අරුණි ශපීරෝ‍ වෙතින්

ඔස්ට්‍රේලියාවේ පැවති සිංහල අවුරුදු උළෙල

Posted in Uncategorized by arunishapiro on ජූනි 12, 2011

මෙම සිංහල අවුරුදු උළෙල පවත්වා ඇත්තේ ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණික ආයතනයේ ආදී ශිෂ්‍ය සංගමයේ ඔස්ට්‍රේලියා සංවිධානයේ මෙහෙයවීමෙනි. එය ඔස්ට්‍රේලියාවේ පැවති සිංහල අවුරුදු උත්සාහයක් සඳහා වැඩිම ජනගහණයක් සහභාගී වූව බව ද පින්තූර අපි හා බෙදා ගන්නා පද්මකුමාර අමරසිංහ කියයි.

පද්මකුමාර ඔබට බොහොම ස්තූතියි.

ලොව ප්‍රථම 111 GIGA PIXEL පින්තූරය

Posted in Uncategorized by arunishapiro on ජූනි 10, 2011

ඇමෙරිකන් ස්ටයිල් ගෘහ නිර්මාණය

Posted in Uncategorized by arunishapiro on ජූනි 9, 2011

ගෘහ නිර්මාණය සහ වේදිකා/චිත්‍රපට පසුබිම් ගැන කරන ලද අදහස් විමසුමක දී අශෝක හඳගම සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් මට මෑතක දී කියවන්නට ලැබුණි. එහි ලංකාවට නුසුදුසු “ඇමෙරිකන් ස්ටයිල්” නිවාස ගැන සඳහනක් විය.

හඳයා කියන අන්දමට 1970 ගණන් වල දී අනුරාධපුර පැත්තේ ‘ඇමෙරිකන් ස්ටයිල්’ සේ හැඳින්වූ නිවාස සංකීර්ණ එකළ ගොඩනඟා තිබුනේ ලංකාවේ ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවයි. ඒ ‘ඇමෙරිකන් ස්ටයිල්’ ලංකා‍වට ආදේශ කරගත්තේ රජයේ සැලසුම් අනුමත කළ කුමන පිරිස ද? යන්න හඳයාගේ ද ප්‍රශ්නයයි.

ඒවාට ‘ඇමෙරිකන් ස්ටයිල්’ නිවාස යයි නම වැටුනේ ඇයි? ඇමෙරිකාවේ ඒ සමාන නිවාස තියන බව දන්නේ කවුද? මම හඳයාගෙන් අසා යැව්වෙමි. ඔහු කියා එව්වේ ඒ නිවාස ඒ නමින් එදා හැඳින්වෙච්ච බව සාකච්ඡාවේ දී කියද්දී එවැනි නිවාස ඇමෙරිකාවේ හෝ ලෝකෙ වෙන කොහේවත් තියනවා ද තමා නොදන්නා බව කිව්වත්, මුද්‍රිතව ප්‍රකාශය වෙද්දී ඒ වැදගත් කොටස ඔවුන් අමතක කර දමා ඇති බවයි. මගේ ජීවිතයෙන් බාගයකට වඩා කාලයක් හඳයා හොඳින් හඳුනන මා ඔහු දකින්නේ සුදු පාටින් ය. (හමේ පාට නොවේ!!)

තමන්ට අවශ්‍ය ආකාරයට ඕනෑම කතාවක් වෙනස් කර ගන්නට දන්නා අය, ඉඩක් ඇත්නම් ඇමෙරිකාවට පාරක් ගහන්නට අමතක නොකරයි. ඇමෙරිකාවට බනිද්දී, වැරැද්දක් හරියටම තියනවා ද නැද්ද කියා විමසීම අවශ්‍ය නැත. බැන්නාම පමණක් ප්‍රමාණවත් ය.

‘ඇමෙරිකන් ස්ටයිල්’ නිවාස ලංකාවේ අනුරාධපුරයට ගොස් ඉදිකළේ බලහත්කාරයෙන් පැමිණි ඇමෙරිකන් හමුදාව ද?!!

මා ඇමෙරිකාවට පය ගැසූ දිනයේ ම සුදු අප්පුහාමිගේ හොඳම යාළුවාගේ ගෙදරට ආරාධනයක් ලැබුණි. ඒ ගෙදර ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ oragnic architecture සම්ප්‍රදායට අනුබලය දුන් ලෝක ප්‍රසිද්ධ Frank Lloyd Wright (1867-1959) ය. පිටිසර ගම්මානයක, ස්වභාව ධර්මයේ රසාස්වාදය සම්පූර්ණයෙන් ම අත්විඳිය හැකි සේ නිමැ වූ ඒ කුඩා නිවහන ගඟ අද්දරක වූයේය. එය usonian ස්ටයිල් නොහොත් සුවිශේෂී ඇමෙරිකන් ස්ටයිල් නිර්මාණයකි.

සීගිරිය දැක ඇති මට Frank Lloyd Wright කවදා හෝ සීගිරියට ගොඩ වැදී ඇද්දැයි සිතුණි. දන්නා තරමින් ඔහු ලංකාවට පැමිණි බවක් සොයා ගන්නට නැත.

සූර්යාලෝකය පාවිච්චිය (passive solar heating); ස්වභාවික සිහිල් කිරීම (natural cooling); clerestory ජනේල මඟින් ස්වභාවික එළිය පාවිච්චිය (natural lighting); පොළව රස්නයෙන් තබා ගැනීම (radiant-floor heating) යනාදියෙන් ගෘහ නිර්මාණය usonian ස්ටයිල් ‍නොහොත් ඇමෙරිකන් ස්ටයිල් ය. ඒ ස්ටයිල් නිවසක් ප්‍රථම වරට ඔහු නිර්මාණය කරන්නේ 1936 ගණන් වල දී මැද පංතියේ ආදායම ඇති මහජනතාව සඳහා ය.

1970 ගණන් වල දී අනුරාධපුරයේ ‘ඇමෙරිකන් ස්ටයිල්’ නිවාස සංකීර්ණ සැලසුම් ගහපු අයට අත ළඟ ඇති සීගිරිය අමතක වුනා වන්නට ඇත. ඇමෙරිකාවේ usonian ස්ටයිල් ද නොදැන සිටින්නට ඇත. කොහෙන් හරි ගත් ‘හොටු’ ඇමෙරිකන් කියා විකුණන වැඩවසම් චින්තනය ඇති අය ලංකාවේ සිටීමත් ඇමෙරිකන් වරදක් වී ද? තතු පැහැදිලිව පෙන්වා දෙන අද දිනයේ ද තමන් දන්නවා යැයි කියන පිරිසක් සිටිය දී 1970 ගණන් වල ජනතාව රැවැට්ටූ හැටි ගැන කුමන කතා ද?!!

1991 දී Frank Lloyd Wright ට “ඇමෙරිකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ගෘහ නිර්මාණ ශිල්පියා” යන නම්බු නාමය දෙන්නේ American Institute of Architects විසිනි.

අයින් රෑන්ඩ් 1943 දී ලියූ The Fountainhead නවකතාවේ ප්‍රධාන චරිතය Howard Roak ය. ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ඔහුගේ නිර්මාණ ශෛලියන් විස්තරයේ දී ඇය බෙහෙවින් Frank Lloyd Wright ගේ ගෘහ නිර්මාණයන් වලින් inspire වූ විස්තර ලියුවා යැයි කීම පොත කියවද්දී Frank Lloyd Wright නිවසක් හුරු පුරුදු මට එය සක් සුදක් සේ පැහැදිලි විය.

ශක්ථිස්තිය සහ ස්වභාවික සම්පත් ආරක්ෂාව සැලකිල්ලට ගෙන නිවාස සංකීර්ණ ඇමෙරිකාවේ ඉදි වීම Frank Lloyd Wright ට පසු නැවතුනේ නැත.

1975 දී Mike Corbett කැලිෆෝර්නියාවේ Village Homes ඉදි කරන්නේ අක්කර 70 ක ඉඩමක ය. නිවාස 225 ක් සහ තට්ටු ගෙවල් 20 කින් යුතු මෙහි එක නිවසක් සඳහා මුල් ආයෝජනය $800 ක් විය. නිවාස සංකීර්ණයේ වාසය කරන්නන්ට ගෙවතු වගා සඳහා වෙනම වගා බිමක් ද ඇත. පළතුරු ගස් වර්ග 30 ගණනක් මුල් ගෙය හදද්දීම පැළ කරන ලද නිසා අද දිනයේ හැම මාසයකම ඔවුනට කන්නට පළතුරක් ඇත. අහසින් වැටෙන එක වතුර බිංදුවක් වත් අපතේ නොයවනු යන්නේ අගය වටහා ගත් ඔව්හු swales ක්‍රමයෙන් ස්වභාවික වතුර බැසීමට පොකුණු හා ඇල මාර්ග හදා ගත්හ. එයින් පස් සෝදාගෙන වැසි වතුර නල මාර්ගයෙන් වෙනතක ගලා යාම නවත්වා ගත්හ.

අද අප ඉන්නා පෙදෙසේ ද මෙම swales ක්‍රමය භාවිතා වෙයි. වැහි වතුර එහි එකතු වෙන නිසා ගෙවත්තේ ඇති තණකොල වලට පොකුණෙන් වතුර ලබා ගත හැකිය. පොකුණු ජලාශ්‍රිත ප්‍රාණීන්ට අභය භූමියකි.

පළාතේ ගෙවතු කටයුතු සඳහා බඩු විකුණන කඩයක් තම හිස් භූමියක් කැමති අයට වගා කරන්නට නොමිලේ ඉඩ දී ඇත. ගිම්හානයේ දී එහි ගොස් තමන්ට කැමති භෝගයක් වගා කරන පාත්තියක් දමත හැකිය. ඉතිරි භෝග ආහාර බැංකුවට පරිත්‍යාග කරන්නටත් පුළුවන.

කැලිෆෝර්නියාවේ Sunnyvale හි ඇති ලොක්හීඩ් බිල්ඩින් 157 සූර්යාලෝකයෙන් වැඩියෙන් වැඩ ගන්නට අළුත්වැඩියා කළහ. වෙනදා වැයට වඩා ¾ ක් ඉන්ධන අඩුවෙන් ද, රැකියාවට නොපැමිණීම 15% කින් අඩු වී, ශ්‍රමික උත්සාහය 15% කින් වැඩි වුනු බව දත්ත පෙන්වීය. ඔවුන් බලාපොරොත්තු වූයේ වසර 4 කින් ප්‍රතිඵල ලබන්නට ය. නමුත් වසරකින් ප්‍රතිඵල ලැබුණි.

ප්‍රතිඵල ලාභ දායක නම් ලාභ සොයන ධනවාදීන් ලෝකයේ කොහෙන් හරි සොයා ගන්නා ක්‍රමවේදයන් තමන්ට අනුචිත කරගැනීම කල් දමන්නේ නැත. Verifone, Boeing, Wal-Mart වැනි දැවැන්ත සමාගම් සේ ම විශ්ව විද්‍යාලයන් ද ලාභ සොයන පරමාර්ථයෙන් වැඩ කරන නිසාම, ලාභ සොයන්නට හැකි පරිසර හිතවාදී ක්‍රම අනුගත කර ගනිති.

අද ඇති අවදානම ජයගත හැකි උපාය මාර්ගයට පමණක් නොව ජීවිතය බේරා ගන්නා අනාගත ජය අත්පත් කර ගැනීම ගැන ද ලාභ සොයන ඒකීය පුද්ගලයෝ සැලසුම් ගහති.

ලෝකය විනාශයට පත් කිරීමෙන් ලාභ සොයන්නට බැරි ය. ලෝකය ආරක්ෂා කර ගැනීමෙන් ම පමණක් ලාභ සොයත හැකි නිසා ලාභ සොයන ධනවාදීයාම ඊට හැමදාම කැපවිය යුතුම වේ.

2008 දී මම කැළණිය හා කොළඹ විශ්ව විද්‍යාලයන්හි දේශන දෙකක් පැවැත්වීමි. කැළණියේ දී ‘ස්තූති කතාව’ කළේ මගෙ ගුරු ජීවිතයේ ප්‍රථම විශ්ව විද්‍යාල සිසුවා ය. ඔහු අද එහි ආචාර්යවරයෙකි. ‘ස්තූති කතාව’ කරද්දී ඔහු ‘ඇමෙරිකාවේ ඉන්න අරුණි අද මෙහෙ පාන් ගෙඩියක් කීය ද දන්නෑ” යයි කියද්දී පැත්තක වාඩි වී සිටි මගෙ නංගියාට හිකිස් ගා පැන්න හිනාව තද කරගන්නට නොහැකි විය. මන්ද එදින උදෑසන අම්මාට පාන් ගෙඩියකුත් නංගිටයි මටයි උණු උණුවේ ආප්ප නාවින්න හංදියේ කඩයෙන් අරගෙන ආවේ මම නිසා ය. නොදන්නා දේ දන්නා සේ දේශනය නොකරන්න යැයි මම මගේ ප්‍රථම සිසුවාට කියා දෙන්නට අමතක කර තිබුණි. එය මගේ ම වැරැද්දයි.

පසුව පැවති කොළඹ විශ්ව විද්‍යාල දේශනයේ දී ප්‍රශ්න උත්තර වලට ඉඩ දුන්නාට ‘ස්තූති කතාවකට’ ඉඩ තිබ්බේ නැත!!

ධනවාදය හදාරන ඔබ කවුරුත් කී පළියට, මම කිව්වත්, විශ්වාස නොකරන්න. තමන් විසින් තතු විමසන්න.

අද ධනවාදයේ පාඩම: ඇමෙරිකාවෙන් යැයි කියා විකුණන ඒවා ඇමෙරිකාවෙන් දැයි තමන් විසින් සොයා බලන්න. ඇමෙරිකානුවා ලෝකය පීරා අරගෙන එන්නේ ජීවය රකින වටිනා දෑ ය. හොටු නොවේ. ඔබත් ඇමෙරිකාවේ හොටු නොගන්න. ඇමෙරිකාවේ වටිනා දෑ මොනවා දැයි විමසා බලන්න.

ක්ලීන් සූට් ඇන්ඳාම සිත පිරිසිදු වේ ද?!!

Posted in Uncategorized by arunishapiro on ජූනි 9, 2011

මිනිස් ස්වභාවය අමතක කර මිනිසා වෙනුවෙන් සැලසුම් ගහනා ලෝක ස්වභාවය නිස්සාර වූවක් යයි කළින් කියා ඇත්තෙමි. එය ඔප්පු කර ඇත්තේ ඉතිහාසයයි. සැලසුම් ගහන්නන්ට එය අමතක වෙද්දී මතක් කර දිය යුත්තකි. නමුත් එසේ පෙන්වා දීමට ඉහත ‘සංකල්පය’ නුහුරු සමාජයක දුෂ්කර ය. පුද්ගල අයිතීන් උදුරා ගත නොහැකි අයිතීන් සේ ස්ථාපිතයෙන් බිහි වූ රටක එය පහසුය. ඉතිහාසයේ පටන් යම් යම් අවස්ථාවල දී පාලකයෝ සහ සැලසුම් ගහන්නෝ ඵල රහිත සැලසුම් ගැසූ කළ, ඉන් ගැල වී යළි පුද්ගල අයිතිය රකින, මිනිස් ස්වභාවය දකින, ප්‍රතිපත්ති වලට එන්නට ඇමෙරිකානුවන් සමත් වූහ.

ආධාර පිණිස මුදල් එකතු කර ඇති අය දන්නා සත්‍යයක් නම් “මචං කීයක් හරි දාපන්” කිව්වාම “මචං රුපියල් පනහක් දාපන්” කියනවාට වඩා වාසි සහිත බව ය.

“රුපියල් පනහක් දාන්න නෑනේ මචං” කීම පහසුය. මන්ද ඇත්තෙන්ම සාක්කුවේ රුපියල් පනහක් නැති අවස්ථා වැඩි නිසා ය. නමුත් කීයක් හරි දාපන් කියද්දී කීයක් හරි නොදා ඉන්න හැකියාව අඩු ය. එසේම මුදල් එකතු කරන අය දන්නා සත්‍යය නම් එවිට සමහර පිරිසකගෙන් රුපියල් පනහකට වඩා වැඩි මුදලක් නිශ්චිතවම ලැබෙන බවයි.

නමුත් සැලසුම් ගහන්නෝ මිනිස් ස්වභාවය එසේ වන්නේ යැයි අමතක කරති. තමන් විසින් සාධක සොයා බලා (කළින් සටහනක කිව්වා මෙන් සියළු සාධක සොයා බැලීමට නොහැකි බව නොදැක ඉන්නට ඇස් පියාගෙන) තමන් විසින් තීරණය කරන ගණන අය කරගන්නට ඔවුන් සැලසුම් හදති. ඒ සැලසුම් ක්‍රියාත්මක කරති. ඒවා ඵල රහිත වූ විට ඒ සැලසුම් වල ඇති අඩුපාඩු නිසා නොවේ යයි සිතති.

ඇමෙරිකන් සැලසුම් ගහන්නෝ විසින් Keeping the Internet Devoid of Sexual Predators Act 2008 දී අනුමත කරගත්තකි!! එයින් ඔවුන් අපේක්ෂා කරන්නේ ලිංගික අපචාරයේ යෙදී දඬුවම් විඳි අයෙක් සිය කැමැත්තෙන් ම අන්තර්ජාලයේ සහ ලිංගික අපරාධ මර්ධන සංවිධානවල ලියා පදිංචි වීමයි!!

බලහත්කාරයෙන් යමක් ස්ථාපිතයට යද්දී සත්‍යග්‍රහ කිරීම ද මිනිස් ස්වභාවයයි. මෙය පොඩි දරුවෙක් බලා කියා ගත් ඕනෑම අයෙක් අත්දැක ඇත්තකි!! වටහා ගත් පසු කැමැත්තෙන් කරන දෑ සඳහා කුඩා දරුවන්ව බලහත්කාරයෙන් අවනත කරගන්නට ගියොත් අවනත නොවී, නොකර ඉන්නටම ක්‍රම හා විධි ඔවුන් සොයා ගනිති.

ලිංගික අපචාරයේ යෙදෙන අය කුඩා දරුවෝ කියනවා නොවේ. දරුවන් ලවා ඔවුන් අකමැති වැඩ ගන්නට ඉතා දුෂ්කර සේ, කැමැත්ත සාධකයක් වුව ද, ක්‍රියාත්මක කළ නොහැකි නීති වලින් ඵලක් නැත කීමයි. හිතන්නට නොහැකි අයට මෙම පනත නිසා තමන් ආරක්ෂිත යැයි වැරදි හැඟීමක් ලැබේ. එය පවත්වා ගෙන යන වැය මුදල් නාස්තියකි.

අවදානම් සත්ව පනත (Endangered Species Act) කළින් කියූ ‘නොසිතූ ප්‍රතිඵල’ ගෙන දුන්නක් විය. යම් අවදානම් සත්ව කොට්ඨාශයක් භූමියක් වාසස්ථානය කරගත් නිසා, එතැන අයෙක් පරම්පරා ගණනාවක් ජීවත් වී සිටිය ද, ඒ පුද්ගලයාට තම පදිංචිය නැති වූ පනතකි එය. තම වතුපිටි යම් අවදානම් සත්ව කොට්ඨාශයකට ප්‍රිය වූ වාස භූමියක් වේ යැයි බිය වූ දේපල හිමියෝ එවැනි සත්තු ප්‍රිය කරනා ගස් කොළන් කපා දමා එවැනි වතුපිටි තම භුක්තිය සඳහා තබාගන්නට යුහුසුළු වූහ. එපමණක් නොව අවදානම් වන්නට ඉඩක් ඇති සත්තුන්ට ද අවශ්‍ය වාතාවරණය ඉවත් කරන්නට උත්සාහ ගත් අය ද වූහ. මේ අයහපත් ප්‍රතිඵලය අත් විඳින්නට ලැබිච්ච සත්තු අතර cactus ferrugnious pygmy owl සහ red cockaded woodpecker උදාහරණ වෙයි.

සුබ සාධනයෙන් ජීවත් වන දුප්පතාට පරිසරය රැකගන්නට නීති දැමීම ඵලක් නැත. සාගතයෙන් පෙළෙන අයෙකුට පරිසරය ගැන හිතන්නට සිහියක් නැත්තේ ය. එහෙයින් පරිසරය රැකීමේ වගකීම ද පැවරෙන්නේ ධනවතුන්ට ම ය.

රාත්‍රිය පුරා මගේ නිවස අසල ‘හූම් … හූම් …’ කියනා බස්සෙකි. මා වාසය කරන්නේ වන ජීවි පැවැත්ම සඳහා වෙන් කරන ලද විශාල ඉඩක් සහිත පරිසරයක ය. සංචාරක පෙදෙසක භූමිය ඉතා ඉහළ මිලක පැවතුනත්, ඒ කැලෑව අපි කැමැත්තෙන්ම ගෙවන බදු සහ පුද්ගලික පරිත්‍යාග මුදල් වලින් රැකෙන්නකි. අපි ජීවත් වන්නට මෙතැන තෝරා ගත් නිසා ඒ ආරක්ෂිත ප්‍රදේශය රැක ගන්නට, වාසය කරන සත්තු රැකගන්නට අපි කැමැත්තෙන් බදු සහ පරිත්‍යාග මුදල් ගෙවමු.

මධ්‍යගත සැලසුම්ක් ගහන්නට නොගොස් පුද්ගල කැමැත්තට ඉඩ දුන් අවස්ථා වල දී පැහැදිලිවම පෙනී යන්නේ මිනිසා ස්වභාවයෙන් මානව හිතවාදී මෙන්ම තම සෙසු ප්‍රාණීන් හිතවාදී ද වන බවයි.

Laurie Marker අප්‍රිකානු චීටා (කපටි අය නෙවෙයි, කකුල් හතරේ සතා!!) වෙනුවෙන් වසර 37 ක සිට මහත් සේවයක් කරන්නියකි. පැයට හැතැප්ම 70 ක වේගයෙන් දුවන චීටා කටු පඳුරු නිසා ඇස් අන්ධ කර ගන්නේ ය. එය සත්ව ලෝකයේ ස්වභාවයයි. මෙය දකින ඇය කටු පඳුරු කපන මැෂින් යොදා පඳුරු කපා එයින් ඉන්ධන කුට්ටි හදන්නට සැලස්මක් දියත් කරන්නී ය. මේවා eco block නමින් දකුණු අප්‍රිකානු හා යුරෝපයේ රටවල් වලට විකුණා ඇය තව තවත් අප්‍රිකානු චීටා වෙනුවෙන් සේවය කරන්නීය. ඇයගේ Cheetah Conservative Fund එක්සත් ජාතීන් විසින් හෝ සැලසුම් ගහන රටක් විසින් පටන් ගත්තක් නොවේ. එසේම ප්‍රතිඵල සාර්ථක වූ වෑයමකි. අද අන්ධ නොවුන චීටාවරුන්ට!! මෙන්ම දිවියන්ට ද ඒ පෙදෙස් අභය භූමි වී ඇත.

සමනලයන් හා bumble bee සඳහා වෙනම වැවුණු මල් පාත්ති කැපිටලිස්ට් ඌරෝ ජීවත්වන පරිසරයේ ඇත්තේ ය. ඒවායෙහි ඇත්තේ උන් ප්‍රිය කරන මල් වර්ග ය. කැපිටලිස්ට් ඌරන් නොව සමනලයන් හා bumble bee කැමැති මල්!!

මදුරුවන් සිය ආහාරයේ සුළු කොටසක් කරගන්නා දම්පාට මාටින් කුරුල්ලන්ට තම නිවාස අසල වාසස්ථානය පිණිස කැපිටලිස්ට් ඌරන් කුරුළු ගෙවල් හදා දෙති.

එසේම, දම්පාට මාටින් කුරුල්ලන් මදුරුවන් සියල්ල අනුභව නොකරන නිසා!! ලෝක මැලේරියා මර්ධනය සඳහා ගැහැණු මදුරුවන් මරන ලේසර් විජට්ටුව නිර්මාණය කරන්නේ ලොව හැමෝම දන්නා කැපිටලිස්ට් ඌරා වන බිල් ගේට්ස් ආයෝජනයෙන් ය. පිරිමි මදුරුවන්ට වඩා ගැහැණු මදුරුවා බර වැඩි ය. ඒ නිසා ඇය තටු ගහන frequency නිශ්චය කර (පිරිමි මදුරුවාට වඩා සෙමෙන් තටු ගහන) ඇයව නසා දමයි.

ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ හා කැලිෆෝර්නියා ඩේවිස් විශ්ව විද්‍යාලයේ මදුරු මර්ධනයට ජානුමය විසඳුමක් ද විමර්ශනය වෙයි.

අනාගත ලංකාවේ මැලේරියා පමණක් නොව ඩෙංගු, චිකන්ගුන්යා යනාදියත් මර්ධනය කරගන්නට ඒකීය පුද්ගලයන්ටම හැකියාව ලැබේවි ද?

ඉන්ධන හිඟයි කියා ලෝකයා කෑ ගහද්දී ඉන්ධන තැන්පතු වලින් ජීවත් නොවී current income ඉන්ධන වලින් වැඩ ගන්නට නොහොත් සූර්යාලෝකයෙන් වැඩි ප්‍රයෝජන ගන්නට ද ආයෝජන හැකියාව ඇත්තේ ධනවාදීන්ට ම ය. සෙසු ලෝකයා කෑ ගහමින් සිටිය දී ධනවාදීන් ඔවුන් සඳහා ද පරිසරය බේරා ගන්නට වැඩ කරති. බිය නොවන්න, ඉඳහිටක තම ආණ්ඩුව හදා ගන්නට දෙවුර හැකිළුවත්, ඔබ කරපින්නාගෙන ධනවාදී ඇට්ලස් යෝධයා තවමත් ඉදිරියට ම යන්නේ ය.

බිල් ගේට්ස් ඇතුළු තිදෙනෙක් ප්‍රමුඛ පුද්ගලික කොම්පැණිය Intellectual Ventures නම් වෙයි.

ඔව්, ඔවුනට ගෝලීය උණුසම අඩු කරගන්න විජට්ටුවක් ද ඇත!! එය garden hose to the sky නම් සුරතල් නාමයෙන් ඔවුන් කියද්දී එහි විද්‍යාත්මක නම startospheric shield for climate stabilization වෙයි.

සැලසුම් ගහන්නෝ වියදම් කරන්නේ අනුන්ගේ මුදල් නිසා, වැය කරන්නේ අනුන්ගේ කාලය නිසා, ඔවුනට මුදල් වැය හා කාලය වැය ගැන එතරම් කැක්කුමක් නැත. නමුත්, පුද්ගලික වෑයමක දී ආයෝජනයත් කාලයත් ඉතා වැදගති.

IV කොම්පැණිය තමනට වසර 3 ක දී අහස් කුසට යවන පයිප්පය වැඩ කරවන්නට හැකි යයි කියති. එය හදන්නට යන මුදල මිලියන $150 ක් ද වසරක operating වැය මිලියන $100 ක් යැයි ද කියති. එනම් මිලියන $250 කින් ගෝලීය උණුසුම ආපස්සට ගෙන යා හැකිය.

සංසන්දනය කර බලන්න: ගෝලීය උණුසුම සඳහා වෙහෙසෙන Grantham Research Institute on Climate Change and the Environment හි සභාපති බැරන් Nicholas Stern ඊට වැය කරන්නට අවශ්‍ය යැයි කියන වාර්ෂික ට්‍රිලියන $1.2 සමඟ.(Nicholas Stern, Towards a Global Deal on Climate Change, UNECOSOC, June 30, 2008) ගෝලීය උණුසුම ගැන මහජනයා දැනුවත් කරන්නට සෙසු ලෝක සංවිධාන වැය කරන මුදල් සමඟ.

බිල් ගේට්ස් ගහන්නේ ඒකීය පුද්ගලයා තම කැමැත්තෙන් ගහන සැලසුම් ය. ඔහු නිපදවන මදුරු නාශක විජට්ටුව මිල දී ගන්නට මිනිසුන් microsoft විජට්ටු ගන්නට එනවා සේ එයි ද?!! නැත්නම් ඔහු අප්‍රිකාවට සහ ඉන්දියාවට ඒවා නොමි‍ලේ බෙදා දෙයි ද? තණ්හාධික ධනකුවේරයා මේ විජට්ටුව නිර්මාණයට ආයෝජනය කරන ලද්දේ මදුරුවන් නිසා ලෝකයේ වාර්ෂිකව මිය යන 881,000 ක් ජනයා සහ මැලේරියා වැළ‍ඳෙන මිලියන 247 ක් බේරා ගන්නට බව දකින්නේ කවුද? ඔහුට ඇමෙරිකාවේ අයට පමණක් විකුණන microsoft විජැට්ටු වලින් ධනය තව තවත් එක්කාසු කිරීම ඊට වඩා පහසු බව නොදකින්නේ කවුද?

ධනවාදය කියැවීමෙන් ධනවත් වන්නට හැකි යයි ද කීවෙමි. ලෝකයට ඇති උවදුරු ගැන ප්‍රචාරය කිරීමෙන් පමණක් ඵලක් ඇත් ද? නැත්නම් ඒ උවදුරු මඟ හරවා ගෙන, මිනිසාගේ පැවැත්ම සහ ලෝකයේ පැවැත්ම ආරක්ෂා කරගත හැකි ඒකීය උත්සාහයෙන් ඵලක් ඇත් ද? ධනවත් වනුයේ දෙවන උත්සාහයේ යෙදෙන්නා ය. පළමුවැන්නේ යෙදෙන්නා ඉදිරි අනාගත‍යක දී ලොව මෙතෙක් කාලයක් බිත්තර කඩමින් සිටි කෙනෙක් හා සමාන ‍වනු ඇත.

ධනවත් වෙන්න නම් තැන්පතු තිබිය දී, ණය නොගෙන, හැම විටම current income වලින් ජීවත් වන්නට වෙර දැරිය යුතුය.

එසේම ධනවත් වෙන්නට අවශ්‍ය අයෙකු මෙය ද මතකයේ තබාගත යුතුයි. ඉහළින් පත්කරන ලද අයෙකු බලය/වගකීම ගන්නා (සියළු සාධක සොයා බැලීමට නොහැකි නිසා) මහා පරිමාණ මධ්‍යගත සැලසුමකට වඩා ව්‍යාපාරයේ බලය/වගකීම ඒ ඒ අංශවල ඒකීය පුද්ගලයන් අතර බෙදී යන ලෙසින් සකස් කරන ව්‍යුහයක ලාභ වැඩි ය.

අහන්නට පෙර: ටෙනසි විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආචාර ධර්ම (Business Ethics) පාඨමාලාවක් මා විසින් සකසන ලද විෂයමාලා වැඩසටහනකින්, මා විසින් තනියම තීරණය කරන ලද ලකුණු ක්‍රමයක් අනුව අධ්‍යාපනික වසර දෙකක් උගන්වා ඇත්තෙමි. එහි ඉගෙන ගත් MBA සිසුකැල අතර මා ජනප්‍රිය ගුරුවරියක් වූයෙමි; ඔවුන් සමඟ නිතර බියර් බොන්නට (හෙට දෙන බියර් වලට නොව) මට ආරාධනය කළහ!! මා එතැනින් අස්වූයේ දියණියගේ අධ්‍යාපනය මගේ වගකීම කරගන්නට මිසක් ඒ තනතුරෙන් පහ කරන ලද නිසා නොවේ!!

ක්ලීන් සූට් ඇන්ඳාම සිත පිරිසිදු වේ ද?!!

ඩර්ටි මාටිනි බිව්වාම සිත කිළිටි වේ ද?!!

පළමුවෙන් ජයගන්නා අයට පළමු අයිතිය

Posted in Uncategorized by arunishapiro on ජූනි 8, 2011

ඕනෑම ස්වභාවික සම්පතකට මිනිස් බුද්ධිය හා ශ්‍රමය යොදවා ඇත්නම් එහි පළමු අයිතිය ඒවා යොදවන ලද පුද්ගලයාට ය.

රේඩියෝ නාලිකාවක් ප්‍රචාරය කර හරින frequency නැත්නම් තරංග (waves) ස්වභාව ධර්මයේ පවතින්නකි. නමුත් මිනිස් බුද්ධිය හා ශ්‍රමය යෙදවීමක් නැතිකල එය හුදු ශක්‍යතාවයක් හා තරංග ගමනයට දියුණු කළ හැකි අවකාශයක් පමණි.

දුම්රිය දෙකකට එකම පීලි කොටසක, එකම අවස්ථාවක, ගමන් කරන්නට නොහැකි සේ, ප්‍රචාරකයෝ දෙදෙනෙකුට එකම තරංගයක්, එකම අවස්ථාවක දී, එකම පළාතක, එකිනෙකාව jamm (කන ජෑම්/නටන ජෑම් නොවේ!!) නොකර පාවිච්චියට නොහැකි ය.

වේදිකාවක ඉන්නා ගායකයෙක් තම සිංදුව ගයා මුදල් උපයා ගනියි. රේඩියෝ තරංග ප්‍රචාරය ඊට වඩා සූක්ෂම වූ වෑයමකින්, වැඩි පිරිසකට අහන්නට දැයක් බෙදා හැර මුදල් උපයාගන්නා ක්‍රමයකි. ගායකයාගේ කට හා උගුර ඔහුගේ පුද්ගල අයිතියයි. නමුත් ඔහුගේ හඬ පැතිර යන අවකාශය? එය මහජන දේපල ය!! ඒ නිසා, ආණ්ඩුවේ ලැයිසන් එකක් නැතිව ඔහුට මහජන වේදිකාවක සිංදුවක් ගයා මුදල් උපයා ගත නොහැකිය. මෙම තර්කයම රේඩියෝ නාලිකාවට ද අනුගත කරගත්තකි.

වේදිකාවක් යම් තැනක ඉදි කරද්දී එයින් එම ස්ථානය තවත් කෙනෙකුට අහිමි වේ. නාලිකාවක් ප්‍රචාරයට තරංග සීමා වෙද්දී ඒ තැන තවකෙකුට අහිමි වේ. ඒ නිසා සීමිත වූ ස්වභාවික සම්පත් නිසා එකිනෙකා හා සබඳතා පවත්වද්දී තමන්ට සීමිත වූ ප්‍රමාණයක් ලබාගන්නට සමහර පුද්ගලයන් එකඟ වූහ. අනිත් අය ලොව සම්පත් සීමිත නැතැයි යන උපකල්පනයෙන් විකල්ප සොයා ගියහ.

අමුද්‍රව්‍යයක් හෝ අගයක් අසීමිත ලෙසින් ඇති කිසිවක් ලොව නැත. නමුත් අමුද්‍රව්‍යයන් හා අගයන් පාවිච්චියට ගන්නා, බෙදා ගන්නා ආකාරයන් ගැන හැමදා අළුත් ක්‍රම සහ විධි සොයාගන්නට අසීමිත ඥානයක් මිනිසාට ඇත.

රේඩියෝ නාලිකා තරංග හිඟයෙන් පැත්තකට නොවී අද අන්තර්ජාලයෙන් ඕනෑ තරම් තම හඬ බෙදා හරින්නට ආකාර විකල්ප සොයන හිතන්නට පුළුවන් මිනිසාට හම්බ වී ඇත.

යම් ‘පහසුකමක්’ පාවිච්චියට ඇති ‘බලාපොරොත්තුව’ නිසා පමණින් ඊට අයිතියක් ලැබෙනවා යන්න හැමටම අයිතිය ප්‍රදානය වන ක්‍රමවේදය නම් ලොව සම්පත් ඊට ප්‍රමාණවත් නැත. හැමදා විප්ලව කරමින් එකිනෙකා මරාගත හැකිය.

ආණ්ඩුවක කාර්ය භාරය වන්නේ ඒකීය පුද්ගල අයිතීන් රැකීමයි. එසේ පුද්ගල අයිතීන් රැකීමට නම් ඒවා මොනවා ද, ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, අයිතීන් කඩන අයට දඬුවම් කරන්නේ කෙසේ ද යන්න මහජනතාව දැනුවත් කිරීම ආණ්ඩුවේ කාර්ය භාරය වෙයි.

ආණ්ඩුවක් පුද්ගල අයිතීන් එකින් එක මොනවා දැයි තීරණය නොකරයි. පුද්ගල අයිතීන් මේ මේ විය යුතු යැයි නිර්මාණය නොකරයි. අළුත් පනතකින් කප්පාදු නොකරයි. කිසිවකුටත් ප්‍රදානය නොකරයි. මන්ද පුද්ගල අයිතිය පුද්ගලයාට ප්‍රාණය සමඟ ලැබුණක් නිසා ය. ආණ්ඩුවේ කාර්ය භාරය පුද්ගල අයිතීන් නිර්වචනය කර, ස්ථාපිත කිරීම පමණි.

පළමුවෙන් සොයාගත් අයට (රේඩියෝ තරංග ‍දුවන නාලිකාව පටන් ගත් මුල් පුද්ගලයාට) ඒ අයිතිය ලැබේ. අනතුරුව නාලිකාව විකුණන්නට, උරුමයෙන් පවරන්නට, තෑගි කරන්නට හැකිය. පුද්ගල අයිතීන් නැති රටක එය රාජසන්තක ද වෙයි. නිපදවන ලද්දකට අගැයුමක් දීමේ දී සැලකිල්ලට ගන්නා කරුණු වනුයේ එය පළමුවෙන් සොයාගත් අය එහි වර්ධනයට කොතරම් වෙහෙසක් යෙදුවා ද, ගායකයා සිය හැකියාව වර්ධනයට කොතරම් කාලයක් කැප කළා ද නොව නිදහස් වෙළඳපොලේ එයට කොතරම් කැමැත්තක් ඇත් ද? යන්නයි. කොතරම් මුදලක් හා වෙහෙසක් යෙදුවත් එය කිසිවෙකුට ප්‍රිය නැත්නම් එහි අගයක් ඇත්තේ නිර්මාණය කළ අයට පමණි.

විකිණීමේ දී මිල තීරණයක් බාහිර අයෙක් විසින් ස්ථාපිත නොකළා නම් එය වෙළඳපොලේ මිල දී ගන්නා හා විකුණන අයගේ කැමැත්ත අනුව තීරණය වූවකි. උරුමයෙන් ලැබූවක් ද, තෑගි දුන්නක් ද, ලැබිච්ච අයට දක්ෂතාවයක් නැත්නම් කාබාසිනියා වී යන්නේ ය. එය එවිට දක්ෂතාවය ඇත්තාට අඩු මුදලකට මිල දී ගත හැකිය.

යම් ගායකයෙකු කොතරම් මිහිරි හඬින් ගෙදරට වී සිංදු කියා ප්‍රීතියෙන් සිටිනවා ද? එහෙම ප්‍රීතියෙන් සිටින දක්ෂයෝ ලොව ඇත. තවත් ගායකයෙක් වඩාත් ප්‍රීති වන්නේ තම සිංදු වේදිකාවක සිට මහත් සෙනඟක් හා බෙදා ගැනීමේ දී ද?

හැකියාවක්, කුසලතාවයක්, දස්කමක් ඇත්තා හැම විටම කැමැත්තේ මුදල් හම්බ කිරීමට පමණක් යැයි සිතන පටු චින්තනයෙන් මඳක් බැහැර වන්න. අව්‍යාජ ගායකයෙක් කැමති තම ගායනය අගය කරන්නෝ වැඩිවෙන තරමට ය, නැත්නම් ගායන හැකියාව වර්ධනය කර ඉන් තනිවම ප්‍රීතියක් ලැබීමට ය. අගයන තරමට වැඩි වැඩියෙන් තම සිංදු අහන්නට පිරිසක් එනවා නම් සහ ඉන් තමනට මුදල් ලැබීම එහි අතුරු ප්‍රතිඵල ය.

මෙය වටහා නොගත් මුදල් හම්බ කරන පටු චින්තනයෙන් බිහි වූ වැඩවසම් ගායකයෝ වඩාත් කාලයක් ඉහළ තලයක රැඳි ගායකයෝ නොවූහ. එසේම තමන් දියුණු නොකරන ලද රේඩියෝ නාලිකා අවසර පත් ලද්දෝ ද වැඩි කාලයක් ඉහළ තලයක රැඳී සිටියෝ නොවූහ. එය පැහැදිලිව දැකිය නොහැක්කේ ජනතා ප්‍රසාදයට තැනක් නැති (වෙළඳපොල නොව) වෙනත් බාහිර වූ සංවිධාන වලින් අයිතීන් කප්පාදු වෙන සමාජයක ය.

නිතරම තමන් අප්‍රසාදය දක්වන තැනින් ඉවත්වීම නිසා වෙළඳපොල ක්‍රමය නොහොත් ජනතා කැමැත්ත අනුව සමාජය හැඩ ගස්වා ගන්නට හැකිය. අද දිනයේ පාඩුවක් වනවාට ඇති අකැමත්ත නිසා අනුන් කරන වැරදි තමන් ද කිරීමෙන් තමන්ටත් අනුන්ටත් කිසි දිනෙක දියුණුවක් නැති බව මිනිසා දනියි. අල්ලස් දී මිසක කිසිවක් කරගනු නොහැකියි හිතන සමාජයක් කිසිදා අල්ලස් වලින් ගැලවෙන්නේ නැත. අල්ලස් නොදී ඒකීය පුද්ගල පාඩු විඳින්නට සූදානම් වූ අය ඉන්නවා නම් පමණක් එවැනි සමාජයක් අල්ලස් වලින් ගැලවෙනු ඇත.

මැරවරයන්ට අල්ලස් දී ඔවුන් මැරවරයින් සේ ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්නේ තමන් විසින් බව නොදැක අල්ලස් නොදී කිසි වැඩක් කරගන්න බැහැයි කියමින් සිටීම ඵල රහිත ය. ආණ්ඩුවට තව තවත් නීති ගෙනෙන්නට යැයි කීම ඵල රහිත ය.

චෙස් ඇද්දත්, පුද්ගලික ව්‍යාපාරයක නිරත වුවත්, යුද්ධයට යද්දීත් භාවිතා කරන ක්‍රම දෙකකි. එකක්, ඉදිරියේ ඇති අවදානම ජයගත හැකි උපාය (tactical) මාර්ගයයි. අනික අනාගතයේ දී ලබන ජය ගැන වූ (strategic) සැලසුමයි. දෙකම ගැන සිතන්නාට කළින් ම knight බිල්ලට දී පසුව චෙස් ජය දිනත හැකිය. පාඩු විඳින්නට අකමැත්තා හොයන්නේ ඉදිරියේ ඇති අවදානමෙන් ගැලවෙන්නට ක්‍රමයක් පමණි. අනාගත ජය ගැන නොසොයයි. ඉදිරියේ ඇති අවදානම් පමණක් සලකා බලා දිනූ යුද්ධයක් ලොව නැත. අනාගතයේ දී ලබාගත යුතු ජය ගැන සැලසුමක් ඇත්නම් පමණක් යුද්ධයක් ජය ගනී. ව්‍යාපාරය දියුණු කර ධනවත් වෙයි. ජීවිත බේරාගත හැකියි.

සර් වින්සන්ට් චර්චිල් කිව්වාට සාමාන්‍ය සමාජයේ මිනිසා අන්ධ නැත. ඔහුට තෝරා ගැනීමක් නැතැයි කියා අන්ධ කර ඇත්තේ බලලෝභීන් විසිනි. කාලාන්තරයක් තිස්සේ වෙනත් විකල්පයක් නොදැකීම නිසා ඇත්තේ වැඩවසම් ක්‍රමය පමණකැයි ලෝකයා සිතූහ. ඇමෙරිකාව විසින් ‘ජනතාව විසින් ජනතාව පාලනය’ පෙන්වන යුගය දක්වා ලෝකයා වෙනකක් නොදැක්කහ. ඇමෙරිකාව හැදුනේ වඩු කාර්මිකයන්, කම්මල්කරුවන් හා ‍වැවිලි වතුකරයන්හි වගා කරන්නට අතේ සතේ නැතිව ජීවිතය පටන් ගත් ජෝර්ජ් ‍වොෂිංටන් හා බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් වැන්නන් ගෙන් යැයි ලෝකයා නොදකිති. අද දිනයේ ද ධනකූවේරයන් වීමට අතේ සතේ නැතිව ‍භූමියට පය ගැහුවෙකුට ඉඩ ප්‍රස්ථාව ඇත්තේ ද විකල්ප දැකීමට හැකි නිසාම බව ලෝකයා නොදකිති.

යමක් තමනට ලැබිය යුතු යයි සිතීම පමණින්, ‘පහසුකම’ පාවිච්චියට ඇති ‘බලාපොරොත්තුව’ නිසා පමණින් කෙනෙකුට ඊට අයිතියක් ලැබිය යුතු යැයි සිතන්නා පටු චින්තනයේ හිර වී සිටින්නෙකි.

යමක් තමනට ලැබිය යුත්තේ ඇයි? කියා සිතිය යුතුය. එය අයිතියට තම කැපවීම, තම වෑයම, තම ඒකීය උත්සාහය කොතරම් වැය කළා ද? ගැන සිතිය යුතුය. එවැනි උත්සාහයක්, වෑයමක් හා කැපවීමක් කළ තවත් අයෙකුගේ ජයග්‍රහණය සැම විටම අගය කරන්නට නොහැකි නම් තමන් ද ‍කොතරම් උත්සාහයක්, වෑයමක් හා කැපවීමක් කරන්නේ ද කිසිවෙක් එය අගය ද නොකරන සමාජයක හැම දා හිර වී සිටිය හැකියි.

ආණ්ඩුවක කාර්ය භාරය නම් ඒකීය පුද්ගල වෑයම අගය කිරීම මිස සමාජයේ මේ මේ කණ්ඩායම් මේ මේ ලාභ ලැබීමට සුදුස්සෝ යැයි ද, මේ මේ වාසි සඳහා ප්‍රමුඛයෝ යැයි ද නීති පනත් නොගැසීමයි. මන්ද ලොව මෙතෙක් එසේ ගැසූ නීති පනත් වලින් තාම ඵලක් වී නැත. හැමදාම කුක්විල් වලට කැකිරි වොෂිංටනයට කිරි යයි කියමින් සිටිනු හැකිය. ගමටත් වොෂිංටනයටත් කිසිම විශේෂයක් නොකරන දාට කුක්විල්හි කැමැති අයට කිරි ද වොෂිංටන්හි කැකිරි කැමති අයට කැකිරි ද ලැබෙනු ඇත.

හැමටම අවස්ථාවක් සපයා පැත්තකට වීමෙන් නොහොත් ‘පළමුවෙන් ජය ගන්නා අයට පළමු අයිතිය’ දීමෙන් පමණයි හැමටම සාධාරණත්වයක් ඉටු වන්නේ. තමන් විසින් විකල්ප සොයන්නට යෑමෙන් තමනටත්, තම රටටත් දියුණුවක් අත්පත් කරගත හැකි යයි ද, තම තත්වය දියුණු කරගන්නට තමන්ට ඉඩක් ඇති යැයි ද, පුද්ගලයා වැටහීමක් ලබයි. එවැනි ඉඩකඩක් ඇති සමාජයේ දී, ඉතිහාසය ඔප්පු කරන්නේ පළමුවෙන් ජය ගත් අය අනතුරුව හැම විටම අනුන් හා තම ලාභ බෙදා ගත් බවයි.

ලතාවන් අවුල් කරන නිදහස

Posted in Uncategorized by arunishapiro on ජූනි 7, 2011

දේපල අයිතිය ආර්ථික නැඟීමක් උත්සුක කරයි. මන්ද, අයිතිය ඇත්තේ කාටදැයි සොයා ගන්නට බැරි කළ යමක් රකින්නට හෝ පවත්වා ගන්නට කිසිවකු වගකීමක් නොගැනීම මිනිස් ස්වභාවය නිසයි. දේපල අයිතියෙන් කියන්නේ කාට කුමක් කළ හැකිදැයි කියාය. එයින් ශ්‍රමිකයා ඵලදායී අයෙක් බවට පත් කරයි. නාස්තිය අධෛර්යමත් කරවයි.

කාලය හා මුදල් නාස්තිය ගැන තැකීමක් නොකරන්නේ අනුන්ගේ මුදල් වියදම් කරන අයයි. වරක් මා සිංහලෙන් කියැවූ බ්ලොග් සටහනක එවැනි අත්දැකීමක් විඳි අයෙක් සිය අත්දැකීමක් ලියා තිබුණි. ස්වයං රැකියාවක් කරන ඔහු හමුවකට යන්නේ තම ව්‍යාපාරයට යම් ව්‍යාපෘතියක් ලබා ගැනීම සඳහා ය. කතාබහේ දී ව්‍යාපෘතිය ඉන්දීය කොම්පැණියකට බාර දෙන්නට ඔවුන් කළින් ම තීරණය කර ලද බව හෙතෙම දැන ගනියි. එහෙම නම්, හමුවීමක් කැඳවන්නේ කුමන කරුණක් අරබයා ද? එවැනි වැඩ පිළිවෙත් පුද්ගලික අයිතිය ඇති තැනක කාලය හා මුදල් නාස්තියෙන් සිදු නොවේ.

ලතාවන් අවුල් කරන නිදහස (liberty upsets patterns) ගැන කියන්නේ රොබට් නෝසික් විසිනි. අනුන්ගේ ලාභ බෙදා ගන්නට අයිතියක් නැතැයි කියන සමාජයක (D1) ඒ ලතාව අවුල් කරන ආකාරය ඔහු විස්තර කරන්නේ බේස්බෝල් උදාහරණයකිනි. කියවන්නාගේ පහසුවට මම එයට සිංහල නම් දමා ක්‍රිකට් ක්‍රීඩාව කරගත්තෙමි.

රංග, නේරංග හා මිහිරංග ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩකයෝ වෙති. තමා දස්කම් දක්වනුයේ ඒ දස්කම් බලන්නට එන හැම අයෙක්ම සත විසිපහක් ඔහුගේ නමින් ගේට්ටුව අසල වූ පෙට්ටියකට දමනවා නම් පමණක් යැයි (D2) නේරංග කියා සිටියි. රංග සහ මිහිරංග දෙදෙනාට එවැනි පෙට්ටි නැත. නේරංග සඳහා ගේට්ටුව අසල තියන පෙට්ටියට දස්කම් බලන්නට එන අය සත විසිපහක් දමනවාට ඔවුන්ගේ අකමැත්තක් ද නැත.

දැන්, තරඟාවලිය අවසානයේ දී රංග හා මිහිරංගට නොලැබි නේරංගට පමණක් ලැබිච්ච මුදලක් ඇත. එනම් D1 ලතාව කැඩී ඇත. නේරංග අයිතිය කියන්නේ තමන් තනිවම දස්කම් පෑම නිසා නොව රංග හා මිහිරංග විසින් පෑ දස්කම් වලින් ද බෙදා ගන්නා ලාභයකට ය. ඉතින් D2 යුක්ති සහගත ද? නේරංගට එම මුදලට අයිතියක් තියනවා ද?

රොබට් නෝසික් පෙන්වා දෙන්නේ ඉහත ප්‍රශ්න දෙකටම උත්තරය ‘ඔව්’ යැයි කියා ය. අනුන්ගේ ලාභ බෙදා ගන්නට අයිතියක් නැතැයි කියන සම්මුතියට (D1) රංග, නේරංග සහ මිහිරංග එකඟ වූහ. එනම් ලාභයට සම අයිතියක් කියූහ. එසේම නේරංග තමන් විසින් පමණක් සත විසිපහක් අය කරගන්නට යද්දී (D2) අනිත් දෙදෙනා ඊට අකමැති නොවූහ. නේරංග දැක්වූ දස්කම් බලන්නට ආ අය ද සත විසිපහ පෙට්ටියට දා ඇත්තේ කැමැත්තෙන්ම ය. නේරංග සත විසිපහ එකතු කරනවාට අකමැති වූයෙක් වූවා නම් ඒ පුද්ගලයාට ක්‍රීඩා පිටියෙන් ඉවත් වී සිට ක්‍රියාවට අප්‍රසාදය පළ කළ හැකිය.

කිසිවකුට අසාධාරණයක් වී ඇතැයි කීමට නොහැක්කේ ඔවුන් හැමටම තෝරා ගැනීමකට ඉඩක් තිබූ නිසා ය.

මෙහි විරුද්ධ පැත්ත වන්නේ නිදහස විනාශ කරන ලතාවන් (patterns destroy liberty) ය. යම් සැලසුමක් මඟින් හැමට සාධාරණ ලෙස බෙදා දෙන්නට යන කළ පුද්ගල අයිතිය හා කැමැත්ත සලකා බැලීමක් සිදු නොවේ. යම් බෙදා දෙන ලතාවකින් ඒකීය පුද්ගලයාට හැකි තෝරා ගැනීමේ ඉඩ අවහිර වෙයි.

ඉතින් යම් අයෙක් සමාජවාදී හෝ ධනවාදී ප්‍රතිපත්ති කැමැත්තේ ද, ඒ අනුව ජීවත්වන්නට කැමැති අය පමණක් වෙතින් සෑදුණ සමාජයක ජීවත්වන්නේ ද ඔවුනට තම කැමැත්තට අයිතියක් ඇත. නමුත් ඒ සමාජයේ ඒ ප්‍රතිපත්ති වලට අකමැති අය වේ නම් ඔවුනට ඒ අනුව වාසය බලහත්කාරයෙන් ස්ථාපිත නොකරන්නටත් ඉඩකඩ තිබිය යුතුය. අව්‍යාජ සාධාරණත්වය එයයි.

ප්‍රධාන අයිතිය වූ තෝරා ගැනීමට නිදහස නීතියෙන් ස්ථාපිත නිසා ඒකීය අකමැත්තක් (සෞඛ්‍ය පනත වැනි) ඉදිරියේ දී ආණ්ඩු පෙරළන්නට නොයා මහජන මතයට ගරු කර ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ එහෙයිනි. මන්ද ජනමතය වෙනස් වූ දාට, සෞඛ්‍ය පනත බංකොළොත් වූ දාට, පනත විසුරුවන්නට බලයැති අයෙක්ව තෝරා ගන්නට ඒකීය පුද්ගලයනට අයිතිය ඇති හෙයිනි.

නීතිය, නිදහස හා පුද්ගලික අයිතිය සැලකිල්ලට නොගන්නා සමාජයන් ආණ්ඩු පෙරළන අරගල තුලින් ජීවිත විනාශයෙන් සැලසුම් ගහන්නේ හැමට සාධාරණත්වයක් දීමට ද?

නෝසික්ගේ උතෝපියාවේ දී රැඩිකල්වාදී වූ වෙනස් අදහස් දරණ අයට සාමයෙන් සිටින හැකියාව ලැබෙන්නේ සියල්ලටම තම කැමැත්තෙන් ඊට අවසරය හා ඉඩකඩ ලැබෙන සේ හැඩ ගැසී ඇත්නම් පමණි.

ඇමෙරිකාවේ බදු වැඩි ප්‍රාන්ත වලින් බදු අඩු ප්‍රාන්ත වලට ජනතාව සංක්‍රමණය වෙති. බූරුවා පක්ෂයට වැඩි චන්දය දෙන ප්‍රාන්ත වලට සමහරු ඇදී යන අතර අලියා පක්ෂයට වැඩි චන්දය දෙන්නෝ ඒ ප්‍රාන්තයට ඇදී යති. ප්‍රාන්තයෙන් නොමිලේ සෞඛ්‍ය පහසුකම් සුලබ වූ සමයක ටෙනසි ප්‍රාන්තයට ජනතාව ඇදී ගියහ. ටෙනසි ප්‍රාන්ත රජයට වැය දරා ගන්නට නොහැකිව ඒ සේවය නවතා දමන තෙක් සංක්‍රමණය අඩු වූයේ නැත. සුබ සාධන වැඩි නගරයන්ට සුබ සාධන වලින් ජීවත් වන්නට කැමති අය රොක් වෙති. ව්‍යාපාරිකයන්ට පහසුවෙන් බැංකු ගණුදෙනු හා ව්‍යාපාර ලියාපදිංචියට හැකි ප්‍රාන්තයක් වන ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ඇමෙරිකන් ව්‍යාපාර බොහොමයක පදිංචිය වෙයි.

ඇමෙරිකාවේ වාසය කරමින් ඇමෙරිකාවේ අගුණ කියන්නට Noam Chomsky ට අයිතිය ඇත්තා සේ මේ ඇමෙරිකන් ඇන්ටිට ඇමෙරිකාවේ ගුණ වයන්නට ද අයිතිය ඇත. ඔහුට ඒ අයිතිය නොදෙන්නේ නම් මට මගේ අයිතිය ද නැතිව යයි. හාත්පසින් වෙනස් මත දරනා අය සාමකාමීව ජීවත්වනුයේ එවැනි පුද්ගල අයිතියට ඉඩ ඇති සමාජයක පමණි.

ඕනෑම ස්වභාවික සම්පතකින් මිනිසාට අගයක් ලැබෙන්නට නම්, එය පරිහරණය අවශ්‍ය නම්, ඊට මිනිස් වෑයම සහ මිනිස් බුද්ධිය යෙදවිය යුතු ය. මිනිස් වෑයම හා මිනිස් බුද්ධිය යොදවා පරිහරණය කරන ස්වභාවික සම්පත ඒවා යොදවන පුද්ගලයන්ගේ පුද්ගලික දේපලයි.

පුද්ගලික දේපල අයිතිය නම් කාට කුමක් කරත හැකි දැයි කියන අයිතියකි. අයිතිය කාගේ දැයි නිශ්චිත නොවූ කළ කිසිවකුටත් එය දියුණු කරන්නට, පවත්වා ගන්නට හෝ ආරක්ෂා කරන්නට උවමනාවක් නැත. එවිට ප්‍රතිඵලය නොසැලකිල්ල, විනාශයට යෑම හා නාස්ති වීමයි.

පසුගිය සති අන්තයක දී අත්ලාන්තික් මුහුදු රැල්ලේ surf කරන දියණිය සමඟ මුහුද බෙදාගත් පිරිසක් වූහ. Surf කරන්නන් අතර ඒකමතික එකඟතාවයෙන් ස්වභාවික සම්පත වූ මුහුදු රැල්ල ගැන ගසා ගත් සම්මුතියකි. එනම්, රැල්ලේ කැඩෙන ඉහළ ස්ථානය පළමුවෙන් අල්ලා ගන්නේ කවුද, ඒ පුද්ගලයාට රැල්ලේ අයිතිය ලැබෙයි.

අනිත් අය ඒ රැල්ල බදා ගන්නට නොයති. රැල්ලේ යන්නාට ඉඩ පාදා අයින් වෙති. පළමුවෙන් රැල්ලේ කැඩෙන ඉහළ තැන අල්ලා ගත් අය ඇද වැටුනොත් ඊ ළඟට එන්නාට තැන අයිති වෙයි.

ඇද වැටෙන්නාට ‘උත්සාහය විශිෂ්ඨයි’ කියති. රැල්ල ජයගත්තේ ද ‘සුපිරි රැඟුමක්’ යයි සුබ පතති.

ඒ පුද්ගල අයිතිය පිළිගත් ධනවාදී සමාජයක හැදියාවයි. එයම surf සංස්කෘතියයි.

රැල්ල කාටවත් අයිති නැත. මුහුදු රැල්ල ඇවිත් පෙන ගසා බිඳී නැවත ආපහු යයි. එන මුහුදු රැල්ලක් අල්ලා ගන්නට දක්ෂයා ඒ රැල්ලට ඒ අවස්ථාවේ දී අයිතිය කියයි. පුද්ගලයා අයිතිය කිව්වා ද නැද්ද යන්න මුහුදට ඇති ප්‍රසාදයක් හෝ අප්‍රසාදයක් නැත. දුප්පත් පොහොසත් නිසා හෝ උපාධියක් තිබුණා ද නැද්ද කියා මුහුද නොතකයි. රැල්ල ජයගත්තා ද නැත්නම් ලුණු වතුර නැහැයෙන් කටින් බී වැලි මත ‍නිකට ඇනුනා ද කියා මුහුද සොයා නොබලයි.

ස්වභාවික වූ සම්පතක් මිනිස් ප්‍රයෝජනය සඳහා යොදා ගන්නට වෙහෙස දාන නිර්මාණකරුවා ඊට පළමු අයිතිය කියයි. ඒ පුද්ගලයාට එතැනින් ඉදිරියට එය ගෙන යා නොහැක්කේ නම් වෙන කෙනෙකුට එය පැවරිය හැකිය. කොතරම් පාරම්පරික දේපල අයිති වුවත් ඒකීය පුද්ගලයා තම වෑයම නොදමන්නේ ද, ඒ දේපල විනාශ වී නාස්ති වී යන ආකාරය අපි ඕනෑතරම් දකිමු. නමුත් ඒකීය උත්සාහයට තැන නොදී, විශේෂ දීමනා සැලසුම් සාධාරණත්වයක් ඉටු කරන්නට යැයි බලහත්කාරයෙන් හැම වෙතම ස්ථාපිත කරන්නට ගන්නා හැම වෑයමක දී ම වන්නේ කාට හෝ අසාධාරණයක් ම ය.

වඩාත් කාලයක් ස්වභාවික වූ සම්පතකින් ඵල ප්‍රයෝජන ලබන්නට නම් ස්වභාව ධර්මය ආරක්ෂා කරගත යුතු ය. එය දන්නේ ද පුද්ගල අයිතියට අගයක් දෙන්නෝම වෙති. යම් දේපලක් නාස්තියට, විනාශයට හෝ නොසැලකිල්ලට පාත්‍ර වන්නට ඉඩ නොදී ආරක්ෂා කරගන්නේ ඊට පුද්ගලික අයිතිය අගයන අය ඉන්නවා නම් පමණි.

නොසිතූ ප්‍රතිඵල ලබා දෙන රීතිය

Posted in Uncategorized by arunishapiro on ජූනි 6, 2011

ප්‍රත්‍යක්ෂයෙන් වටහා ගන්නට හැකි රීතීන් ලෝකයේ බොහොමයකි. යමක් ඉහළට විසි කළහොත් එය බිමට වැටේ. නමුත් අහස් යාත්‍රාවක් කඩා වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා යැයි කීම එම රීතිය නොවේ.

පුළුන් රාත්තලකුත් යකඩ රාත්තලකුත් යම් ඉහළ තැනක සිට පහළට අත හැරියොත් මුලින් ම බිමට පතිත වන්නේ කුමක් ද?

පුළුන් කිලෝග්‍රෑම් 50 ක පොට්ටනියකුත් යකඩ කිලෝග්‍රෑම් 2 ක කුට්ටියකුත් මීටර් 200 ක් ඉහළින් බිමට අත හැ‍රියොත් මුලින් ම බිමට පතිත වන්නේ කුමක් ද?

පුළුන් පොට්ටනියේ පුළුන් අතර වායු හිඩැස් ඇතැයි සිතමු. බිමට කඩා වැටෙද්දී ඒ වායු අතරින් turbulence තත්වයක් ඇතිවේ. ඒ නිසා ඉහළට අදින බලයක් පුළුන් පොට්ටනියට අත් විඳින්නට සිද්ධ වේ. යකඩ කුට්ටිය තුල හිඩැස් නොමැත. ඒ නිසා එයට වායුවෙන් පීඩාවක් විඳින්නට සිද්ධ නොවේ.

කුමක් මුලින් බිමට පතිත වේ දැයි කියන්නට පෙර පුළුන් පොට්ටනිය සකස් කර ඇති ආකාරය විමසිය යුතුය. එය ඇතුලට වායුව නොයන සේ සකස් කර ඇත් ද? වායුව යා නොහැකි සේ හදා ඇති පුළුන් පොට්ටනියක් වූයේ නම් සහ එකම තැනක සිට පහළට හෙළන්නේ නම්, එය බර හා ගුරුත්වාකර්ෂණය යන සාධක පමණක් සැලකිල්ලට ගෙන වැඩි බරින් යුත්ත කළින් බිමට පතිත වනවා යැයි කිය නොහැකිය. (ස්තූතියි කෙවින් පෙරේරා) නමුත් කිලෝග්‍රෑම් 50 ක පුළුන් පොට්ටනියට වායුව ඇතුල් වන්නට හැකි හිඩැස් ඇතුව සකස් කර ඇත්තේ ද ඊට කළින්, බර අඩු වුවත්, එකම ඉහළක සිට බිමට හෙළන්නේ ද, යකඩ කිලෝග්‍රෑම් ‍2 කළින් බිමට පතිත වනු ඇත.

මේ ප්‍රත්‍යක්ෂයෙන් වටහා ගන්නට, පර්යේෂණයක් කර ඕනෑම කෙනෙකුට එකම ප්‍රතිඵලය දකින්නට හැකි රීතියකි.

එවැනිම බලවත් වූ, (මෙහි දී බලවත් යන්නෙන් අදහස් කරන්නේ මීට කළින් ලියූ වාක්‍යයයි) රීතියක් වන්නේ නොසිතූ ප්‍රතිඵල ලබා දෙන (law of unintended consequences) රීතියයි.

මීට පැහැදිලි උදාහරණයක් මවිසින් ලියූ ‘නූතනයට සුදුසු පරණ අදහසක්’ යන සටහනෙන් දැක්විය හැකිය. 1840 ගණන් වල දී වියානා රෝහල් වල දරුවන් මහත් සංඛ්‍යාවක් මිය යෑමට හේතුව වූයේ දොස්තරවරු අත් නොසේදීම ය.

තම රටවැසියන්‍ ගේ යහපත පිණිස යැයි කියා සැලසුම් ගහන‍ බොහෝ අය රටවැසියන්ට රැකවරණය ලබා දෙනවා වෙනුවට ඔවුන් විනාශ මුඛයට යවන්නේ මේ නොසිතූ ප්‍රතිඵල ලබාදෙන රීතිය නිසා ය. සැලසුම් ගහන්නේ ආණ්ඩුවක් විසින් පමණක් යැයි වරදවා නොසිතන්න. සමිති, සංවිධාන හා කල්ලි වලට බැඳී සැලසුම් ගහද්දී පුද්ගලයාගේ ඒකීය කැමැත්ත පාවා දී සමිතියේ හෝ සංවිධානයේ හෝ කල්ලියේ පොදු අරමුණ ක්‍රියාත්මක වේ. තමන් අකමැති වූවකට නොයා කැමති වූවට පමණක් යෑමට ඕනෑම කණ්ඩායමකට බැ‍ඳෙන අයෙකුට ලැබෙන ඉඩකඩ සීමිත වෙයි.

ආණ්ඩුවක් සැලසුම් ගහද්දී රටවැසියෝ ‘අපිට දියව්, අපිට දියව්’ කියා පෙළපාලි යෑම ‘නොසිතූ ප්‍රතිඵල ලබා දෙන රීතියේ’ වැදගත් සාධකයකි. මන්ද, ඒ ‘අපිට දියව්’ කියනා අය වැඩි පිරිසක් වූවොත්, ඔවුන් ඉල්ලන්න ඔවුනට නුදුන්නොත් ආණ්ඩුවට නැවත වරක් චන්දය දිනන්නට නොහැකියාව නිසාය. ඉතාලියේ, ස්පාඤ්ඤයේ, බ්‍රිතාන්‍යයේ පමණක් නොව මෑතක දී ඔබාමා ඇමෙරිකාවේ ද එවැනි පෙළපාලි දකින්නට ලැබුණි.

ඒ ‘අපිට දියව්’ කියා කෑ ගහනා අය ඔවුනට යමක් ලැබෙන්නේ කොහෙන්දැයි කියා සිතනවා ද?

එක කොටසකින් අරගෙන තවත් කොටසකට දෙන (සැලසුම් මඟින් බෙදා දෙන) ක්‍රමය නිවැරදි ක්‍රමය යැයි සිතනා අය මෙහෙමත් සිතති; හැමදාම බෙදා දෙන්නට සුදුසු නිවැරදි ක්‍රමය දන්නවා යැයි කියන සැලසුම් ගහන්නෝ වෙත වැඩි බලය පවරත යුතුය.

අනතුරුව, වැඩි බලය දී තමන් පත් කරගත් සැලසුම් ගහන්නෝ වෙතින් තමනට අවශ්‍ය වාසි සමූහයක් ලබා ගනිති.

නමුත් කිසිදා ලැබිච්ච දෙයකින් පමණක් සතුටු වූ අයෙක් ලොව සිටි‍නවා ද?

හැමදා ඇත්තේ තව තවත් වැඩි වැඩියෙන් තමනට ලැබෙන්නට අවශ්‍ය යයි සිතනා මිනිස් ස්වභාවයයි.

අනතුරුව තමන් බලයට පත් කරගත් අය ඒ ක්‍රමය අනුව තමනට නොව වෙන කෙනෙකුට බෙදා දීමට යත්න දරද්දී උද්ඝෝෂණ පවත්වයි. ආණ්ඩුව කඩා කප්පල් කර වෙනත් ආණ්ඩුවක් (මෙවර හරියටම සැලසුම් ගහන්න දන්නා අය!!) පත් කරගත්තොත් ඔවුන් නිසියාකාරව, නිවැරදි විදියට (එනම්, තමන්ට) බෙදා දේවි යැයි පූර්ව නිගමනයකට එයි.

එසේ ආණ්ඩුවක් කඩා හැලී නැවත වෙනත් ආණ්ඩුවක් බලයට පත් වෙයි. උද්ඝෝෂණය නැවත පටන් ගනියි. ‘අපිට දියව්’ කියා උද්ඝෝෂණය කරන්නෝ හැමදාම දීමනා ගැන උද්ඝෝෂණයේ යෙදී බෙදා දෙන්නට තරම් දීමනා හිඟ වූ දිනයේ තවත් සැලසුම් ගසා බෙදා දෙන්නට නැවතත් වෙනත් පිරිසක් පත් කර ගනිති.

ඔවුන් කිසි දාක, බෙදා දෙන්නට දීමනා ඇතිවන්නේ කොහොම ද? යන්න විමසන්නේ නැත. එය දකින්නේ ගුරුවත්වාකර්ෂණය සේ පැවතෙන්නක් ලෙසට ය. ඉහළට විසි කළොත් බිමට වැටෙනවා. පෝසත් අය ඉන්න නිසා දුප්පත් අය සිටිය යුතු නැහැ. පෝසත් අය කොහොම හරි අපේ සල්ලි උදුරා ගෙන පෝසත් වෙලා තියෙන්නෙ. ඉතින් පෝසත් අයගෙ සල්ලි උදුරලා අපිට බෙදලා දුන්නම සාධාරණය ඉටුවේවි.

අවශ්‍ය කුමක් ද? පෝසත් අයගෙන් උදුරලා දුප්පත් අයට සල්ලි බෙදලා දෙන්න හපනෙක් විතරයි.

අද ලෝකයේ පුද්ගල අයිතිය මත පදනම් වූ ධනවාදී ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වන රටවල පවතිනුයේ රොබින් හුඩ් වාසය කළ නොටින්හැම් හි තිබි ආර්ථික ක්‍රමය නොව ඒකීය පුද්ගලයා විසින් තම සුබ සාධනය සලසා ගත හැකි වූ ආර්ථික රටාවක් බව නොදකියි.

වැඩවසම් ක්‍රමයේ වැරැද්ද නම් බෙදා දුන් අයගේ වැරැද්ද පමණක් නොව උපයන්නට ඉඩ ප්‍රස්ථාවක් නොතිබිච්ච වැරැද්ද බව නොදිකියි. තවමත් පුද්ගල අයිතිය පදනම බැහැර ලා ධනවාදී ක්‍රමය යොදා ගත්තාට ඵලක් නැත්තේ මන්දැයි යන්න, සමාජයේ හැමටම පුද්ගල අයිතිය දිය යුතු බව වටහා නොගත් අයට පැහැදිලි නොවේ.

ඒකීය පුද්ගලයා විසින් සාක්ෂාත් කරගන්නා වූ ඒකීය සුබ සාධනය ලෝකයේ බලවත්ම වූ ආර්ථික ජවය බව නොදකියි.

සැලසුම් ගහන්නෝ වෙත ඇති බලවත්ම අභියෝගය යම් සැලසුමකට බාධා පමුණුවන සියළු සාධක දැකීමට නොහැකියාවයි. ඒකීය පුද්ගලයෙකුට තම සුබ සාධනය සඳහා සැලසුම් කිරීමට ඉඩ ප්‍රස්ථා දුන්නොත් එවැන්නා ඉදිරියේ ඇති සලකා බැලිය යුතු සාධක ප්‍රමාණය සමාජයක් ඉදිරියේ ඇති සැලකිය යුතු සාධකයන්ට වඩා බෙහෙවින් අඩු ය. මන්ද වෑයම සීමාසහිත වීම ය. හැමට සුබ සෙත නොව තමනට සුබ සෙත වීමය. එසේම ලාභය හෝ අලාභය සමාජයක් විසින් අත් විඳිනවා වෙනුවට අත් විඳින්නේ ද ඒ ඒකීය පුද්ගලයාය.

සමහර ඒකීය පුද්ගල වෑයම් සාර්ථක නැත. නිසි සැලසුම් නොගැසි නිසා බංකොළොත් වූ ව්‍යාපාර බොහොමයකි. ඒ පාඩුව පුද්ගලයා දරයි. එසේම සාර්ථක වූ ව්‍යාපාරයන් වල වගකීම හා ලාභය ද ඒ සඳහා කැප වූ අය වෙත නොදීම ඔවුනට ‘අනිත් අයට නැති’ යමක් තිබුණා යැයි සිතීමකි. ‘අනිත් අයට නැති’ යමක් තිබුණා යැයි සිතීම සත්‍යයක් වනුයේ ‘හැමටම පුද්ගල අයිතියක්’ නොලැබෙන සමාජයන් තුල ය.

බොහෝ ධනවාදී කියා ගත්ත ද පුද්ගල අයිතිය නැති සමාජයන් වල එවැනි ‘හැමටම පුද්ගල අයිතිය’ දීමට පාර අවහිර කරන්නේ යම් හේතුවක් නිසා, පාරම්පරික ජානු දායාද වූ නිසා, කුලයෙන් හා ජාතියෙන් ඉහළ වූ නිසා යනාදී තමන් අනුන්ට වඩා සුවිශේෂී යැයි සිතනා, ඒ නිසාම හැමටම පුද්ගල අයිතිය දීමෙන් තමන්ට යම් අඩුවක් වේ යැයි සිතන වැඩවසම් මනස් ඇති පුද්ගලයෝ ය. ඔවුන් සම තරඟබිමකට (level playing field) අකමැති ය.

ලොව කිසිවෙක් යම් වෑයමක දී එහි ප්‍රතිඵලය නිශ්චිතවම මෙය වන්නේ යැයි කියන්නට නොදනී. නමුත් දන්නා තරමින් කරන අනුමාන වලින්, තමන් සොයන සාර්ථකත්වයට හිමිකම කියන්නට හැකි වන්නේ, හැම විටම වෑයම ඒකීය වූ කළ ය.

කළින් කියූ පුළුන් පොට්ටනිය හා යකඩ කුට්ටිය උදාහරණයේ දී මෙන්, මැද තියන වායුව සාධකයක් නොවන්නේ නම්, සුළි සුළඟක් හදිසියේ හමා ආවේ නැත්නම්, යකඩ කුට්ටිය කෑලි කෑලි වලට කැඩෙන්නට වෙනතකින් ආ ගල් බෝලයක් වැදුනේ නැත්නම්, යනාදී වශයෙන් ‘හරියටම මේ විදියට කළොත්’ මෙහෙම වෙනවා යැයි කියත හැකියාව ගැන හිතන්න.

සමාජ සුබ සාධන සැලසුම් ගහද්දී ඇති විය හැකි සාධක සියල්ල සොයා බලන්නට කමිටු මඟින් නොහැකිය. නමුත් ඒකීය පුද්ගලයා තමන් විසින් තම සුබ සිද්ධිය සඳහා ගන්නා වෑයමක දී එන එන හැම අභියෝගයක් ඉදිරියේ දී ම තමන් විසින් ගත යුතු පියවර ගැන වගකිය වූ තීරණයක් ගන්නට හැකියාව ලබයි.

වියානාවේ ලුවි පැස්චර් මෙන් තමන් වටා සිටින වැඩි පිරිස පිළි නොගත්ත ද, තමන් විසින් සත්‍ය ගවේෂණය කරනවා නම්, එය ඔප්පු කර හැකි බව පෙන්වා සිටිය දී ද, අවට ඉන්නා අය තව දුරටත් පිළිනොගත්ත ද, සත්‍ය වෙනස් නොවේ.

මන්ද, ආණ්ඩු කඩා වැටී අළුත් ආණ්ඩු පත් කරගත්තාට ඵලක් නැත. සැලසුම් ගහන්නෝ කිසි දිනයක හැමටම සුබ සාධනය ලබා දෙන ක්‍රමය කුමක් දැයි හඳුනා ගන්නා තුරු ප්‍රතිඵල වෙනස් නොවේ. ආණ්ඩුව පෙරළීමෙන් ඵලක් නැත. පුද්ගලයා ඒකීය වෑයම දියත් කළ යුතුය. ඒකීය වෑයමට ඉඩක් ලැබෙන්නේ හැමටම පුද්ගල අයිතීන් ඇති තැනක බවත් වටහා ගත යුතුය. එසේ ක්‍රමය වෙනස් නොවේ නම් ප්‍රතිඵල ඵල රහිත ය යන්න අවබෝධයක් ඇතිවෙන තෙක් හැමදාම ඉන්න ආණ්ඩු වට්ටා අළුත් ආණ්ඩු පත් කර ගනිමින් බිත්තර කඩමින් සිටිය හැකිය.

අහස් යාත්‍රාව කඩා වැටුනේ ගුරුත්වාකර්ෂණය නිසා යැයි සිතාගෙන සිටිනවා ද? නැත්නම් ඊට වෙනත් හේතු සාධක තිබෙන්නට හැකි බව දකිනවා ද?

අහස් යාත්‍රාවක් කඩා වැටීමට හේතුව හැම විටම ‘මිනිස් සාධකයකි.’ එය අහස් යාත්‍රාවේ අඩුපාඩුවක් නොවේ. අහස් යාත්‍රාවක් තම මඟීන්ට ඇති අකමැත්ත නිසා ඔවුන් විනාශ මුඛයට ගෙන නොයයි!! අහස් යාත්‍රාවේ කඩා හැලීම එක්කෝ නියමුවාගේ වැරැද්ද ය; කාර්මික දෝෂයක් නම් ඊට වගකීම දරන අයගේ වැරැද්ද ය; නැත්නම් පිටත හෝ ඇ‍තුලත වූ ත්‍රස්තවාදියෙකුගේ වැරැද්ද ය. හෙණයක් වැදුනත් වැරැද්ද ගුවන්යානයේ නොවේ. වැරැද්ද හෙණය දරාගන්නට නොහැකි විදියට ගුවන්යානය නිපැයූ මිනිසාගේ ය.

නොසිතූ ප්‍රතිඵල ලබා දෙන රීතිය නොදන්නා අය, හේතුව සොයන්නට නොයා, එය තමනට දැකිය හැකි සාධකය වන ගුරුත්වාකර්ෂණය යැයි සිතති.

ධනවාදය ලියන්නට ගොස් නොසිතූ ප්‍රතිඵල ලැබේ යැයි මා බලාගෙන හිටියත් වැඩි වැඩියෙන් ම‍ට නම් ලැබුනේ සිතූ ප්‍රතිඵලයන් ම ය!! දැන් ඒ කතාවත් හරියට තේරුම් ගන්න බැරි කියවන්නා සතුටින් අත්පොළසන් ගසනු ඇත් ද? නැත්නම් සතුටින් අත්පොළසන් ගහනුයේ හරියටම තේරුම් ගන්නා කියවන්නා ද?!!!

මගේ අඩවිය කියවන්නේ මෙපමණ පිරිසක් යැයි මම උදම් අනා නැත්තෙමි. ප්‍රතිචාර දමනා අයට උවමනා විදියට කිසිදා නොලියන්නෙමි. ලියා නැත්තෙමි. කිසිවෙකුගේ පැත්තකට ගෑවෙන්න අකමැති නිසාම බ්ලොග් රෝලක් හෝ බ්ලොග් සින්ඩි වලට මගේ අඩවියේ තැනක් දී නැත. කාගෙන්වත් ලැබෙන ගතමන්ට් එකක් නිසා ද ලියන්නේ නැත. මගේ කැමැත්ත අනුව මම ලියනා නිසා, එහි වගකීම ද මගේ ම වූ නිසා, එහි ප්‍රතිඵල ද මගේම වෙයි. වැඩියෙන් එන බැනුම්, ගැරහිලි හා ඉඳහිටක ලැබෙන මල් ද තවමත් සිංහලෙන් කියවන්නාට ලියද්දී ලැබෙන නොසිතූ ප්‍රතිඵල නොව සිතූ ප්‍රතිඵල ම වෙයි!!!

F. A. Hayek ලියූ The Road to Serfdom (1944) කාටූන් වලින්

Posted in Uncategorized by arunishapiro on ජූනි 3, 2011

F. A. Hayek ලියූ The Road to Serfdom නොහොත් ‘දාසභාවයට යන පාර’ (1944) කාටූන් වලින් මුලින් ම ප්‍රකාශනය කරන්නේ Look සඟරාවයි. එයින් නැවත ප්‍රකාශනය කරන ලද පොත් පිංචකින් ‘සිතුවිලි අරඹන’ ලිපි මාලාවක කොටසක් (අංක 118) ලෙසින් එළි දක්වන්නේ ඩිට්‍රොයිට් හි පිහිටා ඇති ජෙනරල් මෝටර්ස් කොම්පැණියයි.


“යුද්ධයක් නිසා ‘ජාතික සැලසුම්’ දියත් කරන්නට සිද්ධ වෙයි. ඔබේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ඊට යොදා ගැනීම සඳහා ඔබ බොහෝ නිදහස් අයිතීන් ඉතා කැමැත්තෙන් අත් හරියි. මේ මෙහෙයුම් සිද්ධ කරන්නට වූයේ ඔබේ රටට අනතුරුදායක වූ හතුරා නිසා බව ඔබ දනියි.”

ත්‍රස්තවාදය මර්දනය කිරීමටත් ජාතික ආරක්ෂාව සැලසීම සඳහා අවශ්‍ය යැයි ජෝර්ජ් බුෂ් ඇමෙරිකන් දේශප්‍රේමි පනත (2001) සම්මත කළේය. ඉන් දුරකතන සංවාද වලට සවන් දීමට, විද්‍යුත් තැපැල් කියවන්නට, වෛද්‍ය සටහන්, බැංකු තොරතුරු යනාදියෙන් ආණ්ඩුවට පහසුවෙන් පුද්ගලික තොරතුරු ලබාගත හැකිවිය. බුෂ් සමයේ පුද්ගලික බැංකු ගිණුමකින් ඩොලර් 5000 ක් මාරු වෙද්දී රජයට දැන් වූ අතර ඔබාමා කාලය වෙද්දී එය ඩොලර් 500 කදී ආණ්ඩුවට දන්වන්නක් වී ඇත.


“වැඩි දෙනෙක් ‘සැලසුම්’ තවත් තියා ගන්නට කැමැතිය …
‘සාම නිෂ්පාදන මණ්ඩලයක්’ ගැන කතා ඇහෙන්නට පටන් ගන්නේ යුද්ධය අවසන් වන්නට පෙර ය. යුද සමයේ දී ‘සැලසුම් ගැසූ’ තව දුරටත් බලයේ ඉන්නට කැමැත්ත ඇති අය, ඒ අදහසට දිරිය දෙති.”

අද ඇමෙරිකාව රටට හොරෙන් ඇතුල් වන/ ඇතුල් වී ඉන්නා අය ගැන ‘සැලසුම්’ ගහති. රටේ සෞඛ්‍ය පහසුකම්, රටේ විශ්‍රාම සුබ සාධන දීමනා යනාදිය ගැන ‘සැලසුම්’ බොහොමයකි. හැම පැත්තක් ම ‘සැලසුම්’ ඉදිරිපත් කරන්නේ තරඟයට ය. සැලසුම් සඳහා වියදම් කොහෙන්දැයි නොපෙනෙන ලෙස ඇස් පියා ගනිති.


“‘සැලසුම් ගහන්නෝ’ උතෝපියාවන් පොරොන්දු වෙති …
ගොවියන් සඳහා ගහන සැලසුම් ගම්බද ජනතාව සතුටින් පිළිගනිති. කාර්මික ශ්‍රමිකයන් සඳහා සැලසුම් නගරබද අය පිළිගනිති. සැලැසුම් ගහනා අළුත් අය බොහොමයක් තෝරා පත් කර ගැනෙයි.”

ඔබාමා ආණ්ඩුව ජනතාව අතින් තේරී පත් වූයේ සැලසුම් ගහන්නට ය!!! මෙය පාරවල් හදන ප්ලෑන් සහ ‍පරිගණක හා තාක්ෂණ සැලසුම් ලෙසින් දැක්විය හැකියි!!! ඔබාමා ආණ්ඩුව stimulus මුදල් වලින් පාරවල් බොහොමයක් හදන බවට පොරොන්දු වූයේය. තාක්ෂණය චීනය හා සටන් වදින්නට හැකි වන සේ දියුණු කරන බව කීවේය. පාරවල් හැදුනේ වොෂිංටනය අවටයි. මධ්‍යගත සැලසුම් ගහන චීනයේ තාක්ෂණය කොපි කැට් කලාවක් මිස පුද්ගල අයිතියට ඉඩ තියන ඇමෙරිකාවට අභියෝග එල්ල කරන නව සොයා ගැනීම් තවමත් එහි නොකෙරෙන බව රටේ ජනතාවත් ඔබාමාත් නොසලකා හැරියකි.


“ඒත් ඔවුනට එක උතෝපියාවක් ගැන එකඟවනු නොහැකිය
සාමය සමඟ, නව ආණ්ඩුවක් හමුවෙති. එහෙත් ‘යුද්ධය දිනන්න තිබි’ එකමුතුව තව දුරටත් නොමැත. ‘සැලසුම් සම්පාදකයෝ’ එකිනෙකා සමඟ ගුටි කෙළගන්නට පවා ආසන්න ය. හැම අයෙකුට ම තමන්ට ප්‍රිය වූ වැඩ සටහනකි. එය අත්හැරීමට කැමති නැත.”

ඔබාමා සෞඛ්‍ය පහසුකම් සැලසුම දිනුවේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ වැඩි වැඩි චන්දයෙනි. සැලසුමට යන වියදම් ගැන සලකා නැත. දැන් එය ප්‍රාන්ත පුරා නඩු තීන්දු වලින් නිශ්ප්‍රභා වන තත්වයකට පැමිණෙයි. මන්ද ප්‍රාන්ත වලට රජයට මෙන් මුදල් අච්චු ගහන්නට බැරිය. පහුගිය දිනයක ඇමෙරිකන් ආණ්ඩුව වසා දැමෙන්නට ගියේ ද බජට් වියදම් ගැන තීරණයකට එළඹෙන්නට ‘සැලසුම්’ ගහන අයට එකඟ වන්නට නොහැකි වූ නිසා ය.


“පුරවැසියනට එකිනෙකා හා එකඟ වනු නොහැකිය …
මාස ගණනකට පසු අවසානයේ දී ‘සැලසුම් ගහන්නෝ’ තාවකාලික සැලසුමකට එකඟ වූ කල, ඊට එරෙහි වන්නේ පුරවැසියෝ ය. ගොවියා කැමැත්තට කාර්මිකයා කැමැත්ත නැත්තේ ය.”

සෞඛ්‍ය පනතට ‍එරෙහිව පෙළපාලි පැවැත්වේ. වෘත්තීය සමිති සාමාජිකයන්ගේ ඉල්ලීම් කළ හැකි අයිතීන් බලය අඩු නොකරන්න යැයි පෙළපාලි පැවැත්වේ.


“‘සැලසුම් ගහනා අය’ බලහත්කාරයෙන් එකඟතාවය ස්ථාපිතයට අකමැති ය..
බොහෝ ‘ජාතික සැලසුම් ගහන්නෝ’ හොඳ ගැන කතා කරන විඥානවාදීන් ය. බලහත්කාරකමින් සැලසුම් ස්ථාපිත කරනවාට ද අකමැති ය. නමුත් ඔවුන් එකතු කරන සැලසුම් සඳහා කුමන හාස්කමකින් හෝ මහජන එකඟතාවයක් ඔවුන් බලපොරොත්තු වෙති.”

චීනයේ සංවර්ධනය මධ්‍යගත සැලසුම් වලින් යැයි හිතනා අය එහි ආර්ථික ජවය ආණ්ඩුවේ ග්‍රහණයෙන් පිටත සිදුවෙන බව නොදකින්නට ඇස් පියාගෙන සිටිති.

සැලසුම් ගහන්නෝ රට වෙනුවෙන් කියා පුද්ගලයන් වෙනුවෙන් තීරණ ගනිති.

චීනයේ පර්යේෂණ හා නිෂ්පාදනය සඳහා මුදල් වැය කරන මෙහෙයුම් පර්යේෂණ වලට වඩා නිෂ්පාදනයේ යෙදෙන ඒවාය. (China’s “research and development” projects involve far more development than research.) පිටතින් එන තාක්ෂණය කොපි කර හැමදාම ඉදිරියට යා නොහැකිය. තමන් තාක්ෂණික දියුණුවක් නිර්මාණය නොකරන්නේ ද හැමදාම අනුන් සොයන තාක්ෂණයට යට වී ඉන්නට සිදුවේ. මධ්‍යගත සැලසුම් ගහනා අය දියුණු කළ යුත්ත කුමක් දැයි තමන් දන්නවා යැයි සිතීම තාක්ෂණ දියුණුව අඩාල කරයි.


“සැලසුම හැමට ම ‘විකුණන්නට’ ඔවුන් යුහුසුළු වෙති …
සමානාත්මතාවය ගැන ආකල්ප හැමටම කියා දෙන්නට යන නිෂ්ඵල උත්සාහයේ දී ‘සැලසුම්කරුවෝ’ දැවැන්ත ප්‍රොපගැන්ඩා මෙහෙයුමක් ස්ථාපිත කරයි
-මෙය ඊ ළඟට එන්නා වූ ඒකාධිපතියාට අතකොළුවකි.”

විස්කොන්සන් ප්‍රාන්තයේ මහත් රැළියට තුඩු දුන් වෘත්තීය සමිති බලතල අඩු කිරීමේ පනතට පසුව නඩු තීන්දුවක් දීම සඳහා විනිශ්චයකාරවරයෙක් තෝරා පත් කර ගැනීම මහා ප්‍රසිද්ධියක් ලැබූ ප්‍රවෘත්තියක් විය. අන්තිමේ දී පැත්ත පැරදි නිසා දිනුවේ කවුද කියාවත් ප්‍රසිද්ධ මාධ්‍යයෙන් දැන ගන්නට නොහැකි විය.


“රැවටෙන්නෝ එකඟතාවයට පැමිණෙති …මේ අතර තුර දී නැඟී එන ජාතික අන්දබූත බව විරෝධතා රැළි වලට තුඩු දෙයි. අඩුවෙන් ම දැනුම තිබෙන්නා වූ අය උද්දාමයෙන් හා උද්වේගකාරී වාග් කෞශල්‍යය විශ්වායෙන්, නව පක්ෂයක් හදා ගනිති.”

තේ පාටියත් තවත් දේශපාලන පක්ෂයක් වෙයි ද?!!


“‘සැලසුම් ගහන්නෝ’ ගැන ඇති විශ්වාසය පළුදු වෙයි …
‘සැලසුම් ගහන්නෝ’ සංශෝධනයන් කරන්නට ගන්නා උත්සාහය වැඩි වැ‍ඩියෙන් සිද්ධ වෙද්දී සාමාන්‍ය ව්‍යාපාරයන්ට සිදුවන බාධා වැඩි වෙයි. හැමෝම දුක් විඳිති. ජනතාව දැන් දන්නේ -හරියට- ‘සැලසුම් ගහනා අයට’ වැඩ කරගත නොහැකි බවයි!”

පාරිභෝගික විශ්වාස දර්ශකය (consumer confidence index) පහළ යයි.


“‘ශක්තිමත් මිනිසා’ වෙත බලය පැවරේ …
කර කියා ගත නොහැකි නිසාවෙන්, ‘සැලසුම් ගහන්නෝ’ නව පක්ෂ නායකයාට සැලසුමක් හදන්නටත්, එයට අවනතය බලහත්කාරයෙන් ලබා ගැනීමටත් අවසර දෙති. පසුව, ඔහුව නෙරපා හැරිය හැකි යැයි ඔවුන් සිතති -එය කරත හැකි යැයි ඔවුන් සිතති.”


“පක්ෂය රටේ බලය අල්ලා ගනියි …
මේ වන විට අන්දබූතය කොතරම් පැතිර ගිහින් ඇත්දැයි කියතොත් නව නායකයාට අවනත වීම අනිකුත් සියළු දෑ අභිබවා ලබාගත යුත්තක් වෙයි. පක්ෂයට ඔබ වුව ද එකතු වන්නේ ජාතික එකමුතුවට සහාය දෙනු පිණිස ය.”

ඔසාමා මැරූ ඔබාමට ජාතික හා අන්තර්ජාතික ප්‍රණාමය!!


“ඍනාත්මක අරමුණක් පක්ෂය එකමුතු කරයි …
සෑම ඒකාධිපතිවාදයක ම මුල් පියවර වන්නේ පොදු යහපතක් පෙරදැරි කරගෙන බිල්ලට දෙන අඩු ‍පිරිසකට එරෙහි ව වැඩි ජන මනාපය ඇවිලීමය. ජර්මනියේ, ඒ ඍන අරමුණ වූයේ සෙමැටික් විරෝධතාවයයි.”

ධනවතුන්ට බදු වැඩි කරමු. දැනටමත් මුළු බදු වලින් 50% ගෙවන අය ධනවතුන් 5% ක පිරිස බව අමතක කරමු. විසල් තෙල් වලට බදු වැඩි කරමු. පුද්ගලික තෙල් කොම්පැණි අයිතිය ලොව තෙල් වලින් 5% කට අඩුවෙන් බවත් රාජ්‍යයන්ට තෙල් අයිතිය ඉතිරි 95% ට වැඩි බවත් අමතක කරමු.


“කිසිවෙක් නායකයාගේ සැලසුමට විරුද්ධ නොවෙති …
ඒක සියදිවිනසා ගැනීමකි; නව රහස් පොලීසිය අනුකම්පා රහිත ය. ‘සැලසුම් ගහන රටක’ අවනතය ස්ථාපිත කරත හැකියාව හැම විටම අංක 1 සද්ගුණය වෙයි. දැන් සියළු නිදහස් අයිතීන් ඉවත් වී ගොසිනි.”

දුරකතන කතාබහ අසා සිටියි. විද්‍යුත් මාධ්‍යන් විමර්ශනය කරයි. බලහත්කාරයෙන් සෞඛ්‍ය පහසුකම් මිල දී ගන්නට නීති ස්ථාපනය කරන්නට යයි.


“ඔබේ වෘත්තිය ‘සැලසුම්’ කෙරෙයි …
දැන් තව දුරටත් බලතල නොමැති ‘සැලසුම්කරුවෝ’ කියූ රැකියා තෝරා ගැනීම් බොරු පොරොන්දු බව පෙනී යයි. ‘සැලසුම්කරුවන්’ කිසිදා පොරොන්දු ඉටු කර නැත, ඔවුනට ඉටු කරලීමට ද නොහැකි ය.”

විද්‍යා සහ ගණිත විෂයයන් හදාරන අයට ශිෂ්‍යත්ව දස දහසක් ප්‍රදානය කරන සැලසුම.


“ඔබ සිතන විදිය ද ‘සැලසුම් කෙරෙයි’ …
ඒකාධිපති පාලනයක, සැලසුම්කරුවන් විසින් නොසිතා හැදූ වාතාවරණයක් මතු වී, විවිධ අදහස් දරන්නට ඉඩක් නොමැත. පෝස්ටර්, රේඩියෝ, පත්තර -සියල්ල ඔබට කියන්නේ එකම බොරු වෙති!”

කැනඩාවේ මැතිවරණයෙන් දක්ෂිණාංශක පක්ෂය නොබෝදා ජයගෙන ය. ඉන්දියාවත් දිගු කලකට පසු වාමාංශික පක්ෂය පරදවයි. ඔබාමා ඇමෙරිකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ඒ ගැන වැඩි ප්‍රචාරයක් නොකළේය.

IMF සැලසුම් ගහන්නෝ ද චීනය ධනවත් ද නැද්ද නොදැක ඉන්නට ඇස් පියාගෙන සැලසුම් ගහති.


“ඔබේ වැටුප් ‘සැලසුම්’ කෙරෙයි …
වැටුප් ක්‍රමය බෙදීම හිතුවක්කාර ලෙසින් හා දරදඬු විලසකින් සිදුවිය යුතුය. කේන්ද්‍රීය මූලස්ථානයේ සිට සිද්ධ වන ‘ රාජ්‍ය සැලසුම්’ නොගැළපෙයි, අසාධාරණය, අකාර්යක්ෂම ය.”

චීනයට ඇමෙරිකන් ණය විකුණන ඔබාමා ඇමෙරිකන් ධනවතුන්ට ආණ්ඩු නෝට්ටු මිල දී ගෙන ආයෝජන සඳහා .2% පොලී ලැබෙන කාලයක චීනා හොයන 4% පොලී ලාභ සෙවීම අවහිර කර ඇති බව සාමාන්‍ය ජනතාව නොදනිති.

නිව් යෝර්ක් නගරයේ ලින්කන් සෙන්ටර් හි වැඩ කරන වෘත්තීය සමිති වේදිකා උදව්කාරයාගේ වසරක පඩිය හා සුබ සාධන ඩොලර් 290,000 කට ආසන්න ය. වෘත්තීය සමිති සාමාජිකයෙක් නොවන අයෙකුට එහි සේවය තහනම් ය. කානගී හෝල් වැඩ කරන වැඩි පඩි ලබන වේදිකා අත් උදව්කාරයා වසරකට 422,599 ක් සහ සුබ සාධන වශයෙන් 107,455 ක් ද ලබා ඇත.


“ඔබේ බාහිර ක්‍රියාකාරකම් ද ‘සැලසුම්’ කෙරෙයි …
සියළු රෙජිමේන්තු රටවල ක්‍රීඩා හා සතුට සඳහා කරන කටයුතු ද සූක්ෂමව ‘සැලසුම්’ වී තිබීම අහඹු සිදුවීමක් නොවේ. පටන් ගත්තාට පසු, ‘සැලසුම්’ ගහන්නෝට නැවතිය නොහැකි ය.”

චිකාගෝ නගරයේ පාසැල් ළමුන්ට ගෙදරින් ආහාර ගෙන යෑම තහනම් ය. තරබාරු වීම නැවතීමට සැලසුම් ගහන්නෙ ජනතාව තෝරා පත් කර නොගත් මිෂෙල් ඔබාමා ය.


“ඔබේ විනය ද ‘සැලසුම්’ කෙරෙයි …
ඔබව රැකියාවෙන් පහකර හැරියොත්, එය වෙඩි තබා මරා දමන හමුදාවකින් වනු ඇත. වෙනදා වූ ‘වැරැද්දක්’ අද රජයට එරෙහි ‘අපරාධයකි.’ දාසභාවයට යන පාර මෙසේ අවසන් වෙයි!”

ඇමෙරිකන් ජනතාවට ඇති පුද්ගල අයිතීන් කප්පාදු කළ නොහැකි නිසා ජනතාවගේ ‘විනයට’ ඇඟිලි ගහන්න ඉඩක් නීතියෙන් කිසිවකුටත් නොලැබෙනු ඇත.

අද පැතිවාදී මාධ්‍ය පැත්තකට දමා ජනතාව තමන් විසින් සත්‍යය සොයන වෑයමක නිරත වෙති. NPR වැනි ප්‍රසිද්ධ මාධ්‍යයන් වැය පියවා ගන්නට බැරිව කෙඳිරි ගාති. රජයෙන් සහනාධාර ඉල්ලති!!

අද ණය ඉහළ දාන්නට නම් වැය කපන්නට ද අවශ්‍ය යැයි කියන බුද්ධිමත් ජනතා හඬ ඇමෙරිකන් රජයට ඇසී ඇත. එය ධනපතියන්ගේ බදු මුදලින් පමණක් පියැවීමට සැලසුම් ගැසීමෙන් ධනපතියෝ වර්ජනය නවතන්නේ නැති බවත් ඇසේවි ද?!!

පාරම්පරික දේශපාලන මත දරමින් ජනතාව ගැන නොතකා, රට ගැන නොතකා, පුද්ගල අයිතිය නොතකා, සැලසුම් ගැසූ ඇමෙරිකන් දේශපාලකයෝ පසුගිය මැද මැතිවරණයෙන් විසි වී ගියහ.

පුද්ගල අයිතිය නීතියෙන් රකින නිසාම, ජනතාව අමතක කරන, රට ගැන නොතකන, පුද්ගල අයිතිය පැත්තකට දාන පාලකයන් ඇමෙරිකාවට ඉවත් කර ගැනීමට පහසුය. ජනතාවට තම අදහස් වලට පාලකයන්ගේ අවධානය සඳහා භීෂණ සමයක් පටන් නොගෙන සංවාදයට එළඹ පාලකයන් වැරදි පැත්තේ නොයා නැවත හරි ම‍ඟේ යන්නට ගෙන්වා ගන්නට හැකියාව ඇත.

“ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි හොඳම තර්කය නම් චන්දය ඇති සාමාන්‍ය අයෙකු සමඟ මිනිත්තු පහක් සංවාදයේ යෙදීමයි.” -වින්සන්ට් චර්චිල්
“The best argument against democracy is a five-minute conversation with the average voter.” – Winston Churchill

තවමත් ඔටුනු පැළඳි ‍ලෝකයක වූ රටක් නිසා, බ්‍රිතාන්‍යයෙකු අතින් එසේ කියැවීම පුදුමයක් නොවේ!! එහෙත් අද ලෝකයේ ජීවත්වන ආණ්ඩු ව්‍යවස්ථාවක් ඇති ඇමෙරිකාව වැනි රටක ඉතා සුළු කාලයක දී මුළු රටවැසියන් දැනුවත් කිරීමේ හැකියාව ඇත.

මිනිසා නම් මොළයක් ඇති, හිතන්නට හැකි, තර්කය හඳුනන, හරි වැරදි නිසි සේ ඉදිරිපත් කරනවා නම් වටහා ගන්නට හැකියාව ඇත්තෙකි. එයට හැකියාව ජීවත්වන නිසාම ලැබියකි. පරම්පරා ජානු වලින්, ලබා උපන් හැටියෙන් සහ දුප්පත් පොහොසත් භේදයකින් ලැබී නැත්තකි.

මිනිසා පිවිස ඉන්නේ තම සමෘද්ධිය මෙන් ම තම පැවැත්ම ද තමන්ගේ තෝරා ගැනීම මත රඳා පවතින අවදානම් යුගයකය.

දොම්නස් ජීවිත රටාවක් තෝරා ගන්නවා ද නැත්නම් සතුට සොයා යන ජීවිත රටාවක් තෝරා ගන්නවා ද යන දෙකින් එකක් තමනට තෝරා ගත හැකි යුගයක ය.

බලතණ්හාධිකයන්ට හා ගැතිවාදී වූවන්ට හා අනුන් කියන බණ නැවත කියන අයට වඩා පුද්ගල අයිතිය රකින, මිනිස් හිතවාදී වූ, සතුට අත්පත් කරගත හැකි, යම් දර්ශනයක් පැහැදිලි කරන්නා කියන්නේ සත්‍යයක් ද නැත් ද කියා තමන් විසින් තම තමන්ගේ ‘හැඳිමිටේ නුවණ’ වලින් අවබෝධ කරගන්නට හැකි යුගයක ය.

“බිත්තර නොකඩා ඔම්ලට් හදනු නොහැකි ය.”

Posted in Uncategorized by arunishapiro on ජූනි 2, 2011

“On ne saurait faire une omelette sans casser des oeufs.” ප්‍රංශ උපමාවේ දළ පරිවර්තනය: “බිත්තර නොකඩා ඔම්ලට් හදනු නොහැකි ය.”

රුසියන් සහෝදරයෝ කිව්වා ද නැද්ද යැයි මූලාශ්‍ර විවාදයක් පවතින මෙය ප්‍රංශ බසින් කිව්වේ 1790 දී ප්‍රංශයේ විසූ Maximilian Robespierre විසිනි. එසේ කියූ ඔහු කැඳවා ගත්තේ ප්‍රංශ විප්ලවයයි. අනුන්ගේ ජීවිත සැලසුම් කිරීම සඳහා තම වෙහෙස මහන්සිය නොතකා මහත් පරිශ්‍රමයක් දැරූ ඔහුගේ ඵල ලොව දකින්නේ 1793-94 දී වූ ප්‍රංශයේ භීෂණ සමය නොහොත් Reign of Terror සමයේ දී ය.

රොබස්පියෙර් සහ ප්‍රංශ ගිලටිනය “liberté, égalité, fraternité” (නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය) සටන් පාඨයෙන් දහස් ගණනක් බිත්තර කැඩූහ. නමුත් ඔම්ලට් එකක් සාදන්නට ඔවුනට නොහැකි විය. ඊට පසුව ආ පාලන බලය අල්ලා ගත් ප්‍රංශ මැරවරයන්ට ද ඔම්ලට් සදා ගත නොහැකි විය. ප්‍රංශය සද්ගුණය (moral), දේශපාලනය (political) සහ ආර්ථික (economic) කඩා වැටීමකට පත්කර නැපෝලියන් බොනපාට් නැමති ඒකාධිපතියාට බන්දේසියක තබා පිරිනමන්නට ඔවුන්ගේ ප්‍රතිපත්ති සමත් වුණි.

රොබස්පියෙර් මෙන් ම බිත්තර කැඩූ ලෙනින්, මා ඕ, පොල්පොට්, හිට්ලර් සහ බෙනිටෝ මුසිලිනිට ද ඔම්ලට් සාදා ගත නොහැකි විය. “හැමටම සුබ සෙත’ සලසන සැලසුම් හැදූ ඉතිහාසයේ වැඩියෙන් ඇත්තේ මරා දැමූ මනුෂ්‍ය ජීවිතයන් ය. කඩා හැලුණු ආර්ථිකයන් ය. ඉතින් ‘හැමටම සුබ සෙත සලසන වාදය’ (මීට කැමති නමක් දා ගත හැකිය) මිහිදන් කරන සොහොන් ‍කොතේ මෙසේ ලියනු හැකි යයි ඉහත විස්තරය ලියන Lawrence W. Reed කියයි: “මෙහි මිහිදන් වී ඇත්තේ, තමන් සියල්ල දන්නවා යැයි සිතූ, අනුන් වෙනුවෙන් කරනවා යැයි කියා තමන් වෙනුවෙන් කරගත්, මහත් බිත්තර රාශියක් කැඩූ අයගේ ප්‍රයෝගයයි.”

ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනූ F. A. Hayek තම The Road to Serfdom (1944) හි මෙසේ කියා සිටියි; ඒකීය උත්සාහයෙන් කරන සැලසුම් වෙනුවට සාමූහික උත්සාහයට ගහනා මධ්‍යතගත සැලසුම් විනාශයටත් ඒකාධිපතියෝ බිහි කරන්නටත් සමත් වෙයි. Lawrence W. Reed දක්වන උදාහරණ: ස්වීඩනයේ ‘මධ්‍යම ප්‍රතිපදාව’, යුගොස්ලාවියාවේ ‘ශ්‍රමික සමාජවාදය’ සහ බ්‍රිතාන්‍යයේ ‘ෆාබියන්වාදය’ යන සියල්ලේ ම ප්‍රතිඵලය කැඩුණු බිත්තර මිසක ඔම්ලට් නොවේ.

2010 දී බංකොළොත් වූ ග්‍රීසියට € බිලියන 110 ක් ණය දී බේරා ගන්නා ලදි. 2011 දී ග්‍රීසිය නැවතත් බංකොළොත්ය. අද තවත් € බිලියන 60 – 70 ත් අතර ණය මුදලක් ගැන කතාබහට යුරෝපීයයන් සමඟ IMF එකතු වී ඇත.

යුරෝපය එකතු කළා යැයි European Union Central Bank සභාපති Jean-Claude Trichet වෙතට Charlemagne ත්‍යාගය ප්‍රදානය වෙයි. යුරෝපීය මධ්‍යගත ආර්ථික සැලසුමක් හදන්නට අවශ්‍ය යැයි කියන ඔහු වහාම යුරෝපීය යුනියනය සඳහා මුදල් අමාත්‍යාංශයක් ද ආරම්භ කළ යුතු යැයි කියයි.

ණය වලින් හෝ මුදල් අච්චු ගසා ‍බේරා ගත් ආර්ථිකයක් ඉතිහාසයෙන් සොයා ගත් බව නොදකින්නට වෙනතක් බලාගෙන සිටින අය බොහෝය. යුරෝපීය යුනියනයේ € ආයෝජන ඇත්නම් ධනවත් වන්නට කැමැත්තෝ අද දින තම ආයෝජන ගැන මනා අවධානයෙන් සිටිය යුතුය.

වෙනිසියුලාවේ හියුගෝ චාවේස් ද සුබ සාධනය තව තවත් හැමටම බෙදා දෙන්නට බොලිවාර් බිලියන 45 ක ණයක් (ඩොලර් බිලියන 10.5) -new bonds- තම ජාතික සභාවෙන් ඉල්ලයි. හැමටම නිවාස? ණය වලින්? බුෂ් සහ ඔබාමා නිවාස හැමට බෙදූ ඇමෙරිකාව අමතක ද? වෙනිසියුලාව World Bank එකට ද නැත්නම් IMF එකට ද බේර ගන්න වෙන්නෙ? ඉදිරි පරම්පරා ණයගැති කරලා හරි ඊ ළඟ මැතිවරණය ජයගෙන ඉන්න එපායෑ!!!

‘ප්‍රතිසංස්කරණ’ යන වචනය හැමදාම ඇහෙන්නකි. මම මේ ගැන දේශනයක කළ සඳහනක් ඇසුරින් චතුරිකා ඉෂානි කුරුප්පු නැමති පාසැල් දැරිවිය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ පන්හිඳ ලේඛිකා සංගමයට කෙටි කතාවක් ලියන්නෙ 2009 දී. කෙටිකතාවේ නම: යාවජීව සමීකරණයක්. තේමාව: ජීවිතෙත් යාවජීව සමීකරණයක්. ආණ්ඩු හැමදාම ‘ප්‍රතිසංස්කරණ’ ගෙන එන්නේ ඇයි? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සෞඛ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ, සුබ සාධන ප්‍රතිසංස්කරණ, බදු ප්‍රතිසංස්කරණ යනාදී ලෝකයේ හැම පැත්තකින් ම හැමදාම ඇහෙනවා. ඉතින් ඒ කියන්නේ ලෝකයේ කිසිම ආණ්ඩුවක් පළමු වතාවන් 500 දී හරියට යමක් කරන්න අසමත් වුනා කියන එක ද?!!!

පුද්ගලයා යමක් කරන්න අසමත් වුනොත් එයට වගකීමෙන්, එහි ඵල විපාක විඳීමෙන් බලයට පත්වන හැම පක්ෂයකටම සල්ලි දුන්නත් අවසානයෙ පුද්ගලයාට බේරෙන්න බැහැ. ලංකාවේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් කොම්පැණියේ වැරදි වලට වගකියන්න වැරදි කළ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනවා. සිසිලියා කොතලාවල ඉන්න තැනක් කවුරු හරි දන්නවා ද? එයාට හැංගිලා ඉන්න ‍වුනේ ඇයි?

ඇමෙරිකාවේ ආණ්ඩුව දියත් කරන ලද නිවාස ණය ප්‍රතිපාදන නිසා නිවාස වෙළඳපොල කඩා වැටුණ. ඒකට ප්‍රතිපත්ති සැලසුම් ගහපු කවුරු හරි දඬුවමක් ලබයි ද? ඇමෙරිකාවේ කොටස් වෙළඳපොල ආයෝජන නීති කැඩුවාය කියා බර්නි මෑඩො‍ෆ් සහ රාජා රාජාසිංහම් නීතියෙන් වරදකරුවෝ වෙනවා. පුද්ගලයා සේ ම ආණ්ඩුව ද තමන් කරන කටයුතු වලට වගකිය යුත්තෝ කරගන්නේ කෙසේද?

අපි ආණ්ඩුවක් විසින් කරන ජයග්‍රහණයකට ආණ්ඩුවේ ලොක්කාට ජය පුදනවා. නමුත් ආණ්ඩුවක් විසින් වැරදි කළොත් ඊට වැරදිකරු වන සැලසුම් ගැසූ එයාව හැකියාවක් ඇතොත් ගෙදර යවනවා විතරයි ද?

සිරිමාවෝ බණ්ඩාරනායක නිසා වූ ‘හත් අවුරුදු සාපය’ ආර්ථික කඩා වැටීමකි. අනතුරුව ලංකා රජය ඇයගේ මානුෂික අයිතීන් ටික කලකට ඉවත් කරනවා. ඒ ඇයට දඬුවම් කරන්න ද? නැත්නම් ඇයව නැවත චන්දය ඉල්ලීමට ඉඩ නොදී තියන්න ද? දෙවැන්න බව පැහැදිලිව ම පෙනී යන්නේ, එය ඉවත් වූ සැනින් ඇය නැවත දේශපාලන කරලියට පැමිණීම නිසා. එස්. බී. බලු කතාවක් කිව්වා කියල හිරේ දැම්මා. දඬුවම් කරන්න ද? විපක්ෂය වට්ටන්න ද? පුද්ගලික තරහකට ද?

අපි පුද්ගලයෙක් කරන ජයග්‍රහණයක් නිසා වැඩි ආදායම් මාර්ග ඇති වූ සැණින් පුද්ගලයාට වැඩියෙන් ආදායම් බදු ගහනවා!! ඔහු ජයගත්තේ අනිකුත් අයගෙ අයිතීන් කප්පාදුවෙන් යැයි සිතනවා. නැත්නම් වාසනාව නිසා යැයි සිතනවා. අනිත් හැමෝටමත් එසේම කරත හැකි යැයි සිතනවා. ඔවුන් එසේ නොකරන්නේ යම් විදියකින් ඔවුන් පීඩිතව සිටින නිසා යැයි සිතනවා. එසේ සිතන නිසා හැමෝටම ධනවතාගේ ධනය බෙදා දුන් නමුත් ඔවුන් එසේ ධනය බෙදා දුන් නිසා පමණින් ජය නොලබන බව නොදකින්න ඇස් පියාගෙන සිටිනවා.

ආණ්ඩුවේ ඉන්නා ලොකු තැන් වලටත් අපි දිය යුත්තේ සමාජයේ පුද්ගලයාට දෙන්නා වූ වගකීම (responsibility) වෙයි. වගකීම කියන්නේ පිළිවෙත් සැලසුම් කිරීමට ඇති බලය පමණක් නොවේ. ඒ පිළිවෙත් ඵල රහිත නිසා ඇතිවන ප්‍රතිඵලයට ද දඬුවම් ලැබීම යි. ප්‍රායෝගිකව අපිට පාලන බලයේ ඉන්න අයව වගකීම් දරණා අය කිරීමට ඇති එකම ඉඩකඩ ඔවුන් ඒ බලයෙන් පහ කිරීම පමණයි.

පුද්ගල අයිතිය නැති රටවල ඔවුන් බලයේ සිටිය දී ඔවුන් හදා ගැනීමට ක්‍රමවේදයක් නැහැ. පුද්ගල අයිතිය නැති ධනවාදී වූ මධ්‍යස්ථගත සැලසුම් දියත් කිරීම් වල දී මූලික අඩුපාඩුව එයයි.

ධනවාදයේ මූලික පදනම වූ පුද්ගල අයිතිය බලය බෙදා හරයි. එය මධ්‍යස්ථගත සැලසුමකින් සිද්ධ නොවීමයි. එවිට සමාජයේ සෑම අවස්ථාවක දී ම බලය අතැති පුද්ගලයාට හෝ කොම්පැණියට හෝ සංවිධානයට වගකීමක් දරන්නට සිද්ධ වෙයි. පුද්ගලික අයිතියට ප්‍රධානත්වය ලැබෙන විට දී වරද කරන අයගෙන් බඩු නොගෙන සිටීමටත්, වරද කරන අය ආශ්‍රය නොකර සිටීමට හැකියාවත් අපට ලැබෙනවා.

වගකීම පැහැර හරින පුද්ගලයාට, කොම්පැණියට හෝ සංවිධානයට දඬුවම් කිරීමට අළුතින් නීති ගේන්න, නැත්නම් ප්‍රතිසංස්කරණ ගේන්න එතරම් අවශ්‍යතාවයක් නැහැ. තියන නීති ක්‍රියාත්මක කිරීම මඟින් (ආණ්ඩුවේ බලය හා ප්‍රසාදය එතැන ප්‍රධානත්වය නොගන්නේ නම්) සියළු පුද්ගලයෝ, කොම්පැණි හා සංවිධාන වගකීම් සහිත අය බවට පත් වෙයි. නැත්නම් ලාභ උපයා ගත නොහැකි දඬුවම් විඳිති.

පුද්ගල අයිතිය රකින රටවල වංචා හෙළි කරන්න නීතිමය බලය මාධ්‍යය සතුයි. මාධ්‍යවේදීන් පිට කහමින් ඉන්න හැදියාව අනුගමන කරනවා නම් ඵල රහිතයි. පුද්ගල අයිතිය නැති මොන රටක පාලකයා ද රිචඩ් නික්සන්ට වෙච්ච වැඩේ තමන්ට වෙනවාට දකින්න කැමති? ඩොමිනික් කාන් පුද්ගල අයිතියට කැමති වෙයි ද?

පුද්ගලික කොම්පැණි නිසා නොව ලෝක ආණ්ඩු නිසා වූ පරිසර දූෂණය, මිනිස් ජීවිත අහිමිය, සද්ගුණය පිරිහීම, ආර්ථික කඩා වැටීම් ගැන ගණනය කරන්න ගියොත්!!!

අතීතයක දී ට වඩා අද වගකීම් රකින්න හැම පුද්ගලයාටම, කොම්පැණියටම හා සංවිධානයටම සිද්ධ වී ඇති බව දකින්න පුළුවන්. අද තියන තාක්ෂණ දියුණුවෙන් අපිට වැරදි කරන අය ගැන දැන ගන්න ලැබෙන්නේ ක්ෂණයෙන්. ඒ වගේම හොඳ නිෂ්පාදන මිල දී ගන්න ජනතාව පොරකන්නේ ඒවා ලබන ප්‍රසිද්ධිය නිසාම නෙමෙයි.

යම් පාරිභෝගික භාණ්ඩයක් මිල දී ගැනීමට අවශ්‍ය යැයි සිතමු. ඒ ගැන බඩුව මිල දී ගන්නට පෙර විමසා බලන්නට අද අපිට අවස්ථාව ලැබී ඇත. එයින් එය මිල දී ගන්නවා ද නැද්ද කියා තමාට දැනුවත්කමින් වූ තීරණයක් ගත හැකියි. ඊට ‘කුමන හේතුවක් නිසා’ හෝ අකමැති නම් එය ආපසු දී ගෙවූ මුදල් ලබාගන්නට හැකියාව ඇත. නමුත් එවැන්නක් කළ හැක්කේ ‘හැමෝටම නිෂ්පාදන අයිතියක්’ ඇති සමාජයක පමණයි. නිෂ්පාදනය සීමිත පිරිසකට පමණක් ලැබුණු වරප්‍රසාදයක් වන සමාජයක තෝරා ගැනීමක් කරන්න ලැබෙන්නෙ නැහැ.

ඉතින්, භාණ්ඩයක් මිල දී ගන්න යද්දී, ඒ භාණ්ඩය කොතරම් අනගි ද, එය නිෂ්පාදනය කරන කොම්පැණියේ පරිසර හිතවාදය කොහොම ද, එහි ශ්‍රමිකයාට සැලකිලි කෙසේ ද යනාදිය සියල්ල සලකා බලන්න පාරිභෝගිකයාට අවස්ථාව හා හැකියාව අද ලැබී තිබෙනවා.

ඔම්ලට් ගැන කියූ නිසා මේකත් නොකියා ම බැහැ. උයන පිහන කුසලතාවෙන් ඉහළ උපාධියක් ලැබූවෙක් බිත්තර හදන ක්‍රම කීයක් දැන සිටිය යුතු ද? Chef තොප්පියක රැළි ගානට! සමහරු කියන්නෙ රැළි 100 ක් තියනවා කියල. මේ මම හදන්න දන්න ක්‍රම කිහිපය: බිත්තර තම්බන්න, sunny side up, eggs benedict, scrambled, poached, eggs maryland, deviled, beet egg, turkish, oeufs en cocotte, බිත්තර ෆ්‍රයිඩ් රයිස් සහ ඔම්ලට් හදන්නත් දන්නවා. පහුගිය ගිම්හානයේ දී මම හදපු බිත්තර කන්න ගොඩක් අය අවන්හලට ආවා. මේ ගිම්හානයේ දී අවන්හල යළි විවෘත නැහැ. බුල්ගේරියා, කසකස්ථාන්, රුසියන් සහ පෝලන්ත යනාදියෙන් එන ගිම්හාන යා‍ළුවෝ දැන් වෙන තැන්වල ඉතා අඩු පඩියට වැඩ. දුක වැඩියෙන් දැනෙන්නෙ සැප කොතරම් පහසුවෙන් අයත් කරගන්නට හැකි දෙයක් දැයි දකින්න හැකි අයට. තමන් කොතරම් උත්සාහයක් ගත්තත් පුද්ගල අයිතියක් නැති තැනක ඉන් ඵලක් නැතිබව දකින්න හැකි අයට. පුද්ගල අයිතිය නැති කල සියල්ලෝම වෑයමෙන් ඉවත් වන බව අවබෝධ කර නොගන්න බැරි අයට.

මම දකින විදියට බිත්තරයක් කැඩුවම ඔම්ලට් හදන්න පුළුවන් වෙන්නම ඕන!!

බිත්තර නොකඩා ඔම්ලට් හදන අයත් ඉන්නවා. බිත්තර නොකඩා ඔම්ලට් හදන්න හොයාගත්තේ මධ්‍යගත සැලසුම් ගහන ආණ්ඩුවකින් නම් නොවේ!! ප්‍රයිවට් කොම්පැණියකින්. කිරි බිත්තර නැති Ener-G හදන Egg Replacer ගැන විස්තර මෙතැනින්. අර්තාපල්, දියාරු ඇපල් මිශ්‍රණ දාලා, ඒ වගේම ටෝෆු දාලා හදන ඒ බිත්තර නොකඩා කෑම හදන හැටි විස්තර මෙතැනින්.

හැබැයි මම හදන රස බිත්තර කෑම වලට නම් අනිවාර්යෙන්ම අව්‍යාජ බිත්තර කඩනවා!!!

කළින් කියූ බිත්තර හදන විලාසිතා අනුව හැමදාම හදන ඔම්ලට් වලට වඩා තමන් කැමති ඕනෑම ආකාරයකට බිත්තරයක් හදා ගන්න අවස්ථාවකුත් තිබිය යුතුයි නේද?!!!!

ඇමෙරිකන් අයිතීන් පනතේ පළමුවැන්න

Posted in Uncategorized by arunishapiro on ජූනි 1, 2011

අද දිනයේ ඇමෙරිකන් අයිතීන් පනත ගැන ඇමෙරිකාව තුල වාසය කරන බොහෝ පිරිසක් වුව ද හරියාකාරව නොදනිති. ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබන සංක්‍රමණිකයා ඇමෙරිකන් ඉතිහාසය, ඇමෙරිකන් ව්‍යස්ථාව හා ඇමෙරිකන් ආණ්ඩු ක්‍රමය පිළිබඳව කෙටි විභාගයක් සමත් විය යුතුය. එය වාචිකව හෝ ලිඛිතව ඉංග්‍රීසි භාෂාවෙන් පාස්විය යුත්තකි.

අද ඇමෙරිකන් පුරවැසි විභාගය අහන ප්‍රශ්න සහ උත්තර ඉංග්‍රීසි බසින් මෙතැනින් කියවන්න.

මිලියන ගණනින් එන සංක්‍රමණිකයන්ට, සරණාගතයන්ට හා හොරෙන් පැමිණ සිටින්නන්ට එවැනි කෙටි පුරවැසි විභාගය පමණින් ඇමෙරිකාව ගැන පුළුල් දැනුමක් වැටහීමක් ඉල්ලීමෙන් තොරව රටේ පදිංචිය හා රටේ බදු ගෙවන ජනතාව වෙතින් ලැබෙන සුබ සාධනය හා පුද්ගල අයිතීන් ආරක්ෂාව ලැබේ.

අතීතයේ දී මෙරටේ උපන් අය ඇමෙරිකන් ඉතිහාසය තුලින් පුද්ගල අයිතීන් හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පුළුල්ව ඉගෙන ගත්හ. ඇමෙරිකන් ඉතිහාසය විෂයයක් වශයෙන් ඉගැන්වීම නැවතී එය වෙනත් විෂයයන් තුලට යාම නිසා පාසැල් අධ්‍යාපනයේ දී ව්‍යවස්ථාව ගැන යම් හැඟීමක් ලැබිය ද එහි අඩංගු මොනවා ද, එයින් තමනට දී ඇති අයිතීන් මොනවා ද නැද්ද යන්න මෙහි උපන් මෙහි හැදෙන වැඩෙන වැඩි පිරිසකට ද අද හරියාකාර වැටහීමක් නැත. පුරවැසි භාවය ලබන්නට සංක්‍රමණිකයන් පාස්විය යුතු කෙටි විභාගය ඔවුන් පාස්විය යුතු නැත.

ඇමෙරිකන් ආණ්ඩු ව්‍යවස්ථාවේ හැඳින්වීම මෙසේය.

“එක්සත් ජනපදයේ ජනතාව වන අපි, වඩාත් සුදුසු එක්සත් රජයක් හදා ගනු පිණිස, යුක්තිය ස්ථාපිතයට, දේශීය සාමය රැකීමට, පොදු ආරක්ෂාව සලසා ගැනීමට, සාමාන්‍ය සුබ සාධනය වර්ධනයට, නිදහසේ ආශීර්වාදය අපටත් අපේ ඉදිරි පරම්පරාවලටත් ආරක්ෂා කර දීම සඳහා, මෙසේ ව්‍යවස්ථාවක් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පිළිගන්වා ස්ථාපිත කරගන්නෙමු.”

We the People of the United States, in Order to form a more perfect Union, establish Justice, insure domestic Tranquility, provide for the common defence, promote the general Welfare, and secure the Blessings of Liberty to ourselves and our Posterity, do ordain and establish this Constitution for the United States of America.

එය ව්‍යවස්ථාව ගැන වූ හැඳින්වීමක් පමණි. එයින් ෆෙඩරල් ආණ්ඩුවට බලයක් පවරා නැත. එයින් ආණ්ඩුව කරන යම් ක්‍රියාවක් ගැන වූ සීමාවක් ද සඳහන් නොවේ.

“එක්සත් ජනපදයේ ජනතාව වන අපි” යන්න බොහෝ වාදයන්ට තුඩු දුන් හැඳින්වීමකි. අද ලෝකයේ උප්පත්තිය නිසා පමණින් පුරවැසිභාවය ලැබෙන රටකි ඇමෙරිකාව. යුරෝපීය ‍රටවල් මෙන් ලංකාවේ ද ඉපදුන පමණින් පුරවැසිබව නොලැබේ. ලංකාවේ පුරවැසිබව ලබන්නට නම් දෙමව්පියන් ලංකාවේ පුරවැසියන් යයි ඔප්පු කළ යුතුය. දෙමාපියන් ලංකාවේ පුරවැසියන් වූවත් තමන් වෙනත් රටක ඉපිද ඇත්නම් එහි පුරවැසිබවක් ලබා ඇති/නැති බවත් ඔප්පු කළ යුතුය. ලංකාවේ ඉපිද පසු කාලයක වෙනත් රටක පුරවැසිබවක් ලබා ගත්තා නම් ලංකාවේ පුරවැසිබව නැවත ගන්නට මුදලක් ගෙවිය යුතුය. එවිට ලංකාවේ ඉපදුන පමණින් ලැබෙන පුරවැසිබවක් නොව එය සාධක පෙන්වා, මුදල් ගෙවා, ආණ්ඩුවේ අවසරයෙන් ජනාධිපතිවරයා විසින් දෙන වරප්‍රසාදයකි.

ඇමෙරිකන් ආණ්ඩු ව්‍යවස්ථාව පුද්ගල අයිතීන් ස්ථාපිත කරන නිසා, තමන් ලබන වරප්‍රසාදයන් ගැන අභියෝග කරත හැකි ක්‍රමවේදයක් අඩංගු වූවක් නොවේ. ඇමෙරිකන් ආණ්ඩු ව්‍යවස්ථාව සැකසී ඇත්තේ ඒකීය පුද්ගලයාට නොලැබෙන හෝ අහිමිවන වරප්‍රසාදයන් ගැන අභියෝග එල්ල කරන්නට හැකි ව්‍යවස්ථාවක් ලෙසිනි.

එම නිසා ඇමෙරිකන් ආණ්ඩු ව්‍යවස්ථාව ගලේ කෙටූ ව්‍යවස්ථාවක් ද නොවේ. එය ජීවත්වන ව්‍යවස්ථාවකි. “එක්සත් ජනපදයේ ජනතාව වන අපි’ ඕනෑම කෙනෙකුට අපේ පුද්ගල අයිතීන් ගැන ගැටළුවක් ඇත්නම් එයින් විසඳුමක් -තීරණයක් ලබාගත හැකි ක්‍රමවේදයකි.

ඇමෙරිකන් ආණ්ඩු ව්‍යවස්ථාව ස්ථාපිත වන්නේ 1787 සැප්තැම්බර් 17 වැනි දා ය. එදා සිට අද දක්වා එනම් වසර 224 ක දී එය සංශෝධනයට ලක් වී ඇත්තේ 27 ක් වතාවක් පමණි!!

නමුත් එයින් ‘එක්සත් ජනපදයේ ජනතාව වන අපි’ පුද්ගල අයිතීන් තීරණයට විසඳුම් සොයාගත් වාර ගණන අනේක ය.

ඇමෙරිකන් ආණ්ඩු ව්‍යවස්ථාව සංශෝධනයට ලක් වූ මුල් වතාවෙන් පුද්ගල අයිතීන් පනත බිහිවිය. පුද්ගල අයිතීන් පනතේ පළමුවන්න මෙසේය:

“කොංග්‍රසය විසින් ආගම් සංස්ථාවක් සඳහා කිසිම නීතියක් ස්ථාපිත නොකළ යුතුය, එසේම එහි (එනම් ආගම් සංස්ථාවේ) නිදහස් භාවිතය වළකන කිසිම නීතියක් ස්ථාපිත ද නොකළ යුතුය, නිදහස් ප්‍රකාශනයට බාධක නොදැමිය යුතුය, මාධ්‍යයන්ට ද (බාධක නොදැමිය යුතුය), සාමාකාමී ලෙස සමූහයක් එකතු විය හැකි ජනතා අයිතියට ද (බාධක නොදැමිය යුතුය), තම දුක් ගැනවිලි කියන්නට ආණ්ඩුවට පෙත්සම් කරන අයිතියට ද (බාධක නොදැමිය යුතුය නැත්නම් ඒ සියල්ලන් වළකන කිසිම නීතියක් ස්ථාපිත නොකළ යුතුය)”. වරහන් මාගේය.

Congress shall make no law respecting an establishment of religion, or prohibiting the free exercise thereof; or abridging the freedom of speech, or of the press; or the right of the people peaceably to assemble, and to petition the Government for a redress of grievances.

ව්‍යවස්ථාව හදාරන නීතිවේදීන් පෙන්වා දෙන ආකාරයට මෙහි ‘Establishment Clause’ යන්නේ අරමුණ වන්නේ ආණ්ඩුව විසින් ආගම තහවුරු කිරීම සහ ඊට සහයෝගය දීම වළකා ලීම (prevent any governmental endorsement or support of religion) සඳහා ය. එකළ ඇමෙරිකාවේ විවිධ ආගම් ඇදහිල්ලට ඇති කැමැත්ත නිසා තම රට රටවලින් බැට කෑ ජනතාව මෙහි පදිංචියට අවුත් සිටියහ. ඒ නිසා යම් ආගමකට වඩා පක්ෂව සැලකිල්ල දැක්වීම වළකන නීතියක් ලෙසින් මෙය ස්ථාපිත වූවා යැයි සිතුවත්, එකළ දෙවියන් විශ්වාස නොකළ පිරිසක් ද ඇමෙරිකාවේ සිටියහ. ඉතින් මේ ‘Establishment Clause’ වෙතින් ආගමක් ස්ථාපිත කිරීමට ඉඩක් නැත්තා සේ, ආගමක් නැතිබව ස්ථාපිතයට ද ඉඩක් නොලැබේ.

එනම් ආගම අදහන්නට කැමති අයගේ අයිතිය ද ආගම් අදහන්නට අකමැති අයගේ අයිතිය ද දෙකම රැක දී ඇත.

පුද්ගල අයිතීන් පනතේ මුල් අයිතිය සම්මත වන්නේ 1792 දී ය. ආගම අදහන්නට හා ආගමක් නැතිව සිටීමට හැකි අයිතිය යන දෙකම ගැන ගැටළුවක් ඇත්නම් ඉහත පුද්ගල අයිතිය ගැන සුපිරි උසාවියෙන් තීරණයක් ලැබීමට එදා පටන් “එක්සත් ජනපදයේ ජනතාව වන අපි’ ඕනෑම කෙනෙකුට ලැබේ.

යම් නීතියක් ජීවත්වන නීතියක් වූ කළ, කලින් කලට සිදුවන ස්වභාවික වෙනස්කම් නිසා, මිනිස් චින්තනයේ දියුණුව හා මිනිසා ලබන විද්‍යාවේ දියුණුව නිසා තම අයිතියට යම් අභියෝගයක් ඇත්නම් ඊට සාධාරණීය විසඳුමක් කරා යන්නට “එක්සත් ජනපදයේ ජනතාව වන අපි’ ඕනෑම කෙනෙකුට ඉඩක් ලැබේ.

මිනිසා වනාහී සාමුහික සමාජයක් තුල ජීවත්වන ඒකීය වූ පුද්ගලයෙක් නිසා, ඒ ඒ ඒකීය පුද්ගලයා විසින් ඉතිහාසයේ පටන් විවිධ යුගයන් වල දී මුහුණ පෑ අහිමි වන වරප්‍රසාදයන් ගැන ජීවත්වන නීතියෙන් සහනය සොයා යන්නට එසේ ව්‍යවස්ථාව මඟින් ඉඩ දී ඇති උදාහරණ කිහිපයක් මෙසේය.

Everson v. Board of Education, 330 U.S. 1, 8 (1947) නම් නිව් ජර්සි ප්‍රාන්තයේ බදු ගෙවන්නෙක් බදු වලින් යැපෙන පාසැල් දිස්ත්‍රික්කයක් වෙත පවරන නඩුවකි. මහජන බදු වලින් යැපෙන පාසැල් දිස්ත්‍රික්කයක මහජන පාසැල් සහ පුද්ගලික පාසැල් (මෙහි දී සැලකිල්ලට භාජනය වූයේ පුද්ගලික ‘ආගමික’ පාසැල්) වල දරුවන් සියල්ලටම ප්‍රවාහන පහසුකම් සඳහා වැය දීමනාවක් ලැබීම ය.

පුද්ගලික ආගමික පාසැල් යන දරුවන්ට බදු ගෙවන ජනතාවගේ බදු මුදලින් වැය දීමනාවක් ගෙවීම, ආණ්ඩුව ආගමික සංස්ථාවක් සඳහා ආධාර දීමක් යැයි චෝදනාවයි. නීතියේ තීන්දුව වූයේ ප්‍රවාහනය සඳහා සියල්ලන්ටම (මහජන පාසැල් හා ආගමික පාසැල්) ප්‍රවාහන වැය දීමනාව ලැබෙන නිසා එක ආගමකට හෝ ආගම අදහන අයට පමණක් හෝ නොලැබෙන්නක් නිසා එය පාසැල් දිස්ත්‍රික්කය විසින් ස්ථාපිත හැමට සාධාරණ ප්‍රතිපත්තියක් වූ බවයි.

මම ගෙදර පාසැලෙන් දියණියට ඉගැන්වූවා කියූ බව එදා පටන් මගේ අඩවියට එන අයට මතක ඇති. දැන් බදු ගෙවන්නෙක් වන මට ගෙදර පාසැලක දී ප්‍රවාහන වියදම් නැති නිසා එවැනි ප්‍රතිපත්තියක් මා වාසය කරන පාසැල් දිස්ත්‍රික්කයේ වූවා නම් එයට අභියෝගයක් එල්ල කරන්නට මට ඉඩකඩක් හා අවසරයක් ව්‍යවස්ථාව මඟින් දී ඇත.

ජීවත්වන නීතියක් නිසා ස්ථාපිත වූ පසු ඉතිහාසයේ පටන් අද දක්වා නොයෙක් තීන්දු වලින් ජනතාවගේ සුබ සිද්ධිය සැලසීම සඳහා වෙනස්කම් වලට භාජනය වෙමින්, ඒ ඒ යුගයන්ට ගැලපෙන අන්දමින් ඒකීය පුද්ගලයා සලකා බැලෙන තවත් එවැනි නඩු තීන්දු මෙසේය: Lemon v. Kurtzman, 403 U.S. 602 (1970); Stone v. Graham, 449 U.S. 39 (1980); Lee v. Weisman, 505 U.S. 577 (1992)

එසේම රටක ජනාධිපතිවරයෙක් යම් ෆෙඩරල් මධ්‍යගත සැලසුමක් ස්ථාපිතයට ගන්නා වෑයමක් වුව ද අභියෝගයට ලක් කරන්නට ‘එක්සත් ජනපදයේ ජනතාව වන අපි’ ට ඇති අයිතිය කිසිවකුටත් උදුරා ගත නොහැකි අයිතියකි. මධ්‍යගත සැලසුමක චේතනාව කුමක් දැයි සොයා බලා, එය ක්‍රියාත්මක වන ආකාරය විනිවිද භාවයෙන් ද, එහි අඩුපාඩු සකස් කර ගැනීමට ද, බදු ගෙවන ජනතාවගේ කැමැත්ත/අකමැත්ත අනුව වැඩි චන්දයෙන් එකඟ වී, යම් සැලසුමක් තව දුරටත් පවත්වා ගෙන යන්නට හෝ නොයන්නට ඇති අවසරය ද ඇමෙරිකාවේ පුද්ගල අයිතීන් වලින් රැක දෙන්නකි.

තවත් විදියකින් කිව්වොත්

එක්සත් ජනපදයේ ජනතාව වන අපි, වඩාත් සුදුසු එක්සත් රජයක් හදා ගනු පිණිස, යුක්තිය ස්ථාපිතයට, දේශීය සාමය රැකීමට, පොදු ආරක්ෂාව සලසා ගැනීමට, සාමාන්‍ය සුබ සාධනය වර්ධනයට, නිදහසේ ආශීර්වාදය අපටත් අපේ ඉදිරි පරම්පරාවලටත් ආරක්ෂා කර දීම සඳහා, මෙසේ ජීවත්වන ව්‍යවස්ථාවකින් ඇමෙරිකා එක්සත් ජනපද වැසියන් වෙත පිළිගන්වා පුද්ගල අයිතිය ස්ථාපිත කරගත්තකි.