අරුණි ශපීරෝ‍ වෙතින්

ජීවත්වන ඉතිහාස ටුවර් එකක්

Posted in Uncategorized by arunishapiro on ජූලි 11, 2011

Little Women නවකතාව ලියූ Louisa May Alcott ගේ Orchard House නිවස බලන්නට ගියෙමි. ඒ මැසචූසෙට්ස් ප්‍රාන්තයේ කොන්කෝඩ් නම් කුඩා ගමේ දී ය. 2010 දී ගමේ ජනගහණය 17,668 කි. ඇය ජීවත් වූ නිවස ඉදි කරන ලද කාලය දළ වශයෙන් 1690-1720 අතර දී යැයි සැලකේ. ඇල්කොට් පවුල 1858 සිට 1877 දක්වා එහි ජීවත් වී ඇත. ඇයගේ පියා එම නිවසත් ඊට යාබද වූ නිවස සහ අක්කර 12 ක ඉඩම මිල දී ගෙන ඇත්තේ 1857 දී ඩොලර් 945 කට ය. 1868 දී එම නිවසේ දී ලුයිසා සිය පියා හදා දුන් රාක්ක මේසයක හිඳගෙන ඉහත කියූ නවකතාව ලියා ඇත. ඔවුන් පරිහරණය කරන ලද බඩු භාණ්ඩ බොහොමය අද දිනයේ ද නිවසේ සුරක්ෂිතව පවතී. ප්‍රවේශ පතක් මිලට ගෙන ඇතුලට යා හැකිය. එහි දී ඔවුන් විසින් නිවසේ විස්තර කියන චාරිකාවකට සහභාගී වී තොරතුරු බොහොමයක් දැන ගැනීමට පුළුවන.

ඇයගේ නිවසට යන පාර දිගේ තවත් ඵෛතිහාසික නිවාස පේලියකි. ඒවායේ අද ජීවත්වන අයට තම නිවහන දිහා බලමින්, එහි විස්තර පුවරු කියවමින්, පින්තූර ගන්නා සංචාරකයන් හොඳට හුරු පුරුදු බව පෙනුනි. ඈත අතීතයක බිහි වූ ලේඛකයෝ, කවියෝ හා නිදහස් අරගලයේ පුරෝගාමීන් රටට දුන් දායාද අද දිනයේ ද හොඳින් ආරක්ෂා කරගෙන ඒවා රසවත් බවකින් බෙදා ගැනීම ජීවත්වන ඉතිහාසයේ කොටසකි.

ඒකීය පුද්ගලවාදය අගැයූ ඇමෙරිකන් දාර්ශනික Ralph Waldo Emerson ගේ නිවහන ද අද ඒ ගමේ තිබෙනා වූ පුද්ගලික කෞතුකාගාරයකි. මේ ඔහු ගද්‍ය පද්‍ය හා දාර්ශනික රචනාවන් ලියූ නිවහනයි.

කොන්කෝඩ් මිදි ගෙඩිය ලොවට ඉදිරිපත් කළ Ephraim Bull නැමැත්තා ද එය නිපදවන්නේ එහි ලෙක්සින්ටන් පාරේ නිවහනක දී ය. ඔහු මුලින් හැදූ මිදි වැල තවමත් එහි වැවෙමින් පවතිනවාලු!!!

පරිසර හිතවාදයට සහ වහල් ක්‍රමය අහෝසියට මහත් සේවයක් කළ Henry David Thoreau කොන්කෝඩ් ගමේ උපදින්නේ 1817 දී ය. ඔහු ජීවත්වන්නේ 1849 දී ඉදි කරන ලද නිවසකය. ඔහු මිය ගිය පසු ලුයිසා ඒ නිවස මිලට ගෙන එහි පදිංචියට යන්නීය. ඇයගේ Jo’s Boys (1886) නවකතාව ලියැවෙන්නේ එහි දී ය. එය අද පුද්ගලික නිවහනකි. එදා තිබි විදියට අදත් දැකිය හැකිවීම ඉතා අපූරු ය.

ඇමෙරිකන්කාරයා යැයි කී විට විජට්ටු සමඟ නවීනකරණයේ ආම්පන්න වලින් ගහණ පරිසරයක නිවහනක ජීවත්වන්නට කැමති අයෙක් හිතේ මැවේ නම් එය සම්පූර්ණ දැක්ම නොවේ. මේ ඇමෙරිකානුවන් අතීතයේ වැදගත්කම දැනගෙන එය ආරක්ෂා කරගන්නා අය වෙති. කොන්කෝඩ් ගමට ගොඩ වැදෙන සංචාරකයෝ ද ඇමෙරිකන් ජීවත්වන ඉතිහාසය දැන ගැනීමට ප්‍රිය කරන්නෝ වෙති.

ඉතිහාස තොරතුරු වලට අමතරව ගම අද දිනයේ සාහිත්‍ය සම්මන්ත්‍රණ හා වැඩමුළු පවත්වන ස්ථානයකි. ගිම්හානයේ පරිසරය ඉතා සෞම්‍ය ය. හිතන්නටත් ලියන්නටත් කැමති අයට ගම ඒ සඳහාම වූ අභය භූමියක් වැනි ය.

ගමේ පාරවල් පනින සුදු ඉරි ගැසූ තැන්වල හිට ගනිද්දී ම වාහන නැවතේ. වැඩි වේලාවක් යන්නට මත්තෙන් එය දුටු මමත් දියණියත් පාර පනින්නට දෝ නැද්දෝ යයි තීරණය කරන්නට පෙර එවැනි තැන්වල හිටගෙන සිටීමෙන් වැළකුණෙමු. මන්ද ඊට ළඟා වෙද්දීම වාහන නවතින්නට පටන් ගත් බැවිනි. සමහර විට කෝන්කෝඩ් ගමේ අය සංචාරකයන්ට බෙහෙවින් කැමති වෙන්නැති. නැත්නම් සුදු ඉරි ළඟ නවත්තන්නෙ නැති වාහන වලට ලොකු දඩ වදිනවා ඇති.

1775 අප්‍රේල් 15 වැනි දා නිදහස් අරගලයේ මුල් ම වෙඩි හඬ ලෝකයට ඇසුනා යැයි කියන කොන්කෝඩ් නගරයේ උතුරු පාලම ඇතුළු ඵෛතිහාසික ස්ථාන බොහොමයකි. Sleepy Hollow Cemetery ‍යේ මිහිදන් වූවන් අතර Henry David Thoreau, Nathanial Hawthorne, Louisa May Alcott, සහ Ralph Waldo Emerson යන අයගේ සොහොන් වෙති.

ස්වදේශී ඉන්දියානුවන් ජීවත් වූ කාලයේ දී ගම හැඳින්වී ඇත්තේ Musketaquid නාමයෙනි. යුරෝපීය ආගමනයත් සමඟ වසූරි වසංගතයන් පැතිර යාමෙන් මිය ගියේ පදිංචියට ආ යුරෝපීයයන් පමණක් නොව මෙහි වාසය කළ ස්වදේශී ඉන්දියානුවන් ද වෙති. ඉතිරි වූ ඉඩම් කැබලි ස්වදේශී ඉන්දියානු‍වන් වෙතින් සාමකාමී ව මිලට ගත් නිසා නගරය කොන්කෝඩ් ලෙසින් නම් කෙරුණි.

වහල් ක්‍රමය අහෝසි කරන්නට ගත් වෑයමේ දී දකුණෙන් පළා ආ කළු වහලුන් ආවේ අහසේ තරු දිහා බලාගෙන උතුරට ගමන් කරමිනි. Big and Little Dippers තරු වලට කළු ඇමෙරිකානු වහල් ජනතාව දුන් නාමය The Drinking Gourd නම් වෙයි. වැඩියෙන් අහසේ රෑට බැබළෙන උතුරු තරුව මේ තරු පොකුරු වලින් ඔවුනට උතුරට මඟ පෙන්වා දුන්හ. වහල් සේවයෙන් නිදහස ලැබූ අය වාසය කළ නිවාසයන්හි ද ස්මාරක පුවරු අද කියැවිය හැකිය. තවමත් සිවිල් අයිතීන් හා නිදහස අගයන සංවිධාන බොහොමයක් මෙහි පවතී.

පරණ ගොඩනැඟිලි අතර මෑතක දී ඉදි කරන ලද මහජන පුස්තකාලය ගමේ විශාලතම ගොඩනැඟිල්ලයි.

1747 දී Ephraim Jones ඉදි කළ Wright’s Tavern එක 1775 අප්‍රේල් මාසයේ දී නිදහස් අරගලය වෙනුවෙන් පාවිච්චියට ගන්නෙ Amos Wright නිසා ඉන්පසු එය හැඳින්වෙන්නෙ ඔහුගේ නමින්. රතු කෝට් බ්‍රිතාන්‍ය හමුදාව මෙහි අවි ආයුධ ගබඩා කර ඇත්දැයි සොයන්න පැමිණ අනතුරුව බොන්න නැවතුණු බව ඉතිහාසය කියයි.

අපි රෑ කෑමට ගියේ 1716 දී පටන් පැවතෙන Colonial Inn අවන්හලට. මෙවැනි තැනක් කෞතුකාගාරයක් පමණක් නොවී තවමත් ව්‍යාපාරයක් ලෙසින් පැවතීම නිසාම එහි පැවැත්ම තවත් දිග කාලයක් පුරා රැකේවි. ඵෛතිහාසික චරිත කාපූ බීපු තැනක ගිහින් කන්න බොන්න ඇමෙරිකන් ඉතිහාසය කියවපු කවුද අකමැති? හොල්මන් පවා ඉන්නවාලු !! එළිමහනේ තිබිච්ච පුටු සේරම පිරිලා නිසා අපි දෙන්නා රෑ කෑමට ඇතුලට ගියා.

හාවඩ් විශ්ව විද්‍යාලය හා MIT තියන්නෙ වැඩි ඈතක නොවේ. මෙහෙම ගමක් ආරක්ෂිතව පැවතීම ඇමෙරිකාව දියුණු ලෝකයට යන ගමනේ දී අතීතය අමතක නොකරන බව පැහැදිලිවම දක්වන්නකි.

11 Responses

Subscribe to comments with RSS.

  1. Sujeewa said, on ජූලි 11, 2011 at 3:21 ප.ව.

    කාලෙකින් මේ පැත්තේ කොමෙන්ටුවක් දාන්නේ. ඉතිහාසය නම් හරිම රසවත් විෂයයක්. මාත් අහල තියෙනවා ඔය හරියේ [මැසචුසෙට්ස් අවට] තවම බොහොම ග්‍රාමීය වූ ප්‍රදේශ තයෙනවා කියලා.

    ස්තුතියි එක්ක ගියාට.

    • arunishapiro said, on ජූලි 12, 2011 at 11:01 පෙ.ව.

      Sujeewa,
      රජයක් විසින් කළ යුතු ස්වල්ප කාර්ය භාරයේ මගේ අනුමැතිය ඉත සිතින් ලැබෙන ව්‍යාපෘතියක් තමයි මේ national registry of historical places ලැයිස්තුව සම්පාදනය. නගරයකට හෝ ප්‍රාන්තයකට දුන්නොත් ඔවුන් වෙතින් ජාතික වැදගත්කම ගැන අඩු/වැඩි තක්සේරුවක් දිය හැකි නිසා මෙවැනි ලැයිස්තුවක් ෆෙඩරල් ආණ්ඩුව බාරයේ තිබීම වඩා සුදුසුයි.

      ඇමෙරිකාවට වසර 235 ක් පිරෙද්දී ඵෛතිහාසික ස්ථාන ලැයිස්තුවට 85,000 කට වඩා ගොඩනැඟිලි එකතු වෙලා තියනවා.

      හැම ප්‍රාන්තයකම වගේ ඉතිහාසමය වැදගත්කමකින් යුතු වූ ස්ථාන රැකෙනවා. ග්‍රාමීය ප්‍රදේශ ඇමෙරිකාවේ හැම ප්‍රාන්තයකම වගේ දැක ගන්න පුළුවන්. කැමැත්තෙන්ම එවැනි පැතිවල ජීවත්වන ඇමෙරිකානුවන් සිටීම හා ඔවුනට ජීවිකාව ගෙන යා හැකි ආදායම් මාර්ග තමන් විසින් ම හදා ගෙන තිබීමත් විශිෂ්ඨයි.

  2. praveena said, on ජූලි 11, 2011 at 5:46 ප.ව.

    රසවත් ලිපියක් අරුනි. ඉතිහාසෙට අරන් ගියා වගේ. පරන දේවල් අමතක නොකරනවට මමත් හරි කැමති.
    කාලෙකට ඉස්සර කියවපු ‘ Little Women ‘ පොතත් සිහියට නැගුනා.

    ඒ ගමේ ඉඳගන පොතක් ලියන්ට අදහසකුත් පහල උනා……:D

  3. gimhani said, on ජූලි 11, 2011 at 8:33 ප.ව.

    අනේ අපේ රටෙත් මෙහෙම තියනවනම් කියා සිතුනා .
    එහෙනම් මේ කහ ඉර මත් සිදුවෙන අනතුරු වෙන්නේ නෑනේ.
    රසවත් ලිපියක්. ගොඩාක් ආසයි මේ ඉතිහාස කතා දෑනගන්න
    . ස්තුතියි…

    • arunishapiro said, on ජූලි 12, 2011 at 11:04 පෙ.ව.

      gimhani,

      කහ ඉර වෙනුවට සුදු ගෑවා නම් හරි යයි ද?!!

      නෑ නෑ ඉ‍රි ගහපු පාට වල වැරැද්ද නෙමේ. නීතිය පිළිපැදීම හා ක්‍රියාත්මක වීම ගැන අවබෝධය නැතිකම ද? නැත්නම් පුද්ගල අයිතිය පිළිනොගන්න කම ද?!!

      ඒකනෙ කොයි පාටින් බලයට ආවත් හැමදාම එකම විදියේ වැරදි සිද්ධ වෙන්නෙ.

  4. Niroshinie said, on ජූලි 12, 2011 at 12:27 පෙ.ව.

    Louisa May Alcott සහ Emerson ලියපු දේ මම හරිම ආසාවෙන් රස විඳලා තියෙනවා. Nathaniel Hawthorne ගේ නම් එක පොතයි (Scarlet letter) කියවල තියෙන්නේ. මේ හැමෝම එක ගමේ අයද එතකොට… බොහොම ස්තුතියි දැනුවත් කරාට.. 🙂

    • arunishapiro said, on ජූලි 12, 2011 at 11:08 පෙ.ව.

      Niroshinie,

      ඔව් ඒ අය එකම කාල පරාසයක දී අසල්වැසියෝ ද වූවා. ගෙවල් තුනම ඇවිදගෙන යා හැකි ළඟින් තියෙන්නෙ. Nathaniel Hawthorne මිල දී ගන්නවා ඇල්කොට් පවුලෙ Hillside නිවස. ඊට පස්සෙ එයා ඒක Wayside කියලා නම වෙනස් කරනවා පාර අයිනේ නිසා හරියට අශ්ව කරත්ත වල ගමන් කරන අයට නැවතුම්පොළක් වගේ පෙනුම තිබිච්ච නිසා. එකළ ජීවත් වූ ලේඛකයන්, කවි ලියන්නන් බොහොමයක් එකිනෙකා ඇසුරු කරන්නටත් ගමේ අනිත් අයට සහභාගී විය හැකි සාහිත්‍ය හා දාර්ශනික හමුවන් පවත්වලා තියෙනවා. Emerson තමයි Hawthorne ව ඒවට ඇදගෙන ගිහින් තියෙන්නෙ. මොකද Hawthorne හරි ලැජ්ජයිලු පිරිසක් එකතු වන තැනකට තනිවම යන්න. ඉතින් ගමක් ලෙසින් සාහිත්‍යයෙන් පෝෂණය වූ පරිසරයක් ඇතිවීම නිතැතින් ම සිදු වෙන්න ඇති.

      මගෙත් හීන තියනවා; නුවරඑළියේ ග්‍රාන්ඩ් ෆ්‍රී ක්‍රීඩාංගනයක්, කොග්ගල පැත්තෙ සිංහල සාහිත්‍යය සඳහා වූ කුඩා ගමක්, තව තව පුංචි අදහස් ගොඩාක්!!! හැබැයි ඒ ඔක්කොම පුද්ගලික ව්‍යාපාර මිසක් රජයේ අනුග්‍රහයකින් හෝ NGO ආධාර වලින් නෙවෙයි. බලමු සංගාට මොකද වෙන්නෙ කියලා. නිදහසේ කැමති දෙයක් කියන්න ඉඩක් තියේ නම් 100% බදු ගෙවලා හරි ව්‍යාපාරයක් පටන් ගන්න එන්න ඇහැකි වෙයි ද කියලා බලාගෙන ඉන්නෙ!!!

  5. හීනියට said, on ජූලි 12, 2011 at 6:41 පෙ.ව.

    රටක විය යුතුම දෙයක් නේද?
    ඒ අතින් අපි බොහොම පිටිපස්සෙ……..අනේ මන්ද?

    • arunishapiro said, on ජූලි 12, 2011 at 11:09 පෙ.ව.

      හීනියට,

      මෙහෙ ඉතිහාසය පටන් ගන්නෙ වසර 235 කට පෙර. ඒ මුද්‍රණය සහ සටහන් තැබීම පහසු යුගයක. වසර දෙදාහකට ඈත බිහිවුන ඉතිහාසයක්, වාචිකවත් ගල් පුවරු වල හා තල් කොළ වලත් සටහන් තැබීමෙන් රැකගත් ඉතිහාසයක් ගැන එකඟතාවයකට එන්න අමාරුයි. නමුත් එහෙම යැයි කියලා තව තවත් කල් දැමීමෙන්, පිටරට ආධාර වලින් සංස්කෘතිය රැකගන්න බලාගෙන සිටීමෙන් පාඩු වෙන්නෙ රටට ම යි.

      ජීවත්වන ඉතිහාසයක් ගැන පුද්ගලික වෑයම් ඇත්නම් දේශීය සහ විදේශීය වූ සංචාරක සියල්ලන්ට ම වැදගත් වෙයි. ඒත් පුද්ගලික ව්‍යාපාර ගැන හිතන්නෙත් ධනවාදය ගැන හිතන වැරදි විදියට ම නිසා වැඩ කචල්. පුද්ගලික ව්‍යාපාර නොකළ යුතු අය (අර සීගිරිය පැත්තෙ තියන ‘සංස්කෘතික පන්සල’ එහෙම මතක් වෙනවා!!) එක්ක හැප්පෙන්න බැරි කමට අව්‍යාජ වූ සංස්කෘතියක් රැකීම වෙනුවට විකෘති වූ දෑ රැකීම දකින්න සිද්ධ වීම සත්‍යයෙන් කණගාටුවට කාරණයක්. ඔය කියන තැනට මම ගිහින් නැහැ, පින්තූර වලින් දැකලා තියනවා පමණයි.

  6. […] පින්තූරයක් මෙතැන. මැසචූසෙට්ස් හි කොන්කෝර්ඩ් ගමේ විශාලතම ගොඩනැඟිල්ල වූ… පින්තූර අතරේ තියනව. නිව් යෝර්ක් නගරයේ […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )