අරුණි ශපීරෝ‍ වෙතින්

අව්ව තපින්නට දූපතක් සොයමි

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 2, 2011

ඊජිප්තුව … ඊජිප්තුව …. ඊජිප්තුව ….. ඔස්ට්‍රේලියාව ….. ඊජිප්තුව …. ඊජිප්තුව ….. චිකාගෝ ….. ඊජිප්තුව …ඊජිප්තුව. ඔන්න ඔහොමයි ඊයේ දවස පුරාම ඇමෙරිකන් මාධ්‍යයෙන් හා BBC සේවයෙන් ප්‍රවෘත්ති ඇහුනෙ.

සමහර ප්‍රවෘත්ති මාධ්‍යය විසින් පුංචි දරුවෝ මෙන් හදා වඩා, ලොකු කර, රට්ටුන්ට ලෝකයාට පෙන්වන්නේත් තවත් ප්‍රවෘත්ති කාගෙත් සැලකිල්ලකට භාජනය නොවී උපන් තැනම මිය යන්නේත් ඇයි?

පවතින මතවාදයන්ට හෝ බලය ලත්/ලබන්නට අර අඳින පාලකයන්ට පහර දෙන්නට හෝ නොදෙන්නට ප්‍රවෘත්ති ආයුධ කරගැනීමේ හැකියාව එක ප්‍රවෘත්තියක් තවත් ප්‍රවෘත්තියකට වඩා වැඩියෙන් ප්‍රචාරයට හේතුවක් විය හැකිය.

මාධ්‍යය විසින් ඒ මාතෘකාව ගැන එකතු කරගත් තොරතුරු සම්භාරයක් තිබීම නිසාත් යම් ප්‍රවෘත්තියකට වැඩි ප්‍රචාරයක් ලැබේ!

හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස වූ ප්‍රවෘත්ති ද වැඩියෙන් කාලයක් අයිති කර ගනියි.

දාර්ශනික මතවාද වැඩි පිරිසකට වැ‍ටහෙන්නේ නැති නිසා එවැනි මාතෘකා ලබනා කාලය බෙහෙවින් අඩුයි.

වාර්තා කරන්නට වැදගත් යැයි සලකත හැකි තොරතුරක් නැති දවසක, බැලුම් බෝල පුම්බා පුටුවට බැඳගත් මනුස්සයාගේ ගුවන් ගමනට ද සෑහෙන සැලකිල්ලක් ලැබේ!!

චිකාගෝ නගරය ඇති රට මැද ඇමෙරිකානු ප්‍රාන්තයන් දැවැන්ත හිම කුණාටුවකින් බැට කයි. මා වාසය කරන්නෙ ඊට බොහෝ දුරක ය. ශපීරෝ සනුහරයේ බොහොමය ජීවත් වෙන්නේ චිකාගෝ පැත්තේ ය. ඒත් ලෝකයට තවමත් ඉන්නා එකම අරුණි ශපීරෝ නම් චිකාගෝ හි නැත්තේ ය!

ඍතු වෙනස්කම් තිබෙන රටක ජීවත්වෙන ජනතාවට වැළඳෙන මානසික රෝගී තත්වයක් seasonal affective disorder (SAD) නමින් හැඳින්වේ. සිසිර හා හේමන්ත ඍතු වල දී සිතට දැනෙන දොම්නස් ගතිය වසන්තයේ උදාවත් සමඟ පහ වී යයි. ආලෝක ප්‍රතිකාරයෙන් හේමන්තයේ දී මෙම දොම්නස් ගතියට සහනයක් ලබාගත හැකි යයි වෛද්‍යවරු පෙන්වා දෙති.

සිත තුලට රිංගන්නට එන දොම්නස් ගති වටින් පිටින් ඇහෙනා දුක්බර ප්‍රවෘත්ති නිසා ද?

එසේම ‘හිරු ජනතාවට’ අඩුවෙන් හෝ වැඩියෙන් ‘අයිස් ජනතාවට’ හේමන්තයේ දොම්නස් ගති වෙනසක් ඇත් ද?

කාර්මික යුගයේ රට රටවල් අතර යුද්ධයන් වැඩියෙන් පැවතියේ අයිස් ජනතාව අතර ය. නැපෝලියන් සිට සීතල යුද්ධය දක්වා යුරෝපීයන් හෝ නැගෙනහිර ආසියානුවන් වැඩියෙන් යුද්ධ කළහ. යුරෝපීය, චීන, කොරියන්, ජපන්, ඇමෙරිකන්.

ඒ සියල්ලම අයිස් ජනතාව ය.

ඔවුන් අතර නැවත යුද්ධ ඇරඹීමට හැකි ද? සයිබීරියාවේ සම්පත් උදුරා ගන්නට චීන්නු රුසියාව සමඟ සටන් වදියි ද? ඇලස්කාව හෝ හවායි දූපත අල්ලන්නට චීනය ඇමෙරිකාවට පහර දෙයි ද? සෙන්කාකු දූපත් අයිතිය කියන්නට ජපානය හා චීනය සටන් වදියි ද?

අද වැඩියෙන් යුධ හා අරගල දකින්නට ඇත්තේ හිරු ජනතාව වාසය කරනා පැතිවල ය. සෞම්‍ය දේශගුණයන් සමහරක හා වැඩිපුර උෂ්ණ කලාපීය රටවල ය. උතුරු අප්‍රිකාව, මැද පෙරදිග, පාකිස්තානය, උතුරු ඉන්දියාව හා බංගලාදේශය මෙන්ම ඉන්දුනීසියාව ද කෙමෙන් පිටස්තර හා ඇතුලත අරගලයන් තුළින් ගමන් කරනා රටවල් ය.

මුල් අවුරුදු සියය ගෙවූ විදියටම ලතින් ඇමෙරිකානු රටවල් ඇතුලත අරගල පමණකින් ජීවත් වෙති.

අද අයිස් රටවල් මුහුණ පාන්නේ තම රටවල් වලට සංක්‍රමණය වූ හිරු ජනතාව මුහුණ පානා ජගත් රාජනීතින් ගැටුම් ද? එනම් යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවල පදිංචිව ඉන්නා සෞම්‍ය කලාපීය හා උෂ්ණ කලාපීය සංක්‍රමණිකයෝ හිරු ජනතාවගේ යුධ වැඩි කරනවා ද?

Richard Lynn හා Tatu Vanhanen යන අයගේ මතය නම් බුද්ධිය හා නිර්මාණශීලිත්වය අතින් අයිස් ජනතාව සෞම්‍ය හා උෂ්ණ කලාපීය ජනතාවට වඩා ඉහළින් ඉන්නා බවයි. දළ මධ්‍යස්ථ IQ ගත්කළ අයිස් ජනතාව අතර එය 100 ට වඩා වැඩි යයි ද, සෞම්‍ය කලාපීයන් අතර 90 ක් පමණටත්, උෂ්ණ කලාපීයන් අතර 80 ට අඩු යැයි ද ඔවුන් IQ and Global Inequality (2006) පොතෙන් පෙන්වති.

ඇමෙරිකාවේ වාසය කරන ඉන්දියානු -හිරු ජනතාව- වැඩියෙන්ම ඇකඩමියාවේ ඉහළ ස්ථානයන් ගන්නෝ ය. ඇමෙරිකාවේ මධ්‍යස්ථ වූ ආදායම් අතින් ඉහළින් ම ඉන්නේ ද ඔව්හු ය.

දළ මධ්‍යස්ථ IQ ගත්කළ, ඉන්දියාව 82, පාකිස්තානය 84, බංගලාදේශය 82, ශ්‍රී ලංකාව 79 යැයි දැක්වේ.

නමුත් ඔවුන් අයිස් රටවල් වලට පැමිණි කල ඉහළ IQ ලබන්නට සමත් වෙති.

තත්වය එසේ නම් හිරු ජනතාවගේ යුද නවතා යහපත් බවට පෙරළන්නට අයිස් ජනතාව පිළිපදිනා ප්‍රතිපත්ති, බුද්ධිය හා නිර්මාණශීලිත්වය දියත් කල යුතු ද? මේක නම් කවුරුත් බාරගන්න මතවාදයක් නොවෙනු නිසැකයි!!!!

අයිස් ගැන කතාබහ නිසා වෙව්ලා යන සීතලක් ගත පුරා දිව යයි. දොම්නස් පුවත් නිසා රිංගන්නට හදන ඍන වේගයන් ඇතුලට එන්න නොදී සිත අගුල් ලා ඉන්නේ අරගලයකිනි! හිරු එළියෙන් සිත පිනවා ගන්නට අව්ව තපින්නට දූපතක් වහාම සොයන්නට ඕනා ය.

ඔස්ට්‍රේලියාව මුලින් ම සිහියට නැඟුණි. එහෙත් ගංවතුරෙන් බැට කා, දැන් යාසී සුළි සුළඟෙන් දුක් විඳිනා තැනක අව්ව තපින්නට යන්නේ කොහොම ද?

මෝරිෂස් දූපත සිහියට ආවේය. ළඟක දී එහි හනිමුන් ගිය ‍ජෝඩුවක් මහා විපත්තියකට මුහුණ පෑහ. සැමියා තේ පානය කරද්දී තම කාමරයෙන් යමක් රැගෙන ඒමට ගිය හාමිනේව ඔවුන්ගේ බඩු හොරකම් කරමින් සිටි හෝටල් සේවකයෝ නාන බේසමේ ඔබා මරා දැමූ කතාව සිහිවිය.

ලංකාවේ හෝටල්වල ක්‍රිකට් අවසන් වෙනතෙක් කාමර නැති බව දැන ගන්නට ලැබිණ. ගාල්ල පැත්තේ ද සාහිත්‍ය උළෙලට ආ අයගෙන් හෝටල් පිරී ඇතැයි අසන්නට ලැබුණි. කොළඹ නගරයේ ද සීතල මකන්නට රෑට රෑට අත් දිග වස්ත්‍ර අඳින්නට ජනතාව හුරු වෙනවා යැයි අහන්නටත් ලැබුණි! ළඟ එන මැතිවරණ කෝලම් නිසා දොම්නස් ගති වැඩි වෙන්නටත් පුළුවන!!

‍මාලදිවයිනට යන්නට බැරි ය. එහි ගොස් ලංකාවට නොගිහින් ආපහු ආවොත් ලංකාවේ යාළුවෝ සියල්ලෝම අමනාප වනු නිසැක ය.

අරූබා, ජැමෙයිකා, බර්මියුඩා, බහාමා, කේ ලාර්ගෝ, මොන්ටේගෝ … බීච් බෝයිස්ලාගෙ කොකොමෝ සිංදුවේ එන දූපත්?

ගිහිල්ලා නැති තැනකුත් හොයාගන්න ඕන…

ෂෙරිල් ක්‍රෝ ගයන විදියට ගිහින් ‘හිරු එළියෙන් පෙඟෙන්න’ හැකි තැනක් ඉක්මණින් හොයාගන්න ඕන.

20 Responses

Subscribe to comments with RSS.

  1. praveena said, on පෙබරවාරි 2, 2011 at 9:37 ප.ව.

    අරුනි, අනේ තරහා නම් වෙන්න එපා. අද නම් මම කලේ ඔයට දූපතක් හොයන එක නෙමේ, ‘ශපීරෝ සනුහරේ ගැන හොයපු එක.’

  2. මාරයාගේ හෝරාව... said, on පෙබරවාරි 2, 2011 at 10:11 ප.ව.

    අරුණි අක්කේ..පොඩ්ඩක් බලන්ඩ පොතුවිල් පැත්ත..නැගෙනහිර වෙරලේ..
    අපේ අභීත එදිරිසිංහට කතා කලානං එයා හැම දේම හරි ගස්සලා දෙයි..දන්නවනේ අර ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ලියන්නේ..මං කිව්වට එක පාරක් අහලා බලන්ට..ඔනනං මාත් මෑන්ස්ට කියන්නං.
    මට දුකයි අක්කේ උඹලා අපේ මෙ රට තියෙද්දී..පිටරටකට සතයක් හරි ගෙවන එකට බං..

    • arunishapiro said, on පෙබරවාරි 2, 2011 at 10:34 ප.ව.

      මාරයාගේ හෝරාව…,
      මම ඔය පැත්තට නාවට සෑහෙන්න වියදම් කරන අයව එවනවා නිතරම. නැගෙනහිර වෙරළ පැත්තට ගිහින් ආපු අය කියන්නෙ ඒ පැත්තෙ වැසිකිළි පහසුකම් සහ කන බොන තැන් ඉතා අඩුයි කියලා. අභීතගෙනුත් අහලා බලන්නම්. කියන්න අමුතු නොම්මරයක් වැටිලා තිබ්බොත් උදේ පාන්දර ඒ මම කියලා!!

  3. අක්කේ තායිලන්ඩ් මොකෝ ?
    මාරයා කිව්වා වගේ නැගෙනහිර වෙරලත් හොදයි නැත්නම් බටහිර වෙරලේ තලෙයි මන්නාරමත් හොදයි හැබැයි ඉතින් තලෙයි මන්නාරමේ එච්චර පහසුකම් නම් නැ.යුද්ධ කාලේ ගියාට පස්සේ කාලෙකින් ගිහින් නැ.ඒක හින්දා දැන්නම් තත්ත්වේ කෝමද දන්නේ නැ.කල්පිටිය , මීගමු කෝමද ? මේ දවස්වල කල්පිටිය පොඩ්ඩක් ජනප්‍රිය වේගන එනවා.ඒ පැත්තේ ක්‍රිකට් උණුසුමත් නැතිහින්දා හොටෙල් එහෙම ඇති.

  4. සුජීව said, on පෙබරවාරි 3, 2011 at 3:54 පෙ.ව.

    [[කොළඹ නගරයේ ද සීතල මකන්නට රෑට රෑට අත් දිග වස්ත්‍ර අඳින්නට ජනතාව හුරු වෙනවා යැයි අහන්නටත් ලැබුණි]]

    නිතර ඔබේ අඩවියට ගොඩ වන කෙනෙක් ටි ෂර්ට් එකක් [ජර්සියක් නැතුව] ඇඳගෙන ඇවිත් කට්ට කන බව අහන්න ලැබුනේ නැද්ද?

    මේක මාර හිතලක් අප්පා.

    නිවාඩුවට යන්න මා ආසම තැන ෆෙරෝ දුපත්. අවුව තපින්න නොවේ, සිතල විඳගන්න. පින්තුර නම් පුදුම ලස්සනයි.

    • arunishapiro said, on පෙබරවාරි 3, 2011 at 8:52 පෙ.ව.

      සුජීව, ජර්සිය නැතුව ඇවිත් කාපු කට්ටෙන් වත් පාඩමක් ඉගෙන ගෙන නැතුවා වගේ! ෆෙරෝ දූපත් අයිස්ලන්තය ළඟනෙ. මම හොයන්නෙ හිරු ජනතාව ඉන්න පැත්තෙ එකක්.

      • සුජීව said, on පෙබරවාරි 3, 2011 at 9:04 පෙ.ව.

        ෆේරෝ දුපත් දිහාවේ යනවා නම් ලැස්ති වෙලා යන්න ඕනේ. පින්තුර ටිකක් ගුගල් කරලා බලන්න ලස්සන. අයිස්ලන්තෙට ළඟ උනාට කැනඩාව හා ඔස්ලෝ වලට වඩා උණුසුම්. කෙලින්ම අත්ලාන්තික් දියවැලේ පිහිටි එහි උණුසුම ලබන රටක්.

        අරුනිට හරියන්නේ තායිලන්තය මැලේසියාව වගේ දිහාවක්‌. කැරිබියන් දුපත් වල අනාරක්ෂිත ගතිය වැඩියි.

        ඔබට මාල දිවයින මිස් වුනාද?

        සංචාරක කෝණයෙන් බැලුවාම, හැම අවුරුද්දෙම ලංකාවට දුවගෙන එන එක්ස්පැට් ලා කරන්නේ අපරාධයක් නේද? ඔහොම පිටරට ඉඳලා සැමන් මාළු වගේ ලංකාවට එනවට වඩා ඒ රටවල මිනිසුන්ට ලංකාවට එන්න දිරි දෙනවා නම් ඒක ලංකාවට වැඩි යහපතක් කරයි. ඒකත් කතාවට උචිත මාතෘකාවක් කියා හිතෙනවා.

        • arunishapiro said, on පෙබරවාරි 3, 2011 at 9:55 පෙ.ව.

          සුජීව, තායිලන්තයට හා මැලේසියාවට කිහිප වතාවක්ම ගිහින් තියනවා. හැබැයි කතන්දරලා පස්තාච්චි අදින කාලවල දී නෙමෙයි.

          ඉස්සර කැරීබියන් පැත්තෙ හිටියට මුහුදු කොල්ලකරුවෝ දැන් ඉන්නෙ සෝමාලියා පැත්තෙනෙ.

          මාල දිවයින මිස් වුනේ නැහැ. //‍මාලදිවයිනට යන්නට බැරි ය. එහි ගොස් ලංකාවට නොගිහින් ආපහු ආවොත් ලංකාවේ යාළුවෝ සියල්ලෝම අමනාප වනු නිසැක ය.//

          සැමන් මාළු කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි.

  5. abeetha said, on පෙබරවාරි 3, 2011 at 4:42 පෙ.ව.

    මට කතා කරන්න.. මේ දවස්වලනම් නැගෙනහිර පැත්ත ටිකක් අමාරුයි අක්කේ.. ගංවතුර නිසා… ඔයාට ඕන දවස්, අවශ්‍ය පහසුකම්, ප්‍රවාහන කටයුතු සියල්ල දන්වන්න… අපි බලමු මොනාද කරන්න පුළුවන් කියලා…

    abeetha@srilankatourorganizers.com

    • arunishapiro said, on පෙබරවාරි 3, 2011 at 9:40 පෙ.ව.

      abeetha,
      ලංකාවට සංචාරය සඳහා එන අය හොයන්නෙ කරදරයක් නැතුව තමන්ගෙ නිවාඩුව ගෙවලා යන්න. මඟ දී කැඩෙන වාහන, ගියාම වහලා තියන තැන් යනාදිය එයාලට දිරවනවා අඩුයි. වැඩියෙන්ම ඇමෙරිකන්කාරයාට. මොකද ලෝකයේ ම වැඩියෙන් ම කාලයක් රැකියාවේ වෙන්නෙ ඔවුන්. නිවාඩු ඉතා අඩුයි. තියන නිවාඩු වුනත් ගන්න පසුබටයි මොකද නිවාඩු ගිහින් ආවාම ගොඩ ගැහෙන වැඩ කන්දරාව නිසා.

      ඊ ළඟට ලංකාවට එන්න ලෑස්ති වෙන කෙනෙක් දෙන්නෙක් එවන්නම් ඔයා ළඟට. ඇමෙරිකාවෙන් විතරක් නෙමේ හැම පැත්තකම ඉන්නවා ලංකාවට එන දන්න අඳුනන අය. ඒ අය ඔයාට දෙන අගැයුම් අනුව තව අය එවන්න පුළුවන්.

      මාත් එන දවසක බලමුකො.

  6. Grey said, on පෙබරවාරි 3, 2011 at 9:28 පෙ.ව.

    හික්..මමත් මේ නිවාඩුවක් ප්ලෑන් කර කර ඉන්නෙ.. එකක් ගිහින් ආව විතරයි… 🙂
    ඕකට දුපතක් වෙන්නම ඕනෙද?
    ටර්කි හොද නැද්ද? ඇන්ටාලියා වගේ..
    එහෙම නැත්නම් ඔය ලග තියෙන කැරිබියන් රටවල් ටික…බර්බඩොස්, ට්‍රිනිඩැඩ්, ටොබෙගො.. හැබැයි ඉතින් ඔයාට ලග නිසා ගොඩක් වෙලාවට ගිහින් ඇති.. 😦
    එහෙම නැත්නම් ඔය ස්පේන් හරියේ (කොහොමද අප්පා සිංහල එක ලියන්නෙ..) මිනොකා, ටෙනරිෆ්, මජොකා, ඉබිzආ වගේ තැනක්..
    සම‍්ර එකේ යනවනම් ග්‍රික් දුපත් වගේම, ඉතාලියත් රස්නෙයි. 🙂

    • arunishapiro said, on පෙබරවාරි 3, 2011 at 9:49 පෙ.ව.

      Grey,
      අර ‘හිරු ජනතාව’ සහ ‘අයිස් ජනතාව’ වගේ ‘දූපත්වාසී ජනතාවටත්’ තියනවා විශේෂිත වූ ගති පැවතුමක්. සැහැල්ලුවෙන් දවස ගෙවීම! ඒකයි අව්ව තපින්න හොඳම තැන දූපතක් වෙන්නෙ!

      ගිහින් නැති තැනක් තමයි හොයන්නෙ. හැමදාම යන තැන්වලටම යෑම අර සුජීව කිව්වා විදියට සැමන් මාළු වගේ යන එකින් වැඩක් නෑනේ.

      කැරීබියන් තමයි වඩාත් ම ළඟ. ගිය නැති දූපතක් හොයන්න ඕනි.

      ස්පාඤ්ඤය, ග්‍රීසිය, ඉතාලිය පැත්තට ගිම්හානයක දී තමයි යන්න හොඳ. දාමු බ්ලොග් හමුවක් ඒ පැත්තේ දී ගිම්හානය ආවාම.

      • Grey said, on පෙබරවාරි 3, 2011 at 10:59 පෙ.ව.

        අනිවා දාමු දාමු..මම නම් පාස්කු නිවඩුවට වැනිසිය පැත්තේ රවුමක් ගහන්න ඉන්නේ..
        සමර් එකේ මැද පුලුවන් උනොත් සතිඅන්තයක් ඇම්ස්ටර්ඩෑම් යනවා 😉
        හැබැයි ඔය දෙකම තාම හිතනවා.

  7. kevin perera said, on පෙබරවාරි 3, 2011 at 1:17 ප.ව.

  8. ගවරා said, on පෙබරවාරි 8, 2011 at 12:14 ප.ව.

    යන්න ඩෙල්ෆට්, විදින්න යාපනය!!!

    • arunishapiro said, on පෙබරවාරි 8, 2011 at 1:39 ප.ව.

      ගවරා, එළුවොයි බූරුවොයි හිටියට කන්න බොන්න ඉන්න හෝටලක් වත් නෑනේ…. යාපනය විඳින්න නම් නෙමේ දුක් විඳින්නයි වෙන්නෙ.

  9. […] සොයා ගත්තෙමි. සොයන්නට උදව් දුන් හැමට තුති. එවන ලද යෝජනා අතරෙන් ඉබිසා වැඩියෙන්ම […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: