අරුණි ශපීරෝ‍ වෙතින්

නිව් යෝර්ක් නගරයේ තවත් එක දිනයක්

Posted in Uncategorized by arunishapiro on ජූලි 5, 2011

වෙලාව හවස දෙකට විතර ගෙදරින් පිට වෙද්දි. අතරින් පතර චුරු චුරු වැස්සකුත් වහිනවා. නිව් ජර්සි ටරන්පයික් කියන්නෙ නියමිත වේගයට වඩා හැමෝම දුවන එකම ඇමෙරිකන් අධිවේගී මාර්ගය. ගොඩක් වෙලාවට මාර්ග පොලීසියත් අහක බලාගෙන ඉන්නවා හරියට ඉක්මණින් නහින්න වගේ යන උන් ඔහෙ ඕන තූත්තුකුඩියක ගියාවේ කියන්න වගෙ.

තැන තැන පාර අළුත්වැඩියා කරන නිසා සුදු පාටයි තැඹිලි පාටයි ගාපු බැරල් හැමතැනම. ඒවා හදන්නෙත් චීනයේ ද දන්නෑ. හවස හයට ළං වෙන කොට අපි බෲක්ලින් පැත්තට ඇදුන. නර්තන වැඩ සටහන ඉවර වෙච්ච දියණියව වාහනයට දාගෙන අපි යන්න හදන්නෙ Broadway ෂෝ එකක් බලන්න. මරදානේ චාරිකා ලර්නර්ස් වෙතින් ඩ්‍රයිවින් ලයිසන් වලට ඉගෙන ගත්ත මට මෑන්හැටන් මැදින් යනවා කියන්නෙ කජු කනවටත් වඩා ලේසි වැඩක්!!

වාහනේ ඉයුජීන් ඔ’නීල් නාට්‍යාගාරය වෙත ළං වෙද්දී ඉස්සර වෙලාම හම්බ වෙන රථගාලේ නවත්තන්න අපි තීරණය කළේ පටන් ගන්න තව මිනිත්තු 15 විතර බව දැක්ක නිසා. Broadway ෂෝ එක කියන වේලාවට පටන් ගන්නෙ නැහැ. අවම වශයෙන් මිනිත්තු 5 ක් විතර ප්‍රමාදයි. මොකද හරියටම වේලාවට පටන් ගැනීම මදිකමක්. කියපු වේලාවටම පටන් ගත්තොත් එයින් හැඟෙන්නෙ ඇතුල් වෙන්න පොරකන පිරිසක් නැහැයි කියලා නිසාලු!!

නිව් යොර්ක් නගරය තුල වාහනයක් පැය දෙකක් විතර දාන්න ඩොලර් පනහ හැට ගෙවන්න වෙන අවස්ථා තියනවා. රථ ගාල්වල වැඩ කරන අය කාර් අරන් ගිහින් ගාල් කරන අවස්ථා ද තියනවා. ඒ තැන් වලින් ආපහු ගෙනැල්ලා දෙන්න මිනිත්තු 45 ක් යන්න පුළුවන් කියලා බෝඩ් ලෑලි ගහලාත් තියනවා. අධි ජනාකීර්ණ හා කුඩා ඉඩකඩක ඉල්ලුම හා සැපයුම තමයි ඒ.

තමන්ගෙ වාහනය ගාල් කරන්න තැනක් හොයන්නෙ නැතිව ටැක්සියක, බස් රථයක, උමං දුම්රියෙ, බයිසිකල් බක්කියක හෝ එහෙමත් නැත්නම් අශ්ව කරත්තයකින් උනත් මෑන්හැටන් වල යන්න පුළුවන්. හැබැයි ඉතින් ඩෙලවෙයාර් පැත්තෙ පිටිසර ගමක ඉන්න අපි ඉස්සර වෙලා මෑන්හැටන් වලට ඇතුල් වෙන්න එපායෑ ඔය විධි වලින් යන්න.

ඉල්ලුම හා සැපයුම කොච්චර හොඳට වැඩ කරනවා ද දකින්න පුළුවන් අනික් තැන තමයි අපි බලන්න ගිය ෂෝ එක. 2011 මාර්තු පටන් ගත්ත මේ නාට්‍යයේ හැම පුටුවක්ම විකිණිලා ඉවරයි තව දර්ශන ගණනාවක් යන තෙක්. ඒ නිසා කළින් ටිකට් අරගත්තු අය එයාලගෙ ටිකට් විකුණලා හොඳ ලාබයක් හොයනවා. ශාලාවේ මැද ඉස්සරහ පේලියක ආසනයකට ඩොලර් දාහක් විතර. ඊ ළඟට හොඳ ඒවා ඩොලර් පන්සියයට එහා මෙහා, අනිත් හරිය දෙසියයට අඩුයි. ඉයුජීන් ඔ’නීල් තියටර් එකේ ආසන දාහක් විතර. ටෝනි සම්මාන 9 ක් දිනන්න, තව ටෝනි සම්මාන 5 කට නාම යෝජනා වෙන්න, තවත් සම්මාන ගණනාවක් දැනටමත් දිනන්න තරම් හොඳ ෂෝ එකක් හැදුවම ඉල්ලුම සැපයුම වැඩ කරන නිදහස් වෙළඳපොලක ආශ්චර්යය!!

The Book Of Mormon රචනය, නිෂ්පාදනය සහ සංගීතය Trey Parker, Matt Stone (South Park නිර්මාතෘ), Robert Lopez යන තුන්දෙනා ගෙන්. මෝර්මන් නැමති ආගමට පහර දීමක් ලෙසින් පිටස්තරයෙන් පෙනුනත් මේක ඊට වඩා ගොඩක් සංකීර්ණ වූවක්. කතන්දරයෙන් පහර දෙන්නෙ විශ්වාසයන්ට. අගැයුමට ලක් කරන්නේ මිනිස් ස්වභාවය. සංගීතය හා නර්තනය වගේම ඉදිරිපත් කිරීමත් ඉතා අනගියි.

මොර්මන් පල්ලිය මේ මියුසිකල් ෂෝ එක ගැන කියපු ප්‍රකාශය අති වැදගත්. කෙටියෙන් ගත්තම ඔවුන් කියන්නෙ ප්‍රබන්ධය දිහා නොබලා ධර්මය දිහා බලන්න කියා. නිදහස අගයන රටක ප්‍රබන්ධයක් හදන අයගේ නිදහසත් ආගම අදහන අයගෙ නිදහසත් අරගලයකින්, ලේ ගැලීමකින්, ජීවිත බිල්ලකින්, වර්ජනයකින් තොරව රැකෙන්නෙ අන්න එහෙමයි. දෙපැත්තටම නිදහසක් තියේ නම් පමණයි!!!

රජය විසින් දුන් අනුග්‍රහයක් හෝ සහනාධාර වලින් හදන නිෂ්පාදන නොව තමන් විසින් කරන ආයෝජනයකින් එක්කෝ ලාභ උපයන්න නැත්නම් පාඩු විඳින්න බලාගෙන තනිකරම පාරිභෝගිකයා මත හොඳ නරක අගයන තීන්දුව බාර දීම තමයි නිදහස් වෙළඳපොල. සමහර නිෂ්පාදන වැඩියෙන් ජනප්‍රිය වෙන්නෙත් සමහර ඒවා උපන් තැනම මිය යන්නෙත් තනිකරම ප්‍රේක්ෂක කැමැත්ත අනුව.

දන්න දේවල් වැඩි වෙන තරමට යමක් අගය කරන්න ද හැකියාව වැඩි වෙනවා. මාත් ඇමෙරිකාවට පය ගහන තෙක් මෝර්මන් ආගම අදහන අය ගැන දැන සිටියෙ නැහැ. කැලිෆෝර්නියාවේ දී ඉස්සරහ ගෙදර ආච්චි ගෙදරට ආරාධනා කළාම මම ලංකාවේ තේ පෙට්ටියක් අරගෙන ගියා තෑග්ගට. මෝර්මන් අය තේ, කෝපි සහ caffeine කිසිවක් තියන සෝඩා බොන්නෙ නැහැ.

මෝර්මන් අය ගැන, ඒ ආගම ගැන දන්න කියන අයෙකුට එහි කියන විහිළු වැඩියෙන් වටහා ගත හැකියි. ලයන් කින්ග් චිත්‍රපටිය බලපු අයට මතක ඇති ඒකෙ එන ‘හකුනා මටාටා’ කියන කියුම. ඒකෙන් කියන්නෙ ‘වෙච්ච දේ වුනා හිත කරදර කරගන්න එපා’ කියලනෙ. දැන් මේ අයත් ඒ වගේ කියුමක් ගේනවා ‘හසා දිගා ඒබොවායි’ කියල. පහර දෙන්නෙ ඩිස්නි අදහසට ද නැත්නම් කියා පාන්නේ සත්‍ය අප්‍රිකාව ගැන ද, මිනිස් ස්වභාවය ගැන ද, දෙවියන් විශ්වාසයට ද කියන එක තමන්ගෙ දැනුමේ තරමට තමයි අවබෝධ වෙන්නෙ!!!

වාහනය ගාල් කරපු තැනම තියෙද්දී අපි ෂෝ එක ඉවර වෙලා රෑට නවතින හෝටලයට ඇවිද‍ගෙන ගියා. ටයිම්ස් චතුරශ්‍රයේ සෙනඟ පිරිලා. උඩින් උඩට ඉදි කරලා තියන රතු බංකුවල වාඩි වෙලා වටපිටාව බලමින් ලෝකයේ නන් දෙසින් ආපු අය විවිධ භාෂා වලින් කතාබහේ. අවන්හලකට ගොඩ වැදිලා රෑ දොළහට රාත්‍රී ආහාර ඇණවුම් කිරීම සාමාන්‍යයක් ලෙසින් සිද්ධ වන නගර ලෝකයේ තියන්නෙ සොච්චමක්. ඒ සොච්චමට නිව් යෝර්ක් නගරයත් අයිතියි.

දක්ෂ නිර්මාණ බිහි කරන්නත් ඒවා තහනමක් නැතිව අගයන්නටත් හැකියාවක් තියන රටක නිෂ්පාදනයට කඩොළු නොදමන පාලකයෝ හිටියොත් කොහොමට වත් රටක් බංකොළොත් වෙන්න විදියක් නැහැ.

13 Responses

Subscribe to comments with RSS.

  1. Kathandara said, on ජූලි 5, 2011 at 11:28 පෙ.ව.

    /* මරදානේ චාරිකා ලර්නර්ස් වෙතින් ඩ්‍රයිවින් ලයිසන් වලට ඉගෙන ගත්ත මට …*/

    +1

    පාලු පාරවල්වල පුරුදු වෙලා බය යනවයැ?

  2. Buwa said, on ජූලි 5, 2011 at 12:49 ප.ව.

    දක්ෂ නිර්මාණ බිහි කරන්නත් ඒවා තහනමක් නැතිව අගයන්නටත් හැකියාවක් තියන රටක නිෂ්පාදනයට කඩොළු නොදමන පාලකයෝ හිටියොත් කොහොමට වත් රටක් බංකොළොත් වෙන්න විදියක් නැහැ.

    අත් දෙකම උස්සල එකඟයි

  3. Pavithra said, on ජූලි 5, 2011 at 7:19 ප.ව.

    මමත් ඊයෙ නිදහස් දවසෙ Broadway හන්දියෙ කරක් ගැහුව. හැබැයි ඒ නම් රීගල් එකෙ Transformers 3 බලන්න. 😀

    • arunishapiro said, on ජූලි 6, 2011 at 6:43 පෙ.ව.

      Pavithra,

      ආයුබෝවන්!

      1 සහ 2 ට වඩා 3 හොඳයි ද?!!! 4 වැන්නකුත් මඟ එන හැඩයි නේද?

      • Pavithra said, on ජූලි 6, 2011 at 11:04 පෙ.ව.

        මටනම් 3 වැන්න උපරිමයි.. 1 සහ 2 3D වලින් බලල තිබුනේ නෑ. පළවැනි වතාවට මම දැක්ක ප්‍රේක්ෂකයො චිත්‍රපටියක් අවසානයේ සහ අතරමැද අත්පොලසන් දෙනවා. මම සිනමාහලකදී බලල තියෙන හොදම චිත්‍රපටිය. 3D තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජනය අරන් තිබෙනවා. IMAX හරි Regal RPX තිබෙන සිනමා හලකින් බැලුවනම් උපරිමයි.

  4. ගෝල්ඩ් fish said, on ජූලි 5, 2011 at 10:49 ප.ව.

    නාට්‍යයක් බලන්න ගිය කාලයක් මතක නෑ අක්කේ….

    • arunishapiro said, on ජූලි 6, 2011 at 7:14 පෙ.ව.

      ගෝල්ඩ් fish,

      ලංකාවේ 2008 දී ලයනල් වෙන්ඩ්ට් වල ඉංග්‍රීසි නාට්‍යයක් බලන්න ගියා. නාට්‍ය පැවැත්වෙච්ච මුළු කාලය පුරාම සභාවේ සිටිය අය කතා කරන එක නැවතුනේ නැහැ. 80 ගණන් වල දී ලයනල් වෙන්ඩ්ට් හි දී ඉංග්‍රීසි නාට්‍ය ද, හැව්ලොක් ටවුන් ලුම්බිණි තියටර් හි සිංහල නාට්‍ය ද, නරඹද්දී මිනිස්සු එහෙම හයියෙන් කතා කර කර ඉන්නවා මගෙ මතකයේ නැහැ.

      යන්න බලන්න යාළු මාළු මල්ලියේ අන්න මේ මාසේ 13 වන තෙක් හෝමාගම දී ජනකරළිය නාට්‍ය කණ්ඩායම මෙහෙයවන නාට්‍ය මාලාවක් පැවැත්වෙනවා. හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාව (මම ඉතා ආසාවෙන් කිහිප වතාවක් බලපු එකක්); සෝමලතා සුබසිංහගේ තොප්පි වෙළෙන්ඳා, පුංචි අපට දැන් තේරෙයි; පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව, මැටි කරත්තය, අන්දර මල්; ඉන්දිකගේ කලම්බෝ … කල‍ම්බෝ; ප්‍රියන්ත සිරිකුමාරගේ බර්නාඩාගේ සිපිරි ගෙය එහෙම බලාගන්න පුළුවන්ලු.

  5. ඒ වගේ ආර්ථික ප්‍රතිලාභ ලබන නාට්‍යකරුවන් ලොවේ කොයිතැනක හෝ සිටින බව අසන්නට ලැබීමත් සතුටක්…

    • arunishapiro said, on ජූලි 6, 2011 at 6:39 පෙ.ව.

      සපතේරු උන්නැහේ,

      ආ‍යුබෝවන්!

      ඔව්, රජයේ අනුග්‍රහය නැතිව ආර්ථික ලාභ සොයන දක්ෂ කලාකරුවෝ බොහොමයක් ඇමෙරිකාවේ ඉන්නවා. ඒකීය ජනතා මතය මත කැමැත්ත අකැමත්ත තීරණය වීම මිස එක එක කල්ලි වලින් පොදු ජනතාවට නරඹන්නට සුදුසු මෙය යැයි නොකියන සමාජ රටාවක් නිසාම.

      අඟහරුවාදා සිට ඉරිදා දක්වා පැවැති දර්ශන 8 කින් (සමහර දිනවල දර්ශන 2) මේ මියුසිකල් එක ඇමෙරිකන් ඩොලර් මිලියන 1.19 ක් උපයා තියෙනවා. ප්‍රවේශ පත්‍ර වලට අමතරව නාට්‍යාගාරයේ දී මියුසිකල් එකේ සිංදු රැගත් සී ඩී තැටිය, කතන්දර පොත එහෙමත් විකුණනවා. ඊට අමතරව itunes වලින් වැඩියෙන්ම දැනට අලෙවි වන මියුසිකල් ෂෝ එකක ඔරිජිනල් රංගන කණ්ඩායම ගයන ගී තැටිය ද ඔවුන්ගේ බව දැනගන්නටත් ලැබුණ. එම ආදායම ඉහළ මිලියන 1.19 ට ඇතුලත් නැහැ.

      ඒ සමඟ සසඳා බලන්න ඕනා ජර්මනියේ වාර්ෂිකව පැවැත්වෙන Bayreuth Wagner festival එක. එයට මහජන මුදල් වසරකට යුරෝ මිලියන 5 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 7.2) ක් සහනාධාර ලැබෙන්නක්. වසරකට ඒ උළෙල ටිකට් පත් 2,650 ක් කලාකරුවන්ට සහ ඔවුන්ගේ සේවකයන්ට නොමිලේ බෙදා දෙනවා. අළුත් නිෂ්පාදනයක් නම් ටිකට් වලින් 16% යි මහජනයාට, නැත්නම් 40% ක් තමයි මහජනයාට මිල දී ගන්නට හැකියාව ඇත්තේ. කෝටා ක්‍රමයට ටිකට් නිකුත් කිරීම නිසා වාර්ෂිකව පැවැත්වෙන එම උළෙලෙහි ඔපෙරාවක් බලන්න ටිකට් පතක් ගන්න වසර 9 ක් බලා හිඳීම සාමාන්‍යයක්!!! ජර්මන් වෘත්තීය සමිති සම්මේලන සාමාජිකයනට පමණක් සීමා වූ අනිත් අයට දොරවල් වැහිච්ච රාත්‍රියකුත් තියෙනවා. වැග්නර් අහන්න ආස නැති වෘත්තීය සමිති ‍සහෝදරයෝ ඒ දවසේ ලැබෙන ටිකට් පත් වැඩි මිලකට අලෙවි කිරීමත් නවතා නැති ප්‍රතිපත්තියක්. ටිකට් පත් වලින් උළෙලේ වියදම් වලින් පියවෙන්නෙ බාගයකටත් අඩුවෙන්. ඉතින් විසඳුම හැටියට සහනාධාර නැති කිරීම නෙමෙයි ජර්මනියේ බජට් කාර්යාලය යෝජනා කරන්නෙ. ටිකට් පත් බෙදා දෙන හැටි වෙනස් කරන්න ජූනි 15 දා පැවති විශේෂ රැස්වීමක දී තීරණය කිරීමයි!!

      ධනවාදී යැයි කියාගන්නා ජර්මනිය පවා තමනට අවශ්‍ය විදියට ධනවාදය නිර්වචනය කරන්නට යෑම පෙන්වන්නට එය කදිම නිදසුනක්.

  6. Anithkona said, on ජූලි 14, 2011 at 6:51 පෙ.ව.

    mormon … ඇත්තටම ඒ ගැන ඇහුවේ අක්කගේ ලිපියෙන්. (අක්කා කිව්වට අමනාප නැහැනේ) අපි ඇත්තටම ළිං මැඩියො වගෙයි මට හිතෙන්නේ මේ සටහන් කියවද්දි. තමන්ගේ කැමැත්තෙන් අලුත් කරගන්න අප්ඩේට් කරගන්න වෛද්‍ය දැනුමක් ඇරෙන්න වෙන කිසිදෙයකට වෙලාවක් නෑ. ලෝකේ වෙන දේවල් ගැන ඇත්තටම වගේ වගක් නෑ. මේ බ්ලොග් ලිවීම් කියවන්න යොමු වුනේ මේ කුටුම්භගත ජීවිතයේ වෙනසක් දකින්න. ඉස්සර ජෝන් ද සිල්වා එකේ හරි එල්ෆින්ස්ටන් එකේ හරි යාළුවෝ එක්ක නාට්ටි බලද්දි කොච්චර නම් ආසන හිස් වෙලා තිබුනාද මතක් වුනා. සමහර සටහන් කියවද්දි හිතුනේ…Quality of life අතින් ඇමෙරිකාව ඉදිරියෙන් ඉන්න එක පුදුමයක් නෙමෙයි කියලා

    • arunishapiro said, on ජූලි 14, 2011 at 10:19 පෙ.ව.

      Anithkona,

      ජෝන් ද සිල්වා සමරු රඟහල සහ එල්ෆින්ස්ටන් මමත් බෙහෙවින් ගැවසුණු තැන් අතරට වැටෙනවා. සල්ලි ගෙවලා ශාලාවට ගිහින් නාට්‍ය බලන පුටුවක් හිස් නොකරපු කෙනෙක් මමත්!!

      ලංකාවේ ජනතාවට කුතුහලය හා උවමනාවක් නැහැ කියන්න බැහැ. මගෙ තාත්තා, සුමනදාස සමරසිංහ, 75 -85 කාලය තුල ජෝන් ද සිල්වා සමරු රඟහලේ දේශන පවත්වද්දී, එහි එදා තිබිච්ච පුටු දාහකට ආසන්න මුළු සංඛ්‍යාවම පුරවන්න සමත් වුනේ ඈත එපිට බස් පවා නොයන ගම්මාන වලින් ආපු ජනතාවගෙන්. තාත්තාත් ලෝකය පුරා ගිහින් තිබිච්ච කෙනෙක් නිසා බෙදා ගන්න දේවල් ගොඩක් තිබුණ ඒ අය එක්ක.

      එදා ඒ අය ටිකට් පතක් මිලට අරගෙන කතා අහන්න ආවා!!! එහෙම රසවත් දේවල් බෙදන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එන්න කට්ටියක් අදත් නැතිවෙන්න බැහැ.

  7. mppgunasinghe said, on සැප්තැම්බර් 8, 2017 at 4:53 ප.ව.

    මේ කදිම ලිපිය මුණ ගැහුනෙ දැන්! ඔබේ ලිපි සියල්ලම කියවන්න ඕන කියල කාලෙක ඉඳන්ම තියන හැඟිම එක සිතිවිල්ලක් විතරක් වුනාද මන්දා


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: