අරුණි ශපීරෝ‍ වෙතින්

ඕපා! ග්‍රීක සෝර්බා!

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 12, 2011

ඕපා! (Opa! -hooray, hell yeah, yeehaw) යැයි කියමින් සුබ පතනුයේ ග්‍රීක ජනතාව ය. එහෙත් රට වෙනුවෙන් සැලසුම් ගැසූ අය තමන් ජනතාවගේ සුබ සිද්ධිය සලසන්නට දන්නවා යැයි කියා ගත් සැලසුම් වසර ගණනාවක් පුරා පැතිර යාම නිසා අද ග්‍රීක ජනතාවට ඕපා කියනු හැකිවන්නේ යුරෝපීය හවුලෙන් බිඳී යාමට හැකිවුවහොත් ද? ජර්මනිය ණය දුන්නොත් ඇන්ගලා මෙයර්කල්ට නැවත වරක් චන්දය දිනනු නොහැකි ය. සැලසුම් ගහන්නා සැලසුම් ගහනුයේ හැම විටම තම බඩගෝස්තරය රැකගනු පිණිස ය. එසේම මෙවර සෙසු සමාජවාදී යුරෝපීයයන් කුමක් කිව්ව ද, ඔවුන් වත් බේරා ගන්නට, නැවත නොගෙවන ණය යළි යළිත් දෙන්නට ජර්මනිය ඉදිරිපත් වනවාට ජර්මානුවන් අකමැති වීම සාධාරණ ය.

ග්‍රීක ඉතිහාසය කියවද්දී ග්‍රීක චින්තනය හඳුනාගත හැකිය. ඊට වෙනස් වූ ආකාරයට සැලසුම් හදන්නට යෑම පුළුවන් ද? යුරෝපීය හවුලට එක් වෙද්දී නොර්වේ මසුන් මරන්නන් හා දේශාටකයන්, ජර්මනියේ ඉංජිනේරුවන්, ගණිතඥයන්, දාර්ශනිකයන් හා සංගීතඥයන් අතර සංස්නදනය කරද්දී ග්‍රීක චින්තනයේ අති විශිෂ්ඨ වූ කුතුහලය කොපමණ තරම් සුළු කලකට සීමා වූවා දැයි දැකිය හැකිය.

Zorba the Greek (1964) චිත්‍රපටිය ඒ නමින් ම වූ ග්‍රන්ථයකින් බිහි වූ ග්‍රීක මිනිසා ගැන ප්‍රබන්ධයකි. බොරුවෙන් හා වංචාවෙන්, අත්‍යාලංකාරෙයන් හා පිම්බුන මහන්තත්වයකින් යුතු මානසිකත්වයක් මනාව පිළිබිඹු කරන චරිතයකි. ග්‍රීක සෝර්බා ගී කියා නටමින් සුරා මතින් වැනෙන්නට හරි හපනෙකි. නැති සල්ලි වලින් සැලසුම් ගැසූවෙකි!!! ප්‍රබන්ධය අවසන් වන්නේ සෝර්බා විසින් හදන ලද ලී කොටන් පහසුවෙන් ප්‍රවාහනය කරත හැකි විජැට්ටුව දියත් කරන උත්සවයෙනි. මුල් ලී කොටය පෙරළී එන්නේ අවට සුනු විසිණු කරමින් ලී කොටය ද විනාශ කරමිනි. දෙවන ලී කොටය ද එසේම ය. එහෙත් සෝර්බා නොවේ තැති ගන්නේ!! ඊ ළඟ ලී කොටයක් වේගයෙන් අවුත් මුහුදට විසි වී යයි. ප්‍රබන්ධය අවසන් වන්නේ සියල්ල විනාශ වී ගියත් සෝර්බා සිංදු කියා වෙරි මතෙන් නටද්දී ය.

යුරෝපා හවුල පටන් ගනිද්දී ඇමෙරිකාවේ කුඩා වී යන වෙළඳපොලක් ගැන කතාබහ කළ අය වූහ. ආසියානු රටවල ද හවුල් ගහන්නට කතා කළ අය වූහ. නමුත්, මධ්‍යගත සැලසුම් වලින් ඉතිහාසය පුරා පෙන්නුම් කරන අසාර්ථක ප්‍රතිඵල අමතක වී නොගිය යුරෝපීය අතළොස්සට එංගලන්තය ද, ස්විට්ස්ර්ලන්තය ද අයිති වූහ. යුරෝපීය හවුලට නායකයෙක් හා ආණ්ඩුවක් පිහිටුවා ගත්ත ද, ඒකීය රට රරටවල් වලට නීති ගෙනෙන්නට හැකි වුවත්, නීති පිළිපදිනවා දැයි සොයා බලා දඬුවම් දිය හැකි ක්‍රම වේදයක් නොතිබුණි. බොරු නොකියන හුරුව සතු ජර්මනිය බොරු කියන හුරුව ඇති ග්‍රීසිය ඇත්ත කියයි යැයි සිතාගත්තේ හුදු මිනිස් ස්වභාවය අමතක කරමිනි. යුරෝපීය හවුලට මුල්‍ය (monetary) ප්‍රතිපත්ති තිබිණ. එහෙත් ඔවුනට ෆිස්කල් (fiscal) ප්‍රතිපත්ති ස්ථාපිතයට ඒකීය රට රටවල් වලින් ඉඩක් නොදුනි.

හරියන මඟ මෙයයි, මේ මාර්ගයේ යන්න කියද්දී, ඔව්, ඔව් අපි යන්නේ ඒ මාර්ගයේ තමයි කියමින් බොරු කියන අය කන්දෙන් පහළට රෝල් වී යාම වළකා බේරාගන්නේ කෙසේද? කරන්නට ඇති එකම විකල්පය තමන් ද අසු වී සුනු විසුණු වීමෙන් වැළකීමට පැත්තකට වීම නොවන්නේ ද? ලෝකයේ එම ප්‍රතිපත්ති ම අනුගමනය කරන අනිකුත් රටවල් පාඩමක් ඉගෙන ගනු ඇත් ද? නැත්නම් තවත් කාලයක් අන්තිම සතය පමණක් අතට ලැබෙන තුරු ආර්ථිකයක් වැඩ කරන හැටි හඳුනා නොගෙන සිටීවි ද? සැලසුම් ගහනා අය වියදම් කරන්නේ ජනතාවගේ මුදල් බවත්, අවසානයේ දී බංකොළොත් වී යනුයේ ජනතාවගේ අනාගතය බවත් අද ග්‍රීක ජනතාවට යාන්තමින් වැටහෙන්නට පටන් ගෙන ය.

යුරෝපීය හවුලෙන් ඉවත් වී, තමන් විසින් නැවතත් ග්‍රීක සල්ලි අච්චු ගසාගෙන පමණක් ඔවුනට ඉන් ගොඩ එන්නට හැකිවනු ඇත. බදු වැඩි වී, සුබ සාධන අඩු වී, දේපල වත්කම අගයෙන් අඩු වී කාලයක් යනතුරු මහත් වෑයමකින් ඔවුනට නැඟිටින්නට හැකිවනු ඇත. ආර්ථික ජයග්‍රහණයට යන කෙටි පාරක් ග්‍රීක සෝර්බාට නැත. වෙනත් කිසිවකුට ද නැත. ඊට ඇත්තේ එකම පාරකි. එනම් වෙහෙස මහන්සියෙන් උත්සාහයක් ගන්නා දක්ෂයාට තැන දීම මිසක වංචාවෙන් බොරුවෙන් තමනට හැකි යැයි කියන ආඩම්බර කතා වලින් පුම්බාගත් සැලසුම් ගහන්නට රිසි වූවන් ගේ වදන් වලට රුවටීමෙන් නොවේ.

මිනිස් ස්වභාවය කිසිදින අමතක කළ යුතු නැත. යා හැකි මඟක කෙටි ක්‍රම හොයද්දී සම්පූර්ණ කතාව මඟ හැරෙන බව අමතක කළ යුතු නැත. කළු සුදු අතරින් අළු පැහැයෙන් ලෝකය දකින්නට වෙර දරන අය අවසානයේ අන්දුන් කුන්දුන් වී අනේ, ඇයි අපිට මෙහෙම වුනේ යැයි කියා අසති. කළු සුදු බව පවතින නිසා, මිනිස් ස්වභාවය සේ ම ලෝක ස්වභාවයත් කොතරම් ඥාන සම්භාරයක් තමනට ඇත්දැයි සිතුවාට තමනට නැති නිසා, කරත හැක්කේ සමස්තයට නොව තමනට වාසිය ලැබෙන හැටි විමසීම ය. ඉන් තමනට වාසි ලබාගන්නා ඇත්ත ඇති සැටියෙන් දැක තම සුබ සිද්ධිය ද, ඒ නිසාම තමන් ජීවත්වන සමාජයේ ද සුබ සිද්ධිය සලසයි.

යුරෝපීය හවුල මෙවැනි අර්බුදයකට එන බව කල්තබා දැනගත් සල්ලි වෙළඳාමෙන් මුදල් උපයන්නෝ දැන් හනිකට යුරෝ විකුණා ගන්නේ කුමන රටක සල්ලි ද? හෙට?!!!

තවත් නුදුරු දිනයෙක අලුතින් පහළ වෙන වෙළඳපොලවල් කරා ආයෝජනයට හනිකට දුවන අය ආපසු හැරී දුව එන්නේ කොහාට ද?!!

දක්ෂයාට ජයග්‍රහණය ලැබෙන ක්‍රීඩා ලෝකයේ US Open ටෙනිස් තරඟය ජයගත් සමන්තා ස්ටෝසර්ට මගේ ප්‍රණාමය! ජයවේවා!!!

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. The Lion said, on සැප්තැම්බර් 12, 2011 at 5:28 ප.ව.

    නියම පෝස්ට් එකක් ………. 😀

  2. praveena said, on සැප්තැම්බර් 12, 2011 at 7:15 ප.ව.

    Opa! -hooray, yeehaw සමන්තා ස්ටෝසර්ට ජයවේවා!!!….. 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: