අරුණි ශපීරෝ‍ වෙතින්

ගල්පර, මාළු, සැටලයිට් නැරඹිල්ල

Posted in Uncategorized by arunishapiro on මාර්තු 5, 2011


බටහිර ඉන්දීය (west indies) ලෙසින් හැඳින්වෙන කැරීබියන් මුහුදේ ඇති භූමිය කොදෙව් (island), දූව (islet), ගල්පර (reef) හා ගල්පර මත සෑදුණු වැලි දූපත් (cay) හත්දහසකට වඩා සංඛ්‍යාවකින් සමන්විත ය.

එය උතුර සිට දකුණට දිවෙන සැතපුම් දාහක (කිලෝමීටර් 1600) හා බටහිර සිට නැගෙනහිරට දිවෙන සැතපුම් 2500 (කිලෝමීටර් හාරදහක) පමණ මුහුද පැතිර ඇති පෙදෙසකි.

කැරීබියන් මුහුදේ ස්වාධීන හා ස්වාධිපත්‍යපයෙන් යුතු ආණ්ඩු 16 කි. බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඇමෙරිකාව හා නෙදර්ලන්තය මත යැපෙන ස්වාධීන ආණ්ඩු දූපත් කණ්ඩායම් 9 කි.

මුහුදේ අන්තර්ජාතික වතුර සීමා මොනවා දැයි, ඒ ඒ ආණ්ඩු වලට අයත් වතුර සීමා මොනවා දැයි දැනගෙන යා යුතුය. මහ මුහුද මැද දී වතුර අයිති කොයි රටට දැයි දැන ගැනීමට කොඩියක් හෝ ලණුවක් ඇද ඇති සීමා මායිම් දැකිය නොහැකිය.

කැප්ටන් ගාසියා අත තිබි අයිෆෝනයේ වූ ඇප් එකකින් අපිට ගූගල් ලෝක සිතියමේ අපි ඉන්නා තැන දකින්නටත්, එය අයිති කුමන ආණ්ඩුවට දැයි දැනගන්නටත් හැකිවුණි. අතීතයක දී ඊට සිතියම්, මාලිමාවක් හා ගණිත දැනුම අවශ්‍ය විය!! වයර්ලස් දුරකතනය මුහුද මැද දී වුව ද සිග්නල් ලබා කිසිදු අවහිරයක් නැතිව වැඩ කළ හැටි කාලේ අගය කියා පෑවකි.

දූපතකට ගොඩ බහින්නට පෙර ඒ රටෙන් අවසර ගත යුතුය. අවසර නොගෙන බැස්ස හොත් හිරකූඩුවට දමන්නට ඔවුනට බලය ඇත.

කැප්ටන් ගාසියා සහ ඔහුගේ සෙනෙහෙවන්තිය වතාවක් මහ රෑ දූපතක් අසලට ළඟා වූහ. අසල නයිට් ක්ලබ් එකෙන් හමා ආ කෑම සුවඳ හා සංගීතය නිසා ඔවුන් දෙදෙනා ඩිංගියට පැන දූපතට ගොස් කා බී නටා සතුටු වූහ. පසුදින උදයේ කැප්ටන් ගාසියා ගොඩවූයේ ආගමන විගමන අවසරය ලබාගන්නට ඒ සඳහා වූ කාර්යාලයට ය. ඔහු දෙස මඳක් බලා සිටි නිලධාරියා “මම ඔබව ඊයේ රෑ අහවල් නයිට් ක්ලබ් එකේ දී දැක්කා” යයි කීවේලු.

ඔවුන් ගිය දූපතේ ස්ථිර පදිංචිය යුතු වැසියන් 200 කි. නිලධාරියා එහි ඉන්නා සෑම කෙනෙක් ම හඳුනන්නේ ය. පිටතින් අවසර ගත් සෑම කෙනෙක් ම ද හඳුනන්නේ ය. කැප්ටන් ගාසියාව සිර කූඩුවට නොවැටී බේරුනේ යාන්තමෙනි.

කාර්යාලය විවෘත නැති මහ රෑ දූපතට ළඟා වී නම් පසුවදා කාර්යාලය අරින තුරු දූපතට ඇතුල් නොවී නැවට වී සිටිය යුතුය.

වරක් අඩි 32 ක් දිග බෝට්ටුවක මිනිසුන් 36 ක් සඟවාගෙන යන්නට තැත් කළ අයෙක් ව හිරබාරයට ගැණින. බෝට්ටුවට දමන බර අනුව බෝට්ටුව වතුරේ ගිලේ. වැඩි බර තොගයක් සඟවා ගෙන යෑම අසීරු කාර්යයකි.

කුලෙබ්‍රා දිවයිනේ අක්කර 1500 ක් පමණ වනජීවි නිදහස් භූමියක් සඳහා තියඩෝර් රූසවෙල්ට් විසින් වෙන් කරන ලද්දේ 1909 දී ය. ප්‍රධාන නගරයේ ‘el pueblo’ (Dewey) ඇති හැම දැයක් ම නරඹන්න පැය භාගයක් ගත නොවේ. ඇත්තේ එක ප්‍රධාන වීදියක් පමණි.

කුලෙබ්‍රා වටා ඇති මුහුද ගැඹුරු නැති නිසා සුපිරි නෞකාවන්ට එහි නැංගුරම් ලන්නට නොහැකි ය. එසේම ෆ්ලැමින්කෝ වෙරළ අසල කුඩාරම් ගසා (රැයකට ඩොලර් 20) නිදන්නට අවසර ඇත. සියඹලා වෙරළ අසල කිමිද බලන්නට හැකි ගල්පර ගහණ බෝට්ටුවකින් පමණක් ළංවිය හැකි පැත්තකි.

ඩයිවින් හා ස්නෝක්ලින් යනු ගල්පර නරඹන්නට සුදුසු ක්‍රම දෙකකි. ස්නෝක්ලින් කරන්නා මුහුදේ වතුර මතු පිට පාවී ඇස් කණ්ණාඩි හා නැහැයට හුස්ම ගැනීමට ආධාර කරන බටයක් පළඳියි. බටයේ උඩ කොටස වතුරට උඩින් තිබීම අවශ්‍යයය.

කිමිදෙන්නා නොහොත් ඩයිව් කරන්නා ඔක්සිජන් ටැංකියක් පිටේ දාගෙන මුහුණ වැසෙන ආවරණයක් ද පැළඳ යන්නෙකි. ඔහුට මුහුදු පතුලේ කිමිද සිරි නරඹන්නට හැකිය.

මගේ සාමාන්‍ය බර රාත්තල් 100 ක් අතර එහා මෙහා යයි. ඔක්සිජන් ටැංකියක් පිටේ දාගෙන වතුරට පැන්නාට මාව බර අඩු නිසා පතුලට ගිලෙන්නේ නැත. ඉතින් ඉණ වටා බරින් යුතු පටියක් පැළඳ ගැනීමට සිද්ධ වේ!!

කකුල් වල පළඳින ආවරණ (flippers) පිහිනීම වේගවත් කරනවාට වඩා යටිපතුල් ගල්පරයක ගැටී සීරීම වළක්වයි.

කිමිදෙන අයකු තම ඔක්සිජන් ටැංකියෙන් වායුව ආඝ්‍රාණය කරද්දී වායුවේ ඇති නයිට්‍රජන් ලේ පද්ධතියට එකතු වේ. කිමිදීමෙන් පසු ගොඩට ඇවිත් පැය 24 ක් පමණ ගත වූවාට පසු ඒ නයිට්‍රජන් වායුව ලේ පද්ධතියෙන් ඉවත් වෙයි. පැය 24 කට කළින් ගුවන්යානයක ගමන් කළහොත් රුධිර නාලයන්හි ඇති නයිට්‍රජන් වායු බුබුළු හදයි. මෙය ඉතා වේදනකාරී මෙන් ම ඉන් මරණය ද පමුණවත හැකියාව ඇත. ඒ නිසා කිමිද පැය 24 කට කළින් ගුවන්ගමන් එපා යැයි අවවාදයකි.

ගල්පර ඉතා විසිතුරු ය. ගල්පර අසල සැඟ වී ඉන්නා මාළු වර්ග හා වෙනත් මුහුදු ප්‍රාණීන් නැරඹීම ප්‍රියංකර ය. වරෙක අන්න අන්න ලස්සන මාළුවෙක් යැයි සිතේ. ඌ බලන්නට තව ටිකක් ළං වුනාම ඌට අසලින් ඒ වර්ගයේ මාළු රංචුවක් (මාළු පාසැලක්!) දකිනු හැකිය. හිටි ගමන් වේගයෙන් පීනා යන හාල් මැස්සන් වැනි දිලිසෙන පුංචි මාළු රංචු ඇවිත් ආපු වේගයටම පිහිනා නොපෙනී යති. වර්ණවත් රටා ඇති ගල්පරයක ඒ වර්ණයෙන් ම යුතු වූ ජීවීන් ය.

කහ මාළු ගොඩ අස්සේ රිංගන තද නිල් පැහැති මාළුවෙක් ද දැක්කාම එයා මේ අතරමං වෙලා මොකදැයි සිතේ. කැරීබියන් මුහුදේ සුදු හමින් යුතු පිහිනන අය අස්සේ යන ‘ක්‍රිෂ්ණ’ පැහැයෙන් වූ මා වැනි යයි ද සිතුණි!!!

අඩි දහයක් ප‍හළොවක් ගැඹුරක සුදුවැලි පතුල දකින්නට වතුර උඩ සිටියදී ම පුළුවන. සමහර ගල්පර කොතරම් සරුවට වැඩී ඇතැයි දැයි කියතොත් ඉහළින් පිහිනන්නට ඉඩක් නොමැති තරමට ඒවා මුහුද මතුපිටට ළං වී ඇත.

අපි රෑ ගත කළේ Dakity නම් වූ ගල්පරයකින් වට වූ කුඩා බොක්කේ නැංගුරම් ලා ය. නිශ්චල වතුරේ නැංගුරම් ලා තිබූ රුවල් නැවට වනාන්තර සත්ව හඬ රෑ පුරා ඇසුණි. අහස පිරෙන්නට තරු බැබළේ.

කැප්ටන් ගාසියාත් මාත් අඳුර වැටෙද්දී වැඩියෙන් සැටලයිට් හොයාගන්නේ කවුදැයි බලන්නට තරඟ කළෙමි. අහසේ තරු අතරේ තරුවක් මෙන් පෙනුන ද හිමිහිට පාවෙන සැටලයිට් 18 ක් තමා ගණන් කළ බව කැප්ටන් ගාසියා කීය. අපි පියවි ඇසින් සොයාගත් සැටලයිට් මගේ සුද්දා වඩාත් සුපරික්ෂාකාරීව නැරඹුවේ දුරදක්නයේ ආධාරයෙනි.

ඉරාක යුද්ධය සමයේ සැටලයිට් එළි දැක්කේ නැතැයි කැප්ටන් ගාසියා අපිට කීවේය.

සැටලයිට් නරඹන්නට නම් කළුවර වැටීගෙන එද්දී (නගර ආලෝකය නොමැති පැත්තක) ගුවන් යානයක් (jet) මෙන් එහෙත් එකම ඉරක කක්ෂය වටා දුවන තරු එළිය හඳුනාගත යුතුය. අහස් යාත්‍රා ගමන් මඟ වෙනස් කරති. සැටලයිට් ගමන් මඟ වෙනස් නොවේ. අහසේ එක පැත්තක සිට අනිත් පැත්තට යන්නට International Space Station ගත වෙන්නේ මිනිත්තු 4 ක් හෝ 5 ක් පමණි. එය වීනස් ග්‍රහලෝකය තරම් දිලෙන අවස්ථා ද සමහර විට ඊටත් වඩා ආලෝකයකින් යුතුව ගින්නෙන් දැවෙනා වැනි සේ පෙනෙන අවස්ථා ද ඇතැයි කැප්ටන් ගාසියා කීවේය. හැම මිනිත්තු 90 වක දී ම පෘතුවිය වටා යන නිසා එය එක වතාවක් මඟ හැ‍රුනොත් රෑ ඇහැරගෙන ඉන්නාට එය බලා ගන්නට කිහිප වතාවක දී ඉඩ ලැබේ.

තිස්පන්දාහකට අධික චන්ද්‍රිකා අද පෘතුවි කක්ෂය වටා ගමන් කරති. ඉතින් ඉන් එකක් වත් දැක ගන්නට මිනිත්තු 15 ක් තුල දී පුළුවනි!!!

22 Responses

Subscribe to comments with RSS.

  1. dee said, on මාර්තු 5, 2011 at 9:48 ප.ව.

    උපරිමයි, අරුණි!

  2. ගෝල්ඩ් fish said, on මාර්තු 5, 2011 at 10:25 ප.ව.

    නියමයි අක්කේ… සැටලියිට් බලන්න ඉස්සර මං ගමේ ගියාම රෑ හතට විතර වෙලට යනවා… අනිවාර්යෙන් දෙකක් තුනක් පේනවමයි…

  3. abeetha said, on මාර්තු 5, 2011 at 11:15 ප.ව.

    ස්තූතියි ලබා දුන්න දැනුමට….

  4. අහ් අක්කාට දෙයක් අමතක වෙලා මුහුද යට පිහිනිමේන් පසු මීටර පහක් ගැබුරේදී ටික වෙලාවක් ඉන්න ඔනේ නේද ? හැබැයි අක්කලා ගිය හරිය මීටර පහට වඩා ගැබුරු නැතුව ඇති සමහරවිට.
    මමත් සැරයක් කිමිදෙලා තියෙනවා වැලිගම් බොක්කේ හැබැයි වැඩිය යට අරන් ගියෙ නැ පල වෙනි පාර හින්දා.

    මාලු ලස්සනට වගේම සමහර මාලු විසයි නේද ?

    ලංකාවේත් ඔය වගේ ගල්පර තිබ්බා නේද හික්කඩුවේ එහෙම . දැන්නම් ඒ විනශ වුණ ගල්පර ටික ටික හැදෙන වාලු.හැබැයි තව අවුරුදු ගානක් යයි නියම ගාණට එන්න.

    සැටලයිට් තිස්පන්දාහක් ඔය සැටලයිට් තිස්පන්දාහ යවන්න අඩුම ගානේ රොකට් දහදාහක්වත් යවන්න ඇතිනේ බලාගෙන ගියාම අභ්‍යාකාශයත් කුණු ගොඩක් වගේ ඇතිනේ.

    • arunishapiro said, on මාර්තු 6, 2011 at 11:15 පෙ.ව.

      ක්ෂිතිජ විජේමාන්න | විත්ති,
      ස්කූබා (Self Contained Underwater Breathing Apparatus) කිමිදෙන්න නම් පාඨමාලාවක් හදාරලා සහතිකයක් ගන්න අවශ්‍යයයි. පිහිනුම් තටාකයක දී ඒ වගෙ පාඨමාලාවක් හදාරන්න පුළුවන්. දවස් තුනක් විතර ඉගෙන ගත්තම ටෙස්ට් එකක් දීලා සහතිකය ලැබෙනවා.

      විවෘත වතුරේ (Open Water) කිමිදෙන්නාට අඩි 60 ක් (මීටර් 18) ගැඹුරට යන්න අවසර. උසස් (Advanced) විවෘත වතුරේ කිමිදෙන්නාට අඩි 100 ක් (මීටර් 30) ගැඹුරට යන්න අවසර. සාමාන්‍යයෙන් අඩි 60 කට (මීටර් 18) වඩා ගැඹුරට යනවා නම් එය ගැඹුරු කිමිදීමක් හැ‍ටියට සැලෙකන්නෙ. ක්‍රීඩාව සඳහා කිමිදෙන ගැඹුර අඩි 140 (මීටර් 40) පමණ සීමා වෙනවා. ඊට වඩා ගැඹුරට යෑම ක්‍රීඩා කිමිදුම් සහතිකය ඇත්තාට සීමා කරලා.

      හැම තිස්සෙම කිමිදෙන අයෙක් තනිවම නොගිහින් තවත් කෙනෙක් එක්ක යන්න ඕන. නයිට්‍රජන් නාකොසිස් කියල ටැංකියෙන් හුස්ම ගන්න නිසා පොඩි මත්වීමක් ඇතිවෙලා හරියට වෙරි වෙච්ච කෙනෙක් විදියට හැසිරෙන්න ගත්තම උඩට එක්ක ගෙන එන්න!!! ගැඹුරට යන්න යන්න මත්විල්ල වැඩියි.

      විසම් පීඩනය (decompression) සඳහා වූ පරිස්සම් වෙන්න නවතින්න කියන්නෙ (Precautionary Decompression Stop) අඩි 15 ක් (මීටර් 5) පතුලට බැස්සම මිනිත්තු 3 ක්. හැම කිමිදුමක් අවසානයේ දීම එහෙම පොඩ්ඩක් නැවතිලා ඉන්න කියනවා. ඒ වගේම තමන් කිමිදිලා ඉන්න කාල සීමාව අනුව හැම මිනිත්තු ගණනටම මෙච්චර කාලයක් නැවතිලා ඉන්න ඕනා කියා දක්වන වේලාපත්කඩයක් (chart) හදලා තියෙනවා NAUI Dive Tables කියලා. ඒක ආධාර කරගෙන තමන්ට සුදුසු කාල තීරණය කරගන්න ඕනා.

      ලංකාවට අයිති දේශසීමා මුහුද (terrirorial sea) කියන්නෙ ලංකාවේ වතුර අඩු වෙරළේ (baseline) සිට පටන් ගෙන නාවුක සැතපුම් 12 ක් දක්වා ඈතට යන දුර. ඉන්දියාවත් ලංකාවත් පිහිටන්නෙ එකම මහාද්වීප වැලි කණ්ඩියක (continental shelf). වතුර යට තියන ඔය කියන පතුල මුහුදු වෙරළේ සිට කිලෝමීටර් 19 ක් පමණ දුරක. ඉතින් වැලි කණ්ඩිය (shelf) නිසා ගැඹුරින් අඩුයි; මීටර් 70 කට වඩා ගැඹුර නැහැ වැඩිම වුනොත්. හැබැයි ඒ සීමාවෙන් පිටතට ගියාම මීටර් 900 කට වඩා වූ ක්ෂණික ගැඹුරක් කිලෝමීටර් 3 ක දී පමණ පිහිටා තිබෙනවා.

      කැරිබියන් මුහුදේ නොගැඹුරු තැන් වෙරළ ළඟින් තිබුණාට අඩි 656 (මීටර් 200) වගේ පටන් ගෙන අඩි 13,124 (මීටර් 4000) දක්වා ගැඹුරට යන තැන් තියනවා. මෙතැනින් තව විස්තර.

      මම අඩි 15 ක් තියා 10 ක් වත් පතුලට කිමිදුනෙ නැහැ. ඊට උඩ තියෙන ඒවා බැලුවෙ. ටැංකිය ඕනා ඒක නැතිවුනාම පැය භාගයක් විතර දිගටම වතුර යට හුස්ම අල්ලාගෙන ඉන්න බැරි නිසා පමණයි. ගොඩක් ගැඹුරට ගිය නිසා නෙමේ. අනික, මාළු රෑන් රෑන් පීනගෙන යනකොට උන් පස්සෙන් එන ලොකු මාළුවෝ ගැනත් මතක් වුනා!!!

      හික්කඩුව පැත්තෙ මම ස්නොක්ලින් කරලා තියනවා. හරිම ලස්සනයි මුහුද යටට එබිලා බලනකොට.

      විස මාළු නේද? අර ස්ටීව් අර්වින්ට වැඩේ දුන්න වගේ අය?!?! ඔව් උන් පිරිලා ඉන්න තැන් තියනවා. හැබැයි ස්ටීව් ගොයියා කළා වගේ උන්ට කරදර නොකර පැත්තකට වෙලා බැලුවොත් උන් කරදර කරන්නෙත් නැහැලු. කැප්ටන් ගාසියා කිව්වෙ මාළුවෙක් විස ගහලා මැරිච්ච කෙනෙක් හැටියට දන්නෙ ස්ටීව් ගොයියා ගැන පමණයි කියලා!!!

      ඔව්, කක්ෂය මහා කසල ගොඩක්. ඊයේ පෙරේදා නාසා ආයතනය තව කුණු ඒකට එකතු කළානෙ!!!

      • අහ් මම අදයි දන්නේ ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි එකම මහද්විපක තටකය බෙදා ගන්නවා කියලා දන්නේ.ඔව් විෂ මාලු සමහර මාලුන්ට මැරෙන්නෙම නැනේ.මතක මතක හැටියට කාලයක් දකුණු වෙරලට ( සුනාමියෙන් පස්සේ අවුරුද්දේ ) ජෙලි ෆිෂ් කියන වර්ගයේ සත්තු පාවෙලා ඇවිත් තිබ්බා.ඒවා ගැවුනෝත් කහලා පලු දානවා.පොඩි ලමයින්ට වතුරට බහින්න දුන්නෙවත් නැ.ඒ තරමට ඒ සත්තුන්ගේ විස අපිට අසාත්මිකයි.

        ඒ අතින් බැලුවම කැරබියන්ට වඩා ලංකාව කොච්චර හොදද අපිට වඩා විශාල නොගැඹුරු මුහුදු ප්‍රදේෂයක් තියෙනවා.ඒ එක්කම කොරල් එහෙමත් තියෙනවා.

        • arunishapiro said, on මාර්තු 7, 2011 at 11:00 පෙ.ව.

          ක්ෂිතිජ විජේමාන්න | විත්ති,
          ජෙලි ජීවියෝ ඩෙලවෙයාර් බොක්කෙ ඉතා සුලබයි. අගෝස්තු කාලෙට සුදු පාට තුනී පටක හැම තැනම. විදලා දැනිලා තියනවා. ලොකු අප්සෙට් එකක් නැහැ. ටිකක් සැර මදුරුවෙක් වගේ. අසාත්මික බව වැඩිවීම එක එක ශරීරය අනුව. විනාකිරි වත්කරාම සැර දැනෙන එක අඩු නිසා මිනිස්සු විනාකිරි බෝතල් අරන් මුහුදු වෙරළෙ!!

          ඔව්, ලංකාව තාම වටේ තියන මුහුදෙන් නිසි ඵල නොගන්න රටක්.

  5. දොස්තර මාමා said, on මාර්තු 6, 2011 at 3:19 පෙ.ව.

    මටත් යන්න ඇත්නම් කියා සිතෙනවා. මමත් ඉතා ආසා දෙයක් තමා කිමිදීම කියන්නේ. නමුත් තවම වෙලාවක් හම්බුනේ නැහැ ඒකට 😦

  6. හීනියට said, on මාර්තු 6, 2011 at 7:06 පෙ.ව.

    ස්තුතියි! දැණුම බෙදනවට…..

  7. praveena said, on මාර්තු 6, 2011 at 7:36 පෙ.ව.

    හිතාගන්නවත් බැරි නිවාඩුවක්නේ ගත කරලා තියෙන්නේ. ඔක්කොම ෆිල්ම් කලා නම් ලස්සනට ඇති කියලා හිතෙනවා. ප්‍රධාන නලු, නිලි දෙපලත් නරකම නැහැ. හින්දි නලු, නිලියන්ට වඩා හොඳයි.

  8. නවම් said, on මාර්තු 6, 2011 at 7:46 පෙ.ව.

    අම්මෝ මට දැං හෙනම හෙන ඉරිසියායි ! ලෝකෙ පුරා සංචාරයේ ගිහිල්ල. ඒ මදිවට තව රහ කර කර කියන අපූරුව. 😀

  9. කළු පූසා said, on මාර්තු 6, 2011 at 12:34 ප.ව.

    නියමයි මටත් යන්න හිතෙනවා 😦

  10. කළු පූසා said, on මාර්තු 6, 2011 at 12:36 ප.ව.

    නියමයි මටත් යන්න හිතෙනවා 🙂

  11. සුජීව said, on මාර්තු 6, 2011 at 12:56 ප.ව.

    අරුණි,

    තවත් සුපිරි සටහනක්.

    කියන්නත් ලැජ්ජයි, මා දියයට අපුරු දේවල් පහසුවෙන් බලන්නේ ටීවී එකෙන් විතරයි. මට වතුර යටට යන්න බැරි අවුලක් තියෙනවා. පිහිනන ඒක නම් [බැරි උනාට] අවුලක් හැටියට දැනෙන්නේ නැහැ. ඒත් දිය යට යනවා කියන එක නම් අවුල්.

    ඒත් ඔබේ සටහන නම් රස වින්දා.

    පුංචි කාලේ චන්ද්‍රිකා බැලුවා මතකයි. ඒත් පස්සේ ඒක අල්ලලා දැම්මෙ නාගරීකරණයේ ආලෝක දුෂණය නිසා ද, වැඩ අධික වීම නිසාද, නැත්නම් අපේ රටේ මිනිස්සු එයින් එකක් මහා පුටුවේ වාඩි කොර ගත්තු නිසාද කියල මතක නැහැ.

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පළමු සැලසුම් අනුව පොලොවට පෙනෙන තෙවැනි විශාල ම වස්තුව විය යුතුයි. එමෙන් ම එය වෙසෙසින් නොවෙහෙසි හඳුනා ගත හැකි තරම් විශාල විය යුතුයි. ඒත් රුසියාවේ දේශපාලන වැටීම, ඇමරිකානු ආර්ථික වැටීම, ෂටලයන් කඩා වැටීම යන සිද්ධි නිසා මුල් සැලසුම් වල තිබ්බ සයිස් එකට හදල ද මන්දා.

    මීටත් වඩා ප්‍රියජනක කතාවක් ගියා අභ්‍යවකාශ ලිෆ්ට් එකක් හදන්න. අර ක්ලාක් ලොක්ක ලිව්වා වගේ. වැඩ සටහන ප්‍රෝඩාවක් බවත්, කරපු එකා සක්විත්තෙක් බවත් පස්සේ දැක්ක.

    මිනිසුන් අභ්‍යවකාශය ආසා කරන්නේ දෙවියන් පිලිබඳ අන්ධ භක්තියක් කවදා හෝ හිත තුල හොල්මන් කල නිසාද, නැතිනම් පහලට වඩා ඉහලට යන්නට ස්වාභාවිකව ඇති පෙළඹුම නිසාද? මිනිස් ප්‍රශ්න කිසිවකට පිළිතුරු අභ්‍යවකාශයේ නැති බවයි මගේ මතය. එහෙම තියෙන බවට හැමදාම ඔප්පු කරන [රම්ස්ෆිල්ඩ් ඉරාකයට කළා වගේ] විද්‍යා ප්‍රබන්ධ කරුවන් නිසා වෙන්නත් බැරි නැහැ නේද?

    අභ්‍යවකාශයට හිමි තැන කවදා හෝ සංචාරක තිප්පොළක් වීම පමණයි. එහෙම යන්නෙත් උඩ බලන්න නොවේ ආපහු බිම බලන්න.

    කැලේ පැන්නට සමා වෙන්න.

    • arunishapiro said, on මාර්තු 6, 2011 at 2:45 ප.ව.

      සුජීව,
      මාත් එච්චර පතුලට බහින්න අකමැති කෙනෙක්.

      අපොයි අර මහ පුටුවේ වාඩි කරගත්තු සැටලයිට් එක ගැන කතා කිරීමත් කාලය නාස්තියක්!!!

      මෙන්න මේ ISS Tracker එකෙන් බලන්න කැමති අයට පසළොස්වක නොවන වලාකුළු නැති දවසකට එළිය නැති තැනකට ගිහින් ලෑස්තිවෙලා ඉන්න පුළුවන්.

      නාසා ආයතනයත් දාලා තියනවා රට රටවල අයට සැටලයිට් බලන්න හැකි විස්තර මෙතැනින් ගන්න පුළුවන්. ඊට අමතරව තවත් තැනක් මෙන්න.

      මිනිසුන් අභ්‍යවකාශයට ආසා කරන්නේ හරියට වැටෙන් එහා තණකොල වඩා කොළ පාටයි යන හැදියාව නිසාත් වෙන්නැති!!!

      නාසා එකට අනුව අභ්‍යාවකාශ තාක්ෂණය නිසා මිනිසාගේ උදව්වට සොයාගත් නව දැනුම බොහෝයි. සිංහල වෙබ් අවකාශයේ ඉන්න ඉලන්දාරියාගේ ශ්‍රවණ ශක්තිය නැවත ලබාදෙන්නට කරන cochlear implant සැත්කම ද එහි ප්‍රතිඵලයක් සේ නාසා ආයතනය දක්වනවා.

      ඔව්, ගල්පර (reef) මත කොරල් පර (coral reef) හැදෙන්නෙ. කේමන්ස් දූපත් ගල්පර මත ඇති දූපත්. ඒක වටා තමයි වඩාත්ම ලස්සන හා පතුලට පතුලට යන කොරල් පර තියෙනවා කියන්නෙ.

  12. සුජීව said, on මාර්තු 6, 2011 at 1:26 ප.ව.

    අරුණි/ක්ෂිතිජ;

    වැවෙන පර වර්ගය ගල් පර නොවේ. ඒවාට කියන්නේ කොරල් පර කියයි. ජීවින් තැනු විශාලම නිර්මාණ අතරට මිනිසාට ඇතුල්වන්නට ඉඩ නොදෙන්නේ ඒවායි. පුංචි කොරල් ජීවියා තනන මේ “ස්කයි ස්ක්රේපර්ස්” වල උස කිලෝ මීටර් ගණන් විය හැක. දිග පළල කිලෝ මීටර් සීය ගණන් විය හැක. සමහර ඒවා උඩ මිනිස්සු ද වාසය කරති.

  13. Asela said, on මාර්තු 8, 2011 at 2:02 පෙ.ව.

    Thank you for sharing your Knowledge and experience With Us

  14. indika kumara said, on මැයි 8, 2011 at 7:19 පෙ.ව.

    බෝමැ වටින සටහනක් නේ
    මම මේ සැටලයිට් ගැන හොයන්න ගොඩවැදුන ගමන්….


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: