අරුණි ශපීරෝ‍ වෙතින්

මාළු, මාළු, මාළු, දැන් ගෙනාපු මාළු

Posted in Uncategorized by arunishapiro on ජූනි 26, 2011

සුදු අප්පුහාමි කන්න හොයලා දෙන්න‍ බොහොම වෙහෙසක් ගන්නවා කියල කිව්වනෙ. මෙන්න උදේ පාන්දර අත්ලාන්තික් මුහුදට ගිහින් බිලී පිත්තකින් අල්ලන් ආපු මාළු. එකෙක් රාත්තල් 40 ක් (කිලෝ 18 ක්) විතර බර ඇති.

වටා පිටාවේ අසල්වැසියන් එක්ක බෙදාගෙන කන මේ මාළු වලට මිල පාලනයකුත් නැහැ!

ඒක කාර් එකක්, නෑ නෑ ඒ ප්ලේන් එකක්

Posted in Uncategorized by arunishapiro on ජූනි 25, 2011

මේක ඇමෙරිකාවේ පාරේ යන්න නීතියෙන් හැකි, ඒ වගේම අහසින් යන්නත් නීතියෙන් අවසර ඇති වාහනයක්. ලැම්බගීනි එකකට වඩා මිලෙන් අඩුයි!! ඇමෙරිකන් ඩොලර් ලක්ෂ දෙකයි. නිෂ්පාදනය MIT aeronautics ඉංජිනේරුවන් අතින්; ඉන් දෙදෙනෙක් තමයි කොම්පැණිය පටන් ගන්නෙ. Carl Dietrich සහ ඔහුගෙ භාර්යාව වන Anna Mracek Dietrich දෙදෙ‍නා විසින්.

මහපාරේ යද්දී ගැලුමකින් පැයකට සැතපුම් 35 ක් දුවන ඉන්ධන ශක්තිය තියනවා. දෙන්නෙක්ට ගුවනින් යන්න පුළුවන් එහි cruising speed පැයකට සැතපුම් 105 වෙද්දී සැතපුම් 500 ක් දුර යන්න පුළුවනි.

උස අඩි 6 යි අඟල් 6 යි (මීටර් 2) අපේ රුවල් නැව දාලා තියන ගරා‍ජ් එකේම දාලා තියාගන්න පුළුවන්!!

පළල වාහනයක් විදියට යද්දී අඟල් 90 ක් (මීටර් 2.3). පියාපත් විහිදුවාට පස්සේ පළල අඩි 26.5 ක් (මීටර් 8).

දිග අඩි 18 අඟල් 9 ක් (මීටර් 6).

ඉන්ධන පුරවලා පියාඹන්න ලෑස්ති අහස් යානයේ බර රාත්තල් 1,430 ක්.

මේ වාහනය සඳහා ගුවන් නියමුවෙක් වෙන්න අවසර පත්‍රයක් ගන්න පැය 20 ක පුහුණුවක් එයාලම දෙනවා.

වාහනයට air bag තියනවා ගුවන් යානයට පැරෂූට් තියනවා.

මේ අඩවියෙන් තව විස්තර දැන ගන්න පුළුවන්.

සිංහල මුලාව The Sinhala Delusion

Posted in Uncategorized by arunishapiro on ජූනි 24, 2011

ඇමෙරිකන් මුලාව ගැන ලියූ මම 2011 දොම්නස ළඟා කරන වසරක් දැයි විමසුවෙමි. ග්‍රීසියේ බංකොළොත් බව මන්දැයි හඳුනා ගන්නට නොහැකියාව නිසා රටවල් ගණනාවක දැනටමත් ග්‍රීසියේ වැනි උද්ඝෝෂණ දකින්නට හැකිය. නැති මුදල් සඳහා තමන්ට අයිතියක් ඇතැයි කියා රට උකස් කර හෝ නැති මුදල් බෙදා දෙන්නට යැයි ජනතාව පෙළපාලි යනු ඇත. මුදල් හම්බ කිරීමෙන් පමණක් මුදල් බෙදා ගත හැකි බව ලොව ඔප්පු කර ඇති එකම ක්‍රමය යැයි පිළිගත් පිරිස ඉන්නා රටට ලෝකයා ද්වේෂ කරනු ඇත. නමුත් එය පිළිගනු නොමැත.

ලෝක විනාශ අනාවැකියක් ගැන ‘නිදහස් සිතුවිලි’ ලියපු සටහන කියවද්දී මට හිතුනේ ලෝක විනාශය ස්වභාවිකව ඇති වෙන්නට පෙර මිනිසා විසින් ඇති කරගනු ඇතැයි ද කියාය. ඒ පරිසරයට හානි කිරීමෙන් නොව එකිනෙකා මරා ගැනීමෙනි. හ්ම්… එතකොට ලෝක විනාශය නෙමෙයි මිනිස් විනාශය කියන්න වෙනවා!!!

අයෙක් එයත් පරිණාමයේ ස්වභාවික වූ හැදියාවක් යයි කියනු ඇත. එනම්, ජනගහණය කාලයෙන් කාලයට අඩු කරගත හැකි නිසා යුද්ධ හා කෝලාහල යනාදිය ‘ස්වභාවික’ යැයි කියනු ඇත.

සිංහල මුලාව පටන් ගන්නේ එතැනින් ය. ජීවිතයක් බිලි දී රජය විසින් ස්ථාපිත කරන්නට ගිය නීතියක් නවතා ගත හැකි වූ බව ‘ජයග්‍රහණයක්’ සේ දැකීම සිංහල මුලාවයි. ජයග්‍රහණයක් අත් කරගත හැකි වනුයේ බිල්ලක් දීමෙන් යැයි සිතීම ගෝත්‍රික චින්තනයයි. එසේ සිතන තාක් විකල්ප දකින්නට එවැන්නාට නොහැකිය.

දියුණුවේ පදනම පුද්ගල අයිතිය යැයි කියද්දී එය නොදැක්කා සේ සිටීම සිංහල මුලාවයි. අනගි දර්ශනයක බාරකාරත්වය ලැබි ලංකාව එය තමනට අවශ්‍ය ආකාරයට නිර්වචනය කර ගත්හ. පුද්ගල අයිතීන් මොනවා දැයි යන්නත් තමන් කැමති ආකාරයට නිර්වචනය කර ගැනීම සිංහල මුලාවයි.

ප්‍රජාතන්ත්‍රවාදය රටක දියුණුව සලසා ලන බව ‍නොදැකීම සිංහල මුලාවයි. ප්‍රජාතන්ත්‍රවාදය තමන්ට කැමති ආකාරයට නිර්වචනය කර ගන්නේ එහි පදනම වන පුද්ගල අයිතිය බැහැරකට දමා වීම ද සිංහල මුලාවයි. එක කාලයක දී රිචඩ් සොයිසාගේ මළකඳ මුහුදෙන් ගොඩට ගනී. තවත් කාලයක දී ප්‍රගීත් එක්නැලිගොඩ සොයාගත නොහැකි ය. එහෙත් මාධ්‍යවේදීන් කිසිවෙක් පුද්ගල අයිතිය ගැන නොකියති. එය සිංහල මුලාවයි.

නිදහස් වෙළඳපොල ගැන තමන් කැමති ආකාරයට නිර්වචනය කර ගනිද්දී එක කාලයක පොල් අක්කර 50 ක් පමණක් පුද්ගලයෙකුට අයිති කරගත හැකි යැයි නීතියක් ගෙන එයි. ඉතිරි සියල්ල රජයට පවරා ගනියි. ඒ මොන විද්‍යාත්මක සාධකයක් උඩ ද? ඇයි පොල් අක්කර 52 ක් බැරි? 50 පහසු වූ රවුම් අංකයක් නිසා ද? හැබැයි පොල් අක්කර 50 ට වඩා තියන අයෙකුට පවුලේ සූසාන භූමියට යැයි කියා තවත් අක්කර තුන හතරකට අයිතිය කිය හැකිය. පොල් අක්කර 50 කට පොහොර දාන්න රුපියල් ලක්ෂයක් පමණ ගිය සමයක් තිබිණ. දැන් පොහොර වල ආසනික් නිසා ඊටත් වඩා ගණන් ගිහින් ඇති!!! ඉතින් පොල් අක්කර 50 ක් ඇත්තාට ඊට පොහොර දාන්න සල්ලිත් තිබිය යුතුය.

නව නීතියක් ගෙනෙන්නට යන්නේ පොල් අක්කර 5 කට වඩා විකුණා දමත නොහැකියි කියන්නට ය. ඒ මහා පරිමාණයෙන් පොල් වගාව ඵලදායක බව කාටදෝ වැටහී ගිහින් ඇති නිසාය!!! ඇයි පොල් අක්කර 50 ක් අයිති නම් ඉන් 25 ක් විකුණන්න බැරි? අක්කර 25 කින් ලබා ගත හැකි ඵලදාව අක්කර 5 කට වඩා අඩු/වැඩි යැයි තීරණය වූයේ මොන විද්‍යාත්මක සාධක පමණක් උඩ ද? මොන කළමනාකාර දත්ත පමණක් උඩ ද? පාඩු ලබද්දී කැමති කොටසක් විකුණත නොහැකියාව නිදහස් වෙළඳපොල ද?!!!

නිදහස් වෙළඳපොල නොදන්නා දන්ත වෛද්‍යවරයෙක් නීති ගෙනෙන්නේ මාළු මිල පාලනයට ය. මිල පාලනයෙන් කාර්තෙල් (cartel) හැදීම නිදහස් වෙළඳපොලට පටහැනි බවත් ප්‍රතිඵලය වාසිදායක නැති බවත් ඔහුට කියා දෙන්නට කෙනෙක් නැද්ද? මිල පාලනය නිසා නිතරම භාණ්ඩයේ තත්වය බාල වන බවත් (හොඳ මාළුවා අල්ලා ගන්නාට වැඩි මිලක් නොලැබෙන නිසා), තරඟයක් නැති කළ (වැඩියෙන් හොඳ මාළු අල්ලා වැඩි ලාභ උපයත නොහැකි නිසා) නිෂ්පාදනයෙන් ඉවත් වී මාළු හිඟයක් අනාගතයේ ඇති විය හැකි බවත්, මාළු රට පටවන්නට තරම් කවදා වත් මාළු වෙළඳපොල දියුණුවක් ඇති නොවේ යැයි ද කවුරුත් ඉතිහාසය දිහා බලා මතක් කර නොගති. නිදහස් වෙළඳපොල තමන්ට උවමනා ආකාරයට නිර්වචනය කර ගැනීම සිංහල මුලාවයි.

මිනිසා වනාහී උපන්දා සිට තරඟයක යෙදෙන, බහ තෝරන්න හා කියවන්න ලියන්න මෙන් පිහිනන්න ද තමන් විසින් උත්සාහයක් යොදවන්නේ නැතිව කරත නොහැකි බව පිළි නොගැනීම සිංහල මුලාවයි. ඒවා ජීවත්වන සමාජය විසින් පොදු උත්සාහයකින් දෙන දේවල් යැයි මිථ්‍යාවක පැටලී ඉන්නා අය අනුන් දෙන තුරු, වාසනාවට පහළ වනතුරු නිකම් බලාගෙන සිටිති. හඳහනේ ‘රාජ යෝගයක්’ ඇතැයි ප්‍රචාරයෙන් අනුන් මුලා කර බලය අල්ලන්නට උත්සාහ ගැනීම සමාජයේ දකින්නට හැකියේ, එක් අයෙකුට ඇති අනිත් අයට නැති සුවිශේෂී වූ ‘ලබා උපන් හැටි’ යැයි සිංහල මුලාවක් වූ විශ්වාසයක් තියන නිසා ය.

පිස්සු ද මන්දා අරුණිට …. ඔය ඔක්කොම බොරු කතා. පෘතුගීසිකාරයන්, ඕලන්දකාරයන්, එංගලන්තෙ සුද්දෝ ඇවිත් අපිට අරක්කු බොන්න දීලා ගෝත්‍රික අදහස් වලින් ජීවත්වෙච්ච අපිව අන්දබූත කළේ නැත්නම් අපි අද ලෝකයටම ලොක්කෝ!!!

“Today we may see a crisis in leadership. There is a dearth of good leaders. Our educational system, may be churning out stereo types to fit into a mould. We may not be placing much emphasis on making each individual to be that unique person that’s meant to be. The need of the hour is to make each a creative and questioning individual. To discover and bring out in every person, that latent uniqueness that lies buried within each of us.” අනේ ඇත්තටම සිංහල කියවන්නා අතර ඕක කවුද පිළිගන්නෙ???!!!

මොන පිස්සු ද මේ අරුණිට. මේ ආණ්ඩුව හරියට බෙදන්නෙ නැති නිසා මේ ආණ්ඩුව පෙරළලා අපි ඊ ළඟ පාර පත් කර ගනිමු සේරම හරියට කරන්න පුළුවන් අපේ ම (සිංහල මුලාවෙන් ම ඉන්න) ආණ්ඩුවක්!!! සිංහල මුලාවෙන් මිදෙන්නේ නැතිව තව තවත් නව නීති ගෙනෙමු. තව තවත් නව සැලසුම් ගහමු. වැඩ කරන්න පුළුවන් අයට රට දාලා යන්න හිතෙන තරම් අළුත් නීති ගෙනැල්ලා අළුත් සැලසුම් ගහලා ඒ අය රට දාලා වැඩ කරන්න පුළුවන් රටවල් වලට පනින කොට අනේ අපොයි මෙහෙම මොළ සූරා කෑමක් කියල ඒ රටවල් වලට බනිමු.

ඔන්න පාර … ඔය පාරෙන් යන්න කිව්වාම ඒක නොදකින්න ඇස් පියාගෙන, ඕවා විදේශ කුමන්ත්‍රණ, හැමෝටම ඔය ඊනියා (එසේත් නොවන මෙසේත් නොවන) නිදහස දුන්නොත් හරි යයි කියලා හරියටම හරියන සාර්ථක ප්‍රතිඵල ලත් පුද්ගල අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස් වෙළඳපොල (එකම විදියකින් පමණක් නිර්වචන වන) සිංහල මුලාවට හරියන විදියට නිර්වචන කරගෙන විසඳුම් හොයමින් සිටීම වනාහි සිංහල මුලාව මිස වෙන කුමක් ද?!!

හවුලෙන් බිඳී යන ග්‍රීක ශෝකාන්තය

Posted in Uncategorized by arunishapiro on ජූනි 23, 2011

යුරෝපා හවුලේ එකමුතුව සඳහා වන Charlemagne තෑග්ග 2011 දී පිරිනැමුනේ ප්‍රංශ ජාතික Jean-Claude Trichet වෙතට ය. ඔහු 2003 සිට European Central Bank හි සභාපතිවරයා වෙයි. ඔබාමාට දුන් නොබෙල් සාම තෑග්ග තිබුණු යුද අවසන් නොකර අනුන් පටන් ගත් අළුත් යුද්ධයකට එකතු වූ නිසා ආපහු ගන්නට ක්‍රම වේදයක් නැත්තා සේ, යුරෝපා හවුලේ එකමුතුවට Jean-Claude ට දුන් තෑග්ගත් ආපහු ගන්නට ක්‍රම වේදයක් නැත!!! ඒත් කරත හැකි එකම දැය දෙදෙනාවම තනතුරින් පහ කිරීම පමණි. ව්‍යාපාරිකයන් දෙදෙනෙක් දුන් පොරොන්දු කැඩුවා නම් නම් ඔවුන් සිරගත වනු ඇත!! එහෙත් මොවුන් කිසිත් දඬුවම් නොවිඳ තනතුරු වලට පමණක් යළි පත් නොවන්නට ඉඩක් තිබෙනුයේ සැලසුම් ගහනා අයට අපිම දී ඇති බලතලයන් නිසා ය.

යුරෝපා ග්‍රීක හවුලේ ශෝකාන්තයට ප්‍රධාන හේතු දෙකකි. ග්‍රීක ආණ්ඩුවේ වියදම් සහ එහි ශ්‍රමික නිදහස නොමැතියාව.

ග්‍රීසියේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 13% කට වඩා වැඩි fiscal deficit ආණ්ඩුවට තියෙද්දී මහජන ණය දළ ජාතික නිෂ්පාදිතයෙන් 115% කට වඩා වැඩි ය.

ග්‍රීක ආණ්ඩුවේ වියදම දළ ජාතික නිෂ්පාදිතයෙන් 46.8% වී ඇත. හැම දෙයක්ම ආණ්ඩුවේ සැලසුම් වලින් කිරීමෙන් සැමටම සුබදායක ලෙස සියල්ල තීරණය වේ යැයි බලා සිටි ජනතාවට එය එසේ නොහැකි බව අද දිනයේ ද අවබෝධයක් නැත. ඔවුන් දකිනුයේ තම ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති නොව ජර්මනිය හා ප්‍රංශය තම ණය ආපහු ලබා ගන්නට හැකියාව මත දෙන බේරා ගැනීමේ මුදල් දෙන කොන්දේසි වල වැරදි ය.

ණය දෙන්නෙ ණය ගන්නාට වියදම් කරන්නට පමණක් නොවෙයි. දුන් ණයත් හා ඊට එකතු වූ පොලියත් ආපසු ලබන අභිප්‍රායෙනි. තවත් විදියකින් කියනවා නම් ඉන් ලාභ උපයනු පිණිස ය. ණය ලබන්නා තම තත්වය දියුණු කරගෙන ණය පියවනු ඇතැයි බලාපොරොත්තුවෙන් කරන ගණුදෙනුවකි.

ණයක් ගනිද්දී ‍කොන්දේසි රාශියක් ණය හා කැටුව එයි. කොන්දේසි වනාහි ණය දෙන්නා ගේ ය. දෙන්නට ණය ඇත්තා දුන් ණය හා පොලී ආපහු ලබාගත හැකි කොන්දේසි ඉදිරිපත් කරයි. ණය ගන්නා කොන්දේසි අනුව ණය හා පොලී ගෙවත හැකිදැයි විමසිය යුතුය. එසේ නැතිව ණය ගන්නාට ණය ලබන්නට උකස් කළ සියල්ල අහිමි වෙයි.

ඒ පුද්ගලයන් ණය ගනිද්දී ය. රටක් ණය ගනිද්දී ණය ගණුදෙනුව කරන්නේ සැලසුම් ගහන්නෝ විසිනි. ඔවුන් උකස් කරන්නේ රට මිසක තම පුද්ගලික වස්තුව නොවේ. ඔවුන් ණය ගන්නා අරමුණ පාලන බලයේ සිටීම මිස රටේ දියුණුව ද නොවේ. පාලනය බලයේ සිටින්නට නම් ජනතාවට කැමති පරිදි ඔවුන් පඩි වැඩි කරන්නැයි ඝෝෂා කරද්දී ඒ වැඩි පඩි ඉල්ලන අය වෙතින් නිෂ්පාදනයක් වූවත් නැතත් පඩි වැඩි කළ යුතුය. රස්සාවල් නැතැයි කියා ජන ඝෝෂා කරද්දී ආණ්ඩුවේ රස්සාවල් මවා දිය යුතුය. නැත්නම් ජනතාව සතුටු කළ නොහැකිය. ඉතින් සැලසුම් ගහන්නෝ වෙත රට උකස් කරන්නට බලය දී එයාකාරයෙන් හදා වඩාගෙන ඇත්තේ රටේ ම ජීවත්වන ජනතාවයි.

ඔටුනු පැළඳි ලෝකය හිතාගෙන සිටින්නේ පුද්ගලයා හෝ රටක් ණය බරින් තියා ගත්තාම ඔවුන් යටත් කරගත හැකි හැකියාවක් ඇතැයි කියාය. එය මිථ්‍යාවකි. කොමියුනිස්ට් රටවල් සියල්ල සූරා කා වසර තිස් හතළිස් ගණනකට පසු හප විසි කළ සෝවියට් ක්‍රමය සැලසුම් කළ පිරිස එය වඩාත් ම හොඳින් වටහා ගත් අයයි.

හැම විටම ණයක් දිය යුත්තේ ණය ගෙවන්නට හැකියාව ඇති දක්ෂයන්ට ය. දුන් ණය සමඟ එකතු වූ පොලිය ආපහු ගන්නට ලැබෙන්නේත් එවැනි අයට ණය දීමෙන් ම පමණකි.

කල්පනා කර බලන්න. හැම දෙයක්ම ළඟට ගෙනැත් දීමට සිදුවන, හැම දෙයක්ම තමන් කියන තෙක් බලා සිටිනා සහකාරයෙක්/සහකාරියකට වඩා තමන් විසින් තම කටයුතු කරගත හැකි, හවුලේ දියුණුවට අදහස් ඉදිරිපත් කරත හැකි සහකාරයෙක්/සහකාරියක් වඩා සුදුසු නැද්ද?

හවුලක දී සමාන අගයන් නැති වූ විට හවුල බිඳී යයි. සහකාරයා හෝ සහකාරිය යටත් කරගන්න ගියාම පෙරළෙන්නට හැකි කුලින්නය කරා අවුත් තවත් දුරට දරා ගත නොහැකි විට අයෙක් හවුලෙන් ඉවත් වෙන්නේ ඒ නිසයි. හවුලෙන් ඉවත් වන්නට උවමනා වුවත් ඉවත් නොවී ඉන්නා අයෙක් දුකින් තැවෙමින් ජීවිතය ගෙවන්නේ ද ඒ නිසයි. හවුලක් නම් අයෙක් උසස් හෝ පහත් නොව දෙදෙනාම සම තත්වයක වූවකි.

යුරෝපා හවුල ග්‍රීසිය, ඉතාලිය, ස්පාඤ්ඤය හා පෘතුගාලය එකතු කර ගනිද්දී ඔවුන්ට සෙසු යුරෝපීයයන් හා සමාන වූ අදහස් ඇත්දැයි විමසා බැලුවේ නැත. හවුලක ඇති ලොකු වෙළඳපොලක් පමණක් දැකි ඇස් වලින් සැලසුම් ගැසුවෝ ක්‍රියාත්මක වූහ.

ඉතාලිය හා ග්‍රීසිය යුරෝපා හවුලට එකතු වෙද්දී තම රටේ ආදායම් වියදම් ගැන දෝෂ සහිත වාර්තා දුන්හ. බොරු වලින් හවුලට එකතු වූ පසු බොරුව රැක ගන්නට තවත් බොරු කියන්නට සිදුවිණ. අවසානයේ දී බොරු හෙළි වෙද්දී හවුල බිඳ වැටෙන බව සැලසුම් ගහන්නෝ දැන සිටියත් එයින් ඔවුනට කම් නැත. මන්ද ඔවුන් පහ වන්නේ බලයෙන් පමණි. රටට ජනතාවට කුමක් වුනත් තමන් බලයේ සිටි කාලයේ තමනට කරගත් හරිය ඔවුනට ඇති ය.

ග්‍රීක වෙළඳපොලේ තරඟයක් නැතිකම නිසා අද ව්‍යාපාරික විශ්වාසය බිඳී ගොසිනි. බලසම්පන්න වෘත්තීය සමිති පුද්ගලික ව්‍යාපාරයන්ට අකුල් හෙලනවා මිස ධෛර්යය නොදේ. බුරුලක් නොදෙන ශ්‍රමික වෙළඳපොල නිෂ්පාදනය හා රැකියා වර්ධනයට අහිතකර ය. අල්ලස් හා දූෂණ පිරි ඇති රටකි.

1952 දී පටන් NATO සාමාජිකයෙක් වන ග්‍රීසිය 1974 දී සිට නොකැඩී පවතින ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙයි. ග්‍රීසිය යුරෝපීය හවුලට එකතු වන්නේ 1981 දී ය. යුරෝ මුදල් භාවිතය පටන් ගන්නේ 2002 දී ය. එහි ආර්ථිකය රඳන්නේ සංචාරක සේවය සහ අනිකුත් සේවා සැපයීමෙනි. ග්‍රීසියේ කෘෂිකර්මය, සංචාරක, ගොඩනැඟිලි හා නැව් බඩු ප්‍රවාහන කර්මාන්ත බොහොමයක් ඇතැන්ස් නගරය හා නගරාසන්නව සිද්ධ වේ.

කිසිත් අවධානයකින් තොරව ග්‍රීක ආණ්ඩුව මහත් වියදම් කළහ. එසේම යුරෝපීය මධ්‍යම බැංකුවට ඔවුන් යැවූ වාර්තා ද දෝෂ සහිත වුණි.

හවුලට එකතු නොවී තනි රටක් සේ සිටියා නම් ග්‍රීසියට තම ඩ්‍රාහ්ක්මාව අව අගයකට ලක් කරන්නට තිබුණි. නමුත් යුරෝව භාවිතා කරන නිසා ඊට ඉඩකඩක් ඔවුනට අද නොමැත. ණය ආපහු නොගෙවා බංකොළොත් වී යුරෝපා හවුලෙන් අහක් වූ පසු ඩ්‍රාහ්ක්මාව නැවත පරිහරණයට ගැනීමෙන් පමණක් ග්‍රීක ශෝකාන්තය ග්‍රීක සුඛාන්තයක් කරගත හැකිය. මන්ද, ජනතා චින්තනය වෙනස් කිරීම සල්ලි අච්චු ගහනවාට වඩා දුෂ්කර නිසයි!!

යුරෝපා හවුල කියන අව සුබ සාධන ප්‍රතිපත්ති වලින් කිසි දිනයෙක නැවත ණය ගෙවන්නට තරම් හැකියාවක් ලබන්නට නම් ග්‍රීක චින්තනය සුබ සාධනයෙන් ජීවත් නොවන ජනතාවක් ඉන්නා, පුද්ගලික ව්‍යාපාරික හිතවාදී වූ, දූෂණ වලින් තොර වූ රටක් විය යුතුය. එය ග්‍රීක ජනතාවට තම මූලික විශ්වාසයන් වෙනස් කරන්නට සිද්ධ වීමකි.

බංකොළොත් භාවයෙන් බේරා ගන්නට නම් ණය දෙන බැංකු වලට තම ණය ආපහු ලබා ගන්නට ක්‍රමයක් තිබිය යුතුය. ණය පියවත හැක්කේ රාජ්‍ය සුබ සාධන වියදම් අඩු කිරීමෙන් හා පුද්ගලික ව්‍යාපාර මඟින් නිෂ්පාදනය වැඩි කිරීමෙනි.

බෙදා දෙන්නට නැති දෙයක් බෙදා දෙන්නේ කෙසේ දැයි බෙදා දීම කප්පාදු කරනු එපා යැයි ග්‍රීසියේ ජනඝෝෂා කරන අය නොදකිති. අද ලංකාවේ ද තමන් විසින් ලෝක වෙළඳපොලක කරන තරඟයක් ගැන කියමින් එහෙත් ලෝක වෙළඳපොලක මෙන් තරඟයෙන් නිෂ්පාදනයේ නොයුතුව පඩි වැඩි කරන්න යැයි ඉල්ලන ඝෝෂාවක් වෙයි. ජනතාව සතුටු කිරීමෙන් පමණක් බලයේ සිටිය හැකි නිසා ඒ කොට්ඨාශයේ ද පඩි වැඩි වනු ඇත. එහෙත් ඔවුන් ඉතිහාසයේ කිසිදා කළා යැයි ඔප්පු කර නැති නිසා, ඉදිරි අනාගතයේ දී වත් සෙසු ලෝක වෙළඳපොල හා හරිහරියට තරඟයේ යෙදෙයි ද?!!! ඒ උකස් කරන්නේ රට බව දකින්නට නොහැකි වීම රටේ අභාග්‍යයකි.

ග්‍රීසියේ ජනතාව විසින් ම තෝරා පත් කරගන්නා ලද විවිධ සැලසුම් ගහන්නෝ විසින් ග්‍රීසියේ පාලන බලය අල්ලා ගෙන සිටීම සඳහා සුබ සාධන බෙදා දුන්හ. අවසානයේ පාඩු විඳින්නේ ග්‍රීසියේ ගෙවන්නට බැරි ණය නොගත්, වෙහෙස මහන්සියෙන් ආදායමක් උපයන ලද සුළු පිරිස ය. වරදක් නොකළ ඔවුන්ගේ වත්කම අද අඩු වී ඇත.

ග්‍රීසියේ වැඩි ආදායම් උපයන අයගෙන් කපා ගන්නා බදු ඔවුන් උපයන ආදායමෙන් 40% කි. ව්‍යාපාරික ආදායමෙන් කපා ගන්නා බදු 24% කි. රටෙන් 80% ක පිරිසක් එම බදු නොගෙවා සුබ සාධන වලින් ජීවත් වෙද්දී මෙම පිරිස තම ආදායමෙන් 40% ක් සහ 24% ක් රජයට කැමති සේ බෙදා හරින්නට ඉඩ දීමට අකමැති වීම පුදුමයක් ද? කෙමෙන් කෙමෙන් ආදායම් උපයනවා වෙනුවට නිකම් සිටීම ඔවුන්ගේ ද හැදියාව කර ඇත්තේ සැලසුම් ගැසුවෝම නොවන්නේ ද? දැන් ග්‍රීසියේ දළ ජාතික නිෂ්පාදිතයේ 35.1% ක් පමණක් බදු වලින් ලබන ආදායම වී ඇත.

//හවුල් ව්‍යාපාරයකට වගේම හවුල් පවුල් කෑමේ එකමුතුවට පිවිසීමේ දී ත් තම තමන්ගේ වගකීම් සහ තම තමන් හවුලට ගේන්නේ මොනවා ද යන්න අවංකව හඳුනාගෙන තිබීම ඉතා වැදගත් බව අමතක කරන අය බොහොමයි.//

හවුලට එකතු වූ නිසා තම වගකීම ඉබේ ඉටුවේ යැයි සිතීම පමණින් ගත් ණය වියදම් කර ග්‍රීක වැසියන් බලා සිටියහ. තම වගකීම නම් සෙසු යුරෝපීයයන් මෙන් සුබ සාධන දෙන්නේ නම් ඒ හා සමාන ඉපයීමක් තමන් විසින් කළ යුතු බව ග්‍රීක ජනතාව අමතක කළහ.

අයි වෙයිවෙයි නිදහස් කළ චීන රජයට මගෙ ප්‍රණාමය!! දුෂ්කර වුවත් ආපස්සට නොයා අපි හිමිහිට යමු හරි මඟට!!

සඵලදායක පවුල් කෑම ලාභ සහිත ව්‍යාපාරයක් වගේ ද?

Posted in Uncategorized by arunishapiro on ජූනි 22, 2011

වෙද ගෙදරට ගොඩ වැදි මට ‘වෙද ගෙදර මහ වෙදනා’ එක්ක අවුලක් බේර ගන්න වුනා. සොක්‍රටීස්ට වැරදුන ‍බව ඔප්පු කරමින් අපි දෙන්න අවුල බේර ගත්ත රටවල් දෙකක ඉඳගෙන මිනිත්තු ගණනකින්!!

ලාභයක් සොයන්නේ කොහොම ද යන්න වටහා ගැනීමට බැරි ලාභය කුමක් දැයි නොදන්නා අයට.

සඵලදායක පවුල් කෑම බැරි ඒ මොකක් දැයි නොදන්න අයට.

ලාභය ආචාර ධර්ම වලින් තොර වූවක් බව ඉතිහාසයේ පටන් එල්බ ගත් මතයක්. ගුණවත් අයෙක් වන්නේ දානමානාදිය තුලින් යැයි කීම සමහර විට ඒ ඔටුනු පැළඳි ලෝකයේ බලතණ්හාධිකයන් වෙතින් කීයක් හරි ඉල්ල ගන්න ආගමික නායකයෝ දාපු දහම් ගැටයක් වෙන්නැති. ඔටුනු පැළඳි ලෝකයේ තවමත් ධනය එක්කාසු කරගන්න හැකියාව තියෙන්නෙත් බලතණ්හාධිකයන්ට සහ ඔවුන් සමඟ ගිවිසුම් ගහන අයට විතරක් වීම තවත් කාරණයක් වෙන්නැති.

බුඩී කියන ක්‍රෙඩිට් බිල්ලො වගේ තමයි ලාභ සෙවිල්ලත් බිල්ලෙක් හැටියට හංවඩු ගැහිලා තියෙන්න. ක්‍රෙඩිට් කියන්නෙ ණය කියලා අමතක කරන්න හොඳ නෑ. ලාභ සෙවිල්ල කියන්නෙ අනගිත්වය කරා යන ගමනක් බව අමතක කරන්නත් හොඳ නෑ. දියුණුවට දෙකම හරියාකාරව පාවිච්චිය දැනගන්න ඕනෑ.

හවුලේ පවුල් කෑමේ දී එය සඵලදායක වන්නට නම් අනගිත්වය සොයා යන්න ඕනෑ. ව්‍යාපාරයක් සාර්ථක කරගන්නට නම් ලාභ සෙවිල්ලත් අනගිත්වය සොයා යන ගමනින් සිද්ධ වන්නට ඕනෑ.

සාර්ථක ව්‍යාපාරිකයෝ දිහා බැලුවම පේන දෙයක් තමයි නිතරම ඔවුන් නිරත ව්‍යාපාරයට දැඩි ආදරයක් දැක්වීම. පදනම එයයි.

සාර්ථක යුග දිවියකත් ඉන්නෙ එකිනෙකාට දැඩි ආදරයක් දක්වන දෙන්නෙක්. පදනම එයයි.

හවුලට එකතු වෙන දෙදෙනා හවුලට ගෙනෙන්නේ මොනවා ද? පුද්ගලික අගැයුම්, දෙදෙනාගේම පවුල් වල මතවාද, දානමානාදිය ගැන ආකල්ප, මූලික විශ්වාස සහ එකිනෙකා හවුලට දායක වන හැටි යනාදී සේරම බැලූ බැල්මට පැහැදිලි නැති දේවල් සමූහයක්.

මුලින් ම හවුලකට එකතු වෙද්දී තම තමන් විසින් ගන්නා වගකීම (responsibility) මොකක් දැයි දැන සිටීම වැදගත්. වගකීම කුමක් දැයි පැහැදිලි කර නොගත්තම දෙන්නා දෙවිදියකට හිතාගෙන ඉන්න අවස්ථා බොහොමයි. තමන් ඒ හවුලට ගේන්නෙ මොනවා ද? “මං එනකොට දෑවැද්දක් අරගෙනයි ආවේ” කියා සදොස් හොයන කාන්තාවක් ඇය ගෙනා දෑවැද්ද ඉවර වෙනතුරු වියදම් කළේ ඇයම බව අමතක කරනවා නම් එය අවංක බවකින් තොරයි. ‘මං ආවේ උපාධියක් එක්ක’ කියන පිරිමියා සහතිකය තිබි පළියට කවුරුත් ඔහුට සල්ලි ගෙවන්නෙ නැති බව නොදැකීමත් අවංක බවින් තොරයි.

හවුල් ව්‍යාපාරයකට වගේම හවුල් පවුල් කෑමේ එකමුතුවට පිවිසීමේ දී ත් තම තමන්ගේ වගකීම් සහ තම තමන් හවුලට ගේන්නේ මොනවා ද යන්න අවංකව හඳුනාගෙන තිබීම ඉතා වැදගත් බව අමතක කරන අය බොහොමයි.

හවුල් ව්‍යාපාරයක් අරඹන්නේ තනිවම ව්‍යාපාරය ගෙන යා නොහැකි නිසා.

පවුලක් හදන්නේ තනිවම ජීවිතය ගෙන යන්නට අකමැති නිසා. (අනුන් කියන නිසා පවුල් හදන අයත් ඉන්නවා!!)

දිගු කාලයක් අනගිත්වයෙන් යුතු වූ හවුලක් තීරණය කරන්නේ මොන දේවල් ද?

හවුලේ දෙදෙනාම එක ගතිගුණ වලින් වීම අවශ්‍ය නැත. නමුත් අයකුගේ ගතිගුණ අනිකාගේ ගතිගුණ හා විසදෘශ වීම හවුලට හානිකර ය. එවිට හවුල පටන් ගත්තාට පසු දිනයෙක, අනාගතයේ දී බහින්බස් වීම් හා අරගල ඇති වේ.

ව්‍යාපාරයක ඉදිරි ගමන සාර්ථකත්වයට ඒ ඒ හවුල්කාරයන්ගේ වයස් බලපායි. වයසක හවුල් ව්‍යාපාරිකයා දිගු කාලීන ප්‍රතිඵල ලබන ආයෝජනයකට වඩා කෙටි කාලීන ප්‍රතිඵලයක් සොයනවා විය හැකියි. තරුණියක් විවාහයට එළඹ ඉක්මණින් දරුවෙක් හදන්නේ නැතැයි සිතා සිටිය දී ඇය හා විවාහ වන තරුණ විය ඉක්ම වූ අයට ඉක්මණින් දරුවෙක් හැදීමට අවශ්‍ය විය හැකියි. වයස අනුව ජීවිතයේ ගන්නා තීරණයන් ව්‍යාපාරයක දී ත් හවුල් පවුල් කෑමේ දී ත් විසදෘශ වේ දැයි හවුල පටන් ගන්නට පෙර සොයා බැලිය යුතුය.

ව්‍යාපාරයක් ගෙන යෑමේ දී ඊට එකතු වෙන හවුල්කාරයාගේ බිරින්ඳෑත් ඊට ඇඟිලි ගසන්නට එනවා දැයි කළින් සිතා බැලිය යුතුය. පවුලක් එකමුතු වෙද්දී අම්මා තාත්තා නැන්දා මාමාලාත් තීරණයන් සඳහා සාධකයන් වෙනවා දැයි කළින් සිතා බැලිය යුතුය. ඔහුගේ හෝ ඇයගේ පවුල එකිනෙකාට සමාන විය යුතු නොවේ. අවශ්‍ය වන්නේ හවුලට එකතු වන්නා ඒ බලපෑම් කරන අය ගැන දැනීමකින් යුතුව ඉන්නවා ද, ඒ ගැන ‍හවුලට ඇති බලපෑම ගැන කෙසේ ක්‍රියා කරනවා දැයි කළින් ගසා ගත් එකඟතාවයකට පැමිණිය හැකිදැයි අවබෝධයයි.

පැන නැඟිය හැකි හැම අවස්ථාවක් ගැනම කතාබහ කළ යුතු යැයි කියනවා නොවේ. ව්‍යාපාරයක නොදැකි අභියෝග නිතර මතු වේ. හවුලේ පවුල් කෑමේ දී ද නොදැකි අභියෝග හැම විට මතු වේ. හවුලට එකතු වන්නට පෙර තම තමන්ගේ පවුල් හා හවුල අතර සීමාවන් මොනවා ද යන්න පැහැදිලි කර ගැනීම වැදගත් ය. ව්‍යාපාරිකයාගේ බිරින්ඳෑ ඇයගේ යාළු යෙහෙළියන්ට රැකියා ලබා දෙන්නට කියා ව්‍යාපාරිකයාට නිතර කරදර කරනවා ද? නැත්නම් රැකියාවක් දෙන්නේ ව්‍යාපාරයේ දියුණුවට වඩා සුදුසු වූ අයෙකුට ද? පවුලත් හවුලත් අතර සීමා මොනවා ද යන්න කතා බහින් නිරාකරණය හවුල් ව්‍යාපාරික අවුල් අවම කරයි. පිවිසෙන පවුල් හවුලත් තම තමන්ගෙ දෙමාපිය පවුල් වලත් අතර සීමා මොනවා ද යන්න කතා බහින් නිරාකරණය පවුල් අවුල් අවම කරයි.

දානමානාදිය ව්‍යාපාරයක දී ද කළ යුත්තකි. එය ව්‍යාපාරයේ හොඳ හිත පිළිබිඹුවකි. හවුල් පවුල් කෑමේ දී ද දානමානාදිය කළ යුතුය. එය හවුලේ හොඳ හිත පෙන්වන්නකි. මෙහි දී දානමානාදිය බෙදා හරින ආකාරය ගැන හවුලේ අය අතර එකඟතාවයක් නැත්නම් හවුලට අහිතකර වෙයි. අයෙක් අනිකාට හොරෙන් හවුලේ දෑ බෙදනවා ද? නැත්නම් හවුලේ දියුණුව අඩාල කරමින් නැති ධනය බෙදනවා ද? යනාදී ගැටළු ගොඩක් ඇති වෙන්නට පෙර දානය කුමක් ද? යන්න දෙදෙනා/හවුල අතර පැහැදිලිතාවයක් තිබිය යුතුයි.

මූලික විශ්වාසයන් ගැන වූ එකඟතාවය ඉතා වැදගත්. අදහස් ගැලපෙනවා දැයි යන්න මෙහි දී සැලකිල්ලට ගැනේ. ව්‍යාපාරයක් කරද්දී ලාභ සෙවීම නම් කුමක් දැයි නොදන්නා අය හා ව්‍යාපාරයට යෑමෙන් තියන සතයත් නැති වී යයි. බල්ලො මරලා හරි ලාභ හොයනවා කියන අයෙක් හා ව්‍යාපාරයට යෑමෙන් හිරගෙදරක ලගින්නට ද සිදුවේ. ලාභය නම් අනගිත්වය සොයා යන ගමනේ දී ලැබෙන වාසිය යන්න වටහා ගන්නා දෙදෙනෙක් වැඩි කාලයක් වැඩි ලාභයක් සොයති. හවුලකට එකතු වන්නේ තමන්ට තනියම වැඩක් කරගන්න බැරි නිසා නොව තනියම ඉන්න අකමැති නිසා යැයි අවංකව පිළිගන්නා දෙදෙනෙක්ට යුග දිවිය සටනක් නොව බෙදා හදා ගැනීමෙන් සතුටක් ලබන වෑයමකි.

හවුලකට එකතු වන අය විසින් ගෙනෙන සුවිශේෂී කුසලතාවයන් මොනවා ද? එක් හවුල්කාරයෙක් හැම අංගයක් ම සවිස්තරව සොයා බලන (detailed oriented) අයෙක් ද? අනිකා මුළු විස්තරය (big-picture thinking) සොයා බලන්නට හැකි අයෙක් ද? හවුලක් පටන් ගන්නට මේ හොඳට ගැලපෙන දෙදෙනෙකි. දෙදෙනාම එකම විදියක කුසලතාවයන් පමණක් ගෙනෙනවා නම් එවැනි හවුලක ඵලදායකත්වය අඩු ය.

ගැහැණියකත් පිරිමියකත් අතර විවිධ කුසලතාවයන් ඇත. එහි දී ගෑණු අයට කොතරම් වැඩ වැඩි ද? පිරිමි අයට කොතරම් රාජකාරී වැඩි ද? යනාදිය විමසන්නට යෑමෙන් සිද්ධ වන්නේ පුද්ගලයා සතු ඒකීය කුසලතාවය අගය නොකිරීමයි. හැම ගෑණියක්ම සහ හැම පිරිමියක්ම මෙසේ යැයි කියා ගොඩවල් දෙකකට බෙදා වෙන්කළ නොහැකි ය.

හවුලේ අගය වැඩි වෙන්නේ තම කුසලතාවයෙන් හවුලට උපරිමයෙන් දායක වන්නේ නම් පමණි. එය පැහැර හරිද්දී හවුල බිඳ හැලේ. තම කුසලතාවය වැඩි අගයෙන් හෝ අඩු අගයෙන් යැයි විභාගයට යද්දී තරඟය හවුලේ දියුණුවට නොව හවුලේ කඩාකප්පල් වීමට මඟ පෑදේ. හවුලකට එකතු වන පරමාර්ථය නම් තනිවම ඉන්නවාට වඩා දියුණු තත්වයකට යෑම ය. එසේ නම් හවුලේ අයගේ දායකත්වයේ වැඩි අගයක් හෝ අඩු අගයක් කියා නැත. එහි ඇත්තේ නිතැතින්ම අවශ්‍ය වූ එක හා සමාන වූ අගයකි.

තම කුසලතාවයන්ට සමාන අගයක් නොදෙන්නේ නම් එවැනි අය සමඟ හවුලක් ගැසීම පටන් ගනිද්දී ම පාඩු සහිත ය!!

හවුලක් නම් එකතුව වැඩ කරන ප්‍රීති උත්සවයකි. හවුල් ව්‍යාපාරයක් සේ ම, ඉහළ කරුණු විමසන අයෙකුට හවුල් යුග දිවියක් ද ප්‍රීති උත්සවයක් කරගත හැකිය.

හවුලේ පවුල් කෑම කසිලිබිසිලියක් ද?

Posted in Uncategorized by arunishapiro on ජූනි 21, 2011

(I) අයෙකුට තනිවම යමක් කිරීම පහසුය. ප්‍රීතියක් ගෙන දෙයි. ඉහළින් ඉටු කිරීම නිසා තනිවම තෘප්තියක් ලබත හැකිය. (E) තවත් අයෙකුට තනිවම යමක් කිරීම අපහසුය. උදව්වක් නොකළාට ළඟින් කවුරු හරි ඉන්නවා නම් වැඩේ වඩා හොඳින් කරත හැකිය. තනිවම යමක් කරනවාට වඩා වැඩ අවුල් කරන අය සමඟ වුව ද එකතු වී වැඩ කිරීමෙන් තනිවම අවුල් නැති වැඩක් නිමා කර ලබන ප්‍රීතියට වඩා ප්‍රීතියක් ලබයි. හවුලක ප්‍රතිඵලයකින් ලබන තෘප්තිය යමක් තනිවම නිම කළාට වඩා වැඩිය.

මිනිස් ස්වභාවය සමාජයක ජීවත් වීමෙන් සතුටක් ලැබීම ය. නමුත් සමාජයෙන් සතුටක් ලබන ආකාරය අතින් මිනිසා ප්‍රධාන වශයෙන් දෙයාකාරයට හැසිරෙති. (E) අනුන් නිසා ජවය ලබන හා (I) අනුන් නිසා ජවය හිඳී යන ස්වභාවයන් ද්විත්වය ඒ ප්‍රධාන බෙදීම වෙයි.

හෙට දිනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණය සඳහා සෙනඟ ගැවසෙන ගුවන් පර්යන්ත තුලින්, මඟීන් පිරි ගුවන්යානයේ හිර වී සිටි දිගු ගමනකින් පසු හෝටලයට වැදි විගස අයෙක් හඹා යන්නේ පිටත කලබල සියල්ල වසා දමත හැකි නිහඬ කාමරයකි. ඒ අනුන් නිසා ජවය හිඳී යන්නා ය (I). ඔහුට නිහඬව කාමරයේ රැඳී සිටීමෙන් හිඳී යන ජවය නැවත වඩවා ගත හැකිය. ඉන්පසු අනුන් හා ගැවසීම ප්‍රතිඵල ගෙන දෙයි.

ඉහත සේ දිගු ගමනකින් පසු හෝටලයට පැමිණි අනුන් නිසා ජවය ලබන අයෙකු (E) හෝටලයට ගොඩ වූ විගස සොයා බලන්නේ තමන් දන්නා හඳුනන තව කොයි කවුරුන් එහි පැමිණ ඇත්දැයි කියා ය. හෝටල් අවන්හලේ දැක පුරුදු අයෙක් ඉන්නවා ද කියාය. එසේත් නැත්නම් අළුතින් කවුරුන් හෝ හැඳිනගෙන කතාබහින් කාලය ගෙවන්නට එවැන්නා උත්සාහයක් ගනියි. අනුන් නිසා ජවය ලබන්නාට කල්ලියක් නොගැවසෙන තැනක දී ජවය හිඳී යයි. ඒ නිසා ඔහු නිතරම පිරිස් ගැවසෙන ස්ථානයන් සොයා ගොස් ජවය වැඩි කරගෙන වැඩි ප්‍රතිඵල ලබා ගනියි.

මෙය ගැහැණු පිරිමි භේදයකින් තොරව දකිත හැකි මිනිස් ස්වභාවයකි. දානේ ගෙයක, දන්සැලක අනුන් හා එකතුව වෙහෙස වන ජවය ලබන කාන්තාවන් හා එවැන්නකට දායක වන්නට වීමෙන් ජවය හිඳී යන කාන්තාවන් අප අතර සිටිති.

මින් අදහස් කරන්නේ තමන් (E) හෝ (I) යන ලක්ෂණයෙන් යුතු යැයි කියා පැත්තකට වී සිටීම හෝ නිතරම අනුන් වට කරගෙන සිටීම නොවේ. තමන් විසින් ජවය ලබන හා ජවය හිඳී යන ආකාරය ගැන මඳක් අවධානයෙන් සිටීම මඟින් තමන්ගේ වැඩි ප්‍රතිඵලදායක බවට එය හසුරුවා ගැනීමයි.

තමන් අනුන් නිසා ජවය හිඳී යන අයෙක් නම් නිතර ඒ ගැන අවධානයෙන් සිට ජවය හිඳී යද්දී හුදකලා වී ජවය නැවත වඩවා ගෙන සමාජයට එකතු වීමෙන් තමන්ටත් අනුන්ටත් ඵලදායක විය හැකි බව අවබෝධයෙන් එය හසුරුවා ගත හැකියි.

තමන් අනුන් නිසා ජවය වඩන කෙනෙක් නම් හුදකලා වන්නට සිද්ධ වුවහොත් එයින් ඇතිවන කසිලිබිසිලි (anxiety) බවින් සිත් පීඩා විඳිමින් නොසිට තත්වය තාවකාලික බව වටහා ගැනීමෙන් එය හසුරුවා ගත හැකියි. ඉක්මණින් නැවත අනුන් හා එකතු වන්නට හැකි බව අමතක නොකිරීමයි.

අනුන් නිසා ජවය වඩන දෙන්නෙක් එකතු වූ කල ඔවුන් නිතරම අනුන් හා ගැවසී ප්‍රීති වෙති.

අනුන් නිසා ජවය හිඳෙන දෙන්නෙක් එකතු වූ කල ඔවුන් නිතරම හුදකලා වී ප්‍රීති වෙති.

නමුත්, හවුලේ පවුල් කද්දී අයෙක් අනුන් නිසා ජවය වඩන්නෙක් වෙද්දී අනිකා අනුන් නිසා ජවය හිඳී යන්නෙක් වන්නට ඉඩ ඇත. ගැටළු පැන නඟින්නේ මෙවැනි දෙදෙනෙක් හවුලේ පවුල් කද්දී අනිකා ද තමන් සේ යැයි සිතීම නිසා ය. දෙදෙනා දෙයාකාරයකින් ජවය වඩන බව නොදැකීමෙන් හෝ පිළි නොගැනීමෙන් ඇතිවන කසිලිබිසිලියෙන් පවුලේ හවුලෙන් කිසිවෙක් ප්‍රීතියක් නොලබති.

ගැලපෙන අයෙක් හොයද්දී අයෙක් හොයන්නේ මොනවා ද? සොයන්නාට සම්බ වෙන්නේ ද හොයන දෑ ය!!

මිනිස් ස්වභාවය සහමුලින් වෙනස් කරත නොහැකි බව පිළිගන්නට කැමති අය, ඒ ඒ මිනිස් ස්වභාවයන්ට අනුව තමන් ගණුදෙනු කරන්නට සූදානම් ද යන්න විමසිය යුතුය. හවුලක් පටන් ගැනීම සඳහා ගණුදෙනු කරන්නේ කෙසේදැයි නොදන්නා අය තමන්ට ලැබිය හැක්කේ වධකාරී භාර්යාවක් හෝ බමුණු පුරුසෝත්තමයෙක් පමණක් යැයි සිතමින් නැතහොත් තෝරා ගැනීමක් ලොව නැතැයි සිතමින් කසිලිබිසිලියෙන් ජීවිතය ගත කරති.

ලංකාවේ හුදකලා වන්නට අකමැති අයට එකතු වී සතුටු වන්නට lonely hearts නම් වූ සංවිධානයක් ඇති බව දැන ගන්නට ලැබුණි. වැඩියෙන් එහි හමුවීම් සඳහා යන්නේ ද පිරිමින් බවත් දැනගන්නට ලැබුණි. එය ලාංකික සමාජීය ආකල්පයන් නිසා ද? නැත්නම් වැඩියෙන් lonely hearts ඇත්තේ ලංකාවේ පිරිමින් ට ද? නැත්නම් වැඩියෙන් අනුන් නිසා ජවය වඩන්නේ ලංකාවේ පිරිමින් ද?!!

පුද්ගල අයිතිය අගයන ජීවිත සහකාරයෙක් සොයමි

Posted in Uncategorized by arunishapiro on ජූනි 17, 2011

පින්තූරයට දාන පත්තර දැන්වීම එව්වෙ හිතවතෙක්. ඒක ගැන කියද්දී හිතවතියක් ඇය වෙනුවෙන් දැන්වීමක් දාන්න පුළුවන් දැයි ඇහුවා.

පහත මංගල දැන්වීම මුදල් අය නොකර පළ කරන්නකි.

එය සත්‍යයෙන් ම සහකාරයෙක් සොයන කාන්තාවක් විසින් එවන ලද්දකි. විහිළුවක් නොවන බව කරුණාවෙන් සලකන්න.

මේ තැනැත්තිය බ්ලොග් ලියන‍ අය අතර ඉන්නා අයෙක් හෝ ආරූඪ නාමයකින් වත් කමෙන්ට් දාන්නේ නැති අයෙකි.

දැන්වීම මෙසේය:

“වයස 42 වියැති, වරක් දික්කසාද වී ඇති (සැමියා වෙනත් කාන්තාවක් සමඟ ගිය නිසා), තරුණ වියේ එක දියණියක් සිටින, සිංහල, ගොවි, බෞද්ධාගමික මම ජාති, කුල හෝ ආගම් භේදයකින් තොරව පිරිමියෙක් සොයමි. දික්කසාද වූ අය හා දරුවන් සිටින අය ද ප්‍රතික්ෂේප නොකෙරේ. සොයන්නේ 42-47 ත් අතර වයසැති පිරිමියෙකි.

පිටරටවල වාසය කර/සංචාරය කර ඇතත් දැන් මා පදිංචිය ලංකාවේ ය.

ව්‍යාපාරයන් දෙකක සම්පූර්ණ අයිතිය මට ඇත. සොයන්නේ මුදල් ඇති/නැති බව නොවේ.

මා ලද අධ්‍යාපනය උසස් පෙළ දක්වා පමණි. සොයන්නේ උපාධි ඇති/නැති බව නොවේ.

පියකරු වෙමි. රූමතියක් නොවේ.

පැහැපත් වෙමි. හම රන්වන් පාට නොවේ.

සොයන්නේ අරුණි අක්කා කියන පුද්ගල අයිතිය හඳුනන අයෙකි.

අවංක, විනෝදයට කැමති, මස් මාංශ අනුභවයට කැමති, එළවළු අනුභවයට ද කැමති, මත්ද්‍රව්‍යයට අකමැති, සිගරට් බොන්න අකමැති, ඉඳ හිටක මත්පැනක් කට ගෑවාට කම් නැති, නමුත් මටත් මත්පැන් කාට ගාන්න යැයි බල නොකරන, සංගීතය හා චිත්‍රපටි බැලීම ප්‍රිය කරන, දෙමාපියන්ට වැඩිහිටියන්ට හා දරුවන්ට සලකන, ලංකාව තුල ට්‍රිප් යන්නට හා පිටරටවල සංචාරයට යන්න කැමති, ලෝකය ගැන දැනගන්නට කුතුහලයක් ඇති, පරිසර හිතවාදී වූවෙකි.

අරුණි අක්කා කියා ඇති සේ මට මෙසේ පොරොන්දු විය හැකිය: ඔබට දෙවියන් දුන් තෑග්ගක් ලෙසින් ඔබ මට සලකනවා නම් මම ඔබට දෙවියන්ට මෙන් සලකන්නෙමි.

සියළු විමසීම්: seekingcapitalistman@gmail.com

පණ්ඩිත වී ආතල් ගමු

Posted in Uncategorized by arunishapiro on ජූනි 15, 2011

නවම් මල්ලිගේ තුන් යහළු වික්‍රමය සහ එහි කමෙන්ටුව දැමූ යාළු මාළු මල්ලියා (පණ්ඩිතකමටයි ආතල් ගන්න ගියාමයි තමයි ‍ඔහොම වෙන්නෙ) යන්න කියවද්දී මට පණ්ඩිත වී ආතල් ගන්නා හැටි ගැන ලියන්න සිතුණි!!

පණ්ඩිතයෙක් වීම නොහොත් දැනුවත් වීම යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. ඒත් ගොඩක් වෙලාවට අපි ‘පණ්ඩිතයා’ යැයි කියන්නේ අයෙක් යමක් ‘නොදන්නවා’ යැයි කීමට ය!! ඉතින් යාළු මාළු මල්ලියේ පණ්ඩිතයා = නොදන්නා අය නම් ඔබ හරි!!

මා කියනා/කරනා නිසා එයම කියන්න/කරන්න යැයි ඔබට කියනවා නොවේ. මෙහෙම හැදෙන අයත් ලොව ඉන්නා බව දැනගනු පිණිස ලියූවකි.

බල්ලා පිහිනන්නට දන්නේ කවුරුත් ඌට පිහිනන්නට කියා දුන් නිසා නොවේ. මිනිසාට එසේ නොහැකි ය. මිනිසා තමන් විසින් ගන්නා දැඩි උත්සාහයකින් පිහිනන හැකියාව ලබයි.

කුඩා දරුවා කාලයේ පටන් වතුරට ඇති බය ගැන කියන අය සිටීමෙන් වතුර පිරි ජලාශයක් දකින්නට පෙර කෙනෙක් බියක් ඇති කරගන්නේ ය. වතුරට බය නැති අය ඉන්නා පරිසරයක ජීවත්වන මිනිසා බියක් නැතිව වතුර දකියි. දණහිස දක්වා වූ වතුරක ද ගිලී මැරෙන්නේ බිය නිසා ය.

පිහිනන්නට නම් වතුරට බැසිය යුතු ය. වතුර නාසයේ කටේ හා ඉස්මුල්ලේ නොගිය අයෙක් නිසි ලෙසින් පිහිනන්නට ඉගෙන ගත්තෙක් නොවෙයි. එය භාර දූර කාර්යයක් නොව ජීවිතයේ මිනිසා විසින් ජයගත යුතු තවත් එක හැකියාවක් පමණි.

එක දවසින් පිහිනන්නට නොහැකි නිසා පිහිනීම නිතර පුරුදු පුහුණු කර බයිසිකලයක් පදිනා සේ උගත යුතුය. ඉන්පසු එය අමතක වී නොයයි. කුඩා වයසේ දී බොහෝ දෑ ඉගෙන ගන්නට වෙන හෙයින් පිහිනන්නට ඉගෙන ගන්නට වීම ද ලැජ්ජාවට කාරණයක් නොවේ. නමුත් වයසට ගිහින් පිහිනන්නට ඉගෙන ගන්නට කෙනෙක් අදිමදි කරන්නේ අනිත් අයට හැකි තමනට බැරි වූවක් එළිපිට උත්සාහය ලැජ්ජාවක් ලෙසින් සලකන නිසා ය. ලැජ්ජා විය යුත්තේ උත්සාහයක් නොගෙන සිටීම ගැන ය!!

කුඩා දරුවන්ට නිතරම අත්වලට දමන උදව්වකින් හෝ රවුමක් තුල බැස සිටීමට හැකියාව ඇත්තකින් වතුර ගැන බියක් නොව ප්‍රසාදයක් ඇති කරත හැකිය. පිහිනන්නට නිසි සේ දන්නා තෙක් එය නැතිව වතුරට බැසීමට ඉඩ නොදීමෙන් ඉක්මණින්ම පිහිනන්නට ද දරුවන් උත්සාහ ගනිති. නිතරම ඒවායේ වායුව නිසි ලෙස ඇත්දැයි විමසන්න. නිතරම තම දරුවාගේ බර එයින් කියන ප්‍රමාණයට වඩා වැඩි වී නැත්දැයි ද විමසන්න.

ආතල් ගනිද්දී ස්වභාවික නීති අනුගමනය කළ යුතු යැයි දැනුවත් වීම පණ්ඩිත වීමයි!!

පිහිනන්නට දන්නවා යැයි කියන්නේ පිහිනුම් තටාකයක එක අයිනක සිට අනිත් අයින දක්වා දනි පනි ගා කඩාගෙන යෑම ‍නොවේ. වතුර මැද අත පය පමණක් සංචලනයෙන් සිටිය හැකියාව, වතුර යට කිමිඳ හුස්ම අල්ලා ගෙන සිටිය හැකියාව ද පිහිනන්නට දැනීමේ අංග වෙයි.

කිසිම විටක ගැඹුර නොදැන ඔළුව ඉදිරියෙන් තබාගෙන වතුරකට පනින්න එපා. එය පුහුණුවෙන්ම කියා දුන් දරුවා කිසි විටෙක එය නොකරන්නේ පුරුද්ද නිසාම ය.

කුඩා කාලයේ සිටම දැනුමැති අය සමඟ හා වගකීම් ගන්නා අය සමඟ දරුවන්ට නාන්න යන්නට ඉඩ දීමෙන් ඔවුන් ද වගකීම් ගන්නා හා දැනුමැති අය සමඟ පමණක් ආතල් ගන්නට හුරුවෙති.

ඕනෑම අයෙක් නොදන්නා ඇළ දොළක් හෝ පොකුණක් වෙත නාන්නට යන්නේ ද පළාතේ අයගෙන් ඒ ගැන විමසා බැලිය යුතුය. අනිත් අය නාන්නට හොඳ යැයි පුන පුනා කිව්ව ද තමන් විසින් ද වතුරේ කිමිඳ එතැන වතුරට පනින්නට තරම් ගැඹුරක් ඇත් ද, වතුර යට ඇති අතු හා මුල්, පතුලේ රැඳි මඩ ගැන විමසා බැලිය යුතුය.

පිහිනන්නට‍ කොතරම් දන්නවා වුව ද හදිසියට අත පය කෙණ්ඩා පෙරළීමකට ඉඩ ඇති නිසා අල්ලා ගන්නට ජීවිතය බේරන පාවෙන ආම්පන්නයක් වතුරේ ඉන්නා අය අසලින් තිබීම ද වැදගත් ය.

වතුරේ ගිලී මැරෙන අය වැඩියෙන් පදිංචි වී ඉන්නේ වතුර ආශ්‍රිතව නොවේ. සංචාරයක දී හෝ වන්දනාවේ යන ඔබ නාන්නට ආරක්ෂාව ලබා දී ඇති තැනක් පාවිච්චිය ඉතා සුදුසු ය. එතැන ‍රොක් වී ආරක්ෂාව සපයන්නට බලා සිටින අය නිසා ලැජ්ජාවට හැංඟී නාන්නට ගොස් ජීවිත ආරක්ෂාව නැති කර නොගන්න.

කැළණිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ දී කාන්තා පිහිනුම් කණ්ඩායමේ නායිකාව වූ මම යෙහෙළියකට මුල සිට පිහිනන්නට කියා දුන්නෙමි. ඇයගේ පදිංචිය බදුල්ලේ ඇළක් ආශ්‍රිතව ය. ඇය එහි පිහිනා අද දිනයේ ද සතුටු වන්නීය. තවත් බොහොමයකට මම පිහිනන්නට කියා දී ඇත්තෙමි.

වතුරකට බැස එහා මෙහා පිහිනීමෙන් ලබත හැකි රසාස්වාදය හා ඒ හැකි‍යාවෙන් වැඩෙන (පිහිනත හැකිය යන ජයග්‍රහණයෙන් ලැබෙන) ආත්ම ශක්තිය මිනිසාට නිකම් සිටියාට ලැබෙන්නක් නොවේ. ඒකීය උත්සාහයෙන් පමණක් ම ලැබෙන්නකි.

බල්ලාට වතුර රසාස්වාදයට ඉඩ දෙන අපි දරුවාට ඉන් රසාස්වාදය අහිමි කරමු ද?!!

වැඩිහිටියන් හා දෙමාපියන් අනුමැතිය ඇතුව ආතල් ගන්නට දරුවන් බොහෝ කැමති යි. එහෙත් එසේ ඉඩක් නොලැබීම නිසා නොදැනුවත් වීමෙන් වන ජීවිත හානිය දෙමාපිය වැඩිහිටියන්ගේ වරදයි. තතු නොදන්නා දරුවාගේ වරද නොවේ. තහනම් දැමීමට වඩා අවශ්‍ය වන්නේ දරුවාට තතු සොයාගෙන පණ්ඩිතයෙක් වී ආතල් ගන්නට හැකියාවක් උගන්වා තිබීම ය.

ව්‍යාපාරිකයාට දර්ශනය අවශ්‍ය ඇයි?

Posted in Uncategorized by arunishapiro on ජූනි 14, 2011

ඉහත නමින් පොතක් ලියන්නේ Debi Ghate සහ Richard Ralston යන දෙදෙනා ය. ඒ පොතේ හැඳින්වීම ලියන John Allison සිය වසර 20 ක සේවා කාලය තුල දී ඩොලර් බිලියන 4.5 ක කොම්පැණිය ඩොලර් බිලියන 152 දක්වා වැඩි කරන ලද්දා ය. ඔහු එහි මෙසේ කියයි:

“සාර්ථක නායකයාගේ වඩාත්ම වැදගත් ලක්ෂණය නම් මූලික වශයෙන් facts මත පදනම් වූ තාර්කික තීරණ ගැනීමට වූ කැපවීම ය. තවත් විදියකින් කියතොත් මේ නායකයෝ ඇත්ත ඇති සැටියෙන් දකිති. විචාරාත්මක චින්තනයට කැමැත්තෙන්ම අගයක් දෙන ඔවුන් එය තරඟයේ දී වඩාත් ම වැඩදායක වූව බව දකිති. ව්‍යාපාරයක් බංකොළොත් වන්නට වැඩියෙන් ම හේතු වන්නේ එහි නායකයා ගැටළු නොදැක සිටිනා විට ය. තමන් අහන්නට අකමැති තොරතුරු ඉදිරියේ ඔහු චින්තන ක්‍රියාවලිය නවතා facts වලට සවන් දීම ප්‍රතික්ෂේප කරයි. ඇත්ත ඇති සැටියෙන් දැකීමෙන් බැහැරව සිටිනා විට මුහුණ දෙන්නේ ව්‍යසනයට ය. වඩාත්ම විනාශකාරී ව්‍යාපාරික තීරණයන් නම් ඒවා ගන්නා අවස්ථාවල දී විචාරයෙන් බැහැර වූ තීරණයන් ය.”

නායකයෝ කියන්නේ දේශපාලනඥයන් පමණක් නොවෙති!! ඕනෑම තැනක දී නායකත්වය ගන්නා අයෙක් නායකයෙක් වෙයි. එහෙයින් ව්‍යාපාරිකයාට පමණක් නොව දර්ශනය ගෙදරක ගෘහ මූලිකයාටත් අවශ්‍යය ය. නැත්නම් පවුල් අවුල් විය හැකිය. මොළය මෙහෙයවන ඕනෑම අයෙකුට දර්ශනයක් අවශ්‍යය ය.

දියුණුවේ ඉදිරියෙන් යා හැකි අය අනාගතයේ ඇති විය හැකි වෙනස්කම් ගැන හෝඩුවාවක් දකින අය වෙති. වැඩි කාලයක් යන්නට මත්තෙන් ගෝලීය සුරැකුමට ක්‍රමවේදයන් භාවිතා කරන ව්‍යාපාර ලෝකයේ ඉහළ ලාභ උපයන ව්‍යාපාරයන් වෙයි. සූක්ෂම තාක්ෂණය පරිහරණයට යෑම පමණක් නිසා නොව වැඩි පා‍රිභෝගික ප්‍රසාදය දිනා ගත හැකියාව ද නිසා ය.

ආචාර ධාර්මික නොවන අයට සැඟවෙන්නට තැන් ද ඉදිරි ලෝකයේ ඉතා මඳ වනු ඇත. වෙනදා කියන බොරු කාලයක් ඇවෑමෙන් එළියට එද්දී ක්ෂණික ලෝකයේ කියන බොරු ක්ෂණයෙන් දැනගන්නට ද හැකිවෙනු ඇත.

නායකයෙක් වන්නට නම් දර්ශනයක් අවශ්‍ය ය. තෝරා ගන්නා දර්ශනය කුමක් දැයි තමන් විමසා බලා මිස අනුන් කියන නිසා තෝරා ගන්නා අයෙක් ද කිසි දා නායකයෙක් නොවේ!! එවැන්නා අනුන් අනුගමනය කරමින් හැම දා පිටුපසින් යන්නා ම වෙයි!!

නායකයා පාරි‍භෝගික සමාජය කුමක් දැයි වටහා ගනියි. පිටුපසින් යන්නා අනුන් කියන පාරිභෝගික හැදියාව අනුගමනය කරයි. යමක් කුමක් දැයි වටහා ගනු හැකියේ තාර්කිකව විමසන්නට හැකියාව ඇත්තා ට ය.

යමක් නිෂ්පාදනය නොකර පරිභෝජනය කරන්නට නොහැකි ය.

තමන් විසින් අතීත නිෂ්පාදනයකට සහාය වී එයින් ලැබෙන මුදලෙන් අද පාරිභෝජකයෙක් වෙයි.

පුද්ගලයා පරිභෝජනය කරන නිසා පමණින් ආර්ථිකය නැඟී යනවා කීම සදොස් යැයි පෙන්වා දුන්නේ ජෝන් ස්ටුවර්ට් මිල් විසින් ශතක දෙකකට පෙර කලක ය. “රටක් ධනවත් වන්නට නම් නිෂ්පාදනය තිබිය යුතුයි. පරිභෝජනයෙන් පමණක් ඵලක් නැත. නිෂ්පාදනය ඇත්නම් පරිභෝජනය ද පවතී. නිෂ්පාදනය කරනවා යැයි කීමෙන් ම ඒ නිෂ්පාදනය කරන්නා ද පරිභෝජනය කරන්නෙක් යැයි සැලකේ. පරිභෝජනයක් නැත්නම් අයෙක් නිෂ්පාදනය කරනුයේ කුමකට ද? නමුත් තමන් නිෂ්පාදනය කරන දැයම පරිභෝජනයට උවමනාවක් පුද්ගලයාට තිබෙන්නට අවශ්‍ය නැත. පුද්ගලයා විසින් නිෂ්පාදනය කර අලෙවි කරන්නේ වෙනත් කැමති දෙයක් මිල දී ගන්නට හැකියාව ලබනු පිණිස ය. එනම් නිෂ්පාදනය කර විකුණන පුද්ගලයාගේ අභිප්‍රාය යමක් මිල දී ගැනීම ය. ඒ අනුව, නිෂ්පාදකයෝ නිෂ්පාදනය කරන්නේ ද, තව තවත් නිෂ්පාදනය කර විකුණන්නේ ද, ඒ අයට තව තවත් මිල දී ගැනීමේ හැකියාව ඇත.

පාරිභෝගික සමාජය යනු එයයි. නායකයෝ කරන්නේ එයයි. රටක් සේ ම පුද්ගලයා ද ධනවත් වන්නේ එසේ ය.

නැතිව අනුන් නිෂ්පාදනය කරන දෑ පරිභෝජනයෙන් පමණක් ජීවත්වන්නා පිටුපස්සෙන් යන්නෙක් පමණකි.

කුණු වලින් ධනපතියෙක් වූ හරිතවාදියා

Posted in Uncategorized by arunishapiro on ජූනි 13, 2011

බෝතලයක් ඇතුලත පණිවුඩ දමා යැවීම දූපතක අතරමං වූවන් කරන්නේ දූපතෙන් ගැලවෙන්නට මාර්ගයක් පාදා ගන්නට ය. ඒ චන්ද්‍රිකා තාක්ෂණය නොමැති යුගයේ දී ය. අද ලෝකයේ ඕනෑම තැනක යන දේශාටකයකුව අක්ෂාංශ දේශාංශ අනුව සොයාගත හැකි විජට්ටු ඇත. විජට්ටු විවිධ ය. සපයන සේවා ආයතන බොහොම ය. උදාහරණයක්: findmespot.com බලන්න. එවැනි සේවයක් තිබුණා නම් ටොම් හෑන්ක්ස් රඟ පෑ Cast Away (2000) චිත්‍රපටිය කෙටි ද?!!

Sting ප්‍රමුඛ ගායකයන් message in a bottle ගයන්නේ තනිවම ජීවත්වන්නට අකමැති මිනිසා ගැන ය!!

නැති වූ ආදරය නැවත ලැබූ හැටි ගැන ප්‍රබන්ධයක් ලියන්නේ message in a bottle (1998) නමින් Nicholas Sparks විසිනි. කතාව පාදක කරගෙන ඒ නමින් වූ බිහි වූ චිත්‍රපටියේ (1999) කෙවින් කොස්නර් සහ පෝල් නිව්මන් රඟපාති.

කුණු වලින් වුවත් මුදල් හම්බ කරන්න පුළුවන් යැයි හිතන්නේ ධනවාදියෙකි. පරිසර හිතවාදීව revolution in a bottle (2009) නොහොත් බෝතලයකින් විප්ලවයක් කරන්නේ Tom Szaky විසිනි. මේ ඔහු‍ගේ කතාවයි. වැඩි විස්තර සඳහා ඉහත නමින් ලියැවුන පොත හා පහත සබැඳිය දමා ඇති අඩවිය කියවත හැකිය. පොත අච්චු ගසා ඇත්තේ ප්‍රතිචක්‍රකරණය (recycle) වූ කඩදාසියේ වන අතර එය කියවා අවසන එහි කවරයෙන් ලියුම් කවරයක් හදා වෙනත් ප්‍රතිචක්‍රකරණය කරත හැකි ද්‍රව්‍යය ද ඔවුනට තැපැල් කරත හැකිය.

ඉහත පොතේ හැඳින්වීමේ ටොම් සැකි මෙසේ කියයි: “වෙනත් කිසිම රටක පටන් ගත්තා නම් TerraCycle ව්‍යාපාරය කිසිම සාර්ථකත්වයක් නොලබනු ඇත. ඇමෙරිකාව නම් සුවිශේෂී අවස්ථා ඇති භූමියකි. …. මෙහි ඉපදුනේ නැති අයෙක් විදියට, මට TerraCycle අදහස එහි සුවිශේෂී වූ සාරවත් පසේ පැළ කරන්නට ඉඩ දුන්නාට මම ඇමෙරිකාවට ස්තූතිවන්ත වෙමි.” ඇමෙරිකාව තුල කුණු ගොඩක් ඇත!!! එයින් ද ආදායමක් උපයා ධනවත් විය හැකිය!!!

1982 දී ඔහු උපදින්නේ කොමියුනිස්ට් හංගේරියාවේ ය. වයස අටේ දී කැනඩාවට පය තබන ඔහු 2001 දී ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය අරඹයි. පළමු වසරේ දී TerraCycle ව්‍යාපාරය අරඹන ඔහු උපාධිය අවසන් නොකළ ඇමෙරිකන් ධනවතුන් සංඛ්‍යාව අතරට එකතු වෙයි!! ඔහු ද ‘පැය දස දහසක රීතිය’ අනුගමනය කළ අයෙකි.

අද දිනයේ ඔවුන් පහසුවෙන් නැවත පාවිච්චියට ගත නොහැකි අමුද්‍රව්‍ය වලින් innovative අදහස් යොදා පාවිච්චියට ගත හැකි භාණ්ඩ නිෂ්පාදනයට අත ගහති. ව්‍යාපාරයක අරමුණ ලාභයයි. දීර්ඝ කාලයක් ලාභ සොයන්නට නම් අනගිත්වය පාවා නොදී වැය අඩුකර ගත යුතුයි. අඩු වැයකින් නැවත නැවත පාවිච්චියට අමුද්‍රව්‍ය භාවිතය පමණක් නොව අඩු වැයකින් කුණු එකතු කරන්නට ද ඔවුන් innovative අදහස් භාවිතා කරති.

2001 දී කුණු ප්‍රතිචක්‍රකරණය පටන් ගන්නා ඒ පුංචි ව්‍යාපාරිකයාට අද මිලියනක 20 කට අධික ඇමෙරිකානුවන් සිය කැමැත්තෙන් ම කුණු එකතු කර යවති!! එය ද සුවිශේෂී ඇමෙරිකන් හැදියාවයි. ධනවාදීන් මසුරු තණ්හාධිකයෝ යයි කියන අය කැපිලි කෙටිලි වැඩියෙන් ඇත්තේ ධනවාදී නොවන රටවල යැයි නොදකින්නේ මන්ද?!!

ඉහත සඳහන් පොතේ ටොම් සැකිව හඳුන්වා දෙන Natural Capitalism පොත ලියූ Paul Hawken මෙසේ කියයි: “පරිසර හිතවාදී ව්‍යාපාරිකයෙක් වන්නට කැමති මෙම පොත කියවන සෑම අයෙක් ම සලකා බැලිය යුත්තක් ඇත. ‍සැකිගේ මූලික ව්‍යාපාරික දැනුම දිදාලයක් පුරවන්නට වත් නොතිබුණි. එහෙත් ඔහුගේ ව්‍යාපාරික සිතුවිලි ලෝකය පුරවත හැකි තරම් විය. එය දුර්ලභ ය. ඔහුගේ දැක්ම ලෝකයටත්, දුප්පතුන්ටත්, දැවැන්ත ව්‍යාපාරිකයන්ටත් එකම අවස්ථාවේ දී ලාභ ගෙන දෙයි.”

ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ නිව් ජර්සි ප්‍රාන්තයේ ය. නිව් ජර්සිය තමන්ව හඳුන්වා ගන්නේ ‘ගෙවතු ප්‍රාන්තය’ (garden state) කියා ය. අනිත් ප්‍රාන්ත නිව් ජර්සිය හඳුන්වන්නේ කුණු ප්‍රාන්තය (garbage state) කියා ය!! එතැන සැකිගේ ධනවත් වන මාර්ගය උදා කිරීම පුදුමයක් ද?!!

ප්‍රින්ස්ටන්හි ප්‍රථම වසරේ සිසුවක වන සැකි තම මිතුරන්ට කැනඩාව පෙන්වන්නට ගිය ගමනක දී රතු ගැඩවිල්ලෝ (Eisenia fetida) නිවසක විසිකරන කුණු වලින් සමෘද්ධියෙන් ජීවත්වන ආකාරය දකියි.

ගැඩවිල්ලන් පිටකරන අපද්‍රව්‍ය අනගි පොහොරක් බව ලොව හැම අතීතයේ පටන් පැළයක් වවා ගන්නට ගිය හැම අයෙක්ම දන්නා කරුණකි.

මෙය දකින වෙනත් අයෙක් ඊයා කැතයි, අප්පිරියාවේ බෑ කියා වෙනතක් බලාගනු ඇත. සැකි එයින් සල්ලි හොයන්නේ කොහොමදැයි සොයා බැලුවේය. ගැඩවිල්ලන් නිකුත් කරන අපද්‍රව්‍ය වගාව, ගැඩවිල්ලාට හානියක් නොවන ලෙසින් එකතු කරගන්නට ක්‍රමවේදයක් ගැන විධිමත්ව හිතුවේ ‍ලොව ඒකීය පුද්ගලයෙකි. ටොම් සැකි විසිනි!!

ගැඩවිල්ලන් මිලියනකට අධික සංඛ්‍යාවකට වාසය කරත හැකි නිවසක් හදා ගන්නා ඔහු විශ්ව විද්‍යාලයේ කැන්ටිමේ විසි කරන ආහාර අපද්‍රව්‍ය පර්යේෂණයට ඉල්ලා ගනියි. ගැඩවිලි වාසස්ථානය ඩොලර් 10,000 කට හදා දෙන්නේ Harry Windle නැමැත්තාය. ඔහු ද විද්‍යාඥයකු හෝ කර්මාන්තශාලා හිමියෙකු නොවේ. මැද වයසේ වූ තමන් විසින් තම නිර්මාණ හදන ස්වයං රැකියා නියුතු වූවෙකි. හැරී හදන්නේ හෙමින් ඇදෙන බෙල්ට් පටියක තැබි ආහාර අපද්‍රව්‍ය කන්නට ගැඩිවිල්ලන්ට හැකි මැෂින් එකකි. ගැඩවිල්ලෝ ආහාර කා අපද්‍රව්‍ය නිකුත් කර බෙල්ට් පටියේ හෙමින් ඇදී ගොස් එක තැනකටත් ගැඩවිලි අපද්‍රව්‍ය තවත් තැනකටත් වැටේ. ඒ මැෂිම ගැන කෙටියෙනි.

සැකිගේ අදහස කැන්ටින් වලින් නොමිලේ ලැබෙන ආහාර අපද්‍රව්‍යයෙන් ගැඩවිල්ලන් සමෘද්ධියෙන් ජීවත් කර උන්ගේ අපද්‍රව්‍ය වගාවෙන් ලැබෙන ගැඩවිලි පොහොර නිෂ්පාදනය විකිණීමයි!!

යම් සිතුවිල්ලක් සිත සිතා නොසිට, අත්හදා බැලීමටත් ඉන් පසුව එය ලාභ සොයන නිෂ්පාදනයටත් පිළිවෙලක් ඇතුව අවදානමක් ගැනීම ව්‍යාපාරිකයෙකු විසින් කරන ආයෝජනයයි. පොරොන්දු වූ අය වැඩට නොපැමිණීම, කැඩුණු මැෂින්, මැෂින් හා පර්යේෂණයට වැය කර අතේ සතේ නැති අවස්ථා වැනි දුෂ්කරතා රැසක් මැදින් ගමන් කර අනතුරුව සැකි අභියෝග සියල්ල ජයගනී.

2001 දී නිව් ජර්සි ප්‍රාන්තයේ කුණු ටොන් එකක් දාන්නට යන දළ වැය $50 ක් යයි ඔහු ලියයි. ඇමෙරිකානුවන් වසරකට ටොන් බිලියන 12-14 ත් අතර කුණු විසි කරති. ඉන් 80% ක් organic කුණු ය. මෙය කුණු ගොඩක තියෙද්දී මෙතේන් ගෑස් නිපදවයි. එයින් ozone හානිය හා ‍ගෝලීය උණුසුම වැඩි වේ. ඇමෙරිකානුවන් ගැඩවිල්ලන් අනුභව කරන ආහාර විසි කිරීම සඳහා වසරකට ඇමෙරිකන් $ ට්‍රිලියනයක් ගෙවන බව ගණන් හදන සැකි වහාම කුණු එකතු කරන්නෙක් වෙයි. දැන් ඔහුගේ ව්‍යාපාරයට ගන්නා අමුද්‍රව්‍ය සඳහා අනුන් ගෙවති!!

සැකි වෙනුවෙන් වැඩ කරන වැඩි ශ්‍රමිකයන් වන්නෙ ගැඩවිල්ලන් ය!! The New York Times දමන ප්‍රවෘත්තියේ සිරස්තලයේ කියැවෙන්නේ “‍කොන්දක් නැති සේවකයෝ” (But The Employees Really Are Spinelss) ගැනයි.

කුණු කා හැදෙන ගැඩවිලි අපද්‍රව්‍ය සාන්ද්‍රණයක් හැටියට (liquid worm poop) කුණු ගොඩවලින් එකතු කරගන්නා බෝතල් සුද්ද කර ඒවා ඇතුලට බහා ink-jet ප්‍රින්ටරයකින් හැදූ ලේබල් අලවා ඔවුන් TerryCycle Plant Food විකුණති. හිතන්න, මේ 2001 ඇමෙරිකාවේ ප්‍රමිතියන් තියන නිදහස් වෙළඳපොල තරඟය බව. මහා පරිමාණ පොහොර නිපදවන ලොව දැවැන්තයෝ සිටින වෙළඳපොලක් බව. ප්‍රමිතියන්ට අනුව හදන පළමු ‍කේස් දහය ඔවුන් විකුණන්නේ වාහනයේ (station wagon) පිටිපස්සේ තබාගන.

සමාජ සුබ සාධන සංවිධාන, ආගමික ස්ථාන හා පාසැල් (සෙනඟ රැස්වන තැන්) කරා යන සැකි ඔවුන් පරිහරණය කර විසිකරන බෝතල් එකතු කර පරිසරයට හිතවාදී වන්නටත්, මුදල් උපයා ගන්නටත් හැක්කේ කෙසේදැයි කියා දී තම නිෂ්පාදන ඇසුරුම් අඩු මිලට ලබාගන්නා ක්‍රමයක් ආරම්භ කරයි.

අද ගැඩවිලි අපද්‍රව්‍යයෙන් පොහොර හැදීම පමණින් නොනැවතී ඔවුන් වෙනත් බොහෝ දෑ නැවත නැවතත් පරිහරණයට යොදවන්නට සැලසුම් ගහති. අයෙක් විසි කරන්න දකින සැකි එය නැවත පරිහරණයට ගන්නේ කෙසේදැයි හිතයි.

වැසුණු දාමයක (Close Loop) නිෂ්පාදනයෙන් එකම අමුද්‍රව්‍ය වඩාත් කාලයක් නැවත නැවත පරිහරණයට ගැනීමේ දී ලෝ‍කයේ ස්වභාවික සම්පත් ඉක්මණින් ක්ෂය වීම ද අඩු කරගත හැකියි. ඉදිරි ලෝකයේ පැවැත්ම ගැන සත්‍යයෙන් තැකීමක් කරන්නෝ ස්වභාවික සම්පත් අවම පාවිච්චියට ක්‍රම සහ විධි සොයති. සම්පත් ක්ෂය යැයි කියා කට්ටියකගෙන් අරගෙන තවත් කට්ටියකට බෙදා හැරීම ගැන සැලසුම් ගහන්නට පමණක් කාලය වැය කරන්නේ හැමදාම බිත්තර කඩන අයයි. කාබන් කෙඩ්‍රිට් යනු වැරදි කරන්නට පාස්පතක් ධනවතුන්ට පමණක් දීම වැනිය. පිවිසය යුත්තේ ශුන්‍ය කාබන් ක්‍රම වේදයන්ට ය.

අභියෝගයක් ඇමෙරිකානුවාට දෙන්න. ඒකීය පුද්ගල මොළයෙන් සිතා අභියෝගය ජය ගැනීමට ඔහුට හැකියාවක් ඇත. මන්ද කාටවත් අල්ලස් නොදී, කාගේවත් පිට කහන්නට නොයා, දේශපාලන පක්ෂයට ගෑවෙන්නේ නැතිව මහත් ධනස්කන්ධයක් උපයත හැකි නිදහස් වෙළඳපොලක් ඇමෙරිකාවේ තවමත් තියන නිසා ය.

ලෝකයේ පාරිභෝගික භාණ්ඩ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන Kraft, Frito Lay, Nabisco, Starbucks කෝපි සමාගම, Johnson සහ Johnson, Coke, Hershey සහ Mars චොක්ලට් නිෂ්පාදකයන් වෙතින් ඔහු පහසුවෙන් ප්‍රතිචක්‍රකරණය කරන්නට බැරි ඇවුරුම් කුණු ලබාගෙන ප්‍රතිචක්‍රකරණයටත්, එය කළින් කරන ලද භාණ්ඩ ඇවුරුම් ලබාගෙන ඒවා ඉහළ ප්‍රතිචක්‍රකරණය -යම් භාණ්ඩයක් අමුද්‍රව්‍ය බවට හරවා තවත් භාණ්ඩයක් හැදීම- (upcycle) කර ලාභ උපයා ගනියි. නිදසුනක්: පරිගණක Circuit Board වලින් හදන Clipboard.

ටොම් සැකි නැමති තවත් අතේ සතේ නැතිව ඇමෙරිකාවට පය ගැහුවෙක් පරිසරයත් බේරාගන්නට ක්‍රමයක් හදමින් එසේ ධනවතෙක් විය. 2006 ජූලි මස Inc සඟරාව වයස 30 ට අඩු පළමු තැන දිනාගත් ව්‍යාපාරිකයා (The #1 CEO Under Thirty) හැටියට මාක් සුකර්බර්ග් පරදවමින් ටොම් සැකි තෝරා ගනියි.

ඇමෙරිකාවේ ප්‍රතිචක්‍රකරණය සඳහා කුණු එකතු කරන තවත් ලාභ සොයන පුද්ගලික සමාගම් හා රජයේ නොවන සංවිධාන බොහොමයකි.

මේරිලෑන්ඩ්හි මහා පරිමාණයෙන් කුකුලන් ඇති කරන පුද්ගලික ව්‍යාපාරික සමාගමක් කුකුල් අපද්‍රව්‍යයෙන් පොහොර හදා විකුණයි. ඇමෙරිකාවේ කුකුලන්ට ආසනික් දීම තහනම් ය. ඒ නිසා කුකුල් අපද්‍රව්‍යයෙන් හදන organic පොහොර වල ද ආසනික් නැත. මේරිලෑන්ඩ් ප්‍රාන්ත රජය විසින් ඔබාමා ආණ්ඩු රජයෙන් හරිත ව්‍යාපාරිකයන් සඳහා විශේෂ ණයක් මෙම මහා පරිමාණ පුද්ගලික ව්‍යාපාරයට ලබා දී ඇත. එය මේ මහා පරිමාණ පුද්ගලික ව්‍යාපාරිකයාත් හා ටොම් සැකි වැනි කුඩා නවක ව්‍යාපාරිකයා යන දෙදෙනාම තරඟ කරන කුණු පොහොර වෙළඳපොල අල්ලන්නට යන සටනේ දැවැන්තයාට ඔබාමා රජය විසින් දුන් විශේෂ සැලකිල්ලක් වෙයි. නිදහස් වෙළඳපොලක එය නුසුදුසු ය. මේරිලෑන්ඩ් ප්‍රාන්තය ඒ සැලකිල්ල නුදුන්නා නම් මහා පරිමාණ පුද්ගලික ව්‍යාපාරිකයා ඩෙලවෙයාර් ප්‍රාන්තයට (බදු සහ රීති අඩු නිසා) තම ව්‍යාපාරය ගෙන යන්නට හදන තැතක් ගැන කතාවක් ද පුවත්පත් වලින් අහන්නට ලැබුණි.

ආණ්ඩුවක් මැදිහත් වීමේ දී නිතරම නොදන්නා කරුණු බොහොමයකි. නොසිතූ ප්‍රතිඵල වැඩි ය. නිදහස් වෙළඳපොල තරඟයට ඉඩ දීම නිසා, අද වැනි මහත් වැරදි රහසින් කරත නොහැකි යුගයක, තනිවම ජීවත්වන්නට අකමැති මිනිසා විසින්, ලෝ‍කයේ ස්වභාවික සම්පත් ඉක්මණින් ක්ෂය වීම ද වළකන භාණ්ඩ නිෂ්පාදකයාව අගැයීමත්, විනිවිද භාවය තීරණයත් පාරිභෝගිකයා අතට පත්කරයි.

ඇමෙරිකන් හරිතවාදය අද ඊයේ පටන් ගත්තක් නොවේ. සටහනට දැමූ closed loop පින්තූරය ලබාගත් Petoskey Plastics කොම්පැණිය හරිතවාදීව හිතන්නේ 1978 ගණන්වල දී සිට ය. නමුත් ඔවුන් ලෝකයට කිය කියා ඉන්නට නොගොස් ලෝකය බේරා ගන්නට කටයුතු එදා පටන් අද දක්වා කරමින් සිටිති.

පුද්ගල අයිතිය අගයන අය පුද්ගල අයිතිය වගකීමෙන් පාවිච්චි කරද්දී, එය දකින්නට නොහැකි අය දකිනුයේ ලොව කිසිවකුත් අයිතියක් නොකියන මහ මුහුදක් මැද ගොඩ ගැසෙන ප්ලාස්ටික් බිඳිති වලින් සෑදුන කුණු ගොඩකි. කවදා හෝ දිනයක එය ඉවත් කරන්නටත් (අනිත් රටවල් සේරම දුප්පත් නිසා) ඇමෙරිකන් ධනවාදීන්ටම සිදුවෙනු ඇත!!! ඒ කුණු ගොඩෙන් upcycle කරන බඩු ලොවට විකුණන ධනවතෙක් අනාගතයේ දී ඇමෙරිකාවෙන් ම බිහිවනු ඇත් ද?!! කුණු ගොඩ ඉවත් කර පරිසරය බේරගන්නට එයින් හැදෙන ප්ලාස්ටික් බෝල මාලයක් අයිතියට කේවල් කරන මිල ebay හි කොතරම් ඉහළ යයි ද?!! එවිට කවුරුත් අයිතිය නොකියූ කුණු‍ගොඩට හදිසියේම අයිතිය කියන්නට යුද පටන් ගනියි ද?!!