කුඩා සර්ප දිවයින
කුලෙබ්‍රා යන ස්පාඤ්ඤ නමේ අර්ථය සර්පයා යන්නයි. එහෙත් මේ කුඩා දිවයිනට ඒ නම වැටුනේ කොහොමදැයි කවුරුත් නොදනී. එහි සර්පයෝ නැත. වර්ජින් දූපත් වල ද සර්පයෝ නැත. සෙන්ට් ජෝන්ස් දූපතේ මහමඟ හරහා ලේනුන් මෙන් දිවයන්නේ මුගටියෝ වෙති. ඒ උක් වගා කරද්දී සර්පයෝ වඳ කරන්නට ගෙනෙන ලද මුගටියෝ දැන් එහි ගහණ නිසා ය.
කුලෙබ්‍රා වෙතින් අප ඊට ඊසාන දිගින් වූ කුලෙබ්‍රිටා නොහොත් කුඩා සර්ප දිවයිනට ගොඩ බැස්සෙමු. එය ස්වභාවික වනජීවි අභය භූමියකි. කැරිබියන් මුහුදේ ඇති පැරණිතම ප්‍රදීපාගාරය ඇත්තේ එහි ය. මෙය නිම කරන ලද්දේ 1886 දී ය. 1989 දී හා 1995 දී චණ්ඩමාරුත නිසා එය විනාශ වී ඇත.
කුලෙබ්‍රිටා දූපත සැතපුමක් පමණ දිගින් වූ කොරල් දූපතකි. එහි Playa Tortuga නොහොත් ‘කැස්බෑ වෙරළේ’ සිට ‘කසල වෙරළට’ යන්නට අපිට ගතවූයේ පැය කාලක් පමණි. මීට ‘කසල වෙරළ’ යැයි නම වැටී ඇත්තේ මුහුදේ දැඩි රළ පහරට කසල වෙරළට ගොඩ ගහන නිසා ය.
‘බටහිර වෙරළ’ අසල කොරල් පර බොහෝ ය. ලයිට්හවුස් සිට ඒ පැත්ත බලද්දී මුහුදේ තැනින් තැන තද පැහැති වතුර රටා ඒ කොරල් පර ඇති තැන් පෙන්වයි.
නොර්වේ සිට මඟීන් 100 ක් පමණ රැගෙන ආ නෞකාව බටහිර වෙරළේ නැංගුරම් ලා තිබුණි. ඔවුන්ව හරක් ගාල් කරගෙන දක්කා යනවා සේ හසුරුවන ආකාරය දැකි මාත් මගේ සුද්දාත් සුඛෝපභෝගී නැවක කිසි දා නොයන්නට කතිකා කර ගතිමු.
හැම තැනම නොඉවසුම් ලෙසකින් පියාඹන මොනර පිල් පැහැ වලින් යුතු වූ චූට්ටන් සූටික්කෝ (hummingbirds) අපි දැක්කෙමු. මේ පින්තූරෙට සූටික්කෙක් අල්ලා ගත්තට කොළ අතරින් ඌව හොයා ගැනීම ලේසි නැත.
උස් බිමෙහි පිහිටි ප්‍රදීපාගාරය වෙත වූ අඩි පාරේ යන අපට නොයෙක් වන පැළෑටි හා වන ජීවීන් දකින්නට හැකිවිය. කොහේදෝ අස්සකින් එළුවෙක් බෑ බෑ යයි හඬනවා ද ඇසුණි.
නෝර්වේ නැවේ කප්පිත්තා යුරෝපීයයන් කිහිප දෙනෙක් සමඟ අඩිපාරේ දී අපිට හමුවිය. ඔහු නැවතී අපි සමඟ කතාබස් කළේය.
‘අපිට … (අලියෙක් කුංචනාදය කරනවා ඇහුණා)” යයි ඔහුට කියන්නට මා සිතුව ද පසුව එය එළුවකුගේ හඬ ඇසුණා යයි වෙනස් කළෙමි. ඔහු එය පිළිගත් බවක් නොපෙනිණ.
“අලියෙක් කිව්වත් එච්චරම තමයි.” මම මගෙ සුද්දාට පැවසුවෙමි!! කැස්බෑ වැල්ලේ දී අපි දැකි කූර සටහන් නොර්වේ කප්පිත්තා දැක්කේ නැතුවා වන්නට ඇත.
ගාල් කර දක්කා ගෙන යන හරක් පට්ටියට අයිති නොවන නිසා අපි දෙන්නා අපිට එපා වෙන තෙක් ප්‍රදීපාගාරය අසල කාලය ගෙව්වෙමු.
ඈතින් ක්ෂිතිජයේ සෙන්ට් තෝමස් දූපත දකින්නට හැකිය. වෙනත් අහල පහල එළියක් නැති නිසා රෑට සෙන්ට් තෝමස් දූපතේ එළිය මෙහි දී ද දකින්නට හැකි බව කැප්ටන් ගාසියා අපිට කීවේය. පැය හතරක් පහක් ඈතක සිට එන නැවක් දකිනු හැකිය. වෙරළෙන් කැලෑව ඇතුලට ඇවිද ගියාම නොපෙනුන වෙන්ටහේරෝ 4 හි කුඹ ගහ කන්ද මුදුනේ දී හදිසියේ ම දකිනු හැකිවිය. Master and Commander: The Far Side of the World (2003) චිත්‍රපටිය සිහිකරවමින් රුවල් නැව් දෙකකට දූපතක් වටා යද්දී එකිනෙකාට නොපෙනී කොතරම් ළඟකට ආ හැකිදැයි අපිට වැටහුණි.
යාන්තම් පොද වැස්සක් පතිත වූයේ කන්ද නැඟි මහන්සිය නිවාලන්නට මෙනි. වැස්සට කුල්මත් වූ ක්‍රිකට් බෝල සයිස් එකේ තපස් කකුළුවෝ (hermit crabs) හැම තැනකම ඇදේට ඇදි ඇදී ගමන් කරන්නට පටන් ගති. කොහේදෝ තැනක කකුළුවෝ ඇල්ලීම තහනම් කියා බෝඩ් ලෑල්ලක් ද ගසා තිබිණ!!
කැස්බෑ වෙරළට එසේ නම වැටීම සනාථ කරමින් අපි පිහිනමින් සිටිය දී අප අසලින්ම හිස ඔසවා අපිව නරඹන්නට ආ බයිසිකල් ටයර් එකක ප්‍රමාණයකින් වූ කොළ කැස්බෑවෙක් ද දකින්නට ලැබිණ. වේගයෙන් රුවල් නැව යද්දී අපි දැවැන්ත කැස්බෑවුන් පීනනවා දැක්කෙමු. නැව දකිනා උන් ඉතා වේගයෙන් පතුලට බසිති. වතුරේ ඇති දෑ සාමාන්‍ය ඇසට පෙනෙන්නේ කොහොමටත් ලොකුවට ය. ඉතින් ළඟටම ආ කැස්බෑවාගේ ප්‍රමාණය ඇසේ මායාවක් වන්නට ද පුළුවන!!
‘අපිට කරන්නට දෙයක් නැත. එය කරන්නට මුළු දවස ම ඇත” (We have nothing to do and all day to do it) යන්න ඔප්පු කරමින් නිවාඩු පාඩුවේ දවස ගෙව්වෙමු.
හ්ම්ම්ම්.. නිදිකුම්බා නෑ තමා.
නයින්ට වෙච්චි දේ බොහොම ශෝචනීයයි.. බොහොමයක් දූපත් වල ස්වදේශීය සත්ත්ව විශේෂ වලට තිබුන/තියෙන ලොකුම තර්ජනය තමා මිනිසාගේ වැඩ කටයුතු පහසු කරන්ඩ අඳුනවලා දීපු ගෘහාශ්‍රිත සතුන්!
http://www.youtube.com/watch?v=af9A7Awg1io චුට්ටක් ඉවසගෙන ඉඳලා අග කොටස බලන්න..
dee,
ස්තූතියි. අවසානය දක්වාම බැලුවා. මං හිතුවේ අර කිඹුල් අම්මා පැටියො ගිලින හැටි පෙන්වයි කියලා අන්තිමට!! අර ඉන්දුනීසියාවෙ පියාඹන නයි ගැනත් වැඩ සටහනක් දැකලා තියෙනවා, හරි අපූරුයි!
මිනිසා සත්ව ලෝකයට හිරිහැරයක් බව හැබෑව. ඒත් මෙහෙමත් හිතන්න ඕන, ඩයිනසෝරයන් වඳවෙලා ගියෙ මිනිස්සු බලපෑමක් කරන්න කළියෙන් ම. ඊ ළඟට අර ගලාපගස් එළුවෝ වගේ අනිත් සත්තු නිසාත් (මිනිසා නොවන බලපෑම් නිසා) සත්ව ජීවිත නැතිවෙනවා. මිනිස් ජීවිතත් එහෙමයි. පැළෑටිත් එහෙමයි. පරිසරයත් එහෙමයි.
මේ ගලාපගොස් ඉබ්බන්ගෙන් එක උප ජාතියකින් ඉතිරි වෙච්ච එකම ඉබ්බා ‘ලොන්සම් ජෝ’ වුනාට වෙනත් ගලාපගස් ඉබි සංඛ්‍යාව අද විසිදාහකට විතර නැවත වැඩි කරන්න සමත් වෙන්නේ ද මිනිසා බව අමතක නොකරන්න ඕනා.
ලංකාවට කඩා වැටුණු අය නිසා ද වැද්දෝ හිඟ වෙලා යන්නෙ? නැත්නම් වැද්දෝ වෙනස් වෙන්න අකමැති නිසා ඉබේටම නැතිවෙලා යන පිරිසක් ද? ගලාපගස් පැත්තේ දී ජෛව විවිධත්වය දකින ඩාවින්ට තම තියරිය ගොඩ නඟන්න ලැබෙන්නෙ යෝග්‍යතමයා ජයගනිවී කියල. මිනිසා ද යෝග්‍යමයෙක් වුනේ නැත්නම් ඌත් අනික් වඳවෙලා යන සත්තු වගේ නැතිවෙලා යයි ද? අවසානයේ දී ජයගන්නේ වෙනසට මුහුණ දීලා හැඩගැසෙන්න හැකියාව ඇති ස්වභාව ධර්මයයා වුනාට අද මිනිසා ඒක වෙනස් කරන්න සමත්. මිනිස්, සත්ව, පැළෑටි, පරිසරය කියන කිසිම භේදයක් නැහැ මිනිසා වඳ වී යන්න, අවදානමට ලක්වන්න ප්‍රතිසංස්කරණය කරන්න වෙහෙසෙනවා.
අපි ෆ්ලෝරිඩාවේ මාර්කෝස් දූපතේ නිවාඩුවක් ගත කරද්දී ඉර බැහැගෙන යන හැන්දෑවක මුහුදු වෙරළේ ඇවිදින්න ගියා. මාත්, මගේ සුද්දත් අපේ දියණියත්. රවුමක් ගැහිලා ඉන්න මිනිස්සු ගොඩකට අපිත් ඔළුව දැම්මා. එතැන බිත්තර වලින් එළියට කැස්බෑවෝ එන්න ලෑස්තිවෙන තැනක්. කැස්බෑවා බිත්තර දාලා ගියාට පස්සෙ තැන සටහන් කරලා සත්තු නොකන විදියට එය ආරක්ෂා කරන්න වැටක් ගහලා රකින ස්වේච්ඡා පිරිසක් ඒ අවට ජීවත් වෙනව. ඔවුන් අපිට උපදෙස් දුන්නා පැටව් එළියට එද්දී කැමරාවක ෆ්ලෑෂ් දාලා පින්තූර ගන්න එපා කියල. අතින් අල්ලන්න එපා කියල. වලේ ඉඳන් පේලි දෙකක් මුහුද අයිනට රැස් වෙච්ච මිනිස්සු හිටගත්ත. අපි පැටව් වැලි අස්සෙන් එළියට එන හැටි බලාගෙන ඉඳලා මුහුදු වතුර අයිනට ම ගියා. අමාරුවෙන් වැලි ගොඩේ යන පැටව් මුහුද පැත්තට නොයා ගොඩබිම පැත්තට යනකොට මිනිස්සු කකුල් වලින් හිමිහිට හරි පැත්තට තල්ලු කරල පාර පෙන්නුවා. මිනිස්සු වටවෙලා හිටපු නිසා උඩින් පොදි ගැහිලා පියාඹපු කිසිම මුහුදු ලිහිණියෙක්ට පැටව් කන්න ලැබුනෙත් නැහැ. රුපියලේ කාසියක් තරම් පුංචි කැස්බෑ පැටව් වතුරට යාන්තම් එකතු වෙද්දී පීනලා ගියේ දක්ෂ පිහිනුම්කරුවෝ පරාජය කරමින්. කැස්බෑ ජනගහණය මිනිස් වෑයම නිසා අද වැඩිවෙලා කියලා සතුටු වෙන්න පුළුවන්.
නියමයි අරුණි අක්කා. දූපතේ වටාපිටාවව මට නිකං මෙතෙනම හොලෝ ග්‍රෑම් වගේ මැවිලා පේනවා…ලස්සනයි කතාව…
සුද්දෝ අපිට දුන්නේ කොපි තේ කැරබියන්ට දුන්නේ උක්.ලයිට් හවුස් එකනම් සාම්පුර් වල තියෙන ලයිට් හවුස් එක වගේ හැබැයි ඒ තරම් උස නෑ වගේ පේන්නේ.ඒක ලයිට් හවුස් එකට වඩා බල කොටුවක් වගේනේ
අහ් මමනම් සූටික්කා හොයා ගත්තා සූටික්කා ඉන්නේ පින්තුරේ උඩ වම් අත පැත්තට වෙන්න.
වව් වතුරනම් නිල් කැටේ වගේ.ලංකාවේ ඉතින් ඔය වගේ තැනක නිවි හැනහිල්ලේ බැහැලවත් ඉන්න බැනේ කොච්චර සෙනගද ? ඉස්සර මාතර පොල්හේනත් ඔය වගේ
මොකෝ අක්කේ සුරතල් සතුන් බීච් එකට ගේන්න දෙන්නේ නැත්තේ කැස්බැ බිත්තර හාරන හින්දා ද
ක්ෂිතිජ විජේමාන්න | විත්ති,
අර සුපිරි නැවේ 100 න් ගොඩක් අය බැහැලා ‘බටහිර වෙරළ’ අසල වතුරේ හිටියා. ඒ අයගෙ පින්තූර ගත්තෙ නැහැ. අපිට ම කියලා ‘කැස්බෑ වෙරළක්’ තිබිච්ච නිසා අවුලක් වුනෙත් නැහැ. යන එන අය බෝඩ්වල ගහලා තියන උපදෙස් පිළිපදිනවා. පරිසරය දූපතට ආපු ගණන පිළිබිඹු නොකරන්නෙ එහි ඇති ස්වභාව ධර්මය ඒ විදියටම තියලා යන නිසා.
//සුරතල් සතුන් බීච් එකට ගේන්න දෙන්නේ නැත්තේ කැස්බැ බිත්තර හාරන හින්දා ද
ඒක එක හේතුවක්. අනික උන් අශූචි දැම්මාම ඒවා කෙළින්ම එකතු වෙන්නෙ කොරල් දූපතට නෙ.
අහ් දැන්නේ මීටර් වුනේ කවුද අර බීච් එකේ නිදාගෙන ඉන්නේ
‘අපිට කරන්නට දෙයක් නැත. එය කරන්නට මුළු දවස ම ඇත” ජීවිතේ ගත්තත් බොහෝ දෙනෙක්ට වෙලා තියෙන්නේ ඒ දේම නේද ?…
තවත් චාරිකාවේ මතක අරන් එන්න. අපිත් ඔබ සමග ආවා වගේ දැනෙනවා…
Priyantha,
ඔව් බොහෝ දෙනෙක් ඒක දවස ගෙවන විදිය කරගෙන. ඒත් ඒ පිටස්තර බලපෑම නිසා ද නැත්නම් තමන්ගෙ උවමනාව නිසා ද යන්න සොයා බැලිය යුත්තක්.
තව විස්තර ලියන්නම්. කියවන්න එනවාට ස්තූතියි.
සුද්දා කන්න හදන කෑම පිඟාන දැක්කාම කෙලත් ගිලෙනවා. ‘මගේ සංචාර’ කියලා පොතක් ලියන්නකෝ ඔය පැත්තේ යන්න බැරි අයට කියවන්නත් එක්ක.
මාර ලස්සනයි විස්තරේ. කරන්න මුකුත් නැතුව දවසම ඔහොම බල, බලා ඉන්න තියනවා නම් මොන සැපක්ද?
praveena,
කැප්ටන් ගාසියා මාර ටැලන්ට් තියන කුක්.
මගෙ සුද්දා දවස් 365 පුරා දිවා රෑ ON CALL ඉන්න කෙනෙක්. ඉතින් මෙහෙම නිවාඩුවක් ගන්න ඕනමයි. දුව නැතිව, වසර 20 කට පසුව, අපි තනියම ගිය මුල් ගමන.
කණ්ණාඩි දෙකකුත් දාගෙන කකුල් උස්සගෙන සනීපෙට වැල්ලේ සන් බාත් එකක් දානව නේද? හික්
අර කෑන් එකේ තියෙන්නේ සෙරප්පු සුප්ද?
හීනියට, කොකා කෝලා කියන්නෙ සෙරෙප්පු සුප් රහම තමා!!! රම් ෂොට් එකක් ඇතුලට දා ගත්තම හරි. 🙂
කුමාරි කියනව වාගෙ කරන්න වැඩක් නැතුව ඔහොම සිරි නරඹමින් ඉන්න තියනවනම් මොන සැපද??
dinesh, සැප කියන්නෙ කැප වීමෙන් ලැබෙන දෙයක්. මේ සැප ගන්න නිකම් ඉඳලා ලැබුනෙ නැහැ. සෑහෙන්න මහන්සි වෙලා වැඩ කරාට පස්සෙයි ලැබෙන්නෙ. ඒ වගේම සල්ලි ගොඩ ගහලා වැඩක් නැහැ, ‘ධනවාදී දනවැද්දෝ’ වගේ තව සල්ලි හම්බ කරන්න ආයෝජනය කරන්නෙ මොකට ද කියලා හිතලා !!!! 🙂 වියදම් කරන නීත්‍යානුකූලව හොයාගත් ආදායම තමා. ජීවත්වෙන්නෙ සතුටු වෙන්න නම් ඉඳ හිටලා සැප විඳින්නත් එපෑයෑ නේද?!!
I Never miss to read your Articles But sorry for not comment.
we cannot get this experience, But We can feel them, thanks a lot
and good luck
Asela, thanks!