අරුණි ශපීරෝ‍ වෙතින්

පණ්ඩිත වී ආතල් ගමු

Posted in Uncategorized by arunishapiro on ජූනි 15, 2011

නවම් මල්ලිගේ තුන් යහළු වික්‍රමය සහ එහි කමෙන්ටුව දැමූ යාළු මාළු මල්ලියා (පණ්ඩිතකමටයි ආතල් ගන්න ගියාමයි තමයි ‍ඔහොම වෙන්නෙ) යන්න කියවද්දී මට පණ්ඩිත වී ආතල් ගන්නා හැටි ගැන ලියන්න සිතුණි!!

පණ්ඩිතයෙක් වීම නොහොත් දැනුවත් වීම යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. ඒත් ගොඩක් වෙලාවට අපි ‘පණ්ඩිතයා’ යැයි කියන්නේ අයෙක් යමක් ‘නොදන්නවා’ යැයි කීමට ය!! ඉතින් යාළු මාළු මල්ලියේ පණ්ඩිතයා = නොදන්නා අය නම් ඔබ හරි!!

මා කියනා/කරනා නිසා එයම කියන්න/කරන්න යැයි ඔබට කියනවා නොවේ. මෙහෙම හැදෙන අයත් ලොව ඉන්නා බව දැනගනු පිණිස ලියූවකි.

බල්ලා පිහිනන්නට දන්නේ කවුරුත් ඌට පිහිනන්නට කියා දුන් නිසා නොවේ. මිනිසාට එසේ නොහැකි ය. මිනිසා තමන් විසින් ගන්නා දැඩි උත්සාහයකින් පිහිනන හැකියාව ලබයි.

කුඩා දරුවා කාලයේ පටන් වතුරට ඇති බය ගැන කියන අය සිටීමෙන් වතුර පිරි ජලාශයක් දකින්නට පෙර කෙනෙක් බියක් ඇති කරගන්නේ ය. වතුරට බය නැති අය ඉන්නා පරිසරයක ජීවත්වන මිනිසා බියක් නැතිව වතුර දකියි. දණහිස දක්වා වූ වතුරක ද ගිලී මැරෙන්නේ බිය නිසා ය.

පිහිනන්නට නම් වතුරට බැසිය යුතු ය. වතුර නාසයේ කටේ හා ඉස්මුල්ලේ නොගිය අයෙක් නිසි ලෙසින් පිහිනන්නට ඉගෙන ගත්තෙක් නොවෙයි. එය භාර දූර කාර්යයක් නොව ජීවිතයේ මිනිසා විසින් ජයගත යුතු තවත් එක හැකියාවක් පමණි.

එක දවසින් පිහිනන්නට නොහැකි නිසා පිහිනීම නිතර පුරුදු පුහුණු කර බයිසිකලයක් පදිනා සේ උගත යුතුය. ඉන්පසු එය අමතක වී නොයයි. කුඩා වයසේ දී බොහෝ දෑ ඉගෙන ගන්නට වෙන හෙයින් පිහිනන්නට ඉගෙන ගන්නට වීම ද ලැජ්ජාවට කාරණයක් නොවේ. නමුත් වයසට ගිහින් පිහිනන්නට ඉගෙන ගන්නට කෙනෙක් අදිමදි කරන්නේ අනිත් අයට හැකි තමනට බැරි වූවක් එළිපිට උත්සාහය ලැජ්ජාවක් ලෙසින් සලකන නිසා ය. ලැජ්ජා විය යුත්තේ උත්සාහයක් නොගෙන සිටීම ගැන ය!!

කුඩා දරුවන්ට නිතරම අත්වලට දමන උදව්වකින් හෝ රවුමක් තුල බැස සිටීමට හැකියාව ඇත්තකින් වතුර ගැන බියක් නොව ප්‍රසාදයක් ඇති කරත හැකිය. පිහිනන්නට නිසි සේ දන්නා තෙක් එය නැතිව වතුරට බැසීමට ඉඩ නොදීමෙන් ඉක්මණින්ම පිහිනන්නට ද දරුවන් උත්සාහ ගනිති. නිතරම ඒවායේ වායුව නිසි ලෙස ඇත්දැයි විමසන්න. නිතරම තම දරුවාගේ බර එයින් කියන ප්‍රමාණයට වඩා වැඩි වී නැත්දැයි ද විමසන්න.

ආතල් ගනිද්දී ස්වභාවික නීති අනුගමනය කළ යුතු යැයි දැනුවත් වීම පණ්ඩිත වීමයි!!

පිහිනන්නට දන්නවා යැයි කියන්නේ පිහිනුම් තටාකයක එක අයිනක සිට අනිත් අයින දක්වා දනි පනි ගා කඩාගෙන යෑම ‍නොවේ. වතුර මැද අත පය පමණක් සංචලනයෙන් සිටිය හැකියාව, වතුර යට කිමිඳ හුස්ම අල්ලා ගෙන සිටිය හැකියාව ද පිහිනන්නට දැනීමේ අංග වෙයි.

කිසිම විටක ගැඹුර නොදැන ඔළුව ඉදිරියෙන් තබාගෙන වතුරකට පනින්න එපා. එය පුහුණුවෙන්ම කියා දුන් දරුවා කිසි විටෙක එය නොකරන්නේ පුරුද්ද නිසාම ය.

කුඩා කාලයේ සිටම දැනුමැති අය සමඟ හා වගකීම් ගන්නා අය සමඟ දරුවන්ට නාන්න යන්නට ඉඩ දීමෙන් ඔවුන් ද වගකීම් ගන්නා හා දැනුමැති අය සමඟ පමණක් ආතල් ගන්නට හුරුවෙති.

ඕනෑම අයෙක් නොදන්නා ඇළ දොළක් හෝ පොකුණක් වෙත නාන්නට යන්නේ ද පළාතේ අයගෙන් ඒ ගැන විමසා බැලිය යුතුය. අනිත් අය නාන්නට හොඳ යැයි පුන පුනා කිව්ව ද තමන් විසින් ද වතුරේ කිමිඳ එතැන වතුරට පනින්නට තරම් ගැඹුරක් ඇත් ද, වතුර යට ඇති අතු හා මුල්, පතුලේ රැඳි මඩ ගැන විමසා බැලිය යුතුය.

පිහිනන්නට‍ කොතරම් දන්නවා වුව ද හදිසියට අත පය කෙණ්ඩා පෙරළීමකට ඉඩ ඇති නිසා අල්ලා ගන්නට ජීවිතය බේරන පාවෙන ආම්පන්නයක් වතුරේ ඉන්නා අය අසලින් තිබීම ද වැදගත් ය.

වතුරේ ගිලී මැරෙන අය වැඩියෙන් පදිංචි වී ඉන්නේ වතුර ආශ්‍රිතව නොවේ. සංචාරයක දී හෝ වන්දනාවේ යන ඔබ නාන්නට ආරක්ෂාව ලබා දී ඇති තැනක් පාවිච්චිය ඉතා සුදුසු ය. එතැන ‍රොක් වී ආරක්ෂාව සපයන්නට බලා සිටින අය නිසා ලැජ්ජාවට හැංඟී නාන්නට ගොස් ජීවිත ආරක්ෂාව නැති කර නොගන්න.

කැළණිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ දී කාන්තා පිහිනුම් කණ්ඩායමේ නායිකාව වූ මම යෙහෙළියකට මුල සිට පිහිනන්නට කියා දුන්නෙමි. ඇයගේ පදිංචිය බදුල්ලේ ඇළක් ආශ්‍රිතව ය. ඇය එහි පිහිනා අද දිනයේ ද සතුටු වන්නීය. තවත් බොහොමයකට මම පිහිනන්නට කියා දී ඇත්තෙමි.

වතුරකට බැස එහා මෙහා පිහිනීමෙන් ලබත හැකි රසාස්වාදය හා ඒ හැකි‍යාවෙන් වැඩෙන (පිහිනත හැකිය යන ජයග්‍රහණයෙන් ලැබෙන) ආත්ම ශක්තිය මිනිසාට නිකම් සිටියාට ලැබෙන්නක් නොවේ. ඒකීය උත්සාහයෙන් පමණක් ම ලැබෙන්නකි.

බල්ලාට වතුර රසාස්වාදයට ඉඩ දෙන අපි දරුවාට ඉන් රසාස්වාදය අහිමි කරමු ද?!!

වැඩිහිටියන් හා දෙමාපියන් අනුමැතිය ඇතුව ආතල් ගන්නට දරුවන් බොහෝ කැමති යි. එහෙත් එසේ ඉඩක් නොලැබීම නිසා නොදැනුවත් වීමෙන් වන ජීවිත හානිය දෙමාපිය වැඩිහිටියන්ගේ වරදයි. තතු නොදන්නා දරුවාගේ වරද නොවේ. තහනම් දැමීමට වඩා අවශ්‍ය වන්නේ දරුවාට තතු සොයාගෙන පණ්ඩිතයෙක් වී ආතල් ගන්නට හැකියාවක් උගන්වා තිබීම ය.

28 Responses

Subscribe to comments with RSS.

  1. ඉන්දික උපශාන්ත said, on ජූනි 15, 2011 at 2:12 ප.ව.

    අපේ අම්ම එයා පොඩි කාලෙ ඇලේ නාපු හැටි, තාත්ත පොඩි කාලෙ තරුණ කාලෙ ගාළු මුහුදෙ නාපු හැටි කියල පොඩි කාලෙ ඉඳලම අපිට පීනන්න ආසාව විතරක් නෙමෙයි වතුරට තියෙන බොරු බය නැතිකරගන්නත් පෙළඹුව. ඒත් අපිට තිබ්බ ඒ වාසනාව නැති වෙච්චි එකට නාපු කාපු යාළුවො සහ අමුත්තො කී දෙනෙක් නං ගල්කිස්සෙ මුහුදෙ ගහගෙන ගියාද?

    • arunishapiro said, on ජූනි 15, 2011 at 8:48 ප.ව.

      ඉන්දික උපශාන්ත,

      වතුරින් වටවෙච්ච රටක ඉන්න ලාංකිකයා කවදා ද වතුරට බය වෙන්න පටන් ගත්තෙ?

      ඉන්දිකගෙ අම්ම තාත්තා වගෙයි අපේ අම්මා තාත්තත් ලංකාවේ පිහිනන්න දත් අය. මුහුදේ සහ ඇළ දොළ ගංඟාවල පිහිනපු අය.

      • ඉන්දික උපශන්ත said, on ජූනි 16, 2011 at 3:11 පෙ.ව.

        තුන් යහලු කතාවෙ තිබ්බ ඇල්කෙමියගෙ කමෙන්ට් එක දැක්කෙ නැද්ද?
        සුළි දෙකනං වතුර අගුනයි, කේන්දරේ අපලනං වතුර අගුනයි, අහවලාගෙ අහවලා මැරුනෙත් වතුරෙ ගිලිල අරව මේව කියල බහුතරයක් ලංකාවෙ පොඩි උංව වතුරට බය කරල නෙමේද තීන්නෙ?

        • arunishapiro said, on ජූනි 16, 2011 at 6:30 පෙ.ව.

          ඉන්දික උපශන්ත,

          ඇල්කෙමියා කියන කතාව හරි. රටේ මිනිස්සු දකින්නෙ රට ආණ්ඩු කරන අයයි රටේ විපක්ෂයයි දෙකම නැකතට වැඩ කරන හැටි. හැබැයි මෙච්චර කාලයක් නැකතට වැඩ නොකරන රටකට වඩා දියුණුවක් නැත්තෙ පිටරට කුමන්ත්‍රණ නිසානෙ. ඒ කියන්නෙ පිටරට කුමන්ත්‍රණ වල බලය සුබ නැකත් වලට වඩා ඉහළයි!!

          රටේ සම්ප්‍රදායයන් බොහොමයක් ‘විශ්වාස’ මත මිසක් ‘විද්‍යාව’ මත පදනම් වූ ඒවා නොවේ. කොහෙද ඉතින් විද්‍යාවේ ඉහළ පුටු රත් කරන අයත් විද්‍යාව තමන්ට ඕන විදියට හදා ගත්තම!!

  2. kathandara karaya said, on ජූනි 15, 2011 at 6:10 ප.ව.

    වැදගත් ලිපියක් අරුණී.

    අපි හොඩ දෙනෙක් පීනන්න දන්නේ නෑ. නාන්නේ ලිංවලින්. ගලායන වතුර (ගංගා වගේ) හො වැව්, මුහුද ආශ්‍රීතව ඉන්න අයගෙනුත් කීප දෙනෙක් විතරයි පීනන්න ඉගෙන ගන්නේ.

    ඇමෙරිකා වේ වගේ පීනුම් තටාක අපි පොඩි කාලේ තියා දැන් වුනත් ලංකාවේ තියෙන්නේ කීයෙන් කී තැනකද? මං පේරාදෙණියේ විවියට යන කොට බාගෙට හදපු ස්විමිං පූල් එකක් තිබුණා. අවුරුදු හතරයි මාස දෙකකට පස්සේ එතනින් ගැලවුණු දවසේත් ඒක එහෙමමයි!

    නමුත් ප්‍රශ්ණය ඒක නෙමේ.
    1. පීනන්න හරියට දන්නේ නැතුව වතුර ටිකක් දැක්ක ගමන් අපේ උං මීහරක් වගේ වතුරට බහින එක.
    2. අනාරක්‍ෂිත තැන් ආරක්‍ෂා කර නොතිබීම – මේවා, නගර සභා, ප්‍රාදේශීය සභාවලින් කරන්න ඕනෑ.

    අපේ උන් ට්‍රිප් එකක් ගියාම කරන්නේ හොඳටම බීලා දකින දකින වතුර ගොඩේ නාන්න යන එකනේ. හරියට මුළු ජීවිතේටම ආයේ නාන්න වෙන්නේ නෑ වගේ.

    මටත් මේ වගේ මරණයක් දෙකක් දන්නවා. ඒ ගැණ ලිව්වා කතන්දර බ්ලොග් එකේ මුල හරියේ.

    http://kathandara.blogspot.com/2009/07/blog-post_23.html

    -කතන්දරකාරයා

    • arunishapiro said, on ජූනි 15, 2011 at 8:36 ප.ව.

      kathandara karaya,

      මමත් පිහිනන්න ඉගෙන ගත්තෙ ලංකාවේ දී. ලංකාවේ කොළඹ ක්‍රීඩා සමාජ වල සාමාජිකත්වය නොගෙන පිහිනුම් පංති වලට විතරක් ගෙවා යා හැකි කාලයක ඉගෙන ගත්තු මම පස්සෙ යන්නෙ ඕනෑම කෙනෙකුට යා හැකි තැන්වල. යාපනයේ ගියාම ටැංකි වගේ පිහිනුම් තටාක වල ගෑණු පිරිමි බෙදලා පිහිනන තැන්වල. බදුල්ලෙ ගියාම දිය ඇළි ළඟ. බෙන්තර ගියාම මුහුදෙ.

      කැළණිය විශ්ව විද්‍යාලයේ පිරිමි පිහිනුම් කණ්ඩායම් පිරිලා හිටියේ මීගමුව, කඳාන පැත්තෙන් ආපු කොල්ලො කල්ලි වලින්. ඒ අය පිහිනුම් තටාක වලට වඩා මුහුදෙ සහ ගංඟාවල පිහිනලා ඉගෙන ගත්තැයි හිතනවා. රෝයල් වලින් ආපු අයෙක් දෙන්නෙක් හිටියා, ඒ එක්කම කොළඹ හතේ කෙල්ලොත් හිටියා රෝයල් පූල් වගේ තැන්වල පිහිනන්න ඉගෙන ගත්තු. නමුත් බදු‍ල්ලෙ කෙල්ල කවදාවත් වතුරකට බැහැලා නොතිබුනාට ලැජ්ජාවෙන් පැත්තකට නොවී විශ්ව විද්‍යාලයේ දී පිහිනන්න උත්සාහයක් ගත්තෙ කැළණියට පිහිනුම් තටාකයක් තිබි නිසා නොවේ.

      වඩා වැදගත් පුද්ගලයාට උවමනාවක් තියෙයි ද යන්න.

      ලංකාව වටේ මුහුදක් තියනවා. ලංකාව ඇතුලත ගලන ගංඟාවල් කොච්චර ද? (කිඹුලෝ ඉන්න ඒවා නෙමේ.) පොකුණු ඇළ දොළ කොච්චර ද?

      ඒත්, දිය රෙද්දක් නැතිව පිහිනුම් වස්ත්‍රයක් ඇඳගෙන පිහිනන්න ඉගෙන ගන්න වතුරට බහින කාන්තාවන්ට කතා නොකියන අය තාම කොච්චර ද?

      ඇමෙරිකාවේ ආණ්ඩුවෙන් හදපු නොමිලේ පිහිනුම් තටාක කියා දෙයක් නැහැ. බදු ගෙවන ජනතාවගේ මුදලින් නගරයක දෙකක ඉඳ හිටලා තියන පිහිනුම් තටාකයක වුවත් සල්ලි කීයක් හරි දීලා තමයි පිහිනන්න පුළුවන්. සල්ලි නොගෙවා යන තැන් තමයි මෙහෙත් මුහුද, පොකුණු, ඇළ දොළ ගංඟාවල්.

      ඇමෙරිකාවේ ආණ්ඩුවෙන් නොමිලේ පිහිනන්න කියා දෙන පංති නැහැ.

      ඉහත දාලා තියන පින්තූර වලින් දෙකක් ලංකාවේ පිහිනුම් තටාක. පොල් ගස් තියන දෙක. අපි යන්නෙ මුදල් ගෙවල. අගය දන්න නිසා.

      අද ලංකාවෙ ගම්පහ රත්නාවලී බාලිකාවේ, කුරුණෑගල මලියදේව පිරිමි පාසැලේ, කෝට්ටෙ ආනන්ද ශාස්ත්‍රාලයෙ, මහනුවර මහමායා විද්‍යාලයෙ යනාදී පාසැල් වලින් සහ මාතර පොල්හේන පිහිනුම් සමාජය යනාදී තැන් වලත් ජාතික මට්ටමේ ශ්‍රේණිගත පිහිනුම්කරුවන්/කාරියන් ඉන්නවා.

      කැමති අයෙකුට ගෙදර කුඩා පිහිනුම් තටාකයකට ආයෝජනය කරලා පංති පවත්වන්න පුළුවන්. හැබැයි ඒ යමක් ඉගෙනීමේ අගය දන්නා අය ඉන්න රටක, ඉගෙනීම සඳහා මුදලක් ගෙවන්න කැමති අය ඉන්නවා නම් විතරක් ලාභ උපයා ගත හැකි රස්සාවක්, ව්‍යාපාරයක්. එහෙම තැන් වැඩිය ලංකාවේ නැත්තෙ, වැඩිපුර ඇමෙරිකාවේ තියෙන්නෙ, ඉගෙනීමේ අගය දන්න අය වැඩියෙන් ඉන්න සමාජයක් මෙහෙ තියන නිසා ද?

      නැත්නම් අනිත් හැම දෙයක්ම වගේ මේකත් ආණ්ඩුව විසින් කරලා දෙනකන් බලාගෙන ඉන්න අය නිසා ද?

      අපොයි, වතුරට බැස්සොත් ගිලිලා මැරෙනවා කියල හිතන නිසා ද?

      නැත්නම්, අපි බයයි ඒ නිසා දරුවොන්වත් බය කරලාම තියමු කියල හිතන නිසා ද?

      නැත්නම් අපේ කෙල්ලො ඔය ස්විමිං සූට් ඇඳන් වතුරට බහිනවාට අපි අකමැති නිසා ද?

      එහෙමත් නැත්නම් කළු හම තවත් කළු වෙනවට අකමැති නිසා ද?!!

      • ඉන්දික උපශන්ත said, on ජූනි 16, 2011 at 3:31 පෙ.ව.

        නැහැ! පීනන්න උගන්නවන සල්ලි වලින් ළමය ටියුෂන් යවල විභාගෙ පාස් කරවන එක වඩා හොඳ ආයෝජනයක් කියල අම්මල හිතන නිසා.ඒ නිස පිහිනීමෙ රස දන්න දෙමව්පියන්ගෙයි ඒකට වියදම් කරන්න පුලුවන් දෙමව්පියන්ගෙයි ළ්මයි විතරක් පීනන්න දන්නෙ සහ අර මුල කැටගරියෙ දෙමාපියන්ගෙ දරුවො අත්හදා බලන්න ගිහින් ගිලිල මැරෙන්නෙ. ඒත් ඕනකමක් තීනවනං තමං ආදායමක් උඅපයන කාලෙක හරි, තනිව තීරනයක් ගන්න පුලුවං කාලෙක හරි මේ වැරැද්ද හරි ගස්සගන්න බැරි නැහැ!

      • kathandara karaya said, on ජූනි 16, 2011 at 4:08 පෙ.ව.

        අපේ සමහරු පීනන්න කෙසේ වෙතත් පී-නාන්න නම් මාර දක්‍ෂයෝ. ගිය ගිය තැන.

        මගෙත් අදහසක් තියෙනවා තැපැල් මගින් හරි මගින් හරි පීනන හැටි උගන්වන කෝස් එකක් පටන් ගන්න.

      • ඉන්දික උපශාන්ත said, on ජූනි 16, 2011 at 4:13 ප.ව.

        පිහිනීම සහ ජීවිතාරක්ශාව ගැන සිංහලෙන් අගනා පොතක් තිබ්බ. ඒක පින්තූර සහ සියලු විස්තර එක්ක ලියල තිබ්බෙ ගල්කිස්සෙ ජීවිතාරක්ෂක සංගමයෙ උපදේශක/සභාපති වෙලා හිටපු “පියදාස” කියන පොලිස් පරීක්ෂක තුමා. අදනං හොයාගන්න තීනවද දන්නෙ නෑ, ඒත් පුලුවන්නං පීනන්න නොදන්න දන්න හැමෝටම කියවන්න වටින පොතක්.

        • arunishapiro said, on ජූනි 17, 2011 at 7:54 පෙ.ව.

          ඉන්දික උපශාන්ත,

          අන්තර්ජාලයෙන් සොයාගත් පරිදි ඒ පොතේ ‍තොරතුරු මෙහෙමයි.

          නම: දිවි ගැලවීම සහ ජල ක්‍රීඩා
          කර්තෘ: පියදාස සිල්වා
          ප්‍රකාශක වසර: 1984
          පිටු: 144
          Bar code: 189095
          National Library Catalouge Shelf Location: NLC NLC 797.25 SIL

          මටත් ලංකාවට ආපු දවසක, ලංකාවෙ තැන තැන පිහිනන්න යන්න කළින්!! ජාතික පුස්තකාල ලේඛනාගාරයට ගිහින් පොත හොයලා බලන්න තරම් වටිනවා. තොරතුර කිව්වාට ඉන්දික උපශාන්තට ගොඩක් ස්තූතියි.

  3. kathandara karaya said, on ජූනි 15, 2011 at 6:16 ප.ව.

    අරුණි ගේ මේ ලිපිය නවම් ගේ ලිපියකට මාලු වා දාපු කමෙන්ට් එකක් නිසා ලියවුණු බව දැක්කාම මට සිහිවුනේ

    – අරුණී ගේ ලිපියකටට වැටුණු කමෙන්ටුවක් නිසා මං ලියපු නොදන්න දෙමලේ (2010) කියන කතන්දරයයි.

    http://kathandara.blogspot.com/2010/01/blog-post_25.html

    -KK

  4. පූසා said, on ජූනි 15, 2011 at 10:37 ප.ව.

    අපි පණ්ඩිතයා කියන්නේ යමක් නොදන්නා කමටම විතරක් නෙමෙයි නේද? නොදන්නා දේ දන්නවා වගේ පෙන්නන්නෙ උත්සාහ කරන අයට නේද?

  5. manik said, on ජූනි 15, 2011 at 11:08 ප.ව.

    පුංචි කාලෙ ඉඳල ඇලේ දොලේ ගඟේ නෑව නිසා මට නම් කිසිම දවසක වතුරට බයක් තිබුනේ නැහැ. ඒත් ඒ වාසනාව හැමෝටම නැහැනේ.
    මැණික්

    • arunishapiro said, on ජූනි 16, 2011 at 7:00 පෙ.ව.

      manik,

      ඉන්දික උපශාන්ත කියන්නෙත් වාසනාව ගැන මැණික්, ඒත් මෙහෙම හිතන්න: ජලාශ්‍රිත ජීවත්වෙන සමහර අයට ඒ වාසනාව නැත්තෙ ඇයි? වාසනාව තිබීම/නැතිවීම නෙවේ වඩා නිවැරදි වන්නෙ පුද්ගලයාට පිහිනන්න ඉගෙන ගන්න උවමනාවක් තිබුණා ද නැද්ද යන්න. දරුවාගේ දෙමාපියන්ට දරුවාට කියල දෙන්න උවමනාවක් තිබුණ ද නැද්ද යන්න. මම දකින්නෙ වාසනාව පාදා ගන්නත් පුද්ගලයා වෙතින් උත්සාහයක් අවශ්‍යයයි කියල.

      මගෙ ඥාතින් හිටියා ‘ගිලීමලේ’ කියන පැත්තෙ. රත්නපුර ශ්‍රී පාද හරියෙ. අක්කල, අයියල, මල්ලී පවුලේ හැමෝටම ‍හොඳට පිහිනන්න පුළුවන්. ඇළක් ළඟ පදිංචිය. මම හිතන්නෙ ඒ පැත්තෙ ගිලී මලේ පිටගම්කාරයෝ වෙන්න ඕනෑ. ඒ පවුලෙ මල්ලී මැද පෙරදිග නැවක වැඩ කළා. නැව ගිනි අරගත්තම මුහුදට පැනලා තමයි ජීවිතය බේරගෙන තිබුනෙ. පිහිනන්න නොදන්නවා නම් බයටමයි මැරෙන්නෙ එහෙම වෙලාවක.

      ගිලීමලේ නාන්න ගිය මම ගමේ නිසා රෙද්දක් ඇඳන් නාන්න ගිහින් සැරෙන් ආපු වතුර පහරකට රෙද්ද ගහගෙන ගිහින් ඒ කාලේ අවුරුදු 12 ක් විතර මට කාඩ් එකකුත් වැදුන!!

  6. praveena said, on ජූනි 15, 2011 at 11:35 ප.ව.

    නවම් මල්ලිගේ තුන් යහලු වික්‍රමය මමත් ගිහින් කියෙව්වා. කියෙව්වාම බයත් හිතුනා. යාලුවෝ ටික කලින් ඒ ගැන කීවා නම් අර මැරුනු ලමයාව බේරගන්ට තිබුනද? අනෙක මූද වටේ තියන ඉස්කෝලවල නරකද පිහුනුම් පන්ති පටන් ගත්තොත්?

    මට නම් හොඳට පීනන්ට පුලුවනි. හරියට දිය කිඳුරියක් වගේ.:DDD

    • arunishapiro said, on ජූනි 16, 2011 at 6:46 පෙ.ව.

      praveena,

      දියේ ගිලෙන අයෙකුව බේරා ගන්න ඉතා සුළු කාලයයි ඉඩක් තියෙන්නෙ. ඊ ළඟට බයෙන් දඟලන්න ගනිද්දී ඒ ගැන හරියට නොදන්න අයෙක් බේරගන්න ගියොත් එයත් අමාරුවේ. අර බදුල්ලෙ යෙහෙළියගෙ මල්ලී පිහිනන්න දන්නෑ. ඒත් එයා වතුර වළකට පැනලා ඉතාලියේ දී පොඩි ළමයෙක් බේරගන්න. ළමයා බේරගත්ත. මල්ලී දියේ ගිලිල මැරුණ. ඉතාලි නගරය එයාව වීරයෙක් හැටියට සැලකුව. දියේ ගිලෙන කෙනෙක් මරණ බයෙන් දඟලන විට බේරගන්න විශේෂ ක්‍රම පාවිච්චි කරන්න ඕන. නැත්නම් බේරගන්න යන අයත් දියේ ගිලෙන්න ඉඩ තියනවා. වැඩිය හොඳ නොදන්න තැනක නාන්න යනකොට සටහනේ කියපු විදියට මොනවා හරි උදව්වට පාවෙන ආම්පන්න ටිකක් ගෙන යෑම.

      අනික ප්‍රවීනා, නවම් මල්ලිගේ කතාවේ ඉන්න යාළුවෝ ගිහින් කාව එක්ක එන්න ද? පිහිනන්න දන්න කෙනෙක් මුහුද අයිනෙ වුනත් හොයා ගන්න කොච්චර අමාරු ද?!!

      පොඩි කුමාරිහාමි දිය කිඳුරියක් වගේ පිහිනන හැටි සිතින් මවා ගත්තෑකි … ආහ් …. ඔසරියක් ද කොහෙද පටලවාගෙන මෙන්න … පොට ඇදිලා යනවා කිඳුරි එක්ක …. නෑ නෑ.. ඒ වැරදි පින්තූරෙ හිතේ මැවුනේ … මේ තියෙන්නෙ හරි එක … කකුල් වෙනුවට වරල් ඇවිල්ලා .. අනේ ආත්තම්මේ මොකද අපි කරන්නෙ දැන් මඟුල් කතා කරලාත් තියන වෙලාවේ!!!!

  7. නවම් said, on ජූනි 16, 2011 at 2:31 පෙ.ව.

    ඉපදුනේ ගාල්ලෙ. මූදෙ ඉඳල කිලෝමීටර පහයි, තාත්තගෙ ගම ගිංග‍ඟේ ලොකු දූපතක් [වැලිවිටිය] මට පීනන්න බෑ. 😀

  8. චතුර said, on ජූනි 16, 2011 at 3:34 පෙ.ව.

    මටත් පීනන්න බෑ නෙව. දනි පනි ගහල දඟලලා මීටර් 20ක් තිහක් විතර පැන ගන්න පුළුවන්. ගංගා ඇල දොල, ගස් කොලන් ආශ්‍රිතව හැදුනට පීනන්නත් ගස් නඟින්නත් බෑ. ඒකට ලොකු උත්සහයක් දරන්න අවස්ථාවක් යෙදුනෙත් නෑ. අගනා ලිපියක් අරුණි..

    • arunishapiro said, on ජූනි 16, 2011 at 7:16 පෙ.ව.

      චතුර,

      ආයුබෝවන් චතුර! ස්තූතියි.

      අහෝ! ගස් නඟින්නත් බැහැ නේද?!!! අඹ ගහකින් වැටී මළා කියලා ඇහෙද්දී කිසි දවසක කොච්චර උසකින් ද වැටුනෙ කියලා ප්‍රවෘත්තියේ නැත්තෙ මොකෝ?

      ගස් නඟින අය, ගුරුත්වාකර්ෂණයත් ස්වභාවික නීතියක් බව අමතක කරන්න නරකයි!!

      ගස් නඟින්න කළින් මුලින් ම වැටෙන හැටි කියලා දෙන්න ඕන. ඒකත් අර ඔළුව ඉස්සරහට දාලා වතුරට පනින්නෙ නැතිවා වගේ කකුල් වලින් බිමට පැනලා රෝල් වෙලා impact අඩු කරගන්න. වැදගත්: එහෙම පැනලා බේරෙන්න පුළුවන් උස එක්තරා ඉහළක දී නැති වී යනවා!!

      උත්සාහයක් ගන්න අවස්ථාව පාදා ගන්න ඕන චතුර. අවස්ථාව ළඟට එනකම් හිටියොත් හැමදාම බලාගෙන ඉන්න වෙයි.

  9. arunishapiro said, on ජූනි 16, 2011 at 7:35 පෙ.ව.

    සියල්ලන් වෙත,

    යෙහෙළි වෛද්‍යවරියක් මේ සටහනට මෙය ද එකතු කරන්න යැයි කියා එවන ලදි.

    එනම්,

    “පිහිනන විට කුඩා දරුවන්ටත් වැඩිහිටි අයටත් කන් (ear) වල වතුර නිසා ඇති විය හැකි ආසාධන ඇති නිසා ඒ ගැන නිතර කල්පනාවෙන් සිටින්න. කනේ වතුර ඇතැයි සිතේ නම්, කනේ රුදාවක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සොයා යෑම කළ යුතුම වේ.”

    මගෙන්: මේ පැත්තෙ නම් කනේ ගහන වතුර කන් ඇතුලට නොයන විජට්ටු තියනවා එහෙම අයට. පුංචි ළමයි කන් ඇඟිලි වලින් නිතරම අදිනවා නම් ඒකත් වෛද්‍යවරයෙකුට පෙන්වා සොයා බැලිය යුතු තත්වයක්. එහෙම කනින් අඳින්නෙ කනේ අපහසුතාවයක් තියන බව ඔවුනට කියා ගන්නට බැරි වුනත් දැනෙන නිසා. අනික, පිහිනීම නිසා නොව ඔළුවට වතුර හලාගෙන නාලා කන් ආසාධන හැදිච්ච අයත් ඉන්නවා.

  10. ගෝල්ඩ් fish said, on ජූනි 17, 2011 at 12:02 පෙ.ව.

    අප්පච්ච්යේ අක්කේ, මං කිව්වේ….

    යම් කිසි දැනුමක් තියාගෙන ඊට වැඩියෙන් දන්නවා කියලා පෙන්නන්න යන අය ගැන. ඒ වගේ අයත් එක්ක ජීවත් වීම හෙන අමාරුයි. කො​යි වෙලේ කරදරේක වැටෙයිද කියන්න බැහැ.

    • arunishapiro said, on ජූනි 17, 2011 at 8:00 පෙ.ව.

      ගෝල්ඩ් fish,

      ඇත්ත යාළු මාළු මල්ලියේ, සහතික ඇත්ත.

      අපිට වැඩි දවසක් යන්න කළින්, කවුද යමක් කියන තරමට දන්නෙ නැත්නම් කවුද යමක් දන්නවාට වඩා වැඩියෙන් දන්නවා වගේ පෙන්නන්නෙ කියලත් ඔප්පු වෙනවානෙ!!!

      ඔව්, //ඒ වගේ අයත් එක්ක ජීවත් වීම හෙන අමාරුයි. කො​යි වෙලේ කරදරේක වැටෙයිද කියන්න බැහැ// නිසා තමයි මම නම් කකුල් දෙකට පණ තියන තරම් හයියෙන් දුවලා ගිහින් ඔවුන් වෙතින් අයින් වෙන්නෙත්!!!!

  11. Bindi said, on ජූනි 17, 2011 at 10:54 පෙ.ව.

    අරුනියෝ ඔයාගේ සමහර ලිපි කියවල මුකුත් නොකිය යනවා…කියන්න දෙයක් හිතාගන්න බැරිව. ඒත් මේක නම් මට යමක් කිව හැකි තැනක්. කැළණි ගඟ ට ඇවිදින දුර ඉඳලත් …පුංචි කාලේ සතියකට දවසක් වත් ගඟේ නාලත් පීනන්න ඉගෙන ගන්න බැරි වුන මම ..දැනට අවුරුදු කීපෙකට කලින් වියට්නාමෙට ඇවිත් දුලගේ කෝච් ට පැයට ඩොලර් පහ ගානේ දීල දවස් 10 ක් ඉගෙන ගත්ත . ඉඩක් අවස්තාවක් ලැබුන ගමන් ඉගෙන ගත්තට පාඩු නැති බව නම් කියන ඕන. නැත්නම් වෙන්නේ ට්‍රිප් එකක් ගියහම අනුන්ගේ රෙදි මුර කරන්න.

    ලංකාවේ පොදු පිහිනුම් තටාක නැති එක ලොකු අඩුවක්. ලොකු ක්ලබ් වල ගිහින් ඉගෙන ගන්න හැමෝටම බැහැනේ . පනාගොඩ හමුදා පිහිනුම් තටාකය වගේ කීපයක් තියෙනවා පොදු ජනයට ලං වෙන්න හැකි.

    වියට්නාමයේ වැඩියම මැරෙන අනතුර තමයි දියේ ගිලීම . රට පුරා ගඟ වල්.

  12. දුකා. said, on ජූනි 18, 2011 at 10:08 පෙ.ව.

    නියම ලිපියක් අරුණි අක්කේ . . . ස්තූත්යි මේ වගේ අපිව දැනුවත් කරනවට . .

  13. හීනියට said, on ජූනි 19, 2011 at 6:59 පෙ.ව.

    ආසම දෙයක් තමයි ඕං පිහිනන එක…..වැඩ දාන්න බැහැ, නමුත් ගිලෙන් නැතිව හිටියැහැකි….ඒ මදෑ නේද……


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: