අරුණි ශපීරෝ‍ වෙතින්

සොක්‍රටීස්ට වැරදුනා ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 15, 2011

දර්ශනය හැදෑරීම යනු ඥානයට ළැදියාව ඇති අයෙක් කරන ගවේෂණයයි. ඕනෑම විෂයයක් විචාරයට ගත හැකිය. ඇමෙරිකන් උසස් අධ්‍යාපන ක්‍රමයේ දී දර්ශනය ඕනෑම ප්‍රථම උපාධියක් ලබා ගන්නා අයෙක් විසින් හැදෑරිය යුතු අනිවාර්ය විෂයයකි. දර්ශනය කරන්නේ යම් සංකල්පයක‍ට බුරුලක් නොදී තදින් විභාග කිරීමයි. ප්‍රතිවිරුද්ධ අදහස් විවේචනාත්මකව සලකා වටිනාකම් විනිශ්චය කිරීමයි. පැහැදිලි ලෙසින් අදහස් හුවමාරුවයි. එසේ දර්ශනය හදාරන්නාට නිර්මාණාත්මක ලෙසින් සිතන්නට හා වි‍ශ්ලේෂනාත්මකව සිතන්නට ඉඩකඩ ලැබේ. ගැටළු නිරාකරණයට ඉඩ ලැ‍බේ.

පසුගිය සටහනින් භාෂාව ගැන මම ලියූ නිරික්ෂණය දාර්ශනික වූ නිරික්ෂණයකි. එය සාහිත්‍ය, වාග් විද්‍යාව, පුරාවිද්‍යාව, මනෝවිද්‍යාව, නියුරෝවිද්‍යාව, සවිඥානිකවිද්‍යාව හා සමාජ අධ්‍යයන යනාදී සියල්ල සලකා බලා අනතුරුව එළඹෙන්නා වූ නිරීක්ෂණයකි. දාර්ශනිකයාට යම් සුවිශේෂී ක්ෂේත්‍රයට හිර වී ඉන්නා අයෙකුට වඩා සම්පූර්ණ දැනුමක් සොයන්නට ඉඩකඩක් ලැබේ. ඕනෑම කෙනෙකුට දාර්ශනිකයෙකු වන්නට ද හැකිය!

දාර්ශනිකයෙක් වන්නට කියවන්නට දන්නා අයෙකු වීම අවශ්‍ය නැත. බටහිර දර්ශනයේ පියා යැයි සැලකෙන සොක්‍රටීස්ගෙ දර්ශනය අපි අද දැනගන්නේ ‍ප්ලේටෝ විසින් ලියා තැබූ නිසා ය. ඉන්දියාවේ දාර්ශනිකයෝ ද කියැවීම හා ලිවීමට වඩා වාචික දැනුම එක්කාසුව ගැන වැඩියෙන් තැකූහ.

එදා සොක්‍රටීස් මුහුණ පෑ ගැටළු අද නූතන සමාජය ඉදිරියේ ඇත් ද?

ග්‍රීසියේ වාග් කෞශල්‍යය දියුණු යුගයක, විස්මය ජනක මතකයන් පුද්ගලයන්ට තිබි යුගයක, දියුණු වූ වාග් සංස්කෘතියක් මැද්දේ ග්‍රීක ලියන හෝඩියක් බිහිවිය. හෝමර්ගේ වාග් සාහිත්‍යය ලියා තබන්නට වූ අවශ්‍යතාවය නිසා ලියන කලාව බිහි වූවා යැයි එක් මතයකි.

එදා වාග් සංස්කෘතියෙන් ලිඛිත සංස්කෘතියකට පා තබනා සේ අද ලිඛිත සංස්කෘතියකින් ඩිජිටල් හා දෘශ්‍ය සංස්කෘතියකට අප පිවිසෙනවා ද?

තම වදන් ලියා තබනවාට සොක්‍රටීස් විරෝධය දැක්වීය. ප්ලේටෝ නිහඬ අරගලයක යෙදෙමින් සොක්‍රටීස්ගේ වදන් සටහන් කර ගත්තේ ය. තරුණ ඇරිස්ටෝටල් එකල කියවන්නට හුරු වී සිටියේය. සොක්‍රටීස් ප්ලේටෝගේ ගුරුවරයා ද, ප්ලේටෝ ඇ‍රිස්ටෝටල්ගේ ගුරුවරයා ද විය.

සොක්‍රටීස්ගේ ඉතිහාසය ලියා තැබූ ප්ලේටෝ සත්‍ය සටහන් තැබුවා නම්, සොක්‍රටීස් උගත්තේ දයොතිමා නම් වූ මැනිටියාවේ දාර්ශනිකයෙක් (කාන්තාවක්!) වෙතින් යයි ද ඇය තම සිසුන්ට උගන්වනු සඳහා සංවාද ක්‍රමය පාවිච්චි කළා යැයි ද පිළිගන්නට වේ.

වාග් ඉතිහාසයට වඩා ලිඛිත ඉතිහාසයක් (තමන් විසින් ම ලියා තබන්නට හැකි නම්) වැදගත් වන්නේ එසේ අනුන් ලියනවාට වඩා සත්‍ය කුමක් ද යන්න තමනට ලියන්නට හැකියාව ලැබෙන නිසා ද?!!!

සොක්‍රටීස් හා ඔහුගේ සිසුවන් අතර වූ සංවාද මනුෂ්‍යයා තම තත්වය දියුණු කරගන්නා ආකාරය පෙන්වා දෙන්නයි. ඇතැන්ස් පුරවැසියා සද්ගුණවත් පුද්ගලයෙකු වන්නට නම් වචන විභාග කර බලන්නටත්, සිතුවිලි විශ්ලේෂණයටත් පුහුණු වීම අවශ්‍යයය. එමඟින් සත්‍ය සද්භාවයට පිවිස සමාජයක යුක්ති ගරුක ලෙස ජීවත් වන්නට හැකියාව ලබනවා යැයි සොක්‍රටීස් සංවාදයේ කියන ලදැයි ප්ලේටෝ සටහන් තබයි.

සටහන් තබන ලද වචනයෙන් නැතහොත් ලිවීමෙන් සමාජයට හානි පැමිණේ යැයි සොක්‍රටීස් විශ්වාස කරන ලදි. මේ ගැන ඉදිරි සටහනක දී තව විස්තර ගෙන එන්නම්.

අද තරුණ අයට කට පාඩමින් යමක් හැදෑරීමේ හුරු පුරුද්ද අඩු වී ඇත.

වසර කිහිපයකට පෙර ඇමෙරිකන් ලාංකික නිවසක පැවැත් වූ දානයකට සහභාගී වුනෙමි. පිරිත් සජ්ඣායනයේ දී දන්නා අයට හවුල් වන්නට යැයි ස්වාමීන්වහන්සේලා ආරාධනය කළහ. ඊට හැකියාව තිබුනේ මට හා එහි සිටි මට වැඩිමහල් වූ කතෝලිකයෙකුට පමණි! අපි දෙදෙනා හරි හරියට රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය යනාදිය කියන්නට දත්තෙමු.

විලියම් වර්ඩ්ස්වර්ත්ගේ ‍රොමැන්තික ඩැෆඩෙල් මල් දස දහස් ගණන් ගැන අද කට පාඩමින් කිව හැක්කේ කාට ද? පර්සි ශෙලිගේ පවිත්‍ර හදවතක් ඇති ස්කයිලාර්ක් කුරුල්ලා ගැන දිගු ගද්‍ය මාලාවක් කට පාඩම් කරගන්නට වෙහෙසෙන්නෙක් අද සිටී ද?

සුභාෂිතය කට පාඩම් කරගන්නට උත්සාහයේ යෙදෙනා දරුවෙක් අද ඉන්නවා ද?

වාග් කෞශල්‍යයට කාලය වැය කිරීම කෙමෙන් කෙමෙන් අඩු වී ගොස්, මතකයෙන් කට පාඩම් කරගත් පද ගැන සිහිකර සතුටු වීමට වඩා පොත පත කියැවීමෙන් ප්‍රබෝධය ලබන්නට මිනිසා හුරු වී ඇත. ඒ නිසා වාග් සමයේ පරිහරණය කරන ලද අතලොස්සට වඩා පරිහරණයට වැඩි සංචිතයක් ලිඛිත යුගයේ ඒකීය පුද්ගලයා ලැබුවේ ද?

ලියැවුණු පොත් නැති සමයක කට පාඩමින් දත් අයෙක් සොයා ගොස් යම් පද්‍ය මාලාවක තමනට අමතක තැන් සොයා ගන්නට සිද්ධ විය. ඉන්පසු කාලයක දී පොතක් සොයා ගෙන ගොස් එය පෙරලා තමනට අමතක තැන් සොයා ගන්නට හැකිවිය. අද අන්තර්ජාලයට පිවිස නොදන්නා දැයක්, පොතේ නමක්, විෂයය කුමක් ද, පටන් ගැනීම ලෝකයේ කොහෙන්දැයි කිසිත් නොදැන, යමක් සොයා ගන්නට පුද්ගලයාට හැකිය.

එදා මතකය වැඩි අය ලොක්කෝ වූහ. ඉන්පසු පතපොත දත්තෝ ලොක්කෝ වූහ. අද ඕනෑම කෙනෙකුට ලොක්කෙක් විය හැකිද?!!!!!

අද අප පිවිසෙන්නේ ලියා තැබූ සාහිත්‍ය කියවන අය අඩු වී යන ඩිජිටල් හා දෘශ්‍ය මාධ්‍යයට පිවිසෙන තවත් පෙරළියක් ඇති කරන යුගයකට ද?

ඉහත කාටූනය Google Images වෙතිනි.

10 Responses

Subscribe to comments with RSS.

  1. Beetle said, on අප්‍රේල් 15, 2011 at 6:42 ප.ව.

    එදා මතකය වැඩි අය ලොක්කෝ වූහ. ඉන්පසු පතපොත දත්තෝ ලොක්කෝ වූහ. අද ගූගල් කරන්නෝ ලොක්කෝ වෙති… 🙂

    • arunishapiro said, on අප්‍රේල් 15, 2011 at 6:46 ප.ව.

      Beetle,
      හැබැයි මෙහෙම එකකුත් තියනව. වැඩියෙන්ම ගූගල් කරන්න පුළුවන් භාෂාව මොකක් ද? ඒ අය ඔවුනට අඩුවෙන් ගූගල් හොයන හැකි භාෂාව ඇත්තෝට වඩා ලොක්කෝ වෙත් ද?!!!

  2. indika kumara said, on අප්‍රේල් 16, 2011 at 1:43 පෙ.ව.

    මම මේ දවස්වල පන්සිය පනස් ජාතක පොත කියවනව
    පුදුමෙ කියන්නෙ ගොඩක් ජනප්‍රිය පොතක් උනත් දැං ඉන්න 60 පැනපු අයත් ගොඩක් දෙනෙක් ඒකෙ තියෙන කතා දන්නෙ නෑ
    මම අපේ කාර්යාලෙ ගොඩක් දෙනෙකුට(10කට විතර) ඒකෙ තියෙන රසවත් කතා කියල දෙනව..
    මම කරන්නෙ පියන් වාගෙ රස්සාවක් නිසා දැන් ගොඩක් අය මම ම ඒ අයෙගෙ කාර්යාලෙට එනවට කැමතියි..
    මොනාහරි ඇහුවොත්,,, අනේ කොයින්ද අපිට මේ ඉන්දි ට වාගෙ වෙලාවක් කිව්වට ඒ අය බොහොම හොඳින් කතා අහන් ඉන්නව…
    ඒත් මගේ හිටපු ආච්චියි සීයයි දෙන්නම අපි නොදන්න ගොඩක් කථා දැනගෙන හිටිය…
    ඒ වාගෙම ඕනි දෙයක් හරි රසවත් විදිහට විස්තර කරල දෙන්නත් ඒ අය දන්නව…
    දැන් ඒ කුසලතා තියෙන අය අඩුයි…

    • arunishapiro said, on අප්‍රේල් 16, 2011 at 9:35 පෙ.ව.

      indika kumara,
      මට හමු වී ඇති විද්වත් සුද්දෝ (ඇමෙරිකන් හා යූරෝපීය) දැන සිටි ජාතක කතා වස්තූන් මා නොදැන සිටි අවස්ථාවන් තිබුණ!! ඉන් එක කතාවක් 550 ට අයිතියි කියලා මා කිසිසේත් පිළිගත්තෙ නැහැ. මූලාශ්‍රය පෙන්වද්දී මම විස්මයට පත්වුනා.

      සමහර කුසලතා අඩු වුනාට වෙනත් කුසලතා වැඩි අය ඉන්නවා. ඒකත් අපි අමතක නොකළ යුතුයි. දැන් ඒ මොන කුසලතා ද කියලා නම් අහන්න එපා!!!!

  3. ෴ සොඳුරු සිත ෴ said, on අප්‍රේල් 16, 2011 at 2:33 පෙ.ව.

    ඇයි අක්කා… දැන් අඩුවෙන් මතක තියා ගෙන ලොක්කෙක් වෙන්න පුලුවන්.විභාග වුනත් ඉහලට යන්න යන්න මතක තියා ගන්න ඕනිම නැහැ.ඒත් සමත් වෙනවා. වැඩි හරියක් දෙන්නේ පැවරුම්.. පැවරුම කරන්න පිහිට වෙන්නේ අන්තර්ජාලය… පැවරුම කරා ගිහින් දුන්නා. අඩු ගානේ ඒ පැවරුම ආයෙ කියවල බලන්නෙ වත් කී දෙනාද?

    දැනුම තියෙන්නේ පොත් වල සහ අන්තර්ජාලයේ…. මොළයෙ තියා ගන්න ඊට වඩා දේවල් තියෙනවා නෙව…

    අක්කා … පුංචි ඉල්ලීමක් ” bipolar disorder ” ගැන ලියන්න පුලුවන් ද? මොකද ගුගල් ලොක්ක ඉංග්‍රීසි භාවිත කරන නිසා මට ඒ දැනුම ගන්න විදිහක් නැහැ.

    • arunishapiro said, on අප්‍රේල් 16, 2011 at 9:17 පෙ.ව.

      ෴ සොඳුරු සිත ෴,
      ඔබ කියන කතාව හරි. අද බොහෝ විට සිද්ධ වන්නේ පැවරුම් බාර දීම. අවබෝධයකින් තොර කටයුත්ත නිමි කිරීම පමණින් වැඩ කරන්නට පුහුණු කිරීම නිසා ‘දැනුම’ ලබා ගැනීමට ‘සාරය’ කුමක් දැයි හඳුනා ගැනීම අධ්‍යාපනයෙන් ඉවත් වෙලා. ඉතින් අළුත් යමක් සොයා ගැනීමට වඩා කොපි කැට් ගහන අය වැඩි වෙන එක පුදුමයක් ද?

      දැනුම එදා වාචිකවත්, පසුව ලිඛිතවත්, අද ඩිජිටල් ලෙසත් තිබුණාට, මොළයෙන් ඒවා process කරන්න බැරි එක්කෙනා දකින්නේ තත්පර මෙච්චර ගණනක දී එය සොයා ගන්න හැකි කියා යැයි පමණයි!

      ස්මාට් පිල් නමින් කලකට ඉහත දී ලියූ සටහනක බයිපෝලර් ව්‍යාබාධය ගැන ලියුවා. මෙතැනින් කියවන්න. මොකක් ද නිශ්චිතව ඒ ගැන දැන ගන්නට අවශ්‍ය? මානසික ආබාධයක් පුළුල් ව‍ශයෙන් හැඳින්වූවාට ඒකීය පුද්ගලයාට ඇති සුවිශේෂී වූ තත්වය නොදැන ආබාධය ගැන කෙටියෙන් කියන්න අපහසුයි.

      ඇල්කෙමියා කළින් සටහනක අහලා තිබුණා දියවන්නා පැත්තෙ ඉන්න දෙසිය ගාණත් ලංකාවේ මානසික රෝගීන්ට ඇතුල් වෙනවා ද කියලා!! මානසික රෝග පරීක්ෂාවකට ලක් නොකර අපිට කෙනෙක් හැසිරෙන ආකාරය ගැන ඇසූ පමණින් රෝග විනිශ්චයන් දෙන්න බැහැ. ත්‍රස්තවාදීන් කරන වැඩ වලින් ඔවුන් ත්‍රස්තවාදීන් යැයි කියත හැකි වුනාට පිස්සෙක් වගේ හැසිරෙන නිසා පිස්සෙක් යයි කිව්වාට මානසික රෝගියෙක් යැයි නිශ්චය කරන්න පුද්ගලයාව මනෝචිකිස්තක ක්‍රම අනුව පිරික්සා නොබලා බැහැ.

  4. බිල්ලා said, on අප්‍රේල් 16, 2011 at 5:36 පෙ.ව.

    එදා නිර්මාණ කුසලතාවය ඇත්තෝ ලොක්කෝ වූහ, අද අනුකාරකයෝ ලොක්කෝ වෙති, කිව්වොත් වැරදිද..
    කට පාඩම් කිරීම, කියැවීම, ලියා තැබීම, ඩිජිටල් කිරීම, ගූගල් කිරීම මේ හැම එකක්ම වැඩිපුරම කරන්නේ අනුකරණය කරන්න නෙවේද..

    • arunishapiro said, on අප්‍රේල් 16, 2011 at 9:29 පෙ.ව.

      බිල්ලා,
      අද පවා අනුකරණය කරන්නෝ ලොක්කෝ වෙන්නෙ නැහැ. අද දිනයේ ද ලෝක්කෝ වෙන්නෙ නිර්මාණය කරන්න හැකියාව ඇති අයයි.

      අනුකරණය කරන අය ලො‍ක්කෝ වෙන්න හදන අය හෝ ලොක්කෝ යැයි ඔවුන් සිතන අය හෝ ලොක්කෝ යැයි අනිත් අය සිතන අය වෙන්න පුළුවන්. ඒත් ඇත්ත ලොක්කා හැමදාම නිර්මාණය කරන්නා පමණයි.

      වාචික, ලිඛිත හෝ ඩිජිටල් දැනුම එක්කාසු කරගන්නට දැන සිටියා වුව ද, ඒ තොරතුරු පරිහරණයට ගන්නා ක්‍රමයට පිවිසෙන, එයින් ‍දැනුම උකහා ගන්නට, එහි හරි වැරදි තෝරා බේරා ගන්නට ඇති හැකියාව, යනාදීන් සිද්ධ වන ක්‍රියාවලියට නොහොත් process එක දැනුම එක්කාසු කරන්නාගේ මොළයේ නැත්නම් පමණයි එවැන්නා අනුකරණයේ පමණක් යෙදෙන නිර්මාණය කරන්න ‍නොදන්න අයෙක් වන්නේ.

      ඉතින්, කට වචනයෙන් කාලාන්තරයක් තිස්සේ ගිරව් වගේ නැවත නැවත කියන්න පුළුවන් වුනාට, පොත පතේ මෙන්න මෙතැන මෙහෙම ලියලා තියෙනවා කියල කියන්න පුළුවන් වුනාට, පරිගණකයේ අකුරු කොටලා මේ තරම් ඉක්මණින් මෙතැනින් මේක හොයා ගන්න පුළුවන් වුනාට ඒ සේරම කරන ඒකීය මොළයට බැරි නම් ඒ තොරතුරු process කරන්න එවැනි මොළයක් අනුකරණයක් පමණයි, නිර්මාණශීලි නැහැ.

  5. […] මහ වෙදනා’ එක්ක අවුලක් බේර ගන්න වුනා. සොක්‍රටීස්ට වැරදුන ‍බව ඔප්පු කරමින් අපි දෙන්න අවුල බේර ගත්ත රටවල් දෙකක […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: