අරුණි ශපීරෝ‍ වෙතින්

පිරිසිදු ද? කුණු කන්දල් ද?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 2, 2010

‘පිරිසිදු’ යන වචනය විභාගයට ගනිමු.

පැල්ලමක් නැති පිරිසිදු රෙද්දක් ගැන හිතන්න. එහි දී එය පිරිසිදු යැයි කියන්නේ පැල්ලමක් නැති පමණින් ද? සෝදා පවිත්‍ර කළ පැල්ලමක් තිබි රෙද්දක් පිරිසිදු නොවේ ද?

පිරිසිදු කාමරයක බඩු භාණ්ඩ හැම අතකම විසිකර තිබුණත් කුණු දුහුවිලි නැත්නම් කාමරය පිරිසිදු ද?

තුවාලයක් පිරිසිදු වන්නේ එයින් ලෙඩ රෝග පැතිරෙන නොවිදියට පිරිසිදු නම් ද?

පිරිසිදු මැණිකක් නම් පළුදු නැති මැණිකක් ද? මඩ නැති මැණිකක් ද?

පිරිසිදු වගාබිමක් නම් හාරන්නට හැකි අස්වද්දත හැකි පස් යට ගල් නොපිරි වගා කළ හැකි භූමියක් ද?

පිරිසිදු රිය පදවන බලපත්‍රයක් යයි කියන්නේ කිසිම දඬුවමක්, දඩයක් නැති කොළ කෑල්ල ද, නැතහොත් කිසිම පැල්ලමක් දුහුවිල්ලක් නැති කොළ කෑල්ල ද?

පිරිසිදු වචනය කියන්නේ සරුප, කුණුසරුප යනාදිය නොමැති කතාබහ පමණක් ද?

පිරිසිදු තරඟයක් නම් නීතිගරුකව වදින තරඟය ද? අත්දෙක පිරිසිදුයි කියන්නේ කිසිත් වරදක් නොකළ අයෙක්ගේ අත් දෙක ද? කිළිටි නැති අත් ද? පිරිසිදු තරඟයක දී ප්‍රතිමල්ලයාට රිදෙන්න ගහන්න පුළුවන් ද?

පිරිසිදු ඉන්ධන නම් පරිසරයට හානි නොකරන ඉන්ධන ද? අනවශ්‍ය දෑ මිශ්‍ර නැති ඉන්ධන ද?

ඇඟ පිරිසිදු යයි කියන්නේ සබන් ගා නා ගැනීමෙන් පසුව ද, නැතහොත් ඇඟ තුල මත්ද්‍රව්‍ය හෝ ලෙඩ රෝග කිසිත් නැති බව ද?

සිත පිරිසිදුයි කියන්නේ කිසිත් රාග, ද්වේෂ, මෝහ නැති සිතක් ද? නිරෝගී මානසික තත්වයක් ද? ආදරයේ හෝ වියෝගයේ ආවේග නැති සිතක් ද? ගැතිවාදී නොවන නිදහස් නිරවුල් සිතක් ද?

ඉහත සියල්ලම එකම ආකාරයක ද? නැත්නම් විවිධාකාර ද? නැත්නම් යටින‍් දිවෙනා වූ එක හා සමාන අරුතක් සියල්ලටම පොදු වේ ද? නැතහොත් එකම අරුත විවිධ මට්ටම් වලින් හා විවිධ රාමු වලින් යුතු වේ ද? එක තැනක දී පිරිසිදු යමක් තවත් තැනක දී පිරිසිදු නොවනවා ද?

විශ්වයේ හා මිනිසාගේ සංකීර්ණත්වය කෙසේදැයි සොයද්දී මෙහි අරුත් සියල්ල වෙන් වෙන් කර පැහැදිලි කරගන්නට සේ ම, ඒ තුලින් දුවනා වූ යම් මූලික සංකල්පයක් ද දැකගත හැකි ද?

පුරාතන ග්‍රීසියේ සොක්‍රටීස් ඇතැන්ස් නගරයේ වීදි‍ අතර හා කඩමණ්ඩිවල ඇවිද්දේ මිනිසා කුමක් හෝ දන්නවා ද යන්න විචාරයට ය. තමන් කිසිත් නොදන්නා බව සොක්‍රටීස් කියා සි‍ටියේ ය. ඩෙල්ෆියේ ඔරකලය සොක්‍රටීස් මිනිසුන් අතර ඥානවන්තම මිනිසා යැයි අනාවැකි කියූහ. තමන් කිසිත් නොදන්නා බව සොක්‍රටීස් දැන සිටි අතර අනිකුත් අය තමන් යමක් දන්නා බව වැරදියට සිතාගෙන සිටියහ.

සොක්‍රටීස්ගේ සෑම සංවාදයක් ම කොටස් තුනකින් සමන්විත ය. ඔහු සංවාදය ප්‍රශ්නයකින් පටන් ගනියි. සද්ගුණය කුමක්දැයි ඔහු අයෙක් ගෙන් අසයි. එය විස්තර කරන්නට යන්නා සොක්‍රටීස්ගේ ගැටයේ අහුවෙන්නේ තමන් යමක් දන්නවා යැයි සිතාගෙන ය. විචාරයේ දෙවැනි කොටස වන්නේ ඒ විස්තරය ඉදිරිපත් කරන්නාගේ නිර්වචන, දන්නවා යැයි සිතූවට එළඹෙන ආකාරය, එය භාවිතය ගැන හාරා අවුස්සද්දී ය. මෙහි දී බොහෝ අය තමන් නිසියාකාරව නොදන්නා බව පිළිගනිති. ඔහුගේ විචාරයේ තුන්වැනි කොටස වන්නේ දෙපාර්ශවයම නොදන්නා දෑ පිළිබඳ සත්‍යය සොයා යන්නට එකඟතාවයකිනි. සෑම සොක්‍රටීසියානු සංවාදයක්ම අවසන් වන්නේ අවිනිශ්චිත බවෙනි.

සොක්‍රටීස්ට තම ආනුගාමිකයන්ට සත්‍යය දිය නොහැකි ය. ඒ ඒ අය තමන් විසින්ම සත්‍ය සොයාගත යුතු ය.

පිරිසිදු පුද්ගලයා පිරිසිදු ද යන්න ඒ ඒ අවස්ථාවල දී ඒ ඒ ආකාරයන් හැඳිනගන්නට අපට හැකියාවක් ඇත. සමහර අවස්ථාවල දී අපි ඒ ගැන අවධානයක් යොමු නොකිරීම නිසා වැරදි වැටහීමක එල්බ සිටින්නට ද පුළුවන. තවත් සමහර අවස්ථාවක දී අපි ‘පිරිසිදු’ යයි සලකන්න තවත් අයෙක් ‘පිරිසිදු’ යයි සැලකීමෙන් නොවනවා විය හැකිය. උදාහරණයක් ලෙස මේසයක් මත සියළු පොත්පත් විසුරුවා තබනා අයෙක් හා සියල්ල පිළිවලකට අස්පස් කර තබන්නා යන දෙදෙනා අතර වෙනස ගැන හිතන්න.

වර්තමානයේ දී තමාට පාලනය කරගත නොහැකි වූ -obsessive-compulsive disorder- නැමති මානසික රෝගය ඇති අයෙක් මේසය මත සියළු පොත්පත් විසුරුවා තැබීම ‘පිරිසිදු’ නැතැයි කියනු ඇත. එහෙත් කම්මැලියා ද එය ම කියනු ඇත. මානසික රෝගියාට ඇති වැටහීම ලෙසින් නොව කම්මැලියාට ඇත්තේ වෙනස් වැටහීමකි. එසේම දෙදෙනාම ඊට ප්‍රතිචාර දක්වන්නේ ද දෙයාකාරයකට ය. මානසික රෝගියා නිතරම මේසය අස්පස් කරයි. පිලිවෙල යාන්තමින් නැති වූ විට මානසික පීඩාවකට ගොදුරු වේ. කම්මැලියා අස්පස් නොකරයි. අවුල ගැන පීඩාවක් ද නැත.

එයින් තවත් අන්තයකට යන මානසික රෝගී තත්වයක් ඇත්තා –compulsive hoarding– සියළු කුනු කන්දල් එක් රැස් කරයි. එවැන්නාට කුණු කන්දල් පුරවා ගැනීම කිසිම අපිරිසිදුකමක් නොවන්නේ ය. සැන් ඩියාගෝ විශ්ව විද්‍යාලයේ මොළ අධ්‍යයනය යෙදෙන Sanjaya Saxena වැනි අයට පර්යේෂණ පවත්වත හැකිවන්නේ ඔවුන් එසේ කුනු කන්දල් රැස් නොකරන අවස්ථාවල දී පමණි. කනෙටිකට්හි හාට්ෆර්ඩ් රෝහලේ දී David Tolin එවැන්නෝට කුනු කන්දල් ඉස්පිරිතාලයට රැගෙන එන්න යැයි කියා ඔවුන් තම කුණු කන්දල් දිහා බලද්දී මොළයේ ඇතිවන විපර්යාසයන් අධ්‍යයනය කරයි. රසායනික වෙනසක් ඇති කරනවා බව පෙනුන ද ඒ වෙනස ඇති කරන කුණු කන්දල් දැකිය හැකි වුව ද, ඒ අයගේ මොළයේ වෙනසක් ඇති කරන්නත්, ඒ අයට පමණක් ඒ වෙනස බලපාන්නටත් හේතුව කුමක් දැයි පැහැදිලි නැත.

ජාන විද්‍යාඥයෝ කියන්නේ මෙසේ කුණු කන්දල් එකතු කරන හැදියාවට ජාන බලපෑමක් ඇතැයි කියා ය. එහෙත් එය කුමක්දැයි ඔවුන් තවම සොයාගෙන නැත. මතකය පිළිබඳ වූ අතීත සටහන් වලින් යම් බලපෑමක් ඇත්දැයි ද විමර්ශනය වෙයි.

මානසික රෝගී තත්වයක් පැහැදිලි කර ගැනීමට මොළයේ විද්‍යුත් රසායනික ක්‍රියාවලිය මඟින් පමණක් දැකීමෙන් කළ නොහැකි ය. නිරීක්ෂණය ඉතා සංකීර්ණ වූ සංසිද්ධි වටා එතෙන නිසා; පරම්පරාගත ජාන, අතීත මතක සටහන්, මොළයේ රසායනික වෙනස නිකම්ම හටගන්නවා ද ඒ නිසා කුණු කන්දල් එකතු කරනවා ද, නැතහොත් යම් සිතුවිල්ලක් මූලික වී ඒ නිසා රසායනික වෙනස හටගෙන එයින් කුණු කන්දල් එකතු කරනවා ද, නැතහොත් යම් දර්ශනයක් දැකි නිසා එයින් ඇති වූ සිතුවිල්ලක් මූලික වී ඒ නිසා මොළයේ රසායනික නිෂ්පාදනයක් සිද්ධ වී ඉන් කුණු කන්දල් එකතු කරනවා ද යනු සියල්ල මැන බලා අවබෝධයක් ලබත නොහැකි සම්පූර්ණ නොවන අධ්‍යයන පමණක් වෙයි.

තමා ගැන වුව ද බොහෝ දේ නොදන්නා පුද්ගලයෝ බොහෝ ය. අනිත් අයෙකුට නොකියන දෑ බොහෝ ය. ඒ සියළු අභියෝග ඉදිරියේ අන් කෙනෙක් පිළිබඳව සොයාගත හැකි, අවබෝධ කරගත හැකි සම්පූර්ණ පින්තූරය ඉතා දුර්වල කටු සටහනක් වීම පුදුමයක් නොවේ.

පිරිසිදු බවින් තොරවීම හැමදා ස්නානය කරන්නාත්, ඉඳහිටක ස්නානය කරන්නා අතරත් කලාතුරකින් ස්නානය බලහත්කාරයෙන් කළ යුත්තා අතරත් යම් මැදක වූවක් ද?

පිරිසිදු තැනැත්තා දිනපතාම ස්නානය කරන්නා ද? කොහේ හෝ පිටතකට ‍ගොස් ගෙට ගොඩවැදි විගස ස්නානය කරන්නා ද? කා හා අතට අත දුන් පමණින් ස්නානය කරන්නා ද? සමාජයේ පිළිගත් මතයට අනුව ඉන්නා මානසික රෝගියෙක් නොවද්දී ඊට එරෙහිව යන්නා මානසික රෝගියා ද?

අපිරිසිදුව ඉන්නා, එහෙත් ඉන් කිසිම පීඩාවක් නොලබන කම්මැලියාගේ මොළයේ විපර්යාසයක් නැතිකම හෝ එහි විද්‍යුත් රසායන නිෂ්පාදනය වෙනස්/මඳ නම් ඊට ප්‍රතිකාර දිය යුතු ද?

මේ තීරණ පැහැදිලි කරන්නට මිනුම් දණ්ඩක් ඇත්තේ කා අත ද?

අද ඇමෙරිකාවේ සතුන් යම් ගණනකට වඩා එකතු කරන අයට විරුද්ධව නීතිමය පියවර ගත හැකිය. එක් එක් දිස්ත්‍රික්කයට අනුව, එක් එක් ප්‍රාන්තයට අනුව තනි නිවෙසක, තට්ටු මහල් නිවසක හදාවඩා ගත හැකි සුරතල් සත්වයන් වර්ග හා සංඛ්‍යාව නීතිගත ය. කුණු කන්දල් එකතු කරනා සේ සුරතල් සත්තු එකතු කරන මානසික රෝගීන්ට විරුද්ධව නීතිමය පියවර ගත හැකිය.

තට්ටු මහල් නිවෙස්වල හෝ තනි නිවෙසක වුව ද කෙනෙක් තම සෞඛ්‍යයට අහිතකර සේ කුණු කන්දල් ගොඩ ගසාගෙන සිටින්නේ නම් ඒ අයව එතැනින් ඉවත් කර, සමාජයේ මුදලින් ඒ අයගේ නිවාසය සුද්ද පවිත්‍ර කර, පුද්ගලයාට මානසික සුවය ලබා ගැනීමට ප්‍රතිකාර නියම කළ හැකිය. කොතරම් මට්ටමකින් පහත එය කම්මැලියා සිය කුණු කන්දල් ඉවත් නොකිරීම ද නැතහොත් රෝගී තත්වයක් ද යන්න ගැන ඇති මිණුම් ඒ ඒ අවස්ථාවට අනුව අද තීරණය වෙයි. පැහැදිලි වූ ලෙසකින් එය මානසික රෝගයක් ද නැද්ද යන්න පෙන්විය නොහැකි නිසා සමහර අවස්ථාවල දී නීතියේ හා මනෝවිද්‍යාඥයෙකුගේ සහයෙන් තමන් අකමැති අයෙක්ව නිවසකින් එළවා ගන්නට ද ඉඩකඩක් ලැබේ.

පින්තූරයට ස්තූතිය විකිපීඩියාවට. ඒ මගේ කාමරය නෙමේ!

11 Responses

Subscribe to comments with RSS.

  1. SriBiris said, on නොවැම්බර් 2, 2010 at 2:36 ප.ව.

    හුටා! අදනෙ දන්නෙ. මටත් ඔය compulsive hoarding ලෙඩේ ලාවට තියෙනවා නෙව. අර පින්තූරෙ තරම්ම නරක නැති වුනත් මගේ කාමරෙත් ටිකක් ඒ වගේ තමා.

    මම දන්න හාදයෙක් උන්නා. මිනිහගෙ ලෙඩේ අසීමාන්තික පිරිසිදුකම. කොච්චෝරවත් අතපය හෝදනවා. පිටතැනකට ගියාම තේ බොන්නෙ කෝප්පෙ අනිත් පැත්තෙන් -හැමෝම බොන පැත්තට විරුද්ද පැත්ත. මයෙ හිතේ ඒකත් එක්තරා විදිහක මානසික ලෙඩක්.

  2. ishan said, on නොවැම්බර් 2, 2010 at 6:18 ප.ව.

    මෙය කියවන විට ඔබ පෙන්වීමට උත්සාහ කරනා ප්‍රශ්න සියල්ලම මගේ සිතෙත් පැන නැගිනි,ඇත්තටම පිරිසිදුයි කියන්නේ කුමක්ද?පිරිසිදුයි කියාදෙයක් පවතිනවාද?එය කෙසේද?එහි පැවැත්ම කුමක්ද?එසේම් මිනිසාතුල පවතින සෑම ඇගයුමක්ම සැබැලෙස පවතින දේවල්ද?නැත්නම් මේ සියල්ල මායාවන්ද?

    ඒවගේම තවත් පොඩි ප්‍රශ්ණයක් ඇතිවුනි එනම් අපි දන්නේ මොනවද යනුවෙනි?

  3. SriBiris said, on නොවැම්බර් 2, 2010 at 7:21 ප.ව.

    අපි මානසික රෝගීන් මනින මිනුම් දණ්ඩ කිවාම , මට කතාවක් මතක් වුනා. කොහොම වුනත් කාටත් ලාවටවත් ටිකක් පිස්සු කියලයි මට නං හිතෙන්නෙ.

    දවසක් ඔය මානසික රෝගීන්ගේ නේවාසිකාගරයකින් ශ්‍රමදානයක් සංවිධාන කලාලු. ඉතිං කට්ටියක් පස් කපනවල්ය්, අනික් කට්ටිය ඒ පස් අදිනවාලු. එක පොරක් විතරක්, විල්බැරෝවක් කණපිට හරෝගෙන , පස්ගොඩ ගාවටයි, ඒවා ගිහින් දාන්න ඕනෙ තැනටයි කඩියා වගේ යනවා, එනවාලු. මේක බලා ඉන්න බැරිමතැන රෝහලේ සේවකයෙක් පොරට කතා කරලා “ඒයි පිස්සා, මොකද්ද මිනිහෝ උඹ ඔය විල්බැරෝව කණපිට හරෝගෙන කරන පිස්සු වැඩේ” කියලා ඇහුවාලු. එතකොට මිනිහා කිව්වාලු” හුහ්,උඹ හිතුවාද මට පිස්සුයි කියලා මේක හරි පිට හරෝගෙන යන්න? එතකොට අරුන් මේකට පස් පුරෝනවානෙ” කියලා. ප්‍රශ්ණෙ , කාටද පිස්සු, කාටද නැත්තෙ කියලයි?

    මෙච්චර වැදගත් ලිපියකට මේ වගේ පිස්සු කතන්දර ලියපු පිස්සාට සමාවෙන සේක්වා!

  4. Praveena said, on නොවැම්බර් 2, 2010 at 8:04 ප.ව.

    තමා ගැන වුව ද බොහෝ දේ නොදන්නා පුද්ගලයෝ බොහෝ ය. අනිත් අයෙකුට නොකියන දෑ බොහෝ ය. ඒ සියළු අභියෝග ඉදිරියේ අන් කෙනෙක් පිළිබඳව සොයාගත හැකි, අවබෝධ කරගත හැකි සම්පූර්ණ පින්තූරය ඉතා දුර්වල කටු සටහනක් වීම පුදුමයක් නොවේ.

    මෙන්න මේක නම් හරිම ඇත්තයි අරුනි.

    • arunishapiro said, on නොවැම්බර් 3, 2010 at 9:02 පෙ.ව.

      Praveena, ඔයා ඒක පෙන්වද්දී මට තවත් කාරණාවක් මතක් වුනා; පුද්ගල‍යෝ ගැන නිවැරදි වැටහීමක් ලබන්න නොහැකියාව තිබිය දී අපි සමහර අයව වෙනස් කරන්නත් පුළුවන් කියල විශ්වාස කරන එක. යාළුවෙලා ඉන්න ආදරවන්තයා/තිය ගේ එක වැරැද්දක් දැකලා අනේ ඒක හදාගත්තොත් ඔක්කොම හරි කියල හිතන අය කොච්චර ද? 🙂

  5. Ravi said, on නොවැම්බර් 3, 2010 at 8:44 පෙ.ව.

    අරුණි,

    විචාරාක්ෂිය බලෙන්ම විවෘත කරවන හරවත් ලිපියක්,

    පිරිසිදු රෙද්ද ගතහොත් එහෙම දෙයක් මෙලොව පැවතිය හැකිද?

    මොනතරම් පිරිසිදු රෙද්දක වුවද ලක්ෂ සංඛ්‍යාත විෂබීජ රැඳී පවතින නිසා එය පිරිසිදු රෙද්දක් යයි නිර්වචනය කල හැකිද?

    මෙලොව සැමදෙයක්ම අනිවාර්යයෙන් සාපේක්ෂ බව නොවේද මින් හැඟෙනුයේ?

    • arunishapiro said, on නොවැම්බර් 3, 2010 at 10:05 පෙ.ව.

      Ravi,
      සිතන්නට හැකි මිනිසා නොමැති නම් ලොව හැම දෙයක් ම අනිවාර්යෙන් ම සාපේක්ෂ ද?

      සිතන්නට හැකි මිනිසා නිසා හැම දෙයක ම අනිවාර්ය වූ සාපේක්ෂ බවක් සිතන්නට හැකි මිනිසා ට පෙනෙනවා ද?

      සිතන්නට නොහැකි මිනිසාට ලොව කුමක වුව ද සාපේක්ෂ බවක් නැද්ද?

      • B.Y. said, on නොවැම්බර් 3, 2010 at 10:31 පෙ.ව.

        “සිතන්නට නොහැකි මිනිසා” is an oxymoron.

        • arunishapiro said, on නොවැම්බර් 3, 2010 at 10:52 පෙ.ව.

          B.Y. අධිමූර්ඡිත (comatose) මිනිසාට සිතන්නට හැකියාවක් ඇත් ද? නැතහොත් සිතන සිතුවිලි අධිමූර්ඡිත බවෙන් ගොඩ එද්දී මතකයේ නැද්ද? මා දන්නා ලාංකිකයෙක් අධිමූර්ඡිත තත්වයක සිටියේ ය. වසරක් පමණ කාලයක් වෛද්‍ය උපකරණ සහායෙන් හුස්ම ගත්තේ ය. ඔහුව ඒ කාලය තුල දී බලා කියා ගත් අයගේ සහායට නිතිපතා ගියෙමි. සිතන්නට හැකි සිහියක් නොමැති කාලකයකට පසුව කාලයක් ඔහුගේ සිතන්නට හැකි සිහිය පැවතියේ විකල් තත්වයක ය. එහෙත් වසරකට පසුව පියවි සිහියට ආ ඔහුට ඒ සිහිය නොමැති කාලයෙන් එපිට අතීතයේ වූ තොරතුරු මතකයේ විය. අධිමූර්ඡිත තත්වයක සිටිනා අයෙක් යළි පියවි සිහියට පැමිණීමට හැකියාව ඇත්නම් ඔහු සිටි අධිමූර්ඡිත තත්වය දී ‘සිතන්නට නොහැකි මිනිසෙක්’ වෙන්නේ ද?

      • B.Y. said, on නොවැම්බර් 3, 2010 at 11:14 පෙ.ව.

        අධිමූර්ඡිත (comatose) මිනිසාට සිතන්නට හැකියාවක් ඇත් ද? නැතහොත් සිතන සිතුවිලි අධිමූර්ඡිත බවෙන් ගොඩ එද්දී මතකයේ නැද්ද?

        I have no idea, but tend to think it’s the latter. If the former, at least for the period he’s comatose, we can probably drop the label මිනිසා as it applies in this context.

        In Buddhist cosmology there’s a class of beings called asañña satta (non-perceptive beings) – a paradoxical name indeed. There’s also saññā-vedayita-nirodha (extinction of feeling and perception), a meditative state accessible only to certain Arahats who have mastered the eight liberations. Unfortunately I have no experience (direct or otherwise) with either of these 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: