අරුණි ශපීරෝ‍ වෙතින්

විශ්වයේ සැලැස්ම පැහැදිලි කරත හැකි ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 27, 2010

“අප ජීවත්වනුයේ ඉතා කෙටි කාලයකි. ඒ කෙටි කාලයේ දී විසල් විශ්වයේ ඉතා අල්පයක් අපි ගවේෂනය කරමු.” ස්ටීවන් හාව්කින්ස් හා ලෙනාඩ් ම්ලොඩිනොව් දෙදෙනා The Grand Design (2010) පොත ආරම්භ කරන්නේ එලෙසිනි. සත්‍ය ගවේෂනයේ පාරම්පරිකව යෙදුනේ දාර්ශනිකයාය. ඔහු විශ්වය පමණක් නිරීක්ෂණයට හා විචාරයට සීමා නොකළේය. දාර්ශනිකයා විශ්වය වටහා ගන්නට මිනිසා ද අධ්‍යයනය කළේය.

දර්ශනයේ කාර්යභාරය විද්‍යාව නොහොත් භෞතික විද්‍යාව විසින් බාරගත්තා යැයි කියන හාව්කින්ස් සහ ලෙනාඩ් දෙදෙනා පොතේ මහත් පිටු ගණනාවක විස්තර කරන්නේ මෙතෙක් පැවති දාර්ශනික මතවාද පිළිබඳව ය. ඒ විශ්වයේ සැලැස්ම ගැන දාර්ශනික විචාරයෙන් මෙතෙක් කාලයක් වූ ගැටළු පෙන්වා එය භෞතික විද්‍යාවෙන් නිරාකරණය කිරීම කරා යනු පිණිස ය. මන්ද ඔවුන් දෙදෙනාට අනුව අද දර්ශනය මිය ගොස් ය. (පිටු 5)

දර්ශනය = ඥානය සොයා යෑම

ඥානය සොයා යෑම = යම් විෂයයකට සීමා නොවීම

විශ්වය සංකීර්ණය. මිනිසා ද සංකීර්ණය. අප අද විශ්වය වැඩ කරනා ආකාරය පැහැදිලි කරගනිමින් සිටිමු. අපට අද මිනිසා හිතනා ආකාරය ද පැහැදිලි කරගත හැකි ද? විශ්වයේ සැලැස්ම මිනිසා‍ගේ සම්භව්‍ය හා අණූක පැවැත්ම පමණක් පැහැදිලි කර දීමෙන් පැහැදිලි කරගත හැකි ද?

ඉහත දෙදෙනා පොත පටන් ගන්නේ බටහිර ඥාන ගවේෂනයේ ග්‍රීක දාර්ශනිකයන් යැයි සැලකෙන තේල්ස්, තොලමි, පයිතගොරාස්, ඉයුක්ලිඩ් වැනි අයගේ සොයා ගැනීම් වලිනි. ක්‍රි. පූ. 585 දී ත්ලේස් සූර්ය ග්‍රහණයක අනාවැකි පළ කළේය. දාර්ශනිකයා විශ්වයේ සම්භව්‍ය ප්‍රශ්න කළේය. ඇනැක්සිමැන්ඩර් කියූ මනුෂ්‍ය දරුවෙක් ඉපිද විගස කිසිත් කරකියා ගන්නා බැරි තත්වයක ඉන්නා නිසා විශ්වයේ ප්‍රථම මිනිසා බිහිවූයේ දරුවකු ලෙසින් වූවා නම් ඔහු ජීවත්වනුයේ නැත යන්න දාර්ශනිකයා මනුෂ්‍යා කවුදැයි විචාරයේ දී උපකාරයට ගන්නා ලදි. ඇරිස්ටෝටල් තාර්කික ක්‍රමයක් හා ආචාර ධර්ම ගැන පැහැදිලි කර දුනි. විලියම් ජේම්ස් මනස ගැන අධ්‍යයන පටන් ගති. දර්ශනය විෂයයකට සීමා වූවක් නොවේ.

එක එක යුගයන්හි දාර්ශනිකයෝ විවිධ විෂයයන්; ජ්‍යාමිතිය, ගණිතය, තාරකා ශාස්ත්‍රය, භාෂාව, මනෝවිද්‍යාව, මොළය යනාදියට සිය විමසුම් ඇස් යොමු කරන ලදහ. අද දිනයේ ද ඔවුන් එලෙසම ය. සත්‍යය සොයා යෑමෙන් දාර්ශනිකයා භෞතික විද්‍යාඥයාට පුටුව දී බැහැර වී ගොස් නැත. පොත කියවද්දී හාව්කින්ස් භෞතික විද්‍යාවෙන් බැහැරව දාර්ශනිකයෙක් වන්නට යත්න දරනවා ද යැයි සිතුණි!

භෞතික විද්‍යාඥයා විශ්වය පැහැදිලි කරන්නට ගන්නා උත්සාහය හා සමාන වේගයකින් අද ජීවවිද්‍යාඥයා මිනිස් මොළය පැහැදිලි කරගන්නට ද උත්සාහයක යෙදෙයි. මොවුන් එකිනෙකාට විරුද්ධ පැති දෙකකින් පටන් ගෙන මැදක මුණ නොගැසී වේගයෙන් එකිනෙකා පසුකරමින් යන අධිවේගී දුම්රියන් දෙකක් වැනි යයි හැරල්ඩ් මොරොවිට්ස් දාර්ශනිකයා කීවේ 1980 ගණන්වල දී ය. අද දෙපැත්තක වෙනුවට ජීවවිද්‍යාඥයා ද රසායනයෙන් මිනිස් ශරීරය හා එහි සැලැස්ම පැහැදිලි කරන්නට උත්සාහයක යෙදෙයි. මනෝවිද්‍යාඥයා ද ඊට හවුල් වී ඇත.

සයිරකස් විශ්ව විද්‍යාලයේ ‍මනෝවිද්‍යාඥ ස්ටෙෆනි ඔර්ටීග් මූලිකත්වයෙන් පිරිසක්, ආදරය හටගනිද්දී මොළයේ සිදුවන රසායනික ක්‍රියාවලිය, The Journal of Sexual Medicine හි පැහැදිලි කරන්නට උත්සාහයක යෙදෙන්නී ය. ආදරය හටගන්නට මිනිසාට යන්නේ තත්පර පහෙන් එකක් යයි ප්‍රස්තුතයකින් ඔවුන් තම අධ්‍යයන පර්යේෂණ පවත්වති. මෙහි දී මැනිය හැක්කේ මොළය නිකුත් කරන රසායනික විපර්යාසයයි.

තමා ලස්සන යයි සිතන කාන්තාවක් දකින පිරිමියාට ඇයගේ ඇස් මුණගැසි කල ඔහුගේ මොළයේ තෘප්තිය පහළ කරවන ඩෝපමින් නැමති රසායනය නිකුත් කරයි. “අනේ එයාව දැක්කත් හිත පිරෙනවා” යැයි සමහරු කියන්නේ මේ නිසා ද? ප්‍රීති උත්තේජනයන් (euphoria-inducing) නිපදවන dopamin, oxytocin, adrenaline, vassopressin වැනි රසායන අද මොළයේ හටගන්නා ආකාරය මොළ ඡායාරූප නැරඹීම මඟින් අවබෝධය ලැබිය හැකිය. හටගන්නට මූලික බාහිර සාධක නැරඹිය හැකිය. මව සහ දරුවා අතර ආද‍රය ඇති මොළ ප්‍රදේශයේ නොව ආදරවන්තයා හා ආදරවන්තිය අතර ආදරය ඇති මොළ ප්‍රදේශය වෙනතක යැයි අවබෝධය ලැබී ඇත. එහෙත් මේ දෙක සදා දෙකක් මිස එකක් නොවන්නේ කෙසේ ද? යම් අහඹු විටෙක එයත් එකක් වන්නට දැකීම කුමන විපර්යාසයක් ද? ඔය කියන ප්‍රීති උත්තේජනයන් සියල්ල මොළයේ රසායනිකව නිකුත් වූවත් එය යම් දෙදෙනකු අතර සදාකාලික බැඳීමකුත් යම් දෙදෙනෙකු අතර තාවකාලික වූ බැඳීමක් කරා යන්නේත් කෙසේ ද? එකම බාහිර සාධක දැක දෙදෙනෙක් දෙයාකාරයට ප්‍රතිචාර දක්වන්නේ ඇයි?

කෙටියෙන් කිවහොත් රසායනික ප්‍රතිඵලය බලා, එය හටගන්නා හා නැතිවන්නා වූ බාහිර සාධක දැකි පමණින්, එය හටගත් ආකාරය පැහැදිලි වන්නේ ද? පවතින ආකාරය පැහැදිලි වන්නේ ද? නැතිවන ආකාරය පැහැදිලි වන්නේ ද? නැතහොත් පැහැදිලි කරදිය හැක්කේ ඇති වූ හැටි, පවතින හැටි හා නැති වූ හැටි ද?

ග්‍රහලෝකාගාරයට යන්නේ ග්‍රහලෝක ගැන ඉගෙන ගන්නට ය. මොළය ගැන ඉගෙනීමට නම් අද කැලිෆෝර්නියාවේ සැන් ඩියාගෝ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාල මොළලෝකාගාරයට යා හැකිය.

ලෝකයේ වඩාත්ම සුප්‍රසිද්ධ මොළය අද අධ්‍යයනය කරන්නේ මෙහි ය. 1953 ගිම්හානයේ දී හෙන්රි ගස්ටාව් මොලෙයිසන් (HM) නැමැත්තා ඉතා දරුණු අපස්මාර රෝගයකින් ගැලවෙනු පිණිස මොළ සැත්කමකට භාජනය විය. එයින් අපස්මාර රෝගයේ වූ වේදනාවන් ජයගත හැකි වුව ද ඔහුට දීර්ඝ කාලීන මතකය නැතිව ගියේය. හුරු පුරුදු මතකයේ තිබුණ ද, විචාරය හා ප්‍රහේලිකාවක් පුරවත හැකි හැකියාව තිබුණ ද ඔහුට දීර්ඝ කාලීන මතකයට අළුතින් යමක් එකතු කිරීමේ හැකියාව අහිමි විය. වයස 27 දී මෙම දීර්ඝ කාලීන මතකය අහිමි වන ඔහු මිය යන්නේ වයස 82 දී ය. එතෙක් ඔහු මොළය පිළිබඳ විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණ වලට සහභාගී වූවෙකි. මිය ගිය ඔහුගේ මොළය හදාරන ආකාරය අද අන්තර්ජාලයෙන් ඔබට ද නැරඹිය හැකිය.

ශුද්ධ ජ්‍යාමිතියත් වීජ ගණිතයත් අතර සබඳතාවත් සොයා ගන්නා ගණිතඥයා රෙනේ ඩෙකාට් ය. භෞතික විද්‍යාවට සියල්ලම පැහැදිලි කරනු හැකිය කියා පහදන්නට ඔහු විෂයමූලික ඥානයක් සොයායන්නට සියල්ල සැක කරන ක්‍රමය පාවිච්චි කළේය. අවසානයේ දී සැක නොකළ හැකි එකම දෙය වූයේ “ඔහුගේ පැවැත්ම” පමණි. “මම සිතමි. ඒ නිසා මම පවතිමි.” “මගේ පැවැත්ම මම සැක කරමි” කියද්දී ද සැක කරන්නට කෙනෙක් ඉන්නා නිසා එයින් ද ඔප්පු වන්නේ මම පවතිමි යන්න ය. ප්‍රතිඵලය වූ තම පැවැත්ම දකින සැකයට ද මනස මූලික ය.

මිනිස් මොළයක පවතින්නේ විද්‍යාව පැහැදිලි කරන සිනැප්සස්, ලොබොටොමි (HM වැනි මොළයේ සෛල විනාශය), ප්‍රෝටීන් හා ඉලෙක්ට්‍රෝඩ වැනි දෑ පමණක් ද? පරමාණු මට්ටමකින් සිද්ධ වන ප්‍රතික්‍රියාවන් පමණක් ද? අණූක හා Quarks සමූහයක මට්ටමකින් සිද්ධ වන නිරීක්ෂණය කළ හැකි ප්‍රතික්‍රියාවන් පමණක් ද? නැත්නම් සවිඥානය, සංජානනය, සම්ප්‍රජානනය, සහ චින්තනය යනාදිය ඇසට නොපෙනුන ද ප්‍රතිඵල දැකිය හැකි නිසා ඊටත් වැදගත්කම දිය යුතු ද?

මිනිසාගේ හැදියාව ජීවවිද්‍යා පදනමකින් පැහැදිලි කරලීමට ශාරීරික විද්‍යාවකින් ඩාර්වින් උත්සාහ ගනියි. ඩෙකාට් උත්සාහ ගන්නේ මනස ජීවවිද්‍යාවෙන් බැහැරක ලා තබන්නට ය. අපගේ “වානරත්වය” සලකා බලන පරිනාමවාදයේ දී මිනිසාගේ මුල්ම ඥාතියා වූ “වඳුරා” හා අනිකුත් සත්වයන් අධ්‍යයනය කෙරුණි. පැව්ලෝ විසින් හැදියාව ගැන ගෙන හැර පෑ විස්තර වලින් චර්යාව වෙනස් කරගත හැකි යයි ඔප්පු කරගන්නට පුළුවන්කම ලැබුණි.

මිනිසාගේ සෑම දෙයක්ම ජීවවිද්‍යාවෙන් පැහැදිලි කරන්නට ගොස් අපට ලැබෙන්නේ එය රසායන හා භෞතික විද්‍යා වලින් පැහැදිලි කිරීමක් ද? රසායනය හා භෞතික විද්‍යාවන් අණු වලට යාමෙන් සෑම සියළු දැයක්ම අණු වලින් පැහැදිලි කරත හැකි ද?

අණුවක වීජ කේන්ද්‍රීයව ඇති ප්‍රෝටෝන හා න්‍යුට්‍රෝන කෙසේදැයි පහදාලන්නට ස්ටීවන් හා ම්ලොඩිනොව් සහායට ගන්නේ Quarks යන්නය. ප්‍රෝටෝන හා න්‍යුට්‍රෝන සමන්විත වන්නේ Quarks වලින් ය. ඒවා වෙන් කරන්නට ගන්නා උත්සාහයේ දී ඒවා බැඳී ඉන්නට ගන්නා වෑයම වැඩි ය. එහෙයින් ඊට තනිවම පවතිනු නොහැකි ය. එහෙයින්ම නිදහස් Quark එකක් නිරීක්ෂණය කරනු ද නොහැකිය. එහි ස්වභාවය නිසාම දකින්නට හැක්කේ සමූහයක එකතුවකි. එකතුවක් දකින කල එහි එකක් ඇතැයි කිව හැකි ද? නැතැයි කිව නොහැකි ද? යමක් නොදැක එහි පැවැත්මක් ඇතැයි කිව හැකි ද? නැතහොත් සමූහයක් දැක එකක් ඇතැයි කියන්නේ නිරීක්ෂණයෙන් නොව තර්කයෙන් නොවන්නේ ද?

මොළයත් මනසත් හුදු භෞතික විද්‍යාවෙන් පමණක් පැහැදිලි කරගත හැකි යයි කිව්ව ද එය ආසන්නයටම පැමිණි කල එය ද නිරීක්ෂණයක් වෙයි ද?

ඔවුනට භෞතික විද්‍යාවෙන් සියල්ල ඔප්පු කර පෙන්වීමට නොහැකි වී ඇත් ද? නැතහොත් අවසානයේ ඔවුන් ද පැමිණෙන්නේ ඩෙකාට් ගේ “මා සිතමි, ඒ නිසා මා පවතිමි” වැන්නකට ද?

මධ්‍යම ස්නායු පද්ධතියට අනුව සවිඥානය හා පරාවර්තක චින්තනය ඇති මිනිස් මොළය පැහැදිලි කරත හැකිය. ශාරීරික පද්ධතියට අනුව ජීවවිද්‍යානුකූල වූ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පැහැදිලි කරත හැකිය. කාබන්, නයිට්‍රිජන්, ඔක්සිජන් වැනි අනූක භෞතික විද්‍යා දැනුමින් ජීවවිද්‍යාවේ සියළුම අවස්ථා පැහැදිලි කරත හැකිය. එහෙත් තවමත් අනූක භෞතික විද්‍යාවට ඥානය හටගන්නේ කොහොම ද යන්න පුරාතන වූ මනස උපයෝගී කර නොගෙන විස්තර කරන්නට නොහැකි ය.

මනස විචාරයෙන් පටන්ගත් මිනිසා හා විශ්වය ගවේෂණය අද විද්‍යාවෙන් පැහැදිලි කරගත්තා ද? නැතහොත් ඒ කටයුත්ත නැවතත් අවසන් වන්නේ මනසේ විචාරයට පැවරීමෙන් ද?

ප්‍රතිඵලය බලා එය ඇතැයි කියන්නට හැකියාව පමණින් හටගත් හැටි හා පවතින හැටි සියල්ල පැහැදිලි කරත හැකියාව භෞතික විද්‍යාවට දිය හැකි ද?

විචාරය නිමියේය.

සිතන්න යමක්: දෙවියන් බැහැරලා විශ්වය පැහැදිලි කරන්න හැකි යයි කියන ඉහත දෙදෙනා ‘දෙවියන්’ යන වචනය පොතේ හැම තැනකම ලියා ඇත. මා සට‍හනේ මුළු විචාරය ගෙන යන්නේ දෙවියන් බැහැරලා ය. ඔවුනට සිද්ධ වී ඇත්තේ දෙවියන් බැහැරලා විශ්වය පැහැදිලි කරගන්න නොහැකියාව ද? නැත්නම් ඔවුන්ගේ අරමුණ වෙනෙකක් වී ද?

26 Responses

Subscribe to comments with RSS.

  1. B.Y. said, on ඔක්තෝබර් 27, 2010 at 11:32 පෙ.ව.

    කලින් ද සඳහන් කළ පරිදි මා පිළිතුරු සොයන්නේ බුද්ධ දේශනාවට අනුගත වන ආකාරයට. ඇතැමෙකුට මෙය විචාරශීලීත්වයේ ඇති දිළිඳු බවක් ලෙස පෙනෙන්නට පුළුවන්; එහෙත් එය මට ගැටළුවක් නොවෙයි (සමහර විටෙක ඒ පිළිබඳ ව පසුව සාකච්ඡා කළ හැකියි.)

    තථාගතයන් වහන්සේට අනුව ‘සියල්ල’ (අන් අයුරෙකින් කිවහොත් ‘විශ්වය’) අරුත් ගැන්වෙන්නේ මේ ආකාරයට:

    “මහණෙනි, තොපට සියල්ල දේශනා කරමි […]
    “මහණෙනි, සියල්ල නම් කවරේ ද? ඇසත් – රූපත්, කණත් – ශබ්දත්, නාසයත් – ගන්ධත්, දිවත් – රසත්, කයත් – පහසත්, මනසත් – ධර්මත් ය. යමෙකු ‘මම මේ “සියල්ල” ප්‍රතික්ෂේප කොට වෙනත් “සියල්ලක්” පනවමි’යි කියත හොත්, විමසන කල්හි ඔහු ගේ ඒ කියමන අරුත් සුන් වන්නේ ය; තවද, මතුයෙහි අපහසුවට ද පත් වන්නේ ය. මන් ද යත්, අවිෂය හෙයිනි.”
    (සබ්බ සුත්ත)

    ඇතැමෙකු මෙය බුදු දහම ඉන්ද්‍රියානුභූතිවාදයකැ’යි කීමට යොදා ගනිතත්, එහි සැබෑ අරුත ග්‍රහණය කරගත්තේ නාගාර්ජුනපාදයන් වහන්සේ වැනි අතළොස්සක් වූ දාර්ශනිකයින් පිරිසකැ’යි මට හැඟෙයි (ආර්යයන් වහන්සේලා මෙහිදී මඳකට අමතක කරමු.) උන් වහන්සේ ගේ ඇතැම් පසුකාලීන අනුගාමිකයන් එම දැක්ම නොමඟක ගෙනයාම කණගාටුදායක ය.

    විශිෂ්ට දාර්ශනිකයෙකු පමණක් නොව සුන්දරතර මනුෂ්‍යයෙකු ද – අවම වශයෙන් මා සිතන පරිදි – වන පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් කියුවක් මට සිහි වෙයි:

    “When we tran­scend one level of truth, the new level becomes what is true for us. The pre­vi­ous one is now false. What one expe­ri­ences may not be what is expe­ri­enced by the world in gen­eral, but that may well be truer. But how do we reach the ulti­mate truth? This is beau­ti­fully explained in the Dhātuvibhaṇga Sutta: Taṃ saccaṃ, yaṃ amosad­hammaṃ nib­bānaṃ. And from the Dvay­atānu­pas­sanā Sutta: amosad­hammaṃ nib­bānaṃ tad ariyā sac­cato vidū. It is Nib­bāna that is of non-falsifying nature, where there is no ‘thing’. Nib­bāna is the high­est truth because there is no other truth to tran­scend it.

    “The Bud­dha called him­self the first chick in this era to break out of the egg of igno­rance. All these won­der­ful things we do such as space travel all hap­pen inside this saḷāyatana shell. If paṭiccasamuppāda is pre­sented prop­erly, per­haps a few more chicks would be able to break through today.

    “Ven. Nāgār­juna was right: at the end, all is empty. We are not will­ing to accept that exis­tence is a per­ver­sion. Exis­tence is suf­fer­ing pre­cisely because it is a perversion.”
    (The Heretic Sage)

    මෙම සටහනෙහි සදාචාරාත්මක/ආගමික පැතිකඩ (moralistic/religious undertones?) රිසි නොවන්නන්ට මගේ කණගාටුව. අප කැමැති වුවත් නැතත්, ආගම සහ දර්ශනය අතර ඇති සමීප බැඳීම, විද්‍යාව හා දර්ශනය අතර ඇති බැඳීමට වඩා බෙහෙවින් ප්‍රබලයි. එය එසේ වන්නේ ඇයි ද, එසේ විය යුතු ද යන්න ආදිය වෙන ම ප්‍රශ්න.

  2. Nuwan said, on ඔක්තෝබර් 27, 2010 at 12:45 ප.ව.

    “ඔවුනට සිද්ධ වී ඇත්තේ දෙවියන් බැහැරලා විශ්වය පැහැදිලි කරගන්න නොහැකියාව ද? නැත්නම් ඔවුන්ගේ අරමුණ වෙනෙකක් වී ද?”

    අරමුණ වෙනෙකකි. පැහැදිළිවම.

    ලංකාව වගේ නෙමෙ‍යි, ඇමකාවේ සහ යුරෝපයේ කට්ටිය සර්වබලධාරී දෙවියන් ගැන තදින්ම විශ්වාස කරයි. හොකින් කියන්නේ atheist කෙනෙක්. එවැනි කට්ටිය බොහෝ විට තම ප්‍රකාශන මගින් දේව සංකල්පය විවේචනය කිරීමට පෙළඹෙති. එයට හේතුව අපිට තේරුම් ගත නොහැකි වන්නේ, creationistල පිරුණු සමාජයක අප ජීවත් නොවී ඇති බැවිනි.

  3. Nuwan said, on ඔක්තෝබර් 27, 2010 at 1:49 ප.ව.

    සිතන්නට යමක් :- මොලයේ ජීව විද්‍යාත්මක පැත්ත අධ්‍යනය කරන විට පෙනී යන්නේ මොලය ක්‍රියා කිරීමට “මනසක්” හෙවත් “භෞතික නොවන බලවේගයක්” අවශ්‍ය නොවන බවයි. සිතන්නේ මොලයේ නියුරෝන අතර සංඥා හුවමාරුවෙනි. මකතය ගබඩා වී ඇත්තේ භෞතික මොලයේය. යමෙකුගේ පෞර්ෂත්වය තීරණය වන්නේ මොලයේ සැකැස්ම මගිනි (ජාන වෙනස් කිරීම මගින් මවු සෙනෙහස පවා නැති කිරීමට විද්‍යාඥයන් සමත් වී ඇත). එසේනම් මනසක් හෝ විඤ්ඤාණයක් අවශ්‍ය වන්නේ කුමකටද?

    අනෙක් පැත්ත :- “මා සිතමි, ඒ නිසා මා පවතිමි” යන Descartes ගේ කියමනට අනුව “මම” යන්නෙක් පවතින බව පෙනී යයි. එනම් මෙම භෞතික ශරීරයට අභෞතික බලවේගයක් (මනස) සම්බන්ධ වී ඇත.

    එසේ නොවන්නට සියළු මනුෂ්‍ය ශරීර ‍රොබොවරුන් ලෙස මනසක් නොමැතිව ක්‍රියාත්මක වෙමින් පැවතිය යුතුය. එවැනි ‍ශරීර හට සතුට දුක වැනි හැඟීම් දැනෙනවා ලෙස රඟපානවා මිසක් සැබෑවටම හැඟීම් දැනීම් ‍නැත.
    (Knight rider කතාවේ KITT හට හැඟිම් නැති බව නිතර මතු වෙයි. නමුත් සතුට දැනිය යුතු අවස්ථා වලදී සතුට දැනෙන ලෙස හැසිරීමට KITTව program ක හැකිය. මනසක් නැති ශරීරද මෙසේ විය හැකිය.)

    මෙයින් නිවැරදි තියරිය කුමක්ද ? ………

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2010 at 3:43 ප.ව.

      නුවන්, මම තවමත් සොයමින් සිටිමි!! දෙකම අඩුපාඩු සහිත බව පමණක් දනිමි. මනස හා විඥානය ගැන තව ලියන්නට අදහස් කරමි.

    • ishan said, on ඔක්තෝබර් 27, 2010 at 5:17 ප.ව.

      පොඩි ප්‍රශ්නයක් ඇත එනම් ඔබකියන ආකාරයටබ් සෑම දෙයක්ම සිදුවනේ මොලයෙන් හා එහි නියුරෝන වල කිරියා කාරිත්වයෙන් නම් එසේම සෑම මතකයක්ම මොලයේ තැම්පත් වෙනවානම් මොලය කපාකොටා හෝ කෙසේ හෝ එලෙස තැම්පත් වු මතකය පෙන්වීමට හැකිවිය යුතු නේද?එසේම මතකය නැති වු කෙනෙකුට ඔය කියන මතකය තැම්පත් වු තැන සැත්කමක් මගින් හරිගස්සා නැවත මතකය දිය හැකිද?

      බැරි වෙලාවත් සැත්කමක් මගින් පුද්ගලයන් දෙදෙනෙකුගේ මොලයේ මතකය තැම්පත් වෙන තැන්දෙක මාරු කලොතින් එම පුද්ගලයන් දෙදෙනාගේ මතකයත් මාරු වෙනවද?

      සියල්ල සිදුවන්නේ මොලෙන් නම්,ඇතැම් පුද්ගලයන් මොලේ මිය ගියපසු ජීවත් වෙන්නෙත්,මතකය නැති වු පුද්ගලයන්ට දීර්ඝ කාලයක් ගොස් ඉබේම මතකය ලැබෙන්නෙත්,මොහන තත්වය තුලදී ඇතැම් පුද්ගලයන් තමගේ පෙර බවය යන්නාදිය හෙලිකරන්නේ කෙසේද?

      එසේම අපි යම් රූපයක් ඇසින් දුටුව හොත්,එම රූපය ඇසේ දුෂ්ටිවිතානය මත වැටී පසුව ස්නායු හරහා මොලයට ගොස් එතුලි එම රූපය හදුනාගන්නාබව ජිව විද්‍යාත්මකව පවසයි,නමුත් යම් මලක් මලක් ලෙස දැකීමට එයිට පෙර මොලයට් එම වස්තුව පිලිබදව මුලික අදහසක් තිබිය යුතුය එම මුලික අදහස මොලයට පැමිනියේ කෙසේද?

      මව් සෙනෙහස පමනක් නොව වෙනත් ඔනෑම කරුනක් පිලිබදව යම් පුද්ගලයෙකුට හෝ කුඩා දරුවෙකුට දැඩිලෙස පතිවිරුද්ද අදහස් ඉදිරි පත් කලොත් ඔහුතුල කලින් පැවති අදහස වෙනස්කර අලුතෙන් ඉදිරිපත් කල අදහස පිලිගැනීමට ඔහු පෙලබේ එයට ජාන වෙනස් කලයුතු නැත.
      එසේම සිහින දැකීම් ආදිය සිදුවෙන්නේ කෙසේද?

      රොබොවරු ගතහොත් ඔවුන් තුල පරිගනක තාක්ෂණයෙන් සැදූ කෘතිම මොලය ඇත,එනම් දෘඩාංග තුලින් ලබගන්නා දත්තයන් ක්‍රම ලේඛන භාෂාවක් තුලින් සකස් කල වැඩසටහන්කින් හැගීම් හෝ කිරීයාකාරකම් බවට පත් කරනු ලබයි,දෘඩාංග තිබුනට වැඩසටහන නැත්තම් එහි හැගීම්ද නැත.එහි කර ඇත්තේ මිනිස් හැගීම් වල දල සටහනක් තාර්කික ක්‍රමලේඛ්නයක් තුලින් ලබාදීමය,නමුත් රොබෝව රගපෑවට සැබෑ ජීවිත්යේදී ඔබතු හට ගන්නා හැගීම් රගපෑමක්ද?

      • Nuwan said, on ඔක්තෝබර් 28, 2010 at 5:12 පෙ.ව.

        “ඇතැම් පුද්ගලයන් තමගේ පෙර බවය යන්නාදිය හෙලිකරන්නේ කෙසේද?”
        “සැබෑ ජීවිත්යේදී ඔබතු හට ගන්නා හැගීම් රගපෑමක්ද?”

        මේ ප්‍රශ්න දෙක ඉදිරිපත් කිරීම ගැන ස්තූතිය පල කරමි. එවා සඳහා‍ පිළිතුර මා දන්නේද නැත.

        නමුත් මොලය පිටුපස අභෞතික බලවේගයක් ඇති බව පිළිගැනීමට මෙය කරුනු ප්‍රමානවත් නොවේ.

        තර්කය :- මනසක් සම්බන්ධ වී ඇත්තේ සත්ව ශරීර වලට පමනක්ද? ශාක සහ සත්වයින් පරිනාමය වී ඇත්තේ එකම මූලයකින් නම්, ශාක වලට ‍මනසක් සම්බන්ධ නොවීමට හේතුව කුමක්ද? එමෙන්ම ශාක හෝ සත්ව ලෙස වර්ගීකරනය කල නොහැකි lower species (කොරල් පර) ක්‍රියාකාරීව සිටීමට මනසක් අවශ්‍ය බව ඔබ විශ්වාස කරනවාද?

        මෙවැනි ප්‍රශ්න නිසා යම් ස්ථාවර මතයකට එලඹීමට මා අසමත් වී ඇත.

        (මේ පිළිබඳව තවදුරටත් අදහස් පළ කිරීමට කාලය නොමැත. කනගාටුයි.)

      • ishan said, on ඔක්තෝබර් 28, 2010 at 8:11 පෙ.ව.

        සත්වයෙක් වේනම් අනිවාර්යෙන්ම එම සත්වයා තුල මනසක් තිබිය යුතුය,එනම් මෙහිදී සත්ව ලෙස ගතහැක්කේ හැගීම් දැනීම් පිටකරන එසේම එම හැගීම් මත කිරියාකාරකම් වල යෙදෙන සත්වයන් පමනකි,මෙහිදී ශාක ඉහත සදහන් කල සත්ව ගනයට දැමිය නොහැක ,නුතන් ජීවිද්‍යාවෙන් හෝ විද්‍යාව මගින් ඇතැම් කියාකාරකම් නිසා ශාකත් ශත්ව ලෙස හැදින් වුවද ශාක 100% සතිවයිට සමාන් වනේ නැත.එසේම ශාක හැගීම් පිටකරන බවහෝ ,ශාක සතුව මතකයක් ඇත යන්න කවුරුවත් සොයාගෙන නැත.

        එසේම් ශාක හා සත්වයින් එකම මුලයකි පරිනාමය වුබව කියනුයේ නුත්න පරිනාම වාදයයි නමුත් එම මතය පවා අද ප්‍රශ්ණකිරීම් වලට ලක්ව ඇත,මෙසේ උවාකියන්න ශාක්ෂි ද නැත.ඉදිරි අනාගතයේදී මෙයිට වඩා හොදමතයක් ඉදිරිපත් නොවේයි කියාද අපට කිවනොහැක නමුත් මනෝවිදාව වැනි විෂයයන්ගෙන් මනසක් ඇත යන්නට දිර්ගලෙස කරුනු ඉදිරිපත් කර ඇත.

      • කොලූ said, on ඔක්තෝබර් 28, 2010 at 11:59 පෙ.ව.

        // …වෙනවානම් මොලය කපාකොටා හෝ කෙසේ හෝ එලෙස තැම්පත් වු මතකය පෙන්වීමට හැකිවිය යුතු නේද..//
        මොලය කපාකොටා මතකය නැති කර හැක. මොලයේ මිය ගිය සයීල නැවතත් වැඩෙන්නේ නැත. ඒ නිසා මොලයේ සයීල හිටවා මතකය නැවතත් ගෙන්විය නොහැක. ඒ මතකය ඇත්තේ මොලයේ යැයී අනුමාන කිරීමට හොද සාදකය.

        // බැරි වෙලාවත් සැත්කමක් මගින් පුද්ගලයන් දෙදෙනෙකුගේ මොලයේ මතකය තැම්පත් වෙන තැන්දෙක මාරු කලොතින් එම පුද්ගලයන් දෙදෙනාගේ මතකයත් මාරු වෙනවද?//
        බැරි වෙලා මොලයන් මාරු වෙන්නේ නැත. කැමැත්තේන් මොලයන් මාරු වන්නේත් නැත.

        // සියල්ල සිදුවන්නේ මොලෙන් නම්,ඇතැම් පුද්ගලයන් මොලේ මිය ගියපසු ජීවත් වෙන්නෙත්,මතකය නැති වු පුද්ගලයන්ට දීර්ඝ කාලයක් ගොස් ඉබේම මතකය ලැබෙන්නෙත්,මොහන තත්වය තුලදී ඇතැම් පුද්ගලයන් තමගේ පෙර බවය යන්නාදිය හෙලිකරන්නේ කෙසේද?//

        මොලය මිය ගිය පුද්ගලයන් ජීවත් වන්නේ නැත. කෝමා, අවස්තාව සහ මොලය මිය යාම දෙකකී. වෛද්යවරුන් වැරදි ලෙස මොලය මිය ගියා යැයී ප්රකාශ කිරීම තවකකී.

        නැති වී ගියා යැයී සිතා ගෙන ඉන්නා මතකයන් නැවතත් මතක්වීම අමුතු දෙයක් නොවේය. ඒ අපි හැමෝටම දිනපතා සිදුවෙන දෙයකී. අබ්බගාතයන් කාලෙකට පසු නැවතත් ඇවිදින්නට පුරුදු වූ පලියට, ඇවීදීමේ හැකියාව කකුලට නැතැයී කියන්න නොහැක.

        මොහනයෙන් පෙරබවය හෙලිවේනම්, තවමත් ජෙම්ස් රැන්ඩිගේ ඩොලර් මිලියනයේ තෑග්ග ගන්න බැරි වූයේ මන්ද? (http://en.wikipedia.org/wiki/James_Randi_Educational_Foundation#The_One_Million_Dollar_Paranormal_Challenge)

        //නමුත් යම් මලක් මලක් ලෙස දැකීමට එයිට පෙර මොලයට් එම වස්තුව පිලිබදව මුලික අදහසක් තිබිය යුතුය//
        මොකක්? ? ? ?

        //…එයට ජාන වෙනස් කලයුතු නැත.//
        පොල්ලෙන් ගැසූ විටත් මීයන් මැරෙයී. පරීක්ශන කිරීමෙනුන් මීයන් මැරෙයී. එසේ වූ පලියට, පරීක්ශන කිරීමෙන් පලක් නැතෙයී කියන්නේ කවුරුද?

        //එසේම සිහින දැකීම් ආදිය සිදුවෙන්නේ කෙසේද?//
        සිහින දකීනේ මන්දැයී යන ප්රශ්ණයට පිලිතුරු සොයා ගෙන නැතත්, සිහින දකින්නේ කෙලෙසද යන ප්රශ්ණයට පිලිතුරු සොයාගෙන ඇත. ගූගල් යොදාගෙන පොදු දැනුම සොයා ගන්න.

        //එහි කර ඇත්තේ මිනිස් හැගීම් වල දල සටහනක් තාර්කික ක්රමලේඛ්නයක් තුලින් ලබාදීමය//
        සියයට සියයක් නිවරදි නැත. රොබෝ යන්ත්රයට තමාගේම වැඩසටහන් තමා විසින්ම තනා ගැනීමේ හැකියාව තිබේ. රොබෝ යන්ත්රය ලෝක චෙස් තරගය දිනුවේ, නිරන්තරයෙන් ඉගෙන ගනිමින්, තමාගේ වැඩ සටහන තමා විසින් නැවත නැවතත් තනා ගැනීම නිසාය.

      • Ishan said, on ඔක්තෝබර් 29, 2010 at 5:20 ප.ව.

        (// …වෙනවානම් මොලය කපාකොටා හෝ කෙසේ හෝ එලෙස තැම්පත් වු මතකය පෙන්වීමට හැකිවිය යුතු නේද..//
        මොලය කපාකොටා මතකය නැති කර හැක. මොලයේ මිය ගිය සයීල නැවතත් වැඩෙන්නේ නැත. ඒ නිසා මොලයේ සයීල හිටවා මතකය නැවතත් ගෙන්විය නොහැක. ඒ මතකය ඇත්තේ මොලයේ යැයී අනුමාන කිරීමට හොද සාදකය.)

        මොලය කපාකොටා මතකය නැතිකල හැකිබව මමත් දනී,නමුත් මම මෙහිදී ඇසුවේ මොලය තුල මතකය තැම්පත් වනවාවම් එලෙස තැම්පත් වු මතකය පෙන්විමේ හැකියාවක් තිබිය යුතුය.එසේම මොලය තුල මතකය තැම්පත් වනවානම් යම් මිනිසෙක් මිය ගිය විට එම මතකය සදාකාලිකව නැතිවිය යුතුය,නමුත් එසේ වනවාද?පුනර්භවය හෙලිකිරිම් මෙන්ම මෝහනය තත්වය තුලදි මිනිසාතුල සැගවුනු මත්කය නැවත අවදි කල හැකිබව මනෝ විද්‍යාව තුලින් මේවන විටත් ඔප්පු කර හමාරය.

        (// සියල්ල සිදුවන්නේ මොලෙන් නම්,ඇතැම් පුද්ගලයන් මොලේ මිය ගියපසු ජීවත් වෙන්නෙත්,මතකය නැති වු පුද්ගලයන්ට දීර්ඝ කාලයක් ගොස් ඉබේම මතකය ලැබෙන්නෙත්,මොහන තත්වය තුලදී ඇතැම් පුද්ගලයන් තමගේ පෙර බවය යන්නාදිය හෙලිකරන්නේ කෙසේද?//

        මොලය මිය ගිය පුද්ගලයන් ජීවත් වන්නේ නැත. කෝමා, අවස්තාව සහ මොලය මිය යාම දෙකකී. වෛද්යවරුන් වැරදි ලෙස මොලය මිය ගියා යැයී ප්රකාශ කිරීම තවකකී. )

        කොමා තත්වය තුලදී මිනිසෙක් සාමාන්‍ය කිරියාකරකම් වලින්තොරව දීර්ග නින්දක් ගතකරනවා මෙන් සිටියද,ඔහු ගේ ශරීරයේ අවයව නියම ලෙස ක්‍රියාත්මක වේ,එසේම ඔහු යම් වේලාවකනැවතත් යථාතත්වයට පත්විය හැක එසේම සදාකාලිකවම පත් නොවිය හැක.නමුත් මොලය මිය යෑම මෙයිට වඩා වෙනස්ය,එසේම නිතිය අනුව නියමලෙස මොලය මිය ගිය බව තහවුරු කරගත් පුද්ගලයෙකුගේ ශරීර අවයව වෙනකෙකුට බද්ධ කිරිම කල හැක,නමුත් මොලය මියගියබවට බොරුකියා අවයව බද්ධ කල නොහැක,එසේම යමෙකුගේ මොලය මියගිය මවට බොරු කීමටද වෛද්‍යවරුන නොහැකිය .

        (නැති වී ගියා යැයී සිතා ගෙන ඉන්නා මතකයන් නැවතත් මතක්වීම අමුතු දෙයක් නොවේය.ඒ අපි හැමෝටම දිනපතා සිදුවෙන දෙයකී)

        මා මෙහිදී අදහස් කලේ යම්පුද්ගලයෙක් යම අනතුරකට හෝ යම්කම්පනයකට පත්ව මොලයට හානිවිමෙන් නැතිවන මතකගැන මිසක සාමාන්‍ය ලෙස අමතකවීම හා මතක්වීම නොවේ.

        (මොහනයෙන් පෙරබවය හෙලිවේනම්, තවමත් ජෙම්ස් රැන්ඩිගේ ඩොලර් මිලියනයේ තෑග්ග ගන්න බැරි වූයේ මන්ද? (http://en.wikipedia.org/wiki/James_Randi_Educational_Foundation#The_One_Million_Dollar_Paranormal_Challenge)

        ඔහුගේ තෑග්ග පිලිබදව මම දන්නේ නැත,නමුත්පෙරබවය හෙලිකල කුඩාදරුවන් පවා ලන්කාවෙන් සොයාගෙන ඇත එසේම ඔවුන් නිවැරදිව පෙරබවයේ දෙමව් පියන්ව පවා සොයාගෙන ඇත,ඒවා බොරුයි කීමට හැකිද?එසෙම එඩ්ගා කේසි වැනි පුද්ගලයන් පෙරබවයන් ගැන හෙලිකලාදෑ බොරුයි කීමට හැකිද(විකිපීඩියාහී බලන්න]එසේම ඔහුපිලිබද කල පරීක්ශන අදවුවත් අවසර ගත් ඔනෑම කෙනෙකුට පරික්ශා කල හැක.

        (පරීක්ශන කිරීමෙන් පලක් නැතෙයී කියන්නේ කවුරුද?)
        මෙය ඔබ වැරදිය වටහාගත්තකි පරීක්ෂණ කරන්න එපා කියා මම කිසිවිටෙකත් කියා නැත

        //එසේම සිහින දැකීම් ආදිය සිදුවෙන්නේ කෙසේද?//
        සිහින දකීනේ මන්දැයී යන ප්රශ්ණයට පිලිතුරු සොයා ගෙන නැතත්, සිහින දකින්නේ කෙලෙසද යන ප්රශ්ණයට පිලිතුරු සොයාගෙන ඇත. ගූගල් යොදාගෙන පොදු දැනුම සොයා ගන්න.)

        සිහින දකින්නේ උප විඥ්ඥානයේ බලපෑමෙන් බව මනෝවිද්‍යාත්මක මතය වේ,එසේම උප විඥ්ඥානයේ යනුත් මනසේ කොටසකි

        (//එහි කර ඇත්තේ මිනිස් හැගීම් වල දල සටහනක් තාර්කික ක්රමලේඛ්නයක් තුලින් ලබාදීමය//
        සියයට සියයක් නිවරදි නැත. රොබෝ යන්ත්රයට තමාගේම වැඩසටහන් තමා විසින්ම තනා ගැනීමේ හැකියාව තිබේ. රොබෝ යන්ත්රය ලෝක චෙස් තරගය දිනුවේ, නිරන්තරයෙන් ඉගෙන ගනිමින්, තමාගේ වැඩ සටහන තමා විසින් නැවත නැවතත් තනා ගැනීම නිසාය)

        රොබො යන්ත්‍ර එලෙස තමාවිසිනම තමන්ට අවශ්‍ය වැඩසටහන් සාදාගන්නේද රොබෝ යන්ත්‍රයේ මුලික වැඩසටහන ක්‍රම ලේඛන කර ඇති ආකරය අනුවය.එනම් එලෙස තාමාවෙත ලැබෙන දත්තයන් විශ්ලේශණයන්කර නැවතත් එම දත්තයන්ට අදාල ලෙස රොබෝයන්ත්‍රයට තම ක්‍රමලේකනයන් සකස්කර ගැනිමට හැකියාව ලබාදී ඇත්තේ එහි මුලික වැඩසටහනය,එම වැඩසටහනට එම හැකියාව ලැබී ඇත්තේ එය ක්‍රම ලේඛ්නය කල පුද්ගල යාගෙන් මිස රොබෝ යන්ත්‍රය අපි මෙන් හිතා එසේ කරන්නේ නැත,රොබෝ යන්ත්‍රය එසේ කරන්නේ සම්පුර්න ලෙසම මුලික වැඩ්සටහනට අනුවය එයින් පරිබාහිරව එයට එලෙස කල නොහැක.ලොක චෙස් තරගය දිනු පරිගණකය පවා ක්‍රමලෙඛ්නය කෙලේ එලෙස පුද්ගලයන් කිහිප දෙනෙකි.රොබෝ යන්ත්‍ර පමනක් නොව මෙලෙස ක්‍රියාත්මක වන පරිගණක වෛරස් පවා ඇත.මේ හින්දා මේවා කෘතිම බුද්ධීන් ලෙස හදුන්වයි.එය කිසිවිටෙකත් අපගේ මනසට සමාන කල නොහැක.

        අවසාන ලෙස කීමට ඇත්තේ මොලය යනු මනසේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සදහා යොදාගනුලබන උපකරනය බවයි.එය ශරීරයත් සමග පවතින අභෞතික දෙයකි

  4. kevin perera said, on ඔක්තෝබර් 27, 2010 at 2:38 ප.ව.

    අරුණි නැවතත් අසුවී ඇත්තේ ඇමරිකානු ගැටයකටය.
    ඥානය සොයා යෑම = ඇමරිකාවේ නිශ්පාදිත දැනුමට සීමා නොවීම
    අරුණිට නිතරම අමතක වන දෙයක් තමයි අත්ලාන්තික් සයුරෙන් එහාද ලෝකයක් ඇති බව..ඇමරිකානු වලේ ස්වේච්ඡාවෙන් බැස ඇති නිසා අරුණි දකින්නේ ඒ වල තුල ඇති දෑ පමණි. ඇමරිකානු නොවන නිසා වැඩකට නැතැයි සිතීම, ඇමරිකාවේ හා ඇමරිකාවේ ඇකඩමියාව තුල අධිපති නොවන දැනුම බැහැර කර දාර්ශනිකයෙකු වන්නේ කෙසේද? මිනිස් විෂය හැදෑරීමේදී ඇමරිකානු දැනුමට සීමා වීම මේ ලිපියේ මා දකින මූලික වැරැද්දයි.

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2010 at 3:53 ප.ව.

      kevin perera, සමාවෙන්න, ප්‍රතිචාරය පැහැදිලි කරගන්න අපහසුයි. විෂයයකට සීමා නොවී ඥානය සොයා යෑම ඇමෙරිකන් ගැටයක් වන්නේ කොහොම ද? පුරාතන ඉන්දියාවේ හා චීනයේ ද සත්‍ය ගවේෂණය විෂයයකට සීමා වී නොකෙරුණි. මෙතැන විචාරයට ලක් කරන්නේ මේ පොත හා එහි අදහස් පමණක් වීම ගැන නම් වෙනදාට ‘අනාගත් විකාර ලිපි’ ලියනවා යන චෝදනාව නඟන ඔබගෙන් ම එය පැමිණීම පුදුමයකි.

      • kevin perera said, on ඔක්තෝබර් 27, 2010 at 5:02 ප.ව.

        විෂයයකට සීමා නොවී ඥානය සොයා යෑම වැරදියැයි මා කොතැනකවත් කියා නැත. මා අදහස් කලේ මනසේ ක්‍රියාකාරීත්වය ගැන යුරෝ කේන්ද්‍රිය දැනුම ඔබ සම්පූර්ණයෙන්ම මගහැර ගොස් මේ පොත හා එහි අදහස් විචාරයට ලක් කිරීම නිසා සිදුවී ඇති ඇබැද්දියයි. අපේ කැමැත්ත, ආශාව මනස තුල සකස් වී ඇති ජීවවිද්‍යාවෙන් රසායනික විද්‍යාවෙන් පැහැදිලි කරන්නට යෑම ඇමරිකානු සීමාවයි. අපේ කැමැත්ත, ආශාව යනු අපේ මොලය තුල නිපදවන්නක් නොව පි​ටත සමාජීය සංස්කෟතිය තුල ගොඩ නංවා භාෂාව හරහා අපතුල රෝපනය කරන්නකි. භාෂා දැලෙහි පැටලීම ආශාවෙහි මූලයයි.

        • arunishapiro said, on ඔක්තෝබර් 27, 2010 at 5:33 ප.ව.

          kevin perera, සියල්ල භෞතික විද්‍යාවෙන් පැහැදිලි කරත හැකිය කියන්නේ මා නොව පොත ලියූ දෙදෙනා ය. මා විචාරයට ලක් කරමින් පෙන්වා දුන්නේ එය එසේ නොවන එහෙත් එසේ යැයි පෙනෙන (ඊනියා) බව ය. අවබෝධය අනිකුත් විෂයයන් බැහැරලා නොලද හැකි යයි සටහනට එක් කිරීම මඟින් විශ්වය පැහැදිලි කරත හැකියාව ලබාදෙන තව විෂයයන් ඇතිබව දක්වා ඇත. ඒ සියල්ල ගැන විස්තර මේ සටහනට ඇතුලත් කිරීම සටහනේ අරමුණ නොවේ. අනිකුත් පැතිකඩ වෙ‍න වෙනම විෂයයන්ට අදාල මාතෘකා යටතේ විචාරයට ගනිමු.

      • කොලූ said, on ඔක්තෝබර් 27, 2010 at 9:32 ප.ව.

        //අපේ කැමැත්ත, ආශාව යනු අපේ මොලය තුල නිපදවන්නක් නොව පි​ටත සමාජීය සංස්කෟතිය තුල ගොඩ නංවා භාෂාව හරහා අපතුල රෝපනය කරන්නකි.//
        ඒ කියන්නේ, කොල්ලා කෙල්ලට කෙල හල්ලනේ සමාජීය බැලපෑම නිසාද?

      • kevin perera said, on ඔක්තෝබර් 27, 2010 at 11:25 ප.ව.

        //ඒ කියන්නේ, කොල්ලා කෙල්ලට කෙල හල්ලනේ සමාජීය බැලපෑම නිසාද?// කොලූ සහජාසය (instinct) නිසා වන දේවල් ජීවවිද්‍යාවෙන් පැහැදිලි කර ගත යුතුය. සහජාසය කොල්ලා නොව බල්ලා වැනි භාෂාව හරහා නොසිතන සතුන්ටත් ඇත. කොල්ලා කෙල්ලට කෙල හල්ලනේඇයිදැයි Desmond Morris ගෙන් ඇසිය යුතුය. ​ මා කතා කරන්නේ සිතන පතන මිනිස් විෂය ගැනයි( In philosophy, a subject is a being that has subjective experiences ).

      • කොලූ said, on ඔක්තෝබර් 28, 2010 at 10:38 පෙ.ව.

        Kevin, True. But then again..
        “You don’t need a Harvard MBA to know that the bedroom and the boardroom are just two sides of the same ballgame.”
        – Stephen Fry

  5. කොලූ said, on ඔක්තෝබර් 27, 2010 at 3:13 ප.ව.

    B.Y,
    //අප කැමැති වුවත් නැතත්, ආගම සහ දර්ශනය අතර ඇති සමීප බැඳීම, විද්‍යාව හා දර්ශනය අතර ඇති බැඳීමට වඩා බෙහෙවින් ප්‍රබලයි. //
    A sweet lie – nevertheless a lie. If not for science, nobody even have chance to ask question. Without question, there won’t be any philosophy. Well. Maybe I’m wrong. Maybe there will be one or two who may ask question. But they won’t get to reproduce because they will burn, most probably alive, front of spectators. Religions are hanging on to philosophy now, the same way a parasite may hangs on to a host. They may hang in to something else in the future and call they are closer to that than something else.

    • B.Y. said, on ඔක්තෝබර් 28, 2010 at 1:30 පෙ.ව.

      A sweet lie – nevertheless a lie. If not for science, nobody even have chance to ask question.

      Sorry, perhaps I wasn’t specific enough, but the context should have been made it quite clear that I was referring not to theistic religions but mostly to Buddhism (or, if we get even more specific, early Buddhism.) There are those who may argue that early Buddhism is not even a religion, but this is not a very important question for me – the very fact that there are millions of people calling it a religion is sufficient for us to justify that label. However, when one fails to make the important distinctions between different religions and makes sweeping generalisations, like you have done above I’m afraid, we are only muddling the conversation.

      Free inquiry is not unique to the field of study that we now refer to as science. Science is but a recent step in a long journey of inquisitive humans. I don’t think this should necessarily be taken to mean that we are ‘progressing’ towards some hypothetical ‘enlightenement’ (i.e. understanding the ‘machinery’ of the multiverse) either. In philosophy, as far as I can see, there have always been a few major streams of thought that have resurfaced again and again. And sometimes, their proponents have been who we’ve later come to refer to as religious figures. Coupled with the simple fact that what we call science is a very recent phenomenon whereas philosophers/philosophies have been around as long as religions have (that is, thousands of years), it is natural that there is a lot of common and shared heritage between the two fields.

      Now, coming back to the early Buddhist spirit of free inquiry, please allow me to quote the Buddha:

      As they sat there, the Kalamas of Kesaputta said to the Blessed One, “Lord, there are some priests & contemplatives who come to Kesaputta. They expound & glorify their own doctrines, but as for the doctrines of others, they deprecate them, revile them, show contempt for them, & disparage them. And then other priests & contemplatives come to Kesaputta. They expound & glorify their own doctrines, but as for the doctrines of others, they deprecate them, revile them, show contempt for them, & disparage them. They leave us absolutely uncertain & in doubt: Which of these venerable priests & contemplatives are speaking the truth, and which ones are lying?”

      “Of course you are uncertain, Kalamas. Of course you are in doubt. When there are reasons for doubt, uncertainty is born. So in this case, Kalamas, don’t go by reports, by legends, by traditions, by scripture, by logical conjecture, by inference, by analogies, by agreement through pondering views, by probability, or by the thought, ‘This contemplative is our teacher.’ When you know for yourselves that, ‘These qualities are unskillful; these qualities are blameworthy; these qualities are criticized by the wise; these qualities, when adopted & carried out, lead to harm & to suffering’ — then you should abandon them.
      (Kalama Sutta)

      “Now I understand venerable sir. It seems as though something. over turned is reinstated. As something covered is made manifest. It is like the path is told to someone who had lost his way. It’s as though an oil lamp is lighted for the darkness, for those with sight to see forms. The Teaching is explained in various ways. Now I take refuge in the Blessed One, in the Teaching and the Community of bhikkhus. May I be remembered as a lay disciple from today until life lasts.”

      “Householder, think again, before you act, famous people like you, should think carefully before you act.”

      “Venerable sir, I am very much pleased with these words of the Blessed One.”
      (Upali Sutta)

      I was hoping that my earlier comment would spawn a discussion on the essential subjectivity of any interpretation of the ‘workings of the universe’. It is rather disheartening that we are going down an incidental byroad.

    • කොලූ said, on ඔක්තෝබර් 28, 2010 at 11:09 පෙ.ව.

      Excellent Comment. Enjoyed reading it. And enjoyed reading it again.

      Just because million call something a religion, that do not make it a religion. Just because million call bin laden a hero, he is not necessarily a one. I think you get my point. Millions often wrong.

      Nouns are generalized concepts. If you think Buddhism is someway in unique compared to other religions, or it is not productive to generalize Buddhism with the rest, we can use a deferent and specific noun to represent that, such as “Buddhism”.

  6. arunishapiro said, on ඔක්තෝබර් 27, 2010 at 4:13 ප.ව.

    කොලූ,
    ඔබ නිවැරදියි. ප්‍රශ්න නඟන්නට නොහැකි නම් දර්ශනයකට කිසිසේත් ඉඩක් නැත. දර්ශනයේ වැඩිය ඇත්තේ ප්‍රශ්න ය. පිළිතුරු සැපයීම තම තමන්ට බාර වෙයි.

    විද්‍යාවට පෙර මිනිසුන් සිටියහ. විද්‍යාව නොදැන පරිහරණය නොකර ඉන්නා මිනිසුන් අද ද සිටිති. විද්‍යාව නිසා ප්‍රශ්න අහන්නට වැඩි පිරිසකට හැකියාව ලැබී ඇති බව සත්‍යයකි.

    ආගම දර්ශනයෙන් ඉතා බැහැර වී ගොස් ය. ආගම දර්ශනයේ පරපෝෂිතයෙක් සේ එල්ලී සිටින්නේ නම් කිසිවෙක් කිසිවෙක්ව පුළුස්සන අවසානයක් දකින්නට නොවේ. දර්ශනයෙන් පටන් ගත් ආගම දර්ශනය හැර දමා තනි ගමනක යමින් සිටියි.

    B.Y. ද නිවැරදි ය. තම ජීවිතයේ ප්‍රශ්න වලට විද්‍යාවෙන් නොව ආගමෙන් විසඳුම් සොයනා අය ඇත. එහෙම කරන අය ලොව එක් පැත්තක අඩු වෙද්දී තවත් පැත්තක වැඩි වෙන්නේ ඇයි? ඔවුන් සියල්ල මියගොස් නැත.

    මෙහි දී ‘බැඳීම’ යන්නෙන් අර්ථ දක්වන්නේ උප්පත්තියෙන් වන ආගම උරුමය නොව භෞතික හා අධ්‍යාත්මික සහනය පුද්ගලයා විසින් සෙවීම සේ සලකා ඉහත ප්‍රතිචාරය දුන්නෙමි.

    • කොලූ said, on ඔක්තෝබර් 27, 2010 at 5:47 ප.ව.

      //විද්‍යාවට පෙර මිනිසුන් සිටියහ//
      මෙය “විද්‍යාවට, විද්‍යාවයැයී නාම පදය ලැබීමට පෙර…” යනාදි වශයෙන් විය යුතු බව මාගේ හැදීමයී. ආගම සම්බනදයෙනුත් එලෙසමය.

      (ගැටලුව: අපි සිතන්නේ වචන වලින්ද? වචන නැති තැන දැනුම නැද්ද?)

      ආගමේ ආරම්බය දර්ශණය නොව, දර්ශනයේ දුර්වලතාවය වීමට බොහෝ ඉඩ තිබේ. කුතුහලයෙන් පිරුනු මනසට, පිලිතුරු සොයා ගැනීමට නොහැකි වෙන විට, ආගමික පිලිතුරකින් සෑහීමකට පත්වීම අදත් සිදුවේ. කෙසේ වුවත්, ආගම සහ දර්ශනයද කුතුහලය පිනවීමට උදෙසාමය. මැක් ඩොනල්ඩ් මෙන්ම, ආත්තාමාගේ කිරි බතද, බඩ පිරවීම උදෙසාමය.

      //තම ජීවිතයේ ප්‍රශ්න වලට විද්‍යාවෙන් නොව ආගමෙන් විසඳුම් සොයනා අය ඇත//
      මෙය “විසදුම් සොයනා අය” වෙනුවාට, “සෑහීමකට පත් වෙන අය/පිලිතුරු ලබා ගන්නා අය” විය යුතුය. කුස්සි කෑල්ලේ පමණක් හැංගි හොරා හොයනා කොලුවා වාගේ, ආගම් තුල පමණක් පිලිතුරු සොයනා පුද්ගලයන් නැතැයි සිතිය නොහැක. සොයනා යමෙකු වෙයීද, ඒ දාර්ශනිකයෙකුම වෙයී. කුස්සියේ පමණක් සෙවීමෙන් හොරා සොයාගත හැකිද, නොහැකිද යන්න වෙනමම කාරනයකී.

  7. ishan said, on ඔක්තෝබර් 27, 2010 at 4:14 ප.ව.

    විශ්වයේ සැලැස්ම පැහැදිලි කරගැනීම ඉතා අපහසු කාර්යයක් ලෙසයි මම දකින්නේ,නමුත් එය කිසිවිටකත් නුතන විද්‍යාවෙන්නම් කල නොහැක,මන්ද ඔබ කියනා ලෙසම නුතන විද්‍යාව සෑම දෙයක්ම පිලිගනුලබන්නේ භෞතිකත්වය මතය,එය භෞතික පදනම මත සිට සෑම දෙයක්ම විග්‍රහකිරීමට පෙලබ වී ඇත.එසේම විද්‍යාවද මෙම විශ්වය තුල පවතින තවත් එක් ශාස්ත්‍රයක් පමනි,එහි විෂය පතය වී ඇත්තේ භෞතිකත්වයි.නමුත් භෞතිකත්වය පමනක් සෙවීමෙන් විශ්වය පිලිබදව සෙවිය හැකිද යන්න ප්‍රශ්නයක් මතුවේ.එසේම මෙම විශ්වය තුල අභෞතික දෙවල් බෙහෝමයක් ඇත,භෞතිකත්වය පදනමවු විෂයකට අභෞතික වු දෙගැන සෙවීමෙදී ගැටලු ඇතිවීම සිදුවේ.එසේම නුතන යේදී විශ්වය විග්‍රහ කිරීමට යොදාගන්නේද මෙම විශ්වය තුල පවතින එක් ශාස්ත්‍රයක් පමනි එය විද්‍යාව වේ.නමුත් එක් විෂය පතයකින් පමනක් මෙය කලනොහැකි බවයි මගේ හැගීම,මෙලෙස විශ්වය විග්‍රහ කිරීමටනම් මෙම ලොවතුල පවතින සෑම විෂයයක්ම යොදා ගතයුතුය,එවිට යම් විෂයකින් විග්‍රහ කල නොහැකි දෙය අනිකෙන් කල හැක,තවද මෙම විශ්වය තුල යම් විෂයක් හෝ යම් දැනුම් පද්දතියක් පවතිනේ නම් එය මෙම විශ්වයේ නිර්මානයට කෙසේ හෝ බලපා ඇත

    දර්ශනය මෙන් සෑම විෂයකින්ම ඒ පිලිබදව සෙවිය යුතුය,එසේම විශ්වය තුල පවතින සෑම දැනුම්සභාරයක්ම බිහිව ඇත්තේ මනස තුලින්ය,එනම් අපගේ මනසට ගොචර වන සෑම දෙයක්ම යම් ආකාරයේ දැනුමකි,මෙම ලොවතුල ඇති සෑමදෙයක්ම බිහිව ඇත්තේ මිනිසාගේ මනස තුලින්ය,දැනුම මෙන්ම අප භාවිතාකරන උපකරන ඇතුලු සෑම් දෙයක්මබිහිව ඇත්තේ මනසෙන්ය,ලොව මනස තුලින් බිහිවුවාසේම විශ්වය බිහිවීමට උපකාරී වී ඇත්තේ මනස බවයි මාගේ හැගීම,එනම් විශ්වය ගැන සෙවීමට පෙර පලමුව මනස ගැන සොයා ඉවරකල යුතුය.සියලු දේට හේතුව මනසය

    දර්ශනය යන විෂය මිය ගොස් ඇතිබවට ඔවුන් කර ඇති ප්‍රකාශය නම් ඔබ මෙන්ම මම ද පිලිනිගනිමි,මන්ද ලොව සිටිනා සෑම පුද්ගඉඅ යෙකුටම ඔහුට ආවේනික වු දර්ශනයක් ඇති බව මාගේ හැගීම වේ.යම් පුද්ගලයෙක් යම් මතයක එකග වන්නේ හෝ යම් මතයක් ප්‍රතික්ශේප කරනේ ඉහත සදහන් කල ඔහුගේ එම දර්ශනයට අනුකූලවය,ප්ලේටෝ,ඇරිස්ටොටල් වැන්න වුන් මෙන් සෑම මිනිසාම ප්‍රබල දාර්ශනික මත ඉදිරිපත් නොකලද සෑම කෙනාතුලම දාර්ශනික අදහස් පවතින බව මගේ මතය වේ.නුතනයේ සිදුව ඇත්තේ දර්ශනය මිය යෑම නොව දර්ශනික මතපිලිබදව අවදානය නොමැතිවීමයි.දර්ශනය මිය ගොස් නැත මිය ගියාකියා මිනිසුන් සිතාගෙන ඇත.එසේම එය මියයාමටනම් මිනිසුන්ද වදවිය යුතුය.

    මම ඔබගේ අලුත් පාඨකයෙක් වන අතරම දර්ශනය,මනෝවිද්‍යාව වැනි මාතෘකා ගැන ලිපි සැපයීම කිරීම පිලිබදව මගේ ස්තූතිය පුද කරමි.එතුලින් ඉගෙන ගැනීමට බොහෝ දෑ ඇතිබව මාගේ විශ්වාසයයි.මෙම කටයුත්ත තවතවත් සාර්ථක වේවාකියා පතමි.ඔබට ජය

  8. Dayal Dharmasena said, on ඔක්තෝබර් 27, 2010 at 6:54 ප.ව.

    //සයිරකස් විශ්ව විද්‍යාලයේ ‍මනෝවිද්‍යාඥ ස්ටෙෆනි ඔර්ටීග් මූලිකත්වයෙන් පිරිසක්//

    නිවැරදි කිරීමක්
    “Syracuse” යන්න කියවන්නේ “සිරකියුස්” ලෙසිනි.

    • arunishapiro said, on ඔක්තෝබර් 28, 2010 at 6:13 පෙ.ව.

      Dayal Dharmasena, නිවැරදි කිරීමට ඉතාමත් ස්තූතියි. මගේ සුද්දා මගේ ඔය වගේ වචන නිතරම හදනවා. ජන්මෙ ද පුරුද්ද ද මන්දා හැමදාම වැරදියට කියන වචන කිහිපයක් තවමත් තියෙනවා!!!

  9. […] තේරුම් ගැනීමට හැකිද කියා කිවූ ඇය විද්‍යාව යන වචනය කොතරම් භාවිතා කොට […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: