අරුණි ශපීරෝ‍ වෙතින්

අද දිනය ඊයේ දුර්මත වලින් පිරි හෙට දිනයක් ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 15, 2011

අද දිනය දැනටමත් ඊයේ දුර්මත වල එල්බ සිටි ආර්ථික ශාස්ත්‍රඥයන් අපිට නොවිමසා සිටින්නට යැයි කියූ අදහස් වලින් පිරි හෙට දිනයට පා තබන්නේ ද?

අනිත් හැම විෂයයකම සේ ආර්ථිකය ගැන ද දුර්මත බොහොමයකි. කැඩුණු ජනේලය ගැන පවතින දුර්මතය පැහැදිලි කිරීමට කළින් වෑයමක් ගත්තෙමි. එවැනි තවත් දුර්මත වලට යන්නට මත්තෙන් විචාරයට ලක්වන පාඩම කුමක් දැයි අර්ථ විවරණය කරනු සුදුසු යැයි සිතුවෙමි.

මහජන සැලසුම් හදන්නේ සැමට සුව සෙත සැලසීමට වුවත්, විමර්ශනය නොකරන සැලසුම් නිසා අවසානයේ එක කොටසකට සුබවාදී සැලසුම් වලින් වන්නේ සමාජයේ කොටස් සියල්ලටම හානියකි. ලාභ ලබන සුළු කොටස ඒ සැලසුම් වල ගුණ වඩාත් මහත් හඬින් ගයන්නෝ වීම දැකිය හැකිය. සියළු මහජන කොටස් වලට සුබවාදී වූ සැලසුමක ඵලදායීත්වය දැකීමට හැකි නම් පමණක් ලෝකයේ ඉදිරි ගමන සාර්ථක වනු ඇත.

කැඩුණු ජනේලයෙන් ලාභයක් දකින අය යුද්ධයකින් පසු ඇතිවන සංවර්ධන අවස්ථා ද දකිති. සාම කාලයක දී ට වඩා යුද සමයක දී ආර්ථිකයේ වාසි දැකිය හැකි බව කියන අය (ජනෙල් කඩන්නට ගල් ගහන අය!!) සිටිති. යුද්ධයකින් පසු ‘එකතු කරගත්’ හෝ ‘මෙතෙක් පිරිමැසීමට නොහැකි වූ’ ඉල්ලුම සැපයීමට අවස්ථාවක් ලෙසින් දකින අය එය සංවර්ධනය යැයි ද කියති.

යුද්ධයේ දී කඩා වැටුණු ගොඩනැඟිලි දැක, යුද සමයේ දී ඉදි කරන්නට නොහැකි වූ නිවාස දැක, ඇණ හිටියා වූ වෙළඳාම දැක යුද්ධය නතර වී ඒවා නැවත ඇරඹීම මහත් ආර්ථික දියුණුවක ආරම්භයක් යැයි දකිති. ඉතින් ඒ ආර්ථිකය නඟාලන වෑයමේ දී තමන්ගේ වේතන හා සුබ සාධන ද වැඩි විය යුතු යැයි ඉල්ලා ජන ඝෝෂා කරති.

අවශ්‍යතාවයක් සපුරා ලීම යනු ඉල්ලුමක් යැයි වරදවා සිතීම මෙන් ඉල්ලුමක් තිබීම පමණින් එයින් ආර්ථික දියුණුවක් ඇති වේ යැයි සිතීම ද දුර්මතයකි.

අද චීනයේ ඇති ‘අවශ්‍යතා’ (needs) අද ඇමෙරිකාවේ ඇති ‘අවශ්‍යතා’ වලට වඩා බෙහෙවින් වැඩි ය. ඒත් චීනයේ ‘මිල දී ගැනීමේ හැකියාව’ (purchasing power) අඩු මට්ටමක (චීනය $7,518; ඇමරිකාව $47,275 -2010 දත්ත) පවතී. අවශ්‍යතා පැවති පමණින් ඉල්ලුමක් (demand) ඇතැයි කියත නොහැක්කේ ඔවුනට අවශ්‍යතා සපුරාගන්නට භාණ්ඩ හා සේවා ගැනීමට ‘මිල දී ගැනීමේ හැකියාවක්’ නැති නිසා ය. ඒ හේතුව ම, ‘අළුත් ව්‍යාපාර’ ප්‍රවර්ධනය කිරීම චීනයට ඇති හැකියාව ඇමෙරිකාව හා සංසන්දනය කිරීමේ දී ඉතා අඩු ය.

‘ඇමෙරිකන් ආණ්ඩුව’ වියදම් කරන හැම ඩොලරයකින් ම සත හතළිහක් චීනයෙන් ගත් ණය වේ. ඒ ණය පියවන්නට ඇමෙරිකාවට හැකි වන්නේ ‘ආණ්ඩුවේ වැය’ අඩු කර, පුද්ගලික අංශයට ඇති ‘මිල දී ගැනීමේ හැකියාව’ වැඩි කිරීමෙන් පමණි. ආණ්ඩුවක් ආදායමක් උපයන්නේ නැත. ආණ්ඩුවක් කරන්නේ රටක පුද්ගලික අංශය විසින් උපයන ආදායමින් ලබන බදු වියදම් කිරීමයි. ආණ්ඩුවේ වියදම් නාස්තිකාර වූ විට ආණ්ඩුවේ ණය බර දරන්නේ බදු ගෙවන පුරවැසියන් ය. පුරවැසියන්ට පටි තද කරගන්නට කියද්දී අද පුරවැසියන් තම ආණ්ඩුවලට ද පටි තද කරගන්නට යැයි කියන්නට පටන් ගෙන ඇත්තේ ඒ නිසා ය. එහෙම නැත්නම් තවත් මුදල් නෝට්ටු අච්චු ගහමින් රත්තරන් මිල තවත් ඉහළ යන හැටි බලා සිටිය ද හැකිය!!!!

කැඩුණු ජනේලයෙන් වාසියක් පවතිනවා යැයි කියනා මෙන් ‘මෙතෙක් පිරිමැසීමට නොහැකි වූ ඉල්ලුම’ ගැන ද මෙසේ කිය හැකිය. එනම් කැඩුණු වීදුරුව නිසා ජනෙල් වීදුරු හදන බාස්ට මුදලක් ‍උපයා ගන්නට ලැබුණි. චීනය මෙන් විවෘත වන ආර්ථිකය දී, ලංකාව මෙන් යුද්ධයක් අවසන නැඟිටින ආර්ථිකය දී, මෙතෙක් චීනාට මිල දී ගත නොහැකි වූ, ලංකාවේ යුද්ධය තිබි පැත්තට ‍නොගිය, භාණ්ඩ සේවා සැපයීමට අවස්ථාවක් අද උදා වී ඇත.

දුර්මතය මෙසේය. ඇති වන්නේ මෙතෙක් නොතිබි භාණ්ඩ හා සේවා සැපයීම ය. බොහෝ දෙනෙකුට මෙය පෙනෙන්නේ හදිසියේ ම මහත් ලෙසකින් ඉල්ලුම වැඩි වී ඇති ලෙසයි. විශේෂයෙන් ම ‘මිල දී ගැනීමේ හැකියාව’ හා සලකද්දී ඉල්ලුම තවත් ඉහළ යන සේ පෙනේ. නමුත් සත්‍යයෙන් සිදු වන්නේ ඉල්ලුම සමහර භාණ්ඩ සැපයීම සඳහා යද්දී තවත් භාණ්ඩ සැපයීම සඳහා අවස්ථා නවතින බවයි. වැඩි ඉල්ලුම සමඟ භාණ්ඩ හා සේවා මිල ද වැඩිවන බවයි.

යුද්ධයකින් පසුව විවෘත වන පරිසරයක දී එතෙක් ඒ පැත්තට ‍නොගිය භාණ්ඩ හා සේවා සැපයීමට අවස්ථාවක් ලැබෙන හේතුව පමණින් ‘මිල දී ගැනීමේ හැකියාව’ වර්ධනය නොවේ. බිලියන ජනගහණයක වෙළඳපොලක් සඳහා චීනය සහ ඉන්දියාව දිහා බලා කෙළ හලන යුරෝපීය හා ඇමෙරිකන් ව්‍යාපාරිකයන්ට අද චීනා හා ඉන්දියන්කාරයා තුල ඇති ‘මිල දී ගැනීමේ හැකියාව’ කොතරම් දැයි අවබෝධ වී ඇත. වැරදි මඟක ගිය ආර්ථික ක්‍රමයක් වෙනස් කරන රටක අවශ්‍යතා තිබීම නිසා පමණින්, ඉල්ලුම වැඩි වීම පමණින් ‘මිල දී ගැනීමේ හැකියාව’ වැඩි නොවේ. එස්ටෝනියාව හා පෝලන්තය ‘මිල දී ගැනීමේ හැකියාව’ වැඩි කරගන්නේ සැමට එක සේ බලපාන බදු වෙනසක්, විනිවිද බවකින් යුතු සුබ සාධන වෙනසක් හා පුද්ගලික ව්‍යාපාර වලට හිතවාදී රෙගුලාසි වෙනසක් සහිත අවම ආණ්ඩුවකිනි.

යුද්ධයකින් පසු පාරවල් හදන්නට, නිවාස ඉදි කරන්නට, ජලනල හා විදුලි බලය සපයන්නට ශ්‍රමය හා මුදල් ආයෝජනය වෙද්දී වෙනත් දැයක් නිෂ්පාදනයට ශ්‍රමය හා මුදල් ආයෝජනය හිඟ ය. තවත් විදියකින් කිව්වොත් යුද්ධය නිසා විනාශ වූ ‍නිවස නැවත ඉදි කරද්දී වෙනත් දැයක් ගන්නට ‘මිල දී ගැනීමේ හැකියාවක්’ නැත.

ව්‍යාපාරයක් යම් පැත්තකින් වර්ධනය කරද්දී, අනිත් පැත්තකින් වර්ධනය කරන හැකියාව අඩු කරන්නට සිද්ධ වේ. අලෙවිකරණයට වැඩි වැයක් ගෙවන්නට වන්නේ ද ඒ වැය ප්‍රවාහනයෙන් හෝ ඇසුරුම් වැය වලින් හෝ වෙනත් නිෂ්පාදන වැයකින් අඩු කරගත යුතුය. එසේ කරත නොහැකි නම් ව්‍යාපාරයක වර්ධනයක් සිදු නොවේ. එසේ කරත නොහැකි නම් ලාභ ලැබීම නැතිව, දියුණුවක් නැතිව, ණය වී නිෂ්පාදනයට නොව ප්‍රවර්ධනයට (development) ආයෝජනය පමණක් සිදු වේ. නිවාස ඉදි කරන, පාරවල් හදන වෑයම් වලට දැඩි මුදල් ආයෝජනය නිසා වෙනත් ආර්ථිකය දියුණු කරන වෑයම් අඩු කරන්නට සිද්ධ වේ. කැඩුණු ජනේලය හදන්නට වැයක් දරද්දී වෙනත් වියදමක අවස්ථාව නැති වීම ය.

රජයක් විසින් වුව ද පුද්ගලයෙක් විසින් වුව ද කරතත් එය එසේම ය.

ආර්ථික ක්‍රමය වෙනස් වී හෝ යුද්ධයකින් පසු විවෘත වන ආර්ථිකයක පාරවල් හදා, නිවාස ඉදි කර, ජලනල පහසුකම් හා විදුලි බල පහසුකම් සපයා අවසන් වූ විට, මෙතෙක් අත්හැර දමා තිබූ වෙනත් ක්ෂේත්‍රයන් ප්‍රවර්ධනයක් ලබන්නට පටන් ගනී. ඉතින්, පාරවල්, නිවාස, ජලනල හා විදුලිබල පහසුකම් නැවත පරිහානියට යයි. අනතුරුව නැවත ඒවා ප්‍රකිසංස්ථාපනය කළ යුතු ය.

සියළු කොටස් එකවර දියුණු කළ හැක්කේ ඉල්ලුම හා සැපයුම සමඟ රටක පුරවැසියාට ‘මිල දී ගැනීමේ හැකියාව’ ද පවතින්නේ නම් පමණි. ලෝක ආණ්ඩු තමන් විසින් මේ මේ ක්ෂේත්‍රය දියුණු කළ යුතුය යන සැලසුම් ගසා පුරවැසියාට තියන ‘මිල දී ගැනීමේ හැකියාව’ පාලනය කරන්නට ගන්නා හැම වෑයමක දී ම සියළු කොටස් එකවර දියුණු කරන හැකියාව අඩුවනවා මිස වැඩිවන්නේ නැත.

ලෝකය තමන් විසින් නිපදවන්නේ නැති භාණ්ඩ හා සේවා පාවිච්චි කරන යුගයකට පිවිස ඇති නිසා තත්වය මෙසේය. සැමට එක සේ බලපාන බදු වෙනසක්, විනිවිද බවකින් යුතු සුබ සාධන වෙනසක් හා පුද්ගලික ව්‍යාපාර වලට හිතවාදී රෙගුලාසි වෙනසක් සහිත අවම ආණ්ඩුවක් රටක ඇතිවන තුරු යුරෝපයේ හෝ ඇමෙරිකාවේ හෝ චීනයේ හෝ ඉන්දියාවේ හෝ වේවා ‘මිල දී ගැනීමේ හැකියාව’ පාලනයට ලක් වී තිබීම වෙනස් නොවේ.

1815 දී නිදහස් රාජ්‍යයක් වන ස්විට්ස්ර්ලන්තය ඉන්පසු කිසිම යුද්ධයකට සහභාගී නොවුන රටකි. 1848 ගණන් වල දී සැකසෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් තවමත් යුතු වූවකි. ෆෙඩරල් ආණ්ඩුවේ බලය හා cantons නමින් හැඳින්වෙන පළාත් ආණ්ඩු වලින් ද, ආණ්ඩුවේ බලය රෙගුලාසි හදන bicameral parliament (legislative), විධායක බලය ඇති the Federal Council (executive) සහ නීතිමය කටයුතු සඳහා වූ Federal Court (judicial) අංශ 3 න් යුතු වන්නේ ඇමෙරිකාවේ පාලන ක්‍රමය හා සමාන වෙමිනි. ඇමෙරිකාව තම පාලන ක්‍රමය අමතක කර ආණ්ඩුවට වැඩි බලයක් දෙමින් වෙනස් වෙද්දී ස්විට්ස්ර්ලන්තය වෙනස් වූයේ නැත. නමුත් අද ස්විට්ස්ර්ලන්තය ද මුදල් අර්බූදයකට මුහුණ පා සිටියි. ගැටළුව නම්, අනික් රටවල මුදල් හි අගය අඩු වෙද්දී හැමෝම ස්විස් ෆ්‍රෑන්ක් මිල දී ගන්නට තැත් දරනා නිසා ඉල්ලුම වැඩි වී ස්විස් ජාතිකයන්ට දරා ගත නොහැකි තරමට තම ස්විස් ෆ්‍රෑන්ක් අගය ඉහළ යනු ඇත් ද කියා ය. තම අගය අඩු කරගන්නට ගත් වෑයමේ දී (කිසිත් නොකර කරත හැකි දෑ ගැන කතා කිරීම පමණින්) ඔවුනට ඉහළ යෑම අඩු කරගත හැකි වුණි!!! නැත්නම් ස්විස් ෆ්‍රෑන්ක් අගය වැඩි වුවහොත් වෙන රටවල් ස්විස් කේජූ මිලට ගන්නෙ (මිල දී ගැනීමේ හැකියාව අඩු නම්) කොහොම ද?!!!!

7 Responses

Subscribe to comments with RSS.

  1. kevin perera said, on අගෝස්තු 15, 2011 at 2:17 ප.ව.

    රට ගොඩ දා ගැනීමේ නොවරිදින ස්විස් ක්‍රමය ලාංකිකයනි අවදිවව් එක දිගට අවුරුදු 10 ක් හරියට කරල බලන්න මෙන්න පත අට එකට හිංඳවා ගත් කසාය බොනකොට තිත්තයි තමයි මෙන්න කශාය වට්ටෝරුව

    නිදහස් වෙළෙඳපළ ආර්ථික ක්‍රමයකට අනුබල දෙන අතිශයෙන්ම සීමිත කරන ලද රාජ්‍යය ,අඩුතම සුභසාධන , පුද්ගලික හිමිකම, ප්‍රාග්ධනය සම්මුච්වත වීමට කුලුපඟ බදු නීති සහ බැංකු ක්‍රමය , දක්ෂ මූල්‍ය කළමනාකරුවන් සහ තමන් සමග වෙළඳාම් කිරීමට කැමති ලෝකයේ තිබෙන ඕනෑම ආකෘතියක ආණ්ඩුවක් සමග වෙළඳාම.

    මෙතරම් පැහැදිලිව මෙහෙම කරපු රටවල් විතර‍යි දියුනු වෙලා තියෙන්නෙ කියල ඇස්පනාපිටම පැහදිලිව තියෙද්දිත් අපේ අයියල කැමති මේකෙ අනික් පැත්තට යන්න නේද අරුනි? .

    • arunishapiro said, on අගෝස්තු 16, 2011 at 10:06 පෙ.ව.

      kevin perera,

      ඕනෑම රටක ඉන්න සිංහලෙන් කියවන්න පුළුවන් පුරවැසියෙකුට මෙතෙක් සිංහලෙන් කවුරුත් කතාබහ කර නැති පැත්තකින් අදහස් විමසීම මෙන්න මාර්ගය මේ මාර්ගයේ යන්න කියනවා නෙමෙයි. මෙහෙමත් දේවල් තියනවා, ඔබලා දැනගන්න කීම. පිළිගැනීම හෝ විරුද්ධ වීම ඒකීය පුද්ගල අයිතියක්.

      රටක් හැදීම හෝ ප්‍රපාතයකට ඇද දැමීම මෙහෙම ලියන බ්ලොග් වලින් පුළුවන් නම්, ඊට වඩා ක්‍රමවත් හා ප්‍රසිද්ධ ලෙසින් ලංකාව පුරා වසර 2000 කට වැඩි කාලයක් බුද්ධාගමෙන් කියා දුන් පන්සිල් පද පහ රකින වැඩි පිරිසක් අද රටේ නැත්තෙ ඇයි? පන්සිල් පද පහ රකින අය අඩුයි කියලා දකින්න ලංකාවේ පළවන පුවත්පත් සිරස්තල කියවන්න.

      මුළු ලෝකයේ ම වාසය කරන අයට නුදුරු දිනයක සිදු වන්නේ -වසරක්? වසර පහක්? අසීරු වූ ආර්ථික සටනක නිරත වෙන්නයි. සල්ලි තියන අයට තම ධනය හිස් වී යන්නට නොදී, කොල්ල කෑමෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේද කියාත්, සල්ලි නැති අයට තම පවුල් රකින්නේ කෙසේද කියාත්, සල්ලි හම්බ කරන්න පටන් ගන්න අයට ඒ මාර්ග කොහෙන් පාදා ගන්න දැයි සොයා ගැනීම අසීරු වූ කාලයකට පා තබන්නේ සිංහලෙන් කියවන්නා පමණක් නොවේ. අනිත් භාෂා වලින් කියවන අයට නම් ඒ අවදානම ගැන ලියා ඇති බව දැක්ක ද සිංහලෙන් කිසිම තැනක ඒ ගැන සඳහනක් තවම දැක නැහැ.

      ඇමෙරිකාව හා යුරෝපය දිහා බලා ධනවාදය ප්‍රතිඵල රහිත වී පල්ලම් බහිනවා යැයි සතුටින් සිටිනා සමාජවාදී සහෝදරයන් මෙය නොදනිති. වැඩි දිනක් නොගොස් ඔවුනට උවමනාවක් ඇත්නම් අවබෝධ වනු ඇත්තේ අද ඇති ආර්ථික අර්බූදය ධනවාදය නිසි ලෙසින් ක්‍රියාත්මක නොකර සමාජවාදී ප්‍රතිපත්ති බහුල ලෙසින් ඊට රිංගා ගත් නිසා බව ය. සමාජවාදී යැයි කියා ගත් රටවල් වලටත් වඩා කාර්යක්ෂම ලෙසින් කරන ලද ධනය නැවත බෙදා හරින ප්‍රතිපත්ති සාර්ථක වී නැති බවත්, ඊට වෙනස් වූ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවාලිය යුතු බවත් දකින්නට නම් මේ කියන පැත්තෙන් ද හිතා බැලිය යුතුයි.

    • arunishapiro said, on අගෝස්තු 16, 2011 at 10:11 පෙ.ව.

      ඉඳුනිල්,

      සල්ලි අච්චු ගහලා ජාමේ බේරගන්න බැරි හැටි තමයි!!!

      2008 අගෝස්තු 1 වැනිදා සිම්බාබ්වේ ඩොලර් එකක් සිම්බාබ්වේ ඩොලර් බිලියන 10 ක් තරම් වටින බව ප්‍රකාශයට පත් කරන්නේ එහෙ Reserve bank governor වන Gideon Gono. ඩොලර් හා දකුණු අප්‍රිකානු රෑන්ඩ් පාවිච්චියට නීතිමය අවසරය තියන නිසා බිලියන ගණනින් නෝට්ටු සාක්කුවක දාගෙන යන්න ඕනෑම නැහැ බිත්තර ගන්න.

      සෙසු යුරෝපීය නායකයන් අද යුරෝ බොන්ඩ් ගැන කතා කරනවා. ඇන්ගලා මෙයර්කල් ඒකට එකඟ වුනේ නැත්නම් සෙසු යුරෝපීයයන් ඇය හා තරහා වෙනවා. ඒකට එකඟ වුනොත් ජර්මන් අය තරහා වෙනවා. ඇය කුමක් කරයි ද මත ඇයගේ නැවත තෝරා පත්වීම තීරණය වන්නටත් ඉඩ තියෙනවා.

  2. indika kumara said, on අගෝස්තු 15, 2011 at 8:52 ප.ව.

    ඉන්දියානුවන් හරි ලෝබයි ගොඩක්දුරට…මුදල් තිබුනත් බොහෝ ඉංදියානුවන් වියදම් කිරීමේදි බොහොම සැලකිලිමත් වෙනව…මම දන්නෙ නෑ මට හමුඋන ඉංදියානුවන් විතරද කියල..ලංකාවෙ අය කොන්ඩෙ කපන්න එම් සී සහ ලොකු තැන්වලට යද්දි ඉංදියාවෙන් එන නැව්වල කැප්ටන් ල පවා කොන්ඩෙ කපන්න යන්නෙ කොටුවෙ පොඩි බාබර් සාප්පුවකට…
    ලංකාවෙ මගේ යාලුවෙක් එක්ක හිටපු ඉංදියන් කාරයෙක් ඒසී එකක් තිබුනත් දාන්න දෙන්නෙ නෑලු ගොඩක්ම රස්නෙ නැත්නම්..කාගෙ උනත් සල්ලිනේ එයාල කියන්නෙ එහෙමලු…
    ඉංදියානුවන් ලංකාවට ඇවිත් කන්නෙ බොන්නෙත් බොහොම අඩුවෙන්..පරාට 4-5කින් මුලු දවසම අදින්න පුලුවන් ඒ අයට..
    අනික ඉංදියානු චීන අය බොහෝ දුරට සමාන වෙන්නෙ රොබෝ ගනයට අපිට පේන විදියට..වැඩක් පටන් ගත්තම සිහිය ඒකෙමයි…
    දැන් දැන් වරාය, ගුවන්තොටුපල, ඩොක්යාඩ්,,වෙලඳ කලාපය වගේ ගොඩක් තැන්වල ඉංදියානු චීන අය වැඩ.. පොඩි තැන්වල ඉඳල ලොකු තැන දක්වා..අපි ඇතුලු සමස්ත කම්මැලි ලාංකීය කම්කරුවන්ට ෂොට් එක ලැබෙන දිනය වැඩි ඈතක නෙමෙයි වගේ පේන්නෙ..

    • සපතේරු උන්නැහේ said, on අගෝස්තු 16, 2011 at 1:44 පෙ.ව.

      ඉන්දියානුවන් ගැන කතාව පට්ට ඇත්ත… මම වැඩකරල තියෙන සමාගම් 4න් තුනක්ම ඉන්දියානු සමාගම්.. අන්තිම එකේ මේ ගෙවෙන්නෙ නව වෙනි අවුරුද්ද… ඇති වෙන්න සියලුම ජාතීන්ට අයත් ඉන්දියානුවන් ( ඉන්දියාව පොඩි ලෝකයකි ) ආශ්‍රය කරල තියෙනව… ඉන්දියානුවන් ලෝබ නැතුව ( පමණක් නොව ඕනෑවටත් වඩා ) වියදම් කරන එකම දේ තම දරුවන්ගේ අධ්‍යාපනය පමණි…

      ඒ ඇරුනු කොට අන් සියලු තැනකදිම යම් දෙයක් කිරීමේදී එය කල හැකි අවම වියදමෙන් කිරීම ඉන්දියානුවන්ගේ සිරිතයි… එය ලෝබ කමක් නොව ඉන්දියානු කමක් හැටියට දැනෙන තරමට මට නම් එය හුරු පුරුදුය ( මුලදි නම් නොදකිං කියා නොසිතුනා නොවේ ).

      හැබැයි බොම්බාය පැත්තෙන් එන ලොරෙන්සෝද අල්මේදා ලත් ඉඳ හිට නැතුවාම නොවෙයි..

      • arunishapiro said, on අගෝස්තු 16, 2011 at 10:19 පෙ.ව.

        indika kumara,
        සපතේරු උන්නැහේ,

        ‘මිල දී ගැනීමේ හැකියාව’ අඩු කාලයක දී අද දිනයේ ‘මිල දී ගැනීමේ හැකියාව’ වැඩි රටවල දී ද දකින්නට ලැබුණු ලක්ෂණයක් තමයි පුද්ගලයා විසින් මුදල් පරිහරණය කල්පනාකාරීව ඉටු කිරීම.

        ඇමෙරිකාවේ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් තමන්ගේ Poor Richard’s Almanac පටන් ගන්නෙ 1732 දී. වසරකට පිටපත් දහ දාහක් ගහන්න තරම් වර්ධනය වෙන ඒ පත්‍රිකාව ඔහු වසර 25 ක් පුරා ගෙන යනවා. පසුව Ways to Wealth පොත් පිංච එහි අදහස් වලින් නිමැවුන එකක්. අද දිනයේ ද මුදල් පරිශීලනය කරන අයට වැදගත් අවවාද රැසකින් යුතුයි. කාලය නිසා වෙනස් නොවන උපදෙසක්: He that goes a borrowing goes a sorrowing. මොකද මිනිස් ස්වභාවය වෙනස් වී නැති නිසා!!! අමතක වෙලා කාලයා ගෙවී ගිහින් අද ආයෙත් බෙන්ජමින් කියන දේවල් එළි දකිනවා.

        ඒත් ඒ අයත්, ඉන්දියන් අයත්, නොසැලකිලිමත් කමින් කරන වියදම් ද නැහැයි කියන්න බැහැ. ලක්ෂ්මි නරායන් මිටාල් ඉන්දියාවේ යකඩ කර්මාන්ත ධනකුවේරයෙක්. ලෝකයේ 6 වැනි ධනපතියා හැටියට ඉන්න ඔහුගේ දුව වනීෂා මිටාල්ගේ විවාහ මංගල්‍යය ලෝකයේ වැඩියෙන් ම වියදම් වූ (මිලියන 78 ක්) විවාහ මංගල්‍යය හැටියට වාර්තා වෙන්නෙ. ෂැන්හයි වල පෝර්ෂා ක්ලබ් එකක් තියනවා. Jaguar Gorgeous Award Party චීනයේ ද තියනවා!!! පොර්ෂා එකකින් යන්න හෝ ජැගුවාර් එකකින් හයි ස්පීඩ් යන්න ෂැන්හයි වල තියන තදබදය නිසා පාරක් නැහැ.

        ඉන්දියන් හෝ චීන නිසා සැලකිලිමත් වෙනවා හෝ නැහැයි කියන්න බැහැ. හැම රටක ම අය මුදල් පරිහරණයට මදි වෙද්දී, ක්‍රෙඩිට් ලබා ගැනීම පහසු නොවෙද්දී, අතේ තියන මුදල් වියදම ගැන සැලකිලිමත් වෙන්න හුරු වෙනවා. වැඩියෙන් මුදල් අත ගැවසෙද්දී වියදමටත් හුරු වෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: