අරුණි ශපීරෝ‍ වෙතින්

ඔටුනු පැළඳි ‍ලෝකය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 28, 2011

විලියම්-කේට් මංගල්‍ය සමරනු වස් මෙසේ ලියමි!!!!

අධිරාජ්‍යවාදී හා රාජාණ්ඩු විරෝධී යැයි කියා ගන්නා වැඩි පිරිසක් ලෝකයේ ඉන්නවා ද? නැත්නම් එහෙම යැයි කියනා අය වැඩියෙන් ලොව සිටිනවා යයි අපි සිතනවා ද?

මෙන්න අද ලෝකයේ පවතින රාජාණ්ඩු සහ පරම ආණ්ඩු ගැන විස්තර ටිකක්.

රාජාණ්ඩුව (monarchy) නම් සියළු බලතල තනි පාලකයෙක් (monarch=single ruler) යටතේ පවතින රටක් ආණ්ඩු කරන ක්‍රමයකි. රජකම බොහෝවිට හිමි වන්නේ පරම්පරා උරුමයෙනි. උරුමයෙන් නොව සටන් බිමක දී රජකම අල්ලා ගත් පාලකයෝ ලෝක ඉතිහාසයේ සිටියහ. ඔවුන් හැඳින්වෙන්නේ ජනප්‍රිය රාජාණ්ඩු (popular monarchy) වශයෙනි. ‘රෝමවරුන්ගේ රජු’ එවැන්නක නිදසුනකි.

රජෙක් ඉන්නා රාජධානි වර්ග පරම රාජාණ්ඩු (absolute monarchy), ව්‍යවස්ථාදායක රාජාණ්ඩු (constitutional monarchy), ෆෙඩරල් රාජාණ්ඩු (federal monarchy) යනාදියයි.

අද ලෝකයේ රාජාණ්ඩු ඇති රටවල් 44 කි. එයින් 16 ක ඔටුන්න හිමි වන්නේ දෙවන එලිසබෙත් මහ රැජිනට ය. එහෙත් කිසිවෙක් එංගලන්තය අධිරාජ්‍යවාදී යැයි අද නොකියති!!!!

පරම රාජාණ්ඩුව (absolute monarchy) නම් ඔටුන්න හිමි අයගේ බලය වෙනත් කිසිම ව්‍යවස්ථා නීතියකින් සීමිත නොවී තිබීමය. පරම රාජාණ්ඩු තවමත් පවතින දේශයන් මෙසේය. බෲනෙයි (Hassanal Bolkiah -සුල්තාන්), ඕමාන් (Qaboos bin Said Al Said -සුල්තාන්), කටාර් (Hamad bin Khalifa AlThani -එමිර්), සවුදි අරාබිය (Abdullah bin Abdul Aziz -රජු), ස්වාසිලන්තය (Mswati III-රජු) සහ වතිකානුව (Pope Benedict XVI – මහරජු – Sovereign).

වතිකානුව මෙන් ම ඉරානය (Ali Khamenei -සුපිරි නායකයා -Supreme Leader) ද අයිති වන්නේ දේවාධිරාජ්‍යයන් (Theocracies) ට ය. ඒවායේ දී රටේ පාලනය රටේ ආගම අනුවත්, ආගමික සභාව මඟින් රටේ ප්‍රධානියා තීරණය කිරීමත් සිද්ධ වේ.

ඉරානයේ සුපිරි නායකයාට ඉරාන භූමියේ (2010 සංඛ්‍යා ලේඛන අනුව ජනගහණය 74,700,000) සඳහා ආගමික නීති පැනවීමට බලය තියෙද්දී වතිකානුවේ මහරජුට මුළු ලෝකයේ ම කතෝලික ආගමික බැතිමතුන් සඳහා (විකිපීඩියාවට අනුව ලෝක කතෝලික බැතිමත් ජනගහණය 6,442,583,922) ආගමික නීති පැනවීමට බලය ඇත් ද?

ව්‍යවස්ථාදායක රාජාණ්ඩු වල චාරිත්‍රානුකූල බලතල ඇති ඔටුන්න හිමි අය ඔහුගේ හෝ ඇයගේ බලය පාවිච්චි කරන්නේ ආණ්ඩුවේ කැමැත්ත ඇතිව ය. ආණ්ඩු බලයට පත්වන්නේ ජනතාව තෝරා පත් කර ගත් පිරිසකි.

එවැනි ව්‍යස්ථාදායක රාජාණ්ඩුවක වසර 59 ක් රජකමේ ඉන්නා දෙවන එලිසබෙත් මහ රැජින යටතේ ඇති රාජධානි 16: එක්සත් රාජධානිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, පැපුවා නිව් ගිනි, ජැමෙයිකාව, ඇන්ටීගා හා බාර්බුඩා, බහාමාස්, බාර්බඩෝස්, බෙලීස්, ග්‍රැනඩා, සෙන්ට් කිට්ස් සහ නේවිස්, සෙන්ට් ලුසියා, සෙන්ට් වින්සන්ට් හා ග්‍රැනඩින්ස්, සොලොමන් දූපත් හා ටූවාලු.

ඊ ළඟට ඉතිරිය මෙසේය: ඇන්ඩෝරා (Joan Enric Vives Sicília සමඟ Nicolas Sarkozy -සම කුමරුන්), බෙල්ජියම (දෙවැනි ඇල්බට් -රජු), කාම්බෝජය (Norodom Sihamoni -අධිරාජ්‍යයා), ඩෙන්මාර්ක් (Margrethe II -රැජින), ජපානය (අකිහිතෝ -අගරජ), ලෙසෝතෝ (Letsie III -රජු), ලක්ස්ම්බර්ග් (හෙන්රි -ග්‍රෑන්ඩ් ඩ්‍යුක්), මැලේසියාව (Mizan Zainal Abidin නොහොත් සම්පූර්ණ නාමය Al-Wathiqu Billah Tuanku Sultan Mizan Zainal Abidin Ibni Al-Marhum Sultan Mahmud Al-Muktafi Billah Shah -රජු නොහොත් Yang di-Pertuan Agong නමින් හැඳින්වෙන තනතුර), නෙදර්ලන්තය (Beatrix Wilhelmina Armgard -මහරැජින), නොර්වේ (පස්වැනි හරාල්ඩ්), ස්පාඤ්ඤය (Juan Carlos I -රජු), ස්වීඩනය (Carl XVI Gustaf -මහරජ) සහ තායිලන්තය (වසර 64 ක් රජකමේ ඉන්නා Bhumibol Adulyadej නොහොත් Rama IX).

ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් තිබිය දී, අගමැතිවරයෙක් සිටිය දී, ඔටුන්න හිමි අයට දේශපාලන බලය කැමති පරිදි පාවිච්චි කළ හැකි රාජාණ්ඩු මෙසේය. බහ්රේන් (Hamad ibn Isa Al Khalifa -රජු), භූටාන් (Jigme Khesar Namgyel Wangchuck -රජු), ජෝර්දාන් (දෙවැනි අබ්දුල්ලා -රජු), කුවෙයිට් (Sabah Al-Ahmad Al-Jaber Al-Sabah -එමිර්), ලීෂන්ස්ටයින් (Hans-Adam II නොහොත් Johannes (Hans) Adam Ferdinand Alois Josef Maria Marko d’Aviano Pius von und zu Liechtenstein -කුමරු), මොනාකෝ (දෙවැනි ඇල්බට් නොහොත් Albert Alexandre Louis Pierre Grimaldi -කුමරා), මොරොක්කෝ (Mohammed VI -රජු), ටොන්ගා (George Tupou V -රජු), එක්සත් අරාබි එමයිරේට්ස් (Khalifa bin Zayed Al Nahyan -ජනාධිපති).

ඔය ලැයිස්තු වල නම් තියන අය ඉස්සරහා දී ඔවුන් සිටගෙන සිටිනවා නම් අවසර නැතිව තමන්ට වාඩි වෙලා ඉන්න බැහැ. ඒ ඒ අයගෙ සම්ප්‍රදාය අනුව ආචාර සමාචාර කරන්න ඔවුන් හමුවන්න කලින් පුහුණුවකුත් ලැබෙනවා. බිල් ගේට්ස් ඉදිරියේ දී නම් ඉන්න පුටුවෙන් නැඟිටින්නෙ නැතිව එයාව තුට්ටුවකට ගණන් නොගෙන ඉන්න පුළුවන්!!! ඔබාමා ඉස්සරහා දී ත් කැමති කෙනෙක් එහෙම කළාට නීතියෙන් දඬුවමක් නැහැ.

මහජන චන්ද විමසීමකින් තොරව, ආණ්ඩුව හා පාලන පක්ෂය විවේචනය කරනු නොහැකි, එක දේශපාලන පක්ෂයකට පමණක් බලය ඇති පරම ආණ්ඩු රටවල් මෙසේය. කියුබාව (කොමියුනිස්ට් පක්ෂය -රාවුල් කැස්ත්‍රො -ජනාධිපති), උතුරු කොරියාව (කම්කරු පක්ෂය -කිම් යොන්ග්-ඉල් -සුපිරි නායකයා), ඉරිත්‍රියාව (Isaias Afewerki -ජනාධිපති), ලාඕස්, ලිබියාව (මුමාර් ගඩාෆි -අරගලයේ මඟපෙන්වන්නා හා නායකයා), චීන සමූහාණ්ඩුව (Hu Jintao -චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයා සහ ජනාධිපති), සිරියාව (Bashar al-Assad -ජනාධිපති), ටර්ක්මෙනිස්තාන් (Gurbanguly Berdimuhamedow -ජනාධිපති), වියට්නාමය (Nguyễn Phú Trọng -මහ ලේකම්, චීන කොමියුනිස්ට් පක්ෂය).

හොස්නි මුබාරක් එළවා දැමූ මිලිටරි ජුන්ටා පාලන ක්‍රමය ඇති ඊජිපත්තුවේ Mohamed Hussein Tantawi -මිලිටරි හමුදා‍වන්හි සුපිරි කවුන්සිලයේ සභාපති වෙයි. මිලිටරි ජුන්ටාවක් සමඟින් පාර්ලිමේන්තු ජනරජයක් ඇති ෆීජි හි Epeli Nailatikau ජනාධිපතිවරයා ය. එහෙත් තවමත් දෙවැනි එළි‍සබෙත් රැජින ද එහි Paramount Chief නාමයෙන් පිදුම් ලබන්නී ය.

උපත්තිය නිසා විශේෂ සැලකිලි නොලැබී හැමටම පොදුවේ “ඔබ දැන් රටේ පුරවැසියෙක්, ඔබට චන්දය ප්‍රකාශ කරන්න සහ ආණ්ඩුව විවේචන කරන්න නිදහස තියනවා” කියන රටවල් ලෝකයේ කොච්චර හිඟ ද?

මේ තරම් පිරිසක් ඔටුනු පළඳින ලෝකයේ දී, බලහත්කාරයෙන් පුරවැසියන් පාලනය කරන ලෝකයේ දී, යටත් විජිතයක් නැති, වසර හතරකින් පසු ගෙදර යවත හැකි ජනාධිපතිවරයෙක් ඉන්නා ‘ඇමෙරිකන් අධිරාජ්‍යවාදයක්’ ගැන කතා කරන්නේ මන්ද?!!!!!

ඔය සියළු බල ලෝභී පාලකයෝ ඉන්නවා මදිවාට අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයකුත් පත් කරගෙන ඇත්තෙමු. ඔවුන්ට අයත් භූමියක් නැත. පුරවැසිකම කියන ජනකොට්ඨාශයක් නැත. ඒත් භූමි අයිතිය ඇති අයට නීති දැමිය හැකිය. ජනකොට්ඨාශ වලට බලපෑම් කළ හැකිය. චීනයට හා රුසියාවට නොකරන බලපෑම් දුප්පත් ශ්‍රී ලංකාවට කළ හැකිය!!!

පැය දස දහසක රීතිය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 27, 2011

බිල් ජෝයි මිචිගන් විශ්ව විද්‍යාලයට යන්නේ වයස 16 දී ය. එහි නව කොම්පියුටර් සෙන්ටරය පටන් ගත් වසර වූ 1971 දී ය. පළමු වසර සිසුවෙක් හැටියට ඔහු අහම්බෙන් කොම්පියුටර් සෙන්ටරයට ගොඩ වැදෙයි. එදා පටන් පරිගණක ලෝකය ඔහුගේ ලෝකය ද වෙයි.

Sun Microsystems සම නිර්මාතෘ, බර්ක්ලේ විශ්ව විද්‍යාලයේ UNIX Operating System, Java programming language, Jini / JavaSpaces, JXTA, SPARC,vi, NFS, csh, BSD සහ Solaris යනාදියට ඔහු ප්‍රසිද්ධිය උසුලයි.

1970 ගණන් වල දී ජෝයි පරිගණක ගැන ඉගෙන ගනිද්දී ඒවා කාමර තරම් විශාල වූ ඒවාය! එක පරිගණකයක්, අද වයර්ලස් ෆෝනයකට වඩා අඩු හැකියා වලින් යුතු වූ අතර මිල ඩොලර් මිලියන ගණනකින් විය. ඒ නිසා පරිගණක දුලබ ය. පරිගණකයක් හොයා ගත්තොත් එය පාවිච්චියට ඉඩක් ලබා ගැනීම දුෂ්කර ය. පාවිච්චියට ඉඩක් ලබා ගත්තොත් ඊට ලැබෙන කාලයට මහත් වියදමක් දරන්නට වෙයි.

මිචිගන් විශ්ව විද්‍යාලයේ කොම්පියුටර් සෙන්ටරයේ දී සිසු සිසුවියනට කොම්පියුටර් පාවිච්චියට අවසර ලැබුනේ පැයක කාලයකි. කවුදෝ සිසුවෙක් ‘කාලය සමානයි’ සහ අකුරක් යොදා ගැනීම මඟින් (t=k) කැමති කාලයක් එය පාවිච්චි කරත හැකි බව සොයාගෙන තිබුණි. බිල් ජෝයි වැඩි කාලයක් ගෙව්වේ කොම්පියුටර් සෙන්ටරයේය.

මිචිගන් විශ්ව විද්‍යාලයේ දී පැය අටක් හා දහයක් අතර කාලයක් කැප කරන බිල් ජෝයි පශ්චාත් උපාධිය සඳහා බර්ක්ලේ විශ්ව විද්‍යාලයට ගිය විට දිවා රෑ ඊට ‍කාලය යොදවන ලදි. පාසැලේ දී පරිගණකය නොදත් හේ විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා පශ්චාත් උපාධි සමයේ දෙවන වසර වෙද්දී අද දිනයේ ද භාවිතා කෙරෙන පරිගණක තාක්ෂණය ඉදිරිපත් කරන්නට සමත් වෙන්නේ කොහොම ද?

ඔහු තමන් පරිගණකය හඳුනා ගත් දිනයේ සිට අළුත් ඉදිරිපත් කිරීමක් ‍ලොවට දායාද කරන්නට ගෙවී ගිය කාලය පැය දස දහසක් පමණ යැයි ගණන් බලා කියයි. තවත් විදියකින් කිව්වොත් බිල් ජෝයි දක්ෂයෙක් වන්නේ එම ක්ෂේත්‍රයට පැය දස දහසක් කැප කිරීමෙනි.

බීට්ල්ස් සංගීත කණ්ඩායමේ කතාව ද එසේම ය. ජර්මනියේ හැම්බර්ග් නුවර නයිට් ක්ලබ් වල වැඩියෙන් සංගීතය සැපයුනේ එංගලන්තයේ ලිවර්පූල් වලින් ආ කණ්ඩායම් වලිනි. ගෙවූ මුදල් එතරම් ඉහළින් නොවීය. සංගීතය වාදනය වූ සමාජ ශාලා ශබ්ද ශ්‍රවණය මනාව බෙදාහරින්නට ඉදි කරන ලද ගොඩනැඟිලි නොවීය. ප්‍රේක්ෂකයෝ සංගීතය අගය කළ හෝ ඒ ගැන හොඳින් දත්තෝ නොවූහ.

ලිවර්පූල් හි පැයක සංදර්ශනයක් පවත්වන්නට හුරු වී සිටි ඔවුන් ඒ පැයේ දී ප්‍රදර්ශනය කළේ ඔවුන්ගේ වඩාත් ම හොඳ සංගීතයයි. හැම සංදර්ශනයකම එකම සංගීත එකතුවක් ඉදිරිපත් කළහ. එහෙත් හැම්බර්ග් යන ඔවුනට පැය අටක් සංගීතය සපයන්නට නියම වුණි. ඒ නිසා එකම සංගීත එකතුව නැවත නැවත ඉදිරිපත් කරනවාට වඩා වේදිකාවේ ම අළුත් සංගීතය නිපදවීම ඔවුනට නොකර බැරි කාර්යයක් විය.

පැය අටක් බැගින් සතියේ දවස් හතම ඔවුන් සංගීතය සැපයීය. 1960 සිට 1962 දක්වා බීට්ල්ස් කණ්ඩායම පස් වතාවක් හැම්බර්ග් ගියහ. පළමු වතාවේ ඔවුන් සංදර්ශන 106 ක්, එකක් පැය පහකට වඩා කාලයක් වූ, පැවැත්වූහ. දෙවැනි වතාවේ ඔවුන් සංදර්ශන 92 ක් පැවැත්වූහ. රෑ 12:30 ට අවසන් කළ ප්‍රදර්ශන පසුව උදෑසන දෙක දක්වා ඇදී ගියහ. තුන්වැනි වතාවේ ඔවුන් සංදර්ශන 48 ක් (වේදිකාවේ ගෙවූ මුළු කාලය පැය 172 ක්) පැවැත්වූහ. හැම්බර්ග් පැවැත්වූ අවසාන සංදර්ශන දෙක තවත් පැය 90 ක කාලයක් ගත්තේ ය. වසර දෙකහමාරක් ඇතුලත ඔවුන් රාත්‍රී 270 ක් සංගීතය සපයා ඇත.

1964 දී ඇමෙරිකාවේ චාරිකාවකින් සංගීත ලෝකය අල්ලා ගනිද්දී ලිවර්පූල් වලින් ආ ඒ පස්දෙනාගේ සංගීත කණ්ඩායම, ඒ වනවිට සජීවී සංදර්ශන 1200 ක් පවත්වා තිබුණි. අද දිනයේත් එතරම් වාර ගණනක් සජීවි සංදර්ශන පවත්වා ඇති සංගීත කණ්ඩායමක් සොයා ගැනීම අසීරු ය.

ඔවුන්ගේ ජයග්‍රහණය හුදු හැකියාව නිසා පමණින් ලැබුණා නොව ඊට කරන ලද කැපවීමෙන් ද අත්වූවකි.

බිල් ගේට්ස් උපාධිය අතහැර ගියෙක් සේ ලෝකයා දකියි. එහෙත් උපාධිය නැමති සහතිකය නොසොයන බිල් ගේට්ස් කැප කළේ දැනුම සොයන්නට කාලයයි. 1971 දී මාස හතක කාලයක් තුල Information Sciences, Inc. නොහොත් ISI හි දී බිල් ගේට්ස් ඇතුළු සගයෝ පැය 1,575 ක් ගෙවා දැමූහ. එනම් දවසකට පැය අටක් බැගින් සතියේ දවස් හත පුරා ඔවුන් පරිගණ‍ක සොයා ගැනීම් වලට කාලය වැය කළහ. ඔවුන් එදා සතියේ දවස් හතක්, දවසකට පැය අටක්, පරිගණකයේ හිටියේ අන්තර්ජාලයේ මිතුරු හමුවට නොවේ!

බිල් ගේට්ස් උපාධිය හැර දා යන්නේ ඉතිහාසය, ඉංග්‍රීසි වැනි උපාධියට අනිවාර්ය විෂයයන්ට කාලය කැප නොකර තනිකරම පරිගණකයට කාලය කැප කරනු සඳහා ය. දෙවැනි වසරෙන් හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ඉවත් වී තම පරිගණක ආයතනය පටන් ගනිද්දී බිල් ගේට්ස් පරිගණක programming සඳහා නොකැඩී වසර හතක් කැප කර තිබුණි. එනම්, ඔහු පැය දස දහසකට වඩා කාලයක් කැප කර තිබුණි.

ඔබගේ ජීවිතයේ පැය දස දහසක් කැප කර ඉගෙන ගත් දැයක් තිබෙනවා ද?

ඔබ ඉගෙන ගත්තේ අ.පො.ස. සහතික හා උපාධි සහතික ලබා ගැනීමට පමණක් ද?

ඔබ සොයන්නේ කුමක් ද? ඔබට ලැබෙන්නේ ද එයයි.

බිල් ජෝයි, බීට්ල්ස්, බිල් ගේට්ස් සහ පැය දස දහස රීතිය ගැන විස්තර Malcolm Gladwell ලියූ OUTLIERS (2008) පොතෙනි. පින්තූර විකිපීඩියාවෙනි.

සුබ පාස්කු! සුබ මැයි දිනයක්! නිරුප්‍රදිත ගමනක්!

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 26, 2011

ගෙවී ගියේ පාස්කු සති අන්තයයි. මට ‘කිරියෙන් පැණියෙන් පිරී ඉතිරී යන සුබ අළුත් අවුරුද්දක්’ ටික දිනකට ඉහත දී පැතූ මගේ කතෝලික මිතුරාට ‘සුබ පාස්කු!’ යැයි ලියා යැව්වෙමි. හැරුණු තැපෑලෙන් ආ ප්‍රශ්නය වූයේ ‘ඔබ පාස්කු සමරනවා ද?’ යන්න ය.

තමන් සමරනුයේ නැති උත්සවයක දී, එය සමරන්නාට සුබ පතන්න කෙනෙකුට අවසර ඇත් ද?!!!

මම විශ්වාස නොකළ පමණින් විශ්වාස කරන්නාගේ විශ්වාසයට සුබ පැතීම වරදක් ද?!!!

හැම දිනයක් ම නව දිනයක්, නව ආරම්භයක් සේ සලකන මට හැම උදෑසනක් ම ‘කිරියෙන් පැණියෙන් පිරී ඉතිරී යන’ පටන් ගැනීමක් නිසා මම එක දිනයක් වෙන් කරගෙන සුබ අළුත් අවුරුද්දක් කියා වැඩ පටන් ගන්නේ නැත.

හැමදාම මට ‘ආදරවන්තයන්ගේ දිනය’ නිසා එක දවසක් මල් හා චොකලට් වලට වෙන් කරන්නේ නැත!!!

මම කරන කියනා දේ ‘දෙවියන් වහන්සේ’ තක්සේරු කර බලා අගයන් දෙනවා යැයි මම විශ්වාස නොකරමි. දෙවියන් නැතැයි කියනා අයගේ දුර්වල තර්කය ඉදිරියේ දෙවියන් ඇතැයි කියන්නට මා ඉදිරිපත් නොවෙමි. එහෙත් එසේ යම් අයෙක් විශ්වාස කරනවා නම් මට ඒ අය හා භේදයක් නැත. ඒ අය තමන්ට කැමති පරිදි විශ්වාස කරගෙන සිටින්නට මගෙන් තහනමක් නැත්නම් විශ්වාස නොකරන්නට එපා යැයි මට තහනමක් ඔවුන් දැමිය යුතු ද?

ළඟම ඥාතී වන පුතෙක් ලුතිනන් කර්නල්වරයෙක් ලෙසින් හෙට අනිද්දා ඇෆගනිස්තානය බලා යුද්ධයට පිටත් වෙයි. යුද්ධය නවත්වනවා කියූ නිසා රටේ ජනතාව පත් කරගත් ඔබාමා එය නවතා නැත. ඒ මදිවාට තවත් යුද්ධයක් ද පටන් ගෙන ය.

විදේශ යුද මෙහෙයුම් වලින් අහක් වී, දැනට ඉන්නා සියළු හමුදාවන් ආපහු කැඳවනවා යයි කියන 2012 ජනාධිපති අපේක්ෂකයා, ග්‍රෙ ජොන්සන්ට ප්‍රසිද්ධ මාධ්‍යයෙන් කිසි සහයක් නැත. ප්‍රසිද්ධ මාධ්‍යය තවත් නළුවෙක් විකුණාගෙන කයි. නමුත් අන්තර්ජාලයේ ජොන්සන් ගැන වැඩි වැඩියෙන් කතා බහ ඇරඹී ඇත.

බුෂ් යුද වදිද්දී ඊට තරයේ විරුද්ධ වූයේ ඇමෙරිකන් වමේ මාධ්‍යයයි. අද ඔබාමා යුද නවතා නොදමද්දී ඊට කිසිත් නොකියා, ලිබියාවේ ඇමෙරිකන් සහභාගීත්වය සාධාරණීය කරන්නේ ද ඇමෙරිකන් වමේ මාධ්‍යයයි. අධිරාජ්‍යවාදයට බැන වදින ඇමෙරිකන් වාමාංශිකයා ලිබියාවේ ඒකාධිපතියාව එළවන්නට ඇමෙරිකාවේ ඒකාධිපතියෙක් හදන්නට පිට කහමින් දුම් පිඹති. එහෙත් යුද නවතා දමන්නට ඕනෑ යයි කියන ජනාධිපති අපේක්ෂකයා ගැන සඳහන් කිරීම ඇමෙරිකන් වම අද අමතක කරති.

වාමාංශික ඔබාමා පරදවන්නට දත් කූරු කන ඇමෙරිකන් ක්‍රිස්තියානි දකුණ ජොන්සන් සමරිසි විවාහ වලට අමනාප නැති නිසා ඔහුගේ නම පවා සඳහන් නොකරති. නමුත් රට තුල විවාහයේ අලංඝනීය බව අදහන ජනගහණය වසරින් වසර අඩු වෙන බව නොදකිති. ජොන්සන් නම සමඟ සෙන් ඇදහිලි ගැන කියවෙද්දී පහුගිය කාලය තුල සංක්‍රමණිකයන් වැඩියෙන් ඇතුල් වූයේ චීනයෙන් හා ඉන්දියාවෙන් බව මතක් වී සිනාවක් මුව පුරා පැතිර යයි. ඒ දකුණ ක්‍රිස්තියානි බැතිමතුන්ට පමණක් අයිති නැති නිසා ද, වම අධිරාජ්‍යවාදය ප්‍රතික්ෂේප කරන අයට පමණක් අයිති නැති නිසා ද වේ.

යුද්ධය තරයේ හෙළා දකිමින් මයිකල්ට නිරුප්‍රදිත ගමනක් පතමි!

ඉතිහාසයේ පටන් යුද්ධ ඇති වූයේ තමන් කැමති නිසා අනුන් ද තමන්ගේ කැමැත්ත කළ යුතුම ය යන මතයේ පුද්ගලයෝ එල්බ සිටි නිසා ය. තමන් හොඳ හැදියාවෙන් යුතු වී අනුන්ට ද පිහිට වන ක්‍රිස්තියානි හුරුව අගය කරමින් දෙවියන් පිළිනොගන්නට ඉඩක් නැතැයි ද, අධිරාජ්‍යවාදය හා ඒකාධිපතියෝ හෙළා දකිමින් සමාජවාදය පිළි නොගෙන ඉන්නට ඉඩක් නැතැයි ද, යුද්ධයට අකමැති වී සොල්දාදුවාට සුබ පතන්නට ඉඩක් නැතැයි ද යන විශ්වාස වල පුද්ගලයා තරයේ එල්බ ගෙන සිටිනා නිසා ය.

බුද්ධාගමේ අන්‍ය මතධාරීන්ට ඉඩක් තිබුණ ද අනිත් ආගම් වල බුද්ධාගමේ මතයට ඉඩක් නැත. මේ කියන්නේ අද ලංකාවේ ප්‍රචලිත බුද්ධාගම ගැන නොවේ!! අද ලංකාවේ සිංහල ප්‍රසිද්ධ මාධ්‍යය සහ අන්තර්ජාලයෙන් දකින්නේ වැඩි වැඩියෙන් බෙදුම්වාදී වූ ආගමික අදහස් ය.

ධනවාදයේ සමාජවාදීන්ට ඉඩක් තිබුණ ද සමාජවාදයේ ධනවාදීන්ට ඉඩක් නැත. එහෙත් අද ඇමෙරිකාවේ වැඩි ඉඩක් ඇත්තේ සමාජවාදීන්ට ය. අද රුසියාවේ පාලක පක්ෂපාතී ධනවාදීන්ට වැඩි ඉඩක් තිබිය දී සාමාන්‍ය පුරවැසියාට ධනවාදී වන්නට ඉඩක් නැත.

ඇමෙරිකාවේ යුද්ධය හෙළා දකිමින් සොල්දාදුවන්ට මුහුණට කෙළ ගැසූ කාලයකින් පසු යුද්ධය සොල්දාදුවාගේ වරද නොවන බව පුරවැසියා වටහා ගත්තේ ය. යුද්ධයට අකැමති නිසා සොල්දාදුවන්ගේ වැරදි පෙන්වන හෝ හොඳ පමණක් කියන කොටස් දෙකට වඩා සොල්දාදුවන් පැත්තකට දමා යුද්ධය ආරම්භ කරන අය ගැන කතා කරන්නට ඕනෑ බව වටහා ගති. නමුත් අද දේශපාලන පැතිවාදී වී එය නොකරති.

මැයි 1 දා බී. ආර්. සී. පිටියේ දී, මැයි දින පෙළපාලි වල හැමදා දැකි දෑ කැත්ත හා මිටියට අමතර ව දැන් එකතු වී ඇති සීනුවට, අද නිදහස් අරගල දියත් කෙරෙනවා කියන මුහුණු පොතේ ලාංඡනය එකතු වෙයි ද?!!!!!!!!! මුහුණු පොත ඇමෙරිකන් නිසා එකතු වන්නේ පරිගණක පුවරුවක් ද? පරිගණක පුවරුව එකතු වන්නේ නූතන ශ්‍රමික බලකාය, දෑ කැත්තෙන් කරන වගා සංග්‍රාමය සහ මිටියෙන් කරන කාර්මික සංග්‍රාමය වෙනුවට, යතුරු පුවරුවෙන් කරන සේවා සංග්‍රාමය නිසා ද? නැතහොත් ප්‍රසිද්ධ මාධ්‍යයේ හා ඒකාධිපති ආණ්ඩු වලින් බැහැර වූ නිදහස් ලෝකයක් කරා පරිගණක යතුරු පුවරුවට යා හැකි නිසා ද?

අද පිටරට වල හා තම රටේ දුක් ගැහැට විඳිමින් ඉන්නා ලාංකික ශ්‍රමිකයෝ ගැන අවධානයට වඩා මැයි දින පෙළපාලි වල සිද්ධ වනුයේ නිල් පාටිය එක්සත් ජාතීන්ට බැන වැදීමත්, කොළ පාටිය (තමන් ඇතුලත ඉන්නා ඒකාධිපතියා එළවා දමන්නට නොහැකිව තිබිය දී) ඒකාධිපතියෙක් එළවා දැමිය යුතු යැයි කීමත්, රතු පාටිය (ප්‍රථම වරට වාමාංශික ජනාධිපතිවරයෙක් මුලසුන ගත්) ඇමෙරිකාවේ ඇතැයි සිතනා (වාමාංශික රටවල නැතැයි සිතනා) ඒකාධිපත්‍යයට හා අධිරාජ්‍යවාදයට බැන වැදීමත් ද?

තෝරා බේරා ගන්නට බැරි තරම් අවුල් වෙමින් යන ලෝකයකට අපි ‍පිවිසෙන්නෙමු ද?

එයින් සාමය හා සතුට බෙදා හදා ගන්නවා වෙනුවට තව තවත් අපි පැතිවාදී වෙන්නෙමු ද?

ඔබට හානියක් නොවනවා නම්, ඔබේ කැමැත්ත අදහන්නට මා ඔබට ඉඩ දෙන්නේ නම් මගේ කැමැත්ත අදහන්නට ඔබ මා හට ඉඩ නොදෙන්නේ ඇයි?

සුබ පාස්කු!

සුබ මැයි දිනයක්!

නිරුප්‍රදිත ගමනක්!

තල්මස් සිංදු හා ආශා වෝස්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 24, 2011

දශකයට වඩා කාලයක් තුල දී humpback තල්මස් 775 කගේ රෙකෝඩ් කරන ලද පැය සිය ගණනකට අධික සංගීතය අසා South Pacific Whale Research Consortium හි ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් විසින් තීරණය කරන්නේ උන් සංගීතය නිෂ්පාදනය කර ලෝකය පුරා බෙදා හරින බව යි.

සංගීතය ගයන්නේ පිරිමි humpback තල්මසුන් විසිනි. එකම කණ්ඩායමක ජීවත්වන තල්මසුන් එකම සංගීතය ගයති. ගෙරවිලි, කෙඳිරිලි හා ඈඬියාවන් වලින් සකස් වෙන සංගීතය යටි ගිරියෙන් කෑ ගැහීමක් දක්වා ස්වර උස් පහත් වෙමින් නිපැදවෙන්නකි. මෙසේ නිපදවන ශබ්දයන් පද මාලාවක් සේ සකස් කර ගනිති. උන් මේ පද මාලා සංගීතය පැය භාගයක කාලයක් නැවත නැවත ගයති.

එක කණ්ඩායමක සංගීතය තවත් කණ්ඩායමක් විසින් අසා ඊ ළඟට උන් ද එය ගයන්නට පටන් ගනියි. කණ්ඩායමක් නිපදවන අළුත් සංගීතය මඳ වෙනස් වීම් වලට භාජන‍ය වෙමින් උන් අළුත් කණ්ඩායම හා බෙදා ගනිති. අළුත් සංගීතයක් නිෂ්පාදනය වූ කල, නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ සිට කි. මී. හයදාහක් දුරක ඇති ප්‍රංශ පොලනීසියාවට එය වසර දෙකක් ඇතුලත උන් කණ්ඩායමින් කණ්ඩායමට පාස් කර යවති.

ඉහත විස්තරය විද්‍යා හා පරිසර වාර්තාකරණයේ යෙදෙන Victoria Gill විසින් බී.බී.සී. සේවයට කරන ලද ප්‍රවෘත්තියකිනි.

තල්මස් සංගීතය නිපදවන්නෙ හුදු රස වින්දනය සඳහා පමණක් ද, නැතහොත් ඔවුන් රහස් පණිවුඩ යවනවා ද යන්න ගැන අනාගතයේ දී දැන ගන්නට ලැබෙනු ඇත!!!

Orcas තුන් දෙනෙක් විසින් දැවැන්ත රැල්ලක් නිපදවා සීල් මත්ස්‍යයෙක් අයිස් කුට්ටියක් මතින් වතුරට ඇද දාපු හැටි විඩියෝව මෙන්න.

දැවැන්ත මත්ස්‍යයන් නරඹන්නට යන මිනිසා උන් ගැන වැඩිය නොදන්නා බව මතකයේ තබා ගත යුතුයි!!!

ආශා වෝස්ගේ ශ්‍රී ලාංකික නිල් තල්මස් අධ්‍යයනය ගැන ඔස්ට්‍රේලියන් රූපවාහිනි විකාශය

කියවන්නට බැරි මොළය නිසා …

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 22, 2011

මොළයේ හැඩ ගැසීම කියවන්නට නොවේ. කියවන්නට ජානු හෝ කියැවීම සඳහා පමණක් හැඩ ගැසුණු ශාරීරික අංගයන් මිනිසාට නැත. මොළයේ කියැවීම සඳහා වෙන් වූ මධ්‍යස්ථානයක් නැත. ඒ නිසා ‘කියවන්නට බැරි ලෙඩ’ කියා යමක් ඇතැයි කියනු නොහැකි ය!

කුඩා කාලයේ දී අනිත් දරුවන් විලසින් කියවන්නට‍ නොහැකි වූ අයගේ ලැයිස්තුවක් මෙන්න: ඇල්බට් අයන්ස්ටයින්, ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්, තෝමස් එඩිසන්, ලියනාඩෝ ඩා වින්චි, වෝල්ට් ඩිස්නි, ඇන්ඩි වොර්හොල්, පිකාසෝ!!

ජැකී ස්ටුවර්ට් නොහොත් ‘පියාඹන ස්කොට් ජාතිකයා’ නොහොත් සර් ජෝන් යන්ග් ස්ටුවර්ට් යනු ග්‍රාන්ඩ් ෆ්‍රී තරඟ 27 ක් දිනා ගත් මෝටර් රේස් ධාවන ශූරයෙකි. ඔහු මෝටර් රේස් ධාවන ශූරයෙක් නොවූයේ නම් මැරවරයෙක් වී සිරගත වෙන බව සහතික යැයි වරක් ඔහු ප්‍රසිද්ධියේ කියා සි‍ටියේය. ඔහු පාසැල් කාලයේ දී කියවන්නට නොහැකි වූ නිසා දස වද විඳි අයෙකි.

අප දන්නා තවත් කුඩා කාලයේ දී අනිත් අය සේ කියවන්නට බැරි මොළ තිබෙන අය මෙසේය: Charles Schwab (Schwab), Johnny Depp (actor), Keira Knightley (actress), Paul Orfalea (Kinko’s), David Neeleman (CEO-JetBlue), John Chambers (CEO-CISCO), David Boies (trial lawyer), John Irving (writer). දැන් අනිත් රටවල අද ඉන්නා තව අය කවුදැයි අහන්න එපා. මම දන්නේ නැහැ. ඇමෙරිකාවේ වගේ අනිත් රටවල අය වැඩියෙන් තමන්ගෙ අඩුපාඩුකම් ලෝකයට කියන්න යන්නෙත් නෑනේ!!

මේ අයට තියන මොළ වලට ලිඛිත යමක් කියවා අවබෝධයට අනිත් අයට වඩා වැඩි කාලයක් ගතවෙයි. එනම් සාමාන්‍ය පුද්ගලයෙක් වචනයක් කියවන්න තත්පර භාගයක් ගනිද්දී මේ අයට ඊට කාලය කොතරම් තිබුණත් මදි ය. එනම්, කොච්චර කාලයක් දුන්නාට එය හරියට අනිත් අයෙකුට සේ ක්ලික් වෙන්නේ නැත.

fMRI පින්තූරයේ දැක්වෙන්නේ කියවන්නට උත්සාහ ගන්නා මොළයක් කියවද්දී සෛල ඇරෙනා රසායනික ක්‍රියාවලියන් සිදු වෙන පැති සහ කියවන්නට බැරි මොළයක එය නැති ආකාරයත් ය.

සමහර විට අනිත් අය පාවිච්චි කරන පෙදෙස් නොව වෙනත් ස්ථානයන් මේ අය පාවිච්චියට ගනියි. වම්පස හා දකුණු පස දෙකම පාවිච්චිය වෙනුවට දකුණු පස පමණක් කියැවීමට ගනියි. සමහර මොළ වස්තුවක් (object) පහසුවෙන් හඳුනා ගනිති. එහෙත් අක්ෂරයක් හඳුනා ගන්නට වෙහෙසක් ගනියි. සමහර විට අක්ෂර හඳුනා නොගනියි.

කියවන වේගය මනින විභාගයන් ඇත. ඒවා rapid automatized naming (RAN) සහ rapid alternating stimulus (RAS) නම් වලින් හැඳින්වෙන අතර විභාග භාෂාව ඉංග්‍රීසියෙනි.

ඊ ළඟට මෙම පර්යේෂණ තවමත් ඇත්තේ මූලික අවදියක නිසා, විවිධ රටවල විවිධ භාෂා කතා කරන අය අතර ඇති විෂමතා දැන ගැනීමට අපිට තව කාලයක් බලා සිටින්නට සිදු වෙයි.

චීන කියවන්නට බැරි මොළය ඉංග්‍රීසි කියවන්නට බැරි මොළයට වඩා වෙනස් ය. හොංකොං චීන කියවන්නට බැරි මොළය මැන්ඩරින් හා කැන්ටොනීස් චීන කියවන්නට බැරි මොළයට වඩා වෙනස් ය. චීන අක්ෂර කියවන්නට මතකයෙන් වඩා සහාය අවශ්‍යයය. චීන භාෂාව හදාරන දරුවන් මැන්ඩරින් හා කැන්ටොනීස් අක්ෂර ධාරණය පහසු කිරීම සඳහා නැවත නැවත ලිවීම සඳහා මහත් කාලයක් යොදවති. එහෙත් ඉංග්‍රීසි හා සිංහල භාෂාවේ එන ක්‍රියාපද වරනැඟීමක් (verb conjugation) ඉගෙනීම ඔවුනට අවශ්‍ය නැත.

ස්පාඤ්ඤ, ජර්මන්, ෆින්ලන්ත, ඕලන්ද, ග්‍රීක, හීබෲ හා ඉතාලි භාෂාවන් decode කරන්නට ගත වන කාලය අඩු හෙයින් ඒ භාෂාවන් හසුරුවන අය අතර කියවන්නට බැරි මොළ සමානුපාතිකව අල්පයකි.

සිංහල භාෂාව ගැන එවැනි විමර්ශනයක් කවුරුන් හෝ පටන් ගෙනදැයි නොදනිමි. ලාංකික විශ්ව විද්‍යාල පාඨමාලා ගැන අන්තර්ජාලයේ සැරිසරා එවැන්නක් ඇති බව සොයාගත නොහැකි විය. සමහර විට ලියා ඇති විදිය ඒ ආකාරයෙන් ම උච්චාරණය කරන භාෂාවක් නිසා එය මොළයකට හඳුනා ගැනීමට හා decode කරන්නට පහසු ඇති. සිංහල භාවිතා කරන වැඩි දෙනෙක් ව්‍යාකරණ ගැන නොදන්නේ, එය වටහා ගැනීමට තරම් දුෂ්කර වූ decoding අවශ්‍ය වෙන නිසා වන්නටත් පුළුවන!!!

මොළ වර්ධනය ගැන පවතින මිථ්‍යා සහ ඇත්ත ඇති සැටිය:

Myth: උප්පත්තියේ දී හෘදය හා ආමාශය සේ මොළය ද සම්පූර්ණයෙන් වැඩී ඇත.
Fact: උප්පත්තියේ දී මොළයේ බොහෝ සෛල වැඩී තිබුණත්, සෛල අතර සම්බන්ධතා ඇති වී මොළ සෛල වැඩි ප්‍රමාණයක් ඇරෙන්නේ අතදරු කාලයේ හා ළදරු කාලයේ දී ය.

Myth: මොළයේ වර්ධනය සම්පූර්ණයෙන් රඳා පවතින්නේ ලබා උපන් ජානු මත ය.
Fact: මුල් අත්දැකීම් හා දරුවාගේ පරිසරය මොළය වර්ධනය කරන වඩාත්ම වැදගත් සාධක වෙති.

Myth: මාස 10-23 ත් අතර දරුවෙක්ගේ මොළය විශ්ව විද්‍යාල සිසුවෙකුගේ මොළයට වඩා කාර්ය බහුල බවින් අඩු ය.
Fact: අවුරුදු 3 ක දරුවාගේ මොළය වැඩිහිටියෙකුගේ මොළයට වඩා දෙගුණයක් වැඩියෙන් කාර්ය බහුල ය.

Myth: කියනා කිසිම දෙයක් වැටහෙන්නේ නැති නිසා පුංචි බබාට කතා කිරීමෙන් ඵලක් නැත.
Fact‍: අවධානයෙන් සවන් දීම වඩාත් පහසු (බාහිර සිතුවිලි නළියන්නෙ නැති මොළයේ) අවධියක බබාට කතා කිරීම ඉතා වැදගත් වන්නේ භාෂාව හැසිරවීමේ නිසි පදනම එයින් ලබාදෙන නිසා ය.

Myth: අධ්‍යාපනික සෙල්ලම් බඩු හා විශේෂ උපකරණ මඟින් මොළයේ හැකියාව වර්ධනය දියුණු වෙයි.
Fact: දරුවන්ට වඩාත් අවශ්‍ය වන්නේ ආදරය සහ නව අත්දැකීම් ය. කතා කිරීම, සිංදු කීම, දරුවා සමඟ සෙල්ලම් කිරීම හා කියැවීම නිසා මොළයේ වර්ධනය මනාව සිදුවේ.

TIME සඟරාවේ කතාව

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 21, 2011

ලෝක ප්‍රසිද්ධ TIME සඟරාව ගැන කියවන මොළයකට කියවන්නට හැකි කතාවකි මෙය.

අද ලෝකයේ වැඩියෙන් ම පරිහරණය වෙන සතිපතා සඟරාව සේ සැලකෙන මෙයට පාඨකයෝ ඇමෙරිකාවේ මිලියන 20 ක් ද ලෝකයේ මිලියන 25 ක් ද සිටිනවා යැයි කියැවේ.

2009 ලෝක බැංකු දත්ත අනුව ලෝකයේ ජනගහණය බිලියන 6,775,235,741 කි.

විකිපීඩියාවට අනුව අද දිනයේ මුළු ලෝකය පුරා ම TIME සඟරා මුද්‍රිත පිටපත් අලෙවිය සතියකට පිටපත් 79,000 කට මඳක් වැඩි ය. එම හැත්තෑ නව දහස මුදල් ගෙවා සඟරාවට අගයක් දෙන පිරිස වෙති. සඟරාවේ පාඨක සංඛ්‍යාවෙන් ඉතිරි 4,421,000 (මිලියන 44 කට වඩා වැඩි පිරිසක්) ඊට මුදලක් නොගෙවා ‘කියවන අයයි’.

ලෝකයේ ජනගහණයෙන් 6,775,156,741 ක් (බිලියන 6 කට වඩා වැඩි පිරිසක්) සඟරාව කුමක් කියනවා ද පවා සොයා බලන්නෝ නොවෙති. ඔය සංඛ්‍යාවෙන් කියවන්නට බැරි මොළ තියන අය අඩු කළ යුතුයි!

TIME යනු ලොව යම් වෙනසක් ඇති කරන්නට හැකි සඟරාවක් ද? නැත්නම් ජේ. කේ. රෝලින්ස්ට තමා ලියූ හැරී පොටර් පොත් හත 1997 සිට 2007 ඇතුලත (මිලියන 400 කට වඩා අලෙවිය) ළමා මොළයට යම් වෙනසක් ඇති කරන්නට හැකි වූවා ද?

කල්පනා කර බලන්න. මා මුදලක් අය කලහොත් කියවන්නට එන සංඛ්‍යාව කොයි තරම් අල්පයක් වෙයි ද?!!!!

මුදලක් ගෙවා ලබා ගන්නට තරම් අගයක් නොදෙන්නක ඇති ‘වටිනාකම’ කුමක් ද? අද ලෝකයේ මුදල් නොගෙවා ගන්නට හැකි ‘entertainment’ නොහොත් රස වින්ඳනය ලබත හැකි දෘශ්‍ය, ලිඛිත හා ඩිජිටල් පිරිනැමීම බාල තත්වයෙන් යැයි දෝෂාරෝපණය කරනා අයෙක් ම මුදල් ගෙවා අගනා වූ දැයක් ගන්නට පොරකාවි ද? නැත්නම් අගය දන්නා අය මුදල් ගෙවා අගය තියෙන්න ගන්නවා ද?

ලෝකයේ වැඩියෙන් ම අලෙවි වන (කණ්ඩායම් නැති) පොත චාල්ස් ඩිකන්ස්ගේ ‘දෙනුවර කතාව’ ය.

ලෝකයේ වැඩියෙන් ම අලෙවි වන සංගීතය තවමත් බීට්ල්ස් කණ්ඩායමේ සංගීතයයි.

එයින් පෙනෙන්නේ අගයක් ඇත්නම් ඒ අගය දන්නා පුද්ගලයා මුදල් දී මිල දී ගන්නට පසුබට නැති බවයි.

මුදල් දී පරිහරණය කරන යමකට අගයක් දෙන ආකාරය තමන් විසින් විමසා බලන්න. බය වෙන්න එපා, මේ බ්ලොග් සටහන් කියවන්න එන අයගෙන් මුදල් අය කරන අදහසක් නැහැ!!!

TIME සඟරාව පටන් ගන්නේ 1923 මාර්තු 3 වැනිදා ය.

TIME සඟරාවේ කවරය, ජීවතුන් අතර ඉන්නා කවියන්ගේ හා ලේඛකයන්ගේ සේයා රූ වලින්, ඒ ඒ දශකයේ සැරසී ඇති වාර ගණන මෙසේය: (John Derbyshire ට ස්තූතියි.)
1920 – 16
1930 – 13
1940 – 5
1950 – 9
1960 – 9
1970 – 5
1980 – 3
1990 – 3
2000 – 2 (2000 දී Stephen King, 2010 Jonathan Franzen)

Person of the Year නොහොත් වසරේ පුද්ගලයාගේ රූපයෙන් කවරය සරසන්නට ගන්නේ 1927 දී ‘වසරේ මිනිසා’ යන නාමයෙනි. ඒ ලැයිස්තුවේ කවියෙක් ‍හෝ ලේඛකයෙක් නැත.

ඉතින්, අප යනු අපි කියවන දෑ නම්, අද දිනයේ TIME වැනි සඟරාවක් පිළිබිඹු කරන්නේ ලෝකයා වැඩියෙන් කියවන්න කැමති දේවල් ද? නැත්නම් ලෝකයා වැඩියෙන් කියවන්න කැමති යයි TIME සඟරාව සිතන දේවල් ද?

The Economist සඟරාවට වඩා වැඩියෙන් TIME සඟරාව ලොව අලෙවි වෙයි. ඒ නිසා TIME සඟරාව මිල දී ගන්නා සංඛ්‍යාව යනු, ලෝකයේ සතිපතා සඟරා කියවන වැඩි පාඨකයා තමන් විසින් අගයක් දෙන්නේ TIME වැනි සඟරාවක අන්තර්ගතයට ද?

අද අපි වැඩියෙන් සැලකිල්ලක් යොමු කරන්නේ රාජ්‍ය නායකයෝ, නළු නිළියෝ සහ තාක්ෂණික දියුණුවට ද?

ඇමෙරිකාව අහිතකර බලපෑම් කරනවා කියා කෑ ඝෝෂා කරන්නෝ පවා බ්‍රිතාන්‍ය The Economist සඟරාවට වඩා ඇමෙරිකන් TIME සඟරාවට සැලකිල්ලක් දෙනවා ද?!!!

ප්‍රවෘත්තියට දෙන වැදගත්කම වෙනුවට ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නාට වැදගත්කමක් දෙන්න පටන් ගත් දා මම ප්‍රවෘත්ති නැරඹීම, ඇසීම අත් හැරියෙමි. අද මම මට උවමනා ප්‍රවෘත්ති පමණක් තෝරාගෙන කියවමි. යමක් සුදුසු නැත්නම් එය ප්‍රතික්ෂේප කළ යුතුයි. එදා ප්‍රවෘත්ති කලාවේදීන් (news journalist) සිටියහ. තමන් විසින් ප්‍රවෘත්ති සොයා ගොස් එය සකස් කරගෙන ඊට වගකීම දරති. අද අන්තර්ජාලයෙන් ගත්තක් හෝ වෙනත් නාලිකාවකින් ගත්තකින් ප්‍රවෘත්ති ‘ප්‍රචාරය කරන අය’ නළුවෝ වී ඇත.

ප්‍රවෘත්ති අහන්න සූදානමින් ඉන්නා අයට ප්‍රවෘත්ති කීමට සැරසෙන හැටි පෙන්වන්නේ කවුරු එය ඉල්ලා සිටින නිසා ද?!!!!

අද ඇමෙරිකාවේ රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් හා පුවත්පත් වලින් ප්‍රවෘත්ති අහන, කියවන හා බලනා අය අඩු වෙමින් යයි. ඒ පැතිවාදී වූ මත සහ නිස්සාර වැඩ සටහන් ජනතාවට එපා වී ඇති නිසාවෙනි.

2009 දී TIME සඟරාව ලොව මිලියන 3.4 ක් අලෙවි කර ඇත. 2009 මැද දී අලෙවිය 34.9% කින් බහින කලාව පටන් ගෙන, 2010 මැද දී තවත් 1/3 කින් අඩු වී, 2010 අග වද්දී 12% කින් අලෙවිය අඩු වී ගොස් ඇත. දත්ත විකිපීඩියාවෙනි.

ලොව අනිකුත් අය අනුකරණය කරනවා යැයි සිතාගෙන තමන් ද අනුකරණය කරන්නේ වැඩි පිරිසක් අනුකරණය නොකරන්න ද?

දියුණුව ලැබූ අය තමන් ගිය ගිය රටවල් වලින් තෝරා ගත්තේ ‘වටිනා’ දේ අනුගමනයට ය. දියුණුවක් නොලබන පිරිස හැම විටම නුසුදුසු දේවල් ම තෝරාගෙන, ඒවා බදාගෙන අනුගමනය කරමින්, ඒවා බලහත්කාරයෙන් දුන්නා යැයි දොස් කියමින් ඉන්නවා ද?

තමන්ට වැඩි වැඩියෙන් ලැබෙන්නේ තමන් වැදගත්කමක් දෙන දේවල් වෙති! (මට සල්ලි එවන්න එපා!!!!)

ඔය සියල්ල කියවා අවුල් ලිහා අමුණා ගන්නා අයෙකුට TIME සඟරාවේ ඇති ලෝක වැදගත්කම සහ අද දියුණු ලෝකයා වැදගත්කමක් දෙන්නේ මොනවාට ද කියා වටහා ගත හැකිය.

Chris Hondros සහ Tim Hetherington ඡායාරූප වාර්තාකරුවන් දෙදෙනා ගැන මතකය ලෝකයේ සදා රැඳේවා!

මිලිතත්පර 500ක යශස -500 milliseconds of fame

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 20, 2011

කියවන්නට මනා හුරුවක් ඇති අයෙකුට නොහොත් කියවන ප්‍රවීණයාට (expert reader) ඕනෑම වචනයක් කියවන්නට යන්නේ තත්පර භාගයකි. එක තත්පරයක මිලිතත්පර (milliseconds) 1000 කි. ඉතින් මිලිතත්පර 500 ක යශසක් ඇත්තේ වචනයකට ය!!

0 සිට 100 දක්වා ගෙවෙන මිලිතත්පර තුල දී කියවන ප්‍රවීණයා වචනයට අවධානය යොමු කරයි. 50-150 දක්වා ගෙවෙන මිලිතත්පර තුල දී කියවන්නා අක්ෂරය හඳුනා ගෙන එයින් මොළයේ වෙනසක් ඇති කර ගනියි. 100-200 දක්වා මිලිතත්පර තුල දී අක්ෂරය සහ ඊට නියමිත ශබ්දය සම්බන්ධ කරගෙන ලිඛිත භාෂාවේ වාචික භාෂාව හඳුනා ගැනීමත් (orthography), ස්වරශබ්ද හඳුනා ගැනීමත් (phonology) කරයි. 200-500 දක්වා වචනයක් ගැන දන්නා සියල්ල එකතු කර අමුණා ගැනීම සිද්ධ කරයි.

මුල් මිලිතත්පර 100 තුල දී:
1. වචනයක් දැක්කාම කරන අනිකුත් වැඩ මොළයෙන් බැහැරකට යෑම -disengage (මොළයේ parietal lobe පිටුපස පෙදෙසක)
2. ඒ වචනය ලියැවී ඇති තැනට සිත ඇදී යෑම -move (මොළයේ superior colliculi නැමති ඇස් සංචලනය ඇති ස්ථානය)
3. ඒ වචනයට අවධානය යොමු වීම -focus (මොළයේ thalamus තොරතුරු සම්බන්ධීකරණය කරන ස්ථානය)
යනාදී වශයෙන් මොළයේ තුන් තැනක සිද්ධ වෙන ක්‍රියාවලි තුනකි. අද ඇති මොළ පින්තූර වලින් එය දකිනු හැකිය.

සිදුවීම් මතකය (episodic) යනු පුද්ගලික තොරතුරු ගැන හා අපිට සිද්ධ වූ දෑ ගැන අපිට ඇති මතකයයි.

ශබ්දාර්ථ මතකය (semantic) යනු වචන හා දත්ත අපි ගබඩා කරගන්නා මතකයයි.

ප්‍රකාශන මතකය (declarative) නම් අපේ මොළයේ තැනපත් වලින් ‘මොනවා ද’ යන තොරතුරු මතකයයි. උදාහරණයක් ලෙසින් ලංකාවේ නිදහස සමරන දිනය කවදා ද?

ක්‍රියාමාර්ග මතකය (procedural) නම් අපේ මොළයේ අපි ‘කොහොම ද’ යන මතකයයි. උදාහරණයක් ලෙසින් බයිසිකලය පදින්නේ කොහොම ද?

වැඩ කරන මතකය (working) නම් වචනයක් හඳුනා ගැනීමට උදව් දෙන මතකයයි. මඳකට තොරතුරු අල්ලා ගන්නා අප එයින් යම් වැඩක් ගන්නෙමු. අපේ සවිඥානික මොළයේ කළු ලෑල්ල හෝ අදහස් කුරුටු ගාන සටහන් පොත මේ වැඩ කරන මතකයයි. කියවන ප්‍රවීණයාට මේ වැඩ කරන මතකය විසින් වචනයක් මූලිකව ඇසින් දැක හඳුනා ගැනීමට මනසේ යම් කාලයක්, වචනයේ තේරුම හා ව්‍යාකරණ පාවිච්චිය ගැන තොරතුරු පැහැදිලි කරදෙන තෙක් අල්ලා ගෙන ඉන්නට ආධාර දෙයි.

කියවන ප්‍රවීණයා ශබ්දාර්ථ හා ව්‍යාකරණ තොරතුරු පිරි වචන මාලාවක් ඉදිරියේ වැඩ කරන මතකයට සහායක මතකය (associative) උදව්වට ගනියි. සහායක මතකය වනාහි ගබඩා කරන ලද අතීත මතකයන් සිහියට නංවන මතකයයි. ප්‍රථම හාදුව ගබඩා වී ඇත්තේ එහි ය!

වයස 18 දී කියවපු පොතක් වයස 28 දී නැවත කියවන්නා සහ වයස 58 දී නැවත කියවන්නා එකම රසයක් වින්දනය කරනවා ද?

ඉහත මතකයන් සියල්ල වචනයක් කියවද්දී පාවිච්චියට ගැනෙනා නිසා ඒ ඒ වයසේ දී ලද අත්දැකීම් හා එක්රැස් ගත් තොරතුරු මතක ගබඩා සියල්ල වචනයේ පරිවර්තනයට මොළයට දායක වෙයි. බොහෝ විට මුලින් දැකි විස්මය වෙනුවට, කලින් නොදුටු උප කතා වස්තූන් දකින්නට හැකි වේ. පද යෙදුම් වඩාත් රසවත් විය හැකිය.

මොළයට ඇතුල් කරන සියල්ල, මොළ සෛල ඇරී ඒවා ‍ගබඩා කෙරෙන නිසා, සබඳතා ඇති කිරීම පහසු වී, වැඩි වැඩියෙන් තොරතුරු සොයන්නාට, වැඩි වැඩියෙන් අත්දැකීම් ඇත්තාට, වැඩි වැඩියෙන් පළපුරුදුකම් ඇත්තාට, අළුතින් එන නවක වචනය හඳුනා ගැනීම හා අමුණා ගැනීම පහසු වෙයි.

ඩිජිටල් යුගයක පරිගණක ක්‍රීඩා නිසා ළමයි කියවන්නේ නැතැයි යන්න නිදහසට කාරණා හොයනා අයගේ වාසියට කියන කතාවකි. කියවන්නට කුතුහලයක් ඇතුල් කල පසු එය නැවත ඉවත් කරන්නට කිසිවෙකුට බැරි ය. පරිගණක ක්‍රීඩා වලින් ද ලැබෙන්නේ නව අත්දැකිම් ය. එකතු කරගන්නේ තවත් තොරතුරු ය. එයින් වැඩෙන්නේ මනස ය. එහෙත් එයටම පමණක් සීමා වී සිටීම ප්‍රමාණවත් නැත.

විදුලි බලය ඇණ හිටි විටෙක, පරිගණකයේ බැටරි බැස්ස විට, පොතක් කියවන්නට හුරු වූවෙකුට එය මහත් ආශ්වාදයක් ගෙන දෙයි. කට පාඩම් කරගත් පද්‍ය ගද්‍ය සිහි කරගන්නට හැකි අයෙකුට පොතක් පතක් අසලක නැති විටෙක වුව ද ඒවා සිහියට නඟමින් ඒවායෙහි රස විඳිය හැකියි.

මම ලංකාවේ ඉන්න කාලෙ අක්කා අරන් ආපු බ්‍රෙල් මැෂින් එකකින් පාසැල් නිවාඩු කාලයක් අපි කතන්දර පොත් බ්‍රෙල් වලට දැම්ම. භාෂාව සිංහල ද ඉංග්‍රිසි ද කියා අද මතකයක් නැහැ. මගේ දුවත් පාසැල් කාලයේ දී එය ඉගෙන ගෙන ඉංග්‍රීසි ළමා පොතක් දෙකක් පරිවර්තනය කළා. අපිට ස්පර්ශයෙන් කියවන දැනුම ලබා ගන්න පුළුවන්. ඇස් අන්ධ නොවුනත්. එයින් ඇරෙන්නේ ද මෙතෙක් ඇරී නොතිබුණ මොළ සෛල. අන්ධ අයෙකුට අතින් අත ගා කියවා බැලීමෙන් ලැබෙන මොළ වර්ධනය වාචිකව ටේප් රෙකෝඩරයකින් ඇහෙනවාට වඩා වෙනස්. ‍ඇහෙද්දී කරන decode කිරීමට වඩා ඇඟිල්ලෙන් අත ගා කියවද්දී කරන විමසුම මොළයේ විවිධ කොටස් පාවිච්චියෙන් වැඩි සබඳතා ඇති කරන නිසා.

මිනිස් මොළයට වාචික, ලිඛිත, ඩිජිටල් හා ස්පර්ශයෙන් ද දැනුම එකතු කරගත හැකි සමයක ඇයි අපි ඉන් එකක් පමණක් පාවිච්චිය?

ඉඩ කඩක් තියේ නම් බ්‍රෙල් ඉගෙන ගෙන පොතක් පරිවර්තනය කරලා දෙන්න.

ඉඳහිට දවසක මොළයට ව්‍යායාමයක් දෙන්න. අළුතින් කවියක් කට පාඩමින් කියන්නට ඉගෙන ගන්න.

කිසිදා කියවා නැති මාතෘකාවක පොතක්, සඟරාවක්, ලිපියක් ගෙන කියවන්න.

පරිගණක සෙල්ලමක් ක්‍රීඩා කරන්න.

ඒ සියල්ලෙන් ම ඇරෙන්නේ කුලී නොගෙවා නිකම් ලැගුම් ගෙන ඉන්නා මොළයේ සෛල වෙති.

X-treme පරිගණක ක්‍රීඩා ඡායාරූපය ලබා දුන්නේ කැළණි කැම්පස් සමයේ පටන් හිත මිතුරා දීපාල් විසිනි. ස්තූතියි දීපාල්!

කියැවිල්ල නිසා මොළයේ නියුරෝන සබඳතා හට ගැනීම

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 18, 2011

ක්‍රි. පූ. 3300-3200 දී සෙල් ලිපියක කුරුටු ගෑ ඇණ හැඩයෙන් යුතු වූ (ලතින් cuneus = ඇණය) සුමේරියන් cuneiform අක්ෂර මිනිසා කියැවූ නිසා පටන් ගත් ලියන රටා සැලැස්මෙන් ඒ අක්ෂර භාවිත කල මිනිසාට ලියැවිලි පන්දහසකට අධික සෙල් ලිපි වලින් අදහස් ඉදිරිපත් කරන්නට හැකිවිය.

අද ඇති තාක්ෂණික දියුණුවෙන් කියවන්නට පටන් ගන්නා මොළයක ශාරීරික වූ වෙනස්කම් දකින්නට අපිට හැකියාව ලැබී ඇත. කියවන දරුවෙක් මුල් වචනයක් කියවන්නට හඳුනා ගත් අවබෝධයෙන් ඇතිවන කියැවීමේ හැකියාව නිසා මොළයේ සෛල විවෘත වී මොළයේ විවිධ කියවන අවධීන් ශාරීරිකව පැතිර යන ආකාරය හඳුනා ගත හැකිය.

අත්තිවාරමක් දමා, බිත්ති ඉහළට ගෙනැවිත්, කාමර වෙන්කර, ජල නල හදා අළුතින් නිවසක් ගොඩ නැඟුවා යයි සිතමු. විදුලි බල්බ, වයර් හා ස්විච් පෙට්ටි ගෙනැවිත් ගේ ඇතුලේ බිම තැබුවා යයි සිතමු. ඒවා වයර් අමුණා (connections) විදුලි බලය කාන්දු කරන තෙක් වැඩ කරන්නේ නැත.

අත දරුවා අම්මාගේ සිරුරෙන් ආඝ්‍රාණය දැන ගනියි. තාත්තාගේ කටහඬින් ශබ්දය දැන ගනියි. සෙල්ලම් බඩුවක් දැක දෘශ්‍ය හැකියාව මඟින් එය හඳුනා ගනියි. අතේ වඩාගෙන සිටීම නිසා ස්පර්ශය හඳුනා ගනියි. කිරි බී රස දැන ගනියි. මේ සියල්ල වෙතින් දරුවාගේ මොළයේ සෛල ඇරී සබඳතා ගොඩ නැඟේ. සෛල ඇරී සබඳතා ගොඩ නැඟෙන්නේ නිවසක වයර් අමුණා කරන ක්‍රියාවලිය වැන්නක් මොළයේ සෛල විසින් කරන නිසා ය.

මිනිස් මොළයක ඇසීම, දැකීම, ආඝ්‍රාණය, ස්පර්ශය හා රස දැනීම් වලට ස්වභාවයෙන් ම වයර් මාර්ග හදා ඇත. ඒ ඒ ලැබෙන තොරතුරු අනුව, එනම් ඇහෙන කතාබහ, ඇස් වලින් දකින දෑ, නැහැයට වැදෙන දෑ, සිරුරට දැනෙන දෑ අනුව මොළයේ වයර් මාර්ග සන්ධි ආරම්භ කරයි.

කනේ පිහිටීම ඇහෙන්නට ය. කන් ඇහෙනා අයෙකුට බාහිරව කන් වැසීමෙන් පමණක් මිස ඇ‍සීම නතර කරන්නට නොහැකිය. නිතර ඇහෙන වදන් මතකයේ සිටීම නිසා ගිරව් මෙන් ඒවා නැවත නැවත කියන හැකියාව ඉබේ ඇති කරයි. ආඝ්‍රාණය ද එසේ ය. නැහැයට දැනෙන ගඳ සුවඳින් ඈතකට නොගියොත් එය ඉබේම ඇතුල් වීම වළකනු නොහැකිය. දැකීම නිසා මුහුනේ ආවේගයන් හඳුනාගන්නට, කෙනෙක් සතුටින් ඉන්නේ ද තරහින් පසුවෙන්නේ ද කියන්නට මෙන් ම ගණන් කරන්නට නොදන්නා කුඩා දරුවෙකුට පවා කොයි අඹ ගෙඩි ගොඩ ලොකු දැයි පෙන්වන්නට හැකියාව ඇත.

නමුත්, කියවන්නට වයර් මොළයේ ස්වභාවයෙන් පිහිටා නැත. පොතක් ඉදිරියේ වාඩි වී කොතරම් කලක් සිටියත් පොත කියවන හැටි වැටහෙන්නේ නැත.

පරිසරයෙන් වදන් ඇහෙන දරුවා කතා කරන්නට ඉගෙන ගනියි. දරුවා කරන්නේ අනුන් කියනා වදන් ප්‍රතිචාරයයි. බහ තෝරනවා කියන්නේ තමන්ට කියන්නට අවශ්‍ය දැය කියනු පිණිස තමන්ට ඇසුණු වදන් වලින් වචන පිළිවෙලකට තෝරාගෙන කීම ය.

කියවන්නට ‍ඉගෙන ගන්නා දරුවාට තමන් විසින් කිසිදා නොඇසූ වචනයක් හෝ තමන් කළින් නොකියෙව්ව වචනයක් කියවත හැකිය. නමුත් ඒ අවස්ථාවට එක දරුවෙක් ඉක්මණින් පිවිසීම හා තවත් දරුවෙක් වැඩි කාලයක් ගැනීම මෙසේ සිද්ධ වෙයි.

ස්වරශබ්ද හැකියාවේ වර්ධනය -පැහැදිලි බවකින් තොරව ඇසෙන වචන අතරින් කෑලි වෙන්කර ගෙන හඳුනා ගැනීමට ලබන හැකියාව

අක්ෂර වින්‍යාස හැකියාවේ වර්ධනය -වාචික භාෂාවේ ලියන ක්‍රමයක් ඇතැයි වැටහීම. අකුරු හැඩය හා ලියන ක්‍රමයේ යම් රටාවක් ඇති බව වටහා ගැනීම, අකුරු ගැට ගසා ගැනීම, නොදන්නා වචනයක් දන්නා වචනයක් අනුව කියවත හැකියාව ඇති බව වටහා ගැනීම

ශබ්දයේ අර්ථ හා ශබ්දයක් පිට කිරීමෙන් ඉන් ඵල ප්‍රයෝජනයක් ලැබෙනවා යන හැකියාවේ වර්ධනය -වටින් පිටින් ඇහෙන වචන පළමුවෙන් වැටහීමක් නැති වූවාට හදිසියේ තමන් ඒ වචනය කීම නිසා එයින් යමක් සිද්ධ වීම. ඒ වචනය නැවත නැවතත් කීම නිසා එකම ප්‍රතිඵලය ලැබීම. තව තවත් වචන හඳුනා ගෙන ඒවා පාවිච්චියෙන් තව දේවල් ඉටු කරගත හැකියාව අවබෝධය.

ව්‍යාකරණ පද්ධතියේ වර්ධනය – වචන යෙදිය යුතු පිළිවෙලක් ඇතැයි අවබෝධය. වචන තමන් කැමති විදියට නොව පවතින පද්ධතියක් අනුව භාවිතා කිරීමෙන් පමණක් අනුන් සමඟ සංවාදයට හැකියාව ලැබීම. වචන, වාක්‍යය, ඡේද හා කතන්දර හැදෙන්නේ අකුරු වලින් යැයි අවබෝධය.

පද විචාරය වර්ධනය -අකුරු පාවිච්චියේ හා වචන පාවිච්චියේ පිළිගත් න්‍යායන් ඇතැයි වටහා ගැනීම. වචනයක් හැදෙන්නේ ඒ වචනයේ ඇති සන්ධි, උපසර්ග වලින් යැයි හඳුනාගෙන ඒවා වෙන්කර හඳුනා ගත හැකියාව වර්ධනය වීම.

කියවන හැකියාව දරුවෙක් තුල ස්ථාපිත කරන්නට දරුවාට හැකි තරම් වචන සංඛ්‍යාවක් කුඩා කාලයේ සිට ම ඇහෙන්නට සැලැස්වීමෙන් මොළය නියුරෝන සබඳතා ඇති කර ගනියි. කියවද්දී වයර් අමුණා ගනියි.

උගත් දෙමව්පියන්ට උපදින දරුවන්ට (අද ඇමෙරිකාවේ) සාමාන්‍යයෙන් පැයකට වචන 2,100 ක් ඇසේ. දෙමව්පියෝ සාමාන්‍ය අධ්‍යාපනයක් පමණකින් යුතු වුවෝ නම් ඔවුන්ගේ දරුවන්ට සාමාන්‍යයෙන් ඇහෙන්නේ පැයකට වචන 1,200 ක් පමණ සංඛ්‍යාවකි. අධ්‍යාපනයක් නොලද දෙමව්පියන්ගේ දරුවන්ට සාමාන්‍යයෙන් ඇහෙන්නේ පැයකට වචන 600 ක් පමණ සංඛ්‍යාවකි.

උගත් දෙමව්පියෝ තම දරුවන් හා කතා කරන්නේ අනිත් දෙමව්පියන්ට වඩා තුන් ගුණයකිනි. දරුවා කියන කතාවලට ද දිරිගන්වන ප්‍රතිචාර පැයකට 30 වතාවක් සපයති. ඒ සාමාන්‍ය අධ්‍යාපනයකින් යුතු දෙමව්පියන්ට වඩා දෙගුණයකිනි. අධ්‍යාපනයක් නොලද දෙමව්පියන්ට වඩා පස් ගුණයකිනි.

අහල පහළින් වැඩි වචන සංඛ්‍යාවක් ඇහෙන දරුවාට, වඩා පහසුවෙන් කියවන කුසලතාවයට ඉඩ පෑදේ.
දරුවා ඒ ඇහෙන වදන් මොළයේ රෙකොඩ් කරගනියි. ඒවා process වන්නේ පසුකාලයේ දී ය. මාස පහක ගැබිණි මවක් කුසහොත් දරුවාට ඇසෙන බව අද සොයාගෙන ඇති නිසා ඉතින් වැඩියෙන් වචන ඇහෙන්නට සැලැස්විය යුත්තේ දරුවා ඉපදෙන්නටත් කළින්! දරුවාගේ මුල් අවුරුදු පහ තුල ඇහෙන වචන මුළු ජීවිතයටම කියවන අඩිතාලම දාන්නක්.

කල්පනා කර බලන්න. පරිගණයක එකමුතුව වැඩ කරන software වැඩියෙන් තිබුණාම වැඩියෙන් වැඩ කරගන්න පුළුවන් නේද? වචන යනු අනිත් දැනුම සියල්ලම එකමුතු කරන්නකි. වචන නොදන්නා නිසා අළුත් දෙයක් වටහා ගන්නට කළින් වචනය වටහා ගන්නට හෝ තමන් දන්නවා යයි සිතන වැරදි අර්ථයක ඉන්නට කෙනෙක් ට සිද්ධ වෙයි.

දරුවාගේ ජීවිතයේ දී අපේක්ෂා කරන මුල් ම කුසලතාවය දරුවාට ඉතාමත් ම අසීරු වූ කුසලතාවය වන කියැවීම වෙයි.

දරුවන් ටියුෂන් පංති වලට යවා විභාග සමත් කරවන්නට පොරකන අයට තමන් විසින් දරුවාට ලබා දිය හැකි අගනා අඩිතාලම ගැන වූ වගකීම කුමක් ද? එකම බයිලා හැමදාම ගයන ගිරවුන් ඉන්නා සමාජයක දරුවන්ට ඇහෙන්නේ අළුත් වචන ද? හැමදාම ඇහෙන වචන ද?!!!

විල් ස්මිත් නළුවා හැකි සෑම අවස්ථාවක දී ම තම දරුවන් සමඟ එකතු වී ශබ්දකෝෂයෙන් අළුත් වචනයක් ඉගෙන ගත් බව වරක් සම්මුඛ සාකච්ඡාවක දී කීවේය.

ඉංග්‍රීසි භාෂාව කතා කරන (ඇමෙරිකාවේ) සමාජයේ වයස අවුරුදු පහක සාමාන්‍ය මධ්‍යම පංතියේ දරුවෙකුට (average middle-class child) දුප්පත් සමාජ පංතියේ දරුවකුට වඩා වචන මිලියන 32 ක් වැඩියෙන් ඇසී ඇතැයි සැලකේ. කියවන්නට පටන් ගැනීමේ දී ළමයාට මේ ඇසුණු වචන සංඛ්‍යා පරතරය ඔවුන් අතර විෂමතා ඇති කරන්නට හේතු සාධක යැයි පෙන්වා දී ඇත.

ඔබේ දරුවාට ඇහෙන්නේ මොනවා ද?

ඇමෙරිකාවේ අධ්‍යාපන ලබන දරුවෙක් තම පාසැල් කාලයේ දී ලියන ලද වචන 88,700 ක් ඉගෙන ගන්නට අවශ්‍යයය. ඒවායෙන් 9,000 ක් ඉගෙන ගන්නේ 3 වැනි ශ්‍රේණිය අවසානයේ දී ය. එනම් මුල් ශ්‍රේණි තුනේ දී දරුවෙක් ඉගෙන ගන්නේ කියවන්නට ය. අනතුරුව කියවන්නේ ඉගෙන ගන්නට ය.

ඉංග්‍රීසි භාෂාවේ වචන කීයක් තියෙනවා ද?

මේ ප්‍රශ්නයට උත්තර දෙන ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය විස්තර කරනවා මෙහෙම. වචනයක් ගත්තම ඒක එක අරුතකින් පමණක් තියන වචන වගේම විවිධ අරුත් තියන එකම වචනත් වෙනවා. එකක් හැටියට ගන්න ද නැත්නම් විවිධ අරුත් තියන නිසා විවිධ වචන හැටියට ගන්න ද?

ඊ ළඟට ඉංග්‍රීසි භාෂාවට වෛද්‍ය, විද්‍යා සහ නීතිය නිසා එක්වෙන ලතින් වචන, ඉයුම් පිහුම් නිසා එක්වෙන ප්‍රංශ වචන, අධ්‍යාපනික ලිපි ලියද්දී එකතු වන ජර්මන් වචන, ජපන් සටන් ක්‍රම නිසා එකතු වන ජපන් වචන, තරුණ අය භාවිතයේ දී යොදවන වචන යනාදී සියල්ල ම වචන යැයි ගණනය කිරීමේ අපහසුතාවය.

විවිධ සලකා බැලීම් වලින් අනතුරුව ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය කියන්නෙ ඉංග්‍රීසි වචන 750,000 ක් තියනවා කියල.

සිංහල භාෂාවේ වචන කීයක් තියෙනවා ද? එය විග්‍රහයට කැප වෙච්ච සිංහල භාෂා උරුමය ගැන කැක්කුමක් ඇති අයෙක් සිටිත් ද? සෝමපාල ජයවර්ධන ලියූ සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයේ එක පිටුවක දළ වශයෙන් වචන 50 කි. පොතේ පිටු 338 කි. එනම් සිංහල භාෂාවේ වචන ඇත්තේ 16,900 ක් ද?

ලෝකය දිනන්නට අපි භාෂාවට වැඩියෙන් වචන එකතු කරගත යුතු ද? හැමදාම එකම වචන සැට් එක හම ගහනවාට වඩා විවිධ වචන දිහා බලන්නට උත්සුක විය යුතු ද?

සෛල ඇරුණු පාවිච්චියට ගත් මොළයක් වයසට යද්දී බරින් යුතුය. පාවිච්චියට නොගත් ‍සෛල ඇරී නැති මොළයක් බරින් අඩු ය.

විමර්ශනය නොකරන ලද ජීවිතය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 17, 2011

විමර්ශනය නොකරන ලද ජීවිතය ජීවත්වීමට තරම් වූ වටිනාකමකින් තොර යැයි කියූ සොක්‍රටීස් ලිඛිත භාෂාව (written language) විමර්ශනයේ දී ඊට දැඩි අප්‍රසාදයක් දැක්වූයේය. ඔහුට අනුව ලියන ලද්දා වූ වචනයක් සමාජයට දැඩි අවදානමක් ඇති කරයි.

වචනයක ඇති ‘සාරය’ වටහා ගැනීම සොක්‍රටීස් ක්‍රමයට අනුව ඉතා වැදගති. ඇතැන්ස් නගරයේ වීදි සංචාරයේ යෙදෙනා සොක්‍රටීස් පාරේ යන පුරවැසියෙක් සංවාදයට අල්ලා ගනියි. මොකක් ද ශ්‍රද්ධාව? (යුතිප්‍රෝ), මොකක් ද යුක්තිය? (රිපබ්ලික්), මොකක් ද සද්ගුණය? (මීනෝ), මොකක් ද තේරුම? (සෝෆිස්ට්), මොකක් ද ආදරය? (සිම්පෝසියම්)

සොක්‍රටීසියානු සංවාදයක අංශ තුනකි.

පළමුවැන්න, ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම ය. සොක්‍රටීස්ට අහුවුන බොහෝ අහිංසකයෝ තමන් ප්‍රශ්නයට උත්තරය දන්නවා යැයි සිතූහ. ඉන් සොක්‍රටීස් ඉතා සතුටට පත්වෙයි. තව ප්‍රශ්න අසයි.

දෙවැන්න, අහිංසකයාගේ උත්තරය විමර්ශනයට භාජනය කරන සොක්‍රටීස් එහි ඇති අඩුපාඩු පෙන්වයි. මෙසේ පෙන්වා දීමේ දී එක් අහිංසකයෙක් හඬා වැටි බවත් සඳහන් ය. අවසානයේ උත්තරය තමා නොදන්නා බව අහිංසකයා විසින් පිළිගනියි.

තුන්වැන්න, දෙදෙනා සත්‍ය සොයා යන්නට එකඟ වෙති. සියළු සොක්‍රටීසියානු සංවාද අවසන් වන්නේ උත්තරය කුමක් දැයි පැහැදිලිව නොකියාය. සොක්‍රටීස්ට තම අනුගාමිකයන්ට සත්‍යය කුමක් දැයි කියනු නොහැකි ය. එය තම තමන් විසින් අවබෝධය ලද යුත්තකි!

අද අපි තොරතුරු සොයන නව මාර්ග වලට පිවිසෙන්නා වූ අවදියක සිටිමු. එහෙයින් සොක්‍රටීස් ලිඛිත භාෂාවට අකමැති වූයේ මන්ද යැයි විමර්ශනය කර බලමු.

වාචික වූ වචනයක නම්‍යතාවය හා ලියැවුන වචනයක ඇති නම්‍යශීලී නොවන ගතිය ඔහු ඉදිරිපත් කරයි.

ලිඛිත සංවාදයක් මරණයට පත් වූවක් යැයි කියන සොක්‍රටීස් වාචික සංවාදය ජීවයෙන් පවතී යැයි කියයි. සංවාදයක භාවිතා වන වචනයන්හි ඇති තේරුම ලැබෙන්නේ එම වචන කියැවීමෙන් පමණක් නොව උච්චාරණය කරන ස්වරයෙන් හා ශබ්දයෙන් වැනි බාහිර වූ දෑ එකතුවෙනි. ලියූ වචනයකට ආපහු කතා කරන්නට බැරි යයි ඔහු පෙන්වා දෙයි! ලියූ වචනයක ඇති නම්‍යශීලී නොවන ගොළු ගතිය නිසා සංවාදය පරිහානියට පත්වේ යැයි ඔහු කීය.

හිතට එන දේවල් කුරුටු ගාන අයට මෙහි දී ලිඛිත වචන මරණයට පත් නොවන බව මතක් වනු ඇත. හිතට එන දැයක් කුරුටු ගාන්නට පටන් ගත්විට සිතුවිලි වඩාත් සූක්ෂම කරන්නට තමන් ලියද්දී, ලියන ගමන් කලින් ලියැවුන වචන දිහා බලා ඉටු කල හැකිය. පෑනකින් කපා කොටා ලියනවාට වඩා අද පරිගණ‍කයේ යතුරු පුවරුවට කොතරම් ඉක්මණින් කොටා වැරදි නිවැරදි කරමින්, වචන ඉබේටමත් නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් හැදෙන සේ සිතුවිලි සටහන් කල හැකි ද?

තීන්ත කූඩුවකට පෑන් තුඩ දම දමා හෝ පෑනේ බඳට තීන්ත පොඟවමින්, හැම තැනම පැතිර යන දුහුල් කඩදාසියේ ලියූ අයෙකුට ලිවීම කුමන අමාරුවක් ද යන්න යමක් සටහන් කරනු පිණිස සිලා ලිපියක් කොටන්න වූවාට සිතෙනු හැකිය.

සොක්‍රටීස් ජීවත් වූ ඇතැන්ස් නගරයේ ලියන කුසලතාවය පටන් ගත්තා පමණි.

අද ලිඛිත වචනයකට ආපසු කතා කරන හැකියාව ලැබී ඇත් ද?

අද අපි එකිනෙකා හා ලියැවුන වචනයෙන් ක්ෂණික වූ සංවාද කරමු. බ්ලොග් ලිවීමේ දී මෙන්ම, sms මඟින්, ඊ මේල් හා නොයෙක් වෙබ් අඩවි වල දී කටින් වචනයකුදු නොදොඩා ‘චැට්’ කළ හැකිය. අදහස් හුවමාරු කරගත හැකිය. අන්තර්ජාල ශබ්දකෝෂයකට ගොස් ‍බොහෝ විදෙස් භාෂාවල වචන උච්චාරණය සොයාගත හැකිය. වයර්ලස් ‍දුරකතනයකින් එක භාෂාවකින් කතා කරද්දී එය විසින් එවිට දී ම තවත් භාෂාවකට පරිවර්තනය කරන හැකියාව ද අද අපට ඇත. එනම් භාෂා දෙකකින් කතා කරන දෙදෙනෙකුට ඉන් එක භාෂාවක් පමණක් දැනගෙන කතාබහ කරනු හැකිය. ලංකාවේ වයර්ලස් වලින් ක්ෂණික ඉංග්‍රීසි-සිංහල පරිවර්තන තාම නැත් ද?

අද ලිඛිත වචනයකට ලිඛිත වචනයකින් ක්ෂණිකව උත්තර සැපයීමට, ලෝකයේ නන් දෙස වාසයේ යෙදෙමින් හැකියාව ලැබී ඇත.

ලියැවී ඇති වචනයක් දුටු විට අප වචනය හා අර්ථය දන්නේ යැයි වැරදි උපකල්පනයට පතිත වේ යැයි සොක්‍රටීස්ගේ අවලාදයයි. වචනයක් වැරදි අර්ථයකින් භාවිතයට හුරු වීම නිසා වැරදි අදහස් වල එල්බ ගැනීම අහිතකර ප්‍රතිඵලයයි.

වාචික දර්ශනයක් ග්‍රන්ථාරූඪ කිරීම නිසා අදහස් වෙනස් වී යයි ද?

වචනයක අදහසක් විමර්ශනය කරන සිරිතක් අද ක්ෂණික සංවාද කරන ලෝකයේ සිද්ධ වෙනවා ද?

සිතුවිල්ලක් විවේචනාත්මකව විභාග කරන්නට මඳක් සිතීමට ක්ෂණික පණිවුඩ ලෝකයේ දී ඉඩක් ලබා ගන්නට අයෙක් වෙහෙසෙනවා ද?

සොක්‍රටීස් කියා සිටින වචනයේ ‘සාරය’ දැන ගැනීමට සියළු තොරතුරු එක්කාසු කර ගැනීමෙන් පමණක් (විමර්ශනයකින් තොරව) පුළුවන් ද?

දැන් කෙනෙකුට ප්‍රශ්නයක් නැඟෙන්න පුළුවන් මොකක් ද‍ මේ ‘සාරය’ කියන්නෙ? කොහොම ද අයෙක් කියැවීම පමණක් නොව විමර්ශනයක යෙදෙන්නෙ?

වාචික, ලිඛිත හෝ ඩිජිටල් දැනුමකින් ඔබ්බට යන ගමන විමර්ශනයයි. අපි ‘ලිබරල්’ යන වචනය ඇහුණා, කියෙව්වා හෝ දැක්කා යයි සිතමු. අයෙක් එහි තේරුම දනියි. අයෙක් එය දන්නවා යැයි සිතයි. අයෙක් එය දන්නවා යැයි සිතුවත් නැවත සොයා බලන්නට වෙහෙසෙයි. තවත් අයෙක් එහි විවිධ වූ තේරුම් අතරින් තමන් විසින් ගැට ලිහා අවුල් බේරා ගත් සත්‍යය දකියි. ඒ තුලින් ඒ ඒ සංදර්භයේ දී ‘ලිබරල්’ යන්න යෙදෙනා ආකාරය ගැන පැහැදිලිව වටහා ගන්නට හැකියාව ලබයි.

ලතින් liberalis වලින් හැදෙන ලිබරල් වචනයෙන් ‘නිදහස’ නොහොත් සම අයිතීන් ගැන වූ සංකල්පය ලිබරල් යන අදහසයි. ජෝන්‍ ලොක් නැමති දාර්ශනිකයා බටහිර ලිබරල් චින්තනයේ මූලිකයෙක් සේ සැලකේ. ස්වභාවික අයිතීන් හා සමාජ ගිවිසුම් අතරින් ආණ්ඩුවක පාල‍කයෝ එහි පුරවැසියන්ගේ අනුමැතිය යටතේ පාලනයේ යෙදිය යුතු යැයි ද, වහල් නොවන පුරවැසියාට තම ජීවිතයට, නිදහසට හා දේපලට අයිතියක් ඇතැයි කීවේය.

අද ඇමෙරිකාවේ ඩෙමොක්‍රැටික් පක්ෂයෙන් ජනාධිපති වූ ඔබාමා හැඳින්වෙන්නේ ultra-liberal‍ නොහොත් ලිබරල් බවෙන් ඔබ්බට ගිය අයෙක් හැටියට ය. දැඩි වාමාංශික වූ අදහස් හා විවේචන ඉදිරිපත් කරන අයෙක් හැටියට ය. සියළු පුරවැසියන්ට සම වූ නිදහසක් දිය යුතු යැයි කියන ලිබරල් මතය වෙනුවට වඩා ලිබරල් (ultra-liberal‍) යැයි හැඳින්වෙන ඔහු සීමිත පුරවැසියන් පිරිසක් (ධනවත් අතලොස්ස) අසමාන වූ සැලකිල්ලට ලක් කිරීම ගැන (වැඩි බදු ගෙවිය යුතු යැයි) සැලසුම් ගහනා බවට ඔහුට ඇති අවලාදය වෙයි. එහෙත් වඩා ලිබරල් වීම යනු වැඩියෙන් නිදහස හා වැඩියෙන් සමාන අයිතීන් සැලසීම නොවේ ද?!!!

ඊ ළඟට ඔස්ට්‍රේලියාව පැත්තට යද්දී වාමාංශික නොවන දකුණට බර වූ දේශපාලන පක්ෂය ලිබරල් පාටිය වෙයි!

කැනඩාවේ ලිබරල් පක්ෂය වමේ හා දකුණේ ප්‍රතිපත්ති දෙකම යොදා ගන්නා මැද පිළිවෙත අනුගමනය කරන පක්ෂයකි!

ප්‍රංශයට පය ගහද්දී ඔයා ultra-liberal‍ යැයි කෙනෙක් කිව්වොත් එය අපහාසයකි! ප්‍රංශය ලෝකයේ ධනවාදී රටවල් හා සසඳා බලන විට වාමාංශික වූ ප්‍රතිපත්ති ඇති රටකි. දැනට IMF ලොක්කා වන Dominique Strauss-Khan ව ultra-liberal‍ යැයි නිග්‍රහයට ලක් කරන්නේ අද ප්‍රංශයේ ඉන්නා දැඩි වාමාංශිකයෝය!! ප්‍රංශ අවුල ලිහන්නට නිරවුල් චින්තනය ඉතා අත්‍යාවශ්‍යයය!!!

ඉහත තොරතුරු සියල්ල වාචිකව, ලිඛිතව හෝ ඩිජිටල් මාර්ග වලින් ඕනෑම කෙනෙකුට සොයා ගත හැකිය. එහෙත් කොහෙන්, කුමන තොරතුරු සොයාගන්නේ ද, සොයගත්ත දෑ විමසන්නට හැකියාව උපදවා ගන්නේ ද කුතුහලයෙන් පමණක් නොවේ. හුදු කුතුහලය තිබුණාට යා යුතු මාර්ග නොපෙනේ. විවිධ වූ තොරතුරු ගැන විමසිල්ලෙන් ඉන්නා අයෙකුට විශ්ව විද්‍යාල උපාධියක් අවශ්‍ය නැත. ඇය බත් උයන අම්මා විය හැකිය. කාර්යාලයේ පියන් මහත්තයා විය හැකිය. එහෙත් තමන් අහන, කියවන, දකින තොරතුරු process කරන්නට ඉගෙන ගත් දිනයේ පටන් මොළය ඇසූ, කියැවූ හා දකිනා දෑ වලින් connections තමන්ට පෙන්වා දෙයි.

පොත් කොපමණක් ලබා දුන්න ද තවකෙකු වෙනුවෙන් කියවත නොහැකියාව සේ තොරතුරු කොතෙකුත් තිබුණ ද තවකෙකු වෙනුවෙන් connections හදන්නට හෝ process කරන්නට නොහැකිය. ඒවා ඒ පුද්ගලයා තමන් විසින් උත්සාහයක් යොදවපු දා පටන් ඊට සදා විවෘත බවින් ඉන්නා මොළය වූ මඟ පාදා දෙයි.

යමක් ඇසුණු කල, කියවන කල හෝ දැක්ක විට, එය පිළිගන්වන විදියෙන් පමණක්, එක විදියකින් පමණක් බලන්නට, එක මතයක පමණක් එල්බ සිටින්නට ඉඩ නොදී විවිධ වූ ආකාර මොළය මතක් කරමින් පෙන්වා දෙයි. ඒ තුලින් එක තැනක දී කළු වන්නක් තවත් තැනක දී සුදු වන හැටිත්, එසේ වූ පමණින් ‘සත්‍යය’ වෙනස් වී නැති බවත්, වෙනස් වීමට භාජනය වන්නේ ඒ ඒ සංදර්භයේ සංකල්පය පුද්ගලයා හසුරුවන හැටි අනුව බවත් පෙනී යයි.

අවුල් ලිහා සත්‍යය දකින්නට නම් නිරවුල් වූ මනසක් තිබිය යුතුයි. නිරවුල් මනස තොරතුරු එකතු කරන මනසක් පමණක් නොවේ. එකතු කරන තොරතුරු විමර්ශනය කරන මනසක් විය යුතුය. එකතු කරන තොරතුරු විමර්ශනය කරන්නට පැතිවාදී හා ගැතිවාදී වන වැසුණු මනසකට නොහැකිය.

අපි වඩා කැමති ‘සාරය’ හඳුනාගන්න ද නැතිනම් දන්නවා යැයි සිතමින් ඇතැන්ස් හි වීදි සංචාරය කළ අහිංසකයෝ ලෙසින් විමර්ශනය නොකරන ජීවිත ගෙවන්න ද?

රේස් කාර් එක ස්ටාට් ‍නොවෙද්දී කලබල නොවී මොළය විවෘතව තබාගෙන, කලබල නොවී සිටියාම තරඟය ජයගත හැකි යැයි තමන් දන්නා තොරතුර නිරවුල් මනසින් process කරගෙන, 2011 ෂැන්හයි ග්‍රාන්ඩ් ෆ්‍රී දිනූ ලුවිස් හැමිල්ටන්ට ජය වේවා!

ලිබරල් පක්ෂ නිල ලාංඡන විකිපිඩීයාවෙනි.

සොක්‍රටීස්ට වැරදුනා ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 15, 2011

දර්ශනය හැදෑරීම යනු ඥානයට ළැදියාව ඇති අයෙක් කරන ගවේෂණයයි. ඕනෑම විෂයයක් විචාරයට ගත හැකිය. ඇමෙරිකන් උසස් අධ්‍යාපන ක්‍රමයේ දී දර්ශනය ඕනෑම ප්‍රථම උපාධියක් ලබා ගන්නා අයෙක් විසින් හැදෑරිය යුතු අනිවාර්ය විෂයයකි. දර්ශනය කරන්නේ යම් සංකල්පයක‍ට බුරුලක් නොදී තදින් විභාග කිරීමයි. ප්‍රතිවිරුද්ධ අදහස් විවේචනාත්මකව සලකා වටිනාකම් විනිශ්චය කිරීමයි. පැහැදිලි ලෙසින් අදහස් හුවමාරුවයි. එසේ දර්ශනය හදාරන්නාට නිර්මාණාත්මක ලෙසින් සිතන්නට හා වි‍ශ්ලේෂනාත්මකව සිතන්නට ඉඩකඩ ලැබේ. ගැටළු නිරාකරණයට ඉඩ ලැ‍බේ.

පසුගිය සටහනින් භාෂාව ගැන මම ලියූ නිරික්ෂණය දාර්ශනික වූ නිරික්ෂණයකි. එය සාහිත්‍ය, වාග් විද්‍යාව, පුරාවිද්‍යාව, මනෝවිද්‍යාව, නියුරෝවිද්‍යාව, සවිඥානිකවිද්‍යාව හා සමාජ අධ්‍යයන යනාදී සියල්ල සලකා බලා අනතුරුව එළඹෙන්නා වූ නිරීක්ෂණයකි. දාර්ශනිකයාට යම් සුවිශේෂී ක්ෂේත්‍රයට හිර වී ඉන්නා අයෙකුට වඩා සම්පූර්ණ දැනුමක් සොයන්නට ඉඩකඩක් ලැබේ. ඕනෑම කෙනෙකුට දාර්ශනිකයෙකු වන්නට ද හැකිය!

දාර්ශනිකයෙක් වන්නට කියවන්නට දන්නා අයෙකු වීම අවශ්‍ය නැත. බටහිර දර්ශනයේ පියා යැයි සැලකෙන සොක්‍රටීස්ගෙ දර්ශනය අපි අද දැනගන්නේ ‍ප්ලේටෝ විසින් ලියා තැබූ නිසා ය. ඉන්දියාවේ දාර්ශනිකයෝ ද කියැවීම හා ලිවීමට වඩා වාචික දැනුම එක්කාසුව ගැන වැඩියෙන් තැකූහ.

එදා සොක්‍රටීස් මුහුණ පෑ ගැටළු අද නූතන සමාජය ඉදිරියේ ඇත් ද?

ග්‍රීසියේ වාග් කෞශල්‍යය දියුණු යුගයක, විස්මය ජනක මතකයන් පුද්ගලයන්ට තිබි යුගයක, දියුණු වූ වාග් සංස්කෘතියක් මැද්දේ ග්‍රීක ලියන හෝඩියක් බිහිවිය. හෝමර්ගේ වාග් සාහිත්‍යය ලියා තබන්නට වූ අවශ්‍යතාවය නිසා ලියන කලාව බිහි වූවා යැයි එක් මතයකි.

එදා වාග් සංස්කෘතියෙන් ලිඛිත සංස්කෘතියකට පා තබනා සේ අද ලිඛිත සංස්කෘතියකින් ඩිජිටල් හා දෘශ්‍ය සංස්කෘතියකට අප පිවිසෙනවා ද?

තම වදන් ලියා තබනවාට සොක්‍රටීස් විරෝධය දැක්වීය. ප්ලේටෝ නිහඬ අරගලයක යෙදෙමින් සොක්‍රටීස්ගේ වදන් සටහන් කර ගත්තේ ය. තරුණ ඇරිස්ටෝටල් එකල කියවන්නට හුරු වී සිටියේය. සොක්‍රටීස් ප්ලේටෝගේ ගුරුවරයා ද, ප්ලේටෝ ඇ‍රිස්ටෝටල්ගේ ගුරුවරයා ද විය.

සොක්‍රටීස්ගේ ඉතිහාසය ලියා තැබූ ප්ලේටෝ සත්‍ය සටහන් තැබුවා නම්, සොක්‍රටීස් උගත්තේ දයොතිමා නම් වූ මැනිටියාවේ දාර්ශනිකයෙක් (කාන්තාවක්!) වෙතින් යයි ද ඇය තම සිසුන්ට උගන්වනු සඳහා සංවාද ක්‍රමය පාවිච්චි කළා යැයි ද පිළිගන්නට වේ.

වාග් ඉතිහාසයට වඩා ලිඛිත ඉතිහාසයක් (තමන් විසින් ම ලියා තබන්නට හැකි නම්) වැදගත් වන්නේ එසේ අනුන් ලියනවාට වඩා සත්‍ය කුමක් ද යන්න තමනට ලියන්නට හැකියාව ලැබෙන නිසා ද?!!!

සොක්‍රටීස් හා ඔහුගේ සිසුවන් අතර වූ සංවාද මනුෂ්‍යයා තම තත්වය දියුණු කරගන්නා ආකාරය පෙන්වා දෙන්නයි. ඇතැන්ස් පුරවැසියා සද්ගුණවත් පුද්ගලයෙකු වන්නට නම් වචන විභාග කර බලන්නටත්, සිතුවිලි විශ්ලේෂණයටත් පුහුණු වීම අවශ්‍යයය. එමඟින් සත්‍ය සද්භාවයට පිවිස සමාජයක යුක්ති ගරුක ලෙස ජීවත් වන්නට හැකියාව ලබනවා යැයි සොක්‍රටීස් සංවාදයේ කියන ලදැයි ප්ලේටෝ සටහන් තබයි.

සටහන් තබන ලද වචනයෙන් නැතහොත් ලිවීමෙන් සමාජයට හානි පැමිණේ යැයි සොක්‍රටීස් විශ්වාස කරන ලදි. මේ ගැන ඉදිරි සටහනක දී තව විස්තර ගෙන එන්නම්.

අද තරුණ අයට කට පාඩමින් යමක් හැදෑරීමේ හුරු පුරුද්ද අඩු වී ඇත.

වසර කිහිපයකට පෙර ඇමෙරිකන් ලාංකික නිවසක පැවැත් වූ දානයකට සහභාගී වුනෙමි. පිරිත් සජ්ඣායනයේ දී දන්නා අයට හවුල් වන්නට යැයි ස්වාමීන්වහන්සේලා ආරාධනය කළහ. ඊට හැකියාව තිබුනේ මට හා එහි සිටි මට වැඩිමහල් වූ කතෝලිකයෙකුට පමණි! අපි දෙදෙනා හරි හරියට රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය යනාදිය කියන්නට දත්තෙමු.

විලියම් වර්ඩ්ස්වර්ත්ගේ ‍රොමැන්තික ඩැෆඩෙල් මල් දස දහස් ගණන් ගැන අද කට පාඩමින් කිව හැක්කේ කාට ද? පර්සි ශෙලිගේ පවිත්‍ර හදවතක් ඇති ස්කයිලාර්ක් කුරුල්ලා ගැන දිගු ගද්‍ය මාලාවක් කට පාඩම් කරගන්නට වෙහෙසෙන්නෙක් අද සිටී ද?

සුභාෂිතය කට පාඩම් කරගන්නට උත්සාහයේ යෙදෙනා දරුවෙක් අද ඉන්නවා ද?

වාග් කෞශල්‍යයට කාලය වැය කිරීම කෙමෙන් කෙමෙන් අඩු වී ගොස්, මතකයෙන් කට පාඩම් කරගත් පද ගැන සිහිකර සතුටු වීමට වඩා පොත පත කියැවීමෙන් ප්‍රබෝධය ලබන්නට මිනිසා හුරු වී ඇත. ඒ නිසා වාග් සමයේ පරිහරණය කරන ලද අතලොස්සට වඩා පරිහරණයට වැඩි සංචිතයක් ලිඛිත යුගයේ ඒකීය පුද්ගලයා ලැබුවේ ද?

ලියැවුණු පොත් නැති සමයක කට පාඩමින් දත් අයෙක් සොයා ගොස් යම් පද්‍ය මාලාවක තමනට අමතක තැන් සොයා ගන්නට සිද්ධ විය. ඉන්පසු කාලයක දී පොතක් සොයා ගෙන ගොස් එය පෙරලා තමනට අමතක තැන් සොයා ගන්නට හැකිවිය. අද අන්තර්ජාලයට පිවිස නොදන්නා දැයක්, පොතේ නමක්, විෂයය කුමක් ද, පටන් ගැනීම ලෝකයේ කොහෙන්දැයි කිසිත් නොදැන, යමක් සොයා ගන්නට පුද්ගලයාට හැකිය.

එදා මතකය වැඩි අය ලොක්කෝ වූහ. ඉන්පසු පතපොත දත්තෝ ලොක්කෝ වූහ. අද ඕනෑම කෙනෙකුට ලොක්කෙක් විය හැකිද?!!!!!

අද අප පිවිසෙන්නේ ලියා තැබූ සාහිත්‍ය කියවන අය අඩු වී යන ඩිජිටල් හා දෘශ්‍ය මාධ්‍යයට පිවිසෙන තවත් පෙරළියක් ඇති කරන යුගයකට ද?

ඉහත කාටූනය Google Images වෙතිනි.