අරුණි ශපීරෝ‍ වෙතින්

මම දාර්ශනිකයෙක්මි

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 25, 2010

අද මට රස්සාවක් ලැබුණ ඉල්ලන්නෙත් නැතිවම! මම ගියා ටිකක් දුරක තියන විශ්ව විද්‍යාලයකට ලංකාවෙන් ආපු ඉල්ලීමක් සපුරාලන්න. ඒ වැඩේ කරගත්ත. කරලා දුන්න අය සුහද කතාබහට මම මොනව ද කරන්නෙ කියල ඇහුව. මම දාර්ශනිකයෙක්මි යැයි මා දුන් පිළිතුර ය. ඒ ගැන කතාබහ කරද්දී එයා ළඟ හිටපු යාළුවා ඉන්දියාවේ පූනා විශ්ව විද්‍යාලයේ සංස්කෘත හා ප්‍රාකෘති ඉගෙන ගත්තු ජර්මනියෙ උපන් ජර්මන්, ප්‍රංශ හා ලතින් ද දන්නා, අද සංක්‍රමණික ඇමෙරිකානුවෙකි. දර්ශනය උගන්වන ආචාර්යවරයෙකි. ඉතින් විස්තර කතාබහට පසුව මේ යාළුවා ඒ විශ්ව විද්‍යාලයේ උගන්වන්න මට එන්න කිව්ව. හරියට අක්කාව බලන්න මනමාලයා එක්කන් යන්න ආවම යාළුවා නංගිව කසාද බඳින්න කැමැතියි කිව්වා වගේ!! ම්… හිතුනොත් ගිහින් ආරාධිත දේශනයක් තියලා එනවා. මේ විනාශකාරී බදු ක්‍රමය නිසා ගමන් වියදම් දුන්නත් අතේ තියන සල්ලි වලටත් වදිනවානෙ. කිසිම දෙයක් කරන්න හිත දෙන්නෑ. මරණ බද්දකුත් තියනවා මෙහෙ. ජීවත්වෙලා ඉන්න කොට බදු ගෙවලා ඉතිරි කරගත්ත ටිකට මැරුණට පස්සෙත් බද්දක් ගහනවා!

උපාධියක් ලබා විභාගයක් සමත් වී පුහුණුවකින් පසු වෛද්‍යවරයෙකුට රෝග නිවාරණයට උපදෙස් දිය හැකිනම්, ඉංජිනේරුවෙකුට පාලම් ඉදිකළ හැකිනම්, ගණකාධිකරුවෙකුට පොත් තැබිය හැකිනම් මා හට හතර වසර ප්‍රථම උපාධියකින් හා M.A. උපාධියත් අනතුරුව Ph.D. (දර්ශන උපාධිය දර්ශනයෙන්ම) හදාරා, උගන්වා, පොත් ලියා ඇති නිසා දාර්ශනිකයෙක්මි යැයි හඳුන්වා ගත හැකියි. ඔතැනින් අන්තිම උපාධිය අවසන් කළේ නැහැ. සියළු පාඨමාලා හදාරා අවසන් කර උපාධි නිබන්ධනය බලාපොරොත්තුවෙන් ඒ දර්ශන අංශය මට වසර 8 ක් කාලය දුන්නට එතකොට උපාධි සහතිකය ලැබීමේ වැදගත්කම මගේ ජීවිතයෙන් තුරන්වෙලා ගිහින් ඈතකට.

දාර්ශනිකයා ඉගෙන ගන්නේ මොනවා ද යන්න බොහෝ අය නොදනිති. අද දර්ශනය හදාරන්නා තොලමි හා ප්ලේටෝ ගැන සේ ම මනස හා මොළය වෙනස් ද? කියාත් විචාරයක යෙදෙති. ස්ව (self) යන්නෙන් හැඳින්වෙන්නේ කුමක් දැයි සොයන්නට වෙහෙසෙති. සිහිබුද්ධියෙන් (rational) කරන චින්තනය ආවේග වලින් (emotions) වලින් නිදහස් ද? යන්න විචාරය කරති. චින්තනය භාෂාවට අදාළ වන්නේ කෙසේ ද? භාෂාව ලෝකයට අදාළ වන්නේ කෙසේ ද? කියාත් සොයා බලති.

මා මාගේ බ්ලොග් සටහන් වලින් මෙතෙක් කරගෙන ආවේ අද ලෝකයේ නිතර දකිනා, කතාබහ කරනා දෑ දාර්ශනික විචාරයකට උත්සාහයකි.

දාර්ශනිකයා ප්‍රශ්න අහන්නේ අසන්නාට පාර පෙන්වන්නට ය. එහෙත් එක් එක් අය තමා යා යුතු මඟ තෝරා ගන්නා සේ ම, යන්නේ කොහොම ද කියාත්, යන වේගයත්, යනවා ද නැද්ද කියාත් තීරණය කරති. බලෙන් දක්කා ගෙන යා යුතු යැයි කීමක් නැත. අර පාරේ යන්න මේ පාරේ නොයන්න යැයි කීමක් නැත. නමුත් තමා යා යුතු ගමන, ආකාරය, වේගය, යන්නට තීරණය කරා නම් අතරමං නොවී ගමන යෑමට නිසි උපදෙස් දීම දාර්ශනිකයාගේ කර්තව්‍යයයි.

මා සමහර විට සමාජය පිළිගත් මතයක හෝ පිළිගත් මතයකට පටහැනි මතයක සිට විචාරය අරඹමි. ප්‍රතිචාර ලැබෙනා හෝ විමර්ශනය යන ආකාරයට අපට ගමන යා හැකිය. මගේ මතය ඔබේ මතය කිරීමට කිසිත් උවමනාවක් නැත. සියල්ලෝම එකම මතය දැරීම ගැන මගේ මතය වන්නේ එවැනි ලෝකයක් නීරස බවයි!!!!

මූලාශ්‍ර අගය මට මුලින්ම කියා දුන්නේ මගේ පියා ය. දිනක් මා හවර්ක්‍රාෆ්ට් වැඩ කරන්නේ කෙසේ දැයි ඔහුගෙන් ඇසුවෙමි. උත්තර දෙන්නට කට ඇරිය ඔහු නැවතී මඳක් කල්පනා කොට “ආතර් සී. ක්ලාක් ගෙන් අහලා යවන්න” යැයි කීවේය. මා ආතර් සී. ක්ලාක් මහතාට ලිපියක් යැව්වෙමි. ඔහු මට පිටුවක විස්තරයකුත්, පිටුවක පින්තූරත් එවන ලදි.

දාර්ශනිකයා කවුරුත් කියූ පළියට පිළිගන්නේ නැත. නිතරම ප්‍රථම මූලාශ්‍ර සොයා යයි. අනතුරුව දෙවන තෙවන මූලාශ්‍ර වලින් හරස් උද්දේශයන් (cross reference) කරයි. තමන් විසින් විචාරයේ යෙදෙයි.

කැළණිය විශ්ව විද්‍යාලයේ දී එදාත් අද වාගේම මා කවුදැයි රාමුවකට දාන්න උත්සාහ කළ අය සිටියහ. හැම විටම මා අනිත් පාට පැත්තේ ඉන්නා අයෙක් යැයි සිතූ අය මැද්දේ එක ස්වාමීන්වහන්සේ නමක් එක්තරා ශිෂ්‍ය සංගමයක සභාපති තනතුරට මා තේරී පත්වන්නට යද්දී කෝලාහලයෙන් එය නවතන්නට ආ සිසු පිරිස පිටුපසින් සභා ශාලාවට පිවිසුනහ. මා දුටු උන්වහන්සේ “ආ මේ අපේ අරුණිනේ” කියා ඔවුන්ව කැඳවාගෙන කාමරයෙන් පිටව ගියේ මාව රාමුවක හිරකරලා ය. එහෙත් ඉන්පසුව විවිධ පාට පාට වූ අය මාත් ඒ ඒ අයගේ පාට පැත්තට අයිති යැයි සිතන්නට වූහ!

අද දිනයේ ද මා කිසිම මතවාදයක හෝ පාට පැත්තක නැත. විචාරාත්මක ගමනක යන මට පැත්තක ගැතිවාදී නැතිකම, දෙපැත්තේම හරි වැරදි, ගුණ අගුණ, අගය හා ශුන්‍යත්වය දකින්නට උදව් කරයි.

රාමුවකට දාන්නට උත්සාහය, රාමුවක ඉන්නාට රාමුවක නොසිටීම අවබෝධය බැරි නිසා‍ මෙන්ම රාමුවකින් යමක් හඳුනාගැනීම පහසු නිසා ය. දර්ශනය සදාකාලික විෂයයකි. එහෙත් එය කිසිසේත්ම පහසු විෂයයක් නොවේ.

“ඇමෙරිකානුවා කවුද?” යන සටහන මේ බ්ලොග් අඩවියට තීරණාත්මක වූ අදියරක් පසුකර සාර්ථකත්වයක් ලබන්නට හැකි වූවක් සේ මා සලකමි. ඉතින් ටිකක් ගැඹුරු දේට බහින්නට අවසර.

අරමුණ දැනුම සොයා යෑම ය.

විෂය ඕනෑම දෙයකි.

සහභාගීවන්නට හා රස විඳින්නට සැමට ආරාධනා!

12 Responses

Subscribe to comments with RSS.

  1. Ravi said, on ඔක්තෝබර් 26, 2010 at 1:55 පෙ.ව.

    අරුණි,

    මම දර්ශනවාදය විෂයයක් ලෙස හදාරා නැත්තෙමි.
    එහෙත් වෙනත් බොහෝ විෂයයන් අතර මගේ ප්‍රියතම විෂයයක් බැවින් ,
    හැකි සමවිට ඒ පිළිබඳව කියවන්නෙමි, හදාරන්නෙමි.
    පළමුව දර්ශනය පිළිබඳ මගේ උනන්දුවක් ඇතිවූයේ Jostein Gaarder ගේ Sophie’s World පොත කියවීමෙනි.

    දර්ශනය යනු රාමුවෙන් විනිර්මුක්තව සිතීම බව මගේ අදහසයි.
    රාමුවන් විනිර්මුක්තව සිතීමට පළමු රාමුවෙන් බැහැරව සිතීමට හැකි විය යුතුය.

    / අරමුණ දැනුම සොයා යෑම ය./

    /විෂය ඕනෑම දෙයකි./

    /සහභාගීවන්නට හා රස විඳින්නට සැමට ආරාධනා!/

    ඔබේ ආරාධනය ඉත සිතින් පිළි ගනිමි.

  2. Grey said, on ඔක්තෝබර් 26, 2010 at 4:05 පෙ.ව.

    Kept busy..so missed couple of your posts.. including ඇමෙරිකානුවා කවුද?
    Will read it now..

    Expecting something for the brain now…
    happy writing Aruni!!

  3. Sujeewa said, on ඔක්තෝබර් 26, 2010 at 8:55 පෙ.ව.

    Sorry to use English.

    [[අද දිනයේ ද මා කිසිම මතවාදයක හෝ පාට පැත්තක නැත. විචාරාත්මක ගමනක යන මට පැත්තක ගැතිවාදී නැතිකම, දෙපැත්තේම හරි වැරදි, ගුණ අගුණ, අගය හා ශුන්‍යත්වය දකින්නට උදව් කරයි.]]

    Glad to hear this. I think I am also the same.

    So far I have also faced the same thing as your experience, that ppl first embrace me thinking that I am one of them, and then attack me suspecting I am one of enemies. But I am none. I take each fact separately.

    W/o the degree in related subjects, and of course nothing beyond that, I still think of myself as a philosopher. I am humble in saying this. Not boasting.

    It is none of your degrees that makes you a philosopher either, Aruni. But you surely are one.

    I will be around Aruni, for your adventure in philosophical world. I wish to comment as time permits. And glad you did open it.

    Keep it up. And my best wishes for your new job.

  4. kathandara said, on ඔක්තෝබර් 26, 2010 at 9:06 පෙ.ව.

    ඇමරිකානුවා කවුද?

    1. බදු ගෙවන්නට වෙනවා කියා රැකියාවක් ලැබුණු විට බාර නොගන්නා දකුණු ආසියානු සංක්‍රමණිකයෙක් ද?

    2. අවුරුදු අටක් ගෙවා පී.එච්.ඩී. තීසිස් එක අතරමග නවතන කම්මැලි ශිෂ්‍යාවක්ද?

    ඔය දෙවෙනි එකට නං මාත් වග උත්තර කරුවෙකි.

  5. kevin perera said, on ඔක්තෝබර් 26, 2010 at 9:23 පෙ.ව.

    The philosophers have only interpreted the world, in various ways; the point is to change it.
    xi Theses
    Theses On Feuerbach
    by Marx in the Spring of 1845

    • kevin perera said, on ඔක්තෝබර් 26, 2010 at 10:22 පෙ.ව.

      මාක්ස්ට අනුව දාර්ශනික​යෝ කරන්නේ ලෝකය විවිධ අයුරින් නිර්වචනය කිරීම පමණයි නමුත් කාරණය වන්නේ එය වෙනස් කිරීමයි . ඔබගේ අරමුණ දැනුම සොයා යෑමම ​පමණද? මාක්ස්ට වරක් “I’m not a Marxist” යනුවෙන් ඔහුවම හඳුන්වා දුන්​නෙ මේ ඔයා කියන රාමුවකට දාන්නට උත්සාහය ඒ කාලෙත් තියෙන්න ඇතී.

  6. ෴වත්෴ said, on ඔක්තෝබර් 26, 2010 at 9:56 පෙ.ව.

    මට සමාවෙන්න.. මට මේ බ්ලොග් එකේ ලිපි වැඩි හරියක් තේරේන්නේ නැහැ.ඒත් හැමදාම ඇවිත් කියවනව. මොකද කියවල කියවල කියවල කවදහරි මට බිදක් හරි තේරේවි… මොනව හරි වටින දෙයක් තියෙන විත්තිය පේනවා… ඒත් මොළේට යන්නේ අඩුවෙන්.. අරුණි එය ඔබේ වැරැද්දක් නොව.මගේ පරිමාණයේ වරදකි…

    මාද බොහොම අමාරුවෙන් MSc එකක් ලබා ගැනීමට පොර බදිමි… දාර්ශණිකයෙක් වීමට ගොඩක් ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා මට සිතෙනවා….

    මොකද දන්නවද? අපේ ගමෙත් හරියට දාර්ශණිකයන් ඉන්නව…..

    අද නොතේරුනත් දිනක මට වැටහේවි… ඉතින් හෙටත් ඔබගේ ලිපි බැලීමට මම එනවා.

  7. arunishapiro said, on ඔක්තෝබර් 26, 2010 at 12:12 ප.ව.

    Ravi, සහතිකයක් නොගත්තාට විෂයය වඩාත් පරතෙරට හදාරත හැකියාව ඇති පරිසරයක සිටින නිසාම තමයි අවසන් උපාධියේ වැදගත්කම නැතිව ගියේ!! විෂයයට ආසාව හා කුතුහලය සහතිකයක උවමනාවට වඩා වැදගත්. Sophie’s World තරම් මා සටහන් රසවත් වේ දැයි නොදනිමි. ගොඩවදිනවාට තුති.

    Grey, I may be way off but it could help you to figure out the correct path.

    Sujeewa, no I have not taken a job. If you mean getting deep into more blogging, then many thanks.

    Kathandara, අර පව්-පින් ස්කේල් එක වගේ ලාභ-අලාභ ස්කේල් එක දිහා බලද්දී තමයි වැදගත්කම නැතිව ගියේ. පළමු ප්‍රශ්නයට මං හිතන්නෙ අද ඇමෙරිකාවේ බොහෝ අය එහෙම හිතන්න පටන් ගෙන. එක් අයෙක් විතරක් රැකියාව කරන පවුල් අද වැඩි රැකියා හිඟය නිසාම නෙමෙයි.

    kevin perera, දැනුම සොයා යෑමෙන් ජීවිතය අර්ථවත් (මානසිකව) වෙනවා. එයින් ලාභ ප්‍රයෝජනය ශාරීරිකව හා භෞතිකව තියනවා. ඒ නිසා දැනුම සොයා යෑම මූලික අරමුණ වූ පලියට අමතර ඵල විපාක නැහැයි කියන්න බැහැ. හරියට අර යමක් නිෂ්පාදනය කරන්නාට ලැබෙන ලාභ වගේ. නිෂ්පාදනය කරන්නේ ලාභ සොයා පමණක් ද? නැතහොත් නිෂ්පාදනය කරන්නේ නිෂ්පාදනයට ඇති දැඩි කැමැත්ත නිසා ද? ලාභය අරමුණ නොවුනත් එය ලැබීම නැවතිය නොහැකියි. මන්ද ලාභය නැවතුව හොත් නිෂ්පාදනය ද කළ නොහැකි නිසයි. ඔව් මාත් හිතන්නෙ මාර්ක්ස්ටත් කාඩ් වැදුන කියල!

    වත්, කියැවීම පමණින් මොළයේ සෛල විවෘත වනවා යන්න විද්‍යාත්මක සත්‍යයකි. වැටහීමෙන් තවත් සෛල ඇරේ. සෛල ඇරෙන ඇරෙන පමණින් සබඳතා හටගෙන දැනුම වැඩි වෙයි. ඒ පටන් ගැනීම දැන් නවතන්න ඔබට ද නොහැකියි. දාර්ශනිකයෙක් වෙන්න අවශ්‍ය මොළයේ සෛල ඇරෙන ක්‍රියාවලියට සහභාගී වීමයි. උපාධියක් ගත්ත අයට නැති සෛල ඇරුණු මනස් ලොව බොහොමයි. ඇරුණු මනස අවශ්‍ය තමාට ය. සහතික අවශ්‍යය ලෝකයාටය. MSc සාර්ථක නිමාවට ජය!

  8. B.Y. said, on ඔක්තෝබර් 26, 2010 at 10:02 ප.ව.

    අද දිනයේ ද මා කිසිම මතවාදයක හෝ පාට පැත්තක නැත. විචාරාත්මක ගමනක යන මට පැත්තක ගැතිවාදී නැතිකම, දෙපැත්තේම හරි වැරදි, ගුණ අගුණ, අගය හා ශුන්‍යත්වය දකින්නට උදව් කරයි.

    මධ්‍යස්ථ බව මනින බෞද්ධ මිණුම් දණ්ඩට අනුව මෙවැන්නක් සැබැවින්ම කිව හැකි අය ඉන්නේ බොහොම ටික දෙනයි. මා නම් තවම ඉන් බොහෝ දුර.

    “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි ‘සියල්ල මට රුචි නොවේය’ යන මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙමි” යි කීය.

    “අග්ගිවෙස්සනය, ‘සියල්ල මට රුචි නොවේය’ යි තොපගේ යම් මේ දෘෂ්ටියක් වේ නම් මේ දෘෂ්ටියද තොපට රුචි නොවේදැ?” යි ඇසූහ.

    “භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මේ දෘෂ්ටිය මට රුචි නොවන්නේ නම් ඒ ‘සියල්ල මට රුචි නොවේ’ යන දෘෂ්ටියද එබඳුම වන්නේය.”

    “අග්ගිවෙසස්නය, යම් කෙනෙක් ‘එය එබඳුම වන්නේය’ ‘එයද එබඳුම වන්නේය’ යි කියමින් ඒ දෘෂ්ටිය අත් නොහැරම අනික් දෘෂ්ටියක් ගන්නාහුද ඔවුහුම ලෝකයෙහි ඉතා බොහෝ වෙත්.

    “අග්ගිවෙස්සනය, යම් කෙනෙක්, ‘එයද එබඳුම වන්නේය, එයද එබඳුම වන්නේය’ යි කියමින් ඒ දෘෂ්ටියද දුරුකරමින් අනික් දෘෂ්ටියක්ද නොගන්නාහුද ඔවුහු ඉතා ස්වල්ප වෙත්.
    (දීඝනඛ සූත්‍රය)

    එයින් මා බලාපොරොත්තු වන්නේ නැහැ ඔබත් ඒ පරිමාණය භාවිතා කරතැයි කියා; හුදෙක් මා අනුගමනය කරන දර්ශනය දැක්වීමක් පමණයි.

  9. kevin perera said, on ඔක්තෝබර් 27, 2010 at 11:38 පෙ.ව.

    @B.Y. දෘෂ්ටිවාදය අරබයා බුදු වදන දැක්වීම ගැන ස්තුතියි.
    පෘථග්ජන මිනිසා එක දෘෂ්ටිවාදයකින් වෙනත් දෘෂ්ටිවාදයක් වෙත මාරැවීම හැර දෘෂ්ටි රහිතව සිටිය හැකියයි මාද නොසිතමි. දෘෂ්ටිවාදය සහ ඇයි අපි දෘෂ්ටිවාද හා බැඳෙන්නේ ගැන අද්‍යුතන අදහස් උදහස් හැදෑරීම සඳහා පහත ග්‍රන්ථ කියවීමද ඉතා වැදගත්.
    The Sublime Object of Ideology by Slavoj Zizek
    Mapping Ideology by Slavoj Zizek
    On Ideology by Louis Althusser ,Ben Brewster (Translator)
    Essays on Ideology by Louis Althusser

  10. […] මනුෂ්‍යයාගේ දැනුම සමස්තයකින් ද ඒ ඒ විද්‍යාවන්හි දැනුම විශේෂයෙන් ද විමර්ශනය කරන මනුෂ්‍ය ඥානයට මාර්ග උපදේශකයක් ලබා දෙන ක්‍රමවේදය (critiera) නිර්වචනය කරනුයේ හා ස්ථාපිත කරනුයේ දර්ශනය (philosophy) විසිනි. සොක්‍රටීස්, ප්ලේටෝ හා ඇරිස්ටෝටල් පටන් කාන්ට්, මාක්ස්, අයින් රෑන්ඩ් සියල්ලෝ ම දාර්ශනිකයෝය. මමත් දාර්ශනිකයෙක්මි!!!. […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: