අරුණි ශපීරෝ‍ වෙතින්

විස්මිත මිනිසත් බව

Posted in Uncategorized by arunishapiro on මාර්තු 2, 2011


පැය හතරක දී අපි සීතල පරිසර‍යෙන් පියාඹා ගොස් උණුසුම් දේශගුණයකට පා තැබුවෙමු.

පුවෙර්තො රීකෝ භූමියේ ගුවන් යානයේ රෝද වැදෙද්දී ඇතුලත සිටි පුවෙර්තො රීකන් මඟීන් හා එකතුව අත්පුඩි ගහන්නට අපි ද එකතු වුනෙමු. එසේ අත්පුඩි ගැසීම නන් දෙස සැරිසරා ආපසු තම උපන් බිමට එන පුවෙර්තො රීකන් ජනයාගේ චාරිත්‍රයකි.

කොතරම් ගුවනින් ගමන් ගියත් ගුවන් යානාවකින් බසින හැම අවස්ථාවක දී ම පියාඹා යන්නට මඟ පාදා ගත් මිනිසාගේ හපන්කම ගැන මට දැඩි ආඩම්බරයක් දැනේ.

තද සුළඟින් පිරි දූපතක් මෙන් ම ආර්ද්‍රතාවයෙන් ද අඩු නිසා ඉහින් කනින් දහදිය වැගිරීම සිදු නොවීය.

අපි කුලියට ගත් වාහනයේ අධිවේගී මාර්ගය සඳහා මුදල් ඉබේ කැපෙන ස්ටිකරයක් අලවා ඇතැයි කුලියට දුන් ආයතනය කීහ. එවැනි බාධක ඇති තැන් වලින් auto expreso ලේන් එකෙන් යද්දී අපිට කොළ ලයිට් ‍නොවැටීම නිසා පසු පසින් ආ මඟීන් හෝන් ගැසූහ. ආපසු වාහනය බාර දෙන්නට ගිය විට ඒ ස්ටිකරය වාහනයේ අලවා නොතිබුණු බව දැනගන්නට ලැබිණ. ස්ටිකරය අලවන්නට අතපසු වීමේ වගකීම ඔවුන් බාරගත්හ.

සියළු මාර්ග සංඥා ස්පාඤ්ඤ බසෙනි. මාර්ගයේ දුර සමහර විට කිලෝ මීටර් වලින් ද, සමහර විට සැතපුම් වලින් ද සටහන් ය. වේග සීමා සඳහන් පුවරු කොයි මිනුමෙන් දැයි දන්නේ දන්නෝ පමණි!!!

වසර 250 කට වඩා කාලයක් මහන්සි වී ඉදි කරන ලද පවුරු බලකොටු ස්පාඤ්ඤ ආක්‍රමණිකයන්ගේ හුරුව නොමැකී යන සේ අද දිනයේ ද දකිනු හැකිය. ඔව්, ඒ පවුරු බැන්ඳේ අප්‍රිකාවෙන් පැහැර ගෙන ආ වහල් ජනතාව විසින් ය. පුවෙර්තො රීකෝ හි වහල් සේවය තහනම් කරන ලද්දේ 1873 දී ය.

අද දිනයේ වැඩියෙන් ම එහි ඉන්නේ ස්පාඤ්ඤ උරුමයෙන් යුතු අයයි. ඊ ළඟට කළු ඇමෙරිකානුවන් 7% ක් පමණ හා ඉන්දියාවෙන් ආ අය මෙන් ම චීන්නු ද දැකිය හැකිය. ස්වදේශී ඇමෙරිකානුවන් ඉන්නේ 0.2% පමණි.

රෝමානු කතෝලිකයන් වැඩි පිරිසක් ද, ‍වෙනත් ක්‍රිස්තියානි ආගම් අදහන අය ද අතරේ මුස්ලිම් පල්ලියක් ද දකින්නට ලැබුණි. මහායාන බුද්ධාගම අදහන සුළු පිරිසක් ද සිටිති.

දූපතේ ඇති එළවළු හා පළතුරු ඓන්ද්‍රීය පැළ තවාන කරගෙන යන්නේ සාධු ගෝවර්ධන නමින් පෙනී සිටින සුද්දෙකි. ලංකාවේ වැවෙන හැම පළතුරක් ම හා හැම එළවළුවක් ම පුවෙර්තො රීකෝ හි ද වවනු හැකි බව මේ සුද්දාගෙ වෙබ් අඩවියට ගියාම දකින්නට පුළුවන.

තායිලන්තයෙන් ගෙනැවිත් මෑතක දී හඳුන්වා දුන් රඹුටන් පුවෙර්තො රීකෝ පසෙහි සරු ලෙසින් වැවී ඇත. රඹුටන් වගාව කරන්නා මේ පැතිවල දූපත් වලින් එන ඉල්ලුමට සරිලන සේ සැපයුමක් දෙන්නට වගාව තවම පැතිරී නැතැයි කියයි.

නිතර හමන තද සුළං නිසා සුළඟට ඔරොත්තු දිය හැකි වූ වගාවන් දූපතට සීමා වේ.

දූපතේ වූ ප්‍රධාන නගරයේ අවන්හලක හෝ දූපතේ මං මාවත් අසල ඇති කඩ ලෑල්ලක විකුණන්නේ මෙක්සිකෝවෙන් හා වෙනත් කැරිබියන් දූපත් වලින් ගෙනැවිත් පුවෙර්තො රීකෝ හි ටින් කරන ලද පළතුරු යුෂ ය. සීතල කරන ලද කුරුම්බාවක් (coco frio) පානයට මිල දී ගත හැකිය.

කෙසෙල්, දෙල්, පොල්, මඤ්ඤොක්කා හා අන්නාසි වගා භූමි දැක්කේ ඉතා අඩුවෙනි. මේ අවාරය දැයි මා සැක කළෙමි. රඹුටන්, මැංගුස් ටින් හා අඹ අවාරය වූවාට ගස්ලබු, පැෂන් ෆෲට් (පාර්චා) ඇතුළු වසර පුරා ඉදෙන පළතුරු නැති වීමට හේතුව වෙනකකි.

කුසීත ජනතාවක් රජයෙන් ලැබෙන සුබ සාධන මත ජීවිතය ගෙවන්නට අද පුරුදු වී සිටිති.

දූපතේ ආණ්ඩුවේ සේවකයෝ වැඩි ය. ආණ්ඩුවේ වැඩ කරන්නෝ විසින් රෙගුලාසි බොහොමයක් දැඩි සේ පවත්වා ගෙන යන නිසා සාමාන්‍ය පුද්ගලයෙක් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට කරදර නොවී රැකියා විරහිත හෙයින් තමාට මසකට ලැබෙන ඇමෙරිකන් ඩොලර් 1,800 න් සුව පහසු දිවියක් ගෙවයි. සෙසු ඇමෙරිකාවේ මෙන් නොව පුවෙර්තො රීකෝ හි සෞඛ්‍ය සේවාවන් ද නොමිලේ සැපයේ.

විස්මිත කරවන හැකියාවන් සතු මිනිසා මහා සාගර පරදවා පැමිණ මෙසේ අද දිනයේ අරමුණක් නොමැති වූ කල කොතරම් පරාධීන ජීවිත ගෙවනවා දැයි මට සිතුණි.

මේ ගමනේ දී පෙරළෙන රැළි මතින් යන්නට සමත් මිනිසා ගැන ද මහත් ආඩම්බරයක් සිතට දැනුණි. තව තොරතුරු ඉදිරියට. තවමත් රුවල් නැව පැද්දෙන තාලයට මිස ගොඩබිමට මොළය හුරු වී නැත!!!

22 Responses

Subscribe to comments with RSS.

  1. praveena said, on මාර්තු 2, 2011 at 8:43 ප.ව.

    හරිම ලස්සන තැනකටනේ ගිහින් තියෙන්නේ.
    ඉතුරු ටිකත් කියනකල් මෙතනින් හෙල්ලෙන්නේ නෑ.

    අරුනිගේ පිඟානේ තියන චිප්ස් ගොඩ.

  2. Priyantha said, on මාර්තු 2, 2011 at 9:14 ප.ව.

    සුන්දර තැනකට ගිය ගමනක් ගැන සිත් ඇද ගන්න වාර්ථා කරණයක්…
    මං හිතන්නේ තව විස්තර ඉදිරියේ කියවෙයි කියා..
    @ප්‍රවීනා
    අපි තාම ඔයාගේ පිඟාන දැක්කේ නෑනේ…:D

  3. dee said, on මාර්තු 3, 2011 at 12:37 පෙ.ව.

    Lovely post, encanto!

    Nashville (Tennessee) වල ප්‍රජාවත් ඔය වගෙම පරාධීනයි/කුසීතයි කියලා මම මෑතකදි ඇහුවා. එහෙ නම් මත් ද්‍රව්‍ය භාවිතය තදින්ම තියේ කියලාත් දැන ගත්තා..

    • arunishapiro said, on මාර්තු 3, 2011 at 8:44 පෙ.ව.

      dee,
      හැම අතම බැලුවා. Mimosa Pudica දකින්න බැරිවුනා!

      ටෙනසි ප්‍රාන්තයේ වසර 15 ක් පමණ මා ජීවත් වුනා. නෑෂ්විල් නගරයට වඩා ඇපලේචියන් කඳුකරයේ ජනතාව අතර තමයි ක්‍රිස්ටල් මෙත් වගේ මත්ද්‍රව්‍ය (methamphetamine) නිෂ්පාදනය හා පාවිච්චිය බහුල. ටෙනසි ප්‍රාන්තයේ ගෙයක් විකුණද්දී අත්සන් කරන්න ඕනා තමාගේ නිවහනේ මෙත් නිෂ්පාදනය නොකළ බවට ප්‍රකාශයක්!!! ඒ වගේම තමන්ගෙ අනිකුත් කසාද/දික්කසාද වල දරුවන්ට ගෙවිය යුතු වන්දි ගෙවලා නැත්නම් ඒවත් ගෙයක් විකුණුවාම ප්‍රාන්ත ආණ්ඩුව ගෙයි මුදල් වලින් අරගන දරුවන්ට දෙනවා.

      ටෙනසි ප්‍රදේශය සෙසු උතුරු ප්‍රාන්ත වගේ දැඩි සීතලකින් නොයුතු පරිසරයක්. ගංගා, විල් හා පොකුණු බහුල සුන්දර කඳුවැටියේ මුල් පදිංචිකාරයෝ අයර්ලන්තයෙන් හා ස්කොට්ලන්තයෙන් ආපු බැටළු වැනි සත්ව පාලකයෝ. එයාල ජීවත් වෙන්න කැමති තනි තනිවම පුංචි ගෝත්‍රික සමාජ හැටියට. වැඩි අධ්‍යාපනික උවමනාවක් නැති පරිසරය හා ගැටී දිවිරැක ගන්නා හැදියාවෙන් යුතු අය.

      ටෙනසි පැත්තෙ දුම්කොළ වගාවත් බහුල යි. වහල් සේවය නම් අනිකුත් දකුණු ප්‍රාන්ත සේ පැතිර තිබුනේ නැහැ. කෘෂිකාර්මික බවට වඩා පශු කාර්මික වූ ජීවන රටාවක් ගත කරන ටෙනසි වැසියන් තම නිදහස් බව අගයනවා.

      අද දිනයේ පවා ටෙනසි විශ්ව විද්‍යාලයේ ප්‍රසිද්ධම සිංදුව මෙහෙමයි: ඔය සිංදුවේ කියන ‘මූන්ෂයින්’ ලංකාවේ පෙරන කසිප්පු වලට සමානයි! ඔවුන් තම තෝරාගැනීම අනුව ජීවත් වෙන ජනතාවක්!!!

      Rocky Top
      by Boudleax and Felice Bryant

      Wish that I was on ol’ Rocky Top
      Down in the Tennessee hills
      Aint’ no smoggy smoke on Rocky Top
      Ain’t no telephone bills

      Once I had a girl on Rocky Top
      Half bear, other half cat
      Wild as a mink,
      but sweet as soda pop
      I still dream about that.

      Rocky Top you’ll always be
      Home sweet home to me
      Good ol’ Rocky Top
      Rocky Top Tennessee,
      Rocky Top Tennessee

      Once two strangers climbed ol’ Rocky Top
      Lookin’ for a moonshine still
      Strangers ain’t come down from Rocky Top
      Reckon they never will

      Rocky Top you’ll always be
      Home sweet home to me
      Good ol’ Rocky Top
      Rocky Top Tennessee,
      Rocky Top Tennessee

      Corn won’t grow at all on Rocky Top
      Dirt’s too rocky by far
      That’s why all the folks on Rocky Top
      Get their corn from a jar

      Rocky Top you’ll always be
      Home sweet home to me
      Good ol’ Rocky Top
      Rocky Top Tennessee,
      Rocky Top Tennessee

      I’ve had years of cramped-up city life
      Trapped like a duck in a pen
      All I know is it’s a pity life
      Can’t be simple again

      Rocky Top you’ll always be
      Home sweet home to me
      Good ol’ Rocky Top
      Rocky Top Tennessee,
      Rocky Top Tennessee

      • dee said, on මාර්තු 3, 2011 at 11:12 පෙ.ව.

        අම්මෝ, කමෙන්ටුවකට තීසිස් එකක් ලිව්වොත්, ඒ ඔයාම තමා..! ස්තුතියි!!

        පින්තුර වල දැක්ක හැටියට නම්, ඒ දූපතේ වල් පැල කියලා දෙයක් ඉතිරි වෙල නෑ වගෙ, ඒ නිසා වෙන්නැති නිදි කුම්බා තිබ්බෙ නැත්තෙ..

        ඔය මෙත් විස්තරේ මගෙ යාලුවා කිව්වා – හනේ සන්සාරේ..!

        සින්දුව රස වින්දා – නියමයි 😉

        එහෙ Elephant Sanctuary එක බලන්න යන්න ලොකු ආසාවක් තියෙනවා, ජන ජීවිතේ දකින්නත් එයෙමයි..

      • Grey said, on මාර්තු 3, 2011 at 11:15 පෙ.ව.

        Tennessee, home of good old JD 🙂

  4. ගෝල්ඩ් fish said, on මාර්තු 3, 2011 at 1:30 පෙ.ව.

    ඇත්තට අක්කේ, ඔය තරම් සරු පොළොවක් තියාගෙන ඒ මිනිස්සු ඇයි රජයෙන් ලැබෙන දේම බලාගෙන ඉන්නේ?

    හරියට නිකං ලාකාවේ, අතපය තියෙන හොඳට හයි හත්තිය තරුණ කොල්ලෝ, අම්මට තාත්තට ලැබෙන සමෘද්ධියෙන් ඉන්නවා වගේනේ. ඒ වුනාට අපේ රටට වැඩියනම්, ඔය රටේ මිනිස්සු ගැන රජයෙන් හිතනවා වගෙයි.

    • arunishapiro said, on මාර්තු 3, 2011 at 9:11 පෙ.ව.

      ගෝල්ඩ් fish,
      නිකම් දෙනකම් බලාගෙන ඉන්න මිනිස්සු වෙනුවෙන් දෙන්න කවුරු හරි නිෂ්පාදනය කරන්න ඕන. මුකුත් නොකර අතපාන අයට කෙළවෙන්නෙ අර පිරිස විසින් නිෂ්පාදනය නොකර සිටින දාට. අද මෙහෙ වෙන්නෙ ඒකයි.

      ආණ්ඩු විසින් ජනතාව ගැන ‘හිතන’ නිසා සුබ සාධන වැඩ පිළිවෙත් දියත් කරනවා. අඩු ආදායම් රැකියා නිසා, මානසික ලෙඩ රෝග නිසා, අනතුරක් හෝ ආපදාවක් නිසා ජීවිතය ජයගන්නට නොහැකි අයට අත දෙන්නට.

      නිකම් යමක් ලැබෙනවා නම් මහන්සි නොවන කොටසක් ඉන්නවා. මහන්සි වෙලා හොයනවාට වඩා කොල්ල කාලා හොයන කොටසක් ඉන්නවා වගේ.

      කොමියුනිස්ට් හෝ සමාජවාදී පාලන ක්‍රම කිසිවකින් ‘මිනුම් දණ්ඩක්’ පෙන්වන්නේ නැහැ, අපි අසරණයන්ට මෙච්චර දිය යුතුයි කියලා. ඒක ධනවත් රටවල ඉහළ හා දුප්පත් රටවල පහළ වූ දීමනා. හැබැයි හැමදාම අසරණ අයට ‘තව තව’ දිය යුතු බව නම් හැමෝම ඒකමතිකව එකඟයි. ඇයි හේතුව කියා කිසිවෙක් පෙන්වන්නේ නැහැ.

      අසරණ සරණ ව්‍යාපාර ලෝකයේ කොතරම් ද? ළමයින් බේරාගන්න (save the children) පටන් ගෙන දැන් කොච්චර කාලයක් ද? තාමත් ළමයි බේරාගන්නට නොහැකි වී ඇත්තේ ඇයි? නමුත් වෙනත් පිළිවෙතක් පටන් නොගෙන තවමත් ඊට ආධාර දීම දිගටම කරගෙන යන්නේ ඇයි?!

      දැන් නිෂ්පාදනයේ යෙදෙන පිරිස තවත් වෙහෙසෙන්න ඕන නිකම් සුබ සාධන වලින් ඉන්න අයටත් කන්න බොන්න අඳින්න දෙන්න.

      ඔතන යම් කුලින්නයකට (tipping point) ආවම නිෂ්පාදනය කරන අය බලනවා ඇයි අපි මැරීගෙන වෙහෙසෙන්නෙ කියලා. මොකද නිෂ්පාදනයෙන් එයාල ලබන සතුට අඩුයි ලාභ අඩු වී යාම නිසා. එයාල ලවා නිෂ්පාදනය කරවන්න බලහත්කාරයෙන් නීති ගෙනාවට බැහැ. යමක් බෙදා ගැනීම හොඳ නිසා එය කළ යුතු යයි මිනිසාට බලකරන්න බැහැ.

      ආණ්ඩුවේ සේවකයෝ වගෙ හැමෝම වැඩ කරොත් රටක් කොහොම වෙයි ද?!!

      කිසිත් නොකර යාන්තම් ජීවත්වන අය කෙමෙන් කෙමෙන් වැඩි වෙද්දී, නිෂ්පාදනය කරන අය නිෂ්පාදනයෙන් ඉවත් වෙද්දී, ඔය අම්මලාගෙ තාත්තලාගේ සමෘද්ධි දීමනා ‍වලින් ජීවත් වෙන අයට අම්මලා තාත්තලා නැතිවුනාම වෙන දේ ම තමයි ඉස්සරහට වෙන්නෙ. එක්කො සමෘද්ධි දීමනා අඩු කරන්න වෙනවා. නැත්නම් තමන් විසින් රැකියාවක් හොයා ගන්න වෙනවා.

      පුවෙර්තො රීකෝව දැනට ආණ්ඩුවේ සේවකයෝ තුන්දාහක් ගෙදර යවන්න සැලසුම් හදනවා. ජනගහණය මිලියන හතරකට ආසන්නව ඉන්න දූපතක්. වැය අඩු නොකළොත් රට පාලනය කරන අයට මුදල් නැති වී යන නිසා. ඉතින් අනුන් මත්තේ දිවිරැක ගන්න බලාගෙන ඉන්න අයට ඉදිරියේ දුකින් දොම්නසින් පිරි යුගයකට තමා මුහුණ දෙන්න වෙන්නෙ.

  5. ෴ සොඳුරු සිත ෴ said, on මාර්තු 3, 2011 at 9:27 පෙ.ව.

    මෙහෙමත් රටක්.. අපේ රටේ නම් දැන් සමෘද්ධි සහනාධාරයත් ගොඩක් කැපෙනවා.. අනික ඒකෙන් හොඳ සැප පහසුවට ජිවත් වෙන්න නම් හිතන්නත් බැහැ…

    නිකම් ඉදන් කන්න දෙන්න ..මෙහෙමත් රටක්..හැබෑට ඒ ආණ්ඩුවට කොහෙන් ද ඔච්චර සල්ලි ඈහ්…

    • arunishapiro said, on මාර්තු 3, 2011 at 10:04 පෙ.ව.

      ෴ සොඳුරු සිත ෴,
      සහනාධාර කියන්නෙ සැප පහසුවට ජීවත්වෙන්න දෙන දෙයක් නෙමේ. පවතින දුක්ඛිත තත්වයකින් ගොඩ එන්න දෙන අතදීමක්. බලාපොරොත්තුව විය යුත්තේ එය කාලාන්තරයක් තිස්සේ ලබාගැනීම නොවේ. එයින් දැනට දිවි ගලවා ගෙන, ඉන්පසු සැප පහසුවට ජීවත්වෙන මාර්ග සොයා යෑමයි.

      නමුත් සහනාධාර යනු තම අයිතියක් කියා හිතන්න යෑම නිසා, (අපේ වරද නිසා නොවේ අපි මෙහෙම ඉන්නෙ චින්තනය අනුව) එය මත යැපෙන්න හා තව තවත් වඩා ලැබිය යුතු යයි සිතන්න මිනිසා හුරු වෙනවා.

      පුවෙර්තො රීකෝව ඇමෙරිකාවේ ‘යටත් විජිතයක්’ නිසා ඇමෙරිකාව විසින් දූපතෙ වියදමට සල්ලි දෙනවා. පුවෙර්තො රීකන් ජනයා තව තවත් ඉල්ලන කොට ඇමෙරිකාව තව තවත් දූපතේ ආණ්ඩුවට නිදහස දීලා සල්ලි යවන එක හිමිහිට අඩු කරනවා!! සල්ලියි නිදහසයි දෙකම ලැබෙන්නෙ නැහැනෙ!!!

  6. සුජීව said, on මාර්තු 3, 2011 at 9:40 පෙ.ව.

    හයිටිය ගැන කියෙව්වම මට ආපු ප්‍රශ්නයක් තමයි ජන ගණත්වය ඔච්චර වැඩි වෙන්න හේතුව මොකද්ද කියලා. අද පුවෙටෝ රිකෝව ගැන කියෙව්වමත් එකම හිතුනා. නිදහස් රටක් වුනොත් ලොව 21 වැනි ජනගනත්වය. ජර්මනිය, ලංකාව, ඉන්දියාව ට ඉහළින් [මගේ මතකය අනුව]. දකුණු කොරියාව තායිවානය විතර ජන ගණත්වයක්. ඇයි මේ?

    අධිරාජ්‍යවාදයත් අරාජිකත්වයත් අතර විවිධ සාකච්චා කල මේ බ්ලොග් අඩවියට පුවෙටෝ රිකෝවෙන් හොඳ උදාහරණ ටිකක් ගන්නට අරුනිට හැකි වනු ඇති.

    • arunishapiro said, on මාර්තු 3, 2011 at 9:54 පෙ.ව.

      සුජීව,
      හයිතිය හා පුවෙ‍ර්තො රීකෝව රෝමානු කතෝලික දහම අදහන වැඩි ජනගහණයකින් පිරි දූපත්. උපත් පාලනය ආගමට විරුද්ධයි නේද?!! එහෙ තියන දාම කඩ දැකලා අපිට හිනා නවත්තා ගන්න බැහැ: නම කොන්ඩොම් වර්ල්ඩ්. පාවිච්චිය අඩු වෙන්නැති!!!

      • සුජීව said, on මාර්තු 3, 2011 at 12:19 ප.ව.

        මා දන්නා තරමින් ගබ්සාව කතෝලික ආගමට පටහැනියි. උපත් පාලනය ගැන එක එක්කෙනා දරන්නේ වෙනස් මත.

        මේක පැටව් ගහලා කරපු මැජික් එකක් වෙන්න බැහැ අරුණි. හයිටිය තුල වෙලා තියෙන සන්තාසි වල හැටියට දරුවන් හැදුවත් වැඩක් නැහැ.

        ඇමරිකාව චාටර් සන්දියේ මේ රටවලට විශාල පිරිසක් ආ නිසා වෙන්න පුළුවන් නේද? මටත් හරි හේතුවක් හොයා ගන්න බැරි වුනා.

        හිස්පනියෝලාවේ තැනිතලා පැත්තේ තියෙන ඩොමිනිකන් ජනරජයට වඩා, කඳු සහිත අසීරු පැත්තක තියෙන හයිටියේ ජනගනත්වය වැඩියි.

        • arunishapiro said, on මාර්තු 3, 2011 at 7:17 ප.ව.

          සුජීව,
          19 වැනි ශ. ව. දී 155,000 ක සිට මිලියනක් දක්වා ජනගහණය ඉහළ ගිහින් තියෙන්නෙ සංක්‍රමණිකයෝ නිසා. 20 වැනි ශ. ව. මුල් කාලයේ දී යුරෝපීය යුදෙව්වෝ ඇවිත් පදිංචි වෙලා. 1930 දී ජර්මනියෙන් පලා ආ යුදෙව්වෝ විශාල සංඛ්‍යාවක් ද, 1959 දී කියුබාවෙන් පලා ආ යුදෙව්වෝ ද පදිංචි වෙලා තියනවා. මෑත කාලයේ දී කියුබාවෙන් නීතිමය සංක්‍රමණිකයන් වූ කියුබානුවන්, වෙනිසියුලානුවන්, ‍ඩොමිනිකන් රිපබ්ලික් වැසියන් හා කොළොම්බියානු වැසියන් 100,000 කට වැඩිය ඇවිත්. හැබැයි ඒ සේරම රටේ ජනගහණයෙන් 5% ක් පමණයි නියෝජනය කරන්නෙ. අද යුදෙව්වො ඉන්නෙ 0.07% ක් කියලා විකිපීඩියාව දක්වන්නෙ. හින්දු අය 0.09% ක්. ක්‍රිස්තියානි අය 97% ක්!!!

          විකිපීඩියාවට අනුව හයිතියේ ද වැඩියෙන් ඉන්නේ රෝමානු කතෝලික ආගම අදහන අය.

          1968, Pope Paul VI විසින් Humanae Vitae සංකල්පය අනුව කිසිම ආකාරයකින් උප්පත්ති පාලනය ආගම් විරෝධීයි කියලා පෙන්වලා දෙන්නෙ. එක එක්කෙනා සහ එක එක පල්ලිය අදහන මතය කෙසේ වුවත් රෝමානු කතෝලික වතිකානු මතය වෙනස් නැහැ. ඉතින් දැඩි කතෝලික භක්තියෙක් නම් උප්පත්ති පාලනය ආගම් විරෝධී වූ ක්‍රියාවක්, දෙවියන්ගේ කැමැත්තට පිටතින් යන නිසා.

          එච්චර දැඩි ස්ථාවරයක ඉන්න කතෝලික පල්ලිය තම පූජකවරු කළ ළමා අපචාර වල දී නිහඬව සිටීම පුදුමයක්. ඊටත් වඩා පුදුමය තමයි මේ ධනවාදී සූරා කන්නන් ගැන පෙළපාලි යන අය අපචාර කළ කතෝලික පූජකවරු ගැන නිහඬ ප්‍රතිපත්තියක් දැරීම. අහිංසක ළමයි ගණනාවක් පූජක ගොදුරු සේ බිල්ල වෙද්දී පීඩිතයාගේ අයිතීන් ගැන හඬ ඝෝෂා නඟන්නෝ නිහඬව සිටියේ දෙවියන්ට බිය නිසා ද?!!

  7. Grey said, on මාර්තු 3, 2011 at 11:20 පෙ.ව.

    ශා..නියමයි..
    දවස් කීයකටද ගියේ?
    ස්කුබා ඩයිවින් හරි සර්ෆින් වලට හරි යන්න හිතුනේ නැත්ද? ඔය හරිය ප්‍රසිද්ධයිනේ ඔය දෙකටම?

  8. Chejana said, on මාර්තු 3, 2011 at 10:18 ප.ව.

    ස්පාඤ්ඤ පවුරු බලකොටුවල පින්තූර ටික හුඟක් ලස්සනයි… එක පාරටම ගාලු කොටුව මතක් කරන ගතියකුත් ඒවට තියනව…

  9. ඩොලර් එක් දහස් අටසීයක් ම්හ් හොදයි හොදයි අපේ පොහොර සහනාධාරෙට වඩා.ලංකාවේත් දිගටම සහනාධාර දෙන්න ගියොත් ඔය තත්ත්වයට තමා අපේ මිනිස්සු වැටෙන්නේ.
    කියන විදියට ඔය රටේ ආර්ථිකය පදනම් වෙලා තියෙන්නේ ඇමෙරිකාවේ ආධාර මතනේ.ආධාර නැති දවසට රට හබක් හැබැයි කවදා හරි ඇමෙරිකාවෙන් වෙන් වෙන්න කියලා ඇමෙරිකාව කිව්වොත් රටේ මිනිස්සුන්ට මහන්සි වෙලා වැඩ කරන්න වෙයි වගේ

    සාමන‍ය චිප්ස් වලට වඩා පොටෝ එකේ එවා ලොකුයි වගේ නේද

    • arunishapiro said, on මාර්තු 5, 2011 at 9:08 ප.ව.

      ක්ෂිතිජ විජේමාන්න | විත්ති,
      ඔව් හැමදාම සහනාධාර වැඩි කරන්න කියලා ඝෝෂා කරන අය ඒවා ලැබෙන්නෙ කොහොම ද යන්න කල්පනා කරලා නැහැ. තමන් ජීවත්වන නිසා ලැබිය යුතු අයිතියක් හැටියට හිතනවා. අද ලෝකයේ බොහෝ රටවලට මේක ප්‍රශ්නයක්. ඉදිරියේ දී රටේ පුරවැසියන්ට දෙන්න මිසක් පිටරට වලට ආධාර යවන්න එපා කියල උද්ඝෝෂණ ඇති වෙන්න ඉඩකඩ ගොඩාක් වැඩියි. දැනටමත් පටන් අරගෙන.

      මේ තත්වය උදාවෙලා තියෙන්නෙ අපි මාළු අල්ලන හැටි කියලා නොදී මාළු බෙදලා දෙන්න යන නිසා බව වැටහෙන්නෙ ටික පිරිසකට.

      ඇමෙරිකාවේ චිප්ස් කියන්නෙ සිහින් රවුම් පැකට් වල දාලා එන ඒවට. එංගලන්තයේ අය ‘ක්‍රිස්ප්’ කියන එකට. මෙහෙ අය Fries කියන්නෙ ලොකුවට කපන තීරු වලට. French fries කියන්නෙ හීනියට කපන තීරු වලට. එතකොට potato wedges කියලා දෙන්නෙ අල ගෙඩියෙන් අරික්කාලක් විතර පොත්තත් එක්කම කපන පත කෑලි. තව අපූරු නම් තියනවා එක එක කඩේ කැමැත්ත අනුව: “thick-cut fries”, “steak fries”, “shoestring fries”, “jojo fries”, “crinkle fries”, “curly fries” and “tornado fries”!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න