කළු සුදු කියා නැත; ඇත්තේ අළු පාටයි
පුද්ගලයන්ට, යම් ක්‍රියාවන්ට, මූල ධර්මයන්ට, හැදියාවන්ට සහ සද්ගුණය ගැන කතා කරද්දී ‘හරි වැරදි කියලා එක පැත්තක් නැහැ’ කීම අහන්නට පුළුවන්.
ඉංග්‍රීසියෙන් කියද්දී good and evil වගේම සිංහලෙන් කියද්දී ද ‘හොඳ නරක’ යැයි සඳහනක් වන්නේ ඇයි? නිතරම හොඳ මුලින් සඳහන් වන්නේ ඇයි?
කළු සහ සුදු නැත්නම් අළු තියෙන්නට ද බැරි ය. අළුපාට නම් කළු සහ සුදු පාටවල්හි සංකලනයකි. ඒ නිසා අළු ගැන කියන්නට පෙර කළු ගැන හා සුදු ගැන කියා පැහැදිලි කරගත යුතුය.
සද්ගුණය ගැන සාකච්ඡාවක දී හොඳ මොනවා ද, ඊ ළඟට නරක මොනවා ද යන්න පැහැදිලි කරගත යුතුය.
ආර්ථික ක්‍රමයක් ගැන සොයා යෑමක දී එකක් හොඳ නම් අනික නරක නම් සංකලනයක් කුමකට ද? නරක පැත්තෙන් ඇබිත්තක් වත් ගා ගෙන එය අළුපාට යැයි කියන්නේ කුමකට ද? දෙපැත්තම එකයි යයි කියද්දී අදහස් කරන්නේ අළුපාටින් යුතු වීම නොවේ ද?
සද්ගුණය ගැන කතාබහක දී යාන්තමින් හෝ නරක ගෑවිච්ච විට (අළුපාට වූ විට) තව දුරටත් එතැන ‘සද්ගුණයක්’ තියෙන්නක් වන්නේ කොහොම ද?
හොඳක් කරන්නට යන අයෙක් විසින් හොඳ චේතනාවක් පෙරදැරි කරගෙන ක්‍රියාවක් නිසා නරකක් වූ කල එය අළුපාට යැයි කිව නොහැකිය. සද්ගුණය ගැන කතාබහේ දී චේතනාව හොඳ නිසා ක්‍රියාව සුදු බවින් ම යුතුය.
හොඳ කරන චේතනාවෙන් යන පුද්ගලයා අතින් වූ ක්‍රියාවකින් සිද්ධ වූ නරක අවංක වැරදීමකි (honest error). එහෙත් නරක ප්‍රතිඵල දැක දැක තව තවත් එහි නැවත නැවතත් නියැළෙනවා නම් ඔහුගේ චේතනාව හොඳ යැයි කිය නොහැකිය.
පුද්ගලයාට දැනුම නොමැති කම නිසා සද්ගුණයට හානියක් සිද්ධ නොවේ. කිසිම සද්ගුණයක් ගැන විමර්ශනයක දී සද්ගුණය සොයන පුද්ගලයා අතින් වැරදි සිද්ධ නොවේ (infallible) හෝ පුද්ගලයා සියල්ල දන්නවා (omniscient) යැයි අපේක්ෂා නොවේ. තමන් දන්නා පමණින් හොඳ චේතනාවෙන් හොඳ වැඩ කිරීම සද්ගුණය වෙයි.
හොඳ චේතනාවක් සුදු පාටින් මිසක අළු පාටින් දකින්නේ කවුද?
සද්ගුණය ගැන විමසන්නට කම්මැලි නිසා, වැඩ අධික නිසා, අකමැති නිසා, දෙනෙත් පියා වෙනතක් බලා සිටීමෙන් මනස වැසී යයි. චින්තනය අඩාල වෙයි. සිද්ධියට පාදක සාධක බැහැර ලා ‘නොදැන සිටින්නට’ වෙහෙසන අය අප අතර බොහෝ වැඩිය. සුදු ගැන සොයන්නට උවමනාවක් නැති ඔවුන් අළුපාට නොවෙති. ඔවුන් කළු පැහැයම ගන්නෝය.
‘ලෝකේ කවුරුත් සර්ව සාධාරණ නැහැ’; ’ලෝකෙ කවුරුත් සම්පූර්ණයෙන් නිවැරදි නැහැ’; ‘කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ටික ටික තියෙනවා’ යනාදියෙන් සද්ගුණය යනු කුමක්දැයි නොසොයා මුග්ධතාවයේ සිටීමෙන් සද්ගුණය යන්න කුමක් දැයි පැහැදිලි කිරීම අන්දබූත කරන්නට හැකිය.
එයින් හැමෝම කළු හා සුදු මිශ්‍රණයකින් යුතු යැයි කියා පිළිගැනීමක් සිද්ධ වේ.
පුද්ගලයාට තෝරා ගැනීමේ හැකියාවක් ඇති බව සද්ගුණය ගැන කතාබහේ දී සැලකිල්ලට ගත යුතුය. මේ තරම් පිරිසක් මෙසේ කරන නිසා හෝ මේ තරම් පිරිසක් එසේ නොකරන නිසා යැයි ගැලවෙන්නට ඔබ කරන තෝරා ගැනීම තුලින් නොහැකි ය. හොඳ හෝ නරක තෝරා ගන්නේ ඔබයි. එහි අයිතිය ඔබගේ ය. එහි ප්‍රතිඵල අත්විඳින්නේ ද ඔබම ය.
පුද්ගලයා තෝරා ගැනීමක් ඉදිරියේ සිටිනා විට තමන්ට කළින් වූ දහදෙනා මෙය තෝරාගත් නිසා යැයි කියා තෝරා ගන්නට හැකි පිහිටක් නැත. දහයක් වුවත් මිලියන දහයක් වුවත් වැරද්ද තෝරා ගැනීම කරන්නේ නම් 11 වැනියා එම වරැද්දම තෝරාගත යුතු යැයි රීතියක් ලොව නැත.
බොහෝ මිනිසුන් සද්ගුණය අතින් හොඳ නොවීමට හේතු බොහොමයකි. නමුත් එය අළුපාට ගැන කතාබහක් නොවේ. තමන් ඉදිරියේ වූ තෝරාගැනීම් වලින් කළු සහ සුදු දෙකින් එකක් තෝරා ගැනීමේ ඉඩකඩ ප්‍රතික්ෂේප කරන්නා සද්ගුණය අළුපාට යැයි කියන්නට ඉඩ දී සුදුපාට ඇතැයි දැකීම ප්‍රතික්ෂේප කරන්නෙකි.
සද්ගුණය සහමුලින් බැහැරලන්නට සූදානම් නැත්නම් කළු හෝ සුදු දෙකින් එකක් තෝරා ගත යුතුය.
බඩගිනි නිසා පාන් ගෙඩියක් හොරාගෙන කඩෙන් පැන දිව්ව අය හා ඊර්ෂ්‍යාව නිසා තව අයෙක් මැරූ අයෙක් යන දෙදෙනාම අළු පැහැති යයි කියන්නා ඒකීය පුද්ගලිකත්වය අමතක කරයි. ඔවුන් හඳුනාගත හැක්කේ, විනිශ්චය කළ හැක්කේ කළු සුදු කුමක් දැයි පැහැදිලි ක්‍රමවේදයක් නිර්වචනය කිරීමෙන් පමණි.
‘හැම සිද්ධියකම පැති දෙකක් තියෙනවා’ යැයි කීම පැත්තක් නොගෙන ඉන්නට යොදන තවත් සමාවට කාරණයකි. මෙසේ කියන අය අඟවන්නේ කිසිවෙක් සම්පූර්ණයෙන් හරි හෝ සම්පූර්ණයෙන් වැරදි නොවන බව යැයි ඇඟවූවත්, ඒ කියමන නිසා ඒ සිද්ධිය ගැන සම්පූර්ණ විනිශ්චයක් කරන්නට, දෙපැත්තම සලකා බලන්නට ඔවුනට අවශ්‍යතාවයක් ඇති නොවේ. ඉන් හරි වැරදි සලකා බැලීමෙන් වැළකී සිටිය හැකිය.
සංකීර්ණ වූ සිද්ධියක දී අයෙක් හරි සහ වැරදි වලින් දෙකින්ම යුතු නොවෙයි යන්න මෙහි දී අදහස් නොකෙරේ. ඒ සංකීර්ණ වූ සිද්ධියේ දී ඒ ඒ එක් එක් අංගයන් සුවිශේෂී ලෙසින් සලකා බලා ඉන් කුමක් හරි ද කුමක් වැරදි ද යන්න ගැන විනිශ්චයන් ගැනීමට නොපසුබට විය යුතුය. අපරාධ ගණනාවක් ඇතුලත් වන සංකීර්ණ නඩුවක් විභාගයේ දී ඒ ඒ අපරාධය වෙන වෙනම සලකා බලන්නේ එහෙයිනි.
සද්ගුණය ගැන කතාබහේ දී සැලකිල්ලට ලක්වන්නේ පුද්ගලයාට ගතහැකි තෝරා ගැනීම් පමණක් ගැන වූ කළ ‘කළු හා සුදු යැයි පැති දෙකක් නැත’ යන්න ‘පුද්ගලයා හොඳ හෝ නරක වන්නට නොහැකිය’ යන්න බවට පත්වෙයි.
අපි අයෙක් දිහා බලා ඔහු අළු අයෙක් යැයි නොකියමු. ඔහු හොඳ අයෙක් යැයි හෝ නරක අයෙක් යැයි කියමු. ඇයගේ මේ මේ ක්‍රියා හොඳයි මේ මේ ක්‍රියා නරකයි යයි කියමු.
යම් අයෙකුගේ යම් ගතියක් ගැන කතා කරද්දී ඒක හොඳත් නෑ නරකත් නෑ යයි කියන්නේ අපිට ඒ ගැන කිසිම තැකීමක් නැතිකල නොවේ ද?!!
එසේම යම් රටක පාලන ක්‍රමයක් හෝ ආර්ථික ක්‍රමයක් ගැන කතා කරද්දී ‘පුද්ගල අයිතිය’ යන්න හොඳ ද නැද්ද යන්න ඒ ගැන වූ සංවාදයකින් තීරණය විය යුතුය.
පුද්ගල අයිතිය නම් ඒකීය වූ පුද්ගලයාට තම තෝරා ගැනීම් සඳහා වූ නිදහස ය. තම කැමැත්ත අනුව වැඩ කිරීමට හෝ නොකර සිටීමට, තම වෙහෙස යොදවන තරමට අනුව ආදායමක් ලැබීමට හෝ නොලැබීමට ඇති නිදහස ය. තම උවමනාවට අනුව ඉගෙනීමට හෝ ඉගෙන නොගැනීමට ඇති ඉඩයි. තමා වෙනුවෙන් තමන් වගකීමක් ගැනීම ය. තම වරද සඳහා තමන් දඬුවම් විඳීම ය. වන්දි ගෙවීම ය.
පුද්ගල අයිතිය නැති සමාජවල දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරයන්, දේශපාලනඥයන්, ආගමික නායකයන් යනාදී වූ පීඩකයෝ පුද්ගලයා වෙනුවෙන් වැඩි තීරණ ගනියි. මේ තීරණ ගන්නා පීඩකයෝ ගන්නා සමහර තීරණ නිසා හොඳ සිද්ධ වෙන්න ඉඩකඩ නැතැයි නොකියැවේ. එහෙත් ජයග්‍රහණ සහ පරාජයන් ගැන වගකීම ද එවිට බාර වෙන්නේ පුද්ගලයාට නොව දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරයන්, දේශපාලනඥයන් හා ආගමික නායකයන් යනාදීන් ට ය. පුද්ගලයාට තමන් වෙනුවෙන් වගකීමක් ගන්නට සිද්ධ නොවේ. මන්ද පුද්ගලයා කරන්නේ අනුන් ගත් තීරණ ය. එහෙම නම් පුද්ගලයා දඬුවම් විඳිය යුතු ද නොවන්නේ ය. මන්ද පුද්ගලයා අතින් වූ වැරදි අනුන්ගේ වැරදි ය.
ඉතින් පුද්ගල අයිතිය කළු ද සුදු ද?
ඕකට පරිගණක තාක්ෂණයෙදි කියන්නෙ Fuzzy Logic කියල
http://en.wikipedia.org/wiki/Fuzzy_logic
මේ බස් එකත් පොඩ්ඩක් බලන්නකො, සුදු කලු ගැන මෙතන පොඩි වාදයක් ගියා
https://profiles.google.com/101231287630715563376/posts/U5UGy2yWHRC
පුද්ගල අයිතිය කළු වෙන්නත් පුළුවන් සුදු වෙන්නත් පුළුවන් නේද?
පූසා,
පුද්ගල අයිතිය වනුයේ ස්වාධීන තීරණ ගැනීමට හැකියාවක් තිබීමත් ඒ තමන් ගන්නා තීරණයන්ට තමන් වගකිව යුත්තෙකු වීමත් ලෙසින් සලකද්දී,
තමන් විසින් ගන්නා එක තීරණයක් කළු විය හැකිය.
තවත් තීරණයක් සුදු විය හැකිය.
නමුත් යම් තීරණයක් එකම අවස්ථාවක දී සුදු හා කළු විය නොහැකිය.
තීරණයක් ඔබ සුදු යැයි දකිද්දී තවකෙක් එය කළු යැයි දකින්නට හැකිය. නමුත් එය ආකල්පමය වෙනසක් මිස තීරණය මිශ්‍රණයකින් වීම නොවේ.
එසේ විය හැකිනම් උදාහරණයකින් කියන්න. එතකොට යම් තීරණයක් එකවර සුදු සහ කළු විය හැකි ද ගැන අපි විමසමු.
බ්ලැක් ඇන්ඩ් වයිට් කියලා විස්කි ජාතියක් තිබුණා. ඒකේ ලෝගෝ එඛේ හිටියේ කවුද දන්නවද?
පූසෝ.
කළු සහ සුදු, හොඳ සහ නරක,……අළු, මේ දෙකේ මිශ්‍රනය……ලෝකෙ තියෙන්නෙ බහුතරයක් අළු පාට වෙන්න පුලුවන්. නමුත් ඒ නිසාම අළු කියන එක Norm එක වෙනවද? නැත්නම් Norm එකය කියල පිළිගන්න එක නිවැරදිද?
Ravi,
යම් ක්‍රියාවක් norm එකක් වනුයේ දහයක් කරන නිසා ද, මිලියනයක් කරන නිසා ද, මිලියන දහයක් කරන නිසා ද?
වහල් වෙළඳාමේ හා වැඩ ගැනීමේ නිරත වූ එදා ලෝකයේ එය norm එක නිසා රට රටවල් එය දැක්කේ අළු පාටින් ද?
හිට්ලර් ජර්මනියේ යුදෙව්වන් ගෑස් කාමරවලට දැමීම එදා ජර්මන් වැසියන් අළු පාටින් දැක්කා ද?
කොටි ත්රස්තයන් ලංකාවේ වැඩට ගිය ජනතාව පිරි බස්රථ වලට බෝම්බ ගහද්දී එය ඔවුන්ගේ විමුක්ති අරගලයක් යැයි කියා අපි දැක්කේ අළු පාටින් ද?
අරුණි මේ තටම තටමා කියන්න යන්නෙ ස්ටාලින්ගෙ රුසියාවට වඩා බරක් ඔබාමාගෙ ඇමරිකාව හොඳයි, ඉතින් අපි ස්ටාලින් අමතක කරලා ධනවාදය වැළඳ ගනිමු කියන කාරණාව.
මේක අළුත් තර්කයක් නෙවෙයි. 1950-60 ගණන් වල සිට ලෝකයේ විශාල පිරිසක් කියපු, කියමින් සිටින දෙයක්. මේක ගැන මට කිසිම තර්කයක් නෑ. ස්ටාලින්ට වඩා ඔබාමා හොඳයි. ලංකාවට රුසියාවට වඩා ඇමරිකාව හොඳයි. ඊනියා සමාජවාදයට වඩා ධනවාදය හොඳයි. මේවා තර්ක කරන්න අවශ්‍ය කාරණා නෙවෙයි. මේ ලෝකෙ මොළේ ඇබින්දක් හරි තියෙන කෙනෙකුට එකහෙළා එකඟ වෙන්න පුළුවන් කාරණා.
නමුත් අද අපි මුහුණ දෙන්නෙ ධනවාදයට එරෙහිව සමාජවාදය කියන කාරණාවට වඩා ධනවාදය තුළම A ප්‍රතිපත්තියට එරෙහිව B ප්‍රතිපත්තිය කියන කාරණාවට. උදාහරණයක් හැටියට ඔබාමාගෙ stimulation package එක. ඒකට එකඟ නොවීම හා නොවීම තුළ තියෙන්නෙ ධනවාදයට එරෙහිව සමාජවාදය කියන කාරණාව නෙවෙයි. ඇමරිකාව මුහුණ දෙන තවත් ප්‍රශ්නයක් එරට (දියුණු රටවලට සාපේක්ෂව) ඉතාම අකාර්යක්ෂ්ම සෞඛ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කරන්නේ කෙසේද කියන එක. මේකත් ධනවාදය හා සමාජවාදය අතර ගැටළුවක් නෙවෙයි. IMF වර්තමාන එකේ ප්‍රතිපත්ති ස්ටිග්ලිස් දැඩිව විවේචනය කරන්නෙ ඔහු ඊනියා සමාජවාදියෙක් නිසා නෙවෙයි. (අරුණි නම් හිතාගෙන ඉන්නෙ Dominique Strauss-Khan කියන්නෙත් සමාජවාදියෙක් කියලා, මන්ද ඔහු තරග කරන්න හිටියෙ ‘සමාජවාදී’ පක්ෂෙකින් කියලා. අරුණි නම් හිට්ලරුත් සමාජවාදියෙක් හැටියටනෙ හිතන්නෙ. මොකද ඔහුගෙ පක්ෂයත් National Socialist German Workers Party නෙ. අපොයි නෑ. Socialist කියන එකට යුරෝපයේ දෙන තේරුම ඇමරිකාවේ තේරුමින් ටිකක් වෙනස්. ‘සමාජවාදියෙක්’ තමන්ගෙ ප්‍රධානියා ලෙස පත් කර ගන්න තරම් IMF එකේ මිනිස්සු මෝඩ නෑ.)
ධනවාදය ඊනියා සමාජවාදයට වඩා හොඳ නිසා එය දේවත්වයෙන් පිදිය යුතුය, විවේචනය නොකළ යුතුය යන කාරණා ගැන මට එකඟ වෙන්න බෑ. අප ධනවාදය විවේචනය නොකළා නම්, වැරදි හදා නොගත්තා නම් අදත් තියෙන්නේ කේන්ස්ගෙ 1940 ගණන් වල ධනවාදය. ඕනෑම දර්ශනයක් විවේචනට බඳුන් වීම, ප්‍රතිසංස්කරණය වීම එහි ප්‍රගමණයට අත්‍යාවශ්‍ය කාරණාවක්.
නැවතත් කියන්නේ මගේ තර්කය ධනවාදයට එරෙහිව නෙවෙයි ධනවාදය අයිඩියොලොජියක් ලෙස විශ්වාස කිරීමට එරෙහිව කියලා.
මට නම තේරෙන විදිහට රවි, නිරපේක්ෂව හරි කියා දෙයක් නැති බවයි. සියල්ල වැරදි කිව්වා නොවේ. හරි වැරැද්ද නිරපේක්ෂ ව අර්ථ දැක්විය නොහැකි බවයි මා කියන්නේ.
හරි වැරැද්ද උගන්වන එක පිරිසක් ආගම. නිර ආගමිකයන් ලඟදි ගොඩ නගන මතයක් තමයි මොරලිටි මත පදනම වූ හරි වැරැද්ද [ඩෝකින්ස් ගේ මුලිකත්වයෙන් එන මතයක්]. මටනම් ඒ කතාවේ පෙන්නේ ආගමික හරි වැරැද්ද ම නැවත යොදා ගෙන කියලයි. සියලු වාද හා දෘෂ්ටි වලින් ස්වායත්ත ලෝකේ හරියක් හෝ වරද්දක් මට පෙන්නේ නැහැ. තියෙන්නේ ග්රෑවිටි වගේ දෙයක්. පහත තැනින් ජලය බහිනවා වගේ ස්වාභාවික ගතිගුණ. ස්වාභාවික වරණ වාදය, අනිත්‍ය වගේ නොවැලැක්විය හැකි [ඇතැම් විට අසාධාරණ] ගතිගුණ.
මා හිතන්නේ හරි වැරැද්ද මානව අපේ කෘතීම නිර්මාණයක්.
හරි-වැරැද්ද මානව සංහතියට සාපේක්ෂව බොහෝ විට (හැම විටම නොව ) නිරපේක්ෂව අරුත් දැක්විය හැකිය.
පොදුවේ මානව සංහතියට (එක් ජන කොටසකට හෝ ජාතියකට නොව) යහපත් දේ හරිය. අයහපත් දේ වැරදිය. ත්‍රස්තවාදය වැරදි එය රටකට නොව පොදුවේ මානව සංහතියට එරෙහි නිසාය. ධනවාදය හරි එය පොදුවේ මානව සංහතියේ ප්රගමනයට ඉවහල් වන නිසාය. ඩෝකින්ස්ගේ තර්කනයද මීට සමානය සිතමි.
සංකල්ප මට්ටමේදී ඔබ හරි. එහෙත් මේ වගේ දෙයක්. එක මනුස්සයෙකුට නොසෑහෙන්න කරදර කරන තවත් මනුස්සයෙක් ඉන්නවා. දෙවැන්නාගෙන පලමුවන්නාට ගැලවිල්ලක් නැහැ. ඉතින් ඔහු දෙවැන්නාව මරා දමනවා. මේකේ හරි වැරැද්ද තීන්දු වන්නේ 1. නිතිය 2. ආගම 3 මොරලිටි
හැබැයි 1,2,3 ඔක්කොම හැදෙන්නේ එකම මුලයකින් එක යම්කිසි දර්ශනයක්. බොහෝවිට ආගම මුලික වූ.
1,2,3, ඔක්කොම කියන්නේ මේක වැරදි බවයි.
දැන් ඔය තර්කයම යොදාගනිමු ප්රභාකරන් මරා දැමීමට. තීන්දුව වෙනස් වෙනවා.
මගේ අදහස පොදු මානවවාදී මොරලිටි කියන්නෙත් ආගම මත පදනම වූ ඒවා බවයි. ඔක්කොම ආගම් එක දෙයකට එකඟ වෙන්න පුළුවන්.
ආර්ථිකයක් කියන්නේ “එකක්” නොවේ. ප්‍රපංච ගොඩකි. බලවේග සමුහයකි. මුහුණත් බර ගණනකි. ඒ ඒ තැන් වල හොඳ නරක තීන්දු විය යුත්තේ වෙන වෙනමයි.
හැම තැනක ම පුදගල නිදහස ඇගයීම වටියි. රේගියුලේට් කිරීමෙන් පුද්ගල නිදහසට බාධා වීමට ඉඩ ඇත. කොටින්ම දණ්ඩ නීති සංග්‍රහයත් පුද්ගල නිදහසට බාධාවකි.
එහෙත් රේගියුලේට් නොකිරිමෙනුත් පුද්ගල නිදහසට බාධා ඇතිවිය හැක. සමාජයක රේගියුලේට් කිරීමක් අවශ්‍ය වන්නේ තනි තනි ව එකිනෙකාගේ රාමු වලින් ස්වායත්ත ව මිනිසාට ජිවත් විය නොහැකි බැවිනි. මෙහිදී මිනිසුන් අතර ඇතිවන අන්තර් ක්‍රියා තුල එකෙකුගේ නිදහස අනිකාගේ නිදහස මත බලපෑම ඇති කරයි. රේගියුලේට් වීමක් අවශ්‍ය එතනයි.
බෙහෙත් හදන ආයතනයක් ගැන හිතන්න. බෙහෙත් වලින් ලාබ ලැබීම බොහෝවිට ඔවුන්ගේ පරමාර්ථයයි. එකම ලෙඩකට බෙහෙත් දෙකක් ඇත. පළමු බෙහෙත දීමෙන් ලෙඩේ දුර් විපාක යට යයි, බෙහෙත් නැවැත්තුවොත් නැවත මතුවේ. දෙවැන්න දීමෙන ලෙඩේ නිට්ටාවට සුව වේ.
බෙහෙත් කොම්පැනිය තම ලාබය ගැන සිතන්නේ නම ඔවුන් හිතා මතා දෙවැන්න යට ගහණු ඇත. පළමුවැන්න ම සුලබ කරයි. ධනවාදී නිදහස් ක්‍රමය මෙහිදී කියන්නේ වෙනත් ආයතනයක් මෙම අඩුව පුරවන බවයි. ඒත් මගේ ජිවන අත්දැකීම නම මෙම සියලු බෙහෙත් කොම්පැනි එකම මතයක හිඳ දෙවැනි බෙහෙත යට ගහන බවයි [ලංකාවේ ගෑස් සමාගම් බලන්න].
රේගියුලේට් විය යුත්තේ මේවාය. රජය කල යුත්තේ ඔවුන්ගේ නිෂ්පාදන අයිතිය කොල්ල කෑම හෝ අනාගත සැලසුම් මත බලාත්කාරකම් කිරිම නොවේ. මහජන සුබ සාධනය සඳහා අවැසි නෛතික රාමුවකට ඔවුන් අනුගත කිරීමයි. එසේ නොකලොත් සමාගමේ බෙහෙත් හදා ලාබ ගන්න නිදහස සුරැකි, රෝගයට නිට්ටාවට සුව වන බෙහෙතක් හොයා ගන්න පුද්ගල නිදහස යටපත් වේ.
මෙහි ඇත්තේ අළු පාට පදාසයක් නොවේ. කොටින්ම සුදු කළු දෙපාටත් නොවේ. මෙහි ඇත්තේ විවිධ වර්ණ රැසක තිත් ගොඩකි, දුරින් බැලුවොත් තනි මිශ්‍ර පාටක් ඔබට පෙනෙනු ඇත.
ධනවාදය සුදු පාට නැත. සමාජවාදය කළු ද නැත. ඒවා තැනින් තැනට විවිධ වර්ණ ගනියි. මකර කියූ සේ ලෝකය පැහැදිලි කල හැක්කේ ෆසි ලොජික් රාමුවකින් පමණි.
සුජීව,
ඇමෙරිකාවේ ඖෂධ සොයාගෙන නිෂ්පාදනය කර වෙළඳපොලට ඉදිරිපත් කරන කොම්පැණි වලට ඒ සඳහා අවසරය ලැබෙන්නේ සීමිත කාලයකට පමණි. වසර 20 ක් පමණ වුවත්, ඉන් පේටන්ට් ඉල්ලුම් කාලය හා ක්ලිනිකල් ට්‍රයල්ස් පවත්වන කාලය ගත්තාම ඔවුන් ලාබ සොයන කාලය වසර 7-12 ත් අතර ය. පේටන්ට් කාල සීමාවෙන් පසුව එය ලෝක වෙළඳපොලේ ඕනෑම අයෙකුට පේටන්ට් සඳහා මුදල් ගෙවා නිෂ්පාදනය කර වෙළඳපොලට ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබේ. සෙසු සමාගම් වලට ඒ සඳහා සොයාගන්නා හා වර්ධනය කරන (research and development) වැය නැත. ඖෂධය ආරක්ෂිත ද යන්න සොයන clinical testing සඳහා වැයක් ද ඔවුනට නැත. අලෙවිකරණ (marketing) වැය අඩු ය. ජෙනරික් (generic) නමින් ඉදිරිපත් වන්නේ මෙවැනි බෙහෙත් ය. ඉන්දියාව අද ලෝකයේ ඉදිරියෙන් ම ඉන්නා ජෙනරික් ඖෂධ නිෂ්පාදනය කරන රටයි.
සුජීව කියන කතාවට අරුණිගේ ප්‍රතිචාරය ඇත්තටම දුක හිතෙන සුළුය. සුජීව කියන්නේ ධනවාදය වැඩ නොකරන අවස්ථා ගැනයි. ඒ ගැන ඔහු දෙන නිදර්ශනය දුර්වල මුත් තර්කය ඇත්තය. අරුණිගේ ප්‍රතිචාරයෙන් පෙනෙන්නේ සුජීවගේ කතාවේ හරය තේරුම් ගැනීමට ඇය සම්පූර්ණයෙන්ම අපොහොසත් වූ බවයි. කොටින්ම “කොහෙද යන්නෙ – මල්ලෙ පොල්” ටයිප් පිළිතුරකි.
චානුක, මේ ලිබරල් නිදහස ගැන ඇති පටලැවිල්ල ගැන මට තියෙන ප්‍රශ්න ටික ලිව්වා මෙන්න මේ සටහනේ . එතරම් හොඳින් සැකසු සටහනක් නොවේ. මට තේරෙන සරල අදහස නම් ලිබරල් වාදයත් ඔය සමාජවාදය ජාත්‍යන්තරවාදය [හතරවැනි ජාත්‍යන්තරය] අවිහිංසාවාදය නිර්මාංශ වීම වගේ තවත් එක මිත්‍යාවක් කියා තමයි.
සුජීව,
ඔබ හිතන හැටි හරි. “ධනවාදී” ආර්ථික විද්‍යාඥයින් කල්පනා කරනවා තරගය (competition) තමයි ලෝකයේ ගලායෑම නීර්ණය කරන කාර්යක්ෂමම උපකරණය කියලා. ඇඩම් ස්මිත් මේකට කිව්වේ ‘අදිසි හස්තය’ කියලා. තරගය වැදගත්. තරගය කාර්යක්ෂමයි, තරගයක් නැතිවාට වඩා . නමුත් 100%ක් නෙවෙයි. තරගය තුළ ඇති අකාර්යක්ෂ්මතාවයන් මඟ හරවා ගැනීම සඳහා භාවිතා කෙරෙන මෙවලමක් තමයි නියාමනය (regulation). මේ වාක්‍යය මා කියැවූ පොතකින්. Many think regulation is to protect consumers; it is not. It is to protect the industry from competition.
තව විස්තර අවශ්‍ය නම් කැනේඩියානු මහාචාර්යවරයකු (සාපේක්ෂව බොහොම ළාබාල) වන Joseph Heath ලියපු Filthy Lucre: Economics for People Who Hate Capitalism කියවන්න. අරුණිටත් මේක හොඳයි. ලේඛකයා ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි අරුණි වගේම දාර්ශණිකයෙක්. නමුත් මා මේ පොතට කැමැතියි.
හැම දේකම පැති දෙකක් තියෙනවා නේන්නම්. එකක් අරුණී ගේ පැත්ත, අනික හරි පැත්ත!
😉
කතන්දරට ගුටියක් කන්ට හිතිලද?:D
praveena,
හැමෝටම අයිතියක් දෙන තැනක දී කුමන මතයක් ගෙනහැර පෑවත් ගුටි නැහැ ප්‍රවීනා. ඒකයි පුද්ගලික අයිතිය හැමෝටම දෙන තැනේ ඉහළ අගය!!
හැඳි මිටකින් ගුටි කෑවත් සැපයි ප්‍රවීනා. එසේ මෙසේ හැඳි මිටක් යෑ මේක?
හොඳ පෝස්ට් එකක්. මුල දෙක, තුන මග ඇරුනා. හිමිහිට කියවනවා. මොලේ තියන අර වැඩ නොකරපු සෛල දැන් නම් අමාරුවෙන් වැඩ කරනවා.
‘හොඳ, නරක’ එක, එක්කෙනා පිලිගන්න විදිය නේද? එක සමාජෙක ‘හොඳ’ දෙයක් තවත් සමාජයක ‘නරක’ දෙයක් වෙන්ට පුලුවනි. හොඳ සහ නරක මනින මිනුම් දන්ඩ මොකක්ද?
praveena,
හොඳ නරක මනින මිනුම් දණ්ඩ වන්නේ හොඳක් හෝ නරකක් කළ ක්‍රියාවට මුල් වූ ‘චේතනාව’ අනුවය. හොඳක් කරනවා යැයි තමා සත්‍යයෙන් සිතාගෙන සිටිය දී තමා කරන ක්‍රියාවෙන් වරදක් වූයේ නම් එය අවංක වැරදීමකි (honest error). ඊට නීතියෙන් ද දඬුවම් ලැබිය හැකිය. නමුත් සද්ගුණය දිහා බලද්දී ඔබ සුදු වෙයි. මන්ද එයින් නරක ප්‍රතිඵලයක් අත් වේ දැයි ඔබ සත්‍යයෙන් ම නොදැන සිටි බැවිනි. ඔබේ සවිඥානය, ක්‍රියාව කරද්දී ඔබට එය සද් ක්‍රියාවක් යැයි හඟවා තිබිණ. ක්‍රියාවෙන් අයහපත් ප්‍රතිඵලයක් දැකි විට ඔබට ඒ ගැන අවංක කණගාටුවක් ඇති විය. ඔබේ සවිඥානය පසුතැවිල්ලකට පත්විය. මෙහි දී අප ‘සමාව දෙන්න’ යැයි කියන්නෙ අවංක වැරදීමක් වූ බව පිළිගන්නට ය. නීතිය ඉදිරියේ ද සමහර අවස්ථා වල දී ‘සමාව අයැදීම’ පමණක් දඬුවමක් වන්නේ එහෙයිනි. මන්ද, නීතිය ද ඔබ අවංක වැරදීමක් කළා යැයි පිළිගන්නා නිසා ය.
උදාහරණයක්: ඔබ රස ටොපි වර්ගයක් කුඩා දරුවන් අතර බෙදා දුන්නා යැයි කියමු. ඒ ටොපි වර්ගයේ බඩ විරේක බෙහෙතක් අඩංගු බව ඔබ දැන සිටියේ නැත. එය සොයා බලන්නට ඔබට කිසිසේත් අවස්ථාවක් නොවීය. දන්නා කියන හැම දරුවෙක් ම එය මීට කළින් රසබලා ඇතැයි ද අද කන්න කැමති යයි ද ඔබට කියයි. නමුත් ඔවුන් එය කෑ විගස එහි අඩංගු වූ බඩ විරේකය නිසා සියළු දරුවන් රෝහලට ගෙන යන්නට සිදු විය. සද් චේතනාවකින් කළ නිසා එය සුදු ක්‍රියාවකි. කළු ක්‍රියාවක් නොවේ. එය ඔබට වූ අවංක වැරදීමකි. නමුත්, දිනයක් දෙකක් ගිය කළ ඔබ නැවතත් දරුවන්ට එයම බෙදා දෙන්නේ නම් එතැන ඔබගේ චේතනාව කුමක්දැයි ගැටළුවක් පැන නැඟේ.
අපරාධ නඩුවක දී අභිප්‍රාය (motive) කුමක් ද කියා විමසිල්ලට ගන්නේ ද එහෙයිනි. අපරාධය කරනු පිණිස අභිප්රායක් වූවා ද, ඊට සැලසුම් ගැසුවා ද යන කාරණා මත ඔබ අතින් වූයේ අවංක වැරදීමක් ද, නැත්නම් හිතාමතා කරන ලද අපරාධයක් ද යන්න අනුව දණ්ඩනය දරුණු හෝ සහනදායක වෙයි.
අපි පුරුදු වී ඇත්තේ ලෝක මතය අනුව හා පවතින නීති පද්ධති අනුව (පවතින නීති ගැන ඇති දැනුම ලොව දුබලයි) අපගේ තීරණ ගැනීමට ය. නමුත්, ලෝක මතය හා පවතින නීති පද්ධති කාලයාගේ ඇවෑමෙන් සංශෝධනය වීම දකිනු හැකියි. එසේම එක කාලයකට සුදු දෙයක් තවත් කාලයකට කළු වනු හැකියි. ඒ ලෝක මතය හා පවතින නීති පද්ධති අනුවයි. එසේ වුවද හැමදාම තම තීරණ සඳහා වගකීම ඇත්තේ ඒකීය පුද්ගලයා අත ය. එවිට ක්‍රියාව කරන පුද්ගලයාගේ චේතනාව අනුව ක්‍රියාව කළු ද සුදු ද යන්න ඒ පුද්ගලයාගේ සවිඥානය දනී. එය වෙනස් වීමක් කිසිදාක නොවේ.
චේතනා අහං භික්ඛවේ කම්මං වදාමි !!!!!!!!!
ප්‍රවීනා බෞද්ධ ද? නැත්නම් තේරෙන එකක් නෑ.
දෙමාපියන්, වැඩිහිටියන්,ආගම හැමවිටම උත්සාහ කරන්නේ එකිනෙකාට හිංසා පීඩා නොකරන එකිනෙකාගෙන් අයුතු ප්‍රයෝජන නොගන්න මිනිසුන් පුරුදු පුහුනු කරන්න ( උදා. You shall not murder,You shall not lie,You shall not commit adultery,You shall not covet, නමුත් අරුණි ගේ අසීමාන්තික පුද්ගල අයිතිය තුල ඇති නීතියට අත පෙවිය නොහැකි වංක ප්‍රදේශ වල සරිසරන්නෙක්ට අසීමාන්තික පුද්ගල අයිතිය ඉතා පහසුවෙන් “misuse”කරන්න පුලුවන්( උදා. අවි ආයුධ ලඟ තබා ගැනීමට පුරවසියාට ඇති අයිතිය = the right to kill, අදහස් ප්රකාශනය නිදහස =the right to lie, පෞද්ගලිකත්වය ට අයිතිය = the right to adultery in secret,සතුට පසුපස්සේ යාමට සහ පුද්ගලික දේපල අයිතිය = to exploit others ) අසීමාන්තික පුද්ගල අයිතිය නරක මිනිසුන් “misuse” කිරීම සහ හොඳ මිනිසුන් “proper use” කිරීම වලක්වන්න බැහැ වගේම මේ යුතු අයුතු දෙක අතර පැහදිලි ඉරක් අඳින්න ව්යහාත්මකව නොහැකියි. වඩාත් වැදගත් දෙය න ම් පුද්ගල අයිතිය ට ගුණ ගරුක යහපත් මිනිසුන් තැනිය නොහැකි වීමයි.
මටත් හිතෙන්නේ මේ වගේ අදහසක්. තට්ට තනියම කැමති ඕනෑම දෙයක් කර ගෙන ඉන්න තරම් ලෝකයේ අපට සම්පත් නැහැ. අපි එක අයෙකුගේ පැවැත්ම නිසා තව අයෙකුට දුර්විපාක ගෙන දෙන්න පුළුවන්.
කතාව මිනිසාගෙන් එලියට අරන් සත්තුත් ඕක ඇතුලට දැම්මොත් වඩාත් සංකිර්නයි. මට හිතෙන්නේ මේ එක පුද්ගල නිදහසක් වෙනුවෙන් වෙන පුද්ගල නිදහසක් කැප කරන්න වෙන බවක්.
අරුණි කියන හැටියට එතරම් පිළිවෙලට නොලියු සටහනක් වුවත් [මාත් එය තරමක් පිලිගන්නවා] මං මේ සටහනෙන් කියන්න හැදුවෙත් ඕකම තමයි.
දනවදය නයායක් විදියට අලු උනාට ක්‍රියාකරීත්වය කට්ට කලුයි.ලෝකය දිහා නිදහස් ඈසින් බලන්න ඵතකොට තේරෙයි.
මේක තව ටිකක් පැහැදිලි කරනවද?
“ලෝකය දිහා නිදහස් ඈසින්” බලනවා කියලා තමයි හැමෝම හිතන් ඉන්නේ. මාත් එහෙමයි හිතන්නේ. අරුනිත් කියන්නේ ඇය එහෙමයි කියලා. අපේ අනික් හිත මිතුරනුත් එහෙමයි. ඔබේ කියමන අනුව ඔබත් හිතන්නේ එහෙමයි. අපි හිතුව පමණින් අපේ ලෝකය දෙස බලන දැක්ම නිදහස් වන්නේ නැහැනේ. ඒ නිසා තමයි මේවා පැහැදිලි කල යුතු.
පුද්ගල අයිතිය, පොදු අයිතිය වගේ දේවල් ගැන කතා කලාට කවුරුවත් “අයිතිය” ගැනවත් “අයිතිය ලැබීමට ඇති අයිතිය” ගැනවත් කතා කරන්නේ නෑ. ඒ ඇයි?
අපිට ඕනෙ දේවල් අපිම එක එක විධියට අර්ථ දක්වගෙන ඒ ඒ අර්ථ දැක්වීම් වලින් හරි මොකක්ද වැරදි මොකක්ද කියන එකට තර්ක කරන එක එතරම් ඵලදායී දෙයක්ද? මෙතැන සිදු වන්නෙ එය නොවේද?
පුද්ගල අයිතිය, පොදු අයිතිය යන්නෙන් පටන් ගත්තහම සංකීර්ණ සමාජ යාන්ත්‍රණ දක්වාම දේවල් අපිම අර්ථ දක්වා ගත්තු, අපිම නිර්මාණය කරගත්තු ඒවා. එහෙම නැතුව මේවා දිව්‍යමය(divine) හෝ නෛසර්ගික(intrinsic) දේවල් නෙවේ. හොඳ වගේම නරකත් එසේමය. උදාහරණයක් විධියට සත්වයෙකුගේ මරණය, අධිරාජ්‍යයක බිඳවැටීම හෝ සතෙකුගේ උපත, අළුත් පාලනයක ඇරඹුම වගේ දේවල් හොඳ දේවල්ද? නරක දේවල්ද? එසේත් නැත්නම් එය ඒ මැද පවතින “අළු” දේවල්ද? මේවා සුදු වන්නේත්, කළු වන්නේත් එසේත් නැතිනම් අළු වන්නේත් අපි ඒ දිහා බලන කෝණය එසේත් නැත්නම් අපි ඒ ඒ දේවල් අර්ථ දක්වා ගන්නා ආකාරය අනුව නොවේද?
අපි මුලින්ම තේරුම් ගන්න ඕනෙ අපි හැමෝම ජීවත් වෙන්නෙ අපි විසින්ම අර්ථ දක්වාගන්නා ලද(defined) ලෝක වල බව. අපි ඒ ඒ ලෝක වල අපේ ඒ ඒ අර්ථ දැක්වීම්(definitions) වලට යටත් වයි(enslaved) ජීවත් වෙන්නේ. රතු පාට රතු පාට වන්නේත්, රතු පැහැයට නිල් නොකියන්නේත් ඒ අර්ථ දක්වා ඇති රාමුව(defined framework) නිසයි. කොච්චර නිදහස් කිව්වත් අපි හැමෝම ලෝකය දකින්නෙ එක එක පාට කණ්නාඩි වලින්. මේ කරුණු හරිහැටි තේරුම් ගන්න එක අපි ලෝකය දිහා බලන දැක්ම යම් දුරකට හෝ නිදහස් කරගන්නට තරමකින් හෝ උදව් වේවි.
ජෝර්ජ් බුෂ්ට අනුව නම් “එක්කෝ ඔබ අපත් සමගය, නැතිනම් ඔබ අපට එරෙහිය.” (Either you are with us or against us) මේ සාමාන්‍ය පුද්ගලයකුට වඩා අඩු නුවණක් තිබූ ජෝර්ජ් බුෂ් වැනි නායකයකු විසින් කියතැයි බලපොරොත්තු විය යුතුව තිබූ කතාවකි.
ස0කීර්ණ ගැටලු සහ තත්ව හඳුනාගැනීමට හැකියාවක් නැති හෝ උවමනාවක් නැති අයට සියලු දෙය තමනට අවශ්‍ය පරිදි ‘හොඳ’ ‘නරක’ ලෙස පමණක් සලකා සරලව බෙදා වැඩ කිරීම පහසුය. (අවසානයේදී මෙය බොහෝ විට තමන් කැමති දෙය ‘හොඳ’, ද අකමැති දෙය ‘නරක’ ද බවට පත්වීමෙන් කෙළවර වේ) හැරත් එයට වඩා නිවැරදි එහෙත් ස0කීර්ණ වූ දැක්මකට ඔවුනට යා නොහැක.
අනෙක් අතට මෙය තම මතය අතින් අන්තයට ගිය අය විසින් අවසානයෙදී භාවිත කරන සුලබ උපක්රමයකි. සියලු අන්තවාදිහූ තමා හරි බවත්, අනෙක් මත වැරදි බවත්, ඉන් එහා වෙනත් අවස්ථා නැති බවත් අදහති. අනෙක් මත පාගා දමිය යුතු වූ විට සහ මධ්‍යස්ථ වාදීන් නැති කල යුතු වූ විට ඔවුහූ මේ ‘හොඳ’ ‘නරක’ කතාව ගෙන එති. තමා වැනිම ආවේග මත වැඩ කරන අඩු දැක්මක් ඇති අනෙක් අය සටනට එකතු කර ගැනීමටද කාටත් තේරෙන සරල කළු සුදු සටන් පාඨ උදව්වක් වෙයි.
ඇත්ත නම්, ප්‍රශ්ණයක පැති කිහිපයක් තිබිය හැකි වීමය. හරි විසඳුම්ද එකකට වඩා වැඩියෙන් තිබිය හැක. ඒවාද කලින් කලට වෙනස් විය හැක. නිරපේක්ෂ කළු හෝ සුදු අවස්ථා සැබෑ ලෝකයේදී දැකීම උගහටය. එසේ දැකීමට අවශ්‍ය වන්නේත් ඉහත පෙන්වූ පරිදි ජෝර්ජ් බුෂ් වැනි අයටය. කොතෙක් අඩු පාඩු තිබුනත් ඔබාමා වැනි නායකයකුට එවැනි කතාවක් කිව නොහැක. බුද්ධි මට්ටම වැඩි වන විට ප්‍රශ්න වල විවිඩ පැති වැඩි ගණනක් පෙනෙන හෙයිනි.
කරුනු එසේ හෙයින් අරුණි වැනි (දත්ත සොයාගෙන ගලපා විමර්ශනය කොට, හැම පැත්තක්ම දකින්නට අවශ්‍ය නම් තවමත් හැකියාව ඇති කියන අර්ථයෙන්) කෙනෙකුට ‘කලු නැත්නම් සුදු පමණයි’ කියන ප්‍රාථමික තැනකට යාම අවශ්‍ය නොවේ!
මට සිතෙන හැටියට අපට කලු සුදු ලෙස පමනක් ලෝකය පෙනෙන විට වඩාත් ප්‍රවේශම් වී අපට නොපෙනෙන අනිත් පැති ගැන විමසිලි මත් වීම නුවණට හුරුය.
බුදුන් වහන්සේ මැදුම් පිලිවෙතක් ගැන කියන්නට ඇත්තේ මක් නිසාද ?
Ashoka,
බුදුන් කියා දුන් මැදුම් පිළිවෙත කළු සුදු අතර වූ අළුපාටක් යැයි සිතනවා නම් ඔබ වහාම බෞද්ධ ධර්මය දන්නා ස්වාමීන්වහන්සේ කෙනෙක් හමු වී කතාබහ කර සත්‍යය දැනගත යුතුම ය.
ඔබ කතාකරන්නේ ධනවාදය සහ සමාජවාදය ගැනයි. ඒවා වෙනුවට කලු සහ සුදු ආදේශ කර ගත්තේ ඔබයි. මේ ලිපියෙන් ඔබ කර ඇත්තේ කල් වෙලා ඇතුවම මැද මාවත (අළු ) ප්‍රතික්ෂේප කිරීමයි. ඔබ කලු සුදු යන වචන මීට ආදේශ කල ගත් පමනින් ප්‍රශ්ණය හරි සහ වැරදි අතර සටනක් වත් හොඳ නරක අතර සටනක් වත් පින් සහ පව් අතර සටනක් වත් බවට හැරෙන්නෙ නැත. එය තවම කලින් තිබූ පරිදිම මතවාද දෙකක් අතර සටනක්ම පමනි. එනිසා බුදුන් කිවූ මැද මාවත මේ කරුණට අදාලය. ඔබ වචන තෝරාගත් පරිදි, අළු මැද මාවත බවට පත් වේ.
එයටත් වඩා ප්‍රශ්ණයක්ද පවතී. පරිභෝජනවාදය ඉදිරියට ගෙන යාමේදී සමාජවාදයට වඩා සාර්ථක වූ පමනින්ම ධනවාදය හොඳ වන්නේ නැත. ප්‍රශ්ණය පරිභෝජනවාදයනම් ? එවිට ඔබ කියන කලු සහ සුදු දෙකින්ම පිට වෙනත් පිලිතුරු සෙවීමට සිදු විය හැක.
Ashoka,
//පුද්ගලයන්ට, යම් ක්‍රියාවන්ට, මූල ධර්මයන්ට, හැදියාවන්ට සහ සද්ගුණය ගැන කතා කරද්දී// අළු පාටක් නැතැයි කිව්වෙමි.
// එසේම යම් රටක පාලන ක්‍රමයක් හෝ ආර්ථික ක්‍රමයක් ගැන කතා කරද්දී ‘පුද්ගල අයිතිය’ යන්න හොඳ ද නැද්ද යන්න ඒ ගැන වූ සංවාදයකින් තීරණය විය යුතුය.// කිව්වෙමි.
මා අහන්නේ // ඉතින් පුද්ගල අයිතිය කළු ද සුදු ද?// කියාය.
ඒ ගැන මගේ තීරණය ඔබේ තීරණය විය යුතු නැත.
නමුත් ඒ ගැන ඔබට කැමති තීරණයක් ගැනීමට මා දෙන අයිතිය ඔබ මට කැමති තීරණයක් ගැනීමට මට නොදෙන්නේ ඇයි?
//ප්‍රශ්ණය පරිභෝජනවාදය නම්?// එහෙම ප්‍රශ්නයක් ඇතැයි කියන්නේ මා නොව ඔබයි. ඔබේ ඒ ප්‍රශ්නයට එන්නට පෙර ධනවාදය යනු කුමක් ද කියා පැහැදිලි කළ යුතුයි. ධනවාදයේ පදනම වන පුද්ගල අයිතීන් මොනවා ද කියා පැහැදිලි කළ යුතුයි. පුද්ගල අයිතීන් රැක ගන්නේ කෙසේද කියා කතාබහ කළ යුතුයි.
පරිභෝජනය කරන්නට මිනිසෙක් සිටිය යුතුය. මිනිස් පැවැත්මට ඇති අයිතිය, එය ආරක්ෂාව හා ජීවත්වීම යනුවෙන් අප අදහස් කරන්නේ මොනවා ගැන ද යන්න අර්ථ නොදක්වා පරිභෝජනය විමසිය නොහැකිය.
අනිවාර්යයෙන්ම !!!!!!!!!!!
//නමුත් ඒ ගැන ඔබට කැමති තීරණයක් ගැනීමට මා දෙන අයිතිය ඔබ මට කැමති තීරණයක් ගැනීමට මට නොදෙන්නේ ඇයි?//
හෝව් පොඩ්ඩක් ඉන්න…
*** කැමති පරිදි සියලු තීරණ ගැනීමට අද සිට අරුණිට අයිතිය දෙමි. !! ***
හරි, දැන් කියන්න.
(When did I try to curb your rights ? besides how can I, It’s your blog after all 🙂 )
//නමුත් ඒ ගැන ඔබට කැමති තීරණයක් ගැනීමට මා දෙන අයිතිය ඔබ මට කැමති තීරණයක් ගැනීමට මට නොදෙන්නේ ඇයි?//
හෝව් පොඩ්ඩක් ඉන්න…
*** කැමති පරිදි සියලු තීරණ ගැනීමට අද සිට අරුණිට අයිතිය දෙමි. !! ***
හරි, දැන් කියන්න.
Ashoka,
තමන්ගේ තීරණ තමන්ට ගැනීමට හැකි හැමටම ලැබෙන්නා වූ පුද්ගල අයිතියක් සෑම මිනිසෙකුටම දෙන්න ඔබ සූදානම් ද?
සෑම පුද්ගලයෙකුටම ඒ පුද්ගලයාට කැමති පරිදි ඒ පුද්ගලයාගේ තීරණ ගැනීමේ අයිතිය මම දී ඇත්තෙමි.
සෑම පුද්ගලයෙකුටම ඒ පුද්ගලයාට කැමති පරිදි ඒ පුද්ගලයාගේ තීරණ ගැනීමේ අයිතිය ඔබ දෙනවා ද?
මේ කියන ඇමරිකානු ටයිප් ඊනියා පුද්ගල නිදහසක් ලංකාවේද ලබා දුන හොත් වැඩි කල් නොගොස්ම රට ලේ විලක් වීම නවත්වන්නට ජගතෙකුටවත් බැරිය.
ඇමරිකාවේ දැන් ඇතැයි කියන ඔය ඊනියා පුද්ගල නිදහස ලැබී ඇත්තේ ඵෙතිහාසික ක්‍රියාවලියක් ඔස්සේය.
එය ගෙඩි පිටින් ගෙන ලංකාව වැනි රටකට ආදේශ කරන්නට නොහැකි බව තේරුම් ගන්නට බ්ලේක් ලාට මෙන්ම ශපීරෝ ලාට ද අමාරු වන්නට පුළුවන.
Aruni, everybody has a right to decide what’s best for themselves and everybody is by birth entitled to their personal freedom (as long as it doesn’t interfere with others). So you or me don;t have to grant it to another. If there is a person who somehow have manged to taken that right from another, then such a person will be duty bound and in a position to give it back. I haven’t took it from another, so no need or possibility for me to give it back to another. It is something each individual have to exercise on their own.
All people being free to decide for themselves is fine by me. Practically, that will happen with the advancement of education and social conditions. As long as there is ignorance, there will be people who will be handing their freedoms to others.
[…] කළු සුදු කියා දෙකක් නැහැ ඇත්තේ අළු පාට… යැයි කියා ගන්නා අයට මේ අවුල් තෝරා බේරාගන්නට නොහැකියි. […]
[…] දන්වයි. එය ‘හොඳ’ සහ ‘නරක’ යනුයි. නමුත් “කළු සුදු කියා නැත; ඇත්තේ අළු පාටයි” යන්න සැබෑවක් ලෙසින් බෙදා ගැනීම නිසා […]