අරුණි ශපීරෝ‍ වෙතින්

පුවෙර්තෝ රීකෝ රසාස්වාදය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 10, 2011

ලෝකය දිහා බලද්දී අද පමණට වැඩියෙන් කන අය තමා බොහොමය ඉන්නෙ. ආහාරයක් ගිල දාන්න කළින් ඒ ඇයි කියලා අහන සිරිතක් මට තියෙනවා. බඩගිනි ද? කන්න තියෙන්න ගුණයෙන් යුතු ද? රසයෙන් යුතු ද? ඊ ළඟට පිඟානට බෙදා ගන්න ඉඩ ඇත්නම් ඒ කන්න පුළුවන් තරම විතරයි. හැම තිස්සෙම බඩ පිරිලා යැයි දැනෙද්දී ආහාර අනුභවය නවත්වනවා. මොකද ඉතුරු හරිය කන්නෙ හිත පුරවන්නනෙ. ඔය සේරම කළාට ‘බත් බඩක්’ නම් ජානුගතව දායාද වෙලා!!

තහිතියේ බහුල ඵලදාවක් ගැන කැප්ටන් කුක් නැමති ගවේෂකයා කියද්දී බටහිර ඉන්දීය වැවිලිකරුවෝ කුතුහලයට පත්වුනා. ඒක තම වහලාට අඩු වියදමෙන් ලබාදිය හැකි ආහාරයක් කියලා දැනගත්තම ඔව්හු තුන්වැනි ජෝර්ජ් රජුගෙන් ඉල්ලීමක් කළා ඒ ඵලදාව කැරිබියන් පැත්තට ගෙනත් දෙන්න කියලා.

1787 දී තුන්වැනි ජෝර්ජ් රජ්ජුරුවෝ HMS Bounty නැවේ කැප්ටන් William Blighට ඒ වැඩේ බාර දුන්න. මුහුදු ඉතිහාසයේ ගෙතෙන කතන්දර අතර කැප්ටන් බ්ලයිගෙ කතාව දිග හැරෙන්නෙ එතැන දී. ඒ නැවේ හිටපු Fletcher Christian කැරැල්ලක් දියත් කරලා නැව අල්ලාගෙන පැල ටික සේරම දකුණු පැසිෆික් මුහුදට විසි කරලා අතුරුදහන් වුනා. නැවේ තිබිච්ච ජීවිතය බේරගන්න බහින ඔරුවකට බැස්ස බ්ලයි හැතැප්ම තුන්දාහක් (කිලෝමීටර් 4,830) ගිහින් බටහිර ඉන්දීය දූපත් වලට පිවිසෙනවා. එතැනින් ඕලන්ද නැවක මඟියෙක් සේ ඔහු ආපහු එංගලන්තයට යා ගන්නෙ.

කැප්ටන් බ්ලයිට ආයෙත් වගකීම පැවරෙනවා. තහිතියට තවත් නැවක් අරගෙන යන ඔහු මෙවර නැවතත් පැල අරගෙන එනවා. මේ ගෙනාපු අළුත් පැල වගා කරලා, ගස්වල ඵලදාව පටන් ගත්තට අඩු වියදමින් ආහාර සපයන්න පුළුවන් වුනේ නැහැ. අප්‍රිකාවෙන් ආපු වහලා පුරුදු බත් කෑම අතහැරලා මේ අමුතු ඵලය කන්න කැමති වෙච්ච නැති නිසා!!

අද පුවෙර්තෝ රීකෝ පුරා මේ ඵලදාව මහමඟ දකින්න පුළුවන්. දෙල්!! එයාල දෙල් කන්නෙ රවුම් පෙති ගහලා තෙලෙන් බැදලා. ඒකට කියන්නෙ tostones කියලයි. මස්, මාළු එක්ක පිඟානේ පැත්තක. සමහර අවන්හලක දී ප්‍රධාන ආහාරය කන්න පෙරතුව කටගැස්මටත් ලැබෙන්නෙ දෙල් පෙති.

දෙල් වලට වඩා වැඩියෙන් එයාල මඤ්ඤොක්කා (yuca, cassava) කන්න කැමති. රහ ලංකාවේ මඤ්ඤොක්කා වගේමයි. දෙකම අල වර්ග වුනාට yuca නැත්නම් මඤ්ඤොක්කා manihot esculenta වෙද්දී yucca නම් yucca filamentosa කියන්නෙ තවත් අල වර්ගයක්. මඤ්ඤොක්කා, දූපතේ හිටපු වැසියෝ කියලා හැඳින්වෙන Taíno අය බහුලව අනුභවයට ගත් කෑමක්. පේර, අන්නාසි හා වැලිආතා (Sweetsop -අනෝනා වර්ගයක්) එහෙමත් ඒ ආදීවාසීන් ආහාරයට ගත් කෑම හැටියට දූපත්වාසීන් අද දිනයේ ද රස විඳින කෑම බවට පත්වෙලා. පේර (psidium guajava) ලෝකයේ මුලින්ම ආහාරයට අරගෙන තියෙන්නෙ කැරිබීයන් Arawak ආදීවාසී ජනතාව.

මේ පැත්තෙ වැවෙනවා ලිප්ස්ටික් ගහක් (bixa orellana). සුදු හා රෝස පැහැති වල් රෝස වගේ මල්. කෙඳි වලින් වැහිච්ච රතු ගෙඩිය ඇතුලෙ ඇට 30-50 ක් විතර. තැඹිලි හා රතු පාට ඩයි හදන්න සහ බටර්, කේජු හා චොකලට් වලටත් පාට ගන්න මේ ඇට යොදනවා. අතීතයේ දී මඤ්ඤොක්කා වල prussic acid විෂ වෙනවට ප්‍රතිකර්මයක් ලෙස ඇමසෝනියන් ජනතාව මේ ඇට කාලා තියනවා. අද හිරුඑළියේ නොසිට ඇඟවල් රන්වන් කරගන්න බොන පෙතිවලත් මේ ඇට අඩංගුයි.

සමහර අය හමේ පාට වෙනස් නොවෙන්න අව්වෙ නොයා ඉන්නවා. සමහරු හමේ පාට වෙනස් කරගන්න අව්ව තපිනවා මදිවට පෙතිත් බොනවා!

පුවෙර්තො රීකෝ වල mofongo හරි ජනප්‍රියයි. අළුකෙසෙල් වලින් හැදෙන කෑමක්. ලී වංගෙඩියක ලී මෝල් ගහකින් (pilón) කොටලා සුදුළූණු, ගම්මිරිස් දාලා තෙම්පරාදු කරලා හදන්නක්. දූපත මැද දී මොෆොන්ගෝ මැදට ඌරුමස් දානවා. මුහුදු වෙරළ අසල දී මාළු සහ ඉස්සො වගේ දාන්නේ. නගරබද අවන්හලක දී හරක් මස් හෝ කුකුල් මස් කෑල්ලක් උඩින් තියලා දෙන්නෙ. ඒ ඒ අවන්හලට සුවිශේෂී වූ මොෆොන්ගෝ හදන හැටි නිසා අවහන්හල ප්‍රසිද්ධිය ලබන තරමට මේක ජනප්‍රිය කෑමක්. මායි සුද්දයි කන්න ගියාම මගේ අලපෙති එයාට දීලා මම එයාගෙ මොෆොන්ගෝ ටික මාරු කර ගන්නවා. ඊට තව කුළුබඩු ටිකක් වැඩිය වැටුණ නම් රස වැඩි වෙන්න ඉඩ තිබුණ කියල හිතුණ.

පොන්සෙ හිල්ටන් හෝටලයේ වත් ලංකාවේ දකින රස නහර පිනායන අතුරුපස වර්ගයන් දකින්න තිබ්බෙ නැහැ. සංචාරක සේවය ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුනාට ඒක ලස්සන පරිසරය විකුණලා පමණක් ලබා ගන්නවා කියලා මට හිතුනේ. සමහර විට අද සංචාරකයෝ දූපතට යෑම අඩුවෙලා නිසා වෙන්නත් පුළුවන්.

අල දෝසි, ඉඟුරු දෝසි, පොල් දෝසි, සියඹලා දෝසි, පේර දෝසි, තල දෝසි පැකට් කරපුවා දැක්කට ප්‍රධාන අවන්හලක දී ඉදිරිපත් වූයේ චීස්කේක්, කීලයිම් පයි හා චොකල්ට් කේක් වැනි දෑ පමණයි. රටේ වැවෙන පේර, අඹ, අන්නාසි වැනි රස පළතුරු දාලා හදන්න පුළුවන් වටලප්පම් හා සමාන ෆ්ලෑන් වගේ කෑම දකින්නවත් තිබුණේ නැහැ.

කැප්ටන් ගාසියා තම රුවල් නැවේ ආහාර උයන බව දැනගත්තම ආණ්ඩුවේ නිලධාරියෙක් වහාම ඇවිත් කුස්සිය බලන්න. එයා ළඟ තිබිච්ච සාමාන්‍ය අවන්හලක අවශ්‍යතා ලැයිස්තුව අරගෙන අවන්හලක තිබිය යුතු නැවේ නැති අඩුපාඩු ලියන්න පටන්ගෙන. බොහොම අමාරුවෙන් ලැයිසන් එක අනුමත කරගෙන තියෙන්නෙ. කැප්ටන් ගාසියා කියනවා ආණ්ඩුවේ සේවකයෝ වැඩේ කරලා දෙනවාට වඩා අඩුපාඩු හොයලා තහනම් කරන හැටියි බලන්නෙ කියල. පුවෙර්තෝ රීකෝවල කවුරුත් ව්‍යාපාර පටන් ගන්න අදිමදි කරන්නෙ ඒ නිසා ද දන්නෑ!!!!!

18 Responses

Subscribe to comments with RSS.

  1. අමිල said, on මාර්තු 10, 2011 at 10:58 පෙ.ව.

    අපිත් නැවේ යනවා වගෙයි දැනෙන්නේ. සාර්ථක ගමනකට සුභපැතුම්.

  2. shani said, on මාර්තු 10, 2011 at 12:57 ප.ව.

    හිතෙන් පුවෙර්තො රිකෝවට ගිහින් ආවා..
    අගේ ඇති සවාරියක්!
    ලස්සන මතකයන් ගොඩාක් එකතු කරගන්න..

  3. praveena said, on මාර්තු 10, 2011 at 9:39 ප.ව.

    හපොයි කෑම ගොඩ……ඒවා කන්නම ඔය ට්‍රිප් එක දාන එක වටිනවනේ!! මම නම් අහු උන තැනින් කනවා බඩ පිරෙන්නම ගෙදර ගිහින් ඒ වගේ උයාගන්න බැරි නිසා. ඊලඟට ඉතින් වේලක් දෙකක් නොකෑවත් පාඩු නැහැනේ.

    අරුනි මේ කියන ‘ලිප්ස්ටික්’ ගස් ලංකාවෙත් තියනවද? මුස්ලිම් ගෑනු උදවිය එයාලගේ අත් එහෙම පාට කරන්න ගන්න. නමක් නම් මතකයට එන්නේ නෑ.

    • Priyantha said, on මාර්තු 11, 2011 at 4:11 පෙ.ව.

      මරතෝඩි ගැනද ඔය කියන්නේ. (වචනේ හරිද දන්නේ නෑ)

      • arunishapiro said, on මාර්තු 11, 2011 at 9:09 පෙ.ව.

        Priyantha,
        මරතෝන්ඩි යයි හැඳින්වෙන්නේ ලිප්ස්ටික් ගස (bixa orellana) ද, නැත්නම් henna (Lawsonia inerma = mignonette tree) යන්න ද?

        කෞශල ලියපු නේපාල මරතෝන්ඩි අත්දැකීමක් මෙතැනින් කියවන්න.

        හෙනා ගහේ මල් ක්‍රීම් පාටයි. කොළ අග එන නිල්-කළු බෙරි වගේ තියනවාට අමතරව කොළ තමයි ඩයි වලට තලලා ගන්නෙ. අරාබි අශ්වයන්ගෙ පිට දිගේ දුවන කෙස් වැටිය පාට කරන්නත් ගන්නවා! අර නිල්-කළු මල් වලින් ගන්න තෙල් තමයි mehndi කියන ඉන්දියානු, අප්‍රිකානු, මැද පෙරදිග ආගමික වතාවත්වල සුවඳ විලවුන් හැටියටත් පාවිච්චිය. අතීතයේ දී ක්ලියෝපැට්‍රාගේ විශේෂ සුවඳ විලවුන් cyprinum වලටත් එක්වෙලා තිබුණ කියන්නෙ. ඇය ඇන්ටනි හමුවෙන්න ගිය පළමු ගමනේ දී නැවේ රුවල් සේරම සුවඳ විලවුන් වලින් පොඟවලා සුවඳ කරගත්තලු!!

    • arunishapiro said, on මාර්තු 11, 2011 at 9:27 පෙ.ව.

      praveena,
      ආත්තම්මට කියලා වලව්වෙ කුස්සිය මට බාර දුන්නා නම් ඔන්න කටට රහට ලෝකෙ හැම පැත්තකින්ම එන කෑම හදලා දෙනවනෙ.

      කවදාවත් දැකලා නොතිබිච්ච, කවදාවත් රස බලලා නොතිබිච්ච ඉතාලි gnocchi මම හැදුවෙ රෙසිපි පොතක් බලාගෙන. කාපු අය කිව්වා ඉතාලියේ දී කාපු රහම දැනුන කියල! ඉතාලි ඩිලාන් තරහා වෙයි ද මන්ද දැන්!!

      //උයාගන්න බැරි නිසා// කියන්නෙ කැමැත්තක් ඊට නැති නිසා ප්‍රතිඵලය අයහපත් වීම. උයන්න කැමැත්ත තියේ නම් ඕන කෑමක් හදන්න බැරි නැහැ. හැබැයි උයන්න කැමැත්ත කියන එක අනික් මිනිස් ස්වභාව වගේ තමයි බලහත්කාරයෙන් කෙනෙකු තුල උපදවන්න බැහැ!!

      නොදන්නා නොහඳුනන ආහාර ගැන දැන ගැනීමටත් පසුව ඒවා හදන්නට වෑයමටත් කැමැත්ත මූලික වූ ස්වභාවයෙන් ප්‍රීතියක් ලබන නිසා වෙන්නැති කන දේ ගැනත් මට තැකීමක් ඇතිවෙලා ඇත්තෙ.

      මරතෝඩි/මරතොන්ඩි ලිප්ස්ටික් ගහ ද නැත්නම් හෙනා ගහ ද යන්න මමත් නොදනිමි 😦

  4. sujeewa said, on මාර්තු 10, 2011 at 9:58 ප.ව.

    HMS Bounty නැව අල්ල ගත්තු නිදහසේ විප්ලවකාරයින් “කවුරුත් නැති පැත්තක” දා ගත්තු පිට්කෙයාන්ස් කියන කඩේ ගැන නම් ඒ සන්දියේ කියෙව්වා.

    ගහ කොළ ලොව පුරා ගිය හැටි පුදුමාකාරයි. දෙල් වලට මෙහෙ කට්ටිය කියන්නේ රට දෙල් කියා යි. අපේ කට්ටිය කියන විදිහට [ලෙජන්ඩ්] පරංගියා ඔව්ව ගෙනත් තියෙන්නේ අපිට විස ගහල මැරෙන්න ලු. බලමාලුත් විස සහිත නිසා [ඒ කාලේ පහතරට ගොවි තැන බිඳ වැටුනම/වැට්ටුවම කට්ටිය කන්න ඇත්තේ බල මාලුයි දෙලුයි]. ඒත් පොල් වල පිහිටෙන් සියල් විස නැසී ගියාලු.

    ඔබේ කතාවත් එක්ක 100%ක් ටැලි නොවන්නේ, කුක් ගොයියා ටහිටි යන්න බොහෝ පෙර පරංගියා ලංකාවේ හිටි නිසා වෙනි. මා උපන් හැදුනු වැදුණු ගාලු දිස්ත්‍රික්කයත්, ආසන්න කළුතර දිස්ත්‍රික්කයත් ජනාවාස වෙලා තියෙන්නේ පරංගින්ගේ මකොල්ලයෙන් බේරී පලා ගිය කෝට්ටේ රාජධානියේ ඇත්තන්ගෙන් ලු. පස්සේ මේ කට්ටියගෙන් සමහරු ලන්දේසි කාලේ තම ඉඩම් ඉල්ලගෙන ආපසු ඇවිත් කොළඹ ජනතාව නිර්මාණය කල බවට තෝම්බු තියෙනේවලු. ඒ නිසා පරන්ගියට බොරුවට බිල දැම්මද දන්නේ නැහැ.

    • arunishapiro said, on මාර්තු 11, 2011 at 9:49 පෙ.ව.

      sujeewa,
      බ්‍රිතාන්‍යය විසින් කුක් ගොයියාව තහිතියට යැව්වෙ බටහිර කොදෙව් වලට දෙල් වගාව අරන් යන්න. එතකොට පරංගියා 1505 දී කඩා වැදිලා අපිට දෙල් ගෙනැත් දාලා තියෙන්නැති. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඕලන්දය, පෘතුගාලය, ඉතාලිය යනාදී හැම විසින් ම මුහුදු තරණය කරපු නිසා, අධිරාජ්‍යයන් හදන්න සියල්ලම උත්සාහ කරපු නිසා බ්‍රිතාන්‍ය සුද්ද අයිතිය කියන දූපතකට පරංගියා දෙල් ගෙනිහින් දුන්නෙ නැතිව ඇති!!!

      බලමාළු සහ දෙල් උෂ්ණ කෑම කියලා අදත් පිළිගන්නවා නේද? නමුත් කෑම නතර කරලා නෑ නේද? අර අරක්කු පුරුදු කරලා ගියාට අපි බීම නතර කරලා නෑ වගෙ!!!

      • sujeewa said, on මාර්තු 11, 2011 at 12:40 ප.ව.

        මං හිතන්නේ ඒක වෙන්න ඇති.

        කතාවෙන් චුට්ටක් දුර ගියත්; ඔය කුක් ගොයියා වගේම තව ගොයියෙක් ඉන්නවා ටස්මන් කියලා. කුකාට කලින් හිටි ඕලන්දක්කාරයෙක්. පොර පට්ට වාසනාවන්තයෙක්. ඔස්ට්‍රෙලිය මහාද්වීපය වටේ සම්පුර්ණ රවුමක් ගිහින්, මැද්දේ තියෙන්නේ නිකම් මුහුදක් කියල හිතලා ගෙදර ගියාලු. පොර බැරිවෙලාවත් ගොඩ වැදුනා නම අපට අද ඕලන්දක්කාරයින් බිහි කල එකම කොලනිය බලා ගන්න තිබ්බ.

        දෙල් හා බල මාළු විස පොල් වලින් නැහෙනවා කියල නේ කන්නේ අරුණි. එ නිසා පරංගියා පුරුදු කරපු දෙලේ විස වදිනවා නම් වදින්නේ දැන් තමා. නිදහස් වෙළඳපොල උදහස් වීම නිසා දැන් පොල් ගේන්නේ ඇපල් වගේ පඩි ගත්ත දවසට විතරයි නේ.

  5. නවම් said, on මාර්තු 11, 2011 at 4:59 පෙ.ව.

    මෙහෙත් ඔය තියෙන්නෙ මඤ්ඤොක්කා පෙති, කූරු, කො‍ටු කො‍ටු කපාපු කුට්ටි තෙලෙන් බැදල ලුණුයි මිරිසුයි ඉහල. දෙල්නං ගෙදර බැදල සීනි උණුකරල දාල හරි මිරිස් දාලහරි කෑවොත් තමා.මේ සීරීස් එකේ අනිත් ඒවට වඩා මේකනම් ආසාවෙන් කියෙව්ව. කන බොන ජාති තිබුන හන්දද මංද.

    ඔය ලිප්ස්ටික් ගස් කියන්නෙ මෙහේ තියන මර‍තෝඬිය අඳින්න ගන්න ගෙඩි නේද. මම ඉස්සර දවසක බද්දෙගම දිහාවෙ යනකොට දැක්ක කියල මතකයි.

    ආ… අමතක උනා, මම කොහේහරි තිබිල කියෙව්ව මතකයි ලංකාවෙ මුල්ම දෙල් ගහ තවමත් තියෙන්නෙ ගාළු කො‍ටුවෙ කියල. අවුරුදු විසිපහක් විතර ගාල්ලෙ උන්නට එහේදිනම් මේ කතාව අහන්න හම්බු වුනේ නෑ.

    • arunishapiro said, on මාර්තු 11, 2011 at 10:07 පෙ.ව.

      නවම්,
      ඇමෙරිකාවේ කඩවල මඤ්ඤොක්කා අල හා දෙල් ගෙඩි දකින්න තියනවා. මෙහෙ ඉන්න ස්පාඤ්ඤ අය වැඩියෙන් කන නිසා වෙන්නැති අපිටත් ගන්න පුළුවන්.

      මරතෝන්ඩි කියන්නෙ ලිප්ස්ටික් ගහට ද අහලා ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඊ මේල් එකක් දැම්ම. උත්තරයක් ලැබුනොත් එකතු කරන්නම්.

      ගාළු කොටුවට සුජීව කියන විදියට පරංගියා ගෙනැත් දාපු එකක් වෙන්නැති.

  6. Kumara said, on මාර්තු 11, 2011 at 5:03 පෙ.ව.

    Dear Aruni
    If you can send me your e mail address please.

  7. සනත් said, on මාර්තු 11, 2011 at 10:16 පෙ.ව.

    මා කීයවන නොයෙකුත් බ්ලොග් අතරෙ ඔබ තුමියගෙ බ්ලොගය සුවිශේෂි එකකි. කමෙන්ට්ස් නම් කවමදාවත් දාල නැහැ. එහෙම කරන එක සාදාරන නොවන බැව් දැනුන.

    ඉස්සර අපි පුංචිකාලේ අපේ ආච්චිලගෙ ගෙදර තිබුන ඔය කියන ජාතියෙ ගහක්, ගෙඩි නිකන් රඹුටන් ගෙඩි වගෙයි ගෙඩිය ඇතුලෙ ඔය කියන විදියෙ ඇටත් තියෙනව ගම්මිරිස් ඇට විතර, ඒ ඇට ඇල්ලුවම ඒ ඇට වල තියෙන පාට අත්වල ගෑවෙනව. අපි කවුරුවත් ගහේ නම නම් දන්නැහැ. මම හිතන්නෙ ඒ ගහ ලිප්ස්ටික් ගහක් වෙන්න ඕන.

    ඔබ තුමියට සදාජය!

    • arunishapiro said, on මාර්තු 11, 2011 at 10:43 පෙ.ව.

      සනත්,

      වේදිකාවේ වැඩි කාලයක් ජීවිතය ගෙවන මගේ දියණිය බ්ලොග් ලියන්න පටන් ගනිද්දී දුන් උපදෙසක් මා පිළිපදිනවා: සභාව පිරිලා ඉතිරිලා තිබුණත් සභාවේ එක ප්‍රේක්ෂයෙකු සිටියත් හැමදාම විශිෂ්ඨ ‘රංගනයක්’ දක්වන්න කියලා. ඉතින් උත්සාහය විශිෂ්ඨ වූ යමක් දාන්න. යන එන ගාන හෝ ප්‍රතිචාර ගණන නෙමේ මම මාව මනින්නේ සටහනේ වැදගත්කම අනුව. දාන පෝස්ට් එක උපරිමයෙන් ලිවීමට ගන්නා උත්සාහයෙන්!!

      අනික, සනත්, ලෝකය කවදා ද සාධාරණීය වූයේ?!! 🙂

      සනත් කියන විස්තරය අනුව ඒක ලිප්ස්ටික් ගහක විස්තරයම තමා. සිංහල බසින් තියන නම හොයාගන්න ලොකු උත්සාහයක් ගනිමි.

      සුබ පැතුවාට ස්තූතියි.

  8. සනත් said, on මාර්තු 11, 2011 at 2:31 ප.ව.

    මටත් හිතුන ලිප්ස්ටික් ගහට සිංහලෙන් කියන්නෙ මොකක්ද කියල සොයල බලන්න. සොයා ගත්තු නම තමයි රතුකහ ගහ කියල. මම වැරදි වෙන්නත් පුලුවනි. විද්‍යාත්මක නමින් තමයි සෙව්වෙ.
    ලින්ක් ටික මෙන්න

    http://books.google.lk/books?id=CmrJwQoPcsgC&pg=RA2-PA524&lpg=RA2-PA524&dq=ratukaha&source=bl&ots=IcAZF2Nic-&sig=xzSJ3XbFU4twkWIT0GI6WK-N2gY&hl=si&ei=vWJ6TdShOY6SOrvi9PsG&sa=X&oi=book_result&ct=result&resnum=6&ved=0CC4Q6AEwBQ#v=onepage&q&f=false

    (දෙවැනි පිටුවෙ දහ වැන්න )

    http://dh-web.org/place.names/bot2sinhala.html

    • arunishapiro said, on මාර්තු 11, 2011 at 4:34 ප.ව.

      සනත්, ස්තූතියි මහන්සියට. පළමු ලින්ක් කියවන්න හැමටම අවසර නැහැ. දෙවැන්න පුළුවන්.
      ලිප්ස්ටික් ගහ සිංහලෙන් ‘රතුකහ ගහ’ නම් ඊට තවත් රට රටවල කියන නම් ලැයිස්තුවක්:

      Arabic آتشيوت Atshyut
      Bengali লট্কা Latka
      Bulgarian Ачиоте Achiote
      Chinese (Cantonese) 胭脂樹 [yīn jī syuh] Yin ju syuh
      Chinese (Mandarin) 胭脂樹 [yān zhī shù] Yan zhi shu
      Czech Annata
      Dutch Anatto, Rocou, Annotto, Achiote, Orleaan
      English Achiote, Lipstick tree
      Estonian Värvibiksa, Annatopõõsa
      Finnish Annatto, Annattopuu, Orleaani
      German Annatto, Orleanstrauch
      Gujarati સિંદૂરી Sinduri?
      Hebrew עץ הליפסטיק Etz ha-lipstik
      Hindi लटकन, सिंदूरी Latkan, Sinduri
      Hungarian Orleánfa, Ruku, Bjoul
      Indonesian Kesumba
      Italian Annatto, Anotto
      French Rocou, Roucou, Achiote, Rocouyer
      Japanese ベニノキ Beninoki
      Khmer Cham-puu, Chraluek
      Kannada ಕುಂಕುಮದ ಗಿಡ Kunkumada gida
      Korean 아치오테, 아나토 Achiote, Anato
      Laotian Sa ti, Dok kham, Kham, Satii, Somz phuu
      Lithuanian Dažinė urlija
      Malay Jarak belanda
      Malayalam കുരങ്ങുമഞ്ഞള്‍, കുരങ്ങുമഞ്ഞൾ, അനാട്ടോ Kurangumannyal, Anatto
      Marathi सेंदरी Sendri
      Nepali सिनंदुरे Sindure
      Oriya Kukuma, Kunkuma
      Polish Arnota
      Portuguese Anato, Urucú, Açafroa-do-Brasil, Urucum
      Russian Аннато, Бикса, Помадное дерево Annato, Biksa, Pomadnoe derevo
      Serbian Орлеан-дрво Orlean-drvo
      Slovak Anatto
      Spanish Achote, Annatto, Achiote; Onoto (Venezuela)
      Tagalog Achuete, Achwete, Atsuete, Echuete
      Tamil: சப்பிரா, கொங்காரம் Kongaram, Sappira
      Thai คำแสด, สะตี, คำไท Kam tai, Kam saed, Sati
      Turkish Arnatto
      Vietnamese Hột điều màu, Điều nhuộm Hot dieu mau, Dieu nhuom
      Yiddish: אָרלעאַן Orlean


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: