අරුණි ශපීරෝ‍ වෙතින්

පැය දස දහසක රීතිය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 27, 2011

බිල් ජෝයි මිචිගන් විශ්ව විද්‍යාලයට යන්නේ වයස 16 දී ය. එහි නව කොම්පියුටර් සෙන්ටරය පටන් ගත් වසර වූ 1971 දී ය. පළමු වසර සිසුවෙක් හැටියට ඔහු අහම්බෙන් කොම්පියුටර් සෙන්ටරයට ගොඩ වැදෙයි. එදා පටන් පරිගණක ලෝකය ඔහුගේ ලෝකය ද වෙයි.

Sun Microsystems සම නිර්මාතෘ, බර්ක්ලේ විශ්ව විද්‍යාලයේ UNIX Operating System, Java programming language, Jini / JavaSpaces, JXTA, SPARC,vi, NFS, csh, BSD සහ Solaris යනාදියට ඔහු ප්‍රසිද්ධිය උසුලයි.

1970 ගණන් වල දී ජෝයි පරිගණක ගැන ඉගෙන ගනිද්දී ඒවා කාමර තරම් විශාල වූ ඒවාය! එක පරිගණකයක්, අද වයර්ලස් ෆෝනයකට වඩා අඩු හැකියා වලින් යුතු වූ අතර මිල ඩොලර් මිලියන ගණනකින් විය. ඒ නිසා පරිගණක දුලබ ය. පරිගණකයක් හොයා ගත්තොත් එය පාවිච්චියට ඉඩක් ලබා ගැනීම දුෂ්කර ය. පාවිච්චියට ඉඩක් ලබා ගත්තොත් ඊට ලැබෙන කාලයට මහත් වියදමක් දරන්නට වෙයි.

මිචිගන් විශ්ව විද්‍යාලයේ කොම්පියුටර් සෙන්ටරයේ දී සිසු සිසුවියනට කොම්පියුටර් පාවිච්චියට අවසර ලැබුනේ පැයක කාලයකි. කවුදෝ සිසුවෙක් ‘කාලය සමානයි’ සහ අකුරක් යොදා ගැනීම මඟින් (t=k) කැමති කාලයක් එය පාවිච්චි කරත හැකි බව සොයාගෙන තිබුණි. බිල් ජෝයි වැඩි කාලයක් ගෙව්වේ කොම්පියුටර් සෙන්ටරයේය.

මිචිගන් විශ්ව විද්‍යාලයේ දී පැය අටක් හා දහයක් අතර කාලයක් කැප කරන බිල් ජෝයි පශ්චාත් උපාධිය සඳහා බර්ක්ලේ විශ්ව විද්‍යාලයට ගිය විට දිවා රෑ ඊට ‍කාලය යොදවන ලදි. පාසැලේ දී පරිගණකය නොදත් හේ විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා පශ්චාත් උපාධි සමයේ දෙවන වසර වෙද්දී අද දිනයේ ද භාවිතා කෙරෙන පරිගණක තාක්ෂණය ඉදිරිපත් කරන්නට සමත් වෙන්නේ කොහොම ද?

ඔහු තමන් පරිගණකය හඳුනා ගත් දිනයේ සිට අළුත් ඉදිරිපත් කිරීමක් ‍ලොවට දායාද කරන්නට ගෙවී ගිය කාලය පැය දස දහසක් පමණ යැයි ගණන් බලා කියයි. තවත් විදියකින් කිව්වොත් බිල් ජෝයි දක්ෂයෙක් වන්නේ එම ක්ෂේත්‍රයට පැය දස දහසක් කැප කිරීමෙනි.

බීට්ල්ස් සංගීත කණ්ඩායමේ කතාව ද එසේම ය. ජර්මනියේ හැම්බර්ග් නුවර නයිට් ක්ලබ් වල වැඩියෙන් සංගීතය සැපයුනේ එංගලන්තයේ ලිවර්පූල් වලින් ආ කණ්ඩායම් වලිනි. ගෙවූ මුදල් එතරම් ඉහළින් නොවීය. සංගීතය වාදනය වූ සමාජ ශාලා ශබ්ද ශ්‍රවණය මනාව බෙදාහරින්නට ඉදි කරන ලද ගොඩනැඟිලි නොවීය. ප්‍රේක්ෂකයෝ සංගීතය අගය කළ හෝ ඒ ගැන හොඳින් දත්තෝ නොවූහ.

ලිවර්පූල් හි පැයක සංදර්ශනයක් පවත්වන්නට හුරු වී සිටි ඔවුන් ඒ පැයේ දී ප්‍රදර්ශනය කළේ ඔවුන්ගේ වඩාත් ම හොඳ සංගීතයයි. හැම සංදර්ශනයකම එකම සංගීත එකතුවක් ඉදිරිපත් කළහ. එහෙත් හැම්බර්ග් යන ඔවුනට පැය අටක් සංගීතය සපයන්නට නියම වුණි. ඒ නිසා එකම සංගීත එකතුව නැවත නැවත ඉදිරිපත් කරනවාට වඩා වේදිකාවේ ම අළුත් සංගීතය නිපදවීම ඔවුනට නොකර බැරි කාර්යයක් විය.

පැය අටක් බැගින් සතියේ දවස් හතම ඔවුන් සංගීතය සැපයීය. 1960 සිට 1962 දක්වා බීට්ල්ස් කණ්ඩායම පස් වතාවක් හැම්බර්ග් ගියහ. පළමු වතාවේ ඔවුන් සංදර්ශන 106 ක්, එකක් පැය පහකට වඩා කාලයක් වූ, පැවැත්වූහ. දෙවැනි වතාවේ ඔවුන් සංදර්ශන 92 ක් පැවැත්වූහ. රෑ 12:30 ට අවසන් කළ ප්‍රදර්ශන පසුව උදෑසන දෙක දක්වා ඇදී ගියහ. තුන්වැනි වතාවේ ඔවුන් සංදර්ශන 48 ක් (වේදිකාවේ ගෙවූ මුළු කාලය පැය 172 ක්) පැවැත්වූහ. හැම්බර්ග් පැවැත්වූ අවසාන සංදර්ශන දෙක තවත් පැය 90 ක කාලයක් ගත්තේ ය. වසර දෙකහමාරක් ඇතුලත ඔවුන් රාත්‍රී 270 ක් සංගීතය සපයා ඇත.

1964 දී ඇමෙරිකාවේ චාරිකාවකින් සංගීත ලෝකය අල්ලා ගනිද්දී ලිවර්පූල් වලින් ආ ඒ පස්දෙනාගේ සංගීත කණ්ඩායම, ඒ වනවිට සජීවී සංදර්ශන 1200 ක් පවත්වා තිබුණි. අද දිනයේත් එතරම් වාර ගණනක් සජීවි සංදර්ශන පවත්වා ඇති සංගීත කණ්ඩායමක් සොයා ගැනීම අසීරු ය.

ඔවුන්ගේ ජයග්‍රහණය හුදු හැකියාව නිසා පමණින් ලැබුණා නොව ඊට කරන ලද කැපවීමෙන් ද අත්වූවකි.

බිල් ගේට්ස් උපාධිය අතහැර ගියෙක් සේ ලෝකයා දකියි. එහෙත් උපාධිය නැමති සහතිකය නොසොයන බිල් ගේට්ස් කැප කළේ දැනුම සොයන්නට කාලයයි. 1971 දී මාස හතක කාලයක් තුල Information Sciences, Inc. නොහොත් ISI හි දී බිල් ගේට්ස් ඇතුළු සගයෝ පැය 1,575 ක් ගෙවා දැමූහ. එනම් දවසකට පැය අටක් බැගින් සතියේ දවස් හත පුරා ඔවුන් පරිගණ‍ක සොයා ගැනීම් වලට කාලය වැය කළහ. ඔවුන් එදා සතියේ දවස් හතක්, දවසකට පැය අටක්, පරිගණකයේ හිටියේ අන්තර්ජාලයේ මිතුරු හමුවට නොවේ!

බිල් ගේට්ස් උපාධිය හැර දා යන්නේ ඉතිහාසය, ඉංග්‍රීසි වැනි උපාධියට අනිවාර්ය විෂයයන්ට කාලය කැප නොකර තනිකරම පරිගණකයට කාලය කැප කරනු සඳහා ය. දෙවැනි වසරෙන් හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ඉවත් වී තම පරිගණක ආයතනය පටන් ගනිද්දී බිල් ගේට්ස් පරිගණක programming සඳහා නොකැඩී වසර හතක් කැප කර තිබුණි. එනම්, ඔහු පැය දස දහසකට වඩා කාලයක් කැප කර තිබුණි.

ඔබගේ ජීවිතයේ පැය දස දහසක් කැප කර ඉගෙන ගත් දැයක් තිබෙනවා ද?

ඔබ ඉගෙන ගත්තේ අ.පො.ස. සහතික හා උපාධි සහතික ලබා ගැනීමට පමණක් ද?

ඔබ සොයන්නේ කුමක් ද? ඔබට ලැබෙන්නේ ද එයයි.

බිල් ජෝයි, බීට්ල්ස්, බිල් ගේට්ස් සහ පැය දස දහස රීතිය ගැන විස්තර Malcolm Gladwell ලියූ OUTLIERS (2008) පොතෙනි. පින්තූර විකිපීඩියාවෙනි.

Advertisements

27 Responses

Subscribe to comments with RSS.

  1. Ocee...෴ said, on අප්‍රේල් 27, 2011 at 1:41 ප.ව.

    මේ ලිපිය නම් මගේ ඇඟටම මාර විදිහට දැනු නා…බොහෝම හරබර ලිපියක්, අපි හැමෝටම මේකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා….

  2. kevin perera said, on අප්‍රේල් 27, 2011 at 2:51 ප.ව.

    Thank YOU….aruni. වසර 16 කට පමණ පෙර මා අත්දුටු ලාංකික උදාහරණයක් කියන්නම්. රාජ්‍ය පරිපාලන සේවයට අයත් නොවූ මහබැංකුවේ නිලධාරියෙකු වන දැන් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර එකල මුදල් අමාත්‍යශයට අනුයුක්ත කොට තිබුනේ නිකම්ම නිකම් ආර්ථික උප​දේශකයෙකු ලෙසයි. උපන්නාට ජීවත්වන කුසීත රාජ්‍ය නිලධාරීන් කිසි වැඩක් නොකර ඔහේ නිකම් කාලය කද්දී භාණ්ඩාගාරයේ අඳුරු මුල්ලක ඔහු දමා තිබූ හුදකලා කාමරයේ සිට පී. බී. දැඩි කැපවීමකින් වැඩකරන අයුරු එකල මා පිනවන දසුනක් විය. එකල භාණ්ඩාගාරය අරක්ගෙන තිබූ තඩි අතින් ලියන ලෙජර් පොත් වෙනුවට ඔහුගේ කෙළි බඩු වූයේ එකල DOS පරිගණක යන්ත්‍ර Lotus123 පැතුරුම් පත් (පසුව excel) ය. ඔහුට ඉහලින් සිටි සියලු දෙනා පරයමින් මහා භාණ්ඩාගාරයේ ඉහලම තනතුර වූ භාණ්ඩාගාර ලේකම් දක්වා ඔහුව ගෙන ගියේ සිගරට් පැකට් ගනන් බොමින් නොනවත්වා වැඩ කරමින් කල කැපවීම බව මා සියැසින්ම දුටුවෙමි.

    • arunishapiro said, on අප්‍රේල් 28, 2011 at 8:32 පෙ.ව.

      kevin perera,
      කළින් සටහනක සඳහන් කරපු ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරියත් එසේම තම වෘත්තියට කැප වෙච්ච අයෙක්. එයා ඇමෙරිකාවේ අධ්‍යනය කරද්දී පාඨමාලාවට කොටු නොවී හැම අතින් ම තොරතුරු සොයා ගත්තේ ලංකාවට ගියාම ක්ෂේත්‍රය දියුණු කරන්න. ගියාට පස්සෙත් මෙහෙ දැකපු අහපු දේවල් විස්තර ගැන ආයෙ ආයේ අහලා එව්වා. කවදාවත් ‘නම්බු නාමයකින්’ පිදුම් ලබන එකක් නැහැ. කෝටිපතියෙක් වෙන එකක් නැහැ. නමුත් තම සේවය උපරිමයෙන් කරන්නට දැනුම එක්කාසු කිරීම සොයන නිසා සතුටින් ජීවිතය ගෙවන්නියක්.

  3. Haree said, on අප්‍රේල් 27, 2011 at 4:01 ප.ව.

    තමුන්ගෙ හෙට දවස වෙනුවෙන් අද මහන්සි වෙන්න ඕනෙ. වපුරන තරමටයි අස්වැන්න ලැබෙන්නේ කියනවනෙ.

    මම හිතන විදිහට මේ වගේ කතා මහන්සියෙන් වැඩ කරන අය (Hard workers) තවත් දිරිමත් කරාවි.

    • arunishapiro said, on අප්‍රේල් 28, 2011 at 8:33 පෙ.ව.

      Haree,
      මහන්සි වෙලා වැඩ කරන එකෙත්, අරමුණක් ඇතිව වැඩ කරන එකෙත් වෙනසක් තියනවා. ගොඩාක් දෙනා මහන්සි වෙනවා. ඒත් අරමුණක් ඇතිව මහන්සි වෙන්නෙ කී දෙනෙක් ද?

  4. Alchemiya said, on අප්‍රේල් 27, 2011 at 6:39 ප.ව.

    මගේ නම් ජීවිතයම 1993 ඉඳල ගෙවුනෙ රසායන විද්‍යාව වෙනුවෙන්… මට රසායන විද්‍යාව ඉගෙන ගන්න පුදුම ඇම්මක් තිබුණෙ… තවමත් නොදන්නා දේ බොහෝයි… සමහර දේවල් නම් අත තියන්නත බැරි තරම් දුරකින් තියෙන්නේ…
    දවසක් අපි කතා කර කර ඉන්නකොට එක්කෙනෙක් ඇහුවා මට ලොතරැයියක් ඇදුනොත් මොකද කරන්නේ කියලා… මම ගත් කටටම කිවුවේ රසායන විද්‍යා පුස්තකාලයක් හදනවා කියලා… අන්න එහෙම අමාරුවක් තමයි මට රසායන විද්‍යාව ඉගෙනගන්න තිබුණේ… දැනුයි කියලා අඩුවක් නෑ….
    මම හිතන්නේ මගේ පැය දස දහස රසායන විද්‍යාවටයි, කියවන්නයි, ලියන්නයි තමයි ගෙවෙන්න ඇත්තේ….
    ඒ ගැන මට දුකක් නම් නෑ…

    • arunishapiro said, on අප්‍රේල් 28, 2011 at 8:41 පෙ.ව.

      Alchemiya,
      අවසන් ඉලක්කය කුමක් ද? දැනුම ද? අළුත් සොයා ගැනීමක් ද? විශ්ව විද්‍යාල පට්ටම ද?

      රසායන විද්‍යා පුස්තකාල සිහිනය සාර්ථක වීමට නම් ඇල්කෙමියාට අද ලොතරැයියක් ඇදෙනකම් බලාගෙන ඉන්න ඕන නැහැනෙ. අර ක්‍රීඩා කුසලාන පිරිලා තියන රාක්කයේ ඉඩක් හදා ගත්තම හරි!!!

      • Alchemiya said, on අප්‍රේල් 28, 2011 at 10:09 පෙ.ව.

        මගේ අවසාන ඉලක්කය විශ්ව විද්‍යාල පට්ටම නම් නෙවෙයි…. ඒක මට තවත් අකුරු තුනක් විතරයි… දැනුම ලබාගැනීම සහ බෙදා හැරීම මගේ මූලික පරමාර්ථයක්…. ඒ වගේම අළුතෙන් යමක් ලොවට දායාද කිරීමත් ඉහලින්ම තියෙන බලාපොරොත්තුවක්…
        ඒ සියල්ලටම වඩා මගේ පරමාර්ථය මේ ලෝකය අනාගතයට සුරක්‍ෂිතව භාර දෙන්න පුළුවන් හැම දෙයක්ම කිරීම…
        ඒකයි මම නිතරම පරිසරය සුරැකීම ගැන, හරිතාගාර ආචරණය ගැන ආදී දේ කියන්න උත්සාහ කරන්නේ….
        බලමු හරි යාවිද කියලා…. එක වරකට එක් අයෙක් වෙනස් කරන්න පුළුවන් නම් ඒකත් ලොකු ජයග්‍රහණයක්….

  5. Kathandara said, on අප්‍රේල් 27, 2011 at 6:53 ප.ව.

    මගේ දවසෙන් පැය තුනකටත් වඩා ගතවෙන්නේ බ්ලොග් සහ අනෙකුත් ලිපි ලේඛන සඳහායි.
    අනාගතයේ බිල් කෙනෙක් වීමට හැකි නම්!

    • arunishapiro said, on අප්‍රේල් 28, 2011 at 8:51 පෙ.ව.

      Kathandara,
      බිල් ගේට්ස් කාලය ගෙව්වෙ ‘programming’ වලට. බ්ලොග් සහ ලිපි ලේඛන ලිව්වාම ‘programming’ ලියන්න හැකියාව ලැබෙන්නෙ කොහොම ද?

      ඊ ළඟට බිල් ගේට්ස් වගේ ධනවතෙක් වෙන්න අදහසක් තියනවා නම් සිංහල කියවන්නාට ලිවීමෙන් ධනවත් වූ අයෙක් ගැන අහලා තියනවා ද?

      අනික, බිල් ගේට්ස් වගේ තමා වැඩියෙන් කැමති ක්ෂේත්‍රයේ පුරෝගාමියෙක් වෙන්න අදහසක් තියනවා නම්, බ්ලොග් සහ ලිපි ලේඛන වලට යොදවන කාලය පැය තුනකට වඩා වැඩි කරන්න වෙනවා.

  6. praveena said, on අප්‍රේල් 27, 2011 at 10:31 ප.ව.

    //ඔබ සොයන්නේ කුමක් ද? ඔබට ලැබෙන්නේ ද එයයි.//
    එසේ නම් නියමැයි.
    මේ කියන්නේ අර ‘සොයන්නාට සම්බවේ’ කියන එකමද?

  7. නවම් said, on අප්‍රේල් 28, 2011 at 2:17 පෙ.ව.

    වාසනාවට හැමදෙයක්ම වෙනකන් බලන් ඉන්න පුරුදු වෙච්ච හැමෝටම අළුතෙන් හිතන්න යමක් ! බොහෝම ස්තූතියි

    • arunishapiro said, on අප්‍රේල් 28, 2011 at 9:00 පෙ.ව.

      නවම්,
      වාසනාව පෑදෙන්නෙ කවදා ද? කොයි ආකාරයෙන් ද? හොයන්න වැඩි කාලයක් යොදවන අය වාසනාව උදා කරගන්න පුළුවන් විදිය පෙන්නලා දුන්නත් තමන් වෙහෙසෙන්න අකැමතියි. ලොතරැයියක් හූරන්නයි වැඩි කැමැත්ත!!!

    • arunishapiro said, on අප්‍රේල් 28, 2011 at 9:19 පෙ.ව.

      හාවා,
      ඔයා දැම්ම ලින්ක් එකට ගියා.

      සීමා නොමැතිව ‘ජාවා ඉගෙන ගැනීම පමණක් නිසා ඩොලර් මිලියනපතිවරු’ බිහි කරන හැටි!!!

      මොනවට පැය දස දහසක් අවශ්‍යය ද?!!!!

      අරමුණ: ජාවා ඉගෙන ගෙන ඩොලර් මිලියනයක් හොයා ගන්න එක.

      පටන් ගන්නෙ ඩොලර් දාහකින් (රුපියල් ලක්ෂයකින්); ඒක හම්බ කරන්න කොච්චර කාලයක් ද?

      ඩොලර් මිලියනයක, ඩොලර් දාහේ ඒවා දාහක්; ඒක හම්බ කරන්න‍ කොච්චර කාලයක් ද?

      ඒ තරම් කාලයක් ඩොලර් අගේ එහෙම්ම ඇති.

      තාම වැඩ සටහන අළුත් නිසා වෙන්නැති තවම ලංකාවේ ඉන්න ඩොලර් මිලියනපතියෙක්ගෙ විස්තර නැත්තෙ.

      අඩු ගානේ “ඇමෙරිකාවේ ඉන්න ජාවා ඉගෙන ගැනීම පමණින් ඩොලර් මිලියනයක්” හොයා ගත්ත අයෙක් ඉන්නවා නම් ඒ ගැන විස්තරයක් වත් දාන්න තිබුණා!!!!

  8. ravi gamage said, on අප්‍රේල් 28, 2011 at 6:14 පෙ.ව.

    දැනට අවුරුදු 20කට විතර කලින්මම පුංචිකාලේ
    ඉස්කොලෙ යද්දි මගේ තාත්තා මට කියවන්න
    ගෙනත් දීපු මනස සගරාවෙ තිබුන ජිවිත කතාවක්
    වගේ රසවත්. ස්තුතියි බෙදාගත්තාට.

  9. arunishapiro said, on අප්‍රේල් 28, 2011 at 9:24 පෙ.ව.

    ravi gamage,
    මාත් හැදුනේ ඒ වගේ ජීවිත කතා කියවලානෙ!!!

    ඒත්, කියවලා නිකම් හිටියේ නැහැ. මගේ අරමුණු ඔස්සේ, කැප කිරීම් වලින් යුතුව ඉලක්කය හඹා යන උත්සාහය ද ගත්තා. අද ඒවා සියල්ල සාර්ථකයි.

  10. Observer said, on අප්‍රේල් 28, 2011 at 11:26 පෙ.ව.

    මම දන්න කෙනෙක් අවංකවම උත්සාහ කරනවා නිවන් දකින්න. මම මනුස්සයව හොඳට දන්නා නිසා මම විශ්වාස කරනවා ඒක ඉතාම අවංක ලෙසත්, උනන්දුවෙනුත් කරන උත්සායක් කියල.

    • arunishapiro said, on අප්‍රේල් 28, 2011 at 1:07 ප.ව.

      Observer,
      දුකට හේතුව තණ්හාවයි. නිවන් අවබෝධය සඳහා තණ්හාව (thirst) දුරු කළ යුතුය. නිවන් අවබෝධය සඳහා අවංකවම ගන්නා උත්සාහයක දී නිවන් අවබෝධයට තණ්හාවක් ‍නොමැතිව උත්සාහයක් ගන්නේ කොහොම ද?

      ඔබා අයියා ගෙන් නෙමෙයි අහන්නෙ, මේකට පැහැදිලි උත්තරයක් දීපු කෙනෙක් තාම හොයාගන්න බැරි නිසා.

      • Ashoka said, on මැයි 27, 2011 at 12:01 ප.ව.

        මා දන්න හැටියට: තණ්හාව නැති කිරීමට තණ්හාවම යොදා ගත යුතුයයි බුදුන් උපදෙස් දී ඇත. තණ්හාව නැති කිරීමට ආශවක් නැතිව එම මාර්ගයට පිවිසීමට නොහැකි නිසාය. සියලු ආශවන් දුරු කර, සිතට සැනසීම, නිවීම ඇති කර ගැනීමේ ආශාවක් ඇති කරගැනීම වරදක් නැතිවා පමනක් නොව, එසේ නැතිව නිවන් මගට යන්නටත් බැරිය. මෙය පැහැදිලිවම කියා ඇති දෙයකි. සිදුහත් කුමරා ගිහි ගෙය හැර ගියේ සත්‍ය දනගැනීමේ ආශව නිසාය. සිත වඩාත් දියුන වන විට සියලු ආශා නැති වේ.

  11. සුදු කළු සහ අළු said, on අප්‍රේල් 28, 2011 at 11:37 පෙ.ව.

    මේ කතාව ලියපු එකට නම් ගොඩක් ස්තූති වන්ත වෙනවා…. මේ වගේ කතා කියවන කොට තමයි හිතෙන්නේ මං ගමන් කරන පාර හරි කියල… මං මුලින්ම පරිගණක භාෂාවක් ඉගෙන ගන්නකොට මට වයස අවු 12-13 විතර ඇති.ඒ වෙනකොට මං හිටපු/ඉන්න පලාතත් එක්ක පරිගණකයක් හොයාගන්නවා කියන්නේ කලුනික හොයනව වගේ වැඩක් ඊට වඩා අමාරුයි ගුරුවරයෙක් හොයාගන්න එක!!ඒ දවස් වල පරිගණක විද්‍යාවට තිබුණු නොසන්සිදෙන ආශාව (අදටත් එසේමයි) නිසා මා තහවුරු කරගත් මාර්ගයක් මට පෙනුණා,තාමත් මම පැය 10000 ක් නම් මේකට කැප කරල නැතුව ඇති.ඒත් ඒ දවස වැඩි ඈතක නෙවෙයි…මේ දේට මම උසස් පෙලදී වැඩි කාලයක් කැප කරපු නිසා මම පලමු වතාවේ උසස් පෙලට කණුවක් ගන්නවා(බ්ලොගේ සටහනක් තබන්නම් මේ ගැන…).හැබැයි උසස් පෙල ව්‍යාපෘතියට බහුතරයක් අල හිටවන හැටි ,තේ වගාවල් වගේ සුපුරුදු ව්‍යාපෘති වාර්තාවල් ඉදිරිපත් කරනකොට මම ඉදිරිපත් කලේ “බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාවට“(Artificial Intelligence) අදාල ව්‍යාපෘතියක් ඒක සාමාන්‍යෙයන් සරසවියේදී තුන්වෙනි වසරේදී විතර හමුවෙන විෂයක්….. නමුත් මා සරසවියේදී ඉගෙන ගන්නා දේ (අදටද) මට වැදගත් වන්නේ මගේ GPA එකටම නෙවෙයි කියල මං දන්නවා.විෂය ඉගෙන ගැනීමට තිබු කුතුහලය සන්සිදෙන තැනක් විදිහයටයි මං සරසවිය දකින්නේ….

    • arunishapiro said, on අප්‍රේල් 28, 2011 at 1:10 ප.ව.

      සුදු කළු සහ අළු,
      උඩින් ඇල්කෙමියා දීලා තියන පිළිතුර කියවන්න. ‍ලෝකය ආපස්සට නොයා ඉදිරියට යන්නේ ඔහු වැනි ඔබ වැනි අය සිටිනා නිසාවෙනි.

  12. […] ඇමෙරිකාවේ ය. එම නිසාම ඇමෙරිකාවෙන් ‘පැය දස දහසක රීතිය’ අනුව කැපවීමෙන් හා වෙහෙසීමෙන් ස්ව […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: