අරුණි ශපීරෝ‍ වෙතින්

චීස් නැහැ ග්‍රොමිට්, ඇබිත්තක් වත් ගෙදර නැහැ!

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 8, 2010


මෙහෙම කියන්නෙ වොලස් එයාගෙ අතිදක්ෂ බල්ලා වන ග්‍රොමිට්ට. නික් පාර්ක් ගේ ‘වොලස් සහ ග්‍රොමිට්’ (Wallace and Gromit) යන කෙටි චිත්‍රපටිවල වෙන්ස්ලිඩේල්, ගෝර්ගොන්සෝලා, චෙඩර් වැනි චීස් ගැන දෙබස් තියනවා. හඳ පිරී ඇත්තේ චීස් වලින් යැයි හැමෝම දන්නා බවත් ඔවුන් අතර සඳහනකි.

මගේ සුද්දා සමඟ මමත් දියණියත් බොහෝ අවස්ථාවල අපගේ සීතකරණය හැර බලා කවුරුන්දෝ අන්තිම චීස් කෑල්ලත් ගිල දැමූ බව කියන්නේ “චීස් නැහැ ග්‍රොමිට්, ඇබිත්තක් වත් ගෙදර නැහැ!” කියාය. අප බැල්ලියගේ නම ග්‍රොමිට් දැයි අමුත්තෝ ඇසූ වාර බොහොමයකි. එසේම කොතැනක දී හෝ අපට මඟ හරින්නට අවශ්‍ය කතාබහකට අසුවෙද්දී ‘හඳ චීස් වලින් නිමැව ඇතැයි හැමෝම දන්නා බව’ අප එකිනෙකා හා වාද කරමු! මේවා අප පවුලේ ඇති, ඉතා බහුල, ‘ඇතුලත විහිළු’ (inside jokes) ගණයට අයිති ය.

ඇතුලත විහිළු පවුලක සබඳතාවන් දැඩි කරයි. ඉහත පරිදි පැහැදිලි කිරීමකින් තොරව පිට කා හටවත් ඒවා වටහා ගැනීමට නොහැකියාව විශේෂයෙන් වැදගත් ය. සාදයක දී හිත රිදෙන වදනක් කාගේ කටින් හෝ පිටවීම නිසා අමනාපයක් පැතිරෙන්නට පෙර මෙවැනි ඇතුලත විහිළුවකින් සතුටු වන්නට, කතාව වෙනතක හරවන්නට ද හැකියාව ලැබේ. ඉන් බැරෑරුම් බව පහ වී ගොස් සැහැල්ලු වාතාවරණයක් ඇති කරයි. ඇතුලත විහිළු යහළු යෙහෙළියන් අතර බහුලව තිබුණ ද පවුලක් වශයෙන් වඩා ගැනීම වැඩි පිරිසක් බොහෝ විට අතපසු කරන්නකි.

ලෝකයේ වඩාත් ම රස චීස් හදන්නේ ස්විට්ස්සර්ලන්තයේ ය. 2009 මාර්තු මාසයේ දී මගේ සුද්දා, මම හා දියණිය ස්විට්ස්සර්ලන්තයේ අපන්සෙල් (Appenzell) ගමට ගොඩවැදුනේ මල් වැස්සක් වහිද්දී. අව්ව පායා තිබිය දී පොද වැස්සක් ද වසිමින් දවස ගෙවිණ. අපන්සෙල් ගම මුළුමනින්ම ඇවිද බලන්නට හැකි තරම් කුඩා ය. වැස්ස තිබුණ ද අපි හැම තැනම ඇවිද්දෙමු. දහවල් වෙද්දී බඩගිනි නිවාගන්නට අපි ඇතුල් වූයේ ගමේ විවෘත ව තිබි එකම අවන්හලට ය.

එය අපන්සෙල් ගමේ කෝපි කඩය යැයි කිය හැකිය. අප තිදෙනා හැරුණු විට හැමදාම ගොඩවෙන අය පැමිණ ඇති බව හැසිරීම් වලින් දකිනු හැකි විය. කෑමට ඇති ආහාර වට්ටෝරුව ඉතා සීමිත ය. අපි අපන්සෙල් ගමට ආවේනික වූ චීස් වලින් හදන ලද, ස්විට්ස්සර්ලන්තයට විශේෂ වන, කට්ටියක් විසින් එකතුව රස විඳින, ෆන්ඩූ නැමති ආහාරය ඉල්ලා සිටියෙමු. ෆන්ඩූ නම් චීස් හොදි ය! තිදෙනාටම එකතුව කන්න එක චීස් ෆන්ඩූ භාජනයක් ද, පාන් කැබලි සහිත පිඟානක් ද අප වෙත පිළිගැන්වුණි.

ආහාර අනුභවයේ දීත් මොළය ඔක්සිටෝසින් නිපදවයි. තවත් කොලෙසිස්ටෝකිනින් (CCK) නැමති රසායනයක් ද වාහනය කරයි. මේ දෙවැන්න තමයි මොළයට “දැන් ඇතිවෙන්න කෑම ලැබුණා, බොහොම ස්තූතියි” කියන පණිවිඩය දෙන්නෙ. මේ රසායන දෙකම පවතින විට දී එකට එකතුව කෑම කන පුද්ගලයන් අතර බැඳීම් තහවුරු වීමක් සිද්ධ වේ.

ළමයි හා දෙමාපියන් එකට එකතුව ආහාර ගන්නා පවුල් වඩා සුහද ය. එ‍කතුව ආහාර නොගන්නා පවුල් හා සලකද්දී එකතුව කෑම කන පවුල්වල දරුවන් අතර ඉගෙනීමට දක්ෂතාවන්, කීකරු බව හා නීති රීති රකින රටාවන් වර්ධනය කරයි.

කාර්යාලයක වුව ද එකට එකතුව ආහාර ගන්නා කාර්යාල සේවකයන් අතර සබැඳියාවන් වඩා බැඳීම් වලින් යුතු ය. කට්ටිය සමඟ වැඩ කරන ගමන් කෑම වඩා ප්‍රතිඵල ගෙන දෙන්නේ වැඩ ඉවර කරගන්නට පමණක් ම නොවේ.

ආහාර ඇතුල් කරද්දී මොළය ඒ ඒ ඇතුල් කරන ආහාර අනුව වැඩ කරනවා මෙහෙම:

සාදයට ආපු අය සැහැල්ලුවෙන් හා සතුටින් තියන්න නම් කාබොහයිඩේ‍්‍රට හා මේද බහුල කෑම වැඩිපුර දෙන්න ඕන.

තීක්ෂණ බුද්ධියකින් කතාබහේ මාතෘකා විශ්ලේශනය කරන්න සාදයට ආපු අයව සහභාගී කරගන්න ඕනා නම් ප්‍රෝටීන් කෑම මුලින් පිරිනමන්න. ප්‍රෝටීන් අනතුරුව කාබොහයිඩේ‍්‍රට.

මේද වැඩියෙන් තියන ආහාර දුන්නම හැමෝම සංසුන් වෙලා පස්සෙ නින්ද යනවා ඉක්මණින්ම. සවස් කාලයේ පිළිගන්වන්න වඩා සුදුසුයි.

විභාගයක‍ට වාඩි වෙන්න මිනිත්තු 30 කට පෙර සීනි තියන කෑමක් ගත්තම මොළය වැඩියෙන් වැඩ කරලා විභාගයත් හොඳට ලියැවෙනවා.

අපන්සෙලා කේජු වල මූලාරම්භය ශාන්ත ගේලන් ආශ්‍රමයේ (Abbey of St. Gallen) ක්‍රි. ව. 600 දී පමණ. රෝම අධිරාජ්‍යයකු වූ Charlemagne (747-814) විසින් අපන්සෙලා කේජු අගයා ඇතැයි ද කියැවේ.

අපන්සෙලා කේජු හදන්නෙ උයලා, ගුලි කරලා, යාන්තමට ලුණු දාලා, කල් යද්දී ගම්මිරිස්, කුළුබඩු හා සුදු වයින් (සුදු නැහැ) නැත්නම් ඇපල් සයිඩර් වලින් පාට කරලා.

චීස් හදන්න කැමති අයට හදන හැටි ගැන මෙතැන විස්තර.

ස්විට්ස්සර්ලන්තයේ ගම්මාන මැදින් ගමන් කරන කොට කොයිතරම් ගැමි බවක් තියෙනවා ද දකින්න පුළුවන්. කිරි දෙනුන් ඇවිදින, කොළ පාට තැනිතලා හා හිම කඳුවැටි දකිද්දි මතක් වෙන පැරණි යුගයක කෘෂිකාර්මික සමාජයක් වගේමයි අදත් තියෙන්නෙ. ඔවුන් ගම්බද චීස් හදන අයිතිය බොහොම ආරක්ෂාවෙන් රකින ජාතියක්. වෙළඳ නාමයන් ඔවුන්ට ඉතා වැදගත්. අතිශය රහස්ගත පාරම්පරික වට්ටෝරු පිළිපදින්නෙ. හැබැයි තත්වය උසස් වූ අනගි ප්‍රමිතිය ද රකිනවා. ඉතාලිය හා ප්‍රංශයට වඩා අඩුවෙන් වෙළඳ නාම මෙහි අලෙවියට ඉදිරිපත් කරන්නෙ. නිෂ්පාදනය සිද්ධ වෙන්නෙත් අලෙවිය කරන්නෙත් ප්‍රාදේශීය වූ සමූපාකාර ක්‍රමයකට.

දැන් ස්විස් චීස් කිව්වම ගොඩක් අයට මතක් වෙන්නෙ හිල් තියන චීස් කුට්ටි වල පින්තූරනෙ. චීස් වල හිල් හැදෙන්නෙ මෙහෙමයි. පුද්ගලයෝ වගේම බැක්ටීරියා විසින් ද සමහර වෙලාවට අධෝවාතය පිට කරනවා! ඔන්න චීසුත් මත්පැන් වගේ ගඳයි කියන්න පටන් ගන්න එපා!!! චීස්වල තියෙන බැක්ටීරියා පඩ යවන කොට, අර ළඟ ඉන්න යාළුවෝ දුවලා යනවා වගේ, චීස් ළඟ ඉඩ හිස්වෙනවා. ඒ හිස්තැන් තමයි හිල්. සමහරු චීස්වල තියෙන්නෙ හිලක් කියන්න අකමැතියි. කොළේ වහන්න එයාල ඒවට කියන්නෙ ‘ඇස්’ කියලා!!

ඇමෙරිකාවේ පැත්තෙ තියන රෙගුලාසි කොච්චර ද කියනවා නම් ස්විස් චීස් වල හිලටත් සයිස් නීතියක් දාලා තියෙන්නෙ. අඟල් 11/16 (1.74 cm) සහ 13/16 (2.06 cm) විශ්කම්භයකින් හිල් තියෙන්න!! දැන් මෙහෙ තියෙන්නෙ මහා පරිමාණයෙන් කර්මාන්ත ගොවිපල්. ස්විට්ස්සර්ලන්තයේ වගේ කුඩා ගොවිපල ප්‍රාදේශීය සමූපාකාර නෙමේ. ඉතින් ලොකු මැෂින් වලින් චීස් පෙති කපද්දී (මිනිස්සු පෙති කපන්නත් කම්මැලි නිසා පෙති ගහල ම දෙන්නෙ) හිල් නිසා මැෂින් වලින් ලස්සනට කපන්න බැහැයි කියලා, මැෂින් වලට හරියන්න චීස් පෙති ගහන්න හිලක විෂ්කම්භය 2000 දී විතර අඟල් 3/8 ට (.95 cm) අඩු කලා. හිල් පුංචි කරන්නෙ දාන බැක්ටීරියා ප්‍රමාණය හා උණුසුම යනාදී දේවල් පාලනය මඟින්.

ආයෙත් යමු අපන්සෙල් ගමට. එහෙ අය අවුරුදු 700 ක් විතර සිට චීස් නිෂ්පාදනයේ යෙදෙනවා. අද ගොවිපල වල් 75 ක් විතර නිෂ්පාදනයේ නිරත යි. කේජු ගැන තොරතුරු බොහොමයි. මම ඉනෆයිල් නොවනවා වගේම කේජු පිළිබඳ වැඩිය දන්නෑ. රීදි ලේබල් වලින් කියන්නෙ මාස තුන හතරක් කල් යවපු චීස්. රත්තරන් ලේබලය ගහලා ඇත්තෙ මාස හතරක් හයක් කල් යවපුවාට. මාස හයකට වඩා කල් යවපු චීස් වල ගහන්නෙ කළු ලේබලයක්.

චීස් කෑවාම බඩ රිදෙන අයත් ඉන්නවා. කිරි අජීර්ණය. අළුත් චීස් නැතිව කල් යවපු (aged) චීස් කෑම නිසා අජීර්ණයක් නොවී බඩ රිදෙන්නෙත් නැහැයි කියල කියනවා.

දැන් චීස් ෆන්ඩූ කන චාරිත්‍ර මෙහෙමයි:

චීස් හොද්ද තියන භාජනයට පාන් කෑල්ල ඔබන දිග ගෑරුප්පුව (dipping fork) දාලා ගත්තම දිවේ, තොලේ, කටේ, ගෑරුප්පුව ගෑවෙන්න නරකයි. දත් වලින් පාන් කෑල්ල විතරක් අහුවෙද්දී ඇදලා ගන්න ඕන කට ඇතුලට. මස් කෑල්ලක් එහෙම ඔබනවා නම් ඒක දිග එකෙන් ගලවා ගන්න ඕන පිඟාන එක්ක තියන කන ගෑරුප්පුවෙන්.

ඊ ළඟට වැදගත් කාරණයක් තමයි පොඩ්ඩක් කාලා චීස් මදියි කියලා ඉතුරු පාන් කෑල්ල ආයේ ‍එහෙම ඔබන්න එපා!! ඒකට කියන්නෙ double dipping. සමහර සාද වල දී චොකලට් ධාරා (fountains) තියෙනවා නේ. ඒවා වලදීත් එක සැරයක් එබුවාට පස්සෙ කෑල්ලක් කාලා ආයෙ ඔබන එක ආචාරශීලී නැතැයි කියලා සැලකෙන්නෙ.

ස්විස් චාරිත්‍රයක් තමයි පාන් කෑල්ලක් ඔබද්දී ඒක චීස් හොද්ද තියන භාජනයට වැටුනොත් මේසයේ ඉන්න අයට වයින්‍ බෝතලයක් අරන් දීලා සංග්‍රහ කරන එක. කාන්තාවක් අතින් ඒක වුනොත් ඇය වම් පැත්තෙන් ඉන්න පිරිමියාට කිස් එකක් දෙන්න ඕනා!!!

යුරෝපයේ තියනවා ඇමෙරිකාවේ නැති සිරිතක්. මෙහෙ අවන්හලක දී මේසයේ වාඩිවෙන්නෙ ආපු කණ්ඩායම. යුරෝපයේ අවන්හලක දී ආගන්තුක අයත් ඇවිත් ළඟින් ම වාඩිවෙලා මේසය බෙදාගන්නවා. ඉතින් ෆන්ඩූ අනුභවයේ දී ළඟින් වාඩි වෙන්නෙ කවුද කියලා ටිකක් ඇහැ ගහගෙන ඉන්න අමතක කරන්න එපා!!

චීස් හොද්දත් එක්ක පාන් කාලා අහවර වෙනකම් ම භාජනය යට තියන පොඩි දැල්ලක් පත්තු වෙනවා. ඒක භාජනය උණුසුම් ව තියනවා. හරියට පිළිගන්වලා ඇත්නම් චීස් කාලා අවසන් වෙද්දී අඩියෙ පොඩි විස්කෝතුවක් වගේ චීස් වාටියක් ඉතුරු වෙනවා. ඒකට නම දාලා තියෙන්නෙ la religieuse කියල. ප්‍රංශ භාෂාවෙන් වචනය, තේරුම ‘කන්‍යා සහෝදරිය’. ඒක කන එකත් සිරිතක්. ස්විට්ස්සර්ලන්තයේ අය හරිම පුදුමයි!

අපේ චීස් හොද්දට එකතු කරලා තිබුනෙ මොන වයින් ද කියලා අපි ඇහැව්වෙ නැහැ. හැබැයි කන්‍යා සහෝදරියත් ඉවර වෙනකම් ම කාලා ඉවර කලා. පාන් වලින් කාබොහයිඩේ‍්‍රට. චීස් වලින් මේද. චීස් හොද්දට යහමින් දාල තිබිච්ච වයින්! වැස්ස පායලා එළියට එද්දි. ස්විස් ඇල්ප්ස් කඳුවැටි අතරින් වැනි වැනි හිමිහිට ඇදිලා ගිය කෝච්චියෙ අපි තුන්දෙනාම ගොරව ගොරවා බුදිය ගත්තා.

චීස් හොද්ද හා හිල් තියන චීස් කුට්ටිය විකිපීඩියා පින්තූර වලිනි.

32 Responses

Subscribe to comments with RSS.

  1. ෴වත්෴ said, on දෙසැම්බර් 8, 2010 at 12:40 ප.ව.

    නියමම නියමයි . . . චීස් කතාව හිතුවටත් වඩා හොදයි.

    ලංකාවේ බොහෝ දුරට rippen (aging) cheese දකින්න නැහැ නේද? ලොකු ඇස් තියන චීස් නිතරම දකිනවා කාටුන් වල මියන් හොරකම් කරන්නේ ලොකු ඇස් තියන චීස් නිසා…ලොකු ඇස් තියන චීස් වගේම , නිල් පාට ඉරි තියන චීසුත් තියනවලු.

    එතකොට අර ලංකාවේ කඩවල් වල නිතර දෙවේලේ තියන චීස් කෘතිම චීස් වෙන්න ඕනි.

    පලමු වරට තමයි “චීස් හොදි ” ගැන නම් ඇහුවේ. . .ලංකාවේ අපි චීස් කන්නේ ගොඩක් අඩුවෙන් කලාතුරකින් තමයි. ඒ වගේම තමයි අක්කගෙ කතාවත් ,චීස් වගේම රසවත්.

    • arunishapiro said, on දෙසැම්බර් 8, 2010 at 1:35 ප.ව.

      ෴වත්෴,
      අ‍පොයි ලංකාවේ විකුණන චීස් මෙහෙ ඉන්න මීයොත් කන එකක් නැහැ!! //කෘතිම// බව ඉහළින් ම!!

    • americanhelaya said, on දෙසැම්බර් 8, 2010 at 3:17 ප.ව.

      වත් ලියලා තියෙන්නේ blue cheese ගැන වෙන්න ඕනේ. ඒවා නම් වස ගඳයි. (නහය වහගෙන තමයි කන්න වෙන්නේ)නිල් පාට හැදුනේ බැක්ටීරියා වර්ගය නිසාලු. කථාවට කියනවා, ගොපලු කොල්ලෙක් ගුහාවකට වෙලා පානුයි චීස්යු කකා ඉඳැද්දි, ඒ අහලින් ලස්සන ගෑනු ළමයෙක් ගියාලු. කොල්ලත්, කෑම එක අමතක කරලා කෙල්ල පස්සෙන් වැටුනාලු. ඊට කාලෙකට පස්සේ දවසක ගුහාවට එනකොට, අර දාලා ගිය කෑම එකේ චීස් නිල් පාට වෙලා තිබුනාලු, බැක්ටීරියා වලින් පැහිලා. එහෙමලු blue cheese හොයා ගත්තේ!

  2. දුමී said, on දෙසැම්බර් 8, 2010 at 12:40 ප.ව.

    අරුණි,

    කියවන්න ගොඩක් ආසා හිතෙන ලිපියක්. හරිම අපූරුවට ලියලා තියෙනවා. මම චීස් කන්න ආස නැති උනත් (ආස උනත් 5 ගැනීමෙන් වැලකිලා ඉන්නෙ ) මේක දැක්කම ඔබ කියපු ‘ෆන්ඩු’ කන්න පුදුම ආසාවක් ඇති උනා. මම ඔබේ ලිපිය මගේ හාමිනේගෙන් පුළුවංතරම් වසං කරන්න බලන්නං. නැතිනම් එයා මේ වෙලාවෙ ඉන්න තත්ත්වෙ හැටියට මේව කන්න ආසා හිතුනොත් මට ස්විස්සර්ලන්තයට එක්කං යන්න වෙනවා…. 🙂

    ගොඩක්ම ස්තූතියි, හරියට ස්විස්සරලන්තයේ සුරංගනා කතාවක් කියෙව්ව වගේ…!

    • දුමී said, on දෙසැම්බර් 8, 2010 at 12:44 ප.ව.

      වරහන් ඇතුලේ වාක්‍යය 5C ලෙසට නිවැරදි විය යුතුයි. ( Cheese, Chocolate, Chips, Cola, Cream )

      • Grey said, on දෙසැම්බර් 8, 2010 at 12:53 ප.ව.

        මචෝ චීස් කන්නේ නැත්තේ කොලෙස්ටරොල්නිසා වගේ නම්…වයින් එකක් එක්ක ගහපන්…
        ප්‍රන්ශ, ඉතාලි අයට අම්බනට චීස් කාලත් හදවත් රෝග නැත්තේ වයින් නිසාලුනේ.

      • arunishapiro said, on දෙසැම්බර් 8, 2010 at 1:30 ප.ව.

        දුමී, චිස් හදන්න සුබදායක තත්වයක්!!

      • කොලූ said, on දෙසැම්බර් 8, 2010 at 3:20 ප.ව.

        //මචෝ චීස් කන්නේ නැත්තේ කොලෙස්ටරොල්නිසා වගේ නම්…වයින් එකක් එක්ක ගහපන්…
        ප්‍රන්ශ, ඉතාලි අයට අම්බනට චීස් කාලත් හදවත් රෝග නැත්තේ වයින් නිසාලුනේ.//

        ඔව් මචා. හොද ශාඩිනේ එක්ක ගහනවානම් නියමයී. අවුරුදු සීයයක් විතර පරණ වයීන් එක්ක ගැහුවෝතීන් අනිත් ලෙඩත් නැති වෙනවා. හැබැයී වොඩ්කා, විස්කි එක්ක ගහන්න එපා, බාල වයීන් එක්කත් ගහන්න එපා. එතකොට ලෙඩ වැඩිවෙනවා.

        මෙහෙමයී වෙන්නේ. හොද වයීන් ගන්න සල්ලි ගොඩක් ඕනේනෙ. සල්ලි ගොඩක් තියනවානම්, නිතර දෙවේලෙ හොද වෛද්‍ය පහසුකම් ලබා ගන්න, හොද කෑම කන්න පුලුවන්නේ. එහෙම අයට ලෙඩ අඩුයී, ගල් කාලක් ගහලා වඩේ කන අපිට වගේ නොවෙයී.

      • Grey said, on දෙසැම්බර් 9, 2010 at 11:17 පෙ.ව.

        ගල් කාලක් ගහලා වඩේ කනවානම් ඉතින් චීස් කන්න කියන්න බෑනේ..ගාන දරන්න අමාරුයිනේ..හොදමදේ චීස් නොකා ඉන්න එක..වයින් වල ගානයි, චීස් වල ගානයි..බෙහෙත් වල ගානයි ඔක්කොම ඉතුරුයි.. මොකට පර සුද්දගේ කෑම කනවද කියලා හිතාගෙන තමා ඉන්න තියෙන්නේ..

        හැබැයි.. ඇමරිකාවේ ඉදන් ගල් කාලක් ගහලා වඩේ කනවානම් ඉතින් එසේ මෙසේ පොරක් වෙන්න බෑ.. ඒවගේ අයට මොන චීස්ද… ගල්වල ඉදන් ශැම්පේන් වෙනකනුයි.. වඩේ වල ඉදන් කැවියා වෙනකනුයි ඔක්කොම දේවල් නතින් වෙන්න ඕනේ.. අම්මපා ශිපින් වලටම කීදාහක් කියලද….ඒ විදිහටනම් ඉතින් වයින් ගහන අය තමා දුප්පත්..

        /G

        • arunishapiro said, on දෙසැම්බර් 9, 2010 at 3:46 ප.ව.

          පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග් නගරයේ Walmart නැමති අඩු මිලට බඩු විකුණන සුවිසල් වෙළඳ කඩදාමයන්හි vending machine වලත් වයින් විකුණන්න උත්සාහයක්!! ‍කොලූ සමහර විට ගෙදර ම ‘ගල්’ හදාගන්න දන්නවා ඇති. එහෙම නැතුව නම් වයින්වලට වඩා අඩුවෙන් ‘ගල්’ ගන්න විදියක් නැහැ!!!

    • ෴වත්෴ said, on දෙසැම්බර් 8, 2010 at 12:44 ප.ව.

      එහෙමත් එකක් ද දුමී අයියා… එතකොට පිට්ටු කන්න ආස හිතුනෙ දුමී අයියට ද නෝන මහත්තයට ද?

  3. ඉලංදාරියා said, on දෙසැම්බර් 8, 2010 at 12:46 ප.ව.

    ගොඩක් ඩෙවල් ඉගෙන ගත්තා ..

  4. Grey said, on දෙසැම්බර් 8, 2010 at 1:00 ප.ව.

    අද අනිවා ෆන්ඩු තමා රෑට. 🙂 ලග තියෙන ඉතාලි කඩේ චීස් ෆන්ඩු තියෙනවා. මට හාට් ඇටැක් එකක් හැදුනොත් ඔන්න අරුනි අක්කා තමා 🙂

  5. ඇල්කෙමියා said, on දෙසැම්බර් 8, 2010 at 1:41 ප.ව.

    අර බැක්ටීරියා අධෝවාතය පිට කරන එක නම් ටිකක් කචල් වගේ…..
    ඒත් මොනවා කරන්නද ?
    චීස් නිසා අහක දාන්නත් බෑ… අධෝ වාතය නිසා කන්නත් බෑ වගේ වැඩක් වෙලා තියෙන්නේ….
    මම නම් බොහෝ වෙලාවට චීස් කන්නේ වයින් බොනකොට තමයි… ඒ නිසා මට ප්‍රශ්නයක් නෑ… ඇරත්.. මගේ හැටියට මොනවා කෑවත් ප්‍රශ්නයක් නෑ. හොඳට දුව පැන ඇවිදින ළමයා නේ මං……
    ඒත් සීනි වලින් නම් මම බොහොම පරිස්සම්…. අඩු ගානේ ප්ලේන්ටියක් වත් සීනි දාලා බොන්නේ නෑ….

    අරුණි නිවාක් පැත්තේ එනවා නම් කියන්න.. අපේ ගෙදරත් ඇවිත් යන්න පුළුවන්…. ග්‍රීස්ම කාලේ ඔය පැත්තේ එන්න හිටියේ… වැඩ ටිකක් අධික වුනා…. පස්සේ එන්න බලනවා….

    • arunishapiro said, on දෙසැම්බර් 8, 2010 at 1:57 ප.ව.

      ඇල්කෙමියා,
      හිල් නෙමේ. ඇස් කියල හිතන්න!! 🙂

      ආරාධනාවට ස්තූතියි. ඔයාගෙ කැම්පස් එකේම මගේ සුද්දටත් adjunct professor පට්ටමක් තියනවා ද කොහෙද. එයා එන දවසක එන්න බලන්නම්. ගොඩ පයයි වල පයයි තියාගන ඉන්න මගේ “ග්‍රොමිට්” දාලා යන්න බැරි තත්වයක් මේ දවස්වල.

      සීතල වැඩි දවසක මේ පැත්තට ෆන්ඩු කන්න එන්න.

  6. SiriBiris said, on දෙසැම්බර් 8, 2010 at 3:39 ප.ව.

    අපිට කොයින්දෑ කිටියෝ, චීස්. මට හිතෙන්නෙ චීසුත් අර කරවිල වගේ රස විඳින්න නං කට හුරු කරගන්න ඕනෙ එකක් කියලයි. එහෙම කිව්වෙ, ඔය නානාප්‍රකාර චීස් වර්ග ටැස් කොරන්න ගිහිල්ලා ඇනගත්ත හින්දයි. හ්ම්..ෆන්ඩු… ඇනගන්න හරි ඒකත් කාලම බලමු.

    ලස්සන පෝස්ට් එකක්. ගම වගේම, ලියලා තියෙන විදිහත් ලස්සනයි. කොහෙද, එච්චර ලස්සනට කතාව කියාගෙන ගිහිලා, ඇරියෙ නැතෑ පඩයක්..හී..හී. හිම හරි හිරිපොද වැස්ස වෙලාවක් හොඳට ඇවිදලා මහන්සි වුනාම, කඳු ගටයක් තියෙන ඔය වගේ පුංචි “කෝපි” කඩයක් පේන්නෙ, දිවිය ලෝකෙට යන දොර‍ටුව වගේනෙ. ඇට ක‍ටු සැට් එක රත් කොරගෙන, හොඳ උනුහුම් කෑම වේලක් සප්පායම් වුනාම, ආයි වෙන මොනවද?

    මේ නත්තල් නිවාඩුවට..අපිත් ඔය පැත්තට එනෝ…….

    • arunishapiro said, on දෙසැම්බර් 8, 2010 at 4:59 ප.ව.

      SiriBiris,
      හිනා! හිනා!

      ප්‍රතිචාර සියල්ලම කතාවටත් වඩා රස කර කර කියවන්න පුළුවන්.

      එන්න. එන්න. සාදරයෙන් පිළිගන්නම්. පොඩ්ඩක් විතර කළින් කියලා ආවොත් “චීස් නැහැ ග්‍රොමිට්, ඇබිත්තක් වත් ගෙදර නැහැ” කියන්න වෙන්නෑ!!

  7. sujeewa said, on දෙසැම්බර් 8, 2010 at 5:11 ප.ව.

    මහා චීස් අන්දරයට පුංචි අටුවාවක්. වඩාත් ම ලියන්නේ සංචාරයට ප්‍රිය කරන කට්ටියට කවදා හෝ දැක බලා ගන්නටත් එක්කයි.

    අහඹු සිදුවීමක් ලෙස [කෙටියෙන් කිව්වොත්] නෝර්වේ රටට යාමට සිදු විණා. එහෙදි තමයි මං මුලින් ම දැක්කේ එළු කිරි චීස්. මා අසාමාන්‍ය චීස් ප්‍රේමියෙකු හෝ අළුත් කෑම ටෙස්ටර් කෙනෙකු නොවේ. මගේ සගයා නම් ඉතාමත් ආසාවක් දැක්වූ දෙයක්, ගෙදර ගෙනාවාම පොඩිත්තියත් එලෙසින් ම ආසා වුණා. ඒ රටට ආවේණික කෑමක් මෙය.

    ඇවිදීමට ප්‍රිය කළ මාත් මගේ ගමන් සගයාත් නෝර්වේ වල තියෙන හිතා ගන්න බැරි තරම් ලස්සන ෆ්ලම් ගොහින් sognefjord දිගේ ගිහින් කඩා පාත් වුණේ මේ චීස් හදන Undredalකියන සුන්දර චූටි ගමට. චූටි කිව්වෙ හරහා එහා පැත්තට එක හුස්මට මටත් දිව යා හැකි නිසා. මහා කන්දකින් එහා පුංචි තැනි බිමක තිබූ එළු චීස් නගරයේ අය, කන්ද විදින තුරු ආවෙ ගියේ මුහුදින් විතරයි.

    එළු චීස්, ෆ්ලම්, sognefjord, Undredal වගේම නෝර්වේ ත් ඉතාමත් සුන්දරයි. ඇවිදින අය ගිහින් බලන්න.

  8. sujeewa said, on දෙසැම්බර් 8, 2010 at 5:19 ප.ව.

    අරුණි චීස් ගැන ලිව්වේ නරක කාලෙක. චීස් තියා පොල් ගෙඩිය රු 50ට ගිහින් මිනිස්සුන්ට පොඩ්ඩක් තරහ ගොස් ඉන්න සමයක්. මහ රජාණන්ටත් දෙවරක් හිතන්න ඕනෑ කාලයක් මොකද මේ සංවර්ධන සූදුව පැරදුනොත් මිනිසුන්ට කියන්න වෙන්නේ පාන් නැත්නම් චීස් කාපල්ලා වගේ දෙයක්.

    පෙර කළ සියල්ල මෙන් ම මෙහිදී ද මේ රජය මිනිසුන්ට දෙන්නේ නවමු අත් දැකීමක්. සුබසාධන මතෙ ම ඉන්න මිනිසුන්ට පොඩ්ඩක් මහන්සි කරවීමත් නරක ම නෑ, හැබැයි ජීවත් වන්න ප්‍රමාණවත් opportunity බිහි කරමිනුයි මෙය කළ යුත්තේ.

    • arunishapiro said, on දෙසැම්බර් 9, 2010 at 9:54 පෙ.ව.

      sujeewa,
      ආණ්ඩුව හැම දෙයක්ම කරලා දෙනකන් නිකං බලා ඉන්න සමාජයක හැටිනෙ. කවදද ලෝකයේ බඩු මිල පහත ගියේ ඉහළ නොයා?

      පොල් ගහක් වවාගත්තා නම් අවුරුදු 7 ක් 8 ක් යනකොට පොල්. 10 -15 ක් යනකොට වසරකට පොල් ගෙඩි 100 ක් විතර අවුරුදු 50 ක් විතර යනකම් ලැබෙනවා. 90 දී විතර ගහ මිය යන්නෙ. හැබැයි පොල් ගහට බෙහෙත්, පෝර, පොල් කඩන්න කෙනෙක් යනාදියට ගෙවන්න ඕනා. ලංකාවේ තවමත් පොල් කඩන්නේ මිනිස්සු ගහට යවලා නේද?

      තමන් විසින් යමක් නොකර, හැමදාම තව කාට හරි බනින එක ලේසියි!!!

      ඔව්. එළු චීස් හරි රසයි. විශේෂයෙන්ම සැලඩ් එකකට රත් කරපු එළු චීස් දැම්මම.

      ආණ්ඩුවෙන් රස්සාවල් දෙනකම් බලන් ඉන්න අයට බැරි ද චීස් හදන්න???? අනගි Mozzarella di Bufala Campana චීස් කියන්නෙ මී හරක් කිරි වලින් හදන චීස්!!!

  9. Praveena said, on දෙසැම්බර් 8, 2010 at 10:14 ප.ව.

    ස්විස් චාරිත්‍රයක් තමයි පාන් කෑල්ලක් ඔබද්දී ඒක චීස් හොද්ද තියන භාජනයට වැටුනොත් මේසයේ ඉන්න අයට වයින්‍ බෝතලයක් අරන් දීලා සංග්‍රහ කරන එක. කාන්තාවක් අතින් ඒක වුනොත් ඇය වම් පැත්තෙන් ඉන්න පිරිමියාට කිස් එකක් දෙන්න ඕනා!!!

    ඉතින් ෆන්ඩූ අනුභවයේ දී ළඟින් වාඩි වෙන්නෙ කවුද කියලා ටිකක් ඇහැ ගහගෙන ඉන්න අමතක කරන්න එපා!!

    අරුනි, දෙකම කියලා තියෙන්නේ ඔයාමයි.
    හරිම රසවත් ලිපියක්.

  10. chaminda said, on දෙසැම්බර් 9, 2010 at 2:31 පෙ.ව.

    මම අලුතෙන් තමා අවේ ඔයාගේ වෙබ් site එකට .මම ඔයාගේ ලිපි ගොඩක් කියෙව්වා . ගොඩක් හොද ලිපි තියෙනවා

  11. […] This post was mentioned on Twitter by Royly, Kottu. Kottu said: චීස් නැහැ ග්‍රොමිට්, ඇබිත්තක් වත් ගෙදර නැහැ! http://bit.ly/igwXqi […]

  12. කළු පූසා said, on දෙසැම්බර් 15, 2010 at 10:57 ප.ව.

    මේක කියවද්දී නම් cheese කන්නමයි හිතෙන්නේ

    අරුණි අක්කා ට රසවත්ව කතා ලියන්න ලොකු හැකියාවක් තියනවා. නරකද නවකතාවක් එහෙම ලිව්වොත් ?

  13. විත්තී said, on දෙසැම්බර් 22, 2010 at 2:10 පෙ.ව.

    මමනම් ඉතින් චීස් කියලා කාල තියෙන්නේ හැපිකව් සහ කාෆ්ට් විතරයි.
    ඉතින් අනිත් චීස් ගැන දන්නේ නැ.දවසක ස්විස්ටර්ලන්තයට ගිහින්ම කාල බලන්න ඕනේ

    • arunishapiro said, on දෙසැම්බර් 22, 2010 at 7:51 පෙ.ව.

      විත්ති,
      කාගිල්ස් ෆුඩ් සිටි වල කොත්මලේ බෝල චීස් කියලා එකක් විකුණනවා. මම රහ බලා නැහැ. ග්‍රෑම් 295 ක් රුපියල් 320/- කියන්නෙ. දැන් ස්විට්සර්ලන්තයෙන් එන අයෙක් මොනවද අරන් එන්න ඕන ඇහැව්වම ඉල්ලන්න දෙයක් ‍තියෙනවානේ!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: