අරුණි ශපීරෝ‍ වෙතින්

රුසියාවෙන් සෙනෙහස සමඟින්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 10, 2010


From Russia with Love (1963) ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියට එහෙම නම වැටුනට අද රුසියන් බුද්ධිමත් රූමතියෝ මේ ආකාරයෙන් පණිවුඩය යවන්නේ රුසියාවේ ව්ලැඩමියර් පූටින් වෙතට. මොස්කව් ජාතික විශ්ව විද්‍යාලයේ පුවත්පත් කලාවේදය හදාරන ශිෂ්‍යාවන් පිරිසක් යට ඇඳුම් වලින් සැරසී පූටින්ගේ උපන් දිනයට සුබ පතන්න හදපු කැලැන්ඩරයේ පිටුවක් ඔය ඉහළ.

ඇමෙරිකාවේ විකුණන ප්‍රමුඛ කාන්තා යට ඇඳුම් නිමි කරන ලංකාවේ කම්හලක මල්ලි කෙනෙක් මට කිව්වා මෙච්චර විච්චූර්ණ දාලා ‘යට’ ඇඳුම් හදන එක හරි අපරාධයක්නෙ කියලා! අර කළින් දවසක කිව්වා වගේ ඒවා විකුණන බඩු ලැයිස්තු වෙබ් අඩවිය දැක්කොත් ඔය ලංකාවේ කාමෝද්දීපනයට එරෙහිව නීති හදන අයට තවත් වැඩ ගොඩ වෙයි. මොකද ඒක බඩු ලැයිස්තු වෙබ් අඩවියක් ද? නැත්නම් කාමෝද්දීපනය වඩවන අශ්ශීල වෙබ් අඩවියක් ද? තීරණය දුෂ්කරයි.

කාන්තා අරගල තුලින් (?) චන්දය දාන්නට, අධ්‍යාපනයට, දේපල අයිතියට, රැකියා හා දේශපාලනයටත් අද ලෝකයේ බොහෝ කාන්තාවෝ වෙත වරම් ඇත. ඒ සියල්ල ලැබූ කාන්තාවෝ අද අවබෝධ කරගෙන ඉන්නේ සියළු ජයග්‍රහණයන් සේ තමන්ගේ රූ සපුව ද අවියක් කරගත හැකි කියා ද? අතීතයේ දවසක තනපටිය ගලවා පුළුස්සා දමන්නට එක් රොක් වූ කාන්තාවෝ වෙනුවට අද ඉන්නේ වික්ටෝරියන් විලාසිතාවට හැඩ වැඩි කරන තනපටි වැඩියෙන් පළඳින්නෝ ය. ඒ ගැන ගීත ගයන්නෝ ය. තම බුද්ධිය මෙන්ම තම රූ සෝබාව ද (නැතහොත් හුදු කාන්තා භාවය) ඉදිරියට යන සටනට (රුසියන් සිසුවියන් වැනි) අතකොළු කරගන්නෝ ය.

රුසියන් සිසුවියෝ කැලැන්ඩරය හදා උපන් දිනයට සුබ පතන ගමන් පූටින් වෙත පණිවිඩයක් ද යවති. ඒ තමයි ආයෙත් සැරයක් රට ආණ්ඩු කරන්න එන්න යයි ආරාධනාව! දැන් ඉන්න ලොක්කා කවුද කියල රුසියාව විතරක් නෙමෙයි ලෝකෙම දන්නවා!! හැබැයි පෙනෙන වෙනසක් ඇති කරන්න ජනතාවගෙන්ම ඉදිරිපත් කෙරෙන ඉල්ලීම කොයිතරම් අපූරු ද?

1993 සිට 2009 දක්වා රුසියාවේ පත්‍රකලාවේදීන් 165 ක් ඝාතනය කරන ලද බව විකිපීඩියාව දක්වනවා. Kommersant නමින් පළවන දිනපතා පුවත්පතේ පත්‍රකලාවේදී තිස් හැවිරිදි Oleg Kashin ට පහුගිය සෙනසුරාදා පහර දීලා. ඇඟිලි කඩලා, කකුල් කඩලා, හක්ක කඩලා. වෛද්‍ය මැදහත්වයෙන් අධිමූර්ජා තත්වයක අද රෝහල්ගත වෙන්නෙ. මොළයේ හානිය ගොඩක් වැඩි නම් වෛද්‍ය මැදහත්වීමෙන් කරන සිහිමූර්ජාවෙන් තැබීම මඟින් තවත් දරුණු විය හැකි හානිය අවම කරගත හැකි යයි වෛද්‍ය පිළිගැනීමයි.

Oleg Kashin ක්‍රෙම්ලිනයට විරුද්ධ පිරිස් පවත්වන විරෝධතා රැළි වගේම රුසියාවේ කැලෑවක් කපා යන අධිවේගී මාර්ගයකට විරෝධය පාන කටයුතු ද වාර්තා කිරීම මේ පහර දීමට හේතු හැටියට ඒ ගැන වාර්තා කරන අයගෙ මතය. මෙයාගෙ කතාව අනිත් පත්‍රකලාවේදීන්ගේ අභියෝග ඉදිරියේ කැපිලා පෙනීමට වැදගත් වූ හේතුවක් තිබේ. එනම්, ඔහු සේවය කරන පුවත්පත මොස්කව් හි සමාජයේ ඉහළ පිරිස (elite) කැමැත්ත දක්වන පුවත්පතක් වීම ය. දැන් අහන්න එපා, සෝවියට් රුසියානු සමාජයේ කොහොම ද ඉහළ පිරිස් හා පහළ පිරිස් ඉන්නෙ කියලා!

Mikhail Beketov පුවත්පත් කතුවරයෙක්. එයා ලිව්වෙ මොස්කව් ආශ්‍රිතව පවතින දූෂණය පිළිබඳව. තර්ජන ගර්ජන මැද රස්සාව කරන එයා වැඩේ අනාගන්නෙ නගරයේ ලොක්කො ඉල්ලා අස්වෙන්න ඕනා යයි පළකිරීම නිසා. නිවස අසල දී ගහලා එයාව හිමේ දාලා යන්නෙ. පසුව ඇඟිලි තුනක් ඉවත් කරන්න සිද්ධ වෙනවා. කකුලක් අහිමි වෙනවා. 52 වියැති ඔහු අද රෝද පුටුවක. මොළයට වූ හානිය නිසා අද සරල වාක්‍යයක් කියාගන්න බැරිලු.

අපොයි මේ අසරණයොන්ට ලංකාවේ පුවත්පත් කලාවේදීන් පිරි දූත පිරිසක් යවලා රස්සාව කරන හැටි කියලා දෙන්න ඕනා ඉක්මණින්. ලාංකික පුවත්පත් කලාවේදියෝ පහුගිය කාලේ හොඳ පාඩම් ඉගෙන ගෙන දැන් යසට ඉන්නවානෙ. අපිට දූත මෙහෙවරට නම දාන්න පුළුවන් ‘ලංකාවෙන් සෙනෙහස සමඟින්’ කියලා!

ඒ එක්කම රුසියන් ඉතිහාසයත් මතක් කරලා දෙන්න පුළුවන්. Sergei Mikhalkov නම් වූ රජවාසල කිවිඳා ගැන කියා දෙන්න ඒ පැත්තෙ කෙනෙක් නැද්ද මන්දා?

එයා කොතරම් දක්ෂ වූවා දැයි කියතොත් අපූර්ව හපන්කමක් ලොවට දායාද කරයි. ඔහු සෝවියට් ජාතික ගීතය තුන් පාරක් ලියයි! පළමු වතාව ඔහු ලියන්නේ ස්ටාලින්ට ගෞරව සම්මාන පුද කරලා. දෙවැනි වතාව ඔහු ලියන්නෙ ස්ටාලින්ව අමතක කරලා. කොමියුනිස්ට් ක්‍රමය රුසියාව හළා දමද්දී ඔහු කළින් තාලයට ම තුන්වැනි වතාවත් ජාතික ගීය ලියයි. හිටපු හැම ආණ්ඩුවක්ම ඔහුට සම්මාන පුද කරයි! ඔහු මියයන්නේ 2009 දී, වයස 97 දී.

ඔහු පිළිබඳ අවමංගල දැන්වීම් සටහනට ‘ද ‍ඉකොනොමිස්ට් ’ සඟරාව මෙයත් එකතු කරයි.
“And this is Law I will maintain
Until my Dying Day, Sir.
That whatsoever King may reign,
I will be the Vicar of Bray, Sir!”

“ඉතින් මේ නම් වූ නීතිය මම රකිමි
මගේ අවසන් දිනය තෙක්, ශ්‍රීමතාණෙනි.
කොයි රජු රජකම් කළත්,
මම තමයි බ්‍රෙ හි දේවගැතියා*, ශ්‍රීමතාණෙනි!”
*පළාතක් භාර දේවගැතියා (vicar) පැරණි එංගලන්ත පාලන ක්‍රමයේ බලධාරියෙකි.

Sergei Mikhalkov උපත ලබන්නේ රුසියන් අධිරාජ්‍යයේ රදළ පවුලකට ය. බොල්ෂෙවික් අරගලයේ රතු හමුදාවන් වෙතින් රදළ පවුල් පැන ගිය ද Sergei Mikhalkov පංති විරෝධය මැද්දේ පැන දුවන්නේ නැත. ඔහු මොස්කව් හි නූල් කම්හලක සේවය කරමින් කවි ලියන්නට පටන් ගනියි. කම්කරු පංතියේ ඉහළට නඟින්නට ඔහු උපකාරයට ගන්නේ තම පෑන් තුඩයි. කවුරු රජකම් කළත් ඔහු රජවාසල සම්මාන ලද කිවිඳා වන්නේ එහෙමයි.

ඉතින්, සමහර විටක, මේ ඉතිහාසය අමතක නොවී ඇත්තේ මොස්කව් ජාතික විශ්ව විද්‍යාලයේ රූමත් බුද්ධිමත් පත්‍රකලාවේදී සිසුවියන්ට විතරක් වෙන්නැති.

කැලැන්ඩර් පින්තූරයට ස්තූතිය RT.Com

17 Responses

Subscribe to comments with RSS.

  1. SiriBiris said, on නොවැම්බර් 10, 2010 at 5:16 ප.ව.

    බෝහෝ විට ඒකාධිපතියන් මඟින් රටවල් දියුණු වෙනවා කියලා කතාවක් තියනවා. නමුත් අධික මිලක් ගෙවීමට ජනතාවට සිදුවෙනවා. අර ක්‍රෙම්ලිනයට විරුද්ධ වුන එන්ගලන්තයේදි හොයාගන්න බැරි ලෙඩකින් මියගිය රුසියානුවා ගැන මතකයි. පුටින් හිටපු KGB බොස් නේද? සීතල යුද්දෙ කාලේ පාවිච්චි කරපු මාරාන්තික රහස් ක්‍රමයකට -කුඩ යක අග්ගිස්සේ අඩංගු විස රසායනයකි ඇනල, ඔහුව මැරුව කියලා තමයි කියන්නෙ. සැමවිටම වෙනවා වගේ, පුටින් ඒ කථා ප්‍රතික්ශේප කලා, මයෙ හිතේ

    They say, an elephant never forget.Apparently, not Russians and Sri Lankans.

    • arunishapiro said, on නොවැම්බර් 10, 2010 at 7:09 ප.ව.

      SiriBiris,
      පූටින් හිටපු KGB බොස් වගේම ජෝර්ජ් බුෂ් තාත්තා ද CIA හිටපු ඩිරෙක්ටර් නෙ! ඒකාධිපති වාතාවරණයක් නිසාම දූෂණයට ඉඩකඩ වැඩි යයි කියන්න බැහැ. ඒකාධිපති රජයක් නොවන, නිදහස් මාධ්‍ය තියන මේ පැත්තෙ අයත් පාලන පුටු රත් කරද්දී හොඳට ධන වස්තු රැස් කර ගන්නවා. මෙහෙ හිටපු Bernard Madoff සහ Enron කොම්පැණිය කොච්චර නිදහස් මාධ්‍යයක් සහ ලෝක ජනතාවක් රවටා තිබුණ ද? ඒත් සාමාන්‍යයෙන් රටක් හැටියට ගත්තම අර Transparency International පෙන්වන විදියට දූෂණය පැතිරිලා නැහැ. රුසියාවේ පුවත්පත් කලාවේදීන් විඳින තත්වය පාලනයේ වැරදි යයි කීම ඉතා ලේසියි. පුද්ගලයෝ තමන් විසින් බඩ වඩා ගන්න ප්‍රතිපත්ති නිසා සමාජයේ ඔඩු දුවන මානසික තත්වයක් යයි ඔප්පු කිරීම ඉතා අපහසුයි.

      • SiriBiris said, on නොවැම්බර් 10, 2010 at 7:34 ප.ව.

        එකඟයි. රට දියුණුවෙන්න් නං දූෂණ අඩුවෙලා කාර්යක්ෂමතාව වැඩිවෙන්න එපැයි. ඒත් මං අදහස්කලේ, නිදහස, විනිවිද භාවය අඩුවෙලා මර්දනය උපරිම වෙනවා කියන එකයි. සමාජවාදී කඳවුරේ ඉදලා ප්‍රජාතන්ත්‍රවාදයට ආපු චීනය, රුසියාව වගේ රටවල ක්‍රියාත්මක වෙන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්ණාර්තයක්?

        • Ajith Dharmakeerthi said, on පෙබරවාරි 28, 2014 at 8:06 පෙ.ව.

          පුටින් KGB එකේ පොඩ්ඩෙක් . germaniye හිටපු KGB තානාපති නිලධාරියෙක් විතරයි . ඔහු සමාජවාදියෙක් හෝ communist වාදියෙක් වත් නෙමෙයි. Yeltzin තෝරගත්ත ධනවාදී අනුප්‍රප්තිකයා . රුසීයාවේ තියෙන්නේ විකුර්ති ධනවාදී රජයක් J .R ගේ හා ඊට පස්සේ අව අයගේ වාගේ .

  2. Praveena said, on නොවැම්බර් 10, 2010 at 8:23 ප.ව.

    අරුනි,

    ගැහැනියක් විදියට මෙහම කියන එක වැරදි කියන එක මම දන්නවා. ඒත් රූමත් ගැහැනියෙක් දැක්කාම, අනෙක් පාර්ශවයේ උදවිය බලය පාවිච්චි කරලා ඒ ගැහැනුන්ට කරන දේවල් දිහා බලපුවාම, ගැහැනු එයාලගේ රූමත්කම පාවිච්චි කරන එකේ මට නම් කිසිම වැරැද්දක් පෙනෙනේ නැහැ.

    • arunishapiro said, on නොවැම්බර් 11, 2010 at 10:41 පෙ.ව.

      Praveena,
      මට මගේ බුද්ධිය පාවිච්චි කරන්න ඉඩක් ඇත්නම් ලස්සන රූමතියකට ඇයගේ රූ සපුව ද තමනට කැමති ආකාරයෙන් පාවිච්චියට ගැනීම ගැන මා ද වරදක් නොදකිමි. 🙂

      • සිතුමිණි said, on නොවැම්බර් 15, 2010 at 1:45 ප.ව.

        well said……අරුණි අගය කරන ඉකොනොමියේ ඉතින් කොයි බම්බුව හරි විකිණෙන එක විකුණන්න තමයි තියෙන්නේ….කරන්නෙ විකිණීම උනාම ඒක කෝක උණත් එක තමයි…….
        තව එකක්….සර්ජි මයිකල්කොෆ් වගේ අවලමෙක් මම රුසියාවෙම අහල නෑ….ලංකාවෙ ඩලස් වගේ එවුං මිසක එච්චරටම අවලං ලියන උන් නං නැද්ද කොහෙද…….
        ලිපිය අගයමි….

  3. sinhalamag said, on නොවැම්බර් 11, 2010 at 5:32 පෙ.ව.

    ලංකාවේ විතරක් නෙවෙයිනේ, එහෙ දේවල් දැනගත්ත එකත් ලොකු දෙයක්

  4. sujeewa said, on නොවැම්බර් 11, 2010 at 6:58 පෙ.ව.

    Aruni,

    Did you miss the fact that another gang of gals from same moscow campus made a calendar outlining Putin dictatorship and breach of democracy? Putin supporters did this one to replace it and overnight the previous calendar vanished from shops and this one came out.

    It was a gentle pinch from Putin on liberalists and freedom actovist, saving white van petrol.

    BTW I am a fan of Putin for many reasons. Considering where Yeltsin left Russia, he’s a great leader. May not pass all qualifications, but he wants to raise his country.

    • arunishapiro said, on නොවැම්බර් 11, 2010 at 10:39 පෙ.ව.

      sujeewa,
      මම කියවපු විදියට මේ යට ඇඳුම් කෙල්ලන්ගෙ වෑයමට එරෙහිව ඊට පසුවයි නිසි ඇඳුමින් යුතු, කටවල් වසා ගන්නා අය විසින් මාධ්‍ය නිදහස නැති බව කියන කැලැන්ඩරය හදන්නෙ. ඒක ඉතින් කවුරුත් දන්න දෙයක් නිසා මොකක්ද ඇති වැදගත්කම? වැඩි ජනප්‍රිය බවක් ලැබෙන්නෙ කොහොමටත් අඩ නිරුවත් කෙල්ලන්ටනෙ!!

      පූටින් අසහාය නායකත්වයක් ඇත්තෙක් සේ මා දකින්නෙ නැහැ. සමාජයේ පවතින ගැතිවාදී හා ජාතිවාදී මතවාද අගයන, ඒ ආධාරයෙන් බඩ වඩා ගන්නා පිළිවෙත් අනුගමනය කරන ඔහු තවත් එක් සෝවියට් රුසියානුවෙක් පමණයි. ඒක එයාගෙ වැරැද්ද නෙවෙයි. සමස්ත සමාජයේ නළියන මානසිකත්වයේ වැරැද්ද.

      • සිතුමිණි said, on නොවැම්බර් 15, 2010 at 1:46 ප.ව.

        පූටින් අසහාය නායකත්වයක් ඇත්තෙක් සේ මා දකින්නෙ නැහැ. සමාජයේ පවතින ගැතිවාදී හා ජාතිවාදී මතවාද අගයන, ඒ ආධාරයෙන් බඩ වඩා ගන්නා පිළිවෙත් අනුගමනය කරන ඔහු තවත් එක් සෝවියට් රුසියානුවෙක් පමණයි. ඒක එයාගෙ වැරැද්ද නෙවෙයි. සමස්ත සමාජයේ නළියන මානසිකත්වයේ වැරැද්ද.
        well said….

      • Ajith Dharmakeerthi said, on පෙබරවාරි 28, 2014 at 8:08 පෙ.ව.

        අය්යෝ නංගි සෝවියට් රුසියාව නැතිවෙලා ගොඩක් කල්.

  5. sujeewa said, on නොවැම්බර් 11, 2010 at 12:54 ප.ව.

    ඔබ හරි අරුණි. මටයි වැරදුනේ.

    කොයි හැටි වෙතත් පූටින් ලොක්කාට මා ගරු කරන්නේ වැටිලා හිටිය රුසියාවට පණදුන්නු නිසා. මේ කතා කරන රටවල එක රැයින් ඔබාමාලා බිහිවන්නේ නෑ. ඒ වගේම ඔබාමෙකුට මේ රටවල් වෙනුවෙන් කළ හැකි දෙයකුත් නෑ. තුන්වන ලෝකේ රටක් ගොඩ ගන්න පූටින් වර්ගයේ අය අවශ්‍යයි [ලී ක්වාන් හා මහතිර් තවත් උදාහරණ].

    හැබැයි පූටින් ඒක කරාවි ද කියා මා දන්නේ නෑ. මේ දක්වා ඔහු සාර්ථකයි නේද?

    අනික ඔබ කිව්වා වාගේ ඒ සමාජයෙන් කොහොමද ප්‍රජාතන්ත්‍රවාදියෙක් බිහි වන්නේ. පූටින් ගොඩ කාලයක් වැඩ කළේ කේජීබීයට. ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ නේද? හරියට දූෂණය තාන්නමාන්න සහෝදර/මිතුරු සංග්‍රහය එළිපිට කෙරෙන ලංකාවේ දේශ්පාලනෙන් 40වසරක සාඩම්බර අත්දකීම් ගත් වත්මන් ජනාධිපතිතුමාගෙන් ඒවා නො වනු ඇතැයි [බොරුවට] සිතා උනාම කෑ ගහන විකල්ප කට්ටිය වගේ.

  6. මුදිත said, on නොවැම්බර් 11, 2010 at 2:51 ප.ව.

    සුජීව

    ආචාර්ය මන්මොහන් සිං ලාටත් රටවල් දියුනු කරන්න පුලුවන්නේද?

    Good post Aruni

  7. Ajith Dharmakeerthi said, on පෙබරවාරි 28, 2014 at 8:12 පෙ.ව.

    නංගිලා මල්ලිලා , සෝවියට් රුසියාවක් දැන් නැහැ. පුටින් කියන්නේ හිටපු KGB නිලධාරියෙක් . චන්දෙන් ඇවිල්ලා ඊට පස්සේ yeltzin උස්සලා තියල රට පාලනය කරන ඒකාධිපති ධනවාදියෙක් . අපේ රටේ පන්සල් පස්සේ යනවා වගේ එය රුසියානු orthodox පල්ලිය පිටි පස්සේ යනවා. 70% කට වැඩි රුසියානුවන් පිරිසක් ඔහුට කැමතියි . ඒ ජාතිවාදී බව , රටේ ගවුරවය නැවත ලබා දීම, රැකියා ලබා දීම, විශ්‍රාම වැටුප් ගෙවීම වැනි දේ නිසා . බටහිරට තදින් සිටින නිසාත් ඔහුට kamathyi .

    • arunishapiro said, on පෙබරවාරි 28, 2014 at 4:15 ප.ව.

      Ajith Dharmakeerthi,

      හෙට අනිද්දා වෙද්දී .. නෑ නෑ දැනටමත් කියනවා ඇති ෆිඩෙල් කැස්ත්‍රෝ එහෙමත් ධනවාදියෙක් කියලා .. ඇයි දැන් පුද්ගලික අයිතියට ඉඩක් දීලා තියෙනවානේ රුසියාවෙන් එන සල්ලි මදි වෙද්දි, වෙනෙසියුලාවෙන් තෙල් නැතිවේගන යද්දී…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: