ආරේ ගුණ නෑරේ
මෙයින් කියන්නේ පුද්ගලයා හුරු පුරුදු දෑ ගුණ යැයි අල්ලා ගෙන සිටීම ද? නැතහොත් හුරු පුරුදු දෑ හි ගුණ ඇති නිසා ඒවා අත්නොහරින්න කියා ද? නැත්නම්, පරම්පරාගතව ගුණ පැවතේ කියා ද?
වසර 118 ක් තිස්සේ කියවන්නට ලියන්නට නොදත්තෝ බහුතරයක් විසින් කරගෙන යන්නා වූ සාර්ථක ව්‍යාපාරයක් ගැන අහන්නට ලැබෙන්නේ ඉන්දියාවෙන්. එය ටිෆින් නොහොත් දිවා ආහාර පෙට්ටි රැගෙන යන්නා වූ dabbawallah ගේ කතන්දරයයි.
මුම්බායි නගරයේ පමණක් සඳුදා දිනයේ සිට සෙනසුරාදා දක්වා 200,000 කට අධික පිරිසකට පනස්දාහක සේවක පිරිසක් විසින් දිවා ආහාර පෙට්ටි එහා මෙහා ගෙන යති. එක් අයෙක් සාමාන්‍යයෙන් පෙට්ටි 40 ක් පමණ ආහාර පිළියෙල කරදෙන නිවසින් රැගෙන කාර්යාලටත් එතැනින් අහවර වූ හිස් පෙට්ටි නැවත නිවසටත් ගෙන යති. එය ඔවුන්ගේ රැකියවයි.
මුලින්ම මෙය පටන් ගැනුනා යයි කියන්නේ එක් බැංකු නිලධාරියෙක් තම බිරිඳ පිසූ කෑම කාර්යාලයේ දී ද දිවා ආහාරයට ගන්නට කැමති වූ නිසා ය. ඒ වසර ශතකයට පෙර දී ය. හුරු පුරුදු ගෙදර ඉයූ රස ආහාර වේලට ඇති ආශාව ලෝක කීර්තියට පත් ව්‍යාපාරයක් වන්නට සමත් වූයේ ‘ආරේ ගුණ නෑරේ’ නිසා ද?
Forbes Global මේ ව්‍යාපාරයට සිග්මා හයක කාර්යක්ෂම ප්‍රමිතියක් දී ඇත. dabbawallah සංගමයේ සභාපති මනිෂ් ත්‍රිපති හාවඩ් විශ්ව විද්‍යාලයටත් (Harvard business school) ලෝකය පුරා Pos Malaysia වැනි වෙනත් ව්‍යාපාරික හමුවන් වෙත ද ගොස් මේ දක්ෂ පිරිසගේ සේවය ගැන කතා පවත්වයි.
දිවා ආහාර පෙට්ටි එහා මෙහා ගෙනියන මේ ව්‍යාපාරයේ උසස් තනතුරු හා පහත් තනතුරු කියා නැත. සියල්ලෝම සේවකයෝ ය. අයිතිකාරයෝ, විධායක නිලධාරියෝ හෝ සුපිරින්ටැන්ඩන්වරු නැත. උදෑසන අටට පමණ නිවෙස් වලින් දිවා ආහාර පෙට්ටි එකතු කරගෙන යන ඔවුන් ආපහු නිවෙස්වලට හිස් පෙට්ටි ගෙනි යන්නේ සවස් කාලයේ ය. බිරිඳ වෙතින් සැමියාට යන ටිෆින් පෙට්ටිය මහමඟ දී දළ වශයෙන් හතර වතාවක් අතින් අතට මාරු වෙයි. බෙදාහැරීමේ සැලැස්ම ශතවර්ෂයකට එහා සැලසුම් කරන ලද්දකි. අද දිනයේ විශේෂඥයෝ එය විමසුමට භාජනය කරද්දී සොයාගෙන ඇත්තේ මේ සැලැස්ම යටතේ වැරැද්දක් වීමේ ප්‍රතිශතය මිලියන 16 ක එහා මෙහා යාමේ දී එකක් යැයි කියාය.
මනිෂ් ත්‍රිපති කියන්නේ සැමියා බිරිඳට ආදරය නොදැක්වූ දාට ඔවුන්ගේ රැකියාව ලොවින් තුරන් වේ කියා ය. Dabbawallah රැකියාවේ යෙදෙන්නේ මාරතී කුලයේ අයය. ඔවුන් එකම DNA ජානුවකින් පැවත ඒ යයි ද, අවශ්‍ය පමණට වඩා වැඩි කුසලතා ඇති අයෙක් රැකියාවට ගන්න එපා එවිට ඔහු ප්‍රශ්න ගොඩක් අහනු ඇතැයි ද මනිෂ් කතා පවත්වද්දී විහිළු කරයි.
මේ කතාව කියවද්දී මට මතක් වුනේ අද කතාබහේ පවතින තරබාරු හා කැහැටු ප්‍රතිපත්ති ගැන ය. කෑම යහමින් ඇති ලෝකයක පුද්ගලයෝ කෙමෙන් තරබාරු වෙති. ඔවුන් තම හැදියාව වන ‘ආරේ’ ගැන කතාබහට වඩා කතාබහේ යෙදෙන්නේ කෑම බීමේ ‘ගුණ’ ගැන ය!
පළාතට ආවේණික ආහාර එදා අපි කැලෙන්, වෙලෙන්, ඉනි වැටෙන් නියරෙන් හොයා ගත්තා යැයි කියන පහත ‘තරුණි’ ලිපිය කියවන්න. අද සුපර් මාකට් යන්නා උත්සාහගන්නේ, ලෝකයේ නන් දෙසින් ආ කෑම, රාක්කයෙන් බක්කියට දා ගන්නට වෙහෙසක් පමණි. එහි දී තෝරා ගන්නා කෑම ‘රාක්කයේ ජීවිතය’ (shelf life) කොතරම් ගෙව්වා ද යන්න ගැනත්, එහි ගුණ අගුණ ශරීරයට බලපාන්නේ කෙසේ ද යන්න ගැනත් වඩා වෙහෙසන පුද්ගලයෝ කොතරම් ප්‍රමාණයක් එය ශරීරගත කරනවා ද යන්නට දෙන්නේ ඉතා අඩු අවධානයකි.
අඩුවෙන් කා මහත් වූ අයෙක් මා හට තවමත් මුණ ගැසී නොමැත!
ලංකාවට ආවේණික මුකුණුවැන්නා වගාවක් සරුව පවත්වා ගෙන යන ලංකාවෙන් ආ අයෙක් මේ අහලක පදිංචියි. කංකු වගාව කාලයක් මෙහි ජනප්‍රිය වුව ද එය ලෙඩ රෝග පතුරුවාලනවා යැයි තහනමකට ද භාජනය විණ. පහුගිය දවසක Puerto Rico eating pumpkin ගෙඩියක් ඒ රටින් මෙහි අවුත් ජීවත්වන මිත්‍රයන් වෙතින් තෑගි ලැබිණ. එය ලංකාවේ වට්ටක්කා ගෙඩියක් හා බෙහෙවින් සමාන ය. තම තම රටට ආවේණික ආහාර තම තමන් යන නුහුරු දේශවලට රැගෙන යාම ‘ආරේ ගුණ නෑරේ’ ගති විලාශයක් ද? ගුණ කෙසේ වෙතත් හුරුව ඇති රස කැමැත්ත නම් නෑරේ නිසා ද?
ලංකාවේ දී ප්‍රිය කරපු අගුණ කොළ මැල්ලුම ගැන මතක්වෙද්දී තවමත් කටට කෙළ උනයි. එය බෝතල් කරන්නට බැරි, හදපු ගමන් කන්නට අවශ්‍ය නැවුම් මැල්ලුමක් නිසා මේ පැත්තට එවන්නට හැකි dabbawallah සැලසුම්ගත විධියක් කවුරු හෝ සකස් කරනු තුරු පෙරුම් පුරමි!
ටිෆින් පෙට්ටියේ පින්තූරය TFODE අඩවියෙනි. පුංචි කාලේ කාපු කෑම රහ මතක් කරලා හිත් රිදවන තරුණි ලිපිය එව්වාට නයෝමාල් ට ගොඩක් ස්තූතියි. කුරක්කන් තලප හදන්නට සති අන්තයේ තැතක් ගනිමි. මේ දිනවල ඩෙලවෙයාර් ප්‍රාන්තයේ මුව දඩයම් කාලයයි. වට්ටක්කා ගෙඩියත් ළඟ ඇති නිසා පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ මුතුලතා බෝමුල්ල විසින් වට්ටෝරුවේ කියූ ආකාරයටම රස බලන්නට වුවත් හැකියි.
බොහොම ස්තුතී. ලබු කොල මාලුව නම් අපේ අම්මා තාමත් හදනවා හරිම රසයි.
udayangani,
ලබුකොළ මාළුව නම් රස බලලා නැහැ. ලංකාවට ආ දවසක හොයලා බලන්න ඕනා.
හුහ්! ලබුකොල මාළුව? අපිට කොයින්ද ටොමියෝ බූල්?
අර ඉංදියාවේ “ට්ෆනි-වාලා” කස්ටිය කෑම පෙට්ටිවල මොකක්ද කෝඩ් එකක් ලියනවාලු. ඒක නිකං මේ UPC කෝඩ් එක වගේ එකක්ලු. මේ කෝඩ් එක දිහා බලල ඒ කෑම පෙට්ටිය යන්න ඕනෙ කොයි පලාතෙ කොයි බිල්ඩිමේ කාටද කියලා කියන්න පුළුවන්ලු. මේ කස්ටියට ලියන්න කියවන්න බැරිවුනාට අර කෝඩ් එක කියවන්න පුළුවන් ඇති, හරියට මලපොතේ අකුරක් බැරි අපේ අයියලා රේස් පත්තරේ කියවනවා වගේ.
මට මතක විදිහට, ඉංදියාවෙ ඉන්න 100% ශාක-බක්ෂක කස්ටිය වැරදිලාවත් කෑමපෙට්ටිය මාරු වුනොත් කන්නෙ නෑලු. ඒකට අපි! අනේ අපේ නෑනෙ ඔහොම බේද. අවුරුදු බරගානකට ඉස්සර ලංකාවෙ කොච්චියෙ වැඩට යද්දි මගේ කෑම එකත් මාරු උනා. මම නං ඉතිං පිං දිදී හොඳ රස ගෙදර හදාපු ඉඳි ආප්ප මුලක් කොටා බෑවා. මගේ කෑම එක කාපු ගොයියා නං අපේ පරම්පරාවටම පිං අනුමෝදං කරන්න ඇති. ඊට පස්සෙත් මං මගේ කෑම එක මාරුවෙයි කියලා දත මැද ගෙන බලාගෙන හිටියට, වැඩේ හරිගියෙ නෑ
SriBiris,
එහෙ අය මස් දාලා හදන කෑම වුනත් හඳුන්වන්නෙ ශාක භක්ෂක නොවන කෑම (non veg) කියලනෙ. India: default food = vegetarian
ඊයේ අපි කුරක්කන් තලප හදලා කෑවා. ගුලි කලේ නම් නැහැ. හැන්දෙන් තමයි කෑවේ. හැබයි හොඳ රසට තිබුනා.
Thanks Aruni.
Praveena, මගේ කුරක්කන් තලප ටිකක් ඝන වැඩිවුනා. හැබැයි වට්ටක්කා හොද්ද නිසා ගොඩ! දැන් ආයෙ හරියට හදාගන්න දන්නවා.
ඔන්න අපි දෙන්නා කතාවුනා මේකෙන් ඉස්සෙල්ලම වන්ඩු ආප්ප හදන්න ට්‍රයි එකක් දෙන්න . . හොඳට ආවොත් කියන්නම්කෝ . .. බොහොම ස්තූතියි අරුණි.
දුකා, කැන්ද කොළ වෙනුවට ඔයාල ගන්නෙ මොකක් ද? මං ගන්නෙ Aluminum Foil. කැන්ද කොළ රහ මුසු නැහැ ඉතින්.
[…] ඉන්නවනං මේන්න මේ කමු බොමු එකෙනුයි අරුණි අක්කගෙනුයි අගල […]
[…] ඉන්නවනං මේන්න මේ කමු බොමු එකෙනුයි අරුණි අක්කගෙනුයි අහල […]
[…] ඉන්නවනං මේන්න මේ කමු බොමු එකෙනුයි අරුණි අක්කගෙනුයි අහල බලන්නකො. Rate this: බෙදා හදා ගන්න […]