අරුණි ශපීරෝ‍ වෙතින්

අප්‍රසන්න ගැටළු විසඳන නව ක්‍රමත් අප්‍රසන්න ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 13, 2011

රත්තරන් ඉල්ලමක් වන මනුෂ්‍ය අපද්‍රව්‍ය සඳහා වැසිකිළිය යාවත්කාලීන කිරීම බිල් ගේට්ස්ගේ ඊ ළඟ වෑයමයි. ඩොලර් මිලියන 41.5 ක් තම සංවිධානයෙන් ඊට වෙන් කරන ගේට්ස් සූර්ය තාප පැනල් සහ මයි‍ක්‍රොවේව් වලින් දුවන ‍වැසිකිළි ව්‍යාපෘති ගැන දැනටමත් අවධානය යොමු කර ඇත්තේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ‘මූලික සනීපාරක්ෂක පහසුකම්’ යනු මිනිස් අපද්‍රව්‍ය පිට කරත හැකි වල කක්කුස්සියක් වත් තිබීම ය. ‘වැඩි දියුණු කරන ලද සනීපාරක්ෂක පහසුකම්’ යනු එක පවුලේ අයට වඩා වැඩි පිරිසක් එදිනෙදා පරිහරණය නොකරන වල කක්කුසියක් හෝ තියෙන වැසිකිළි පහසුකම් තිබීම ය. 1990 දී ලෝකයේ 46% ක ‘වැඩි දියුණු කරන ලද සනීපාරක්ෂක පහසුකම්’ තිබි නැතැයි WHO කියයි. 2008 වෙද්දී එසේ පහසුකම් නැති සංඛ්යා ව 38% ක් දක්වා අඩු වී 2015 වෙද්දී 33% ක් දක්වා අඩු වී යනු ඇතැයි අපේක්ෂා වෙයි. 2015 වෙද්දී ඒ ‘වැඩි දියුණු කරන ලද සනීපාරක්ෂක පහසුකම්’ නැති පුද්ගල සංඛ්‍යාව ලෝකයේ බිලියන 2.4 ක් පමණ වෙතැයි ද, ඔවුන් අතරින් බිලියන 1.1 ක් එළිමහනේ මළපහ කරනු ඇතැයි ද WHO/UNICEF ව්‍යාපෘතියක් කියයි. දකුණු ආසියාවේ සියළු මරණ වලින් 8.5% ක් සහ අප්‍රිකාවේ සියළු මරණ වලින් 7.7% ක් අතීසාරය මූලිකත්වය ගන්නා මරණ වෙති. දරුවන් වැඩියෙන් අයිති වන මිලියන 2.2 පිරිසක් ලෝකයේ වාර්ෂිකව අතීසාරයෙන් මිය යති. UNICEF කියන විදියට වාර්ෂිකව අතීසාරය නිසා වයස අවුරුදු පහට අඩු දරුවන් මිලියන 1.5 ක් මරණයට පත්වෙති.

ඉන්දියාවේ ප්ලාස්ටික් කොම්පැණියක් වන Sintex විසින් හතර දෙනෙක් වසන නිවසක අපද්‍රව්‍ය වලින් මෙතේන් ගෑස් නිපදවන කුඩා යන්ත්‍රයක් ඉදිරිපත් කෙරෙයි. ඉන් ගෙදර වාසය කරන හතර දෙනා වෙනුවෙන් ආහාර උයා ගන්නට තරම් ඉන්ධන ලැබෙයි.

දැන් තිරගත වන The Help චිත්‍රපටිය නැරඹීමි. එහි 60 ගණන් පසුබිමින් දිග හැරෙන රසවත් කතාවේ දී කළු මෙහෙකාරිය සිය සුදුහාමුට තම අශූචි දැමූ ‍චොකලට් pie හදා දෙයි!!! සුදුහාමු කළු මෙහෙකාරියන්ට නිවස තුල වැසිකිළි පාවිච්චිය තහනම් කරන නීතියක් ගෙනෙන්නට තැත දරන්නියකි. ලංකාවේ මෙහෙකාර සේවකයන්ට (එකම පාට හමකින් යුතු සමාජයක!!) වෙනම වැසිකිළි අද දිනයේ ද නිවෙස් වල තිබීම සාමාන්‍යයක් බව ඇමෙරිකන්කාරයෝ බොහොමය දන්නේ නැත!!!!

ජපානයේ Mitsuyuki Ikeda නම් ‘විද්‍යාඥයාගේ’ අපූරු සොයා ගැනීමක් පිළිබඳ ප්‍රවෘත්තියක් වරක් අන්තර්ජාලයේ සැරිසරන ලදි. ඒ සෝයා, මස් සෝස් සාන්ද්‍රණය (steak sauce essence) සහ මනුෂ්‍ය අශූචි වලින් උකහා ගන්නා ලද ප්‍රෝටීන් වලින් හදන බර්ගර් එකක් ගැන ය. එය බොටුල්වාදය මෙන් කිසිවෙකුත් සොයා නොබලා හැම අතම යවන ලද අසත්‍ය වූවක් සත්‍යයක් ලෙසින් දක්වන ප්‍රවෘත්තියකි.

නමුත්, කුඩා දරුවන්ගේ අපද්‍රව්‍ය එකතු කරන නැපී වල වවන මිනිසාගේ අනුභවයට ගත හැකි හතු නම් සත්‍ය ප්‍රවෘත්තියකි. වරක් පාවිච්චි කර විසි කරන දරුවන්ගේ නැපි ස්වභාවිකව නැති කිරීම අපහසු වූ කාර්යයකි. කුණු ගොඩවල් වල ගොඩ ගැසෙන ඒවා නරක් වී දිරා යන්නට ඉතා දිගු කල් ගතවෙයි. මේ කාර්යාවලිය ඉක්මන් කරවීමට ක්‍රමයක් සොයා ගෙන ඇත්තේ මෙක්සිකෝ සිටි හි Autonomous Metropolitan University යේ Alethia Vázquez-Morrillas විසිනි.

විසි කර මාස දෙකක් තුල දී දරුවන් පාවිච්චි කර විසි කරන ලද නැපිවල ඔයස්ටර් හතු (Pleurotus ostreatus) වගා කිරීම නිසා එය 90% කින් දිරා යයි. මාස හතරක් යද්දී සම්පූර්ණයෙන් එය දිරා ගිහින් ය. එසේ වගා කරන හතු වර්ගය ද මිනිස් ආහාරයට සුදුසු බව කියන ඇල්තියා එසේ වවන ලද හතු අනුභව කර පෙන්වා ඇත!!!

ඔයස්ටර් හතු වර්ගය සාමාන්‍යයෙන් චීන කෑම (stir-fry) වලටත් සුප් වලටත් භාවිතා වන්නකි. එය කුණු ඉවත් කරන්නට ගන්නා micromediation නොහොත් පුස් (fungi) වලට අයිති ය. ඔයස්ටර් හතු අද දිනයේ තිරිඟු (wheat), බාර්ලි පිදුරු හා කාර්මික කෝපි නිෂ්පාදන වල දී පාවිච්චි කරන ලද කෝපි කුඩු වල ද, ටෙකිලා හදා ඉතිරි වන Agave tequilana හි ද වගා කරන්නකි.

නෝර්වේහි ඔස්ලෝ නගරයේ බස් 80 ක් මිනිස් අශූචි ඉන්ධන වලින් දුවන්නට සැලසුම් හදන්නේ Bekkelaget sewage treatment plant හි ය. එතැනට පළාතේ පුද්ගලයන් 250,000 කගේ අශූචි එකතු වේ. වසරක දී පිට කරන පුද්ගලයෙකුගේ අශූචි වලින් පාවිච්චියට ගත හැකි ඩීසල් ගැලුම් 2.1 ක ප්‍රමාණයක් හදත හැකිලු!! ඔස්ලෝ සැලැස්ම වී ඇත්තේ බස් 400 කට පමණ මෙසේ ඉන්ධන සපයා වසරක දී කාබන් ටොන් තිස් දහසක emissions අඩු කර ගැනීමයි.

මතක ද කළින් දැමූ වැසුණු දාමයක (closed loop) නිෂ්පාදන? හිතන්න වාහනයේ ගෑස් ටැංකිය අශූචි වලින් නිෂ්පාදනය වූ ඉන්ධන වලින් ස්ටාට් කරගෙන ගොස් චීන කෑම කඩයක දී ගත හැකි ඔයස්ටර් හතු ඇති ආහාරයක් මිලට ගෙන අනුභව කිරීම!!!

අශූචි අප්‍රසන්න වුවත් රත්තරන් වලටත් වඩා අගයකින් යුතු කිසි දා නිම නොවන සම්පතක් හැටියට සලකත හැකි ද?!!!

33 Responses

Subscribe to comments with RSS.

  1. Kathandara said, on අගෝස්තු 13, 2011 at 10:54 පෙ.ව.

    කක්කි කතන්දර රාශියක්ම මගේ බ්ලොග් එකේ දැම්මේද මේ අදහස මට බිල් ගේට්ටත් කලින්ම ආ නිසාය.

  2. Gimhani said, on අගෝස්තු 13, 2011 at 11:05 පෙ.ව.

    බලනකොට සැහෙන වටිනාකමක් තියනවනේ මේවායෙත් …….

  3. දුකා said, on අගෝස්තු 13, 2011 at 1:24 ප.ව.

    ඇත්තෙන්ම අසූචි කලමනාකරණය කොයි තරම් ලොකූ කාරියක්ද ඒක හරියාකාරව කරනවනම් කොයි තරම් දේවල් කරන්න පුලුවන්ද කියලා හිතුනා මේ ලිපිය කියෙවාම අක්කේ.

    • arunishapiro said, on අගෝස්තු 15, 2011 at 10:15 පෙ.ව.

      දුකා,

      ඔව් මල්ලී, දයාල් – බතී කියනවා වගේ කාලයක් එයි!!! ඒ ගැනත් සැලසුම් ගහන්න අය දැන් සිට ම පත්වෙලා ඉන්නෙ!!!

  4. praveena said, on අගෝස්තු 13, 2011 at 4:05 ප.ව.

    මොනවා උනත්, ආය ඔයස්ටර් හතු නම් කටේ තියන්නේ නෑ… 🙂

  5. සපතේරු උන්නැහේ said, on අගෝස්තු 13, 2011 at 6:48 ප.ව.

    ඉකේයිය… ඔය හතු කඩන්න යන්නෙ කවුද…

    දාල තියෙන පින්තූරෙ ඉකේයියම ඉකේයිය…

  6. dayal-bathee said, on අගෝස්තු 13, 2011 at 7:53 ප.ව.

    පොඩි විහිලුවක් කරන්න හිතුව….

    පෙටන්ට් බලපත්‍ර නිකුත් කිරීමේ අන්තර් ජාතික නීති රෙගුලාසි වෙනස් කරන්නට වෙනවා එක්කො නැත්නම් අපට වෙනම ටිකක් දැන්ම් අරං තියාගන්න වෙනවා;

    1. අපට අභිමත පරිදි ඕනෑම වැසිකිලියක කක්කි දමන්න ඇති අයිතිය සුරකිමින්
    2. අපට අභිමත පරිදි කැමති කෑමක් කෑමට ඇති අයිතිය සුරකිමින්
    3. වැසිකිලිය අභිමත පරිදි යාවත්කාලීන කිරීමට ඇති අයිතිය සුරකිමින්
    4. අපට අව්ශය පරිදි නිශ්ශබ්දව කැමති තැනක අධෝවාතය පිට කිරීමට ඇති අයිතිය සුරකිමින්
    5.අපට අව්ශය පරිදි බීමක් බීමට ඇති අයිතිය හා චූ කිරීමට ඇති අයිතිය ඇති අයිතිය සුරකිමින්
    6. අපට කැමති කොම්පැනියකින් කැමති මෘදුකාංගයක් මිලදී ගෙන අධෝමාර්ගයට සවිකරගැනීමේ අයිතිය

    ලංකාවෙ, කුණු ගොඩවල්වල අයිතියට ලොකු ෆයිට් ගිහින් තියෙනවා, ඊලඟට අසූචි ගොඩවල්වලට.

    නුදුරු අනාගතයේදී,,,

    රූපවාහිනි චැනලවල
    කක්කා නිශ්පාදනය වැඩිකරගන්නා ක්‍රම
    කක්කාතරුව තේරීමේ තරඟ ආදිය පැවැත්වෙනු ඇත.

    කක්ක ප්‍රතිචක්‍රීකරන අධෝමෘකාංගය හේතුවෙන් සහ බදු සහන වලින් බිල් ගේට්ගේ වත්කම සියගුනයකින් වැඩිවනු ඇත;
    ලාභ ප්‍රතිචක්‍රීය කරන ක්‍රමවේදය පිලිබඳ අලුත් ආර්තික න්යායක් ඉදිරිපත්වෙනු ඇත.

    (බිල් ගේට්ස් තුල ඇති බින්දු මාත්‍රයක් හෝ මනුස්සකම විහිලුවකට ගත්තා නොවේ)

    • arunishapiro said, on අගෝස්තු 15, 2011 at 10:18 පෙ.ව.

      dayal-bathee,

      නැහැ නැහැ ඔයා දාලා තියෙන්නෙ විහිළු නම් නෙමෙයි, ඔය කියන ඒවා සැලසුම් ගහන්න කැමැත්ත ඇති අය සොච්චමකට සියළු සැලසුම් බාර දෙන්න කැමති වැඩි පිරිසක් ඉන්න හැදියාව තියන රටවල සත්‍යයක් ම වෙන්න පුළුවන් එක පරම්පරාවක් ඇතුලත දී.

  7. ගෝල්ඩ් fish said, on අගෝස්තු 13, 2011 at 10:10 ප.ව.

    දැන් මේවා අස්කරගෙන යන අයට සල්ලි දෙන එක නෙවෙයි කරන්න ඕනේ… එයාලනේ අපි ගානක් ඉල්ල ගන්න එකයි…..

  8. maathalan said, on අගෝස්තු 14, 2011 at 1:04 පෙ.ව.

    කක්කි කතාවක් උනත් අත්දැකීමෙන් ලබපු දෙයක් එකතු කරන්නම්.. අපේ වල පිරිල.. ඊට එහායින් වෙන වලක් කපල අර වල ඉස්සා අලුත් වලට.. ඊට පස්සේ ඒක වහල කෙසෙල් පැල ටිකක් හිටෙව්ව.. ඒ තරම් විශාල රත්නමාළු සහ සුවඳැල් ගෙඩි මම අද වන තුරු දැකලා නෑ.. ඒ වගේමයි රසත්.. අවුරුදු දෙක තුනක්ම ඒ විදියට පලදාව ලැබුනා..

    කක්කි ශුද්ධිං අධෝ මුඛං
    කක්කුඨ්ඨං දුවං දුවං

  9. නුවන් කුමාරනායක said, on අගෝස්තු 14, 2011 at 2:00 පෙ.ව.

    උදේම කක්කි… හැබැයි කොහේ කළත් මේව ලංකාවට ගේන එක වගේ දේවල් ගැනනම් දෙපාරක් හිතන්න වෙයි.

    • arunishapiro said, on අගෝස්තු 15, 2011 at 10:20 පෙ.ව.

      නුවන් කුමාරනායක,

      කිසිම දෙයක් වතාවක් දෙවතාවක් නෙමෙයි කරන්න කලින් ‘සෑහෙන වතාවක්’ හිතන්න ඕනා. නැත්නම් අනුන් අනුගමනය කරමින් පාඩු වෙන වැඩ කරනවා වැඩියිනෙ.

  10. indika27 said, on අගෝස්තු 14, 2011 at 2:13 පෙ.ව.

    ලංකාවෙත් වැසිකිලි වතුර නාන පිරිසක් ඉන්නව…ඒ තමා ගල්කිස්ස ගෝල්පේස් හරියෙ මූදෙ නාන අය…අපජලය මුහුදට මුදාහැරීමේදි තිබිය යුතු කිලෝමීටර 3-4ක අවම දුරට වඩා අඩු දුරකින් තමා ගල්කිස්සෙන් සහ වැල්ලවත්ත හරියනේ අපජලය මූදට යන්නෙ..ඒනිසා මුහුදු වෙරලබඩ ජලයෙත් අශූචි කොටස් තියෙනව කියල මීට අවුරුදු 2-3කට කලින් හොයාගත්ත..දැන් නම් කෝමද දන්නෙ නෑ…

    • arunishapiro said, on අගෝස්තු 15, 2011 at 10:25 පෙ.ව.

      indika27,

      වැසිකිළි කාණු වලින් එකතු වෙන වතුර යම් රසායන ක්‍රම වේදයකින් පිරිසිදු නොකර මුහුදට යැවීම අද තහනම් නේද? නැත්නම් තහනම ලංකා මුහුදු අයිතිය තියන හරියට නැද්ද?!!!

      අර ලොව බිලියන ගණනක් එළිමහනේ යනවා කියන්නෙ. සමහර අය තවමත් මුහුදු වෙරළ හොරාටම ගිහින් එහෙම පාවිච්චි කරනවාත් ඇති.

  11. henryblogwalker said, on අගෝස්තු 14, 2011 at 2:40 ප.ව.

    Nice post, fresh info. Thanks. I’ll type in English cos it’s faster. Aruni, the first post I read of you was about what our society thinks about premarital sex. I later searched your archives for it but never found it. Please give me a clue. And I also invite you to visit my blogs http://dude-heydude.blogspot.com/ and http://matahithenahatty.wordpress.com/

    • arunishapiro said, on අගෝස්තු 15, 2011 at 10:30 පෙ.ව.

      henryblogwalker,

      එහෙම සටහනක් මා ලියූ බව මතකයේ නම් නැහැ. දාපු කිසිම සටහනක් අහක් කරලාත් නැහැ. සමහර විට වෙනත් සටහනක දාපු ප්‍රතිචාර වලින් ගිය කතාවක දී සඳහන් වූ කාරණා වෙන්න ඕනෑ.

      විවාහයට පෙර ලිංගික හැසිරීම: ඒකීය පුද්ගලයා තමන් විසින් ගත යුතු තීරණයක් හැටියට මා දකින්නෙ. ඒක ආණ්ඩුවට හෝ සමාජයට හෝ ආගමකට හෝ පිරිසකට ඒකීය පුද්ග‍ලයෙක් වෙත මෙසේ කරත යුතු යැයි හෝ නොකළ යුතු යැයි පමුණුවන්න බැරි, නීතියෙන් පාලනය (නීතිමය වරදක් නම් දඬුවම් ලබන්නේ අහුවන අය පමණක් නිසා) ද කළ නොහැකි වූවක්.

      මා ‘හොඳ’ හෝ ‘නරක’ යැයි සිතන්න ඔබට කරන්න කියා කිසිම විදියකින් නීතියක් ගෙන ඒම නිදහස් පුද්ගල අයිතියට පටහැණියි. ඊට පක්ෂව හෝ විපක්ෂව මට නීතියක් ගෙන එන්නට පුළුවන් ඔබ විවාහයට පෙර ලිංගිකත්වයේ යෙදීම/නොයෙදීම නිසා මගේ ජීවිතයට හානියක් වනවා නම් පමණයි!!!

      නිදහස් වතාවාරණයක දී එය සමාජයේ හිතන තරම් පුළුල් ලෙසින් පැතිර යන හෝ නීති ගෙන ඒම නිසා නැත්තටම නැතිවන දෙයක් නොවේ.

      ඔබේ බ්ලොග් අඩවියට ඇවිත් බලන්නම්.

  12. නවම් said, on අගෝස්තු 15, 2011 at 12:22 පෙ.ව.

    ඇත්තටම බලාගෙන ගියාම ඔය කියන තරම් කක්කා ඊයා නෑ නේද?

  13. Chanuka Wattegama said, on අගෝස්තු 15, 2011 at 1:32 පෙ.ව.

    /ලංකාවේ මෙහෙකාර සේවකයන්ට (එකම පාට හමකින් යුතු සමාජයක!!) වෙනම වැසිකිළි අද දිනයේ ද නිවෙස් වල තිබීම සාමාන්‍යයක් බව ඇමෙරිකන්කාරයෝ බොහොමය දන්නේ නැත!!!! /

    (තමන් අතහැර ගිය) ලංකාව ගැන කරදර නොවී අරුණි පහත ප්‍රශ්න තුනට පිළිතුරු දෙන්නේ නම් කෘතඥ වෙමි.

    1. අද ධනවත් ඇමෙරිකානු පවුල් අඩු මුදලට අප්‍රිකානු-ඇමෙරිකානු නොවුණත් සංක්‍රමණික (immigrant) ආසියානුවන් හා අප්‍රිකානුවන් මෙහෙකරුවන් ලෙස යොදා ගන්නවාද?

    2. එසේ යොදා ගන්නා මෙහෙකරුවන්ටද ඔවුන්ගේ ස්වාමිවරුන් භාවිතා කරන වැසිකිළිම භාවිතා කිරීමට ලැබෙනවාද?

    3. එසේ විය යුතු බව නීති මාර්ගයෙන් සහතික කර තිබේද?

    (ඔව්/නෑ උත්තර ප්‍රමාණවත්ය.)

    • arunishapiro said, on අගෝස්තු 15, 2011 at 10:35 පෙ.ව.

      Chanuka Wattegama,

      //(තමන් අතහැර ගිය) ලංකාව ගැන කරදර නොවී// යැයි ලියුවේ නැත්නම් ඉතිරියට උත්තර දෙන්න (කරදර වෙන්න) මට හිතෙන්න ගොඩක් ඉඩ තිබුණා. ගූගල් කරලා හොයාගන්න.

      ලංකාව ගැන සඳහන් කරන්නේ යමක් ගැන අවබෝධයට ඒ හා සම්බන්ධයක් ඇති දේවල් වලින් කතාබහ කරද්දී පහසු නිසා.

      • Prabath said, on අගෝස්තු 15, 2011 at 1:18 ප.ව.

        Political answer!
        කම්කරු නිවාඩුව දවස්‌ වල රෙහොබොත් වැල්ල පැත්තේ යන්න අදහසක් තියෙනවා. කාලවේලාව සහ නඩේ අනිත් උදවියගේ මනාපය ලැබුනොත් අරුණිගේ සූර්ය කෝෂ බලලා යන්න එන්නම්කෝ.

        • arunishapiro said, on අගෝස්තු 16, 2011 at 10:08 පෙ.ව.

          Prabath,

          රෙහොබොත් වැල්ල සිට තව පැයක් පමණ දකුණෙ අපි ඉන්නෙ. හැබැයි //අරුණිගේ සූර්ය කෝෂ// නම් නැහැ!!! නිවාස වල හදලා තියන සූර්ය කෝෂ බලලා යන්න පුළුවන්!!!!

    • buddie-බුඩී said, on අගෝස්තු 16, 2011 at 1:37 පෙ.ව.

      ලංකාව අතහැර ගියාද නැද්ද කියන එක නෙමේ ප්‍රශ්නේ, ඕන ද්යක් දකින්න, විවේචනය කරන්න අරුණි ලංකාවෙම ඉන්න ඕනේ නෑ. ලාංකිකයෙක් වවෙන්න ඕනේ නෑ. බොරුවක් කියලා නැතිනම් විවේචනයේ ප්‍රශ්නයක් නෑ.

      හුගක් අය ඔය ලංකාව දාලා ගියා කියලා කෑගහන්නේ ඊරිසියාවට. ඔබ තුමා නම් එහෙම නෑ, ඒත් හුගාක් අය එහෙමයි.

      ලංකාවට ආදරේ කරන්නෙ ලංකාවේ ඉන්න උන්ම නෙමේ, රට දාල ගිය උනුත් රටට ආදරෙයි. ඒක අපේ හිතේ තියෙන දෙයක්. රට ගැන ආදරක් නැතිනම් මම හිතන විදිහට අරුණි සිංහලෙන් ලියන එක නවත්තලා ගොඩාක් කල්. මොකද හුගාක් උන්ට මාසෙකට රට හියත් සිංහල අමතක වෙනවනේ.

  14. buddie-බුඩී said, on අගෝස්තු 15, 2011 at 9:13 පෙ.ව.

    අරුණි මම තාමත් කල්පනා කරන්නේ කැඩූනු ජනේලේ ගැන; වැසිකිලි ගැනත් එහෙම වෙයිද දන්නේ නේ 😛

    • arunishapiro said, on අගෝස්තු 15, 2011 at 10:37 පෙ.ව.

      buddie-බුඩී,

      ඔව් මහා පරිමාණ වැසිකිළි සැලසුම් වලත් නොසිතූ ප්‍රතිඵල, අර දයාල් – බතී කියන විදියට ම, බොහොමයක් තියේවි.

  15. සාබිත් said, on අගෝස්තු 16, 2011 at 12:38 පෙ.ව.

    මරු ලිපිය!හැබැයි ඔය විකල්ප ඉන්දන ප්‍රභවයක් විදිහට පාවිච්චි කරන අදහස නම් සැහෙන්න වටිනවා!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: