුවක් සොයමින් එහෙම එකක් නැතිබව පෙන්වා දී තිබිය දී තවමත් තමන් විසින් එවැනි නැඹුරුවක ඉන්නවා යයි මා සැකයට ලක් කිරීම ය.

මධ්‍යම ප්‍රතිපදා මාර්ගය නම් තමන් අල්ලා සිටින මතයන්ට සරිලන කතා විචාරය හා පිළිගැනීම නොව තමන්ට පිළිකුල් වූ මත ද විචාරා එහි සත්‍යයක් ඇත්නම් පිළිගැනීමට නොපැකිළීම ය. එසේ නොහැකි කළ අප ද අන්තවාදී වෙන්නෙමු.

නොවැම්බරයේ ඩෙලවෙයාර් ජනතාව විසින් තෝරා පත් කරගන්නා අය මගේ සෙනෙට් සභිකයා ද වෙති. ඔබාමා මගේ ජනාධිපතිවරයා සේ ම ය. ජනතාවගේ කැමැත්තට නිදහසක් නොමැති කල නිදහස ලැබෙන්නේ ජනතාව පීඩනයට පත් කරන පීඩකයෝට පමණි.

අළුත්ම පන්නයේ ලෝක ඔරලෝසුවක්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 18, 2010

විස්තර ගොඩයි. ගිහින්ම බලන්න. සත්‍යතාවයේ නිවැරදි බවට මා වග නොකියමි!!!

http://www.poodwaddle.com/worldclock.swf

මැද පිළිවෙතට පිළිතුරක්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 16, 2010

ඊ කෝලායි බැක්ටීරියාව චිරාත් කාලයක් අපගේ අසූචි මාර්ගයේ ඉතා සතුටින් වාසය ‍කළේය. අද දිනයේ ද වාසය කරයි. එය ඖෂධ වලට ඔරොත්තු නොදෙන ලෙසින් පරිණාමය වී පැතිර ගොස් නැත. කුරුළු උණ ගැන වූ භයානකත්වය කලකට පෙර ලෝකය පුරා පැතිර ගිය හැටි ඇසුවා මතක යැයි සිතමි. සුපර් බග් ගැන කතා හා ප්‍රතිජීවක අනිසි ලෙසින් භාවිතා කිරීම නිසා ප්‍රතිරෝධක පැවැත්ම ගැන කතාබහ ද අද ඊයේ පටන් ගැනුනක් නෙමෙයි. එහෙත් ඒ බවින් මිනිසුන් මරණයට පත්වීමට වඩා මෙක්සිකෝවේ හා ඉන්දියාවේ මිනිසුන් හාමතයෙන් හා තහනම් මත්ද්‍රව්‍ය යුද්ධ වලින් මරණයට පත්ව ඇත.

දෙවියන්වහන්සේ පිළිනොගැනීමේ භයානකත්වය පතුරවන ආගමික සංස්ථාවන් සේ විද්‍යාත්මක සොයාගැනීම් වලින් යයි අනාවැකි කියැවෙන භයානකත්වය ද විචාරයට ලක් කල යුතුය.

ක්‍රිස්ටීන් ඔ’ඩොනල් ගැන මා දකින්නේ මෙහෙමයි.

මා දකුණු ඩෙලවෙයාර් ප්‍රාන්තයට අළුතින් ආ පුරවැසියෙකි. මෙහි මගේ වාසයට වසරක් පිරුනේ මෙම ගිම්හානය අවසන දී ය. එහෙත් පහුගිය වසර 3-4 කාලය තුල දී ගිම්හානයන් කිහිපයක්ම මෙහි මුහුදු තීරයේ ගත කළෙමි. ඒ පැමිණෙන පළාත ගැන අවබෝධයක් ලබාගන්නටත් පදිංචි විය යුතු පැත්ත ගැන තීරණයක් ගැනීමටත් ය. මා සොයා බැලීම (research) අගයමි. කටකතා නොව මූලාශ්‍ර සෙවීම වඩාත් අගයමි. එය නිතර ජීවිතයට හවුල් කරගනිමි.

මුලින් ම ඩෙලවෙයාර් ප්‍රාන්තයට ගිම්හානයේ දී පැමිණෙන විට මෙහි පාරවල් අතුරු සිදුරු නැතිව සංචාරකයන් වෙතින් පිරී තිබුණි. බොහෝ ආපනශාලා වලට සවස් කාලයේ ඇතුලට යන්නට පැයක් හමාරක් බලා සිටීම සාමාන්‍යයක් විය. ගිම්හානයේ හෝටල් කාමරයක් ගන්නට අවුරුද්දකට කළින් මුදල් බඳින්නට සිද්ධ විය.

ගෙවල් කොතරම් වේගයෙන් විකුණුනා ද යත් සමහර අළුත් නිවාස සංකීර්ණ වල මිලියන බාගයක ගෙයක් මිල දී ගන්නට පුද්ගලයෝ පොර කෑහ. ‍එම මිලෙන් යුතු ගෙවල් පෙන්වන්නට පාරිභෝගිකයන් කැඳවා ගෙන ගියේ කුඩා බස් රථ වලිනි. බොහෝ අය සිතුවේ මුහුදු තීරයේ ගෙවල් විකිණී අවසන් වන්නට පෙර තමන් ද එකක් අයත් කරගත යුතු බවයි.

දකුණු ඩෙලවෙයාර් පැත්තේ වැඩියෙන් ඉන්නේ කුඩා ව්‍යාපාරිකයෝ ය. ලුවිස් නගරයේ සිට ෆෙන්වික් අයිලන්ඩ් නැමති මා සිටිනා පැත්තට එන අත්ලාන්තික් මුහුදු තීරය හා දුවන මාර්ග අංක 1 දෙපැත්තේ වැඩියෙන් පිහිටන්නේ එකින් එකට යාබද සංචාරක කර්මාන්තය හා බැඳි පෞද්ගලික ව්‍යාපාරයන් ය. එදා ජනාකීර්ණ වූ ඒවා අද හිස් ය. දිනෙන් දින එකින් එක වැසී යන හැටි දැකිය හැකිය. හෝටලයකට ගොඩ වී අද කාමරයක් ලබාගත හැකි ය.

මිලියන බාගයක ගෙයක් අද දිනයේ මිලියන කාලකට වත් විකුණා ගත නොහැකි ය. බැංකු සතු ගෙවල් වැඩිවෙමින් පවතී. සල්ලි අතැති පුද්ගලයෝ ද ඉදිරියේ දී පැනවිය හැකි නීති රීති ගැන සැකයෙන් ගෙයක් මිලට ගන්නට පැකිළෙති. ගෙයක් වත්තක් ගන්නා අයෙකු වෙත ඇති දැඩි නීති රීති බොහොමයකි.

ප්‍රාන්තයේ මැද්දට වන්නට දැකිය හැක්කේ අක්කර ගණනින් දිවෙන වගා බිම් ය. වසන්තයේ සෝයා බෝංචි වගාවෙන් පිරෙන ක්ෂිතිජය කරා දිස්වෙන බිම් (මෙහි කඳු බෑවුම් නැත) ගිම්හානයේ දී තිරිඟු, ස්ට්‍රෝබෙරි හා පැණි කොමඩු වලින් පිරී යයි. මේ දවස් වල දෙතුන් දෙනෙකුට වත් ඔසවා ගත නොහැකි විසල් වට්ටක්කා ගෙඩි දැකිය හැකිය. මහමඟ යද්දී නැහැය කාරවන ගන්ධයක් දැනෙන පුද්ගලයා කියන්නේ “smells like money” කියා ය. උතුරු නැගෙනහිර ඇමෙරිකාවේ දැකිය හැකි මහත් ම කුකුල් ව්‍යාපාර ඇත්තේ ද මේ පැත්තේ ය. ඒවා “ලොකු කුකුල් කොම්පැණි” වලට කුකුලන් ඇති කරන පුද්ගලික අයිතිකරුවන් ගෙන යන ව්‍යාපාරයන් ය.

උතුරු ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ඇත්තේ ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලය (ෆෙඩරල් රජයෙන් යැපෙන) හා දේශපාලනඥයෝ වාසය කරන, දේශපාලනයට සම්බන්ධ වෙනත් ආයතන ය. ඒ පැත්තේ වගාවන් බොහොමයක් නැත. ඒ පැත්තේ ප්‍රසිද්ධ සංචාරක ව්‍යාපාරයකට ඇත්තේ දකුණු කෙළවරක වූ ඩෝවර් නගරයේ ඇති මෝටර් රේස් ක්‍රීඩාංගනය හා සූදු කෙළිය හැකි විසල් කැසිනෝවකි.

ඇමෙරිකාවේ ප්‍රාන්ත අතුරින් ඩෙලවෙයාර් ප්‍රාන්තය ඉතා කුඩා ය. උඩ සිට පහළට හෝ හරහට යන්නට වැඩි දුර ප්‍රමාණයක් නැත. ඒ නිසාම ඩෙලවෙයාර් දේශපාලනයේ යෙදී සිටින අයව නිතර පාහේ කුඩා නගර වල ඇති පුංචි උත්සව වල දී හමුවිය හැකිය. එවැනි උත්සව ඉතා ගහණ ය. නගරයක ඇති ලක්ෂණ වලට වඩා ඩෙලවෙයාර් ප්‍රාන්තය පුරා ම දිවෙන්නේ ඉතා ගම්බද ලක්ෂණ ය.

ඩෙලවෙයාර් ප්‍රාන්තය ඇමෙරිකාවේ 12 වැනි ධනවත් ප්‍රාන්තය නම් එසේ වී ඇත්තේ ෆෙඩරල් ආණ්ඩුවේ මුදල් සහන අපේක්ෂාවෙන් නොසිට තනි තනිවම පුද්ගලික ව්‍යාපාරයන්හි යෙදෙන මහත් විශාල සංඛ්‍යාවක් සිටිනා ප්‍රාන්තයක් වීම නිසාය. එහි ධනවත් බව එහි බදු ගෙවන ජනතාවගේ ශක්තිය හා වෑයම නිසා වූවකි.

ආගම ඇදහීමේ අයහපත් ආදීනව කියනා අය සමාජ සංශෝධනය සඳහා තමන් නියෝජනය කරන ජනතාව විසින් අනුමත නොකරන ප්‍රතිපත්ති ගෙන ඒමට නම් පසුබෑමක් නැත. දකුණ දෙවියන්වහන්සේ මූලික කරගෙන ප්‍රතිපත්ති හදනවා යැයි කියන (සත්‍යයකි) මොව්හු සමාජ ඉංජිනේරුවෝ වන්නේ අනුන්ගේ ධනය බෙදා දීමට ඉදිරිපත් වීමෙනි.

රිචඩ් ඩෝකින්ස් “A Devil’s Chaplain: Reflections on Hope, Lies, Science and Love (2003) පිටු 161 හි මැද පෙරදිග, බොල්කන්ස්, උතුරු අයර්ලන්තය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව සලකා බලමින් කියන්නේ “වැඩිපුරම, සියළුම වන්නට ද පුළුවන, ප්‍රචණ්ඩ වූ වෛරයන් අද ලෝකයේ පවතින්නේ ආගමික වූ විරුද්ධතාවන්” නිසා බවයි.

පරිණාමය ගැන ඔහු මෙන්ම තවත් අයත් කතාබහ දී නිතර එළියට ඇද ගන්නා එක් කාරණයක් නම් ආගමික අන්තවාද ලෝකයේ වැඩි යුද්ධ හා ප්‍රචණ්ඩතා ඇති වූවා යයි පෙන්වීමට ය. මෙහි දී මා කාල් මාක්ස් “ආගම අබිං” යයි කීම පිළිගත්ත ද, ආගමික අන්තවාද නිසා වැඩි ප්‍රචණ්ඩතාවය ඇත්දැයි කීම ද විචාරයට කැමති ය.

ලංකාවේ සිංහල දෙමළ යුද්ධය ආගමික වූ යුද්ධයක් ද? එය ජාතිවාදී යුද්ධයක් ද? එය දේශපාලන බලය අල්ලා ගැනීම ගැන වූ යුද්ධයක් ද?

ජාතිවාදී යැයි යුද්ධ හැඳින්වීමට ඩෝකින්ස් අකැමැති ය. ඩෝකින්ස් සිය The God Delusion (2006) පිටු 21 හි ඉරාකයේ ගැටීම් දකින්නේ shiites හා sunni අතර “ආගමික සුද්ද කිරීමක්” ලෙසට ය. ඇල් කයිඩා හි නැඟ ඒමත් සමඟ වූ ඉරාකයේ ගැටුම ඉරාකය වසර 25 ක් පාලනය කළ සදාම් හූසේන් නැමති අගාරික ආඥාදායකයා අතරත් shiites නැමති ඉරාකයේ ජීවත්වන වැඩි ජනතාවත් අතර ගැටුම ඇයිදැයි ආගම බැහැර ලා විචාරය වඩා වැදගත් ය.

ආගමික ප්‍රචණ්ඩත්වය ගැන වඩා කතා කරන අගාරික රචකයෝ කිසිවෙක් අගාරික බවින් සිද්ධ වූ ප්‍රචණ්ඩත්වය කතා නොකරන්නේ මන්ද?

ඩෝකින්ස්ට The God Delusion (2006) පිටු 273,279 අනුව “වඩා වැදගත් අදේවවාදය ක්‍රමාණුකූලව මිනිසුන් දුෂ්ට ක්‍රියාවන්ට පොළඹවනවා ද යන්නයි. එවැන්නක් කරන බවට සාධක නොමැත” යයි කියන ඔහු “එක් එක් අදේවවාදියා දුෂ්ට වූ ක්‍රියා කරනු ඇත, එහෙත් ඔවුන් ඒ දුෂ්ට වූ ක්‍රියා අදේවවාදයේ නාමයෙන් නොකරති” යයි ද කියයි.

කොමියුනිස්ට් රුසියාවේ ජෝසප් ස්ටාලින් මිලියන විස්සකට අධික සංඛ්‍යාවක මරණ වලට වගකිව යුතු ය. මා ඕ සේතුං මිලියන හැත්තෑ දහසක මරණ වලට වගකිව යුතු ය. ඇඩොල්ෆ් හිට්ලර් මිලියන දහයක මරණ වලට වගකිව යුතු ය. ලෙනින්, කෘශ්චෙව්, බ්‍රෙශ්නෙව්, පොල් පොට්, එන්වර් හොක්සා, ‍නිකලායි චෙසෙ‍ස්කූ, ෆිඩෙල් කැස්ත්‍ර, කිම් යොන්ග් ඉල් වැනි අදේවාවාදීන් මූලික වන මරණ අදේවවාදයේ නාමයෙන් නොකරති කියා කියත හැකි ද?

අදේවවාදය කොමියුනිස්ට් ප්‍රතිපත්තියක් නොවන්නේ ද?

මෙහි දී ඩොස්ටවෙස්කි දාර්ශනිකයා මුහුණ පෑ අර්බූදය සිහියට නැඟේ. “දෙවියන්වහන්සේ නැත්නම්, සියල්ලට අනුමැතිය ලැබේ.” තමන්ගේ හැසිරීමට තමන් වගකිව යුතුය යන බුද්ධ වචනය ද අද පෙර කරුමය නැමති මිථ්‍යාවෙන් වැසී ගොස් නිසා ආචාර ධර්ම පදනමක් නැතිව මිනිසා අතරමං වී ද?

පරිණාමවාදය ගැන ප්‍රශ්න කරමින් ඔ’ඩොනෙල් අසීරුවට පත් කරන්නට තැත් දරණ වමේ මාධ්‍යය ඇය ලවා කියවන්නට හදන්නේ ඇය දෙවියන්වහන්සේ ලෝකය මැව්වා යයි පිළිගැනීම පමණින් අන්තවාදී ක්‍රිස්තියානි ආගමික බව ද? එහෙත් ‘ක්‍රිස්’ මෙන්ම ‘ක්‍රිස්ටීන්’ ද ‘ක්‍රිස්තියානි’ බව ඒ අයට දකින්නට නොහැකි ද? ක්‍රිස් ක්‍රිස්තියානි ආගමිකයෙකු ලෙසින් දෙවියන්වහන්සේ ලෝකය මැව්වේ නැතැයි කියන්නේ නැහැ නේද?

ඔබාමා ද පසුගිය දවසක තමන් ක්‍රිස්තියානි බව කියා සිටියේය. ඔහු මුස්ලිම් වුවත් ක්‍රිස්තියානි වුවත් මට කම් නැත. රටේ ව්‍යවස්ථාව නොසලකා හරිද්දී, මගේ බදු වැඩිවෙද්දී, මට කමක් ඇති වේ.

ශ්‍රමය, සම්පත් හා පරිසරය සූරා කෑම නවතා නිසි පරිහරණය සමාජයකට වැඩදායක ය. එහි නිසි පැවැත්මට නීති පැනවීම යහපත් ය. එහෙත් ශ්‍රමය, සම්පත් හා පරිසරය සුරකින නීති තිබිය දී නිෂ්පාදනය අඩාල කරන නව නීති ගෙන ඒම යහපත් නොවේ. කැනඩාවේ හා යුරෝපයේ අද පවතින නිෂ්පාදන අඩාල කරන නීති කොතරම් ද යත් ඔවුන්ගේ නිෂ්පාදන බොහොමය ඉතා වැය සහිත ය. ඉන්දියාව, චීනය හා බ්‍රසීලයට වේගයෙන් නැඟී ඉන්නට හැකියාව ලැබ ඇත්තේ යුරෝපීය නීති බොහොමය නිසාත් පසුගිය කාලයේ කෙමෙන් කෙමෙන් ඇමෙරිකාවේ වැඩි වර්ධනය වූ නීති නිසාත් ය.

යුරෝපයේ වසංගතය බෝ වී ඇති අද ඇමෙරිකාවේ උපයනවාට වඩා අනුන්ගෙන් කා බී නිකම් ඉන්නට හැකි වාතාවරණයක් ඇත. උපයන්නාට ඇති නීති සමූහය ඉදිරියේ බොහෝ මුදල් උපයන ආකාර පෙනි පෙනී තිබිය දී ඊට බහින්නට අකමැත්ත පැතිර යයි. බැංකු හා පෞද්ගලික ව්‍යාපාර සතුව බොහෝ මුදල් සංචිත ඇතැයි අහන්නට ලැබෙන්නේ ඒ නිසා ය. නීති මඟින් ආයෝජනය කරන්නට යැයි ප්‍රජාතන්ත්‍රවාදී රටක බලකල නොහැකි ය. ජනතාව චන්දයෙන් අකැමත්ත ප්‍රකාශ කර තිබිය දී රටේ විනිශ්චයකරුවන් විසින් නීති වෙනස් කර ඇත.

අද යුරෝපයේ රටක් අද චීනයට වඩා සමාජවාදී ය. ඇමෙරිකාවත් අද චීනයට වඩා සමාජවාදී ය. ක්‍රිස්ටින් ඔ’ඩොනල් සමාජවාදී යයි කියන්නේ එයයි. ඇය නිවැරදි බව වටහා ගත හැකියාව ඇත්තේ මේ නීති රීතීන් ගැන වැටහීමක් හා මැද පිළිවෙතකින් ඒ ගැන සොයා බලන්නට උවමනාවක් ඇත්තකුට පමණි.

අද ඇමෙරිකාව තීරණාත්මක අවදියක සිටියි. යුරෝපය මෙන් සමාජවාදී-ධනවාදී වෙනවා ද? නැතහොත් ලෝකයේ එකම ධනවාදී-සමාජවාදී රට සේ තවත් ඉන්නට වෑයම් දරනවා ද?

ක්‍රිස්-ක්‍රිස්ටීන් විවාදය මා දුටුවේ ඔවුන් ප්‍රචාරය කළ මුල් පැය පමණි. ඇය කී “මා පිළිපදින්නේ අද පවතින ව්‍යවස්ථාව” නම් මට ඇය හා විවාදයක් නැත. තමන්ගේ පුද්ගලික විශ්වාසයන් කුමක් වුව ද රටක පවතින ව්‍යවස්ථාවට අනුව වැඩ කරන්නේ නම් ඇයට මා චන්දය දෙමි. ක්‍රිස් ව්‍යවස්ථාව ගැන තම නොදැනීම හෙළි කළේ ඇයගෙන් කොයි ව්‍යවස්ථාවදැයි ඇසීමෙන් ය. රටක ඇත්තේ එක ව්‍යවස්ථාවකි. කළින් කලට සංශෝධනය වුව ද ව්‍යවස්ථාවන් රැසක් නැත.

වසර 30 ක් ආණ්ඩු කල මයික් කාසල් පරදවා ක්‍රිස්ටීන් මුල් වටය දිනන්නේ තනිකරම බදු ඉහළ දැමීමට එරෙහි සටන් පාඨයකිනි. කුසගින්න දැඩි කල, ගෙවල් හා රැකියා අහිමිව යද්දී පරිණාමය ගැන කුමන කතා ද? චන්දය තීරණය වන්නේ එයින් නොවේ.

පසුගිය දිනවල ඩෙමොක්‍රැටික් පක්ෂයේ ඉහළ තනතුරු වල ඉන්නා අය කී වදන් මෙසේය:

“මෙය බදු ඉහළ දැමීමක් නොවේ. එය, ආහ්…බදු පහළ දැමීමක් අවලංගු කිරීම පමණකි.” -නැන්සි පෙලෝසි

“අපේ ආණ්ඩු ක්‍රමය කැමැත්තෙන් බදු ගෙවන ක්‍රමයකි.” -හැරී රීඩ්

“විදුලිබල ගාස්තු වැළැක්විය නොහැකි බවින් අහස උසට නඟිනු ඇත.” -බරාක් ඔබාමා

ක්‍රිස්ටීන් වසර 11 කට පෙර යක්ෂ දමනයට ගියාදැයි හෝ ක්‍රිස්ටි වසර 11 කට පෙර රිපබ්ලිකන් පක්ෂය හැර දා ඩෙමොක්‍රැටික් පක්ෂයට පැමිණ (පබා එයා නොවේ ද?) ඇත්තේ මාක්ස්වාදී ආචාර්යවරයෙකු නිසාදැයි හෝ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ චන්දය හිමි මට කමක් නැත. බදු ඉහළ ගිහින් ඇමෙරිකාව යුරෝපයක් වනවාට මගේ කිසිම කැමැත්තක් නැත.

පබා වැනි නිකම් සල්ලි අතට ලැබෙන අයට මහන්සියෙන් උපයන වෑයම හඳුනාගත නොහැකිය. රූමතියක් වූ නැන්සි පෙලෝසි ධනවත් පවුලකින් කරකාර බැන්ඳා ය. ඔබාමා චිකාගෝ හි සෙනෙට් සභික ධූරය ලද වහාම මිචෙල්ට වසරක ඩොලර් 300,000 ක් ගෙවන උපදේශක තනතුරක් ලැබිණ. ක්‍රිස්ගේ අම්මා ගොර්ටෙක්ස් කබා කොම්පැණිය අයිති ධනකුවේර පවුල හා විවාහ වූවාය.

ක්‍රිස්ටීන් තම උපාධියෙන් ණය ගෙවන්නට කාලයක් ගත්තීය. ඇයට උන්හිටි තැන් නැති විය. ඇය හා ආර්ථික දුෂ්කරතා ගැන අදහස් බෙදා හදා ගන්නට ඩෙ‍ලවෙයාර් හි ජනතාවට හැකිය. කුස හිස් කල පරිණාමවාදය ගැන කුමන කතා ද?

සංචාරකයන් පැමිණීම අඩු වෙද්දී ප්‍රාන්ත ආණ්ඩු විසින් හෝටල් වෙත වූ බදු ඉහළ දමන්නට නීති ගෙන ආහ. සංචාරකයෝ නැති මැස්සෝවත් නැති හෝටල් වලින් අය කරන බදු ඉහළ දැමීමත්, නොවිකිණෙන ගෙවල් රාශියක් පවතිද්දී ගෙවල් හිමි අයිතිකරු‍වන් වෙතින් අය කරන ගෙවල් බදු ඉහළ දැමීමත් යනාදිය ආර්ථිකය නංවන පිළියම් යැයි සිතීමට මා විරුද්ධ ය.

ක්‍රිස් විසින් බදු කොපමණ වාරයක් ඉහළ දමා ඇත්දැයි සොයා බලන්න.

නිර්මාණශීලීත්වය පාගා දමමින් නමුත් නිර්මාණය කරන ධනවතාගෙන් යැපෙන්නට හැකි වූ කාලය අවසන් වෙමින් පවතී. අද ඇමෙරිකානුවා “දැන් ඇති” යයි විරුද්ධ වන්නේ එම සමාජවාදයටයි.

පබාට චන්දය දුන් “ඇට නැති කොල්ලෝ” වෙනුවට ක්‍රිස්ටීන් ඔ’ඩොනල් වෙත චන්දය දෙන්නේ “ඇට ඇති පිරිමි” සමඟ “ස්වභාව ධර්මයා නිසා ඇට පිහිටා නැති” රිපබ්ලිකන් හෝ ඩෙමොක්‍රැටික් හෝ පක්ෂ නියෝජනය නොකරන, දෙවියන් විසින් ලෝකය මැව්වා යන්නට වඩා ඩාවින්ගේ පරිණාම සංකල්පයට කැමැත්ත දක්වන, මා වැනි ස්වාධීන කාන්තාවෝ විසිනි. ජය තීරණය කරන පාවෙන චන්දය මාගේ ය. ක්‍රිස්ටීන් ඔ’ඩොනල් නොවැම්බරයේ දිනනු ඇත. ඇමෙරිකාව තවත් කාලයක් ධනවාදී-සමාජවාදි රටක් ලෙසින් පැවතෙනු ඇත.