සඵලදායක පවුල් කෑම ලාභ සහිත ව්‍යාපාරයක් වගේ ද?
වෙද ගෙදරට ගොඩ වැදි මට ‘වෙද ගෙදර මහ වෙදනා’ එක්ක අවුලක් බේර ගන්න වුනා. සොක්රටීස්ට වැරදුන බව ඔප්පු කරමින් අපි දෙන්න අවුල බේර ගත්ත රටවල් දෙකක ඉඳගෙන මිනිත්තු ගණනකින්!!
ලාභයක් සොයන්නේ කොහොම ද යන්න වටහා ගැනීමට බැරි ලාභය කුමක් දැයි නොදන්නා අයට.
සඵලදායක පවුල් කෑම බැරි ඒ මොකක් දැයි නොදන්න අයට.
ලාභය ආචාර ධර්ම වලින් තොර වූවක් බව ඉතිහාසයේ පටන් එල්බ ගත් මතයක්. ගුණවත් අයෙක් වන්නේ දානමානාදිය තුලින් යැයි කීම සමහර විට ඒ ඔටුනු පැළඳි ලෝකයේ බලතණ්හාධිකයන් වෙතින් කීයක් හරි ඉල්ල ගන්න ආගමික නායකයෝ දාපු දහම් ගැටයක් වෙන්නැති. ඔටුනු පැළඳි ලෝකයේ තවමත් ධනය එක්කාසු කරගන්න හැකියාව තියෙන්නෙත් බලතණ්හාධිකයන්ට සහ ඔවුන් සමඟ ගිවිසුම් ගහන අයට විතරක් වීම තවත් කාරණයක් වෙන්නැති.
බුඩී කියන ක්‍රෙඩිට් බිල්ලො වගේ තමයි ලාභ සෙවිල්ලත් බිල්ලෙක් හැටියට හංවඩු ගැහිලා තියෙන්න. ක්‍රෙඩිට් කියන්නෙ ණය කියලා අමතක කරන්න හොඳ නෑ. ලාභ සෙවිල්ල කියන්නෙ අනගිත්වය කරා යන ගමනක් බව අමතක කරන්නත් හොඳ නෑ. දියුණුවට දෙකම හරියාකාරව පාවිච්චිය දැනගන්න ඕනෑ.
හවුලේ පවුල් කෑමේ දී එය සඵලදායක වන්නට නම් අනගිත්වය සොයා යන්න ඕනෑ. ව්‍යාපාරයක් සාර්ථක කරගන්නට නම් ලාභ සෙවිල්ලත් අනගිත්වය සොයා යන ගමනින් සිද්ධ වන්නට ඕනෑ.
සාර්ථක ව්‍යාපාරිකයෝ දිහා බැලුවම පේන දෙයක් තමයි නිතරම ඔවුන් නිරත ව්‍යාපාරයට දැඩි ආදරයක් දැක්වීම. පදනම එයයි.
සාර්ථක යුග දිවියකත් ඉන්නෙ එකිනෙකාට දැඩි ආදරයක් දක්වන දෙන්නෙක්. පදනම එයයි.
හවුලට එකතු වෙන දෙදෙනා හවුලට ගෙනෙන්නේ මොනවා ද? පුද්ගලික අගැයුම්, දෙදෙනාගේම පවුල් වල මතවාද, දානමානාදිය ගැන ආකල්ප, මූලික විශ්වාස සහ එකිනෙකා හවුලට දායක වන හැටි යනාදී සේරම බැලූ බැල්මට පැහැදිලි නැති දේවල් සමූහයක්.
මුලින් ම හවුලකට එකතු වෙද්දී තම තමන් විසින් ගන්නා වගකීම (responsibility) මොකක් දැයි දැන සිටීම වැදගත්. වගකීම කුමක් දැයි පැහැදිලි කර නොගත්තම දෙන්නා දෙවිදියකට හිතාගෙන ඉන්න අවස්ථා බොහොමයි. තමන් ඒ හවුලට ගේන්නෙ මොනවා ද? “මං එනකොට දෑවැද්දක් අරගෙනයි ආවේ” කියා සදොස් හොයන කාන්තාවක් ඇය ගෙනා දෑවැද්ද ඉවර වෙනතුරු වියදම් කළේ ඇයම බව අමතක කරනවා නම් එය අවංක බවකින් තොරයි. ‘මං ආවේ උපාධියක් එක්ක’ කියන පිරිමියා සහතිකය තිබි පළියට කවුරුත් ඔහුට සල්ලි ගෙවන්නෙ නැති බව නොදැකීමත් අවංක බවින් තොරයි.
හවුල් ව්‍යාපාරයකට වගේම හවුල් පවුල් කෑමේ එකමුතුවට පිවිසීමේ දී ත් තම තමන්ගේ වගකීම් සහ තම තමන් හවුලට ගේන්නේ මොනවා ද යන්න අවංකව හඳුනාගෙන තිබීම ඉතා වැදගත් බව අමතක කරන අය බොහොමයි.
හවුල් ව්‍යාපාරයක් අරඹන්නේ තනිවම ව්‍යාපාරය ගෙන යා නොහැකි නිසා.
පවුලක් හදන්නේ තනිවම ජීවිතය ගෙන යන්නට අකමැති නිසා. (අනුන් කියන නිසා පවුල් හදන අයත් ඉන්නවා!!)
දිගු කාලයක් අනගිත්වයෙන් යුතු වූ හවුලක් තීරණය කරන්නේ මොන දේවල් ද?
හවුලේ දෙදෙනාම එක ගතිගුණ වලින් වීම අවශ්‍ය නැත. නමුත් අයකුගේ ගතිගුණ අනිකාගේ ගතිගුණ හා විසදෘශ වීම හවුලට හානිකර ය. එවිට හවුල පටන් ගත්තාට පසු දිනයෙක, අනාගතයේ දී බහින්බස් වීම් හා අරගල ඇති වේ.
ව්‍යාපාරයක ඉදිරි ගමන සාර්ථකත්වයට ඒ ඒ හවුල්කාරයන්ගේ වයස් බලපායි. වයසක හවුල් ව්‍යාපාරිකයා දිගු කාලීන ප්‍රතිඵල ලබන ආයෝජනයකට වඩා කෙටි කාලීන ප්‍රතිඵලයක් සොයනවා විය හැකියි. තරුණියක් විවාහයට එළඹ ඉක්මණින් දරුවෙක් හදන්නේ නැතැයි සිතා සිටිය දී ඇය හා විවාහ වන තරුණ විය ඉක්ම වූ අයට ඉක්මණින් දරුවෙක් හැදීමට අවශ්‍ය විය හැකියි. වයස අනුව ජීවිතයේ ගන්නා තීරණයන් ව්‍යාපාරයක දී ත් හවුල් පවුල් කෑමේ දී ත් විසදෘශ වේ දැයි හවුල පටන් ගන්නට පෙර සොයා බැලිය යුතුය.
ව්‍යාපාරයක් ගෙන යෑමේ දී ඊට එකතු වෙන හවුල්කාරයාගේ බිරින්ඳෑත් ඊට ඇඟිලි ගසන්නට එනවා දැයි කළින් සිතා බැලිය යුතුය. පවුලක් එකමුතු වෙද්දී අම්මා තාත්තා නැන්දා මාමාලාත් තීරණයන් සඳහා සාධකයන් වෙනවා දැයි කළින් සිතා බැලිය යුතුය. ඔහුගේ හෝ ඇයගේ පවුල එකිනෙකාට සමාන විය යුතු නොවේ. අවශ්‍ය වන්නේ හවුලට එකතු වන්නා ඒ බලපෑම් කරන අය ගැන දැනීමකින් යුතුව ඉන්නවා ද, ඒ ගැන හවුලට ඇති බලපෑම ගැන කෙසේ ක්‍රියා කරනවා දැයි කළින් ගසා ගත් එකඟතාවයකට පැමිණිය හැකිදැයි අවබෝධයයි.
පැන නැඟිය හැකි හැම අවස්ථාවක් ගැනම කතාබහ කළ යුතු යැයි කියනවා නොවේ. ව්‍යාපාරයක නොදැකි අභියෝග නිතර මතු වේ. හවුලේ පවුල් කෑමේ දී ද නොදැකි අභියෝග හැම විට මතු වේ. හවුලට එකතු වන්නට පෙර තම තමන්ගේ පවුල් හා හවුල අතර සීමාවන් මොනවා ද යන්න පැහැදිලි කර ගැනීම වැදගත් ය. ව්‍යාපාරිකයාගේ බිරින්ඳෑ ඇයගේ යාළු යෙහෙළියන්ට රැකියා ලබා දෙන්නට කියා ව්‍යාපාරිකයාට නිතර කරදර කරනවා ද? නැත්නම් රැකියාවක් දෙන්නේ ව්‍යාපාරයේ දියුණුවට වඩා සුදුසු වූ අයෙකුට ද? පවුලත් හවුලත් අතර සීමා මොනවා ද යන්න කතා බහින් නිරාකරණය හවුල් ව්‍යාපාරික අවුල් අවම කරයි. පිවිසෙන පවුල් හවුලත් තම තමන්ගෙ දෙමාපිය පවුල් වලත් අතර සීමා මොනවා ද යන්න කතා බහින් නිරාකරණය පවුල් අවුල් අවම කරයි.
දානමානාදිය ව්‍යාපාරයක දී ද කළ යුත්තකි. එය ව්‍යාපාරයේ හොඳ හිත පිළිබිඹුවකි. හවුල් පවුල් කෑමේ දී ද දානමානාදිය කළ යුතුය. එය හවුලේ හොඳ හිත පෙන්වන්නකි. මෙහි දී දානමානාදිය බෙදා හරින ආකාරය ගැන හවුලේ අය අතර එකඟතාවයක් නැත්නම් හවුලට අහිතකර වෙයි. අයෙක් අනිකාට හොරෙන් හවුලේ දෑ බෙදනවා ද? නැත්නම් හවුලේ දියුණුව අඩාල කරමින් නැති ධනය බෙදනවා ද? යනාදී ගැටළු ගොඩක් ඇති වෙන්නට පෙර දානය කුමක් ද? යන්න දෙදෙනා/හවුල අතර පැහැදිලිතාවයක් තිබිය යුතුයි.
මූලික විශ්වාසයන් ගැන වූ එකඟතාවය ඉතා වැදගත්. අදහස් ගැලපෙනවා දැයි යන්න මෙහි දී සැලකිල්ලට ගැනේ. ව්‍යාපාරයක් කරද්දී ලාභ සෙවීම නම් කුමක් දැයි නොදන්නා අය හා ව්‍යාපාරයට යෑමෙන් තියන සතයත් නැති වී යයි. බල්ලො මරලා හරි ලාභ හොයනවා කියන අයෙක් හා ව්‍යාපාරයට යෑමෙන් හිරගෙදරක ලගින්නට ද සිදුවේ. ලාභය නම් අනගිත්වය සොයා යන ගමනේ දී ලැබෙන වාසිය යන්න වටහා ගන්නා දෙදෙනෙක් වැඩි කාලයක් වැඩි ලාභයක් සොයති. හවුලකට එකතු වන්නේ තමන්ට තනියම වැඩක් කරගන්න බැරි නිසා නොව තනියම ඉන්න අකමැති නිසා යැයි අවංකව පිළිගන්නා දෙදෙනෙක්ට යුග දිවිය සටනක් නොව බෙදා හදා ගැනීමෙන් සතුටක් ලබන වෑයමකි.
හවුලකට එකතු වන අය විසින් ගෙනෙන සුවිශේෂී කුසලතාවයන් මොනවා ද? එක් හවුල්කාරයෙක් හැම අංගයක් ම සවිස්තරව සොයා බලන (detailed oriented) අයෙක් ද? අනිකා මුළු විස්තරය (big-picture thinking) සොයා බලන්නට හැකි අයෙක් ද? හවුලක් පටන් ගන්නට මේ හොඳට ගැලපෙන දෙදෙනෙකි. දෙදෙනාම එකම විදියක කුසලතාවයන් පමණක් ගෙනෙනවා නම් එවැනි හවුලක ඵලදායකත්වය අඩු ය.
ගැහැණියකත් පිරිමියකත් අතර විවිධ කුසලතාවයන් ඇත. එහි දී ගෑණු අයට කොතරම් වැඩ වැඩි ද? පිරිමි අයට කොතරම් රාජකාරී වැඩි ද? යනාදිය විමසන්නට යෑමෙන් සිද්ධ වන්නේ පුද්ගලයා සතු ඒකීය කුසලතාවය අගය නොකිරීමයි. හැම ගෑණියක්ම සහ හැම පිරිමියක්ම මෙසේ යැයි කියා ගොඩවල් දෙකකට බෙදා වෙන්කළ නොහැකි ය.
හවුලේ අගය වැඩි වෙන්නේ තම කුසලතාවයෙන් හවුලට උපරිමයෙන් දායක වන්නේ නම් පමණි. එය පැහැර හරිද්දී හවුල බිඳ හැලේ. තම කුසලතාවය වැඩි අගයෙන් හෝ අඩු අගයෙන් යැයි විභාගයට යද්දී තරඟය හවුලේ දියුණුවට නොව හවුලේ කඩාකප්පල් වීමට මඟ පෑදේ. හවුලකට එකතු වන පරමාර්ථය නම් තනිවම ඉන්නවාට වඩා දියුණු තත්වයකට යෑම ය. එසේ නම් හවුලේ අයගේ දායකත්වයේ වැඩි අගයක් හෝ අඩු අගයක් කියා නැත. එහි ඇත්තේ නිතැතින්ම අවශ්‍ය වූ එක හා සමාන වූ අගයකි.
තම කුසලතාවයන්ට සමාන අගයක් නොදෙන්නේ නම් එවැනි අය සමඟ හවුලක් ගැසීම පටන් ගනිද්දී ම පාඩු සහිත ය!!
හවුලක් නම් එකතුව වැඩ කරන ප්‍රීති උත්සවයකි. හවුල් ව්‍යාපාරයක් සේ ම, ඉහළ කරුණු විමසන අයෙකුට හවුල් යුග දිවියක් ද ප්‍රීති උත්සවයක් කරගත හැකිය.
මේ ලිපිය කියවල මට නම් හිතුනෙ හවුලක් සර්ව සම්පූර්ණ වෙන්න නම් එක් පාර්ශවයක නොහැකියාවක් අනෙක් පාර්ශවයෙන් නිවැරදි කරීම හවුලට සම්බන්ද අයවලුන් අතින් සිදුවිය යුතු බවයි. එයට තම තමංගේ යුතුකම සහ වගකීම හොද හැටි වටහාගෙන සිටීම ඉතාමත් වැදගත් කියලයි මට නම් හිතෙන්නෙ. මම හිතන්නෙ ඔබගේ ලිපිය සංකෂිප්තයක් ලෙස ගත්තොත් ඉන් කියවෙන්නෙ පවුල / හවුල ක පැවැත්ම , එහි සතුට රැදී පවතින්නේ එකිනෙකා අතර යුතුකම හා වගකීම ඉෂ්ට වනතෙක් පමණක් බවයි.
Hishan Melanga,
//හවුලක් සර්ව සම්පූර්ණ වෙන්න නම් එක් පාර්ශවයක නොහැකියාවක් අනෙක් පාර්ශවයෙන් නිවැරදි කරීම හවුලට සම්බන්ද අයවලුන් අතින් සිදුවිය යුතු//
වරදක් නිතරම කළ අය විසින්ම හදා ගන්න දන්නවා නම් පමණයි ඉදිරි ගමන සාර්ථක. අනිත් අය නිවැරදි කිරීම නිසා හැමදාම තමන් විසින් කළ යුත්ත දකින්න බැහැ.
ඔව්, යුතුකම් සහ වගකීම් ඉටු කිරීම හවුලට එකතුවන හැම අයෙක් අතින්ම සිද්ධ වීම ඉතා වැදගත්.
අරුණි අක්කාගේ ලිපි අපේ මනසට හා නෙත් වලටත් හොද ව්‍යායාමයක්. ඒ මොකද දන්නවද ලිපිය කීප පාරක් බලන්නත් ඕන. ඒ වගේම මුල සිට අගටත් අග සිට මුලටත් බලන්න ඕන.
හොද ලිපියක්. ස්තූති අක්කෙ.
මිනිස්සු ආදරේ අනම් මනං පටලගත්තට සරලවම කිව්වොත් සාර්ථක හවුලක් කියන්නෙ සාර්ථක ගනුදෙනුවක්…
සාතන්,
පදනම ආදරයයි. කැමැත්තයි. අකමැති දේවල් කොච්චර සල්ලි දුන්නත්, කොච්චර ජනප්‍රියත්වයක් දුන්නත් වැඩි කාලයක් කරන්න බෑනේ!!! බලන්න ඩයනා කුමාරියට වෙච්ච දේ!!!
එකම වැරැද්ද සාමාන්‍ය මතය වෙලා තියෙන්නෙ ගණුදෙනුවක් යනු අයෙකු වැඩි වාසි ලබමින් තවකෙක් සූරා කන ක්‍රියාවලියක් යැයි සිතීම. ඒ යල් පැනපු චින්තනයෙන් බැහැර වන්න පුළුවන් නම් …. සමහර විට පවුල් ජීවිතත් අවුල් වලින් අඩු වෙයි!! ඩයනා කුමාරිය හවුලක් ගහ ගත්තෙ ඔටුන්න හිමි කුමාරයෙක් සමඟනෙ. යල් පැනපු චින්තනය තමයි!!!
තුන් පාරක් කියෙව්වා.”හවුලේ දෙදෙනාම එක ගතිගුණ වලින් වීම අවශ්‍ය නැත. නමුත් අයකුගේ ගතිගුණ අනිකාගේ ගතිගුණ හා විසදෘශ වීම හවුලට හානිකර ය” කියන කොටස තමයි ගොඩාක් වැදුනෙ.හොද ලිපිය.
ඒ කියන්නේ සාර්ථක පවුල් ජීවිතයක් කියන්නේ හරියට සාර්ථක ව්‍යාපාරයක් වගේ. එතකොට මේ ව්‍යාපාරෙට ආදරේ අවශ්‍ය නෑ නේද? ඔය කියන කරුනු ඉටු නොවුනු දවසක පාවිච්චියට ගන්ට ආදරේ වගේ දෙයක් අයින් කරලා තිබුනොත් කොහොමද?
හරියට අමාරු අවස්තාවක ගන්ට වෙන් කරලා තියන මුදලක් වගේ.
praveena,
පදනමක් නැතිව මුකුත් කරන්න බැහැනෙ!!
//සාර්ථක ව්‍යාපාරිකයෝ දිහා බැලුවම පේන දෙයක් තමයි නිතරම ඔවුන් නිරත ව්‍යාපාරයට දැඩි ආදරයක් දැක්වීම. පදනම එයයි.
සාර්ථක යුග දිවියකත් ඉන්නෙ එකිනෙකාට දැඩි ආදරයක් දක්වන දෙන්නෙක්. පදනම එයයි.//
මට මතකයි කවුදෝ කියල තියනවා “විවාහය සංස්ථාවක්” කියල. ඒකම තමයි නේද මෙතනත් කියවෙන්නේ.
මැණික්
manik,
සරලව ගත්තම, සංස්ථාවක් කියන්නෙ ව්‍යාපාරයක් එහි කොටස් ආයෝජකයන්ට විකුණන විදියට පටන් ගත්තක්.
හවුලක් කියන්නෙ ලාභ සහ වගකීම් සමානව බෙදා ගන්න පටන් ගත්තක්.
සංස්ථාවක දී එහි සාමාජිකයන් ආයෝජනය කරන තරමට අනුව ඔවුන් ගන්නා පුද්ගලික අවදානම සීමාසහිතයි. හවුලක දී එහෙම සීමිත වගකීමක් දෙන ආරක්ෂාවක් නැහැ.
තවත් විදියකින් කිව්වොත් සංස්ථාවක දී තමන්ගෙ පුද්ගලික දේපල නැතිව ආයෝජනය කරන මුදල් විතරක් නැතිවෙනවා වැරදි ආයෝජනයක් කළොත්. හවුලක දී තියන සේසතම නැතිවෙනවා ආයෝජනය වැරදි නම්.
ඒ නිසා විවාහයක් යනු සංස්ථාවකට වඩා හවුල් ව්‍යාපාරයක් යැයි කීම වඩා සුදුසු වෙනවා නේද?!!
කතාවට කියනවනේ හවුලේ කැඳත් එපා කියල. මේකෙ සමහර වෙලාවට ඇත්තකුත් තියෙනවා නේද? ව්‍යාපාරයකදී හවුල් කරුවන්ගේ එකඟතාවය , කැපවීම , කථාබස්කොට හරි තීරණ ගැනීම හරිම වැදගත්. එහෙම නොවුනොත් එතන තියෙන්නේ කඩාවැටීමක්. විවාහයේ දී මේ දෙකම ඔයා කියනව වගේ සමබරව පවත්වාගෙන යාම තමයි කරන්න තියෙන්නේ. ලාංකික සමාජයේ මේ පිරිමි ආධිපත්‍ය නිසා සමහර වෙලාවට ජීවිත කඩා වැටෙන බව නම් මම දැකල තියෙනවා, ඒ බොහෝ වෙලාවට තම බිරිඳට තීරණ ගැනීමට ඉඩ දීම , මහ මදිකමක් කියල හිතන නිසා කියල හිතෙනවා. නමුත් දෙදෙනා ප්‍රශ්ණයක් හොඳින් කතා බස් කරල විසඳා ගත් විට එවැනි ප්‍රශ්ණ ඇති වෙන්නේ නෑ.තම පවුල වෙනුවෙන් ගත යුතු තීරණ දෙදෙනාගේම අවබෝධයෙන් ගත යුතු බව කියන්න ඕනෙ. විවාහය නම් සොඳුරු සංස්ථාව ආලෝකමත් වෙන්නේ එතකොටයි. ජීවිතයේ අපිට විඳින්නට වෙන ලොකුම ගැටලුවකටත් මේ ලෙස විසඳීමක් ලැබුනොත් එතන සුන්දරම තැනක් නොවේද?
chandi,
දරුවන් හදනා අම්මලා හැටියට අක්කයි මමයි අපිට කළ හැකි ලොකු මෙහෙවර හඳුනාගෙන තියනවා. පිරිමි ආධිපත්‍යයට වඩා ගැහැණු පිරිමි සහයෝගය පවුලට වැඩදායක බව හැම පුතෙක්ම දුවෙක්ම ඉන්නා අම්මා කෙනෙක් තම දරුවන්ට ඉගැන්වුව හොත් ඔවුන්ගේ පවුල් ජීවිත සාර්ථක වෙනවා නිසැකයි.