අරුණි ශපීරෝ‍ වෙතින්

ධනවාදයේ පදනම

Posted in Uncategorized by arunishapiro on මැයි 23, 2011

18 වැනි ශ. ව. දී ලෝකයේ හැම අයෙකුට ම නිවහල් මිනිසකු වන්නට ඉඩක් නොවීය.

ඒ සමය එංගලන්තයේ ජනගහණය ඉක්මණින් වර්ධනය වූ සමයකි. ජාතික ආදායම ඉහළ ගියේය. මහා මාර්ග දියුණුවක් ඇති වූයේය. කියැවීම හා ලිවීම මහජනතාව අතර වර්ධනය වූයේය. එංගලන්තයේ ජනගහණය මිලියන දහයකට අඩු විය. රදළ රාජාණ්ඩුවකින් රට පාලනය විය. රට තුල පැතිර ගිය කම්හල් නිසාත්, ඇමෙරිකාව ඇතුළු සරු බිම් තිබි යටත් විජිත නිසාත්, බ්‍රිතාන්‍යය ලොව මහත් අධිරාජ්‍යයක් බවට පත්වෙමින් තිබියේය.

බ්‍රිතාන්‍යයේ පාලන බලය හිමි වූයේ රදළ පංතියේ සාමාජිකයන් (british aristrocrats) දළ වශයෙන් 200 පිරිසකට ය. ඩ්‍යුක්වරුන් (Duke) සිටියේ 28 කි. නමුත් ඔවුන් සතු දේපල හා තත්වය නිසා දේශපාලනයට අසමාන අන්දමින් බලපෑම් කරන්නට ඔවුනට හැකිවිය. උප්පත්තිය නිසා ලබන රදළ පංතියේ තනතුරු ඉහළ සිට පහළට මෙසේය. රජු, රැජින හා කුමරු කුමරියන්; ඩ්‍යුක්, ඩචස්; මාර්කි, මාචිනෙස්; අර්ල්, කවුන්ටස්; වයිකවුන්ට්, වයිකවුන්ටස්; ලොර්ඩ්, ලේඩි. මේ රදළ පංතිය House of Lords නම් වූ පාර්ලිමේන්තු ඉහළ සභාවේ අසුන් ගත්තේ උපන් උරුමය නිසා ය. මරණය නිසා පමණක් ඔවුන් විශ්‍රාම යති. 1778 දී චැතැම් හි අර්ල්වරයා ඒ ඉහළ සභාවෙන් සමුගත්තේ කතාවක් පවත්වමින් සිටිය දී අතරමැද දී හැදිච්ච හෘදයාබාධයකිනි!

ඊට අමතරව පාර්ලිමේන්තුවේ ඉහළ සභාවේ සිටියේ රජු පත්කරන ප්‍රභූ දේවසභා නියෝජිත පිරිසකි.

ඒ 200 ක රදළ පංතිය ඉහළ සභාවේ අසුන් ගනිද්දී ඔවුන්ගේ පුතුන්, ඥාතීන්, මිතුරන් සමාන්‍ය අයගේ සභාව (House of Commons) වූ පහළ සභාවේ අසුන් පිරවූහ. එකළ බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියනුයේ සෑම වසර 5 කට ම සැරයක් මේ පහළ සභාවේ මන්ත්‍රී ආසන 558 පුරවන්නට මහා මහැතිවරණයක් පැවැත්වීම නිසයි.

එදා මහා මැතිවරණයක දී චන්දය දෙන්නට හැකිවූයේ භූමියට හිමිකම් කියූ අයට පමණකි. ඒ කාලයේ දී එංගලන්තයේ කාන්තාවන්ට භූමි අයිතිය නොවීය. මිලියන 10 කට අඩු ජනගහණයක භූමි අයිතිය හිමි වූයේ 3,000 ක ආසන්න පිරිසකට පමණි. එනම් ජනගහණයෙන් 3% ක පිරිසකට ය!

නීතියේ අඩුපාඩු නොමඳ වූ නිසා රදළ පංතියට හා ධනවතුන්ට පාර්ලිමේන්තු ආසනයක් ලබන්නටත්, ව්‍යවස්ථාවට බලපෑම් කරන්නටත් හැකියාව තිබූ නිසා ‘එකළ තිබි ප්‍රජාතන්ත්‍රවාදයෙන්’ ඔවුනට එතරම් බලපෑමක් නොවීය. රදළ පංතිය තම මුදල් හා වෙහෙස යෙදුවේ පහළ සභාව තමනට කැමති අය 200 පමණ පිරිසකගෙන් පුරවන්නට ය. ඉතිරිය කැමති අයට අයිති කරගන්නට (තරඟයට) ඔවුන් ඉඩ දුන්හ.

අද බ්‍රිතාන්‍යයේ රදළ උප්පත්තිය හා රැජින පත් කරන දේවසභා නියෝජනය කරන (peerage) ඉහළ සභාවේ සාමාජික සංඛ්‍යාව 786 කි. රටේ ජනතාව තෝරා පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 650 කි.

18 වැනි ශ. ව. දී යුරෝපා සහ ආසියානු රටවල් පාලනය වූයේ රජ පරම්පරා අතිනි. ප්‍රංශයේ සිටියේ 16 වැනි ලුවී (Louis XVI) රජු ය. වසර 18 කට ආසන්න කාලයක් බලයේ සිටි ඔහු සිහසුන ලබන්නේ වයස 20 පිරෙන්නට පෙර ය. ඔහු විවාහ වන්නේ අවුරුදු 15 දී ය. චාරිත්‍රානුකූලව ඔහුට වතුර වීදුරුවක් දෙන්න සේවකයන් හතර දෙනෙක් අවශ්‍ය වුණි. ප්‍රංශය මරා දමන ලද එකම රජු ඔහු ය.

ඉන්දි‍යාවේ බ්‍රිතාන්‍ය පාලනයට අමතර ව මහාරාජා පවුල් නොයෙකුත් ප්‍රාන්ත පාලනයේ යෙදී සිටියහ.

අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ, අරාබි හා අප්‍රිකානු ගෝත්‍රික පාලනයන් හා රාජාණ්ඩු තිබුණි.

ඇමෙරිකාව සමහර පැති ස්වදේශී ඉන්දියානුවන් ගෝත්‍ර නායකයන් අතින් පාලනය විය. සමහර පැති ස්පාඤ්ඤ, ප්‍රංශ, නෙදර්ලන්ත රාජාණුඩුවන්ට අයිති වූහ. ස්වදේශී ඉන්දියානු ගෝත්‍රයන්ට වාසභූමි පරිහරණයට අයිතියක් තිබිණ. ස්වදේශී ඉන්දියානු ආකල්පය වූයේ භූමිය හැමට අයිතියි, ඒකීය පුද්ගලයාට ඊට අයිතියක් කිව නොහැකියි කියා ය.

මීට බෙහෙවින් වෙනස් වූයේ 18 වැනි ශ. ව. යටත් විජිත ඇමෙරිකාවට ගොඩ වැදුනේ සංක්‍රමණික පිටරැටියන් පිරිසකි. 18 වැනි සියවසේ යටත් විජිත ඇමෙරිකාවට ගොඩ බැස්සා වූ ඕනෑම සංක්‍රමණිකයෙකුට භූමි අයිතියක් ලබා ගැනීමට ඉඩක් හා අවසරයක් ලැබුණි. එකළ නන් දෙසින් යටත් විජිත ඇමෙරිකාවට ගොඩ බැස නව දේශය තම ස්ථිර වාසස්ථානය කරගත් ජනතාව අතර ප්‍රභූ පංතියේ රදළයන්‍ කිසිවෙක් නොවූහ. තාවකාලිකව රැඳී සිටි රදළයන් ඒ ඒ රාජාණ්ඩු නි‍යෝජනය කරන්නට එවන ලද්දෝ පමණකි. ඔවුන් ආපසු කැඳවන්නට ඒ ඒ රාජාණ්ඩු වලට බලය තිබිණ.

රජ පවුලට, ප්‍රභූ පංතියට, ධනවත් වෙළඳ ව්‍යාපාරික පවුලකට අයත් නොවී තමන් කැමැති රැකියාවක් කරන්නට, ගොවිතැන් කටයුතු වල නිරත වෙන්නට, කෙටියෙන් කියතොත් තම ශ්‍රම මහන්සියෙන් තම දියුණුව සලසා ගන්නට ඉඩක් තිබිණ. සෙසු ලෝකයේ පුද්ගලයා තමා පාලනය කළ රජතුමාට, ගෝත්‍රික නායකයාට හෝ අධිරාජ්‍යයට දී, ඉතිරිය තමන්ට තබා ගන්නට වෙහෙසෙද්දී යටත් විජිත ඇමෙරිකානුවන් වෙහෙසුනේ තනිකරම තමන් වෙනුවෙන් පමණකි. ඔවුන් මුල් කාලය තුල දී බ්‍රිතාන්‍යයට බදු ගෙව්වේ නැත. බ්‍රිතාන්‍ය දමා තිබූ වෙළඳ තහනම් හා සම්බාධක නොතකා ඔවුන් බ්‍රිතාන්‍ය හා සටන් වැදි අන් රටවල් සමඟ ද වෙළඳ ගණුදෙනු කළහ. බ්‍රිතාන්‍යය වෙළඳ තහනම් හා සම්බාධක දමා තිබුනේ සියළු වෙළඳාමෙන් තමනට පමණක් වැඩි වාසි ලබනු පිණිස ය.

යටත් විජිත ඇමෙරිකාවේ භූමි අයිතිය සඳහා ප්‍රංශ හා ස්පාඤ්ඤ සටන් වලට වැය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මුදල් ය. ප්‍රංශ හා ස්වදේශී ඉන්දියානුවන් අතර යුද්ධයේ ජය බ්‍රිතාන්‍යයටයි!!! බ්‍රිතාන්‍යයේ වාර්ෂික යුද වියදම පවුම් මිලියන 6.5 සිට 14.5 දක්වා ඉහළ ගියේය.

යටත් විජිත ඇමෙරිකන් ප්‍රාන්ත 13 හි වාසය කළේ මිලියන 2 ක පමණ ජනතාවකි. කැනඩාවේ මහා විල් ආශ්‍රිත පදිංචි වූ ප්‍රංශ ජනතාව ද ප්‍රංශ සහ බ්‍රිතාන්‍යය පාලනයට යටත් විය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආධිපත්‍යය පවත්වා ගන්නට මේ වැය දරන්නට සිද්ධ වීමේ දී ඇමෙරිකානුවන් බ්‍රිතාන්‍ය හා සමඟ කරන වෙළඳ ගණුදෙනු වලින් ලැබෙන මුදල් මදි යැයි ද ඇමෙරිකාව ප්‍රංශ හා ස්පාඤ්ඤ හමුදා වලින් රැක ගැනීම සඳහා යුද මෙහෙයන් වලට ඇමෙරිකානුවන් බදු ගෙවිය යුතු යැයි ද බ්‍රිතාන්‍ය කියා සිටියේය.

මේ බදු අය කෙරුනේ යටත් විජිත ඇමෙරිකාවේ විසූ සංක්‍රමණිකයන් ගෙනි. බ්‍රිතාන්‍යයේ වැසියන් වෙතින් මේ බදු අය වූයේ නැත. දැන් මෙහි දී සුවිශේෂී වෙනස්කම හඳුනා ගත යුතුය. සංක්‍රමණිකයා වෙහෙසෙන්නේ තමන් වෙනුවෙන් පමණකි. බ්‍රිතාන්‍ය වැසියාගේ දේපල අයිතිය බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව සමඟ බැඳී තිබෙන නිසා ඔහු සේවය කරන්නේ තමන් වෙනුවෙන් පමණක් නොවේ.

යුද සඳහා මුදල් වැය දැරුවත් සටන් වැදියේ තමන් යැයි කියූ ඇමෙරිකානුවන්, තම රජය සේ සලකන බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවට තමන් පමණක් බදු ගෙවන්නේ ඇයි යන්න විමසූහ. එසේ නම් බ්‍රිතාන්‍ය වැසියන් ද බදු ගෙවිය යුතු යැයි ඇමෙරිකානුවන් කීහ. බ්‍රිතාන්‍ය වැසියන් ඊට කැමැති නැත්නම් ඇමෙරිකානුවන් කියා සිටියේ ඇමෙරිකාව ආරක්ෂා කිරීමට බ්‍රිතාන්‍ය රජයෙන් හමුදාවක් අවශ්‍ය නැතැයි කියාය.

‘නිවහල් මිනිසා’ ස්වාධීන වූ ඒකීය පුද්ගලයෙක් යන සංකල්පය යුරෝපීයයන්ට එදා නොවැටහුණි. ගෝත්‍රික වූ ආකල්පය තුලින්, ගෝත්‍රය නම් අස්තිත්වයයි (entity). මිනිසා වනාහි සාමූහික ගෝත්‍රය තුල වූ කැප කළ හැකි එක් අංශුවක් පමණි යන ආකල්පයෙන් යුතු විය. උප්පත්තිය නිසා ඉහළ සභාවේ පුටුවක් හිමිවීම සහ රටවැසියෙකු වූ පමණින් හමුදා සේවය අනිවාර්ය කරන පිළිවෙත් පවතිද්දී යුරෝපයේ ‘වහල් මිනිසා’ තවමත් දකිනු හැකිය.

මෙය පාලකයන්ට ද දාසයන්ට ද එක ලෙසින් බලපෑ සංකල්පයකි. පාලකයාට බලය පවත්වා ගත හැක්කේ තම ගෝත්‍රයට කරන සේවය, එනම් ගෝත්‍රයට ආරක්ෂාව සලසා දීම මත ය. රදළයාගේ ජීවිතය හා වස්තුව අයිති රජුට ය. පුද්ගලික දේපලට වූයේ උරුමක්කාරයන්ට පැවරෙන්නා වූ, සීමිත පිරිසකට පමණක් අයිති කරගත හැකි වූ, de facto අයිතිය මිසක නීතියෙන් ඕනෑම අයෙකුට අයිති කරගත හැකි වූ, නීතියෙන් ඕනෑම අයෙකුට විකුණත හැකි වූ de jure අයිතියක් නොවේ. නීතියෙන් සියළු දේපල අයිතිය ගෝත්‍රයේ ප්‍රධානියා වූ රජුට ය. රාජකීය අවසරයෙන් පමණක් එහි ඵල භුක්ති විඳින්නේ ය. රජුට දේපල ඕනෑම විටෙක ආපසු ගන්නට, වෙන කෙනෙකුට පවරන්නට හැකියාව ඇත.

භූමියට තනි අයිතියක් කියන්නට ලොව ප්‍රථම වතාවට ඉඩ ලැබීම නිසා ඇමෙරිකාවේ ‘නිවහල්’ මිනිසා තුලින් ‘නිවහල්’ චින්තනයට මඟක් පෑදුණි. එනම්, අනුන්ගේ ප්‍රසාදය දිනා යමක් ලබා ගන්නවාට වඩා තම වෙහෙස මහන්සියෙන් තමන්ට ලබාගත හැකි, ඒ ලැබූ වස්තුව කිසි විටෙක අනුන්ට උදුරා ගන්නට බැරි, ‘පුද්ගලික අයිතිය’ යන සංකල්පය බිහි විය.

යුරෝපීයයන් සහ අද ලෝකයේ ද නිවහල් පුද්ගලයා යන සංකල්පයේ අරුත හැටියට බොහෝ අය සිතා ඉන්නේ එදා රජුට අයිති වූ රටවැසියා සේ අද ඉන්නේ ආණ්ඩුවට අයිති වූ රටවැසියෙක් කියා ය. රජුට හෝ ආණ්ඩුවට ‘පුද්ගලයාට අයිතියක්’ කිය නොහැකි බව ‘ඇමෙරිකන් නිවහල් මිනිසා’ අර්ථකතනය වෙයි.

පුද්ගලික අයිතිය පිළිබඳ ‘ගෝත්‍රික’ ආකල්පය පවුලක් තුලින් ද දිස්වෙයි. පවුලක ඒ ඒ සාමාජිකයාගේ කාර්ය භාර්ය පවුලේ සුබ සාධනය සඳහා ද නැත්නම් ඒකීය සාමාජිකයාගේ කාර්ය භාරය ස්ව සුබ සාධනය ද යන්න විමසන්න. දෙමාපියන් විසින් දරුවන් වෙත පටවා ඇති බලපොරොත්තු; ජාතිය, කුලය, සමාජ තත්වය හා බැඳී තිබීම නිසා දරුවන් යම් රාමුවක හිර වී සිටීම. ස්ව කැමැත්ත පසු පසට ගොස් පවුලේ කැමැත්ත ඉදිරියෙන් සිටීම. පවුලේ ඒකීය සාමාජික බලතල හා අයිතීන් එක හා සමාන මට්ටමකින් නොතිබීම.

මේ ආකාරයෙන් බලද්දී, සමානාත්මතාවය පතුරවත හැකි වඩාත් ම පැහැදිලි මිනුම් දණ්ඩ ‘පුද්ගලික අයිතිය’ වෙයි. එය ඒකීය පුද්ගලයා අයිති කරගත් භූමිය, මුදල්, භාණ්ඩ යනාදී දේපල පිළිබඳ අයිතියක් පමණක් නොවේ. එය ඊට වඩා ඉහළින් වූ ‘ස්වාධීන කැමැත්ත’ ගැන වූ ඒකීය පුද්ගලයා යනු ‘කිසිවෙකු යටතේ නොවන්නා’ යන්න ගැන වූ පුද්ගලික අයිතියකි. එවැනි සංකල්පයක් එදා ලෝකයේ වෙන කිසි රටකින් දැකිය නොහැකි ය. අද දිනයේ ද මේ සංකල්පය සත්‍යයයෙන් වටහා ගන්නට ලොව බොහෝ පිරිසකට අසීරු වී ඇත.

අද දිනයේ ද ඇමෙරිකාවට අතේ සතේ නැතිව ගොඩ බහින සංක්‍රමණිකයෙකුට ස්ව උත්සාහයෙන් පමණක් එහි ඉහළ තලයේ ධනවතකු වන්නට ඉඩකඩ ඇත්තේ මේ නිසාය. එය අද දිනයේ ද වෙනත් කිසිම රටකින් දකිනු නොහැකිය. ඇමෙරිකාවේ දී ඔබ විනිශ්චය වන්නේ, ඔබට සැලකිලි ලැබෙන්නේ, ඔබගේ කුල පරම්පරාව, අධ්‍යාපනය, මුදල් බලය යනාදියෙන් නොව ‘ඔබ යන මිනිසා’ කවුදැයි අනුව ය.

සංක්‍රමණික‍යෙකුගේ දරුවෙක් වූ බරාක් ඔබාමා ජනාධිපති වෙන්නේත්, ස්ටීව් ජොබ්ස් නැමති හදාගත් දරුවා ධනකුවේරයෙක් වෙන්නෙත්, තැබෑරුමක් අතු ගෑ ‍ජෝන් බේනර් කතානායකයා වෙන්නේත්, ඩොමිනික් ස්ට්‍රවුස් කාන් නැමති රටක ජනාධිපතිවන්නට හැකියාව තිබූ අයකු වෙතින් අතවරයට ලක් වූ හෝටල් කාමර සුද්ද කරන කාන්තාවට නීතිය කැඳවන්නට බලයක් ලැබෙන්නේත්, නිවහල් පුද්ගල අයිතියට තැනක් ලැබෙන එකම රට තවමත් ඇමෙරිකාව නිසාවෙනි.

ධනවාදයේ පදනම නම් මේ පුද්ගල අයිතිය වෙයි. තමා ජීවත් වන්නේ තමන් වෙනුවෙනි. වෙන කිසිවෙක් වෙනුවෙන් නොවේ.

21 Responses

Subscribe to comments with RSS.

  1. පූසා said, on මැයි 23, 2011 at 10:28 පෙ.ව.

    “ධනවාදයේ පදනම නම් මේ පුද්ගල අයිතිය වෙයි. තමා ජීවත් වන්නේ තමන් වෙනුවෙනි. වෙන කිසිවෙක් වෙනුවෙන් නොවේ”

    ඒ කියන්නේ ධනවාදයේ පදනම ආත්මාථකාමීත්වයද?

    • arunishapiro said, on මැයි 23, 2011 at 12:08 ප.ව.

      පූසා,

      ස්වාධීන මිනිසා හා පරාධීන මිනිසා යන මැයෙන් ඔක්තෝබර් 15, 2010 ලියූ සටහන මෙතැන දී නැවත කියැවීම වැදගත් යයි හිතුණි. පුද්ගල අයිතිය ප්‍රතිවිරුද්ධ එකඟතාවයක් වත් (compromise) හෝ පිරිසක් තුලින් දකිනා වූ ස්වාධීන වූ චින්තනයේ සාමාන්‍යයක් (average) ද නොවේ. ආත්මාර්ථකාමයක් නැති තැන පරාර්ථකාමයට ඉඩක් ඇත් දැයි විමසන්න.

      තමන් අගය නොකරන්නක් දන් දීමෙන් පිනක් ඇත් ද?!!!

      “නිර්මාණශීලීත්වය ඉපදෙන්නේ පුද්ගලයෙක් තුල ය. සාමූහික මොළයක් තුලින් නොවේ. සාමූහික වූ චින්තනයක් තුලින් නොවේ. මොළ රාශියක් එකම අදහසක් හා එකඟ වෙන්නේ තම තමන්ට පමණක් වූ මොළයෙන් විමසා බලා ය. සාමූහික වූ චින්තනයක් යයි අපි අල්ලා ගෙන සිටිය ද එවැන්න එක් එක් පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන ලද එක් එක් මත එක් එක් පුද්ගලයින් විසින් පිළිගෙන සිටීම ය. පුද්ගලයෝ පිරිසක් විසින් එකඟතාවයට පැමිණෙන්නේ නම් එය එක්කෝ ප්‍රතිවිරුද්ධ එකඟතාවයකි (compromise) නැතහොත් පිරිසක තුලින් දකිනා වූ ස්වාධීන වූ චින්තනයේ සාමාන්‍යයකි (average).

      නිර්මාණ ශිල්පියා ස්වාර්ථකාමී ය. එයම නිර්මාණය ශක්තියේ රහසයි. ස්ව-සම්පූර්ණ වූ, ස්ව-අභිප්‍රායෙන් යුතු වූ, ස්ව-උපදවා ගත හැකියාවකින් යුතු වූවෙක්ට පමණක් නිර්මාණශීලීත්වය ඇත.

      පෘතුවියේ උපන් මිනිසාට කිසිවක් ඉබේ නොලැබේ. ඔහු ජීවත්වන්නේ යම් අයෙක් විසින් කරන්නා වූ නිෂ්පාදන වලිනි. එක්කෝ ඔහුට තම මොළයේ උපකාරයෙන් ස්වාධීනව කටයුතු කළ හැකිය. නැතහොත් අනුන්ගේ මොළ වල උපකාරයෙන් නිෂ්පාදිත දේ පරපෝෂිතයෙක් සේ උකහා ගෙන ජීවත්විය හැකිය.

      නිර්මාණකරුවා උපදවයි. පරපෝෂිතයා අනුන්ගේ දේ පාවිච්චියට ගනියි. නිර්මාණකරුවා ස්වභාව ධර්මයා හා ගැටෙන්නේ තනිවම ය. පරපෝෂිතයා ස්වභාව ධර්මයට මුහුණ දෙන්නේ තවත් ආධාරකරුවෙකු හරහා ය.

      නිර්මාණකරුවාගේ උත්සාහය ස්වභාව ධර්මය ජය ගැනීමයි. ස්වභාව ධර්මය හා ගැටෙන්නා අව්වෙන් වැස්සෙන් බේරී ඉන්නටත්, ආහාර හා සෞඛ්‍යයය පවත්වා ගන්නටත් උත්සාහයේ යෙදෙයි. මෙහි දී පළමු අරමුණ තමන් තුලම වූ දක්ෂතාවයේ ඵල නෙළීම ය. පරපෝෂිතයාගේ උත්සාහය මිනිසුන් ජය ගැනීමයි. මිනිසුන් තුලින් ජීවත්වන පරපෝෂිතයාට මිනිසුන් නොමැති ජීවිතයක් නැත. ඒ නිසාම අනිත් අය ඔහුගේ පළමු අරමුණ වෙයි.

      නිර්මාණකරුවාගේ මූලික අවශ්‍යතාවය වනාහි ස්වාධීනත්වය වෙයි. විචාරාත්මක මනසකට බාහිර බලපෑම් පිරි පරිසරයක වැඩ කරනු නොහැකිය. නිර්මාණයක දී අනිකුත් අය හිතන්නේ කුමක්දැයි විචාරය දෙවැනි ස්ථානය ගනියි.

      පරපෝෂිතයාගේ මූලික අවශ්‍යතාවය අනිකුත් අය හා අත්වැල් බැඳ ගැනීමය. එසේ නොකළ හොත් බඩ වඩා ගැනීම කෙසේ වෙතත් කුසගින්න නිවා ගැනීමට ද නොහැකිය. පරපෝෂිතයා සබඳතා වලට පළමු ස්ථානය දෙයි. මිනිසාගේ පැවැත්ම අනුන්ට සේවය කිරීම සඳහා වෙතැයි එවැන්නා කියයි. පරාර්ථාකමීත්වය අගය කරයි.

      පරාර්ථාකාමීත්වය නම් මිනිසා අනුන් වෙනුවෙන් ජීවත් වීම ය. තමන්ට වඩා ඉහළින් අනුන්ව තැබීම ය.

      තම ආමාශය තුලින් තවකෙකුගේ ආහාර දිරවීමට නොහැකි සේ, අනිකා වෙනුවෙන් හිතන්නට මොළය ද දීමට මිනිසාට නොහැකි ය. මේ මූලික සිද්ධාන්තය ප්‍රතික්ෂේප කරන පරාර්ථාකාමය වඩා ඉහළ අගයකින් තබන පරපෝෂිතයන් විසින් පරාර්ථකාමය වඩා අගනේය යන අවියෙන් පීඩිතයෝ සූරා කති.

      අනුන් වෙනුවෙන් ජීවත් වන්නා වහලෙකි. ශ්‍රමික වූ වහල් භාවය පිළිකුල් නම් මානසික වූ වහල් භාවය කොතරම් පිළිකුල් විය යුතු ද?

      වඩාත්ම උසස් උත්කෘෂ්ටය නම් ජය ගැනීම (achieve) නොව දානය (giving) යයි පොදුවේ පිළිගන්නා සම්මතය මිථ්‍යාවක් නොවන්නේ ද?

      නිර්මාණය කරන ලද්දක් මිස නැත්තක් දානය කළ හැකි ද? බෙදා දීමකට පෙර නිර්මාණයක් බිහිකළ යුතු නොවේ ද? නැත්නම් බෙදා දෙන්නේ කුමක් ද?

      නිර්මාණකරුවාගේ පැවැත්මේ අවශ්‍යතාවය පළමුවත්, ඉන්පසුව පමණක් ප්‍රතිලාභියෙකු (දානය ලබන්නකු) ගැන කතා කළ හැකි නොවේ ද?

      එහෙත් අපිව හුරු පුරුදු කර ඇත්තේ තෑගි නිපැයූ අයව අගය කිරීමට වඩා තෑගි බෙදා දෙන්නාගේ වෑයම අගය කිරීමට නොවේ ද?

      අපි ත්‍යාගශීලී කටයුත්තක් පැසසීමට නොපසුබට වෙමු. එහෙත් අපි නිර්මාණයක් ඉදිරියේ දී දෙවුර හකුළමු. උත්සාහය හා වෑයම නිසා ලබන ජය ගැනීම ඒ නිසා නොව වාසනාව නිසා යැයි ඔප්පු කරන්නට නොහැකි වුව ද එසේ වූවා යයි සිතින් අල්ලා ගෙන සිටිමු. එවැන්නාට තම කුසීත බව හා ඕනෑකම නැතිබව නිසා වන අසාර්ථකත්වය ගැන දුකක් නැත.

      ස්ව ශක්තීන් නම් සිතන්නට, වටහා ගන්නට, විනිශ්චයට හා කටයුතු කිරීමට ඇති හැකියාවන් ය. එහෙත් අපිට වඩා අගනේය කියා හැමදාම කියා දෙන්නේ ස්ව-නැති කම (selflessness = පරාර්ථාකමය) වන්නේ ඇයි?

      හොඳ (good) හා නරක (evil) ලෙස ස්වාර්ථය (egotism) හා පරාර්ථය (altruism) සැලකිය හැකි ද?

      ස්වාර්ථය නම් තමන්ගේ හිතසුව පිණිස අනුන් බිලි දීම ද? පරාර්ථය නම් අනුන්ගේ හිතසුව පිණිස තමන් බිලි දීම ද?

      එය එසේ නම්, මිනිසා අනිකුත් මිනිසුන් සමඟ අවලංගු කළ නොහැකි ලෙසින් අසරණ කර බැඳ තබා ඇත. එසේම එවිට මිනිසාට තෝරා ගැනීමට හැක්කේ දුකින් පිරුණු පිළිතුරකි. තමන් බිලි දී අනුන්ගේ හිතසුව සැලසීමට හෝ අනුන් බිලි දී තමන්ගේ හිතසුව සැලසීමට ය.

      මිනිසා ඉදිරියේ ඇති තෝරා ගැනීම නම් මෙවැනි අන්ත දෙකකින් එක අන්තයක් නොවේ. තෝරා ගැනීම නම් ස්වාධීනයෙකු වෙනවා ද? නැතහොත් පරාධීනයෙකු වෙනවා ද? යන දෙකින් එකකි. එය ජීවත් වෙනවා ද? නැතහොත් මරණයට පත්වෙනවා ද? වැනි වූ තෝරා ගැනීමක් වෙයි.

      ස්වාර්ථ හිතවාදියෙක් යන්න පරම අර්ථයකින් විමසද්දී, එවැන්නා අනුන් බිලිදෙන්නෙකු නොවන බව පෙනී යයි. එවැන්නා අනිත් කිසිවකුගේ අවශ්‍යතාවයන් වලට ඉහළින් සිට කිසිදු ආකාරයකින් අනිකුත් අයව ප්‍රයෝජනයට නොගන්නා කෙනෙක් වන්නේය. කිසිවෙක් වහලකු කර නොගන්නා පුද්ගලයා කිසිවෙකුගේ වහලකු ද නොවන්නේ ය.

      පුද්ගලයා අනුව මෙම හැකියාව වෙනස් ප්‍රමාණයන් වලින් යුතුය. එහෙත් මූලික සිද්ධාන්තය එකම ය. ස්වාධීනත්වය, කුසලතාවය, කැමැත්ත හා උවමනාව අනුව පුද්ගලයාගේ වටිනාකම මිනිසකු වශයෙන් ද ශ්‍රමිකයෙකු වශයෙන් ද දැකිය හැකිය. මිනිසාගේ සද්භාවය හා අගැයුම මැනීමට ඇති එකම මිම්ම මිනිසාගේ ස්වාධීනත්වයයි. මිනිසා තමා වෙනුවෙන් කුමක් ඉෂ්ට කළා ද යන්න ඔහුව අගය කරත හැකි එකම මිම්ම වෙයි. ඔහුට ඇති දෑ මොනවා ද හා ඔහු අනිකුත් අය වෙනුවෙන් කුමක් කළා ද යන්න මත පුද්ගලයාගේ අගය තීරණය නොවෙයි.”

    • Chanuka Wattegama said, on මැයි 23, 2011 at 11:11 ප.ව.

      සටහනට සම්පූර්ණයෙන් එකඟ නැතත් කියවමි. විරුද්ධ වන තැනෙකදී කොක්කක් ඇද ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය. තවම එවැන්නක් ලොකුවට නැත.

      පූසාට:

      ඒ කියන්නේ ධනවාදයේ පදනම ආත්මාර්ථකාමීත්වයද?

      ධනවාදයේ පදනම තාර්කික ආත්මාර්ථකාමීත්වයයි. තාර්කික ආත්මාර්ථකාමීත්වය (rational selfishness) ආත්මාර්ථකාමීත්වයෙන් වෙනස්ය. ආත්මාර්ථකාමීත්වයට වඩා යහපත්ය. ප්‍රායෝගිකය. තාර්කික ආත්මාර්ථකාමියා තමන්ගේ ආත්මාර්ථකාමීත්වය වෙනුවෙන් සමහරවිට තාවකාලිකව පරාර්ථකාමී වෙයි. උදාහරණයෙක් ලෙස කාර්යාලයකදී කණ්ඩායමක් සේ ක්‍රියා කරයි. බසයකදී වැඩිහිටියකුට අසුන දෙයි. ඒ තමන් ඒ තත්ත්වයට පත් වූ පසු ඒ සැලකිල්ල ලැබීමේ ආත්මාර්ථකාමී බලාපොරොත්තුවෙනි.

      කොටින් කිව්වොත් තාර්කික ආත්මාර්ථකාමියා මෝඩ ලෙස ආත්මාර්ථකාමී නොවී, ආත්මාර්ථකාමයේ සීමා දැන එය වඩා වාසි සහගත අවස්ථාවන්හීදී පරාර්ථකාමී වෙයි. නමුත් ඒ පරාර්ථකාමීත්වයද charity වෙනුවෙන් නොව තමන් වෙනුවෙනි. (ආයතනයේදී කණ්ඩායම් හැඟීමෙන් ක්‍රියා කරනුයේ ආයතනය කෙරෙහි ඇති බැඳීමක් නිසා නොව, එතුළින් ආයතනය ඉහළට ගෙන ගොස් තමන්ට වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණෙනි.)

      මතුපිටින් බැලූ විට මේ මාර්ගය ඉතාම තර්කානුකූලය. මේ අයිඩියොලොජියේ වැරද්ද පසුව කතා කරමු. (සැ. යු. මේ කතා කරන්නේ morals ගැන නොවේ.)

  2. Ashoka said, on මැයි 23, 2011 at 9:02 ප.ව.

    Even though capitalism was the solution for 18th century society, how can we say it is still the solution for the modern world ?

    I think both capitalism and socialism, even the very argument of socialism vs capitalism is now out dated. (that may be a separate discussion. more on that is in here)

    Few suggestions :
    1) Capitalism is not the same as democracy. (even socialists hail democracy) So we can not present Pro factors of democracy to justify capitalism. Capitalism needs democracy, but that doesn’t mean IT IS the democracy!

    2) Capitalism is not the same as Freedom (as in what people understood it in french revolution and American revolution, for example) So generic arguments for Freedom from tyranny or from occupation can not be used as justifications for capitalism. They are disjoint. Capitalists can be tyrants as well!

    3) I think it will be needed to prove consumerism is the right thing to do (produce more, consume more) if one is to really justify capitalism. Without consumerism, capitalism loose it’s drive. However, consumerism lifestyle can not be sustained much longer, but that too is a separate discussion. 🙂

    Appreciate your effort to explain capitalism, nice post too!

    • Chanuka Wattegama said, on මැයි 23, 2011 at 11:32 ප.ව.

      @Ashoka,

      I too think the 1970s capitalism vs. Socialism debate is meaningless, irrelevant and badly outdated. Typically those who engage this debate are so called ‘socialists’ (an engendered species) who still feel nostalgic about their romantic past.

      But again, whom I am to question Aruni on what she put in her blog? I guess it is her right. 🙂

      • Ashoka said, on මැයි 24, 2011 at 10:49 පෙ.ව.

        Thanks Chanuka for the reply.

        I basically think capitalism/socialism both about increasing production and consumption. They differ only in relatively minor things. Besides there is no fine line where capitalism should end and socialism should start. Hybrids everywhere and definitions are loose!

        Most important thing as I see it is to get away from the lifestyle of consuming more. Current definitions of development need to get adjusted to suit the environmental crisis and peaking of utilization of resources (peak oil for example). It is simply not possible for all countries to be like US, that will simply destroy the world! an impractical myth! every country trying to ‘develop’ and be like America is just a dream, like everybody trying to get selected to state universities. (There is only fixed number of entrants for the university, cut off mark will simply go up when students getting more marks)

        This I think is my main disagreement with Aruni who seems to be advocating the American way of life for all. There could be better alternatives!

    • arunishapiro said, on මැයි 24, 2011 at 8:12 පෙ.ව.

      Ashoka,
      ඔයා නොදකින පැත්තක් මේ අය දකිනවා ඇති: කොමියුනිස්ට් චීනය අද ධනවාදී ක්‍රම ක්‍රියාත්මක කරති. රුසියාව ධනවාදයට බැස්සෙ මන්ද? සෝවියට් රුසියාව යටතේ වූ එස්ටෝනියාව නිදහස් වී ධනවාදයෙන් වසර 10 ක දී දියුණුව ලැබුවේ ඇයි? ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ කැනඩාව (මෑතක දී) එක්ක ඉන්දියාව (ඊයේ පෙරේදා වූ කේරළ මැතිවරණය සමාජවාදීන් නෙරපා හැරූ හැටි කියෙව්වා ද) ද අළුතින් පත් කරගන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයන්ට හිතවාදී වූ පාලකයෝ ය. අද කියුබාව ද සියළු කුඩා පුද්ගලික ව්‍යාපාර අයිති අයට සේවකයන් බඳවා ගන්නට ඉඩ දෙයි.

      1. ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් දෙනුයේ ධනවාදය පමණයි. සම්පූර්ණ වූ පුද්ගල අයිතියට ඉඩක් නොමැති කළ නිවහල් මිනිසෙක් ජීවත් වනුයේ කොහොම ද? නිවහල් මිනිසා නැති කළ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතිනුයේ කොහොම ද?

      2. ධනවාදයෙන් tyrant කෙනෙක් බිහිවන්නේ කෙසේදැයි පෙන්වන්න.

      3. ඔව්, මේකට ඉක්මණින් එනවා. ඔයා පුදුම වෙයි!!!

      • Ashoka said, on මැයි 24, 2011 at 10:29 පෙ.ව.

        Aruni, I’m not advocating what Russia did and China did. Infact I accept capitalism was better than feudal systems before it. What I’m saying is it is now high time for us to review the consumerism fancies we are stuck in. There are possibilities and better ways to go from here than continuing to believe consuming as the only thing which will add value to us.

        I think we now need to think beyond consumerism, capitalism and socialism and find a sustainable approach suitable for the future world.

        Why do I say that ? please refer to my recent posts. Sorry I can’t paste all in here. 🙂

        Like to hear your comments there (specially on specific points you don’t agree)

        ළඟදීම (යම් දිනක ) සියල්ල සි0හලට හරවා නැවත පළ කිරීමට ද බලපොරොත්තු වෙමි.

      • Ashoka said, on මැයි 24, 2011 at 2:27 ප.ව.

        ඔන්න මම ඊට ටිකක් කලින් ඔයාව පුදුම කළා. 🙂 Services to the Rescue ?

  3. උකුස්සා said, on මැයි 24, 2011 at 12:26 පෙ.ව.

    හිත හොද අත්මාර්තකාමියා දනවාදයේ ඵක් මූනක් විතරයි.නියම මූන නම් හිතක් පපුවක් නෑති ම0කොල්ලකරයය.ඵකියන්නේ අපේ දේශාපාලුවො වගේ.

    උන්නාන්සේලා හොරාකන බව අපිත් දන්නවා.
    ඵත් රෙද්ද බෑනියම අදින නිසා,පන්සල් නොවරදවාම යනනිසා,චන්දකාලෙට පිටට තට්ටුවක් දාලා කතාකරන නිසා,ටිකක් හොරාකෑවට මොකෝ කියාලා අපිත් දෙනවා චන්දේ.
    යටින් බලනකොට පලාතේ පාතලේ,කුඩු,බඩු,මල්,කසිප්පු ඔක්කොම වියාපාර ඵතුමගේ.කරන්නෙ නම් චක්ගෝලයෝ.අපිත් ඉතින් ගෝඅලයන්ට බෑනබෑන මන්ත්‍රී තුමාට ආයෙත් චන්දෙ දෙනවනෙ.
    අනික ඉස්පිරිතලෙට ඵවන පෑරසිටමෝල් ඵ්කේ ඉදන් ගහල ගහලා,පාරවල්,පාලම්,ඈලවල් බෝක්කු හෑම ඵකෙන්ම කොමිස් ගහාලා, කප්ප0 වලින් වෙසක් ඵ්කට ලොකු දන්සලක් දුන්නම,දුප්පත් ලමයෙකුට පොතක් පෑන්සලක් දුන්නම අපි රෑවටෙන්නෑද්ද?

    ඔක තමා අපෙයි දනවාදෙයි අතර තියන සම්බන්දය.

    • arunishapiro said, on මැයි 24, 2011 at 4:52 ප.ව.

      උකුස්සා,
      පුද්ගල අයිතිය කුමක් දැයි වටහා නොගෙන, පුද්ගල අයිතීන් රැක ගැනීමට කටයුතු නොකර, තම රටේ ඉන්නා දුෂ්ට පුද්ගලයන් කරන ක්‍රියා නිසා ධනවාදය වැරදි යැයි කීම අනුවණකමකි. මන්ද ලොව හිටපු සහ ඉන්නා සමාජවාදී පාලකයෝ සහ ඔවුන්ගේ හෙංචයියන්ගේ ක්‍රියා කලාපයන් ද ඔබ ඔය කියන්නට නොදෙවනි නිසා ය. උදාහරණයක් දැනටමත් දී ඇත: ප්‍රංශ සමාජවාදී පක්ෂයෙන් ප්‍රංශයේ ඊ ළඟ ජනාධිපති වන්නට සිටි ඩොමිනික් ස්ට්‍රවුස් කාන්. අපට සමාජවාදී සහ කොමියුනිස්ට් රටවල් වලින් වැඩිය කිසිවක් අහන්න නැත්තේ ඔබ ඉන්නා රටේ මෙන්ම එවැනි රටවල් වල ද මහජනයාට තම මත ප්‍රකාශ කරන්නට නිදහසක් නැති නිසා ය. නැතිව ඔවුන් සුදනෝ නිසා නොවේ. ඇමෙරිකාවේ සියළු වැරදි එළිමහනේ හෝදන්නට පුදුම නිදහසක් ඇත!! ඉතින් සියළු වැරදි අහන්නට ද ඔබට ඉඩක් ලැබේ!!

  4. kevin perera said, on මැයි 24, 2011 at 1:11 ප.ව.

    මෙම ලිපි පෙලේ අරුනි දක්වන කරුනු වලට පිලිතුරු දීම නිෂ්ප්‍රයෝජන වැඩක්.අරුනි මේ කතා කරන්නේ මහ පොලොවේ ඇත්තට පවතින ධනවාදය ගැන නොව ඇය ආදරය කරන දෘෂ්ටිවාදය (පෙම්වතා) ගැන සහ එයාට මම ආදරේ ඇයි යන්නයි.පෙම්වතිය පෙම්වතාගේ අන් අය නොදකින අමුතු ලස්සනක් දකී. නිවහල් පුද්ගල අයිතිය,ප්‍රජාතන්ත්‍රවාදය,නිදහස වැනි දේවල් වලින් ස්ව්‍යායක්තව ද මහ පොලොවේ ධනවාදය ක්‍රියාත්මක වේ. එසේම නිවහල් පුද්ගල අයිතියට තැනක් ලැබෙන ඇමරිකාවේ ධනවාදය ලෝකව්‍යාප්ත පද්ධතියක් තුල ඇති ඒකාධිපති රටක පවතින ධනවාදයේ ප්‍රතිපක්ෂයක් නොව එකිනෙකා මත යැපෙන්නන්ය. නිවහල් ඇමරිකාවේ ඇපල් කොම්පැනියේ ස්ටීව් ජොබ් ට ප්‍රාග්ධනය සමුච්චනය සඳහා ipad iphone හදන්නේ ඒකාධිපති චීනයේ ෆොක්ස්කොන් කොම්පැනියේ පුද්ගල අයිතිය අහිමි cheap කම්කරුවන්ය.

    • kevin perera said, on මැයි 24, 2011 at 1:21 ප.ව.

      In other words, we are always within ideology because of our reliance on language to establish our “reality”; different ideologies are but different representations of our social and imaginary “reality” not a representation of the Real itself. that is why those who are in ideology believe themselves by definition outside ideology: one of the effects of ideology is the practical denegation of the ideological character of ideology by ideology: ideology never says, “I am ideological.” (Althusser, Louis.Philosophy and Other Essays. Trans. Ben Brewster. New York: Monthly Review P, 2001.)

    • arunishapiro said, on මැයි 24, 2011 at 4:34 ප.ව.

      kevin perera,
      ඇයි අනේ නිශ්ඵල වැඩ කරන්නෙ?!!!

      මගේ පෙම්වතා ගැන ලියන ලිපි කියවන්න එනවාට ස්තූතියි. ඔව් අනේ මම හරි ආදරෙයිනෙ එයාට!!

      මම ඉන්නේ අමුතු රටක. ප්‍රංශයේ ජනාධිපති වෙන්න හිටපු සමාජවාදී නායකයකු විසින් තවත් පුද්ගලයෙකුගෙ අයිතීන්‍ අහිමි කරන තතු හා නිසි දඬුවම් ලැබීම ලෝකයාට වසන් කරත හැකි වහල් රටක නොවෙයි.

      දුප්පත්කමින් ඉපදී එදා මෙන් අදත් ධනකුවේරයෙක් වෙන්න වාසනාව ඕනෑම කෙනෙකුට නැති වහල් රටකත් නෙවෙයි.

      ඇපල් කොම්පැණියේ ‍පරිගණක කොටස් හදන්න ෆොක්ස්කොන් කොම්පැණියට බදු නිදහස දීලා ගෙන්න ගන තියෙන්නෙ බ්‍රසීලය බව කෙවින් දන්නෙ නැතිව ඇති.

      චීනයේ පුද්ගල අයිතියක් නැති වීම කොහොම ද ඇමෙරිකන් ධනවාදයේ වැරැද්ද වෙන්නෙ?

      • kevin perera said, on මැයි 24, 2011 at 6:25 ප.ව.

        //චීනයේ පුද්ගල අයිතියක් නැති වීම කොහොම ද ඇමෙරිකන් ධනවාදයේ වැරැද්ද වෙන්නෙ?//
        මා කිසිවිටක චීනයේ පුද්ගල අයිතියක් නැති වීම ඇමෙරිකන් ධනවාදයේ වැරැද්දක් යැයි කියා නැත. මා කියන්නේ පුද්ගල අයිති ප්‍රජාතන්ත්‍රවාදය,නිදහස වැනි දේවල් හා ධනවාදය අතර කිසි සම්බන්දයක් නැත යන්නයි.මෙවා නැතිවද ධනවාදය ක්‍රියාත්මක වේ.

        • arunishapiro said, on මැයි 25, 2011 at 9:52 පෙ.ව.

          kevin perera,
          අද ඔබාමාටත් වෙලා තියන වැරැද්ද එයයි. ධනවාදයේ පදනම අමතක කරලා ධනවාදය දන්නවා යැයි කියන්න බැහැ. ධනවාදයේ පදනම නම් පුද්ගල අයිතියයි. පුද්ගල අයිතියක් නැතිවිට ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ නිදහසක් ගැන ද කතා කළ නොහැකියි. නිදහසක් සහ ප්‍රජාතන්ත්‍රවාදයක් දෙන්නෙ කාට ද? සමාජයට ද? සමාජයෙ වාසය කරන පුද්ගලයාට ද?

      • Chanuka Wattegama said, on ජූනි 7, 2011 at 11:42 ප.ව.

        ධනවාදයේ පදනම ඊනියා පුද්ගල අයිතියක් නොව තණ්හාවයි. එසේම “සමාජවාදයේ” පදනම පරාර්ථකාමීත්වය නොව ඊර්ෂ්‍යාවයි. අප මේ සරල සත්‍යයන් බැහැර කළ යුතුද?

  5. චතුර said, on ජූනි 7, 2011 at 2:46 ප.ව.

    අරුණි

    ජොන් පර්කින්සන්ගේ ඉකොනොමික් හිට්මෑන් (කුලී ආර්ථික ඝාතකයෙකුගේ ප්‍රහාරය ) පොත ගැන අහලා හෝ කියවා ඇතයි සිතමි…
    ධනවාදී පමනක් නොව සමාජවාදී රටවල් පවා අනෙක් රටවල් සූරාකෑමට ලක් කරන බව ඇත්තකි..නමුත් අමෙරිකාව සත් භාවයෙන් පුද්ගල නිදහස රැකීමට මේවා කරනවායයි කීම සත්‍ය අමු අමුවේ පාවා දීමකි…

    දෙමල ජනයාගේ පුද්ගල නිදහස රැකීමට ලංකණ්ඩුවට බල්පැම් කරන ඇමරිකාව…පලතීනුවන්ගේ මානව අයිතීන් රැකීමට ඒශ්‍රයලයට බලපැම් නොකරන්නේ මන්ද?

    වතාවක් කොලඹ විශ්වවිද්යාලයේ දෙශනයක් කිරීමට ආ එවකට අමෙරිකන් තානාපත් රොබට් ඔ බ්ලකේ ගෙන් සරසවි සිසුහු ද ඉකොනොමි හිට් මෑන් පොතේ එන චොදනා විමසු විට..ඔහු එයින් පැන ගියේ…ඕවා J.V.P වැනි පක්ශවල අසත්‍ය ප්‍රකාශ බවයි…ඔහුට අනුව ජොන් පර්කින්සන් J.V.P කාරයෙකි

  6. Buddhika Thambugala said, on ජූනි 26, 2011 at 12:28 ප.ව.

    ඉකොනොමික් හිට්මෑන් නවකථාවට ප්‍රබන්ධයක් නොකියා වෙන අහවල් මගුලක් කියන්ඩද? රොබර්ට් බ්ලේක්ගේ දේශපාලන දැනුම ගැන අප දන්නේ නැත.. තානාපතියෙකු ප්‍රශ්නයකට දෙන පිළිතුරකින් මුළු රටක් මැනීමට පෙර ඔබ දෙවරක් සිතුවා නම් මොකද? ඕනෑම දලකාරයෙකුගේ ජඩ වැඩ ඉතිරි නොකරම හෙළි කරන්නට තරම් නිදහසක් ඇමෙරිකාවේ ඇත.. වෝටර්ගේට් සිද්ධියෙන් පසු සිය සබදතාවයක් ඔප්පු නොවී වුව ද ජනාධිපති නික්සන් ඉල්ලා අස් වූ බව අමතක කරන්න්නේ ඇයි?
    ඊශ්‍රායලය සහ ශ්‍රී ලන්කාව සම්බන්ධව ඇමෙරිකාව කටයුතු කර ඇති අන්දමේ වෙනසක් ඇති නමුත් ඇමෙරිකාව දෙමළ සහ පලස්තීනියානු පුද්ගලයන් දෙකොටසගේම අයිතිවාසිකම් පිළිබදව කතා කර ඇත. එසේම ලන්කාවට සහ ඊශ්‍රායලයට ත්‍රස්තවාදයට එරෙහිව සහය පළ කර ඇත. කොටි සන්විධානය ලන්කාවේ නීත්‍යනුකූල කාල වලදී පවා ඇමෙරිකාවේ පැවති කොටි තහනම ඉවත් වූයේ නැත. කොටින්ගේ ලොකුම ආයුධ ගනුදෙනුව අල්ලා දෙන ලද්දේ එෆ්.බී.අයි පොලිසිය බව ද අමතක නොකරන්න.. එම ගනුදෙනුව සාර්ථක වී එස්.ඒ.18 මිසයිල කොටින්ට ලැබුණි නම් ගුවන් හමුදා කෆීර් (ඊශ්‍රායලයෙන් ගෙන්වන ලද ) වලට අත් වන්නේ නරක ඉරණමකි. කෙළින්ම කොටි නොවුනත් කොටින්ට සම්බන්ද ටී.ආර්.ඕ වැනි සන්විධාන වලට පවා ඇමෙරිකන් රජය විසින් බාධා කරන ලදී.
    ඇමෙරිකානු රජය ලන්කාව සම්බන්ධව නොව වෙනත් කිසිම රටක් සමග සද්භාවයෙන් කටයුතු නොකරන බව ඇත්තකි.. එහෙත් එසේ නම් සද්භාවයෙන් ලන්කාවට හෝ වෙනත් රටකට මැදිහත් වන / වූ මහා බලවතෙකු කරුණා කර නම් කරන්න.. සියළු දෙනා තමන්ගේ උපරිම අභිවෘද්ධිය බලාපොරොත්තු වීම මනුෂ්‍ය සමාජයේ යථාර්ථය මිස අන් කිසිවක් නොවේ. එහෙත් ඇමෙරිකාවේ ඇති විශේශත්වය වනුයේ එහි වැසියන්ට රජය විසින් ගෙන යන වරදි ක්‍රියා මාර්ඝ විවේචනය කිරීමට අති නිදහසයි.. වියට්නාමය වැනි, රජය ඉතා වැරදි කරන අවස්ථා වල එම බල පෑම්, එම ක්‍රියාකාරිත්වයන් නැවැත්වීමට තරම් ප්‍රමාණවත් විය.. වියට්නාමයෙන් ඇමෙරිකන් හමුදාව ඉවත් වූයේ අභ්‍යන්තර විරෝධය නිසාය.. රුසියාව නැගෙනහිර යුරෝපය දශක ගනනාවක් අල්ලාගෙන සිටියේය.. ඔවුන් විසින් මරන ලද, දූශණය කරන ලද ජර්මන්, යුක්‍රේන්, පෝලිෂ්, හන්ගේරියන්, බල්ගේරියන්, චෙකෝස්ලෝවකියන්, එස්ටෝනියන්, ලැටිවියන්, බෙලොරුසියන්, ඇෆ්ඝන් සිවිල් ජනතාව නිමක් නැත.. එහෙත් එම රට වලින් ඉවත් වන ලෙස රුසියන් ආණ්ඩුවට ජනයාගෙන් බලපෑම් ඇති නොවීය.. මන්ද යත් රුසියන් පාලන තන්ත්‍රයේ ජනයා යනු නොවැදගත් සාධකයක් බැවිනි..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: