අරුණි ශපීරෝ‍ වෙතින්

මම සමුගන්නම්!

Posted in Uncategorized by arunishapiro on මාර්තු 16, 2011


අනගි සේවයට ස්තූති කරලා කැප්ටන් ගාසියා වෙතින් සමුගෙන, දූපතේ අවසාන දිනය අපි නවතින්නෙ සැන් හුවාන් නම් අග නගරයේ.

පරණ සැන් හුවාන් නගරයේ වීදි නිල් අළු පාට සිලා ගඩොල් වලින් හදලා තියෙන්නෙ. කඩපේළි හා ගෙවල් පැරණි ස්පාඤ්ඤ ගෘහ නිර්මාණ ශිල්පය රැක ගත්තක්. කෞතුකාගාර හා ‍ඵෛතිහාසික තොරතුරු පිරි ප්‍රදේශයක්. පැරණි උත්සව හා නව සැණකෙළි එක හා සමානව සමරන නගරයක්.

1753 දී Baltazar Montañez නැමති තරුණ අශ්වාරෝහකයෙක් නගරයේ සාන්ත ජෝන් බැප්ටිස්ට් අනුස්මරණ උත්සවය දා කොයි තරම් ප්‍රීති වූවා දැයි කිව්වොත් ඔහු අශ්වයා පිටින් වේගයෙන් ක්‍රිස්ටෝ වීදිය දිගේ දුවගොස් වීදිය අග තියෙන දැවැන්ත ප්‍රපාතයට පැන්නාලු. බලාගෙන හිටපු කෙනෙක් තරුණයාගෙ ජීවිතය බේරුනොත් පල්ලියක් හදන්න පොරොන්දු වෙලා. ඉතිහාස වාර්තා වලට අනුව තරුණයා ජීවිතක්ෂයට පත්වෙලා. ඒත් කටකතාවේ එන්නෙ ඔහු ජීවත් වුනා කියල. සමහරු කියනවා ප්‍රපාතයට පනින්න කළින් අශ්වයා නතර වුනාලු. කොහොම හරි අවසානයේ දී පල්ලිය ඉදි කරලා තියෙනවා. නම Capilla del Cristo. ඒක පිහිටන්නෙ වෙන කොහෙද ඉතින්, ක්‍රිස්ටෝ වීදියේ අග මිසක්!!

පහුගිය වසර කිහිපය තුල සැන් හුවාන් නගරයේ Condado සහ Santurce නම් පැතිවල සමරිසි ගැවසීම කැරිබියන් දේශයේ වැඩිපුරම ඇති තැන් බවට පත්වෙලා. ජූනි මාසයේ දී සමරිසියන්ට සඳහා වූ සාද, විලාසිතා ප්‍රදර්ශන සහ කලා ප්‍රදර්ශන රාශියකින් සතියක්ම පිරිලා යනවාලු. ඒ අය වැඩියෙන් ගැවසෙන මුහුදු වෙරළවල් ගැන සංචාරක පත්‍රිකාවල පැහැදිලිව ලියලා තියනවා.

දූපතේ ජනතාව සෙසු ඇමෙරිකාවට වඩා විලාසිතා ගැන උවමනාවකින් යුතු අය. ඒ වගේම මනා හැසිරීමකින් මහමඟ, මුහුදු වෙරළේ හා උද්‍යාන වල හැසිරෙන අය. කොයි රිසිය තිබ්බත් හැමෝම හැසිරුනේ ආචාරශීලීව!!

කාල් මාක්ස් අද හිටියා නම් Trip Advisor වගේ වෙබ් අඩවියක් ගැන කුමක් කියයි ද? එදා ධනපති පංතියට සූරා කන්න ලැබුනෙ රාජකීය අනුග්‍රහයෙන් ඔවුන්ට තම නිෂ්පාදනයට තනි අයිතියක් කියන්න හැකියාව ලැබීම නිසා. තවමත් දියුණු වෙන රටවල් බොහොමයක පවතින්නෙ ඔය ක්‍රමයනෙ. සමහර රටවල් වල ජනතාව සූරා කන තනි අයිතිය තියන්නෙ රට ආණ්ඩු කරන ගඩාෆිලාටමයි.

කැප්ටන් ගාසියාව අපි හොයාගන්නෙ වෙබ් අවකාශයෙන්. එයාගෙ සේවය ගැන අනිත් අය දාපු තොරතුරු කියවා බලලා. එයා හා තරඟ කරන අනිත් සේවා සපයන අය ගැන දාලා තියන තොරතුරු කියවා බලල. කන්න බොන්න අවන්හලක්, බලන්න යා යුතු ස්ථාන හා රෑට නවතින්න හෝටලයක් හොයා ගන්නෙත් එහෙම, පොඩි විමර්ශනයකින් පසුව.

රෑ කෑමට හෝටලයේ අවන්හලට මුලින් ම ගොඩ වැදෙන්නෙ අපි දෙන්න. ඇමෙරිකාවේ අය හවස 4 වෙනකොට රෑ කෑමට වාඩි වෙද්දී සැන් හුවාන් වැසියෝ රෑ කෑම ගැන හිතන්නෙ හවස 7 වෙද්දී.

“කරුණාකරලා අපිට මැද මිදුලෙ මේසයක් ගන්න පුළුවන් ද?” වාඩි කරන්න ඉන්න කෙල්ල ගෙන් මම ඇහැව්ව.

“කැමැති තැනකින් වාඩි වෙන්න.” ඇය කිව්වා.

“මේ මේසයට වාඩිවෙලා කටගැස්ම කන්න. අර මේසයට වාඩි වෙලා ප්‍රධාන ආහාරය ගන්න. ඊ ළඟට අර එහා මේසයට ගිහින් අතුරුපස කන්න.” ඇය ළඟින් හිටපු කොණ්ඩය පෝනි ටේල් දාගත්තු තරුණ මත්පැන් පෙරන්නා හිනා වෙවී කියනවා.

සැන් හුවාන් ගුවන් තොටුපළ අසල තියන හෝටල් ආචාරශීලී නැතැයි ද මඳක් ඈතින් නගරයට සමීප මේ හෝටලය වඩා සුහදශීලීදැයි ද වෙබ් ප්‍රතිචාර වලින් කියා තිබුනේ ඇයි දැයි අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ!!

ඒකීය කැමැත්තට අනුව තෝරා ගන්නට හැකියාව ඇති සමාජයක, සූරා කන්නන් ඉබේම බංකොළොත් වෙලා යන්නෙත්, නිසි සේවා සපයන්නන් වැඩි වැඩියෙන් ලාභ ලබන්නෙත් එක හා සමාන තරඟ පිටියක දී තරඟ කරන්න ඉඩක් ලැබෙනවා නම් පමණයි. කවුරු හරි හොඳ සේවයක් හෝ අනගි නිෂ්පාදනයක් නොදී සල්ලි කඩා ගන්න පමණක් අපේක්ෂා කරනවා නම් ඔවුන් වෙත නොයන්න Trip Advisor හා තවත් එවැනි වෙබ් අඩවි ගණනාවක සහාය ලබාගන්න පුළුවන්.

කියවන්න ආ සැමට ස්තූති කරමින් පුවෙර්තො රීකෝ සංචාරක සටහන් වලින් මම සමුගන්නම්!

29 Responses

Subscribe to comments with RSS.

  1. විදුල said, on මාර්තු 16, 2011 at 1:12 ප.ව.

    නියම කතා පෙල. ඔක්කොම හොදටම රස වින්දා….

  2. දිනේශ් දීපාල් said, on මාර්තු 16, 2011 at 2:12 ප.ව.

    //සමහර රටවල් වල ජනතාව සූරා කන තනි අයිතිය තියන්නෙ රට ආණ්ඩු කරන ගඩාෆිලාටමයි.// මම මේ ගැන පොඩ්ඩක් කතා කරාට ඔබ අමනාප නොවෙයි කියා හිතනවා. වර්තාමානයේ මෙම ගඩාෆි වගේ පාලකයෝ බලයෙන් පහකරන්න ඒ රටවල් වල ජනාතාව වගේම වටේපිටේ ජනතාවත් පුදුමාකාර කැමැත්තකින් ඉන්නබව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒත් ඔවුන් රට සූරා කෑවත් ඔවුන් ඉවත්වූ විට එම රික්තය පුරවන්න එන අනුප්‍රාප්තිකයා මීටත් වඩා භයානක වේ යයි කියා දැන්මම ඉඟි පල වෙනවා නේද? ගඩාෆි නම් හොද නැති කෙනෙක් බව සත්‍යයක් නමුත් ඔහු ඉවත් කර මූලධර්මවාදීන් පාලන තන්ත්‍රය අත්පත් කරගැනීමට දැනටම දත මැදගෙන අවසන්. ඇමරිකාවත් තෙල් ටික ඩැහැ ගන්න ගඩාෆි වැටෙනකම් බලාගෙන ඇති. ඒත් ඔවුන්ටම අමතක වෙලා සදාම හුසේන් බලයෙන් පහ කරල ඉරාකයට වෙච්ච ඉරණම. මේවගේ දේවල් වලට ලෝකේ ඕන තරම් උදාහරන තියෙනවා. රුසියාවේ සාර් පාලනය අවසන් කරල බෝල්ෂෙවික්වරු බලයට පත්වෙලා ටික දවසකින්ම එරට ජනතාවගෙන් අතිමහත් පිරිසකට ගුලාග් කදවුරු වලට යන්න වුනා විතරක්නොවෙයි තමන් අතිමහත් බලාපොරොත්තුතියාගෙන ගෙනාපු පාලනයම තමන් මරා දැමුවා. මේ බව මම සත් සමුදුරේ ගුලාග් ලිපි වල විස්තර කලා. කොහොම වුනත් මේ අවුරුද්ද මුළු ලෝකයේම පෙරලිකාර දේවල් වෙයි කියල හිතෙනවා. ඔබගෙන් නැවතත් මම සමාව ඉල්ලනවා ඔබගේ ඉඩ ලබා ගෙන මේ විස්තරය දැම්මාට. ස්තූතියි!

    • arunishapiro said, on මාර්තු 16, 2011 at 2:41 ප.ව.

      දිනේශ් දීපාල්,
      “මතවාදයන් ගැන කතා කරන්නේ පරිණත මොළයෙන් යුතු අයයි. සිද්ධීන් ගැන කතා කරන්නේ සාමාන්‍ය බුද්ධිය ඇති අයයි. පුද්ගලයෝ ගැන කතා කරන්නේ පටු අදහස් ඇති අයයි.” (Great minds discuss ideas; average minds discuss events; small minds discuss people) මෙය කියා ඇත්තේ එලිනෝර් රූසවෙල්ට් විසින්.

      ඉතින් පුද්ගලයෙක් සිද්ධාන්ත කරගත් මතවාදයක් කතාබස් කළාට කිසිම අමනාපයක් නැහැ!!

      හැම විටම ඉතිහාසයේ ආඥාදාය‍කයෙක් පලවා හැර පත් කරගත් අනුප්‍රාප්තිකයා නරක වූයේ නැහැ. ඉතිහාසයෙන් ම උදාහරණයක් ගත්තොත් හිට්ලර් එලවා දමා පත් කරගත් ජර්මන් පාලකයෝ අද දක්වාම ඔහුට වඩා හොඳ වුනේ නැද්ද?

      • දිනේශ් දීපාල් said, on මාර්තු 17, 2011 at 12:58 පෙ.ව.

        මම නැවත වරක් ඔබගේ ඉඩකඩ ලබා ගැනීමට අවසර දෙනමෙන් ඉල්ලා සිටින අතරම ටිකක් විස්තරාතමකව කාරණා කිහිපයක් දක්වන්න ඕන. හැබැයි මේක තර්ක කිරීමක්වත්, වාද කිරිමක් වත්, ඔබගේ මතය නොඉවසා සිටිමක් නොවන බවද කාරුණිකව සදහන් කරනවා.ඔබගේ පිළිතුරේ අවසානභාගයේ සුළු නිවැරදි කිරීමක් කිරීමට තමයි අවශ්‍ය වෙන්නේ.

        ඔබ මට අවසරය ලබා දුන් පසු ඒ විස්තරය මට දාන්න පුළුවන්. එහෙම නැත්නම් මම සත් සමුදුරේ ඒක පසුව දාන්නද? එසේත් නැත්නම් අමතකම කරල දාන්නත් පුළුවන්. මොකද මේ කිවුව පුද්ගල චරිතය ඔබගේ ලිපියට ගත්ත උපමාවක්, නැත්නම් උදාහරණයක් විතරයි කියන එක මමත් දන්නා කරුණක්. මේ දිනවල ලෝකයේ කතා කරන ප්‍රධානම දෙයක ඇතුලාන්තය තමයි මෙතන දැම්මෙ. මොකද ලිපියේ සමස්ථ අන්තර්ගතයට සෘජුව අදාල නොවන කාරණයක් කතා කිරීම ඔබට මෙන්ම ඔබගේ ලිපිය ආසාවෙන් කියවන පාඨක සහෘදයන්ටද කරන අසාධාරනයක් නිසා ඔබගේ අවසරය ලැබීමෙන් පසු එම පිළිතුර සපයන්නම්…

        ස්තූතියි!

        • arunishapiro said, on මාර්තු 17, 2011 at 8:32 පෙ.ව.

          දිනේශ් දීපාල්,
          මම ‍ප්‍රිය කරන ‘නිදහස්’ ලෝකයේ ‘නිදහස් අදහස්’ වලට ඕන තරම් ඉඩ තියනවා!

          ඔබ ලියන්නකින් මගේ ‘හිත රිදුනොත්’ කියලා ඔබ නොලියා ඉන්න එපා. මොකද මගේ හිත රිදවන හෝ නොරිදවන පාලනය බාර ඔබට නොව මටම නිසා.

          ඔබට කැමැත්තක් ඔබගේ අඩවියේ ලිවීමට මගෙන් අවසර උවමනා නැහැ. මෙහි ප්‍රතිචාරයක් දානවා නම් ඊට පිළිතුරක් දීම, නොදීම හෝ ප්‍රතිචාරය අශීලාචාර නම් මකා දැමීම මගේ අයිතියක්.

          මතවාදයක් යනු යම් අයෙක් හෝ පිරිසක් ඉදිරිපත් කරන අදහස්. අදහස් වල ඇති අඩුපාඩු ගැන කතා කරද්දී ‘අමනාප’ වෙන්නට කිසිදු හේතුවක් මට නැහැ.

          හැබැයි, මතවාදයක් කතාබහට ලක් කරද්දී මතවාදය ඉවසීම ‍නොව අවශ්‍ය තර්කයයි. ඒක අමතක කරන්න එපා. තර්කයෙන් තොර සංවාදය ඵල රහිත යි. ඒ වගේම තර්කානුකූලව මතවාදය ගෙනියන්න දත්ත හා මූලාශ්‍ර අවශ්‍යයයි. යම් සංවාදයක් සඳහා දත්ත පෙන්වීමේ දී දත්ත ගන්නා මූලාශ්‍ර ගැන විමසිලිමත් වෙන්න. මූලාශ්‍ර පෙන්වද්දී තමන් තෝරා ගන්නා මූලාශ්‍රය නිවැරදි යයි තවත් මූලාශ්‍රයක උදව්වෙන් හරස් විමසිල්ලක් කර තහවුරු කරගත යුතුයි.

          දත්ත හා මූලාශ්‍ර නොමැතිව කරන සංවාදය හුදු කටකතා, හිස් වචන හා සම්ප්‍රලාප ගණයට අයිති නිසා ඒවායේ තව තවත් නිරත වීමෙන් කිසිදු වැඩක් කිසිවකුට සිද්ධ නොවේ. තාර්කික ඔප්පු කිරීමක් නැති වූ කල යම් යම් දෑ පැවසීම ඔප්පු නොකරන ලද ප්‍රස්තුතයන් කිය කියා ඇවිදීමක් වන්නේ ය. ඉතින් දත්ත හා මූලාශ්‍රව නැතිව, තර්කය උපකාරයට නොගෙන සංවාදයකට බැසීම නිෂ්ඵල ක්‍රියාවකි.

          මරණයෙන් මේ ජීවිතය අවසන් යැයි විශ්වාස කරනා මා නිෂ්ඵල ක්‍රියාවන්හි ගැලී සිටීමෙන් කාලය නාස්තියට දැඩි අකැමත්තක් දක්වමි. 🙂

  3. සනත් said, on මාර්තු 16, 2011 at 3:22 ප.ව.

    //දූපතේ ජනතාව සෙසු ඇමෙරිකාවට වඩා විලාසිතා ගැන උවමනාවකින් යුතු අය. ඒ වගේම මනා හැසිරීමකින් මහමඟ, මුහුදු වෙරළේ හා උද්‍යාන වල හැසිරෙන අය. කොයි රිසිය තිබ්බත් හැමෝම හැසිරුනේ ආචාරශීලීව!!//

    ඒ රටෙ මිනිස්සු ගැන කියන්න වෙන අටුවා, ටීකා අනවශ්‍යයි……

  4. Kathandara said, on මාර්තු 16, 2011 at 4:45 ප.ව.

    හරිම කාලෝචිත, ඇස යන මාතෘකාවක් නේ? අරුණිට හොඳ පත්තරකාර අදහස් තියෙනවා වාගෙයි පේන්නේ!

  5. වෙරංගා said, on මාර්තු 16, 2011 at 8:50 ප.ව.

    අලුතෙන් හිතන්නත් යමක් එක්කාසු කරමින් ලියැවුණු අනගි සංචාරක සටහන් පෙළක්.
    ඔබට බොහොමත්ම ස්තුතියි.

  6. abeetha said, on මාර්තු 16, 2011 at 10:05 ප.ව.

    ස්තූතියි අක්කා….. මමත් මේකේ සමහර කාරණා සටහන් කරගත්තා… උදව්වක් විදිහට කැප්ටන් ගාසියාගේ විද්‍යුත් ලිපිනය මට එවන්න පුළුවන්ද?

  7. ගෝල්ඩ් fish said, on මාර්තු 17, 2011 at 12:47 පෙ.ව.

    නියමයි… තවත් මේ වගේ කතා පෙලක් බලාපොරොත්තු වෙනවා.

  8. නවම් said, on මාර්තු 17, 2011 at 1:33 පෙ.ව.

    අම්මෝ” මම සමුගනිමි” කිව්වම මම හිතුවෙ මේදවස් වල ඔය බ්ලොග් ලිවීමෙන් සමුගන්න අය වගේ අරුණි අක්කත් යන්න හදන්නෙ කියල.

    කොහොම උනත් හරිම රහ සංචාරක සටහනක් මම පහුගිය දවස් ටිකේම කියෙව්ව. හැබෑවටම එහෙම අත්දැකීමක් ලබාගන්න අපහසු මට නම් හරිම ලස්සනයි. නිකං ගියා ආව කියල ලියල දාන්නෙ නැතුව ඒ පරිසරය එක්ක බැඳුනු සමාජීය දේශපාලනික කරුණු එක්ක ලිව්වට ස්තූතියි.

    ඇමරිකාවෙ හවස හතරට රෑ කෑම, සැන් හුවාන් වල රෑ හතට, ලංකාවෙ අපි රෑ නමයට දහයට [සමහර වෙලාවට ඊටත් පරක්කුවෙලා]

  9. Asela said, on මාර්තු 17, 2011 at 1:36 පෙ.ව.

    රසවත් ලිපි පෙලක්.
    ස්තූතිය් ෙබදා ගත්තාට ඔබෙග අත්ද්දෑකීම්

  10. Grey said, on මාර්තු 17, 2011 at 5:33 පෙ.ව.

    awesome…
    And your picture with the Liberty of the seas is so damn cool. 🙂
    It’s true about Trip Advisor. I really like that site and most of the time use it to plan my trips.
    I’m also thinking about writing couple of articles like this…but my language is not as good as yours. 😦
    P.S: Sorry about using English. Having couple of issues in my office machine at the moment.

    • arunishapiro said, on මාර්තු 17, 2011 at 8:41 පෙ.ව.

      Grey,
      ලිවීමේ හැකියාව දියුණු කරගැනීමට ලියන්නට ම ඕනෑය! පටන් ගත් කාලයට වඩා අද මගේ ලිවීම ද දියුණුවක් ලබා ඇත!! නූතන කලා කතාව දැම්ම නිසා පටන් අරගන බව දැක්කා… අපි එනවා ‘මගේ රස කතා’ කියවලා රස විඳින්න.

  11. හීනියට said, on මාර්තු 17, 2011 at 6:48 පෙ.ව.

    ඔයාටත් ස්තුතියි! කිව්ව ඕO…..

  12. මාරයාගේ හෝරාව... said, on මාර්තු 17, 2011 at 7:25 පෙ.ව.

    බොහෝම ස්තූතියි අරුණි අක්කා..ගමන් විස්තරයට වගේම..අනිත් දේටත්..
    මට තැපැල් පතකුත් හම්බ උනා..ඒකටත් බොහෝම ස්තූතියි..මට පේන්නේ සිංහල අත් අකුරු ලියන්න අවස්ථාව අඩු වීම ගැන කනගාටුවෙනවා වගේ..

  13. shani said, on මාර්තු 17, 2011 at 11:34 පෙ.ව.

    ලිපි පෙල නම් නියමයි…
    ගොඩක් රසවින්දා..

  14. දිනේශ් දීපාල් said, on මාර්තු 17, 2011 at 1:18 ප.ව.

    ඔබ පවසා ඇති කරුණුද සැලකිල්ලට ගන්නා අතරම මේ දිනවල යන ලිපි පෙල අවසන් වූ පසු අදාල සාධකද සමගින් මේ පිළිබද සානච්ඡාකෙරෙන කරුණට අදාල ලිපිය සත් සමුදුරේ දමන්නම්. ස්තූතියි!

  15. සි0හයා said, on මාර්තු 19, 2011 at 10:37 පෙ.ව.

    [මම ‍ප්‍රිය කරන ‘නිදහස්’ ලෝකයේ ‘නිදහස් අදහස්’ වලට ඕන තරම් ඉඩ තියනවා
    ඔයාල නිදහස් ඵතකොට අපි??]

    නිදහස් ලෝකය ගෑන කියන්න ගියොත් ඉතින් මොනව ලියවෙයිද දන්නෑහෑ.
    මේ ලෝකෙ ඈත්තටම නිදහස් වෙන්නෙ USAට හෙනගහපු දාට තමයි.

  16. //ඒකීය කැමැත්තට අනුව තෝරා ගන්නට හැකියාව ඇති සමාජයක, සූරා කන්නන් ඉබේම බංකොළොත් වෙලා යන්නෙත්, නිසි සේවා සපයන්නන් වැඩි වැඩියෙන් ලාභ ලබන්නෙත් එක හා සමාන තරඟ පිටියක දී තරඟ කරන්න ඉඩක් ලැබෙනවා නම් පමණයි//

    නමුත් සීමීත සම්පත් , සීමිත නිපැවුම් පවතින වෙලද පොලක ගැනීමට තියෙන තෝරාගැනීම් බලෙන්ම සීමිත කර තියෙනවානම් මිලදී ගන්නාට වෙන තේරීමක් නැ නේද අර බාල දේ හෝ මිල අධික දේ තෝර ගැනීම මිස.

    තවත් දෙයක් ප්‍රමිතිය මිල පාලණය කිරීමට තියෙන ආයතන අංශ භාග හැදිලා පණ අදිද්දි මෙවැනි දෙයක් ඉක්මනින් වෙනස් වෙයි කියලා හිතන්න බැ.නමුත් යමෙකුගේ ජිවින තත්ත්වය ඉහල යනවානම් හා පස්සෙන් එකෙක් පයින් ඇදලා බිමට දාන්නේ නැත්නම් මේ දේ ඉක්මනින් නොවුනත් වෙනස් වේවී කියලා හිතනවා.

    ඇමෙරිකාවේ අය හවස 4 වෙනකොට රෑ කෑමට වාඩි වෙද්දී සැන් හුවාන් වැසියෝ රෑ කෑම ගැන හිතන්නෙ හවස 7 වෙද්දී ලංකාවේ අපි රෑ කැම ගැන හිතන්නේ අට විතර වෙද්දි.හැබැයි මට එක දෙයක් ශුවර් මේ කට්ටියගෙන්ම කැම ඉක්මනට කන්නේ ලංකාවේ අපි තමයි.නමුත් වෙලාසනින් රැ කෑම ගන්න එක හොදයි කියලා මම අහලා තියෙනවා එහෙම බැලුවොත් රන් දෙපැය බල බලා ආහාර ගන්න අපේ ඇත්තෝ ගැන සැහෙන්න දුකයි.

    ලිපි පෙල සැහෙන්න රසවින්දා ඒ වගේම මගේ TO-DO ලිස්ට් එකටත් අලුත් දෙයක් ඇතුලත් වුණා.බොහොම ස්තුතියි ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා.

    • arunishapiro said, on මාර්තු 20, 2011 at 12:44 ප.ව.

      ක්ෂිතිජ විජේමාන්න | විත්ති,
      //නමුත් සීමීත සම්පත් , සීමිත නිපැවුම් පවතින වෙලද පොලක ගැනීමට තියෙන තෝරාගැනීම් බලෙන්ම සීමිත කර තියෙනවානම් මිලදී ගන්නාට වෙන තේරීමක් නැ නේද අර බාල දේ හෝ මිල අධික දේ තෝර ගැනීම මිස.//

      1) බාල දේ හෝ 2) මිල අධික දේ හෝ තෝරා ගන්නවාට වඩා වෙනත් විකල්පයක් තියනවා: තමන් විසින් නිර්මාණය කර ගැනීම. මිනිසාගේ අපූරු හැකියාව ඒකයි.

      සම්පත් සීමිතයි කියන්න මිථ්‍යාවක් බවට මතවාදයක් තියනවා මෙහෙම විස්තර වන: ස්වභාවික සම්පතක් වන රථ වාහන දුවන තෙල් උදාහරණයක් විදියට ගමු. තෙල් සීමිත පෙදෙස් වල වල පිහිටන්නක්. සීමිත ප්‍රමාණයකින් තියෙන්නක්. ලෝක පරිභෝජනයට තෙල් නැතිවට වෙනත් ඉන්ධන අද දකින්න පුළුවන්. ඒ වගේම වසර 20 කට 30 කට පෙර තෙල් ගිලමින් දුවපු වාහන වෙනුවට අද තෙල් ඊට වඩා බෙහෙවින් අඩුවෙන් වුනාට සැප අඩු නැති වාහන සඳහා පාවිච්චිය දකින්න පුළුවන්. ඔය මතවාදය නම් සම්පත් සීමිත යැයි අපි සලකන්නේ අපිට සම්පත් පරිහරණය ගැන දැනුම අඩුවෙන් තියන නිසා බවයි.

      ඊ ළඟට සීමිත නිපැයුම් වලට හේතුව මොකක් ද? වැඩි ප්‍රමාණයක් අලෙවියෙන් වැඩි පාරිභෝගික ඉල්ලීමක් සපුරාලන්න ද? අඩු ප්‍රමාණයක් අලෙවියෙන් වැඩි පාරිභෝගික මිලක් ලබන්න ද? සුනාමියක්, භූමි කම්පාවක්, ජල ගැල්මක් වැනි හදිසි ස්වභාවික උවදුරු හැරෙන්නට වෙනත් ස්වභාවික බාධා ජයගන්න අද මිනිසා දක්ෂයි. බ්‍රසීලයේ නිසරු වගාබිම් සරුසාර කරගන්න, කැලිෆෝර්නියාවේ නියඟ ඇති පෙදෙස් හි කෘෂිකාර්මිකරණය වගේ හැකියාව.

      ඊට අමතරව හංගේරියාවේ Ernő Rubik දුන්න රූබික් කියුබ් එක. නැති උවමනාවක් ඇති කිරීම. අද මුහුණු පොත. ඊට වෙන් වූ අමුද්‍රව්‍ය නොමැතිව නිපැද වූ භාණ්ඩයක් ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන භාණ්ඩයක් බවට පත් කිරීම.

      ඔහොම බලද්දී සීමා බාධක තමන් විසින් දා ගත්තු ඒවා ද සත්‍යයෙන් පවතින ඒවා ද යන්න විවාද කරන්න පුළුවන්.

  17. Ravi said, on මාර්තු 20, 2011 at 2:58 පෙ.ව.

    ස්තූතියි, අරුණි, හුදු සංචාරක වර්ණනාවන්ට සීමා නොවී ඉතිහාසය ඇතුලු වෙනත් නොයෙක් වැදගත් කරුණු පිළිබඳව හරවත් ලිපි පෙලක් අපට ලබාදීම පිළිබඳව,

  18. බුරු බබා said, on මාර්තු 20, 2011 at 3:09 පෙ.ව.

    අරුණිගෙන් අහන්න හිටියේ කැප්ටන් ගාසියා ව කන්ටැක් කරගන්නේ කොහොමද කියලා. ඒ විතරක් නෙමෙයි මේ අවුරුද්දේ මගේ නිවාඩු ප්ලෑන් කරලා අවසාන නිසා සීත කාලේ (අපේ සීත කාලේ) එහේ ගනන් හිලවු එහෙම කොහොමද කියලා වෙනසක් තියේවිද?
    අභීතගේ උත්තරේ මම කොපි කරගන්නම්. ඒත් ඉතුරු විස්තර ටික දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. මොකද ඉතින් අපි වගේ දුප්පත් අයට අවුරුද්දකට දෙපාරක් විතර නිවාඩු ගන්න බෑ. තව දවස් විස්සකින් මම මුහුදේ ඉන්න තමයි හිතාන ඉන්නේ. ඒත් ඉතිං ලංකාවට දැන් වැකේසන් ගියාම නිවාඩුව රාජකාරි වාතාවරණයටත් වඩා අවිවේකියි. දෙසැම්බර් දිහාවේ නම් ඔන්න පොඩ්ඩක් හිතන්න පුළුවන් නත්තලේ නිවී හැනහිල්ලේ පුන්චි නිවාඩුවක් ගැන.

    • arunishapiro said, on මාර්තු 20, 2011 at 12:06 ප.ව.

      බුරු බබා,
      පුවෙර්තො රීකෝ වලට off season වෙන්නෙ national hurricane center අනුව චණ්ඩමාරුත කාලයයි. ඒ ජූනි 1 වැනිදා සිට නොවැම්බර් 30 දා දක්වා. ඒ කාලයේ සංචාරකයෝ අඩු වුනාට අය කරන ගණන් අඩුවක් වෙන්නෙ නැහැ. මොකද නැව් රැඳවීම් ගාස්තු සහ රුවල් නැව් රක්ෂණය ගෙවන්න ඕන නිසා. ඔය කාලෙට ආපු චණ්ඩමාරුත වලට මුහුණ දීපු නිසා තමයි කැප්ටන් ගාසි‍යාගේ මේ රුවල් නැව වෙන්ටහේරෝ 4 වෙන්නෙ!! එක, දෙක හා තුන මුහුණ පෑ අවසන් ගමන් එකිනෙකට වෙනස්!

      රුවල් නැව් ගමන් සඳහා අය කරන ගාස්තු තීරණය කරන්නෙ දින ගණන, කී දෙනෙක් යනවා ද, මොන ආකාරයේ නිවාඩුවක් ගෙවනවා ද යන කරුණු කාරණා මත.

  19. නි ශ් said, on මාර්තු 22, 2011 at 7:19 පෙ.ව.

    ස්තූතියි අද තමා අවසන් කොටස් ටික කියවන්න ලැබුනේ. මමත් හිතින් ඔය චාරිකාව ගියා. අනාගතයේදි ( හැකි උනොත්) යන්න හිතන් ඉන්න දේශාටන ගොඩට පුවෙර්තො රීකෝ එක්කහුකරගත්තා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: