අරුණි ශපීරෝ‍ වෙතින්

සිංහ නගරය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 13, 2011

සිංහයා සතෙක් හැටියට හරි කම්මැලියා. කන්න උවමනා වුනාම දඩයමේ යවන්නෙත් ගෑණු සතාව! මාළු කල්ලියක් මාළු පාසැලක් (school of fish) කියලා ඉංග්‍රීසියෙන් හැඳින්වෙද්දී සිංහ කල්ලියකට කියන්නෙ ‘ආඩම්බර සිංහයෝ’ (pride of lions) කියලයි. කතන්දරවල දී කොහොම සත්තුන්ගෙ රජ්ජුරුවො වුනා ද මන්දා? ස්වභාව ධර්මයා ද සාධාරණ නැහැ කියල පෙන්වන්න වෙන්නැති!!

පොන්සෙ නගරයේ හැම තැනම සිංහ ප්‍රතිමා. ඌ පොන්සෙ නගරයේ නිල ලාංඡනය. පොන්සෙ වැසියන් ඉතා ආඩම්බරයෙන් තමන් පොන්සෙ වැසියෙක් (ponceño) යැයි හඳුන්වා ගන්නවා.

දකුණේ මුතු ඇටය (La Perla de Sud) කියන පොන්සෙ නගරයේ වැඩියෙන් දකින්න පුළුවන් criollo කියන ගෘහ නිර්මාණ ශිල්ප සම්ප්‍රදාය. මට නම් කුරුඳුවත්ත පැත්තෙ තියන පරණ ගෙවල්, කාන්තා විද්‍යාලය එහෙම මතක් වුනා. උතුරෙ තියන සැන් හුවාන් නගරයේ ඉන්න සල්ලි වලට ගැති වෙච්ච අය වගේ නෙමේ අපි සංස්කෘතිය අගයන, සම්ප්‍රදාය අගයන අය කියා ගන්න පොන්සෙ වැසියෝ අතර කියමනක් තමා ‘පොන්සෙ නම් පොන්සෙ, ඉතිරිය රථවාහන ගාලක් පමණයි’ (Ponce es Ponce, lo demás es parking) යන්න.

1992 සිට ආණ්ඩුව පොන්සෙ නගරයට මිලියන 400 ක් වියදම් කරලා තියෙනවා නගරයේ ගොඩනැඟිලි දාහක් ප්‍රතිසංස්කරණය කරන්න. ඉතින් අපි ගියේ ඒ Plaza Las Delicias නම් වූ නගරයේ කේන්ද්‍රීය වූ චතුරශ්‍රයට. ප්‍රතිසංස්කරණය තිබිච්ච පැරණි ගෘහ නිර්මාණය රැකගෙන කරපු ලස්සන වැඩක්.

Plaza Las Delicias අවට කැඳ දාපු guayabera කමිස ඇඳගන, තොප්පි දාගන ඉන්න පිරිමි ඩොමිනෝ සෙල්ලම් කරනවා දකින්න පුළුවන්. ඔය කැඳ කමිස වලට ‘මෙක්සිකන් වෙඩින් ෂර්ට්’ කියලාත් කියනවා. පිලිපීනයේ ජාතික කමිසය කියන barong tagalog වගේම පෙනුම. චාරිත්‍රානුකූල බරොන්ග් කමිසයක අත් දිගයි. ගුයාබේරා කමිසයක අත් කොටයි. බරොන්ග් කමිසය සාක්කුවක් තියෙද්දී සාම්ප්‍රදායික ගුයාබේරා කමිසයක සාක්කු හතරක් තියනවාලු. ඉතින් පුංචි විවාදයක් යනවා කමිස ජාතිය පටන් ගත්තෙ දකුණු ඇමෙරිකාවේ ද නැත්නම් පිලිපීනයේ ද කියලාත්!

ඒ වගේම චතුරශ්‍රය අවට කතෝලික පාසැල් නිල ඇඳුම් ඇඳගත්තු පුංචි දැරියෝ දුව පැන ඇවිදිනවා දකින්නත් පුළුවන්. කතෝලික පිරිමි පාසැල් වෙන පැත්තක වෙන්නැති. පිරිමි පාසැල් නිල ඇඳුම් යුතු දරුවො දැක්කෙ නැහැ.

සංචාරක පොත්පත්වල ගොඩක් ලියැවිලා තිබුණ පුවෙර්තො රීකෝ වැසියන් එතරම් සුහදශීලී නැතැයි යන්න. අපි සුහදශීලී නම් සුහදශීලී නොවී ඉන්න පුළුවන් ඉතා ටික දෙනාටයි!! ගිය ගිය හැම තැනම අපි හිනාවෙලා ලාවට දන්න ස්පාඤ්ඤ භාෂාවට අත පය උදව් අරගෙන කතා කරද්දී එයාලගේ මූණේ හිනාව පිරිලා ගියේ නිතැතින්ම.

‍1835 දී නිම කරන ලද Catedral Nuestra Señora de Guadalupe තමයි නගරයේ ප්‍රධාන ගොඩනැඟිල්ල. මේක 1670 දී භූමි කම්පාවකින් කැඩිලා ගිය දේවස්ථානය වූ තැනම ඉදි කරන ලද්දක්. ප්‍රතිසංස්කරණයට ලක්වුනාට අද දවසේ ද දේව පූජා පැවැත්වෙන ශාලාව 1835 දී තිබි ශාලාවකම කොටසක්.

1882 දී කෘෂිකාර්මික හා කර්මාන්ත උළෙලක් සඳහා නිම කරපු පැවිලියන් එකක් තමයි පසුව ස්වේච්ඡා ගිනි නිවන හමුදාව තියන ස්ථානය හැටියට වසර 100 ක් පාවිච්චි කරලා තියෙන්නෙ. අද මේක කෞතුකාගාරයක්. නම Parque de Bombas දැක්කම ඇස් රිදෙන තරම් පාට පාට සැරසිලි!!! පොන්සෙ ගැන ඕනෑම දෙයක් අහලා දැනගන්න පුළුවන් සංචාරක නිලධාරීන් ඉන්න පොඩි කුටියක් ද මෙතැන තියනවා.

සියඹලා අයිස්ක්‍රීම් හා පැෂන් ෆෲට් (පාර්චා) අයිස්ක්‍රීම් කන්න කැමති අයට ඒ ඉස්සරහම තියන King’s Ice Cream හලට යන්න පුළුවන්. ඇමෙරිකන් අයිස්ක්‍රීම් වලට වඩා රසය හා උකු බව ඉතාලි අයිස්ක්‍රීම් වගේ.

වැඩි ඈතක නොවූ කුඩා කඳුවැටියෙ ඩොන් ක්‍යූ රම් නිර්මාතෘගේ‍ Castillo Serrallés දකින්නත් පුළුවන්. පොන්සෙ වැසියන් ඒක හඳුන්වන්නෙ මාලිගාව කියලා. ඉදි කරලා තියෙන්නෙ 1930 දී. ‍එදා සීනි ධනකුවේරයා ජීවත් වූයේ කෙසේදැයි දැක බලාගන්න මාලිගාවට, අද කෞතුකාගාරයක් නිසා යන්න පුළුවන්. ඇතුලේ හැමදාම තියන ප්‍රදර්ශනයක පළාතේ රම් හා උක් කර්මාන්ත ගැන පැහැදිලි කිරීමක් දකින්නත් පුළුවන්. දරුවන්ට ඩොලර් 6 සහ වැඩිහිටියන්ට ඩොලර් 9 ක ඇතුල්වීමේ ගාස්තුවක් ගෙවන්න ඕනා.

වැඩි ඈතක නැති La Guancha කියන්නෙ කැරිබියන් මුහුදේ මහජනයා සඳහා වෙන්වුනු මුහුදු වෙරළක්. ගෑණු කල්ලියක් යෝග කරනවා දැක්ක. ගහක් යටකට වෙලා පොතක් කියවන පිරිමියෙක් හා දරුවෙක් එක්ක සෙල්ලම් කරපු තාත්තා කෙනෙක් හැරුනාම වැඩි සෙනඟක් නැහැ. සති අන්තයේ දී නම් සෙනඟ පිරෙනවාලු. පොඩි කුටිවල කෑම බීම විකිණෙනවාලු. සල්සා සංගීතය වාදනය හා පුංචි පුංචි කල්ලි එකතු වෙලා තරඟයට සල්සා නටනවාලු. එතැන තියන ළමා ක්‍රීඩාංගනය දරුවන්ගෙන් පිරිලා යනවාලු.

16 Responses

Subscribe to comments with RSS.

  1. praveena said, on මාර්තු 13, 2011 at 4:52 ප.ව.

    සිංහයා සතෙක් හැටියට හරි කම්මැලියා. කන්න උවමනා වුනාම දඩයමේ යවන්නෙත් ගෑණු සතාව! (අහලා තියන හැටියට එයාලා සප්පායම් වෙලා, අව්ව තැපලා පොඩි නින්දක් එහෙම දානකල් සිංහ ධෙනුව තමා ලමයි බලන්නෙත්.)

    සිංහලයෝ සිංහයාගෙන් පැවත එනවා කියන එක ඇත්ත කියලා දැනුයිනේ තේරෙන්නේ!

  2. ගෝල්ඩ් fish said, on මාර්තු 13, 2011 at 10:21 ප.ව.

    සියඹලා අයිස් ක්‍රීම් ගැන ටිකක් කියන්නකෝ…

    • arunishapiro said, on මාර්තු 14, 2011 at 7:56 පෙ.ව.

      ගෝල්ඩ් fish,
      සියඹලා අයිස් ක්‍රීම්: පොල් කිරි රස අතරින් සියඹලා ඇඹුල ඇතැයි පැහැදිලිව දැනෙන රසින් යුතුයි. පාට ලා චොක්ලට් පාට, නමුත් පාට අර ලිප්ස්ටික් ගහකින් ගත්ත ඩයි වෙන්නත් පුළුවන් කියලා හිතෙනවා. නැහැයට එතරම් සියඹලා සුවඳක් දැනෙන්නෙ නැතුවාට සියඹලා ඇඹුල දිවට දැනෙනවා!

      ලීටර් එකකට වඩා පොඩ්ඩක් වැඩියෙන් ගෙදර දී හදන රෙසිපියක් මෙන්න:
      සීනි කෝප්ප 2 ක් (කැට ඉතා කුඩා නොවන සීනි වඩා සුදුසුයි)
      බිත්තර කහ මද 12
      පොල් කිරි (දියකිරි) මිලි ලීටර් 800
      පොල් කිරි (උකුකිරි) මිලි ලීටර් 400
      සියඹලා ඝන තලපයකින් කපා ගත් මේස හැඳි දෙකක්
      රම් මේස හැන්දක් හෝ දෙකක් (හැම දේකටම රම් දානවා!)
      හදන හැටි: සීනි සහ බිත්තර කහ මද හොඳින් කළවම් (ක්‍රීම් වෙනතෙක්) කරන්න.

      සාස්පානකට පොල් කිරි සියල්ල හා සියඹලා තලපය දමා මිශ්‍රණයට නටන්න නොදී මඳ ගින්නේ යාන්තමට රත්කර ගන්න.

      සීනි බිත්තර මිශ්‍රණයට රත් කරගත් පොල් කිරි මිශ්‍රණය දමා හොඳින් කළවම් කරගෙන එය සාස්පානට දමා ලිපේ තබන්න. දැන් මෙය කස්ටර්ඩ් ඝනත්වයට ගෙන ආ යුතුයි. ඊට ක්‍රම දෙකකි. එකක්, බුබුළු නිවී යන තෙක් සිටීම. සියළු බුබුළු නිවී ගියාම එය නිසි ලෙස හැදී ඇත. අනික, හැන්දක් දමා හැන්දේ ඇති මිශ්‍රණයේ ඉරක් ඇඳීමයි. ඉර
      පොඩ්ඩක් පෙනී සිටියමින් ඇත්නම් එය නිසි ලෙස හැදී ඇත. එය ගින්නෙන් ඉවත් කර වෙනත් භාජනයකට දමා සිතකරණයේ නිවෙන්න හරින්න.

      දැන් අයිස් ක්‍රීම් හදන මැෂිමකට එය දමා එහි උපදෙස් අනුව අයිස් ක්‍රීම් හදාගත හැකිය. මැෂිමක් නැත්නම් සියඹලා අයිස් ක්‍රීම් මිශ්‍රණය අයිස් කැට ලොකු භාජනයකට දමා ඒ මත තියා සීතල කරගන්න. ඊ ළඟට එය සීතකරණයේ Freezer එකට දැමිය හැකි ගැඹුර අඩු භාජනයකට බහා පළමු වතාවට මිනිත්තු 45 ක් තියන්න.

      වටේට මි‍දී යද්දී භාජනය එළියට ගෙන මිදෙන කොටස් කඩා ඉතිරිය හා කළවම් කරන්න. නැවත Freezer එකට දමන්න. මිනිත්තු 30 න් 30 ට එසේ කළ යුතුයි!

      කළවම් කරන උත්සාහය අනුව මිශ්‍රණය සුමුදු වෙයි. පැය 2-3 ක් යද්දී අයිස් ක්‍රීම් හදාගත හැකියි. ගෙදර හදන අයිස් ක්‍රීම් වැඩි කලක් තියා ගත නොහැකි නිසා ඉක්මණින් කන්න ඕනෑ ය!!!

  3. Ravi said, on මාර්තු 14, 2011 at 1:46 පෙ.ව.

    / සිංහයා සතෙක් හැටියට හරි කම්මැලියා. කන්න උවමනා වුනාම දඩයමේ යවන්නෙත් ගෑණු සතාව! /

    ඔන්න බලන්න අරුණි, මිනිස්සුන්ට ඒ වගේම අනිත් හැම සතාටම කලින් කාන්තා පාර්ශ්වයට සම තැන දීල තියෙන්නෙ සිංහයා නේද? ඇත්තටම නම් සම තැනත් නෙවෙයි, තමන්ට වඩා ඉහල තැනක්, සම තැන නම් සිංහයත් දඩයමේ යන්න එපාය, ඒ අතින් අපි මිනිස්සු හැටියට ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනෙ, මම හිතන්නෙ නැහැ මේ කල්පය අවසන් වෙනකල් වත් ඒ තත්ත්වයට මිනිස්සු ලඟාවෙයි කියල,

    අනික රජා උනාම දඩයමේ යන සිරිතක් තියනවද?,ඒක තමයි රජාගෙයි අනික් අවශේෂ අයගෙයි වෙනස,

    ඉංග්‍රීසි භාෂාවෙ සත්ව කණ්ඩායම් හැඳින්වෙන අපූරු යෙදුම් බොහොමයක් තියෙනවා,

    A Crash of Hippopotamus ( හිපපොටේමසුන් ඝඨ්ඨනයක් )

    A Murder of Crows ( කපුටන් ඝාතනයක් )

    ඔයාගෙ සංචාරක විස්තරේ නම් අපූරුයි,

    • arunishapiro said, on මාර්තු 14, 2011 at 8:04 පෙ.ව.

      Ravi,
      රජෙක් කියන්නෙ නම් අනිත් අයව රැක බලාගන්න කෙනෙක් ව. ඒත් ඉතිහාසයේ පටන් රජවරු කරලා තියෙන්නෙ අනිත් අය බලාගන්නවා යන නාමයෙන් තනතුරට පත්වෙලා අනිත් අයට කියලා තමාව බලාගන්න එක. සිංහයාට වැරද්ද පටවන්න පව් තමා!!!

      ඔව්, ඉංග්‍රීසි භාෂාවේ ඔය වදන් හරි අපූරුයි. වෙන භාෂා වල දී දකින්න දුර්ලභ සුවිශේෂීත්වයක්.

  4. හීනියට said, on මාර්තු 14, 2011 at 7:13 පෙ.ව.

    සල්සා ගොඩ කට්ටිය එකට නටනකොට හරිම ගති නේද……ගෑණුන්ට වඩා ලස්සනයි පිරිමින්ගේ දඟර…..හික්

  5. සනත් said, on මාර්තු 14, 2011 at 7:17 පෙ.ව.

  6. asela said, on මාර්තු 14, 2011 at 8:35 පෙ.ව.

    හ්ම්ම්ම්, තවත් රසවත් ලිපියක්,
    නමුත් දිගටම කියවනවිට හිතෙන්නෙ ලියල තියෙන්නෙ පොඩ්ඩක් වගෙ කියලා.

    බොහොම ස්තූතිය් බෙදාගන්නවට ඔබතුමියගෙ අත්දෑකීම්

    • arunishapiro said, on මාර්තු 16, 2011 at 7:18 පෙ.ව.

      asela,
      ගොඩක් ලියලා පොඩ්ඩක් හිතන්න ඉතුරු කරනවා ද, නැත්නම් ‍පොඩ්ඩක් ලියලා ගොඩක් හිතන්න ඉතුරු කරනවා ද? ලියද්දී හිතට එන විදියට දිග පළල නොබලා ලියනවා ද? එහෙමත් නැත්නම් හිතලා බලලා රසවත් ඩිංගක් පමණක් බෙදා ගන්නවා ද? ඔය ලියනා ආකාර අස්සේ දී හැමදාම එකම දෙයක් ගැන හෝ එකම විදියකටත් ලියන්න අවශ්‍ය නෑනේ කියලාත් හිතෙනවා!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: