අරුණි ශපීරෝ‍ වෙතින්

කැරිබියන් හොරබඩු ප්‍රවාහනය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 15, 2011


පොන්සෙ නගරයෙන් පස්සෙ අපි ඇදෙන්නෙ La Parguera නම් වූ මුහුදු වෙරළාශ්‍රිත ගමකට. මාළු ජාතියක් වන pargos කියන එකෙන් ගමේ නම හැදෙන්නෙ. මෙතැන තමයි La Bahía Fosforescente නැත්නම් දිළිසෙන ජීවීන් ඉන්න අනික් තැන. වතුර එතරම් ගැඹුරු නැහැ. ඉතින් රුවල් නැව ඈතක නැංගුරම් දාලා පුංචි ඩිංගියෙන් තමයි ගමන. ඩොලර් හතයි පනහකට වගේ පැය දෙකක බෝට්ටු සංචාර තියනවා දවස පුරා සහ රෑ පුරා. දූපත්වාසීන්ට කියලා ගාණක් සහ සංචාරකයන්ට කියලා තවත් ගාණක් නැහැ!

සති අන්තයේ දී ටවුම පිරෙන්න හැම පැත්තෙන්ම එන තරුණ පිරිස් රෑ එළිවෙනකන් සාද දානවා. ඒ අස්සෙ නිව් යෝර්ක් ඉඳන් සල්සා නටන්න ආපු වයසක කට්ටියක් ද හිටිය. පුංචි කාලේ ඉඳලා ඉඟ සොලවන ලාලිත්‍යයට පුරුදු වෙච්ච ආච්චිලා එහෙම වයස ගැන නොතකා නටන හැටි හරිම ලස්සනයි. සල්සා සංගීතය ඇහෙන කොට හුරුවෙන, නොනැවතී ගලා යන රිද්මයක්!

1937 දී කියුබන් Igancio Pinerio විසින් නිර්මාණය කරන ලද “Echale Salsita” යන ජනප්‍රිය සිංදුව නිසා ‘සල්සා’ යන වචනය සංගීතයට එකතු වෙන්නෙ. අද සල්සා උත්සව පවත්වන රටවල් 30 කට වඩා සංඛ්‍යාවට පෝලන්තය, ඊශ්‍රාලය හා සර්බියාවත් එක්වෙනවා.

සල්සා නටද්දී abrazo කියන්නෙ දෙන්නාගෙ අත් කොහෙද තියාගන්න යන්නට. කාන්තාවගේ වම් අත පුරුෂයාගේ උරහිස මත යාන්තමට රැඳෙන්නටත්, ඔහුගේ දකුණත ඇයගේ පිටට තියා ගන්නටත් තමයි රීතිය. මේ නටන මායිම් හා දෙදෙනා අතර තිබිය යුතු ඉඩ කඩ තීරණය සඳහා. නටද්දී හැරෙන විදිය තීරණය කරන්නෙ හා පටන් ගන්නෙ පිරිමියා. හැරෙන විදි බොහොමයක් නිසා vuletas කියන පොදු නමක් ඊට වැටෙනවා. මෙන්න මේ වෙලාවට දැන් හැරෙන්න කියලා රීතියක් නැති නිසා පිරිමියාට හිතිච්ච ගමන් ඒකට ඉඩක් ලැබෙනවා!! දක්ෂ හැරවීම් නටන දෙන්නාගෙ හැකියාව මත තීරණය වෙන්නක්. දැන් දෙන්නෙක් එක්ක නටන සල්සා වල පොඩි විච්චූර්ණයක් දාලා තනියම රංගනයකටත් අවස්ථාවක් ලැබෙනවා. මේවා හැඳින්වෙන්නෙ solos කියලා. දෙන්නෙක් එකට එකතු වෙලා නටද්දී පොඩ්ඩක් ඈත් වෙලා කරන තනි රංගනය සංගීතය අනුව හා දෙදෙනාගේම රංගනය හා බැඳී පවතින්නක්. ආයි එකතු වෙන්නෙ සුවිශේෂී හැරවීම් දාලා.

සල්සා කියන්නෙ ලස්සනට වස්ත්‍ර ඇඳලා මන බඳවන විදියට නැටීම. දුවන සපත්තු දාලා නැටීම හා ටී ෂර්ට් ඇඳගෙන නැටීම අසික්කිතයි කියලා ඒ අය හිතන්නෙ. ඒ වගේම ෆුල් සූට් ඇඳගෙනත් සල්සා නටන්නෙ නැහැ. සති අන්තයේ දී හවස් කාලය වෙද්දී සල්සා නටන්න එකතු වෙන කට්ටිය ගෑණු පිරිමි භේදයක් නැතිව ඇඳුම් හා පාවහන් උස්සා ගෙන එන හැටි අපි බලාගෙන හිටිය.

දූපත් ආදීවාසී Taíno ජනතාවත් සංගීතය එයාලගෙ ආගමික වතාවත් හා සාම්ප්‍රදායික උත්සව වලට සහායට ගත්ත අය. කැරිබියන් සංගීතයේ ඒ හුරුවත් මිශ්‍රිත වෙලා. සල්සා සංගීතයට අප්‍රිකානු වහල් අයගෙ හුරුවත් එකතු වෙලා.

Jennifer López දූපතේ ඉපදිච්ච රූප සුන්දරියක්. 2006 දී Miss Universe තරඟය දිනන Zuleyka Rivera ත් දූපතේ සුන්දරියක්. හැබැයි වැඩියම ප්‍රසිද්ධ දූපත් වැසියා රිකි මාටින්. එයාගෙ සංගීත සංදර්ශනයක පෝස්ටර් ගහලා තියනවා දැක්ක. සෙනඟ පිරෙන්න ඉතිරෙන්න යනවාලු. ඔවුන් හා ගත්තම වැඩිය ප්‍රසිද්ධ නැති හිටපු දූපත් වැසියෙක් තමයි මගේ ප්‍රියතම නළුවන් අතර හිටපු Raúl Juliá. එයා රඟපෑව එක චරිතයක් තමා ඇඩම්ස් පවුලෙ (The Addams Family, 1991) තාත්තා හැටියට. එයා හිටපු තවත් මා කැමති චිත්‍රපටියක නම Moon Over Parador (1988).

අපි එහෙ මෙහෙ ඇවිදිනකොට දැක්ක අහසෙ තිබුන විසාල බ්ලිම්ප් නැත්නම් අහස්නැවක්. සටහනෙ උඩින් දාලා තියෙන්නෙ විකිපීඩියාවෙන් ගත්ත අහස්නැවක පින්තූරය. ඇමෙරිකන් ෆුට්බෝල් තරඟයක් වගේ එකක දී ඕවා ඇවිත් සති අන්තය ඉන්නවා දකිනව මොනවා හරි දැන්වීමක් පින්තාරු කරගෙන. ඒත් මේක සුදුයි, කිසි දැන්වීමක්, සඳහනක් නැති, කවුරුත් ඇතුලත නැති එකක්.

දූපත ස්පාඤ්ඤය විසින් පාලනය කරද්දී යන එන බඩු සේරම ස්පාඤ්ඤය හරහා යන එන නීතියක් තිබිල. හැබැයි අනිත් මෝඩ නීති වගේ මේකත් ආණ්ඩුව දාපු නීතියක් වුනාට කවුරුත් වැඩිය පිළිනොපැද්ද එකක්. දූපතේ අගනුවර ස්පාඤ්ඤයට අනුව සැන් හුවාන්. පිළිගත් වරාය ද එය පමණයි. ඉතින් පොන්සෙ පැත්තෙ නගරවල හොරබඩු වෙළඳාම ගජරාමෙට. මෙක්සිකෝවෙන්, පෙරූ රටෙන් එන හොරබඩු වගේම ස්පාඤ්ඤ බඩුත් අනිත් දුපත් වලට යන්නෙ මේ පැතිවල තිබිච්ච පුංචි වරායවල් වෙතින්.

සමහර ඉතිහාසඥයෝ කියන අන්දමට මුළු දූපතම, ආණ්ඩුවෙ අය, පූජකයෝ, පුරවැසියො, හමුදාව සහ සිවිල් නිලධාරි සේරම හොරබඩු වෙළඳාමේ නියත වෙලා!!!

උක් වගාවට හා දුම්කොළ වගාවට ගෙනාපු කළු වහල් අයව එහෙම වෙන දූපත් වලටත් හොරෙන්ම අලෙවි කරල. කාලයක් සංක්‍රමණිකයෝ දූපතට එකතු වෙන්න පටන්ගෙන ඉඟුරු වගාකරන්න. ඉඟුරු ව‍ගාවෙන් දේපල ගොඩ ගහ ගත්තු වගේම සම්පූර්ණ දේපල අහිමි කරගත්තු කතන්දර තියනවා. අතීතයේ ඉඳන්ම වැඩියෙන් නිෂ්පාදනය කරන දේට වැඩියෙන් බදු ගහන එක ආණ්ඩුවල සිරිතනෙ. ඉතින් ඉඟුරු බද්ද නිසා ඉඟුරු වගාව සහමුලින්ම නැවතිලා ගිහින්!!

අද මේ පැත්තෙ හොරබඩු හැටියට ප්‍රවාහනය වෙන්නෙ මත්ද්‍රව්‍ය හා අනිත් රටවල් වලින් පැනලා ඇමෙරිකාවට යන්න හදන මිනිස්සු. ඉහත කියපු නම් ගම් නැති සුදු අහස්නැව ‘අන්කල් සෑම්’ ලෙසින් හඳුන්වන ඇමෙරිකන් ආණ්ඩුවට තියන කැරිබියන් මුහුදෙ මේ පැත්ත දිහා බලා ඉන්න ‘ඇස’.

කැප්ටන් ගාසියා වගේ නිතර යන එන රුවල් නැව් ගැන අන්කල් සෑම් දන්නවා. දැනුම් දීමක් නැතිව කරන ප්‍රවාහනය ගැන විමසිල්ලෙන් ඉඳලා නිසි බලධාරීන්ට දැනුවත් කරන්න ඔය බ්ලිම්ප් එකේ තියන කෘතීම ඇස්වලට පුළුවන්. අනේ අපේ බදු වලින් අපෙන් කැමැත්ත අකමැත්ත අහන්නෙ නැතුව කෙරෙන වැඩ.

කියුබාවේ සුරුට්ටු මිල දී ගැනීම ඇමෙරිකන් පුරවැසියන්ට තහනම්. ඒ 1960 දී පටන් ක්‍රියාත්මක කියුබානු ආර්ථික සම්බාධක ප්‍රතිපත්ති හේතුවෙන්. බ්‍රිතාන්‍යයට අයිති දූපතක දී නීත්‍යානුකූලව විකුණන කියුබන් සුරුට්ටුවක් මිල දී ගන්නා අයෙක් ඇමෙරිකානුවෙක් දැයි සොයාගෙන ගොස් දඬුවම් පමුණුවන සුරුට්ටු පොලීසියක් නම් නැහැ. එසේම සම්බාධක පනවන්නට කළින් ගොඩ ගසා ගත් තොග අවසන් වෙනතුරු විකිණීමේ අයිතිය ඒ තොග නීතිගත ලෙසින් අනුමත කරගත්තන් අයට තියනවා. එම තොග වලින් සුරුට්ටු මිලට ගැනීම නීත්‍යානුකූලයි. වසර 50 ක් පරණ සුරුට්ටුවකට ඇති ඉල්ලුම කොතරම් ද? වසර 50 ක් පුරා දැඩි ඉල්ලුමක් පැවතිය දී සියල්ල අලෙවි නොවී තවමත් සුරුට්ටු ඉතිරි වී ඇත්තේ කෙසේද?!!!

මේ පැත්තෙ UNESCO World Biosphere Reserve කියලා එකකුත් තියනව. බටහිර කව්බෝයි චිත්‍රපටි හදන්න කියාපු පරිසරය. උසට වැවිච්ච පතොක් ගස් පිරිලා තියන පැත්තක් එක්ක ගස් පැළෑටි වර්ග 750 ක් එක ළඟම වැවෙනවා. දූපතේ භාගයකට වඩා කුරුල්ලෝ පිරිලා ඉන්නෙ Guánica කියන පැත්තෙ. Puerto Rican Nightjar කියන්නෙ වඳවෙලා ගියැයි සිතපු දූපතට ආවේනික පක්ෂියෙක්. දැන් දාහකට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවාලු. Nightjar කුරුල්ලෙක් නොදැක්කාට අව්ව තපින තලගොයෙක් දැක්කා.

පහත එකතු කර ඇති “99 Luftballons” නම් සිංදුව ජර්මන් ගායිකාවක් වන නීනා ගයන්නකි. අර අහසේ මහජන ආරක්ෂාව පිණිස යැයි කියා ගන්නා සුදු බ්ලිම්පය දකිද්දී මට සිහිවූයේ රතු බැලුම් 99 ක සිංදුවයි!!

16 Responses

Subscribe to comments with RSS.

  1. praveena said, on මාර්තු 15, 2011 at 10:21 ප.ව.

    ඔයා එක්ක ගත කරන පුංචි කාලය හරියට රසවත් පොතක් කියවනවා වගෙයි දැනෙන්නේ. ඔයා අපිව නොදන්න තැනකට ගෙනිහුන් දැනුම් සම්භාරයක් අපේ මතකයට එකතු කරනවා. ඒකට නම් ගොඩාක් ස්තූතියි අරුනි.

    // දූපත්වාසීන්ට කියලා ගාණක් සහ සංචාරකයන්ට කියලා තවත් ගාණක් නැහැ!//මේක නම් හරිම හොඳ දෙයක්. එක පාරක් මාත් එක්ක ලංකාවට ගිය Aussie Couple‎ එකට යන, යන තැන්වල ලංකාවේ අයට වැඩිය වැඩියෙන් ගෙවන්න උනා. ඒකට එයාලට පොඩ්ඩක් රිදුනා. එයාලාගේ තර්කය උනේ එයාලගේ රටට ආවාම එයාලා පිටරැටියන්ට එහෙම නොසලකනබවයි.‎

    මමත් කැමති රිකි මාටින්ට.

    ඔන්න ලඟදිම පොඩ්ඩිත් ‘සල්සා’ පන්තිත් යන්න පටන් ගන්නවා.

    • Priyantha said, on මාර්තු 16, 2011 at 5:41 පෙ.ව.

      ප්‍රවීනා ඔයාගේ දෙවෙනි කතාවට මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.
      ලංකාවේ සංචාරක කර්මාන්තය කියන්නේ මේ රටට ආදායම් මාර්ගයක්. ඉතින් එන හැම සංචාරකයෙකුගෙන්ම රටට කිසියම් ආදායමක් ලබන්නනේ හදන්නේ. එවැනි අවස්ථාවක සංචාරකයෙකුගෙන් වැඩි මුදලක් අය කරන එක අසාධාරණයි කියන්නම බෑ. මම වරක් සත්තු වත්තෙදි දැක්කා විදේශිකයෙකු හා විවාහ වූ සිංහල කාන්තාවක්. ඔවුන් දෙදෙනාගෙන් අය කලේ ගාස්තු දෙකක්. ඒ කාන්තාවට ශ්‍රීලාංකික පුරවැසි භාවය ඇතත් සුද්දාට එය නොතිබූ නිසා. හැමෝටම එකම අය කිරීමක් තියෙන කමයකට මමත් කැමතියි. ඒත් එහෙම වෙන්න මේ රටේ ඇති තරම් මුදල් තියෙන්න ඕන නේද?
      එහෙම වෙන්නේ කවදද කියල නම් මගෙන් අහන්න එපා.

      • arunishapiro said, on මාර්තු 16, 2011 at 7:42 පෙ.ව.

        ප්‍රියන්ත,
        හැම රටකම සංචාරක කර්මාන්තය රටේ ආදායම් මාර්ගයක්. ගාස්තු දෙකක් තිබ්බම ප්‍රවීනා කියනවා වගේ ‘හිත රිදෙන’ එක නවත්තන්න බැහැ. එක එක සංචාරකයා වනාහී ඒකීය වූ පුද්ගලයෙක් තම තෝරා ගැනීම නිසා යම් රටකට සංචාරය සඳහා යන්නෙක්. හිත රිදුනාම ඒ රටට ආයෙත් සංචාරයට යෑමට අදිමදි වෙන කෙනෙක්. සුද්දා දේශීය පුද්ගලයාට වඩා ධනවත් සහ සුද්දා ලබන්නේ වඩා ඉහළ ආදායම් නිසා වැනි අදහස් වලින් ඔවුන්ව ‘කල්ලියකට දාලා වෙන් කිරීම’ නිසා අර රටට පැමිණි ඒකීය සුද්දා හෝ සුද්දියගේ ‘හිත’ හදන්න එයින් බැහැ. ඒ වගේම ඒ අය කරන ප්‍රවේශ පත් වෙනසෙන් එක අවස්ථාවක දී ලබන ආදායමට වඩා එක හා සමාන සැලකිල්ලක් දැක්වීමෙන් හිත ප්‍රීතියෙන් පිනා යෑම නිසා ‍නැවත නැවතත් එන්නේ නම් ඔවුන්ගෙන් දිගු කාලීනව ලබත හැකි ආදායම ගැන සැලකිල්ලක් දක්වන්න අපි පුරුදු වෙලා නැහැ. පාරිභෝගික සන්තුෂ්ටිය කොයිතරම් වටිනා ද යන්නට ‘අගයක්’ දාලා බැලුවොත් ස්ථාවර වූ හා දිගු කාලීන වූ ලාභය සඳහා එක වතාවක දී පොඩි ගාණක ලාභයක් ගන්න එක නැවතිය යුතු බව පෙනේවි.

        අද මට ලංකාවේ පුරවැසිකම නැති නිසා මම හැම අවස්ථාවක දී ම ලංකාවේ දී සුද්දො ගෙවන ගණන් ගෙවනවා. හිත රිදුනාට ඒක කරන්නේ කැමැත්තෙන්. මොකද මම මගේ ඇමෙරිකන් පුරවැසිකමත් එක්ක ලැබිලා තියන නිදහස ඉතා අගයන නිසා ඒක පවත්වා ගන්න ඔය සුළු වෙනසකට ගෙව්වාම මොකද කියලා හිතන නිසා!! නමුත් සුද්දන්ට හැමදාම නිදහස තිබූ නිසා ඔවුන් ඔය විදියට හිතන්න පුරුදු නැහැනෙ!!!

    • arunishapiro said, on මාර්තු 16, 2011 at 7:46 පෙ.ව.

      praveena,
      පොඩ්ඩිගෙ සල්සා පංති කතා ටිකකුත් ලියැවෙයි නේද? බලාගෙන ඉන්නම්.

  2. දිනේශ් දීපාල් said, on මාර්තු 16, 2011 at 12:37 පෙ.ව.

    කැරබියන් දූපත් බොහොමයක තවමත් තිබෙන්නේ ස්පාඤය ආභාෂයද? එම දූපත්වලත් ස්පාඤය ආක්‍රමණවලට පෙර තිබිල තිබෙන්නේත් මායා, ඉන්කා, ඇස්ටෙක් වගේ ශිෂ්ඨාචාරද කියලත් දැනගන්න කැමතියි…

    • arunishapiro said, on මාර්තු 16, 2011 at 8:16 පෙ.ව.

      දිනේශ් දීපාල්,
      ඔව් අද පවතින්නෙ වැඩිපුරම ස්පාඤ්ඤ ආභාෂය තමයි.

      කැරිබියන් හිටපු ප්‍රධාන ආදීවාසීන් හැටියට හඳුන්වා ඇත්තේ Arawak, Taíno, Kalinago නොහොත් Caribs යන ගෝත්‍රික ජනතාව. ඊට අමතරව උප ගෝත්‍රයන් ද තිබුණා. මායා, ඉන්කා, ඇස්ටෙක් ජාතීන් හා සම්බන්ධයක් නැහැ.

      අද ඒ අයගෙන් පැවත එන්නන් එදා පටන්ම ස්පාඤ්ඤ වැසියන් හා මිශ්‍ර වෙලා සිටි අය පමණයි. ඇමෙරිකාවේ ඉන්න ඉතා සුළු ස්වදේශී ඉන්දීය පිරිස වගේ තම සම්ප්‍රදායට දිවිගෙවන පිරිසක් දකින්න නැහැ. අද ඇමෙරිකාවේ ඉන්න මේ අයත් හෙමිහිට කළවම් චාරිත්‍ර අනුගමනය කරන්න පටන්ගෙන.

      ආක්‍රමණිකයන් හා යුද නොවැදිච්ච හිටපු ස්වදේශී ඉන්දීය ගෝත්‍රිකයෝ බටහිර වැසියන්ගේ ආගමනය නිසා ලෙඩ රෝග වලට ගොදුරු වෙලා මිය ගිහින් ඒ කාල වල දීම. ඒ ගෝත්‍රික ජනතාව යුග ගණනක් තම තමන්ගේ කල්ලිය හා පමණක් ගැවසුණ නිසා පිටින් ආ ලෙඩ රෝග වලට මුහුණ දීලා තිබුනෙ නැහැ. යුරෝපීය ජනතාවට තිබි සරම්ප වැනි බෝවෙන රෝග වලට තිබි ප්‍රතිශක්තිකරණ හැදියාව ජනිත වී නොතිබූ නිසා ඔවුන් ඒවායෙන් ඉක්මණින් මිය යනවා.

      අද ඒ ආදීවාසීන්ගේ නටබුන්, ඔවුන්ගේ සම්ප්‍රදායන් යනාදිය කෞතුකාගාර හා ඒ සඳහා වෙන්වුනු සංස්කෘතික ආරක්ෂිත ප්‍රදේශ වල රැකෙනවා.

  3. ගෝල්ඩ් fish said, on මාර්තු 16, 2011 at 3:55 පෙ.ව.

    නියමයි අක්කේ…

  4. සුළඟ said, on මාර්තු 16, 2011 at 6:15 පෙ.ව.

    හ්ම්… සල්සා… පරණ කතාවක් මතක් වෙලා තනියම හිනා ගියා. විස්තරය ඉස්තරම්
    මැණික්

  5. හීනියට said, on මාර්තු 16, 2011 at 6:36 පෙ.ව.

    ස්තුතියි!….මාරයගෙ සුරුට්ටු පොජ්ජ ලැබුනැයි…..

    • arunishapiro said, on මාර්තු 16, 2011 at 8:20 පෙ.ව.

      හීනියට,
      ඔව් නීත්‍යානුකූලව ලබාගත් ලොව අගනාම වර්ගයට අයිති යැයි සලකන සුරුට්ටුව මාරයා මල්ලී වෙත අතින් ම ගිහින් දෙන්න කෙනෙක් හොයාගත්ත. සිංහල අවුරුද්දට ලැබේවි!!

  6. Observer said, on මාර්තු 16, 2011 at 6:52 පෙ.ව.

    Very interesting and informative.
    Thank you

  7. සල්සා මමත් කැමතිම නැටුම් වර්ගයක් ඒවගේ ඇග හොලවන්න මටනම් බැ හැබයි ලස්සන දේ අගය කරන්න ඔනේ.සල්සා ගැන කියද්දියි මට මතක් වුනේ ලංකාවේ සල්සා විශේෂයෙන්ම ලතින් නැටුම් වලට දක්වන ප්‍රතිරෝධය.මම හිතන්නේ ඒ හුගක් වෙලාවට ඒ ඇදුම් පැලදුම් හින්දා වෙන්න ඇති.මත මතක හැටියට මැත ඉතිහාසයේ අමල් පෙරේරාගේ සිංදුවක තමා ලතින් ඇමෙරිකානු හෝ ඒ ආශිත්‍ර නැටුමක් දැක්කේ.හැබැයි ඒක බලපු සමහර ඇයෝ කිව්ව කතා දන්නවානම් මර්වින් පෙරේරා වලෙනුත් නැගිටියි.

    බැරිද දන්නේ නෑ අපිටත් ඔය බ්ලිම්ප් / අහස් නැව් දෙක තුනක් අරන් පෝර්ක් සමුද්‍ර සන්ධියේ ගැට ගහලා තියන්න.එතකොට ඔය ලයින් පනින බෝට්ටු බලා ගන්න බැරියයි.

    අහස් නැව දැන් වැඩිය භාවිතා කරන්නේ ප්‍රචාරාත්මක කටයුතු වුණාට ඉස්සර මාර වැඩ අරන් ඉයෙනවානේ.හැබැයි අනාගතයේදි දෙමුහුන් අහස් නැව් මීට වඩා වැඩි වශයෙන් ප්‍රයෝජනට ගයි.

    හොර බඩු ගැන කතා කරද්දී ලංකාවේත්හොරබඩු වෙලදාම් කරපු ප්‍රදේශ කට්ටියට මතක් කරන්න හිතෙනවා ලංකාවේ නිරිත දිග වෙරලේ බේරුවලත් බටහිර වෙරලේ තෛලෙයි මන්නාරම ප්‍රදේෂයේ හොර බඩු වෙලදාම දරුණුවට කරපු පලාත් දෙකක්.දැනුත් හොර බඩු වෙලදාම් කෙරෙනවා (ලු ) හැබැයි මත්ද්‍රවයවලට අමතරව සාරී , ඉලෙක්ටොර්නික් අනම් මනම් තමා.තෛලෙයි මන්නාරමේ තාමත් දෙමල ම්නිස්සු ගෙවල්වලට ගිහින් සාරි විකුණනවා හැබැයි බාගයක් ඔය වගේ විදියට ආපු ඒවා.

    කියබානු සුරුට්ටුවලට කියන තවත් නමක් නේද මැනිලා සුරුට්ටු ? වසර පනහට පස්සෙත් තාම තියෙනාවන්ම් ඉතින් මොකක් හරි හොරයක් තියෙනවා අනිවාර්යෙන්ම.නැත්නම් ඇත්තටම හොර බොරු නැතුව තියෙනවානම් ඉතින් ඇන්ටික් වලට විකුණන්න පුලුවන් වෙයි සාමන්‍ය වටිනා කමට වඩා.කියක් විතර වෙනවද ඔය සුරුට්ටුවක් අක්කේ ?

    • arunishapiro said, on මාර්තු 20, 2011 at 8:41 පෙ.ව.

      ක්ෂිතිජ විජේමාන්න | විත්ති සහ දිනේශ් දීපාල්,
      2010 වසර දී හොඳම සුරුට්ටුව හැටියට එන්නෙ කොහීබා බෙහිකි BHK 52; දිග අඟල් 4 ¾ ක්. කියුබාවේ El Laguito Factory විසින් 2011 වසරට නිෂ්පාදනය කරන්නෙ සුරුට්ටු එක් ලක්ෂ පනස්දාහක් පමණයි. එකක මිල බ්‍රිතාන්‍ය පවුම් 28.70 ක්!

      2006 දී ඔවුන් කොහීබා බෙහිකි සුරුට්ටු හදන්නෙ හාරදහසක් පමණයි. ඉතින් එක සුරුට්ටුවක් ඩොලර් 400 කට විකුණලා තියෙන්නෙ.

      කියුබාවේ හදනවා වැනිලා සුරුට්ටු. වැනිලා කරල් ඒ කැරිබීයන් පැත්තෙ සුලබව වැවෙනවා. ඉතින් වැනිලා රස කාරකය මිශ්‍ර වූ සුරුට්ටු.

      ඔව් සුරුට්ටු බොන අය සඳහා සමාජ වගේම සුරුට්ටු ගැන කතාබහට වෙන් වූ සඟරා, වෙබ් අඩවි ‍ලෝකය පුරා.

  8. දිනේශ් දීපාල් said, on මාර්තු 18, 2011 at 10:56 ප.ව.

    මටත් ක්ෂිතිජ විජේමාන්න | විත්ති ගේ කමෙන්ටුව දැක්කාම පරණ කතා කිහිපයක් මතක් වුනා අපේ රටේ බොහොදෙනෙකුට ලිතින් ඇමරිකානු නැටුම් දිරවන්නේ‍ නැහැ තමයි. මොකද මට මතකයි මීට අවුරුදු කිහිපයකට කලන් මගේ ඥාතියෙක් සිංගප්පූරුවේ සිට එනකොට කොහේ හරි තැනකදී දීලා තිබූ පිටු කිහිපයකින් යුතු මුල් පිටුවේ විශාලත්වයෙන් ලතින් ඇමරිකානු නැටුම් තරඝයක ජය ගත් යුවලකගේ නැටුම් අවස්ථාවක් තිබුනා. පිරිමි කෙනා නම් හොදට ඇද පැලද ගෙන සිටියත් ගැහුණු කෙනාගේ නම් ඇදුම එහෙන් පලල මෙහෙන් පලල ටිකක් ඇඝ පේන එකක් තමයි තිබුනේ. කොහොම හරි මගේ ඥාතියා මේ පත්‍රිකාව අපි අරගෙන බලන කොටත් ටිකක් ලැජ්ජ වුනා වගේ කියල හිතුනා.

    අරුණි මමත් එක පාරක් ලිපියක් දැක්කා කියුබානු මැනීලා සුරුට්ටුයලට ලෝකය පුරා හොද පිළිගැනීමක් හා ඒවායේ හොද ඒවාට විශාල මුදලකුත් ගෙවන්න සිදුවන බව. එසේම මේවා පානය කරන අය‍ගේ සමාජ සංගම් බොහෝ රටවල තිබෙන බව මේක සත්‍යයක්ද?

    • arunishapiro said, on මාර්තු 20, 2011 at 8:15 පෙ.ව.

      ක්ෂිතිජ විජේමාන්න | විත්ති සහ දිනේශ් දීපාල්,
      ආලිංගන නැටුම් කොහොමත් පර සුද්දා බෝ කරපු වසංගත ගණයට සලකන්නෙ. සමාජය හමුවේ සිප ගැනීම් හා බදා ගැනීම් නුහුරු සංස්කෘති (ජපානයේ ද තියෙන්නේ එවැන්නක් අද දක්වාම) වලට ආලිංගන නැටුම් දිරවන්නෙ නැහැ. නමුත් බටහිර සංස්කෘතිය දීපු අනිත් වසංගත අපි අද දක්වාම පවත්වා ගෙන යනවා. විශ්ව විද්යානලයක උපාධිය ලබා ගන්න උපාධි කබා තොප්පි දානවා. පිරිවෙන් අධ්‍යාපනික සැලසුමක් තිබි ලංකාව වැනි රටක එහි ඉගෙනුම හමාර කළ අයෙකුට කුමන ‘උපාධි ප්‍රදානයක්’ අනුගමනය කරා ද? අපි තවමත් කලිසම් කමිස ඇඳගෙන ටයි එල්ලා ගෙන යන සමාජයක්. ඉහළ තැනක දී කන්නෙ හැන්දකින් ගෑරුප්පුවකින්. ඉතින් නිගමනය කරන්න ඕන සමහර සුද්දා බෝ කරපු දේවල නරකක් තිබුනෙ නැහැ කියල.

      ආලිංගන නැටුම් නිසා අද සොයාගෙන තියෙන්නෙ වයසක උදවියට මානසික ප්‍රීතියක් හා එහි ප්‍රතිඵලයක් හැටියට කායික වූ ප්‍රබෝධයක් ලැබී වයෝවෘද්ධ ජීවිතය ලෙඩින් අඩුවන බව. පහසු ව්‍යායාමය තුලින් සමබරතාවය වගේ වයසට යනකොට නැතිවන හැකියා ඉක්මණින් නැතිව යාම අඩුකරන බව. හැබැයි අත් අල්ලා ගෙන යාම අසික්කිත රටක ඒ ආලිංගන නැටුම් වල අගයන් සලකන්නට වත් අපි මැළිවෙනවා.

      සල්සා නැටුම් වලට අකමැති බඳ සොලවන නිසා ද නැත්නම් එය තවත් ‘බදාගෙන නටන’ කොටසට අයිති එකක් නිසා දැයි කියන්න අමාරුයි. සල්සා නටද්දී සෙලවෙන්න පහසු ඇඳුම් අඳින්න අවශ්‍ය නිසා තමයි ඔය කෑලි විසිරෙන සායවල් එළි දකින්නෙ. ඒ වගේම වස්ත්‍ර උත්සාවාකාරයෙන් තිබිය යුතු නිසා තමයි දිළිසෙන කෑලි එකතු වෙන්නෙ.

      ග්‍රීක පුරාවෘත්තාන්තයක් පාදක කරගෙන Black Orpheus යන්න පෘතුගීසි නමින් Orfeu Negro (1959) චිත්‍රපටිය බ්‍රසීලයේ දී හදන්නෙ ප්‍රංශ සිනමාකරුවෙක්. සල්සා සම්භවය අප්‍රිකාවෙන් ආවේ කොහොම ද යන්න දකින්න එය නැරඹිය යුතු රසවත් චිත්‍රපටයක්. ලංකාවේ දී මා දුටුවේ පුංචි කාලේ!

      සමහර අයගෙ මතය නැටුම් යනු සිරස් ආකාරයෙන් කරන තිරස් ආකාරයක ක්‍රියාවක් කියල! සමහර විට නැටුම් වලට අකමැත්ත ඒ මතය වෙන්නත් පුළුවන්. නැටුම් තහනම් ආගමික කොට්ඨාශයන් අද ඇමෙරිකාවේ ද තියනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: