අරුණි ශපීරෝ‍ වෙතින්

බොස්ලාගේ බොස් – capo di tutti capi

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 1, 2011

මාක්ස්වාදයේ අඩු ලුහුඬුකම් පෙන් වූ ඔස්ට්‍රියන් චින්තනය ගැන දැනුම ලෝකයේ ඉතා දුලබ ය. ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර සම්ප්‍රදාය පටන් ගන්නේ Carl Menger විසින් 1871 දී ලියූ Principles of Economics ග්‍රන්ථයෙනි. ඔහුගේ ක්‍රම අගැයූ ඔස්ට්‍රියන් මස්සිනාලා දෙදෙනෙක් වූ Eugen von Böhm-Bawerk (1851-1914) සහ Friedrich Wiser (1851-1926) ඒ අදහස් ලොවට කියා පෑහ.

කාල් මාක්ස්ගේ න්‍යාය විචාරය කරමින් මස්සිනාලා දෙදෙනා 1898 දී Karl Marx and the Close of His System ලියති. කාල් මාක්ස්ගේ අර්ථ ශාස්ත්‍රයේ උත්සාහය වූ පාරිභෝගික මිල දර්ශකයන් පදනම් වන්නේ ශ්‍රමය මත යැයි කීම මස්සිනාලා දෙදෙනා සාවද්‍ය යැයි ඔප්පු කරති. ඔවුන් පෙන්වා දුන් විෂයීගත ආන්තික අගැයීම් (subjective marginal valuations) මත පාරිභෝගික මිල දර්ශකයන් පදනම් වන්නේ යැයි අද බොහෝ අර්ථ ශාස්ත්‍රඥයන් පිළිගනිති. ඉතින්, ශ්‍රම න්‍යාය මත පදනම් වන අගැයුම (labor theory of value) වැරදි නම් මස්සිනාලා දෙදෙනා කියා සිටියේ මාක්ස්ගේ විද්වත් උත්සාහය වූයේ ඒ මත ගොඩ නඟන න්‍යාය වෑයමක් වූ නිසා එය අසාර්ථක බව ය.

මස්සිනාලා දෙදෙනාගේ ගෝලයන් වෙන්නේ Ludwig von Mises සහ Fredrick August Hayek ය. ඔවුන් ඔස්ට්‍රියානු අර්ථ ශාස්ත්‍ර සම්ප්‍රදාය පටන් ගෙන අවසන් කරන්නේ එය ගෙන යෑම සහමුලින් ඇමෙරිකාවට බාර දෙමිනි. ඔස්ට්‍රියන් කිව්වාට Menger අද පෝලන්තය ඇති පෙදෙසේ හා Mises එදා හංගේරියාව මායිම් වූ අද යුක්‍(-)රේනය ඇති පෙදෙසේ උපන් අය වූහ. මයිසස් 1912 දී ලියූ The Theory of Money and Credit ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර සම්ප්‍රදායේ වැදගත් තැනක් ගනී.

සමාජවාදය කළ නොහැකි (impossible) බව පෙන්වන්නට 1922 දී මීසස් විසින් Socialism නමින් පොතක් ලියුවේය!! එවක හයෙක් ඔහු යටතේ සේවය කළේ ය. ක්‍රියාශීලී කාර්මික ආර්ථිකයක් සමාජවාදයෙන් විචාරාත්මකව ගණනය කළ නොහැකි යැයි ඔහුගේ ප්‍රස්තුතය විය. සම්පත් පිළිබඳ සියළු තොරතුරු ලබා ගැනීමටත්, භාණ්ඩ හා සේවා සඳහා ජනතාවගේ අභිප්‍රායන් මොනවා දැයි දැන ගැනීමටත් ඇති බුද්ධිමය නොහැකියාව නිසා (the inability of any one planning board to know everything about the resources available and people’s expressed desires for things) මධ්‍යගත සැලසුම් පද්ධතියකට ආර්ථිකයක් මෙහෙය වන්නට නොහැකි යැයි ඔහු පෙන්වා දුන්නේ ය. ඒ නිසා සමාජවාදී මෙහෙයුම අසාර්ථක වන බව ඔහු පෙන්වා දෙන්නේ 1922 දී ය!!!

මීසස්ට අනුව අර්ථ ශාස්ත්‍ර න්‍යායක් ඔප්පු වන්නේ සත්‍ය ප්‍රස්තුත වලින් සිද්ධ වන නිගාමි තර්කයෙනි. මීසස් නිවැරදි නම් ඒ තර්කය හා ඔහුගේ තාර්කික වෑයම නිවැරදි වූවා මිසක ඉතිහාසය විසින් ඔහු නිවැරදි වූවා යැයි ඔප්පු කර නැත.

1949 දී ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලීය මුද්‍රණාලයෙන් මයිසස්ගේ Human Action නම් පිටු දහසකට ආසන්න කෘතිය එළි බසියි. මීසස්ගේ Socialism කියවා ඔහු අනුගාමිකයෙක් වන හෙන්රි හැස්ලිට් කේන්සියානු න්‍යය නිශ්ප්‍රභා කරන The Failure of the ‘New Economics’ ලියන්නේ 1959 දී ය.

ලිබටේරියන් අදහස් වලින් පෝෂිත වන, ඇමෙරිකන් ලිබටේරියන් පාඨකයන් වඩාත් ම ඉන්නා Reason සඟරාවේ කතුවරයෙක් විසින් ඉහත ‘බොස්ලාගේ බොස්’යන නම පටබැඳියේ ඉහත කියන ඔස්ට්‍රියන් සම්ප්‍රදායික අර්ථ ශාස්ත්‍රඥයන් අතරින් අයෙකුට ය. බොස්ලාගේ බොස් (boss of all bosses) නාමය capo di tutti capi හෝ capo dei capi යැයි එන්නේ ඉතාලි භාෂාවෙනි. එය අපරාධ කල්ලි මාෆියා වල බලවත් ම වූ නායකයා සඳහා පාවිච්චි කරන නාමයකි. මේ නම අර්ථ ශාස්ත්‍රඥයෙකුට පටබැඳෙන්නේ නූතන ලිබටේරියන්වාදයේ නායකයත්වය ගත්තෙක් හැටියට ඔහු ව කියා පාන්නට ය.

‘බොස්ලාගේ බොස්’ වන ඔහු 1944 දී ‘වහල් බවට යන පාර’ (Road to Serfdom) ලියා ඇමෙරිකාවේ නොසිතූ ප්‍රසිද්ධියක් ලැබූ ෆෙඩ්රික් ඔගස්ට් වොන් හයෙක් නැමැත්තා ය. ලුඩ්විග් විට්ගන්ස්ටයින් ඔහුගේ ඥාතියෙක් හා හිතවතෙක් විය. හයෙක්ගේ ප්‍රථම පොත 1929 දී ජර්මන් බසින් හා 1933 දී ඉංග්‍රීසියෙන් පළ වූ Monetary Theory and the Trade Cycle ය. ණයකර වලට සැලසුම් ගහන්නන් විසින් අත ගැසීම නිසා ආර්ථිකයේ සමබරතාවය නැතිවන හැටි හයෙක් පෙන්වා දෙන්නේ ඔහුගේ 1928 දී ලියූ Intertemporal Price Equilibrium and Movements in the Value of Money නැමති රචනාවෙනි.

හයෙක් ඉදිරිපත් කරන ඒකීය පුද්ගලවාදය හෝ නිදහස ගැන වූ මතවාදය මනුෂ්‍යයාගේ විශිෂ්ඨත්වය, හැකියාවන් හෝ ශක්තිය ගැන පදනම් වූවක් නොවේ. අපේ සීමා හා දුර්වලතාවයන් ගැන පදනම් වූ, විශේෂයෙන් ම අපගේ විචාරාත්මක ශක්තිය ගැන වූ දුර්වලතාවයන් මත පදනම් වූ ලිබටේරියන් මතවාදයකි. ඔහු මිනිස් මුග්ධතාවය (ignorance) ආර්ථිකයේ වැදගත් තැනක් ගන්නා බව පැහැදිලි කළේය. විසල් ආණ්ඩුවක සීමා හා අකාර්යක්ෂම බව පෙන්වා දෙන හයෙක් ඒ බව හඳුනාගැනීමට හැකි මිනිස් විචාරයේ හා බුද්ධියේ සීමාවන් පෙන්වා දෙයි.

මීසස් විසින් ඉදිරිපත් කළ අදහස දියුණු කරන හයෙක් පෙන්වා දෙන්නේ පාලන මණ්ඩලයකට හෝ ආණ්ඩුවකට සියළු තොරතුරු ලබා ගැනීමේ නොහැකියාව නිසා සමස්ත වෙළඳපොල ‍හසුරුවන්නට ඔවුන් සතු මුග්ධතාවය නිසා නොහැකි බවයි. මිලියන 307 ක් ඉන්නා ඇමෙරිකාවේ වෙළඳපොල තීරණය කර මෙහෙයන්නට ආණ්ඩුවේ 535 කට නොහැකි බව අද පැහැදිලිව පෙනී යයි!!

1931 දී හයෙක් London School of Economics හි දේශන පවත්වන්නට පටන් ගනියි. ව්‍යාපාර චක්‍ර ගැන ඔහු දැරූ අදහස් වල දී ඔහුට ජෝන් මේනාඩ් කේන්ස් මුණ ගැහෙයි. ඔවුන් අතර වූ වාද LSE හි යේ ද, 1930 ගණන් වල දී අර්ථ ශාස්ත්‍ර සඟරා පිටු පුරා ද පිරී යයි.

ආර්ථික අවපාතයක දී රැකියා හිඟයක් ඉදිරියේ පාරිභෝගිකයන්ට භාණ්ඩ හා සේවා මිල දී ගන්නට ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ආධාර ලබා දීමෙන් ආර්ථිකය නැවත නඟාලීමට පුළුවන යැයි කේන්ස් කියද්දී එසේ කළ නොහැකි යැයි ‍හයෙක් කීවේ ය. ඔවුන් අතර වූ ඒ මතවාදය ශතකයක් පුරා දුව යමින් ඇමෙරිකන් ආණ්ඩු වල ද ප්‍රතිපත්ති සම්පාදනයට රිංගා තිබිණ. කේන්ස්ගේ න්‍යයන් ඇමෙරිකන් ආණ්ඩු මඟින් දියත් කළහ. ඉඳහිටක කළින් හිටපු ආණ්ඩුව පටන් ගත් යම් වැඩ සටහනකින් ප්‍රතිඵල රහිත වෙද්දී පමණක් බලයේ ඉන්නා අය හයෙක් ගැන මතක් කළහ.

ඇමෙරිකාවේ ආර්ථිකය කඩා වැටී මහත් පරිහානිය (Great Depression) පටන් ගත් සමයේ දී කේන්සියානු න්‍යායන් දියත් කරන්නට වොෂිංටනය කඩිමුඩියේ ඉදිරිපත් වූහ. ආණ්ඩුවේ මහත් වියදමින් ආර්ථිකය උත්තේජනය කරන වැඩ සටහන් පටන් ගැනිණ. මහජන සේවා වැඩ පිළිවෙත් (public works projects), උත්තේජන වැඩ සටහන් (stimulus spending) සඳහා වැය දැරීමෙන් ජාතික ඉල්ලුමේ සමස්තය (aggregate demand -AD) වැඩිවේ යැයි කේන්ස් න්‍යායයි.

මිනිස් හැසිරීම හා අභිප්‍රේරණය යන්න සැලකිල්ලට‍ නොගෙන ව්‍යපාර චක්‍රවල බුබ්බුලය හා පුපුරා යාම පිළිබඳ දළ කටු සටහනක් පමණක් පෙන්වා දෙනවා යයි හයෙක් කේන්ස්ට අභියෝග කරයි. උත්තේජනය සඳහා දරන වියදම් වල ණය ගෙවීම ඉදිරි කාලයකට තල්ලු කරන බව ඔහු පෙන්වා දෙයි. රජයේ මැදිහත් වීමෙන් ප්‍රතිපත්ති සම්පාදන කර ආර්ථිකය නැඟ යෑමක් ලෙසින් පෙනෙනුයේ ඉහළ වර්ධන උපාය මාර්ග උද්ධමනය බවත්, ‍එය බුබ්බුලයක් බවත් එහි ප්‍රතිඵලය පුපුරා යෑම බවත් හයෙක් පෙන්වා දෙයි.

ආණ්ඩුව මඟින් පටන් ගන්නා වැඩ සටහන් තුලින් ජනතාව අතට මුදල් ලැබීම නිසා ඔවුනට භාණ්ඩ හා සේවා මිල දී ගත හැකියාව ඇති වී අවසානයේ දී භාණ්ඩ හා සේවා සඳහා වැඩි ඉල්ලුමක් ඇති වීම ආර්ථිකය නංවාලයි යන කේන්ස්ගේ න්‍යාය ආණ්ඩුව විශ්වාස කළහ. ඉහළ උද්ධමන – ඉහළ වර්ධන උපාය මාර්ග න්‍යාය ප්‍රතිඵල රහිත බව හයෙක් කියූව ද ඔවුන් එය පැත්තකට දැමූහ.

උත්තේජන වැඩ සටහන් බොහොමයක් දියත් කළ ඔබාමා ආණ්ඩුව තවමත් වටහා ගෙන නැත්තේ ද මෙයයි. එදා කේන්ස් පිළිගත් අය සේ ම අද ඉන්නා කේන්ස්වාදීන් ද හිතන්නේ ආර්ථිකය උත්තේජනය කරන්නට වැය කළ මුදල් ප්‍රමාණය මදි වූ නිසා එයින් දිරියක් ආර්ථිකයට ලැබී නැති බවය. ඔවුන් කියන්නේ තවත් මුදල් යට කළ යුතුය කියාය.

නමුත් අතීතයක දී මෙන් ම දැන් උත්තේජන වැඩ සටහන් ප්‍රතිඵල රහිත යැයි කියන පිරිස ද කෙමෙන් වැඩි වෙති.

1930 දී හැමෝම හයෙක්වාදී වූහ. එහෙත් දශකයක් ගෙවී යද්දී හයෙක්වාදී වූයේ දෙදෙනෙක් යැයි ද ඒ හයෙක් හා තමා පමණක් යැයි කියුවේ London School of Economics හි සිටි Ludwig Lachmann විසිනි.

අර්ථ ශාස්ත්‍රය සඳහා හයෙක් ට 1974 දී නොබෙල් අනුස්මරණ තෑග්ග පිරි නැමේ. මිල්ටන් ෆ්‍රීඩ්මන් හයෙක් අනුගාමියෙකි.

ඉතින් අද ආයෙත් හයෙක් ගැන අහන්නට ලැබේ. නමුත් වෙළඳපොලට අත නොගැසීමෙන් තමනට ඇති පාලන බලයේ වැදගැම්මක් නැති නිසා කිසිම ආණ්ඩුවකින් තේරී පත් වී එන රටේ නායකයෙක්, සැලසුම් ගහන්නෙක්, එයින් අහක් වී පැත්තකට වී සිටිනුයේ නැත. ටික දිනක් නැවතී සිටිය ද ආර්ථිකය නැවත නැඟී යද්දී කවුරු කවුරුන්ට පමණක් මෙන්ගර්, මීසස් හා හයෙක් මතකයේ තියෙයි ද?!!!

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. W.A. Wijewardena said, on සැප්තැම්බර් 1, 2011 at 1:58 ප.ව.

    A very good write up on a great economist of the 20th century.

    When Keynes was whole-heartedly embraced by economists of both sides of the Atlantic in early 1940s, there were two distinguished people who actually doubted Keynesian policy package. One was Hayek who wrote The Road to Serfdom to show what would happen if countries increased to scope of their government. The other was Ayn Rand who had the practical experience of the working of the USSR and its economic disaster.

    Margaret Thatcher in her final year at Oxford (she did chemistry and not economics) chanced-read both Keynes’s General Theory and Hayek’s The Road to Serfdom. According to Thatcher’s biographer, she was instantly impressed by Hayek. This love was so powerful that after she became PM in 1978, she got him as her economic advisor.

  2. kevin perera said, on සැප්තැම්බර් 1, 2011 at 9:20 ප.ව.

    අද ලෝකයේ ජීවත්ව සිටින මාක්ස්වාදය වෙනුවෙන් පෙනී සිටින උගතුන් අතරින් අංක එකේ පුද්ගලයා ලෙස සැලකෙන “the Elvis of cultural theory” යනුවෙන් අන්වර්ථනාමයක් පටබැඳි ශ්ලෝවෙනියානු දාර්ශනිකයා “ශ්ලවොජ් ජිජෙක්” 2008 ආර්ථික අවපාතය ලිබරල් ධනවාදය හා සම්බන්ධ කලා. එයට ඔස්ට්‍රියාවෙ Ludwig von Mises Institute එකේ වෙබ් අඩවියේ Mises Daily සඳහා නිව් යොර්ක් හි වෙබ් අඩවි නිර්මාන කරුවෙකු වන Nicholas Scipione දුන් පිළිතුර අරුණි කියන අදහසම ඉතා විදිමත් අයුරින් මාක්ස්වාදීන්ට පිලිතුරු දීලා තියනවා පහල එකෙන් යන්න. වමේ එල්විස් ප්‍රෙස්ලි ජිජෙක් පවා හිතන් ඉන්නේ ඇමරිකාවෙ තියෙන්නේ ධනවාදය කියල
    http://mises.org/daily/3658

    • arunishapiro said, on සැප්තැම්බර් 2, 2011 at 10:28 පෙ.ව.

      kevin perera,

      බොහොම ස්තූතියි කෙවින්. මම හිතුවා සිංහලෙන් කියවන්නාගේ පහසුව සඳහා ඔබ සබැඳි කල ලිපිය පරිවර්තනය කර පහත එකතු කරන්න.

      ධනවාදය කියා සිවල් හමක් පොරවා ගෙන ඉන්නා අය පලවන්නට සටන් වදිමු! – Nicholas Scipione ලියයි.

      2008 මුදලේ වටිනාකම පරිහානියට යද්දී ඇඟිලි දික් කර වරද කාගේ දැයි පෙන්වන අය බොහොමයක් වූහ. එහෙත් වැඩියෙන් ම ඇහුනේ නියාමක නොමැති ව, පාඩුවේ ඉන්න දෙන්න කියන නිදහස් ධනවාදය වෙතට යි. පාර තොටේ ඇහෙන කතා, මාධ්‍ය තුලින් ඇහෙන කතා; දේශපාලනඥයන් කියන කතා ඒ ගැන වුණි. වමේ විද්වතුන් අතර විශේෂයෙන් කතාබහට ලක් වූ ප්‍රියතම විෂයයක් ද විය. ඔවුන් අතරන් ලැකේනියන් හා මාක්ස්වාදී න්‍යාය වෙනුවෙන් සටන් වදිනා Slavoj Žižek වූයේය.

      කෙසේ වෙතත්, සිසෙක් විශ්වාස කරනවාට වඩා වෙනස් වන ඇමෙරිකාව, නිදහස් ධනවාදය භාවිතා කළ රටක් නොවීය. විකෘති වූ, දියාරු වී ගිය ධනවාදී ක්‍රමයක් ඒ වෙනුවට තිබුණා යැයි කෙනෙකුට කියත හැකිය. නමුත් ශීෂෙක් තම “ඒක දේශපාලන ආර්ථිකයයි, මෝඩයා!” යැයි විවේචනය කරන නිදහස් ධනවාදය කිසි ලෙසකින් පැවතියේ නැත.

      සත්‍ය ධනවාදය කැමති අය මුහුණ පා ඉන්නේ දුෂ්කර වූ සටනකි. ධනවාදය නිර්වචනය කිරීම බොහෝ අය විසින් තමනට කැමති කැමති ආකාරයන් වලින් හසුරුවා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙසින් ධනවාදය බැට කා ඇත. ශීෂෙක් විසින් 2008 මුදලේ වටිනාකම පරිහානියට යෑම ධනවාදයේ ප්‍රතිඵලයක් යැයි කියද්දී ලෝකය වටා ඉන්නා නිදහස් වෙළඳපොල කැමති අය හිරි වැටී යා යුතුය.

      නමුත්, ධනවාදය ද ආර්ථික අර්බූදයට හේතුව? ධනවාදය යනු රජයේ පාලනයට එරෙහි වූ දේපල හා වස්තුවට ඇති පුද්ගලික අයිතිය නම්, එවිට මෙවැනි විද්වත් නායකයෙක් අපේ ආර්ථිකය ධනවාදය නියමාකාරයෙන් පිළිබිඹු කරනවා යැයි විශ්වාස කරන්නේ නම්, අපිට සත්‍ය ගැටළුවකට මුහුණ පාන්නට සිද්ධ වේ. මොකද, 2008 මුදලේ වටිනකාම පරිහානියට යෑමට හේතුව ධනවාදය නො‍වේ. එය ෆැසිස්ට් වූ ආකාරයකින්, රාජ්‍ය පාලනයට ලක් වූ ආර්ථික ක්‍රමයක් නිසා ය. ඉතින් ඒ හැම සාවද්‍ය වූ ආරූඪයකින් ම, ධනවාදය පෙනී යන්නේ පැවත්විය නොහැකි ක්‍රමයක් විදියට ය.

      මේ කාල්පනික බුබ්බුල හට ගන්නේ ‍කෙසේද?

      කේන්ස් ව පෙන්නා දෙමින්, ශීෂෙක් තර්ක කරන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයක වෙළඳපොල ඉහළ යන්නේ හා පහළ යන්නේ තනිකරම “සාමාන්‍ය මත අපේක්ෂා කරන්නේ සාමාන්‍ය මත පැවතීම” යන්න මත බව ය. මෙහි සත්‍යය ඇබිත්තක් ඇත: වෙළඳපොලක් ඉහළ යන්නේ හා පහළ යන්නේ වැඩිපුර දෙනෙක් මේ දේ වේ යැයි අපේක්ෂා කරන ආකාරය අනුව ය. එසේ නමුත්, වැඩි වශයෙන් සිද්ධ වනුයේ, වෙළඳපොල පහත වැටෙනුයේ මේ කාල්පනිකය නිසා නොවේ. එසේ වනුයේ කොම්පැණියක සත්‍ය තත්වය ඒ ගැන ජනතාව බලාපොරොත්තු වූ තරම් නොතිබි නිසා ය.

      කාල්පනික වර්ධනය මත වෙළඳපොල බුබ්බුලයන් ඇති කරයි. එහෙත් නිතර ම තමන් අපේක්ෂා කළ තරම් තම ආයෝජනය සාර්ථක නැතැයි, එය අගයෙන් අඩු යැයි දකිද්දී, ඒවා ඉබේ ම නිවැරදි වෙයි. දිගු කාලීන වර්ධනයක් තීරණය කරන එකම ආකාරය නම් යම් කර්මාන්තයක් යම් නිෂ්පාදනයක් එහි ඉල්ලුමට අනුව සපයන්නට හැකි වීම පමණකිනි. ස්වාධීන අධ්‍යයන වලින් පෙන්වා දෙන්නේ ක්‍රියාශීලී ආයෝජකයන් බහුල වශයෙන් කාලයාගේ ඇවෑමෙන් සාමාන්‍ය ආයෝජක දත්තයන් අභිබවා යන්නට සමත් නොවෙන බව ය.

      යමක් අනාගතයේ මෙසේ සිදු‍වේ යැයි සිතා අද ආයෝජනය කිරීම වන නිදහස් වෙළඳපොලක හැදියාව නිසා වෙළඳපොල කඩා වැටුනේ නැත. එහෙනම් වූයේ කුමක් ද? ෆෙඩ්රික් හයෙක් තර්ක කළ විදියට මධ්‍යගත ආණ්ඩුවේ සැලසුම් සහ ආණ්ඩුවේ ණය, ඒවා අයිති වනුයේ රාජ්‍ය මැදිහත්වීම් අගයන මතවාද වලට ය, මේ ව්‍යාපාර චක්‍රය බලපෑම් කරයි:

      “අපි වටහා ගත යුත්තේ මුල්‍ය ප්‍රතිපත්ති ආර්ථික පරිහානි‍යෙන් ගොඩ එන්නට නොව එය තවත් දුර්වල කරන්නට සමත් වෙන බවයි. මන්ද, අඩු අගයෙන් යුතු මුදල් සඳහා ඉල්ලුම සැපයීම මධ්‍යගත ආණ්ඩුවකට වඩා පහසු ය. එයින් නිෂ්පාදන මාර්ගයන් වැරදි පැත්තක යයි. එයින් පසුව හට ගැනෙන ප්‍රතික්‍රියා ‍වලින් ගැලවිය නොහැකි ය. යම් යම් අංශ වැඩියෙන් දියුණු කරන්නට ගන්නා රජයේ උත්සාහයන් වලින් ඇතිවෙන අහිතකර ප්‍රතිඵලයෙන් ගැලවෙන්නට මධ්‍යගත ආණ්ඩුවකට දුෂ්කර ය.” -හයෙක්

      කාල්පනික වූ අපේක්ෂාවන් වල ට තව දුරටත් ආර්ථික පරිහානියට යන මාර්ගය අහුරන්නට නොහැකි වන අවස්ථාවක් එළඹේ.‍ Wall Street ආයෝජකයන් -ශීෂෙක් වැනි අය විශ්වාස කරන්නේ ඔවුන් මෙය හසුරනවා යැයි කියා- විශ්වාස කළ ද පහසු-මුදල් තමයි නිසි මාර්ගය කියා, පද්ධතිය අනිවාර්යෙන් ම බංකොළොත් වන්නට මාර්ගය එය වෙයි. මන්ද එහි දී ආර්ථික මූල ධර්මයන් සදොස් සහිත වෙන නිසා ය.

      බලාපොරොත්තු සහ පවතින අර්බූදය

      බලාපොරොත්තු තුලින් වූ බලාපොරොත්තු වලින් වෙළඳපොල දිවෙනවා යැයි ශීෂෙක් විශ්වාස කිරීම නොව මෙහි මහා බියකරු වන්නේ. කාල්පනික අපේක්ෂාව නැමති මූල ධර්මය මත අපේ ආර්ථක ව්‍යුහය තීරණය වෙනවා යැයි ඔහු සිතීම ය වඩාත් බියකරු!

      “නමුත් ආර්ථිකය සත්‍යයෙන් ම විද්‍යාවක් ද? සහභාගී වන එක් අයෙක් පෙන්වා දෙන අන්දමට “කවුරුත් හරියට දන්නෑ මොකක් ද කරන්න අවශ්‍යයයි කියා” කීම, අද පවතින අර්බූදය විසින් පෙන්වන්නේ නැද්ද? හේතුව නම් අපේක්ෂාවන් සෙල්ලමේ කොටසක් වීම ය: වෙළඳපොල හැසිරෙන්නේ කොහොම ද කියා තීරණය වීම ජනතාව මැදිහත්වීම් කොතරම් විශ්වාස කරනවා ද මත පමණක් නොව, අනිත් අය ඒවා විශ්වාසය කොතරම් ද යන්න මත ද වෙයි. අයෙක් කරන මැදිහත්වීම් වලින් ඇතිවන ප්‍රතිඵල ගැන එයාට ද සැලකිය නොහැකි ය.” -ශීෂෙක්

      ඉතින්, මෙයින් අපි විශ්වාස කළ යුත්තේ වැඩි මනාපය දක්වන පිරිස් කරනා දැය කිරීම නිවැරදි යයි කියා ද? සමහර විට, සත්‍ය ආර්ථික වර්ධනය යනු -ප්‍රජාතන්ත්‍රවාදයක් වැනි- වැඩි ආ‍යෝජකයන් විශ්වාස කරන්න මත පමණක් පදනම් වන්නක් යැයි පිළිගන්නවා නම් එහෙනම් අපි ආයෝජන කළ යුතුය.

      ශීෂෙක්ට අනුව ‘පාලනය කරත නොහැකි සිදුවීම් වල වෙනස්කම් නිසා’ කාල්පනික ආයෝජන තුලින් වස්තුව නැති වී යයි.

      පාලනය කරගත නොහැකි වූ අවස්ථාවල දී -මැද පෙරදිග යුද්ධ වැනි අවස්ථාවක දී තෙල් මිල ඉහළ යෑම හෝ ඩිජිටල් බුබ්බුලයේ දී කොටස් සඳහා අධි අගැයුම් දීම- මිල පහත වැටිය යුතු ය. 2008 දී ලෝකය පුරා ධන වස්තුව පහත වැටියේ පාලනය කරගත නොහැකි සිදුවීම් නිසා නොවේ. ඒ ධන වස්තු පහත වැටුනේ වැඩියෙන්-පාලනය කරන ලද සිදුවීම් නිසා ය. නිවාස වෙළඳපොල කඩා වැටීම සලකද්දී, ‘බීමතින්’ සිටියා යැයි ජෝර්ජ් බුෂ් කී පරිදි Wall Street ට අවලාද කීම පහසු ය. ඒත්, ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයෙකු වන Peter Schiff නිතර මතක් කරන්නේ: කවුද මත්පැන් දුන්නේ? කියා අහන්නට ය.

      2000 දී තාක්ෂණ බුබ්බුලය පුපුරා යද්දී, ඇලන් ග්‍රීන්ස්පෑන් ඊටත් විශාල වූ බුබ්බුලයක් පටන් ගත්තේ ය -එය නිවාස බුබ්බුලයයි- ඔහු එය කළේ පොලී අනුපාතිකය අඩු කිරීමෙනි. ධනවාදයේ හොඳ යාළුවෙක් ලෙසින් පෙනී සිටිමින් බුෂ් ද ඒ කර්ත්‍යවයට ආධාර දුන්නේ ය. නිවාස වෙළඳපොල උත්තේජනය කරන්නට වොෂිංටනය නිවාස රෙගුලාසි නියාමක අනුමත කළහ.

      එක බුබ්බුලයකින් තවත් බුබ්බුලයකට නරක ආයෝජන මාරු වෙන බව වටහා ගන්නට නුවණක් සිසෙක් සතු ය. “අද පරිහානිය පසුගිය වසර පහකට පෙර ඇමෙරිකාව මඟ හැරිය පසුබැස්මට ගෙවන වන්දිය” යැයි ඔහු ලියයි. සත්‍ය වූ, නිදහස් වූ, ධනවාදී රටක, පසුබැස්මක දී එය තවත් දරුණු නොකර මඟ හැරිය ‍හැකි මාර්ගයක් නැත. පසුබැස්මක් නොවන්නට උත්සාහයක් ගන්නට වුව ද හැකිවූයේ ‍ඇමෙරිකාවේ ෆැසිස්ට් පාලනයක් තිබි නිසා ය.

      ධනවාදී ආර්ථිකයක්?

      මේ මුදලේ වටිනාකම පරිහානියට යෑම ‍නිසා අනාවරණය කරන්නේ, අපි හිතූ තරම් අපේ ආර්ථික ක්‍රමය ධනවාදයෙන් දුවන්නක් නොවන බව කියන දැවැන්ත ගැටළුවයි. මුදල් සැපයුම් හරිගස්සන Federal Reserve වැනි මහ බැංකුවකට නිදහස් ධනවාදයක පිට කොන්දක් විය නොහැකි ය. පුද්ගලික බැංකු වලට පොලී අනුපාතික පාලනය කරත හැකි මුදල් ක්‍රමයක දී පමණක් නිදහස් ආර්ථික පිට කොන්දක් තිබෙනවා යැයි කිව හැකිය. නැත්නම් රජයට වෙළඳපොල හසුරුවන්නට හා පාලනය කරන්නට පුළුවන. අස්ථිර බව නිසා ඉන් වෙළඳපොලේ ඉරණම වන්නේ විනාශයයි.

      “වෙළඳපොල ආර්ථිකයේ පසුගිය අස්ථිර භාවයට හේතු වූයේ වෙළඳපොල නැමති යාන්ත්‍රණයේ වඩාත් ම වැදගත් නියාමකයා වන මුදල් ඉන් බැහැර කර දැමීමයි. නිදහස් වෙළඳපොලේ කාර්ය භාරය වන්නේ මුදල් නියාමක කිරීම වෙළඳපොල විසින් ම සිදු කිරීම යි.” -හයෙක්

      ඇමෙරිකාව ධනවාදී රටක් යැයි හඳුන්වන්නට නොහැකි තරමට ආණ්ඩු විසින් පටන් ගෙන දියත් කරන ලද අනේක සංඛ්‍යාවක ආයතන පිරී යෑම 20 වැනි ශ. ව. තුල දී දුටී ය. ලොකු ලැයිස්තුවක ටිකක් ගැන කියතොත්, වානිජ්‍ය දෙපාර්තමේන්තුව, ඉන්ධන, කෘෂිකාර්මික, කම්කරු, සෞඛ්‍ය හා මානුෂීය සේවා සහ නිවාස හා නාගරික සංවර්ධන යනාදියයි. ඒ සියල්ල ම විසින් කරනුයේ ඒකීය පුද්ගලයන් විසින් කරන කටයුතු සහ පුද්ගලික කොම්පැණි වලින් කරන කටයුතු පාලනය කිරීම වෙයි.

      FDIC ය වුවත්, අපි බැංකුවට දමන මුදල් සඳහා ඒකීය ස්ථානයන් රක්ෂණය කරන්න වුව ද, අපේ ධනවාදී ක්‍රමයට වංචාවකි.

      මෙවැනි ආයතන, මහ බැංකුවත් සමඟ, සටන් වදින්නේ ධනවාදයට එරෙහිව ය. ධනවාදී සමාජයක ආණ්ඩුවේ කාර්ය භාරය ඉතා සරල ය: විනිවිද භාවය පතුරවා හොරකම් හෙළි කිරීම ය.. එය කරත හැකි ආණ්ඩුවකට පමණක්, එවැනි ආණ්ඩුවකට පමණක් සත්‍යයෙන් නිදහස් ධනවාදී ආර්ථික ක්‍රමයක මූලාසනය ගත හැකිය.

      ධනවාදය ඉබේ ම වැඩ කරන ක්‍රමයක් නොවේ යැයි කීම ශීෂෙක්ගේ තර්කයේ කොටසකි. “ධනවාදය යන්න අපක්ෂාපතී වූ සමාජ යාන්ත්‍රණයක් යැයි කියන අයිඩියලොජිය (එය උතෝපීය යැයි කීම) එහි පිරිසිදු බව කීම අයිඩියලොජියක් පමණි.” ඔහු Guy Sorman ධනවාදය විස්තර කිරීම ප්‍රතික්ෂේප කරයි. සෝර්මන් කියන්නේ ක්‍රමය විසින් කිසිම ආදරයකට හෝ සිහින වලට පාර කපන්නේ නැත කියා ය. එය සිත් වසඟ කරවන හෝ පොළඹවන ක්‍රමයක් නොවන බව ය. එයට පිළිතුරු දෙන ශීෂෙක් මෙසේ කියයි.

      “මේ විස්තරය, නැවතත්, සත්‍යයෙන් ම බොරුවකි: එයට විෂයය වූවන් (නිදහස ගැන, ඔබේ සාර්ථකත්වය ඔබ මත පදනම් වේ යැයි කියන, වාසනාව අත ළඟ යැයි කියන, සීමා නොමැති සතුට ලබා දෙනවා යැයි කියන) සිහින වලින් සිත් වසඟ කරන්නට හැකියාව ඇති ක්‍රමයක් ඇත්නම් එය ධනවාදයයි.”

      නෛසර්ගික ලෙසින් ධනවාදය අයිඩි‍යලොජියක් බව තහවුරු කරන ශීෂෙක් නිවැරදි ය. එහෙත්, ශීෂෙක් ට මඟ හැරී ඇත්තේ මේ අයිඩියලොජියන් පදනම් කරගෙන ඇත්තේ ස්වභාවයෙන් වූ ආර්ථික රීතින් මත අනුව බවයි.

      සාමානාත්මතා මූලධර්මය මත පදනම් වූ සමාජයක වුව ද, ආර්ථික රීතීන් බැහැර කළ නොහැකි ය. ආර්ථික රීතී පාවිච්චියෙන් ප්‍රයෝජනයක් ගන්නේ ධනවාදී සමාජයකි.

      නිදහස් ධනවාදයක් ගොඩ නඟන ආර්ථික රීතින් විද්‍යාත්මක ලෙසකින් ගොඩ නැඟී නැතැයි කියත හැක්කේ ඒවාට බොරු සපයත හැකියාව නිසා ය. ආර්ථික න්‍යායකට පිළිතුරු දෙන විට විද්‍යාත්මක වරදින සුළු බවක් ඇතැයි කීම මයිසස් ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට, මයිසස් විසින් පෙන්වා දෙන්නේ ආර්ථික විද්‍යාව පටන් ගත යුත්තේ මනෝවිද්‍යාත්මක සවිඥානික ක්‍රියාව මත බවයි. එය ඔහු පෙන්වා දෙන්නේ ඔහුගේ praxeology න්‍යායයෙනි.

      ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රය අනුගාමික රොන් පෝල් වැනි සමාජයේ ප්‍රසිද්ධ වූවෙක් මේ ආර්ථික රීතින් වළංගු වෙන්නේ කෙසේදැයි ඉතිහාසය අධ්‍යයනයෙන් පුළුවන් යැයි කියයි: ලෝකයේ සංවර්ධනයෙන් ඉහළට ගිය රටවල් නිදහස් ධනවාදයේ ආර්ථික රීතින් ප්‍රයෝජනයට ගැනීමෙන් පමණක් එසේ වූහ. සැලසුම් ආර්ථික වලට නැඹුරු වූ ආර්ථිකයන් සංවර්ධනයෙන් ඉහළට ගියේ නැත. දෙකොට්ඨාශයට ම, ආර්ථික රීති වලින් ගැලවෙන්නට නොහැකි වූහ.

      බලගතු සම්මිශ්‍රණයක්

      රොන් පෝල් වැනි කුඩා-ආණ්ඩුවක් ප්‍රිය කරන අය විසින් ඇමෙරිකාවේ ව්‍යවස්ථාව සියළු ම මධ්‍යගත සැලසුම් තහනම් කරනවා යැයි විශ්වාස කරති. එය එහෙම කරනුයේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය වෙළඳපොල හා ගැටෙන්නේ නැති කටයුතු අතලොස්සට සීමා කර ඇති බැවිනි. එහි පාඩුවේ සිටින්නට ඉඩදෙන මූලාරම්භයෙන් වූ සත්‍ය ධනවාදයට ඉඩ දිය හැක්කේ එසේ පමණකි.

      නමුත් දැඩි ව්‍යවස්ථාදායකයනට එය ගැටළුවකි. ව්‍යවස්ථාවේ භාෂාව ශෝභන ය. සරල ය. ඒ නිසා එයින් අදහස් කරන සංදර්භයට එය නිර්වචනය පහසු ය. නමුත්, ව්‍යවස්ථාවේ නූතන නිර්වචකයන්ට, සුපිරි උසාවියට ද ඇතුළු ව, එය වෙනස් ආකාරයකින් නිර්වචනය කරන්නට උවමනා ය.

      TARP ප්‍රතිපත්ති ගැන ව්‍යවස්ථානුකූල බව ගැන Peter Schiff හා අනෙකුත් මාධ්‍ය, පණ්ඩිතයන් අතර සිත් ඇදගන්නා සංවාදයක් ඇති වුණි. TARP ප්‍රතිපත්තිය ස්ථාපිතයට ෆෙඩරල් ආණ්ඩුවට ව්‍යවස්ථානුකූල බලයක් නොතිබි බව ෂිෆ් විසින් පැහැදිලි කර දුන් පසු, එක පණ්ඩිතයෙක් තර්ක කළේ වානිජ්‍ය වාක්‍යඛණ්ඩයයි. ව්‍යස්ථාවේ 1 වැනි පනතේ, 8 වැනි කොටසේ, 3 වැනි වාක්‍යඛණ්ඩය අනුව රූසවෙල්ට් ජනාධිපති සමයේ අයවැය හිඟය සඳහා වියදම් කරන්නට දුන් ඉඩකඩ මේ TARP ස්ථාපිතයට ඉඩ දෙන්නේ යැයි කියා ය.

      ඒ වාක්‍යඛණ්ඩය කෙටි ය. සරල ය. එය කියන්නේ “කොංග්‍රසයට බලය ඇත්තේ …‍ විදේශ රටවල් සමඟ, ප්‍රාන්ත අතර හා ස්වදේශී ඉන්දියානු ගෝත්‍රිකයන් අතරත් වෙළදාම නියාමක කිරීමට ය.” මෙවැනි වගන්තියක් අනේක වූ නිර්වචනයන් ට විවෘත ය. ඒ නිසා ආණ්ඩුවක් එහි නිහතමානී මූලික අදහසෙන් කොතරම් දුර දිග ගිහින් දැයි පුදුමයක් නොවේ. පණ්ඩිතයාට පිළිතුරු දෙමින් ෆිෂ් කිව්වේ:

      “එය ඒ වාක්‍යඛණ්ඩය අපහරණය කිරීමක්. ඔබ කියන විදියට ආණ්ඩුවට තමන් කැමති ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ව්‍යවස්ථාව ඉරා දමමු.”

      මෙහි දී ෆිෂ් වැදගත් කාරණයක් පෙන්වා දෙයි: ෆෙඩරල් ආණ්ඩුවට තමන් කැමති ආකාරයකට එතරම් පුළුල් ලෙසකින් ව්‍යවස්ථාව නිර්වචනය කළ හැකි නම්, එවිට එහි බලයට සීමාවන් නැත.

      ඉතින්, ඇමෙරිකාවේ ආණ්ඩු ක්‍රමය ගැන වෙනස් වූ මානසිකත්වයත් වහාම පටන් ගන්නේ නැත්නම්, ධනවාදය රිසි අය ඉදිරියේ ඇත්තේ ප්‍රශ්නයකි.

      සමාප්තිය

      ඇමෙරිකන් ආර්ථික ක්‍රමයේ අනාගතය තීරණය වීම අද බාර වී ඇත්තේ තමන් විසින් ධනවාදය මෙය යැයි සිතාගෙන ඒ ධනවාදයට පිළිකුල් කරන අයගෙන් පිරී ගිය සමාජයකිනි. සත්‍ය ධනවාදයටත් -අ‍පේ ආර්ථිකයටත්- ඇති එකම බලාපොරොත්තුව නම් සත්‍ය නිදහස් ධනවාදය කුමක් දැයි කියා එය neoconservative කියා ගන්නා අයගෙන් හා එය කේන්සියානු නිර්වචනයන් යැයි කියා ධනවාදය අවුල් කරපු අයගෙන් වෙනස් බව වටහා ගැනීමෙනි.

      මහ බැංකුවෙන් ආර්ථිකයට පොම්ප කරන ඕනෑම මුදලක් නිසා වේතන වැඩි නොකරමින්, එදිනෙදා බඩු මිල ඉහළ යවන බව අද ඉන්නා නිදහස් ධනවාදීන් එකඟ වෙති. ඉතින් ඉතිරි වී ඇති එකම ප්‍රශ්නය මෙයයි. මේ වාතාවරණය වැඩියෙන් උදව් කරන්නේ සාමුහිකත්වය හා සමාජවාදී ඇජෙන්ඩාවන්ට ද? නැත්නම් ධනවාදයට දිනන්නට හැකි වේ ද? ඉතින් මෙහි දී අපි ෆෙඩ්රික් හයෙක් ලියූව මතක් කරගත යුතු ය.

      “වෙළඳපොල ක්‍රමයේ ප්‍රධාන දුර්වලතාවය යැයි සැලකෙන්නේ කාලයෙන් කාලයට පැතිර යන රැකියා හිඟයන් ඇති වීම ය. සමාජවාදීන් හා අනෙක් විවේචකයන් නිතර ම එය පෙන්වා දෙන්නේ ධනවාදයෙන් වෙන් කළ නොහැකි, සමාව දිය නොහැකි දුර්වලතාවයක් ලෙසිනි. නමුත් එය ඔප්පු කරන්නේ පුද්ගලික ව්‍යාපාරයන්ට නිදහස් ලෙසින් වැඩ කරන්නට ඉඩ දී තමනට මුදල් සපයා ගෙන රක්ෂිතව ස්ථාවර වන්නට ආණ්ඩුව විසින් ඉඩ නොදීම ය.”

      *****
      මෙය කියවන ඔබ ඇමෙරිකාවේ පුරවැසියෙක් නම්, කුමන හෝ ආණ්ඩුවක ෆැසිස්ට්වාදී බලය පතුරවනවාට වඩා පුරවැසියා සතු බලය වැඩි විය යුතු යැයි විශ්වාස කරන්නේ නම්, මෙවර මුල් මැතිවරණයේ දී රොන් පෝල්ට චන්දය දිය යුතුයි!!!! පෙරී පරාජය කළ යුතුයි. මන්ද ඔහු ධනවාදී සිවල් හමක් පොරවා ගත් ෆැසිස්ට්වාදියෙකි. ඔබාමා සමාජවාදයේ ෆැසිස්ට්වාදියෙකි.

      මුල් මැතිවරණයේ දී රොන් පෝල්ට චන්දය දිය හැක්කේ රොන් පෝල් ඉන්නා පක්ෂයේ අයට පමණකි. ඔබත් මම වැනි රොන් පෝල්ගේ පක්ෂයේ ‍සාමාජිකත්වය නොමැත්තෙක් නම් ටික දිනකට පක්ෂය මාරු කර ලියා පදිංචි විය හැකිය. නැවත මැතිවරණයට පෙර හෝ පසුව පක්ෂය මාරු කළ හැකිය. තමන් වාසය කරන ප්‍රාන්තය අනුව මුල් මැතිවරණයට චන්දය දමත හැකියාව ලියා පංදිචිය වෙනස් කරත හැකි අවසන් දිනයක් ඇත.

      තම පුරවැසි අයිතිය පාවිචිච්යට කම්මැලි වී සිටියහොත් තවත් කාලයක් ධනවාදය යැයි කියාගත් ධනවාදී නොවන මඟක ගමන් කරමින් ෆැසිස්ට්වාදයෙන් ජීවත් වන්නටත් දුප්පත් සමාජයක ජීවත් වන්නටත් ඇමෙරිකන් පුරවැසියාට සිද්ධ වෙනු ඇත.

  3. Chanuka Wattegama said, on සැප්තැම්බර් 2, 2011 at 2:39 පෙ.ව.

  4. Chanuka Wattegama said, on සැප්තැම්බර් 2, 2011 at 3:13 පෙ.ව.

  5. Chanuka Wattegama said, on සැප්තැම්බර් 2, 2011 at 3:14 පෙ.ව.

  6. Chanuka Wattegama said, on සැප්තැම්බර් 2, 2011 at 3:15 පෙ.ව.

  7. RAS said, on සැප්තැම්බර් 2, 2011 at 6:00 පෙ.ව.

    සමාජවාදය කෙසේවෙතත් දනවාදය හොම්බෙන්ම ගොස් තමන්ගේ නොහෑකියාව පෙන්වා ඈත.
    මෙච්චරකල් හෝ ඈදගෙන ගියේ 3වන ලෝකයේ රටවල් සුද්දකරමින් වුවද දෑන් ම0කොල්ලයෙන්හෝ දනවාදය ගොඩදාගත නොහෑකි තරමට අබ්ලික් වී ඈත.
    ඈස් පනාපිටම නිරුවත් වී තිබෙන දනවාදයට යලි රෙදි ඈන්දවීමට ඵකදාස්නවසිය බරගනන්වල විසූ පප්පලාට හෑකි වේ යෑයි සිතීම විහිලුවකි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: