අරුණි ශපීරෝ‍ වෙතින්

මහජන පහසුකම් ඉදිකිරීම යනු බදු වැඩිවීමයි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 16, 2011

පසුගිය ඇමෙරිකන් මැතිවරණයේ දී ආර්ථික කඩා වැටීම නිසා රට බේරා ගන්නට යැයි ඉදිරිපත් වූ බරාක් ඔබාමා වොෂිංටනයේ වෙනසක් සිදු කරන්නට පොරොන්දු වූවෙකි. ඔබමා මත විශ්වාස නොකළ, ඔහුගේ ප්‍රතිවාදියා වූ ජෝන් මැකේන් ද ඊට නොවෙනස් බව දැන සිටි පිරිස, ගෙදරට වී සිටිය දී අනිත් අය ඔබාමාව තෝරා පත් කර ගත්හ.

ඇමෙරිකන් ආණ්ඩුව සැකසී ඇත්තේ ‘හවුස්’ (පළාත් ජනගහණය අනුව පත්වන සභිකයන්) සහ ‘සෙනෙට්’ (ප්‍රාන්ත නියෝජනය කරන සභිකයන්) ඇතුලත් කොංග්‍රසය නමින් රෙගුලාසි සඳහා වූ කොටස් දෙකකින් ද, ජනාධිපති හා කැබිනෙට්ටුව අයත් විධායක කොටසින් ද, සුපිරි උසාවිය ඇතුලත් නීතිමය අංශයෙන් ද වෙයි. ඇමෙරිකාවේ මෙතෙක් දියත් වී ඇත්තේ සමාජවාදී ප්‍රතිපත්ති යැයි විශ්වාස නොකරන අයෙක් 1941 දී තියඩෝර් රූසවෙල්ට් පත් වූ දා සිට අද දක්වා රෙගුලාසි හදන ‘හවුස්’ සහ ‘සෙනෙට්’ සමන්විත වන කොංග්‍රසයේ පාලන බලය වැඩියෙන් හිමි වී ති‍බියේ කුමන පක්ෂයට දැයි කියා සොයා බැලිය යුතුය. එසේම ණය ගැනීම ඉහළ යවා ඇත්තේ කුමන පාලන සමයේ දැයි ද විමසිය යුතුය.

බරාක් ඔබාමාගේ තෝරා පත්වීමත් සමඟ ඇමෙරිකන් ඉතිහාසයේ වඩාත්ම සමාජවාදී වූ ප්‍රතිපත්ති ඉතා සුළු කලක දී ක්‍රියාවට නංවන ලද ප්‍රථම ජනාධිපතිවරයා බිහිවිය.

සියල්ල ආණ්ඩුවේ වියදමෙන් ස්ථාපනය කර පවත්වා ගෙන යා හැකි යැයි සිතීම දුර්මතයකි. රැකියා බිහි කිරීම ආණ්ඩුවකට කළ හැකි යැයි සිතීම ද දුර්මතයකි.

අපිට ලැබෙන හැම භාණ්ඩයක් හා සේවාවක් සඳහා ම අද දිනයේ යම් විදියකින් ඊට ගෙවිය යුතුය. ඒවා නොමිලේ ලැබෙන්නේ නැත. සියළු ආණ්ඩු වැය ද කවදා හෝ දිනයක බදු වලින් එකතු කරන මුදලින් ගෙවත යුතු වේ. ඒ වැය ගෙවන දිනය කල් දැමීම නිසා සිද්ධ වන්නේ ගැටළුව වර්ධනය වීම මිසක විසඳීමක් නොවේ.

ආණ්ඩුව වියදම් කරන හැම සතයක් සඳහා ම සතයක් බදු වලින් එකතු කරගන්නවා යැයි බලද්දී ආණ්ඩුවක වියදම් ගැන අළුත් පැත්තකින් බලන්නට පුරවැසියාට (ලෝකයේ ඕනෑම රටක වාසය කරන) අවස්ථාව ලැබේ.

හැම ආණ්ඩුවක් විසින් ම අත්‍යාවශ්‍ය වූ ආණ්ඩුවේ සේවා සැපයීම අවශ්‍යයය. මහා මාර්ග, පාලම් හා උමං මාර්ග, අවි ආයුධ ගබඩා හා හමුදාව, රටේ නීති රෙගුලාසි හදනා අයට කතාබහට ස්ථානයක්, පොලීසිය හා සිර ගෙවල් යනාදිය රටක අවශ්‍යතා වෙති. ඒවා රටක ආණ්ඩුවක් බාරව තිබෙන මහජන සේවා වෙයි. ඒවායේ අවශ්‍යතා අනුව ඒවා සැපයීම ගැන නොව මෙහි විචාරයට ගන්නේ ආණ්ඩුවක් විසින් ‘රැකියා ලබා දීම’ පිණිස නොහොත් ‘සමාජයට මුදල් බිහිකිරීම’ පිණිස මහජන සේවා කටයුතු පටන් ගැනීමයි.

පාලමක් ඉදි කරන්නට අවශ්‍ය යයි සිතමු. මහජනයාට පහසුවෙන් ගමනාගමන හැකියාව ඇත්තේ යම් තැනක පාලමක් ඉදිවීම නිසා යැයි කියමු. ඒ අවශ්‍යතාවය කොතරම් දැඩි වේ ද යත් කිවහොත් පළාතේ අය තමන් විසින් ගන්නා දෑ අත්හැර කැමැත්තෙන් බදු ගෙවා වුව ද පාලම ඉදි කරන්නට ඉදිරිපත් වෙන තරමට උවමනාවෙන් සිටිති. එවිට ඒ පාලම මහජන අවශ්‍යතාවයකි. එහෙත් රැකියා හිඟයක් පළාතේ පවතින නිසා ‘රැකියා සැපයීම‍ට’ පාලමක් ඉදි කළ යුතු යැයි දුර්මතයක සිටින පිරිසක් වෙති. මෙහි දී පාලමක අවශ්‍යතාවය සැපයීමට නොව රැකියා අවශ්‍යතාවයක් සැපයීමට පාලම ඉදි කරන්නට යයි. ආණ්ඩුව මෙහි දී ‘ව්‍යාපෘතියක්’ අළුතින් ‘බිහි’ කරයි. එතැන දී අහන ප්‍රශ්නය පාලම් හදන්නට අවශ්‍ය දැයි කියා නොව තව කොහේද පාලම් හදත හැක්කේ කියාය!!!

පාලම් අවශ්‍ය නැත්නම් රැකියා බිහි කිරීමට තියන පාලම් ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි ආණ්ඩුව කියයි. පාලම් හා මහා මාර්ග ඉදි කිරීම ‘රැකියා සැපයීම’ වන රටවල වසරක් වසරක් පතා පාරවල් හා පාලම් වල ප්‍රතිසංස්කරණ දැකිය හැකිය.

පාලමක් හදන්නට පෙර ඇහෙන්නේ ඉන් කොපමණ රැකියා සැපයෙනවා ද කියාය. එයින් හඟවන්නේ පාලම ඉදි නොවුන හොත් එපමණ සංඛ්‍යාවක් රැකියා බිහි නොවනු ඇතැයි කියාය.

මේ ක්ෂණයෙන් දැකිය හැකි දෙයයි. ඒත් අපි අපව ඇහට පෙනෙන දෙයින් ඔබ්බෙන් හිතන්න පුරුදු කරගන්නවා නම් නොපෙනෙන ප්‍රතිඵල හඳුනාගන්නට සමත් වෙමු. ආණ්ඩුවේ ව්‍යාපෘතියෙන් කෙළින් ම වාසි ලබන අය දිහා පමණක් නොබලා ඉන් අනියම් ලෙසින් පාඩු විඳින අය කවුදැයි සොයා බැලිය යුතුය.

පාලමක් හදද්දී, ඊට සහභාගි වන ඉංජිනේරුවන් හා අත් උදව්කාරයන්, සිමෙන්ති හදන අය, ගල් වැලි සපයන අය, යකඩ තලන අය යනාදීන් ලාභ උපයති. ඔවුන්ට රැකියා වැඩි වෙයි. නමුත් පාලමේ වැය දරන්නේ බදු වලින් ය. පාලම හදන්නට මිලියනයක් මුදල් යද්දී මිලියනයක් මුදල් බදු ගෙවන පුරවැසියනට නැති වේ. බදු ගෙවන පුරවැසියන් විසින් ඒ මිලියනය තමන් විසින් කැමති දෙයකට ගෙවන්නට ඉඩ තිබුණ අවස්ථාව නැති වී දැන් එය ගෙවන්නේ පාලම සඳහා ය.

එනම් පාලම හදන්නට ගන්නා සෑම මහජන ‍රැකියාවක දී ම වෙනත් පුද්ගලික රැකියාවක් අහිමි වී යයි. මහජන රැකියාවක දී බදු වියදම් වෙයි. පුද්ගලික අංශ රැකියාවකින් බදු එකතු වෙයි.

අපිට පාලමේ වැඩ කරන අය දැකිය හැකිය. රැකියා සපයන බව කියන ආණ්ඩුවේ පොරොන්දුව ඉටු කර ඇතැයි පෙනෙයි. එහෙත් අපිට නොපෙනෙන හරිය නම් පාලම හදන්නට ගිය මිලියනය නිසා බදු ගෙවන ජනතාව අතින් බිහිවන්නට තිබි රැකියා අහිමියයි. තවත් විදියකින් කිවහොත් පාලම් රැකියා බිහිවීමෙන් වාහන නිෂ්පාදනය කරන රැකියා, රේඩියෝවක් නිෂ්පාදනය කරන රැකියා, රෙදි කම්හලක් පටන් ගන්නා රැකියා හෝ කෘෂිකාර්මික ව්‍යාපාරයක රැකියා නැති වී යයි. පුරවැසියා පාලම හදන්නට බදු ගෙවද්දී ඒ නිසා ඒ පුරවැසියාට වෙනත් යමක් ගැනීමට හැකියාව නැති වී යයි.

පාලම ලස්සන ය. රට සංවර්ධනයට පා තබා ඇතැයි කියා පාන්නකි. නමුත් පාලම දකිනා නිසා අපිට දැකිය නොහැකි ලස්සන ගෙවල්, නොහැදූ වාහන, නොහැදූ රේඩියෝ, නොහැදූ රෙදිපිළි, ‍වගා නොකරන ලද භෝග දැකිය නොහැකි ය.

යමක බිහි වීමෙන් බිහි නොවන දේවල් මොනවා දැයි විමසන්නට වෙනස් විදියකින් හිතන හැකියාව අවශ්‍යයය.

පුද්ගලික අංශයට ඉදි කළ නොහැකි වැයකින් ඉදිවන මහජන පහසුකම් ගැන මෙසේ ද කල්පනා කළ යුතුය. එනම් ඒ මහජන පහසුකම් වල වැය දරන්නේ අවසානයේ බදු ගෙවන පුද්ගලික අංශයම බවයි. බදු වලින් එක පළාතක පාලම් හා වාරිමාර්ග තැනෙද්දී තවත් පළාතක කිසිවක් දකින්නට බැරි ඒ නිසා ය. පාලම් ඉදි වූ පසු රැකියා නැවත හිඟ වී අළුත් ව්‍යාපාර ද පටන් ගෙන නැත්තෙ ඒ නිසා ය. රජයක් විසින් වෙනත් ව්‍යාපාර දියුණු කරන්නට සුබ සාධන දැන් වැය කළ යුතුය. නැවත බදු වැඩි කළ යුතුය.

රටක් සංවර්ධනය වන්නේ ආණ්ඩුව විසින් මහජන අවශ්‍යතාවක් සැපයීම මඟින් මිස ආණ්ඩුව විසින් ‘රැකියා’ සැපයීමට ගන්නා උත්සාහයෙන් නොවේ.

යුරෝපයේ පාලම් හදන්නන්ගේ නැඟ යන ආර්ථිකය ගැන The Economist සඟරාව ලියන්නේ 2004 දී ය. 2011 වෙද්දී යුරෝපයේ පාලම් නිසා නැති වී ගිය රැකියා කාටවත් දකින්නට බැරිය!!!

ඔබාමා ආණ්ඩුවේ American Recovery and Reinvestment Act of 2009 මූලික අභිප්‍රාය වූයේ ක්ෂණිකව රැකියා ආරක්ෂා කරගැනීම හා අළුතින් නිපැදවීම විය. ඩොලර් බිලියන 787 ක් ඊට අනුමත විය. 2011 වෙද්දී එම වැඩ පිළිවෙල ප්‍රතිඵල රහිත බව අද ඔබාමා ආණ්ඩුවට ද පිළිගන්නට සිද්ධ වී තිබේ. බිලියන 48.1 ක් වැය කරමින් පාලම් හා මහාමාර්ග ඉදි කරන ලද වුවත්, ප්‍රවාහන ප්‍රතිසංස්කරණ හැදුවත්, අද රැකියා නැති සංඛ්‍යාව මිලියන 15.7 කි.

මහජන පහසුකම් ඉදි කිරීම යනු බදු වැඩිවීමයි. බදු වැඩිවීම යනු අළුත් නිෂ්පාදන බිහි නොවීමයි. අළුත් නිෂ්පාදන බිහි නොවීම යනු අළුත් රැකියා බිහි නොවීමයි.

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on අගෝස්තු 16, 2011 at 10:23 පෙ.ව.

    අපේ රටේ පිළිකා රෝහලේ ඉන්නව ගොඩක් දුප්පත් රෝගින්..ඔවුන්ට සල්ලි නෑ මිල අධික බෙහෙත් ගන්න..අපි ඒ වෙනුවෙන් පුංචි දෙයක් කරන්න උත්සාහ කරනව..ඒ තමයි ඉලන්දාරියා නොහොත් දිලුම්ට පින්පතා ඒ දවස වෙනකොට රෝහලේ නැති ඒත් අවැසි බෙහෙත් ටිකක් අරන් දෙන්න…
    ඒ පිළිකා රෝගින්ට මොහොතක හරි සහනයක් ලැබෙයි එතකොට…
    මේ මගේ බ්ලොග් එක කමෙන්ට් එකක දාන පලවෙනි වතාව..ඒත් ඒක හැර අපේ ව්‍යායාමය දැනුම් දෙන්න වෙන ලින්ක් එකක් නෑ…

    http://ansathudinapotha.blogspot.com/2011/08/blog-post_16.html

    අරුණි ගුරුතුමිය මේ පිළිබඳ අකමැතිනම් කියන්න ඔබ තුමිය බ්ලොග් එකේ දිලුම් ට පින්පතා තිබෙන නිසාත් මම නිරන්තර පාඨකයෙක් නිසාත් වැඩිදෙනෙක් අතරට ගෙනියන්න තමා මෙසේ කමෙන්ට් කලේ…

    • arunishapiro said, on අගෝස්තු 16, 2011 at 8:20 ප.ව.

      indika27,

      ගැටළුවක් නැහැ. සටහන් කියවන මගෙ අම්මා ද ඔය කටයුත්ත නිතර කරන තැනැත්තියක් නිසා සහභාගී වෙයි.

  2. kevin perera said, on අගෝස්තු 16, 2011 at 1:10 ප.ව.

    ලංකාවේ තත්වය ඇමරිකාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. අරුනි සිහින මවන අතිශය ධනවාදී බදු ක්‍රමයකට සමාන ක්‍රමයක් ලංකාවේ ඇත.මහින්ද ගේ Fiscal Management Report ‐ 2011වාර්තාවේ ( http://www.treasury.gov.lk/docs/budget2011/fmr2011/FMRA-eng.pdf ) 18 වැනි පිටුවේ පයි චාර්ට් එක බලන්න. පුද්ගලික ආදායම් බදු වලින් රජයට එන්නේ සීයට 17% පමනි. වැඩි කොටස චක්‍ර බදු(indirect taxes)ය. වෙනත් විදියකින් කියන්නේ නම් චක්‍ර බදු ප්‍රමාණය ආදායම් බදු වලට වඩා විශාලය.කාටත් තේරෙන්න කියනවානම් ලංකාවේ පාලම් හදන්න වැඩි බරපැන දරන්නේ ධනපතියන්ගෙන් වැඩිපුර බදු ගහල එකතු කරන මුදල් වලින් නොවෙයි හිඟන්නගෙ ඉඳල අබ්භගාතයා දක්වා හැමෝගෙන්ම සමානව එකතු කරන වක්‍ර බදු වලින්. අපි ධනවාදී අර්ථ ක්‍රමයක් තුල පාලම්, අධිවේගී මාර්ග හඳුනා ගත යුත්තේ මහජනයාට පහසුවෙන් ගමනාගමන හැකියාව ලබා දීම සඳහා රජය කරන සත් ක්‍රියාවක් ලෙස නොව නිදහස් වෙළඳාම පහසුවෙන් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකමක් ලෙසයි. පාලම් පාරවල් හදන්නේ නිෂ්පාදිත බාණ්ඩ වෙලඳ පොලවල් කරා පහසුවෙන් ගෙනයෑම සහ අමුද්‍රව්‍ය නිෂ්පාදනාගාර වෙත රැගෙන ඒම පහසු කර ගැනීමටයි. අපි ඕවායේ ගමන් යෑම අතුරු පලයක් පමනි.ඉතින් එහෙම බැලුවම ලංකාවෙදි නම් ධනපති සමාගම් පහසුවෙන් වෙලඳාම් කරන්න නොමිලේ පාවිච්චි කරන්නෙ ධනපතියො සුඛෝපබෝගී කාර් වලින් ගිහිල්ලා ආතල් ගන්නෙ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් හදපු පාලම්, අධිවේගී මාර්ග වල. ලංකාවෙ කාර් එකක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද ඒ උනාට බයිසිකල් පදින කුරුං ගුරුං සබන් කෑල්ලක් ගන්න කොට ගෙවන මිල අස්සෙ පවා හැංගිලා තියන වක්‍ර බදු වලින් තමයි ලංකාවෙදි දුප්පත් කුරුං ගුරුං ට සිය ජීවිත කාලය ඇතුලත කාරෙකක් අරගෙන යන්න බැරි තමන්ගෙ බයිසිකලේ ඇතුල් කරන්න නොදෙන highway එක හදන්නේ.

    • arunishapiro said, on අගෝස්තු 16, 2011 at 8:15 ප.ව.

      kevin perera,

      කෙවින් පෙරේරා දාලා තියන ප්‍රතිචාරය ගැන මොකුත් නොකීවොත් අර කැඩුණු ජනේලය ගැන ලියුවාම කියවපු අය චාලි චැප්ලින් දැකලා, එරික් ඩර්ක්හයිම් අහලා වෙනතක ගියා වගේ මේ සටහනේ අදහසත් වෙනතක යන්න ඉඩ තියනවා.

      //අරුනි සිහින මවන අතිශය ධනවාදී බදු ක්‍රමය// යැයි කෙවින් පෙරේරා කියන්නේ හැම පුරවැසියෙක් විසින් එක හා සමාන වූ බදු බරක් දැරීම නම් එවැන්නක් අහළකින් වත් යන ක්‍රමයක් ලංකාවේ නැති බව මෙහෙම පෙන්වා දෙන්නම්. ලංකාවට VAT බදු පමණක් තිබුණා නම් හැම පුරවැසියාටම එක හා සමාන වූ බදු බරක් තියනවා යැයි කියන්න තිබුණා.

      //පුද්ගලික ආදායම් බදු වලින් රජයට එන්නේ සීයට 17% පමනි// ඒ මෙසේය: (වසරක දී උපයන මුල් රුපියල් 500,000 දක්වා ආදායම් බදු ගෙවද්දී පුද්ගලික allowance හැටියට අඩු කරගත හැකිය.) ඉන්පසු බදු ගෙවන rates:
      0 – Rs. 500,000 – 4%
      ඊ ළඟ 500,000 – 8%
      ඊ ළඟ 500,000 – 12%
      ඊ ළඟ 500,000 – 16%
      ඊ ළඟ 1,000,000 – 20%
      ඉතිරියට 24%

      එනම් වැඩියෙන් ආදායම උපයන අය වැඩියෙන් බදු ගෙවති.

      ලංකාවේ ව්‍යාපාර බදු ගෙවන්නේ මෙසේය:
      Companies with taxable income less than SLR 5 million: 15%
      Venture capital companies: 20%
      Quoted companies listed less than 5 years: 33 1/3%
      Companies listed more than 5 years: 35%
      Any unit trust or mutual fund: 10-20%
      Hindu undivided families: 30%
      Charitable Institutions(including corporate bodies): 10%
      Executor (other than trustees under last wills) and receivers (other than liquidators): 30%
      Trustees (including trustees under last wills): 30%
      Partnerships: 30%
      Any Co-operative Society registered or deemed to be registered under the Co-operative Societies Law No.5 of ’72 On the taxable income: 5%
      Employees Trust Fund and Provident or Pension Funds: 10%
      Liquidators of companies: The rate of tax chargeable in respect of the company concerned
      Mutual life assurance companies: 20% මෙම දත්ත 2011 වෙනස්කම් අනුව අළුත් විය යුතු යැයි සිතමි.

      ව්‍යාපාරයක් විසින් උපයන ආදායමෙන් ව්‍යාපාරිකයා තම පුද්ගලික ආදායම වශයෙන් ලබා ගන්නා මුදලට ගෙවන බදු වලට අමතරව ව්‍යාපාරය විසින් ඔවුන් උපයන ආදයමෙන් ද බදු ගෙවීම ව්‍යාපාර බදු (corporate tax) වෙයි.

      වෙළඳාම, වෘත්තීය යනාදියේ නිරත වන අය හැම කාර්තුවකම (මාස 3) Economic Service Charge (ESC) ද ගෙවිය යුතුය. රුපියල් මිලියන 7.5 කට වඩා අලෙවි රිසිට් පත් වලින් ආදායම උපයන නැත්නම් turnover ඇති (ලාභ නොවේ) අය විසින් 0.25% ක සිට 1% දක්වා ESC rate ගෙවිය යුතුය. ඊට ඉහළ පුද්ගලික ආදායමකින් බදු ගෙවන්නේ නම් එය අඩු කරගත හැකි වුවත්, වසර හතරක කාලයක් ඉදිරියට ගෙන යා හැකි වුවත්, එය ගෙව්වාට පසුව පුද්ගලික ආදායම වැඩි වීම නිසා එය නැවත ලබා ගත නොහැකිය!!!

      එහෙම බලද්දී ව්‍යාපාරික බදු ගෙවන්නෝ විසින් ව්‍යාපාරික බදු වලට අමතරව තමන් ලබන ඉහළ ආදායමෙන් පඩියක් ගන්නවා නම් පුද්ගලික ආදායම් බදු ද ගෙවති. එනම්, ව්‍යාපාර දියුණු කරගෙන වැඩියෙන් ආදායම් උපයද්දී, ඒ ව්‍යාපාර වැඩියෙන් බදු ගෙවති. ව්‍යාපාරය දියුණු වී පුද්ගලික ආදායම වැඩිවෙද්දී වැඩියෙන් පුද්ගලික ආදායම් බදු ද ගෙවති.

      ලංකාවේ Employees Provident Fund (EPF) සඳහා සේවකයා 8% ක් ඉතිරි කරද්දී රැකියාව සපයන්නා 12% ක් ඔහු වෙනුවෙන් ගෙවිය යුතුය. රැකියාව සපයන්නා 3% ක් Employee Trust Fund (ETF) ගෙවිය යුතුය. වසර 5 කට වඩා කාලයක් සේවය කර ඇති සේවකයන්ට විශ්‍රාම යද්දී තමන් අන්තිමට ලද පඩිය තමන් විශ්‍රාම යනතුරු සේවය කරන ලද වසර වල් වලින් වැඩි කර 50% ක පමණ gratuity ‍ගෙවන්නට ද නීතියෙන් අනුමත ය. ඒ බරපැන දරන්නේ රැකියාව දෙන්නා විසිනි.

      දැන් ඔබ වැඩියෙන් VAT බදු බර දරනවා කියන ලාංකික‍ වැඩි ජනතාව දිහා බලමු.

      ලංකාවේ VAT බදු භාණ්ඩයේ මිලෙන් 12% කි. සමහර ඉතාමත් අත්‍යවශ්‍ය වූ භාණ්ඩ කිහිපයකට බදු නැත. මෙතැන දී වැඩියෙන් VAT බදු මුදල් ප්‍රමාණයක් රජයට ලැබෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් ද නැත්නම් සුඛෝපභෝගී භාණ්ඩ වලින් දැයි ඔබට පෙනී යන්නට උවමනා ය. සබන් කෑලි කීයක් විකුණන්න වෙයි ද මෝටර් රථයකින් ලැබෙන VAT බදු තරම් ගානක් හොයා ගන්න?!!!

      භාණ්ඩ හා සේවා මිලට ගන්නා අය සඳහා 12% ක් VAT රජය කපා ගනිද්දී සිල්ලර හා තොග බඩු විකුණන ව්‍යාපාරිකයන් වෙතින් turnover මුදලින් (ලාභයෙන් නොවේ) බද්ද 1% ක් කපා ගැනේ. ඒ ඔවුන්ගේ ආදයම් බදු වලට අමතර, ව්‍යාපාර ආදායමට අමතරව ය. භාණ්ඩ හා සේවා සපයන එක කාර්තුවකට රුපියල් 650,000 කට වඩා අලෙවි රිසිට් පත් ඇති හෝ වසරකට රුපියල් 2,500,000 ක turnover ඇති අය ඒ 1% බද්ද ගෙවිය යුතුය. හැම මාස 3 කට වතාවක් ඒ මුදල් Inland Revenue Department යැවිය යුතුයි.

      ඉතින් නැවතත් සලකා බලමු:

      කවුද ලංකාවේ වැඩියෙන් බදු ගෙවන්නේ?

      වැඩියෙන් VAT බදු ගෙවන්නට සිද්ධ වන භාණ්ඩ හා සේවා මිල දී ගන්නේ කවුදැයි මොහොතක් සිතන්න?

      ආදායම් බදු නොගෙවන අය මහත් පිරිසක් භාණ්ඩ හා සේවා සඳහා VAT බදු ගෙව්ව ද ඔවුන් මිල දී ගන්නා භාණ්ඩ හා සේවා සඳහා කොතරම් වියදමක් දරනවා දැයි සිතන්න.

      තමන් උපයන ආදායමෙන් 24% ක් ආදායම් බදු ගෙවන අයට VAT බදු ද ගෙවා මිසක භාණ්ඩයක් මිල දී ගත හැකි ද?!!!!

      එහෙම බලද්දී ඔවුන් ව්‍යාපාරික බදු (33% ක් දක්වා කියමු) ගෙවමින්, පුද්ගලික ආදායම් බදු (24% ක් දක්වා) ගෙවමින්, VAT බදු (12% ක්) ගෙවමින් කිහිප වතාවක් රජයට බදු ගෙවනවා ද?

      ඔබ දක්වන සටහනේ 2010 ආදායම් බදු වලින් ලැබුණු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන වලින් 101,506 ක් සහ VAT බදු වලින් 156,227 කි. ඉතින්, ඉහළ ආදායම් ඇති අය, භාණ්ඩ හා සේවා වැඩියෙන් මිල දී ගන්නා අය, VAT බදු ද ගෙවනා නිසා ඔවුන් රජයට වැඩියෙන් බදු ගෙවන අය නොවන්නේ කෙසේද?!!

      නිදහස් වෙළඳාම කරගෙන යෑමට යටිතල පහසුකම් ලෙසින් පාලම් පාරවල් හදා නිෂ්පාදිත භාණ්ඩ වෙළඳපොල වල් කරා ගෙන යන්නට ආණ්ඩුවක් විසින් වැය කරද්දී, ඒ පාලම් හා පාරවල් හදන්නට ගිය වැය නිසාම, ඒ සඳහා බදු අය කරගන්නට සිදුවන නිසා ම, ඒ බදු බර දරන්නාට අළුත් නිෂ්පාදිත භාණ්ඩ වෙළඳපොලට ඉදිරිපත් කරත නොහැකි බව ‘නොපෙනෙන’ සත්‍යයකි.

      ඔබ දා ඇති pie chart එක දිහා බලද්දී පෙනී යන්නේ ලංකාවේ රජය ද ලැබෙන ආදායමට වඩා වැය වැඩියෙන් කරන බවයි. රජයට ලැබෙන ආදායමට වඩා රජයේ වැය අඩු කරත නොහැකි නම් බදු ගෙවන්නා පිට තව තවත් බදු බර පැටවෙනවා මිසක රටේ යමක් අළුතින් නිෂ්පාදනයකට හැකියාවක් ඇති නොවේ.

      • kevin perera said, on අගෝස්තු 16, 2011 at 8:57 ප.ව.

        වමේ අදහසක් ජනිත කරවන අන්දමින් ප්‍රතිචාර දැක්වූයේ ඔබගෙන් මෙවැනි පිලිතුරක් අපේක්ෂාවෙන්ම තමයි.කොක්කක් දැම්මම තමයි අරුනිගෙන් උපරිමය ගන්න පුලුවන්. 🙂 මා මෙය ලියුවේ අපේ රටේආකෘතික වාමාංශිකයෙකුගේ සපත්තුවට බැස ඔහුගේ දෑසින් අරුනිගේ ලිපිය කියවමිනි. අපේ රටේ අති විෂාල අය වැය හිගයක් පවතී වසරක් පාසා මේ හිගය පියවා ගන්නේ විදේශ ආධාර වලින් හා විදේශ වලින් අසීමාන්තික ලෙස ණය ගැනීමෙනි සෞඛ්‍යය අධ්‍යාපනය නොමිලේ දීම සඳහා මුදල් කොහෙන්ද එන්නේ? මුදල් මැවිය නොහැක මේ දේවල් නොමිලේ දීම සඳහා වැයවන හැම සතයක්ම කවුරුන් හෝ දහඩිය මහන්සියෙන් හම්බ කල යුතුයි අපේ රටේ මිනිසුන් මේවා තේරුම් ගන්නේ කවදාද? ලාංකිකයා හිතන්නේ පාරවල් පාලම් හදන ආණ්ඩු මාරයි කියලාය. Thank You

  3. kevin perera said, on අගෝස්තු 16, 2011 at 8:14 ප.ව.

    this is my man…hopefully he will take us to golden age

  4. chandi said, on අගෝස්තු 16, 2011 at 11:44 ප.ව.

    කෙවින් කියන එක ඇත්ත අරුණි, ලංකාවේ අද තත්වය මෙසේයි. අපි ව්යාපාරයක් ඉතාම ශුද්ධව කරගෙන ගියා. අපි මේ දක්වා මිලියනගනනක් ආණ්ඩුවට බදු ගෙවා තියෙනවා. නමුත් මෙෂිනරි ඉන්ඩස්ට්‍රි එකම කඩා වැටෙත්දී ඒ සඳහා ජනාධිපති තුමාට පවා ලිපි ලීවත් පලක් උනේ නෑ. පාලම් හා පාරවල් තැනීම සඳහා උනන්දු වූ රජය ආර්ථිකයට පනදෙන අපේ ව්‍යාපාරය කඩා වැටෙනතෙක් බලා හිටියා. මෙය මගේ නිසා කියනවා නොවේ. මේ වගේ කීයක් ව්‍යාපාර කඩා වැටුනාද ? කියා සිතා බලන්න. ලෝක ආර්ථිකය කඩා වැටීම නිසාය කියා දැන් බේරෙන්නට හදනවා. නමුත් පණ ගැන්විය නොහැකි ලෙස අපේ දේ වැටී ඇත. පනස් දෙනෙකුට රැකියාත් , තව විසිපහකට දැනුම, training of Lathe & milling Machines දුන් තැන අද ත්තවය මෙසේයි. මෙය අපේ රටේ අභග්‍යයයි.

    • chaminda said, on අගෝස්තු 17, 2011 at 3:51 පෙ.ව.

      oops if the industry is yours why should the government intervene when you get bankrupt?eekiya vu pudgalaya should accept both profit and losses,isn’t it Aruni?

      • arunishapiro said, on අගෝස්තු 17, 2011 at 9:44 පෙ.ව.

        chaminda,

        ඔව්. කිසිම විටක පුද්ගලික ව්‍යාපාරයක් රජයක් විසින් බේරා ගත යුතු නැහැ. පුද්ගලික ව්‍යාපාර රාජ සන්තක කරන්නේත් රජයෙන් බේරාගත යුතු යැයි සිතන්නේත් සමාජවාදී සැලසුම් හදන්නට කැමති අය.

        ව්‍යාපාරයක් තමන් වැය කරන හැම රුපියලකින් සත 100 ක අලාභයක් වුවහොත් ඒ අලාභය විඳ දරා ගන්නේ ව්‍යාපාරය විසින්.

        ව්‍යාපාරයක් තමන් උපයන හැම රුපියලකින් ම සත 30 ක් බදු ගෙවිය යුතුයි.

        එවැනි සමාජ ක්‍රමයක දී, ව්‍යාපාරයක් මෙතෙක් කාලයක් ඉපැයූ ආදායමෙන් හැම රුපියලකින්ම සත 30 ක් රජයට දීමෙන් හා අලාභයෙන් හැම සත 100 ක් ම නැතිවීමෙන් ව්‍යාපාරයේ අයවැය අඩුවැඩිකම් සේන්දු කරගන්නේ (balance) කොහොම ද?

        ව්‍යාපාරයක දී අලාභයත්, බදු බරත් ව්‍යාපාරිකයා දැරීම නිසා තම ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට අවස්ථාව අහිමි වෙනවා. දියුණු කරත හොත් දියුණු කරන්නේ අර අලාභ විඳ දරා ගන්නට හැකි තරම් අවදානමක් (risk) ගෙන පමණයි.

        මේක අවබෝධ කරගන්න අය අවදානම වැඩි යැයි දකිද්දී (කම්මැලි නිසා පැත්තකට වෙලා ඉන්න අය නෙවෙයි!!) නව ව්‍යාපාරයක් පටන් ගන්නේ ද නැහැ. 🙂

        එවිට පරණ ව්‍යාපාරිකයෝ අළුත් ව්‍යාපාර වලට අත දාන්නේ ද නැහැ. අවදානමක් ගන්නට තම ආදායම් හා වියදම් අනුව අලාභ තමන් විසින් ම විඳ දරා ගැනීමේ හැකියාව ඉහළ බදු නිසා වැඩි වෙද්දී රැකියා සඳහා අළුත් අය බඳවා ගැනීම ද අඩු වෙනවා. නව තාක්ෂණය හා නව කම්හල් ලෝකයට බිහිවෙන්නෙත් නැහැ. මොකද ඒවාට ආයෝජනය කරන්නේ ලාභ දරා ගත හැකි අවදානම අඩු කාලයක දී පමණයි. පාඩු ලබන අවදානම වැඩි වී කාලාන්තරයක් යද්දී ඇයි අපේ රටේ කිසිවෙක් අළුත් දෙයක් පටන් ගෙන නැත්තේ කියා ඇසීම මෙම තත්වය අවබෝධයක් නැතිකම.

        පසුගිය වසර කිහිපය තුල දී බුෂ් පුතාගේ අවසන් වාරයේ (වසර 4) හිමිහිට පටන් ගත් හා ඔබාමාගේ වසර දෙක තුල දී දැඩි ලෙස ඉහළ ගිය ඇමෙරිකාවේ ව්‍යාපාරයන් සඳහා පැනවුනු නීති සමුදාය නිසා අද අලාභ විඳින ව්‍යාපාරික අවදානම ගන්න කිසිවෙක් සූදානම් නැහැ. ඉතින් දිනෙන් දින රැකියා හිඟය වැඩි වෙනවා.

        උදාහරණයකින් පැහැදිලි කරන්නම්: බුෂ් පුතා පටන් ගත් ඔබාමා ආණ්ඩුව තවත් වැඩි කරන ලද්දා වූ එතනෝල් නිෂ්පාදනයට තිරිඟු සපයන ගොවියන් සඳහා සහනාධාර.

        එතනෝල් සඳහා තිරිඟු නිපදවන අයට සහනාධාර වැඩියෙන් ද සත්ව ආහාර හා මනුෂ්‍ය ආහාර සඳහා තිරිඟු නිපදවන අයට සහනාධාර අඩුවෙන් ද සිද්ධ වෙනවා. පුද්ගලික ව්‍යාපාර කිසිවකට සහනාධාර ද දිය යුතු නැහැ!!! ඇමෙරිකාවේ ප්‍රථම වතාවට 2011 වසර මනුෂ්‍ය හා සත්ව ආහාර නොවන තිරිඟු නිෂ්පාදනය වැඩි වූ වසරයි. සත්ව හා මනුෂ්‍ය ආහාර පිණිස වැවූ තිරිඟු මිල ඉතා ඉහළ ගියා. කුකුල් ආහාර වලින් බාගයක් සෝයි, බාගයක් තිරිඟු. කුකුල් ව්‍යාපාර වැයෙන් දැඩි ප්‍රමාණය සත්ව කෑම පිණිසයි. ඩෙලවෙයාර් ප්‍රාන්තය කුකුල් ව්‍යාපාරයේ දැවැන්ත ලෙස නියැලී සිටින ප්‍රාන්තයක්. මෙහි පිල්ග්‍රිම්ස් නැමති ලෝකයේ පළමුවැනි තැන ගත් කුකුල් ව්‍යාපාරය පළමුවෙන් බංකොළොත් වී ගියා. ඔවුන් බ්‍රසීලයට තම ව්‍යාපාරය විකුණුවා. අද බ්‍රසීල ව්‍යාපාරිකයන් ද අවදානමක. ඊ ළඟට ටවුන්සෙන්ඩ් කොම්පැණිය යුක්රේන් කොම්පැණියකට විකුණා නිෂ්පාදනයෙන් අයින් වුනා. ඊ ළඟට නොබෝදා ඇලන් ගොවියෝ ද බංකොළොත් වූවා. කොම්පැණිය කොරියානුවන්ට විකුණුවා. යුක්රේන් කොම්පැණිය තම රටෙන් තිරිඟු නැවක් අරගෙන ආවා. නමුත් ඇමෙරිකාවේ කෘෂිකාර්මික වගා නීති හා සහනාධාර අනුව එය ඔවුනට පාවිච්චියට ඉඩ ලැබුනේ නැහැ. දැන් ආරංචි වන අන්දමට ඔවුන් ද ‍ව්‍යාපාරය බංකොළොත් යැයි කියමින් ආපහු යනවාළු. ඇලන් කොම්පැණිය මිලට ගත් කොරියානු කොම්පැණිය ද ආපහු යනවාළු. මන්ද පාඩු විඳිමින් ව්‍යාපාර කරන්න කවුද කැමති? අද ඩෙලවෙයාර් හි ඉතිරි වී ඇති කුකුල් ගොවිපල‍ සොච්චම අලාභ වලින් (සතියකට බිලියන ගණනින්) කුකුලන් හැදීමේ නිරත වෙන්නෙ. ඒ අනාගත දවසක වෙනස් තත්වයක් ඇති වන තුරු, නැවත ලාභ ලබන දවසක් එනතුරු අද දිනයේ තමන් මෙතෙක් උපයා ගත් ලාභ වලින් අලාභ ගෙවා ගෙන. එහෙම බැරි වූ දවසට ඒ ව්‍යාපාර සොච්චමත් බංකොලොත්.

        කිසිම විදියකින් පුද්ගලික ව්‍යාපාරයක් ආණ්ඩුව විසින් බේරා ගත යුතු යැයි මා කියන්නේ නැහැ. එසේම ව්‍යාපාරයක් බංකොළොත් වන තත්වයට නීති ගෙන ඒම ආණ්ඩුවක කාර්ය වීම ද සුදුසු නැහැ. රටක කුමන ව්‍යාපාර ද බංකොලොත් විය යුත්තේ කුමන ව්‍යාපාර ද නැඟී යා යුත්තේ යන්න පුරවැසියා මිසක ආණ්ඩුව විසින් තීරණය කළ යුතු නැහැ.

        ව්‍යාපාරයක් කරද්දී අලාභ විඳ දරා ගැනීම ව්‍යාපාරයේ අවදානමක්. ඒක නිසාම තමයි ව්‍යාපාරිකයා (මාස්පඩි කාරයාට වඩා ලාභයක් උපයන්නට හිමිකම් කියන්නට) ව්‍යාපාරයක යෙදෙන්නේ. නමුත්, රජයේ සැලසුම් නිසා ඔවුන්ට තවත් අලාභ විඳ දරා ගන්නට නොහැකි වූ දවසට ලෝකයේ ව්‍යාපාර නැති වී යාමෙන් කවුද අවසානයේ අයහපත් ප්‍රතිඵල අත් විඳින්නේ? ව්‍යාපාර ගෙවන බදු වලින් සහනාධාර ලබන අය ම නොවේ ද? තවත් විදියකින් කිව්වොත් එතනෝල් සඳහා තිරිඟු නිෂ්පාදනයෙන් පාඩු විඳින කර්මාන්තය (නැත්නම් ඒ අයට සහනාධාර කුමකට ද?) බංකොළොත් නොවී පවත්වා ගෙන යන්නට ඒ ගොවියන්ට සහනාධාර ගෙවන්නේ මනුෂ්‍ය හා සත්ව ආහාර සඳහා තිරිඟු වවන ගොවියන් විසින් උපයන ලද ආදායම් බදු වලින්. මනුෂ්‍ය හා සත්ව ආහාර නිෂ්පාදනය කරන කර්මාන්ත වලින් ගෙවන බදු වලින්. අද දිනයේ ඒ ව්‍යාපාර වලින් ආදායම් නැති නිසා රජයට බදු ද නැහැ. නමුත් ඒ ව්‍යාපාරයන් අලාභ විඳිමින් පවත්වා ගෙන යාම නිසා එහි නියුතු පුද්ගලික ආදායම් ඇති අයගෙන් බදු රජයට ලැබෙනවා. එසේ කාලයක් යද්දී, ඒ ව්‍යාපාරයන් මෙතෙක් උපයා ගත් ලාභයෙන් අලාභ තව දුරටත් විඳිත නොහැකි දවසට ඒ කර්මාන්තයේ රැකියා නැති වී රජයට බදු ද නැතිවේ. ඒ කර්මාන්ත වලින් උපයත හැකි අනාගත බදු ද (අද නොපෙනෙන) නැති වී යයි.

        පාඩු නොලැබ ලාභ ලබමින් ගෙන ගිය දැවැන්ත කර්මාන්තයක, ඉහළ බදු රජයට ගෙවමින් සිටි ඉහළ පුද්ගලික ආදායම් හා ඉහළ ව්‍යාපාර ආදායම් බදු රජයටත් ඒ නිසාම සෙසු පුරවැසියන්ටත් සුබ සාධනය අහිමි වූ හැටි, සැලසුම් නොසිතා බලා දියත් කරන ප්‍රතිපත්ති නිසා සිද්ධ වන්නේ ඒ ආකාරයෙනි.

        ඔයත් දැම්මෙ කෙවින් පෙරේරා දැම්මා වගේ ප්‍රශ්නයක් නේද?!!!! ස්තූතියි.

  5. sagara said, on අගෝස්තු 18, 2011 at 5:50 පෙ.ව.

    ලෝක ආර්ථික අර්බුදයට අසුඋන බොහෝ රටවල්වල රජයවල් (චීනයද ඇතුළුව) ආර්ථික උත්ප්‍රේරක පොට්ටනි (Economic Stimulus Packages) අනුමත කළා. මේ පොට්ටනි වල අරමුණ උනේ විවිධ හේතුන් නිසා බකල් වී කඩා වැටුණු ආර්ථිකේට හා ඒ නිසා රැකියාවෙන් දොට්ට වැටුණු මිනිස්සුන්ටත් තාවකාලික උත්තේජකයක් ලබාදිමය්. මේකෙන් බලාපොරොත්තු උනේ යටිතල පහසුකම් ගොඩනැගීමට මුදල් වියදම් කිරීමෙන් තාවකාලිකව රැකියා උත්පාදනය කිරීමත්, එම රැකියා ලබා ගන්නන් මුදල් වියදම් කිරීමෙන් අනෙකුත් රැකියා (බැංකු, වෙළඳ, රක්ෂණ, දුරකථන ආදී සේවා සපයන අංශ වල) සුරක්ෂිත කිරීමය් (flow effect). මේ මගින් නිෂ්පාදන අංශ වල නැගිටීමක් සිදුවන තුරු ආර්ථිකේ තවදුරටත් කඩා වැටීම නවත්වා (keep afloat) ගැනීමත් බලාපොරොත්තු උනා. මේ පොට්ටනි ඇමරිකාවේ හා යුරෝපයේ සාර්ථක උනේ නැහැ. ඒකටත් විවිධ හේතු තියනවා. මේ පොට්ටනි සාර්ථක උන රටවල් ද නොමැතිවා නෙමේ. ඔස්ට්‍රේලියාව හා චීනය ඉන් දෙකක්. මේ රටවල් ලෝක ආර්ථික අර්බුදයේ පළමු වටයෙන් වැඩි සීරීමක් නැතුව මේ රටවල් ගොඩ ගියේ අර පොට්ටනි නිසා.

    • arunishapiro said, on අගෝස්තු 18, 2011 at 11:15 පෙ.ව.

      sagara,

      මම පෙන්වා දෙන්නෙ ලෝක ආර්ථිකය අර්බූදයට ලක් වෙන හැටි කොහොම දැයි කියල. ඉතින් ඔයා කියන ආර්ථික උත්ප්‍රේරක‍ පොට්ටනි වලින් ඒ ප්‍රශ්න විසඳෙන්නේ හෝ නැවත ඇතිවීම නැව‍තෙන්නෙ නැහැ. තවත් කාලයකට කල් යැවීම පමණයි. මෙහෙ කියන්නෙ ඕකට kicking the can down the road කියලයි. නමුත් අපි වෙනස් විදියකට බලන්න හා වැඩ කරන්න පුරුදු වුනොත් එවැනි අර්බූද ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ඊට ඇත්තේ එකම ක්‍රමයක්. එය තමයි විස්තර කරන්නට උත්සාහයක් ගන්නෙ.

  6. chandi said, on අගෝස්තු 18, 2011 at 6:11 පෙ.ව.

    අරුණි මා කියන්නේ නෑ පුද්ගලික ව්යාපාර රජය විසින් රැකිය යුතුයි කියා. නමුත් රජයේ ආයතන වන ATI වැනි NVTI වැනි ආයතන වල දරුවන් අපේ තැන ඉගෙන ගත්තා. අපි ඒ අයට දායකත්වය දුන්නා. මේ ගැනයි මට තියෙන දුක. අපි මෙ වේයැයි සිතෙන විට කරුණු ඉදිරිපත් කලා. ගොඩක් ම හේතු උනේ සුලු හා මධයම පරිමාන වයාපාර වලට දෙන නය සහන කපා හැරීම නිසා අපෙන් රැකුන පොඩි මිනිසාට හෙන පහරක් වැදුනා. ඒ අය අපට දුක් ගැනවිලි කියා එනවිට අපි පුලුවන් ලෙස ඒ අයට උප්කාර කලා. තවම අපෙන් ගත් මැශින් වලට මුදල් නොගෙවූ අය ඉන්නවා. බැංකු නය බලාගෙන ඒවා ගත්තා. නමුත් ඒවා නොලැබීගිය විට කුමක් කරන්නද? මා දකින විදිහට රටක දියුනුවට බලපාන අපේ වැනි ව්යාපාර ආරක්ශා කිරීමට ක්‍රියා මාර්ගයක් තිබිය යුතුයි.

    • arunishapiro said, on අගෝස්තු 18, 2011 at 11:22 පෙ.ව.

      chandi,

      මෙහෙමයි චාන්දි අක්කා අපි ඔය දිහා බලන්න ඕනෑ යයි මම හිතන්නෙ. සහනාධාර කුමන විදියකින් වත් ලැබෙන්නේ නැතිව යම් ව්‍යාපාරයක් ගෙන යා නොහැකි නම් ව්‍යාපාරයට ඒ වෙළඳපොලේ ඉල්ලුමක් නැහැ. මධ්‍යගත ආණ්ඩුවකින් ණය සහන දීම හෝ කපා හැරීම වෙළඳපොල සැලසුම් කරන්න ගන්න උත්සාහයක්. එය නිදහස් වෙළඳපොලක් නෙමෙයි. එවිට යම් ව්‍යාපාරයකට වෙළඳපොලේ ඉල්ලුමක් තියනවා ද නැද්ද කියා කවදාවත් හොයා ගන්න බැහැ. ආණ්ඩුවක් විසින් ණය සහන තීරණය කරන්න යද්දී එක ව්‍යාපාරිකයෙක්ට වාසි උපදවමින්, ඔබ කියූ පරිදි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ණය සහන දෙන විට මහා පරිමාණ ව්‍යාපාරිකයාට අවාසියි. ඒ ණයම කපා හැරි විට ඔබට අවාසියි. මහා පරිමාණ ව්‍යාපාරිකයාට වාසියි. එනම් සෑම සියළු සහනාධාරයකින්ම තව පිරිසක් අපහසුතාවයට ඇද හෙලනවා. ආණ්ඩුවක් මැදිමහත් වීම නිසා කවුරු හරි ජයක් ලබද්දී තවත් පිරිසක් පරාජය ලබනවා. ආණ්ඩුවට පක්ෂ යම් පිරිසක් ලාභ ලබද්දී තවත් පිරිසක් පාඩු විඳිනවා. ඉතින් කාලයෙන් කාලයට ලාභ ලබන්නේ කවුද හා පාඩු විඳින්නේ කවුද යන්න තෝරා ගන්නා හැකියාව මත ආණ්ඩුව පාලන බලයට වරම් ලබනවා. සමහර විට එය රට තුල ඉන්නා ව්‍යාපාරිකයන් අතරින් ආණ්ඩුව තෝරා ගන්නා පිරිස අනුව. තවත් විටෙක එය තම රටේ නිෂ්පාදනයේ යෙදෙන අය හා පිටරට නිෂ්පාදනය කරන අය අතර. තීරණය වන්නේ ණය, සහනාධාර හා සහන අඩු වැඩියෙන් බෙදා දීම පාලනය කරන ආණ්ඩුව. නමුත් රටක නිදහස් වෙළඳපොලක (සහනාධාර නැති) තරඟයට ඉඩක් තියෙනවා නම් හැම අංශයකම, සුළු, මධ්‍යම පරිමාණ හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට තම තම කොටසේ ලාභ උපයන්නට පුළුවන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: