අරුණි ශපීරෝ‍ වෙතින්

චලනය නිසා ඇතිවන වමනය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 5, 2011



අහස, අළුත උපන් පිරිමි බබාලාට තෑගි දෙන ඇඳුම්වල ඇති ලා නිල් පැහැයෙන් යුතු විය. තැනින් තැන සුදු පුළුන් ගොඩවල් සේ පෙනෙන වලාකුළක් දෙකක් තිබුණි.

මුහුද විසිතුරු අන්දමකින් කපන ලද නිල් පුෂ්පාරාගයක පැහැයෙන් දිළිසෙයි.

අපි යන රුවල් නැව දැනෙන නොදැනෙන වේගයකින් ඉදිරියට යයි. මා නැවේ හිටගෙන යන්නේ ප්‍රධාන කුඹ ගහ යටින් ය. ජලාශයක වේවා, ගඟක වේවා, මුහුදේ වේවා අසලින් යන්නා වූ ඕනෑම බෝට්ටුවක් දකිද්දී එහි ඉන්නා අයට අත වැනීම සාමාන්‍ය චාරිත්‍රයකි. රුවල් නැව් හා මෝටර් බෝට්ටු වලින් යන අයට අත වනමින් මා අපි පසුකරන කුඩා දූපත් නරඹමින් මෙසේ කුඹ ගහ අසලින් සිටගෙන යමි.

ඊට පෙරදින El Yunque වැසි වනාන්තරයට ඇද හැලුණු වර්ෂාවෙන් ගංඟා පස් සෝදාගෙන ආ බොර මඩ සහිත වතුර මෝයකින් මුහුදට එකතු වී ඇත. ඒ හරියේ මුහුදේ වතුර කොළ හා දුඹුරු පැහැය අතරින් කොයි එකද කියාගන්නට බැරි පාටකින් යුතු විය.

මෝටර් බෝට්ටුවක් ජල‍ය මතුපිට ඉහළ පහළ යයි. එය පැත්තකට ඇල වෙන්නේ නැත. රුවල් නැවක් යන්නේ හැම පැත්තටම පෙරළෙමිනි. වේගයෙන් යන රුවල් නැව අංශක 45 ක් පමණ පැත්තකට ඇලවීම (heeling) සාමාන්‍යයකි.

රුවල් නැවේ පළල් පැත්තකට වී සිටියොත් අංශක 45 ට වතුරට ඇල වෙන පැත්තේ දී වතුරේ කකුල් තෙමා ගන්නට හැකිය. ඉහළට ඉස්සී තිබෙන අනිත් පැත්තේ හිටියොත් වැරදිලාවත් වැටුනොත් යම් කාලයක් තුල දී දිගටම තවමත් වැටෙනුයේ නැව ඇතුලටම ය!!

අල්ලා ගන්න අවශ්‍ය තැන නිතර දැන සිටීම අවශ්‍ය ඒ නිසාය. රුවල් නැව හැම අතටම පෙරළෙද්දී හිඳගෙන ඉන්නා අයව පවා ලිස්සා ගොස් වතුරට වැටීම වලක්වා ලීම අසීරු ය.

රුවල් නැව් හරඹයේ දී මුහුදේ වතුර ගලනා ආකාරය විස්තර කරන නම් කිහිපයකි.

කැඩුණු (chop) දිය පහර නම් තැනින් තැන සුදු පෙණ දැකිය හැකියාව ය.

රැල්ල (wave) නම් දිගට ගහගෙන ගොස් සුදු පෙණ වලින් අවසන් වන වතුර පහරකි. අපි මුහුදු වෙරළක දී පා තෙමා ගන්නේ මේ රැල්ලෙනි.

තඩිස්සිය (swell) නම් සුදු පෙණ දැකිය නොහැකි විසාල වතුර ප්‍රමාණයකි. තඩිස්සි දිය පහර මනින්නේ එය සෙසු මුහුදු වතුර මට්ටමින් කොතරම් ඉහළට, පහළට හා දිගින් දිගට ඇදී යන ආකාරය අනුව ය.

අඩි 52 ක රුවල් නැවක් වුවද ගොඩබිමින් ඈත් වී මුහුදින් වට වෙද්දී එය වතුර උඩ පාවෙන මල් පොහොට්ටුවක් සේ කුඩාවට පෙනේ! අපි ඈතින් දකින රුවල් නැව් වලට හා නෞකාවන්ට ළං වූ පසු ඒවායේ නියම ප්‍රමාණය වැටහේ.

ඈත දූපතක් පෙන්වා අපි යන්නේ එයටැයි කියූ කල එය මහත් දුරක් නොවේ යැයි සිතේ. එහෙත් ඊට ළඟා වන්නට පැය හතරක් යනවා යැයි කිව්වාම පුදුම සිතේ. ඉතින් වැරදිලාවත් අර පේන දූපතට පීනා යන්න කියා වතුරට පනිනු නුසුදුසු ය. මන්ද එය හිතනවාට වඩා ඈතක පිහිටියකි!!!

හිමින් ඇදුනු රුවල් නැව නිශ්චල වතුරේ ඉහළට හා පහළට වැනෙමින් පාවී ගොස් කැඩුණු දිය පහර පාස් කරමින් එක් වරම බැස්සේ තඩිස්සි දිය පහරටයි. කුඹ ගහ යටින් බැස ආසනයක් සොයා මා ගියෙමි. මට ඉහළින් වතුර පහර දැකිය හැකිය. මට පහළින් වතුර පහර දැකිය හැකිය. කකුල් දෙක තෙමා ගන්නට හැකිය. නැව තුලට වැටෙන මුහුදු වතුරෙන් ගත නැහැ වී යයි.

ඔළුව ඊයම් බරුවක් ඇතුල් කර ඇතිවා සේ මහත් බරකින් දැනෙන්ට පටන් ගති. හැම පැත්තටම පෙරළෙන රුවල් නැව දිහා තවත් බලා සිටිය නොහැකි නිසා ඇස් වසාගෙන ඔළුව සීට් එකේ ඇන්දට තබාගෙන සිටියෙමි.

තඩිස්සි දිය පහරේ උස අඩි 14 ක් පමණ යැයි කැප්ටන් ගාසියා සහ මගේ සුද්දා අනුමාන කරනවා හීනෙන් මෙන් ඇසේ. දිග අඩි 12 ක් විතර පමණලු. පළල අඩි හතක් අටක් වීලු. නැව අංශක 50 හා 55 අතර ඇල වී ගමන් කරයි.

“ඔයා කොහොම ද?” සුද්දා අහයි.

“එපා මට කතාකරන්න.” මම සැර වෙමි.

“වැඩි දුරක් නැහැ.” කැප්‍‍ටන් ගාසියා කියයි. “තව පැයක් විතර යනකොට මුහුද වෙනස් වෙයි.”

අපොයි ඒක කිව්වට වඩා නොකියා හිටියා නම් හොඳයි. තව පැයක්?!!!!

කොයි පැත්තකවත් ගොඩබිමක් නොපෙනේ.

චලනය නිසා ඇතිවන වමනය මට හොඳට හුරු පුරුදු ය. අද දිනයේ ද මට වාහනයක පසුපස ආසනයේ වැඩි දුරක් යා නොහැකි ය. කඳුවැටි හා වංගු ඇත්නම් වාහනය පදවන්නේ මා ය.

තද සුළං තුලින් හඹා යන රුවල් නැවේ ඔක්කාරය කරන්නේ කොයි පැත්තට යන්න ද විමසිලිමත් විය යුතුය!!!

රුවල් නැවේ පසුපස නාන්න බහින ඉනිමඟ අසල කුඩා ආසන දෙකකි. එය වතුරට ඉතාම ළඟ ස්ථානයයි. මා නතර වූයේ එතැනයි. නා අවසන් වූ පසු ඉනිමඟින් නැවට නඟින්න අල්ලා ගන්න තියන යකඩ පොල්ල අල්ලා ගත් මා තවත් පිටතට දමන්න දෙයක් නැතිවන තෙක් සියල්ල එළියට දැම්මෙමි.

මුහුදු වතුර නා නැවට නඟිද්දී ඇඟ සෝදා ගත හැකි මිරිදිය වතුර පයිප්පයක් එතැන ඇත. මුහුදු වතුරට හේදී නොගිය ඉතිරිය ඒ පයිප්පයෙන් සෝදා හැරියෙමි.

මුහුණ හා අත් කකුල් වල නැවට වැටි මුහුදු වතුර වියළී සුදු පව්ඩර් තවරා වැනි ය. හම පිරිමැදි කල ලුණු අංශු කුඩා වැලි කැට සේ අතට දැනේ. කොතරම් වතුරෙන් නැහැ වී ඇත්දැයි දැනුනේ එවිට ය.

මුහුද කෙමෙන් සංසුන් විය. ගොඩබිම නැවතත් දකිනු හැකිවිය. ඔළුව ඔසවද්දී බර ගතියක් නොදැණුනි. නැව තවමත් අංශක 45 ට පමණ ඇල වී ඇත. එහෙත් තඩිස්සි දිය පහර නැති නිසා කීරි කීරි ගා කෙඳිරි ගෑම හා නැවේ හැම පැත්තකම වැදෙන වතුර පහරවල් වෙනුවට ඇහුනේ මුහුදු වතුර කපාගෙන ඉදිරියට ඇදෙන රුවල් හා ලණු සුළඟට වැදෙනා හඬ පමණි. ඉතා නිහඬ පැයකින් පසු අපි කුලෙබ්‍රා දූපතට ළඟා වීමු.

පැය තුනක් අනුමත විවේක කාල පමණක් ගෙන ටෙනිස් තරඟයකින් පසු ඉතා ඉක්මණින් නැවත තරඟ වදින්නට වුව ද හැකියාව තිබි මා සතුවන්නේ ඉතා ඉක්මණින් වෙහෙසින් මිදෙන්නට හැකි සහජ වූ හැකියාවකි. ඉතා වේගයෙන් දුවන හෘද ස්පන්දයකින් පසු නැවත යථා තත්වයට ඉක්මණින් ආ හැකිය. එවැනිම වූ සහජ හැකියාවකින් චලනය නිසා ඇතිවන වමනයෙන් පසු යළිත් සාමාන්‍ය තත්වයකට එන්නට මට හැකිය!!

මගෙ සුද්දා හා කැප්ටන් ගාසියා වරින් වර හොරැහින් මා දෙස බලයි.

“කිසි ප්‍රශ්නයක් නෑ දැන්.” මම කියන්නේ සිනා වෙමින්.

චලනය නිසා මුලින් මැරෙන්න යනවා යැයි කෙනෙක් බිය වේ. ඊ ළඟට කරකියා ගන්නට නොහැකි තරම් වූ කල මැරෙනවා නම් හොඳ යැයි සිතන්නට වෙයි. හැබැයි, හේතුව නැති වූ කල ඵලය ද අතුරුදහන් බව මතක තියා ගත්තාම ඇති! ඒ වතාවේ හැරෙන්නට අනිත් දවස්වල (මැද පින්තූර) තඩිස්සි දිය පහර මැදින් ගියාට කිසිම වෙනසක් දැනුනෙ නැහැ. හැබැයි ඒ චලනයට පුරුදු වෙලා ද නැත්නම් ට්‍රිනඩැඩ් සහ ටොබේගෝ වල හදපු ෆර්නෑන්ඩේස් රම් ෂොට් එකක් බිව්ව නිසා ද කියලා ෂුවර් නැහැ!!!

සිරස්තලය කියන ඇබැද්දිය වළක්වාගන්න ප්‍රතිකාරයක්, පසු කාලයක දී ලියූ සටහනක්:කා සික්, සී සික් සහ ෆිල්ම් සික්

17 Responses

Subscribe to comments with RSS.

  1. ගෝල්ඩ් fish said, on මාර්තු 5, 2011 at 2:29 පෙ.ව.

    නියම ගමනක් වගේ අක්කේ…. තව තියෙනවා නේද?

  2. praveena said, on මාර්තු 5, 2011 at 3:06 පෙ.ව.

    අරුනි ලස්සනට රඟ පානවනේ.

    අනික මේ බලන්නකෝ ඔයා ලියන ලස්සන. “අහස, අළුත උපන් පිරිමි බබාලාට තෑගි දෙන ඇඳුම්වල ඇති ලා නිල් පැහැයෙන් යුතු විය.”

    “මුහුද විසිතුරු අන්දමකින් කපන ලද නිල් පුෂ්පාරාගයක පැහැයෙන් දිළිසෙයි.”
    යන්න අමාරු ගමනක් උනත්මෙහෙම කියන කොට යන්න හිතෙනවා.

  3. dee said, on මාර්තු 5, 2011 at 3:58 පෙ.ව.

    ආහ්, මේ Titanic Rose පෝස්ට් එකක් දාලනෙ..:D හැඩ පෝස්ට් එක..!

  4. Priyantha said, on මාර්තු 5, 2011 at 4:29 පෙ.ව.

    මම නම් බෝට්ටුවක ගියේ එක පාරයි. හොඳටම චලනය උනා. වමනය නම් ගියේ නෑ. මොන හේතුවක්ද මන්දා මට කිසි බයක් දැනුනෙත් නෑ. නැවක නම් ගිහින්ම නෑ…
    තියෙව්වාම යන්න ආස හිතෙනවා අක්කේ….

  5. Ravi said, on මාර්තු 5, 2011 at 4:39 පෙ.ව.

    ගමන් විස්තරේ නම් අපූරුයි අරුණි,

    මමත් ඔයා එක්ක නැවේ ගියා කියලමයි හිතෙන්නෙ, ඔයාට වමනෙ ගිය එක අහන්නත් දෙයක්ද වීඩියෝ එක බලද්දි මටත් වමනෙ ගිය කොට,….හෙහ්, ….හෙහ්,

    මම කැමතිම මෙන්න මේ ටිකට,

    / “ඔයා කොහොම ද?” සුද්දා අහයි.

    “එපා මට කතාකරන්න.” මම සැර වෙමි. /

    මට පොඩි ගැටලුවකුත් නම් ආවා, හැබැයි,

    / වේගයෙන් යන රුවල් නැව අංශක 45 ක් පමණ පැත්තකට ඇලවීම (heeling) සාමාන්‍යයකි. /

    මෙතන වචනෙ ” Keeling ” වෙන්න ඕනය කියලයි මට හිතෙන්නෙ, සමාවන්න මම වැරදි නම්,

    • arunishapiro said, on මාර්තු 5, 2011 at 9:51 ප.ව.

      Ravi,
      විඩියෝ එකේ තියෙන්නෙ සංසුන් විදියට ගිය කොටසනේ!!!!

      keel කියන්නෙ නැව යට තියන නැවේ කුඹ ගහ දිගේ ඇවිත් පතුලින් දිගට දිවෙන නැව වතුරේ නොගිලී තියාගන්න එකට. ඒක වතුරෙන් උඩට ආවොත් නැව පැත්තකට පෙරලිලා ගිලෙනවා.

      රුවල් නැව් පදවන අයගෙ වචන භාවිතයේ දී එහෙම පැත්තකට ඇලවෙලා යෑමට කියන්නෙ heeling කියලා.

      • Ravi said, on මාර්තු 6, 2011 at 12:56 පෙ.ව.

        බොහොම ස්තූතියි අරුණි ඔබේ පැහැදිලි කිරීමට,

        විඩියෝ එකේ තියෙන්නෙ සංසුන් විදියට ගිය කොටසනේ!!!!

        Yeah, try to imagine what a great sailor I would be,

  6. හීනියට said, on මාර්තු 5, 2011 at 7:02 පෙ.ව.

    පOකාදු ගමන…..

    අරුණි අක්කේ ඕවයෙ ගණන් හිලව් එහෙම කොහොමද?….

  7. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩෝල් දූවේ උපාලී බල ඔරුවේ නැගලා මුහුද ගිය දවසේ ඉදන් මටත් පිස්සුවක් තිබ්බා මුහුදේ යන්න අන්තිමට බොට්ටුවක් (හික්කඩුවේ ) මුහුදේ අරන් ගිහින් තමා ගෙදර අය බේරුනේ.
    මේ පාරනම් ඉතින් ගෙදර අයට වද කරන්නත් බැ මෙහේ අපිට යන්න පුලුවන් රුවල් නැවුත් නෑ.දැන් මොකද කරන්නේ

    අක්කේ තඩිස්සි(Swell) රැලපාරකදි නැව ඒ රැල්ල කපාගෙන යනවාද නැත්නම් රැල්ල උඩින් යනවාද ?

    • arunishapiro said, on මාර්තු 5, 2011 at 9:23 ප.ව.

      ක්ෂිතිජ විජේමාන්න | විත්ති,
      තඩිස්සි දිය පහරක දී නැවේ ඉස්සරහ පැත්ත දිය පහරේ මැදට එල්ල කරනවා. එතකොට රුවල් නැව දිය පහරේ උඩට නැඟලා ගිහින් දිය පහර ඉවර වෙන තැන දී පහළට බැහලා යනවා. කෙළින් ඉරක් ගැහැව්වා වගේ ඉස්සරහට රුවල් නැවක් යන්නෙ නැහැ. Tack කියන ක්‍රමයට අනුව වරක් එක් පැත්තකට ඇදේට යනවා. ඊට පස්සෙ අනිත් පැත්තට හැරිලා යනවා. ඉතින් ගමන් කරන දුර ප්‍රමාණය වැඩියි. මෙන්න මෙතැන තියන පින්තූරය බලන්න.

      • බොහොම ස්තුතියි අක්කේ පැහැදිලි කිරීමට ලගදිම රුවල් නැවක් හොයා ගන්න පුලුවන් වුන ගමන් ගිහින්ම අත්දැකීම ගන්නවා(ලගදීම කිව්වාට මේ ජීවිත කාලේ ඇතුලට )

        අහ් පින්තුරේ තියෙන විදියට රුවල් නැව යම් ස්ථානයකට යන්න සැහෙන්න දුරක් වට රවුමක් ගහන්න ඕනෙනේ


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: